15. නව ලිබරල්වාදයේ ආගමනය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

ඇඩම් ස්මිත්ගේ (1723-1790) ආදිකර්තෘත්වයෙන් බිහි වූ සම්භාව්‍ය ලිබරල් ආර්ථික දර්ශනයට පදනම වූයේ ‘මනුෂ්‍යයා වනාහි නිදහස් වෙළඳපොළක කෙරෙන තාර්කික ගනුදෙනු මඟින් සිය පුද්ගලික ද්‍රව්‍යයමය අවශ්‍යතා සපුරා ගන්නා සත්වයෙකි’ යන්නයි. මේ දැක්මට අනුව දේශපාලනය හා ආර්ථිකය යනු බොහෝ දුරට එකිනෙකින් වෙන් ව පවත්වා ගත යුතු ක්ෂේත්‍රයෝ ය. එහෙත් මේ වෙනස පවත්වා ගෙන යෑමේ දී ආර්ථික ක්ෂේත්‍රය සුවිශේෂ කොට සැලකුණි. මන්ද ස්මිත්ගේ මතය අනුව ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවේ දේශපාලනික මැදිහත් වීමකින් තොර ව වෙළඳපොළ  තුළින් ම ඇතිවෙන නියාමනයට අනුව නිෂ්පාදන හා ගනුදෙනු කටයුතු කරන විට දී බැවිනි. ඒ අනුව ස්වාර්ථය තකා කටයුතු කරන පුරවැසියන්ගේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වීම වෙනුවට රජය විසින් කළ යුතු වන්නේ හුදෙක් තරඟකාරී වෙළඳපොළ මඟින් නිර්බාධක ව ආර්ථික කටයුතු කර ගෙන යෑමට ඉඩ සලසා දීම යි. ඒ කෙසේ වුවද වෙළඳපොළ අසමර්ථකම් ද ඇතිවිය හැකි බව ඇඩම් ස්මිත් වටහා ගෙන තිබුණි. ඒ නිසා අවශ්‍ය විට දී පමණක් ආර්ථිකය සම්බන්ධයෙන් නිශ්චිත පටු ක්ෂේත්‍රයක් තුළ රජයට තීරණාත්මක ව මැදිහත් විය හැකි තර්කනයක් ද ඔහු විසින් ගොඩ නගා තිබුණි. ඒ පටු ක්ෂේත්‍රය තුළ ගිවිසුම් නීතිය ක්‍රියාත්මක කිරීමට අතිරේක ව රජයේ කාර්යය වූයේ වෙළඳ ඒකාධිකාර ඇතිවීම වැළැක්වීම සහ වෙළඳපොළ විකෘති කිරීම් ඇති කිරීමට තැත් කිරීම වැළැක්වීම යි.

ඉන් පසු ඩේවිඩ් රිකාඩෝ(1772-1823) ඉදිරිපත් කළ සාපේක්ෂ වාසිය (comparative advantage) පිළිබඳ මතය නිදහස් වෙළඳපොළ උත්කර්ෂණයට නංවන සම්භාව්‍ය ලිබරල් ආර්ථිකවාදීන්ගේ වැදගත් ආදර්ශ පාඨයක් බවට පත් විය. එක් එක් රටවල් තම තමන්ට අවශ්‍ය සියලු ම දේ නිෂ්පාදනය කිරීමට තැත් කරනවාට වඩා තමන් සතු විශේෂතා අනුව ලෝක වෙළඳපොළේ දී සංසන්දනාත්මක ව තමන්ට වැඩි වාසියක් ලැබිය හැකි දේවල් පමණක් නිපදවීම වාසිදායක බව රිකාඩෝගේ මතය විය. උදාහරණයක් ලෙස එංගලන්තයට වඩා ලාභයට වයින් නිෂ්පාදනය කිරීමට පෘතුගාලයට හැකි ය. අනෙක් අතට පෘතුගාලයට වඩා ලාභයට රෙදිපිළි නිපදවීමට එංගලන්තයට හැකි ය. එ අනුව තම තමන් සතු සාපේක්ෂ වාසිය අනුව භාණ්ඩ නිපදවා කරන වෙළඳ හුවමාරුවකින් රටවල් දෙකට ම වඩා වාසි සැලසේ. තනි රටක් තුළ සියලු විශේෂඥතා තිබුණ ද මෙසේ සාපේක්ෂ වාසිය මත වෙළඳාම කිරීම සියලු රටවලට වාසිදායක බව රිකාඩෝ තර්ක කළේ ය.    

ඒ වන විටත් රජවරුන්ගේ සෘජු පාලනය වැඩි වසයෙන් පැවති යුරෝපීය රටවල විසූ සම්භාව්‍ය ලිබරල් ආර්ථිකවාදීන් නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් සැලකුවේ තම තමන්ගේ ඕනෑ එපාකම් තමන්ට අභිමත ලෙස විචාරශීලී ව සාක්ෂාත් කර ගැනීමට හැකි සමානයන් ලෙසයි. ස්වාමිත්වකාමි පුද්ගලික දේපළ ආරක්ෂා කිරීම සහ කොන්ත්‍රාත්තු ගිවිසුම් නීත්‍යනුකූල ව බලාත්මක කිරීම නිසි ලෙස ඉටු වන්නේ නම් රට තුළ සම්පත් වෙන් කර ගැනීමට සහ වැඩි සමානත්වයක් ඇති කර ගැනීමටත් ජාතීන් අතර සාමකාමී වාණිජ කටයුතු කර ගෙන යෑමටත් කාර්යක්ෂතම හා ඵලදායක ම යන්ත්‍රණය වෙළඳපොළ නමැති ‘අදෘශ්‍යමාන හස්තය’ බව සම්භාව්‍ය ලිබරල් ආර්ථිකවාදීහු තර්ක කළහ.

එමෙන් ම එතෙක් පැවති ආර්ථික චින්තනය වූ ‘වාණිජවාදයේ’ (mercantilism) බිඳවැටීමටත් සම්භාව්‍ය ලිබරල්වාදීන්ගේ අදහස්  දායක විය. යුරෝපීය රජවරුන්ගේ  අනුග්‍රහයෙන් එතෙක් පවත්වා ගෙන ගිය වාණිජවාදී ආර්ථික සංකල්පයට අනුව ලෝකයේ පවතින්නේ නිශ්චිත වත්කම් ප්‍රමාණයකි. එබැවින් ඉන් වැඩි ම ප්‍රමාණයක් අත්පත් කර ගැනීම රජතුමාගේ අරමුණ විය යුතු යැ’යි අදහස් විණි. ඒ අනුව යටත් විජිතවලින් ධනය සූරා ගැනීම හැරෙන විට නිර්යාත භාණ්ඩ අලෙවි කොට ධනය අත්පත් කර ගත යුතු ය. එහෙත් එම වාණිජවාදයට අනුව දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීම පිණිස බදු අය කිරීම මඟින් ආනයනය හැකි තරම් සීමා කළ යුතු විය.[1]

 ඒ අතර 19වන සියවසේ විසූ සම්භාව්‍ය ලිබරල් ආර්ථිකවාදීන්ගේ අනුගාමිකයෝ බොහෝ ආර්ථික අමාරු කම්වලට හේතුව ඕනෑවට වඩා රජයේ ඇඟිලි ගැසීම් නිසා ඇතිවෙන අසමත්කම බව මහජනයාට පෙන්වා දුන්හ. රජය මැදිහත් නොවෙන්නේ නම් වෙළඳපොළ යනු ස්වාභාවික ව ම සාර්ථකව පවත්වා ගෙන යා හැකි යන්ත්‍රණයක් බව ද ඔවුහු තර්ක කළහ. ඔවුන්ගේ අදහස් 18වැනි සියවසේ යුරෝපීය රාජකීයයන් බලයෙන් පහ කිරීමට තුඩු දුන් විප්ලව ජනිත වීමටත්, රජය සහ පල්ලිය එකිනෙකින් වෙන් කර තැබීමටත් හේතු විය.

එහෙත් 1929 සිට 1933 දක්වා මාස 43ක් තිස්සේ පැවති මහා ආර්ථික අවපාතයෙන්[2]සහ දරුණු ලෝක මහා යුද්ධ දෙකකින් හෙම්බත් වූ විසිවැනි සියවසේ මුල්භාගය තුළ සම්භාව්‍ය ලිබරල් ආර්ථිකවාදයේ හොඳ පණ ගොස් තිබුණි. එතැන් සිට 1980 ගණන්වල දී නවලිබරල්වාදීන් විසින් අලුත් ඇඳුමින් සරසා කරළියට ගෙන එනු ලබන තෙක් සම්භාව්‍ය ලිබරල් ආර්ථික මතවාදවලට කර බාගෙන සිටීමට සිදු විය. ඒ අතර කාලය තුළ වැඩි බලපෑමක් ඇති කිරීමට සමත් ආර්ථික චින්තනය වූයේ රැකියා නියුක්තිය වැඩි කිරීම පිණිස ජෝන් මේනාඩ් කේන්ස් සහ කාල් පොල්යානි වැනි ආර්ථික චින්තකයන් යෝජනා කළ රාජ්‍ය ආයෝජන මඟින් ආර්ථිකය උත්තේජනය කිරීමේ වැඩ පිළිවෙළයි. නවලිබරල්වාදය ගැන ගැඹුරින් විමසීමට පෙර  “රජය යනු හුදු රාත්‍රි මුරකාරයෙක් පමණක් නො වේ” යනුවෙන් සම්භාව්‍ය ලිබරල් ආර්ථික වාදය ගර්හාවට ලක් කළ කේනීසියානු ආර්ථික දැක්ම පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීම වැදගත් ය.

නිරන්තර ආර්ථික අර්බුදවලින් පෙන්නුම් කරන්නේ ධනවාදයේ අනවරත බිඳ වැටීම සහ විප්ලවකාරී නිර්ධන පංතියේ ජයග්‍රහණය බව පැවසූ මාක්ස්වාදීන් සමඟ කේන්ස් සහ ඔහුගේ සමානාත්මතා ලිබරල්වාදීහු එකඟ නොවූහ. විප්ලව ඇතිවීම ආර්ථික ප්‍රතිසංස්කරණ මඟින් වැළැක්වීමට අදිටන් කර ගෙන සිටි බ්‍රිතාන්‍ය අගමැති (1941-1951) ක්ලෙමන්ට් ඇට්ලි සහ ඇමෙරිකානු ජනාධිපති (1933-1945) ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් පුද්ගල ස්වායත්ත භාවය සහ දේපොළ අයිතිය ආරක්ෂා කිරීමට තරයේ කැප වූ අය වූහ. එහෙත් ඒ අතර ම නූතන ධනවාදය ශක්තිමත් රාජ්‍ය නියාමනයක් මඟින් පාලනය කළ යුතු බව අවබෝධ කර ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් ඔවුහු සම්භාව්‍ය ආර්ථිකවාදයට ද දොස් පැවරූහ.

මේ අතර ආර්ථික අර්බුදවල දී නව රැකියා ඇති කර වැටුප් ආදායම් ලබන පාරිභෝගිකයන් වැඩියෙන් වියදම් කිරීම සඳහා පෙලඹවීමට රැකියා සැපයීමේ දැවැන්ත ව්‍යාපෘති සඳහා රජය විසින් ආයෝජන කළ යුතු බව කේන්ස් පවසා තිබුණි. ඒ අනුව ආර්ථික අර්බුදයක දී වෙළඳපොළ යන්ත්‍රණය ස්වයං සිද්ධ ලෙස නිවැරදි වෙමින් යළිත් පූර්ණ සේවා නියුක්තිය ඇති කරන බව කී සම්භාව්‍ය ලිබරල් ආර්ථිකවාදී මතය ඔහු අභියෝගයට ලක් කළේ ය. කේන්ස්ට අනුව රැකියා වියුක්තිය වැඩි වන්නේ ආර්ථිකයක පුද්ගලික ආයෝජන හා වියදම් අඩු වීම නිසා ය. මේ අඩු වීම සම්බන්ධයෙන් ඔහු දෝෂාරෝපණය කළේ කෙටි කාලීන ලාභ ප්‍රයෝජන තකා වෙළඳපොළ අස්ථාවර කිරීමට හේතු වෙන සංශයාත්මක ආයෝජන කිරීමට නිතර පෙලඹෙන, කිසිදු දිගු කාලීන දැක්මක් නැති තෘෂ්ණාධික ආයෝජකයන්ට යි. වෙළඳපොළ මූලධර්ම සඳහා කැප වූවත් නියාමනය නො කළ වෙළඳපොළකට කැමැත්තක් නො දැක්වූ කේනීසියානුවාදය දුම්රිය සේවය හා බලශක්ති සැපයුම වැනි තීරණාත්මක පොදු සේවා නිරන්තරයෙන් රජයේ හිමිකාරිත්වය යටතේ පැවතිය යුතු බවට උපදෙස් දුන්නේ ය.

දෙවැනි ලෝක මහා යුද්ධය නිමා වීමෙන් පසු ලෝක ආර්ථිකය සැලසුම් කිරීම පිණිස එක්සත් ජනපදයේ බ්‍රෙටන්හුඩ් හි 1944 පැවති අන්තර්ජාතික රැස්වීමට සහභාගී වූ බ්‍රිතාන්‍ය නියෝජිත කණ්ඩායමේ නායකත්වය දරනු ලැබුවේ කේන්ස් විසිනි. මේ  රැස්වීමේ දී ගත් තීරණයකට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවනු ලැබී ය. ඒ හැර යුරෝපය නැවත ගොඩ නැගීම පිණිස ණය ආධාර සැපයීමට පසු කලක ලෝක බැංකුව යන ප්‍රකට නමින් හැඳින් වූ ‘යළි ගොඩනැගීම සහ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික බැංකුව’ ද පිහිටු වීය. එහෙත් ලෝකය පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල නොයෙකුත් කාර්මික ව්‍යාපෘති ඇරඹීම පිණිස ණය ආධාර සැපයීමට හැකි වන සේ එම වරම 1950ස් ගණන්වල දී ම තවත් පුළුල් විය. අනතුරු ව නොයෙකුත් බහුපාර්ශ්වීය වෙළඳ ගිවිසුම්  බලාත්මක කරන යන්ත්‍රණයක් ලෙස 1947 දී GATT( General Agreement on Tariffs and Trade) යනුවෙන් හැඳින්වෙන තීරු බදු සහ වෙළඳාම පිළිබඳ පොදු ගිවිසුම ඇති කර ගන්නා ලදි. එහි අනුප්‍රාප්තිකයා වසයෙන් 1995දී නව ලිබරල් ආශිර්වාදය යටතේ WTO හෙවත් ලෝක වෙළඳ සංවිධානය පිහිටුවනු ලැබීය. මහත් මතභේදවලට තුඩු දුන් නවලිබරල්වාදි නිදහස් වෙළඳ  ගිවිසුම් ප්‍රවර්ධනය කිරීමේ මූලස්ථානය වසයෙන් මේ ලෝක වෙළඳ සංවිධානය සැලකුණි.

කේනීසියානු අදහස්වල ආභාසයෙන් මෙහෙයවන ලද දේශපාලනය රැජයූ 1945 සිට 1975 පමණ දක්වා වු කාලය ඇතැම් ආර්ථික විද්‍යාඥයන් හඳුන්වන්නේ “පාලිත ධනවාදයේ ස්වර්ණමය යුගය” (‘golden age of controlled capitalism’)ලෙස යි. රටවැසියන් අතර බෙහෙවින් ප්‍රසාදයට ලක් වූ  ස්වීඩන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුභසාධනයට අනුරූප ව ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් ජනාධිපතිවරයා දියත් කළ New Deal හෙවත් “නව ගනුදෙනුව” නමැති වැඩපිළිවෙළ මෙන් ම බ්‍රිතාන්‍ය අගමැති ක්ලෙමන්ට් ඇට්ලි 1945 දී දියත් කළ බ්‍රිතාන්‍ය මාදිලියේ සමාජ සුභසාධන වැඩ සටහන ද 1963-1969 දක්වා ඇමෙරිකානු ජනාධිපති ව සිටි ලින්ඩන් බී ජොන්සන් දියත් කළ Great Society Programme හෙවත් ‘ශ්‍රේෂ්ඨ සමාජීය වැඩ සටහන’ නමින් හැඳින් වූ වැඩ පිළිවෙළ  කේනීසියානුවාදය අනුදත්  පාලිත ධනවාදය යටතේ ක්‍රියාත්මක වූ ඒවා ය. කේනීසියානු ආර්ථික දර්ශනයේ ආකර්ෂණය බටහිර ජාතීන්ගේ දේශපාලනය තුළ කෙතරම් බලපෑමක් ඇති කළා දැයි කිව හොත් පාලිත ධනවාදයේ ප්‍රතිඵලවලින් උද්දාමයට පත්  ඇතැම් පණ්ඩිතයෝ සියලු දෘෂ්ටිවාදී විවාදවල අවසානය එළඹ ඇතැ’යි ද ප්‍රකාශ කළහ. කේනීසියානු ආර්ථික චින්තනයට අනුව රට තුළට එන සහ රටින් පිටවෙන මුදල් සංසරණය හැකි තරම් දුරට රජයේ පාලනයට නතු විය යුතු විය. ඒ හැර සමුච්චයනය වෙන ධනය අනුව පොහොසත් ධන හිමියන් සහ ලාභ ලබන සමාගම් විසින් අනුක්‍රමයෙන් වැඩි වෙන ලෙස අයබදු ගෙවිය යුතු විය. ඒ නිසා වැඩි වූ බදු ආදායමෙන් මහජන සුභසාධනය ද සැලකිය යුතු ලෙස පුළුල් කිරීමට ආණ්ඩුවලට හැකි විය. ඒ අනුව වැඩි වෙන වැටුප් ආදායම සහ සමාජ සේවා පහසුකම් නිසා ගෝලීය උතුරේ පිහිටි පොහොසත් රටවල සේවකයන්ට අපහසුවකින් තොර ව මධ්‍යම පංතියට එක්වීමට අවස්ථාව ලැබුණි.

කේනීසියානුවාදය බටහිර දේශපාලනයේ කෙතරම් මුල් බැස ගෙන තිබුණේ දැ’යි කිව හොත් 1970 තරම් පසු කාලයක දී කොන්සර්වෙටිව් රිපබ්ලිකන්වාදියෙකු වූ ඇමෙරිකානු ජනාධිපති (1969-1974) රිචඩ් නික්සන් පවා “අපි සියල්ලෝ ම දැන් කේනීසියානුවාදීයෝය” යැ’යි පැවසීය. ක්‍රියාශීලී ප්‍රබල රජයක්, නියාමනය කළ කර්මාන්ත ක්ෂේත්‍රයක්, පොහොසතුන්ට වැඩි බදු සමඟ සැමට පුළුල් සුභසාධනයක් සහිත ව ලිබරල්වාදයට නූතන සමානාත්මතාවාදී තේරුමක් ගෙන දුන්නේ රාජ්‍යයේ නිශ්චිත මැදිහත් වීම සහ නියාමනය කරන ලද වෙළඳපොළ කේන්ද්‍රීය සාධකය කරගත් ඒ කේනීසියානු ආර්ථික දෘෂ්ටිය යි.

දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසු ගත වූ දශක තුන තුළ දී ඒ නූතන සමානාත්මතා ලිබරල්වාදය විසින් විස්මය ජනක ආර්ථික වර්ධන වේගයක්, වැඩි වැටුප්, අඩු උද්ධමනය සහ පෙර නො වූ විරූ තරම් ද්‍රව්‍යයමය යහපැවැත්මක් සහ සමාජ ආරක්ෂණයක් බටහිර රටවල වැසියන්ට අත් කර දුන්නේ ය.

එහෙත් ඒ පාලිත ධනවාදයේ මේ ස්වර්ණමය යුගය 1970 ගණන්වල ඇතිවූ දරුණු ආර්ථික අර්බුදයත් සමඟ ඇනහිටියේ ය. ඛනිජ තෙල් නිපදවන මැදපෙරදිග ප්‍රමුඛ ඔපෙක් රටවල් විසින් හිටි හැටියේ තෙල් මිල ඉහළ දමනු ලැබීම නිසා තෙල් මිල තෙගුණයකින් ඉහළ ගියේ ය. ඒ හා සමඟ උද්ධමනය පිම්මේ දිව ගිය අතර සමාගම්වල ලාභය අඩු වීම ආදිය නිසා රැකියා විරහිත බව උග්‍ර විය. මේ අර්බුදය නිසා සම්භාව්‍ය ලිබරල්වාදයේ ඇතැම් අංගවලට පණ පිඹීමෙන් ගෝලීයකරණය පිළිබඳ අලුත් කොන්දේසි ඉදිරිපත් කරමින් ඉස්මතු වීමට නව ආරක ලිබරල්වාදීන්ට ඉඩ සැලසුණි.

මේ නවලිබරල්වාදීහු නිදහස් වෙළඳාම සහ නිදහස් වෙළඳපොළ ලොව පුරා පතුරවන ආර්ථික මොඩලයක් වෙනුවෙන් කැප වුණු පොදු දේශපාලන හා දෘෂ්ටිවාදී දැක්මක් වෙනුවෙන් පෙනී සිටියහ. එහෙත් අදාළ සමාජ සන්දර්භයට අනුව ඔවුහු සිය න්‍යායයේ නිදහස් වෙළඳපොළ වැනි ඇතැම් අංග වැඩියෙන් අවධාරණය කළ හ. කේනීසියානුවාදීන්ගේ  ගර්හාවටත් සිය අනුගාමිකයන්ගේ ඉමහත් ප්‍රසාදයටත් ලක් වූ නවලිබරල්වාදීන් 1980 ගණන්වල මුල් භාගය වන විට ඊළඟ විසිපස් වසර පුරා රජ කළ ලෝක ආර්ථික සහ දේශපාලනික න්‍යාය පත්‍රය සකස් කිරීමට සමත් වූහ. ඔවුන් තර්ක කළ අන්දමට 1970 ගණන් පුරා කාර්මික රටවල දක්නට ලැබූ  අධික උද්ධමනය සහ අසතුටුදායක ආර්ථික වර්ධනයට හේතු වුණේ ආර්ථිකය කොර කරන ආණ්ඩුවේ රෙගුලාසි, සීමාව ඉක්මවා යන පොදු වියදම් සහ අන්තර්ජාතික වෙළඳාම සම්බන්ධ ඉහළ තීරු බදු  පැනවීමයි.  මේ තර්කයට බටහිර ලෝකයේ පොදු පිළිගැනීමක් ලැබුණු පසු නවලිබරල්වාදීන්ගේ ඊළඟ පියවර වූයේ ගෝලීය දකුණ සම්බන්ධයෙන් ද සංවර්ධනයට බාධකයක් ව ඇත්තේ මෙකී සාධක බව ඒත්තු ගැන්වීම යි.

ඒ අනුව ඉදිරිපත් කළ නවලිබරල්වාදී සංවර්ධන න්‍යාය පත්‍රය  මුලික වසයෙන් ම ‘Structural Adjustment Programme’ හෙවත් ‘ව්‍යුහාත්මක ගැළපුම් ක්‍රියාමාර්ගය’ සහ ජාත්‍යන්තර නිදහස් වෙළඳ ගිවිසුම් මත පදනම් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව මඟින් සපයනු ලබන ණය ආධාර මත පදනම් වූ එකී ව්‍යුහාත්මක ගැළපුම් ක්‍රියාමාර්ගයට රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම, නිර්බාධක වෙළඳපොළ ප්‍රවර්ධනය සහ රාජ්‍ය ගිණුම් හිඟය අවම කිරීම වැනි කොන්දේසි ඇතුළත් විය. එමඟින් සියලු ආකාරයේ රාජ්‍ය සහනාධාර සහ පොදු සේවා වෙනුවට නිදහස් වෙළඳපොළ බලවේගවලට නිර්බාධක ව ඉඩ ලබා දීම පොදු සංවර්ධන ප්‍රතිපත්තිය වසයෙන් ප්‍රවර්ධනය කෙරිණි.

ඒ වන විට ණය බරින් මිරිකී සිටි සංවර්ධනය වෙමින් පැවති රටවලට ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ණය පහසුකම් ලබා ගැනීමට මෙකී නවලිබරල්වාදී න්‍යාය පත්‍රය අනුගමනය කිරීමට සිදු විය. 1991දී සෝවියට් දේශය කඩා වැටීම සහ කොමියුනිස්ට් චීනයේ වෙළඳපොළ පාදක ප්‍රතිසංස්කරණ ශීඝ්‍ර කිරීම නිසා නවලිබරල්වාදී ආර්ථික මොඩලය සමකාලීන ආර්ථික චින්තනය තුළ ඉන් පෙර නොවූ විරූ ආධිපත්‍යක් අත්පත් කර ගත්තේ ය. 

නවලිබරල්වාදය හෙවත් Neoliberalism යන යෙදුම මුල් වරට භාවිත වුණේ 1938 පැරිසියේ පැවති රැස්වීමක ය. ඔස්ට්‍රියානු සම්භවයක් තිබූ ලුඩ්විග් වොන් මිසෙස් සහ ෆෙඩ්රික් වොන් හයෙක් එම රැස්වීමට සහභාගි වූ ආර්ථික විද්‍යාඥයන් දෙදෙනෙකි. මේ දෙදෙනා ම 1933-1945 දක්වා ඇමෙරිකානු ජනාධිපති ව සිටි ෆ්‍රෑන්ක්ලින් ඩි රූස්වෙල්ට්ගේ New Deal හෙවත් ‘නව ගනුදෙනුව’ නම් සුභසාධන වැඩපිළිවෙළ සහ 1945-1951 දක්වා බ්‍රිතාන්‍යයේ ලේබර් පාක්ෂික අගමැති ක්ලෙමන්ට් ඇට්ලිගේ මෙහෙයවීමෙන් ගොඩ නැ‍ඟෙමින් තිබූ සුභසාධන රාජ්‍ය මඟින් කිසියම් දුරකට  නිරූපණය කළ ‘සමාජ ප්‍රජාතන්ත්‍රවාදය’ (social democracy) සැලකුවේ නාසිවාදය හා කොමියුනිස්ට් වාදයට අනුරූප වූ සමූහකරණය කිරීමේ වෑයමක් ලෙසිනි. වෙන්ඩි බ්‍රවුන්  පෙන්වා දෙන අන්දමට හයෙක්ගේ මතය අනුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ නරක ම වැරැද්ද වන්නේ සම්ප්‍රදාය හා චාරිත්‍ර වාරිත්‍ර මඟින් ඓතිහාසික ව බිහි වී ඇති සුපිළිවෙළ වෙනුවට තර්ක බුද්ධිය මත පදනම් ව සමාජය හැඩ ගැස්වීම සඳහා මහා සැලැස්මක් පිළියෙළ කිරීම යි[3].

1930 ජෝන් මේනාඩ් කේන්ස් Treatise on Money නමැති සිය කෘතිය පළ කොට වසරක් ගෙවී ගිය පසු හයෙක් එම කෘතිය විවේචනය කරමින් කේන්ස්ගේ අදහස් විවාදයට ලක් කළේ ය. කේන්ස්ට අනුව රැකියා වියුක්තියට සහ සම්පත් උපයෝගී කර ගැනීමට නො හැකි වීමට හේතුව ඵලදායක ඉල්ලුමක් නො පැවතීම යි. එහෙත් හයෙක් සිය විචාරයෙන් තර්ක කළ අන්දමට ඒවාට හේතු වූයේ ඊට පෙර පැවති පහසුවෙන් මුදල් ලබා ගැනීමට හැකි වැඩසටහන් සහ කෘත්‍රිම ලෙස පහත දැමූ පොලී අනුපාතයන් ය. “සමාජ සාධාරණත්වය පිළිබඳ විශ්වාසය විසින් දේශපාලන ක්‍රියා මෙහෙයවන විට අනුක්‍රමයෙන් සිදු විය හැකි දෙය වන්නේ ඒකාධිපති ක්‍රමයක් කරා යෑමයි” [4]යනුවෙන් හයෙක් ලීවේ ය.

1944 දී පළ කළ The Road to Serfdom (‘දාස භාවයට මාර්ගය’) නම් සිය කෘතියෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය විවේචනයට ලක් කරමින් ආණ්ඩුවේ මධ්‍යගත සැලසුම් සහ පෞද්ගලිකත්වය පිටු දැකීමේ ප්‍රයත්න නියත වසයෙන් ම ඒකාධිපති රජයකට පාර කපන බව හයෙක් තර්ක කළේ ය. හයෙක්ගේ  The Road to Serfdom කෘතිය බොහෝ ධනකුවේරයන්ගේ අවධානයට යොමුව තිබුණි. එමඟින් ඉදිරිපත් කළ ආර්ථික දර්ශනය ආදායම් බදු ගෙවීමෙන් මෙන් ම රාජ්‍ය නියාමනයෙන් අත් මිදීම සඳහා ද තමන්ට අවශ්‍ය කරන සියලු ම තර්ක සපයන බව මේ ධන කුවේරයෝ විශ්වාස කළහ. ඒ අනුව  නවලිබරල්වාදී දර්ශනය ප්‍රචලිත කිරීම පිණිස 1947 ‘මොන්ට් පෙලරින් සමාජය’ නමැති සංවිධානය හයෙක් විසින් පිහිටනු ලැබූ විට ඊට මූල්‍යමය ආධාර සපයන ලද්දේ මේ ධනකුවේරයන් විසිනි.

සිය අනුග්‍රාහක ධනකුවේරයන්ගේ ආධාරයෙන් අත්ලාන්තික් සාගරය දෙපැත්තෙන් ම විද්වතුන්, ව්‍යාපාරිකයන්, මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාධරයන්ගෙන් සමන්විත නවලිබරල්වාදී ජාත්‍යන්තරයක් හා සමාන ප්‍රවර්ධන ජාලයක් ගොඩනගා ගැනීමට හයෙක්ට හැකි විය. මේ ව්‍යාපාරයට සහයෝගය දැක්වූ විශාල ධනකුවේරයන් සංඛ්‍යාවක් නවලිබරල් දෘෂ්ටිවාදය ඔප මට්ටම් කොට ප්‍රවර්ධනය කිරීම සඳහා බුද්ධි මණ්ඩල (think tanks) කිහිපයක් ම ස්ථාපනය කොට පවත්වාගෙන යෑම පිණිස නො මසුරු ව මුදල් වැය කළේ ය. එසේ පිහිටුවන ලද බුද්ධි මණ්ඩල අතර  American Enterprise Institutethe Heritage Foundationthe Cato Institutethe Institute of Economic Affairsthe Centre for Policy Studies සහ the Adam Smith Institute යන ආයතන වෙසෙසින් කැපී පෙනේ.  ඒ හැර චිකාගෝ හා වර්ජිනියා වැනි විශ්ව විද්‍යාලවල නවලිබරල්වාදී විද්‍යාර්ථී තනතුරු බිහි කිරීමේ බරපැන දැරීමට ද ඔවුහු උර දුන්හ.

ඒ අතර අනුක්‍රමයෙන් පරිණාමය වූ නවලිබරල්වාදය වඩ වඩා කර්කෂ ස්වභාවයක් ගත්තේ ය. ඒකාධිකාර ඇතිවීම වැළැක්වීම පිණිස කිසියම් රාජ්‍ය නියාමනයක මැදිහත් වීම ප්‍රයෝජනවත් යැ’යි හයෙක් විශ්වාස කළ නමුත් හයෙක්ගේ අනුප්‍රාප්තික නවලිබරල්වාදී ගුරා වූ මිල්ටන් ෆ්‍රීඩ්මන්ඩ් ඒකාධිකාරී බලය සැලකුවේ සමාගමක කාර්යක්ෂමතාවට ලැබෙන මහඟු තෑග්ගක් ලෙසිනි. “මම ඉතාමත් ඉහළින් හයෙක්ව අගය කරමි. නමුත් ඒ ආර්ථික විද්‍යාව සඳහා නම් නො වේ”  යැ’යි[5] වරක් ෆ්‍රීඩ්මන්ඩ් පැවසී ය.

කොතරම් නො මසුරු මූල්‍ය අනුග්‍රහ රැසක් ලැබුනත් ආර්ථික දෘෂ්ටියක් ලෙස මුල් අවදියේ දී නවලිබරල්වාදය පැවතුණේ එවකට පැවති මුල් පෙළේ මතවාදවලට වඩා සෑහෙන දුරකින් ආර්ථික විද්‍යා කතිකාවේ අද්දරට වෙන්න ය. ඇත්ත වසයෙන් ම දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසු වඩාත් ප්‍රබල ආර්ථික දැක්ම බවට පත්වී තිබුණේ ජෝන් මේනාඩ් කේන්ස්ගේ පූර්ණ සේවා නියුක්තිය සහ දරිද්‍රතාව සඳහා සහන සැලසීම අරමුණු කර ගනිමින් රාජ්‍ය මැදිහත් වීමට මුල් තැන ලැබුණු සුභසාධනවාදය යි. ඒ මතය අනුගමනය කළ එක්සත් ජනපදයේ සහ යුරෝපයේ රජයන් ඉහළ සමාජ ස්තර සඳහා වැඩි ආදායම් බද්දක් හඳුන්වා දෙමින් එම ආදායම  නව පොදු සේවාවන් සහ සමාජ ආරක්ෂණ ක්‍රම ඇති කිරීමට යොදා ගෙන තිබුණි. 

එහෙත් 1970 ගණන්වල දී ඇතිවූ ආර්ථික අර්බුදයත් සමඟ කේනීසියානු ප්‍රතිපත්ති අසාර්ථක වීමට පටන් ගත් විට නවලිබරල්වාදය ඇඟපත හිරි අරිමින් හිස ඔසවන්නට විය.  “වෙලාව පැමිණි විට ඔබ වෙනස් වීමට සූදානම් විය යුතුයි…. ඒ වෙනස සඳහා තෝරා ගැනීමට සුදුසු වෙනත් විකල්පයක් අපට තිබේ” යනුවෙන් ෆ්‍රීඩ්මන්ඩ් එකල පැවසී ය. ඒ අනුව හිතවත් ජනමාධ්‍යවේදීන් සහ දේශපාලන උපදේශකයන්ගේ මාර්ගයෙන් නවලිබරල්වාදයේ යම් යම් ගුණාංග, විශේෂ වසයෙන් ම මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ නිර්දේශ, ඇමෙරිකාවේ ජිමී කාටර් ජනාධිපතිවරයාගේ (1977-1981) සහ බ්‍රිතාන්‍යයේ අගමැති (1976-1979)ජිම් කැලහන්ගේ ආණ්ඩු ලවා ක්‍රියාත්මක කරවා ගැනීමට ෆ්‍රීඩ්මන්ඩ් සමත් විය.

 එහෙත් නවලිබරල්වාදය පූර්ණ වසයෙන් ම ක්‍රියාත්මක කළ ප්‍රථම රට වූයේ ඒකාධිපති (1973-1981) ජනරාල් පිනොචෙට්ගේ පාලනයට යටත් වූ චිලී රටයි. ඒ ගැන අප 16 වැනි  පරිච්ඡේදයේ දී වඩා සවිස්තර ව විමසමු. චිලී රටේ නවලිබරල්වාදී වැඩසටහන සම්බන්ධයෙන් කථා කරමින් ‘මගේ පුද්ගලික කැමැත්ත ඇත්තේ ලිබරල්වාදයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී රජයකට වඩා  ලිබරල් ඒකාධිපතිවාදයකටයි” යනුවෙන් මිල්ටන් ෆ්‍රීඩ්මන්ඩ් පැවසී ය. නවලිබරල්වාදය මේ ලිබරල් නිදහස පිරිනමන්නේ ගොදුරුභක්ෂක තෝරුන්ට හා මෝරුන්ට මිස හාල් මැස්සන්ට හා කූනිස්සන්ට නො වේ.

නවලිබරල්වාදයට අනුව වෘත්තීය සමිතිවලින් සහ සාමූහික කේවල් කිරීම්වලින් නිදහස් වීම යනු කම්කරුවන්ට අඩු වැටුප් ගෙවීමට ඇති නිදහස යි. නියාමන නීතිවලින් නිදහස් වීම යනු ගංගා ඇල දොළ සිතැඟි පරිදි දූෂණය කිරීමට, කම්කරුවන් අනතුරට ලක් කිරීමට, ගිනි පොලී අය කිරීමට සහ විදේශජ මූල්‍ය මෙවලම් සැලසුම් කිරීමට ඇති නිදහස යි. බදුවලින් නිදහස ලැබීම යනු මිනිසුන් දිළිඳු කමින් මුදවා ගැනීම පිණිස ධනය ප්‍රතිව්‍යාප්ත කිරීමෙන් නිදහස් වීමයි.

දේශීය වසයෙන් නවලිබරල්වාදී ප්‍රතිපත්ති සෘජු ව ආදේශ කිරීමට නො හැකි අවස්ථාවල දී අන්තර්ජාතික වෙළඳ ගිවිසුම්වල අඩංගු වන ආයෝජකයන් සහ රාජ්‍ය අතර ආරවුල් නිරාකරණය කිරීමේ විධිවිධාන යටතේ ඒවා අන්තර්ජාතික ව ආරෝපණය කළ හැකි විය. සාමාන්‍යයෙන් විදේශවල පැවැත්වෙන බේරුම්කාර මණ්ඩල මඟින් සමාජ හා පාරිසරික ආරක්ෂණ කටයුතුවලට තුඩු දෙන කොන්දේසි ඉවත් කර ගැනීමට අන්තර්ජාතික සමාගම් කටයුතු කරන අන්දම ප්‍රකට කරුණකි. සිගරැට් වෙළඳාම සීමා කිරීම, ඛනිජ ආකර සමාගම්වලින් ජල සැපයුම බේරා ගැනීම, ඖෂධ සමාගම්වල අයුතු සූරාකෑම් වැනි කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මැදිහත් වන අවස්ථාවල දී ප්‍රජාතන්ත්‍රවාදය හුදු නාටකයක් බවට පත් කරමින් ඒවාට එරෙහි ව අන්තර්ජාතික බේරුම්කාර මණ්ඩල ක්‍රමය සාර්ථක ව යොදා ගැනීමට ජාත්‍යන්තර සමාගම්වලට හැකි වීම මීට එක් නිදසුනකි.

නවලිබරල්වාදය පිළිසිඳ ගනු ලැබුවේ ස්වාර්ථය ම තකන ජාවාරමක් ලෙස නොවූවත් ඉතා ඉක්මනින් එය එබන්දක් බවට පත් විය. 1980 ගණන්වලින් ඇරඹුණු නවලිබරල්වාදය තදින් ම ක්‍රියාත්මක වූ කාලයේ බ්‍රිතාන්‍යයේ සහ එක්සත් ජනපදයේ ආර්ථික වර්ධන වේගය ඊට පෙර පැවතුණාට වඩා බෙහෙවින් අඩු විය. එහෙත් ඒ ධන කුවේරයන් සඳහා නො වේ. එතෙක්  හැට වසරක් තිස්සේ අඩු වෙමින් පැවති ආදායම් සහ වත්කම් බෙදී යෑමේ විෂමතාව වෘත්තීය සමිති කඩාකප්පල් කර දැමීම, බදු අඩු කිරීම, වැඩි වන ගෙවල් කුලිය, පුද්ගලීකරණය සහ නිර්නියාමනය නිසා ඉතා ශීඝ්‍රයෙන් වැඩි විය. ඒ අතර ආදායම් පරතරය ශීඝ්‍ර වෙමින් බිලියනපතියන් ගණනාවක් ද බිහි විය.

බලශක්තිය, ජලය, දුම්රිය, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, මහාමාර්ග හා බන්ධනාගාර  ආදී  පොදු සේවා පුද්ගලීකරණය කිරීම හෝ වෙළඳපොළකරණයව ලක් කිරීම නිසා පුද්ගලික සමාගම්වලට අත්‍යවශ්‍ය සම්පත් අත්පත් කර ගෙන පුරවැසියන්ගෙන් සහ රජයෙන් ද ඒ සඳහා බදු කුලිය අය කර ගැනීමට හැකි ව තිබේ. ‘Rent’ හෙවත් ‘බදු කුලිය’ යනු හම්බ නො කරන ආදායමට ආර්ථික විද්‍යාවේ භාවිත වෙන යෙදුමකි. මෙය පුද්ගලීකරණය කළ බ්‍රිතාන්‍ය දුම්රිය සේවයට විසි වසරක් ගත වීම නිමිත්තෙන් ආදිත්‍ය චක්‍රබොර්ති ‘ද ගාඩියන්’ පුවත් පතට ලියූ විචාරාත්මක ලිපියක එන කරුණකින් පැහැදිලි කළ හැකි ය.[6] ඔහුට අනුව නව පුද්ගලික දුම්රිය සමාගම විසින් වැඩි කළ මිලට මගියෙකු දුම්රිය ගමන් බලපත්‍රයක් මිල දී ගත් විට ඉන් දුම්රිය සේවයේ වැටුප්, ඉන්ධන සහ අවශේෂ වියපැහැදම් සඳහා වැය වන්නේ කොටසක් පමණි. ඉතිරි සියල්ල සමාගම කිසිදු අමුතු ආයෝජනයකින් තොර ව ලබා ගන්නා ලාභය යි.  මෙය පැහැදිලි කරමින් චක්‍රබොර්ති පෙන්වා දෙන්නේ කිසිදු අමුතු ආයෝජනයක් යෙදීමකින් තොර ව රජය මඟින් සැපයූ යටිතල පහසුකම් සහ දුම්රිය භාවිත කොට 147% ලාභයක් ලබා ගැනීමට බ්‍රිතාන්‍ය දුම්රිය සමාගම්වලට හැකි ව ඇති බවයි.  එහෙත් පුද්ගලික අංශයට පැවරීම නිසා බ්‍රිතාන්‍ය දුම්රිය සේවය යහපත් වූ බවක් මගීන්ගෙන් අසන්නට නො ලැබුණි. 

බදු කුලිය මෙන් ම පොලිය ද කිසිදු හම්බ කිරීමකින් තොර ව ලබා ගන්නා ආදායමකි. දුප්පතුන් දුප්පත් වෙන පමණට පොහොසතුන් පොහොසත් වීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ඉතා වටිනා වත්කමක් වන මුදල් සම්පත් පාලනය කිරීම පොහොසතුන් අතළොස්සක් අතට පත්වීමයි. පොලී ගෙවීම් යනු වැඩි වසයෙන් ම දුප්පතුන්ගේ මුදල් පොහොසතුන් කරා සංක්‍රමණය වන ක්‍රමයකි. නිවාස හා දේපොළ ණය, ක්‍රෙඩිට් කාඩ් හෙවත් බැංකු ණයවර පත් සහ ෆයිනෑන්ස් කිරීම් මඟින් බැංකු හා මූල්‍ය ආයතන අය කරන අධික පොලිය එවැනි හම්බ කිරීමකින් තොර ව ලබන ආදායම් ය. 

ගත වූ හතළිස් වසර බැලුවොත් මුදල් සංක්‍රමණය සිදු වන්නේ දුප්පතුන්ගේ සිට අතළොස්සක් වූ පොහොසතුන් වෙත පමණක් නො වේ. භාණ්ඩ නිෂ්පාදනය හා සේවා සැපයීම වැනි වැඩකට ඇති නියම ආර්ථික කටයුතුවල යෙදෙන පොහොසතුන්ගේ සිට මූල්‍ය වත්කම්, බදු කුලී , පොලී අය කිරීම් සහ කොටස් වෙළඳපොළ උපක්‍රමික ව මෑනවීම් ආදී වසයෙන් සිය මූලික ආදායම් මාර්ගය මූල්‍යකරණය (Financialization) බවට පත් කරගත් අසික්කිත පොහොසතුන් (filthy rich) අතළොස්ස වෙත ද විශාල වසයෙන් මුදල් සංක්‍රමණය සිදු වෙයි.

1980 සහ 1990 ගණන්වල නවලිබරල්වාදය එහි උච්චතම අවධියේ දී දැවැන්ත බූවල්ලෙකු මෙන් ලෝකයෙන් වැඩි කොටසක් ග්‍රහණයට ගෙන තිබුණි.  ඇමෙරිකානු -බ්‍රිතාන්‍ය දේශපාලනඥයන් වන රොනල්ඩ් රේගන් (1981-1989), මාග්‍රට් තැචර්(1979-1990), බිල් ක්ලින්ටන් (1993-2001) සහ ටෝනි බ්ලෙයාර්(1997-2007) ආදීන් විසින් උත්කර්ෂණයට නැංවූ නවලිබරල්වාදය ගෝලීය දකුණේ ආර්ථික ප්‍රගතිය සඳහා ඉතා දැඩි කොන්දේසි ඉදිරිපත් කළේ ය. අවශ්‍යතාව අනුව සිය මූලික ස්වභාවය වෙනස් නො කර අපූරු අන්දමින් නම්‍යශීලී වූ නවලිබරල්වාදය පරණ සෝවියට් සංගමය ද සාර්ථක ව ආක්‍රමණය කළේ ය. එපමණක් නො ව පශ්චාත් මාවෝ යුගයේ චීනයේ නායකයන් බවට පත් වූ ඩෙන්ග් ෂාවෝ පින්ග්(1978-1989), ජියාන්ග් සෙමින්(1993-2003) සහ හ්‍යු ජින්ටාවෝ(2003-2013) ද “චීන ලක්ෂණ සහිත සමාජවාදය” යන ලේබලයෙන් නවලිබරල්වාදය වැලඳ ගැනීමට සාර්ථකව පෙලෙඹවීය. ඒ ක්‍රියාවලිය තුළ චීන කොමියුනිස්ට්වාදය ද ධනවාදයේ දුර්විපාක බොහෝමයක් උරුම කර ගත්තේ ය. ඊළඟ දශක කිහිපය තුළ මන්මෝහන් සිං (2204-2014), ජුනිචිරෝ කොයිසුමි(2001-2006), ජෝන් හොවාඩ් (1996-2007), ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්( 2001-2009) බැරැක් ඔබාමා(2009-2017) සහ සි ජින්ග්පින්ග් (2013 – ) විසින් ද නවලිබරල්වාදී න්‍යාය පත්‍රයේ වැඩි කොටසක් මහත් භක්තියකින් අනුගමනය කරන ලදී. එහෙත් මෙකී දේශපාලන නායකයන් කිසිවෙක් නවලිබරල්වාදය නමැති සමස්ත ලේබලය අලවා නොගත් හ.  නමුත් ඔවුහු ජාතික ආර්ථිකය නිර්නියාමනය කිරීම,ජාත්‍යන්තර වෙළඳාම ලිබරල්කරණය කිරීම, රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම, රාජ්‍ය ප්‍රමාණයෙන් අඩු කිරීම, බදු කපා හැරීම සහ තනි ගෝලීය වෙළඳපොළක් නිර්මාණය කිරීම වැනි නවලිබරල්වාදී ප්‍රතිපත්ති කෙරෙහි සැලකිය යුතු ලෙන්ගතුකමක් දැක්වූහ.[7]

එහෙත් වෙළඳපොළ කඩා වැටීම් නිසා නවලිබරල්වාදී ප්‍රතිපත්ති බොහෝ විට අසාර්ථක විය. 2008 දී කඩා නො වැටෙන තරම් විශාල යැ’යි සැලකූ මූල්‍ය ආයතන මෙන් ම පෞද්ගලීකරණය යටතේ පොදු සේවා පවත්වා ගැනීම පැවරුණු ඇතැම් පෞද්ගලික සමාගම් කඩා වැටීම ද එම වෙළඳපොළ අසාර්ථක වීම්වලට නිදසුන් ය. වැදගත් පොදු සේවා කඩා වැටීමට කිසි සේත් ම ඉඩ දිය යුතු නැති බව හයෙක් අමතක කළේ ය. ඒ නිසා තරඟකාරිත්වය මඟින් සියල්ල ඉටු වෙතැ’යි බලාපොරොත්තු වීම මායාවකි. ලාභය ව්‍යාපාරිකයන්ටත් අවදානම රජයටත් යන සූත්‍රයට අනුව පොදු සේවා සැපයීම පවත්වා ගෙන යෑම කළ නො හැකි ය. පොදු සේවා නිසා ආර්ථිකයේ අනෙකුත් අංශවලට ලැබෙන අමිල වාසිය පොදු සේවාවල ශේෂ පත්‍රවලින් බලා ගත නො හැකි ය.  

වඩ වඩා අන්තයට යන විට නවලිබරල්වාදය එහි අසමර්ථකම තව තවත් ඉස්මතු කර පෙන්වයි. ඒ අනුව නවලිබරල්වාදී අර්බුද උද්ගත වූ විට බදු අඩු කිරීමට, සුභසාධනය කප්පාදු කිරීමට, ඉතිරි ව ඇති පොදු ආයතන පෞද්ගලීකරණය කිරීමට, සමාගම් නිර්නියාමණය කිරීමට සහ පුරවැසි ක්‍රියාකාරකම් යළි නියාමනය කිරීමට එම අර්බුදය නිදහසට කරුණක් ලෙස උපයෝගී කර ගැනීමට ආණ්ඩු පෙලඹේ.

නවලිබරල්වාදයේ වඩාත් ම බියකරු බලපෑම වන්නේ එමඟින් ඇති කරන ආර්ථික අර්බුදයට වඩා මතවාදී මට්ටමේ දී එය මඟින් ප්‍රවර්ධනය කරන අර්බුදකාරී දේශපාලනයයි. නවලිබරල්වාදය මඟින්  රාජ්‍ය නමැති මූලික ආයතන පද්ධතියේ කාර්යභාරය ලුහු කරයි. එනිසා ඡන්දය දීම හෝ නො දීම ඇතුළු දේශපාලන මැදිහත්වීම් මඟින් අපට අභිමත පරිදි අපේ ජීවිත හැඩගැස්වෙන ප්‍රතිපත්ති වෙනස් කිරීමට ප්‍රයත්න දැරිය හැකි අවස්ථා ද හැකිළී යයි. නවලිබරල්වාදී න්‍යාය කියන්නේ ඒ වෙනුවට අපට වියදම් කළ හැකි ආකාරය සම්බන්ධයෙන් අප්‍රමාණ තෝරා ගැනීම් කිරීමට නව ලිබරල් ක්‍රමය යටතේ අපට හැකි වෙන බවයි. එහෙත් ඇතැම් අයට අනෙක් අයට වඩා වැඩියෙන් වියදම් කිරීමේ හැකියාවක් තිබෙන බැවින් එවැනි පාරිභෝගික ප්‍රජාතන්ත්‍රවාදයක සියලු දෙනාට සමාන ඡන්දයක් හිමි නො වේ. එහි ඇත්ත ප්‍රතිඵලය වන්නේ දුප්පතුන් සහ මැද පංතිය කෙමෙන් බල විරහිත කිරීම සහ බිලියනපතියන් අතළොස්සකගේ ග්‍රහණයට දේශපාලනය නතු වීම යි. දක්ෂිණාංශයේ සහ සාම්ප්‍රදායික වමේ පක්ෂ නවලිබරල් ප්‍රතිපත්ති වැලඳ ගැනීමත් සමඟ මේ බල විරහිත කිරීම ඡන්ද බලය නැති කිරීමක් හා සමාන වෙයි. ඒ අනුව විශාල ජන සංඛ්‍යාවක් දේශපාලන ක්‍රියාකාරකම්වලින් හා සමාජ සහභාගිත්වයෙන් ඉවතට තල්ලු කර දමයි.

“ෆැසිස්ට්වාදී ව්‍යාපාර ගොඩ නැගෙන්නේ දේශපාලන වසයෙන් සක්‍රිය කොටස් අතරින් නො ව තමන්ට කිසිදු හඬක් නැතැයි විශ්වාස කරන, පවතින දේශපාලනය තුළ තමන්ට තැනක් නැතැයි විශ්වාස කරන, දේශපාලනික ව අක්‍රිය කර දමනු ලැබූ ජන කොටස් වලිනි” යනුවෙන් “Days of Destruction, Days of Revolt” (2012) නමැති ජනප්‍රිය කෘතිය ලියූ ක්‍රිස් හෙජස් පැවසීය.[8]දේශපාලන සංවාදය තවදුරටත් අව්‍යාජ ලෙස ජනතාවගේ ප්‍රශ්න ආමන්ත්‍රණය නො කරන විට හිස් සටන් පාඨ, සංකේත සහ ප්‍රකෝප කිරීම්වලට අවනත වීමට ජනතාව පෙලඹෙති. ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ට වහ වැටුණු අයට සත්‍ය කරුණු හා තාර්කික කතිකා අරහං බවට පත් වුණේ එබැවිනි.

මහජනතාව සහ රජය අතර සාමාන්‍යයෙන් ඇතිවෙන ප්‍රතයවර්ත්‍ය ප්‍රතික්‍රියා සම්භාරය හුදු අධිකාරි බලයට කීකරු වීමක් දක්වා අවම කරනු ලැබූ විට අප සියලු දෙනා එක් කර තැබීමට ඉතිරි වන එක ම බලය වන්නේ ඒකාධිකාරී රාජ්‍ය බලය පමණි. ෆ්‍රීඩ්රික් වොන් හයෙක් බියවූ ඒ ඒකාධිපතිවාදය ඇත්ත වසයෙන් ම ඇති විය හැක්කේ පොදු සේවා පවත්වා ගෙන යෑමේ කැපවීම තුළින් මතු වන සදාචාරීය වගකීම ආණ්ඩුවලින් ගිලිහී ගොස් ආණ්ඩුකරණය යනු මිනිසුන් රවටන, මිනිසුන්ට තර්ජනය කරන සහ අවසානයේ දී බලහත්කාර බලය යොදමින් මිනිසුන් අවනත කර ගැනීමේ ප්‍රෝඩාවක් බවට පත්වීමයි.  

ඇතිවී තිබෙන විවිධ සමාජ විෂමතාවලට වගකීමට සිදුවේ ය යන බිය නිසා නවලිබරල්වාදය තවදුරටත් නවලිබරල්වාදය නමින් කරළියට පැමිණීමට මැලි වෙයි.  ඒ වෙනුවට එය විවිධ තැන්වල දී විධාකාරයෙන් භාවිත කළ හැකි වාංමාලාවක් යොදා ගනී. උදාහරණයක් ලෙස නවලිබරල්වාදීන් විසින් බෙහෙවින් යොදා ගනු ලබන ‘වෙළඳපොළ’ යන යෙදුම බොහෝ විට භාවිත කිරීමට තැත් කරන්නේ ගුරුත්වාකර්ෂණය හෝ වායුගෝලීය පීඩනය වැනි අප සියල්ලන්ට ම එක සමාන ව බලපාන පොදු සාධකයක් ලෙස ය. එහෙත් වෙළඳපොළ යනු නොයෙකුත් බල සම්බන්ධතාවලින් පිරුණු ඒ බල සම්බන්ධතාවලින් මෙහෙයවෙන තැනක් බව අපි අත්දැකීමෙන් දනිමු. ඒ අනුව  වෙළඳපොළ අවශ්‍යතා යනුවෙන් ඇත්තට ම අදහස් වෙන්නේ සමාගම් සහ ඒවායේ හිමිකරුවන්ගේ අවශ්‍යතා යි.

 ඒ ආකාරයෙන් ම ආයෝජන යනුවෙන් මහත් අභිමානයෙන් හඳුන්වන යෙදුම ද දෙයාකාරයක මැදිහත්වීම් ආකුල කිරීම පිණිස බහුල ව යොදා ගැනෙන්නකි. ඉන් එකක් වන්නේ ඵලදායක නවොත්පාදන හා  සමාජීය වසයෙන් ප්‍රයෝජනවත් දෑ නිපදවීමට කෙරෙන ආයෝජනය යි. අනෙක දැනටමත් පවතින වත්කම් මිල දී ගෙන ඒවායින් බදු කුලිය, පොලිය, ලාභාංශ හා ප්‍රාග්ධන ලාභ ආදී වසයෙන් හම්බ කිරීමකින් තොර ව ආදායම දොවා ගැනීම යි. එක ම වචනය මේ ක්‍රම දෙකට ම යොදා ගැනීම මඟින් ධනය උත්පාදනය වන සත්‍ය ප්‍රභවය සැඟවීමට හැකි වන නිසා ධනය නිස්සාරණය කිරීම හෙවත් උද්ධරණය (extraction) සහ ආර්ථිකයට වඩා වැදගත් වන ධනය නිර්මාණය කිරීම (creation) අතර ඇති වැදගත් වෙනස ව්‍යාකුල කර තිබේ.

සිය වසකට පමණ පෙර පරම්පරා ගත උරුමය නිසා ධනවතුන් බවට පත් වූ අය විසින් අලුත් සල්ලිකාර ව්‍යවසායකයින් ගර්හාවට ලක් කරනු දක්නට ලදී. “උන්ට කවුද හිර දෙන්නේ” යනුවෙන් මාටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය නවකතාවේ දී අලුත් සල්ලිකාර පියල් සම්බන්ධයෙන් නන්දාගේ වලව්කාර අම්මා පවසන්නේ එබැවිනි. එනිසා එකී ව්‍යවසායකයෝ සිය ව්‍යාපාරික ප්‍රතිරූපයට වඩා වත්කම් හිමි බදු කුලී ආදායම් ලබන්නන් වසයෙන් පෙනී සිටීමට කැමැත්තක් දැක්වූහ. එහෙත් අද කාලයේ මේ පෙළගැස්ම අංශක 180 කින් ආපසු කැරකී ගොස්  බදු කුලිය හා උරුමයෙන් ලැබෙන ධනවත්කම වෙනුවට වත්කම් උරුමක්කාරයෝ පවා  ව්‍යවසායකයන් වසයෙන් පෙනී සිටීමට කැමැත්ත දක්වති. ඒ සිය වත්පොහොසත්කම් තමන් විසින් ම දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් දේවල් ලෙස පෙන්නුම් කිරීමට ඔවුන්ට ඇති අභිලාෂය නිසයි.

වෙසෙසින් 1970 ගණන්වල සිට 2008 පමණ දක්වා කාලය තුළ දී  පෙන්නුම් කළ පරිදි නව ලිබරල්වාදයේ තාවකාලික ජයග්‍රහණය මඟින් සාම්ප්‍රදායික වමේ අසමර්ථකම ද නිරූපණය විය. ඊට පෙර පැවති සම්භාව්‍ය ලිබරල් ආර්ථිකවාදය අනුදත් රාජ්‍ය නිර්බාධ ආර්ථික චින්තනය 1929 දි ඇමෙරිකානු ආර්ථික පරිහානියට හේතු විය. ඒ සමඟ එය වෙනුවට යොදා ගත හැකි ඉල්ලුම් කළමනාකරණය නම් පරිපූර්ණ ආර්ථික න්‍යායක් ජෝන් මේනාඩ් කේන්ස් විසින් හඳුන්වා දෙන ලදී. කෙසේ වෙතත්  කේනීසියානු ඉල්ලුම් කළමනාකරණය 1970 දී අර්බුදයට ගිය විට ඒ වෙනුවට විකල්පයක් ලෙස වේදිකාවට ප්‍රවිෂ්ට වීමට නවලිබරල්වාදය සමත් විය. එහෙත් 2008 දී නව ලිබරල්වාදයේ අසාර්ථකත්වය සක්සුදක් සේ පැහැදිලි වන විට එය වෙනුවට යොදා ගත හැකි වෙනත් විකල්පයක් අපට නො වීය. ඒ නිසා නවලිබරල්වාදී අවතාරවලට තවමත් හොල්මන් කළ හැකි ය. ඒ අතර අවුරුදු 80කට කිට්ටු කාලයක් තිස්සේ වම සහ මැද යන දෙක ම ආර්ථික චින්තනය පිළිබඳ නව පොදු චින්තන රාමුවක් ඇති කර ගැනීමට අපොහොසත් ව ලත වෙති.

කෙසේ වෙතත් මේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස කේන්ස් නැවත අවදි කර ගැනීමට තැත් කිරීම ඵල රහිත ක්‍රියාවකි. 21 වැනි සියවසේ අර්බුදවලට කේන්ස්ගේ විසඳුම් භාවිත කිරීමට යෝජනා කරන අය වැදගත් ගැට‍ලු තුනක් නො සලකා හරිති. ප්‍රථමයෙන් ම පැරණි අදහස් වටා ජනතාව එක්රැස් කිරීම අපහසු දෙයකි. දෙවනුව, 70 ගණන්වල අනාවරණය වූ කේනීසියානු ක්‍රමයේ අසමත්කම් තවමත් ඉවත් වී නැත. තෙවනුව වඩාත් ම වැදගත් කාරණය වන්නේ කේනීසියානු විසඳුම් අප මුහුණ දෙන බරපතළ ම ආපදාව වන පරිසර අර්බුදය ගැන කිසිවක් සඳහන් නො කිරීමයි. කේනීසියානුවාදය වැඩ කරන්නේ පරිභෝජන ඉල්ලීම් උත්තේජනය කිරීම් මඟින් ආර්ථික වර්ධනය ඉහළ යන්නේ ය යන තර්කය මත ය. එහෙත් පාරිසරික විනාශය මෙතරම් තීව්‍ර වී ඇත්තේද පාරිභෝගික ඉල්ලීම සහ ආර්ථික වර්ධනය ඉහළ යෑම නිසා ය. 

කේනීසියානු වාදය හා නවලිබරල්වාදය යන දෙකේ ම අසාර්ථකත්වයෙන් අපට පෙන්වන්නේ කඩා වැටුණු චින්තන ක්‍රමයකට හුදු විරෝධය දැක්වීමක් පමණක් ප්‍රමාණවත් නො වන බව ය. ඒ වෙනුවට වෙනත් පැහැදිලි සංගත විකල්පයක් සොයා ගත යුතු ය.

නවලිබරල්වාදී ගෝලීයකරණයේ ඇති මූලික ප්‍රශ්නය වන්නේ හැම දෙයක් ම සම්බන්ධයෙන් පාහේ ලොව පුරා එක විට වෙනස් කිරීමකින් තොර ව කිසි දෙයක් වෙනස් කිරීමට නො හැකි වීමයි. උදාහරණයක් වසයෙන් තනි රටක් බදු වැඩි කිරීමට තීරණය කළ විට ප්‍රාග්ධනය බදු අඩු තැනකට පලා යයි. එමෙන් ම ආර්ථිකයට වන අමාරුකම් නො තකා දේශගුණ විපර්යාසයට විසඳුම් සෙවීමට තනි රටක් තැත් කරන විට එම රටේ ආර්ථිකයට එය ප්‍රශ්නයක් විය හැකි නමුදු අනෙකුත් රටවල් ද එම ක්‍රියාව අනුගමනය නො කරයි නම් පෘථිවි දේශගුණයට එම විසඳුමෙන් වන සෙතක් නැත. ඒ හා සමාන ව වියදම් අඩු කිරීම පිණිස සේවක සංඛ්‍යාව අඩු කිරීම හෝ වඩා ලාභ ශ්‍රමය සපයා ගත හැකි රටවල ඇති ව්‍යාපාරවලට සිය කර්මාන්තය මාරු කිරීම මඟින් ගෝලීය මට්ටමින් තරඟකාරීවීමට ද  නො හැකි ය. ඒ නිසා සිදු කළ යුතු කුමන වෙනසක් වුවද එක්කෝ ගෝලීය මට්ටමෙන් ම සිදු විය යුතු ය නැතිනම් කිසි සේත් ම  සිදු නොවිය යුතු ය.  

සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාවෙන් ගැලවී මේ අර්බුදයේ දී පශ්චාත් නවලිබරල්වාදී යුගයක් ගැන කථා කිරීමට අපට සිදු වනු ඇත. අප ඉන් අදහස් කරන්නේ බටහිර ලෝකය දුර්වල කිරීම හෝ එහි විනාශය ප්‍රාර්ථනා කිරීම හෝ, බටහිර භංගවේවා කඳවුරට එක්වීම හෝ නො වේ. කෙසේ වෙතත් වර්තමානයේ තාක්ෂණික, ආර්ථික, සමාජීය සහ දේශපාලන ක්ෂේත්‍රවල ගෝලීය මට්ටමින් ඇතිවෙමින් තිබෙන සිදුවීම් පරිවර්තනීය අවදියක අභියෝග වසයෙන් සැලකීමට අපට සිදුවී තිබේ. මෙම පරිවර්තනය සම්බන්ධයෙන් සබුද්ධික විවාදයකට එළඹීමට නම් බටහිරෙන් උරුම වූ බල දේශපාලනය, ප්‍රචණ්ඩත්වය සහ නො රිස්සීම වෙනුවට අපි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය, සංවිචාරණය(deliberation) සහ අන් මතවලට ද කන්දීම පිළිබඳ ජාත්‍යන්තර සම්ප්‍රදායේ එන හොඳ ම ආදර්ශ ආදේශ කර ගත යුතු වෙමු.

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022


[1] Colic-Peisker, Val and Flitney, Adrian (2018) The Age of Post-Rationality: Limits of Economic Reasoning in the 21st Century, London: Palgrave Macmillan, P. 37 

[2] මේ දැවැන්ත ආර්ථික අවපාතය නිසා දළ දේශීය නිෂ්පාදිතය ගෝලීය මට්ටමෙන් ඍණ -26.7% කින් අඩු වූ අතර රැකියා වියුක්තිය 24.9% කින් ඉහළ ගොස් තිබුණි.

[3] Wendy Brown (2019) In the Ruins of Neoliberalism: The Rise of Anti-Democratic Politics in the West, New York: Columbia University Press, p. 91 (KE)

[4] Hayek (1978) Law Legislation and Liberty. Vol. 2, Chicago: University of Chicago Press, p.68

[5] Hayek and Friedman: Head-to-Head, Garrison, Auburn University – Wikipedia

[6] https://www.theguardian.com/commentisfree/2013/nov/04/rail-privatisation-train-operators-profit    (Retrieved on 14 June 2021)

[7] Manfred B. Steger (2021). Neoliberalism: A Very Short Introduction, Oxford: Oxford University Press, Oxford

[8] https://www.truthdig.com/articles/the-revenge-of-the-lower-classes-and-the-rise-of-american-fascism-2/

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: