
(2020 නොවැම්බර් 25 Sri Lanka College of Journalism ශිෂ්‍යයින්ට කරන ලද ඔන් ලයින් දේශනය.)
ජනමාධ්‍ය ආචාර ධර්ම ලයිස්තු කොතෙකුත් තිබේ. එහෙත් අනෙකුත් ඇතැම් වෘත්තීන් ( උදා: වෛද්‍ය, විද්‍යාඥ) වල මෙන් ආචාරධර්ම අනුව වෘත්තිය නියාමනය කරන ජන සම්මත ස්වාධීන ක්‍රමවේදයක් පැවතීම ජනමාධ්‍යවේදය සම්බන්ධයෙන් බෙහෝ විට විරලය. ඒ නිසා ජනමාධ්‍යවේදය සම්බන්ධයෙන් අඩු වශයෙන් ආයතන මට්ටමෙන් හෝ කෙරෙන ස්වයං නියාමනයක් අදාළ විය යුතු බව ඇතමුන් විශ්වාස කරති. එහෙත් සිය ආයතන තුළ වෘත්තීය වශයෙන් ස්වාධීනව සංවිධානය වීමේ ශක්තියක් නැති, ප්‍රබල වෘත්තීය සංලේඛ්‍ය නිදහසකින් තොර ජනමාධ්‍යවේදීන් සිටින රටක ස්වයං නියාමනය යනු හුදු මිරිඟුවක් පමණක් බව ඒ රටවල ඇතැම් ජනමාධ්‍ය වල දුෂ්කල්කිරියා සහ ඒ සම්බන්ධයෙන් එකී ආයතන වල ජනමාධ්‍යවේදීන් අතර ඇති නිහඬ බව දෙස බැලූ විට පෙනේ. එහෙත් ආචාර ධර්ම වල පදනම කුමක්ද යන්න පිළිබඳ සැලකිය යුතු අවබෝධයක් ඇතිකර ගැනීම ජනමාධ්‍යවෙදීන්ගේ වෘත්තීය අභිවෘදියට මෙන්ම පාඨකයන්ගේ සහ ග්‍රාහකයන්ගේ ජනමාධ්‍ය සාක්ෂරතාවයටද වැදගත්ය.
මගේ මෙ මැදිහත් වීමේ අරමුණ ජනමාධ්‍ය ආචාර ධර්ම වලට පදනම ලෙස ජනමාධ්‍යවේදයේ එන Journalistic Objectivity හෙවත් ජනමාධ්‍යවේදී වාස්තවිකත්වය යන සංක්ලපය තරමක් ගැඹුරින් සාකච්ඡාවට ලක් කිරීමයි. Objectivity හෙවත් වාස්තවිකත්වය යන්න විවිධ දෘෂ්ටිකෝණ වලින් මෙහිදී විස්තරාත්මකව සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමු. එතෙක් Journalistic Objectivity හෙවත් ජනමාධ්‍යවේදී වාස්තවිකත්වය යනු වාර්තාකරණය සම්බන්ධයෙන් ජනාධ්‍යවේදීයා විසින් ගනු ලබන තීරණ හුදෙක් කරුණුමය සත්‍ය සහ විශ්වසනීය සාක්ෂි මත පදනම් වූ ඒවා මිස කිසිවෙකුගේ හෝ කිසියම් කන්ඩායමක ආත්මීය (subjective) පක්ෂග්‍රාහීත්වය මත පදන්ම වූ ඒවා නොවේ වීම යන වඩා සරල තේරුම දැනට හිතේ තබා ගනිමු. මේ මැදිහත්වීමේදී වාස්තවිකතාවයට එරෙහිව තිබෙන ඇතැම් දාර්ශනික හා ශ්‍රාස්ත්‍රාලීය විවේචන මෙන්ම දාර්ශනික මතවාද වලදී කෙසේ වෙතත් ජනමාධ්‍යවේදයේදී ඒවා වලංගු නොවන්නේ ඇයිද යන කරුණද සාකච්චා කිරීමට මම බලාපොරෙත්තු වෙමි.
ජනමාධ්‍යවේදියාගේ වෘත්තීය කල්කිරියාව ශික්ෂිත වන තරමට ජනමාධ්‍යවේදය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ මහාර්ඝ කලාවකි. ඊට හේතු බෙහෝය. කිසියම් ස්වයංපාලනයක් පවත්වා ගැනීම පිණිස සමාජය සමාජයත් සමගම කරන සංනිවේදනයට අත්‍යවශ්‍ය වන එදිනෙදා පුවත් තොරතුරු සහ විශ්ලේෂණ සපයනු ලබන්නේ ජනමාධ්‍යවේදීන් විසිනි. එමෙන්ම ස්වදේශීය මෙන්ම ගෝලීය ප්‍රජාවක් තුළ තමන්ට හිමි වන ස්ථානය පිළිබඳ කිසියම් වැටහීමක් ඇති කරගැනීමට මහජනයාට හැකිවන්නේ කලක් තිස්සේ මාධ්‍ය හරහා ග්‍රහණය කරගනු ලබන ප්‍රවෘති, රූපරාමු හා තොරතුරු නිසාය. මාධ්‍යයේ එන නොයෙක් පුවත් මගින් අසාධාරණකම්, අහංකාරකම්, බල අරගල, ව්‍යසන, ලැදියාවන් පිළිබඳ ප්‍රශ්න මෙන්ම ඇතැම් ඉෂ්ටාර්ථ සපුරා ගැනීම්ද නිරූපණය වෙයි. පුවත්මාධ්‍ය වලින් මතුකරණ මූලික කරුණු අනුව යමින් රටවැසියන් තමන්ට බලපාන වැදගත් පංගුකාරී මෙන්ම තරඟකාරී වටිනාකම් පිළිබඳවද දැනුවත් වේ. වෘත්තීය පරිණතිය අතින් ජනමාධ්‍ය ඉහළ නම් ජන සමාජයට තම සමාජයීය ආයතන ප්‍රතිසංස්කරණය කරගනිමින් අනාගතයට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව වඩා වඩා දැනුවත් කතිකා හා විවාද වල යෙදිය හැකියි. ඒ නිසා පරමාධ්‍යාෂයක් ලෙස සැලකූ විට ජනමාධ්‍යවේදය යනු අපේ කතිකාමය ප්‍රජාතන්ත්‍රවාදයේ (deliberative democracy) ජීව රුධිරය විය යුතුය.
අනෙක් අතට අශික්ෂිත ජනමාධ්‍යවේදය යනු කපටි වාචාලකාරයන්ගේ හා ආධානග්‍රාහී මැරයන්ගේ නිවට කලාවකි. ඒ අර්ථයෙන් අශික්ෂිත ජනමාධ්‍යවේදය ජනප්‍රිය ස්වයං පාලනය කඩා කප්පල් කරමින් බලගතු ලැදියාවන්ට සේවය කිරීම පිණිස සිය තොරතුරු නාලිකා හසුරුවන හුදු ප්‍රචාරක මෙවලමක් බවට පත් වෙයි. අත්‍යවශ්‍ය වැදගත් සංලේඛ්‍ය (editorial) කටයුතු පිණිස භාවිතා කරනු වෙනුවට සුලභ වින්දනය සඳහා මාධ්‍ය ආයතන සිය සම්පත් නාස්ති කළ විට හෝ සදාචාර විරෝධී මාධ්‍ය හිමිකරුවන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ අතට ජනමාධ්‍ය පත්වූ විට හෝ ජනමාධ්‍යවේදය අවමානයට සහ නිවට නියාලු බවට පත් වේ.
බලගතු අය ගැන ප්‍රශ්න කිරීමට අපොහොසත් වූ විට මෙන්ම වියදම් කපා හැරීම නිසා විමර්ශන පුවත්පත් කලාවේ ගෙල සිර කරන විට දනින් වැටීමට ජනමාධ්‍යවේදයට සිදුවේ. කූටදේශප්‍රෙමය (jingoism) උද්වේගකාරීවීම (sensationalist) සහ බිය ගැන්වීම වැනි ඉතිහාසයේ ඇති සියලු බාල උපක්‍රම යොදා ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී කාර්ය නොතකා ලාභයම තකා කටයුතු කරන විට ජනමාධ්‍යවේදය පිරිහී යයි. වගකීමකින් තොරව බලය පාවිච්චි කරමින් බාල ප්‍රසිද්දිය හා මුදල් සඳහා ජනමාධ්‍යවේදීන් සිය මහජන වගකීම් අත්හරින විට ජනමාධ්‍යවේදය යනු ප්‍රජාතන්ත්‍ර විරෝධී කලාවකි. පළමු ග්‍රාම්‍ය ආරංචි පත්‍රිකා පළවී සියවස් පහකට පසුවත්, සිය ප්‍රජාතන්ත්‍රවාදී වගකීමට අනුව කටයුතු කිරීම කෙසේ වෙතත්, නිවට නියාලු බවට පත් නොවී සිටීමට ජනමාධ්‍ය තවමත් අරගල කරමින් සිටී.
ජනමාධ්‍යවේදීන් යනු කුලියට ගැනීම සඳහා ඇති සැක කටයුතු ලේඛකයින් ලෙස මුලින් සැලකූ බටහිර සමාජයට, ඒකාලයේ කැලෑ පත්තරකරුවන්ද ඇතුළුව ග්‍රාම්‍ය පුවත් සොඬුන්ගේ අසමාන ප්‍රමිතීන් මත යැපීමට සිදුවිය. එහෙත් වර්තමානයේ පශ්චාත් කාර්මික සමාජය ක්‍රියාත්මක වන්නේ තොරතුරු හා සන්නිවේදනය මතයි. එහි පොදු අවකාශයේ (public sphere) ශක්තිය ජනමාධ්‍යයේ නානා විධත්වය හා ගුණාත්මකභාවය මෙන්ම මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය මතද රඳා පවතී. ජාත්‍යන්තරව ගත්විට, යුද්ධ නැවැත්වීම, මානව හිමිකම් සුරැකීම, සාගත සහන සැපයීම, පාරිසරික ගිවිසුම් ඇති කරගැනීම සහ ජනවාර්ගික ගැටුම් නැවැත්වීම වැනි කටයුතු සම්බන්ධ අවශ්‍ය කරන මහජන සහයෝගය ගොඩ නැගීම කෙරෙහි ගෝලීය ප්‍රවෘත්ති මාධ්‍යවල ක්‍රියාකාරිත්වය සෘජුවම බලපෑම් කරයි. ඒ අනුව විශ්මය ජනක වගකීමක් දැඩි වෙළඳපල තරඟකාරිත්වයකට සහ කොටස් හිමියන්ගේ පීඩනයට මුහුණ දෙන මේ ගෝලීය ප්‍රවෘත්ති සමාගම් වලට තිබේ.
හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ස්වයං පාලනයක් සාක්ෂාත් කර ගැනීමේ ගැටළුව යනු බොහෝ දුරට ප්‍රවෘත්ති මාධ්‍ය මගින් ජනතාව පරිපූර්ණව දැනුවත් කිරීම සහතික කිරීම පිළිබඳ ගැටළුවයි. මේ ගැටලුව අලුත් දෙයක් නොවේ. සිය ප්‍රවෘත්ති වල නිරවද්‍යතාව හා සාධාරණත්වය මහජනයාට ඒත්තු ගැන්වීම පිණිස මීට වසර 80 කට පමණ පෙර ඇතැම් ඇමෙරිකානු පුවත්පත් Objectivity නොහොත් වාස්තවිකතාව පිළිබඳ මූලධර්මය හඳුන්වා දුන්නේය. තත් කාලීන ප්‍රවෘත්ති මාධ්‍යයේ වෘත්තීය නොපනත් කම් ගැන තද බල විවේචනයක් කළ ඇමරිකානු තීරු ලිපි රචක වෝල්ටර් ලිප්මන් එකල ජනමාධ්‍යය බෝවෙන රෝගයකට ගොදුරුව ඇති බව පළ කළේය. ලිප්මාන්ගේ Public Opinion නම් කෘතිය හැරෙන විට එවැනි ප්‍රශ්න කිරීම් නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත රුසියානු විප්ලවය වාර්තා කිරීමේ දී දැක්වූ ආකල්පය විවේචනය කරමින් වෝල්ටර් ලිප්මාන් Test of the News නමින් 1920දී පළ කල කෘතියේ බෙහෙවින් එයි. රටවැසියන්ගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ඇත්ත වශයෙන්ම රඳා පවතින්නේ පුවත්පත්වලින් බලාපොරොත්තුවන විශ්වාසදායක සත්‍ය තොරතුරු මත නම්, එකල අමෙරිකාවේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සැබවින්ම අනතුරට ලක්ව ඇති බව ඔහු තර්ක කළේය. තත් කාලීන පුවත්පත් යනු පළ කරන කරුණු වල නිරවද්‍යතාවය සනාථ කිරීම සඳහා දැඩි ක්‍රමවේදයක් නැති, ඉහළ වෘත්තීය පුහුණුවක් ලත් පිරිස් සහ බලාත්මක කළ හැකි වෘත්තීය ප්‍රමිතීන් නොමැති බලයෙන් ඉදිමී ගිය ආයතන වලින් පළ කරන ඒවා බව ඔහු චෝදනා කළේය. ලිප්මාන් පෙන්වාදුන් පරිදි ජනමාධ්‍යවේදය මගින් ප්‍රජාතන්ත්‍රවාදයට සේවය කළ හැක්කේ ලෝකය පිළිබඳ නිරවද්‍ය වාස්තවික (objective) තොරතුරු සැපයීමෙන් මිස හිතළු ප්‍රබන්ධ බිහි කිරීමෙන් හෝ මිනිසුන් “ඒකාකෘතිකයන්” (stereotypes) බවට පත්කිරීමෙන් නොවේ.
එහෙත් Objectivity හෙවත් වාස්තවිකතාව පිළිබඳ මෙම අදහස මුල සිටම බෙහෙවින් විවාදාත්මක කාරණයක් විය. 1920 ගණන්වල ටයිම් සඟරාව ආරම්භ කළ හෙන්රි ලූස් objectivity හෙවත් වාස්තකවිකතාව මිථ්‍යාවක් ලෙස බැහැර කළේය. සංකීර්ණ ලෝකයේ සිදුවන සිදුවීම් ජනමාධ්‍යවේදීන් විසින් පැහැදිලි කරනු ලැබීම හා අර්ථ නිරූපණය කිරීම අත්‍යවශ්‍ය දෙයක් වන බව ඔහු කියා සිටියේය. 1960 ගණන්වලදී, අමෙරිකාවේ සම්ප්‍රදායික ආයතන විවේචනය කරමින් සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ “විරෝධතා සංස්කෘතිය” වාස්තවික විශේෂඥයින් මෙන්ම නොබැඳුනු ජනමාධ්‍යවේදය පිළිබඳ අදහස සැක කළේය.
ගවේෂණාත්මක පුවත්පත් කලාවද වාස්තවික වාර්තාකරණය (Objective Reporting) අභියෝගයට ලක් කළ අතර අනෙක් මාධ්‍යවේදීන් ආත්මීය(subjective) “පුද්ගලික” පුවත්පත් කලාවක් ප්‍රගුණ කිරීම පිණිස සාහිත්‍යයේ ආභාෂය සෙවූහ. විසි වෙනි සිය වසේ මැද භාගයේ ශ්‍රාස්ත්‍රාලීය බුද්ධිමතුන් objectivity හෙවත් වාස්තවිකතාව යන සංකල්පය පිළිබඳ සැක පළ කිරීම ආරම්භ කළේය. දාර්ශනිකයන්, සමාජ විද්‍යාඥයින්, සමාජ ක්‍රියාකාරීන් සහ වෙනත් අයද වාස්තවිකත්වය (objectivity) සහ විද්‍යාත්මක තාර්කිකත්වයේ අධිකාරය අභියෝගයට ලක් කළහ. විද්‍යාත්මක න්‍යායේ වෙනස්වීම් හා පිළිගැනීම් සම්බන්ධයෙන් සමාජ, ඓතිහාසික හා සංස්කෘතික සාධක අවධාරණය කිරීමේ අවශ්‍යතාවය ගැන කියන නව දර්ශනයක් විද්‍යාත්මක පැහැදිලි කිරීමේ තර්කණය අධ්‍යයනය කළ රුඩොල්ෆ් කාර්නාප් සහ කාල් පොපර්ගේ නායකත්වයෙන් බිහි විය. පැරණි සම්ප්‍රදාය විශ්වාස කළේ ශුද්ධ විද්‍යා, විශේෂයෙන් භෞතික විද්‍යාව නිරවද්‍ය, වාස්තවික දැනුම සහ විද්‍යාත්මක තාර්කිකත්වයට හොඳම උදාහරණයක් බවයි. මේ සම්ප්‍රදාය මගින් නිරීක්‍ෂණය හා න්‍යාය සහ ගවේශනයේ චෛතසික ක්‍රියාවලිය සහ න්‍යාය තාර්කිකව යුක්ති යුක්ත කිරීම අතර තියුණු වෙනසක් පෙන්නුම් කරන ලදී. විද්‍යාත්මක සත්‍යය යනු අනුක්‍රමෙයන් සමුච්චිත හෙවත් රාශිභූත වන එකක් වූ අතර විද්‍යාත්මක පැහැදිලි කිරීමෙහි දෘඩ නිගාමී (deductive) ව්‍යුහයක් තිබුණි. විද්‍යාව යනු ක්‍රමවේදය සහ සංකල්පය ඒකාග්‍රවීමෙන් සැදුනකි.. සියලුම විද්‍යාවන් එකම පොදු ක්‍රමවේද (පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය) සහ තර්කණ ආකෘති (forms of reasoning) භාවිතා කරයි. ඒ අනුව සංකල්පමය වශයෙන් ගත් විට, සමාජ විද්‍යා සංකල්ප හරිනම් අවසානයේ භෞතික විද්‍යා සංකල්ප මෙන් අවකරණය කළ යුතුය.
තෝමස් කුන් වැනි ඉතිහාසඥයින් සහ ඇතැම් සමාජ විද්‍යාඥයින් විසින් ආරම්භ කරන ලද මෙම නව ගුරුකුලය නිරීක්ෂණ හා න්‍යාය අතර තියුණු වෙනසක් තිබෙන බවක් හෝ විද්‍යාවට දෘඩ නිගාමී ව්‍යුහයක් (deductive structure) හෝ තිබෙන බවක් පිළිනොගත්තේය. ඔවුන්ට අනුව විද්‍යාව යනු අනිවාර්යයෙන්ම සමුච්චිත වන දැනුමක් නොවේ. විද්‍යාත්මක වෙනසක් සිදුවීම යනු අවශ්‍යයෙන්ම තාර්කික නොවන එක් විශ්වාස සමූහයක හෙවත් සුසමාදර්ශයක(paradigm) සිට “නව විශ්වාස සමූහයක්” හෙවත් නව සුසමාදර්ශයක් වැළඳ ගැනීම බව කුන් ගේ ප්‍රබල ලියවිලි වලින් අර්ථකථනය විය. මේ නව ගුරුකුලය ඒකාබද්ධ විද්‍යාවක් පිළිබඳ පරමාදර්ශය ප්‍රතික්ෂේප කළ අතර නිගමන සාධාරණීයකරණය කිරීමේ විද්‍යාත්මක ක්‍රමවේද, විද්‍යාවේ ගවේෂණ ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන්ම වෙන් කළ නොහැකි බව විශ්වාස කළේය. ඔවුන් පෙන්වා දුන් පරිදි නවිද්‍යාව, තාර්කිකත්වය සහ වාස්තවිකත්වයේ ප්‍රමිතීන් කාලයාගේ ඇවෑමෙන් යුගයෙන් යුගයට වෙනස්වෙමින් විකාශනය වී ඇත. මේ මතභේදය 1980 දශකය වන විට, සමාජ හා ස්වාභාවික විද්‍යා අතර ඊනියා විද්‍යා සංග්‍රාමයක් දක්වා පිරිහී ගියේය.
මානව විද්‍යාව වැනි ඇතැම් විද්‍යාවන් විසින් නොබැඳුනු ලද විමර්ශකයාගේ වාස්තවික (objective) ක්‍රම අනුගමනය කළ යුතුද? වැනි වැදගත් ප්‍රශ්නද මේ බුද්ධිමය සංග්‍රාමයේදී තදින් මතු වූවකි.
විද්‍යාත්මක තාර්කිකත්වය යනු සංස්කෘතිය හා ඉතිහාසය ඉක්මවා යන්නකි යන අදහස අභියෝගයට ලක්වීම සමාජ විද්‍යාඥයින්ගේ සිත් ගත්තේය. ඊට හේතුව, ඔවුන්ගේ න්‍යායන් ද මූලික ස්වාභාවික විද්‍යාවල එන න්‍යායන් නිශ්පන්න වන විධික්‍රම වලට අනුකූල විය යුතු බවට තිබූ යෝජනා ගැන සමාජ විද්‍යාඥයන් තුළ නොමනාපයක් තිබූ නිසයි. 1970 දශකයේ අගභාගයේදී, ප්‍රමුඛ සමාජ විද්‍යාඥයින් විසින් සමාජීය නිදානය මත දැනුමට හිමිකම් පෑම පැහැදිලි කරන දැනුම පිළිබඳ සාපේක්ෂතාවාදී සමාජ විද්‍යාවක් පිළිබඳ මතය ඉදිරිපත් කරන ලදී. හුදෙක් වාස්තවික විධික්‍රමයක් අනුගමනය කරන බැවින් විද්‍යාව විසින් ලෝකය පිළිබඳ සත්‍ය සොයාගනු ලබයි යන අදහස බටහිර උද්ධච්චකමක් ලෙස ඔවුහු ප්‍රතික්ෂේප කළහ. ඔවුන්ට අනුව විද්‍යාව ඇතුලු සියලු දැනුම සිද්ධාන්ත වලින් පරිපීඩීතය; නොයෙක් වටිනාකම් වල බලපෑමට ලක්ව ඇත; හැරත් ඒවා සියල්ල සමාජමය වශයෙන් ගොඩනගාගත් ඒවාය. වාස්තවිකත්වය පිළිබඳ ප්‍රමිතීන්ද ඇතුළුව හැම චින්තන ක්‍රමයක් ම වලංගු වන්නේ නිශ්චිත සන්දර්භ, ශික්ෂණ සහ යුග සම්බන්ධයෙන් පමණි. ඉතිහාසයෙන් පිටත පිහිටා ඇති “දෙවියන්ගේ ඇසක” දෘෂ්ටි කෝණයකින් බැලිය හැකි වාස්තවිකතාවක් තිබේදැයි ඇතැම් දාර්ශනිකයෝ ප්‍රශ්න කළහ. ඒ අතරින් කිසියම් සංකල්පීය පටිපාටියක් තුළ කෙනෙකුට තදින් තහවුරු කළ හැකි විශ්වාස ගැන හිලරි පුට්නම් වැනි දාර්ශනිකයන් කතා කළ අතර රිචඩ් රොර්ටි වැනි දාර්ශනිකයෝ වාස්තවික දැනුම යනු සොබාදහමේ පිළිබිඹුවක් ලෙස දකින ඒකාන්තයෙන් ශ්‍රේෂ්ට වූ සත්‍යයක් ඇතැයි විශ්වාස කරන “ප්ලේටෝවාදයකට” පහර දුන්නේය.
මේ අතර, 1960 ගණන්වල සිට විද්‍යාත්මක සංස්ථාපිතය හා පුනරුදය ගැන පැවති අදහස් පිළිබඳව සෑහීමකට පත් නොවූ බුද්ධිමය ව්‍යාපාර විසින් එල්ල කරන ලද ප්‍රහාර සඳහා වාස්තවිකතාව යන්න අකුණු සන්නායකයක් බඳු විය. සමාජ විද්‍යාව පිළිබඳ ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය පුනරුදය සහ පෘථක්ජන සංස්කෘතිය (mass culture) යන දෙකෙහිම බලපෑම හෙලා දුටුවේය. ලියොටාර්ඩ් සහ බෝඩ්රිලාර්ඩ් වැනි පශ්චාත් නූතනවාදීන් නොබැඳි සත්‍යයක් පිළිබඳ විශ්වාසය සහ මිනිස් අත්දැකීම් පිළිබඳ ඓතිහාසික විවරණ වල යෙදෙන මහා ආඛ්‍යාන (metanarratives ) වල වලංගුතාවය තරයේ ප්‍රශ්න කළහ. ඇතැම් ස්ත්‍රීවාදීන් වාස්තවිකත්වය යනු ස්ත්‍රීන් විෂයිත(objectify) කරන සහ පරිකල්පනය, දයාව සහ සංවේදනය අවතක්සේරු කරන පීතෘමූලික සමාජයකට අයත් වටිනාකමක් ලෙස විවේචනයට ලක් කළහ. වාස්තවික දැනුමක් ඇතැයි යන ප්‍රවාදය බලය අත්පත්කර ගැනීමේ ප්‍රයත්නයක් ලෙස විනිර්මාණය (deconstruct) කිරීම තුළින් වාස්තවිකත්වය හෙලා දැකීම ඇතැම් බුද්ධිමතුන්ගේ ජනප්‍රිය විනෝදාංශයක් බවට පත්විය. තර්කණය හා සාක්ෂි වල අවශ්‍යතාවය පිළිබඳ ප්‍රශ්නය වෙනුවට විද්‍යාව පාලනය කරන්නේ කවුද? සත්‍යය, තාර්කිකත්වය සහ වාස්තවිකත්වය නිර්වචනය කරනු ලබන්නේ කවුරුන් විසින් ද වැනි දේශපාලන ප්‍රශ්න ඉස්මතුවිය. ඇකඩමියානු ශ්‍රාස්ත්‍රාලීය බුද්ධියේ හා සමාජයේ වරදට වන්දියක් ලෙස වාස්තවිකතාව යන්න රැඩිකල් බුද්ධිමතුන්ගේ බිල්ල බවට පත්විය.
1960 දශකය වන විට, වාස්තවිකත්වය පිළිබඳ ඇකඩමියානු සංශයවාදය ජනමාධ්‍යවේදය පිළිබඳ අධ්‍යයනයටද කාන්දු වී තිබිණි. ඇතැම් ජනමාධ්‍ය විශාරදයන් වාස්තවිකත්වය යනු ප්‍රමුඛ කොපරේට් මාධ්‍යවල කිළිටි ලබ්ධියක් ලෙස සැලකූහ. ඒවා මගින් අනුගමනය කළ වාස්තවික වාර්තාකරණයට තුඩු දෙන නිවාරණ නීති රීති කෝපරේට් ධනවාදයේ වටිනාකම් ශක්තිමත් කරන අතර විකල්ප අදහස් සාකච්ඡා කිරීම වළක්වන සුලු වූ බව ඔවුහු පැවසූහ. මේ මාධ්‍ය විශේෂඥයන් පමණක් නොව ඇතැම් මාධ්‍යවේදීන්ද කියා සිටියේ වාර්තාකරුවන් යනු දේශපාලන ක්‍රියාකාරීන් මිස මධ්‍යස්ථ නිරීක්ෂකයින් නොවන බැවින් ප්‍රවෘත්ති වාස්තවිකතාව (news objectivity) යන්න සාක්ෂාත් කළ නොහැකි දෙයක් බවයි. ඒ මන්දයත් ප්‍රවෘත්ති විකිණීම සාර්ථක කර ගැනීමට ඇති දැඩි වාණිජ පීඩනයකට ලක්ව සිටින්නන් ලෙස පමණක් නොව සිය ලොක්කන් සතුටු කිරීමට සහ ප්‍රවෘත්ති ආයතනයේ දේශපාලනික නැඹුරුවට අනුකූල වන ආකාරයට කටයුතු කිරීමට සිදුව ඇති ජනමාධ්‍යවේදීන්ගෙන් වාස්තවිකතාවයක් බලාපොරොත්තු විය නොහැකි බැවිනි.
මාධ්‍යවේදීන් කරන්නේ හුදෙක් කරුණු වාර්තා කිරීම පමණක් නොවන බව ඇතැම් විවේචකයෝ අතෝරක් නැතිව පෙන්වා දුන්හ. ඔවුන්ට අනුව මාධ්‍යවෙදීහු සිය වාර්තාවට යොදාගන්නා කරුණු, මූලාශ්‍ර සහ වාර්තාවේ “දෘෂ්ටි කෝණය” සම්බන්ධයෙන්ද තෝරා ගැනීම් සිදු කරති. පවත්වාගත හැකි නිර්නායකයක් වුවද objectivity හෙවත් වාස්තවිකතාව නිසා නිල මූලාශ්‍ර පමණක් උපුටා දැක්වීම වැනි තමන්ගේම වූ පක්ෂග්‍රාහී ක්‍රියාමාර්ග ගැනීමට වාර්තාකරුවන් පෙළඹෙන බැවින් ජනමාධ්‍යවේදී වාස්තවිකත්වය අනවශ්‍ය දෙයකැයි මේ විචාරකයෝ පැවසූහ. ඔවුන්ගේ එක් තර්කයක් වූයේ විවේචන වලින් තමන් ආරක්ෂා කරන බැවින් වාස්තවිකතා පිළිවෙත් අනුගමනය කිරීම මාධ්‍යවේදීන් අතර ජනප්‍රිය වී ඇති බවයි.
එහෙත් තර්කානුකූලව බැලූ විට, මෙම විවේචන බොහොමයක් එල්ලය වැරදී ගිය ඒවාය. බොහෝ විවේචකයන් වාස්තවිකතාව පිළිබඳ අතිශයින් සරල හෝ වැරදි උපකල්පන ඉදිරිපත් කළහ. බොහෝ ඒවා අර්ධ සත්‍යයන් හෝ පුළුල් සාමාන්‍යකරණයන්, පක්ෂග්‍රාහී අතිශයෝක්ති හෝ නා නා දෘෂ්ටිවාද වලින් කිලිටි වූ හෝ ඒවා විය. ඒ අතර බුද්ධිමය මෝස්තරකරුවන් ලෙස ප්‍රචලිතව සිටීම නිසා ඇතැම් අයගේ විවේචන වලට අනවශ්‍ය පිළිගැනීමක් ද ලැබී තිබුණි. ඒ එසේ වුවද, මේ නොයෙකුත් ප්‍රහාරයන් විසින් වාස්තවිකතාවය පිළිබඳ සංකල්පය වසාගත් සුදුමැලියාවක් බෝවී තිබෙන බව ඇත්තකි. කලක් ඉතා විශ්වාසදායක ලෙස ආධිපත්‍යය පතුරුවාගෙන සිටි ජනමාධ්‍යවේදී වාස්තවිකතාව ඒ නිසා දැන් ඇතමුන්ට සැලකිය යුතු ගැටලුවක් බවට පත්වී තිබේ.
කෙසේ වෙතත් වාස්තවිකතාව පිළිබඳ පැවති මතය දුර්වලකිරීම මගින් ජනමාධ්‍ය පිළිබඳ පැවති කිසිදු සදාචාරාත්මක ගැටළුවක් විසඳුනේ නැත. ඒ සම්බන්ධයෙන් ඇති වූ විවේචන කිසිවක් විසින් වගකිවයුතු ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍යයක තිබිය යුතු ප්‍රමිතීන් පිළිබඳව මඟ පෙන්වීමක් ලබා දුන්නේ කලාතුරකිනි. න්‍යායක් ලෙස වාස්තකවිකතාව “විනිර්මාණය” (deconstruct) කිරීම සම්බන්ධයෙන් ශාස්ත්‍රාලීය ඇකඩමිකයන් විශිෂ්ට වූ නමුත් මාධ්‍යවේදී ශික්ෂණයට මග පෙන්වීම සඳහා නව සම්මුතින් ගොඩනැගීමේදී ඔවුහු අවාසනාවන්ත ලෙස අසමත් වූහ. ජනමාධ්‍යවේදයේ ප්‍රායෝගික භාවිතය ඔවුන්ගේ මූලික අවධානයට යොමු නොවීය. ඒ සම්බන්ධයෙන් අසීරු ප්‍රශ්න අදටත් පවතී.
වාස්තවිකතාව බංකොලොත් නම්, එය වෙනුවට ප්‍රතිස්ථාපනය කළ යුත්තේ කුමක් ද? කිනම් භාවිතයක් මගින් හෝ පක්ෂග්‍රාහී නොවන ජනමාධ්‍යවේදයක් නඩත්තු කිරීම නොවටීද? කිසියම්ම ආකාරයක වාස්තවිකත්වයක්වත් පුවත්පත් කලාවේ අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් නොපැවතිය යුතුද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු අවශ්‍ය වන්නේ ජනමාධ්‍යවේදය වේගයෙන් නොමඟ යවන වෙනසකට භාජනය වෙමින් පැවතීම නිසා වාස්තවිකතාවය පරිහානියට ලක්වීම මගින් ජනමාධ්‍ය ආචාර ධර්මවල රික්තයක් ඇතිකර තිබෙන බැවිනි. හුදු අවධානය දිනා ගැනීමේ ප්‍රවෘත්ති සඳහා වෙළඳපල විසින් ඇති කරන ඉල්ලුම නිසා ප්‍රවෘත්ති ලෙස වෙස්වලා ගත් විනෝදාංග ඉදිරිපත් කිරීමට ජනමාධ්‍ය පෙළඹී තිබේ. එමගින් “තදියම් ඒකල භාෂණ” ගුවන්විදුලි සංදර්ශනවල සිට ටැබ්ලොයිඩ් වර්ගයේ රූපවාහිනී ප්‍රවෘත්ති සඟරා සංදර්ශන දක්වා මතවාදී කූටාලි පුවත් කලාවක් දිරිගන්වයි. ජනමාධ්‍යවේදීන් සිය “ආකල්ප” අනුව වාර්තාකරණය කළ යුතුය යන ජනප්‍රිය අදහස වාරණ ප්‍රමිති නොතකා පක්ෂග්‍රාහී වීමට ජනමාධ්‍යකරුවන්ට කරන ආරාධනයකි.
අපක්ෂපාතීත්වය, සමබරතාවය සහ සාක්ෂි කෙරෙහි අවධානය යොමු කිරීම යන සම්මුති වලට ඔන් ලයින් හෙවත් අන්තර්ජාලීය ජනමාධ්‍යවේදයේද ඇත්තේ ඉතා අවදානම් අඩිතාලමක් පමණි. සාමාන්‍යයෙන් බොහෝ අන්තර්ජාලගත ජනමාධ්‍යවේදීහු ප්‍රථම පුරුෂ දෝෂාරෝපණ දේශනා වල සිට බහු මාධ්‍ය ආකෘති යොදා ගනිමින් ග්‍රාහකයන් පෙළඹවීම පිණිස ආත්මීය (subjective) ලිවීමේ ක්‍රම දිරිමත් කරන අය වෙති. ඇමරිකානු ඔන්ලයින් තීරු ලිපි රචකයෙකු වන ජෝන් කැට්ස් පවසා ඇත්තේ සංජාලගත නව ආරක සන්නිවේදනයේදී මාධ්‍යවේදීන් “වාස්තවිකතාවයේ ව්‍යාජ දෙවියා අතහැර දැමිය යුතු” බවයි. එක්සත් ජනපදයේ ප්‍රජා ජනමාධ්‍යවේදී ව්‍යාපාරය (movement for public journalism) නොබැඳුනු වාස්තවික විශ්ලේෂකයෙයෙකු ලෙස ජනමාධ්‍යවේදීන් ගොඩනගා ගෙන ඇති ප්‍රතිරූපය වෙනුවට ප්‍රජා සංවාදයට සාධාරණ එහෙත් සක්‍රියව දායක වන “උත්ප්‍රේරකයක්” ලෙස කටයුතු කිරීමට ජනමාධ්‍යවේදියාට ඉඩ දිය යුතුයැයි පවසයි.
කෙසේ වෙතත් ජනමාධ්‍යවේදය වාස්තවිකතාවයෙන් ඉවතට තල්ලුකර දැමීමට නොයෙක් ප්‍රයත්නයන් තිබුණද මහජනතාවගෙන් සැලකිය යුතු කොටසක් වාර්තාකරුවන් සාධාරණ හා වාස්තවික ලෙස තොරතුරු සපයනු ඇතැයි අපේක්ෂා කරන බව සමීක්ෂණවලින් පෙනී යයි. මෙහිදී පරස්පරය වන්නේ, සමහර විවේචකයෝ වාස්තවික නොවීම පිළිබඳව ප්‍රවෘත්ති මාධ්‍යයට වලට පහර ගසන අතරම, වාස්තවිකත්වය මිථ්‍යාවක් ලෙස බැහැර කිරීමයි.
කොතෙකුත් විවේචන තිබුණද වාස්තවිකතාවයට නොකඩවා මතුවන කුපිතකාරී පැවැත්මක් තිබේ. වාස්තවිකතාවය යනු අපට අක්‍රියව තැබිය නොහැකි ගැටලුවකි. ජනමාධ්‍යවේදයේ සදාචාරාත්මක න්‍යාය (ethical theory) කෙසේ හෝ එය ආමන්ත්‍රණය කළ යුතුය. වාස්තවිකතාව පිළිබඳ ගැටළුව ශාස්ත්‍රාලීය බුද්ධිමතුන්, මාධ්‍ය විශේෂඥයින් සහ මාධ්‍යවේදීන් අතර හුදු බුද්ධිමය විවාදයක් පමණක් නොවේ. එය බරපතල ප්‍රතිවිපාකද ගෙන එන ගැටළුවකි. මහජන අවකාශයට බලපෑම් කරන කතාඛ්‍යාන ගොඩනඟන විට ජනමාධ්‍යවේදීන්ට මඟ පෙන්විය යුත්තේ කිනම් ප්‍රතිමානයන්ද (norms) යන්න පිළිබඳ එය අභියෝගාත්මක ලෙස ඉතා ප්‍රායෝගික ප්‍රශ්න මතු කරයි.
වාස්තවිකතාවයේ සංවේදක ප්‍රවර්ග තුන
වාස්තවිකතාවය පිළිබඳ ගැටලුවට ඕනෑම විසඳුමක් ආරම්භ විය යුත්තේ භාෂාවේ හා සංස්කෘතියේ පරිණාමය තුලින් උරුම වූ වාස්තවිකතාවයේ නොයෙක් සංවේදීතා ලක්ෂණ පැහැදිලි කිරීමෙනි. “වාස්තවිකතාව” යන යෙදුමට වෙනස් නොවන සදාකාලික අර්ථයක් නොමැත. ඉතිහාසඥයෙකු වන ලොරේන් ඩෝල්ස්ටන් පැවසූ අන්දමට වාස්තවිකතාවයේ ඉතිහාසය අධ්‍යයනය කිරීම යනු පුරාවිද්‍යාඥයෙකු විසින් නටබුන් පිහිටා ඇති විවිධ ස්ථර පරීක්ෂා කරනවා මෙන් වාස්තකවිතාවයේ අර්ථයන්ද එය පිහිටුවා ඇති ස්ථරයට සාපේක්ෂව අධ්‍යයනය කළ යුතුවේ.
“වාස්තවිකතාව” (objectivity) සහ “ආත්මීයත්වය” (subjectivity) යන වචන වල නෛරුක්තික ඉතිහාසය මෙම වෙනස්වන සංවේදීතා හෙළි කරයි. මධ්‍යකාලීන යුගයේ දී, වාස්තවිකතාව සහ ආත්මීයත්වය යන්නෙන් අදහස් කළේ අද අප මෙම යෙදුම් වලින් අදහස් කරන දෙයට ප්රතිවිරුද්ධය දෙයකි. සිංහල “වාස්තවිකතාව” සඳහා යොදන objectivity නමැති ඉංග්‍රීසි නාම පදය “විරුද්ධ වීමට” හෝ “කල්තියා බාධාවක් ඇටවීම” යන තේරුම ගෙන දෙන සම්භාව්‍ය ලතින් ක්‍රියා පදයක් වන “ඔබිසෙයර්”(obicere) යන්නෙන් නිශ්පන්න වූවකි. මධ්‍යකාලීන යුගය වන විට, ලතින් නාම පදයක් වන “Objectum” යන්න යමෙකු ඉදිරියේ හෙවත් විරුද්ධ පැත්තේ දෘශ්‍යමානව තබා ඇති ඕනෑම වස්තුවක් සඳහා යොදා ගැණිනි.
කලක් ඇවෑමෙන් “to object” හෙවත් විරුද්ධ වීමට යන ඉංග්‍රීසි ක්‍රියා පදය සහ Objection හෙවත් “විරෝධය” යන නාම පදය ඉහත කී විරුද්ධ පැත්තේ යන තේරුම අත්පත් කර ගත්තේය. To object හෙවත් “විරුද්ධ වීමට” යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලයෙකු ඉදිරියේ යමකට විරුද්ධ වීමයි. මධ්‍යකාලීන යුරෝපීය දර්ශනයේ, Objective හෙවත් “වෛෂයික” යන්නෙන් විඥානයේ හෙවත් මනසේ ගොඩ නැගෙන දේවල් හැඳින්විනි. එහිදී Subjective හෙවත් “ආත්මීය” යනුවෙන් හැඳින් වුනේ මනසින් බැහැර පවතින සැබෑ, සහ චින්තනයට විෂය විය හැකි බාහිර වස්තූන්ය.
වාස්තවිකත්වය පිළිබඳ එම මධ්‍යකාලීන දාර්ශනික තේරුම නූතන යුගයේ මුල දක්වාම පැවතුන නමුත් දහහත්වන සියවස වන විට ආත්මීය (Subjective) සහ- වෛෂයික (Objective) යන යෙදුම් වල වෙනසෙහි වර්තමාන තේරුම කෙමෙන් මතුවෙමින් තිබුණි. එකල තර්කශ්‍රාස්ත්‍රය පිළිබඳ ලියැවූනු ලියවිලි වල ආත්මීය (මනෝවිද්‍යාත්මක) නිශ්චිතභාවයක් සහ බාහිර සාක්ෂි මත පදනම්වූ වෛෂයික නිශ්චිතභාවයක් ඇති විශ්වාසයක් අතර වෙනස හඳුනා ගැනීම ගැන ලියැවුණි. ගැලීලියෝ, ලොක් සහ ඩෙස්කාට්ස් බාහිර වස්තූන්ගේ ප්‍රාථමික, වෛෂයික ගුණාංග සහ මනසෙහි පවතින ද්විතීයික, ආත්මීය ගුණාංග අතර වෙනසක් සඳහන් කළේය. දහඅටවන සියවසේ අග භාගයේදී එම්මානුවෙල් කාන්ට් වෛෂයිකත්වය හෙවත් “වාස්තවිකතාව” ජනප්‍රිය දාර්ශනික යෙදුමක් බවට පත් කළේ මනස වෛෂයික ලෝකයක් අත්විඳින්නේ කෙසේද යන්න පිළිබඳ ඔහුගේ උත්කර්ෂවත් විමසීම් නිසාය. දහනව වන සියවස මැද භාගය වන විට Objective“වෛෂයික” හෙවත් වාස්තවිකත්වය යනු විද්‍යාවේ හා දර්ශනයේ පොදු යෙදුමක් බවට පත් විය.
පැහැදිලිකිරීම පිණිස මෙම දේශනයේ මුඛ්‍ය වශයෙන් භාවිතා වන ජනමාධ්‍යවේදය හා සම්බන්ධ වාස්තවිකත්වයේ ස්වභාවය අප විසින් පැහැදිලි කළ යුතුය. සාමාන්‍ය භාවිතයේදී, “වාස්තවිකතාව” යන නාම පදය සහ “වෛෂයික” යන නාම විශේෂණය වෛෂයික විශ්වාසයන්, ආකල්ප සහ තීරණ වැනි මනෝවිද්‍යාත්මක සංසිද්ධීන් මෙන්ම වෛෂයික (බාහිර) වස්තූන් වැනි මනෝවිද්‍යාත්මක නොවන සංසිද්ධි සඳහාද ආදේශ කළ හැකිය. ඇතැම්විට අපි මිනිසුන්ව ද “වෛෂයික” ලෙසද හඳුන්වන්නෙමු, නමුත් මෙම භාවිතය ද්විතියිකයි – එය මෙම පුද්ගලයන්ට වෛෂයික විශ්වාසයන් ඇති බව හෝ වෛෂයික ආකල්පයක් අනුගමනය කළ හැකි යැයි කීමට සමාන වේ. (උදාහරණයක් වශයෙන් දැනුම යනු තහවුරු කළ හැකි සත්‍ය විශ්වාසයකි.)
එම නිසා, අපට වාස්තවිකතාවයේ සංවේදනයන් ප්‍රවර්ග තුනකට බෙදිය හැකිය: ඒවා නම් ඔන්ටෝලොජික් හෙවත් සත්තාවේදී (බාහිර වස්තූන්, කරුණුමය නිරවද්‍යතාව), එපිස්ටෙමික් හෝ එපිස්ටෙමොජිකල් හෙවත් ඥානවිභාගීය (විශ්වාසයන් සහ ආකල්ප) සහ procedural හෙවත් ක්‍රියා පටිපාටික (සාධාරණ තීරණ)ය. වාස්තවිකතාවය පිළිබඳ මේ සංවේදන ප්‍රවර්ග තුනටම ඒවාට විරුද්ධාර්ථයෙන් අනුරූප වන ආත්මීය ප්‍රවර්ගද පවතී. කිසියම් විශ්වාසයක්, තීරණයක් හෝ වස්තුවක් වාස්තවිකයැයි කීම යනු එය ආත්මීය නොවන බව පැවසීමයි. අනෙක් අතට ආත්මීය යැයි කීමද එම දෙය වාස්තවික නොවන බව කීමයි. දැන් අපි මේ එක් එක් වාස්තවික සංවේදක ප්‍රවර්ග මොනවාදැයි බලමු.
යම් දෙයක් අත්දැකීම් වලින් ස්වාධීනව පවතින්නේ නම් එය සත්තාවේදීයව වාස්තවික (ontologically objective) වේ. උදාහරණයක් ලෙස ගත් විට කඳු සහ රසායනික අණු වල පැවැත්ම කිසියම් සත්වයෙකුගේ subjective හෙවත් ආත්මීය අත්දැකීමක් මත රඳා පවතින්නක් නොවේ. එබැවින් එවැනි වස්තු ontologically objective හෙවත් සත්තාවේදීයව වාස්තවික වේ. අනෙක් අතට වේදනාව, කිතිකෑම, කැසීම වැනි දේවල් පවතින්නේ ඒවා කිසියම් subject එකක් හෙවත් මනුෂයෙක් හෝ සත්වයෙක් වැනි ආත්මීයත්වයක් විසින් අත්විඳිනු ලබන නිසාය. එවැනි දේවල් ontologically subjective හෙවත් සත්තාවේදීයව ආත්මික වේ. එසේම යම් දෙයක් කරුණුමය සත්‍යයක් මිස ප්‍රබන්ධයක් නොවේ නම් හෝ යථාර්ථයක් මිස ආත්මීය (subjective) දෙයක් නොවේ නම් එයද සත්තාවේදීයව වාස්තවික වන්නේ ය. එනිසා කිසියම් විශ්වාසයක් ontologically objective හෙවත් සත්තාවේදීයව වාස්තවික වන්නේ ද ඒ විශ්වාසය මගින් ස්වාධීනව පවතින වස්තුවක්, දේපළක්, පරිසිද්දියක්, නීත්‍යානුකූල විධිමත්භාවයක් හෝ තත්වයක් නිරූපණය කරන්නේ නම්ය.
අනෙක් අතට කිසියම් දෙයක් සත්තාවේදීයව ආත්මීය(ontologically subjective) වන්නේ එය නොපවතින දෙයක් නම් හෝ මායාවී දෙයක් නම් හෝ හිතෙන් මවාගත් දෙයක් පමණක් නම්ය. සත්තාවේදීයව ආත්මීය(ontologically subjective) වන දේවලට සංජානනීය මායාවන් (perceptual illusions) දෘෂ්ටි මායාවන් (hallucinations) සිහින හා භූතයන් ගැන වැනි මිත්‍යා විශ්වාස ද ඇතුළත් වේ. කිසියම් දෙයක සත්තාවේදීය ස්වබාවය සම්බන්ධයෙන් ප්‍රශ්නවලට නිදර්ශන වන්නේ මෙය ඇත්තටම පවතින දෙයක්ද?මේ පිලිබඳ පවතින විශ්වාසය කරුණුමය සත්‍යයකට අනුරූප වන දෙයක් ද? වැනි ප්‍රශ්නයි.
කිසියම් කෙනෙකු විසින් යමක ස්ත්තාවේදීය වාස්තවිකත්වය සැලකිල්ලට ගැනීම එම තැනැත්තාගේ සංකල්පීය රාමුව සහ එම තැනැත්තා ජීවත්වන අවධිය මත රඳා පවතී. විදයාත්මක ලෝක දැක්මකින් යුත් වර්තමාන පුද්ගලයෙකුට ජාන හා ක්‍රෝමසෝම සඳහා සත්තාවේදීය වාස්තවික පැවැත්මක් පවතින බව පිළිගත හැකි නමුත් දෙව්ලොවකින් එන සුරංගනාවන් සඳහා ඒ සමාන සත්තාවේදීය වාස්තවික පැවැත්මක් පිළිගත නොහැක.
සාමාන්‍ය බුද්ධියට අනුව ගස්වැල්, නිවාස සහ අනෙකුත් මිනිසුන් යනු ඉතා පැහැදිලිවම වාස්තවික දේවල් සම්බන්ධයෙන් දිය හැකි උදාහරණයි. ඒ සියල්ල ලෝකයේම කොටස්ය. එහෙත් අනුමාන සැමවිටම පැවතිය හැකිය. සාමාන්‍ය මැදි ප්‍රමාණයේ දේවල් වල වාස්තවිකත්වය අනුමාන කිරීමට දාර්ශනිකයෝ ඒවා මානසික සංවේදනා වල එකතුවක් ලෙස හෝ උප පරමාණුක පාටිකල්ස් ලෙස හෝ අවකරණය කිරීමට ක්‍රමයක් සොයාගෙන තිබේ. කෙනෙකුගේ ලෝක දැක්ම විසින් සාමාන්‍යයෙන් ඇතැම් වස්තුන් තවත් වස්තුන් වලට වඩා වාස්තවික ලෙස නාමකරණය කිරීමට පොළඹවයි. නූතන යුගයේ මුල්කාලයේ ජීවත් වූ විද්‍යාඥයෝ ස්කන්ධය, බර, ස්වරූපය වැනි නිශ්චිත ලෙස විද්‍යාත්මකව මිනිය හැකි දේවල් පාට සහ උණුසුම වැනි කෙනෙකුගේ සංවේදනාවලට සාපේක්ෂව වෙනස් වන දේවලට වඩා objective හෙවත් වාස්තවිකයැයි සැලකූහ.
ඕනෑම වේලාවක, සත්තාවේදීයව වාස්තවික වීම (ontologically objective) යන්න ශික්ෂණයෙන් ශික්ෂණයකට වෙනස් විය හැකිය. ඒ හැර ඇතැම් විෂයන් හා ශික්ෂණයන් සත්තාවේදීව වඩාත් වාස්තවික විය හැකි බව සැලකේ. ඊට හේතුව ඒවායේ එන දැනුම සම්බන්ධ වලංගුතාවයේ වාස්තවිකත්වය තහවුරු කිරීමේ විධික්‍රම එම විෂයේ හෝ ශික්ෂණයේම කොටසක් වන බැවිනි. නිදසුනක් ලෙස, භෞතික විද්‍යාව ස්වාභාවික ලෝකයේ භෞතික වස්තු පරීක්ෂා කිරීම වෙත යොමු වන අතර ආචාර ධර්ම ප්‍රකාශ යනු ආත්මීය හැඟීම් ප්‍රකාශ කිරීම හෝ වටිනාකම් හෝ පිළිබඳ විනිශ්චයන් යැයි ඇතමුන්ට කිව හැකිය. මෙම මතයට අනුව, ආචාරධාර්මික විශ්වාසයන් සත්තාවේදීය වාස්තවික කරුණුමය සත්‍යයක් වශයෙන් නොසැලෙකෙයි. එපමණක් නොව, විමර්ශනය අඛණ්ඩව සිදුවන විට, ශික්ෂණය විසින් සත්තාවේදීය වාස්තවික යැයි සලකනු ලබන දේවල් සැලකිය යුතු ලෙස වෙනස් වෙයි. උදාහරණයක් වශයෙන් පැරණි ස්වාභාවික විද්‍යා අධ්‍යයනයේදී ප්‍රාථමික මූල ද්‍රව්‍ය වශයෙන් සලකන ලද්දේ ජලය, පෘථිවිය, වාතය සහ ගින්නයි. එහෙත් අද්‍යතන භෞතික විද්‍යාවේ එන ශක්තියේ ක්වොන්ටා, උප පරමාණුක පාටිකල්ස්, ශක්ති ක්ෂේත්‍ර (field of forces) වැනි සංකල්ප හා සැසඳු විට ඒවා අහසට පොළොව මෙනි.
එපිස්ටෙමික් හෙවත් ඥානවිභාගීය වාස්තවිකතාව (epistemic objectivity) යනු මිනිසුන්ගේ විශ්වාසයන් සහ විමර්ශන විධික්‍රමවල එන අංගයකි. ඉන්ද්‍රිය මගින් කෙරන සංජානනය (perception) මිනිසුන්ට මෙන්ම සතුන්ටද පොදු දෙයකි. එහෙත් සතුන්ට මෙන් නොව මිනිසන්ගේ සංජානනය සමග විචාර බුද්ධියද ඒකාග්‍ර වේ. එය සිදුවන්නේ අපහරණය හෙවත් උකහාගැනීම (abstraction) සහ conception හෙවත් සංකල්පනය තුලිනි. සංජානනීය මට්ටමේ දැනුම සත්වයන්ට පවා තිබෙන නමුත් සංකල්පීය මට්ටමේ දැනුම ඇති කරගත හැක්කේ මිනිසුන්ට පමණයි. සංකල්පීය මට්ටමේ දැනුම සහජයෙන් ලැබෙන දෙයක් නොව සමාජයෙන් ලැබෙන්නකි. epistemic objectivity හෙවත් එපිස්ටමික් වාස්තවිකතාව යනු මේ ක්‍රියාවලියට අවශ්‍ය ප්‍රතිමාන හා ප්‍රමිති හා සම්බන්ධ අවශ්‍යතාවයකි. සංජානන මගින් ඇතිවන විශ්වාසයක් සත්‍යවීමට නම් එය epistemically objective හෙවත් ඥානවිභාගීයව වාස්තවික විය යුතුය. මෙහිදී වාස්තවිකත්වයේ ක්‍රමවේදය සාමාන්‍ය බුද්ධිය හෝ විදයාත්මක පර්යේෂණ වලට යොදාගන්නා ක්‍රම වේදය හෝ විය හැකියි. මම වාසය කරන වීදියේ කෙලපාට ගෙයක් තිබෙනවාය යන්න ඥාන විභාගීයව වාස්තවික නොහොත් epistemically objective වන්නේ මම සහ වෙනත් අයද වෙනස් තත්වයන් යටතේ (වැස්ස, සුළඟ, දිවා, රෑ ඈ වශයෙන්) එය බොහෝ වරක් දැක තිබෙන බැවිනුයි. මීයන් තුළ ආක්‍රමණශීලී හැසිරීමට කිසියම් ජානයක් හේතුවේය යන උපකල්පනය epistemically objective හෙවත් ඥානවිභාගීයව වාස්තවික විමට නම් එය නියමිත ප්‍රමිති වලට අනුව යොදා ගත් පරීක්ෂණ ක්‍රමවෙදයක් මගින් තහවුරු විය යුතුය. ඥානවිභාගීය වාස්තවිකතාව epistemic objectivity මගින් Objective සහ Subjective හෙවත් වාස්තවිකතාවය සහ ආත්මීයතාවය අතර ඇති වෙනස යථාර්ථය සහ පෙනුම අතර ඇති වෙනසක් ලෙස පැහැදිලි කරයි. මේ පරස්පරය එපිස්ටෙමික් හෙවත් ඥනවිභාගීය වාස්තවිකතාව විසින් පෙන්වා දෙන්නේ දී ඇති සාක්ෂි මත හොදින් තහවුරු වන විශ්වාස සහ එසේ තහවුරු නොවන විශ්වාස වශයෙනි. ඥානවිභාගීය වාස්තවිකතාව තහවුරු කිරීමට යොදාගන්නා ක්‍රමවේද වරදිනසුලු (fallible) මෙන්ම ඒකාන්ත (absolute) හෙවත් නිරපේක්ෂ යන දෙවිදියටම පැවතිය හැකිය. යොදා ගන්නා පර්යේෂණ ක්‍රමවේදය වරදින සුලු විය හැක්කේ එම ක්‍රමවේදයේ ප්‍රමිති මගින් සත්‍ය සහතික කල නොහැකි වුවත් කිසියම් දුරකට නිරවද්‍ය විය හැකි විශ්වාසයක් ඇති කරවිය හැකිනම්ය. මෙහිදී ඒ විශ්වාසය ඥානවිභාගීය වශයෙන් වාස්තකවිය හැකි වුවද සදොස් එකක් විය හැකිය.
ඥානවිභාගීය වාස්තවිකත්වයට අදාල ක්‍රමවේදය ඒකාන්ත (absolute) වන්නේ එමගින් නිශ්චිතවම දැනගතහැකි සත්‍යය විශ්වාසයක් කරා අප යොමු විය හැකි බව එම ක්‍රමවේදයේ යෝජකයින්ට තහවුරු කළ හැකිවේ නම්ය. වරදිනසුලු සහ ඒකාන්ත යන ඥානවිභාගීය වාස්තවික ක්‍රම දෙකේම යෝජකයන් ඒවා නිවරදි ක්‍රම වශයෙන් හඳුන්වා ගැනීමට කැමැති නමුත් ඒවා මගින් සාක්ෂාත් කරගත හැක්කේ මොනවාද යන්න සම්බන්ධයෙන් දෙවර්ගය එකිනෙකට වෙනස්ය.
Procedural objectivity හෙවත් ක්‍රියාපටිපාටි වාස්තවිකතාව නීතිය, රජය සහ ආයතනික පරිපාලනය වැනි එදිනෙදා මහජන ක්ෂේත්‍රවල සාධාරණ හා යුක්ති යුක්ත තීරණ ගැනීමේ නිර්ණායක සම්බන්ධව කටයුතු කරයි. මෙහිදී අරමුණ වන්නේ ඒවා නිවැරදි තීරණ වශයෙන් න්‍යායාත්මකව අවබෝධ කර ගැනීමනොවේ. හේතුවාදීව තීරණ යුක්තියුක්ත කිරීමේ එක ප්‍රයෝජනයක් වන්නේ නිවැරදි ක්‍රියාවලට මග පෙන්වන නිගමනවලට අපට එළඹීමට හැකිවීමයි. නොවැදගත් දේවල හා පක්ෂග්‍රාහීත්වයේ බලපෑම අඩු කරන අදාළ නිර්ණායක ගණනාවක් තෘප්තිමත් කරන්නේ නම් තීරණ ගැනීමේ ක්‍රියාපටිපාටිය වාස්තවික වේ. Objective decisions හෙවත් වාස්තවික තීරණ ගන්නන්ට අදාළ ගැටලුවේ කරුණු පිළිබඳව දැඩි අවබෝධයක් තිබිය යුතුය. තීරණයෙන් පීඩාවට පත් පාර්ශ්වයන් සම්බන්ධයෙන් ඔවුන් අපක්ෂපාතීව කටයුතු කළ යුතුය. එසේම ඔවුන්ගේ තරඟකාරී අයිතිවාසිකම්, පිළිපැදිය යුතු මූලධර්ම සහ ගන්නා ක්‍රියාමාර්ග නිසා ඇති විය හැකි ප්‍රතිවිපාක කිරා මැන බැලිය යුතුය.
මෙහිදී මූලික පියවර වන්නේ මෙම සාධක ඇගයීම සඳහා Objective criteria හෙවත් වාස්තවික නිර්ණායක ස්ථාපිත කිරීමයි. නිදසුනක් වශයෙන්, විශ්ව විද්‍යාලයක පාඨමාලාවකට සිසුන් ඇතුළත් කිරීමේ නිර්ණායක අතීත අධ්‍යයන වාර්තා, බාහිර නිර්දේශ සහ පළ කර ඇතිප්‍ර කාශන සිට ප්‍රජා සේවා සහ සමාජ කුසලතා දක්වා විහිදිය හැකිය. එවැනි නිර්ණායක Objective නොහොත් වාස්තවික වන්නේ ඒවා කෙසේ හෝ “යථාර්ථයට අනුරූප වන” නිසා නොව, පාඨමාලාවේ අරමුණු වලට අදාළ වන අතර බඳවා ගැනීම පිළිබඳ සාධාරණත්වයේ සංකල්පවලට අනුකූල වන බැවිනි. කාර්ය පටිපාටික වාස්තවිකත්වයේ මුඛ්‍ය අරමුණ වන්නේ සාධාරණත්වය සහ පරමාර්ථය සාක්ෂාත් කරගැනීම මිස විද්‍යාත්මක සොයා ගැනීමක් හෝ පාරභෞතික සත්‍යයක් තහවුරු කිරීම නොවේ. යමෙකු සමතුලිත, බහුත්වවාදී සමාජයක ජීවත් වන්නේ නම්, රැකියා අයදුම්කරුවෙකු ජාතිය හෝ ආගමික විශ්වාසයන් මත පදනම්ව ඇගයීමට ලක් කරන නිර්ණායකයන් ආත්මීය හා අසාධාරණ යැයි විනිශ්චය කරනු ලැබේ. තීරණ ගැනීමේදී “වාස්තවිකතාව” යන්නෙන් අදහස් කරන්නේ සත්‍ය වශයෙන්ම පදනම් වූ සහ සදාචාරාත්මක හා දේශපාලන වටිනාකම් පිළිබිඹු කරන එකඟ වූ නිර්ණායක අනුගමනය කිරීමයි.
කෙසේ වෙතත් අපට සංකල්පමය වශයෙන් වාස්තවික සංවේදක තුන වෙන්කර හඳුනාගත හැකි වුවද – ඔන්ටෝලොජික් හෙවත් සත්තාවේදීය, එපිස්ටෙමික් හෙවත් ඥානවිභාගීය සහ ප්‍රොසීඩියරල් හෙවත් කාර්ය පටිපාටික වාස්තවිකතාව – යන ප්‍රවර්ග තුනම සමීපව සහසම්බන්ධ වේ.
වාස්තවිකතාවයේ මේ ප්‍රවර්ග තුනෙන් කවර එකක් හෝ කිසියම් සන්දර්භයක් තුළ ආධිපත්‍යය දරන්නේ අදාළ අරමුණ හුදෙක් න්‍යායාත්මකද, ප්‍රායෝගිකද යන්න මතය. එය තීරණය වන්නේ යමෙකුගේ අවශ්‍යතාවය කිසියම් කරුණක් ගැන මාර්ගෝපදේශක නිගමන ලබා ගැනීමද නැතහොත් ස්වාභාවික සංසිද්ධියක පිළිබඳ න්‍යායාත්මක අවබෝධයක් ලබා ගැනීමද යන්න මතයි. විවිධ වර්ගයේ උප පරමාණුක අංශුවල යථාස්වභාවය ගැන තර්ක කරන විට සත්තාවේදී හෙවත් ඔන්ටෝලොජික් වාස්තවිකතාව ආධිපත්‍යය දරයි. කාර්ය පටිපාටික වාස්තවිකතාව ප්‍රායෝගික තීරණ වලදී ප්‍රමුඛ වේ. එපිස්ටෙමික් වාස්තවිකතාව න්‍යායාත්මක හා ප්‍රායෝගික යන දෙඅංශයෙන්ම විමසීම් කරන්නන්ට සහාය විය හැකි ඔන්ටෝලොජික් සහ කාර්ය පටිපාටික වාස්තවිකතාව අතර පවතින භූමි ප්‍රදේශය අරක් ගනී. ඉහතකී වාස්තවිකතා ප්‍රවර්ග තුන විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ ඒවා භාවිතයේ පවතින ප්‍රයෝජනවත් ආම්පන්න බවයි. ඒ අනුව ප්‍රායෝගික වශයෙන් ජනමාධ්‍යවේදීන්ට ආචාරධාර්මිකව කටයුතු කිරීමට ඉඩ සලසන ජනමාධ්‍යවේදී වාස්තවිකත්වය හුදෙක් දාර්ශනික මතවාද මගින් වාස්තවිකත්වය සැක කිරීම නිසා අවලංගු නොවන බව පැහැදිලිය.
ෆැක්ට්ස්(facts) හෙවත් කරුණුමය සත්‍ය, කාර්යපටිපාටි සහ අපක්ෂපාතීත්වය අවධාරණය කරන ජනමාධ්‍යවේදී වාස්තවිකතාවයේ (journalistic objectivity) මූලික සිද්ධාන්තය වාස්තවිකත්වය පිළිබඳ ඉහතකී සත්තාවේදී, ඥානවිභාගීය හා කාර්යපටිපාටිමය යන සංවේදක තුනේම මුහුන් වීමකි. සාම්ප්‍රදායික පුවත්පත් කලාවේ වාස්තවිකතාවයට අනුකූලව, වාර්තාවක් කරුණු හෝ සිදුවීම් පිළිබඳ නිවැරදි හා විශ්වාසවන්ත විස්තරයකින් යුක්ත නම් ඒවා Ontologically objective හෙවත් සත්තාවේදීව වාස්තවික වේ. ජනමාධ්‍යවේදයේ ඔන්ටොලොජිකල් වාස්තවිකතාවයට “පවතින ආකාරයට ” නොහොත් ඇති තතු ඒ අයුරින්ම (ඇත්ත අති සැටියෙන්) පැවසීම ඇතුළත් වේ. ජනමාධ්‍ය වාර්තාවක් එපිස්ටමලොජිකලි හෙවත් ඥානවිභාගීය වශයෙන් වාස්තවික වන්නේ නිරවද්‍යතාවය පිළිබඳ වෘත්තීය වාර්තාකරණ ක්‍රම සහ ප්‍රමිතීන් අනුගමනය කරයි නම්ය. ජනමාධ්‍ය වාර්තාකරණය කාර්යපටිපාටිමය වශයෙන් වාස්තවික වීමට නම් වාර්තාවට අඩංගුවන තෙරතුරු එහි මූලාශ්‍රවලට සහ එකිනෙකට වෙනස් දෘෂ්ටිකෝන වලට සාධාරණයක් ඉටුවන සේ ඉදිරිපත් කළ යුතුය. පරමාදර්ශී ලෙස වාස්තවිකයැයි සැලකෙන ජනමාධ්‍ය වාර්තාවක වාස්තවිකතාවයේ ඉහත කී ආකාර තුනම නිරූපනය වෙයි. ජනමාධ්‍යයේ “සාම්ප්‍රදායික වාස්තවිකතාව” හෙවත් traditional objectivity යන්නෙන් අදහස් කරන්නේ විසිවන සියවසේ මුල් භාගයේදී ඇමරිකානු පුවත්පත් කලාවේ මුල්බැස ගැනීමට පටන් ගත් ජනමාධ්‍ය වාස්තවිකතාවයේ මුල් සංකල්පයයි. සාම්ප්‍රදායික වාස්තවිකතාවයේ මුඛ්‍යාදර්ශය වූයේ පුවත්පත් වාර්තාකරුවන් සෘජු, අපක්ෂපාතී තොරතුරු සැපයිය යුතුය යන්නයි. එය සාධාරණීකරණය කරන ලද්දේ ඒ අනුව පුවත්පත් මගින් කරන තොරතුරු දැනුම් දීමේ කාර්ය ශක්තිමත් කළ හැකි බව ඇදහූ නිසයි. එකල පැවැති පිළිගැන්ම වුණේ ප්‍රවෘති වාර්තා මෙන් නොව පුවත්පත් වල එන විවරණ (commentary) සහ මතවාදී රචනා යනු කතුවරුන්ගේ හා තීරු ලිපි රචකයින්ගේ කටයුත්තක් මිස වාර්තාකරුවන්ගේ කටයුත්තක් නොවන බවයි.
සාම්ප්‍රදායික වාස්තවිකතාව පිළිබඳ සංකල්පය තවමත් අදටත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වැදගත් භූමිකාවන් කිහිපයක් ඉටු කරයි. ඒ අනුව සම්ප්‍රදායික වාස්තවිකත්වය ජනමාධ්‍යවේදය තුළ පරමාදර්ශයක්, ප්‍රමිති කට්ටලයක් සහ එම ප්‍රමිති ක්‍රියාත්මක වෙන භාවිතයක් ලෙස සැලකේ. ඒ අනුව වාස්තවිකතාව ජනමාධ්‍යවේදයේ වෘත්තීය භාවිතය වශයෙන් සැලකේ. එමෙන්ම වාස්තවිකතාව ජනමාධ්‍ය වාර්තාවල හා ජනමාධ්‍යකරුවාගේ වෘත්තීය භාවය පිළිබඳ නිර්නායකයකි.
ජනමාධ්‍යයේ එන වාස්තකවිකතාව භාවිතයේදී වැදගත් වන්නේ එමගින් ජනමාධ්‍යවේදියෙක් අතින් සිදුවිය හැකි වැරදි අවම කරගෙන ජනමාධ්‍යවේදියාගේ වෘත්තීය පරිණතභාවය පිළිබඳ ග්‍රාහක විශ්වාසය දිනාගැනීමට මග පෙන්වන බැවිනි. වාර්තාවක එන කරුණුමය සත්‍ය සහ මතවාද එකිනෙකින් වෙන් කරගැනීමට ග්‍රාහකයාට හැකිවන ලෙස වාර්තා කර තිබීම, ඒවායේ ප්‍රභව මොනවාද, ඒ ප්‍රභව කෙතරම් විශ්වාස දායකද යන කරුණු අත්‍යවශ්‍ය වශයෙන්ම ග්‍රාහකයාට දැන ගැනීමට හැකිවන ලෙස වාර්තා කර තිබීම, වාර්තාවේ පාත්‍රවර්ගයන්ට සාධාරණත්වය ඉටුවන ලෙස සිදුවීම පිළිබඳ සියලු ප්‍රධාන ප්‍රතිවාදී දෘෂ්ටිකෝන වාර්තාවට අඩංගුවී තිබීම වැනි නිර්ණායක වලින් කෙරෙන්නේ ජනමාධ්‍යවේදීයා කොතෙක් වාස්තවික වී ඇද්දැයි මැන බැලීමයි.
ජනමාධ්‍යවාර්තාවක් objective නොහොත් වාස්තවික ද නැතහොත් subjective නොහොත් ආත්මීය ද යන්න නිර්ණය කරන මූලික ප්‍රමිති හයක් සම්ප්‍රදායිකව ජනමාධ්‍ය වාස්තවිකත්වයට තිබේ. දැනට තිබෙන නොයෙකුත් ආකාරයේ ජනමාධ්‍ය ආචාර ධර්ම මෙකී ප්‍රමිති වලට අනුකූල නොවන්නේ නම් ඒවා ජනමාධ්‍යවේදයේ වෘත්තීය ආචාර ධර්ම වශයෙන් සැලකිය නොහැකියි. එබැවින් මේ සය වැදැරුම් ප්‍රමිති ජනමාධ්‍යවේදියාගේ නොකැඩිය යුතු වෘත්තීය ප්‍රමිති ලෙස සැලකිය යුතුයි.
(අ) Factuality හෙවත් කරුණුමය සත්‍යතාව: ජනමාධ්‍යවාර්තා පදනම් වී ඇත්තේ නිරවද්‍ය (accurate), විස්තීර්ණ/පරිපූර්ණ (comprehensive) සහ සත්‍යාපිත (verified) කරුණු මත ය.
(ආ) Fairness හෙවත් සාධාරණත්වය: මතභේදාත්මක කාරණා පිළිබඳ වාර්තාකරණයේදී ප්‍රධාන ප්‍රතිවාදී දෘෂ්ටි කෝණයන් සාධාරණව නියෝජනය වෙයි.
(ඇ) Non-bias හෙවත් පක්ෂග්‍රාහී නොවීම: අගතීන්, උද්වේගික හැඟීම්, පුද්ගලික අවශ්‍යතා හෝ ජනමාධ්‍යවේදීයාගේ වෙනත් ආත්මීය (subjective) සාධක වාර්තා වල අන්තර්ගතය විකෘති නොකරයි.
(ඈ) Independence හෙවත් අදීනත්වය: ජනමාධ්‍යවාර්තා යනු බියෙන් හෝ අනුග්‍රහය දැක්වීමකින් තොරව වාර්තා කිරීමට වෘත්තීය නිදහස ඇති මාධ්‍යවේදීන්ගේ වැඩකි.
(ඉ) Non-interpretation හෙවත් අර්ථ නිරූපණ නොකිරීම: ජනමාධ්‍ය වාර්තාකරුවන් ඔවුන්ගේම වූ අර්ථ නිරූපණයන් හෝ පුද්ගලික මතය තම ප්‍රවෘත්ති වාර්තාවලට ඇතුළත් නොකරයි.
(ඊ) Neutrality and detachment මධ්‍යස්ථභාවය සහ නොබැඳීසිටීම/අබද්ධවීම: වාර්තා මධ්‍යස්ථ ය. වාර්තාකරු ආරවුලක පැත්තක් නියෝජනය නොකරයි. ජනමාධ්‍යවේදියා කිසියම් ලැදියා කණ්ඩායමක් (interest group) හෝ නිමිත්තක් වෙනුවෙන් හෝ පෙනී සිටින්නන් ලෙස ක්‍රියා නොකරයි.
සාම්ප්‍රදායික වාස්තවිකතාවයේ වඩාත්ම මතභේදාත්මක අංග වන්නේ වාර්තාකරනයේදී අර්ථ නිරූපණ නොකිරීම සහ මධ්‍යස්ථවීම යන ප්‍රමිති (ඉ) සහ (ඊ) ය. ජනමාධ්‍ය වාර්තා සත්‍ය වශයෙන්ම නිවැරදි, හැකි තරම් පරිපූර්ණ, අපක්ෂපාතීව හා ස්වාධීනව ලිවිය යුතු බව බොහෝ දෙනා එකඟ වනු ඇත. එහෙත් විසංමුතිය ඇරඹෙන්නේ අර්ථ නිරූපණය නොකිරීම, මධ්‍යස්ථභාවය යන කරුණු සම්බන්ධයෙනි. සාම්ප්‍රදායික වාස්තවිකතාව අවධාරණය කරන්නේ වාර්තාවල අඩංගු විය යුත්තේ කරුණු පමණක් වන අතර වාර්තාකරුගේ මතය සහ අර්ථ නිරූපණය වාර්තාකරණයේදී බැහැර කළ යුතු බවයි. අදහස් දැක්වීමට හා අර්ථ නිරූපණය නොකිරීමට නම් වාර්තාකරු සිය ආවේගයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටිය යුතුය.
බොහෝ වාර්තා පාර්ශව කිහිපයක් අතර ආරවුල් සම්බන්ධයෙන් කටයුතු කරයි. එබැවින්, වාර්තාකරුවෙකුට ඔහුගේ හෝ ඇයගේ මතය කතාවට ඇතුළත් නොකළද, තරඟකාරී පාර්ශ්වයන් දරන අදහස් පාඨකයන්ට දැනුම් දීමෙන් වැළකී සිටිය නොහැක. එකම අවශ්‍යතාවය එම මතය ප්‍රවෘත්තියේ කිසියම් පාත්‍රවරගයකට නිශ්චිතව ආරෝපණය කළ හැකි එකක් විය යුතුය.
වාස්තවිකත්වය අගයන කතුවරුන් වාර්තාකරණය සම්බන්ධයෙන් සම්පප්‍රලාප නොඉවසන අතර සර්ව පිත්තලයෙන් විචිත්‍ර කරන ලද අතිශයෝක්තිජනක පුහු සාහිත්‍යමය ප්‍රයත්න පිටු දකිති. වාර්තාකරණයේදී පරමාර්ථය වන්නේ ආඛ්‍යානය නොව සත්‍ය තොරතුරු ය. නිදසුනක් වශයෙන්, වඩා මධ්‍යස්ථ යමෙක් “පැවසීය” යන්න වෙනුවට admitted යන තේරුම ඇති “පිළිගත්තේය” වැනි යෙදීමක් කතන්දරයට සාපේක්ෂව තමන් විසින් ගනු ලැබූ කිසියම් ස්ථාවරයක් වාර්තාකරු විසින් පැවසීමක් විය හැකිය. පාත්‍ර වර්ගයාගේ හැසිරීම විස්තර කිරීමේදී වාර්තාකරුවන් අනියම් ඇඟවීම් වලින් වැළකී සිටිය යුතුය: ඒ අනුව “ප්‍රශ්නය මතු කළ විට ආයතන ප්‍රධානියාට තමන්ව පාලනය කර ගැනීමට නොහැකි විය” වෙනුවට වාර්තාකරු මෙසේ ලියයි. “ප්‍රශ්නය යොමු කළ විට ආයතන ප්‍රධානියා කෝපයට පත් විය.” එය වඩා සෘජුය, වාස්තවිකය.
සාම්ප්‍රදායික වාස්තවික ශෛලිය තුළ ප්‍රවෘත්ති ලිවීමේ විධික්‍රම වාර්තා සඳහා ප්‍රයෝජනවත් ආකෘතියක් සපයයි. දිගු කලක් තිස්සේ පවතින එක් ආකෘතියක් වන්නේ ඊනියා ප්‍රතිලෝම පිරමීඩයයි (Inverted Pyramid) නොහොත් මුණින් අතට නැවූ පිරමීඩ ආකෘතියයි. ඒ අනුව වාර්තාවේ වඩාත් වැදගත් කරුණු මුනින් නැවූ පිරමීඩයේ මුලින්ම ගෙන ආයුතුය. ආරම්භක ඡේදයේ සිට අන්තිම කොටස දක්වා, කතාව වැදගත්කමකින් බැස යන අනුපිළිවෙලින් කරුණු ඉදිරිපත් කරයි. මේ ප්‍රතිලෝම පිරමීඩය වාස්තවිකතාවයට මැනවින් ගැලපෙන්නේ එය කරුණුමය නිරවද්‍යතාවය කෙරෙහි ක්ලතියාම අවධානය යොමු කරන අපක්ෂපාතී ලේඛන ශෛලියක් දිරිමත් කරන බැවිනි.
සාම්ප්‍රදායික වාස්තවිකතාව පිළිබඳ මූලධර්මය දිගු කලක් තිස්සේ මාධ්‍යවේදීන්ට සහ පාඨකයන්ට ජනමාධ්‍යවේදීන්ගේ වර්ග සහ කථා වර්ග අතර වෙනස හඳුනා ගැනීමට උපකාර කර තිබේ. විසිවන ශතවර්ෂයේ මුල් භාගය වන විට, බොහෝ ප්‍රධාන ධාරාවේ ප්‍රවෘත්ති කාමරවල සාම්ප්‍රදායික වාස්තවිකතාවයේ නීතිරීතිවලට අනුකූලව ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති විමර්ෂනාත්මක වාර්තා අංශ මෙන්ම එසේ නොවන මතවාද නිරූපනය කරන කතුවැකි, තිරු ලිපි, සම්මුඛ සාකච්ඡා සහ විෂයානුබද්ධ ලිපි ආදිය සම්පාදනය කරන අංශ අතර ජනමාධයවේදී වාස්තවිකතා භාවිතය එකි නෙකට වෙනස්විය. න්‍යායිකව, පුවත්පත් ප්‍රකාශකයාගේ සහ තීරු ලිපි රචකයින්ගේ දැක්ම ප්‍රවෘත්ති වලට බලපෑම් නොකළ යුතුය. පුවත්පත් වලට මතවාදී නැමුරුවක් තිබිය හැකි නමුත් ප්‍රවෘත්ති අංශය සත්‍යාපනය (verification) මත පදනම් වූ අපක්ෂපාතී නිරවද්‍යතාවයේ ස්වාධීන රාජ්‍යයක් විය යුතුය. ප්‍රවෘත්ති සේවය අවශ්‍යයෙන්ම ජනමාධ්‍යයේ දැනුම් දීමේ කාර්යය, ජන සංනිරීක්ෂණ කාර්ය සහ මුරකාවල් කාර්ය ඉටු කරයි.
කෙසේ වෙතත්, සාම්ප්‍රදායික වාස්තවිකතාවයට කිසි විටෙක නිශ්චිත අර්ථ දැක්වීමක් නොලැබුණු අතර එය සවිස්තරාත්මක, පැහැදිලි න්‍යායක් දක්වා වර්ධනයද නොවීය. ජනමාධ්‍ය සම්බන්ධයෙන් නම් වාස්තවිකතාව පිළිබඳ අදහස වර්ධනය කරන ලද්දේ දර්ශන පන්ති කාමරය සඳහා නොව ප්‍රවෘත්ති කාමරයේ ප්‍රායෝගික අරමුණු සඳහා ය. ප්‍රවෘත්ති සහ විවරණ වෙන්කර හඳුනා ගැනීම සඳහා මාධ්‍යවේදීහු ශුද්ධ විද්‍යාවෙන් මෙම පදය ලබා ගත්හ. වාස්තවිකත්වය පිළිබඳ තමන්ගේම විස්තීර්ණ න්‍යායක් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවය ඔවුන්ට දැනුණේ නැත. ඔවුන් වාස්තවිකතාව පොදු අර්ථයකින් අර්ථ දැක්වීය. වාර්තාකරුවන් කරුණු වලට ඇලී සිටිමින් පක්ෂග්‍රාහී අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු විය. සංයුක්ත භාවිතයෙන් තීරණය වන පරිදි වාස්තවිකතාවයේ අර්ථය පැහැදිලිව පෙනෙන්නට තිබුණු දෙයකි. පවත්නා සංස්කෘතිය එම අදහසට සහය දක්වන තාක් කල් ජනමාධ්‍ය වාස්තවිකත්වයට දාර්ශනික සාධාරණීකරණය කිරීමක් අවශ්‍ය නොවීය.
ස්ටීවන් වෝඩ් විසින් හඳුන්වාදුන් Pragmatic Objectivity ප්‍රායෝගික වාස්තවිකතාව – සත්‍යතාව සහ සාධාරණත්වය අවධාරණය කිරීමේදී සාම්ප්‍රදායික වාස්තවිකතාවයට සමානය. නමුත් ඔහුගේ ප්‍රායෝගික වාස්තවිකතාව සාම්ප්‍රදායික වාස්තවිකතාවයේ එන වාර්තාකරු විසින් වාර්තාව අර්ථනිරූපණය නොකිරීම සහ වාර්තාකරණයේදී නොබැඳී සිටීම යන ප්‍රමිති (ඉ) සහ (ඊ) ප්‍රතික්ෂේප කරයි.
වාර්තාවක් යනු සිද්ධින් සම්බන්ධයෙන් කිසිදු අර්ථකතනයකින්, අගැයීමකින්, නිගමනයකින් වියුක්තව හුදෙක් කරුණුමය විස්තරයක් ඉදිරිපත් කරන රචනයක් විය යුතුය යන සම්ප්‍රදායික වාස්තවිකත්වයේ ඉල්ලීම ස්ටීවන් වෝඩ්ගේ ප්‍රයෝගික වාස්තවිකත්වය විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි. එය සෘජු වාර්තාවල සිට කතුවැකි දක්වා සියලු ආකාර පුවත්පත් කලාවන් අර්ථකථනය කිරීම් ලෙස දකී. එයට අනුව වාස්තවිකතාව යනු වාර්තාකරණයේදී අර්ථ නිරූපණ නොමැති වීම නොවේ. එහෙත් අර්ථ නිරූපණ කළ යුත්තේ වාස්තවිකතාව පිළිබඳ පිළිගත් ප්‍රමිතීන් යොදා ගෙනය. ජනමාධ්‍යවේදීන් වාස්තවික වන්නේ සිය වාර්තා සියතින්ම විචාරාත්මක ලෙස අගය කිරීමෙනි. ඒ හැර ප්‍රායෝගික වාස්තවිකතාවය විවිධ අවස්ථාවලදී ජනමාධ්‍යවේදීන්ට අවශ්‍ය පමණට නොබැඳී සිටීමට ඉඩ සලසයි. වෝඩ්ට අනුව ජනමාධ්‍යකරුවන් හැම අවස්ථාවකදීම දැඩි ලෙස මධ්‍යස්ථව සිටීම, කළ හැකි දෙයක් වත්, කළ යුතු දෙයක් වත් නොවේ.
මේ ලිපිය අවසන් කිරීමට අන්තර්ජාතික ජනමාධ්‍ය වේදින්ගේ සංගමයේ හිටපු සභාපති අයිඩන් වයිට් විසින් ජනමාධ්‍යකරුවාගේ කාර්යබාරය සම්බන්ධයෙන් පළ කරන ලද වැදගත් අදහසක් වෙත යොමු වීමට කැමැත්තෙමි. නිරවද්‍යතාවය, අදීනත්වය, පක්ෂග්‍රාහිත්වයකින් තොරවීම යන කරුණු වලට අතිරේකව මිනිස්කම (මනුෂ්‍යත්වය) සහ වගවීම යන කරුනු දෙකද ජනමාධ්‍යවේදයේදී ඉතා වැදගත් ප්‍රතිමාන බව ඔහු පළ කළේය. මුල් කරුණු තුන වාස්තවිකත්වය යටතේ අපි දැනටමත් සාකච්ඡාකර ඇත්තෙමු . ඉතිරි කරුනු දෙක වන මිනිස්කම සහ වගවීම වාස්තවිකත්වයට සෘජුවම සම්බන්ධ නොවුනත් ජනමාධ්‍යයේ සදාචාරය සම්බන්ධයෙන් වාස්තවිකත්වය (objectivity) මෙන්ම බෙහෙවින් අදාළය. ඒහිදි මනෂ්‍යත්වය හෙවත් මිනිස්කම යන්නෙන් අදහස් වන්නේ තමන්ගේ වාර්තාකරණය නිසා කිනම් ආකාරයක මිනිස් හෝ නොමිනිස්කම් ප්‍රවර්ධනය වේද යන්න පිළිබඳ තැකීමෙන් යුක්තව ජනමාධ්‍යවේදියා කටයුතු කිරීම යි. වාර්තාකරණයෙන් නොමිනිස්කම් සහ හිංසනය උසිගැන්වීම නොකළ යුත්තේ එබැවිනි. වගවිම යන්නෙන් අදහස් වන්නේ වාර්තාකරනයේදී තමන් අතින් සිදුවන වැරදි නොවලහා පිළිගෙන නිවැරදි කිරීමයි.
ජනමාධ්‍යයේ එන නොයෙකුත් ආචාරධර්ම මතක තබා ගන්නවාටත් වඩා ඒවාට පදනම වන ජනමාධ්‍ය වාස්තවිකත්වයේ ඉහත පැහැදිළි කල මූලධර්ම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇතිකර ගැනීම වැදගත්ය.
විජයානන්ද ජයවීර