24. අරමුණු පාදක මෙහෙවර ආර්ථිකයක් (Mission Economy) 

(සංවිචාරණීය සමාජයක් කෘතියෙන් තවත් පරිච්ඡේදයක්)

වර්ජිනියා විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ස්ටීව් රෝඩ්ස් 1984 දී පළ කළ ‘The Economist’s View of the World’ නමැති ග්‍රන්ථයේ නව 35 වැනි සංවත්සර සංස්කරණය ගැන ලියමින් රාජ්‍ය කාර්මික ප්‍රතිපත්තිවල ඵලදායකත්වය ගැන ෆ්‍රැන්සිස් ෆුකුයාමා අපට නැවත වැදගත් කරුණක් මතක් කරයි. රාජ්‍ය කාර්මික ප්‍රතිපත්ති මඟින් ආර්ථික වර්ධනය ඇති කිරීමේ වෑයම හැම විට ම නවලිබරල්වාදී ආර්ථික චින්තකයන්ගේ ගර්හාවට ලක් විය. එසේ ගර්හාවට ලක් කිරීම සඳහා යොදා ගන්නා ලද තර්ක අතර අනාගතයට අවශ්‍ය කරන තාක්ෂණය සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ට අවබෝධයක් නැත, ඒ අනුව ගත යුතු අවදානම් තීරණ සහ ආයෝජන ප්‍රමුඛත්වය තීරණය කිරීමට රජයට හැකියාවක් නැත. ඒ හැර, රජයේ තීරණ එදිනෙදා දේශපාලන අවශ්‍යතා සලකා ගන්නා ඒවා මිස පුළුල් ආර්ථික අවශ්‍යතා මත ගන්නා ඒවා නො වේ යනාදී වසයෙන් රටක කාර්මික ප්‍රතිපත්තිය රජය විසින් තීරණය කරනු ලැබීම නවලිබරල්වාදී චින්තනයේ තදබල විවේචනයට ලක් විය.

එහෙත් බොහෝ විට නවලිබරල්වාදී ආර්ථික විද්‍යාඥයන් විසින් පිළිගැනීමට අකැමැති වුවත් ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බොහෝ රටවල රාජ්‍ය කාර්මික ප්‍රතිපත්තිය බෙහෙවින් සාර්ථක ව ක්‍රියාත්මක වී ඇති බව ෆුකුයාමා පෙන්වා දෙයි. එමෙන් ම ජපානය, තායිවානය හා චීනය වැනි නැගෙනහිර ආසියාතික රටවලට පෙර නො වූ විරූ ආකාරයක ඓතිහාසික ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකිවීම විවිධ මාදිලියේ රාජ්‍ය කාර්මික ප්‍රතිපත්ති නිසා සිදු වූවක් බව ද ඔහු පෙන්වා දෙයි.එහෙත් නවලිබරල්වාදී ආර්ථික විද්‍යාඥයෝ මෙය තේරුම් නො ගත්හ. උදාහරණයක් ලෙස ෆුකුයාමා පෙන්වා දෙන පරිදි 1993 දී ලෝක බැංකුව පිළියෙළ කළ ලෝක සංවර්ධන වාර්තාවේ ‘නැගෙනහිර ආසියාවේ ප්‍රාතිහාර්ය’ යන මැය යටතේ තත් ආර්ථික වර්ධනයට මූලික හේතුව නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාව විසින් උත්කර්ෂණයට නැංවූ මුදලේ ස්ථාවරත්වය සහ මූල්‍ය විනය පිළිබඳ අවශ්‍යතාව බව සඳහන් විය. එහෙත් එම වාර්තාව සඳහා බරපැන දැරූ ජපානය මේ නිගමන ගැන නො සතුටට පත් විය. ඊට හේතුව වූයේ නිශ්චිත තාක්ෂණ ක්ෂේත්‍රවලට පහසු රාජ්‍ය ණය වැඩි වැඩියෙන් ලබා දීම කාර්මික ප්‍රතිපත්තියක් ලෙස හඳුන්වා දීම ආර්ථික වර්ධනයට බල පෑ මූලික සාධකයක් ලෙස ජපානය සැලකූ බැවිනි. ඒ නිසා අකමැත්තෙන් වුව ද සිය වාර්තාව යළි සංස්කරණය කිරීමට ලෝක බැංකුවට සිදුවිය.

තීරණ ගැනීමේ දී අනිසි දේශපාලන පීඩනවලින් මිදුණු වෘත්තීය ස්වතන්ත්‍ර භාවයක් සහිත විෂය විශේෂඥයන්ගේ උපදෙස් තකන විචක්ෂණ රාජ්‍ය නිලධාරි තන්ත්‍රයක් ඇත් නම් දියුණු හා කාර්යක්ෂම රාජ්‍ය කාර්මික ප්‍රතිපත්තියක් හඳුන්වා දී ක්‍රියාත්මක කිරීම අපහසු කරුණක් නො වේ.

රාජ්‍ය කාර්මික ප්‍රතිපත්තියක් ලෙස නාමකරණය නොකළ ද ඉදිරි ආරක්ෂක පර්යේෂණ (Advance Defense Research) සඳහා ඉතා දියුණු තාක්ෂණය යොදා ගැනීම පිණිස ඇමෙරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම් හා මඟ පෙන්වීම් ආර්ථික වර්ධනයට තුඩු දුන් නොයෙකුත් නිෂ්පාදන කර්මාන්ත බිහි වීමට හේතු වූ බව නො රහසකි. ඇත්ත වසයෙන් ම පරිගණක, මෘදුකාංග, රේඩාර්, සෙමිකොන්ඩක්ටර්, සංයුක්ත පරිපථ සහ සුප්‍රකට අන්තර්ජාලය පවා බිහි වූයේ එකී මග පෙන්වීම් සහ ඒ සඳහා යොදන ලද රාජ්‍ය ආයෝජන නිසා ය. නව තාක්ෂණයෙන් වෙළඳපොළ ජය ගත් දැවැන්ත නවෝත්පාදකයන් ලෙස සැලකෙන ඇපල්, ගූගල්, ෆේස්බුක් වැනි සමාගම්වලට ඇමෙරිකානු රාජ්‍යයේ ක්‍රියාශීලී සහායකින් තොර ව එකී නවොත්පාදන එළිදැක්වීමට ඉඩ නො ලැබෙන බව නව පරපුරේ ආර්ථික විද්‍යාඥවරියක වන ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය මරියානා මාස්සුකාටෝ සිය ‘The Entrepreneurial State: Debunking Public vs. Private Sector Myths’ නමැති කෘතියේ පෙන්වා දෙයි.

මාස්සුකාටෝ උපුටා දක්වන පරිදි ඇමෙරිකානු එක්සත් ජනපදය විසින්  හඳුන්වා දෙන ලද පෙරළිකාර නවොත්පාදන සැලකිය යුතු ප්‍රමාණයක් 1982දී ඇමෙරිකානු රජයේ Small Business Innovation Research Programme (SBIR) හෙවත් කුඩා ව්‍යාපාර නවොත්පාදන පර්යේෂණ වැඩ සටහන යටතේ නවොත්පාදන හා නව තාක්ෂණය බිහි කිරීම පිණිස පර්යේෂණ කටයුතු  කිරීමට වාර්ෂික ව කුඩා සමාගම්වලට ආධාර ලබා දීම සඳහා පිහිටුවූ අරමුදල නිසා බිහි වූ ඒවා ය. මේ වන විට එම අරමුදල ඩොලර් බිලියන 2 ක් දක්වා වැඩි කර තිබේ. ඒ මඟින් බිහි කර ඇති පුරෝගාමී නවොත්පාදන සමාගම් සහ නව තාක්ෂණ නිර්මාපකයන් ගණනාවකි. පෙරළිකාර තාක්ෂණික හඳුන්වාදීම්වලට ප්‍රකට ඇපල් සමාගම පවා රාජ්‍ය අරමුදල්වල දායකත්වයෙන් සාර්ථකත්වයෙන් ඵල ප්‍රයෝජන ලබා ගත්තේ ය. ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ ප්‍රතිභාපූර්ණ ආකර්ෂණීය නිපැයුමක් ලෙස සැලකෙන අයිෆෝනයට යොදා ගෙන ඇති GPS හෙවත් ගෝලීය තැන් සෙවුම් පද්ධතිය, ස්පර්ශ සංවේදන තිරය සහ අන්තර්ජාල තාක්ෂණය රජයේ දායකත්වය නිසා බිහි වූ නවොත්පාදන අතර ප්‍රධාන ය.

ගූගල් සමාගම උදාහරණයකට ගත්තොත් එහි සෙවුම් යන්ත්‍රය (search engine) විසින් උපයෝගී කර ගනු ලබන ඇල්ගොරිතම ගූගල් සමාගම විසින් ස්වෝත්සාහයෙන් ආයෝජනය කොට සොයා නිපදවා ගත් දේවල් නො වේ. නවොත්පාදන සඳහා මුදල් යෙදවීමේ අවදානම ගැනීමට බොහෝ පෞද්ගලික ආයෝජකයන් මුල දී මැලි වෙද්දී එම ඇල්ගොරිතම වර්ධනය කර ගැනීමට තුඩු දුන් පර්යේෂණවලට අවශ්‍ය අරමුදල් සැපයුණේ රාජ්‍ය අංශයෙන් බව මාස්සුකාටෝ පෙන්වා දෙයි.

ජනාධිපති බයිඩන් විසින් මෑත දී  විධායක නියෝග මඟින් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති නව  රාජ්‍ය කාර්මික ප්‍රතිපත්ති දෙක ඉන් පෙර පැවති රාජ්‍ය නිර්බාධ නවලිබරල්වාදී ආර්ථික චින්තනයට කළ පිටු පෑමක් ලෙස හුවා දැක්විය හැකි ය. ඉන් පළමු වැන්න වන්නේ මෙතෙක් චීනය ආදී විදේශීය රටවල් මත රඳා පැවතුණු උසස්-තාක්ෂණය සම්බන්ධ සැපයුම් දාමය යළි අත්පත් කර ගැනීම යි.  ඒ අනුව දැනට චීනය සහ තායිවානය වැනි රටවල සැපයුම මත රැඳී ඇති ඇමෙරිකානු හා යුරෝපීය තාක්ෂණික හැකියාවන්, විශේෂයෙන් සෙමිකොන්ඩක්ටර් හා ප්‍රොසෙසර් වැනි තීරණාත්මක තාක්ෂණික උපාංග නිෂ්පාදන හැකියාව යළි අත්පත් කර ගැනීමට ඇමෙරිකාව අදහස් කරයි.  උදාහරණයක් වසයෙන් දැනට ගෝලීය සෙමිකොන්ඩක්ටර් සැපයුමෙන් හරි අඩක් TSMC  නමැති තායිවාන සෙමිකොන්ඩක්ටර් සමාගම විසින් නිපදවනු ලබයි. ඒ අතර වඩා වැඩි ලාභයක් ලබා ගැනීම සඳහා ඉන්ටෙල් වැනි ප්‍රවීණ ඇමෙරිකානු සෙමිකොන්ඩක්ටර් සමාගම් සිය නිෂ්පාදන කර්මාන්ත ශාලා චීනයට විතැන් කර තිබේ. චීනය දැනට මත් ප්‍රකාශ කර ඇති පරිදි ඉදිරි වසර කිහිපය තුළ තායිවානය චීනයේ කොටසක් බවට පත් වුවහොත් සමස්ත ගෝලීය සෙමිකොන්ඩක්ටර් නිෂ්පාදනය තීරණාත්මක ලෙස චීනය සතු විය හැකි බැවින් ඉන්ටෙල් වැනි සමාගම්වලට ලැබිය හැකි අධික ලාභය නො තකා සැපයුම් ජාලය චීනයේ ආධිපත්‍යයෙන් මුදා ගැනීම ජනාධිපති බයිඩන්ගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී තිබේ.  සැපයුම් ජාලය සුරක්ෂිත කිරීම හැරෙන විට බයිඩන් ආණ්ඩුවේ අනෙක් වැදගත් ම රාජ්‍ය කාර්මික ප්‍රතිපත්තිය වසයෙන් සැලකෙන්නේ ඛනිජ ඉන්ධන භාවිතය අවම කළ අඩු කාබන් විමෝචනයක් සහිත ආර්ථිකයකට සංක්‍රමණය වීම වේගවත් කිරීම යි. එය ද ආර්ථිකයට රාජ්‍යයේ තීරණාත්මක මැදිහත් වීම පිළිබිඹු කරන්නකි.  ජපානය 1960 ගණන්වල දී අනුගමනය කළාක් මෙන් මෙවැනි රාජ්‍ය ප්‍රතිපත්ති හඳුන්වා දීම නවොත්පාදන සහ නව තාක්ෂණික විසඳුම් දිරි ගන්වන සුලු පුරෝගාමී කාර්යයන් ලෙස සැලකිය හැකි ය. එහෙත් එවැනි රාජ්‍ය මැදිහත්වීම් වෙළඳපොළ මඟින් සියල්ල තීරණය වන නවලිබරල්වාදී ආර්ථික චින්තනයට නම් අනුකූල නො වේ.

විචක්ෂණ ඉදිරි දැක්මක් ඇති ව ආණ්ඩුවක් කටයුතු කරන විට එමඟින් ආර්ථික සංවර්ධනයට තුඩු දෙන නවොත්පාදන බිහි කිරීම ඉලක්ක කර ගෙන ම රාජ්‍යය ප්‍රතිපත්ති සැකසීම අත්‍යවශ්‍ය ම කොන්දේසියක් නො වේ. මාස්සුකාටෝ විස්තර කරන පරිදි 1962 සැප්තැම්බරයේ දී ඇමෙරිකානු ජනාධිපති ජෝන් කෙනඩි “මනුෂ්‍ය සංහතිය විසින් මෙතෙක් අත්දැක ඇති ඉතාමත් භයානක සහ අනතුරුදායක වික්‍රමය “ යනුවෙන් හඳුන්වමින් මිනිසෙකු සඳ මතට යවා ආපසු ගෙන්වා ගැනීමට ගත් තීරණය එවැන්නකි. ලයිකා නමැති බැල්ලගෙන් පටන් ගෙන ඒ වන විට රුසියාවේ යුරි ගගාරින් වොස්ටොක් චන්ද්‍රිකාවෙන් පොළොව වටා ඉහළ අජටාකාශයේ භ්‍රමණය වී පැමිණ තිබූ නමුත් මිනිසෙකු චන්ද්‍රයා මතට බැස නැවත පැමිණීමට සැලසුම් කිරීම ඒ කාලයේ මනුෂ්‍යයන්ට අත්පත් කර ගත හැකි ඉහළතම ජයග්‍රහණය විය. සෝවියට් රුසියාව සහ ඇමෙරිකාව අතර පැවති සීතල යුද්ධය නිසා ඇමෙරිකාව පරයා රුසියානු අජටාකාශ තාක්ෂණය ඉදිරියට ඒම පිළිබඳ බිය එකී වික්‍රමාන්විත ප්‍රයත්නයට එක් හේතුවක් විය.  එහෙත් සඳ තරණය ප්‍රමුඛ අජටාකාශ ගවේෂණය සඳහා හඳුන්වා දුන් ඇපලෝ වැඩසටහන  නිසා එක්සත් ජනපදයේ නාසා (NASA) ආයතනය ඇතුළු තාක්ෂණික ක්ෂේත්‍රයට අයත් විවිධ රාජ්‍ය ආයතන, විශ්ව විද්‍යාලවල පර්යේෂණ අංශ  සහ කොන්ත්‍රාත්තු ක්‍රමයට යොදා ගත් පෞද්ගලික අංශයේ විශේෂඥ සමාගම් විසින් ලබා දුන් දායකත්වය අජටාකාශ ගවේෂණය පිළිබඳ නව යුගයක් පමණක් නො ව තාක්ෂණය පදනම් කරගත් නවොත්පාදන රැසක් බිහි කිරීමට ද හේතු විය.                                     

ඇපලෝ ව්‍යාපෘතියට ඩොලර් බිලියන 28ක් (2020 වටිනාකම අනුව ඩොලර් බිලියන 283ක්) හෙවත් ඇමෙරිකානු රාජ්‍ය අයවැයෙන් 4%ක් වෙන් කෙරුණි. එම වැය ශීර්ෂයේ විශාලත්වය ගැන සඳහන් කළ කෙනඩි ජනාධිපතිවරයා “මේ මඟින් ලැබිය හැකි ඵල ප්‍රයෝජන මොනවා දැ’යි හරියට ම කිව නො හැකි නමුත් එක්තරා අන්දමකට මෙය අපේ ඉදිරි දැක්ම පිළිබඳ අප තබා ඇති විශ්වාසයේ සහතිකයක් යැ’යි” සඳහන් කළේ ය.  

මහජන අරමුදල් යොදා ගැනීම සම්බන්ධ අද කාලයේ ඇති විවේචන අනුව ඇපලෝ වැඩසටහනට යොදන ලද මුදල් අපතේ යැවීමක් ලෙස සලකනු ඇත. එහෙත් ඇපලෝ ව්‍යාපෘතිය නිසා විවිධ ක්ෂේත්‍රවල ඇති වූ තාක්ෂණික ප්‍රගතිය සෑහෙන කලක් තිස්සේ ඇමෙරිකාව විද්‍යාත්මක දියුණුවේ පුරෝගාමි දායකයා ලෙස බුහුමනට ලක් කිරීමට සමත්  විය. මුල් පෙළේ විද්‍යා පර්යේෂණ ආයතන, කීර්තිමත් විශ්ව විද්‍යාල, නොබෙල් ත්‍යාගලාභී සංඛ්‍යාව, කීර්තිමත් විද්‍යා වාර ප්‍රකාශන සහ නවොත්පාදන සඳහා ලබාගත් පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව ආදි දැනුම පිළිබඳ දර්ශක අතින් අනෙකුත් බොහෝ රටවලට වඩා ඇමෙරිකාව ඉදිරියෙන් සිටීම මඟින් පිළිබිඹු කරන්නේ එයයි.

වසර දහයක් ඇතුළත හඳට මිනිසෙකු යවා නැවත ගෙන්වා ගැනීමේ අරමුණ මුල් කොට බිහි වූ ඇපලෝ ව්‍යාපෘතියට යොදා ගත් තාක්ෂණය සහ සංවිධානීය වැඩපිළිවෙළ මින් පෙර නොවූ විරූ එකක් විය. නාසා ආයතනය, විවිධ විශ්වවිද්‍යාල පර්යේෂණායතන හා කොන්ත්‍රාත්කාර පෞද්ගලික සමාගම් ද ඇතුළු ව 400,000 කට කිට්ටු කාර්ය මණ්ඩලයක් ඇපලෝ වැඩපිළිවෙළට යොදා ගනු ලැබී ය. අද අප පරිගණක මෘදුකාංග යනුවෙන් හඳුන්වන නිෂ්පාදනවල සමාරම්භය ඇපලෝ ව්‍යාපෘතියයි. මේ ව්‍යාපෘතිය නිසා බිහි වූ දැවැන්ත  සංකීර්ණ කටයුතු කොටස්වලට බෙදා කළමනාකරණය කිරීමේ විධික්‍රමය පසුව බෝයිං සමාගම විසින් ලෝකයේ ප්‍රථම ජම්බෝ ජෙට්යානය නිපදවීමේ දී  යොදා ගන්නා ලදී. හඳට මිනිසෙකු යැවීමේ අභිමතාර්ථය ජය ගැනීම ‘මෙහෙවරක්’ (Mission) ලෙස සලකමින් කටයුතු කළ අන්දමට භයානක වසංගත රෝග ජය ගැනීම, ගෝලීය උණුසුම ඉහළ යෑම නතර කිරීම පිණිස ආර්ථිකය නිර්කාබනීකරණය කිරීම, අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීම හා අධ්‍යාපනික කටයුතු සඳහා ඉංග්‍රීසි බස භාවිත කිරීමේ හැකියාව සැමට ලබා දීම මඟින් දැනුම අත්පත් කර ගැනීමේ විෂමතා අවම කිරීම එසේ මෙහෙවරක් ලෙස සලකා ඉටු කළ හැකි ඇතැම් දේවල් ය. මෙවැනි බරපතළ ප්‍රශ්න හුදෙක් තාක්ෂණික විසඳුම්වලින් පමණක් විසඳිය හැකි ඒවා නො වේ. ඒ සඳහා නව තාක්ෂණය මත පදනම් වූ නවොත්පාදන පමණක් නො ව සමාජීය, සංවිධානාත්මක හා දේශපාලනික ක්ෂේත්‍ර වල ද ඵලදායක  නව එළඹුම් ගොඩනගා ගත යුතු ය. 

මරියානා මාස්සුකාටෝ Mission Economy හෙවත් ‘මෙහෙවර ආර්ථිකය’ යනුවෙන් හඳුන්වන්නේ එයයි.  හඳට මිනිසෙකු යවා ආපසු ගෙන්වා ගැනීම ‘මෙහෙවර’ (Mission) ලෙස සැලකූ විට එය ඉටු කර ගැනීම පිණිස කළ යුතු ලොකු කුඩා සංකීර්ණ කටයුතු හඳුනා ගෙන ඒවා පොදු හා පුද්ගලික යන දෙ අංශයේ ම අනුපූරක දායකත්වයෙන් ඉටු කර ගැනීමේ වැඩපිළිවෙළක් සැකසීමේ විධික්‍රමය නිදර්ශනයකට ගෙන මෙහෙවර ආර්ථිකයක් සංවිධානය කිරීම යනු කුමක් ද යන්න වටහා ගත හැකි ය. මාස්සුකාටෝ යෝජනා කරන අන්දමට මේ සඳහා රාජ්‍ය ප්‍රතිපත්තිය තුළින් නිශ්චිත පොදු අරමුණ ඉටු කර ගන්නා අන්දම පැහැදිලි ව විස්තර කිරීම අතිශයින් වැදගත් ය. මෙහෙවර ආර්ථිකයක මූලික අරමුණු සඳහා යොදා ගත හැකි ඉලක්ක සඳහා මාස්සුකාටෝ සුවිශේෂයෙන් යෝජනා කරන්නේ අප 20 වැනි පරිච්ඡේදයේ දී සාකච්ඡාවට ලක් කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ඉලක්කයි (sustainable development goal).

මාස්සුකාටෝ පෙන්වා දෙන අන්දමට මිෂන් එකොනොමි (mission economy) හෙවත් මෙහෙවර ආර්ථිකයක් ගැන කතා කිරීමේ දී ද අතිශයින් වැදගත් වන්නේ අපේක්ෂිත ඵලය යි.  ඒ අනුව රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේ දී ආර්ථිකයේ වර්ධන වේගය සහ ලාභය ඉපයීමට වඩා වැදගත් විය යුත්තේ මහජනතාවට අත්විඳිය හැකි නිශ්චිත ඵල ප්‍රයෝජන සහ මහජනතාවට වැදගත් පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීමයි. ඒ එලඹුමට අනුව පුද්ගලික අංශයේ සමාගම් පාලනයේ දී පවා හුදෙක් කොටස් හිමියන්ගේ පමණක් නො ව, කාර්ය මණ්ඩලය, පාරිභෝගිකයන් සහ පොදු ප්‍රජා සංවිධාන ඇතුළු සියලු පරදු දරන්නන්ගේ (stakeholders) පොදු යහපත මුල් වන ආකාරයේ සමාගමික අරමුණක් හරය කර ගත යුතු ය.

මෙහෙවර මුල්කර ගත් ආර්ථික එළඹුමක දී වැදගත් වන්නේ උද්දාමශීලී අපේක්ෂාවලින් ආවේශ විය හැකි විවිධ අංශවල ක්‍රියාශීලී දායකත්වය හා කාර්ය ශූර නවොත්පාදන ඉස්මතු කළ හැකි ඉලක්ක තෝරා ගැනීම යි. වෙනත් අන්දමකින් කිව හොත් කළ යුත්තේ සියල්ලන් සඳහා සාධාරණ වඩා හොඳ අනාගතයක් සමපේක්ෂණය(speculation) කිරීමත් එය සාක්ෂාත් කර ගැනීම පිණිස පුද්ගලික හා පොදු යන උභය අංශවල ම ආයෝජන එකට සංවිධානය කර ගැනීමත් ය. අවසානයේ දී මිනිසෙකු සඳ මතට යවා ආපසු ගෙන්වා ගැනීමට හැකි වූයේ එම අරමුණ ඉටු කිරීමට සමත් ඒකාබද්ධ එළඹුමක් පරිකල්පනය කර ගැනීමට සියලු පරදු දරන්නන්ට (stakeholders) හැකිවීම නිසා බව මාස්සුකාටෝ පෙන්වා දෙයි.

එහෙත් මෙහි දී ප්‍රශ්නය වන්නේ සාමාන්‍යයෙන් අලුතින් සිතිය නො හැකි, වෙළඳපොළ අසමත්කම් සහ ඌනතා ආමන්ත්‍රණය නො කරන, මහජන යහපත තකා සාර්ථක නියාමනයක් කිරීමට අසමත්, අකාර්යක්ෂම, දූෂිත, කම්මැළි සහ තරබාරු නිලධාරි තන්ත්‍රයක් ලෙස ආණ්ඩු සාමාන්‍යයෙන් අත්පත් කර ගෙන ඇති අපකීර්තිය යි. එයට අනුව සිවිල් නිලධාරීහු සිලිකන් මිටියාවතේ චිර ප්‍රකට ව්‍යවසායකයන් මෙන් නිර්මාණශීලී අවදානම් ගැනීමට සූදානම් අය නො වෙති. ඒ නිසා අවදානම් ගැනීමට සූදානම් නවෝත්පාදනලෝලී පෞද්ගලික ව්‍යවසායකයන්ට එක හා සමාන ව තරඟ කළ හැකි සමතල ක්‍රීඩා පිටියක් සාදා දී ආණ්ඩුව ආර්ථිකයට මැදිහත් වීමෙන් ඉවත් විය යුතු බව කියනු අපට නිතර ඇසේ.

එහෙත් මේ පටු දැක්මෙන් අත් මිදෙන තෙක් ආර්ථික ක්‍රමය පිළිබඳ ගැටලුවලට විසඳුම් සෙවීම අපහසු බව මාස්සුකාටෝගේ මතය යි. අද්‍යතන ධනවාදය ‘මිෂන්’ හෙවත් ‘මෙහෙවර’ මුල් කර ප්‍රතිව්‍යුහගත කිරීමට නම්  ආර්ථික ප්‍රතිපත්ති සහ ව්‍යාපාරික කටයුතු  මෙහෙයවීම පිණිස පොදු අරමුණ  නමැති අදහස පාදක කරගත් නව දේශපාලන හා ආර්ථික ආඛ්‍යානයක් ගොඩ නගා ගත යුතු ය.  ඒ අනුව සැකසෙන සමාජ සම්බන්ධකම්, පැවරුම් සහ සංනිවේදනවල ඒකායන ප්‍රතිඵලයක් ලෙස වඩාත් සාධාරණ සහ ධරණීය සමාජයක් බිහි කිරීම අරමුණ කරගත් උද්දාමශීලී අභිප්‍රායක් අප තුළ තිබිය යුතු ය. එකී සජ්ජන සමාජය බිහි කිරීමට ආර්ථිකයේ අගයන් නිපදවන සියල්ලන් (value creators) හැකි තාක් දුරට අන්තර්ග්‍රහණය වන ප්‍රායෝගික ක්‍රමවේදයක් ද තිබිය යුතු ය. අගය නිපදවීම (value creation) සහ අගය ප්‍රතිව්‍යාප්ත කිරීම (value distribution) අතර ශක්තිමත් සම්බන්ධතාවක් බිහි කිරීම පිණිස ධනය සාමූහික ව නිපදවීම ද එකී පොදු අරමුණ මුල් කර ගෙන සිදුවිය යුතු ය. මෙහි දී අගය ප්‍රතිව්‍යාප්ත කිරීම යනු හුදෙක් ඒකරාශී වීමෙන් පසු ධනය නැවත බෙදාහැරීම (wealth redistribution) පමණක් නො ව ඒකරාශී වීමට ඉඩ නො තබා කල් තියා ම සාධාරණ ව ධනය බෙදා හැරෙන අන්දමද (wealth pre-distribution) නිර්ණය කිරීම යි. මෙයට උදාහරණයක් ලෙස අප 26 වැනි පරිච්ඡේදයේ සවිස්තර ව සාකච්ඡා කරන සියලු දෙනාට නිශ්චිත ආදායමක් සහතික කරන සාර්වත්‍රික මූලික ආදායම (Universal basic Income) පිළිබඳ අදහස ගෙන හැර දැක්විය හැකි ය.

මේ අනුව ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී පොදු අරමුණ සාක්ෂාත් කර ගැනීම අරභයා පොදු සහ පෞද්ගලික යන උභය පාර්ශව අතර අන්‍යෝන්‍ය ඵලදායකත්වය ඇති කර ගන්නේ කෙසේ ද යන්න වැදගත් ය. මෙහි තේරුම නම් අවදානම පොදු අංශයටත් ප්‍රතිලාභ පෞද්ගලික අංශයටත් පැවරෙන දැනට ඇති  පොදු-පෞද්ගලික පංගුකාරිත්වය (public-private partnership) නම් හිස් යෙදුම බැහැර කොට ප්‍රතිලාභ මෙන් ම අවදානම ද සමාන ව බෙදී යන සහජීවනයක් පෞද්ගලික හා පොදු අංශ අතර ඇති කිරීම යි.

මෙහෙවර මුල් කර ගත් ආර්ථික වර්ධන එළඹුමක් යනු හඳුනා ගත් සමාජීය අරමුණු ඉටු කර ගැනීම පිණිස ආර්ථිකය යොමු කළ යුතු දිසාව තෝරා එය සාක්ෂාත් කර ගැනීම පිණිස විසඳිය යුතු ගැටලු මොනවාද ඒ සඳහා ආර්ථික පද්ධතිය සැලසුම් කර ගන්නේ කෙසේ ද යන්න විස්තර කිරීමයි. එහි දී රටවැසියන් සහ ව්‍යාපාර යන දෙකොට්ඨාසය ම සම්බන්ධ කර ගත හැකි සහ ආර්ථිකය හා සම්බන්ධ විවිධාකාර ක්‍රියාකාරීන් අතර නවොත්පාදන, ආයෝජන සහ සහයෝගය උත්ප්‍රෙරණය කළ හැකි ආකාරයේ ප්‍රතිපත්ති සැකසීම මෙහි දී අත්‍යවශ්‍යය වේ. එහි තේරුම වන්නේ වෙළඳපොළේ ඇති කිනම් ගැටලු අප විසින් විසඳිය යුතු ද යන්න වෙනුවට කිනම් ආකාරයක වෙළඳපොළක් අප විසින් පවත්වා ගෙන යා යුතු ද යන්න තීරණය කිරීම යි. නව ඩිජිටල් තාක්ෂණය සම්බන්ධ ඇති නැති පරතරය අවම කිරීම, වැඩි වැඩියෙන් පුනර්ජනනීය බල ශක්තිය ආදේශ කර ගැනීම, සාගරවල ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීම ආදී සුවිශේෂී ප්‍රශ්නයකට විසඳුම් සෙවීමේ දී වුවද වඩා ඵලදායක තාක්ෂණික නවොත්පාදන විසඳුම් ඒ සඳහා යොදා ගැනීම ද ඉන් අදහස් වේ. එහි දී වැරදි ප්‍රශ්නය නම් කොයි තරම් මුදලක් ඇත් ද? ඉන් අපට කළ හැක්කේ කුමක් ද? යන්නයි. නිවැරදි ප්‍රශ්නය වන්නේ අවශ්‍යතාව කුමක් ද? එම අවශ්‍යතාව ඉටු කර ගැනීමට අය වැය යළි සකසා ගත යුත්තේ කෙසේ ද යන්න බව මාස්සුකාටෝ පවසයි.

මෙහි දී ආණ්ඩුව සහ ධනවාදය යන දෙක ම ගැන බරපතළ ලෙස නැවත සිතා බැලීමක් කළ යුතු ය. ධනවාදය වෙනස් කිරීම යනු ආණ්ඩුව සැකසී ඇති ආකාරය සහ ව්‍යාපාර කටයුතු කරන ආකාරය යන දෙක ම වෙනස් කිරීමත් පොදු හා පුද්ගලික ආයතන අතර ගොඩ නැගෙන අන්තර් සම්බන්ධතාවේ ස්වරූපය තීරණාත්මක ව වෙනස් කිරීමත් බව මාස්සුකාටෝ පෙන්වා දෙයි. මෙහෙවර මුල් කර ගත් සංවර්ධනයේ දී ආයතනවල පාලන ව්‍යුහය සහ ආයතන අතර සම්බන්ධතාව මෙහෙයවිය යුත්තේ හඳුනා ගත් අරමුණ සාක්ෂාත් කර ගැනීම පොදු අභිමතාර්ථය වසයෙන් සලකමිනි.

මේ අනුව ආණ්ඩුව යනු හුදෙක් වෙළඳපොළ ප්‍රවර්ධනය කිරීම පිණිස ගැටලු විසඳන ආයතනයක් යනුවෙන් පවතින ආකල්පය වෙනස් වී ආණ්ඩු පවතින්නේ නිශ්චිත පොදු අරමුණු ඉෂ්ට කර ගැනීමට ය යන ආකල්පය ඇති කර ගත යුත්තේ ය. වෙළඳපොළ ප්‍රශ්න විසඳීමේ කටයුත්ත ආණ්ඩුවක ප්‍රධාන කාර්යය නො වේ. ඒ වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ සමාජීය අවශ්‍යතා හා පොදු අරමුණු ඉටු කර ගැනීමට දායකත්වය ලැබෙන අන්දමට වෙළඳපොළ මෙහෙයවීම යි. ඒ සඳහා ආර්ථිකයේ දිශානතිය විය යුත්තේ කුමක් දැ’යි තීරණය කිරීම සහ සියලු නියාමන කටයුතු ඒ පරමාර්ථය ඉටු කර ගැනීම සඳහා පවත්වා ගෙන යෑමත් ආණ්ඩුවේ කාර්යය බව මාස්සුකාටෝ කියයි.

මේ සම්බන්ධයෙන් අතිශයින් වැදගත් වන්නේ ආණ්ඩුවේ නිලධාරි තන්ත්‍රයේ ආකල්පය යි. නිර්බාධක වෙළඳපොළ ක්‍රමයක් පවත්වා ගෙන යෑම ආණ්ඩුවේ මූලික රාජකාරිය වසයෙන් සලකා කටයුතු කරනවා වෙනුවට පොදු අරමුණු ඉටු කිරීම සඳහා අවදානම් ගැනීමට නො පැකිළෙන ඒකාබද්ධ යන්ත්‍රණයක් ලෙස නිලධාරි තන්ත්‍රය කටයුතු කළ යුතු ය. හඳට මිනිසෙකු යවා ආපසු ගෙන්වා ගැනීම වැනි මෙහෙවරක් තීරණය කළ පසු එහි ඇති සියලු අවදානම් ආමන්ත්‍රණය කරමින් පොදු සහ පෞද්ගලික යන අංශ දෙක ම මෙහෙයවමින් අධිෂ්ඨානශීලී ව කටයුතු කිරීමට කෙනඩිගේ ආණ්ඩුවට හැකි විය.

ඒ අනුව ‘ආණ්ඩුව පවතින්නේ හුදෙක් වෙළඳපොළ අසමත් වන අවස්ථාවල දී හිඩැස පිරවීමට ය’ යන සාම්ප්‍රදායික සිතුවිල්ලෙන් අප මිදිය යුතු ය. ආණ්ඩුව කේන්ද්‍රීය ව්‍යවසායකයෙකු හා නවෝත්පාදකයෙකු වසයෙන් කටයුතු කළ යුතු ය. නවෝත්පාදනයේ ලා පුරෝගාමී වීම ආණ්ඩුවට ආගන්තුක කටයුත්තක් නො වේ. අද පුද්ගලික අංශය විසින් අත්පත් කර ගෙන ඇති ව්‍යාපාර සඳහා උපයෝගී වන බොහෝ තාක්ෂණික සොයා ගැනීම් ආණ්ඩු විසින් පොදු අරමුදල් භාවිතයෙන් හෝ පොදු ආයතන මඟින් නවොත්පාදනය කරනු ලැබූ ඒවා ය.

නවොත්පාදනය සම්බන්ධයෙන් ආකර්ෂණීය කීර්තියක් අත්පත් කරගත් අයිෆෝන්, අයිපෑඩ් වැනි ජනප්‍රිය නිෂ්පාදන හඳුන්වා දුන් ඇපල් සමාගම උදාහරණයකට ගෙන මාස්සුකාටෝ මේ සම්බන්ධයෙන් කදිම විවරණයක් සපයයි. නිවසක ගරාජයකින් ඇරඹී වෙළඳපොළ බලයේ බලකණුවක් වී යැයි සැලකෙන ඇපල් සමාගම නිර්මාණාත්මක සංහාරයේ (creative destruction) ඉන්ද්‍රකීලයක් ලෙස නිරන්තරයෙන් හුවා දක්වනු ලැබේ. එහෙත් ඇත්ත වසයෙන් ම ඔය හුවා දක්වන තරම් ඇපල් සමාගම වෙළඳපොළ බල පරාක්‍රමය නිසාම ලෝකය ජය ගත් ආයතනයක් නො වන බව මාස්සුකාටෝ පෙන්වා දෙයි. ඇපල් සමාගම ආරම්භයේ දී එයට මූල්‍යාධාර සැපයුණේ ඇමෙරිකානු ආණ්ඩුවේ SBIR හෙවත් කුඩා ව්‍යාපාර නවොත්පාදන පර්යේෂණ ආයතන (Small Business Innovation Agency) වැඩසටහන යටතේ ය. එපමණක් නො ව එහි බොහෝ ‘ස්මාට්’ නිෂ්පාදනවලට යොදා ගත් තාක්ෂණය බිහිවුණේ පොදු අරමුදල් ආයෝජනය වූ APRA, NASA, DARPA වැනි රාජ්‍ය ආයතනවල ව්‍යාපෘති හා වැඩසටහන් නිසා ය.මාස්සුකාටෝ පෙන්වා දෙන අන්දමට ඇත්ත වසයෙන් ම අයිෆෝනය වැනි මෙවලමක යොදා ගෙන ඇති හැම තාක්ෂණයක් ම ජනිත වුණේ රාජ්‍ය ආධාර මඟින් හෝ පොදු අරමුදලින් පවත්වා ගෙන යන ආයතනවලින් ක්‍රියාත්මක වූ වැඩසටහන් මගිනි. අයිෆෝනය සඳහා යොදා ගෙන ඇති සංනිවේදන තාක්ෂණයට අතිරේක ව අන්තර්ජාලය, GPS හෙවත් ගෝලීය තැන් සෙවුම් පද්ධති, ටච් ස්ක්‍රීන් හෙවත් ස්පර්ශ තිරය, SIRI යනුවෙන් හැඳින්වෙන හඬ ආධාරක ක්‍රමය ආදි මේ සියලු උපාංගවලට පාදක තාක්ෂණය පොදු අරමුදල්වල අනුග්‍රහය ලැබූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සොයා ගැනීම් ය. ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් අවිවාදයෙන් ම කෘතහස්ත නිර්මාණශීලී  පුද්ගලයෙකු බව ඇත්තකි. එහෙත් අයිෆෝන්-අයිපෑඩ් අධිරාජ්‍ය ගොඩනැගීම සම්බන්ධයෙන් ඔහු වෙත ආරූඪ කර ඇති  ජනප්‍රිය විශ්වාසය නිසා ඇපල් සමාගම ඒ තත්වයට ගෙන ඒම සඳහා පොදු අරමුදලින් බිහිවුණු තාක්ෂණය විසින් ඉටු කරන ලද තීරණාත්මක කාර්යභාරය නො සලකා හැරීම අයුතු ය. ඇපල් සමාගම බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඇති වුණ විවාදයේ දී රාජ්‍ය ආධාර ක්‍රමවලින් ලද මෙවැනි ඵල ප්‍රයෝජන ලබාගැනීම් ගැන අවශ්‍ය තරම් අවධානයක් යොමු නො විණි. නවෝත්පාදනයේ දී අවදානම් ගැනීමට මැලි නො වූ පොදු  වැඩසටහන්වල ඵල ප්‍රයෝජන නිසා පසු කලක ඉමහත් ධනස්කන්ධයක් උපයා ගත් ඇපල් වැනි සමාගම් එම ආදායමෙන් සැලකිය යුතු කොටසක් බදු ගෙවීම මඟින් පොදු අරමුණු ඉටු කිරීමට දායකවීම මඟ නො හැරිය හැකි යුතුකමක් බව මාස්සුකාටෝ පෙන්වා දෙයි.

ආණ්ඩුවක් විසින් මෙහෙවර ආර්ථිකය මෙහෙයවනු ලැබීමට අනුරූප කාර්යභාරයක් ඇමෙරිකාවේ DARPA හෙවත් ආරක්ෂක කටයුතු සම්බන්ධ උසස් පර්යේෂණ ව්‍යාපෘති පිළිබඳ ඒජන්සිය (Defense Advance Research Project Agency) වැනි ආයතන විසින් ඉටු කරනු ලැබී ය. එහි කටයුතු හුදෙක් උසස් තාක්ෂණික පර්යේෂණ සඳහා අවශ්‍ය අරමුදල් සැපයීම පමණක් නො වී ය. තෝරා ගත් සුවිශේෂී නිශ්චිත ඉලක්ක හඳුනා ඒවා සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය හා මානව සම්පත් ඒ කරා යොමු කරවීම, නවොත්පාදන අවස්ථා සඳහා නව කවුළු විවර කිරීම, තාක්ෂණික සංවර්ධනයේ නියැලෙන පුද්ගලික හා පොදු ආයතන අතර අන්තර් සම්බන්ධකම්  ගොඩනැගීම, නවොත්පාදන සඳහා ආයෝජනය කිරීමට ව්‍යාපාර ප්‍රාග්ධන හිමියන් පොලඹවා ගැනීම වැනි කටයුතු රැසක් එම ආයතනයෙන් ඉටු විය. DARPA ආයතනය බිහි කරනු ලැබුවේ තාක්ෂණික විශිෂ්ටත්වය නො කඩවා ඇමෙරිකා එක්සත් ජනපදය සතු ව පවත්වා ගෙන යෑම සඳහා ය. ඒ නිසා එකී මෙහෙවර(Mission) ඉටු කිරීම සඳහා අවශ්‍ය ආක්‍රමණශීලී වැඩ සටහනක් DARPA ආයතනය විසින් පවත්වා ගෙන යන ලදී. වසරකට ඩොලර් බිලියන 3ක වැය ශීර්ෂයක් සහ 240 ක කාර්ය මණ්ඩලයකින් සමන්විත වූ එම ආයතනය නම්‍යශීලී වැඩ සංස්කෘතියකින් යුක්ත වුවක් විය. ආයතනයේ නිශ්චිත ව්‍යාපෘති හා වැඩ සටහන් සඳහා අවශ්‍ය ගුණාත්මක බවින් උසස් කළමනාකරුවන් අදාළ ව්‍යාපෘතියට අනුකූල ව අවුරුදු 4-6 දක්වා කෙටි කාලීන කොන්ත්‍රාත්තු පදනම යටතේ බඳවා ගන්නා ලදී. එනිසා ඔවුහු පොදු අරමුණ කරා ළඟා වීම සම්බන්ධයෙන් තමන්ට හිමි නිශ්චිත කාර්ය නො වළහා ඉටු කිරීම පිණිස අවශ්‍ය අවදානම් ගැනීමට පසුබට නො වන අය වූහ.

 DAPRA ආයතනික මොඩලයේ ප්‍රධාන ලක්ෂණ හතරක් මසුකටෝ සිය Entrepreneurial State නමැති ග්‍රන්ථයේ මෙසේ හුවා දක්වයි:

  • “බලාපොරොත්තු සහගත නවෝත්පාදනීය අදහස් අත්හදා බැලීම සඳහා අයවැය සම්බන්ධයෙන් සැලකිය යුතු ස්වායත්ත භාවයක් ඇති විචක්ෂණ විද්‍යාඥයින්ගෙන් සහ ඉංජිනේරුවන්ගෙන් සමන්විත සාපේක්ෂ වසයෙන් කුඩා වූ කාර්යාල සමුච්චයකින් DAPRA ආයතනික ව්‍යුහය සමන්විත යි. මෙකී  කාර්යාල ප්‍රතික්‍රියාවක් ලෙස නො ව ඉදිරි දැක්මක් සහිතව ප්‍රගාමී ලෙස කටයුතු කරමින් තමන් පරිචය දක්වන ක්ෂේත්‍රය සම්බන්ධ පර්යේෂණ න්‍යාය පත්‍රය තීරණය කරයි. එහි දී හඳුනා ගත් සුවිශේෂ තාක්ෂණික අභියෝග ජය ගැනීම සඳහා අවශ්‍ය විද්‍යාඥයන් සහ තාක්ෂණික ශිල්පීන් විශ්ව විද්‍යාල සහ අනෙකුත් පොදු හා පෞද්ගලික ආයතනවලින් තෝරා ගෙන සම්බන්ධීකරණය කොට කණ්ඩායම් ලෙස මෙහෙයවා ගැනී ම ද එම කාර්යාල විසින් ම ඉටු කරනු ලබයි.
  • නවෝත්පාදනීය පර්යේෂණ සඳහා අවශ්‍ය වන මූල්‍යාධාර ලබා දෙන්නේ විශ්ව විද්‍යාල පාදක පර්යේෂකයන්, නව නිපැයුම් සඳහා ම අලුතින් බිහි කළ සමාගම් සහ පළපුරුදු සමාගම්වලින් සමන්විත සාමූහිකයකට යි. එහි දී ප්‍රාථමික පර්යේෂණ සහ ඉහළ මට්ටමේ පර්යේෂණ අතර වෙනස නො සැලකේ. මන්ද ඒ දෙවර්ගය ම ගැඹුරු ලෙස එකිනෙක හා වෙළී තිබෙන බැවිනි. ඒ හැර පර්යේෂණවල දී අවශ්‍ය ප්‍රගතිය නො පෙන්වන කණ්ඩායම්වලට වෙන් කළ මූල්‍යාධාර වැඩි ප්‍රගතියක් දක්වන කණ්ඩායම්වලට පැවරීමේ බලය ද DAPRA ව්‍යාපෘති කළමනාකරුවන් සතු ය.
  • ·DAPRA ආයතනයේ අරමුණ වන්නේ ප්‍රායෝගික ව උපයෝගී කර ගත හැකි විසඳුම් හඳුන්වා දෙන ආකාරයේ තාක්ෂණික දියුණුවක් ඇති කර ගැනීම යි. අදාළ සමාගම්වලට සිය නවොත්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට ආධාර කිරීම දක්වා DAPRA ආයතනයේ කාර්යභාරය පුළුල් කර ගැනීමට කළමනාකරුවන්ට ඉඩ තිබේ.
  • ·නවෝත්පාදනීය අදහස් සහ ඒ සඳහා අවශ්‍ය සම්පත් ජනිත කිරීම පිණිස එකිනෙකට වෙනස් පර්යේෂණ හා සංවර්ධන ආයතන අතර සහයෝගිතාව තහවුරු වන ලෙස සම්බන්ධීකරණ කටයුතු අධීක්ෂණය කිරීම DAPRA ආයතනයේ වගකීමකි.
  • ඒ අනුව ආයතන මට්ටමින් පමණක් නො ව ආණ්ඩුවක් වසයෙන් වුවද DAPRA මොඩලයට අනුරූප ව සුදුසු සාකල්‍ය එළඹුමක් අනුගමනය කිරීම මෙහෙවර ආර්ථිකයක අරමුණු ඉටු කර ගැනීමට දායකත්වය දෙන ආයතනවලට කළ හැකි ය. මේ අනුව කටයුතු කිරීමට නම් ආණ්ඩුවේ පරිපාලන තන්ත්‍රය ගුණාත්මක, ආකල්පීය හා සංවිධානාත්මක යන සියලු අංශවලින් ම ප්‍රතිසංවිධානය විය යුතු ය.”

නව තාක්ෂණ ක්ෂේත්‍රයේ DAPRA ආයතනය වැනි පොදු ආයතන ඉටු කළ ඵලදායක පුරෝගාමී කාර්යභාරය අදාළ වන්නේ යහමින් අරමුදල් හා සම්පත් ඇති ඇමෙරිකා එක්සත් ජනපදය වැනි විශාල රටවල්වලට පමණක් නො වේ. ඩෙන්මාකය හා ඊශ්‍රායලය වැනි කුඩා රටවල් ද ආණ්ඩුවේ මුලපිරීමෙන් හා මෙහෙයවීමෙන් නවොත්පාදන හඳුන්වා දීම සාර්ථක කර ගෙන තිබේ. වර්තමානයේ චීනයේ පුනර්ජනනීය බල ශක්තිය හා පරිසර හිතකාමී කාර්මිකකරණය සඳහා අවශ්‍ය බොහෝ දියුණු තාක්ෂණික විසඳුම් ලබා ගන්නේ කුඩා රටක් වූ ඩෙන්මාකයෙන් බව මාස්සුකාටෝ පෙන්වා දෙයි. එමෙන් ම තායිවානයේ කාර්මික තාක්ෂණ පර්යේෂණ ආයතනය, ඊශ්‍රායලයේ ප්‍රධාන විද්‍යාඥයාගේ කාර්යාලය, ජපානයේ ජාත්‍යන්තර වෙළඳාම සහ කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශය, සිංගප්පූරුවේ විද්‍යා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඒජන්සි ආයතනය එක්සත් ජනපදයේ DAPRA ආයතනයට අනුරූප ව සිය රටවල තාක්ෂණික නවොත්පාදන නිර්මාණය කිරීමේ ලා පුරෝගාමී විය. මෙහි ලා තවත් වැදගත් උදාහරණයක් වන්නේ නූතන ඉලෙක්ට්‍රොනික් කර්මාන්තයේ ඉන්ද්‍රකීලයක් ව ඇති දකුණු කොරියාව යි. කොරියාව සෙමිකොන්ඩක්ටර් කර්මාන්තයට අවතීර්ණ වුණේ 1970 ගණන්වල දී ඇමෙරිකානු තාක්ෂණික සමාගම් ආකර්ෂණය කරමින් අඩු මිලට හොඳ පුහුණු ශ්‍රමිකයන් සැපයීමට එරටට තිබූ හැකියාව උපයෝගී කර ගනිමිනි. ඊළඟ දශකයේ දී නිෂ්පාදන ශක්‍යතාව ඇති කොරියානු ව්‍යාපාරිකයන්ට නවෝත්පාදනය සඳහා අනුබල දෙන තීරණාත්මක කාර්මික ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් කොරියාව ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වෙළඳපොළෙන් සැලකිය යුතු කොටසක් සිය අණසකට නතු කර ගත්තේ ය.

රාජ්‍ය අංශය අනුක්‍රමයෙන් අකාර්යක්ෂම කිරීම නවලිබරල්වාදය අනුදත් රාජ්‍ය නායකයන්ගේ දැනුවත් මෙහෙයවීමෙන් සිදු වූවකි. ඉංග්‍රීසි භාෂාවේ ඇති භයංකර ම වචන නවය වන්නේ “මම රජයෙන්, මං මෙතෙන්ට ආවේ උදව් කිරීමටයි” යනුවෙන් කීම බව නවලිබරල්වාදී ආර්ථික චින්තනයේ කස කරුවෙකු වූ ඇමෙරිකානු ජනාධිපති (1981-1989) රොනල්ඩ් රේගන් වරක් පැවසී ය. රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව අවම වීමට ඇති හේතු ඉවත් කරනවා වෙනුවට එමඟින් ඔහු අදහස් කළේ රාජ්‍ය අංශයේ කාර්ය අවම කොට පෞද්ගලික අංශය ප්‍රමුඛ කොට ආර්ථිකය ගොඩ නැඟීම යි.

තදනන්තර ව රජයේ ආර්ථික භූමිකාව සම්බන්ධයෙන් වැරදි මතවාද කිහිපයක් වපුරන ලද බව මාස්සුකාටෝ පෙන්වා දෙයි. ඉන් පළමු වැන්න නම්  ආර්ථික වටිනාකම් නිපදවීම පෞද්ගලික අංශයේ කටයුත්තක් බැවින් රාජ්‍ය අංශයේ කාර්ය හුදෙක් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමකට සීමා විය යුතු බව යි. ඒ අනුව ආර්ථික ක්‍රීඩාවේ නීති සැකසීම, නියාමනය සහ වෙළඳපොළ ඌනතා පූරණය කිරීම හැරෙන්නට වෙන කිසිවක් රජය විසින් නො කළ යුතුයැ’යි අදහස් කෙරිණි. 2008 මූල්‍ය අර්බුදයේ දී සමස්ත ආර්ථිකය කඩා වැටීමෙන් බේරා ගැනීමට මහ බැංකුවලට තීරණාත්මක ව මැදිහත් වීමට සිදු වුණත් සාමාන්‍යයෙන් මහ බැංකුවක කාර්යභාරය ලෙස සැලකුණේ ව්‍යාපාරවලට හිතකර ලෙස පොලී අනුපාත සහ ණය පහසුකම් පවත්වා ගෙන යෑමයි. රජයේ භූමිකාව අවම කළ මේ වැරදි මතවාදයේ ප්‍රතිඵලය වූයේ නව නිෂ්පාදන ක්‍රමවේද හා නවොත්පාදන හඳුන්වා දීම සම්බන්ධ තිබූ තමන්ට තිබූ හැකියාව පිළිබඳ එතෙක් තිබූ විශ්වාසය පොදු ආයතනවලින් ගිලිහී යෑමයි. ඒ අනුව නිර්මාණාත්මක අවදානම් ගැනීමට රාජ්‍ය ආයතන මැලි වීම නිසා ඒවා හුදු අක්‍රිය හා අකාලික ආයතන බවට පත් විය. ඒ සමඟම විශ්ව විද්‍යාල අනුබද්ධිත පර්යේෂණ ආයතන හා විද්‍යාර්ථින් සමඟ පමණක් නො ව පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධ ව නවොත්පාදන බිහි කිරීම සම්බන්ධයෙන් එතෙක් ඉටු කළ මෙහෙයවුම් භූමිකාව ද රාජ්‍ය ආයතනවලින් ගිලිහී ගියේ ය. මේ නිසා DARPA වැනි රාජ්‍ය ආයතන විසින් ඉටු කළ පුරෝගාමී මෙහෙවර කටයුතු අමතක  කරමින් ආර්ථික වටිනාකම් බිහි කරන්නේ පෞද්ගලික අංශයෙන් පමණකි යන්න පොදු විශ්වාසයක් බවට පත් විය.

දෙවැනි වැරදි මතවාදය වන්නේ ආණ්ඩුව පවතින්නේ වෙළඳපොළ අසමත්කම් නිසා ඇතිවෙන හිඩැස පිරවීමට පමණකි යන්න යි. වෙළඳපොළ අසමත්කම්වලට නොයෙකුත් හේතු තිබිය හැකි ය. ඒ අතර පාරිභෝගිකයන් හා වෙළෙන්දන් අතර එක සමාන තොරතුරු හුවමාරු නො වීම නිසා ඇතිවෙන අසමමිතික බව හෝ  සමාජ යහපත සැලසෙන ආර්ථික විද්‍යාවේ දී ධන බාහිරතා (positive externalities) ලෙස හැඳින්වෙන පොදු සේවා හා භාණ්ඩ, මහජන සෞඛ්‍ය සහ මූලික පර්යේෂණ ආදිය සඳහා පොදු අරමුදල් සැපයීම හෝ එසේත් නැතිනම් පරිසර දූෂණය වැනි ඍණ බාහිරතා (negative externalities) ද තිබිය හැකි ය. ධන බාහිරතා යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ කිසියම් කටයුත්තකින් තුන්වැනි පාර්ශවයකට නිරායාසයෙන් ම ලැබෙන වාසිය යි. උදාහරණයක් ලෙස විකිණීම සඳහා මල් වවන කෙනෙකු ඒ මඟින් මී පැණි නිපදවීමට මී මැසි පාලනයේ නියැලෙන අසල්වැසියෙකුට අනායාසයෙන් ම වාසියක් සලසයි. වෙළඳපොළ අසමත්කම්වලට මැදිහත් වීම යන අදහසට අනුව  පරිසර දූෂණය වැනි අවස්ථාවල දී මැදිහත් වී දූෂකයා විසින් හානිපූරණය කළ යුතු ය යන තර්කය මත විශේෂ කාබන් බද්දක් අය කිරීම රජයේ කාර්යයක් ලෙස සැලකේ. එමෙන් ම බදු ප්‍රතිපත්තිය මඟින් එක්රැස් වන ධනය ප්‍රතිව්‍යාප්ත කිරීම ද සැලකෙන්නේ වෙළඳපොළ අසමත්කම්වලට රජය යොදන පිළියමක් ලෙස ය.

එහෙත් අධ්‍යාපනයට අරමුදල් යෙදවීම වැනි ධන බාහිරතා (positive externalities) සම්බන්ධ ව ගත හොත් නවලිබරල්වාදීන් අදහස් කරන්නේ රජය අධ්‍යාපනයට මැදිහත් විය යුත්තේ පෞද්ගලික අංශය විසින් අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලීමට අසමත් වන අවස්ථාවල දී පමණකි කියා ය. එම අදහස තහවුරු කිරීමට නවලිබරල්වාදීන් යොදා ගන්නා එක් තර්කයක් වන්නේ වෙළඳපොළ තරඟය සහ ලාභ ලැබීමේ චේතනාව නිසා පාරිභෝගිකයන්ට අධ්‍යාපනය සම්බන්ධයෙන් හොඳ තෝරා ගැනීමක් කළ හැකි නමුත් රාජ්‍ය පරිපාලන කටයුතු මඟින් ගන්නා තීරණවල දී එවැනි තේරීමක් කිරීමට අවස්ථාවක් නො ලැබෙන බව යි.  මේ හැර දේශපාලන අනුග්‍රහය, ඥාති සංග්‍රහය සහ නොයෙකුත් දූෂිත ක්‍රියා නිසා අවදානමට ලක් වන බැවින් වෙළඳපොළ මඟින් ලබාදෙන තේරීම් තරම් හොඳ තේරීම් රාජ්‍ය අංශයට ලබා දිය නො හැකි බව ද නිතර හුවා දක්වනු ලැබේ. එහෙත් මෙය නිවැරදි නම් වෙළඳපොළ අසමත් වන අවස්ථාවල දී රජය මැදිහත් වීමෙන්  හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නේ කෙසේ ද යන්න එමඟින් විස්තර නො වේ. එයාර්බස් සමාගම ප්‍රංශ හා ජර්මන් ආණ්ඩුවල ඒකාබද්ධ මූලික ආයෝජනවලින් අරඹා මගී ගුවන් යානා නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ව්‍යාපාරයක් බවට පත් වූ විට නවලිබරල්වාදීන් එය හැඳින්වූයේ පෞද්ගලික අංශයට ඇති ව්‍යාපාරික අවස්ථාවක් පැහැර ගැනීමක් ලෙසිනි.

ඇත්ත වසයෙන් ම ක්‍රමෝපායික ලෙස යෙදවූ විට රාජ්‍ය අංශයේ ආයෝජන නිසා  පුද්ගලික අංශයේ ආයෝජන ද දිරිගැන්වේ. එයා බස් සමාගමට පෞද්ගලික අංශයෙන් යෙදවුණ ආයෝජන ඊට නිදසුනකි. තාක්ෂණික දියුණුවේ ඉතිහාසය සලකා බලන විට තීරණාත්මක නව සොයා ගැනීම් බිහි කර ගැනීමට හැකි වූ බොහෝ අවස්ථාවල දී රාජ්‍ය ආයෝජන මූලික වූ බව පෙනේ. නැනෝ තාක්ෂණය හා ජීව තාක්ෂණය සම්බන්ධ නවොත්පාදන වැනි ආරම්භයේ දී අවදානම ගත යුතු බොහෝ ක්ෂේත්‍රවල ආයෝජන කිරීමට රාජ්‍ය අංශය ඉදිරිපත් වී බිය සැක ඉවත් නො කරන්නට පෞද්ගලික අංශය ඒ සඳහා ආයෝජනය කිරීම පසුබෑමකට ලක් වන්නට ඉඩ තිබුණු බව මාස්සුකාටෝ පෙන්වා දෙයි.

තෙවැනි වැරදි මතවාදය ලෙස මාස්සුකාටෝ හඳුන්වන්නේ ආණ්ඩුව කටයුතු කළ යුත්තේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ආයතනයක් ලෙස ය යන ප්‍රකට විශ්වාසය යි. මින් අදහස් වන්නේ කිසිදු අවදානමක් ගැනීමෙන් තොර ව ආණ්ඩුව පුද්ගලික ව්‍යාපාරයක් ලෙස තමන්ට නියමිත සීමිත කටයුත්ත ඉටු කළ යුතු බව යි. එකී සීමිත කටයුතු නම් ව්‍යාපාරික ඒකාධිකාර ඇතිවීම වැළැක්වීම, නීතිය හා සාමය ආරක්ෂා කිරීම සහ අවශ්‍ය අවස්ථාවල දී පමණක් නියාමනය කිරීම වැනි ක්‍රියා මඟින් ආර්ථික ක්ෂේත්‍රයේ තරඟකාරී ලෙස නියැලෙන්නන් සඳහා සම බිමක් පවත්වා ගෙන යෑම යි. ඒ හැරෙන්නට ආණ්ඩුව විසින් වෙන කිසි දෙයක් නො කළ යුතු බව නවලිබරල්වාදීන්ගේ අදහස විය. ආණ්ඩුවේ ආයතන පුද්ගලික අංශයේ මෙන් ව්‍යාපාරික විනයක් ඇති ව පවත්වා ගෙන යා යුතු බව හැරෙන්නට ඉන් කියවෙන්නේ පොදු ප්‍රවාහනය හා මහජන සෞඛ්‍ය වැනි සාම්ප්‍රදායික ව රජය මඟින් පවත්වා ගෙන ගිය පොදු සේවාවලින් සැලකිය යුතු කොටසක් පෞද්ගලික අංශයට පවරා දිය යුතු බව යි.  

ආණ්ඩුවේ කටයුතු ව්‍යාපාරික ආයතනයක් ලෙස පවත්වා ගෙන යුතු ය යන අදහසට අනුකූල ව 1980 ගණන්වල ඇතැම් ව්‍යාපාරවේදී ගුරුකුල විසින් හඳුන්වා දෙනු ලැබූ  New Public Management හෙවත් ‘පොදු අංශයේ නව කළමනාකරණය’ නමැති සංකල්පය යටතේ පොදු අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අටියෙන් ලාභ ලැබීම පොදු ආයතනවල මූලික අරමුණ කර ගත යුතුයැ’යි නිර්දේශ කෙරිණි.  ඒ හැර  ආණ්ඩුව මඟින් කළ යුතු සේවා සැපයීම් ආදිය කොන්ත්‍රාත්තු මත පෞද්ගලික අංශයට පැවරීම ද බෙහෙවින් උනන්දු කෙරුණි. මෙහි දී එක් ප්‍රබල තර්කයක් වුණේ සමාගමක කොටස්කරුවන්ට එම සමාගමේ කළමනාකරුවන් වග වෙන අන්දමට සමාන ව මහජනතාවට රජයේ සේවකයන් වග වෙන අන්දමේ ක්‍රමයක් නොමැති වීම විශාල අඩුපාඩුවක් බවයි. කොටස්කරුවන්ට මෙන් නො ව මහජනතාවට ආණ්ඩුවේ කළමනාකාරිත්වය ගැන එවැනි වග වීමක් ඉල්ලා සිටිය හැක්කේ වසර පහකට වරක් පැවැත්වෙන මැතිවරණයක් මඟින් පමණි.

එහෙත් 1990 වන විට නව පොදු කළමනාකරණ සංකල්ප උපයෝගී කරගත් රටවලට ඉන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නො ලැබෙන බව පෙනී යන්නට විය. කොන්ත්‍රාත්කරුවන් බාර ගත් ඇතැම් සේවා නිසි ලෙස ඉටු නො විණි. NPM (New Public Management) හෙවත් පොදු අංශයේ නව කළමනාකරණ සංකල්පයට අනුව දිරි ගන්වන ලද නිර්නියාමනය නිසා බැංකු ක්ෂේත්‍රයේ අවදානම් හැසිරීම් නිරන්තරයෙන් දක්නට ලැබුණි. දිගු කාලීන ආයෝජන සඳහා වෙහෙසෙනු වෙනුවට කෙසේ හෝ කොටස් මිල ඉහළ දමා ගැනීමේ කෙටි කාලීන වැඩපිළිවෙළවලට සමාගම් ඇබ්බැහි වෙන්නට පටන් ගත්තේ ය. රජයේ සේවා කටයුතු බහිස්සේවාපර්ණය (outsource) කිරීම හෙවත් පිටස්තර ප්‍රභව වලට පැවරීම නිසා අදාළ නිෂ්පාදන හා සේවාවල ගුණාත්මක බව පවත්වා ගැනීමට ආණ්ඩුවලට අපහසු විය. එහෙත් පුද්ගලීකරණය වූ ප්‍රවාහන සේවාවලින් බලාපොරොත්තු වූ කාර්යක්ෂමතාව හා නවීකරණය ඉටු නොවිණි. ඒ නිසා බ්‍රිතාන්‍ය වැනි රටවල පෞද්ගලීකරණය කළ දුම්රිය සේවා යළි පවරා ගත යුතුයැ’යි උද්ඝෝෂණ ඇති විය.  සෞඛ්‍ය හා අධ්‍යාපන අංශවල මහජන සේවා ලාභ ලබන ව්‍යාපාර බවට පරිවර්තනය කිරීමට තැත් කිරීම නිසා සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට මහජනයා විසින් ගෙවිය යුතු මිල සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර රෝගීන් සහ ශිෂ්‍යයන් හුදු සේවාදායකයන් ලෙස සැලකුණි. එහෙත් මේ අතර ප්‍රංශය වැනි රටවල රජය මඟින් කාර්යක්ෂම ලෙස පවත්වා ගෙන ගිය දුම්රිය සේවය අන් රටවල පොදු ප්‍රවාහන සේවාවලට ආදර්ශයක් විය.  ප්‍රංශ රජය සතු EDF නමින් හැඳින්වෙන විදුලි සහ ගෑස් සමාගම අසල්වැසි බ්‍රිතාන්‍යය බෙල්ජියම සහ ඉතාලිය යන රටවල සේවාදායකයන් සඳහා ද විදුලි හා ගෑස් සේවා කාර්යක්ෂම ව සපයයි.

තවත් වැරදි මතවාදයක් වන්නේ රජයේ කටයුතු බහිස්සේවාපර්ණය කිරීම හෙවත් පිටස්තර ප්‍රභව වලට පැවරීම මඟින් අවදානම අඩු කර බදු ගෙවන්නන්ගේ මුදල් ඉතිරි කර ගත හැකි බව යි. නවලිබරල්වාදීන් අනුදත් පොදු අංශයේ නව කළමනාකරණ සංකල්පයට අනුව යෝජනා කළ ප්‍රතිසංවිධාන ක්‍රම අතර පොදු ආයතන පුද්ගලීකරණය කිරීම, පොදු අංශයට අයත් ප්‍රමාණයෙන් විශාල සංස්ථා හා සමාගම් විමධ්‍යගත කිරීම හා කොටස්වලට කැඩීම හා පොදු ආයතනවල වැටුප් ගෙවීම කාර්යසාධනය ඉලක්ක අනුව සිදු කිරීම ද විය. මේ යෝජනා බ්‍රිතාන්‍යයේ නවලිබරල්වාදී මාග්‍රට් තැචර් අගමැතිනියගේ කාලයේ පමණක් නො ව ටෝනි බ්ලෙයාර්ගේ ලේබර් ආණ්ඩුව විසින් ද පුද්ගලීකරණය, පොදු හා පුද්ගලික පංගුකාරිත්වය (public and private partnership) සහ බහිස්සේවාපර්ණය ආදි වසයෙන්  මහත් උද්යෝගයෙන් හඳුන්වා දෙනු ලැබීය. එහෙත් ඒ අනුව විදේශික රාජ්‍ය සමාගම්වලට ද බ්‍රිතාන්‍යයේ සේවා සැපයීම් අත්පත් කර ගැනීමට ඉඩ දෙනු ලැබීය. ඒ නිසා වැඩි අයිතියක් හොං කොං රජය සතු MTR සමාගම ලන්ඩන් උමං දුම්රිය මාර්ග සංවර්ධනයට දායක වූ අතර ලන්දේසි රජය සතු ජාතික දුම්රිය ප්‍රවාහන සේවය සතු ඇබලියෝ සමාගම බ්‍රිතාන්‍යයේ බස් සහ දුම්රිය සේවා ද පවත්වා ගෙන යයි. මේ අනුව හැම රාජ්‍ය සමාගමක් ම අකාර්යක්ෂම ය යන නිගමනය නිවැරදි නො වන බව පෙනී යයි. කෙසේ වෙතත් ලෝක බංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් දිරි ගන්වන ලදු ව ලංකාව ඇතුළු සංවර්ධනය වන රටවල් බොහෝමයක් ද පොදු අංශයේ නව කළමනාකරණ සංකල්පය මඟින් හුවා දැක්වූ පෞද්ගලීකරණ වැඩපිළිවෙළ උද්යෝගයෙන් අනුගමනය කළේ ය. බ්‍රිතාන්‍යයේ මෙය කො‍තෙක් තදින් පැතිරිණි දැ’යි කිව හොත් Private Finance Initiative (PFI) හෙවත් පුද්ගලික මූල්‍ය ආයෝජන වැඩපිළිවෙළ යටතේ රෝහල්, බන්ධනාගාර, පාසල් සහ ආරක්ෂක සේවා ගොඩනැගිලි වැනි සාමාන්‍යයෙන් රාජ්‍ය අංශය මඟින් පවත්වා ගෙන යන පහසුකම් පෞද්ගලික සමාගම්වල පංගුකාරිත්වයෙන් නවීකරණය කිරීම හඳුන්වා දෙන ලදී.  

පොදු අංශයේ නව කළමනාකරණ සංකල්පය අනුදත් පරිදි රජය කුඩා විය යුතු අතර රජයේ මූල්‍ය පාලනය සමබර අයවැයක් මත පදනම් කර ගත යුතු විය. වෙනත් අයුරකින් කිව හොත් වාර්ෂිකව ලැබෙන ආදායම ඉක්මවා යන මුදලක් රජය විසින් වැය කිරීම කිසිසේත් ම නො කළ යුතු දෙයක් ලෙස සැලකුණි. ඒ අතර ණය ප්‍රතිශතය ඉහළ යෑම වළක්වා ණය ප්‍රමාණය අඩු කර ගත යුතු බවත් පැවසිණි. ඒ අනුව අවදානම් ආයෝජන වසයෙන් සැලකුණු සියලු දේවල් රජය විසින් පිටු දැකිය යුතු විය. එහෙත් පෞද්ගලික අංශයට බහිස්සේවාපර්ණය (outsource) කෙරුණු රෝහල් හා පාසල් නවීකරණය සඳහා වැය වන මුදල රජය විසින් ගෙවනු ලැබිය යුතු බව පිළිගැනිණි. කෙසේ වෙතත් බහිස්සේවාපර්ණයට අනුව පෞද්ගලික අංශයට පැවරෙන ව්‍යාපෘති සඳහා වැය වන මුදල ඒ හා සමාන ව්‍යාපෘතියක් රාජ්‍ය අංශය මඟින් ණය ක්‍රම යටතේ ක්‍රියාත්මක කිරීමට යන මුදලට වඩා 40% කින් වැඩි වන බව බ්‍රිතාන්‍යය රජයේ විගණකාධිපති වාර්තා උපුටා දක්වමින් මාස්සුකාටෝ පෙන්වා දෙයි. 

ආණ්ඩුවල කටයුතු බහිස්සේවාපර්ණය කෙරෙන එක් වැදගත් අංශයක් වන්නේ රජයේ ආයතනවලට අවශ්‍ය විවිධ මෘදුකාංග නිපදවා ගැනීමයි. එහෙත් බොහෝ පොදු ආයතන එසේ සැපයෙන මෘදුකාංගවලින් බොහෝමයක් තමන්ට අවශ්‍ය කටයුත්ත සඳහා උචිත ඒවා නො වන බව පෙන්වා දී ඇති අවස්ථා එමටය. 2011 දී බ්‍රිතාන්‍ය මහජන සෞඛ්‍ය සේවයට රෝගීන්ගේ වාර්තා තැබීමේ මෘදුකාංගයක් පිළියෙළ කිරීම සඳහා පවුම් බිලියන 10ක් පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් සඳහා වියදම් කිරීමෙන් අනතුරු ව  වසර දහයක් ගත වී ගිය පසු ද අවශ්‍ය පරිදි එම කටයුත්ත ඉටු කර ගැනීමට නො හැකි විය. මේ පිළිබඳ විමර්ශනයක් කළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මහජන වියදම් පිළිබඳ කමිටුව එය බ්‍රිතාන්‍ය රාජ්‍ය සේවයේ නරක ම කොන්ත්‍රාත්තු මගඩිවලින් එකක් බව සඳහන් කළේ ය. එසේ බහිස්සේවාපර්ණය (outsource) කිරීම මඟින් බලාපොරොත්තු වූ කාර්යක්ෂමතාව ලබා ගැනීම උගහට වූවා පමණක් නො ව එය මුදල් ගසා කෑමේ කටයුත්තක් වූ බවට ඇති උදාහරණ එමට ය.

පස්වැනි වැරදි මතවාදය වසයෙන් මාස්සුකාටෝ පෙන්වා දෙන්නේ නවොත්පාදන ආදී පෙරටුගාමී ආර්ථික කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රජය මැදිහත් වී සුදුස්සන් තෝරා නො ගත යුතු ය යන්නයි. ඒ වෙනුවට රජයේ කාර්යය ලෙස සැලකෙන්නේ ජයග්‍රාහකයින් හෝ පරාජිතයන් වන්නේ කවුදැ’යි නො සලකා හැම කෙනෙකුට ම සමාන නීතිරීතිවලට යටත් ව තරඟ කළ හැකි වෙළඳපොළ හිතෛෂි ප්‍රතිපත්ති හඳුන්වා දීමයි. එහෙත් ඇත්ත වසයෙන් ම නිෂ්පාදනය උත්තේජනය කිරීම පිණිස කුමන ආකාරයේ රාජ්‍ය ආධාරයක් දිය යුතු ද යන්න තීරණය කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයන්ට සිදු වන නිසා එම ආධාරය ලැබීමට සුදුසු වන්නේ කවුද යන්න තීරණය කිරීම ද නිරායාසයෙන් ම රජයකට සිදු වන්නේ ය. ආර්ථිකය මෙහෙයවීමේ දී ජයග්‍රාහකයින් විය යුත්තේ කවුරුන් ද යන්න තෝරා ගැනීමට රජයකට බොහෝ විට සිදු වන්නේ ආර්ථික උන්නතිය සඳහා අවශ්‍ය වන තීරණාත්මක නව තාක්ෂණය හෝ නවොත්පාදන ක්ෂේත්‍රය කුමක් ද යන කරුණ මත ය. එවැනි තේරීමක දී සුවිශේෂ අවධානයට යොමු වන කරුණු අතර අදාළ තාක්ෂණයේ හෝ නවෝත්පාදනයේ පුරෝගාමිත්වය තහවුරු කර දීමට ඇති අවශ්‍යතාව, නව දැනුම බෙදා හදා දීමේ අවශ්‍යතාව, රැකියා නිපදවීම, නිෂ්පාදනය හා ආදායම ඉහළ නැංවීම, කලාපීය සංවර්ධනය උත්තේජනය කිරීම සහ ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රමුඛතා ද තිබිය හැකි ය.

කර්මාන්ත ක්ෂේත්‍රයේ උපායමාර්ගික ස්ථානය (strategic position) තහවුරු කර ගැනීමට අවශ්‍ය වන අවස්ථාවල දී රජයකට ඒ සඳහා අවශ්‍ය දියුණු තාක්ෂණය කුමක් ද සහ එම තාක්ෂණ හැකියාව ඇති කර ගැනීම පිණිස දායක කර ගත හැක්කේ කවරෙක් ද යන්න තීරණය කිරීමට සිදුවිය හැකි ය. මෙය යුක්ති යුක්ත කළ හැකි වුවත් බොහෝ විට තර්කය වන්නේ එ් අන්දමේ ඥානාන්විත තෝරා ගැනීම් කිරීමට රජයට නො හැකි ය යන්න යි. මේ තර්කයට එක් උදාහරණයක් වසයෙන් හුවා දක්වන්නේ ඉංග්‍රිසි-ප්‍රංශ රාජ්‍ය ආධාර ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වූ කොන්කෝඩ් ගුවන් යානා ව්‍යාපෘතිය යි. මේ ව්‍යාපෘතිය මඟින් ශබ්දයේ වේගය අබිබවා යෑමට නිපදවූ සුපර්සොනික්  වර්ගයේ ගුවන් යානා විස්සක්  නිපදවා 1976 සිට 2003 දක්වා ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය ගුවන් සේවා මඟින් සේවයට යෙදවිණි. නමුත් සේවා වියදම් අධික වීම නිසා අනෙකුත් වාණිජ ගුවන් සේවාවලින් ඉල්ලුම් නො ලැබීම වැනි කරුණු නිසා කොන්කෝඩ් යානා නිෂ්පාදනය අත්හැර දැමීමට සිදු විය. එහෙත් කොන්කෝඩ් ගුවන් යානය නිපදවීමේ දී අත්පත් කර ගත් විශිෂ්ට තාක්ෂණික ජයග්‍රහණවල ආභාසය ගුවන් යානා ක්ෂේත්‍රයේ තාක්ෂණික දියුණුවට සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නේ ය.

ජයග්‍රහණය කළ හැක්කේ කිනම් තාක්ෂණයකට ද යන්න හඳුනා ගැනීමට රජයකට නො හැකි ය යන්න ඓතිහාසික ව බැලූ විට නිවැරදි නො වේ. තාක්ෂණයේ පෙරළිකාර දියුණුවක් ඇතිවීමට ඉඩ ඇති අවස්ථාවල දී කාර්මික හා විශේෂඥ ශක්‍යතා සම්බන්ධීකරණය කිරීම, ප්‍රමිති නියම කිරීම සහ නව නිපැයුම් සඳහා වෙළඳපොළක් ඇති කිරීම මඟින් තීරණාත්මක මැදිහත් වීමක් කිරීමට රජයට හැකි බවට කදිම උදාහරණ තිබේ.  1990 ගණන්වල දී රූපවාහිනී ක්ෂේත්‍රය සඳහා HD (High Definition) හෙවත් අධි විෂදතාව සහිත ඩිජිටල් රූපවාහිනී විකාශනය සඳහා ඇතිවිය හැකි අනාගත ඉල්ලුම ගැන සලකා බැලූ දකුණු කොරියානු රජය HD TV නිපදවීමේ තාක්ෂණය සොයා ගැනීම පිණිස අමාත්‍යාංශ තුනක, පෞද්ගලික සමාගම් කිහිපයක, රජයේ සහ විශ්ව විද්‍යාල පර්යේෂණ ආයතන කිහිපයක නියෝජිතයන්ගෙන් සමන්විත පර්යේෂණ හා මෙහෙවර කමිටුවක් පිහිටු වී ය. එහි ප්‍රතිඵලයක් වසයෙන් පර්යේෂණ සංසදයක් හෙවත් කොන්සෝටියමක් ඇති වූ අතර එයට කොරියානු ඉලෙක්ට්‍රොනික ආයතනය, කොරියානු කාර්මික තාක්ෂණ ආයතනය, වීඩියෝ කර්මාන්ත සම්පත් සහ සංවර්ධන සංගමය වැනි පොදු ආයතන මෙන් ම සැම්සුන්ග්, හයුන්ඩායි, LG සහ ඩාවූ ඉලෙක්ට්‍රොනික්ස් වැනි පුද්ගලික සමාගම් ද අයත් විය. ඒ සඳහා රාජ්‍ය හා පෞද්ගලික දෙ අංශයේ දායකත්වයෙන් ඩොලර් මිලියන 100ක අරමුදලක් ද පිහිටුවන ලදී. ඇමෙරිකානු හා ජපාන කාර්මික දැනුමෙන් ද ප්‍රයෝජන ගැනීම පිණිස එම රටවල ද පර්යේෂණ කණ්ඩායම් පිහිට වූ ඒ කොන්සෝටියමය  1993 ඔක්තෝබරයේ දී ඩිජිටල් HD රූපවාහිනි විකාශනය සහ ග්‍රහණය පිළිබඳ මූලාකෘතිය එළි දැක්වීය. ඉන් දෙවසරකට පසු කොන්සෝටියමය විසින් වාණිජ මට්ටමින් HD රූපවාහිනී නිෂ්පාදනය හඳුන්වා දීමට අවශ්‍ය ASCI චිප් ප්‍රොසෙසරය නිපදවූ විට බොහෝ පෞද්ගලික සමාගම් එහි වාණිජ නිෂ්පාදන හිමිකම ලබා ගැනීම සඳහා තරඟ කළේ ය. අවසානයේ නිෂ්පාදන හිමිකම ලබා ගත් සැම්සුන් ආයතනය 1998 සිට සිය HD TV විකාශන මෙවලම් වාණිජ මට්ටමෙන් නිපදවී ය.

ඩිජිටල් විප්ලවය, හරිත පරිවර්තනය, සුසමාදර්ශීය තාක්ෂණික වෙනස්කම් ඇතිවීම වැනි තීරණාත්මක ක්ෂේත්‍ර ඵලදායි ලෙස මෙහෙයවීමට රජය මුල් අවස්ථාවේ දීම මැදිහත් විය යුතු වන්නේ එවැනි ක්ෂේත්‍රවල නවෝත්පාදනික ප්‍රතිඵල සමාජය ගමන් ගන්නා දිශානතිය තීරණය කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි නිස යි.  එවැනි අවස්ථාවල දී රජය මඟින් ඇත්ත වසයෙන් ම කරනු ලබන්නේ හුදෙක් තරඟකරුවන් තෝරා ගැනීමක් නො ව ඉහළ ම තාක්ෂණය ජනිත කිරීමට හැකි  නව සම්බන්ධතා ගොඩ නැගීම පිණිස විවිධ ක්ෂේත්‍රවල කටයුතු සම්බන්ධීකරණය කිරීමට මුල් වීම යි. එම ක්‍රියාවලියෙන් ආභාසය ලත් තාක්ෂණික ජයග්‍රහණ අනෙකුත් නොයෙක් අංශවල දියුණුවට ද හේතුවෙයි.

නවොත්පාදනය සඳහා පුරෝගාමී දායකයන් විය යුත්තේ කවුරුන් දැ’යි යන්න ගැන එක්සත් ජනපද රජය නිගමනය නො කළේ නම් අන්තර්ජාලය බිහි නො වන්නට ඉඩ තිබුණි. එහෙත් වැදගත් වන්නේ රජය එය ඉටු කරන ආකාරයයි. ඉන් අදහස් වන්නේ රජයක් සිය නවෝත්පාදනීය මැදිහත් වීම් සියල්ල එකම ක්ෂේත්‍රයක කළ යුතු ය යන්න නො වේ. ඇත්ත වසයෙන් ම රජය කටයුතු කළ යුත්තේ නවොත්පාදන සඳහා අරමුදල් සැපයීමට ඉදිරිපත් වන අවදානම් ලෝලී ආයෝජකයන් (Venture Capitalists) හා සම ව අදාළ ක්ෂේත්‍ර කිහිපයක ම ආයෝජන කරමින් අවදානම බෙදා හදා ගැනීමයි. එහෙත් එවැනි ආයෝජනවලට පොදු යහපත පිළිබඳ දිශානතියක් තිබිය යුතු ය. උදාහරණයක් වසයෙන් ගත්තොත් ඇමෙරිකානු ආර්ථිකය හරිත ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම සිය රජයේ  දිශානතිය වසයෙන් සලකමින් බැරැක් ඔබාමා ජනාධිපතිවරයා ශක්‍යතා ජනක නවෝත්පාදනයක් ලෙස හඳුනා ගෙන තිබූ ටෙස්ලා විදුලි මෝටර් රථ නිෂ්පාදනයට අවශ්‍ය සොලින්ඩ්‍රා සූර්ය බල ශක්ති තාක්ෂණය සඳහා බලශක්ති දෙපාර්තමේන්තුව හරහා රජයේ ඇප සහිත පහසු ණය ලබා දුන්නේ ය. සාම්ප්‍රදායික තාක්ෂණයෙන් බෙහෙවින් වෙනස් වූ සොලින්ඩ්‍රා විසඳුම අසාර්ථක වූ අතර ටෙස්ලා මෝටර් රථ නිෂ්පාදනය අතිශයින් සාර්ථක විය. එහෙත් රජය මැදිහත් වී ජයග්‍රාහකයන් තේරීමේ පිළිවෙත විවේචනය කරන අය හැම විටම හුවා දක්වන්නේ සොලින්ඩ්‍රා ව්‍යාපෘතියේ අසාර්ථකත්වය මිස ටෙස්ලා ව්‍යාපෘතිය ලද ජයග්‍රහණය නො වේ.

නීතියේ ආධිපත්‍යය ප්‍රමුඛ වූ ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙන් නො ව අනුග්‍රාහක දේශපාලනය රජයන ලංකාව වැනි රටවල රාජ්‍ය අංශය අකාර්යක්ෂම කිරීමට එක් හේතුවක් වූයේ දේශපාලනඥයින්  තම අනුග්‍රාහකයන්ට සුදුසුකම් නො සලකා රැකියා හා තනතුරු ලබා දීමේ මාර්ගයක් ලෙස රාජ්‍ය ආයතන යොදා ගැනීම යි.  එහෙත් පොදුවේ ගත් විට  රජයේ සේවකයන්ගෙන් ඵලදායක ප්‍රත්‍යුත්ක්‍රම (initiatives) හෝ නවොත්පාදන(innovation) හෝ බිහි නො වීමට හේතුව වෙළඳපොළ ක්‍රමය වැඩ නොකරන අවස්ථාවලදී සාම්ප්‍රදායික පැලැස්තර දැමීම සිය ඒකායන භූමිකාව වසයෙන් සැලකීම හැරෙන්නට කිසිදු අළුත් දෙයක් කිරීමට ඔවුන් දක්වන බියයි. ඒ නිසා කොයි වෙළේ අර්බුදයට යා දැයි නො දැන ගැහි ගැහී දුවන වෙළඳපොළ යන්ත්‍රණයක් පැලැස්තර ඇලවීමෙන් පවත්වා ගෙන යෑමට පිහිටුවා ඇති ආයතනයක් ලෙස පමණක් ආණ්ඩුව ගැන කල්පනා කිරීමට නිලධාරි තන්ත්‍රය පෙලඹේ. නවලිබරල්වාදයට අනුව නාගරික වායු දූෂණය අවම කිරීම සහ නව දැනුම නිපදවීම සඳහා ආයෝජනය කිරීම වැනි පොදු යහපත මුල්කරගත් කටයුතු පවා සලකන ලද්දේ සමාජ අභිමතාර්ථවලට වඩා වෙළඳපොළ ඌනතා ආමන්ත්‍රණය කරන ඒවා වසයෙනි.  එකී වෙළඳපොළ යන්ත්‍රණය අර්බුදයට ලක් වී කඩා වැටෙන ඇතැම් අවස්ථාවල දී බැංකු හා සමාගම් ගලවා ගැනීමට පොදු අරමුදල් පොම්ප කිරීමේ සිට පුද්ගලික අංශය විසින් ආයෝජනය කිරීම ප්‍රතික්ෂේප කරන ක්ෂේත්‍රවලට මුදල් යෙදවීම දක්වා ආණ්ඩුවට අලවන්නට සිදු වන පැලැස්තරවල සංඛ්‍යා අති විශාල විය හැකි ය. උදාහරණයක් වසයෙන් 2008 ආර්ථික අර්බුදය අවස්ථාවේ දී ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුවට කොටස් වෙළඳපොළ සමඟ කඩා වැටුණු බැංකු හා මූල්‍ය ආයතන ගලවා ගැනීම පිණිස  ඩොලර් බිලියන 700ක් වැය කිරීමට කොන්ග්‍රස් මන්ත්‍රණ සභාවේ අනුමැතිය ඉල්ලා සිටීමට සිදුවීම නිදර්ශිත කොට දැක්විය හැකි ය..

එහෙත් අවශ්‍ය වන්නේ ප්‍රමාණයෙන් ‘කුඩා ආණ්ඩුවකැයි’ කියමින් රොනල්ඩ් රේගන් ප්‍රමුඛ බොහෝ නවලිබරල්වාදී දේශපාලනඥයන් පොදු සේවා ලෙස පවත්වා ගෙන ගිය රජයේ පොදු කාර්යයන් සැලකිය යුතු ප්‍රමාණයක් කලක සිට ම කොන්ත්‍රාත් ක්‍රම යටතේ පෞද්ගලික අංශයට පවරා දී තිබුණි. ඒ සමාන ව චිලිය වැනි රටවල එතෙක් පොදු දේපළක් වසයෙන් රජය මඟින් පවත්වා ගෙන ගිය ජල සම්පත් හා ජල මාර්ග පවා පුද්ගලීකරණය කරන ලදී. එහෙත් ඇත්ත වසයෙන් ම ප්‍රශ්නය වන්නේ ‘විශාල ආණ්ඩුවක්’ පැවතීම නො ව පවතින්නේ කුමන වර්ගයක ආණ්ඩුවක් ද ආණ්ඩුව  විසින් කුමක් කෙසේ කරනු ලබන්නේ ද යන්න යි. අනෙක් අතට මෙහෙවර ආර්ථිකයක් යනු ජාතික ආණ්ඩු මට්ටමට පමණක් නො ව පළාත්, ප්‍රාදේශීය, නගර හා ගම් පමණක් නො ව කලාපීය හා ගෝලීය මට්ටම දක්වා විවිධ ඒකකවල පරිමාණයට අනුව අනුවර්තනය කර ගත හැකි සංකල්පයකි. එකම කොන්දේසිය මෙහෙවර ආර්ථිකයට පොදු යහපත මුල්කරගත් සෘජු අරමුණු තිබිය යුතු ය. එමෙන් ම ඒ අරමුණු ඉටු කර ගැනීමට සමත් නිශ්චිත ඉලක්ක සහිත වැඩපිළිවෙළක් තිබිය යුතු ය.  

අද අප මුහුණ දෙන මූලික ප්‍රශ්න කිසිවක් අනිවාර්යයෙන් ම පැන නැගුණු වැළැක්විය නො හැකි ඒවා නො වේ. ඒවා බොහෝමයක් අපේ සමාජ ආර්ථිකය මෙහෙයවීමට අප තෝරා ගෙන තිබූ ක්‍රමවේද නිසා ඇති වූ ඒවායි. මූල්‍ය වෙළඳපොළේ හැර මූල්‍ය අංශය නියම ආර්ථිකය සඳහා ආයෝජන නොකළ යුතු යැ’යි හෝ කෙටි කාලීන ලාභය සඳහා පමණක් ආයෝජනය කළ යුතු යැ’යි නියමයක් නැත. එහෙත් ඒවා එසේ කිරීම දිරි ගන්වන බදු සහන, ණය සඳහා ගෙවන පොලිය සමාගම් බදුවලින් අඩු කිරීම, ආයෝජන බැංකු සහ සිල්ලර බැංකුවලට ඒකාබද්ධ ව කටයුතු කිරීමට ඉඩ හැරීම සහ නිර්නියාමනය  දේව භාෂිතයක් ලෙස පිළිගැනීම අප තෝරා ගෙන තිබූ ක්‍රමවේදයේ ඇතැම් දුර්ලක්ෂණ විය. අතිශයින් මූල්‍යකරණයට ලක් වූ ව්‍යාපාර ක්ෂේත්‍රයක් හැම විට ම කෙටි කාලීන වාසි තකා වැඩ කළ යුතු යැ’යි නියමයක් නැතිවාක් මෙන් ම පොදු අංශය සැම විට ම කළ යුත්තේ වෙළඳපොළ අසමත්කම සම්බන්ධයෙන් හානිපූරකයෙකු  ලෙස ක්‍රියා කිරීම යයි නියමයක් ද නැත. එසේම මිනිසුන් සත්වයන් සහ ගහ කොළවලට හානිදායක ලෙස ගෝලීය උණුසුම දිගින් දිගටම වැඩි විය යුතු යැ’යි ද නියමයක් නැත. මේ සියල්ල හුදෙක් අපේ කල්කිරියාවල සාමූහික ප්‍රතිඵලයෝ ය.

ඒ නිසා දේශපාලන ආර්ථික හා සමාජීය යන ක්ෂේත්‍රවල අප මෙතෙක් උපයෝගී කර ගෙන ඇති එළඹුම්වල කැපී පෙනෙන වෙනසක් ඇති කිරීමේ අති මහත් අවශ්‍යතාව අද අප හමුවේ ඇත. එහෙත් එම වෙනස කිරීමට නම් ආර්ථිකය සමස්තයක් ලෙස උත්තේජනය කළ හැකි අන්දමට රජයේ කාර්ය සංකල්පගත කරමින් ප්‍රශ්නය විනිවිද දැකිය යුතු ය. එයට හේතුව සරල ය. මන්ද අදාළ ආර්ථික ආයතන කළමනාකරණය කරන ආකාරය පිළිසැකසුම් කිරීම, එ්වා අතර සම්බන්ධතාව ඵලදායක ලෙස ප්‍රතිව්‍යුහගත කිරීම සහ. ආර්ථික ක්‍රියාකාරීන් හා සිවිල් සමාජය අතර අන්‍යෝන්‍ය ප්‍රතිපෝෂණයක් තහවුරු කිරීම වැනි කරුණු ද ආමන්ත්‍රණය කරමින් සාකල්‍ය පරිවර්තනයක් කිරීමේ හැකියාව ඇත්තේ කුමන ආකෘතියකින් පැවතුණ ද රජයකට ම පමණක් වන බැවිනි.

මෙහි දී සංස්ථාපිත සමාගම් පාලනය (corporate governance) නැවත සිතා බැලීම ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ ඉහළින් ම තිබිය යුතු ය. තම කොටස් මිල ඉහළ දමමින් කොටස්කරුවන් සතුටු කරනවාට වඩා අදාළ ව්‍යාපාරයේ පාරිභෝගිකයන් ද ඇතුළු ව සියලු පාර්ශවකරුවන් හෙවත් පරදු දරන්නන්ගේ පොදු යහපත ගැන සැලකිලිමත් වීමට පෞද්ගලික සමාගම් යොමු කළ යුතු ය.  මේ පරිවර්තනය සාර්ථක කිරීමට සමාගම්වල සාම්ප්‍රදායික සමාජ වගකීම පමණක් අවධාරණය කිරීම නො සෑහේ. අවශ්‍ය ව ඇත්තේ සමාගම විසින් නිර්මිත වටිනාකම් පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබීමත් සමස්ත වටිනාකම් දාමය මඟින් එය පෝෂණය වන ආකාරය ප්‍රායෝගික ව ප්‍රදර්ශනය වීමත් ය. ව්‍යවසායක සමාගම් සහ ආණ්ඩුව යන දෙකොට්ඨාසය ම එකට එක් ව කටයුතු කරන අරමුණ පිළිබඳ අවංක කැපවීමක් තිබීම ද අත්‍යවශ්‍යය. එවැනි අවස්ථාවල දී අදාළ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට කැප වී කටයුතු කරන සමාගම් දිරිගැන්වීමේ වැඩපිළිවෙළක් රජයට තිබිය යුතු ය. උදාහරණයක් ලෙස පෞද්ගලික ව්‍යවසායවලට පොදු අරමුදලින් සහනාධාර ලබා දීමේ දී එම සහනය සමාජ සහ පාරිසරික ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ඔවුන් දෙන දායකත්වය මත තීරණය කෙරෙන කොන්දේසි එවැනි සමාගම් සමඟ එළඹෙන කොන්ත්‍රාත්තු සහ ගිවිසුම්වලට අඩංගු කළ හැකි ය.

රජය මඟින් යොදන ආයෝජන ආභ්‍යන්තරික වසයෙන් ගත් විට කොතෙක් දුරට නවොත්පාදන උත්තේජනය කරන අන්දමින් යොදා ගන්නේ ද බාහිර වසයෙන් එම ආයෝජන දීර්ඝකාලීන ව කොතෙක් දුරට නිෂ්පාදන වර්ධනය සඳහා දායක වන්නේ ද යන කරුණු ඉතා වැදගත් ය. 2019 දී දළ ජාතික ආදායමට සාපේක්ෂ ව වැඩි ම ණය අනුපාතික තිබූ යුරෝපීය රටවල් වූ ග්‍රීසිය, ඉතාලිය හා පෘතුගාලය සම්පත් හා සංවර්ධනය, අධ්‍යාපනය, නවොත්පාදන සහ පොදු ව්‍යවසාය අරමුදල් සඳහා අවශ්‍ය ආයෝජන කෙරීම අතින් බෙහෙවින් පසුගාමී රටවල් විය.

නවලිබරල්වාදය විසින් රජයේ ආර්ථික භූමිකාව හැකි තරම් අඩු වපසරියක පවත්වා ගෙන යෑමට තැත් කරනු ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස රජය විසින් සපයන සේවා පුද්ගලීකරණය හෝ බහිස්සේවාපර්ණය කිරීම බෙහෙවින් උත්කර්ෂණයට නංවයි. ඒ අනුව රජය ලවා හඳට මිනිසෙකු යැවීම වෙනුවට මෑත දශකවල දී ප්‍රයත්නය වූයේ පෞද්ගලික අංශය රජයේ කරමතින් හොඳ රවුමක් ගැසීම යි.

කෙසේ වෙතත් හඳට මිනිසෙකු යවා ආපසු ගෙන් වීම වැනි හුදෙක් විද්‍යාත්මක හා තාක්ෂණික දායකත්වය මත රඳා පවතින කටයුත්තකට වඩා ආදායම් විෂමතාව අවම කොට දුප්පත්කම පිටුදැකීම, සුභාවිත ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම, ගමනාගමනය නිර්කාබනීකරණය කිරීම වැනි ඉලක්ක හුදු විද්‍යාත්මක හා තාක්ෂණික විසඳුම් මත පමණක් ඉටු කර ගත හැකි ඒවා නො වේ.  ඒවා පුළුල් ක්ෂේත්‍රයක සමාජීය, ආර්ථික හා දේශපාලනික සාධක ද සැලකිල්ලට ගන්නා ක්‍රමෝපායික මාර්ග යෙදා ගනිමින් ඉටු කර ගත යුතු ඒවා ය. එහෙත් ඒ හැම කටයුත්තක දී ම අරමුණ පැහැදිලි ව හඬ නගා කීමට හැකි විය යුතු ය.

Read more: 24. අරමුණු පාදක මෙහෙවර ආර්ථිකයක් (Mission Economy) 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: