11. ධනවාදය බටහිරින් ආවේ ඇයි?

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

වර්තමාන ආර්ථික චින්තනය බොහෝ දුරට ධනවාදය බිහි වීමට සමාන්තර ව විකාසනය වූවකි. සරල ව කිව්වොත් ධනවාදය, ධනවාදී ආර්ථිකය යන යෙදුම් අප යොදන්නේ ‘ධනවාදය වනාහී හුදෙක් ධන හිමියාට හොඳ ලාභයක් උපයා ගැනීම මූලික පරමාර්ථය කරගත් සමාජ-ආර්ථික-දේශපාලනික දර්ශනයක් ය’ යන අර්ථයෙනි. ධනවාදය බිහි වීමට පෙර පැවති ආර්ථික ක්‍රම හුදෙක් හොඳ ලාභයක් ඉපයීම අරමුණු කර ගෙන සංවිධානය වු ඒවාට වඩා එදිනෙදා ස්වයං පරිභෝජනය පිණිස භවභෝග හා භාණ්ඩ නිපදවීම, භාණ්ඩ හුවමාරු වෙළඳාම හෝ වැඩ වසම් සේවා සැපයීම වැනි කටයුතු මුල් කර ගෙන සංවිධානය වූ ඒවා යි.

අනෙකුත් හැම පූර්ව ධනවාදී සමාජයක් මෙන් ම බටහිර යුරෝපීය සමාජය ද ධනවාදය උද්ගත වීමට පෙර වෙනස් වූයේ ඉතා මන්දගාමී ව ය. එකල හැම සමාජයක් ම පාහේ සංවිධානය වී තිබුණේ ශත වර්ෂ ගණනාවක් තිස්සේ එක ම ආකාරයක ප්‍රාථමික තාක්ෂණයක් යොදා ගත් ගොවිතැන් කටයුතු පදනම් කර ගෙන ය.  හස්ත කර්මාන්ත හා වාණිජ කටයුතු කෙරුණේ ඉතා සීමිත ව ය.

ධනවාදය ඇරඹුණේ දහසය හා දාහත් වන ශත වර්ෂයේ බ්‍රිතාන්‍ය ඇතුළු අද බෙල්ජියම සහ නෙදර්ලන්තය යනුවෙන් හැඳින්වෙන රටවල් ද ඇතුළත් වන බටහිර යුරෝපයේ ය. එය චීනයේ හෝ ඉන්දියාවේ ඇති නොවී බටහිර යුරෝපයේ ඇති වුණේ ඇයි? යන්න නිම නො වන විවාදයකි. වාණිජ සහ කාර්මික කටයුතු සම්බන්ධයෙන් චීන ප්‍රභූ පැලැන්තිය තුළ පැවති පිළිකුල, බටහිරයන් විසින් ඇමෙරිකාව සොයා ගනු ලැබීමේ වාසිය, සාම්ප්‍රදායික කතෝලික පල්ලියේ ආගමික ආධිපත්‍යට එරෙහි ව 1517 මාටින් ලූතර් හඳුන්වා දුන්  ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණවාදය මෙන් ම බ්‍රිතාන්‍ය සතු ව දැවැන්ත ගල් අඟුරු නිධි පවතින බව සොයා ගැනීම වැනි නොයෙකුත් හේතු ඒ විවාදය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබේ. තවත් මතයකට අනුව ධනවාදය බටහිරෙන් ඇරඹී තහවුරු වීමට වැදගත් සාධකයක් වූයේ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර යුරෝපීය රටවල් විසින් යටත් විජිත අත්පත් කර ගැනීම ය.

බටහිර ධනවාදී දියුණුවට මූලික වූ කරුණු මොනවා ද යන්න සම්බන්ධයෙන් ඉහත සඳහන් පරිදි විවිධ මත පවතින නමුත් අසම්පූර්ණ විය හැකි වුව ද ඒ සම්බන්ධයෙන් වඩාත් ම කෙටි පිළිතුර විය හැක්කේ ‘කරුණු කාරණා විමසීම සංවාදාත්මක තර්ක බුද්ධියට (dialogical reason) අනුව සිදුවිය යුතු බව’ බටහිර සමාජයේ දැනුවත් කොටස් අතර අනුක්‍රමයෙන් පිළිගැනීමට ලක් වීම බටහිර දියුණුවට මුල් වූ බවයි. ඒ අනුව එතෙක් පැවති ආධානග්‍රාහී හෙවත් අන් මත නො ඉවසන සුලු අධිකාරිවාදී ආගමික හා වැඩ වසම් විස්තර කිරීම් වෙනුවට හේතුවාදී තර්කනය මත පදනම් වූ නිදහස් චින්තනය දිරි ගැන්විණි. බටහිර නො වන රටවල හේතුවාදී තර්ක බුද්ධිය  කිසි දිනක භාවිත නොවී යැ’යි ඉන් අදහස් නො වේ. උදාහරණයක් ලෙස සියවස් ගණනාවකට පෙර සිට නාගර්ජුන ඇතුළු බොහෝ ඉන්දියානු දාර්ශනිකයෝ තර්ක ගෝචර ලෙස දැනුම ලබා ගැනීමේ ප්‍රමාණ ශාස්ත්‍රය ප්‍රත්‍යක්ෂ, අනුමාන, උපමාන, අර්ථපත්ති සහ අනුපලබ්ධි ආදී වසයෙන් කොටස් කර දැක්වූහ. එහෙත් එකී තර්කන සම්ප්‍රදාය බොහෝ කොට භාවිත වූයේ ලෞකික කරුණුවලට වඩා පාරභෞතික හා දාර්ශනික මතවාද  සම්බන්ධයෙනි. 

ඊට වෙනස් ව  බටහිර තර්කන ප්‍රවේශය දර්ශනයට පමණක් සීමා වූවක් නො වී ය. එමඟින් එදිනෙදා ජීවිතයට සෘජු ව සම්බන්ධ වූ දේවල් හා විශ්වාස ද ප්‍රශ්න කිරීමට ලක් විය. එහෙත් එය ක්‍රිස්තියානි ආගමට සහමුලින් එරෙහි වන තර්ක බුද්ධියක් ලෙස  සැලැකීම ද නො මඟ යෑමකි. තර්කනය මඟින් ඇතිවූ ඥානෝද්දීපනය  නිසැක ලෙස ම පල්ලිය විසින් පතුරවා තිබූ  ඓතිහාසික සහ දාර්ශනික මිථ්‍යා සහ ඒ මත සදාචාරයේ නාමයෙන් පවත්වා ගෙන ගිය ප්‍රජාපීඩනයට අභියෝගයක් වූ බව සැබවි. ඒ හැර නූගත් මිනිසුන් අතර පැවති මිථ්‍යා ඇදහිලි  හා විශ්වාසවලට ද තර්ක බුද්ධිය එරෙහි විය. එහෙත් ඥානෝද්දීපනය පල්ලිය තුළ ද සිදුවිය. ක්‍රිස්තියානි ආගමේ එන අධිස්වාභාවික ඇදහිලි දුබල කොට ආචාරධර්මීය හා සදාචාරීය ඉගැන්වීම්වලට වැඩි අවධානයක් යොමු කිරීමෙන් තර්ක බුද්ධි ගෝචර ලෙස ක්‍රිස්තියානි ආගම පරිවර්තනයකට ලක් කිරීමට ද ප්‍රයත්න දැරිණි[1].  ඊට සමාන්තර ව තර්ක බුද්ධිය ප්‍රමුඛ කොට බිහි වූ විද්‍යාත්මක ක්‍රමවේදය නිසා ස්වාභාවික නියාම ධර්ම සහ ලෞකික ජීවිතයට බෙහෙවින් බලපාන නවොත්පාදන ගැන උනන්දුව ද පෙරට වඩා වැඩි විය.

 නූතන යුගයේ බටහිර බුද්ධිමය ආධිපත්‍යය ලෝකය පුරා පැතිරීමට මූලික ව හේතු වූයේ ද ලෞකික ජීවිතය සම්බන්ධයෙන් තර්ක බුද්ධියට ලැබූ එම ප්‍රමුඛත්වය යි. මෙසේ සම්ප්‍රදාය පරයා තර්ක බුද්ධිය ප්‍රමුඛ වීම එක්වර සිදු වූවක් නො ව සියවස් ගණනාවක් තිස්සේ සිදු වූ පරිවර්තනයක ඵලයකි. මේ බුද්ධිමය පිබිදීමේ මූලික ලක්ෂණ ඇති වන්නට පටන් ගත්තේ 13 වැනි සියවසේ සිට Renaissance හෙවත් පුනරුදය ඇරඹීමත් සමඟයි. වචනාර්ථයෙන් ගත් විට Renaissance යන්නෙහි තේරුම ‘යළි ඉපදීම’ යන්න යි. ආගමික හා වැඩවසම් සීමා ඉක්මවා විමර්ශනය කිරීමේ ජීව ගුණය සමඟ මානව කුතුහලය උත්කර්ෂණයට නැංවූ ක්‍රියාවලියක් ලෙස පුනරුදය සංකල්පගත කළ හැකි බව පුනරුද යුගයේ ඉතාලිය ගැන ප්‍රමාණිකයෙකු සේ සැලකෙන යාකොබ් බර්ක්හාඩ්ට් පවසයි[2].

ආර්ථික සහ සංස්කෘතික හුවමාරුවීම්වල කේන්ද්‍රීය ස්ථාන ලෙස නගර සංවර්ධනය සිදුවීම ද යුරෝපයේ අඳුරු මධ්‍ය කාලීන යුගය අවසන් වීමේ ලා තීරණාත්මක සාධකයක් විය. යුරෝපයේ මධ්‍ය කාලීන යුගය සංලක්ෂිත වූයේ ඉඩකඩම් සමඟ ගොවියන් ද අයත් කර ගෙන සිටි බලසම්පන්න රදල වැඩවසම් ආධිපත්‍යයෙනි.  ඒ වැඩවසම් සමාජය යැපුම් ගොවිතැන, සමාජය පුරා පැවති අසාක්ෂරතාව මෙන් ම සංස්කෘතික වසයෙන් ආගමික ආධිපත්‍යය මූලික ලක්ෂණය කරගත් පල්ලියට සුවිශාල දේශපාලන බලයක් තිබූ බෙහෙවින් මන්දගාමී සමාජයක් විය.

ඒ අතර නව වෙනි සියවසේ සිට දහතුන්වැනි සියවස දක්වා ම විද්‍යාව සහ බුද්ධිමය විමර්ශනය ගැන උනන්දුවක් දැක්වූ අයගේ ගමනාන්තය වූයේ යුරෝපය නො ව මැද පෙර දිග වර්තමාන ඉරාකයේ බැග්ඩෑඩ් නුවර යි. එකල ඥානයේ මධ්‍යස්ථානය ලෙස සැලකුණු බැග්ඩෑඩ් නගරය මුස්ලිම් කාලිෆ්වරයාගේ පාලනය යටතේ පැවතුණ කාලිෆේට අධිරාජ්‍යයේ අගනුවර යි. පසු කලෙක යුරෝපීය භාෂාවන්ට පරිවර්තනය කරන තෙක් ප්ලේටෝ, ඇරිස්ටෝටල්, පයිතගෝරස් සහ යුක්ලීඩ් ආදී ග්‍රීක ශාස්ත්‍රඥයන්ගේ මුල් කෘති සුරක්ෂිත ව පැවතුණේ ඒවා කාලිෆේටයේ දී අරාබි භාෂාවට පරිවර්තනය කොට භාවිත කරමින් තිබූ නිසා ය. 1258 දී මොන්ගෝල් ආක්‍රමණය නිසා බැග්ඩෑඩ් නුවර විනාශ වීමත් සමඟ කාලිෆේට අධිරාජ්‍යයේ ස්වර්ණමය යුගය ද අවසන් විය. කෙසේ වෙතත් යුරෝපීය මධ්‍ය කාලීන යුගයේ නිමාව ගැන ඉතිහාසඥයන් අතර ද පැහැදිලි එකඟත්වයක් නැත. ඒ නිසා 1492දී ක්‍රිස්ටෝබල් කොලොන් හෙවත් කොලොම්බස් ‘නව ලෝකයට’ සම්ප්‍රාප්ත වීම සමඟ මධ්‍ය කාලීන යුගය සංකේතාත්මක ව නිමාවට පත් වී යුරෝපීය බලය  ලොව පුරා පැතිර ගිය නූතන යුගය ඇරඹුණු බව පොදු  පිළිගැනීම යි.

නූතන සමාජයේ පහළ වීම ඇරඹුණේ ඒ වන විට වර්ධනය වෙමින් පැවති පුනරුද බලපෑමට ලක් වූ නගරවල නිෂ්පාදකයන්, වෙළෙන්දන්, කර්මාර ශිල්පීන් සහ බැංකුකරුවන් එකට එක් වී කටයුතු කිරීමෙනි. ඔවුහු සාම්ප්‍රදායික කෘෂිකාර්මික සමාජයේ පොත්ත ඉවත් කරමින් සාමූහික ව නූතන ධනවාදයේ න්‍යෂ්ටිය ලෙස කටයුතු කිරීම ඇරඹූහ. පල්ලිය සහ ලෞකික බලය අතරත්, පාප්තුමා සහ අධිරාජයන් අතරත්, රජවරුන් සහ රදලයන් අතරත් ආවේණික ව පැවති දේශපාලන අරගල සහ යුද්ධ අතරින් උපායමාර්ගික ව ඉස්මතු වීමට එසේ නැගී ගෙන ආ නාගරික මැද පන්තියට හැකි විය. ඒ අනුව අධිරාජ්‍යයන් සහ වැඩවසම් නින්දගම් කැඩී බිඳී විසිරී යන අතරතුර ඇතැම් ස්වාධීන යුරෝපීය නගර ස්වෛරීත්වය අත්පත් කර ගත්තේ ය. මේ සම්බන්ධයෙන් වඩාත් ම ප්‍රකට උදාහරණය වන්නේ ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර යි. අනුග්‍රහය දැක්වූ අර්ථපතියන් අමරණීය කරවමින් අද දක්වා ම පවතින බටහිර චිත්‍ර කලාවේ සහ ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටතම කෘති ගණනාවක් ෆ්ලොරන්ස් නගරයේ දී දැක බලා ගත හැකි ය. යුරෝපයේ අනෙකුත් පෙදෙස්වලට ධනවාදය පැතිරවීමට පෙරමුණ ගැනීමේ ගෞරවය ද ෆ්ලොරන්ස්හි මධ්‍යම පාන්තිකයන්ට හිමි විය යුතු ය. බර්ක්හාඩ්ට් පෙන්වා දෙන පරිදි ප්‍රමාණයට සාපේක්ෂ ව බලන විට බටහිර ඉතිහාසය සම්බන්ධයෙන් වැදගත් ම නගරය ෆ්ලොරන්ස් විය හැකි ය.

පුරාතන යුගයේ සිට දාසය වැනි ශතවර්ෂය දක්වා අපරදිග දියුණුවේ උච්චතම අවස්ථා නිරූපණය වුණේ මධ්‍යධරණි මුහුද ආශ්‍රිත කලාපයේ ය. ඊට හේතුව අරාබි ලෝකය ද ඇතුළත් ව ඉන්දියාව සහ චීනය වැනි පෙරදිග ප්‍රදේශවල  සිට නාවික වෙළඳ කටයුතු නිසා බොහෝ නව අදහස් සහ නවොත්පාදන අපරදිගට පැමිණීම යි. උදාහරණයක් ලෙස භාවිතයට අපහසු රෝම අංක ක්‍රමය වෙනුවට ඉන්දියානු සහ අරාබි ආභාසයෙන් පැමිණි ඉලක්කම් යොදා ගැනීම නිසා ගණනය කිරීම සහ නූතන ගණිතය ඉගැන්වීම පෙර නොවූ අන්දමට පහසු වීම පෙන්වා දිය හැකි ය.

එහෙත් දහසය වැනි සියවසේ කතෝලික අධිකාරය අභියෝගයට ලක් කළ මාටින් ලූතර්ගේ ආගමික ප්‍රතිසංස්කරණවාදයේ ප්‍රචලිත වීමත් සමඟ බටහිර ප්‍රගතියේ අත්වැල මධ්‍යධරණි ප්‍රදේශයේ සිට ප්‍රොතෙස්තන්ත වයඹ දිග යුරෝපයට මාරු විය. ප්‍රොතෙස්තන්තවාදය පාප්තුමාගේ සර්වාධිකාරය නිමාවට පත් කරමින් වතිකානුවට වඩා සමාජ හා සංස්කෘතික නවාංග බෙහෙවින් ඉවසන නව දේවස්ථාන ක්‍රමයක් හඳුන්වා දුන්නේ ය. දේව භාෂිතය හෙවත් ලතින් බසින් තිබූ බයිබලය කතෝලික පූජකවරුන් මඟින් අර්ථකථනය කරවා ගැනීම වෙනුවට තමන් විසින් ම  සියබසින් ම කියවා දැන ගැනීම ප්‍රොතෙස්තන්ත අනුගාමිකයන්ගේ යුතුකම වසයෙන් සැලකුණ බැවින් බයිබලය සියබසට පරිවර්තනය කිරීමත් සමඟ ප්‍රොතෙස්තන්ත යුරෝපයේ සාක්ෂරතාවය ද සැලකිය යුතු පමණින් ඉහළ ගියේ ය. වර්ෂ 1439 ජර්මන් ජාතික යොහාන් ගතන්බර්ග් විසින් සචල මුද්‍රණාක්ෂර (movable type) ක්‍රමය හඳුන්වා දී තිබූ නිසා සාක්ෂරතාව වැඩි වීමත් සමඟ කියවීම සඳහා විවිධ විෂයයන් පිළිබඳ පත පොත මුද්‍රණයෙන් බිහි වීම ද වැඩි විය. වර්ෂ 1455-1500 අතර කාලය තුළ දී පමණක් ආසන්න වසයෙන් යුරෝපය පුරා මුද්‍රණාල 500 කින් පමණ පොත් 40,000 කට කිට්ටු සංඛ්‍යාවක් මුද්‍රණය වූ බව ගණන් බලා තිබේ.

ඒ අතර මේ වන විට යුරෝපීය නාවික බලය යුරෝපයෙන් බැහැර පිහිටි විදේශ භූමි ජය ගැනීමට යොදවා ගෙන තිබුණි. ස්පාඤ්ඤ සහ පෘතුගීසි ජාතිකයෝ මධ්‍යම හා දකුණු ඇමෙරිකාවේත් බ්‍රිතාන්‍යයෝ සහ ප්‍රංශ ජාතිකයෝ උතුරු ඇමෙරිකාවේත් ජනාවාස පිහිටුවා ගත් අතර ලන්දේසි ජාතිකයෝ ඉන්දුනීසියාව යටත් කර ගත්හ. අලුතින් ‘සොයා ගත්’ රටවල් සහ ඒවායේ විසූ ස්වදේශිකයන් උපයෝජනය කිරීමෙන් ඉමහත් ලාභයක් උපදවා ගැනීමට යුරෝපීයන්ට හැකි විය. ඒ අනුව දහසය වන සිය වසේ සිට යුරෝපීය නගර ආසියාවෙන් හා ඇමෙරිකාවෙන් පැමිණි නව අදහස්, ආහාර වර්ග, කුළුබඩු මෙන් ම රන් සහ රිදී වැනි අනෙකුත් වටිනා ද්‍රව්‍යවලින් සමෘද්ධිමත් විය.

හල් සරසවියේ මහාචාර්ය රෝලන්ඩ් ඉනොස්ට අනුව වැඩි රුවල් සංඛ්‍යාවකින් යුක්ත වූ ද එනිසා වැඩි වේගයකින් ගමන් කළ හැකි වූ ද යුරෝපීය රුවල් නැව්වලට අන් රටවල් අබිබවා මහා සාගරයේ නාවික ආධිපත්‍යය තහවුරු කර ගත හැකි විය. යටත් විජිත අත්පත් කර ගැනීමේ දී හමුදා බලය හාවිත කිරීමේ ලා එය වැදගත් සාධකයක් විය.[3] ඉනොස් පෙන්වා දෙන පරිදි  යුරෝපීය රුවල් නැව්වල එකී කාර්යක්ෂමතාවට ප්‍රධාන හේතුව වූයේ නැව් සඳහා අවශ්‍ය තරම් උසින් යුතු කුඹ ගස් යොදා ගැනීමට එම රටවලට හැකිවීම යි. නැවේ කුඹ ගස් උසින් සහ ශක්තියෙන් වැඩිවන තරමට යොදා ගත හැකි රුවල් ප්‍රමාණය ද ඒ අනුව ගමනට අවශ්‍ය සුළං බල ශක්තිය ද වැඩි කළ හැකි විය. පෘතුගාලය, ස්පාඤ්ඤය ප්‍රංශය, නෙදර්ලන්තය, බ්‍රිතාන්‍ය වැනි යුරෝපීය රටවලට පිරනීස් කඳුකරයේ, බෝල්ටික් ප්‍රදේශවල සහ උතුරු ඇමෙරිකාවේ වනාන්තරවලින් ඒ සඳහා සුදුසු උස මහත ගස් පහසුවෙන් ම සපයා ගැනීමට හැකි විය.

අනෙක් අතට එවකට පෙරදිග ලෝකයේ චීනය ද විශාල රුවල් සහිත ව දිගින් අඩි 200ක් පමණ වූ ලොකු නැව් තැනීමේ හැකියාව ඇති කර ගෙන තිබුණි. මින්ග් රාජ සමයේ ( වර්ෂ.1368-1644) චීනය යුරෝපීය රටවලට වඩා බෙහෙවින් පොහොසත් රටක් වූ අතර තාක්ෂණය අතින් යුරෝපයට වඩා ඉදිරියෙන් සිටියේ ය. චීනයේ ප්‍රකට අද්මිරාල් ට්ෂෙන්ග් හෙ’ (Zheng He)යටතේ වර්ෂ 1405 දී ඉන්දියානු සාගරයේ රටවල් කිහිපයකට යාත්‍රා කල නාවික යාත්‍රා හමුදාව විශාල නැව් 60ක් ඇතුළු නැව් 250 කින් ද සොල්දාදුවන් ඇතුළු නාවිකයන් 27,000 කින් ද සමන්විත විය. වර්ෂ 1433 වන විට අද්මිරාල් ට්ෂෙන්ග් හෙ මෙහෙය වූ නැව් හමුදා ඉන්දියන් සාගර කලාපයේ එවැනි නාවික ක්‍රියාන්විත 7ක් මෙහෙයවා තිබුණි. වර්ෂ 1410-1411 ට්ෂෙන්ග් හෙ කළ නාවික චාරිකාවේ දී ලංකාවේ කෝට්ටේ රාජධානිය ආක්‍රමණය කොට ඔහුට “අකෘතඥ” වූ අලගක්කෝනාර රජ අත්අඩංගුවට ගෙන චීනයට ගෙන යාම ද ඉන් එක් ක්‍රියාන්විතයක කොටසක් විය. මෙම නාවික ක්‍රියාන්විත දියත් කරන ලද්දේ තම ඥාතියාගෙන්  බලෙන් සිහසුන උදුරා ගත් මින්ග් රජ පෙළපතට අයත් යොන්ගල් නම් චීන අධිරාජයාට (Yongle Emperor)  සිය ඔද තෙද චීන ජනතාව අතර දේශපාලනික ව තහවුරු කර ජන ප්‍රසාදය දිනා ගැනීමට අවශ්‍ය වූ නිසා බව ටන්සෙන් සෙන් පවසයි. [4]  එහෙත් මිල අධික මෙවැනි නාවික ක්‍රියාන්විත ගැන රජුගේ මුදල් ඇමතිවරයා ප්‍රමුඛ සම්ප්‍රදායික උපදේශකයෝ නිරතුරු ව මැසිවිලි නැඟී ය. එම උපදේශකයන් අතරෙන් බොහෝ දෙනෙකු අද්මිරාල් ට්ෂෙන්ග් හෙ ප්‍රමුඛ වාසල පණ්ඩකවරුන් (eunuchs) සතු  බලය වැඩි වීම මෙන් ම චීනයේ විදේශීය බල ව්‍යාප්තිය ගැන ද මනාපයක් දැක්වූ අය නොවීය. රජුගේ උගත් උපදේශකයන්ගේ පොදු මතය වූයේ චීනය වැනි සම්භාව්‍ය දේශයකට  විදේශිකයන්ගෙන් ඉගෙන ගැනීමට එතරම් දෙයක් නැති බව යි.  අවසානයේ  වර්ෂ 1525 දී චීනය සිය නාවික හමුදාවට අයත් විශාල නැව් සියල්ල ම විනාශ කර හෝ නො සලකා හැරීමට ඉඩ හැර ගොඩ බිමෙන් එන මොංගෝලියානු හා මැන්චූරියානු තර්ජන ගැන වැඩි අවධානයක් යොමු කළේ ය.[5] ඇතැම් විචාරකයන් පවසන අන්දමට එසේ චීන නාවික බලය විනාශ කිරීම තමන් අබිබවා විදේශ වෙළඳාමෙන් අධික ලෙස පොහොසත් වීමට ඇතමුන්ට තිබූ හැකියාව අවහිර කිරීමට චීනයේ රාජකීය නිලධාරීන් විසින් යොදන ලද උපායක ප්‍රතිඵලයකි.

එසේ සැලකිය යුතු නාවික බලයක් සතු ව තිබූ සමයේ යුරෝපීය රටවලට පෙර ධනවාදය බිහි කිරීමේ සම්භාවිතාවක් චීනයට තිබෙන්නට ඇත. එහෙත් 1644 දී මින්ග් රාජවංශය පලවා හැර ඊසාන දිග චීනයේ විසූ මැන්චූරියානුවන් බීජිනයේ බලය අත්පත් කර ගෙන ක්වින්ග් රජ පෙළපත පිහිටුවීමෙන් පසු ඒ විභවතාව පිරිහී ගියේ ය. වර්ෂ 1644 සිට 1912 දක්වා රජ කළ ක්වින්ග් රජවරුන්ගේ සමයේ චීනය මූලික ව කෘෂිකර්මය පාදක කරගත් බෙහෙවින් සංවෘත වූ රාජධානියක් බවට පත් විය. විදේශ සමඟ කෙරෙන වෙළහෙළදාම් දැඩි රාජ්‍ය පාලනයට ලක් වූ අතර ආයාත නිර්යාත වෙළදාම වරාය අතලොස්සකට පමණක් සීමා කෙරිනි. 1757 සිට විදේශ වෙළදාම කැන්ටන් වරායට පමණක් සීමා කරන ලද අතර වෙළඳ කටයුතු කොහොන්ග් යනුවෙන් හැඳින්වුණු චීන වණික් කුලකය මඟින් පමණක් කළ යුතු විය. කැන්ටන් නගරයේ සීමිත කොටසකට හැර විදේශ වෙළඳුන්ට චීනයට ඇතුළු වීම තහනම් විය.[6]

මේ අතර පහළොස්වැනි හා දාසයවැනි සියවස්වල ස්පාඤ්ඤය හා පෘතුගාලය වැනි රටවල්  නව දේශභුමි ‘සොයා ගැනීම’ සමඟ වැදගත් විද්‍යාත්මක සොයා ගැනීම් කිහිපයක් ම සමපාත විය. විශ්වයේ කේන්ද්‍රය පෘථිවිය යැ’යි සහස්‍රක දෙකක් තිස්සේ පැවත ආ ඇදහීම පිටු දකිමින් පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වන වස්තුවක්යැ’යි කොපර්නිකස් (1473-1543) යෝජනා කළේ ය. යාන්ත්‍රික විද්‍යාව බිහි කළ ගැලීලියෝ (1564-1642) කොපර්නිකස්ගේ ඒ අදහස අනුමත කරමින් ඉතාලි බසින් පොතක් ලීවේ ය. ඒ වන තෙක් පැවති සම්ප්‍රදාය වූයේ එවැනි කෘති ලතින් බසින් ලියා පළ කිරීම නමුත් ඉතාලි බසින් ලිවීම නිසා ගැලීලියෝගේ පොත වැඩි පිරිසකට කියවිය හැකි විය.  එමෙන් ම ග්‍රහ වස්තුවල කක්ෂය පිළිබඳ නියාම කෙප්ලර් (1571-1630) විසින් ද ගුරුත්වාකර්ෂණයේ බලපෑම පිළිබඳ නියාම නිව්ටන් (1642-1727) විසින් ද විස්තර කර දෙන ලදි. විද්‍යාව විප්ලවකාරී ලෙස ඉදිරියට ආවේ මේ චින්තකයන් නිසා ය. නව යටත් විජිත සොයා ගැනීම සහ නූතන තාක්ෂණයේ පදනම ලෙස ස්වාභාවික විද්‍යා සම්බන්ධයෙන් ඇතිවූ විස්මය ජනක දියුණුව සමඟ දාසය සහ දාහත්වැනි සියවස්වල වාණිජ මාදිලියේ ධනවාදී  වර්ධනයේ මුල් අවදිය ප්‍රංශයේ ද, එහි කාර්මික මාදිලිය දහ අටවන සහ දහනව වන සියවස්වල එංගලන්තයේ ද ආරම්භ විය. මේ සියල්ල එක ම ක්‍රියාවලියක විවිධ නිරූපණ ලෙස  සැලකිය හැකි ය.

දියුණුතම ක්‍රිස්තියානි රටවල එතෙක් ආගම මඟින් මෙහෙයවූ බුද්ධිමය ආධිපත්‍යය සහ පල්ලිය මඟින් මෙහෙයවූ දේශපාලන ආධිපත්‍යය දහඅට වැනි සියවස වන විට යුරෝපීය පුනරුදය විසින් නිමාවට පත් කරන ලදී. සමස්ත වැඩපිළිවෙළක් ලෙස සැලකූ විට එහි මූලික අභිප්‍රාය වූයේ සබුද්ධික චින්තනය සහ ප්‍රාමාණික දැනුමේ අවිවාදාත්මක ප්‍රභවය ලෙස විද්‍යාත්මක ක්‍රමවේදය ස්ථාපිත කිරීම යි. දහඅට වැනි සියවසේ පූර්ව විප්ලව අවදියේ සිට ප්‍රංශයෙන් පටන් ගත් පරිණාමන සංස්කෘතික ව්‍යාපාරය ඒ වන විටත් නූතනත්වයට ගොදුරු වී සිටි බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තය, බෙල්ජියම සහ ජර්මනිය වැනි අනෙකුත් යුරෝපීය රටවලට ද පැතිර ගියේ ය. අනතුරුව මෙකී දියුණු යැ’යි සැලකුණු රටවල සිට පුනරුදය චින්තනය යුරෝපයේ පරිධියේ පිහිටි රටවලට මෙන් ම විදේශගත ජනවාසවලට සහ විශේෂයෙන් උතුරු ඇමෙරිකාවට ද පැතිරුණි. වර්ෂ 1780 වන විට පුද්ගල මූලිකත්වය, ලෞකිකත්වය සහ සබුද්ධිකත්වය පාදක කරගත් ප්‍රගතිය සම්බන්ධ විශ්වාසය බටහිර ලෝකය පුරා පැතිර ගියේ ය.

පුනරුදයේ මුඛ්‍ය සංකල්පනය වූයේ ලෞකික සහ ප්‍රගතිගාමී මධ්‍යම පාන්තික ප්‍රජාතන්ත්‍රවාදය යි. ඉතිහාසඥයෙකු වන හොබ්ස්බෝව්ම් අදහස් කරන අන්දමට ‘එය සහේතුකත්වයට මුල් තැන දෙන ලෝකයක සමාන ව ඉපදුණු සියලු මිනිසුන්ට (ස්ත්‍රීන්ට එම සැලකිල්ල හිමි නො වී ය.), අද අප කුසලතාවාදය (meritocracy) යනුවෙන් හඳුන්වන, බාධාවකින් තොර ව සිය කුසලතාව උපයෝගී කර ගත හැකි වන සමාජය බිහි වීම යි’. ඒ අනුව ‘පොදු මිනිසා’ යනු පූජ්‍ය පක්ෂයේ සහ ඉඩම් හිමි රදලයන්ගේ සාම්ප්‍රදායික ආධිපත්‍යයෙන් මුදවා ගනු ලැබූ තැනැත්තා ය. එමෙන් ම නූතන මධ්‍යම පාන්තික සමාජයේ විශිෂ්ට ඓතිහාසික ගුණය වසයෙන් සැලකුණේ සත්‍ය, ධනය සහ බලය අත්පත් කර ගැනීම සඳහා තරඟකාරී නිදහස හඳුන්වා දීම යි. දැනුම, තාක්ෂණය, නිෂ්පාදන හැකියාව, ලෞකික සුභසාධනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ කලාව ආදියේ දියුණුව සඳහා උචිත ම ක්‍රමය එකී නිදහස් තරඟය බව ඇදහිණි. නීතියේ ආධිපත්‍ය මඟින් සහතික කළ ධනවාදී ‘නිදහස් වෙළඳපොළ’  තුළ අනුක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී බවට පත් වූ යුරෝපීය ජාතික රාජ්‍යය බටහිර යුගයේ සාර්ථකත්වය පිළිබඳ සංස්ථාපිත රාමුව වසයෙන් සැලකුණි.

දහඅට වැනි සියවසේ පුනරුදය විසින් උත්කර්ෂණයට නැංවූ සමානාත්මතාව, සහෝදරත්වය සහ නිදහස (egalité, fraternité, liberté)යන විප්ලවකාරී අදහස් අවසානයේ දී 1789 උද්ගත වූ ප්‍රචණ්ඩ ප්‍රංශ විප්ලවයේ ප්‍රධාන සටන් පාඨය ලෙස තහවුරු විය. ප්‍රංශ විප්ලවය යුරෝපීය වැඩවසම් සමාජය හෙවත් පැරණි සමාජ ක්‍රමය වෙනස් කරමින් යුරෝපය පුරා මධ්‍යම පංතික ප්‍රජාතන්ත්‍රවාදය පැතිරවීමේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් විය. කිසිදු බද්දක් නො ගෙවූ පාලක පංතියේ ප්‍රථම හා දෙවැනි ස්තර (ජනගහනයෙන් 2%-3% ක් පමණ වූ වංශවතුන් සහ පූජ්‍ය පක්ෂය)සහ තෙවැනි ස්තරය(මධ්‍යම පාන්තිකයන්, නාගරික නිර්ධනීන්, ගොවීන්, සිය ව්‍යාපාර හෝ ශිල්ප ඥානය ජීවිකාව කරගත් අය සහ ඔවුන්ට සහාය දැක් වූ අය) අතර එතෙක් තරණය කළ නො හැකි ව තිබූ ශක්තිමත් බාධකය ප්‍රංශ විප්ලවය විසින් බිඳ දමන ලදී.

ඒ සමයේ දීම ඒ හා සමාන වැදගත්කමක් ගනිමින් ද්‍රව්‍යයමය ඉසුර සහ නිෂ්පාදන ආර්ථිකයේ දැවැන්ත ඉදිරි පිම්මක් ඇති කළ එංගලන්තයේ කාර්මික විප්ලවය ද සිදුවිය. තෝමස් පිකෙටි සිය Capital in the Twenty First Century නමැති කෘතියෙන් පසුගිය වසර 200 තුළ ඇතිවූ ආර්ථික වර්ධනය, ප්‍රාග්ධන අයිතිය, ප්‍රාග්ධන ආයෝජන ප්‍රතිලාභ, ශ්‍රම ආදායම සහ අසමානතාව පිළිබඳ ව ගැඹුරු විවරණයක් කරයි. මන්දගාමී සියවස් ගණනාවකට පසු කාර්මික විප්ලවය අවදියේ දී ආර්ථික වර්ධනය ශීඝ්‍රයෙන් වැඩි වූ ආකාරය පිකටි ඓතිහාසික දත්ත අනුව පැහැදිලි කරයි.[7] විදේශගත ජනාවාස සහ යටත් විජිතවලින් සමන්විත අධිරාජ්‍යයන් පිහිටුවා ගැනීම තුළින් බිහි වූ බටහිර හෙජමොනික ආධිපත්‍ය පැන නැගීමට යුරෝපයේ තාක්ෂණික සුපිරි භාවය බෙහෙවින් හේතු විය. අන්තර්ජාල විප්ලවය නිසා වඩා මෑතක ඇතිවූ ගෝලීයකරණ රැල්ල සම්බන්ධයෙන් පවා මේ ආධිපත්‍ය නොකඩවා ම පවතී. 

සබුද්ධික ආර්ථික මිනිසා පිළිබඳ ඇදහිල්ල ප්‍රවර්ධනය කරන අය එය සාධාරණීකරණය කරණු පිණිස මීට පෙර පැවති රදලවාදය හා කුරිරු ප්‍රවේණිදාස ක්‍රමය අනුක්‍රමයෙන් ජය ගෙන සියල්ලන්ට ම පොහොසත්කම සහ සෞභාග්‍ය ළඟා කර දීමට හැකි ධනවාදය බිහි කර ගැනීමට ආත්මාර්ථකාමී ස්වභාවය නිසා ම අපට හැකි විණැ’යි පුන පුනා කියති. එය අපේ උත්පත්ති කතාව වන තරමට ප්‍රචලිත ව තිබේ. එහෙත් කොතෙක් ගැඹුරට අපේ විශ්වාස තුළට එය කිඳා බැස තිබුණ ද ඇත්ත කථාව එය නො වන බව ආචාර්ය ජේසන් හිකල් සිය  Less is More  නම් කෘතියෙන් පැහැදිලි කරයි

හිකල් පෙන්වා දෙන පරිදි රදලවාදයේ සිට ධනවාදයට සිදු වූ පරිවර්තනය අපට විශ්වාස කිරීමට උගන්වා ඇති පරිදි ඒ කියන තරම් ස්වාභාවික හා සාමකාමී එකක් නො වේ. එය කුතුහලය අවුස්සන කතාවක් විය හැකි නමුත් කිසි සේත් ම ප්‍රසන්න කථාවක් නො වේ. ඒ කථාවෙන් අපේ ආර්ථිකය ඇත්තටම ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න සහ එය වෙනස් කළ හැක්කේ කෙසේ ද යන්න ගැනත් කිසියම් අවබෝධයක් ලබා ගත හැකි ය.

ධනවාදය ගැන කතා කරන විට අපේ සිතට නිරන්තරයෙන් ම සිහි වන්නේ වෙළඳපොළ සහ වාණිජ කටයුතු වැනි අහිංසකයැ’යි සැලකිය හැකි  ක්‍රියාකාරකම් ය. එහෙත් ධනවාදය හා වෙළඳපොළ කටයුතු අන්‍යෝන්‍ය වසයෙන් සමාන කිරීමට තැත් කිරීම වැරදි ය. වෙළඳපොළ යනු ධනවාදයේ සම්ප්‍රාප්තියට පෙර අවුරුදු දහස් ගණනාවක් තිස්සේ විවිධ කාලවල විවිධ මාදිලිවලින් විවිධ ස්ථානවල බිහි ව පැවත ආ දෙයකි. එහෙත් ධනවාදය ඊට  වඩා බෙහෙවින් මෑත කලක දී බිහි වූවකි. ඇත්ත වසයෙන් ම ධනවාදයේ වයස දැනට අවුරුදු 500 කට වැඩි නො වේ. ධනවාදය සුවිශේෂ වන්නේ එයට වෙළඳපොළක් තිබෙන නිසා නො ව ‘අනවරත වර්ධනය’(perpetual growth) නමැති ඒකායන ආර්ථික අරමුණ වටා ධනවාදය සංවිධානය වී ඇති බැවිණි. ඒ උදෙසා මිනිස් ශ්‍රමය සහ ස්වාභාවික ලෝකය ග්‍රහණයට ගෙන ධනය නිරන්තරයෙන් ඒකරාශි කර ගන්නා ආර්ථික පද්ධතියක් ලෙස ධනවාදී ක්‍රමය හැඳින්විය හැකි ය. ඒ සඳහා ධනවාදය වැඩ කරන්නේ ඉතා සෘජු හා සරල සූත්‍රයකට අනුව යි. ‘තමන් දෙන දෙයට වඩා සැම විට ම වැඩිපුර දෙයක් ලබාගනු’ යන්න ඒ සරල සූත්‍රය යි.

යුරෝපයේ පැවති රදල-වංශාධිපති ක්‍රමය ප්‍රවේණිදාසයන්ට දුක්ඛිත බව උරුම කළ කුරිරු ක්‍රමයක් බව අපි දනිමු. ඒ ක්‍රමය අනුව ඉඩම් අයිතිය හා පාලනය රදල වංශවතුන් සතු වූ අතර ඒ ඉඩම්වල පදිංචි වන ප්‍රවේණිදාසයන් අඳ කුලිය, බදු, සහ වැටුප් නො ලබන ශ්‍රමය ආදි වසයෙන් කලින් කලට ඉඩම් හිමි රදලයාට කප්පම් ගෙවිය යුතු විය. එහෙත් මේ ක්‍රමය නිමාවට පත් කළේ අපට උගන්වා ඇති පරිදි එවකට නැගී එමින් තිබූ ධනවාදය විසින් නො වේ. ජේසන් හිකල් පෙන්වා දෙන පරිදි  ඒ ජයග්‍රහණය ඇත්ත වසයෙන් ම හිමි විය යුත්තේ දීර්ඝකාලීන සම්ප්‍රදායකින් පැවත එන එහෙත් කිසියම් හේතුවක් නිසා දැනට මුළුමනින් ම අමතක ව ගොස් ඇති ගොවි ජන සටන්කරුවන්ගේ ධෛර්ය සම්පන්න සටන්වලට ය.

උදාහරණයක් ලෙස 1300 මුල් දශක කිහිපයේ දී  යුරෝපය පුරා ගොවි ජනතාව රදල ක්‍රමයට එරෙහිව කැරලි ගැසීම ආරම්භ කළහ. වංශවතුන් සහ පල්ලිය විසින් එතෙක් උකහා ගත් බදු, අඳ කුලිය සහ වැටුප් නො ලබන ශ්‍රමය තවදුරටත් ලබා දීම ප්‍රතික්ෂේප කළ කැරලිකරුවෝ තමන් වගා කළ ගොවි බිම්වල පාලනය තමන් සතු විය යුතු බව ඉල්ලා සිටියහ. මේ ඉල්ලීම ඉදිරිපත් වීම අතන මෙතන ඉඳහිට ඇති වූ සිල්ලර සිදුවීමක් නො ව මැනවින් සංවිධානය වූ විරෝධතාවක් බවට පත් විය. ඇතැම් අවස්ථාවල දී එකී විරෝධතා දිග්ගැස්සුණු සංවිධානාත්මක සන්නද්ධ සටන් දක්වා ද දියුණු විය. උදාහරණයක් ලෙස 1323 ෆ්ලාන්ඩර්ස්වල දී ඇති වූ ගොවි-කම්කරු සන්නද්ධ සටන වංශවතුන් අතින් පරාජයට පත්වීමට පෙර අවුරුදු පහක් පුරා පැවතුණි. යුරෝපය පුරා බෲග්ස්, හෙන්ට්, ෆෝලොරන්ස්, ලයිජ් සහ පැරිස් වැනි ප්‍රදේශවල ද එයට සමාන සටන් ඇවුළුණි. [8]

කෙසේ වෙතත් මේ මුල්කාලීන කැරලිකරුවන්ගේ ප්‍රයත්න එතරම් සාර්ථක නො වී ය. මැනවින් සන්නද්ධ වූ ප්‍රභූ වංශවතුන්ගේ හමුදා මඟින් බොහෝ අවස්ථාවල දී ඔවුන්ගේ කැරලි නිර්දය ලෙස මර්දනය කෙරිණි. එහෙත් 1347 යුරෝපය පුරා  කළු මහාමාරිය වසංගතය  පැතිරුණු විට තත්වය මුළුමනින් ම වෙනස් විය. ඊට හේතුව මින් පෙර නො වූ විරූ සමාජ හා දේශපාලනික අර්බුදයක් ඇති කරමින් කළු මහාමාරිය විසින් යුරෝපයේ මුළු ජනගහනයෙන් තුනෙන් එකක් මරණයට පත් කරනු ලැබීම යි.

කළු මහාමාරිය වසංගතයෙන් ඇති වූ දරුණු විනාශය නිසා බලාපොරොත්තු නො වූ දෙයක් ද සිදු විය.  ඒ වන විට ඕනෑවටත් වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක් රදල ප්‍රභූ පෙළැන්තිය සතු ව තිබුණි. එහෙත්  කළු මහාමාරියෙන් සිදුවූ දැවැන්ත මනුෂ්‍ය විනාශය නිසා රදලයන්ගේ ඉඩම්වල වැඩ කිරීමට අවශ්‍ය ශ්‍රමිකයන්ගේ දැඩි හිඟයක් ඇති විය. මේ නිසා තවමත් ඉතුරු වී සිටි ගොවි කම්කරුවන් පිරිසට සැලකිය යුතු ප්‍රමාණයක කේවල් කිරීමේ බලයක් අත් පත් විය. ඒ අනුව බිම් කුලිය අඩු කරන ලෙසත් සිය ශ්‍රමය සඳහා වඩා සාධාරණ ගෙවීමක් කරන ලෙසත් හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටීමට ඔවුන්ට හැකි විය. මේ හේතු කොට ගෙන රදල වංශවතුන්ට මඳක් පසුබෑමට සිදු වූ අතර ප්‍රථම වතාවට බලතුලනය පොදු ජනයාට වාසිදායක විය. මේ තමන්ගේ වාරය බව තේරුම් ගත් පොදු ජනයා සමාජ හා දේශපාලන ක්‍රමයේ පදනම වෙනස් කිරීමට තමන්ට අවස්ථාවක් පැමිණ ඇති බව වටහා ගත්තේ ය. ඒ නිසා බලාපොරොත්තු සහගත විශ්වාසයකින් යුක්ත ව ප්‍රබල කැරලිකාරී තත්වයක් උද්ගත වීමට අවශ්‍ය ජවය ගොවි ජනයා අතර එක් රැස් වෙමින් තිබුණි.

රැඩිකල් දේශනා කරුවෙකු වූ ජෝන් බෝල්ගේ “ඔබ බැඳ ඇති විය ගහෙන් සහ බන්ධනයෙන් මිදී නිදහස අත්පත් කර ගැනීමට දැන් කාලය පැමිණ තිබේ” වැනි ප්‍රකට කියමන්වලින් ආශ්වාදය ලැබූ වැට් ටයිලර්ගේ නායකත්වයෙන්  එංගලන්තයේ රදලවාදයට එරෙහි ගොවි කැරැල්ල 1381දී ආරම්භ විය. 1382 ඉතාලියේ සියොම්පි නගරයෙන් ඇරඹුණු කැරැල්ල ආණ්ඩු බලය අල්ලා ගැනීම දක්වා උග්‍ර විය. කම්කරු ප්‍රජාතන්ත්‍රවාදය නමින් සංවිධානය වූ කැරැල්ලක් මඟින්  1413දී පොදු ජනතාව පැරිසියේ බලය අල්ලා ගත්තේ ය. ජැක් කේඩ්ගේ කැරැල්ල යනුවෙන් පසුව හැඳින්වුණු තවත් බහුජන ව්‍යාපාරයක් 1450 දී කෙන්ට්වල සිට ලන්ඩන් දක්වා දැවැන්ත කැරලිකාරී පාගමනක නිරත විය. මුලු යුරෝපය පුරාම වාගේ මේ යුගයේ දී කලහකාරී පොදු ජන රැස්වීම්, පාද යාත්‍රා සහ පොදු ජන සන්නද්ධ සංවිධාන ඇති විය.

1400 ගණන්වල මැද භාගය වන විට බටහිර යුරෝපය පුරා ගොවීන් සහ වංශවතුන් අතර යුද්ධ පැන නැගී තිබුණි. කැරලිකරුවන්ගේ සේනාව වැඩි වීමත් සමඟ ඔවුන්ගේ  ඉල්ලීම් ද පුළුල් වන්නට පටන් ගත්තේ ය. ඒ අනුව පවතින ක්‍රමයට කෙරෙන සුළු සුළු සංශෝධන වෙනුවට පූර්ණ වෙනසක් සඳහා කෙරෙන විප්ලවයක් ගොවියෝ බලාපොරොත්තු වූහ. මධ්‍යකාලීන යුගයේ දේශපාලන ආර්ථිකය පිළිබඳ විශේෂඥවරියක වන සිල්වියා ෆෙඩරිසි පවසන අන්දමට “කැරලිකරුවන්  තවදුරටත් රදල පාලනය සම්බන්ධයෙන් යම් යම් සීමා පැනවීමෙන් හෝ හොඳ ජීවන තත්වයක් සඳහා කේවල් කිරීමෙන් හෝ පමණක් සෑහීමකට පත් වූ කණ්ඩායමක් නො වී ය. ඒ වෙනුවට කැරලි කරුවන්ගේ අපේක්ෂාව වූයේ රදල වංශවතුන්ගේ පාලනය මුළුමනින් ම අහෝසි කර දැමීම යි.”[9]

එහෙත් බොහෝ හුදකලා කැරලි කෝලාහල දරුණු ලෙස මර්දනය කර දැමීමට වංශවතුන්ට හැකි විය. උදාහරණයක් ලෙස 1381 එංගලන්ත කැරැල්ලට නායකත්වය දුන් වැට් ටයිලර් සහ ජෝන් බෝල් සමඟ ඔවුන්ගේ මුල් පෙළේ අනුගාමිකයන් 1500කට කිට්ටු ප්‍රමාණයකට මරණ දඬුවම නියම විය. එසේ වුව ද සමස්තයක් වසයෙන් ගත් විට යුරෝපයෙන් වැඩි කොටසක ප්‍රවේණිදාස ක්‍රමය අහෝසි කර දැමීමට මේ කැරලි ව්‍යාපාරය සමත් විය. 1381 කැරැල්ලත් සමඟ ප්‍රවේණිදාස ක්‍රමය ද එංගලන්තයෙන් මුළුමනින් ම පාහේ අතුරුදහන් වී ගියේ ය. ඒ අනුව අවසානයේ දී  ප්‍රවේණි දාසයෝ සිය සතුන්ගේ ආහාර පිණිස තණබිම් ද, දඩයම් සහ දැව පිණිස වනාන්තර ද, ජල සම්පාදනය සහ මසුන් ඇල්ලීම සඳහා ජල මාර්ග ද පොදු දේපළ වසයෙන්  භාවිත කළ  හැකි, තමන් විසින් ම පාලනය කරනු ලබන ඉඩම්වලින් යැපෙන නිදහස් ගොවීන් බවට පත් වූහ. අමතර ආදායමක් අවශ්‍ය ම නම් බල කරනු ලැබීමට භාජනය වීමකින් තොර ව වැටුප් සඳහා වැඩ කිරීමේ හැකියාව ද ඔවුන්ට තිබුණි. ඒ අනුව ජර්මනියේ ඉඩම්වලින් 90% ක පාලනය නිදහස් ගොවීන් සතු විය. රදල-ප්‍රවේණිදාස යුගයේ පැවති සම්බන්ධතා ඒ ආකාරයෙන් ම පැවති  ප්‍රදේශවල පවා ගොවීන්ගේ තත්වය බෙහෙවින් වැඩි දියුණු විය.[10]

රදල-ප්‍රවේණිදාස ක්‍රමය කඩා වැටීමත් සමඟ නව නිදහස් ගොවීන් එය වෙනුවට පැහැදිලි විකල්පයක් ගොඩ නැගීම ආරම්භ කළ බව තොරෝල්ඩ් රොජර්ස් සහ බුවාසොනේ වැනි ඉතිහාසඥයන් උපුටා දක්වමින් ජේසන් හිකල් පෙන්වා දෙයි. ග්‍රාමීය ස්වයං පෝෂණය මුල් කරගත් සමුපකාර සමාජ ක්‍රමයක් මත පදනම් වූ ඒ විකල්පය බෙහෙවින් සමානාත්මතාවාදී එකක් විය. පොදු මිනිසුන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් බැලූ විට මේ විප්ලවයේ ප්‍රතිඵල සැබවින් ම විස්මය ජනක විය. ඉතිහාසය තුළ එතෙක් වාර්තා ගත නො වූ පරිදි, සේවා නියුක්තිකයන් සඳහා ලැබෙන වැඩ කුලිය සහ වැටුප් දෙගුණයකින්, තෙගුණයකින් පමණක් නො ව ඇතැම් තැන්වල හය ගුණයක් පමණ වන තෙක් ඉහළ ගියේ ය. ඒ සමඟ ගෙවල් කුලී පහළ ගිය අතර, ආහාර මිල ද අඩු විය. එහි ප්‍රතිඵලයක් ලෙස පෝෂ්‍ය ජනක ආහාර පරිභෝජනය ද ඉහළ ගියේ ය. රැකියා කරන ස්ථානයෙන් ආහාර ලබා දීම, වැඩට යෑමට සහ ආපසු නිවසට පැමිණීමට ගමන් කළ යුතු සැතපුම් ප්‍රමාණය අනුව දීමනාවක් ගෙවීම, සති අන්ත නිවාඩුවකට හිමිකම සහ දිනකට වැඩ කළ යුතු කාලය අඩු කර ගැනීම වැනි කොන්දේසි කීපයක් ඉටු කරවා ගැනීමට රැකියාවල නියුක්ත වූ අය සමත් වූහ. රදල යුගයේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය අතර තිබූ  පුළුල් වැටුප් විෂමතාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ගැනීමට ද සේවා නියුක්තිකයෝ සමත් වූහ. අර කී ඉතිහාසඥයන් පැහැදිලි කරන අන්දමට 1350 සිට 1500 දක්වා වූ කාල පරිච්ඡේදය යුරෝපයේ වැඩ කරන ජනතාවගේ ස්වර්ණමය යුගය විය.[11]

ඒ යුගය යුරෝපයේ පරිසරය සම්බන්ධයෙන් ද ස්වර්ණමය යුගයක් විය. පරිසරය සම්බන්ධයෙන් බැලූ විට ඉන් පෙර පැවති  රදල ක්‍රමය අතිශයින් විනාශකාරී වූවක් විය. ඉඩම් හිමි රදලයෝ තම ඉඩම් සහ කැලෑවලින් හැකි තරම් සාරයක් උරා ගැනීමට ප්‍රවේණිදාස ගොවීන්ට බල කළ නමුත් ඉඩම්වල සරු බව වැඩිදියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම ගැන සැලකිල්ලක් නො දැක්වූහ. මේ නිසා වඩා සරු ඉඩම් පතා කැලෑ එළි කිරීම වැඩි වීම, ප්‍රමාණය ඉක්මවා තණබිම් සූරාකෑම සහ පස නිසරු වීම වැනි දේවල් ඉතා සුලබ විය. එහෙත් 1350 දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා හට ගත් ජයග්‍රාහී ගොවි කැරැල්ලෙන් පසු කලක් ගත වන විට එම ප්‍රවණතාව ඇණ හිට ග්‍රාමීය ජෛව පරිසරයේ  ප්‍රතිජනනය වීමක් උදා විය. ප්‍රභූන් සතු ඉඩම්වල ගොවිතැන් කිරීමේ හිමිකම තමන්ට ලැබුණු පසු සිය ඉඩකඩම් සරු කොට ස්වභාවධර්මය සමඟ වඩා ඵලදායක අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් පවත්වා ගෙන යෑමට ගොවියෝ සමත් වූහ. ඔවුහු පොදු ඉඩම්, තණබිම්, වන සම්පත් සහ වාරිමාර්ග ආදිය පොදුවේ භාවිත කිරීම සම්බන්ධ ව ප්‍රජාතන්ත්‍රවාදී කතිකා මඟින් එකඟ වූ  ආරක්ෂණ නීති රීති සකසා පොදු යහපත තකා එකී සම්පත් සාමූහික ව පාලනය කළෝ ය. ඒ නිසා වන සම්පත සහ ගොවි බිම් යළිත් සාර සොබාවට ප්‍රතිස්ථාපනය වන්නට පටන් ගත්තේ ය.

එහෙත් මේ සමාජ පරිවර්තනය සම්බන්ධයෙන් යුරෝපීය වංශවතුන් ඇතුළු ප්‍රභූ පැලැන්තිය කිසි සේත් ම සතුටට පත් නො වූ බව රහසක් නො වේ. සිය සේවක ජනයාට වැඩි කුලියක් ගෙවීමට සිදුවීම ඔවුන් සැලකුවේ තම බල අධිකාරය කෙලෙසන නින්දිත ක්‍රියාවක් ලෙස ය. ඒ හැර එසේ කුලියට වැඩ කළ අයට තම තමන්ගේ අභිමතය පරිදි වැඩ කරන කාලය හා දින ගණන තීරණය කිරීමට හැකි වීම මෙන් ම ප්‍රමාණවත් කුලියක් උපයා ගත් පසු වැඩට නො පැමිණ සිටීමට හැකි වීම ද ප්‍රභුවරුන්ට නුරුස්සන දෙයක් විය.  “සේවකයෝ දැන් ස්වාමියෝ වෙලා! ස්වාමියෝ සේවකයෝ වෙලා!” යනුවෙන් ඉංග්‍රීසි කවියෙකු වූ ජෝන් ගවර් 1380 දී ඒ හැඟීම පිට කළේ ය. “ගොවියෝ දැන් ඕනෑවට වඩා පොහොසත්. කිසිම ගරුසරුවක් නැහැ. නීතියක් සම්ප්‍රදායක් තියෙන බවක් තඹයකට ගණන් ගන්නේ නැහැ. ඒ අය හිතන්නෙ වංශවතුන් නැත්තට ම නැතිවුනා නම් හොඳයි කියල යි”[12] තවකෙක් කීවේ ය.

ඉතිහාසඥයන්ගේ වචනවලින් විස්තර කළ හොත් 1300 සිට 1500 දක්වා පැවති විප්ලවකාරී කාල පරිච්ඡේදය තුළ යුරෝපීය ප්‍රභු පැලැන්තිය ‘දරුණු ධන විසංචිතවීමකට’ (Chronic disaccumulation) හෙවත් තවදුරටත් තමන් ළඟ ධනය ඒකරාශි නො වීම පිළිබඳ තීරණාත්මක අර්බුදයකට මුහුණ දුන්හ. ගොවීන් විසින් බල කරනු ලැබූ ප්‍රතිසංස්කරණ නිසා ජාතික ආදායම වඩා සමාන ව බෙදී ගිය බැවින් රදල ප්‍රවේණිදාස යුගයේ මෙන් තමන්ට අභිමත පරිදි ලාභය පොදි ගසා ගැනීමට වංශවතුන්ට අසීරු විය. මෙය අතිශයින් ම වැදගත් කරුණක් ලෙස සැලකිය යුතු ය. අප බොහෝ විට විශ්වාස කරන්නේ රදලවාදය කඩාවැටීමේ ස්වාභාවික ඵලයක් ලෙස ධනවාදය උද්ගත වූ බවයි. එහෙත් එවැනි ස්වාභාවික පරිවර්තනයක් සිදුවීමට කිසිදු ඉඩක් එකල නො වී ය.  ධනවාදී ක්‍රමය උද්ගත වීම පිණිස විශාල ප්‍රමාණයේ ආයෝජන කිරීමට අවශ්‍ය අතිරික්ත ධනයක් ඒකරාශී වීම අත්‍යවශ්‍ය ය. එහෙත් පශ්චාත් රදලවාදී සමාජ ක්‍රමය තුළ පැවති සමානාත්මතා ලෝලිත්වය, ස්වයංපෝෂිත බව, වැඩි වැටුප්, බිම් මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය සහ පොදු සම්පත් පිළිබඳ සාමූහික කළමනාකාරිත්වය එසේ ප්‍රභූ පංතිය අතර ධනය ඒකරාශි වීම නිබඳ ව අවහිර කළේ ය. ඇත්ත වසයෙන් ම යුරෝපීය ප්‍රභූ පැලැන්තිය තදින් කෝප වී සිටියේ මේ අවහිරය ගැන ය.

පශ්චාත් රදල යුගයේ එසේ බිහි වෙමින් පැවති සමානාත්මතා සමාජය පසු කලක කිනම් ආකාරයක ස්වරූපයක් ගැනීමට ඉඩක් තිබුණේ ද යන්න අපට කවදා වත් දැන ගත හැකි නො වන්නේ මෝදු වෙමින් තිබූ ඒ අපූරු සමසමාජය ප්‍රභූ පැලැන්තිය විසින් දරුණු ලෙස මර්දනය කොට විනාශ කර දමන ලද බැවිනි. වංශවතුන්, පල්ලිය සහ වෙළඳ ප්‍රජාව එක ම පෙරමුණකට පැමිණ ගොවීන්ගේ ස්වතන්ත්‍ර භාවය  අවසන් කොට වැටුප් අඩු කිරීමට තැත් කිරීමත් ගොවීන් එයට එරෙහි ව නැගී සිටීමත් සමඟ එකී මර්දනය ඇරඹුණි. ඔවුන් ඒ මර්දනය සිදු කළේ ගොවීන් නැවත ප්‍රවේණිදාසයන් බවට පත් කිරීමෙන් නො ව ගොවිතැන් කළ ඉඩකඩම්වලින් ගොවීන් බලහත්කාරයෙන් පළවා හැරීමෙනි. යුරෝපය පුරා ම පාහේ සිදු වු මෙම සිදුවීම බොහෝ විට ඉතා දරුණු මර්දනකාරී ස්වරූපයක් ගත්තේ ය. ගොවීන් විසින් පොදු සම්පත් ලෙස සාමූහික ව භාවිත කරනු ලැබූ තණබිම්, වනගහන, ජලාශ ආදිය ප්‍රභූ පන්තිය විසින් පුද්ගලීකරණය කොට මායිම් වැට යොදා කොටු කර ගන්නා ලදී. එතැන් සිට ඒවා හැඳින් වුණේ පොදු සම්පත් ලෙස නො ව ‘දේපළ’ (property) ලෙස ය.

ප්‍රභූවරුන්ගේ බලය යළි තහවුරු කර ගැනීමේ මෙම ක්‍රියාන්විතය හැඳින් වුණේ ‘කොටු කිරීම’ (enclosure) යන නමිනි. මේ කොටු කිරීමේ ක්‍රියාන්විතයේ දී ගොවීන්ගේ වගාවන් ගලවා පුලුස්සා දැමීම සහ ගම්මාන පිටින් මුලිනුපුටා දැමීම නිසා දහස් ගණන් ග්‍රාමීය ප්‍රජාවට යන එන මං නැතිව ගියේ ය. ඉඩම්වලට හෝ  වනයට ඇතුළු වීම, දඩයම් කිරීම, තණකොළ කපා ගැනීම, මාලු ඇල්ලීම හෝ ජලය ලබා ගැනීම ආදි එදිනෙදා ග්‍රාමීය ජන ජීවිතයට අත්‍යවශ්‍ය දේවල් කිසිවක් කර ගැනීමට පොදු ජනයාට අවසර නො ලැබුණි. මෙයට අමතර ව යුරෝපයේ බොහෝ පෙදෙස්වල පැතිර ගිය රෙපරමාදු ආගමික ප්‍රතිසංස්කරණවාදය මේ හානිය තව තවත් උග්‍ර කළේ ය. ඊට හේතුව රෙපරමාදු බලය වැඩි වීමත් සමඟ ම යුරෝපය පුරා තිබූ කතෝලික පල්ලිවලට අයත් ඉඩම් ඩැහැ ගත් වංශවතුන් ඒවායේ පදිංචි ව සිටි සාමාන්‍ය මිනිසුන් එලවා දැමීමයි.

ඒ අතර ඇතැම් පළාත්වල ගොවීහු සටනකින් තොර ව යටත් වීම ප්‍රතික්ෂේප කළහ. එහෙත් ජය ගැනීම ඔවුන්ට ඉතා දුෂ්කර කටයුත්තක් විය. 1525 දි ජර්මනියේ දී එසේ පැන නැගි ගොවි ජන නැගිටීම ඉතිහාසයේ ඉතා දරුණු මනුෂ්‍ය ඝාතනවලින් එකක් ලෙස සැලකෙන, ලක්ෂයකට කිට්ටු ජනතාවක් මරා දැමීමෙන් අවසන් විය. 1549 රොබට් කෙට්ගේ නායකත්වයෙන් එංගලන්තයේ ඇති වූ නැගිටීමට රටෙහි දෙවැනි විශාලතම නගරය වූ නෝර්විච්හි පාලනය අත්පත් කර ගත හැකි වූ නමුත් පසු ව හමුදාව විසින් කැරලිකරුවන් 3500ක් පමණ මරා දමා කැරලි නායකයන් නගර ප්‍රකාරය වටා එල්ලා එම නැගිටීම ද දරුණු ලෙස මර්දනය කරණු ලැබී ය. මිඩ්ලන්ඩ් කැරැල්ල යනුවෙන් 1607දි ඇති වූ නැගිටීමේ උච්චස්තානය නිව්ටන් නමැති නගරය අල්ලා ගැනීම වූ නමුත් එය ද රදල වංශවත්හු හමුදා යොදා දරුණු ලෙස මර්දනය කළහ. 

මෙසේ සියවස් තුනක් තිස්සේ බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ විශාල කොටසක් රදල ප්‍රභූවරුන්ගේ ඉහත කී ‘කොටු කිරීමේ’ ව්‍යාපාරයට ගොදුරු විය. ඒ නිසා ඉඩම්වලින් පලවා හරින ලද මිලියන සංඛ්‍යාත ජනකායක් යන එන මං නැති ව විතැන් වී ආභ්‍යන්තරික සරණාගතයන් වීම නිසා දැවැන්ත අර්බුදයක් උද්ගත විය. මේ කාල පරිච්ඡේදයේ පැන නැගුණු සමාජ කැලඹිලි පමණ ඉක්මවා විස්තර කිරීම නො කළ යුත්තක් නමුදු සැබවින් ම එය අමානුෂික විපතක් වූ බව සැඟවිය නො හැකි ය. ඉතිහාසයේ මුල් වතාවට සිය එදිනෙදා ජීවිතයට අවශ්‍ය අතිශයින් මූලික දේවල් පවා සපුරා ගැනීමේ හැකියාව ගොවි ජනතාවට ක්‍රමානුකූල ව අහිමි කරන ලදී. ඒ මිනිසුන්ට තමන්ගේ නිවාස සහ කුසට අහර අහිමි විය. ප්‍රවේණිදාස ක්‍රමයටත් වඩා කුරිරු තත්වයක් ‘කොටු කිරීමේ’ ක්‍රියාන්විතය නිසා උද්ගත වූ බව වටහා ගැනීමට යැපීම් ආර්ථිකයක ගොවි ජීවිතය රොමාන්තිකකරණයට ලක් කිරීම අවශ්‍ය නො වේ. කෙසේ වෙතත් ‘කොටු කිරීම’ නිසා බිහි වූ ලක්ෂ සංඛ්‍යාත දිළින්දන් සහ පාදඩ ජනකාය විස්තර කිරීම පිණිස ඉන් පෙර ඉංග්‍රීසි පාඨයක ඉතා කලාතුරකින් හැර නො යෙදුණු Poverty හෙවත් දරිද්‍රතාව යන වචනය ප්‍රථම වතාවට යහමින් භාවිත වීම එහි බරපතළකම පිළිබිඹු කරයි.

යුරෝපයේ ධන හිමියන්ගේ පැත්තෙන් බැලූ විට ‘කොටු කිරීම’ ඉතා හොඳින් සාර්ථක විය. එය මඟින් කලින් නො ලැබුණු අන්දමේ විශාල ඉඩම් හා සම්පත් ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට ඔවුන්ට හැකි විය. ධනවාදය උද්ගත වීමට කිසියම් ආකාරයක ධනය සමුච්චිත වීමක් හෙවත් ඒකරාශි වීමක් අවශ්‍ය බව ආර්ථික විද්‍යාඥයන් හැම විට ම පවසන දෙයකි. ඇඩම් ස්මිත් එය හැඳින්වූවේ පූර්ව සමුච්චිත වීම (previous accumulation)යන නමිනි. ඔහුට අනුව පූර්ව සමුච්චිත වීමක් ඇති වන්නේ ඉතා වැර වෑයමින් වැඩ කරන මිනිසුන් අතළොස්සක් විසින් තමන් උපයා ගත් ධනය ප්‍රවේසමෙන් ඉතුරු කර ගනු ලැබීමෙනි. මේ නෝන්ජල් කතන්දරය තව මත් ආර්ථික විද්‍යා පෙළ පොත්වල පුන පුනා සඳහන් වේ. එහෙත් ඉතිහාසඥයන් එය දකින්නේ බොළඳ කතාවක් ලෙසිනි. මේ ධනය සමුච්චිත වීම කිසි සේත් අහිංසක ඉතුරු කිරීමක් නිසා සිදු වූවක් නො වේ. නිර්දය කොල්ලකෑමක් නිසා සිදු වූවකි. එකී ධන සමුච්චිත වීම තුළ නියෝජනය වන ම්ලේච්ඡ ප්‍රචණ්ඩත්වය හුවා දැක්වීම සඳහා එය ‘ප්‍රාථමික සමුච්චිත වීම ‘ (primitive accumulation) යනුවෙන් හැඳින්විය යුතු බව මාක්ස් උදක් ම කියා සිටියේ ය.

එහෙත් ධනවාදයේ නැගී සිටීම තවත් එක් වැදගත් සාධකයක් මත රඳා පැවතුණි. එය නම් ශ්‍රමය යි. ශ්‍රමය සුලබ විය යුතු පමණක් නො ව ඉතා ලාභයට ලබා ගත හැකි ද විය යුතු ය. ධනවාදයට  ඒ ප්‍රශ්නය ද ප්‍රභූවරුන්ගේ කොල්ලකාරී ‘කොටු කිරීමේ’ ක්‍රියාන්විතය නිසා විසඳා ගැනීමට හැකි විය. යැපීම් ආර්ථිකය විනාශ කර පොදු දේපළ භාවිතය අවහිර කර දැමීමෙන් පසු සිය ශ්‍රමය කුලියට විකිණීම හැරෙන්නට වෙන විකල්පයක් ගොවි ජනයාට ඉතිරි නො වී ය. ඒ පෙර මෙන් අමතර ආදායමක් ලබා ගැනීමට හෝ ප්‍රවේණිදාස ක්‍රමය යටතේ මෙන් ඉඩම් හිමි රදලයාගේ ඉල්ලීම සපුරා දීම සඳහා නො වේ. හුදෙක් ම පන නළ රැක ගැනීම සඳහා ය. ‘නිර්ධනීන්’ (proletariat) යන නම ඔවුන්ට වඩාත් උචිත වූයේ ඒ නිස යි. ඉන් පෙර නො තිබූ නිර්ධනීන් යන එකී යෙදුම ලෝක ඉතිහාසයට මුළුමනින් ම නව්‍ය වූ  භාවිතයක් විය.  ඇතැම් විට මේ අය ‘නිදහස් කම්කරුවන්’ ලෙස හැඳින් වුණ නමුත් එය නිසැක ව ම වැරදි අර්ථ කථනයකි. වහලුන්ට හෝ ප්‍රවේණි දාසයන්ට හෝ මෙන් වැඩ කිරීමට නිර්ධනීන්ට බලකෙරීමක් නො තිබුණ බව සැබෑවක් නමුත් විකල්පයකට ඉතුරු වුණේ කුස ගින්නේ සිටීම බැවින් කුලියට වැඩ කිරීම හැර වෙනත් කිසිවක් තෝරා ගැනීමට හැකියාවක් ඔවුන්ට නො තිබිණි. ඒ අතර ඉතා අඩු වැටුපක් නියම කිරීමේ හැකියාව නිෂ්පාදන මාර්ග හිමියන්ට තිබු බැවින් දෙන වැටුපක් පිළිගැනීමට නිර්ධනීන්ට සිදු විය. කොයි තරම් සොච්චමක් වුවත් මරණයට මුහුණ දීමට වඩා ඕනෑ ම වැටුපක් හොඳ ය.

ධනවාදය උද්ගත වූ ආකාරය පිළිබඳ ව මෙතෙක් අපට උගන්වා ඇති සාම්ප්‍රදායික කතන්දරය මේ සියල්ලෙන් නිශ්ප්‍රභ වෙයි. ජේසන් හිකල් විස්තර කරන පරිදි ධනවාදය උද්ගත වීම කිසි සේත් ම ස්වාභාවික ව ඇතිවූ අනිවාර්ය ක්‍රියාවලියක් නො වේ. බොහෝ අය විශ්වාස කිරීමට කැමති පරිදි ධනවාදයේ සම්ප්‍රාප්තිය  ක්‍රමානුකූල සංක්‍රාන්තියකින් සිදු වූවක් නො වනවා පමණක් නො ව කිසි සේත් ම සාමකාමී ලෙස සිදු වුවක් ද නො වේ. ධනවාදය උද්ගත වූයේ සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වය, බහු ජනතාව හිඟමනට ඇද දැමීම සහ යැපුම් ආර්ථිකය ක්‍රමානුකූල ව විනාශ කර දැමීම මඟින් ය. ධනවාදය මඟින් ප්‍රවේණිදාස ක්‍රමය අවසන් කිරීම වෙනුවට ඇත්ත වසයෙන් ම සිදු වූයේ ප්‍රවේණිදාස ක්‍රමය අවසන් කර දැමූ ප්‍රගතිගාමී ගොවි ජන විප්ලවය ධනවාදය විසින් අවසන් කර දැමීම යි. නිෂ්පාදන මාර්ගවල සම්පූර්ණ පාලනය අත්පත් කර ගැනීමෙන් ගොවියන්ට සහ කම්කරුවන්ට තමන් මත පමණක් යැපීමට සැලැස්වීම මඟින් ධනපතියෝ ප්‍රවේණිදාස ක්‍රමයේ මූලධර්ම නව අන්තයකට ගෙන ගියහ. එහෙත් මේ නව ක්‍රමය දෑත් විදහා පිළිගැනීම වෙනුවට පොදු ජනතාව එයට එරෙහි වන්නට පටන් ගත්හ. ඒ අනුව වසර 1500 සිට 1800 අතර කාර්මික විප්ලවය දක්වා වූ කාල පරිච්ඡේදය බටහිර ඉතිහාසයේ ඉතාමත් ම ප්‍රචණ්ඩ ලේ වැගිරීම් සහිත කලබලකාරී කාලපරිච්ඡේදයක් විය.  

පොදු මිනිසුන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් සලකා බැලූ විට ප්‍රභූ වංශවතුන්ගේ ‘කොටු කිරීමේ’ ක්‍රියාන්විතය අතිශයින් විනාශකාරී විය. නිදහස් ගොවි ව්‍යාපාරය විසින් අනුක්‍රමයෙන් වර්ධනය කර ගෙන පැමිණි ‘පොදු යහපත’ ඒ මඟින් සම්පූර්ණයෙන්ම ආපසු හැරවිණි. හෙන්රි පෙල්ප්ස් බ්‍රවුන් සහ ශීලා හොප්කින්ස් යන ආර්ථික විද්‍යාඥයන් දෙපොළ පෙන්වා දෙන පරිදි වසර 1500 සිට 1700 දක්වා කාලය තුළ මූර්ත වැටුප් 70%කින් තරම් පහත වැටිණි. ඒ සමඟ මන්ද පෝෂණය බහුල වූ අතර කුස ගින්න නිවා ගැනීමට නො හැකි වීම සාමාන්‍ය දෙයක් විය. යුරෝපීය ඉතිහාසයේ ඉතාමත් ම කුරිරු සාගත වාර්තා වන්නේ වසර 1500 ගණන්වල දී ය. මේ ව්‍යසනය එංගලන්තයේ මහජන සෞඛ්‍යය පිළිබඳ ඓතිහාසික ලේඛනවලින් මොනවට පැහැදිලි වෙයි.  ඒ අනුව වසර 1500 දි වයස 43ක් වූ පරමායුෂ වසර 1700 වන විට වයස 35 දක්වා අඩු විය.[13]

යුරෝපයේ වෙනත් කවර රටකටත් වඩා ‘කොටු කිරීමේ ක්‍රියාන්විතය’ වඩාත් ඉදිරියට ගොස් තිබුණේ බ්‍රිතාන්‍යයේ ය. ඒ නිසා ඇතිවිය හැකි සමාජ කලබගෑනිය පිළිබඳ කනස්සල්ලට පත් වූ බ්‍රිතාන්‍යයේ රජු මුල් අවදියේ දී රදල වංශවතුන්ගේ ‘කොටු කිරීමේ’ ක්‍රියාන්විතය සීමා කිරීමට උත්සාහ කළේ ය. එහෙත් වසර 1640 සිවිල් යුද්ධය සහ විශේෂයෙන් ම ඊනියා ශ්‍රේෂ්ඨ විප්ලවය යනුවෙන් හැඳින්වූ වසර 1688 ඉංග්‍රීසි විප්ලවයෙන් පසු පාර්ලිමේන්තුවේ බලය ධනේශ්වරය විසින් අත්පත් කර ගැනීමත් සමඟ එකී සීමා අවලංගු කර දැමිණි. ඒ සමඟ රාජ්‍යයේ මුළු බලය යොදමින් පෙරටත් වඩා දුරදිග ගිය ‘පාර්ලිමේන්තු සම්මත කොටු කිරීම’ (Parliamentary Enclosures) යනුවෙන් හැඳින්වුණ ක්‍රියාන්විතය මඟින් සියලු නිර්ප්‍රභු වැසියන්ගේ වගා ඉඩම් අහිමි කිරීමේ දැවැන්ත රැල්ලක් ඇති විය. වාර්තාවලට අනුව වසර 1760 සහ 1870 අතරතුර එසේ  පාර්ලිමේන්තු සම්මත කොටු කිරීමෙන් අල්ලා ගන්නා ලද ඉඩම් ප්‍රමාණය අක්කර මිලියන 7ක් හෙවත් එංගලන්තයේ මුළු භූමි ප්‍රමාණයෙන් හයෙන් එකක් පමණ විය. පෙර දී පොදුබිම් යනුවෙන් හැඳින්වුණු ඉඩම් මේ යුගය අවසන් වන විට තවදුරටත් ඉතිරි නො වී ය.

ඉංග්‍රීසි ගොවි ජන පිබිදීම විනාශ කිරීමේ කටයුත්ත සමාප්ත කළ මේ අවසාන ජවනිකාව සහ කාර්මික විප්ලවයේ සමාරම්භය එක විට ම සිදු වූවකි. වගා බිම් හා පදිංචිය අහිමි වී බලාපොරොත්තු සුන් වූ ගම්වැසියෝ  එකල යන එන මං නැතිව නගරවලට රොක් වන්නට වූහ. විලියම් බ්ලේක් වැනි ඉංග්‍රීසි කවියන් විසින් සෝපහාසයෙන් හුවා දැක්වූ  ඒ “අඳුරු සාතනික කම්හල්වලට” (dark satanic mills) ලාභ ශ්‍රමය සැපයුණේ ඔවුන්ගෙනි.

කාර්මික ධනවාදය ඇරඹුණේ එසේ ය. එහෙත් ඒ සඳහා අසාමාන්‍ය මිලක් ගෙවීමට සාමාන්‍ය මිනිසුන්ට සිදු විය. මහජන සෞඛ්‍ය දත්ත වාර්තා පිළිබඳ මුල් පෙළේ විශේෂඥයෙකු වූ සයිමන් ස්රේටර් පෙන්වාදෙන පරිදි කාර්මික විප්ලවයේ පළමු සිය වසරේ විශේෂ ලක්ෂණයක් වන්නේ 14 වන සිය වසේ කළු මහාමාරිය වසංගතයෙන් පසු ජීවිතාපේක්ෂාව පිළිබඳ දක්නට ලැබුණු දරුණු ම පිරිහීම ඒ කාලය තුළ දී සිදුවීම යි. එකල කාර්මිකකරණයේ දැවැන්ත මර්මස්ථාන වසයෙන් සැලකුණ මැන්චැස්ටර් සහ ලිවර්පූල් යන නගරවල ජීවිතාපේක්ෂා දර්ශකය කාර්මීකරණයට ලක් නො වූ ප්‍රදේශ හා සසඳන විට කැපී පෙනෙන ලෙස ඉතා පහළ වැටී තිබුණි. මැන්චැස්ටර්වල එය අවුරුදු 25 දක්වා පහළ වැටුණි. එංගලන්තයේ පමණක් නො ව අධ්‍යයනයට ලක් වූ යුරෝපයේ බොහෝ කාර්මික ප්‍රදේශවල තත්වය ද ඒ හා සමාන විය.[14] පූර්ව ධනවාදී යුගයේ කිසි කලක දක්නට නො ලැබුණු තරම් කුරිරු කාලකන්නි දුක්ඛිතකමක් ධනවාදය විසින් එහි ප්‍රථම සියවසර කිහිපයේ දී යුරෝපයේ නිර්ප්‍රභු ජනතාවට හිමිකර දුන්නේ ය.

දේපළ ‘කොටු කර ගැනීමේ’ ක්‍රියාන්විතය මත ධනවාදය යුරෝපයේ උද්ගත වීම තේරුම් කිරීමට ඉතිහාසඥයන් සෑහෙන මෙහෙයක් ඉටු කර තිබේ. එහෙත් ඒ කාල පරිච්ඡේදය තුළ දී ම යුරෝපීය වෙරළෙන් බැහැරව යුරෝපයේ සිදු වූ  ක්‍රමයට බොහෝ දුරට සමාන ව  ‘ප්‍රාථමික සමුච්චනයක්’ ඇති වූ බව අප අමතක නො කළ යුතු ය. පරිමාණය සැලකූ විට යුරෝපයේ සිදු වූ සිදුවීම් අඟුටු මිට්ටෙකු බවට පත් කරන තරමට යුරෝපීය ප්‍රභූන් විසින් රටවැසියන් සමඟ ම ගෝලීය දකුණේ ද අතිවිශාල භූමි ප්‍රමාණයක් ද යටත් විජිත ලෙස කොටු කර ගන්නා ලදී.

යුරෝපීයන් විසින් 1492 න් පසු ගත වූ දශක කිහිපයේ දී ඇමෙරිකා මහාද්වීප දෙක ම යටත් විජිතකරණයට ලක් කළේ පාසල් පොත්වල බෙහෙවින් රොමාන්තිකරණයට ලක් කර ඇති පරිදි හුදෙක්  වීරයන් අතළොස්සකගේ දේශගවේෂණ සහ නො සංසිඳෙන කුතුහලය නිසා නො වේ. යටත්විජිතකරණය යනු යුරෝපයේ ගොවි විප්ලව නිසා සිදු වූ ධන විසංචිතවීම (disaccumulation) නිසා හෙවත් ධනය තමන් අත ඒකරාශී වීම ඇනහිටීම නිසා ඇති වූ අර්බුදයට යුරෝපීය ප්‍රභූ පෙළැන්තිය විසින් සොයා ගත් ප්‍රතිකර්මයකි. සිය රටවල කොටු කිරීම මඟින් සිදු කළ ආකාරයට ම ධන සමුච්චයනය සඳහා රටින් පිට ද  ඔවුහු  නව දේශ සීමා කොටු කළහ.

1525 ජර්මන් ප්‍රභූවරුන් සිය රටෙහි ගොවි කැරැල්ල මර්දනය කිරීම පිණිස ගොවීන් 100,000 මරා දමන විට ස්පාඤ්ඤයේ පළමු වැනි කාර්ලෝස් රජු මෙක්සිකෝව හරහා තම හමුදා මෙහෙයවමින් ඇස්ටෙක්වරුන්ගේ ටෙනෝචිට්ලාන් අගනුවර අල්ලා ගෙන ස්වදේශිකයන් 100,000 මරා දැමූ හර්නන් කෝටේට සිය රාජධානියේ ඉහළ ම සම්මානය පිරිනැමුවේ ය. මේ සිද්ධීන් දෙක ම එක විට සිදුවීම උත්ප්‍රාසයකි. ධනවාදයේ නැගීම ආරම්භ වූ ඒ දශක කිහිපය තුළ යුරෝපයේ ‘කොටු කිරීම’ හා යටත්විජිතකරණය අතර නො සලකා හැරිය නො හැකි කුලුපග ඓතිහාසික සම්බන්ධකමක් තිබුණි.

මේ යටත් විජිතවලින් උදුරා ගත් ධන ප්‍රමාණය විස්මය ජනක විය. වසර 1500 ගණන්වල මුල සිට 1800 දක්වා කාලය තුළ යටත් විජිත හිමිකරුවන් ඇන්ඩිස් කඳුකරයේ රිදී ආකරවලින්  පමණක් රිදී කිලෝග්‍රෑම් මිලියන 100ක් යුරෝපයට ගෙන ආ බව ගණන් බලා තිබේ. ඓතිහාසික වසයෙන් සාමාන්‍යකරණය කළ අනුපාතයකට අනුව වසර 1800 සිට ආයෝජනය කරන ලද්දේ නම් එම රිදී ප්‍රමාණයේ දැන් වටිනාකම ඩොලර් ට්‍රිලියන 165කට අධික වෙන බව  ජේසන් හිකල් පෙන්වා දෙයි. එය සමස්ත ලෝකයේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය මෙන් දෙගුණයකි. ඒ එම කාලය තුළ ම දකුණු ඇමෙරිකානු ආකරවලින් හාරා ගන්නා ලද අතිමහත් රත්තරන් ප්‍රමාණයට අතිරේක ව ය. මේ අහඹු වාසිය යුරෝපීය ධනවාදයේ නැගී සිටීම සඳහා ප්‍රධානතම ආධාරකයක් විය. ඒ මඟින් ලැබුණු අතිරික්තයෙන් සැලකිය යුතු කොටසක් කාර්මික විප්ලවය සඳහා ආයෝජනය කරන ලදි. ඒ අනුව භවභෝග ආදී  භුමිය ආශ්‍රිතව නිපදවෙන පරිභෝජන භාණ්ඩ නැගෙනහිරෙන් ලබාගෙන තම ජනතාව කෘෂිකර්මාන්තයේ සිට කාර්මික නිෂ්පාදනයට යොමු කිරීමට බටහිර යුරෝපයට හැකි විය. ඒ හැර යටත් විජිත ආදායමෙන් කොටසක් තව තවත් යටත් විජිත අත්පත් කර ගැනීම පිණිස සන්නද්ධ හමුදා ගොඩ නැගීමට වියදම් කෙරුණි.

කාර්මික විප්ලවය සඳහා අවශ්‍ය වූ අමුද්‍රව්‍ය සැපයුණේ ද මේ යටත් විජිත වලිනි. උදාහරණයක් ලෙස කපු සහ සීනි සලකා බලමු.  බ්‍රිතාන්‍යය ධනවාදය නැගී සිටීම සම්බන්ධයෙන් වැදගත් ම පරිභෝජන භාණ්ඩය වූයේ එකල ලැන්කැෂයර් ප්‍රදේශය මූර්තිමත් කළ රෙදිපිළි කර්මාන්ත ශාලාවල ජීව රුධිරය වසයෙන් සැලකුණු කපු ය. ඒ අතර යුරෝපයේ කම්කරුවන් සඳහා අඩු මිලකට වැඩි කැලරි ප්‍රමාණයක් ලබාදෙන අත්‍යවශ්‍ය ආහාර අතිරේකයක් ලෙස සීනි සැලකුණි. එහෙත් කපු හෝ සීනි සඳහා අවශ්‍ය කපු පඳුරු සහ උක් ගස් යුරෝපයේ වැවෙන ශාක නො වේ. ඒ නිසා ඒ සඳහා යුරෝපීයෝ බ්‍රසීලයෙන් සැලකිය යුතු කොටසක ද කැරිබියන් දූපත්වල සහ උතුරු ඇමෙරිකාවේ ද දසලක්ෂ සංඛ්‍යාත අක්කර ප්‍රමාණයක ඉඩකඩම් අත්පත් කරගත්තෝ ය. 

කලින් කී රන් රිදී ආකර සහ මෙකී ඉඩම්වල වැඩට යොදා ගැනීමට ස්වදේශිකයන් මිලියන පහක් යුරෝපීයන් විසින් වහල් භාවයට පත් කර ගන්නා ලදී. වහල් භාවයට පත් කිරීමේ එකී ක්‍රියාන්විතය කොතරම් ප්‍රචණ්ඩ එකක් වී දැ’යි කිව හොත් ස්වදේශික ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් ඉන් ජීවිතක්ෂයට පත් විය.[15]එය පවා ප්‍රමාණවත් නොවූ බැවින් සියවස් තුනක් තිස්සේ අප්‍රිකාවෙන් තවත් මිනිසුන් මිලියන 15 ක් යුරෝපා රාජ්‍යානුග්‍රහයෙන් වහලුන් ලෙස අත්ලාන්තික් සාගරය හරහා ඇමෙරිකානු රටවලට නැව් ගත කෙරිණි. වහල් භාවයට පත් කරන ලද මේ අප්‍රිකානුවන්ගෙන් ඇමෙරිකානු එක්සත් ජනපදය කොයි තරම්  ශ්‍රමයක් ඩැහැගත්තේදැ’යි කිව හොත් සම්මත අවම වේතනය ඔවුන්ට ගෙවා තිබුණේ නම් අඩු පොලී අනුපාතයක් අනුව ගණන් බැලුව ද එම මුදලේ එකතුව අද වන විට ඩොලර් ට්‍රිලියන 97ක් විය හැකි ව තිබුණි.  එය ඇමෙරිකා එක්සත් ජනපදයේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය මෙන්  සිව් ගුණයකි. එයට කැරිබියන් දූපත්වල හා බ්‍රසීලයේ වැඩ කළ වහල්ලු අයත් නො වෙති. යුරෝපීය කර්මාන්ත හිමියන්ගේ විදේශික වතුවලට අවශ්‍ය ශ්‍රමය උදුරා ගත්තේ කුරිරු වහල් වෙළඳාම මගිනි.

මෙයට අමතරව වඩා අප්‍රක්‍රට ආකාරයේ ධන සමුච්‍චකරණයක් ද සිදු වෙමින් පැවතුණි. බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීහු අසාමාන්‍ය මුදලක් ඉන්දියාවෙන් බදු ලෙස රැස් කර ගැනීම ඊට හොඳ උදාහරණයකි. වසර 1765 ත් 1938 ත් අතර ඩොලර් ට්‍රිලියන 45 කට සමාන මුදලක් එසේ ඉන්දියාවෙන් බ්‍රිතාන්‍ය භාණ්ඩාගාරයට අය කර ගන්නා ලද බව ගණන් බලා තිබේ.  මේ මුදල් ගලා ඒම බ්‍රිතාන්‍යයේ කාර්මිකකරණයට අත්‍යවශ්‍ය යකඩ, තාර සහ දැව වැනි උපායමාර්ගික ද්‍රව්‍ය සපයා ගැනීමට ප්‍රයෝජනවත් විය. හැරත් ඒ මුදල් කැනඩාවේ සහ ඔස්ට්‍රේලියාවේ සුදු ජාතිකයන්ගේ ජනපද ඇති කිරීමටත් කොටු කිරීම නිසා බිහි වූ කුරිරු දුක්ඛිත බවට පිළියම් යෙදීමටත්  අවසානයේ දී 1870 ගණන්වල බිහි වූ සමාජ ආරක්ෂණ ක්‍රමය පවත්වා ගෙන යෑමටත් යොදා ගත හැකි විය. අද ඇතැම් බ්‍රිතාන්‍ය දේශපාලනඥයෝ යටත් විජිතවාදය ඉන්දියාව ‘සංවර්ධනය’ කිරීමට දායක වූ බව පැවසීමට උත්සුක වෙති. එහෙත් ඇත්ත වසයෙන් ම සිදු වූයේ ඉන්දියාව විසින් බ්‍රිතාන්‍යය දියුණු කරණු ලැබීම යි.

මෙහි දී අවධාරණය කිරීමට අවශ්‍ය කාරණාව වන්නේ කාර්මික විප්ලවය සහ යුරෝපීය කාර්මික වර්ධනය ඕපපාතික ව නොහොත් ඉබේ බිහි වූ දෙයක් නො වන බව යි. එය ඇතිවුණේ යටත් විජිතවාසීන්ගෙන් පැහැර ගත් නිජබිම්වල වහලුන් ලවා නිෂ්පාදිත අමුද්‍රව්‍ය යොදා ‘කොටු කිරීම’ මඟින් බලෙන් ඉවත් කළ යුරෝපීය ගොවීන් ලවා නිමි භාණ්ඩ නිෂ්පාදනය කර ගැනීමෙනි. සාමාන්‍යයෙන් අප සිතන්නේ මේවා එකිනෙකින් වෙනස් වූ සංසිද්ධි ලෙසයි. එහෙත් ඒ සියල්ලට ම පාදක වූයේ එකම න්‍යාය යි. කොටු කර ගැනීම යනු ආභ්‍යන්තරික යටත් විජිතකරණයක් වූ අතර යටත් විජිතකරණය යනු ද කොටු කර ගැනීමක් විය. යුරෝපීය ගොවීන්  ඔවුන් ගොවිතැන් කළ ගොවි බිම්වලින් නෙරපා හැරීම ද ප්‍රතිඵලය අතින් ස්වදේශික ඇමෙරිකානුවන් ඔවුන්ගේ ඉඩම්වලින් පලවා හැරීමට සමාන ය. එකම වෙනස ඇමෙරිකානු ස්වදේශිකයන්ට ඔවුන්ගේ ඉඩම් අහිමි වීම පමණක් නො ව කුරිරු වධ හිංසාවලට ලක් වීමට ද බොහෝ විට ජීවිතක්ෂයට පත්වීමට ද සිදුවීම යි. වහල් වෙළඳාම යනු ද සිරුරු කොටු කර ගැනීමක් හෝ යටත් විජිතකරණයට ලක් කිරීමක් නො වේ නම් අතිරික්තය සමුච්චයනය කිරීම සඳහා යොදා ගත් ඉඩම් මෙන් ම දේපළක් වසයෙන් මිනිසුන් මිලට ගැනීමකි.

මෙකී ප්‍රචණ්ඩ ක්‍රියා ඇතැම් විට ධනවාදී ඉතිහාසය තුළ අහම්බෙන් ඇති වූ හුදු නො මඟ යෑමක් ලෙස සුළු කොට සැලකීමට ද ඉඩ තිබේ. එහෙත් එය එසේ නො වේ. ධනවාදයේ මුල් පදනම වූයේ එකී ප්‍රචණ්ඩත්වය මයි. ධනවාදි වර්ධනය ඇති වුණේ ම යටත්විජිතකරණය නිසා ය.

මේ සියලු සාධකවලට අමතරව තවත් එක් සාධකයක් ධනවාදයේ නැගී සිටීම සඳහා එක් විය යුතු විය. ඔබ දැනට මත් දන්නා පරිදි එකල යුරෝපීය ධනවාදීන් විශාල පරිමාණයෙන් නිෂ්පාදන භාණ්ඩ බිහි කිරීමේ ක්‍රමයක් ඇති කළ නමුත් එම දැවැන්ත නිෂ්පාදන ප්‍රමාණය අලෙවි කිරීමට හැකි වැඩපිළිවෙළක් යොදා  ගැනීමට ද ඔවුන්ට සිදුවිය. මේ සා විශාල නිෂ්පාදන සම්භාරයක් අලෙවි කර ගන්නේ කෙසේ ද? කලෙක ස්වයංපෝෂිත ව සිටි ගොවි ජන සමාජය විනාශ කර දැමූ අර ‘කොටු කිරීමේ ක්‍රියාන්විතය’ මේ ගැටලුවට යම් ප්‍රමාණයක විසඳුමක් ලබා දුන්නේ ය. මන්ද ඉඩම් අහිමි වූ ගොවීන් කම්කරු ජනතාව බවට පමණක් නො ව ආහාර, රෙදිපිළි සහ අනෙකුත් එදිනෙදා අවශ්‍යතා සඳහා බඩු භාණ්ඩ මිලට ගන්නා පාරිභෝගික ජනතාවක් බවට ද පත් වූ බැවිණි.

එහෙත් එය පමණක් ප්‍රමාණවත් නො විණි. සිය භාණ්ඩ සඳහා නව වෙළඳපොළවල් සොයා යෑමට යුරෝපීය ධනවාදීන්ට සිදු විය. එහෙත් ප්‍රශ්නයකට තිබුණේ ගෝලීය දකුණේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් ම ආසියාවේ ස්වදේශික ශිල්පීය කර්මාන්තකරුවන් දේශීය අවශ්‍යතා මෙන් ම අපනයනය සඳහා ද ඇතැම් භාණ්ඩ සපයමින් තිබූ බැවින් පිටරටින් ගෙන එන එවැනි භාණ්ඩ වැඩි මිලකට ගැනීම ගැන උනන්දුවක් නො දැක්වීම යි.  උදාහරණයක් ලෙස ශාෂි තරූර් ඔහුගේ Inglorious Empire කෘතියේ පෙන්වා දෙන පරිදි 18 වන සිය වස මුල් භාගයේ දී සමස්ත ගෝලීය රෙදිපිළි වෙළඳාමෙන් 25%ක් සැපයුණේ ඉන්දියාවෙනි. බෙන්ගාලයේ අත් යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදකයන් අතින් බිහි වූ සුමුදු මස්ලින් රෙදි යුරෝපීය ඇඳුම් මසන්නන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබුණි. 18 වන සිය වසේ අග භාගය වන විටත් බෙංගාලයේ නිෂ්පාදිත විවිධ රෙදිපිළි වර්ග ඉන්දියාවෙන් බටහිර පිහිටි ඊජිප්තුව, තුර්කිය සහ පර්සියාවට ද පෙරදිග පිහිටි ජාවා, චීනය සහ ජපානය වැනි රටවලට ද නිර්යාත කරමින් තිබුණි. 1750 ස් ගණන්වල දී ඉන්දියාවෙන් නිර්යාත කරන ලද රෙදිපිළිවල වාර්ෂික වටිනාකම රුපියල් මිලියන 16ක් වී යැයි ගණන් බලා තිබේ. මින් මිලියන 5 හේ සිට 6 දක්වා වටිනා රෙදි තොගයක් ඉන්දියාවේ විසූ යුරෝපීය වෙළෙන්දන් විසින් නිර්යාත කරන ලදී.  බ්‍රිතාන්‍ය මුදලේ වටිනාකම අනුව මේ වාර්ෂික අපනයනය පවුම්වලින් නම් මිලියන දෙකක් පමණ වේ. එය එකල අතිශයින් විශාල මුදලකි.  මේ හැර 1753 දක්වා බෙන්ගාලයෙන් නිර්යාත කරන ලද සිල්ක් රෙදිවල වාර්ෂික වටිනාකම රුපියල් මිලියන 6.5 කි. පාලන බලය අත්පත් කර ගැනීමට පෙර 1757 වන තෙක් ම ඉංග්‍රීසිහු බෙන්ගාලයේ පෙනී සිටියේ පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම යටතේ ඉන්දියානු භාණ්ඩ මිලට ගන්නා වෙළෙන්දන් වසයෙනි. ඔවුන්ගේ ඉල්ලුම නිසා ම එකල  බෙන්ගාලයේ රෙදිපිළි හා සිල්ක්  නිෂ්පාදනය 33% කින් ඉහළ ගියේ ය[16].  

එහෙත් බ්‍රිතාන්‍යයේ රෙදිපිළි කර්මාන්තය වර්ධනය වීමත් සමඟ වඩා ලාභ ඉන්දියානු රෙදිපිළි සමඟ තරඟ කිරීමට අපොහොසත් වීම නිසා ඉන්දීය රෙදිපිළි කර්මාන්තය විනාශ කර දැමීමට බ්‍රිතාන්‍යයට අවශ්‍යය විය. ඒ අනුව එවකට පාලනය නතු කර ගෙන සිටි ඉංග්‍රීසි පෙරදිග ඉන්දියානු සමාගමේ සොල්දාදුවෝ බෙංගාලයේ රෙදිපිළි නිෂ්පාදකයන්ගේ අත් යන්ත්‍ර සොය සොයා ගොස් විනාශ කර දැමූහ. ශාෂි තරූර් උපුටා දක්වන එක් සමකාලීන වාර්තාවකට අනුව නැවත අත් යන්ත්‍ර මෙහෙයවීමට නො හැකි වන ලෙස ඉංග්‍රීසි සොල්දාදුවෝ ස්වදේශික රෙදි වියන්නන්ගේ මහපට ඇඟිලි කඩා දැමූහ. ඒ හැර ඉතිරි රෙදිපිළි නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන හැකියාව අවහිර කිරීම සඳහා 70% සිට 80% දක්වා වු බදු ප්‍රමාණයක් නිෂ්පාදිත රෙදිවලින් අය කෙරිනි. ඒ අනුව ඉන්දියානු රෙදිපිළි තවදුරටත් ලාභ දායක නොවීය. ඒ වෙනුවට එංගලන්තයේ ලැන්කැෂයර්හි නව වාෂ්ප ජනක කම්හල්වල නිපදවූ රෙදිපිළි බේල් ගණනින් ඉන්දියානු වෙළඳපොළට නිකුත් කෙරිණ. වරාය මෙන් ම රජය ද බ්‍රිතාන්‍යයන් යටතේ පැවති බැවින් බ්‍රිතාන්‍ය රෙදිපිළිවලට ආනයන බද්දක් පැනවීමේ හැකියාවක් ඉන්දියානුවන්ට නො තිබිණි. ඒ අනුව ලාභ දායක බ්‍රිතාන්‍ය රෙදිපිළි  හා තරඟ කිරීමට අපොහොසත් ව ඉන්දියානු රෙදි පිළි කර්මාන්තය මුළුමනින් ම කඩා වැටුණේ ය. බ්‍රිතාන්‍යය පෙරදිග ඉන්දියා සමාගමේ පාලනාධිකාරී විලියම් බන්ටිනික් සාමිවරයා උජාරුවෙන් ලියූ අන්දමට “රෙදි වියන්නන්ගේ ඇටකටුවලින් ඉන්දියාවේ තැනිතලා සුදු වී ගියේ ය”

බ්‍රිතාන්‍ය විසින් විනාශ නො කරන්නට කලක් ගත වන විට බොහෝ ඉන්දියානු රෙදි වියන්නන්ට වැඩිදියුණු කළ තාක්ෂණය යොදා ගනිමින් සිය කර්මාන්තය ඉදිරියට ගෙන යන්නට ඉඩ තිබුණි. එහෙත් අර ධනවාදී සාධකය, එනම් යුරෝපීය නිෂ්පාදනවලට වෙළඳපොළ පුළුල් කර ගැනීමේ අවශ්‍යතාව පිණිස ස්වදේශීය කර්මාන්ත බිල්ලට ගත යුතු විය. බලාත්කාරකම් සහ අසමමිතික වෙළඳ නීති යෙදා ගනිමින් යුරෝපීය ධනවාදීහු අමු ද්‍රව්‍ය ප්‍රභවයක් ලෙස පමණක් කටයුතු කිරීමට යටත් විජිතවලට බල කළා පමණක් නො ව යුරෝපීය නිෂ්පාදන භාණ්ඩ සම්භාරය සඳහා ගැලවී යා නො හැකි අල්ලා බැඳගත් වෙළඳපොළක් ද සකසා ගත්තේ ය. චක්‍රය මෙසේ සම්පූර්ණ වූ පසු යුරෝපීය ධනවාදය නො කඩවා වර්ධනය විය. එහි ප්‍රතිඵලයක් ලෙස  ලෝක කාර්මික නිෂ්පාදනයේ මුළු ප්‍රමාණයෙන් 1750 වන විට ගෝලීය දකුණ සතු ව තිබූ 77% ක ප්‍රතිශතය 1900 වන විට 13%දක්වා අඩු විය.[17]

මේ අවහිරය විසඳීම පිණිස යටත්විජිතවාදීහු ස්වදේශිකයන්ගේ කර්මාන්ත විනාශ කිරීම සඳහා අසමමිතික වෙළඳ නීති පැනවූ හ. ඒ අනුව යුරෝපීය කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය සපයන්නන් ලෙස පමණක් කටයුතු කිරීමට ස්වදේශිකයන්ට බල කෙරිණි.

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022


[1] Robertson, Richie, The Enlightenment: The Pursuit of Happiness, London: Allen Lane, 2020 p. 27 (KE)

[2]  Burkhardt J, The Civilization of the Renaissance in Italy, (London: Penguin, 1990)

[3] Innos, Roland (2021) The Age of Wood: Our Most Useful Material and the Construction of Civilization (Scribner publishers) pp 1-1

[4]  Sen, Tansen (2016) The impact of Zheng He’s expeditions on Indian Ocean interactions, Bulletin of the School of Oriental and African Studies, University of London, Vol. 79, No. 3 (2016), London: Cambridge University Press, pp. 609-636 – අලගක්කෝනාර අත්අඩංගුවට ගත් ගමනේ දී අද්මිරාල් ට්ෂෙන්ග් හේට පැවරුණු කාර්ය වූයේ දළදාව  චීනයට රැගෙන ඒම බවට මින්ග් අධිරාජයා (Yongle Emperor)  විසින් ලාමා සොන්ග්-කා-පා (Tsong-kha-pa) වෙත  ක්‍රි.ව. 1413 මාර්තු වලදි යවන ලද ලිපියකින් පෙනී යන බවත් එම ලිපිය 1950 දී ලාෂා නුවර පෝතාල මාලිගයේ තිබී සොයා ගත් එකක් බවත් ලේඛකයා මෙම ලිපියේ විස්තර කරයි.

 

[6] Waibel, Paul. R (2020) Western Civilization: A Brief History, Hoboken: John Wiley & Sons, p. 264

[7] Piketty, T. (2014) Capital in the Twenty-First Century. Cambridge, MA: Harvard University Press. p.83 (KE)

[8] Hickel, Jason, (2021) Less is More: How De-growth will Save the Worlds, London: William Heinemann pp. 56 -57 (KE)

[9] Federici, Silvia (2004) Caliban and the Witch, New York: Antonomedia,  p.46

[10] Hickel, Jason, (2021) Less is More: How De-growth will Save the Worlds, London: William Heinemann, pp. 59 (KE)

[11] Rogers, Janes E Thorold, (1894) Six Centuries of Work and Wages” The History of English Labour, London, pp. 362ff; Boissonnade, P (1927) Life and Work in Medieval Europe, New York Alfred A Knopf, pp. 316-320

[12] Hickel, Jason, (2021) Less is More: How De-growth will Save the Worlds, London: William Heinamann, p. 61(KE)

[13] Hickel, Jason, (2021) Less is More: How De-growth will Save the Worlds, London: William Heinamann, p. 65 (KE)

[14] Szreter Simon,(2003) The Population Health Approach in Historical Perspective, American Journal of Public Health 93 (3), pp 421-431

[15] ReséndezAndrés, (2016) The Other Slavery: The Uncovered Story of Indian Enslavement in America , Houghton: Miffing Harcourt, p. 19

[16] Tharoor Shashi,(2017) Inglorious Empire, Victoria: Scribe Publications, pp. 37-38

[17] Tomlinson, B.R (1996) Economics: The Periphery, In the “The New Cambridge History of India”, Vol 3, 3, Cambridge: Cambridge University Press, p. 15.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: