
කලක් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාව පිළිබඳ මහජන අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ මහාචාර්යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය රිචඩ් ඩෝකින්ස් පරිණාම වාදය හුදු මතයක් නොව විද්‍යාත්මක සත්‍යයක් බවට පෙන්වා දීම සඳහා 2009 දී ලියා පළ කළ The greatest show on the earth – Evidence on the Evolution නමැති පොත එකල වැඩියෙන් ම විකුණුනු පොතක්. දැන් ඒ පොත මෙසේ සැකෙවින් කියවමු.
මගෙේ ‘සම්පිණ්ඩන’ පොතට පරිච්ඡෙේදයක් ලෙස මෙය ඇතුළත් කර ඇත.
- ජීවියෙකුගේ කලලයක් වර්ධනය වන්නේ ජාන වලින් එයට ලැබෙන නිශ්චිත උපදෙස් වලට අනුවයි. ඒ ජාන වලින් නිරූපණය වෙන ඇතැම් ශාරීරික ලක්ෂණ අපට කෘත්‍රිමව මෙහෙයවිය හැකියි.
තඩි ග්‍රේට් ඩේන්ස් වර්ගයේ සිට චූටි චිහුආහුආ (chihuahua) හෝ කකුල් කොට ඩෑෂ්හුන්ඩ් දක්වා ඇති නොයෙකුත් වර්ගවල සුනඛයන්ගේ ශරීර ස්වරූප වල විවිධත්වය මඳකට මතක් කර බලන්න. ශාරීරික ස්වභාවය බැලුවොත් එම සියලු සුනඛ වර්ග අතර දැවැන්ත වෙනසක් තිබුණ ද උන් සියල්ලෝ ම ඇත්ත වශයෙන් ම පැවත එන්නේ වෘකයාගෙන්.
විවිධ ලක්ෂණ සහිත සුනඛ වර්ග යනු මිනිසුන් විසින් කෘත්‍රිම වරණය (artificial selection) යන ක්‍රියාවලිය මගින් සැලසුම් සහගත ව ඇති කරනු ලැබූවක්. අවුරුදු දහස් ගණනක් තිස්සේ මිනිසුන් කෙටි කකුල් වැනි තමන්ට විශේෂයෙන් අභිමත ශරිර ලක්ෂණ වලින් යුත් සුනඛයන් තෝරා උන් හා සමාන සුනඛයන් සමග ප්‍රජනනය කොට පැටවුන් බෝ කර ගත්තා. එසේ පරම්පරා ගණනාවක් තිස්සේ අණුක්රමයෙන් කළ අභිජනනය කිරීම් වලින් තමන්ට අභිමත ලක්ෂණ ඇති සුනඛයන් ඇති කර ගැනීමට මිනිසුන්ට හැකි වුණා. කෘත්‍රිම වරණය යනුවෙන් හැඳින්වෙන මේ ක්‍රමය ම අපේ ගොවීන් වඩා රසවත් ගෝවා වර්ග හදා ගැනීමට ද යොදා ගෙන තියෙනවා.
යථාර්ථයෙන් ගත්තොත් මෙහි දී එම කාර්ය සඳහා ඇත්තටම තෝරා ගැනෙන්නේ සුනඛයා ගේ හෝ ගෝවා ගෙඩියේ අර කී සුවිශේෂ ලක්ෂණය නොව එම ලක්ෂණ ඇති කිරීමට අදාළ වන ජානයයි. සුනඛයෙකුගේ කකුල් වල දිග කුමක් විය යුතු ද හෝ ගෝවා ගෙඩියක් මොන රහකට තිබිය යුතු ද හෝ යන්න තීරණය වෙන්නේ එම ජීවීන්ගේ තනි තනි ජානවල කාර්යභාරය අනුවයි. ඕනෑම ජීවියෙක් වැඩෙන්නේ ම කලල අවස්ථාවේ දී එම ජීවියාගේ ජාන වලින් දෙනු ලබන උපදෙස් වලට අනුවයි.
ජනිතයා හෙවත් උපදින සත්වයා ට සිය ජාන වලින් අඩක් තමාගේ මවගෙන් ද අනෙක් අඩ තම පියාගෙන් ද උරුම වෙනවා. ඒ අනුව ප්‍රජනනය (procreation) යනුවෙන් හඳුන්වන ක්‍රියාවලිය නිසයි පරපුරෙන් පරපුරට ජාන සංක්‍රමණය වන්නේ.
කෘත්‍රිම වරණයේ දී පළමුවෙන් ම සිදු කරන්නේ අභිමත ලක්ෂණ එක හා සමානව පිහිටා ඇති දෙමව්පියන් තෝරා ගැනීමයි. එහි දී අරමුණ වන්නේ එම අභිමත ලක්ෂණ හා අදාළ වන ජාන එම දෙමව්පියන්ගෙන් බිහි වන ජනිතයාට ද උරුම කර දීමයි. කෘත්‍රිම වරණය මගින් කරන මෙවැනි බෝ කිරීම් නිසා එකම වර්ගයට අයත් ජීවී විශේෂ ස්වරූපයෙන් එකිනෙකට බෙහෙවින් වෙනස් වූ ප්‍රභේද රාශියකට වෙන් වී තියෙනවා. උදාහරණයකට වෘකයාගේ සිට චිහුආහුආ දක්වා හෝ වල් ගෝවා වල සිට කෝලි ෆලවර් හෙවත් මල් ගෝවා දක්වා සිදු ව ඇති වෙනස් වීමේ පුළුල් පරාසය සලකා බලන්න.
- මේසා පුළුල් පරාසයක ජීවීන් ඇතිවීමට හේතුව එකම ජීවී විශේෂයක සත්වගහණ එකිනෙකින් ඈත්ව ගොස් වෙන් වෙන් වශයෙන් පරිණාමයට ලක් වීමයි.
මිහිමත ජීවිතය යනු වෛවාරන්න පරිසර වල ජීවත් වන ස්වරූපයෙන් අපූරු ලෙස එකිනෙකට වෙනස් අප්‍රමාණ වූ ජීවීන්ගේ බහුරූපේක්ෂණයක් (kaleidoscope) යැ’යි කිව හැකියි. එහෙත් මේ විවිධාකාර ජීවී විශේෂයන් අතරින් හැම එකක් ම වෙනත් ජීවි විශේෂයක ඥාතියෝයි. මේ අන්දමින් පරපුරෙන් පරපුරට අතීතය සොයමින් කාලය ඔස්සේ ආපසු පියවර තබන විට අපට අවසානයේ මේ හැම ජීවී විශේෂයක් ම එකට එක් කරන ආදිම පුරුක වශයෙන් සැලකෙන පොදු පූර්වජයා (common ancestor) හමු විය හැකියි.
පොදු පූර්වජයා ගෙන් පැවත එන්නන් එකිනෙකට වෙනස් ව විවිධ ජීවි විශේෂ බවට වෙන් වෙන් ව පරිණාමය වුණේ භූගෝලීය වශයෙන් එකිනෙකාගෙන් ඈත් වී යාම නිසායි. මේ භූගෝලීය වෙන්වීම එසේ වෙන් වූ සත්ව විශේෂයේ ජාන කීටුව හෙවත් ජාන තටාකය මුල් ජීවි විශේෂයේ ජාන කීටුවෙන් නිදහස් ව වර්ධනය වීමට ඉඩ සලසනවා.
ජීවී විශේෂ වල සත්වගහණ මෙසේ එකිනෙකින් ඈත් වීම නොයෙකුත් හේතු නිසා සිදු විය හැකියි. ඇතැම් විට මහා භූගෝලීය වෙනස් වීම්, භූමිකම්පා, ගංවතුර, භූමි පරිදර්ශනයේ වෙනස් වීම් වැනි හේතු නිසා ජීවි සමූහ එකිනෙකින් වෙන් වී යා හැකියි.
භූකාරක තැටියේ (plate tectonic) වෙනස් වීම් නිසා මහද්වීප ප්ලාවනය(continental drift) නොහොත් ඈත් වන විට ද ජීවි විශේෂවල සත්වගහණයන් එකිනෙකින් ඈත් කෙරෙනවා. ඒ අනුව ඥාතිත්වයෙන් එකිනෙකට සමීප ෆොසිල වර්ග දකුණු ඇමෙරිකාව. අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ඇන්ටාටිකාවෙන් සොයා ගෙන තියෙනවා. ඒවා අතර ඇති සමාන කම් වලින් පෙන්නුම් කරන්නේ ඒ සියලු මහද්වීප එකට එක්ව තනි දැවැන්ත මහද්වීපයක් ලෙස පැවතුණු යුගයක් තිබුණු බවයි. මේ සුපිරි මහද්වීපය කැඩී විසිරී යාමත් සමග සත්වගහණයන් ද එකිනෙකින් ඈත් වුණා. ඒ අනුව ජීවි විශේෂ විසිරී විභින්න (diverse) වුණා.
ඇතැම් විටක පවතින භූගෝලීය විභේදනයක් හරහා සිය කැමැත්තෙන් ගමන් කිරීමෙන් පසුව ජීවීන් වෙනත් ජීවි විශේෂයක් බවට පරිනාමණය වීමට අවශ්‍ය හුදකලා බව ඇති කර ගන්නවා. 1995ට පෙර ඇන්ගුයිල්ලා නමැති කැරිබියන් දූපතේ කොල පැහැති ලැගුආනා සතුන් විසුවේ නැහැ. එහෙත් එක් වරම කොල පැහැති ලැගුආනා කණ්ඩායමක් ඇන්ගුයිල්ලා දූපතට පැමිණියා, ඔවුන් එසේ පැමිණ ඇත්තේ ඊට සැතපුම් 160 කට ඔබ්බෙන් පිහිටි දූපතක සිට සාගරයේ පාවෙමින් ආ ලී කොටයක නැග බව සොයා ගනු ලැබුවා. මෙවැනි අහඹු සිදුවීම් වලින් පෙන්නුම් කරන්නේ තමන්ගේ ජීවි විශේෂයෙන් වෙන් ව වෙනත් පරිසර වලට සේන්දු වීම නිසා ජීව විවිධත්වය තවත් පුළුල් කරමින් පරම්පරා ගණනක ස්වාභාවික වරණයෙන් නව සත්ව විශේෂයක් බවට පරිණාමය වීමට ඇතැම් සත්වයන්ට අවස්ථාව සැලසෙන බවයි.
- සත්ව විශේෂ මෙන් ම තනි සත්වයන් අතර ඇතිවෙන තරඟය නිසා ද ස්වාභාවික වරණය මගින් පරිණාමය සිදු වෙනවා.
බොහෝමයක් ගස් ඔය තරම් උසට හැදෙන්නට පෙලඹෙන්නේ ස්වාභාවික වරණය මගින් සිදුවන පරිණාමය නිසායි. සූර්යයාගෙන් ශක්තිය ලබා ගැනීම පිණිස ගස් එකිනෙකා හා තරඟ කරනවා. ඒ නිසා අනෙකුත් ගස් අබිබවා උස යන ගස් වලට වැඩි වැඩියෙන් සූර්යාලෝකය ලබා ගැනීමට හැකියි. එවැනි ගස් සිය සාර්ථක ජාන තමාගෙන් පැවතෙන ගස් වලට උරුම කර දෙනවා.
මේ ස්වාභාවික වරණය ඇතැම් විට විලෝපියා (predator) හෙවත් ගොදුරු සොයන්නා සහ ගොදුර අතර ඇතිවෙන තරඟයක් ලෙස ද දැකිය හැකියි. උදාහරණයකට සතෙකුගේ වේගය අර ගෙන බලමු. විලෝපියා පරිණාමය වෙන්නේ ගොදුර අල්ලා ගැනීම පිණිස තමාට දිවිය හැකි වේගය හැකි තරම් වැඩි කර ගැනීම පිණිස වන අතර ගොදුර පරිණාමය වන්නේ විලෝපියාට අල්ලා ගත නොහැකි තරම් වේගයකින් දිවීම පිණිසයි. මෙය චීටා වැනි වේගවත් විලොපියන් සහ ගැසල් මුවන් වැනි වේගයෙන් පලා ගිය හැකි ගොදුරු අතර ඇති වෙන පරිණාමීය “අවි තරඟයක්” වශයෙන් හඳුන්වන්නට පුළුවන්.
කෙසේ වුව ද එක් ලක්ෂණයක පරිණාමය වෙනත් ලක්ෂණයක සංරෝධයක් හෙවත් අඩුපාඩුවක් බවට පත් වීමද ඇතැම් විට සිදු විය හැකියි. ගැසල් මුවෙකුගේ පලා යන වේගය වැඩි කිරීමට ගාත් දිගු වීම එම ගාත් ලෙහෙසියෙන් බිඳෙන සුලු වීමට හේතු විය හැකියි. එසේ වුව හොත් ගැසල් මුවා ට ප්‍රවර්තනය(survival) වීමට නොහොත් පැවතීමට ඇති හැකියාව අඩු කිරීමට ද එය හේතුවක් වෙයි. එනිසා ප්‍රවර්තනය වීමේ හැකියාව ඉහළ මට්ටමකට තබා ගැනීමට නම් සත්වයකුට වේගය සහ ශක්තිමත් සෞඛ්‍ය සම්පන්න ශරීරය යන දෙකම සමබර ව තිබිය යුතුය. මේ සමබරතාව නිසි ලෙස නොමැති සත්වයන්ගේ ප්‍රවර්තනය වීමේ හැකියාව අතිශයින් සීමිතයි.
සත්ව විශේෂ අතර මේ ‘අවි තරඟය’ පවතින්නේ අතිශයින් දීර්ඝ වූ පරිණාමීය පරිමාණයකින්. වෙනත් අන්දමකින් කිව්වොත් එක් එක් සත්ව විශේෂයකට තම ප්‍රවර්තනය සඳහා අවශ්‍ය වන අවි ගබඩාව නූතන මට්ටමට ගොඩ නැගීමට වසර මිලියන ගණනාවක් ගත වුණා. ඒ අනුවයි ජීවියෙකු සතු එම අවි නිරූපණය කරන වඩා සාර්ථක ජාන නොකඩවා පරපුරෙන් පරපුරට උරුම වන්නේ. වඩා ශක්තිමත් ශරීර නිපදවන ජාන සහිත සත්ත්වයන් ප්‍රවර්තනය වී වැඩි විය පත් ව පැටවුන් බෝ කරන අතර එවැනි ජාන විරහිත දුර්වල සත්වයන්ට වැඩි වියට පත්වීමට පත් වීමට ඇති හැකියාව බෙහෙවින් අඩුයි. ස්වාභාවික වරණය යනුවෙන් හඳුන්වන්නේ මේ ක්‍රියාවලියයි.
- ස්වාභාවික වරණය මගින් පරිණාමය සිදුවන්නේ ජාන විකෘති වීම් නිසා ජාන කීටුවට එක් වෙන නව ජාන හේතු කොට ගෙනයි.
පෘථුල ව ගත් විට පරිණාමය යනු ජාන විසින් දෙනු ලබන උපදෙස් වල අහඹු වෙනස් වීම් නිසා ඇති වෙන ශාරීරික වෙනස්කම් ය. එහෙත් ඒ උපදෙස් එසේ වෙනස් වන්නේ ඇයි?
හැම සත්ත්ව විශේෂයකට ම එයට ආවේණික වූ ජාන කීටුවක් (gene pool) තියෙනවා. ජාන කීටුව යනුවෙන් හඳුන්වන්නේ එම සත්ව විශේෂයේ හැම සාමාජිකයෙකු තුළ ම අඩංගු සියලු ම ජාන වලටයි. එම සත්ව විශේෂය තුළ ඇතිවිය හැකි සියලු ආකාරයේ ජාන විචලන (variations) වල එකතුවක් එම ජාන කීටුව තුළ නියෝජනය වෙනවා. ඉතින් එසේ ඇතිවිය හැකි ජාන විචලන වල එකතුවෙන් තමයි දෙමව්පියන් හරහා ජාන උප කුලකයක්(sub-set) දරුවන්ට උරුම වන්නේ.
එහෙත් දෙමව්පියන්ගෙන් දරුවන්ට ජානමය තොරතුරු උරුම වීමේ ඇතැම් අවස්ථා වල දී අහඹු සදොස් වීම් ඇති වන්නට පුළුවන්. මෙය හඳුන්වන්නේ ජාන විකෘති වීම හෙවත් මියුටේෂන් (mutation) යන නමින්. ජීවි විශේෂයක ජාන කීටුවට නව විචලන(variations) එක් වෙන මූලික ප්රභවය මේ ජාන විකෘති වීමයි. බොහෝ විට මෙවැනි අහඹු ජානමය වෙනස් වීම් නිසා එම ජානය උරුම කරගන්නා සත්වයාට කිසිදු විශේෂ බලපෑමක් ඇති නොවන්නට පුළුවන්. එහෙත් ඉඳහිට ඇතැම් ජාන විචලනවලට සත්වයාගේ පැවැත්මට හා ප්‍රවර්තනයට බෙහෙවින් වැඩදායක වන ප්‍රතිඵල උදා කර දිය හැකියි. ගැසල් මුවෙකුගේ පාද දික් වීමට තුඩු දෙන ජාන විකෘතියක් එම සත්වයාට වඩා වේගයෙන් දිවීමේ හැකියාව ලබා දීමෙන් විලෝපියෙකුගේ ලුහුබැඳීම් වලින් ගැලවීමට ගැසල් මුවාට ඇති ශක්‍යතාව වැඩි කරනවා. ඒ අනුව අවම වශයෙන් එම සත්වයාට අදාළ ජාන විකෘතිය තමන්ගෙන් බිහි වන දරුවන්ටත් උරුම කර දීමට හැකි වන තෙක් ජීවත් විය හැකියි. මේ අන්දමට අර කී ජාන විකෘතිය එම සත්ව විශේෂයේ ජාන කීටුවේ ම ආවේනික කොටසක් බවට පත් වෙනවා.
මේ අන්දමින් බෙහෙවින් වැඩදායක වන ජාන විකෘත වීම් ප්‍රජනනය මගින් පරපුරෙන් පරපුරට සංරක්ෂණය වෙමින් පැවතීමයි අප ස්වාභාවික වරණය(natural selection) මෙහි දී හඳුන්වන්නේ. වසර මිලියන ගණනක් තිස්සේ මෙසේ වැඩදායක නව ජාන එකතු වීම නිසා මිහිපිට මුල් ජීවිතයට වර්තමාන සංකීර්ණ ජිවි විශේෂ දක්වා විවිධ ස්වරූප වලට පරිණාමය වීමට ඉඩ සැලසුණා.
- බොහෝ සත්ව විශේෂ අතර ඇතැම් සමාන ලක්ෂණ තිබීම ඔවුන් සියල්ලන්ට ම එකම සම්භවයක් තිබුණ බවට හොඳ සාධකයකි.
මිහිමත වෙසෙන ජීවී විශේෂ සියල්ල අතර දුරින් හෝ ඥාති සම්බන්ධයක් පවතින බව ඇත්තක්. ප්‍රමාණවත් තරම් අතීතයකට ඔබ ආපසු ගියොත් මනුෂ්‍යයාගේ සිට බැක්ටීරියා දක්වාත් කිඹුලාගේ සිට කෙසෙල් ගෙඩිය දක්වාත් හැම ජීවි විශේෂයක් ම තවත් ජීවි විශේෂයක් හා සම්බන්ධ වන පූර්වජයා සොයා ගැනීමට ඔබට හැකි වේවි. ඒ අනුව මිහිමත බිහි වූ මුල්ම ජීවිතයේ සිට හැම වර්ගයක ම ජීවිත බෙදී ගිය හැටි දක්වන සුවිසල් පවුල් ගහක් අපට ඇඳ පෙන්විය හැකියි.
අපේ ඒ හවුල් ඉතිහාසය පිළිබඳ ඕනෑ තරම් සාක්ෂි හැම තැනකින් ම මතු කර ගත හැකියි. වවුලෙකුගේ ඇට සැකිල්ලක් පරීක්ෂා කර බැලුවොත් එය කොයි තරම් විස්මය දනවන ලෙස මිනිසෙකුගේ ඇටසැකිල්ලකට සමාන දැයි ඔබට වැටහේ වි. වවුලෙකුගේ අතක සැකිල්ල සැලසුම් වී ඇත්තේත් මිනිසෙකුගේ ඇඟිල්ල සැලසුම් වී ඇත්තේත් එකම ආකාරයටයි. වෙනසකට ඇත්තේ පියාපත රඳවා ගැනීම පිණිස වවුලාගේ ඇඟිලි මිනිසාගේ ඇඟිලි වලට වඩා බෙහෙවින් දිගු වීමයි. ජීවි විශේෂ අතර මේ අන්දමේ සමාන කම් හඳුන්වන්නේ සමප්‍රභව (homologous) ලක්ෂණ යන නමින්.
සමප්‍රභව ලක්ෂණ පවතින්නේ මිනිසුන් සහ වවුලන් අතර පමණක් නොවෙයි. මිනිසුන් මෙන් ම හැම ක්ෂීරපායී සත්වයෙකුට ම අපේ පොදු පූර්වජයා ගේ ඒ මූලික සැකිල්ලෙන් ම උරුම වූ සැකිලි මාදිලියක් තියෙනවා. නව ප්රයෝජ්යතා සඳහා උපයෝගී කර ගත හැකි ලක්ෂණත් සමග අනුරූප වෙමින් ඒ සැකිල්ල පරිණාමනයට ලක් වෙනවා. උදාහරණයක් ලෙස අත්තටු බැලුවොත් ඒවා වර්ධනය වුණේ ඇඟිලි ඇට දිගින් සහ ශක්තියෙන් වැඩිවීමෙන්. මෙසේ තල්මසුන්ගේ සහ ඩොල්පින් මසුන්ගේ ක්ෂීරපායී සැකිලි කල්ප කාලාන්තරයක් ගත වීමේ දී සාගර තුළ කාර්යක්ෂම ලෙස භාවිතා කිරීමට උවිත ලෙස හැඩගැසුනා.
මේ හවුල් සම්භවය පිළිබඳ සාක්ෂි ජීවීන්ගේ අණුක(molecular) මට්ටමේ දී වූවද ඉතා තීරණාත්මක ලෙස සනාථ වී තිබෙනවා. උදාහරණයකට ගත්තොත් ජාන සුසැදී ඇති ඩී.එන්.ඒ කේත (DNA codes) අවිචල්‍ය ලෙස සියලු ම ජීවීන්ට පොදුයි. මේ කේත (codes) මගින් ලියැවී ඇති දේවල් ජීවි විශේෂයෙන් ජිවි විශේෂයට වෙනස් වන නමුත් මිනිසා සම්බන්ධයෙන් ගත්තත් දිලීර සම්බන්ධයෙන් ගත්තත් සියල්ලෝ ම හවුල් පූර්වජයෙක්(shared ancestor) ගෙන් පැවත එන බව තහවුරු කරමින් ඩී.එන්.ඒ කේත වල ආකෘතිය සම්පූර්ණයෙන්ම එක හා සමානවයි සැදී තියෙන්නේ.
- ඇතැම් විට පරිණාමීය වෙනස් වීම් අපට බලා ගැනීමට හැකි අන්දමින් සිදුවීම පරිණාමවාදය ඇත්තක් බවට හොඳ සාධකයක්.
සිදුවන ආකාරයක් යථා වශයෙන් ම දැක බලා ගැනීමට නොහැකි වීම නිසා පරිණාමය යනු තහවුරු කළ හැකි සත්‍යයක් නොවන බව නිර්මාණවාදීන්(creationists)බොහෝ විට තර්ක කරණවා. ඇත්ත වශයෙන් ම පරිණාමීය ක්‍රියාවලියෙන් වැඩි ම කොටසක් සිදු වුණේ මිහිපිට මනුෂ්‍යයන්ගේ සම්භවය ඇති වීමට බොහෝ කලකට පෙරයි. ඒ නිසා අපරාධයක් සිදු වූ ආකාරය සොයන රහස් පරීක්ෂකයෙකුට මෙන් පරිණාමවාදියෙකුට ද සිදු ව ඇත්තේ අවුරුදු බිලියන ගණනකට පෙර ඇතිවූ ක්‍රියාවලියකින් ශේෂ වූ හෝඩුවාවල් පර්යේෂණාත්මක ව විමසා සිදු වූයේ කුමක් ද යන්න තීරණය කිරීමයි.
කෙසේ වෙතත් පරිණාමය යනු හුදෙක් ඒ සා ඈත අතීතයක දී පමණක් සිදු වූවක් නොවෙයි. ජීවත් වෙන ෆොසිල යැයි හැඳින් වෙන සමහර ජීවීන් වසර මිලියන ගණනාවක් තිස්සේ වෙනස් වී නැති නමුත් ඇතැම් සත්ත්වයන් සම්බන්ධයෙන් නම් පරිණාමීය ක්‍රියාවලිය දශක කිහිපයක් තුළ, එනම් නිර්මාණවාදීන් ගේ තර්කයට පටහැණි ව, අපේ ඇස් පනා පිට ම දැක ගත හැකියි.
1971 දී විද්‍යාඥයන් පිරිසක් විසින් කරන ලද පර්යේෂණයක දී එක් මධ්‍යධරණි දූපතක ජීවත් වූ කටුසු විශේෂයකින් සමූහයක් කලින් කිසිදු කටුස්සෙක් නො සිටි අසල් වැසි දූපතකට යැවුවා. ඉන් පසු 2009 දී තවත් විද්‍යාඥයන් පිරිසක් කටුස්සන් අලුතින් නිවහන කරගත් දූපතට පැමිණ ඔවුන් නව පරිසරයට කෙසේ හැඩ ගැසී ඇත්දැ’යි නිරීක්ෂණය කළා. ඔවුන් සොයා ගත පරිදි පරණ දූපතේ වෙසෙන කටුස්සන් හා සසඳන විට අළුත් දූපතට සංක්‍රමණය කළ කටුස්සන් ගෙන් පැවත එන්නන් දශක කිහිපයකට පසු කැපී පෙනෙන ලෙස පරිණාමය වී තිබුණා. පැරණි දූපතේ දී ඔවුන්ට හුරුපුරුදු ව තිබූ ආහාරය වූ කෘමි වර්ග වල සතුන් අලුත් දූපතේ නො සිටි බැවින් අළුත් දූපතේ කටුස්සන්ගේ හකුපාඩා වන ඵල ආහාරයට ගන්නා ශාක භක්ෂකයෙකුට උචිත ආකාරයෙන් විශාල වී තිබුණ අතර ආහාර ජීර්ණ පද්ධතිය ද නව ආහාර ප්රභවයට ගැළපෙන ලෙස පරිණාමය වී තිබුණා.
එවැනි පරිණාමීය වෙනස් වීම් ඇත්ත වශයෙන් ම අති විශේෂ සිදු වීම් නොවෙයි. එහෙත් මේ සිද්ධියේ විශේෂත්වය වුණේ ඇදහිය නොහැකි වේගයකින් නව පරිසරය තුළ කටුස්සන්ගේ පරිණාමය සිදු වීමයි. දශක කිහිපයක් වැනි සුලු කාලයක් තුළ පරිණාමය විසින් මෙසේ එකම කටුස්සන්ගේ උප විශේෂයක් බිහි කරනු ලැබීම පරිණාමීය ක්‍රියාවලිය තහවුරු කරන තීරණාත්මක සාක්ෂියක්.
- පෘථිවියේ වයස මනින ‘ඔරලෝසු’ පරිණාමයේ සත්‍යතාව හා එය සිදු වූ කාල වකවානු තහවුරු කිරීමට යොදා ගත හැකියි.
බයිබලයේ සඳහන් වී ඇති සිද්ධීන්ට අනුව යමින් පෘථිවියේ ඇත්ත වයස අවුරුදු 6000ක් පමණ යැයි සිතන බොහෝ නිර්මාණවාදියෝ අද පවා ඉන්නවා. පරිණාමය වැනි දෙයක් ඒ සා සුලු කාල පරාසයක් තුළ දී සිදු විය නොහැකි යැ’යි සිතන ඔවුන් ඒ අනුව හැම සත්ත්ව විශේෂයක් ම දෙවියන් වහන්සේ විසින් වෙන් වෙන් ව මවන ලදැයි ද විශ්වාස කරනවා. නිර්මාණවාදීන් ගේ මේ තර්කය සත්තකින්ම අසත්‍යයක්. පෘථිවියේ ඇත්ත වයස අවුරුදු බිලියන 4.6 ක් පමණ වෙනවා. අද අපට දකින්නට ලැබෙන අති විශාල විවිධාකාර ජීවී විශේෂ සංඛ්‍යාව පරිණාමය මගින් බිහි කිරීමට ඒ සා විශාල කාල පරාසයක් හොඳට ම සෑහෙනවා.
පාෂාණ සහ අනෙකුත් කාබනික ද්‍රව්‍ය වල වයස විවිධාකාර මෙවලම් මගින් ගණනය කිරීමෙන් පෘථිවියේ වයස ගැන අවබෝධයක් ඇති කර ගැනීමට විද්‍යාඥයන් සමත් වුණා. මේ වයස පරාසය කොතරම් විශාලදැ’යි කිව හොත් එය මැනීමේ දී විවිධ වයස් මට්ටම් කරා සේන්දු විය හැකි බහුවිධ ‘ඔරලෝසු’ භාවිතා කිරීමට සිදු වුණා. ඒවායින් ඇතැම් ඒවා හරියටම හරි නැහැ. ඊට හේතුව අවුරුදු බිලියන ගණනකට පෙර පෘථිවියේ මුල් ම යුග වලට ඒ මගින් සේන්දු වීම පහසු කටයුත්තක් නොවන නිසයි. එහෙත් ඊට වඩා මෑත දී සිදු වූ පරිණාමීය ක්‍රියාවලීන් නිශ්චිතව වාර්තා කිරීමට හැකි වුණා.
මෙසේ කාල වකවානු මැනීමේ දී භාවිතා කරන මිනුම් මෙවලම් අතරට වෘක්ෂ වල වාර්ෂික වලයන් ගණන් ගැනීම වැනි සරල මිනුම් වල සිට කිසියම් ජීවියෙක් මිය ගොස් කොතෙක් කලක් ගතවීදැ’යි දැන ගැනීමට යොදා ගන්නා සංකීර්ණ කාබන් කාල නිර්ණය දක්වා විවිධාකාර වූ ‘ඔරලෝසු’ යොදා ගන්නවා. හැම භූවිද්‍යාත්මක කාල වකවානුවක් වෙන් කොට හඳුනා ගත හැකි අවසාදන ස්තරයක් (sediments layer)පෘථිවි තලය මත ඒ ඒ අවධි වල දී තැන්පත් වී තිබෙනවා. එසේ පෘථිවියේ වඩා ගැඹුරට යන්නට යන්නට තැන්පත් ව තිබෙන අවසාදන ස්තර වල පැරණි කම ද වැඩි වෙනවා. ඒ එක් එක් ස්තරයේ දී හමුවන සත්ව ෆොසිල (fossils) හෙවත් පාෂාණිභූත අයත් වන්නේ ඒ ස්තරය තැන්පත් වූ කාල වකවානුවේ ජීවත් වූ සත්ව විශේෂ වලටයි. පාෂාණ වර්ග වල වයස සෙවීමට විද්‍යාඥයන්ට හැකි බැවින් ඒ ඒ ස්තරයේ අවසාදිතව ඇති පාෂාණ වල වයස අනුව එම ස්තරයේ තැන්පත් ව ඇති ෆොසිල වල වයස ද ගණනය කිරීමට හැකියි. ඒ අනුව මිහිමත ජීවිතය යනු වසර බිලියන ගණනක් තිස්සේ පරිණාමය වූ දෙයක් මිස මීට වසර 6000කට පෙර ඇති වූවක් නොවන බව සක්සුදක් සේ පැහැදිලියි.
- තම ආදිතමයන්ගේ ශරීරාවශේෂ ඇතැම් විට නූතන ජීවීන් විසින් ද උරුම කර ගනු ලැබීම ජීවීන් යනු පරිණාමයෙන් බිහි වූ අය මිස නිර්මාණයකින් බිහි වූ අය නොවන බව තහවුරු කරන එක් ප්‍රබල සාධකයක්.
සියලු ස්වරූපවල ජීවීන් සර්වබලධාරී දෙවි කෙනෙකු විසින් සැලසුම් කොට නිර්මාණය කරන ලද බව නිර්මාණවාදීන් විශ්වාස කරනවා. එහෙත් තරමක් ප්‍රවේසමෙන් විමසන විට විවිධ ජීවින් ගේ ශරීර වල ඇති ‘වැරදීම්’ සහ අඩුපාඩු කම් අපට පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. ඒ නිසා ජීවීන් යනු දෙවියන් විසින් නිර්මාණය කරන ලද්දක් නම් ඒ නිර්මාණකරණය හොඳින් ඉටු කළ එකක් බව පෙනෙන්නට නැහැ. උදාහරණයක් වශයෙන් මනුෂ්‍ය ශරීරයේ අධෝ භාගයේ කොනක හමට යටින් සැඟවුණු වල්ග කොටයක් තියෙනවා. නිර්මාණ කරුවා දක්ෂයෙක් නම් මේ කමකට නැති ශරීරාංගය ඔහුගේ සැලැස්මට ඇතුළ් කළේ ඇයි.?
මේ ‘වැරදීම්’ ඇත්ත වශයෙන් ම වෙනත් කිසිවක් නොව අපේ මානව විශේෂයේ පරිණාමීය ඉතිහාසය පිළිබඳව ඇති වැදගත් සාක්ෂියි. අපේ ආදිතමයන්ගෙන් උරුම වූ ඇතැම් ශරීරාවශේෂ ‘වැරදීම්’ ලෙස අපේ ශරීර වල ද දැක ගන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් හිරිගඩු පිපීම යනු ඇඟ පුරා ලොමින් ගැවසීගත් අපේ ආදිතමයන්ගේ සිරුරේ උෂ්ණත්වය පාලනය කිරීම පිණිස ලොම් උස් පහත් කිරීමට උපයෝගී වූ ක්‍රියාවක්. එදා මෙන් ශරීරය වසා ගත් ලොම් දැන් නැති වුනත් නූතන මානවයන්ගේ ශරීර වල ද එම හිරිගඩු පිපීම තවම ශේෂ වී තියෙනවා.
එමෙන්ම මිනිස් ඇස විකසනය වීම වැනි පරිණාමීය වර්ධනයන් සිරුරේ අනෙකුත් ඉන්ද්රිය මගින් ද අනුවර්තනය කර ගෙන තියෙනවා. ඒකට විශේෂ හේතු තියෙනවා. මිනිස් ඇස අවුරුදු මිලියන ගණනාවක පරිණාමයේ ප්‍රතිඵලයක් වුණත් තවමත් එය මුලුමනින් ම පරිපූර්ණ වූ වර්ධනයක් නෙවෙයි. ඇත්ත වශයෙන් ම අපේ ඇසට යමක් පේන්නේ උඩ යට මාරු වෙලා . නමුත් ඇසේ භාවිතය අපට ප්‍රයෝජනවත් විය යුතු නිසා අපේ මොළය පරිණාමය වී තිබෙන්නේ ඇසෙන් උඩු යටිකුරු කොට මොළයට එවන පින්තූර ඒ එසැනෙන් ම නිවැරදිව සකස් කිරීමටයි. ඉතිං හොඳ නිර්මාපකයෙක් නම් උඩු යටිකුරු වෙන දෘෂ්ටියක් නිර්මාණය කරන්නේ ඇයි?.
පියාඹිය නොහැකි ඇතැම් පක්ෂීන් අද කාලයේ සිටිය ද සියලු ම පක්ෂීන් පැවත එන්නේ පියාඹිය හැකි පක්ෂියන්ගෙන්. එහෙත් පියාඹිය නොහැකි පක්ෂීන් ළඟ ද පියාඹිය හැකි ව සිටි ඔවුන්ගේ ආදිතමයන්ගෙන් ශේෂ වී එන ශරීර ලක්ෂණ තියෙනවා. පියාසර කිරීම තවදුරටත් අවශ්‍ය නොවන පරිසර තුළ ජීවත් වීම ඇරඹූ දා සිට එම පක්ෂීන්ගේ පියසර කිරීමේ හැකියාව මුළුමනින් ම නැති වී ගියත් පියසර කළ ආදිතමයන්ගෙන් ශේෂ වූ අවශිෂ්ට පියාපත් කොට අර පියාපත් පිහිටි තැන්වල තවමත් තියෙනවා. මේ පක්ෂීන්ගේ ශරීර වලට තමන්ගේ පරිණාමීය ඉතිහාසය සඟවන්නට බැහැ.
- ෆොසිල වාර්තා වල හිදැස් ගැන නිර්මාණවාදීන් වැරදි අර්ථකතන දීමට තැත් කළ ද ජීවීන්ගේ අඛණ්ඩ පරිණාමය ගැන ෆොසිල ඉතා තීරණාත්මක සාක්ෂි සපයනවා.
පරිණාමවාදය ගැන තීරණාත්මක සාක්ෂි සපයන එක් ප්‍රභවයක් වන්නේ ෆොසිල පිළිබඳ විස්තරාත්මක වාර්තායි. ඉපැරණි ජීවි විශේෂ වල සිරුරු අවසාදිත අතර සංරක්ෂණය වී ගල් වීමෙන් බිහි වූ මේ ෆොසිල මිහිමත ජීවිතය විකසනය වූ ආකාරය පිළිබඳ ඉතා විශ්වසනීය හෝඩුවා ලබා දෙනවා.
එහෙත් ඇතැම් ෆොසිල වාර්තා වල ඇති හිදැස් නොහොත් අනුපිළිවෙළකට නොමැති වීම නිර්මාණවාදීන් අර්ථ දක්වන්නේ පරිණාමවාදයේ කිසියම් අඩුවක් ඇතැ’යි පෙන්වීමටයි. එකිනෙකට වෙනස් ජීවි විශේෂ සම්බන්ධව ෆොසිල වාර්තා වල ඇති නොයෙකුත් අසම්පූර්ණතා ජීවීන් පරිණාමය නොවූ බවට ඇති වැදගත් සාක්ෂියක් යැයි නිර්මාණවාදීන් පවසනවා. ෆොසිල ස්තර දෙකක් අතර එම ස්තර වල නියෝජනය වන ජීවීන් දෙවර්ගයේ අන්තර් සම්බන්ධ කම් සහිත තවත් ෆොසිල වර්ගයක් නො පෙන්වන ස්තරයක් ඇත්නම් ජීවය යනු විවිධ යුග වල විසූ ජීවි විශේෂ අතර අඛණ්ඩ අන්තර් සම්බන්ධතාවකින් පැවත ආ එකක් යැයි තහවුරු නොවන බවද ඔවුන්ගේ එක් තර්කයක්. උදාහරණයක් වශයෙන් කිඹුලෙක් සහ පාත්තයෙක් අතර අන්තර් සම්බන්ධතාව පෙන්වන කිඹුල්-පාත්තයෙක් හෝ පාත්ත-කිඹුලෙකුගේ ෆොසිලයක් දක්නට නො තිබීම නිර්මාණවාදීන්ට විශාල ප්‍රශ්නයක්.
එහෙත් නිර්මාණවාදීන් ගේ මේ තර්කය මුලුමනින් ගොඩ නැගී ඇත්තේ පරිණාමය සිදු වන්නේ හරියටම කෙසේ ද යන්න පිළිබඳ ව ඔවුන් තුළ ඇති දුරවබෝධය මතයි. වර්තමානයේ ජීවත් වන කිසිදු ජීවි විශේෂයක් වෙනත් ජීවි විශේෂයකින් සෘජු ව ම පැවත එන්නන් නොවේ. ඒ නිසා අතර මැදි ජීවි විශේෂ නැහැ. කිඹුල්-පාත්තයෙක් හෝ පාත්ත-කිඹුලෙක් හෝ කවදාවත් ජීවත් වුණේ නැහැ. එහෙත් ප්‍රමාණවත් තරම් ඈත අතීතයට යා හැකි නම් කිඹුලා සහ පාත්තයා යන දෙදෙනාට ම පොදු වූ පූර්වජයෙක් විසූ බව දැන ගන්නට පුළුවන්. එහෙත් එම පූර්වජයා කිඹුලෙකුගේ හෝ පාත්තයකුගේ හෝ ස්වරූපය ගත්තේ නැහැ. ඇත්ත වශයෙන් ම එම පූර්වජයා ට තිබෙන්නට ඇත්තේ කිඹුලෙකුගේ හෝ පාත්තයකුගේ හෝ ස්වරූපයෙන් මුළුමනින් ම වෙනස් වූ ස්වරූපයක්.
එහෙත් පරිණාමීය මාර්ගය පැහැදිලි කරන අතරමැදි ෆොසිල බොහෝයි. පළමුවෙන් ම සාගර ජීවීන් සාගරයේ සිට ගොඩ බිමට සේන්දු වී අනතුරුව උභයජීවින්, උරගයන්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ආදී වශයෙන් පරිණාමය වූ හැටි පෙන්වන ෆොසිල අවශේෂ සැලකිය යුතු ප්‍රමාණයක් දැනට සොයා ගෙන තිබෙනවා. තල්මසුන් සහ ඩොල්පින් මසුන් ගොඩ බිම සිට නැවත සාගර ජීවිතයට සංක්‍රමණය වූ ආකාරය හුවා දක්වන ෆොසිල පවා සොයා ගෙන තියෙනවා. ෆොසිල මගින් නිශ්චිතව තහවුරු කර ඇති සාක්ෂි වලට අනුව පරිණාමය යනු ප්‍රතික්ෂේප කළ නොහැකි ක්‍රියාවලියක් බව පරිණාමවාදය හරියට තේරුම් ගත් විට හොඳින් පැහැදිලියි.
- පරිණාමය ඇත්තක් බව පිළිගැනීමට බොහෝ අය පැකිළුනත් පරිණාමවාදය යනු හුදු මතයක් නොව තහවුරු කළ විද්‍යාත්මක පරිසිද්ධියක් (fact).
1859 චාල්ස් ඩාවින්ගේ ජීවීන්ගේ සම්භවය ගැන (on Origin of Species) නමැති ග්‍රන්ථය පළ කළ දා සිට ස්වාභාවික වරණයෙන් පරිණාමය සිදුවන බව තීරණාත්මක ව තහවුරු කරන අළුත් සාක්ෂි අති විශාල ප්‍රමාණයක් සොයා ගෙන තියෙනවා. උදාහරණයක් වශයෙන් දෙමව්පියන්ගෙන් දරුවන්ට ආවේණික ලක්ෂණ උරුම වන අන්දම නූතන ජාන විද්‍යාව විසින් පැහැදිලිව එළිදරව් කරනු ලැබ තියෙනවා.
ඒ කෙසේ වුනත් පරිණාමවාදය පිළිබඳව ඇති දුරවබෝධය සහ එයට පසුබිම් වන විද්‍යාව පිළිබඳ නොතේරුම්කම නිසා එයට විරුද්ධව පහර ගහන අය කොතෙකුත් ඉන්නවා. මේ අය ඇත්ත වශයෙන් ම කරන්නේ අපේ ඇත්ත ඉතිහාසය ප්‍රතික්ෂේප කිරීමක්. ඒ ගැන මැනවින් තහවුරු කරනු ලැබූ කරුණු පිළිගැනීම ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. එහෙත් සංඛ්‍යාවෙන් උතුරු ඇමෙරිකානු ජනගහනයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් පරිණාමය පිළිගැනීමට මැළි වන බැවින් පරිණාමවාද විරෝධීන්ට ද සැලකිය යුතු හඬක් තියෙනවා.
පරිණාමවාදය ප්‍රතික්ෂේප කිරීමේ මේ ප්‍රවණතාවය ට ආගම සහ නිර්මාණ වාදය බලපාන බව ඇත්තක්. එහෙත් සත්‍ය පිළිගැනීමට මිනිසුන් මැලි වීමට වෙනත් හේතුත් තියෙනවා. ඒවා අතර මධ්‍ය කාලීන යුගයේ සිට පැවති විශ්වාසයක් වන සත්ව ධූරාවලියේ ඉහළින් සිටින බැවින් මිනිසා අනෙකුත් සියලු ම සත්වයන්ට වඩා උත්තරීතරයි යන හැඟීම එක ප්‍රබල හේතුවක්. ඇතැම් සතුන් අනෙක් සතුන්ට වඩා උත්තරීතරය යන මේ මතය පරිණාම වාදයට සහමුලින්ම පටහැණි වූවක්. පරිණාම වාදය පැහැදිලිව පෙන්වා දෙන පරිදි පරිණාමයේ එකම සහ ඒකායන අරමුණ වන්නේ ජීවීන්ගේ ප්‍රවර්තනය(survival) සහ ප්‍රජනනය (procreation) සහතික කිරීම මිස මහේශාඛ්යත්වයක් කරා මිනිසා ඔසවා ගෙන යන සත්ත්ව ධූරාවලියක් ඇති කිරීම නොවේ.
පරිණාමය ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් කරන කිසිදු හේතුවක් නිවැරදි නොවේ. පරිණාමය යනු අද ජීවත්වෙන ජීවීන් සහ ෆොසිල වල සංරක්ෂණය වී ඇති ජීවීන් ගේ සිරුරු සම්බන්ධව කරන ලද නිරීක්ෂණ වලින් තහවුරු වූ විද්‍යාත්මක සාක්ෂි මත ගොඩ නගා ඇති පැහැදිලි පරිසිද්ධියක් (fact). මේ ඓශ්චර්ය ජනක පරිණාමය ඇත්ත වශයෙන් ම මිහිපිට ඇති විශිෂ්ටතම සංදර්ශනයයි. ඒ නිසා එය ඇති සැටියෙන් ම උත්කර්ෂයට නැංවීම වටී.
සැකසුම: විජයානන්ද ජයවීර