© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝසප් ස්ටිග්ලිට්ස් පෙන්වා දෙන අන්දමට සාමාන්‍යයෙන් රටක ජාතික ආදායම කොටස් තුනකට බෙදිය හැකිය. ඒවා නම් ශ්‍රමයෙන් ලැබෙන ආදායම, ප්‍රාග්ධන ආයෝජනයෙන් ලැබෙන ආදායම සහ ඉතුරු සියලු දේවලින් ලැබෙන ආදායම යි. මේ ඉතුරු සියලු දේවලින් ලැබෙන ආදායම යනුවෙන් බොහෝ විට අදහස් කරන්නේ ආර්ථික විද්‍යාඥයන් ‘බදු කුලිය’ හෙවත් Rent යනුවෙන් හඳුන්වන හම්බ කිරීමකින් තොර ව ලබන ආදායම යි. මේ සම්බන්ධයෙන් පැහැදිලි ම උදාහරණය වන්නේ කිසිදු වෙහෙසක් නො ගෙන උපයා ගත හැකි ඉඩම් බදු කුලිය යි. එහෙත් ස්වාභාවික සම්පත් ඒකාධිකාරවල ලාභය සහ බුද්ධිමය දේපළ හිමිකම සඳහා ලැබෙන ආදායම වැනි දේවල් ද සැලකෙන්නේ මෙකී බදු කුලී ආදායම් ගණයට ය. කෙසේ වෙතත් වැඩ කිරීමෙන් සහ බදු කුලී මඟින් ලබාගත් ආදායම් අතර මූලික වෙනසක් පවතී. ඒ මෙසේ ය: කම්කරුවන් වැඩියෙන් වැඩ කළ විට ජාතික ආදායමේ ප්‍රමාණය ද ඉහළ යයි. ස්ටිග්ලිට්ස් පවසන අන්දමට කිසිදු දොසක් නැති පරිසමාප්ති වෙළඳපොළක නම් එසේ කම්කරුවන් විසින් ජාතික ආදායමට එක් කරන ලද අතිරේක මුදල ඔවුන්ගේ උත්සාහයට ගෙවීමක් ලෙස ආපසු කම්කරුවන්ට ම ලැබිය යුතු ය.
එයට වෙනස් ව ඉඩමක හෝ වෙනත් ආකාරයක බදු කුලියෙන් උපයන වත්කමක අයිතිකරුට ආදායමක් ලැබෙන්නේ හුදෙක් ඔහු එම වත්කමෙහි හිමිකරු වීම නිසා මිස වෙන කිසි ම හේතුවක් නිසා නො වේ. ඉඩමක් වැනි බදු කුලිය ලබන වත්කමක් යනු නියත දෙයකි – ඒ අනුව හුදෙක් එවැනි වෙනස් නොවෙන වත්කමක හිමිකරු විසින් කෙරෙන දෙයකින් ජාතික ආදායමට අමතර කිසිවක් එකතු නො වේ. උදාහරණයක් ලෙස ඉඩමකට ශ්‍රමය යොදා වගාවක් කළොත් හැරෙන්නට හිස් ඉඩමකින් ජාතික ආර්ථිකයට පළක් නො වේ. එහෙත් ඉඩම්වල හිඟයක් පවතින බැවින් කලක් ගත වූ පසු ඉඩම් හිමියෙකුට හිස් ඉඩමක් විකිණීමෙන් වුව ද විශාල ආදායමක් ලබා ගත හැකි ය. එහෙත් එම ආදායම බොහෝ විට ඔහුට ලැබෙන්නේ වෙනත් ස්වදේශිකයෙකුගෙන් බැවින් ඒ ක්‍රියාව නිසා ජාතික ධනයට අලුතින් යමක් එකතු නො වේ. ඇත්ත වසයෙන් ම එහි දී ඉඩම් හිමියා ලබා ගන්නේ අනෙක් අයට ද බෙදී යා යුතු ධනයකි. ඒකාධිකාරවල තත්වයත් ඒ හා සමාන ය. ඒකාධිකාරවල බලය වැඩි වෙන විට ඒකාධිකාරීන්ට වැඩිපුර ලාභ නොහොත් බදු කුලිය වැඩියෙන් ලබා ගත හැකි ය. එහෙත් මෙහි දී ජාතික ආදායමේ ප්‍රමාණය එයට අනුරූපී ව අඩු විය හැකි ය. ඊට හේතුව සිය වෙළඳපොළ බලය උපයෝගී කර ගැනීමට ඒකාධිකාර හිමිකරු විසින් තම භාණ්ඩ නිෂ්පාදනය සීමා කරනු ලබන බැවිනි. එවැනි අවස්ථාවල දී බොහෝ විට කෙරෙන්නේ ලාභය වැඩි කිරීම පිණිස භාණ්ඩ හිඟයක් ඇති කිරීම යි.
උපයා ගත් සහ උපයා නො ගත් ආදායම අතර පැහැදිලි වෙනසක් පවතින බව අප වටහා ගත යුතු ය. ඉපයූ ආදායම යම් ආකාරයක ප්‍රයෝජනවත් වැඩක් සඳහා ගෙවීමක් වන අතර, උපයා නො ගත් ආදායම යනු rentier යනුවෙන් ආර්ථික විද්‍යාවේ හඳුන්වන ස්වෝත්සාහයෙන් ඉපයීමක් නො කොට උරුමයෙන් හෝ වෙනත් නිස්සාරණ ක්‍රමවලින් ලබාගන්නා ආදායම යි.
සාමාන්‍යයෙන් ව්‍යාපාර කටයුතුවල ස්වභාවය අනුව සාම්ප්‍රදායික ව සමාගම් වර්ග තුනකට වෙන් කළ හැකි ය. ඉන් පළමු වැනි වර්ගය අමුද්‍රව්‍ය සැපයීම කරන ප්‍රාථමික ව්‍යාපාර සමාගම් ය. දෙවැන්න භාණ්ඩ නිෂ්පාදන සමාගම් වන අතර තෙවැනි වර්ගය සේවා සපයන සමාගම් වේ. එහෙත් බොහෝ නිස්සාරක සමාගම් මේ සාම්ප්‍රදායික වර්ගීකරණයට අයත් නො වේ. උදාහරණයක් ලෙස ඉහත කී එකද වර්ගීකරණයකට අයත් නො වන, 2021 වසරේ ඩොලර් බිලියන 29 ක් ඉපයූ Facebook සමාගම ගත්තොත් එය වෙළඳපොළ තුළ ඒකාධිකාරය තහවුරු කර ගෙන ඇත්තේ මහජනයා විසින් දිනපතා නො මිලේ සපයන අන්තර්ගතය සහ පොදු දේපළක් වන අන්තර්ජාලය භාවිත කිරීමෙනි. මරියානා මස්සුකාටෝ ඇයගේ The Entrepreneurial State: Debunking Public vs. Private Sector Myths නමැති කෘතියේ පෙන්වා දුන් පරිදි මෙවැනි ප්‍රකට ව්‍යාපාරික සමාගම් බොහෝමයක් සිය ඒකාධිකාරී ව්‍යාපාර සහ බුද්ධිමය දේපළ ගොඩ නඟා ගෙන ඇත්තේ පොදු අරමුදල්වල උදව්වෙන් බිහි කරන ලද තාක්ෂණය සහ දැනුම උපයෝගී කර ගැනීමෙනි. එහෙත් ඒ සමාජ හිමිකම උපයෝගී කර ගැනීම වෙනුවෙන් සැලකිය යුතු කෘතෝපකාරයක් එම සමාගම්වලින් උපයන ලාභයෙන් ජනසමාජයට නො ලැබේ.
වෙනත් නිසි පාරිභාෂික පදයක් නැති බැවින් Rentier Capitalism යන්නට සිංහලෙන් ‘නිස්සාරක ධනවාදය’ යන යෙදුම ගැළපේ යැ’යි මම සිතමි. Rentier Capitalism යන්නට එකිනෙකට අනුපූරක තේරුම් කිහිපයක් යෙදෙන බව පෙනෙන නිසා මෙහි දී ආචාර්ය බ්‍රෙට් ක්‍රිස්ටොපර්ස් ‘Rent’ හෙවත් ‘කුලිය’ යන්න තේරුම් කරන ආකාරය වටහා ගැනීම වැදගත් ය. “Rent හෙවත් කුලිය යන්නෙන් මෙහි දී අදහස් කරන්නේ තරඟකාරිත්වය අතිශයින් සීමා කර ඇති හෝ කිසිදු තරඟයක් නැති තත්වයන් යටතේ අයිතියට, සන්තකයට හෝ පාලනය නතු කර ගෙන ඇති දුලබ හෝ දුලබ බවට පත් කරන ලද වත්කම්වලින් ලැබෙන ආදායමටයි.”[2] කිසිදු තරඟකාරිත්වයකින් තොර ව (බොහෝ විට හුදෙක් දේශපාලන අනුග්‍රහය මත) තමන් සන්තක කර ගෙන ඇති පොදු දේපළ, ස්වාභාවික සම්පත්, පොදු ව්‍යාපාරවලින් මෙන් ම වෙළඳපොළ තුළ අත්පත් කර ගෙන ඇති ඒකාධිකාරීත්වය නිසා උපයන ආදායම් ද මේ ගණයට වැටේ. සේවක අර්ථ සාධක අරමුදල වැනි පොදු අරමුදල් අවභාවිත කරමින් “කොටස් වෙළඳපොළ කරකවා අතාරින” ව්‍යාපාරිකයන්ගේ කූට ක්‍රියාන්විතවල සිට ‘ප්‍රයිමරි ඩීලර්ස්’ යනුවෙන් තරඟකාරිත්වය සීමා කරමින් බැඳුම්කර හරහා විශාල වසයෙන් ආදායම් නිස්සාරණය කර ගන්නා බ්‍රෝකර් සමාගම් ද ඇතුළු මුල්‍ය ධනවාදී ක්ෂේත්‍රයේ බොහෝ කටයුතු නිස්සාරක ධනවාදය ලෙස සැලකිය හැකි ය.
මුළු ගෝලීය ආර්ථිකය ම දැන් විශාල වසයෙන් රඳා පවතින්නේ ‘rentier capitalism’ හෙවත් මේ නිස්සාරක ධනවාදය මත බව ආචාර්ය ක්‍රිස්ටොපර්ස් පෙන්වා දෙයි. එහි දී භෞතික, මූල්‍යමය හා බුද්ධිමය වසයෙන් ගැනෙන දේපළවලින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ අත්‍යන්තයෙන් ඉහළ ගොස් ඇති අතර ශ්‍රමයට ලැබෙන ප්‍රතිලාභ අඩු වෙමින් පවතී. කොටින් ම නිෂ්පාදනයෙන් ලැබෙන ලාභය සහ ශ්‍රමයෙන් ලැබෙන ආදායමට සාපේක්ෂව නිස්සාරණයෙන් ලැබෙන ආදායම ඉතා ඉහළ යමින් පවතී. ඒ අතර තරඟයක් නොමැති වෙළඳපොළවල් තුළ අධික මිල ගණන් මඟින් ඒකාධිකාරී සමාගම් නිස්සාරණය කරන විශාල ලාභය සේවකයන් හා බෙදා ගැනීමක් ද සිදු නො වේ. මෑත දී කරන ලද අධ්‍යනයකට අනුව බ්‍රිතාන්‍ය කොටස් වෙළඳ පොළේ ලැයිස්තු ගත කර ඇති ඉහළ ම සමාගම් 300 පසුගිය දශක තුන තුළ සිය ආදායම සේවකයන් සමඟ බෙදා ගැනීම අනුක්‍රමයෙන් අඩු කර ඇති බව පෙනී ගියේ ය.
ඒ අනුව ස්ටිග්ලිට්ස් පෙන්වා දෙන්නේ ඉතා යහපත් තත්වයක් යටතේ වුව ද rent හෙවත් බදු කුලිය යනු රටක ආර්ථික වර්ධනයට හෝ කාර්යක්ෂමතාව වැඩි කිරීමට දායක වන සාධකයක් නො වන බවයි. නරක තත්ව යටතේ බදු කුලිය ඇත්තට ම හානිදායක වීමට ද හැකි ය. එය හානි දායක වන්නේ නියම ධනය නිපදවීමේ කටයුත්තට පදනම වන “යහපත්” ආර්ථික කටයුතු එමඟින් විස්ථාපනය කරමින් ආර්ථිකය විකෘත කිරීමක් සිදු වන නිසා ය. බදු කුලිය මඟින් වැඩි වැඩියෙන් ඉපයීමට තැත් කිරීම ආර්ථික විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබන්නේ ‘rent seeking’ හෙවත් ‘බදු කුලී ලොල් වීම’ යනුවෙනි.
සමාජයක සිටින ප්‍රතිභාපූර්ණ පුද්ගලයන් වැඩි දෙනෙක් සමාගම් ඒකාධිකාරවල බලයෙන් හෝ බැංකු හා මූල්‍ය අංශයේ වෙනත් නොයෙක් කූටෝපායෙන් හා සූදුකාර දුෂ්ට මූල්‍ය උපායමාර්ගවලින් හුදෙක් බදු කුලී ලෝලී කටයුතු මඟින් පමණක් මුදල් උපයා ගැනීමට උත්සුක වීම අනර්ථකාරී ය. මන්ද ඒ නිසා සමාජයක නියම අවශ්‍යතා සපුරන සහ නියම ධන සම්පත් උපයා ගැනීමට හේතු වන මූලික නවොත්පාදන හා පර්යේෂණ කටයුතුවල නිරත වීමට අවශ්‍ය තරම් ප්‍රතිභාපූර්ණ පුද්ගලයන් ප්‍රමාණයක් ඉතිරි නො වනු ඇතැ’යි ස්ටිග්ලිට්ස් පවසයි. ඒ හැර සිය විශ්‍රාම ජීවිතය සඳහා ඉතුරු කිරීමට හෝ තමන්ගෙන් පැවත එන්නන්ට ධනය උරුම කිරීමට හෝ බදු කුලිය නිපදවන ඉඩම් වැනි වත්කම්වල ආයෝජනය කිරීමට ඇති හැකි අය පෙලඹෙන විට නිෂ්පාදන කටයුතු වැඩි දියුණු කරන කම්හල් සහ යන්ත්‍ර සූත්‍ර ආදී ගාමක වත්කම් සඳහා කෙරෙන ආයෝජන අඩු විය හැකි ය. ඒ නිසා ඇත්ත වසයෙන් ම අප කළ යුත්තේ මුදල් විශුද්ධිකරණය සහ මූල්‍ය අංශයේ කට්ට කෛරාටික කම්වලින් ලැබිය හැකි වාසි ගැන සිහින මවමින් මූල්‍ය ව්‍යාපාර සඳහා පහසුකම් සැපයීම මත විශ්වාසය තැබීම නො ව අපේ ප්‍රතිභාපූර්ණ තරුණ තරුණියන් නවොත්පාදනයට හා නිර්මාණශීලී නිෂ්පාදනයට යොමු කරවන ආර්ථිකයක් ගොඩ නැගීමට අවශ්‍ය සාධක ඇති කිරීම යි.
ආර්ථික ක්‍රමයක් නිසි ලෙස ක්‍රියාත්මක වීමට විශ්වාසය නමැති සාධකය අත්‍යවශ්‍ය වේ. මෙය වඩාත් ම අදාළ වන්නේ බැංකු හා මූල්‍ය ආයතනවලට ය. අපට අවශ්‍ය වේලාවට අපේ බැංකු තැන්පතු ආපසු ලබාගැනීමටත් අප සංකීර්ණ මූල්‍ය මෙවලම් බැංකු හා මූල්‍ය ආයතනවලින් මිල දී ගන්නා විට රැවටිලි හා වංචාවලට ගොදුරු නො වේ යැ’යි විශ්වාස කිරීමටත් අපට හැකි විය යුතු ය. එහෙත් නොයෙකුත් රටවල බැංකු හා මූල්‍ය ආයතන කඩා වැටීම් විමසා බලන විට තවදුරටත් එකී ආයතන කෙරෙහි විශ්වාසය තැබිය නො හැකි බව පැහැදිලි වේ. එය සමස්ත ආර්ථිකය පිළිබඳ විශ්වාසයට ද අභියෝග කරයි. සිය කීර්ති නාමය වෙනුවට ක්ෂණික ලාභය තකා වැඩිදුර කල්පනා නො කිරීමේ ඇබ්බැහිකම අගය කිරීමට බැංකු පුරුදු වී ඇති බව මෑතක මූල්‍ය අංශයේ ඇතිවූ අර්බුදවලින් පැහැදිලි වේ. “සාම්ප්‍රදායික ව පැවති අවංකකම සහ විශ්වාසය පිළිබඳ කීර්තිය බැංකුවල වත්කමක් ලෙස සැලකීම අතීතයට අයත් අඳුරු නෂ්ටාවශේෂයකි” යනුවෙන් සුප්‍රකට ගෝල්ඩ්මන් සාච් බැංකුවේ අධිපති ලොයිඩ් බ්ලැන්ක්ෆයින්ගේ ප්‍රකාශයෙන් ඒ බව තහවුරු නො වන්නේ ද? ගෝල්ඩ්මන් සාච් යනු අසාර්ථක වීම සඳහා ම සුරැකුම්පත් සැලසුම් කළ ආයතනයක් බව ස්ටිග්ලිට්ස් පෙන්වා දෙයි. ඉහළ විධායකයන්ට දැවැන්ත පාරිතෝෂික මුදල් උපයා ගත හැකි කෙටි කාලීන ලාභය හඹා යෑම සඳහා ආයෝජකයන් සහ තැන්පත්කරුවන් රවටමින් ආයෝජන බැංකු හා මූල්‍ය ආයතන කටයුතු කර තිබූ ආකාරය 2008 උද්ගත වූ ගෝලීය ආර්ථික අර්බුදයට හේතු සොයා යෑමේ දී පැහැදිලි විය. ඒ අර්බුදය නිසා එක්සත් ජනපද රජයට ඩොලර් බිලියන 700ක මහජන අරමුදල් වැය කොට බැංකු සහමුලින් ම කඩා වැටීම වළක්වා ගැනීමට සිදු විය.
ස්ටිග්ලිට්ස් ඔහුගේ People, Power and Profits: Progressive Capitalism for an Age of Discontent නමැති කෘතියේ පෙන්වා දෙන අන්දමට රටවලට පොහොසත් විය හැකි ක්‍රම දෙකක් තිබේ[3]. ඉන් එක් ක්‍රමයක් වන්නේ යටත් විජිත යුගයේ දී මෙන් අනෙක් රටවල ධන සම්පත් විවිධ ක්‍රමවලින් සූරා කෑමයි. දෙවැනි ක්‍රමය වන්නේ නවොත්පාදනය සහ ශිල්පීය ප්‍රාගුණ්‍ය හෙවත් දැනුම උපයෝගී කර ගෙන ධනය නිපදවා ගැනීම යි. සමස්තයක් ලෙස ගත් විට ධනය නිපදවීම සඳහා වඩාත් උචිත ප්‍රභවය වන්නේ දෙවැනි ක්‍රමය යි.
ස්ටිග්ලිට්ස් පෙන්වා දෙන පරිදි රටවලට පමණක් නො ව පුද්ගලයන්ට ද මේ කියූ ක්‍රම දෙක අදාළ ය. ඒ අනුව නීතියේ ආධිපත්‍යයක් නොමැති රටවල නීතිය නැමීමෙන්, අයුතු නීති යොදා ගැනීමෙන්, බලහත්කාරී බලපෑමෙන් හා වහලුන් මෙන් සේවකයන් සූරා කෑමෙන් කෙනෙකුට පොහොසත් විය හැකි ය. ඇමෙරිකානු ආර්ථිකය තුළ නම් එය ඊට වඩා කූට ලෙස කළ යුතු බව ස්ටිග්ලිට්ස් පවසයි. වෙළඳපොළ තුළ තමන්ට ඇති උපක්‍රමීය මෙහෙයවුම් බලය (manipulative power) උපයෝගී කර ගෙන පාරිභෝගිකයන්ගෙන් වැඩි මිලක් අය කිරීම, පෞද්ගලික සෞඛ්‍ය සේවා සැපයීමේ දී මෙන් පාරිභෝගිකයන්ගෙන් දුරවබෝධ සංකීර්ණ ගාස්තු අය කිරීම ආදිය ඒ සඳහා ඇතැම් උදාහරණ යි. එමෙන් ම ‘ගොදුරු-භක්ෂණීය ණය දීම’(predatory lending), වංචනික ලෙස වෙළඳපොළ මෙහෙයවීම (උදා: Inside Trading) ඇතුළුව අයුතු ආකාරයේ කොටස් වෙළඳාම හෝ මූල්‍ය අංශයේ කුප්‍රකට කපටිකම් ලෙස පතළ නොයෙකුත් අනිසි ක්‍රමවලින් ද ධනය උපයා ගනු ලැබේ. ධනය කොල්ලකෑමේ තවත් ප්‍රධාන ක්‍රමයක් වන්නේ දූෂණය යි. අඩු සංවර්ධිත රටවල නම් දූෂණය යනුවෙන් බොහෝ විට හැඳින්වෙන්නේ ලියුම් කවරයක බහාලූ මුදලක් අල්ලස් ලෙස දී තමන්ට ලාභයක් සැලසෙන වරදානයක් ලබා ගැනීම යි. එහෙත් ඇමෙරිකානු ක්‍රමයේ දූෂණය එයට වඩා සංකීර්ණ බව ස්ටිග්ලිට්ස් පෙන්වා දෙයි. ආරක්ෂක අංශයේ කොන්ත්‍රාත්තුවල දී මෙන් ඉතා වැඩි මුදලක් රජයෙන් අය කර ගැනීමට හැකි වන ලෙස අනෙකුත් කොන්ත්‍රාත්තු හා ගිවිසුම් නීති සකස් කර ගැනීම මෙන් ම ඛනිජ ඉන්ධන, ආකර කර්මාන්ත හා දැව සඳහා වනාන්තර එලි කිරීම වැනි ධනය උපයා ගැනීම පිණිස පොදු දේපළ භාවිත කිරීමට අවශ්‍ය වන කටයුතුවල දී ඒ සඳහා හැකි තරම් අඩු මිලක් රාජ්‍ය භාගය වසයෙන් ගෙවීම පිණිස ගිවිසුම් ගසා ගැනීම වැනි අකටයුතු එම ක්‍රමයට අයත් වේ.
එහෙත් ඊට විකල්ප ව කෙනෙකුට නවොත්පාදන හා නව නිෂ්පාදන හඳුන්වා දීම මඟින්, අවම වසයෙන් එම නිපැයුම අන් අය විසින් වැඩිදියුණු කර හෝ අගය එකතු කර ලාභයක් ගැනීමට පෙර ටික කාලයකට හෝ විශාල ලාභයක් ලබා ගත හැකි ය. ඒ අන්දමේ ධන නිෂ්පාදනය රටක ජාතික ධනය ප්‍රමාණාත්මක ව වැඩි කිරීමට සෘජු ව ම දායක වේ. ස්ටිග්ලිට්ස් පෙන්වා දෙන අන්දමට අපට අවශ්‍ය වන්නේ එවැනි ආකාරයේ ධන නිෂ්පාදනය යි.
ගසා කෑම මඟින් පොහොසත් වීමේ එක් ක්‍රමයක් වන්නේ සමාජ පිරමීඩයේ පහළ තලවල සිට ඉහළ තලවලට ධනය උදුරා ගැනීම යි. ස්ටිග්ලිට්ස්ගේ මතයට අනුව මෙහි දී ඇත්ත වසයෙන් ම සිදු වන්නේ ධනය අලුතින් ඉපයීමකට වඩා ඉපද වූ ධනය විනාශ කිරීමකි. මේ ගසා කෑමේ ක්‍රමය බැංකු හා මූල්‍ය සමාගම් ක්ෂේත්‍රයේ ගොදුරු-භක්ෂණීය ණය ක්‍රම, ණයවරපත් හෙවත් ක්‍රෙඩිට්කාඩ්පත් මඟින් ගසා කෑම, උපක්‍රමික ව වෙළඳපොළ මෑනවීම් (manipulation) සහ කොටස් වෙළඳාමේ අකටයුතුකම් මඟින් සාක්ෂාත් කර ගනී.
“හුදෙක් තමන්ගේ අභිවෘද්ධිය තකා ම කටයුතු කරන පුද්ගලයින් සහ සමාගම්වල කටයුතු නිසා අදෘශ්‍යමාන හස්තයකින් මෙන් අවශේෂ සමාජීය අවශ්‍යතා ද ඉටු වේ” යන ඇඩම් ස්මිත්ගේ කියමන බොහෝ උජාරුවෙන් උපුටා දක්වමින් නිදහස් වෙළඳපොළ ඔජ වඩන ප්‍රවර්ධකයෝ එක් දෙයක් අමතක කරන බව ස්ටිග්ලිට්ස් පවසයි. එය නම් ඇඩම් ස්මිත්ගේ ම තවත් කියමනක් වන “එක ම වෙළඳාමක යෙදෙන මිනිසුන් විනෝදය සඳහා හෝ එක් වන්නේ කලාතුරකිනි. එහෙත් එසේ වූ විට ඔවුන්ගේ කතාබහ අවසන් වන්නේ පොදු ජනතාවට එරෙහි ව කරන කුමන්ත්‍රණයකින් හෝ මිල ඉහළ දැමීමේ උපක්‍රමයකිනි” [4] යන්නයි. නිරන්තරයෙන් ඇතිවෙන මේ තර්ජනය හේතු කොට ගෙන මීට අවුරුදු 125 කට පෙර ඇමරිකානු කොන්ග්‍රසයට වෙළඳපොළ තරඟය මඟ හරවන ක්‍රියාකාරකම් සහ තරඟය අවම කරන කුමන්ත්‍රණ තහනම් කිරීම පිණිස ඇන්ටිට්‍රස්ට් (antitrust)හෙවත් ‘ප්‍රතිභාරකාරත්ව නීති’ සම්පාදනය කිරීමට සිදු විය.
සියවස් දෙක තුනක් පැවති ධනවාදී සංවර්ධනයේ ඇතැම් ප්‍රතිඵල ප්‍රගති දායක වූ බව සැබෑවකි. එහෙත් 1970 ගණන්වල සිට අතළොස්සක් අත ධනය සමුච්චයනය (accumulation) වීම මත පදනම් වන නවලිබරල්වාදී එළඹුම එන්න එන්න ම මානව සමාජයේ යහ පැවැත්මට අභියෝගයක් වූ බව පෙන්වන සාධක එමට ය. ඒ බව නො කඩවා වැඩි වෙන ආදායම් පරතරය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සමාජ විෂමතා, ආත්මාර්ථකාමී චර්යාව උත්කර්ෂයට නැංවීම, ඉවක් බවක් නැති පරිභෝජන රටාව, මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම, වංචනික හා දූෂිත දේශපාලනය හා පරිපාලනය, සමාජ ආරක්ෂණය සහ ඇතුළු පොදු සේවාවල අවනතිය, ජන වාර්ගික හා ආගමික ගැටුම්, ස්වාභාවික සම්පත්වලට හා පරිසරයට සිදුවී ඇති හානිය මෙන් ම වැඩි වෙන ගෝලීය උණුසුම නිසා ඇතිවිය හැකි අස්ථාවර භාවය පිළිබඳ විවිධ සාධකවලින් ද හෙළි වේ.
එහෙත් අසම්පූර්ණ ව අත්හදා බැලුණු ඒ නිසාම සාර්ථක ව සාක්ෂාත් කර ගත නො හැකි වූ තවත් වැදගත් විකල්පයක් ද වෙයි. එය පදනම් වී ඇත්තේ ප්‍රජා පැවැත්ම පිළිබඳ සියලු මාර්ග ප්‍රජාව විසින් ම අත්පත් කර ගත යුතු ය, ප්‍රජා සන්නිරීක්ෂණය යටතේ ප්‍රජා යහපත සඳහා මෙහෙයවිය යුතු ය යන අදහස මතය. මෙහි දී මූලික අරමුණ වන්නේ සියල්ල මෙන් ම සියලු දෙනා ම ද ස්වාර්ථකාමී ‘හෝමෝ එකොනොමිකස්’ ගැන බලාපොරොත්තු තබා කටයුතු කරනවාට වඩා පොදු යහපත මුල් කර ගෙන කටයුතු කළ යුතු බව යි. ඊට අනුව දේශපාලනය යනු නූතන ධනවාදී ක්‍රමයේ දුර්වල ශරීර සෞඛ්‍ය ඊනියා යහපාලනයක් මඟින් යහතින් පවත්වා ගෙන යා හැකි යැ’යි විශ්වාස කිරීම නො වේ. ඒ වෙනුවට මේ විකල්පයේ දී දේශපාලනය යනුවෙන් හැඳින්වෙන්නේ පොදු බව, සහ පොදු යහපත භුක්ති විඳිය යුත්තේ පොදුවේ ය යන අවබෝධය ප්‍රායෝගික ව සහ දයාන්විත ව ක්‍රියාවට නැංවීමයි.
මේ සඳහා කෙරෙන දැනුවත් සාකච්ඡාව තුළ අඩ සිය වසක් තිස්සේ උත්කර්ෂණයට නංවන ලද නවලිබරල්වාදී ආර්ථික චින්තනයේ පැහැදිලි අසාර්ථකත්වය සහ එහි ප්‍රතිඵලයක් ලෙස මුල් බැස ගත් ධනය ජුගුප්සාජනක ලෙස කොල්ලකෑම හා අතළොස්සක් අත ධනය සංකේන්ද්‍රණය වීම සහ මානවයා ආත්මාර්ථය ම ප්‍රමුඛ කොට ගත් හුදු ආර්ථික සත්වයෙක් ලෙස සැලකීමේ ප්‍රතිවිපාක තාර්කික විනිශ්චයකට ලක් විය යුතු ය. එමෙන් ම සමාජ හා ආදායම් විෂමතාව අවම කිරීම සහ අත්‍යවශ්‍ය පරිසර පද්ධති සංරක්ෂණය හා ගෝලීය උණුසුම වැඩි වීම පිළිබඳව කාර්යක්ෂම හා සාධාරණ විසඳුම් සොයා ගත යුතු ය. මේවායින් බොහෝමයක් දේශපාලන ඒකකයක් වසයෙන් ජාතික රාජ්‍ය මට්ටමෙන් පමණක් විසඳීමට නො හැකි කරුණු නිසා කලාපීය හා ගෝලීය මහජන සහයෝගිතාව මත විසඳුම් ගෙන ඒමේ හැකියාව ගොඩනගා ගත යුතු ය. ඒ සඳහා පෙළ ගැසිය යුතු දේශීය, කලාපීය හා ගෝලීය මට්ටමේ මහජන සහභාගිත්වය හා සන්නිරීක්ෂණය තහවුරු කිරීමට උචිත සංවිධානාත්මක හා ව්‍යුහාත්මක වෙනස්කම් නිශ්චය කර ගත යුතු ය. ඒ අනුව අපේ අරමුණ විය යුත්තේ නවලිබරල්වාදය විසින් උත්කර්ෂණයට නංවන ලද ධනවාදී වටිනාකම් වෙනුවට පොදු අයිතිය, පොදු යහපත, අන්‍යෝන්‍ය සහයෝගිතාව, සහරක්ෂණය සහ දයානුකම්පාව පෙරදැරි කරගත් සජ්ජන සමාජයක් ගොඩ නැගීමයි.
පොදු යහපත මුල්කරගත් සජ්ජන සමාජයක් දේශීය, කලාපීය හා ගෝලීය වසයෙන් බිහි කිරීමට අත්‍යවශ්‍ය එකිනෙක මත යැපෙන, සාකච්ඡා කොට සාක්ෂාත් කර ගත යුතු වැදගත් සංක්‍රාන්තීය කොන්දේසි ගණනාවක් තිබිය හැකි ය. ඒ සඳහා අවශ්‍ය වන සංවිධාන ව්‍යුහය හා ව්‍යවස්ථාපිත විධි විධාන කෙබඳු ස්වරූපයක් ගත යුතු ද යන්න පිළිබඳ නිසි අවධානයක් යොමු කිරීමට නම් හඳුන්වා දීමට බලාපොරොත්තු වන නව ආර්ථික එළඹුම පිළිබඳව අදහස් අප පළමුවෙන් නිරවුල් කර ගත යුතු ය. එකී අදහස්වලින් වැදගත් යැ’යි සැලකිය හැකි කිහිපයක් මෙසේ පෙළ ගැස්විය හැකිය:
පුද්ගලික ධනය අසාධාරණ ලෙස ඒකරාශි වීම වළක්වා ධනය ඵලදායක ලෙස ප්‍රතිව්‍යාප්ත- කිරීම, මුදල් විශුද්ධිකරණය හා සැඟවීම වැළැක්වීම, බදු ආදායම කාර්යක්ෂම හා සාධාරණීකරණය කිරීම, සමාජ වගකීමක් ලෙස සැමට ‘සාර්වත්‍රික මූලික ආදායමක්’ (Universal Basic Income)සහතික කිරීම, පොදු සේවා කාර්යක්ෂම කිරීම, එසේ ම පොදු යහපත මුල්කරගත් ජනතා සහභාගිත්වය ඉහළ නැංවීම පිණිස සහ නිවැරදි හා පරිපූර්ණ තොරතුරු සැපයීම මඟින් පුරවැසියන්ගේ ඥානෝද්දීපනය (enlightenment) කළ හැකි මහජන සේවා විද්‍යුත් මාධ්‍ය ද (Public Service Broadcasting) ඇතුළුව බහුත්වවාදී ජනමාධ්‍ය හා සංනිවේදන පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම, දැනුම ලබා ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ අරමුණින් අධ්‍යාපනයේ විචාරශීලී බව ඉහළ නැංවීම හා සැමට සුභාවිත හා ගුණාත්මක අධ්‍යාපන අවස්ථා සැලසීම, වැඩ කරන සතිය දින හතර දක්වා කෙටි කිරීම මඟින් සැමට පවුල හිත මිතුරන් හා ප්‍රජාව සමඟ මෙන් ම තමා හා ගත කරන ගුණාත්මක කාලය (quality time) වැඩි කර ගැනීමට ඉඩ සලසා දීම සහ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය ආර්ථිකය ප්‍රතිසංස්කරණ කිරීමට දායක වන කරුණු එකී නිරවුල් කර ගැනීමේ කටයුත්තේ දී සවිස්තරව සාකච්ඡා කළ හැකි ය.
මේ කාර්යයේ දී වැදගත් වන්නේ නවලිබරල්වාදී වර්ධන වේගය මුල්කරගත් ආර්ථික චින්තනය වෙනුවට පොදු යහපත, සදාචාරය, අන්‍යෝන්‍ය සහයෝගය, හා පරාර්ථකාමී තෘප්තිය වර්ධනය වෙන අන්තර්ග්‍රහණීය (inclusive) තිරසාර සංවර්ධනයකට තුඩු දෙන පරිසර සංවේදී මෙහෙවර ආර්ථික(mission economy) එළඹුමක් අනුගමනය කිරීම යි. ඒ සඳහා නව පරපුරට අයත් ආර්ථික විද්‍යාඥයන්ගේ අදහස් විමසමින් නවලිබරල්වාදී ආර්ථික චින්තනය අතික්‍රමණය කළ හැකි, සමාජ අසමානතාව අවම කරන, හුදු ස්වාර්ථකාමය වෙනුවට දයාව හා සහජීවනය මත පදනම් වන සමාජයක් ඇති කර ගැනීමට උචිත ආර්ථික චින්තනයක් බිහි කර ගැනීමේ හැකියාව අප සලකා බැලිය යුතු ය. ඒ අනුව ඇලන් බදියු හුවා දක්වන යුක්තිය සාක්ෂාත් කර ගැනීමේ දේශපාලනයක ඵලයක් ලෙස බිහි වෙන නව දේශපාලන සුසමාදර්ශයක් මඟින් තිරසාර සංවර්ධනය තහවුරු කරමින් නිෂ්පාදන ආර්ථිකය ප්‍රතිසංවිධානය වන අන්දම ද අප ගැඹුරින් සාකච්ඡාවට ලක් කළ යුතු ය.
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022
[1] Badiou, Alain with Lancelin, Aude, (2019) In Praise of Politics, Medford: Polity Press, , p.15
[2] Brett Christophers. (2021) Rentier Capitalism: Who Owns the Economy, and Who Pays for It?, London: Verso, p.
[3] Stiglitz, J (2020) People, Power and Profits: Progressive Capitalism for an Age of Discontent, London: Penguin, p.57
[4] Stiglitz, J (2020) People, Power and Profits: Progressive Capitalism for an Age of Discontent, London: Penguin, p 59