ට්‍රම්ප් වර්ගයේ දක්ෂිණාංශික අලිබරල්(illiberal) දේශපාලනය ගැන බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පතට ඇන්ඩි බෙකට් ඉහත සිරස්තලයෙන් සපයා තිබූ තීරු ලිපිය කියැවීම වටී. පහත දැක්වෙන්නේ එහි සිංහල පරිවර්තනයකි.

ඔබේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දමමින් තිබුණහොත් ඔබ කෙසේ හැසිරෙනු ඇත්ද යන ප්‍රශ්නය කලක් බොහෝ බටහිර රටවල අධ්‍යයනමය ප්‍රශ්නයක් පමණක් විය. 1930 ගණන්වල හිට්ලර්ගේ මූලිකත්වයෙන් මෙම ක්‍රියාවලිය සිදු වූ සමාජයන් වඩ වඩාත් අතීතයට අයිති බවක් පෙනෙන්නට තිබිණි. දේශපාලනිකව සහ එදිනෙදා ජීවිතයේදී අධිකාරීවාදයට සහ ඒකාධිපතිවාදයට මිනිසුන් ප්‍රතිචාර දැක්වූ එකිනෙකට වෙනස් ආකාර අධ්‍යයනය කිරීමට හා මතක තබා ගැනීමට වැදගත් වුවද, වර්තමානයට එතරම් අදාළ නොවන බවක් කලක් තිස්සේ පෙනෙන්නට තිබුණි.
ඒහෙත් තවදුරටත් එසේ නොවේ. ආර්ජන්ටිනාවේ සිට ඉතාලිය දක්වාත්, ප්‍රංශයේ සිට ඉන්දුනීසියාව දක්වාත්, හංගේරියාවේ සිට බ්‍රිතාන්‍යය දක්වාත්, අලිබරල් ජනතාවාදය (Illiberal populism) ලොව පුරා ව්‍යාප්ත වී, බලය සඳහා අභියෝග කරමින් හෝ බලයේ ස්ථාපිත වෙමින් පවතී. නමුත් සාපේක්ෂව නිදහස්, බහුත්වවාදී සමාජයක් සහ දේශපාලන ක්‍රමයක් ඉතා වෙනස් දෙයක් බවට පත්වීමේ වඩාත්ම වැදගත් උදාහරණය ලෙස පවතින්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලයට මාස නවයකට වඩා වැඩි කාලයක් ගතවී ඇති එක්සත් ජනපදයයි.
බොහෝ විට සිදු වන පරිදි, ලෝකයේ බොහෝ දෙනෙකුට අනාගතය කෙබඳු විය හැකිද යන්න එක්සත් ජනපදය පෙන්නුම් කරමින් සිටී. ට්‍රම්ප්ගේ සංක්‍රමණිකයන් ‘ශුද්ධ කිරීම’ (purges), බලය මධ්‍යගත කිරීම, විරුද්ධ මත මර්දනය කිරීම, පක්ෂපාතී කතිපයාධිකාරීන්ට (oligarchs) ත්‍යාග පිරිනැමීම සහ සත්‍යයට හා නීතියට දක්වන අපහාසය ඔහුටම අනන්‍ය වූ දේ නොවේ. එහි ඇතැම් ලක්ෂණ බ්‍රිතාන්‍යයේ ස්ටාමර්ගේ ආණ්ඩුව වැනි, ජනතාවාදයට විකල්ප ලෙස පෙනී සිටින ආණ්ඩු පවා, සරණාගතයින් කෙරෙහි ‘ප්‍රදර්ශනාත්මක දරුණු බවක්’ (performative severity) පෙන්වීම වැනි ක්‍රියාන්විත මගින් බෝවෙන බවක් පෙන්නුම් කරයි.
අර්ධ වශයෙන් ජනතාවාදය බෙදීම් ඇති කරන්නක් වන නිසාත්, අර්ධ වශයෙන් ට්‍රම්ප් ඉතා අස්ථාවර පුද්ගලයෙකු වන නිසාත්, ඔහුගේ පාලන තන්ත්‍රයේ දේශීය බලපෑම ඒකාකාරී නොවේ. විවිධ කණ්ඩායම් සහ පුද්ගලයින් එහි ක්‍රියාවන්ට ප්‍රතිචාර දක්වන ආකාරයද එසේමය. මෙම සංකීර්ණ, බොහෝ විට අසුභ රටාවන් කැලිෆෝනියාවේදී විශේෂයෙන් පැහැදිලි විිය
ජූනි මාසයේ සිට ෆෙඩරල් ආන්ඩුව විසින් එක්සත් ජනපද මැරීන් භටයින්, ජාතික ආරක්ෂක භටයින් සහ ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) සන්නද්ධ නිලධාරීන් වරින් වර යොදවා ඇති කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හි ලතින් ඇමරිකානු (Latino) ජනයා බෙහෙවින් වෙසෙන අසල්වැසි ප්‍රදේශ භයංකාර ලෙස නිහඬව පවතී. හදිසි අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ පිටුවහල් කිරීම පිලිබඳ බිය නිසා මාස ගණනාවක් තිස්සේ මේ මිනිසුන් ගෘහස්ථව සහ පොදු ස්ථානවලින් ඈත්ව සිටිති.
එහෙත්, ලොස් ඇන්ජලීස් නගර මධ්‍යයේ කලාකාමී දිස්ත්‍රික්කයේ (arts district), එනම් පැරණි ගබඩා සහ කර්මාන්තශාලා ‘ප්‍රභූකරණය’ (gentrified) කරන ලද ප්‍රදේශයේ, බේකරි සහ ආපනශාලා සුපුරුදු පරිදි කාර්යබහුල ය. මිල අධික අයිස් කෝපි සහ විශේෂිත සැන්ඩ්විච් (artisanal sandwiches) රස විඳිමින් විලාසිතාමය ඇඳුම් ඇඳගත් සුදු ජාතික කණ්ඩායම් ඔවුන්ගේ නවතම සංස්කෘතික ව්‍යාපෘති ගැන කතාබස් කරමින් සිටිිියහ. ට්‍රම්ප් සහ ඔහුගේ ආධාරකරුවන් සමස්ත ලිබරල් දර්ශනයටම වෛර කරනු ඇතැයි යන කාරණය හෝ, මඳක් එහායින් යම් ආකාරයක යුද නීතියකට සමාන තත්වයක් පනවා තිබීම හෝ, මෙම අභිලාෂකාමී සහස්‍ර පරම්පරාවට (millennials) බලපාන බවක් නොපෙනුණි. එක්සත් ජනපදයේ, රජයේ අලිබරල් බැල්මට යොමු නොවන අයට, වෘත්තීන්, සමාජ ජීවිතය, විවේකය සහ පාරිභෝගිකවාදය නොකඩවා එලෙසම ඉදිරියට ගලා යයි.
කෙසේ වෙතත්, දේශපාලනයෙන් වැළකී සිටීම සහ දේශපාලනයේ නිරත වීම අනිවාර්යයෙන්ම එකිනෙකට පරස්පර විරෝධී නොවේ. අති දක්ෂිණාංශික ජනතාවාදය (hard-right populism) වැනි ප්‍රකෝපකාරී සහ වෙහෙසකර දෙයකට මුහුණ දෙන විට, මෙම හැඟීම් දෙකම මිනිසුන් තුළ එකට පැවතිය හැකිය.
පසුගිය මාසයේ, මම ට්‍රම්ප් පාලනයට ඒරෙහි ව ‘නෝ කිංග්ස්’ (No Kings) විරෝධතාවයකට සහභාගී වීමි. එය පැවතියේ ක්‍රියාකාරීත්වයට වඩා අධික ධනයට ප්‍රසිද්ධ කැලිෆෝනියානු නගරයක් වන බෙවර්ලි හිල්ස් හිය. මම කුඩා ප්‍රභූ ලිබරල්වාදීන් පිරිසක් බලාපොරොත්තු වූ නමුත් විවිධ වයස්වල, දහස් ගණනක උද්යෝගිමත් පිරිසක් උද්‍යානයක් අසල ගමන් කරමින්, විහිලු සහගත ට්‍රම්ප් විරෝධී පුවරු ඔසවාගෙන, බෙර වාදකයන්ගේ සහ පසුකර යන වාහන නළා හඬ මැද සටන් පාඨ කියමින් සිටියහ. සමස්ත සිදුවීමම සිත් ප්‍රබෝධ කරන සුළු විය: සමහර විට එය කලකට පසු මිනිසුන්ගේ ජීවිත තුළ දේශපාලනය පණ ගැන්වෙන පළමු වතාව විය හැකිය.
නමුත් අධිකාරීවාදයට වඩාත් වෙහෙස ගෙන දෙන (jaded) ප්‍රතිචාර ද ඇති කළ හැකිය. සාම්ප්‍රදායිකව දේශපාලනික මර්මස්ථානයක් වන සැන් ෆ්‍රැන්සිස්කෝහිදී, ට්‍රම්ප් සහ ඔහුගේ කවය කෙරෙහි, ඔවුන්ගේ අමු ස්වාර්ථකාමය, විකට-සමාන හිරිහැර කිරීම් සහ දැවැන්ත අතිශයෝක්ති සම්බන්ධයෙන් පොදුවේ මා දුටුවේ පිළිකුලකි. මෙය ‘ක්‍රෝධජනක උදාසීනත්වයක්’ (angry apathy) බවට පත්වීමේ අවදානමක් තිබුණි: එනම්, මෙම පාලනය මුළුමනින්ම දූෂිත රාජ්‍යයක හෝ සෝවියට් කඳවුරේ පැවති ආණ්ඩුවක් මෙන්, ජීවිතයේ අනවරත නපුරු සත්‍යයක් යැයි විශ්වාස කිරීමයි. එහෙත් ලිබරල්වාදීන් සහ වාමාංශිකයින් මෙසේ කල්පනා කරමින් සිටින අතරතුර ට්‍රම්ප්ගේ පාලනය නිර්දය ලෙස ඉදිරියට යයි.
මම සැන් ෆ්‍රැන්සිස්කෝහි සිටින අතරතුර, ට්‍රම්ප් විසින් “අසාර්ථක නගරයක්” ලෙස හැඳින්වූ සැන් ෆ්‍රැන්සිස්කෝවට හමුදා හෝ ෆෙඩරල් නියෝජිතයන් යැවීමට සූදානම් වන බවට කටකතාවක් පැතිර ගියේය. මා එහිදී කතා කළ සමහර අය එම අදහස සමච්චලයට ලක් කළහ. ඔවුහු එහි ඇති සුන්දර වීදි, සාර්ථක ව්‍යාපාර, හරිත අවකාශයන් සහ පුළුල් පොදු ප්‍රවාහනය ඒවැනි ප්‍රයත්න පිටුදැකීමට සාධක බව පෙන්වා දුන්හ. කෙසේ වෙතත්, ඒකාධිපති ජනතාවාදය සහ ඩිජිටල් මාධ්‍ය විසින් ආධිපත්‍යය දරන රටවල, ප්‍රචාරණය බොහෝ විට සත්‍ය කරුණු පරදවයි. ට්‍රම්ප් සිය සැන් ෆ්‍රැන්සිස්කෝ ආක්‍රමණය නතර කළ නමුත්, එහි හැකියාව රළු රූපවාහිනී කතාංගයක අවිනිශ්චිත අවසානයක් (cliffhanger) මෙන්, තවමත් පවතී.
දක්ෂිණාංශික ජනතාවාදයේ ‘ප්‍රදර්ශනකාමීත්වයට’ (showmanship) සහ නාට්‍යමය ස්වරූපයට එරෙහිව තිරසාර ලෙස නැගී සිටිය හැකි දේශපාලනයක් නිර්මාණය කිරීමට බර්නි සෑන්ඩර්ස් සහ නිව්යෝක් නගරයේ නව නගරාධිපති සෝහ්රාන් මම්දානි වැනි හුදකලා වූ වාමාංශිකයන් කිහිප දෙනෙකු හැරුණු විට, ට්‍රම්ප්ගේ විරුද්ධවාදීන් මෙතෙක් අසමත් වී ඇත.
දක්ෂිණාංශික නයිජල් ෆරාජ්ගේ Reform UK’ පක්ෂය බලයට පත් වුවහොත්, බ්‍රිතාන්‍ය ලිබරල්වාදීන් සහ වාමාංශිකයින් ද එම අභියෝගයට මුහුණ දෙනු ඇත. පසුගිය සතියේ ‘Reform’ පක්ෂය පොරොන්දු වූ පරිදි, ට්‍රම්ප්ගේ ක්‍රමයට ‘වයිට්හෝල්’ (Whitehall – බ්‍රිතාන්‍ය රාජ්‍ය සේවය) විනාශ කිරීම සහ දේශපාලනීකරණය කිරීම වැනි, නිමක් නැති ඊනියා ආකර්ෂණීය (eye-catching) ප්‍රතිපත්ති ඩව්නිං වීදියෙන් (Downing Street) දියත් කිරීමට නයිජල් ෆරාජ්ට හැකි වනු ඇත. බොහෝ විට ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති මෙම ප්‍රතිපත්ති ද අසාර්ථක වීමට හෝ බලාපොරොත්තු සුන් කරවීමට ඉඩ ඇත, නමුත් කෙසේ වෙතත් ඒවා දේශපාලන කතිකාවක නිර්මාණය වෙන දේවල්ය. අලිබරල් ජනතාවාදයේ විරුද්ධවාදීන් ඊට නොදෙවෙනි බලවත් ව්‍යාපාරයක් නිර්මාණය නොකරන්නේ නම්, සහ අලිබරල් ජනතාවාදයෙන් පීඩාවට පත් වූ සහ නිහඬ වීමට බිය ගැන්වූ තවත් බොහෝ දෙනෙකු ඊට ඇද නොගන්නේ නම්, මෙම ඒකාධිපතියන්ගේ යුගය දිගටම පවතිනු ඇත.
එක්සත් ජනපදය අපට පෙන්වා දෙන පරිදි, වරින් වර මතුවන ප්‍රතිරෝධය, පිළිකුල සහ මග හැර සිටීම පමණක් ප්‍රමාණවත් නොවේ.
- ඇන්ඩි බෙකට් යනු ගාඩියන් පුවත්පතේ තීරු ලිපි රචකයෙකි