23. චක්‍රීය ආර්ථිකය පිළිබඳ කේට් රේවර්ත්ගේ ඩෝනට් මොඩලය

ආර්ථික විද්‍යාවේ විවිධ ශාඛා සහ විවිධ ගුරුකුල අතර නිතර ම පාහේ වාද විවාද ඇති වී තිබෙන අතර ආර්ථික විද්‍යාව හදාරන ශිෂ්‍යයෝ විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල ඉගැන්වෙන ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යා උපකල්පන හා ඉලක්කවල අසාර්ථක ප්‍රතිඵල ගැන එන්න එන්න ම තම නො සතුට පළ කරති. ඒ අතර ආණ්ඩු සහ ව්‍යාපාර සිය තීරණ ගැනීමට එකී පටු ආර්ථික න්‍යායන් උපයෝගී කර ගනිති. ඒ නිසා ආර්ථික විද්‍යාවේ සුසමාදර්ශීය වෙනසකින් තොර ව දේශගුණය වෙනස් වීම සහ වැඩිවන සමාජ ආර්ථික විෂමතාව නිසා ඇති වෙන අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට අසීරු බවට ඇති මතය අවඥාවෙන් බැහැර කළ නො හැකි ය.  

ආර්ථික විද්‍යා විෂය වෙනස් විය යුතු ය යන ඉල්ලීම පදනම් කොට ගත් ශිෂ්‍ය ව්‍යාපාර ලෝකය පුරා බොහෝ රටවලට පැතිර ගොස් තිබේ. ආර්ථික චින්තනය පිළිබඳ ශික්ෂණයට ආර්ථික විද්‍යා න්‍යායවල එන සාම්ප්‍රදායික උපකල්පන දැඩි ලෙස ප්‍රශ්න කිරීම ඇතුළත් විය යුතු බවත් අනෙකුත් ආර්ථික චින්තන ගුරුකුල හා මතවාදවල අදහස් ද විමසිය යුතු බවත් එකී ශිෂ්‍ය ව්‍යාපාරවල එක් ප්‍රබල ඉල්ලීමකි.[1]ආර්ථික විද්‍යාව යනු හුදෙක් නවලිබරල්වාදය ප්‍රමුඛ නව සම්භාව්‍ය සම්ප්‍රදායේ විවිධ ප්‍රභේදවල නිරූපණයක් නො වන බවත් අප මතක තබා ගත යුතු ය. චක්‍රීය ආර්ථිකය සම්බන්ධයෙන් උනන්දුව තව තව තවත් වැඩි වීමත් සමඟ ආර්ථික විද්‍යාව සම්බන්ධ සැලකිය යුතු  සුසමාදර්ශීය වෙනසක් සිදු කිරීමට ඇතිවෙන බලපෑම වැඩි විය හැකි ය.

ආර්ථික විද්‍යාඥයින් අතර කොතෙකුත් දෘෂ්ටිවාද හා පරස්පරතා තිබුණ ද ආර්ථික විද්‍යාව සහමුලින්ම බැහැර කොට අපට කටයුතු කළ නො හැකි ය. එහෙත් සාම්ප්‍රදායික ආර්ථික න්‍යායවලින් ආර්ථික විද්‍යාව පටන් ගන්නවා වෙනුවට මනුෂ්‍යත්වයේ දිගුකාලීන අරමුණුවලින් පටන් ගෙන ඒ අරමුණු සාක්ෂාත් කර ගත හැකි ආර්ථික විද්‍යා චින්තනයක් ගොඩනගා ගත්තොත් කොතරම් ආශ්චර්යක් ද?. 

ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලවල ආර්ථික විද්‍යා ආචාර්යවරියක ලෙස කටයුතු කළ කේට් රේවර්ත් පවසන අන්දමට ආර්ථික විද්‍යාව ගැන නැවත සිතීම යනු නිවැරදි ආර්ථික විද්‍යාවක් සොයා ගැනීම නො ව, (මන්ද නිවැරදි ආර්ථික විද්‍යාවක් කියා දෙයක් නො පවතින බැවිනි)  අපේ අරමුණ සඳහා වඩාත් සුදුසු ආර්ථික විද්‍යාවක් තෝරා ගැනීම හෝ නිර්මාණය කර ගැනීම යි.  මනුෂ්‍යත්වයේ සන්දර්භය තුළ වටිනාකම් සහ අරමුණු යනු නිරන්තරයෙන් ම විකාසනය වන ඒවා බැවින් ආර්ථිකය පිළිබඳ අපේ දැක්ම ද එසේ විකාසනය වන එකක් විය යුතු ය.

දැනට තිබෙන දෘෂ්ටිවාද අතරින් ඒ සඳහා අවශ්‍ය කරන නිවැරදි රාමුවක් අපට නැති වෙන්නට පුළුවන. (මන්ද එවැනි නිවැරදි රාමුවක් ඇත්ත වසයෙන් ම නොමැති බැවිනි)  අවශ්‍ය වන්නේ අප එකඟ වන අරමුණට සරිලන හොඳ ම රාමුවක් තෝරා ගැනීම හෝ නිර්මාණය කර ගැනීමයි. ආර්ථික විද්‍යාව විෂයයක් වසයෙන් හදාරා තිබුණත් නැතත් අප කිසිවෙකුටත් ආර්ථික විද්‍යාවේ බලපෑමට ලක් නො වී විසිය නො හැකි ය.  ආර්ථික විද්‍යාඥයින්, දේශපාලන ක්‍රියාකාරීන් හා ජනමාධ්‍යකරුවන් ආර්ථිකය අර සම්ප්‍රදායානුකූල ආර්ථික විද්‍යා ප්‍රස්තාර රූසටහන් ආදිය මඟින් කොයි තරම් සැරට රාමු ගත කරන්නේ ද යත් අප ද ඒවායේ එන වාංමාලාව භාවිත කරන්නේ නිරායාසයෙනි. එහෙත් ඔබ කෙදිනකවත් ආර්ථික විද්‍යා දේශනයකට සවන් දී නැත්නම් එය ඇතැම් විටක සාම්ප්‍රදායික චින්තනයෙන් මිදුණු නව ආර්ථික චින්තනයක් තේරුම් ගැනීමේ දී විශේෂ වාසියක් වීමටත් ඉඩ තිබේ. “හුරුපුරුදු චිත්ත රූප සහ ප්‍රකාශනවලින් මිදීමේ අරගලය අසීරු වන්නේ නව අදහස් පිළි නො ගැනීමේ ප්‍රවණතාව නිසා නො ව අපේ සිත්වල හැම අස්සක් මුල්ලක් පාසා ම අතු අතුපතර විහිදී ඇති අප සතු පරණ අදහස්වලින් ගැලවීමේ අපහසුව නිසා යි” යන ජෝන් මේනාඩ් කේන්ස්ගේ කියමන අනුව එය නිවැරදි විය යුතු ය.

කේට් රේවර්ත් යෝජනා කරන ආර්ථික චින්තනයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ ආර්ථිකය,  සමාජය සහ පරිසරය අතර පවතින එකිනෙක මත යැපීම (dependence) ආර්ථික විග්‍රහයේ දී ප්‍රමුඛ කොට සැලකීම යි. ඒ අන්‍යෝන්‍ය යැපීම නො තකන ආර්ථික කටයුතු අද ලෝකය මුහුණ දෙන ව්‍යසනකාරී අභියෝග බොහෝමයක් තව තවත් උග්‍ර කරනු ඇත. එය ජය ගැනීමට සප්තාංගයකින් සමන්විත එළඹුමක් අනුගමනය කළ යුතු බව ඇය යෝජනා කරයි. ඒ ගැන අපි පසුව විස්තර කරමු.

රේවර්ත් තර්ක කරන අන්දමට 21 වැනි සියවසේ උද්ගත ව ඇති අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට හැකි වෙන පරිදි මුළුමනින් ම වෙනස් වූ රැඩිකල් ආර්ථික විද්‍යා එළඹුමක් අප යොදා ගත යුතු ය. සාම්ප්‍රදායික ආර්ථික මොඩල අනුව ආර්ථික වර්ධනය ගැන ම ප්‍රහර්ෂයෙන් ඇලී ගැලී සිටීමේ ප්‍රතිඵලය වී ඇත්තේ ආදායම් සහ වත්කම් සම්බන්ධයෙන් ඇති අත්‍යන්ත විෂමතා මෙන් ම අවිචාරවත් ලෙස පෘථිවි සම්පත් යොදා ගැනීමෙන් සජීවි ලෝකය විනාශ වී යෑම නො සලකා හැරීමට සිදුවීම බව ඇය පෙන්වා දෙයි. ඒ නිසා රේවර්ත් පවසන අන්දමට ආර්ථිකය පිළිබඳ අපේ පරමාර්ථය රැඩිකල් ලෙස වෙනස් කර ගත යුතු ය. ආර්ථිකයේ පරමාර්ථය හුදෙක් ආර්ථික වර්ධනය ඇති කර ගැනීම හෝ නිෂ්පාදනය වැඩි කර ගැනීම හෝ විය නො හැක. “විසිඑක් වැනි සියවසට ඊට වඩා සුවිසල් පරමාර්ථයක් අපට අවශ්‍ය වේ. නිරන්තරයෙන් ඉහළ යා යුතු දළ ජාතික නිෂ්පාදිතයක් වෙනුවට පෘථිවියේ සම්පත්වලට සරිලන ලෙස මිනිස් අයිතිවාසිකම් හා අවශ්‍යතා යුක්තිගරුක ව සාක්ෂාත් කර ගැනීම අපේ පරමාර්ථය විය යුතු ය. පෘථිවියේ පාරිසරික සීමාවන් තුළ සමබර කරගත් සෞභාග්‍යයක් අත්පත් කර ගන්නේ කෙසේ ද? යන්න සොයා ගැනීමට අපට කාලය පැමිණ තිබේ”[2] කේට් රේවර්ත් පවසන අන්දමට මෙය සිදුවිය හැක්කේ ආර්ථිකය යන්න වියුක්ත දෙයක් නො ව සමාජය සහ පෘථිවි පරිසර පද්ධතිය තුළ ඒකාග්‍ර ව ක්‍රියාත්මක වන දෙයක් ලෙස සලකන්නට පටන් ගත් විට ය.  මේ සම්බන්ධයෙන් අප මුහුණ දෙන අභියෝග සහ අප සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු විය යුතු ලෝකය කුමක් ද? යන්න විදහා දක්වන කදිම රූප සටහනක්  කේට් විසින් සම්පාදනය කර ඇත. ඒක කේන්ද්‍රීය වෘත්ත දෙකකින් සමන්විත කේට්ගේ මොඩලය දිස් වන්නේ ඩෝනට් නමින් හැඳින්වෙන මැද හිඩැසක් සහිත වටකුරු රස කැවිල්ලක ස්වරූපයෙනි. ඩෝනට් යනු ස්වරූපයෙන් හා ප්‍රමාණයෙන් උළුඳු වඩයක් වැනි එහෙත් මැද හිඩැස තරමක් ලොකු රස කැවිල්ලකි. ඇය  ඇගේ ආර්ථික මොඩලය සංයුක්ත කර පෙන්වීමට මේ ඩෝනට් මොඩලය පහත දැක්වෙන අන්දමින් රූපාදර්ශයක් ලෙස භාවිත කරයි.

ඉහත දැක්වෙන ඩෝනට් රූපාදර්ශයේ පිහිටි කළු පැහැති වළලු දෙක අතරින් ඇතුළත වළල්ලෙන් නියෝජනය වන්නේ ජන සමාජයේ සමාජ පදනම යි. මෙහි දී සමාජ පදනම යනුවෙන් හැඳින්වෙන්නේ ජනසමාජය තුළ ශිෂ්ට ජීවිතයක් ගත කිරීම සඳහා ප්‍රමාණවත් වන ලෙස හැම පුද්ගලයෙකුට ම සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාව සහතික කෙරෙන දේශපාලන, ආර්ථික හා සමාජීය වාතාවරණය යි. සමාජ පදනම යනු ජීවත් වන හැම කෙනෙකුට ම අවම වසයෙන් දොළොස් ආකාරයක මූලික අවශ්‍යතා ප්‍රමාණාත්මක ව මෙන් ම ගුණාත්මක ව ද සපුරා ගැනීමට හැකියාව ජනසමාජයේ අඩිතාලම ලෙස සැලකීමයි. එම මූලික අවශ්‍යතා නම්,  ප්‍රමාණවත් ආහාර, පිරිසිදු ජලය සහ ප්‍රමාණවත් සනීපාරක්ෂාව, පහසුවෙන් බලශක්තිය ලබාගැනීමේ හැකියාව සහ පිරිසිදුව ආහාර පිස ගැනීමේ පහසුකම්, ගුණාත්මක අධ්‍යාපනය හා සුව සේවා පහසුකම්, ප්‍රමාණවත් මූලික ආදායමක් සහ යෝග්‍ය රැකියාවක් ලබා ගැනීමේ හැකියාව සහ තොරතුරු ජාලවලට ප්‍රවේශ වීමේ සහ සමාජ ආධාර ජාලවල සේවය ලබා ගැනීමේ හැකියාව ද යන මූලික අවශ්‍යතාවයෝ ය. මේ අවශ්‍යතා සපුරා ගැනීම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, සමාජ සාධාරණය, දේශපාලන හඬ නැංවීමේ හැකියාව, සාමය සහ යුක්තිය සහතික කෙරෙන අන්දමට ඉටු විය යුතු ය.

ඉහත කී මූලික අවශ්‍යතාවලින් වැඩි කොටසක් 1948දී සම්මත කරගත් ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රතිමාන (norms) සහ නීති යටතේ කිසිදු වෙනස්කමකින් තොර ව හැම පුද්ගලයෙකුගේ ම අයිතීන් ලෙස හිමිකර දීමට උත්සාහ කර තිබේ. ඒවා සාක්ෂාත් කර දීම සම්බන්ධයෙන් නිශ්චිත දින වකවානු හඳුන්වා දීම අසාමාන්‍ය ලෙස උන්නතිකාමී වීමක් යැ’යි එකල කෙනෙකුට පැවසිය හැකි වුවත් අවුරුදු 67කට පසු දැන් එම අයිතීන් සාක්ෂාත් කර දීම දින වකවානු හා නිශ්චිත ඉලක්ක සහිතව නිල වසයෙන් ම ප්‍රකාශයට පත් කර තිබේ. රටවල් 195ක් එක් ව 2015දී එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු ප්‍රකාශයට පත් කරමින් ඉහත කී අයිතීන් පරිපූර්ණ ලෙස සාක්ෂාත් කර දීමේ ඉලක්කය වසර 2030 ලෙස ප්‍රකාශ කිරීම එම නිල ප්‍රකාශනය යි. 

ඩෝනට් ආර්ථික මොඩලය පිළිබඳ ඉහත රූපාදර්ශයේ බාහිර කළු වළල්ලෙන් පෙන්නුම් කරන්නේ ආර්ථිකය  ක්‍රියාත්මක වන පෘථිවි පරිසරයේ සීමා මායිම් ය. අපේ ආර්ථික හා සමාජීය කටයුතු මේ සීමා මායිම් ඉක්මවා යන තරම් පීඩනයක් පරිසරයට එල්ල කරන විට පෘථිවි පරිසර පද්ධති සහ එම පරිසර පද්ධති තුළ අපට ජීවත් වීමට ඇති හැකියාව අනතුරට ලක් වේ. 

ඒ නිසා මනුෂ්‍යයන් සඳහා වඩාත් රක්ෂිත කලාපය වසයෙන් හැඳින්විය හැක්කේ ඉහත රූපාදර්ශයේ බාහිර සහ අභ්‍යන්තරය වළලු අතර ඇති අළු පැහැති ප්‍රදේශයයි. එම කලාපය මානව හිමිකම් සුරැකෙන, යුක්තිය සාක්ෂාත් කර ගත හැකි දේශපාලන අවකාශය මෙන් ම, ප්‍රතිජනනය (regeneration) සහ ප්‍රතිඵල අතළොස්සක් අත සංකේන්ද්‍රණය වීම වෙනුවට පුළුල් ව විභජනය කෙරෙන (distributive) චක්‍රීය ආර්ථිකයේ අවකාශය නියෝජනය කරයි. කේට් රේවර්ත්ගේ මතය වන්නේ සියලු ආර්ථික පරමාර්ථ,  ආදර්ශන සහ න්‍යායවල කාර්ය විය යුත්තේ අප සියලු දෙනා  ම මෙකී රක්ෂිත කලාපය තුළ යුක්තිය සාක්ෂාත් කර ගනිමින් වෙසෙන බවට වග බලා ගත යුතු බව යි.  පෘථිවියේ පාරිසරික සීමා නො ඉක්මවමින් යුක්තිගරුක ව මනුෂ්‍ය අවශ්‍යතා සහ මානුෂික අයිතිවාසිකම් සාක්ෂාත් කර ගත හැකි ආර්ථික චින්තනයක් කේට් රේවර්ත් සිය ඩෝනට් ආර්ථික මොඩලයෙන් යෝජනා කරයි.

විසිවැනි සියවසේ මැද භාගයේ සිට ඇති වූ ගෝලීය ආර්ථික සංවර්ධනය ලොව පුරා මිලියන ගණනක් මිනිසුන් අගහිඟකම්වලින් මුදවා ගැනීමට සමත් විය. බොහෝ විට ප්‍රථම වරට සිය පවුල්වලට ප්‍රමාණවත් ආහාර, බීමට පිරිසිදු ජලය, නිවසට විදුලිය, සෑහෙන අධ්‍යාපනයක් සහ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට හැකි වූ පරම්පරාව ඔවුන් විය හැකි ය. මේ පරිවර්තනය සමඟ බොහෝ දෙනෙකුට ස්ත්‍රී පුරුෂ සමානතාව පිළිගැනීමට සහ දේශපාලන හඬ නැංවීමට ඉඩ දීමට සිදුවිය.  එහෙත් මේ ගෝලීය ආර්ථික සංවර්ධනය මිනිසුන් විසින් පෙර නො වූ විරූ ලෙස මිහිපිට සහ භූගත ව ඇති සම්පත් උද්ධරණය කොට ප්‍රයෝජනයට ගැනීම ද සීමාන්තික ව වැඩි කළේ ය. මුලින් ම එය ඉහළ ආදායම් සහිත රටවල සම්පත් භක්ෂක ජීවන රටාව නිසා සිදුවිය. වඩාත් මෑතක දී ඉහළ ආදායම් සහිත රටවල ජීවන රටාව අනුකරණය කිරීම ගෝලීය මධ්‍යම පන්තියේ වර්ධනය නිසා දෙගුණ වීමේ ප්‍රතිඵලයක් ලෙස එම උද්ධරණය තවත් වැඩි විය. ඒ හැර 1950-2010 අතර කාල පරාසය තුළ දී ගෝලීය ජනගහනය ප්‍රමාණයෙන් තුන් ගුණයකින් පමණ වැඩි වූ අතර සමස්ත ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතය හත් ගුණයකින් ඉහළ ගියේ ය. ඒ අනුව ලොව පුරා මිරිදිය ජල භාවිතය තුන් ගුණයකින් ද, බලශක්ති භාවිතය සිව් ගුණයකින් ද, පොහොර භාවිතය දස ගුණයකින් ද ඉහළ ගියේ ය.[1]

මෙසේ මානව ක්‍රියාකාරකම් වේගයෙන් වැඩි වීමේ දුර්විපාක පෘථිවි ජීවන පද්ධතිවල වර්තමාන තත්වය විදහා දක්වන දර්ශක ගණනාවකින් ම පෙන්නුම් කරයි. එම දර්ශකවලින් පෙන්වන පරිදි ගෝලීය උණුසුම ඉහළ නැංවීමට තුඩු දෙන වායුගෝලයේ හරිතාගාර වායු ප්‍රමාණය වැඩි වීමේ සිට සාගර ආම්ලීකරණය සහ ජෛව විවිධත්වයට සිදුවී ඇති හානිය දක්වා වූ පාරිසරික බලපෑම් ගණනාවක් 1950 සිට වැඩි වී ගොස් තිබේ. “මේ වෙනසේ පරිමාණය සහ වේගය අධිතක්සේරු කිරීමට අපට අසීරු ය.” යනුවෙන් එම ප්‍රවණතා පිළිබඳ අධ්‍යයනය කළ විද්‍යාඥ කණ්ඩායම මෙහෙය වූ විල් ස්ටෙෆාන් පවසයි[2]. “මනුෂ්‍යයින් එක පරම්පරාවක් ඇතුළත ග්‍රහලෝක මට්ටමින් භූවිද්‍යා බලවේගයක් බවට පත්වී තිබේ…. මෙය නව ආකාරයක ප්‍රපංචයකි. එමඟින් පෙන්නුම් කරන්නේ මනුෂ්‍ය වර්ගයාට මේ ග්‍රහලෝකය සම්බන්ධයෙන් ගෝලීය මට්ටමෙන් නව වගකීම් ඇති බව යි.”

මානව ක්‍රියාකාරකම් වේගයෙන් වැඩි වීම නිසැක ව ම අපේ ග්‍රහලෝකය මත ඉමහත් පීඩනයක් ඇති කර තිබේ. එහෙත් මේ ග්‍රහලෝකය තුළ අපේ පැවැත්ම තහවුරු කරන ජීවදාන පද්ධති බිඳවැටීමට පෙර තවත් කොතරම් පීඩනයක් එයට දරා ගත හැකි වෙයි ද? වෙනත් අන්දමකින් කිව හොත් කේට් රෙවර්ත්ගේ ඩෝනට් ආර්ථික මොඩලයේ උපරිම පාරිසරික සීමාව කුමක් විය හැකි ද? එම පැනයට පිළිතුරු සෙවීමට පසුගිය වසර ලක්ෂය තුළ පෘථිවියේ අප ගත කළ ජීවිතය දෙස ආපසු හැරී බැලිය යුතු ය. මුල් වරට මිනිසුන් අප්‍රිකාවෙන් නිකුත් ව ගොස් අනෙක් මහාද්වීප කරා සංක්‍රමණය වන අවධියේ දී පෘථිවියේ උෂ්ණත්ව සාමාන්‍යය විටින් විට ඉහළ පහළ යමින් තිබුණි. එහෙත් පසුගිය වසර 12,000 තිස්සේ පැවති උණුසුම් දේශගුණය බෙහෙවින් ස්ථාවර විය. මේ කාල පරිච්ඡේදය ‘හොලෝසීන අවධිය’ යන නමින් හැදින්වෙන බව අප මුල් පරිච්ඡේදයේ දීම සනිටුහන් කළ බව ඔබට මතක ඇති. එම යෙදුම මතක තබා ගැනීමට වටින්නේ මනුෂ්‍ය වර්ගයා ලෙස අපේ මිහිපිට වාසයේ ඇති හොඳම අවධිය ද එය වන බැවිනි.

මහාද්වීප ගණනක එක ම විට කෘෂිකර්මය සොයා ගනු ලැබුවේ මේ හොලෝසීන අවධියේ දී ය. කෘෂිකර්මය එසේ සියලු මහාද්වීපවල සමපාත ව  බිහි වීම අහම්බයක් නො වන බව විද්‍යාඥයන්ගේ මතයයි. පෘථිවි දේශගුණයේ නව ස්ථාවරත්වය, එතෙක් තැනින් තැන යමින් දඩයමින් සහ වන ඵලවලින් ද ජීවත් වෙමින් සිටි අයගෙන් පැවත ගෙන එන අයට එක තැනක පැළපදියම් වී සෘතුවට අනුව  වැසි සමය බලාපොරොත්තු වෙමින් බීජ තෝරා ගනිමින්, පැල කරමින් සහ අස්වැන්න නෙළමින් දිවි ගෙවීමට ඉඩ සැලසීය. එමෙන් ම ඉන්දු නිම්නය, පුරාණ ඊජිප්තුව, චීනයේ ෂැන්ග් රජ පෙළපත, මායාවරු, රෝම සහ ග්‍රීක වැනි සියලු වැදගත් මානව ශිෂ්ටාචාර මේ හොලෝසීන අවධියේ බිහි වීම ද අහම්බයක් නො වේ.

වඩාත් සුවිශේෂ කාරණය හොලෝසීන යුගයේ මේ වාසිදායක තත්වය ඇති ව තිබෙන්නේ අනෙක් බොහෝ ග්‍රහලෝකවල කක්ෂවලට වෙනස් ව අසාමාන්‍ය ලෙස වෘත්තාකාර වී ඇති කක්ෂයක වර්තමානයේ පෘථිවිය සූර්යයා වටා ගමන් කිරීමයි. ( අනෙක් බොහෝ ග්‍රහයන් ගමන් කරන්නේ ඉලිප්සාකාර කක්ෂයක යි) අවසාන වරට මින් වසර හාරලක්ෂයකට පෙර ඇති වී නැවතත් සිදු වන මේ සංසිද්ධිය කිසියම් අහේතුවකින් නතර නො වුව හොත් තවත් වසර 50,000ක් පමණ පැවතීමට ඉඩ තිබේ. මේ වනාහි දැඩි අවධානයක් යොමු කරමින් කල්පනා කර බැලිය යුතු සංසිද්ධියකි. දැනට දන්නා පරිදි එසේ කලාතුරකින් සිදු වන අකාරයකට දිගින් දිගට ම සූර්යයා වටා වෘත්තාකාර ව කක්ෂ ගත වී සිටීම නිසා ඇති වූ හොඳ ම තත්වය සහිත යුගයක ආශීර්වාදය ලත් එකම ජීවමාන ග්‍රහ වස්තුව මත අපි බිහි වී ඇත්තෙමු. ඒ නිසා ස්වෝත්සාහයෙන් ම මේ හොලෝසීන අවධියෙන් ඉකුත් ව යෑමට තැත් කිරීම තරම් උමතු ක්‍රියාවක් තවත් තිබිය නො හැක. එනමුදු අප දැන් නිසැක ව ම කරමින් සිටින්නේ ද එකී උමතු ක්‍රියාව යි. අප විසින් නො කඩවා පෘථිවිය මත ඇති කෙරෙන පීඩනය නිසා මේ ග්‍රහ වස්තුව වෙනස් කරන එක ම තනි සාධකය මනුෂ්‍ය වර්ගයා බවට පත්කර තිබේ. අප විසින් ඇති කර තිබෙන එකී බලපෑමේ පරිමාව අනුව දැන් අපි හොලෝසීන අවධිය අවසන් කොට අප තව මත් හරියට ම නො දන්නා ඇන්ත්‍රොපසීන් අවධියට එළඹ ඇත්තෙමු. ඇන්ත්‍රොපසීන් අවධිය යනු හුදෙක් මිනිස් ක්‍රියාකාරකම් නිසා ම හැඩ ගැසෙන ප්‍රථම භූවිද්‍යාත්මක අවධිය යි. හොලෝසීන අවධියේ අපට ලැබුණු හිතකාමී ස්ථාවර දේශගුණය, ඇති පදම් මිරිදිය ජලය, සප්‍රාණික ජෛව විවිධත්වය සහ නිරෝගී සාගරය වැනි හිතකාමී ස්වාභාවික තත්ව දැන් අප වසන ඇන්ත්‍රොපසීන් අවධියේ දී ද නො වෙනස් ව පවත්වා ගෙන යෑමට නම් අප කුමක් කළ යුතු ද?

ඉහත සඳහන් කළ ප්‍රශ්නය 2009 දී ජෝන් රොක්ස්ට්‍රොම් සහ විල් ස්ටෙෆාන් ප්‍රමුඛ භූගෝලීය පද්ධති පිළිබඳ විද්‍යාඥයින් සමූහයකගේ විමසුමට ලක් විය. ඒ අනුව අභිවෘද්ධි දායක හොලෝසීන තත්ව පවත්වා ගැනීමට පෘථිවියට හැකි වන දේශගුණ පද්ධතිය සහ මිරිදිය ජල චක්‍රය වැනි තීරණාත්මක ස්වාභාවික ක්‍රියාවලි නවයක් ඔවුන් විසින් හඳුනා ගනු ලැබී ය. ඒ ක්‍රියාවලි නවය මෙසේ ය:

දේශගුණ  විපර්යාසය (Climate change): වායුගෝලයට එක් වන කාබන් ඩයොක්සයිඩ්, මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් වැනි හරිතාගාර වායු පෘථිවියේ ස්වාභාවික හරිතාගාර බලපෑම තීව්‍ර කරමින් වායුගෝලය තුළ සිර වෙන තාප ප්‍රමාණය වැඩි කරවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස වැඩිවන ගෝලීය උණුසුම නිසා උෂ්ණත්වය ඉහළ නැගීම, නිරන්තරයෙන් අත්‍යන්ත කාලගුණ ව්‍යසන ඇතිවීම සහ සාගර ජල මට්ටම් ඉහළ යෑම සිදුවේ.

සාගර ආම්ලීකරණය (Ocean acidification) : මිනිස් ක්‍රියාකාරකම් නිසා විමෝචනය වන කාබන් ඩයොක්සයිඩ්වලින් හතරෙන් එකක් පමණ අවශෝෂණය වන්නේ සාගර ජලයේ දිය වීම මගිනි. එසේ දිය වෙන කාබන් නිසා ඇතිවෙන කාබොනික් අම්ලය මඟින් සාගර මතුපිට ජලයේ pH අගය අඩුවෙයි. එයින් කියවෙන්නේ ජලයේ අම්ල සංයුතිය වැඩි වන බවයි. මෙසේ සාගරයේ ආම්ලීකරණය වැඩි වීම නිසා සාගර ජීවීන්ගේ අස්ථි මෙන් ම බෙලි කටු වැනි ආරක්ෂිත ආවරණ තැනීමට දායක වන  කාබනේට් අයනවල පැවැත්ම බෙහෙවින් අඩු කරයි. ඒ නිසා කොරල්, බෙල්ලන් සහ ප්ලැන්ක්ටන් වැනි සාගර ජීවීන්ගේ වැඩීම හා පැවැත්ම බාල කරමින් හෝ අවහිර කරමින් සාගර පරිසර පද්ධති සහ ආහාර දාම දුර්වල කරයි.

රසායනික දූෂණය (Chemical pollution): ජීව ගෝලයට මුදා හැරෙන කෘත්‍රිම කාබනික දූෂණකාරක සහ බැර ලෝහ ඇතුළු  විෂ සංයෝග ආපසු හැරවිය නො හැකි දුර්විපාක ඇති කරමින් බොහෝ කලක් යන තෙක් ම ජීව ගෝලයේ පවතී. පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු බොහෝ ජීවීන්ගේ පටකවලට කාන්දු වන මේ දූෂණ කාරක සහ විෂ ද්‍රව්‍යවලට එම ජීවීන්ගේ ජනක ශක්තිය අඩු කළ හැකි අතර ගොඩ බිම හා සාගර පරිසර පද්ධති අනතුරට ලක් කරමින් ජානවලට ද හානි පැමිණ විය හැකි ය.

නයිට්‍රජන් සහ පොස්ෆරස් අධි භාවිතය (Nitrogen and phosphorus loading) : කෘෂිකාර්මික පොහොරක් ලෙස ප්‍රතික්‍රීය නයිට්‍රජන් සහ පොස්ෆරස් බෙහෙවින් භාවිත වන නමුත් භෝගවලින් උරාගන්නේ ඉන් කුඩා ප්‍රමාණයක් පමණි. ඉතිරියෙන් බොහෝමයක් ගංගා, ජලාශ සහ සාගර ජලයට මුසු වී ජලය කොළ පැහැය ගන්වන ඇල්ගී යවට (algae blooms) ඇති කිරීමට හේතු වෙයි. මේ යවට විස සහගත විය හැකි අතර ජලයෙන් ඔක්සිජන් ලබා ගැනීම වළක්වා ලමින් අනෙකුත් ජලජ ජීවීන් මරණයට පත් කරයි.

මිරිදිය නිෂ්ක්‍රමණය (Freshwater withdrawals): ජීවය පවත්වා ගැනීම සඳහා ජලය අත්‍යවශ්‍ය වන අතර එය කෘෂිකාර්මික, කාර්මික සහ නේවාසික කටයුතු සඳහා ද බෙහෙවින් යොදා ගැනේ. එහෙත් අධික ලෙස ජලය නිෂ්ක්‍රමණය කිරීම හෙවත් ඉවත් කිරීම පරිසර පද්ධතිවලට හානි කරමින් ජල චක්‍රය සහ දේශගුණය විපර්යාසයට ලක් කරමින් ජලාශ, ගංගා සහ භූ ජලධර දුබල කිරීමට පමණක් නො ව ඒවා වියලා දැමීමට ද හේතු විය හැකි ය.

භූමි පරිවර්තනය (Land conversion): මිනිසාගේ ප්‍රයෝජනය සඳහා වනාන්තර සහ තෙත් බිම් වැනි ස්වාභාවික භූමි නගර, ගොවි බිම්, සහ මහා මාර්ගවලට යොදා ගැනීම පෘථිවියේ කාබන් අවශෝෂණ හැකියාව දුර්වල කරමින් වනජීවි වාසස්ථාන ද විනාශ කරයි. ඒ හැර ජල චක්‍රය නිසි ලෙස ක්‍රියා කිරීමට, අතිරික්ත නයිට්‍රජන් සහ පොස්ෆරස් ඉවත් කිරීමට ද මේ භූමි පරිවර්තනය අහිතකර ලෙස බලපායි.

ජෛව විවිධත්වය හානි වීම (Biodiversity loss): ජීවීන් විශේෂ විවිධත්වයෙන් හා සංඛ්‍යාවෙන් අඩු වීම පරිසර පද්ධතිවල පැවැත්මට හානිදායක වන අතර ජීවි විශේෂ නෂ්ට ප්‍රාප්තියට (extinction) ද හේතු වෙයි. එමඟින් පරිසර පද්ධතිවල හිටි හැටියේ ආපසු හැරවිය නො හැකි අන්දමේ වෙනස් වීම් ඇතිවීමේ අනතුර වැඩි කරමින් ප්‍රත්‍යස්ථිතිය (resilience) අඩු කරමින් ආහාර, ඉන්ධන, තන්තු ලබා දීමට සහ ජීවීන් ප්‍රවර්තනය (sustain) කිරීමට ඒවාට ඇති හැකියාව අවිනිශ්චිත කරවයි.

වායු දූෂණය (Air pollution): වාතයට නිකුත් වන එයරොසොල් (aerosol) හෙවත් දුම්, දූවිලි, දූෂණකාරක ගෑස් වැනි ක්ෂුද්‍ර අංශුවලට ජීවීන්ට හානි කළ හැකි ය. ඒ හැර මෙකී ක්ෂුද්‍ර අංශු වාතයේ ඇති ජල වාෂ්ප සමඟ ප්‍රතික්‍රියා කිරීම නිසා වලාකුළු ජනනය වීමෙහි ලා බලපෑම් කරයි. විශාල පරිමාවලින් නිකුත් වන විට මෙම එයරොසොල්වලට ඝර්ම කලාපයේ මෝසම් වැසි පතිත වන ප්‍රදේශ පමණක් නො ව කාල වකවානු පවා වෙනස් කරමින් කලාපීය වර්ෂාපතන රටා වන්ට සැලකිය යුතු අන්දමේ බලපෑමක් ඇති කළ හැකි ය.

ඕසෝන් ස්තරය ක්ෂය වීම (Ozone layer depletion): සූර්යයාගේ සිට පොළොව දෙසට එන පාරජම්බුල කිරණ පෙරා හරින්නේ වායුගෝලීය ස්ට්‍රැටොෂ්පියරය හෙවත් ස්තර ගෝලයේ පිහිටා ඇති ඕසෝන් වායු ස්තරය මගිනි. මිනිසුන් විසින් සාදනු ලබන CFC හෙවත් ක්ලෝරොෆ්ලූරොකාබන් නමැති රසායනය වායු ගෝලයට මුදා හැරිය විට ස්ට්‍රැටොෂ්පියරයේ පිහිටි ඕසෝන් ස්තරය ක්ෂය වීමට එය බලපායි. එවිට පෘථිවිය මත වෙසෙන මිනිසුන් ඇතුළු සියලු ජීවීන් සූර්යයාගේ හානිකර පාරජම්බුල කිරණවලට නිරාවරණය වෙයි.

වසර දහස් ගණනක් තිස්සේ මනුෂ්‍යයන්ගේ අභිවෘද්ධියට හේතුවන ලෙස ස්ථායී ව පැවතුණ තීරණාත්මක ක්‍රියාවලි නවයක් ඉහත කී අන්දමට හානි දායක ලෙස වෙනස් විය. ජීවීන්ගේ පැවැත්ම දැඩි ලෙස අනතුරට ලක් කිරීමට නම් ඉහත කී එක් එක් ක්‍රියාවලිය මත කොතරම් පීඩනයක් පැටවීමට සිදුවේ ද යන්න ජෝන් රොක්ස්ට්‍රොම් සහ විල් ස්ටෙෆාන් ප්‍රමුඛ විද්‍යාඥයින්ගේ විමසිල්ලට ලක් විය. එහෙත් ඒ වන විටත් එක් එක් ක්‍රියාවලිය තුළ සිදුවී ඇති වෙනස් වීම් බොහොමයක් ආපසු හැරවිය නො හැකි ඒවා වී ඇති බැවින් ප්‍රශ්නය වූයේ අනතුර ඇත්තේ ක්‍රියාවලියේ කොතැන දැ’යි නිශ්චයට ම දැන ගැනීමට අපහසු වීමයි. කෙසේ වෙතත් අත්දැකීමෙන් ම එය හඳුනා ගැනීමට ඉඩ දීම ද නුවණක්කාර වැඩක් නො වේ. එනිසා එම ක්‍රියාවලි නවයේ අවදානම් කලාපවලට එළඹීමට පෙර ඒ ගැන අනතුරු හඟවන සීමා සලකුණු සටහන් කර තැබීම වැදගත් යැ’යි ඔවුහු කල්පනා කළහ. එය හරියට ම ගඟක උඩුගම් බලා යාත්‍රා කරන කෙනෙකුට දිය සුළි සහිත අවදානම් කලාප ගැන කල් තියා අනතුරු හඟවන දැන්වීම් පුවරුවක් පිහිටුවනවා වැනි ය.

එම අනතුරු සංඥාවලින් කියන්නේ මොනවා ද? දේශගුණ විපර්යාසය අනතුරුදායක මට්ටමට එළඹීම වැළැක්වීමට නම් වායුගෝලීය සංයුතියේ සැම කොටස් මිලියනයකට ම කාබන් ඩයොක්සයිඩ් කොටස් 350 ක උපරිම සීමාව නො ඉක්මවීමට කටයුතු කළ යුතු බව ඉන් එක් අනතුරු සංඥාවකි. භූමියේ ස්වභාවය පරිවර්තනය වන කටයුතු කිරීමේ උපරිම සීමාව ලෙස අවම වසයෙන් සමස්ත ගෝලීය භූමි ප්‍රමාණයෙන් 75%ක් වනගහණ වසයෙන් පවත්වා ගෙන යෑමට වග බලා ගත යුතු බව තවත් එක් සංඥාවකි. කෙසේ වෙතත් කලාපීය වසයෙන් ගත් විට මේ උපරිම සීමාවන් සැලකීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයන් තිබිය හැකි ය. එහෙත් හරය වසයෙන් ගත් විට අප ඇන්ත්‍රොපසීන් යුගයේ සිටියත් ඉහත සඳහන් කළ පෘථිවි ග්‍රහ සීමා (planetary ceilings) නවයට ගරු කිරීම හොලෝසීන අවධියේ පැවති අභිවෘද්ධි දායක තත්වය අත් නො හැර සිටීමේ හැකියාව පිළිබඳ හොඳ ම සහතිකය ලෙස සැලකිය හැකි ය. රේවර්ත්ගේ ඩෝනට් ආර්ථික මොඩලයේ හුවා දැක්වෙන පාරිසරික සීමාවලින් නිරූපණය වන්නේ මේ කියන පෘථිවි ග්‍රහ සීමාවන් හෙවත් ව්‍යසනයකට තුඩු නො දෙන මට්ටමට පෘථිවියට දරා ගත හැකි පාරිසරික සීමා ය. අපේ නිවහන වන පෘථිවියේ ස්ථාවර භාවය ආරක්ෂා කර ගැනීමට නම් මෙකී සීමා ඉක්මවා යන පීඩනයක් තවදුරටත් මේ ග්‍රහලෝකය මත නො පැටවිය යුතු ය.

කේට් රේවර්ත්ගේ ඩෝනට් ආර්ථික රූපාදර්ශයේ අභ්‍යන්තර හා බාහිර වළලු පිළිවෙළින් සමන්විත වන්නේ මානව අයිතීන් පිළිබඳ සමාජ පදනම සහ උපරිම ග්‍රහ පාරිසරික සීමා මායිම් නියෝජනය වන වළලු දෙකෙනි. ඒ දෙක ම ගැඹුරු ලෙස අන්‍යෝන්‍ය වසයෙන් සම්බන්ධ ය. එම සීමා වළලු දෙක සම්බන්ධ කරුණු අතර ඇති සහසම්බන්ධය විමසා බැලූ විට මෙය මනාව තේරුම් ගත හැකි ය.

උදාහරණයක් ලෙස කඳු බෑවුම්වල ඇති වනගහණ එළි කිරීම සලකා බලමු. මෙහි දී භූමියේ ස්වභාවය පරිවර්තනයට ලක් වීම ජෛව විවිධත්වයට හානිදායක වන අතර වායුගෝලයේ ඇති ජල වාෂ්ප වනගහනය තුළ ඝනීභවනය වීමෙන් ඇතිවිය යුතු මිරිදිය ජල චක්‍රය ද දුර්වල කරමින් දේශගුණ විපර්යාසකාරකයක් බවට පත් වෙයි. මෙසේ එක තැනක වනගහනය විනාශ වීම යනු ඉතිරිව ඇති වනගහනවලට පැටවෙන පීඩනය ද වැඩි කිරීමකි. වනගහන විනාශය නිසා ජල චක්‍ර දුර්වල වීම අසල්වැසි ප්‍රජා සමූහවල ආහාර නිෂ්පාදන කටයුතුවලට, පානීය ජල සැපයුමට මෙන් ම සනීපාරක්ෂාවට ද සැලකිය යුතු බලපෑමක් කරයි.

අනෙක් අතට මෙවැනි හානි ප්‍රතිවිරුද්ධ අතට හැරවීම ද මානව ක්‍රියාකාරකම් මඟින් ම ඉටු කළ හැකි ය. උදාහරණයක් ලෙස පැළ සිටවීම මඟින් වනය නැවත ප්‍රතිෂ්ඨාපනය කළ විට ජෛව විවිධත්වය ද ප්‍රතිෂ්ඨාපනය වී පසෙහි සශ්‍රීකත්වය හා ජලය රඳවා ගැනීමේ හැකියාව වැඩි වෙයි. ඒ අනුව ශාක මඟින් කාබන් ඩයොක්සයිඩ් සහ පාංශුවල ඇති ක්ෂුද්‍ර ජීවීන් මඟින් කාබන් ජීර්ණය කිරීම ද වැඩි කරවයි. එපමණක් නො ව යළි වගා වෙන වනය නිසා අසල්වැසි ප්‍රජාවගේ භවභෝග සහ පරිභෝජනය සඳහා අවශ්‍ය ජල සැපයුම ද වනඵල නෙලා ගැනීම ද ප්‍රතිෂ්ඨාපනය වෙයි.[3]

එහෙත් සරල එළඹුමක් ලෙස පෘථිවි ග්‍රහ මායිම් උල්ලංඝනය වීම වැළැක්වීම සහ සමාජ පදනම සුරක්ෂිත කිරීම පිණිස එක් එක් පාරිසරික සීමා පිළිබඳ වෙනස් වෙනස් ප්‍රතිපත්ති සැකසීමට ඇති පෙලඹීමෙන් අප මිදිය යුතු ය. ඒ වෙනුවට පාරිසරික සීමා සහ සමාජ පදනම හා ඇති සහසම්බන්ධය ද සමස්තයක් ලෙස ගෙන  ඒ හැම ප්‍රශ්නයක් ම ඒකාග්‍ර වූ සංකීර්ණ පද්ධතියක ඇති ගැට‍ලු ලෙස සලකා ප්‍රතිපත්තිමය විසඳුම් සකස් කළ යුතු ය.

ඩෝනට් ආර්ථික මොඩලය සිසාරා නිරූපණය වන බොහෝ අන්තර් සම්බන්ධකම් සලකා බැලූ විට මානව වර්ගයාගේ අභිවෘද්ධිය පෘථිවියේ යහ පැවැත්ම හා එකට බැඳී ඇති බව පෙනේ. හැම දෙනෙකුට ම සෑහෙන පෝෂ්‍යදායක ආහාර වර්ග වගා කිරීමට පෝෂකවලින් පොහොසත් සරු පසක්, ඇති තරම් ජලය, ජෛව විවිධත්වයෙන් යුතු භෝග වර්ග සහ ස්ථාවර දේශගුණයක් අවශ්‍යය වේ. බීම සඳහා පිරිසිදු ජලය ලබා ගැනීම රඳා පවතින්නේ ප්‍රමාණවත් වර්ෂාපතනයක් සමඟ ගංගා සහ භූජලධරය (aquifers) පෝෂණය කරන දේශීය හා ගෝලීය ජල චක්‍රය මතය. ජීවත් වීමට අවශ්‍ය හුස්ම ගැනීම යනු පෙනහලු ආසාදනය කරන විෂාංශුවලින් තොර පිරිසිදු වාතය සහිත වායුගෝලයක පැවැත්ම සහතික කිරීමකි. හිරුගේ කිරණවල උණුසුම ආපදාවකින් තොර ව විඳ ගැනීමට අපට හැකි වන්නේ ඕසෝන් ස්තරය මඟින් හිරුගෙන් එන පාරජම්බුල කිරණ අවහිර කළොත් සහ වායුගෝලයේ ඇති හරිතාගාර වායු සංයුතිය වැඩි වීම නිසා හිරු රස්නය විනාශකාරී ගෝලීය උණුසුමක් බවට පත් නො කළොත් පමණි. විසි එක් වැනි සියවසේ අපට ඇති අභියෝගය වන්නේ කේට් රේවර්ත්ගේ ඩෝනට් රූපාදර්ශයේ අභ්‍යන්තර හා බාහිර වළලු අතර ඇති  සුරක්ෂිත යුක්තිගරුක ප්‍රදේශයට මාරු වීම යි. එසේ නම් ඇසිය යුතු වැදගත් ප්‍රශ්නය වන්නේ දැන් අප කරන කටයුතු එයට සැබැවින් ම දායක වන්නේ ද යන්න යි. පෘථිවි විද්‍යාව මෙන් ම මානව හිමිකම් පිළිබඳ දත්ත පිළියෙළ කිරීම සම්බන්ධයෙන් ලබා ඇති දියුණුවට පින් සිදු වන්නට අන් කවර කලකටත් වඩා ඒ සම්බන්ධයෙන් පැහැදිලි චිත්‍රයක් ලබාගැනීමට දැන් අපට හැකි ව තිබේ. ඒ අනුව පසුගිය 70 වසර තුළ මානව සුභසාධනය සම්බන්ධයෙන් කොයි තරම් දියුණුවක් ලබා තිබුණත් අපි දැනටමත් රේවර්ත්ගේ ඩෝනට් රූපාදර්ශයේ දෙපැත්තේ ම ඇති සීමා මායිම් ඉක්මවා බොහෝ දුර ගොස් ඇත්තෙමු.

ඩෝනට් රූපාදර්ශයේ සමාජ පදනම නිරූපණය වන ඇතුළත වළල්ල තුළ පෙන්වා ඇති එක් එක් මාන සම්බන්ධයෙන් බැලූ විට ජනගහනයෙන් මිලියන ගණනාවක් තව මත් ජීවත් වන්නේ එකී අවශ්‍යතා ප්‍රමාණවත් ලෙස සපුරා ගැනීමේ ලා සම්මත ප්‍රමිතිවලට වඩා බෙහෙවින් පහළින් අගහිඟකම්වලින් මිරිකෙමිනි. උදාහරණයක් ලෙස ලොව පුරා හැම නව දෙනෙකුගෙන් ම එක් අයෙකුට තවමත් දෛනික ව ප්‍රමාණවත් ආහාරයක් ලබා ගැනීම අසීරු කරුණක් වී තිබේ. හැම සිව් දෙනෙකුගෙන් ම එක් අයෙකුට ජීවත් වීමට සිදු ව ඇත්තේ දිනකට ඩොලර් 3 (රු. 600/-) කට අඩු ආදායමකිනි. එමෙන් ම තරුණ අය අතරින් හැම අට දෙනෙකුගෙන් එක් අයෙකුට කුලියක් හෝ වැටුපක් හෝ උපයා ගත හැකි වැඩක් සොයා ගැනීම අසීරු වී තිබේ. හැම තුන් දෙනෙකුගෙන් ම එක් අයෙකුට සනීපාරක්ෂක වැසිකිළි පහසුකම් නැති අතර හැම එකොළොස් දෙනෙකුගෙන් එක් අයෙකුට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාවක් නැත. වයස 12ත් 15ත් අතර පාසල් යා යුතු දරුවන් හය දෙනෙකු අතරින් එක් අයකු පාසල් නො යන අතර ඉන් බහුතරයක් ගැහැනු දරුවෝ වෙති. ලෝක ජනගහනයෙන් 40% ක් ම ජීවත් වන්නේ ආදායම් විෂමතා වැඩියෙන් ම ඇති රටවල යි. ඒ අතර ලෝක ජනගහනයෙන් හරි අඩක් ජීවත් වන්නේ දේශපාලන හඬක් නැගීමට පොදු ජනතාවට අවස්ථාවක් නො දෙන රටවල ය. ජීවිතයක් පරිපූර්ණ ලෙස විඳ ගැනීමට සපුරා ගත යුතු මෙකී අවශ්‍යතා විසි එක් වැනි සියවසේ දී පවා මේ සා විශාල ලෝකවාසීන් පිරිසකට අහිමි ව තිබීම මොන තරම් ඛේදවාචකයක් ද?. 

ඒ සමඟ ම මිනිසුන් විසින් මහ පොළොවේ ජීවදාන පද්ධතියට මින් පෙර නො වූ විරූ අන්දමේ ආතතියක් ඇති කර තිබේ. ඇත්ත වසයෙන් ම මේ වන විටත් අපි දේශගුණ විපර්යාසය, භූමි පරිවර්තනය, නයිට්‍රජන් සහ පොස්ෆරස් දරා ගැනීම සහ ජෛව විවිධත්වයට හානි පැමිණීම යන සිව් ක්ෂේත්‍රවල පෘථිවි ග්‍රහ ධාරිතා සීමා මායිම් (planetary boundaries) අතික්‍රමණය කර තිබේ. අපේ කටයුතු නිසා වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ද එහි වායුගෝලීය කොටස් මිලියනයකට  තිබිය යුතු සීමාව වන කොටස් 350 ඉක්මවා ගොස් තිබේ. 2020 දී එය කොටස් 412.5ක් දක්වා වැඩි විය. ඒ අනුව අප වඩ වඩා රස්නය සහ වියලි බව ඇති අහිතකර දේශගුණයක් කරා යොමු කරවමින් ගෝලීය උණුසුම තව තවත් ඉහළ නගිමින් තිබේ. ඒ සමඟ ලොව පුරා දූපත් සහ වෙරළ බද නගරවල පැවැත්මට තර්ජනයක් වන අන්දමින් සාගර ජල මට්ටම ද තව තවත් ඉහළ යමින් පවතී. තවත් අතකින් අධික රසායනික පොහොර භාවිතය නිසා මහ පොළොවේ පසට ආරක්ෂාකාරී ව දැරිය හැකි ප්‍රමාණයට වඩා දෙගුණයක නයිට්‍රජන් සහ පොස්ෆරස් අප විසින් එකතු කර තිබේ. එමඟින් ජලයට එක් වන විෂ රසායනික ද්‍රව්‍ය නිසා බොහෝ ජලාශ, ගංගා සහ සාගරවල ජලජ ජීවිතය කඩා වැටී ඇත. ඇතැම් සාගර කලාපවල මේ කඩා වැටීම මෙක්සිකෝ බොක්ක තරම් විශාල ප්‍රදේශයක් පුරා පැතිරී තිබේ. වනාන්තර පිළිබඳ ව සලකා බැලුවොත් ලොව පුරා දැනට ඉතිරි ව ඇති වනාන්තර ප්‍රමාණය වනාන්තර වසයෙන් ඇත්ත වසයෙන් ම පැවතිය හැකි බිම් ප්‍රමාණයෙන්  62% ක් පමණි. එය ද නිතිපතා අඩු වෙමින් කාබන් අවශෝෂණය කිරීමට පෘථිවියට ඇති හැකියාව තව තවත් දුර්වල කර දමයි.

ජෛව විවිධත්වයට ඇති ව තිබෙන හානිය ද අතිවිශාල ය. පෘථිවියේ ප්‍රවේසම් සහගත ග්‍රහ (planetary) ධාරිතා සීමා මායිම් ඉක්මවා දස ගුණයක වේගයෙන් පෘථිවියේ ජීවි විශේෂ වඳ වී යයි. 1970 – 2016 ත් අතර සිට ලොව පුරා ම සිව්පා, පක්ෂි, උරග, උභයජීවී සහ මත්ස්‍ය විශේෂවල ජනගහනය 68% කින් අඩු වී තිබෙන අතර ඇතැම් කලාපවල එම අඩු වීම 73% කි.[1] ලෝක මට්ටමින් ඇති ව තිබෙන රසායනික දූෂණය තවමත් ප්‍රමාණාත්මක වසයෙන් හරියට ම ගණන් බලා නැති නමුත් එහි බලපෑම විද්‍යාඥයන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී තිබේ. තීරණාත්මක පෘථිවි පද්ධති ක්‍රියාකාරකම් මත මනුෂ්‍යයන් විසින් ඇති කර තිබෙන පීඩනය නිසා වැඩි වන මිරිදිය ජල භාවිතය සහ සාගර ආම්ලීකරණය පෘථිවි ග්‍රහ ධාරිතා මට්ටමේ කලාපීය අර්බුද හා අනතුරු ඇති වීම දක්වා තීව්‍ර විය හැකි ය.

21 වැනි සිය වසේ මුල දී මනුෂ්‍ය වර්ගයා සහ අපේ පෘථිවි ග්‍රහ නිවහන පිළිබඳ ඉහත විස්තර කළ අඳුරු පින්තූරය මෙතෙක් අප අනුගමනය කර ඇති ගෝලීය ආර්ථික සංවර්ධන පිළිවෙතට එරෙහි ව අධි චෝදනා පත්‍රයක් ලෙස සැලකිය යුතු ය. ලෝක වාසීන් බිලියන ගණනකට තම මූලික අවශ්‍යතා තවමත් සපුරා ගැනීමට නො හැකි ව සිටිය දී පෘථිවියේ අභිවෘද්ධි දායක ස්ථාවරභාවය උවදුරට ලක් කරමින් දැනට මත් අපි ගෝලීය පාරිසරික අනතුරු කලාපයට අවතීර්ණ වී සිටිමු. මේ සන්දර්භය තුළ ප්‍රගතිය යන්න කෙබඳු ස්වරූපයක් ගත හැකි ද?

ඩෝනට් අන්තර්කලාපය තුළ අපට විසීමට හැකි වෙයි ද?

කේට් රේවර්ත්ගේ ඩෝනට් ආර්ථික මොඩලය අපට 21 වැනි සියවසට ඔබින කදිම මග පෙන්වීමක් කරන නමුත් එම රූපාදර්ශයේ සීමා වළලු දෙක අතර කලාපයෙන් පෙන්නුම් කරන සුරක්ෂිත සහ යුක්තිය ඉටු කෙරෙන අවකාශය අත්පත් කර ගැනීමට ඇත්තට ම අපට හැකි වේද නැද්ද යන්න තීරණය කරන සාධක මොනවා ද? මේ සම්බන්ධයෙන් සාධක පහක් වැදගත් වන බව කේට් රේවර්ත් පෙන්වා දෙයි. ඒවා නම් ජනගහනය (population), ප්‍රතිලාභ විභජනය (distribution) හෙවත් ප්‍රතිව්‍යාප්ත කිරීම, අභිලාෂය (aspiration), තාක්ෂණය (technology) සහ ආණ්ඩුකරණය යි (governance).

ජනගහනයේ ප්‍රමාණය පැහැදිලිව ම වැදගත් සාධකයකි. වැඩිවන ජනගහනයක අවශ්‍යතා සහ අයිතීන් සාක්ෂාත් කිරීම පිණිස වැඩි වැඩියෙන් සම්පත් අවශ්‍ය වන වෙන බැවින් මානව ජනගහනයේ ප්‍රමාණය ස්ථාවරව පවත්වා ගෙන යෑම අවශ්‍යතම කාරණයකි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සතුටු විය හැකි කාරණය වන්නේ ගෝලීය ජනගහනය තව මත් වැඩි වෙමින් පවතින නමුත් 1971 සිට ජනගහන වර්ධන වේගය ශීඝ්‍රයෙන් පහළ යමින් තිබීම යි. අනෙක ඉතිහාසයේ ප්‍රථම වරට මේ පහළ බැසීම සිදුවී ඇත්තේ සාගතයක්, වසංගතයක් හෝ යුද්ධයක් නිසා නො ව දශක ගණනාවක් තිස්සේ පොදු අංශයේ ආයෝජන නිසා  වැඩි දියුණු වූ ළදරු සහ ළමා සෞඛ්‍යය, ගැහැණු දරුවන්ගේ  අධ්‍යාපනය හා ස්ත්‍රීන්ගේ ප්‍රජනන සෞඛ්‍යය නිසා සිය පවුලේ දරු උපත් ප්‍රමාණය තීරණය කිරීමට ස්ත්‍රීන්ට හැකි වීම නිසාය. ඩෝනට් ආර්ථික මොඩලයට අනුව බලන විට පණිවිඩය පැහැදිලි ය. මානව ජනගහනය ස්ථාවර ව පවත්වා ගැනීමට හැකි හොඳ ම ක්‍රමය වන්නේ හැම කෙනෙකුට ම ඩෝනට් මොඩලයේ සමාජ පදනම සහ පාරිසරික සීමාව නිරූපණය වන වළලු අතර පිහිටි සුරක්ෂිත සහ යුක්තිගරුක කලාපයට පිවිස අගහිඟයකින් තොර ජීවිතයක් ගත කළ හැකි නම් ය.

ජනගහනය වැදගත් නම් ආදායම් බෙදාහැරීම හෙවත් විභජනය (distribution) ද ඒ සම ව වැදගත් ය. මන්ද අත්‍යන්ත අසමානතා විසින් ඩෝනට් ආකෘතියේ දෙපැත්තේ ම සීමා මායිම්වලින් ඔබ්බට මනුෂ්‍යත්වය තල්ලු කර දමනු ලබන බැවිනි. ගෝලීය ආදායම් විෂමතාවය නිසා ගෝලීය හරිතාගාර වායු විමෝචනය සම්බන්ධ වග කීම ද අවුල් වී ඇත. හැම මහාද්වීපයක ම වැඩියෙන් ම කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කරන 10% මුළු කාබන් ප්‍රමාණයෙන් 45% ක් විමෝචනය කරන අතර අඩුවෙන් ම විමෝචනය කරන 50% නිසා වායු ගෝලයට එක් වන්නේ 13% ක කාබන් ප්‍රමාණයක් පමණි. ආහාර පරිභෝජනය පිළිබඳ දත්ත ද එවැනි අසාමාන්‍ය ස්වරූපයක් ගනී. ඒ අනුව ලෝක ජනගහනයෙන් 13%ක් මන්දපෝෂණයෙන් පෙළෙති. එහෙත් ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාවලට සරිලන ආහාර සපයා ගැනීමට වැය වන්නේ ලෝක ආහාර නිෂ්පාදනයෙන් 3% ක් පමණි. එය තවදුරටත් විමසා බැලුවොත් ගෝලීය ආහාර නිෂ්පාදනයෙන් 30%-50% අතර සැලකිය යුතු ආහාර ප්‍රමාණයක් පශ්චාත් නිෂ්පාදන කටයුතුවල දී, ගෝලීය සැපයීම් දාමවල දී ද, පිඟන් සෝදන තැන්වල සහ මුළුතැන්ගෙවල්වල ඉඳුල් ලෙස ද අපතේ යයි.

බ්‍රිතාන්‍යයේ පාන් නිෂ්පාදනයෙන් පාන් ගෙඩි මිලියනයක් හෙවත් පාන් පෙති මිලියන 24ක් දිනපතා අපතේ යන බව එහි ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය [2] වාර්තා කරන අතර එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛනවලට අනුව සමස්ත ආහාර නිෂ්පාදනයෙන් 30%-40% ප්‍රමාණයක් අපතේ යයි.[3]

ගෝලීය වසයෙන් නිපදවෙන මුලු ආහාර ප්‍රමාණයෙන් කිසි ම විටක කෑමට නො ගන්නා 10%කින් ලොව පුරා සාගින්න සහමුලින්ම අවසන් කර දැමිය හැකි ය. මේ උදාහරණවලින් පැහැදිලි වන්නේ ඩෝනට් ආර්ථික ආකෘතියට පිවිසීම යනු මනුෂ්‍යයා විසින් සම්පත් උපයෝගී කර ගැනීම වඩ වඩා සාධාරණ ලෙස සිදු කළ යුතු බව යි.

තුන් වැනි සාධකය අභිලාෂය යි. එනම් හොඳ ජීවිතයකට අවශ්‍ය යැයි මිනිසුන් අපේක්ෂා  කරන කුදු මහත් දේවල් ය. අපේ අභිලාෂ කෙරෙහි වැඩි ම වසයෙන් බලපාන්නේ අප කෙසේ කොතැනක ජීවත් වෙන්නේ ද යන කාරණ යි. වසර 2009 වන විට ප්‍රථම වරට ලෝක ජනගහනයෙන් අඩකට වඩා වාසභූමිය කර ගෙන තිබුණේ නගර හෝ සුළු නගර යි.  2050 වන විට මේ නාගරිකයන්ගේ ප්‍රමාණය මුළු ලෝක ජනගහනයෙන් 70%ක් පමණ වීමට නියමිත ය. තමා අවට වෙසෙන්නන්ගේ උජාරු පාරිභෝගික අනුහස මෙන් ම සුවිසල් දැන්වීම් පුවරුවල දිදුලන පින්තූරවලින් කියැවෙන පරිදි හොඳ නාගරික ජීවිතයක් යනු තවත් මිල දී ගැනීමක්, වඩා වේගයෙන් යන මෝටර් රථයක්, වඩා සිහින් ලැප්ටොප් පරිගණකයක් සහ උන්මාද ජනක නවීනතම ඉලෙක්ට්‍රොනික මෙවලමක් අත්පත් කර ගැනීමට ඇති හැකියාව යි. ආර්ථික විද්‍යාඥ ටිම් ජැක්සන්ගේ හුරුබුහුටි වචනවලින් කිව්වොත්  එය අප විසින් සැකිල්ලකට නො ගන්නා මිනිසුන් තුළ වැඩි කලක් නො පවතින අපට අත්‍යාවශ්‍ය නො වන ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීම පිණිස අපට අවශ්‍ය නො වන මෙවලමක් සඳහා අනවශ්‍ය වියදමක් කිරීමට අප මෙහෙයවනු ලබයි’. ගෝලීය මධ්‍යම පන්තිය වේගයෙන් වැඩි වෙමින් යන බැවින් මධ්‍යම පාන්තිකයන්ගේ අභිලාෂය බවට පත් වන ජීවන රටාව පෘථිවි ගෝලයේ ග්‍රහ ධාරිතා මායිම් හා සීමා (planetary ceilings) සම්බන්ධයෙන් ඔවුන් විසින් පටවනු ලබන පීඩනයේ ප්‍රමාණය තීරණය කරයි.

නාගරීකරණය මඟින් පරිභෝජනවාදය උත්සන්න කරනවා විය හැකි නමුත් එමඟින් නිවාස, ප්‍රවාහන කටයුතු, ජල පහසුකම්, සනීපාරක්ෂාව, ආහාර සහ බලශක්තිය වැනි බොහෝ මහජන අවශ්‍යතා වඩා කාර්යක්ෂම ලෙස සාක්ෂාත් කර ගැනීමේ අවස්ථාවක් ද උදා කරවයි. වසර 2030 වන විට  ලොව පුරා නාගරීකරණයට ලක් වනු ඇතැ’යි ගණන් බලා ඇති භූමි ප්‍රමාණයෙන් 60%ක් තව මත් සූදානම් කොට නො මැති බැවින් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඉදි කිරීමේ දී යොදා ගනු ලබන විසඳුම් බෙහෙවින් දුරදිග යන සමාජීය සහ පාරිසරික බලපෑම්වලට හේතු වනු ඇත. එනිසා නගර මංමාවත්වල තදබද වන පුද්ගලික මෝටර් රිය පෝලිම් වෙනුවට වේගවත් සහ මිල පහසු පොදු ප්‍රවාහන සේවාවක් මඟින් එම සේවාව ඉටු කිරීමට නව ප්‍රවාහන පද්ධති සැලසුම් කළ හැකි ද ෆොසිල ඉන්ධන මඟින් බලශක්තිය ඉපදවීම වෙනුවට ගොඩනැගිලි වහල මත ඇති සූර්ය පුවරු ජාලයකට නගරයට විදුලිය සැපයීමට හැකි වන ලෙස නූතන නාගරික බලශක්ති ක්‍රම සැලසුම් කළ හැකි ද නගරයේ ගොඩනැගිලි ඉබේ උණුසුම සහ සිසිලකරණය සිදු වන අන්දමට සැලසුම් කළ හැකි ද වැඩි කාබන් ප්‍රමාණයක් පොළොවට අවශෝෂණය කර ගත හැකි ක්‍රමවලින් නගරයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිපදවා ගත හැකි ද සහ ප්‍රමාණවත් විවේකයක් ලැබිය හැකි හොඳ රැකියා ද ඇති කළ හැකි ද වැනි ප්‍රශ්න වලට කාර්යසාධක පිළිතුරු සෙවීමට සිදු වනු ඇත. ඒවායින් බොහෝමයක් නගර ඉදිකිරීම සහ පවත්වා ගැනීම සඳහා යොදා ගන්නා නව තාක්ෂණික විසඳුම් මෙන්ම නාගරික දේශපාලනයේ සුසමාදර්ශීය වෙනසක් අනුව සිදුවිය හැකි දේවල් ය.

ඒ නිසා ග්‍රාමීය හා නාගරික මට්ටමේ සිට කලාපීය සහ ගෝලීය මට්ටම දක්වා ආණ්‍ඩුකරණයේ ස්වභාවය ද මෙහි දී අතිශය වැදගත් සාධකයකි. අප මුහුණ දෙන අභියෝග ජය ගැනීමට සුදුසු ආණ්ඩුකරණයක් සැලසුම් කිරීමේ දී රටවල්, කෝපරේට් සමාගම් සහ ප්‍රජා කණ්ඩායම් තුළ දිගු කලක සිට පවතින ළැදියා සහ බලාපොරොත්තු හා ගැටෙන දේශපාලන ගැටලුවලට අභිමුඛ වීමට අපට සිදු වනු ඇත. උදාහරණයක් ලෙස පෘථිවි ග්‍රහ ධාරිතා සීමා මායිම් මත මනුෂ්‍යයන් විසින් පටවා ඇති පීඩනය කලාපීය හා ජාතික මට්ටම්වල දී ඇති කර තිබෙන අනිසි ඵල විපාකවල වගකීම පෘථුල ලෙස බෙදා ගැනීමට හැකි වන අන්දමේ ගෝලීය ආණ්ඩුකරණ ව්‍යුහයක් අද අපට අවශ්‍යය.

රේවර්ත් පෙන්වා දෙන අන්දමට අවශ්‍ය කරන දත්ත එක් රැස් කිරීමේ හැකියාව පුළුල් වීමත් සමඟ ඩෝනට් ආකෘතියේ ඇති මිණුම්වලට අනුව අප කටයුතු කරන්නේ ද යන බව සැලකිය යුතු තරම් නිවැරදි ලෙස සොයා ගැනීම අපහසු නො වේ. සමාජ පදනම සම්බන්ධ බොහෝ දේවල දියුණුවක් දක්නට ලැබෙන අතර බොහෝ දුරට ඒ සම්බන්ධ අවක්‍රමණයක් ඇතිවීම වළක්වා ගැනීමට අපට හැකි ව තිබෙන්නට පුළුවන. එහෙත් පාරිසරික කටයුතු සම්බන්ධ ග්‍රහ ධාරිතා සීමාවන් ඉක්මවා කටයුතු කිරීමට අප පෙලඹී තිබීම අකටයුත්තක් බව වටහා ගත යුතු ව ඇත.

විසි එක්වැනි සියවසට ඔබින ආර්ථික විද්‍යාඥයෙකු මෙන් සිතීමට නම් පැරණි ආර්ථික චින්තනයේ සිට නව ආර්ථික චින්තනයකට මාරු වීමට සිදු වේ. ඒ සඳහා කේට්ගේ ඩෝනට් ආර්ථික විද්‍යාව මඟින් යෝජනා කරන සප්තාංගික මාර්ග මෙසේ යි:

නව ආර්ථික චින්තනයක් කරා සප්තාංගික මාර්ග20 වැනි සියවසේ පැරණි ආර්ථික විද්‍යාව21 වැනි සියවසේ ආර්ථික විද්‍යාව
අභිමතාර්ථය වෙනස් කර ගනිමු (Change the Goal)දළ දේශීය නිෂ්පාදිත වර්ධන ආර්ථිකය (GDP)ඩෝනට්  ආර්ථිකය The doughnut economy
සමස්ත පින්තූරය දෙස බලමු (See the big picture)ස්වයං පූර්ණ වෙළඳපොළ(Self-contained market)අන්තරීකෘත වෙළඳපොළ (Embedded Market)
මනුස්සකම පෝෂණය කරමු (nurture the human nature)යථාවාදී ආර්ථික මිනිසා (rational economic man)සමාජ අනුවර්තනීය මනුෂ්‍යයා. (Social adaptable human)
පද්ධතික චින්තනය ගැන සුහුරු වෙමු (get savvy with systems)යාන්ත්‍රික සමතුලිත බව (mechanical equilibrium)ගතික සංකීර්ණත්වය (Dynamic complexity)
විසරිත කිරීමට සැලසුම් කරමු (design to distribute)වර්ධනය මඟින් ම අසමානතා යළි සමපාත වෙතැ’යි විශ්වාසය (growth will even it up again)ප්‍රතිලාභ බෙදී යෑම ආර්ථික සැලසුම මඟින් ම සහතික කිරීම (Distributive by design)
ප්‍රතිජනනය සඳහා නිර්මාණය කරමු (create to regenerate)අපිරිසිදු වීම වර්ධනය මඟින් ම පිරිසිදු කරනු ඇත(Growth will clean it up again)ප්‍රතිජනනය ආර්ථික සැලැස්ම මඟින් ම සහතික කිරීම (regenerative by design)
වර්ධනය ගැන අඥෙයවාදී වෙමු (be agnostic about growth)වර්ධන ලෝලී (Growth addicted)  වර්ධන අඥෙයයි (Growth agnostic)

පළමුවෙන් ම අපේ මූලික අභිමතාර්ථය නොහොත් අරමුණ වෙනස් කර ගනිමු.  අවුරුදු හැත්තෑවකට අධික කාලයක් තිස්සේ ආර්ථික විද්‍යාඥයෝ GDP හෙවත් දළ දේශීය නිෂ්පාදිතයේ වැඩි වීම ප්‍රගතියේ  මූලික මිම්ම ලෙස සැලකූහ.  මෙසේ දළ දේශීය නිෂ්පාදිතය උත්කර්ෂණයට නැංවීම සමාජය තුළ ඇති ආදායම්වල සහ වත්කම්වල පවතින අත්‍යන්ත අසමානතා නො සලකා හැරීම සහ පෙර නොවූ විරූ අන්දමට ජීව ලෝකය විනාශ කර දැමීම සාධාරණීකරණය කිරීම සඳහා යොදා ගන්නා ලදී. එහෙත් විසිඑක් වැනි සියවස සඳහා අපට ඊට හාත්පසින් ම වෙනස්, වඩා වැදගත් විපුල ජීවිත අරමුණක් අවශ්‍ය වේ.  එය නම් අපට ජීවන හුස්ම ලබා දෙන මේ මහ පොළොවේ ධාරිතාවය තුළ සමාජ විෂමතාවය අවම කොට සියල්ලන්ට ම මානව අයිතීන් පරිපූර්ණව භුක්ති විඳිය හැකි දයාව හා කරුණාව මුල්කරගත් සජ්ජන සමාජයක් ගොඩනගා ගැනීම යි. මානව අයිතීන් සාක්ෂාත් කර ගැනීම යනු සියල්ලන්ට ම සිවිල්, සමාජීය, ආර්ථික හා සංස්කෘතික අයිතීන් යන මේ සියලු මානව අයිතීන් සාක්ෂාත් කර දීම යි.  එය තමා සඳහන් කරන ඩෝනට් ආර්ථිකයේ සමස්තය තුළ සපුරා පැවතිය යුතු  බව කේට් පවසයි. අභියෝගය වන්නේ දේශීය හා ගෝලීය වසයෙන් සමස්ත මනුෂ්‍යවර්ගයා ම කේට්ගේ ඩෝනට් ආර්ථිකයේ නිරූපණය වන සමාජ ආරක්ෂණය සහ සාධාරණත්වය නමැති අවකාශයට ගෙන ඒමයි.  ඒ නිසා නිරන්තරයෙන් ඉහළ යැවිය යුතු දළ දේශීය නිෂ්පාදනයකට වඩා යහපත් සමබරතාවක් සහිත එළඹුමක් තුළ අපට මිනිසුන් වසයෙන් සඵල දායක විය හැකි වන්නේ කෙසේ දැ’යි යන්න සොයා ගත යුතු ය. 

එනිසා ආර්ථිකය නව ආකාරයකට සංකල්ප ගත කිරීමට නම් ආර්ථිකය යනු ස්වභාවධර්මය හා සමස්ත සමාජය තුළ ගැබ් ව පවතින දෙයක් විය යුතු බවත් අවසාන විග්‍රහයේ දී එය සවි බල ගැන්වෙන්නේ හුදෙක් සූර්යයාගෙන් බවත් පැහැදිලි ය. ආර්ථිකය පිළිබඳ කේට් රේවර්ත් කරන නව අර්ථ ගැන්වීම තුළ වෙළෙඳපොළ සතු බලය, රජය හා හවුල්කාරකම, ගෘහයේ මූලික භූමිකාව සහ පොදු අයිතියේ නිර්මාණාත්මක භාවය පැහැදිලි කරන නව ආඛ්‍යානයක් ද අඩංගු විය යුතු ය.

තෙවනුව, නව ආර්ථික චින්තනය මිනිස් ගුණය පෝෂණය කරන්නක් විය යුතු ය (nurture human nature). විසිවැනි සියවසේ පැවති සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාවේ හරය මඟින් නිරූපණය කළේ හුදු යථාර්ථවාදී ආර්ථික මනුෂ්‍යයෙකි (rational economic man). ඒ මඟින් අපට පැවසූ අන්දමට එකී ආර්ථික මනුෂ්‍යයා ස්වාර්ථය ම සලකන (self-interested) අන්‍යයන් ගෙන් හුදකලා වූ(isolated) තමන්ගේ ම වාසිය සොයන (calculating) තමන්ට ම පුද්ගලික වූ ආසාවන්ගෙන් හරිත (fixed in tastes) සහ අනවරතයෙන් ම ස්වභාව ධර්මය කෙරෙහි සිය ආධිපත්‍යය පතුරවන්නා වූ පුද්ගලයෙකි. යථාර්ථවාදී ආර්ථික මනුෂ්‍යයා පිළිබඳ ඒ ඒකාකෘතික පින්තූරය සමාජය තුළ අප කෙබඳු ජීවිතයක් ගත කළ යුතු ද යන්න ගැන අපට නියෝග කරයි.  එහෙත් ඒ වෙනුවට අපේ නව්‍ය ප්‍රතිමුර්තිය පිළිබඳ මුල් අවධියේ රූසටහන්වලින් පෙන්වන පරිදි අපේ මනුස්සකම, මනුෂ්‍ය ස්වභාවය (human nature) ඊට වඩා බෙහෙවින් පොහොසත් ය. මිනිසුන් වසයෙන් අපි සමාජීය, අන්තරායත්ත (interdependent) නොහොත් උනුන් මත යැපෙන, සන්නිකර්ෂණීය (approximating) හෙවත් සම ගුණගරුක හැසිරීම් ඇති, වෙනස් වන වටිනාකම් අගයන (fluid in values) සහ සහමුලින් ම ලෝකයේ සජීවි ස්වභාවය මත යැපෙන්නෝ වෙමු. එනිසා සියල්ලට ම වඩා වැදගත් වන දෙය නම් කේට්ගේ ඩෝනට් ආර්ථික මොඩලයේ කේන්ද්‍රස්ථානය වන සුරක්ෂිත සාධාරණ සමාජ අවකාශය කරා සියල්ලන් ම රැගෙන යෑමට අපට හැකි වන ලෙස මේ සහානුකම්පිත මිනිස්කම, මේ යුක්තිගරුක මනුෂ්‍ය ස්වභාවය සවිඥානිකව පෝෂණය කළ හැකි දෙයක් බවට පත් කර ගැනීම යි.

සිව්වැනි ව, අප පද්ධතික චින්තනය ගැන සුහුරු විය යුතු ය.  හැම ආර්ථිකවිද්‍යා ශිෂ්‍යයෙකුට ම පළමුවෙන් ම  අභිමුඛ වන රූප සටහන වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම නියෝජනය කරන වක්‍ර රේඛා  එකිනෙක කැපී යන සාම්ප්‍රදායික ඉල්ලුම් සැපයුම් ප්‍රස්තාරය යි. එහෙත් එයට පාදක වී ඇත්තේ දැන් අවතැන් වී ඇති යාන්ත්‍රික සමතුලිතතාව පිළිබඳ ව 19 වන සියවසේ පැවති රූපකයකි. රේවර්ත්ට අනුව  ආර්ථික විද්‍යාවේ ගතික ස්වභාවය පිළිබඳ ඊට වඩා බෙහෙවින් සුහුරු ඇරඹුම් ලක්ෂ්‍යයක් වන්නේ සරල ප්‍රතිචාර ලූප යුගලයකින් සංක්ෂේප කර පෙන්විය හැකි පද්ධතික චින්තනයයි(system thinking). ඩොනෙලා මිඩොව්ස් පෙන්වා දෙන අන්දමට පද්ධති චින්තනය යනුවෙන් හැඳින්වෙන්නේ ඕනෑම පද්ධතියක් සම්බන්ධයෙන්  බැලූ බැල්මට ම සරල යැයි පෙනෙන සාධක කිහිපයක අන්තර්ක්‍රියාකාරිත්වය මත පදනම් වූ සංකල්පයකි. ඒ සාධක වලට තත් පද්ධතියට අයත් වන විවිධ කොටස්, පද්ධතියක ප්‍රවාහයේ ස්වරූපය හා ප්‍රතිචාර ලූප සහ ඇතිවිය හැකි පමා වීම් ද අයත් වේ. එකී සාධක සරල සෘජු ඒවා වුවත් සිතා ගත නොහැකි තරම් සංකීර්ණ ප්‍රතිඵල පද්ධතියක ඇතිවෙන්නේ ඒව එකිනෙක හා අන්තර් ක්‍රියාකාරිත්වයක නියැලෙන විට ය. ඒ අන්තර්ක්‍රියාකාරිත්වය නිසා කල් තියා කිව නො හැකි පුදුමාකාර අහඹු ප්‍රතිඵල ඇති විය හැකිය. උදාහරණයක් ලෙස දහස් සංඛ්‍යාත වැහිලිහිණි රෑනක් අහස සිසාරා විවිධ රටා මවමින් පියාඹන විට ඊළඟට මැවෙන කණ්ඩායම් රටාව කෙබඳු දැයි අපට කල් තියා කිව නොහැකිය. එහෙත් පද්ධතියක් වසයෙන් ගත් විට එම කුරුලු රෑන නො විසිරී විවිධ සංකීර්ණ රටා මවමින් නො කඩවා පියාඹති. ඉතින් එය අරුමයක් නොවේ ද? අපේ සිරුරත් එවැනි පද්ධතියකට හොඳ උදාහරණයකි. අවට පරිසරය උණුසුම් වූ විට සිරුරේ උෂ්ණත්ව සාමාන්‍ය පවත්වා ගැනීමට ප්‍රතිචාර ලූපයක් ලෙස වැඩියෙන් දහදිය පිට කිරීමට අපට සිදුවේ. අනෙක් අතට දරා ගත හැකි පමණට වඩා සිරුර සීතල වූ විට අපේ ඇඟ ගැහෙන්නන්ට පටන් ගෙන උණුසුම ඇති කිරීමේ ප්‍රතිචාර ලූපය ක්‍රියාත්මක වෙයි. හැම පද්ධතියක ම සංකීර්ණ පැවැත්ම සඳහා එවැනි ධනාත්මක හෝ ඍණාත්මක ප්‍රතිචාර ලූප ඇතිවිය හැකි බව මීඩොව්ස් පෙන්වා දෙයි. මෙලෙස කිසියම් පද්ධතියකට අයත් කොටස්, ප්‍රවාහ, ප්‍රතිචාර ලූප සහ ප්‍රමාද අතර ඇතිවෙන අන්තර්ක්‍රියාකාරිකම් නිසා වඩා සංකීර්ණ අනුවර්තනීය පද්ධති බිහි විය හැකිය. ආර්ථික පද්ධතිය ද අනුවර්තනය වන්නේ මේ නියාම ධර්මය ආර්ථික පද්ධතියට ද  අදාළ නිසාය. 

ඒ නිසා ආර්ථික විද්‍යාවේ හරය ගතිකයන් මත ක්‍රියාකරන්නක් ය යන පදනමින් කල්පනා කිරීම මූල්‍ය වෙළඳ පොළේ උත්පාත සහ බිඳ වැටීම්වල සිට ආර්ථික විෂමතාව ස්වයං වර්ධනය වීම සහ දේශගුණ විපර්යාසවල හැරවුම් ලක්ෂ්‍යය අභිමුඛ වීම දක්වා වූ බොහෝ ගැටලු සම්බන්ධ නව අන්තර්ඥාන පහළ වීමට හේතු වන බව රේවර්ත් පෙන්වා දෙයි. එනිසා ආර්ථිකයේ ඇතැ’යි සිතන දුරවබෝධ පාලන ලීවර සොයමින් යෑම නතර කොට ආර්ථිකය යනු විකාසය වන සංකීර්ණ පද්ධතියක් (complex system) ලෙස සලකා මෙහෙය වීමට දැන් කාලය පැමිණ තිබේ.

පස්වැනි ව, නව ආර්ථික චින්තනය යනු ධනය සමුච්චනය හෙවත් එක් රැස් කිරීම වෙනුවට ධනය විභජනය හෙවත් නැවත බෙදී යෑම සඳහා සැලසුම් කළ හැකි එකක් විය යුතු ය.  විසි වෙනි සිය වසේ දී කුස්නෙට්ගේ වක්‍රය (Kuznets Curve) යනුවෙන් හඳුන්වන එක්තරා සරල වක්‍රයක් සමාජ අසමානතාව ගැන අපට බලසම්පන්න පණිවුඩයක් කොඳුරා පැවසී ය. ඉන් කියවුණේ සමනය වීමට පෙර කොහොමටත් අසමානතාව වනාහි තීව්‍ර වීමට නියමිත දෙයක් බවත් ආර්ථික වර්ධනය විසින් ම අනතුරු ව අසමානතා නැවත සමනය කරනු ඇති බවත් ය. එහෙත් අසමානතාව යනු අනිවාර්ය ආර්ථික අවශ්‍යතාවක් නො වන බවත් එය හුදෙක් අසාර්ථක ආර්ථික සැලසුම්වල ප්‍රතිඵලයක් බවත් දැන් වැටහී තිබේ. ආර්ථිකය විසින් ජනනය කරනු ලබන වටිනාකම් වඩාත් සාධාරණ ලෙස බෙදී යෑම උදෙසා ම එකී ආර්ථිකයන් සැලසුම් කිරීමේ ක්‍රම ගණනාවක් ම ඇති බව විසි එක් වැනි සියවසේ ආර්ථික විද්‍යාඥයන් තේරුම් ගෙන ඇත. මේ අදහස වඩාත් විශද ලෙස නියෝජනය වී ඇත්තේ සංජාල ප්‍රවාහ (networks of flows) පිළිබඳ සංකල්පයක් ලෙස යි. එහි තේරුම නම් හුදෙක් ආදායම නැවත බෙදී යෑම පමණක් නො ව ඉන් ඔබ්බට ගොස් වත්කම්, විශේෂයෙන් ම ඉඩම්, ව්‍යවසාය, තාක්ෂණය, දැනුම සමඟ  මුදල් නිර්මාණය කිරීමේ බලය ද ඵලදායක ලෙස නැවත බෙදා දීමේ විවිධ විධික්‍රම ගවේෂණය කළ යුතු බවයි.

හයවැනි ව, නව චින්තනයේ තවත් ඉලක්කයක් විය යුත්තේ ප්‍රතිජනනය කිරීම උදෙසා ම නිර්මාණය කිරීම හා ප්‍රතිජනනීය නිපදවීම (Regenerative production) දිරිගැන්වීම යි. ‘පිරිසිදු’ පරිසරයක් යන්න වත්පොහොසත්කම් ඇති අයට පමණක් ඔරොත්තු දෙන සුඛෝපභෝගී දෙයක් ලෙස සාම්ප්‍රදායික ආර්ථික න්‍යාය මඟින් නිරූපණය කරයි. ඒ අදහස ම තවත් අයුරකින් කොඳුරන කුස්නෙට්ගේ පරිසරය පිළිබඳ ඒ කුප්‍රකට වක්‍රය, පිරිසිදු වීමට පෙර පරිසරය දූෂණය වීම නියත බවත් අනතුරු ව එන ආර්ථික වර්ධනය විසින් එය නැවත සමනය කරනු ඇති බවටත් පොරොන්දු වෙයි. එහෙත් එවැනි ආර්ථික න්‍යායක් යථා ලෝකයේ නොමැති බව අපි දනිමු. පාරිසරික හායනය යනු කොටින් ම වෙන කිසිවක් නො ව පරිසරය ගැන තැකීමක් නැති හානිදායක කාර්මික සැලසුම්වල ඒකායන ප්‍රතිඵලය යි. එනිසා  මේ සියවසට අවශ්‍ය කරන්නේ වර්ධන ලෝලී රේඛීය ආර්ථික චින්තනයක් නො ව පෘථිවි  ජීවිතයේ චක්‍රීය ක්‍රියාවලියට සහභාගී වන පූර්ණ හවුල්කාරයන් ලෙස මනුෂ්‍යයන් ඔසවා තැබිය හැකි, චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය වන ප්‍රතිජනනීය සැලසුම් නිරතුරු ව මුදා හරින නව ආර්ථික චින්තනයකි.

හත්වැනි ව, වර්ධනය ගැන අප අඥෙයවාදී හෙවත් උපේක්ෂා සහගත විය යුතු ය. නොහොත් වර්ධන ලෝලී හෝ වර්ධන විරෝධී නොවිය යුතුයි. ආර්ථික විද්‍යාව ගැන ඇති එක් දළ රූප සටහනක් කොයි තරම් භයානක දැ’යි කිව හොත් ඇත්තට ම එය කිසි දා නො අඳින රූප සටහනකි. එය නම් නිමක් නැති ව දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වීමේ දිගු කාලීන මාවත පිළිබඳ දළ රූප සටහන යි. ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාව නිමක් නැති වර්ධනය සලකන්නේ අත්‍යවශ්‍ය ම දෙයක් ලෙස යි. එහෙත් ස්වභාවධර්මයේ දී කිසිම දෙයක් සදාකාලික ව වර්ධනය නො වේ. නිමක් නැති වර්ධනයක් කරා අප තල්ලු කරන මේ ප්‍රවණතාව නිසා ඉහළ ආදායම් සහ පහළ වර්ධන වේගයන් ඇති රටවලට ඉතා අසීරු ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවී තිබේ. දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ආර්ථිකයේ ඉලක්කය වසයෙන් සැලකීම අතහැර දැමීම අසීරු නො වුණත් එයට අපේ ඇති ආසක්ත වීම ජය ගැනීම ඊට වඩා අසීරු දෙයක් විය හැකි ය. අපට කිසියම් වැඩක් තිබුණත් නැතත් වර්තමානයේ ද යම් පමණකට වර්ධනය අවශ්‍ය කරන ආර්ථීක පවතී.  එහෙත් වර්ධනයක් වුවත් නැතත් ඇත්ත වසයෙන් අවශ්‍ය වන්නේ අප සියල්ලන්ගේ ම අභිලාෂයට අනුව මිනිසුන් වසයෙන් දියුණු විය හැකි ආර්ථිකයකි. එනිසා අපේ පර්යාලෝකයේ රැඩිකල් වෙනස ආර්ථික වර්ධනය සහ සුවිශේෂයෙන් ම වර්ධන වේගය ගැන අඥෙයවාදී වන ලෙස අපෙන් ඉල්ලා සිටී. එසේ ම දැනට මූල්‍යමය, දේශපාලනික සහ සමාජමය වසයෙන් අතිශයින් වර්ධන ලෝලී වී ඇති ආර්ථිකයන් වර්ධනය ඇතිව හෝ නැතිව ඵල දායකවීමට ඉගෙන ගත යුත්තේ කෙසේ ද යන්න ගැඹුරින් ගවේෂණය කිරීම ද එම ඉල්ලීම තුළ ගැබ් වෙයි.  

ඉහත කී සප්තාංගික මාර්ගය ආර්ථික විද්‍යාව ගැන 21 වැනි සියවසට ඔබින අන්දමින් අලුතෙන් සිතීමට අපට උදව් වෙන බව නිසැක ය. එහෙත් එමඟින් අනාගත ආර්ථිකය සම්බන්ධයෙන් සුවිශේෂ ප්‍රතිපත්ති හෝ ආයතනික වෙනස්කම් පිළිබඳ නිශ්චිත යෝජනා ඉදිරිපත් නො කරයි. එමෙන් ම එමඟින් අප මුහුණ දෙන ප්‍රශ්නවලට වහාම ක්‍රියාත්මක කළ හැකි පිළිතුරු හෝ පරිපූර්ණ පිළිතුරු හෝ ලබා නො දේ. එහෙත් මේ සියවස ඉල්ලා සිටින ආකාරයේ ආර්ථිකයක් පිළිබඳව කල්පනා කිරීම රැඩිකල් වෙනසකට ලක් කිරීමේ ලා ඉහත කී සප්තාංගික මාර්ගය ප්‍රමුඛ වන බව කේට් රේවර්ත් පෙන්වා දෙයි. එමඟින් හඳුන්වා දී ඇති මූලධර්ම සහ චින්තන රටාව සියල්ලන්ට ම සමෘද්ධිය ගෙන දෙන ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා  නව පරපුරක ආර්ථික චින්තකයන් මෙන් ම අප සියල්ලන් තුළ ජීවත් වන ආර්ථික විශේෂඥයන් ද සන්නද්ධ කරනු ඇත.  ඉදිරි වර්ෂවල දී සිදු වන වෙනස්වීම්වල වේගය, පරිමාව සහ අවිනිශ්චිත භාවය නිසා අනාගතය සඳහා අවශ්‍ය කරන සියලු ප්‍රතිපත්ති සහ ආයතන දැන් තියා ම නිර්දේශ කිරීම තරමක මෝඩකමකි. සන්දර්භය නිරන්තරයෙන් ම වෙනස් වන බැවින් කුමක් සාර්ථක වේ ද කුමක් අසාර්ථක වේ ද යන්න අත්හදා බැලීම් කොට සොයා දැන ගැනීමට නව පරපුරේ චින්තකයන් සහ ක්‍රියාකාරීන් වඩා උචිත තැනක සිටිනු ඇත. අපට දැනට කළ හැක්කේත් අප කළ යුත්තේත් අප අතර ඉස්මතු වන හොඳ ම අදහස් එක් රැස් කොට අනම්‍ය නො වී විකාසය වන (evolving) නව ආර්ථික මනෝ ගතියක් (new economic mindset) නිර්මාණය කිරීම යි.

ඒ අනුව අනාගත ආර්ථික චින්තකයන්ගේ කාර්යභාරය වන්නේ ඉහත කී සප්තාංගික චින්තනය වැඩි දියුණු කොට ප්‍රායෝගික ව උපයෝගී කර ගැනීම යි. මෙය ආර්ථික විද්‍යාව නැවත හිතා බැලීමකට ලක් කිරීම පිළිබඳ වික්‍රමයක ඇරඹුමක් පමණක් බව රේවර්ත් පවසයි.

21 වෙනි සියවසේ ජීවත් වන මිනිසුන් අතරින් මේ තරම් ප්‍රමාණයකට සිය ශක්‍යතා සීමා කර ගනිමින් ඔය තරම් අගහිඟකම් ඇති ව ජීවත් වීමට සිදුවීම පුදුම සහගත ය. මේ අතර මනුෂ්‍යයෝ පෘථිවියේ ජීවධරණි පරිසර පද්ධතිවලට පෙර නොවූ විරූ පීඩනයක් එල්ල කරමින් සිටිති. දැනට මත් ඔවුන් දේශගුණ විපර්යාසය, භූමි පරිවර්තනය, අධික නයිට්‍රජන් සහ පොස්ෆරස් භාවිතය සහ ජෛව විවිධත්ව හානිය සම්බන්ධ පෘථිවි ග්‍රහ ධාරිතා සීමා මායිම් ඉක්මවා ගොස් තිබේ.

 අවම වසයෙන් තිරසාර සංවර්ධනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කර ගෙන ඇති ඉලක්ක අවංක ව ම හඹා ගිය හොත් අපට මේ තත්වය තරමක් පාලනය කර ගත හැකි වෙන නමුත් ඒ සඳහා ඇති නියම දේශපාලනික කැපවීම ඇති කර ගැනීමට හැකි වන්නේ ගෝලීය මට්ටමේ බහුජන ව්‍යාපාරයක් මගිනි. 

ඒ සන්දර්භය තුළ කේට් රේවර්ත්ගේ ඩෝනට් ආර්ථික මොඩලය මනුෂ්‍යයාගේ පොදු අනාගතය පිළිබඳ ව ශුභවාදී දැක්මක් සහිත චින්තනයක් බිහි කිරීම දිරි ගන්වයි. ඒ සඳහා පාදක කර ගෙන ඇති විභජනීය (distributive) සහ ප්‍රතිජනනීය (regenerative) සැලැස්ම මඟින් සමබර සශ්‍රීකත්වයක් බිහි කරන ගෝලීය ආර්ථිකයක් ඇති කර ගැනීමට හැකි වෙතැ’යි සිතිය හැකි ය. කෙසේ වෙතත් දේශගුණ විපර්යාසය, ප්‍රචණ්ඩ ගැටුම්, බලහත්කාර සංක්‍රමණ, වැඩිවන ආදායම් විෂමතා, පරජන භීතිකාව, ආවේණික මූල්‍ය අස්ථාවරත්වය ආදී එකිනෙක හා බැඳුණු අභියෝගවලට මුහුණ දෙන අතර එවැනි ශුභවාදී දැක්මක් හා  චින්තනයක් ගැන බලාපොරොත්තු තබා ගැනීම මුග්ධ කමකැ’යි කෙනෙකුට සිතෙන්නට පුළුවන. ජනමාධ්‍ය අපේ සාලය මැද හෝ අතැ’ති ජංගම මෙවලම හරහා අප වෙත ගෙන එන පුවත් දෙස බැලූ විට සමාජීය, පාරිසරික, ආර්ථික සහ දේශපාලන කඩා වැටීම මොන තරම් ඇත්තක් දැයි අපට සිතෙනු ඇත. එහෙත් කේට් රේවර්ත් පවසන අන්දමට පෘථිවි ග්‍රහලෝකය නමැති අපේ මේ පොදු නිවහනට අප විසින් කර ඇති ඉමහත් හානිය අවබෝධ කර ගනිමින් සිටින ප්‍රථම පරම්පරාව අපි වෙමු. එමෙන් ම ඒ සම්බන්ධයෙන් කිසියම් ඵලදායක දෙයක් කළ හැකි අවසාන පරම්පරාව ද අපි වෙමු. සාමූහික ව කටයුතු කිරීමට තීරණය කළ හොත් සියලු ම ආකාරයේ දරිද්‍රතා අවසන් කිරීම සඳහා අවශ්‍ය කරන තාක්ෂණය, දැනුම සහ මූල්‍ය සම්පත් අප සතු බව ජාත්‍යන්තර ප්‍රජාවේ ඒකාග්‍ර කොටසක් වසයෙන් අපි දනිමු.

ශිෂ්ට ජීවිතයක් ගත කිරීම සඳහා ප්‍රමාණවත් වන ලෙස හැම පුද්ගලයෙකුට ම සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාව සහතික කෙරෙන දේශපාලන, ආර්ථික හා සමාජීය වාතාවරණයක් බිහි කිරීම ඩෝනට් ආර්ථික මොඩලයට අනුව කේන්ද්‍රීය අවශ්‍යතාවයකි. කේට් එය හඳුන්වන්නේ ‘සමාජ පදනම ගොඩනැගීම’ ලෙස ය. සමාජ පදනම යනු ජීවත් වන හැම කෙනෙකුට ම අවම වසයෙන් මූලික අවශ්‍යතා එනම්,  ප්‍රමාණවත් ආහාර, පිරිසිදු ජලය සහ ප්‍රමාණවත් සනීපාරක්ෂාව, පහසුවෙන් බලශක්තිය ලබාගැනීමේ හැකියාව සහ පිරිසිදුව ආහාර පිස ගැනීමේ පහසුකම්, ගුණාත්මක අධ්‍යාපනය හා සුව සේවා පහසුකම්, ප්‍රමාණවත් මූලික ආදායමක් සහ යෝග්‍ය රැකියාවක් ලබා ගැනීමේ හැකියාව, තොරතුරු ජාලවලට ප්‍රවේශ වීමේ සහ සමාජ ආධාර ජාලවල සේවය ලබා ගැනීමේ හැකියාව ද යන මූලික අවශ්‍යතා ය. මේ අවශ්‍යතා සපුරා ගැනීම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, සමාජ සාධාරණය, දේශපාලන හඬ නැංවීමේ හැකියාව සහ සාමය හා යුක්තිය සහතික කෙරෙන අන්දමට ඉටු විය යුතු බව කේට් අවධාරණය කරයි. සංවර්ධනය මානව අයිතිවාසිකම් මුල් කොට සිදු කෙරෙන දෙයක් විය යුත්තේ එබැවිනි.

එහෙත් සැමට මානව අයිතිවාසිකම් භුක්ති විඳීම සඳහා අවශ්‍ය කරන ශක්‍යතා ඇති කර ගන්නා තෙක් සමාජය සාධාරණ යුක්තිගරුක සමාජයක් ලෙස සැලකීම උගහටය. අයිතිවාසිකම් සාක්ෂාත් කර ගත හැකි වන්නේ ඒ සඳහා අවශ්‍ය කරන ශක්‍යතා අනුව යැයි කීම මඟින් අප අදහස් කරන්නේ අයිතියක් හුදෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක හෝ කිසියම් විධානයක සඳහන් වීම පමණක් ප්‍රමාණවත් නො වන බවත් එම අයිතිය භුක්ති විඳීමේ ශක්‍යතාව හෙවත් හැකියාව ද මහජනතාවට ලබා දිය යුතු බවත් ය. උදාහරණයක් වශයෙන් ලංකාව ද ඇතුළුව බොහෝ රටවල ස්ත්‍රීන්ගේ දේශපාලන සහභාගිත්වය ක්‍රියාත්මක වන්නේ නාමික ව පමණි. නිවසෙන් බැහැර රැස්වීම් සඳහා යෑමට අපහසු වීම, තනිපංගලමේ ගමන් කිරීමෙන් ඇති විය හැකි අනාරක්ෂාව, ඉවුම් පිහුම් හා ළමයින් බලා ගැනීමට සිදුවීම, එදිනෙදා  නිවසේ කටයුතු ඇතුළු අනෙකුත් කුදු මහත් හේතු නිසා දේශපාලන සහභාගිත්වයට ස්ත්‍රීන්ගේ ඇති ශක්‍යතාව මඳ වී තිබේ. එනිසා එවැනි ශක්‍යතා ඇති කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමෙන් තොර ව ස්ත්‍රීන්ගේ දේශපාලන සහභාගීත්වය පුළුල් කිරීම අසීරුය. අයිතිවාසිකම් භුක්ති විඳීමේ ශක්‍යතාව කේන්ද්‍රීය කාරණය කරගත් විට යම් කිසිවකු සඳහා අයිතිවාසිකම් භුක්ති විඳීමට ඉඩ සැලසීම යනු කුමක්දැ’ යි වටහා ගැනීම අපහසු නො වේ.

21 වැනි සියවසේ කාර්යභාරය ඉතා පැහැදිලි ය. කේට් රේවර්ත් පෙන්වා දෙන අන්දමට එය ඩෝනට් ආර්ථික මොඩලය මඟින් නිරූපණය කළ ආරක්ෂිත සහ යුක්තිය රජයන අවකාශය තුළ සප්‍රාණික ජීවී සංජාලයක් සමඟ සියලු මනුෂ්‍යයන් සඳහා සමබර සශ්‍රීකත්වයක් ප්‍රවර්ධනය කළ හැකි ආර්ථිකයක් නිර්මාණය කිරීම යි. එය ඇරඹෙන්නේ දේශීය හෝ ගෝලීය වසයෙන් වෙනසක් නො කොට  හැම ආර්ථිකයක් ම රඳා පවතින්නේ සමාජය සහ සජීවී ලෝකයේ ඒකාබද්ධ පැවැත්ම මතය යන ඒකාන්ත අවබෝධයත් සමඟ ය. කුටුම්බය, පොදු දේපළ, වෙළඳපොළ සහ රාජ්‍ය යන සියලු සාධක අපේ බොහෝ ඕනෑකම් සහ අවශ්‍යතා සපුරාලීම සඳහා වැදගත් වන බවත් එය වඩාත් හොඳින් ම ඉටු වන්නේ එම සියලු සාධක එකට එක් ව කටයුතු කරන විට බවත් ඒ අතර ම අප මතක තබා ගත යුතු ය. මනුෂ්‍යයාගේ ස්වභාවය පිළිබඳ අපේ අවබෝධය වැඩි දියුණු කර ගැනීමෙන් අපට සමාජීය ප්‍රත්‍යුපකාරය සහ අනෙකුත් සමාජ වටිනාකම් පිටු දැකීම වෙනුවට ඒවා දිරි ගන්වන ආයතන සහ ක්‍රමවේද හඳුන්වා දිය හැකි බවත් ආර්ථිකයට ආවේණික සංකීර්ණත්වයක් ඇති බව පිළිගෙන එය තුළ නිරන්තරයෙන් පරිණාමය වන ගතිකයන් අනුව ආර්ථිකය විචක්ෂණ ව මෙහෙයවිය හැකි බවත් කේට් රේවර්ත් පවසයි. ඒ අනුව අද පවතින භේදකාරී පරිහානිදායක ආර්ථිකයන් පරිවර්තනීය ලෙස සැලසුම් කිරීම මඟින් විභජනීය (distributive) සහ ප්‍රතිජනනීය ආර්ථික බවට හැරවිය හැකි ය. එය වර්ධනය ගැන උපේක්ෂා සහගත ව අඥෙයවාදී වීමටත්  වර්ධනය වීම හෝ නො වීම ගැන කරදර නොවී සෞභාග්‍ය ගෙන එන ආර්ථිකයන් නිර්මාණය කිරීමටත් අපට ආරාධනා කරයි.  

විජයානන්ද ජයවීර


[1] WWF (2020) Living Planet Report. Gland: WWF International. Gland

[2] https://www.theguardian.com/environment/2015/sep/22/one-in-five-uk-households-dump-a-loaf-of-bread-in-the-bin-survey-revealsRetrieved on 21 July 2021

[3]  https://www.usda.gov/foodwaste/faqs – Retrieved on 21 July 2021


[1] Raworth, Raworth (2017) Doughnut Economics: Seven ways to think like a 21st Century Economist, New York: Random House. pp. 37-38

[2] Steffen, W. et al. (2015) ‘The trajectory of the Anthropocene: The Great Acceleration’, Anthropocene Review 2: 1, pp. 81–98.

[3] Folke, C. et al. (2011) ‘Reconnecting to the biosphere’, AMBIO 40, p. 719.


[1] Delreal, J. (2011) ‘Students walk out of Ec 10 in solidarity with “Occupy”’, The Harvard Crimson 2 November 2011. http://www.thecrimson.com/article/2011/11/2/mankiw-walkout-economics-10/ – Retrieved on 18 July 2021.

[2] Raworth, Kate (2017) Doughnut Economics: Seven ways to think like a 21st Century Economist, New York: Random House, p. 26

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: