පුරපති මම්දානිගේ අයවැය: ගණන් බැලීම් නිවැරදි විය හැක

ට්‍රම්ප්ගේ දක්ෂිණාංශික අධිකාරවාදයට අභියෝග කරමින් ජයගත් නිව් යෝර්ක් නගරයේ නව සමාජවාදී පුරපතිවරයා සැබෑ රාජ්‍ය මූල්‍ය සීමාවන්ට මුහුණ දී සිටිය ද, ඔහුට සැබෑ අවස්ථාද ඇත. ශක්තිමත් බදු පදනමක්, ප්‍රයෝජනවත් ප්‍රතිසංස්කරණ සහ පැහැදිලි දේශපාලන ජන වරමක් සමඟින්, පුරපති ස්රාන් මම්දානිට Zohran Mamdani හට පාලනය කිරීමට අවශ්‍ය මෙවලම් ඇතිතරම් තිබේ.

මම්දානි පාලනයක් සඳහා, සාර්ථකත්වය යනු අවම වශයෙන් කරුණු දෙකකි: නගර ආණ්ඩුව ඵලදායී ලෙස පවත්වාගෙන යාම සහ ඔහුගේ ප්‍රගතිශීලී න්‍යාය පත්‍රයේ සැලකිය යුතු කොටසක් ක්‍රියාත්මක කිරීම.

Zohran Mamdani නිව් යෝර්ක් නගරයේ මීළඟ පුරපතිවරයා ලෙස දිවුරුම් දීමට ඇත්තේ තව සති කිහිපයකි. විධායක කාර්යාලයක් හොබවන වැදගත්ම ඇමරිකානු සමාජවාදියා ඔහු වනු ඇත. එබැවින්, ස්වාභාවිකවම, ඔහුට සැබවින්ම ඉටු කළ හැක්කේ කුමක්දැයි බොහෝ දෙනා කල්පනා කරති.

මම්දානි පාලනයක් සඳහා, සාර්ථකත්වය යනු අවම වශයෙන් කරුණු දෙකකි: නගර ආණ්ඩුව ඵලදායී ලෙස පවත්වාගෙන යාම සහ ඔහුගේ ප්‍රගතිශීලී න්‍යාය පත්‍රයේ සැලකිය යුතු කොටසක් ක්‍රියාත්මක කිරීම. මේ දෙකම පහසු කාර්යයන් නොවේ. ලක්ෂ 3කට අධික නාගරික සේවකයින් 85 ලක්ෂයක් වන නිව් යෝර්ක් වැසියන්ට සේවය සපයන, සහ තම පුරපතිවරුන්ව තදින් විවේචනය කරන නිව් යෝර්ක් නගරය පාලනය කිරීම කුප්‍රකට ලෙස දුෂ්කර ය. ඊටත් වඩා අභියෝගාත්මක වන්නේ නව පුරපතිවරයාගේ අභිලාෂකාමී යෝජනා ලැයිස්තුවයි. ධනවතුන්ගෙන් බදු අය කර ගෙවනු ලබන, නොමිලේ බස් රථ, නොමිලේ ළමා සුරැකුම්, කුලී පාලනයක් (rent freeze), සහ දැරිය හැකි මිලට නව නිවාස ඉදිකිරීම් ඊට ඇතුළත් ය.

මම්දානි න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ දේශපාලන බාධක බොහෝ දෙනා දන්නා කරුණකි. ඇල්බනිහිදී (ප්‍රාන්ත අගනුවර), මම්දානිගේ න්‍යාය පත්‍රයේ බොහෝ දේට නිව් යෝර්ක් ආණ්ඩුකාර කති හෝචුල් (Kathy Hochul) ගෙන් විරෝධය එල්ල වනු ඇත. ඇය ධනවතුන්ට බදු පැනවීමට නිරන්තරයෙන් විරුද්ධ වූ මධ්‍යස්ථ ප්‍රජාතන්ත්‍රවාදියෙකි. වොෂින්ටනයේ සිටින්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ඔහු අරමුදල් රඳවා තබා ගැනීමෙන්, නගර වීදිවල ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) නිලධාරීන් යෙදවීමෙන්, හෝ නිව් යෝර්ක්හි ජීවිතය දුෂ්කර කිරීමට වෙනත් ක්‍රම සොයා ගැනීමෙන් නව පරිපාලනය අඩපණ කිරීමට (undermine) ෆෙඩරල් ආණ්ඩුව භාවිතා කළ හැකිය.

නමුත් එතරම් අවබෝධයක් නොමැතිව ඇත්තේ සැබෑ ප්‍රතිපත්තිමය විසඳුම් සහ ගැටළු විසඳීම අවශ්‍ය වන ආර්ථික හා මූල්‍ය අභියෝග ය. එබැවින් මම්දානිගේ සාර්ථකත්වයේ අපේක්ෂාවන් වටහා ගැනීමට නිව් යෝර්ක් ප්‍රාන්තයේ සහ නිව් යෝර්ක් නගරයේ අයවැය පිළිබඳ කෙටි විමසුමක් අවශ්‍ය වේ. ෆෙඩරල් ආණ්ඩුවට ඇති අයවැය හිඟයන් පියවීමේ සහ ජාතික ආර්ථිකය නියාමනය කිරීමේ සැලකිය යුතු හැකියාව මෙන් නොව, ප්‍රාන්ත සහ පළාත් මට්ටමේ ප්‍රතිපත්ති විවාද ප්‍රධාන වශයෙන්ම අයවැය ස්වභාවයක් ගනී – එනම් සීමිත ආදායම් ප්‍රමාණයක් බෙදා හැරීමට සිදු වේ. නීතිමය අවශ්‍යතා නිසාත්, බදු ආදායම වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන්නේ නම් සැබෑ මූල්‍ය අර්බුදවලට මුහුණ දීමට සිදුවන නිසාත්, ප්‍රාන්ත සහ පළාත් පාලන ආයතන තම අයවැය සමතුලිත කළ යුතුය. මම්දානි සිය න්‍යාය පත්‍රය සඳහා ගෙවීමට බදු ක්‍රියාමාර්ග යෝජනා කර ඇතත්, එම යෝජනා නීතියක් බවට පත් වුවද, ඒවායේ ශක්‍යතාව රඳා පවතින්නේ ඔහුට නුදුරේදීම උරුම වන පුළුල් රාජ්‍ය මූල්‍ය තත්ත්වය මත ය.

ප්‍රාන්ත සහ පළාත් ප්‍රතිපත්ති විවාදවල ගුරුත්වාකර්ෂණ මධ්‍යස්ථානය අයවැය වීමට හේතුව, මිනිසුන් දෛනිකව භාවිතා කරන බොහෝ රාජ්‍ය සේවාවන් – පාසල්, පොලිසිය, සනීපාරක්ෂාව, ප්‍රවාහනය – සපයනු ලබන්නේ මෙම ආයතන මගිනි. ඇත්ත වශයෙන්ම, කිසියම් වැදගත් අර්ථයකින් අයවැයට සෘජුව සම්බන්ධ නොවන ප්‍රාන්ත ප්‍රතිපත්තිමය ගැටළු ඇත්තේ ඉතා ස්වල්පයකි. රෝහල්, රජයේ පාසල්, පොලිසිය, රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා අරමුදල්, දැරිය හැකි නිවාස සඳහා සහනාධාර – මේ බොහෝ දේ අයවැය තුළ සාකච්ඡා කරනු ලැබේ. අද වන විට රට පුරා ප්‍රාන්ත සහ පළාත් වියදම්, ෆෙඩරල් ආණ්ඩුවේ විශාල අයවැයේ පරිමාණයට ආසන්න වෙමින් පවතී. 2024 දී ෆෙඩරල් ආණ්ඩුව ඩොලර් ට්‍රිලියන 6.8 ක් වියදම් කළ අතර, ප්‍රාන්ත සහ පළාත් සියල්ල එක්ව ඩොලර් ට්‍රිලියන 4 ක් වියදම් කළේය. එහෙත් බදු ආදායමෙන් මුදල් යෙදවූ ෆෙඩරල් වියදම් කොටස ඩොලර් ට්‍රිලියන 4.9 ක් පමණි. වෙනත් වචන වලින් කිවහොත්, එක්සත් ජනපදයේ මුළු බදු-මූල්‍ය වියදම් දැන් ෆෙඩරල් ආණ්ඩුව සහ ප්‍රාන්ත/පළාත් අතර ආසන්න වශයෙන් සමානව බෙදී ඇත.

වාම පාර්ශ්වයේ බොහෝ දෙනා විශ්වාස කරන දෙයට පටහැනිව, බොහෝ රාජ්‍ය වියදම් යොදවන්නේ බන්ධනාගාර, පොලිසිය සහ හමුදාව සඳහා නොව, යෝග්‍ය ආකාරයේ සමාජ ප්‍රතිපත්ති සඳහා ය. 2024 මූල්‍ය වර්ෂය සඳහා වූ ඩොලර් ට්‍රිලියන 6.8 ක ෆෙඩරල් අයවැයෙන් ඩොලර් ට්‍රිලියන 3 ක් (සියයට 44) වැය කර ඇත්තේ ‘මෙඩිකෙයාර්’ (Medicare), ‘මෙඩිකේඩ්’ (Medicaid) සහ සමාජ ආරක්ෂණය (Social Security) සඳහා පමණි. 2025 මූල්‍ය වර්ෂය සඳහා වූ නිව් යෝර්ක් ප්‍රාන්තයේ ඩොලර් බිලියන 134 ක මෙහෙයුම් අරමුදල් අයවැයෙන්, ඩොලර් බිලියන 67 ක් වැය කර ඇත්තේ රජයේ පාසල් සහ (ප්‍රාන්ත සහ ෆෙඩරල් ආණ්ඩුව එක්ව අරමුදල් සපයන) ‘මෙඩිකේඩ්’ සඳහා පමණි. අනෙකුත් ප්‍රධාන වියදම් ක්ෂේත්‍ර අතරට ප්‍රාන්ත නියෝජිතායතන සේවකයින්ගේ සහ නිව් යෝර්ක් ප්‍රාන්ත විශ්ව විද්‍යාල සේවකයින්ගේ වැටුප් මෙන්ම ප්‍රවාහන, මානසික සෞඛ්‍ය සහ සමාජ සේවා ඇතුළත් වේ. නගරයේ වත්මන් වාර්ෂික ඩොලර් බිලියන 116 ක අයවැයෙන් ඩොලර් බිලියන 35 ක් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහා වන අතර ඩොලර් බිලියන 15.5 ක් සමාජ සේවා සඳහා ය. වඩාත්ම වියදම් අධික තනි අයිතමයක් වන නිව් යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවට පවා වෙන්වන්නේ අයවැයෙන් සියයට 6 ක් හෙවත් වසරකට ඩොලර් බිලියන 7 ක් පමණි.

මේ සියල්ලෙන් කිව හැක්කේ වත්මන් වියදම් අඩු කිරීමට පහසු මාර්ග නොමැති බවයි. රාජ්‍ය අංශයේ සේවකයින්ට ඔවුන්ගේ කේවල් කළ වැටුප් වැඩිවීම් (bargained-for pay increases) ලබා දීම සඳහා පවතින වැඩසටහන්වල පිරිවැය ද සෑම වසරකම ඉහළ යනු ඇත. පුරපති මම්දානිට, නොමිලේ බස් රථ, නොමිලේ ළමා සුරැකුම් සහ දැරිය හැකි නව නිවාස ඒකක 200,000 ක් සඳහා මුදල් යෙදවීම වැනි තමාගේම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට පෙර, ඔහුගේ පළමු හා වැදගත්ම ප්‍රතිපත්තිමය අභියෝගය වනුයේ මෙම ‘trade-offs’ (හුවමාරු කිරීම්) කළමනාකරණය කර ගනිමින් අයවැය සමතුලිතව තබා ගැනීමයි.


නගර අයවැය සමතුලිත කිරීම

කෙසේ වෙතත්, නව පරිපාලනය බලයට පත්වීමටත් පෙර, නගරයේ අයවැය දැනටමත් අසමතුලිත වී ඇති බවට විවිධ හඬවල් කෑගසනු ඇත. 1975 මූල්‍ය අර්බුදයේ සිටම, නිව් යෝර්ක් නගරය සහ ඇල්බනි (ප්‍රාන්ත රජය) අයවැය සකස් කර ඇත්තේ බදු ලැබීම් සහ වියදම් පුරෝකථනය කරන සිව් අවුරුදු මූල්‍ය සැලැස්මක් (four-year financial plan) හරහා ය. ප්‍රාන්ත සහ නගර අයවැය කාර්යාල දෙකේම සාමාන්‍ය ක්‍රියා පිළිවෙත වන්නේ අනාගත ආදායම තරමක් අඩුවෙන් තක්සේරු කිරීමයි. මෙයින් අනාගතයේදී ආදායමට වඩා වේගයෙන් වියදම් වර්ධනය වන බවත්, ප්‍රාන්තයට හෝ නගරයට තම වියදම් පියවා ගැනීමට නොහැකි වන බවත් පෙන්වන පුරෝකථන නිර්මාණය වේ. ඩොලර් බිලියන 116 ක අයවැයක් තුළ, අපේක්ෂිත ආදායම් වර්ධන වේගයේ කුඩා වෙනසක් වුවද, වසර තුනකින් අපේක්ෂිත ආදායමට ඩොලර් බිලියන ගණනක බලපෑමක් ඇති කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස, වත්මන් නිව් යෝර්ක් නගරයේ මූල්‍ය සැලැස්ම ඇස්තමේන්තු කරන්නේ 2027 සිට 2029 දක්වා මූල්‍ය වර්ෂවලදී නගරයේ වියදම් ඩොලර් බිලියන 17 කින් එහි ආදායම ඉක්මවා යනු ඇති බවයි. මෙම සංඛ්‍යාව භාවිතා කරමින් තර්ක කෙරෙනු ඇත්තේ, පුරපති මම්දානි නව වැඩසටහන් ගැන සලකා බැලීම කෙසේ වෙතත්, පළමුව පිරිවැය අඩු කිරීම ආරම්භ කළ යුතු බවයි.

කෙසේ වෙතත්, මූල්‍ය ප්‍රතිපත්ති ආයතනයේ (Fiscal Policy Institute) පර්යේෂණ පෙන්වා දී ඇති පරිදි, මෙම පුරෝකථනය කරන ලද ‘පරතරයන්’ (gaps) කලාතුරකින් සැබෑ වේ. ඒ වෙනුවට, අයවැය සාකච්ඡා කරන විට, නගරයට ඇත්ත වශයෙන්ම එහි වත්මන් වියදම් පියවා ගැනීමට හැකි වනු ඇති බව පෙන්වමින්, වඩාත් යථාර්ථවාදී ආදායම් තක්සේරු කිරීම් සමඟින් පුරෝකථන යාවත්කාලීන කරනු ලැබේ. මෑත වසරවල දත්ත පෙන්නුම් කරන්නේ, ආර්ථික පසුබෑමක් සිදු නොවන්නේ නම්, ආදායම් සහ වියදම් දළ වශයෙන් ගැලපෙන බැවින් නගරයේ අයවැය මූලික වශයෙන් ව්‍යුහාත්මකව සමතුලිත (structurally balanced) බවයි.

නිව් යෝර්ක් නගරය පාලනය කිරීම කුප්‍රකට ලෙස දුෂ්කර ය. ලක්ෂ 3කට අධික නාගරික සේවකයින් සහ 85 ලක්ෂයක් වන නිව් යෝර්ක් වැසියන්ට සේවය සැපයිය යුතුය. ඔවුන් තම පුරපතිවරුන්ව තදින් විවේචනයට ලක් කරන්නන් ලෙස ප්‍රසිද්ධ ය.

මේ අතින් ගත් කල, නව පරිපාලනය විවේචකයින් පවසනවාට වඩා හොඳ මූල්‍ය තත්ත්වයක සිටිනු ඇත. නමුත් එරික් ඇඩම්ස් (Eric Adams) පරිපාලනය විසින් පවතින ප්‍රගතිශීලී ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමට දැක්වූ අකමැත්ත හේතුවෙන් සැබෑ අභියෝග ද පවතී. නිව් යෝර්ක් නගරයේ පන්තිකාමරවල ළමුන් සංඛ්‍යාව සීමා කිරීමේ 2022 නීතිය සඳහා 2028 වන විට නව ගුරුවරුන් 14,000 කට වඩා අවශ්‍ය වන අතර, ඒ සඳහා ඩොලර් බිලියන 1 ක් පමණ වැය වේ. CityFHEPS වැනි හදිසි නිවාස වවුචර (Emergency housing vouchers) සඳහා දැනට අයවැය කර ඇති මුදලට වඩා ඩොලර් බිලියන 1 ක් වැඩිපුර වැය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, සුදුසුකම් පුළුල් කිරීමෙන් වසරකට ඩොලර් බිලියන ගණනක නව පිරිවැයක් ඇති විය හැකිය. තවද, ඇඩම්ස්ගේ පාලන කාලය පුරාම බඳවා ගැනීම් අත්හිටුවීම (hiring freeze) හේතුවෙන් තනතුරු 15,000 ක් පමණ පුරප්පාඩු වී ඇති අතර, එමඟින් වාර්ෂිකව ඩොලර් බිලියන 1 කට වඩා ඉතිරියක් ජනනය කර ඇතත්, එයින් සිදුවී ඇත්තේ චිත්ත ධෛර්යය හීන වූ (demoralized) සහ අඩු ඵලදායී නාගරික ශ්‍රම බලකායක් නිර්මාණය වීමයි.

මෙම මූල්‍ය අභියෝග බැරෑරුම් ලෙස ගත යුතු නමුත්, ඒවා බලාපොරොත්තු සුන් වීමට හේතුවක් නොවේ. නිව්යෝර්ක් නගරයට මූලික වශයෙන් ශක්තිමත් බදු පදනමක් (strong tax base) ඇත. තවමත් දියුණු වෙමින් පවතින සුරැකුම්පත් කර්මාන්තය (securities industry) මගින් අර්ධ වශයෙන් මෙහෙයවනු ලබන, ඉහළ ආදායම් ලබන ජනගහනයෙන් ස්ථාවර වාර්ෂික ආදායම් වර්ධනයක් නගරයට ලැබේ. මූල්‍ය ගතානුගතිකයින් 1975 මූල්‍ය අර්බුදය පිළිබඳ මතකයන් අවදි කිරීමට නැඹුරු වුවද, එකල නගරයේ අයවැය රඳා පැවතුනේ වත්මන් බදු ආදායමෙන් ගෙවිය නොහැකි වාර්ෂික වියදම් පියවා ගැනීම සඳහා කෙටිකාලීන ණය ගැනීම් (short-term borrowing) මත ය; අද නගරය සහ ප්‍රාන්තය යන දෙකම වාර්ෂික අතිරික්තයන් (annual surpluses) පවත්වාගෙන යන අතර වත්මන් ආදායමෙන් තම වියදම් පියවා ගත හැකිය.


ප්‍රාන්ත අයවැයට එල්ල වන ෆෙඩරල් කප්පාදුව

නගරයේ අයවැය මෙන්ම, ප්‍රාන්ත අයවැය පුරෝකථනයන් ද සාමාන්‍යයෙන් අනාගත ආදායම අඩුවෙන් තක්සේරු කරන අතර, ඩොලර් බිලියන 26.8 ක අයවැය පරතරයක් (budget gap) පිළිබඳ මාධ්‍ය වාර්තාවලට තුඩු දෙයි. නගරයේ අයවැය මෙන්ම, මෙම පරතරයන් ද ආර්ථික පසුබෑම් කාලවලින් බැහැරව සාමාන්‍යයෙන් අතුරුදහන් වේ.

එසේ වුවද, ‘One Big Beautiful Bill Act’ (OBBBA) ලෙස හැඳින්වෙන ෆෙඩරල් සංහිඳියා නීති (federal reconciliation legislation) මගින් ඇල්බනිය (ප්‍රාන්ත රජය) ඉතා සැබෑ අයවැය අභියෝගයකට මුහුණ දී සිටී. OBBBA මගින් ඉදිරි වසර දහය තුළ ෆෙඩරල් බදු ඩොලර් ට්‍රිලියන 4.5 කින් කපා හැර ඇති අතර, එය පියවනු ලබන්නේ ඉහළ අයවැය හිඟයන් සහ ‘මෙඩිකේඩ්’ (Medicaid) සහ ‘පෝෂණ ආධාර වැඩසටහන’ (SNAP) සඳහා ඩොලර් ට්‍රිලියන 1.1 ක කප්පාදුවක එකතුවකිනි.

නගරයට මූලික වශයෙන් ශක්තිමත් බදු පදනමක් ඇත. එය ඉහළ ආදායම් ලබන ජනගහනයෙන් ස්ථාවර වාර්ෂික ආදායම් වර්ධනයක් ලබා ගනී.

මෙම ෆෙඩරල් අරමුදල් කප්පාදුව නිව් යෝර්ක් වෙත ගලා එනු ඇති අතර, අයවැය මත දැඩි පීඩනයක් ඇති කරයි. ප්‍රාන්තයේ ඇස්තමේන්තුවලට අනුව, නීත්‍යානුකූලව මෙරට සිටින සංක්‍රමණිකයන් (lawfully present immigrants) සඳහා වූ ‘ඔබාමාකෙයාර්’ (Obamacare) සහනාධාර ඉවත් කිරීම මගින් මෙහෙයවනු ලබන, මෙහි වාර්ෂික බලපෑම වසරකට ඩොලර් බිලියන 4.5 ක් පමණ වන ෆෙඩරල් අරමුදල් අහිමි වීමකි. ප්‍රාන්තය විසින් අහිමි වූ සමහර ෆෙඩරල් අරමුදල් අඩුවෙන් ගණන් බැලීමේ ක්‍රම සොයාගෙන ඇති බැවින්, සැබෑ පිරිවැය මීට වඩා ඩොලර් බිලියන ගණනකින් වැඩි විය හැකිය.

වාසනාවකට මෙන්, මම්දානි පරිපාලනයට මෙම කප්පාදුව නගරයට ලැබෙන වාර්ෂික ඩොලර් බිලියන 7 ක ෆෙඩරල් අරමුදල්වලට සෘජුවම බලපාන්නේ නැත. කෙසේ වෙතත්, ප්‍රාන්තයට තමන්ගේම මූල්‍ය කළමනාකරණය කර ගැනීමට නොහැකි වුවහොත්, එය නගරය වෙත යොමු කරන වාර්ෂික ඩොලර් බිලියන 19 ක අරමුදල් අඩු කිරීමෙන් මෙම කප්පාදුවේ බලපෑමෙන් කොටසක් තමන් වෙත ඇද ගත හැකිය. එනම්, නව පරිපාලනයේ වැදගත්ම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවයක් වනුයේ, වියදම් කප්පාදුව ක්‍රියාත්මක නොකර OBBBA (One Big Beautiful Bill Act) බලපෑම් කළමනාකරණය කර ගැනීම සඳහා ප්‍රාන්ත ආණ්ඩුවට දේශපාලන පීඩනය යෙදවීමයි.


බදු වැඩි කිරීම් අවශ්‍ය වනු ඇත

මෙම මූල්‍ය අභියෝග ජය ගත හැකි ය. සරල හේතුව නම්, ප්‍රාන්තයේ සහ නගරයේ සිටින ඉහළ-මධ්‍යම සහ ඉහළ ආදායම් ලබන්නන්ගේ සංචිතය අනුව බදු ඉහළ නැංවීමට දෙපාර්ශ්වයම යහපත් ආර්ථික තත්ත්වයක සිටීමයි. එහෙත් මෙය ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාවට නැංවීම සඳහා, ධනවතුන් සඳහා ආක්‍රමණශීලී බදු කප්පාදුවක් දශක ගණනාවක් තිස්සේ තල්ලු කරමින් ෆෙඩරල් අයවැය හිඟය පුපුරුවා හරින ලද, අන්තවාදී බදු-විරෝධී ව්‍යාපාරයේ (extremist anti-tax movement) බලපෑම ජය ගැනීමට සිදුවනු ඇත.

ප්‍රකෝටිපතියන්ගෙන් (billionaires) පමණක් බදු අය කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය යොමු වීම පවා බදු-විරෝධී ව්‍යාපාරයේ සාර්ථකත්වය පෙන්නුම් කරයි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී (social democratic) වැඩසටහන් සඳහා මුදල් යෙදවීම මිල අධික වන අතර, ඒ සඳහා සෑම දෙනාම ඉහළ බදු ගෙවීම අවශ්‍ය වේ. OBBBA ( One Big Beautiful Bill Act) හි එක් උපාය මාර්ගයක් වූයේ ප්‍රකෝටිපතියන්ට පමණක් නොව, ‘හොඳින් සිටින’ (well-off) සහ ධනවතුන්ට විශාල බදු සහන ලබා දීමයි. මෙම පනත මෙතරම් පිරිවැය අධික වීමටත්, දරුණු වියදම් කප්පාදුවක් අවශ්‍ය වීමටත් හේතුව එයයි – එනම් ප්‍රකෝටිපතියන්ට වඩා ‘හොඳින් සිටින ඇමරිකානුවන්’ විශාල සංඛ්‍යාවක් සිටීමයි. ආදායම් ලබන්නන්ගෙන් ඉහළම සියයට 20, එනම් ඩොලර් 120,000 ට වඩා උපයන කුටුම්භ, OBBBA බදු කප්පාදුවලින් සියයට 70 ක ප්‍රතිලාභ ලබනු ඇත. බදු කප්පාදු නියත වශයෙන්ම ධනවතුන් දෙසට නැඹුරු වී ඇති අතර, ඩොලර් ට්‍රිලියන 4.5 ක කප්පාදුවෙන් ඩොලර් ට්‍රිලියන 1 ක් ඉහළම සියයට 1 ට හිමි වේ. එහෙත් අපගේ මූල්‍ය ගැටලු මූලික වශයෙන් පැන නගින්නේ සමාජ වැඩසටහන් සඳහා මුදල් යෙදවීම සඳහා පුළුල් පදනමකින් බදු අය කිරීමේ (broad-based taxation) අවශ්‍යතාවය පිළිගැනීමට ඇති අකමැත්තෙනි. ප්‍රකෝටිපතියන් අතළොස්සකගෙන් බදු අය කිරීම සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ළඟා කර ගැනීමට ප්‍රමාණවත්ය යන අදහස තවමත් ප්‍රගතිශීලී මනෝරාජ්‍යයක් (progressive fantasy) පමණි.

බදු ඉහළ නැංවීම සඳහා, ධනවතුන් වෙනුවෙන් ආක්‍රමණශීලී බදු කප්පාදු තල්ලු කළ අන්තවාදී බදු-විරෝධී ව්‍යාපාරයේ බලපෑම ජය ගැනීමට සිදුවනු ඇත.

OBBBA (One Big Beautiful Bill Act) මගින් එක්සත් ජනපද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ ආදර්ශ මාරුවක් (paradigm shift) සංඥා කරයි. එහිදී, බදු ඉහළ නැංවීම (බොහෝ ඩිමොක්‍රටිකයින්ට පවා පිළිකුල් සහගත දෙයක්) සහ කුසගින්න ඉහළ යාම සහ සෞඛ්‍ය රක්ෂණය පුළුල් ලෙස අහිමි වීමේ ද්විත්ව සමාජ අර්බුදයකට ඉඩ දීම යන දෙකෙන් එකක් තෝරා ගැනීමට ප්‍රාන්තවලට බල කෙරෙනු ඇත. මෙම යථාර්ථය හඳුනා ගන්නා තාක් කල්, OBBBA වියදම් කප්පාදුවල පිරිවැය පියවා ගැනීම සඳහා බදු වැඩි කිරීම් හරහා නිව් යෝර්ක්හි ධනවත්ම අයට ලබා දුන් බදු කප්පාදුවලින් කොටසක් නැවත ලබා ගැනීමට ප්‍රාන්තයට හැකි විය යුතුය. නැත, ධනවතුන් එසේ කළ පමණින් තම බඩුබාහිරාදිය සූදානම් කරගෙන පිටව යන්නේ නැත – නිව් යෝර්ක්හි ඉහළම සියයට 1 (ධනවතුන්) අනෙකුත් සියලුම ආදායම් කාණ්ඩවලට වඩා අඩුවෙන් පදිංචිය මාරු කරයි. ඔවුන් එසේ මාරු වන්නේ නම්, ඔවුන් යන්නේ නිව් ජර්සි සහ කැලිෆෝනියා වැනි අනෙකුත් ඉහළ-බදු සහිත ප්‍රාන්තවලට ය.


මම්දානිගේ යෝජනා සඳහා ගෙවීම

නව පරිපාලනයේ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය රඳා පවතින්නේ මෙම අභියෝග නිරාකරණය කර ගැනීම මත ය. එසේ කිරීම සඳහා ඉහළ මට්ටමේ මූල්‍ය විචක්ෂණභාවයක් (fiscal sobriety) අවශ්‍ය වන අතර, බදු පිළිබඳ අපගේ බිය සාමූහිකව ජය ගත හැකි තාක් කල්, මෙම අභියෝග ඇත්ත වශයෙන්ම කළමනාකරණය කළ හැකි බව වටහා ගැනීම ද අවශ්‍ය වේ.

මූලික මූල්‍ය තත්ත්වය නිරාකරණය කර ගත හැකි නම්, මම්දානිගේ න්‍යාය පත්‍රය සඳහා ගෙවීමට යථාර්ථවාදී මාවතක් තිබේ. නගරයේ ස්වාධීන අයවැය කාර්යාලයට (Independent Budget Office) අනුව, නොමිලේ බස් රථ සඳහා වසරකට ඩොලර් මිලියන 700 ක් පමණ වැය වනු ඇත, එය සම්පූර්ණයෙන්ම පාහේ තවදුරටත් එකතු නොකරන ගාස්තු ආදායමෙන් (fare revenue) ගණනය කෙරේ. ළමා සුරැකුම් යනු මූල්‍යමය වශයෙන් වඩාත්ම සිත්ගන්නා සුළු යෝජනාව විය හැකි අතර, භාවිතයට ගැනීමේ අනුපාත (uptake rates) සහ සේවක වන්දි පිළිබඳ උපකල්පන මත පදනම්ව, පිරිවැය ඇස්තමේන්තු වසරකට ඩොලර් බිලියන 2.5 සිට ඩොලර් බිලියන 6 දක්වා පරාසයක පවතී. කුලී පාලනය (Rent freeze) සඳහා මුදල් වැය නොවුණත්, ලාභ නොලබන කුලී-ස්ථාවර ගොඩනැගිලි (rent-stabilized buildings) අබලන් තත්ත්වයට පත්වීම වැළැක්වීම සඳහා ගොඩනැගිලි නඩත්තුව සඳහා නගරයට සහනාධාර ලබා දීමට සිදුවනු ඇත. තවද, ඩොලර් බිලියන 70 ක් ණයට ගැනීමෙන් ඒකක දෙලක්ෂයක් තැනීමේ සැලැස්ම, දීර්ඝකාලීන ණය (long-term debt) ඇතුළු බහුවිධ යාන්ත්‍රණ මගින් මුදල් සපයනු ලබන අතර, වසර ගණනාවක ඉදිකිරීම් පුරා ව්‍යාප්ත වනු ඇත. එමඟින් වාර්ෂික ණය සේවා පිරිවැය (annual debt service costs) වසරකට ඩොලර් බිලියන 3 කින් පමණ ඉහළ යනු ඇත.

මෙම සියලු වියදම් මම්දානි විසින් යෝජිත, වාර්ෂිකව ඩොලර් බිලියන 10 ක් රැස් කිරීමට සැලසුම් කර ඇති බදු වැඩි කිරීම් මගින් ආවරණය වනු ඇත. OBBBA (One Big Beautiful Bill Act) බලපෑම් ආවරණය කිරීම සඳහා (පැරණි වැඩසටහන් වෙනුවෙන්) බදු ඉහළ නැංවීම සහ නව වැඩසටහන් සඳහා ගෙවීමට බදු ඉහළ නැංවීම අතර ගැටුමක් අනිවාර්යයෙන්ම ඇති වනු ඇත, නමුත් නගරයේ සහ ප්‍රාන්තයේ ආර්ථිකයන් මෙම බදු බර දරා ගැනීමට තරම් ශක්තිමත් ය. අභියෝගය ද්විත්ව (twofold) වනු ඇත: තරඟකාරී ප්‍රගතිශීලී ප්‍රතිපත්ති ප්‍රමුඛතා අතර නගර අයවැයේ ‘trade-offs’ (හුවමාරු) කළමනාකරණය කිරීම සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මූල්‍ය ප්‍රතිපත්තිය වළක්වන බදු-විරෝධී මානසිකත්වය (anti-tax sentiment) ජය ගැනීම. එහෙත්, මූල්‍ය කඩාවැටීමකින් තොරව රටේ වඩාත්ම සංකීර්ණ නගරය සමාජවාදී පුරපතිවරයෙකුට පවත්වාගෙන යා හැකි බව මම්දානිට පෙන්විය හැකි නම්, ඔහු නොමිලේ බස් රථ ලබා දීමට වඩා වැඩි යමක් කරනු ඇත – ඔහු ඇමරිකාවේ දේශපාලනිකව සහ ආර්ථික වශයෙන් කළ හැකි දේ පිළිබඳ නීති රීති නැවත ලියනු ඇත.

11/11/2025

ජැකොබින් සරාවට නාතන් ගස්ඩෝෆ් ලියූ ලිපියක් ඇසුරෙනි.


Leave a comment