ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නව ඓතිහාසික වෙළඳ ගිවිසුම ලංකාවට කෙසේ බලපායි ද?

දශක දෙකක සාකච්ඡාවලින් අනතුරුව පසුගිය අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නව නිදහස් වෙළඳ ගිවිසුම, යුරෝපීය කොමිසමේ සභාපතිනි උර්සුලා වොන්ඩර් ලේයන් හැඳින්වූයේ “සියලු ගිවිසුම්වල මෑණියන්” (mother of all deals) ලෙසිනි.

යුරෝපය හා ඉන්දියාව එක් ව ගත් විට සමස්ත ජනගහනය බිලියන දෙකකි.  මේ එකතුව ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) හතරෙන් එකක් නියෝජනය කරන ආර්ථිකයන් ලෙස හැදින්විය හැකිය. මෙම ගිවිසුම් ගත වීම උර්සුලා හැඳින්වූයේ, දෙපාර්ශවයට ම ජය ලැබෙන (win-win fashion) හවුල්කාරිත්වයක් තෝරා ගත් යෝධයන්දෙදෙනෙකුගේකතාවක් ලෙසයි.

එකඟවීඇතිකරුණුමොනවාද?

මෙම ගිවිසුම යටතේ, ඉන්දියාවට අපනයනය කරන යුරෝපීය භාණ්ඩවලින් 96.6%ක් සඳහා පනවා ඇති බදු ඉවත් කිරීම හෝ අඩු කිරීම සිදු කෙරේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව යුරෝ බිලියන 4ක (පමණ) රේගු බදු ඉතිරියක් යුරෝපයට හිමිවනු ඇත.

මෝටර්රථ ක්ෂේත්‍රය: මෙහි විශාලතම වාසිය හිමි වන්නේ යුරෝපීය මෝටර් රථ නිෂ්පාදකයින්ටයි. Volkswagen, BMW, සහ Mercedes-Benz වැනි සමාගම්වල රථ සඳහා දැනට පවතින 110%ක අධික බද්ද නව ගිවිසුම යටතේ ක්‍රමයෙන් 10% දක්වා අඩු කෙරේ. ඒ අතර  ඉන්දියාව සිය දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහා, යුරෝ 15,000 ට අඩු මෝටර් රථ සඳහා ඉහළ බදු තවදුරටත් අයකරනු ඇත.

* අනෙකුත්භාණ්ඩ: යන්ත්‍රෝපකරණ (44% සිට), රසායනික ද්‍රව්‍ය (22% සිට) සහ ඖෂධ (11% සිට) මත පැනවූ බදු ඉන්දියාව විසින් බොහෝ දුරට ඉවත් කරනු ඇත.

* මත්පැන්: වයින් සඳහා පවතින 150%ක බද්ද මධ්‍යම සහ වාරික වර්ග සඳහා 20-30% දක්වා අඩු කෙරේ.

ගිවිසුමටඅනුවයුරෝපා සංගමය ද තම වෙළඳපොළ ඉන්දියාවට විවෘත කරමින්, ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩවලින් 99.5%ක බදු ඉවත් කරනු ඇත. මෙයට ඉස්සන් වැනි සාගර නිෂ්පාදන, සම් භාණ්ඩ, රෙදිපිළි, මැණික් හා ස්වර්‍ණාභරණ ඇතුළත් වේ. මේවා ඉන්දියාවේ දැඩි ලෙස ශ්‍රමය පදනම් කරගත් (labor-intensive) නිපැයුම් ක්ෂේත්‍ර වන බැවින් ඉන්දීය අපනයනකරුවන්ට මෙය ඉතා වටිනා අවස්ථාවකි.

ඉන්දියාවේ සමීපතම අසල්වැසියා ලෙස මෙම ශ්‍රී ලංකාවට මෙම ගිවිසුම ධනාත්මක මෙන්ම අභියෝගාත්මක යන දෙ අංශයෙන් ම බලපෑ හැකිය.

1. අපනයනවෙළඳපොළතුළතරගකාරීත්වයවැඩිවීම

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන භාණ්ඩ වන රෙදිපිළි (Apparel) සහ මුහුදුආහාර (Seafood) සඳහා යුරෝපා සංගමය ඉතා වැදගත් වෙළඳපොළකි. මෙතෙක් කල් ශ්‍රී ලංකාව යුරෝපයට භාණ්ඩ යැවීමේ දී GSP+ සහනය හරහා බදු වාසි ලැබූ අතර ඉන්දියාවට එම වාසිය සම්පූර්ණයෙන් ලැබුණේ නැත. එහෙත් ඉන්දියාව සහ යුරෝපා සංගමය (EU) අතර ඇති කරගත් මෙම ගිවිසුම නිසා ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායමෙන් 40%ක් ගෙන එන ඇඟලුම් ක්ෂේත්‍රයට සෘජු සහ තීරණාත්මක බලපෑමක් එල්ල විය හැකිය.

ඉන්දියාවේ පවතින අඩුනිෂ්පාදන පිරිවැය සහ විශාල පරිමාණයෙන් නිශ්නිපාදනය කිරීමේ හැකියාව නිසා ඔවුන්ට ඉතා අඩුමිලකට ඇඟලුම් සැපයිය හැකිවේ. ඒ නිසා මිල මත පදනම් ව ඇණවුම් ලබාදෙන ගැනුම්කරුවන් (Mass-market buyers) ශ්‍රී ලංකාව අතහැර ඉන්දියාව දෙසට හැරීමේ අවදානමක් පවතී. ලංකාවට මෙන් නොව ඉන්දියාවට තමන්ගේ ම නූල් සහ රෙදිපිළි (Fabric) විශාල වශයෙන් නිපදවන නිසා, සාමාන්‍යයෙන්  GSP සහනය ලබා ගැනීමට වාසි වන අමු ද්‍රව්‍ය ප්‍රභවය පිළිබඳ කොන්දේසි හෙවත්“Rules of Origin” කොන්දේසි සපුරාලීම ඉන්දියාවට නිරායාසයෙන් ම හැකි වනු ඇත. මෙය ඔවුන්ට ශ්‍රී ලංකාවට වඩා වේගවත් සහ නම්‍යශීලී සැපයුම් දාමයක් නිර්මාණය කර ගැනීමට උදව් වේ.

මෙම නව අභියෝගය හමුවේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය සාමාන්‍ය ටී–ෂර්ට් වැනි සරල ඇඳුම් වෙනුවට, ඉහළ තාක්ෂණික දැනුමක් අවශ්‍ය වන යට ඇඳුම් (Lingerie) සහ ක්‍රීඩා ඇඳුම් (Activewear) වැනි ක්ෂේත්‍රවල සිය දක්ෂතාව මත එම වෙළඳපොළ රඳවා ගැනීමට උත්සාහ කළ යුතු වේ. ඉන්දියාවට වඩා ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලා පාරිසරික ප්‍රමිති (Ethical Manufacturing) අතින් ඉදිරියෙන් සිටීම නිසා පරිසර හිතකාමී නිෂ්පාදනවලට වැඩි කැමැත්තක් දක්වන යුරෝපීය ප්‍රජාවට එය ආකර්ෂණයක් විය හැකිය. තවත් වැදගත් සාධකයක් වන්නේ අපේ ශ්‍රම බල කාය ඇඟලුම් නිෂ්පාදන කටයුතුවල යෙදෙන්නේ නිසි සේවා කොන්දේසි යටතේ බවට යුරෝපීය පාරිභෝගිකයන්ට සහතික වීමයි. අයහපත් කොන්දේසි සහ දැඩි මානසික පීඩනය යටතේ වහලුන් මෙන් වැඩ ගන්නා තැන්වල නිපදවන ඇදුම් පැළදුම්වලින් සැරසීමට බොහෝ යුරෝපීයයෝ අකැමැති වෙති.

2. ඉන්දියානු සැපයුම්දාමය (Supply Chain) හරහා ලැබෙන වාසි

ශ්‍රී ලංකාවේ බොහෝ කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ගෙන් වන්නේ ඉන්දියාවෙනි.

ඉන්දියාවේ නිෂ්පාදන පිරිවැය අඩු වීම සහ යුරෝපය සමඟ වෙළඳාම දියුණු වීම නිසා, ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට ලැබෙන අතරමැදි භාණ්ඩ (Intermediate goods) සහ තාක්ෂණය ඇතැම් විට වඩාත් ලාභදායී විය හැකිය. එසේ වුවහොත් එය ශ්‍රී ලංකාවේ නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට වක්‍රව උදව් වේ.

3. ආයෝජනඅවස්ථාශ්‍රීලංකාවටආකර්ෂණයකරගැනීම

යුරෝපීය සමාගම් ඉන්දියාව සමඟ ගනුදෙනු වැඩි කරන විට, සිය කලාපීය මෙහෙයුම් සඳහා ඉන්දියාවට ඉතා සමීප ව පිහිටි ශ්‍රී ලංකාව “සැපයුම් මධ්‍යස්ථානයක්” (Logistics Hub) ලෙස භාවිතා කිරීමට යුරෝපීය සමාගම් පෙලඹ විය හැකි වෙයි.

කොළඹ වරාය සහ හම්බන්තොට වරාය වැනි උපායමාර්ගික ස්ථාන, ඉන්දියාව සහ යුරෝපය අතර කෙරෙන වෙළඳාමේ දී වැදගත් නැවතුම් පොළවල් විය හැකියි. මේ පෙලඹවීම සාර්ථක කරගැනීමට නම් තවදුරටත් අදිමදි නොකර ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරන පාලම ඉදි කර ගැනීමට අප කටයුතු කළ යුතුය.

4. GSP+ සහනයපිළිබඳඅවධානය

ශ්‍රී ලංකාව දැනට භුක්ති විඳින GSP+ සහනය ඉදිරියේ දී අහිමි වුවහොත් හෝ වෙනස් වුවහොත්, ඉන්දියාවට ලැබී ඇති මෙම නව වෙළඳ සහනය නිසා ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් දැඩි පසුබෑමකට ලක් විය හැකියි. එබැවින්, ශ්‍රී ලංකාවට ද යුරෝපා සංගමය සමඟ පවතින වෙළඳ සබඳතා තවදුරටත් ස්ථාවර කර ගැනීමටත් ඉන්දියාව සමග වඩා යහපත් නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීම කඩිනම් කිරීමටත් නො පමාව කටයුතු කළ යුතුය.

5. කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය

නව ගිවිසුමේ සඳහන් වන ආරක්ෂාව පිළිබඳ හවුල්කාරිත්වයද (Security and Defense Partnership) ශ්‍රී ලංකාවට සෘජු ව ම බලපෑ හැකිය. ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සහ සමුද්‍රීය සහයෝගීතාව පිළිබඳව ඉන්දියාව සහ යුරෝපය සමග එක් ව කටයුතු කිරීම, ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ ආරක්ෂාවට සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි නීති විරෝධී කටයුතු මර්දනය කිරීමට රුකුලක් වනු ඇත.

මෙම ගිවිසුම නිසා යුරෝපා වෙළඳපොළ තුළ ඉන්දියාව සමඟ ඇතිවන තරඟය ශ්‍රී ලංකාවට අභියෝගයක් වුවද, අප කල්පනාකාරී ව කටයුතු කළොත් නාවික සහ සැපයුම්ක්ෂේත්‍රයේ (Logistics) දියුණුවක් ඇති කර ගැනීමට එය රුකුලක් කර ගත හැකිය.

ඒ කොයික කිරීමටත් දෙපාර්ශවයට ම ජය ලැබෙන නව ඉන්දු ලංකා වෙළඳ ගිවිසුමකින් ඉන්දු යුරෝපීය සන්ධානයේ පල ප්‍රයෝජන භුක්ති විඳීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අදිමදි කරන්නේ නම් අපට කෝච්චිය වැරදීමට ඉඩ ඇත.

2026 ජනවාරි 30

Leave a comment