7. ආර්ථික චින්තනයේ සීමා

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

නෝවා ගුඩ්වින් ප්‍රමුඛ අර්ථශාස්ත්‍රඥයන් විසින් ලියූ Microeconomics in Context කෘතියේ නවතම සංස්කරණය ආරම්භ වන්නේ “ආර්ථික විද්‍යාව යනු මිනිසුන් සිය අවශ්‍යතා සපුරා ගැනීම සහ තම යහපැවැත්ම (well-being) වැඩිදියුණු කර ගැනීම සඳහා තමන් සතු සම්පත් කළමනාකරණය කර ගන්නා ආකාරය අධ්‍යනය කිරීමයි” යනුවෙනි[1]. මෙහි දැක්වෙන ‘යහපැවැත්ම’ යන්න විවිධ පුද්ගලයන් විවිධාකාරයට තේරුම් ගනු ඇත. එහෙත් තමන් කල්පනා කරන ආකාරයට එවැනි අර්ථ දැක්වී‍ෙමක් හැම දෙනෙකුට ම ආදේශ කළ හැකි දෙයක් විය යුතු බව ගුඩ්වින් පවසයි. අපේ යහපැවැත්ම සාමාන්‍යයෙන් රැඳී ඇත්තේ අප ලබන ආදායම සහ අපේ ජීවන මට්ටම ප්‍රදර්ශනය වන ද්‍රව්‍යයමය වස්තුවල අගය පිළිබඳ සාම්ප්‍රදායික දර්ශක මත යි. එහෙත් අප ජීවත් වන පරිසරයේ ප්‍රශස්ත බව, අපට ලැබෙන විවේක කාලය සහ අප අයත් වන සමාජය කොයි තරම් සාධාරණ ද යන්න පිළිබඳ අපේ අවබෝධය වැනි වෙනත් බොහෝ කරුණු මත ද අපේ යහපැවැත්ම නිර්ණය විය යුතුය. කෙසේ වෙතත් ඒවා ආර්ථික විද්‍යාවේ විෂය පථයෙන් බැහැර ව පවතින දේවල් බව සාම්ප්‍රදායික ඇදහීම යි.

පොදු ජනතාව අතර පවතින සාමාන්‍ය පිළිගැනීම වන්නේ ආර්ථික විද්‍යාව යනු අමාරු විෂයයක් බව යි.  ආර්ථික විද්‍යාඥයෙකු රූපවාහිනිය ඔස්සේ තර්ක කරන අන්දම දකින කෙනෙකුට ඔහුගේ ඇතැම් තර්කවල ප්‍රශ්නකාරී බව හැඟී ගියා විය හැකිය.  එහෙත් ආර්ථිකය පිළිබඳ ඔහුට ඇතැ’යි සැලකෙන විශේෂඥ භාවය සලකා ඔහුගේ ඒ නො තේරෙන අදහස් පවා අවිචාරයෙන් පිළිගැනීමට බොහෝ අයට සිදු වෙයි.

එහෙත් එකක් පැහැදිලි ය: එනම් ආර්ථික විද්‍යා නියාම අපේ එදිනෙදා ජීවිතයට බලපාන රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේ ලා තීරණාත්මක භූමිකාවක් ඉටු කරන බව යි. අපේ රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේ මව්බස වන්නේ ආර්ථික විද්‍යාවයි. එමෙන් ම සමාජයේ පොදු මානසිකත්වය හැඩ ගස්වන භාෂාව ද ආර්ථික විද්‍යාව යි. විසිඑක් වෙනි සියවසේ මේ මුල් දශකවල සංවර්ධනය පිළිබඳ මූලික ම කතන්දරය වී ඇත්තේ ද චිරාගත ආර්ථික විද්‍යා විශ්වාස, නවලිබරල්වාදී ආර්ථික වටිනාකම් සහ උපකල්පන අඩංගු වන සාම්ප්‍රදායික ආර්ථික විද්‍යා ආඛ්‍යානය යි. මේ ආඛ්‍යානයට අයත් වාං මාලාව ජනමාධ්‍ය හරහා පුනරුච්චාරණය කරන විවිධාකාර දේශපාලනඥයන්ගෙන්, ඔවුන්ගේ අනුශාසකයන්ගෙන් සහ අනුගාමිකයන්ගෙන් බොහෝ විට අපේ කන්වලට නිවනක් නැත.

මේ නිසා ආර්ථික විද්‍යාඥයින් මිනිසුන්ගේ සිතුම් පැතුම් මෙහෙයවන ඉමහත් බල අධිකාරයක් ගොඩනගා ගෙන තිබේ. ජාත්‍යන්තර ප්‍රතිපත්ති සාකච්ඡා කරන ලෝක බැංකුවේ සිට ලෝක වෙළෙඳ සංවිධානයේ රැස්වීම් දක්වා ඉදිරි පෙළ අසුන් අරක් ගෙන සිටින්නෝ ආර්ථික විද්‍යාඥයෝ ය. බලගතු අයගේ කන් ආර්ථික විද්‍යාඥයාගේ මතවලට නිරන්තරයෙන් ම විවෘතය. උදාහරණයක් වසයෙන් ගත්තොත් දිගු කලක සිට එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශක කවුන්සලය ධවල මන්දිරයේ ඇති උපදේශක මණ්ඩල අතරින් වඩාත් ම බලසම්පන්න උපදේශක මණ්ඩලය වී තිබේ. එයට අනුරූප ව පිහිටුවා ඇති පරිසරය පිළිබඳ උපදේශක මණ්ඩලය ගැන හෝ විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ උපදේශක මණ්ඩලය ගැන හෝ කිසිවෙකු දන්නා බවක් පෙනෙන්නට නැත.

ඇත්ත වසයෙන් ම මේ සා බල අධිකාරයක් ආර්ථික විද්‍යාවට තිබීම ගැන හැම ආර්ථික විද්‍යාඥයෙකු ම ඒ තරම් මනාපයක් දක්වා නැත. දෙවන ලෝක මහා යුද්ධයෙන් පසු ආර්ථික විද්‍යා චින්තනයට සැලකිය යුතු බලපෑමක් ඇති කළ ජෝන් මේනාඩ් කේන්ස් ආර්ථික විද්‍යාවේ මේ බලාධිකාරී භූමිකාව ගැන සැලකිය යුතු විවේචනාත්මක  ආකල්පයක් දැරූ අයෙකි. ඔහුට අනුව ආර්ථික විද්‍යාඥයන් සහ දේශපාලන දාර්ශනිකයන් කියන දේවල්වලට අප ඒවායේ හරි වැරදි බව නො තකා සාමාන්‍ය බුද්ධිය ඉක්මවා ගිය අනවශ්‍ය බලසම්පන්න බවක් ආරෝපණය කර තිබේ.  එම අදහස හරියටම ආර්ථික වර්ධනය හැර ලෝකය පාලනය කරන වෙනත් කිසිම දෙයක් නැතැයි සිතන තරමට ම මුල් බැහැ ගෙන තිබේ.

නවලිබරල්වාදයේ පියා ලෙස විරුදාවලි ලත් ඔස්ට්‍රියානු ආර්ථික විද්‍යාඥ ෆ්‍රීඩ්රික් වොන් හයෙක් 1940 ගණන්වල සිට ම කේන්ස්ගේ ආර්ථික මතවාද තදින් ම ප්‍රතික්ෂේප කළත් ආර්ථික විද්‍යාඥයින්ට අනවශ්‍ය අධිකාරයක් ලබා දීම සම්බන්ධයෙන් නම් කේන්ස් සමඟ මුළුමනින් ම එකඟ වීය. ගුනාර් මිර්ඩාල් සමඟ 1974 දී ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය බෙදා ගත් හයෙක් මෙසේ පැවසීය:

“මේ නොබෙල් ත්‍යාගය පිහිටුවන අවස්ථාවේ දී ඒ සම්බන්ධයෙන් මගේ අදහස විමසී නම් නොබෙල් ත්‍යාගය පිහිටුවීම ගැන මම ඉඳුරා ම විරුද්ධ වෙමි. මන්ද නොබෙල් ත්‍යාගය මඟින් පුද්ගලයෙකුට පිරිනමන අධිකාරය ආර්ථික විද්‍යාවට අනුව කිසිදු කෙනෙකු විසින් හිමි නො කර ගත යුතු දෙයක් වන බැවිනි. ඊට හේතුව ආර්ථික විද්‍යාඥයෙකුගේ බලපෑමට වැඩියෙන් ම ගොදුරු වෙන්නේ දේශපාලනඥයන්, මාධ්‍යවේදීන්, සිවිල් නිලධාරීන් සහ පොදු ජනතාව වැනි ආධුනිකයන් වීම නිසයි…. ජනමාධ්‍ය විසින් බොහෝ විට සලකන අන්දමට මෙන් ම හා ඒ නිසා අවසානයේ දී අදාළ පුද්ගලයාට ම විශ්වාස කිරීමට බල කෙරෙන අන්දමට සමාජයේ ඇති හැම ප්‍රශ්නයක් පිළිබඳව ම සර්වතෝභද්‍රයෙකු වීමට ආර්ථික විද්‍යාවට කැපී පෙනෙන දායකත්වයක් දුන් අයෙකුට හැකියාවක් ඇතිවීමට කිසිම හේතුවක් නැත”[2]

විසිවැනි සියවසේ විසූ වැදගත් ම ආර්ථික විද්‍යාඥයන් දෙපොළ ආර්ථික විද්‍යාවේ බල පෑම පිළිබඳ එසේ අනතුරු හඟවා තිබිය දීත් ආර්ථික විද්‍යාඥයින්ගේ ආධිපත්‍ය මොන තරම් ක්ෂේත්‍රවලට පැතිර ඇද්දැ’යි කිව හොත් දැන් මහජන ජීවිතයේ හැම දෙයක් ම නිර්ණය වන්නේ හුදෙක් ම ආර්ථික විද්‍යා තක්සේරු කිරීම්වලට අනුව ය. ඒ අනුව ආරෝග්‍ය ශාලාවල වෛද්‍යවරු සහ රෝගීන් අතර ඇති සම්බන්ධය හුදෙක් සේවා සපයන්නන් සහ පාරිභෝගිකයන් අතර ඇති සම්බන්ධයක් ලෙස හඳුන්වනු ලැබේ. ඒ අතර ලෝකයේ ඇති තෙත් බිම්වල වාර්ෂික වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.4 බැගින් වන ලෙස ද ලොව පුරා කෘමීන් විසින් කරනු ලබන පරාගණයේ වාර්ෂික වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 160 ක් ආදී වසයෙන් හැම මහාද්වීපයක ම වගාබිම් සහ වනගහනවල ගැබ් ව ඇති ‘ස්වාභාවික ප්‍රාග්ධනය’ සහ ‘පරිසර පද්ධති මඟින් ඉටු වන සේවය’ ආර්ථික විද්‍යාඥයින් විසින් මිල වටිනාකම්වලට හරවනු ලැබ තිබේ.

මේ අතර විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ශීර්ෂ පාඨ කොටස් මිල ගණන් සහ එක් එක් කාර්තුවේ දී මුල් පෙළේ කෝපරේට් සමාගම් ලබන ප්‍රතිලාභ උත්කර්ෂණයට නැංවීම මඟින් මූල්‍ය අංශයේ ඇති බර සාර වැදගත්කම අපට දිනපතා ඒත්තු ගැන්වීමට තැත් කරයි.

ආර්ථික විද්‍යාවට මහජන ජීවිතය සම්බන්ධයෙන් ආරෝපණය කර තිබෙන මේ බලසම්පන්න බව නිසා බොහෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ තම අධ්‍යාපනයේ කොටසක් වසයෙන් එක් ආර්ථික විද්‍යා පාඨමාලාවක් වත් ඉගෙන ගැනීමට උනන්දු වෙති. ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් හැම වසරක දී ම ශිෂ්‍ය ප්‍රජාවෙන් මිලියන 5 ක් තම උපාධිය සඳහා අවම වසයෙන් එක් ආර්ථික විද්‍යා පාඨමාලාවක් වත් හදාරන බව “ඩෝනට් ආර්ථිකය” (Doughnut Economy) නමැති කෘතිය ලියූ නව පරපුරක ආර්ථික විද්‍යාඥවරියක වන කේට් රේවර්ත් පෙන්වා දෙයි.

එක්සත් ජනපදය මුලින් ම හඳුන්වා දුන් Econ-101 නම් මූලික ආර්ථික විද්‍යා පාඨමාලාව හැදෑරීම චීනයේ සිට චිලී රට දක්වා ලෝකය පුරා ශිෂ්‍ය ප්‍රජාවගේ නියත ඉරණමක් බවට පත් වෙන තරමට ප්‍රචලිත වී තිබේ. නොයෙකුත් භාෂාවන්ට පරිවර්තනය කර ඇති මේ පාඨමාලාව සඳහා තවමත් යොදා ගන්නේ චිකාගෝ, කේම්බ්‍රිජ් සහ මැසචුසෙට්ස් විශ්ව විද්‍යාලවල එකල ඒ සඳහා යොදා ගනු ලැබූ පාඨ ග්‍රන්ථවල පරිවර්තන බව විකල්ප ආර්ථික විද්‍යා චින්තනයක අවශ්‍යතාව හුවා දක්වමින් කේට් රේවර්ත් පෙන්වා දෙයි. අනාගතයේ දී තමන් ව්‍යවසායකයෙකු, වෛද්‍යවරයෙකු, මාධ්‍යවේදියෙකු හෝ දේශපාලන ක්‍රියාකාරියෙකු වේද යන්න නො තකා, මේ හැම ශිෂ්‍යයෙකුට ම Econ-101 පාඨමාලාව සිය පුළුල් අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්කර ගැනීමට සිදු ව ඇත. එපමණක් නො ව කෙදිනක වත් ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන නැති අය සම්බන්ධයෙන් පවා සමාජ හා පෞද්ගලික කතිකා විවාදවල දී ආර්ථිකය යනු කුමක් ද? එය වැඩ කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? යන කරුණු කාරණා සම්බන්ධ සිතුම් පැතුම් පමණක් නො ව ආර්ථිකය පිළිබඳ භාෂා ව්‍යවහාරය පවා මෙහෙයවෙන්නේ Econ-101 නම් මූලික පාඨමාලාවේ අනුභාවයෙනි.

සම්ප්‍රදායික ආර්ථික විද්‍යාවට අනුව සාර්ව ආර්ථිකය (macro-economy) නිරූපණය කරන දළ රූපාදර්ශයක් ආචාර්ය පොල් ඒ සැමුවෙල්සන් 1948 දී පළ කළ Economics: An Introductory Analysis නම් කෘතියේ එයි.  වෘත්තාකාර ප්‍රවාහ රූසටහන (Circular Flow Diagram) නමින් හැඳින්වෙන ඒ  රූපාදර්ශය සමස්ත ආර්ථිකය ගැන පොදු ජනතාවට පැහැදිලි කර දීමට යොදා ගත හැකි මාහැඟි රූසටහනක් ලෙස දිගු කලක් තිස්සේ සැලකුණි.  සමස්ත ආර්ථිකය ගැන කල්පනා කරන විට සැමුවෙල්සන් අවධානය යොමු කර ඇත්තේ කිනම් ක්‍රියාකාරිකයින් සහ කිනම් භූමිකා ගැන ද යන්න එකී රූසටහනින් නිරූපණය වී යැයි සැලකිය හැකිය. එහෙත් එහි ඇති සීමාකම් විස්තර කිරීම පිණිස ඒ රූපාදර්ශයේ පහත දැක්වෙන  සංස්කරණය කේට් රේවර්ත් සිය Doughnut Economics කෘතියට ඇළත් කර තිබේ.

ඉහත රූපාදර්ශයෙන් පිළිබිඹුවෙන සම්ප්‍රදායික විශ්ලේෂණයට අනුව සමස්ත ආර්ථිකයේ ම කේන්ද්‍රීය කාරණය වන්නේ කුටුම්බ සහ ව්‍යාපාර අතර ඇති වෙළඳපොළ සම්බන්ධතාව බව රේවර්ත් පෙන්වා දෙයි. එයට අනුව කුටුම්බ තම ශ්‍රමය හෝ ප්‍රාග්ධනය හෝ ව්‍යාපාර සඳහා සපයා දී වැටුප් හෝ ලාභාංශ හෝ ලබාගනී. අනතුරුව එම ආදායම ව්‍යාපාර මඟින් සපයන භාණ්ඩ සහ සේවා මිලට ගැනීම සඳහා පරිභෝජන වියදම් ලෙස වැය කර යි.  ඒ අන්දමින් නිෂ්පාදනය සහ පරිභෝජනය අතර පවතින අන්තර්ක්‍රියාකාරිත්වය නිසා ආදායමේ චක්‍රීය හෙවත් වෘත්තාකාර ප්‍රවාහයක් ඇති වේ. වෙනත් සාධක තුනක් එනම්, බැංකු, රජය සහ විදේශ වෙළඳාම මැදිහත් නො වන්නට බාධාවකින් තොර ව එම ආදායම් ප්‍රවාහය එසේ සරල වෘත්තාකාර ප්‍රවාහයක් ලෙස ම පවතින්නට ඉඩ තිබුණි. එහෙත් බැංකු, රජය සහ ආයාත නිර්යාත වෙළදාම මඟින් කුටුම්බවල හා ව්‍යාපාරවල ආදායමෙන් කොටසක් වෙනත් කටයුතු සඳහා යොමු කර යි. ආදායම් සහ ඉතුරු කිරීම් තැන්පතු ලෙස ලබා ගන්නා බැංකු ඒවා ණය හා ආයෝජන වසයෙන් නැවත ලබා දේ. ආණ්ඩුව ද ආදායමෙන් කොටසක් බදු වසයෙන් අය කර ගන්නා නමුත්  එය පොදු වියදම් සඳහා යොදා ගනී. අපනයන වෙළදාමෙන් උපයා ගන්නා විනිමයෙන් වැඩි කොටසක් භාණ්ඩ ආනයන සඳහා යොදා ගැනීමට සිදු වේ.

සැමුවෙල් මේ රූපාදර්ශය ජෝන් මේනාඩ් කේන්ස් ඉදිරිපත් කළ ආර්ථිකයේ සර්පිලාකාර අවධමනය පිළිබඳ මතය විස්තර කිරීමට ද යොදා ගත්තේ ය. ඒ අනුව කිසියම් හේතුවක් නිසා කුටුම්බ සිය වියදම් අඩු කළ විට (උදාහරණයක් ලෙස ඉදිරියේ දී අමාරු කාලයක් ඉදිරියේ ඇති වෙතැ’යි සිතීම නිසා) භාණ්ඩ සහ සේවා සඳහා ඉල්ලුම ද අඩුවේ. ඒ අනුව ව්‍යාපාර හා කර්මාන්තවලට අවශ්‍ය කරන සේවක ප්‍රමාණය ද අඩුවේ.  ඒ නිසා රැකියාවලින් ඉවත් කිරීම වැඩිවේ. රැකියා වියුක්තිය වැඩි වූ විට භාණ්ඩ විකුණා ගැනීමේ හැකියාව ද අඩුවේ. මෙය චක්‍රයක් මෙන් යළි යළි සිදුවිය හැකිය. එ නිසා කේන්ස් ට අනුව නැවත ආර්ථිකය කෙරෙහි විශ්වාසය තහවුරු වන තෙක්  අවධමනය වැළැක්වීමට රජය මැදිහත් වී රාජ්‍ය ව්‍යාපෘති මඟින් අන්තර්කාලීන ව රැකියා අවස්ථා ඇති කළ යුතු ය. 

මෙම රූපාදර්ශය එක්තරා දුරකට සාර්ව ආර්ථිකයේ බහුවිධ පැතිකඩ නිරූපණය කරන රූපාදර්ශයක් බව සැබැවි. සමස්ත ආර්ථිකය පිළිබඳ ආදර්ශනයක් වසයෙන් ගත්තොත් සංවෘත පද්ධතියක් ලෙස එහි වැරැද්දක් නැති බව පෙනේ. එහෙත් අනෙක් ඕනෑම ආදර්ශනයක් මෙන් ම අදාළ ක්ෂේත්‍ර සම්බන්ධ එමඟින් ඉදිරිපත් වෙන සාධක මෙන් ම ඉදිරිපත් නො කරන සාධක සම්බන්ධයෙන් ද අප අවධානය යොමු කර යුතුය. ඒ අනුව ප්‍රශ්නය වන්නේ මතුපිටට නො පෙනෙන ඇතැම් තීරණාත්මක ආර්ථික සාධක ඉහත කී සම්ප්‍රදායික රූසටහනෙන් නො සලකා හැරීම යි.  උදාහරණයක් වශයෙන් වැදගත් ම ආර්ථික සාධකයක් වන බලශක්ති අවශ්‍යතා එමඟින් සහමුලින් ම නො තකා හැර තිබේ. ඒ හැර ආර්ථික කටයුතු සඳහා අත්‍යවශ්‍යය වන ද්‍රව්‍යයමය සම්පත්වල තිරසාර පැවැත්ම පිළිබඳව ද එය නිහඬ ය. මෙම තීරණාත්මක දුර්වලකම් හිතා මතාම කල නො සලකා හැරීමකට වඩා සාර්ව ආර්ථිකය පිළිබඳ ඒ වන විට පැවැති  සීමිත අවබෝධය නිසා සිදු වූවක් විය හැකි ය.  

විසි එක් වෙනි සියවස ඔස්සේ මනුෂ්‍ය ප්‍රගමනය මෙහෙයවන්නේ වර්තමානයේ ශිෂ්‍යයන් ලෙස උසස් අධ්‍යාපනය ලබන අනාගත ප්‍රතිපත්ති සම්පාදකයන්, ව්‍යවසායකයින්, ගුරුවරුන්, මාධ්‍යවේදීන්, සංවිධායකයන්, ප්‍රජා ක්‍රියාකාරියන් සහ ඡන්දදායකයන් විසිනි. ඒ අනුව 2050 වන විට මුල් පෙළේ පුරවැසියන් බවට පත් වීමට නියමිත ඒ අයගේ සිහි මොළය අවාසනාවකට මෙන් හැඩ ගැසෙන්නේ 1850ස් ගණන්වල බිහි වූ ආර්ථික න්‍යායන් පදනම් කොට 1950ස් ගණන්වල ලියන ලද පාඨ ග්‍රන්ථවල ආභාසයෙන් බව කේට් පෙන්වා දෙයි. එහෙත් විසිඑක් වෙනි සියවසේ සිදු වෙමින් පවතින පෙර නොවූ විරූ ශීඝ්‍ර වෙනස්වීම් සලකා බැලූ විට එවැනි යල් පැන ගිය මොළ ශෝධනයක් සියල්ලන්ගේ ම ව්‍යසනයකට පාර  නො කපනු ඇතැ’යි අපට සහතික විය හැකි ද?.

ආර්ථික විද්‍යාව යනු  ඔය කියන තරම් අමාරු විෂයයක් ද?  සරල කොයි කාටත් තේරෙන බසකින් විෂය කරුණු විස්තර කරන්නේ නම් ඇත්ත වසයෙන් ම ආර්ථික විද්‍යාව යනු පහසුවෙන් වටහා ගැනීමට නො හැකි විෂයයක් නො වේ. 23 Things They Don’t Tell You About Capitalism (ධනවාදය ගැන ඔවුන් ඔබට නො කියන කරුණු විසි තුනක්) යන කෘතිය ලියූ ආර්ථික විද්‍යාඥ හා-ජූන්ග් චැන්ග් පවසන පරිදි ආර්ථික විද්‍යාවෙන් 95% ක් ම දුරවබෝධ හෙවත් අපභාෂණීය (jargon) වචන සහ ගණිතමය සූත්‍ර මඟින් බෙහෙවින් අමාරු විෂයයක් ලෙස පෙනෙන්ට සලස්වනු ලැබූ හුදු සාමාන්‍ය දැනීම යි. 

යම් තාක්ෂණික දැනුමක් අවශ්‍ය ඕනෑ ම විෂයයක් – එය ආර්ථික විද්‍යාව, ජල නල කාර්මික ශිල්පය හෝ වෛද්‍ය කර්මය හෝ වේවා එම විෂය සම්බන්ධ වෘත්තීය සංනිවේදනය පිණිස යොදා ගන්නා අපභාෂණීය ව්‍යවහාරය එම විෂය ගැන පිටස්තරයන් සමඟ කෙරෙන සංනිවේදනය අමාරු දෙයක් බවට පත් කරයි. හා-ජුන්ග් චැන්ග්ගේ වචනයෙන් ම වඩා නරුම අන්දමකට කියන්නේ නම් යථා තත්වයට වඩා සංකීර්ණ බවක් පෙන්නුම් කිරීම සියලු තාක්ෂණික වෘත්ති සම්බන්ධයෙන් පොදු ලක්ෂණයකි. එය අදාළ වෘත්තිකයන් සිය සේවා සඳහා ඉහළ ගාස්තු අය කිරීම සාධාරණීකරණය කිරීමට යොදා ගන්නා උපක්‍රමයකි.

මේ සියල්ල සලකා බැලූ විට ආර්ථික විද්‍යාව ඇසුරු කිරීමට, ආර්ථික විද්‍යාව හා නියුක්ත වීමට පොදු ජනතාව දක්වන මැලිකම ඒ ආකාරයෙන් ම පවත්වා ගැනීම අතින් ආර්ථික විද්‍යාව බෙහෙවින් සාර්ථක වී ඇති බව කිව හැකි ය. අදාළ විෂය ගැන තිබිය යුතු විශේෂඥභාවයක් තමන්ට නැති වුනත් දේශගුණය වෙනස් වීම, සමලිංගික විවාහය, අයිඑස්අයිඑස් ව්‍යාපාරය, න්‍යෂ්ටික බලාගාර වැනි  බොහෝ කරුණු ගැන තම මතය ප්‍රබල ලෙස ප්‍රකාශ කිරීමට මිනිස්සු කිසිදු මැලිකමක් නො දක්වති. එහෙත් බොහෝ විට ආර්ථිකය පිළිබඳ කරුණු සම්බන්ධයෙන් මිනිසුන් ප්‍රබල මතයක් දක්වනවා තබා උනන්දුවක් වත් දක්වන බවක් වත් පෙනෙන්ට නැත.

යුරෝවල අනාගතය, චීනයේ මිනිසුන් අතර ඇති ආදායම් විෂමතාව, ඇඟලුම් වෙළඳපොළ හැකිළීම, ඇමෙරිකාවේ නිෂ්පාදන කර්මාන්තවල අනාගතය වැනි කරුණු ගැන ඔබ අවසන් වරට සාකච්ඡා කළේ කවදා ද? ඔබ කොහේ ජීවත් වුණත් එකී කරුණු සෘණාත්මක හෝ ධනාත්මක ලෙස හෝ ඔබේ රැකියා අවස්ථා, වේතනය සහ විශ්‍රාම වැටුප වැනි දෑ ගැන නිසැක ලෙස බලපානු ඇත. එහෙත් ඒවා ගැන ඔබ බරපතළ ලෙස කල්පනා කරන බවක් පෙනෙන්ට නැත. 

මේ කුතුහලය දනවන මැලිකමට යම් පමණකට එක් හේතුවක් වන්නේ ආදරය, අවතැන් වීම, මරණය හෝ යුද්ධය වැනි දෑ සම්බන්ධයෙන් තරම් මනෝභාවීය ආකර්ෂණයක් ආර්ථික කරුණු සම්බන්ධයෙන් අපට ඇති නො වීම විය හැකි ය. විශේෂයෙන් පසුගිය දශක කිහිපය තුළ ආර්ථික විද්‍යාවේ පැවැත්ම තිබුණේ ම හුදෙක් එය රසායන විද්‍යාව හෝ භෞතික විද්‍යාව වැනි ‘ශුද්ධ විද්‍යාවක්’ ලෙස විශ්වාස කිරීමට මිනිසුන්ට බල කරන ලද නිසා බව හා-ජුන්ග් චැන්ග් පවසයි. ශුද්ධ විද්‍යාවක දී නම් සියලු විමසීම් සම්බන්ධයෙන් තිබෙන්නේ එක් නිවැරදි උත්තරයක් පමණි. ඒ අනුව ගොස් විශේෂඥයන් නො වන අන් සියල්ලන් ම ආර්ථික විශේෂඥයන්ගේ මතය කිසිදු ප්‍රශ්න කිරීමකින් තොර ව පිළිගත යුතු ය යන ඇදහිල්ල සමාජ ගත කිරීමට හැකි විය. එහි ඵලය ආර්ථික කරුණු ගැන හිතන්නට විශේෂඥයන්ට ඉඩ දී පොදු ජනතාවට නිහඬ වීමට සිදු වීම යි. හාවඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු හා බෙහෙවින් ජනප්‍රිය ආර්ථික විද්‍යා පෙළ පොතක කතුවරයෙකු වූ ග්‍රෙගරි මැන්කිව් ඒ ගැන මෙසේ පාපෝච්චාරණය කළේ ය: 

 “නියම විද්‍යාඥයෙකු ලෙස පෙනී සිටීමට ආර්ථික විද්‍යාඥයා කැමැත්තක් දක්වයි. මා ඒ බව හොඳින් දන්නේ මමත් බොහෝ විට එසේ කරන බැවිනි. උපාධි අපේක්ෂක ශිෂ්‍යයන්ට උගන්වන අවස්ථාවල දී එම පාඨමාලාවෙන් කෙරෙන්නේ කිසියම් ‘මඩකරි ශාස්ත්‍රයක්’ කියා දීමට තැත් කිරීමක් යැයි කිසිදු ශිෂ්‍යයෙකු සිතීම වැළැක්වීමට ආර්ථික ක්ෂේත්‍රය හැදෑරීම යනු නිශ්චිත විද්‍යාවක් හැදෑරීම බව මම හිතාමතා ම ඔවුන්ට කියා සිටිමි[3].”

වසර 2000 දී පැරිසියේ ආර්ථික විද්‍යා සිසුන් කණ්ඩායමක් සිය මහාචාර්යවරුන් අමතා විවෘත ලිපියක් ලියමින් මුඛ්‍ය ධාරාවේ ආධානග්‍රාහී ආර්ථික න්‍යායන් ඉගෙන ගැනීමෙන් පලක් නො වන බව කියා සිටියේ ය. “මවා ගත් ලෝකවලින් මිදීමට අපට අවශ්‍යයි. ප්‍රමාද වීමට පෙර අවදි වන්න” යැයි ඔවුහු සිය ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියහ. ඉන් දශකයකට පසු හාවඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා ශිෂ්‍යයන් සිය ආර්ථික විද්‍යාව පිළිබඳ ව මහාචාර්ය ග්‍රෙගරි මැනිකිව්ගේ පාඨමාලාව මඟින් පක්ෂග්‍රාහී පටු දෘෂ්ටිවාදයක් පැතිර වීමට තැත් කරන බව චෝදනා කොට  ඔහුගේ පංතියෙන් පිටවී විරෝධය පෑවේ ය.  “මේ පක්ෂග්‍රාහිත්වය, ශිෂ්‍යයන්ටත්, විශ්ව විද්‍යාලයටත් අපේ ශ්‍රේෂ්ඨ සමාජයටත් හානිදායක යැ’යි ශිෂ්‍යයෝ පැවසූහ[4]

කෙසේ වෙතත් රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව හා සසඳන විට ආර්ථික විද්‍යාවට කෙදිනක වත් ශුද්ධ විද්‍යාවක් විය නො හැකි ය. නොයෙකුත් මාදිලිවල ආර්ථික න්‍යායන් පවතී. ඒ එක් එක් න්‍යායක් සංකීර්ණ යථාර්ථයක විවිධ අංශ අවධාරණය කරමින් එකිනෙකට වෙනස් නිගමනවලට එළඹෙමින් සදාචාරීය හා දේශපාලනික වටිනාකම් පිළිබඳ යම් විනිශ්චයක් ලබා දෙයි. එහෙත් තමන් අවධාරණය කරන ක්ෂේත්‍රය ගැන තිබෙන නියම ලෝක තත්වය අනුව අනාවැකි කීම සම්බන්ධයෙන් නම් මේ න්‍යායයෝ නිරන්තරයෙන් ම අසමත් වෙති.

“එක අතකට මෙසේත් විය හැකියි ඒත් අනික් අතට මෙසේත් විය හැකියි කියන ආර්ථික විද්‍යාඥයන් වෙනුවට මට එක් අතක් පමණක් ඇති ආර්ථික විද්‍යාඥයෙකු ලබා දෙන්න”  [5] යැ’යි ඇමෙරිකානු ජනාධිපති හැරී ට්රූමන් (1945-1953) කළ උපහාසය ආර්ථික විද්‍යාවේ අශුද්ධකම නිරූපණය කරයි.

පොදු යහපත සහ ආර්ථිකය අතර ඇති සම්බන්ධතාව ගැන ද ආර්ථික විද්‍යාව අනුසාරයෙන් කරන කතාබහ ද නො මග යවන සුලු ඒවා ය. උදාහරණයක් ලෙස ‘ඒක ආර්ථිකයට හොඳයි’ යන්නෙහි ඇත්ත තේරුම වන්නේ ව්‍යාපාරික ලෝකයට වාසි වන බව යි. පොදු යහපත පිළිබඳ ප්‍රතිපත්ති සාකච්ඡාවල දී ‘ආර්ථිකයට හොඳයි’ යන්න ඉදිරිපත් කරන්නේ ‘වැඩි රැකියා අවස්ථා’ ලැබීම පොදු යහපතට හේතු වන බව හඟවමිනි. මෙය සාමාන්‍යයෙන් ව්‍යාජ සාධාරණීකරණය කිරීමකි. විසි එක්වැනි සියවසේ  බටහිර රටවල ‘ආර්ථිකයට හොඳ වෙන්නේ’ හොඳට ගෙවන රැකියා ප්‍රමාණය සැලකිය යුතු අයුරින් අඩු කිරීමෙනි. ඒ අනුව රැකියා විශාල ප්‍රමාණයක් අඩු වැටුප් ගෙවන රටවලට යවා ගැනීම ‘ආර්ථිකයට හොඳ ය’. ඒ අනුව සිය රටෙහි රැකියා හිඟය වැඩි වීම ආර්ථිකයට කෙසේ වෙතත් පොදු යහපතට හොඳ වන්නේ කෙසේ දැ’යි යන්න ගැන ආර්ථික විද්‍යාව නිහඬ ය.

නිෂ්පාදන කටයුතු සහ සේවා කටයුතු විදෙස් රටවලට බහිස්සේවාර්පණය (outsource) හෙවත්  අවුට්සෝර්ස් කිරීම ඇතැම් විට හාස්‍ය ජනක මට්ටමකට වැටී තිබුණ ද ඒවා ආර්ථික වසයෙන් ඉතා තාර්කික බව විශ්වාස කෙරේ. මේ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ NPR ගුවන් විදුලිය 2014 දී හෙලි කළ කාරණයක් එකී හාස්‍යජනක තත්වයට හොඳ උදාහරණයකි. ඒ වාර්තාවට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇලස්කා වෙරළට ඔබ්බෙන් අල්ලා ගන්නා සැමන් මත්ස්‍යයන් කෙළින් ම අධිශීතකරණය කොට චීනයට යවනු ලැබේ. චීනයේ දී ඒවා හිම ඉවත් කිරීමෙන් පසු කටුව ඉවත් කොට පෙතිවලට කපා යළි අධිශීතකරණය කොට ඇමෙරිකා එක්සත් ජනපදයට නැවත යවනු ලැබේ. ඇමෙරිකානු කම්කරුවන් ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි ‘ආර්ථික ජාතිකවාදියෙකුට’ ඡන්දය දීමට පෙලඹුණේ මෙවැනි විහිළු සහගත අවුට්සෝර්ස් කිරීම්වලින් ඔවුන්ගේ රැකියා අවස්ථා අහිමි කොට ඇමෙරිකානු ශ්‍රම බලකාය අඩු කිරීම නිසා ඇති වූ කෝපය නිසයි.

එමෙන් ම භාවිතයේ දී බොහෝ ආර්ථික විද්‍යා පුරෝකථන විහිළු සහගත ලෙස අසමත් ව ඇති බව පෙනී යයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික විද්‍යාඥයෙකු වන ප්‍රකාශ් ලුන්‍ගානි නිගමනය කර ඇති අන්දමට ‘ආර්ථික අවධමනය පුරෝකථනය කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාව නිකැළැල් වාර්තාවක් තබා ඇත’.[6] වසර 2008 දී එක්සත් ජනපදයේ දැවැන්ත ලෙහ්මන් බ්‍රදර්ස් ව්‍යාපාරය කඩාවැටීමට පෙර වසරේ ආර්ථික පුරෝකථනයට අනුව ඊළඟ වසරේ දී ‘ප්‍රධාන පෙළේ කිසිදු ආර්ථිකයකට අවධමනයකට මුහුණ දීමට සිදු නො වන බව’ පළ විය. නූතන සමාජය යනු අත්‍යන්තයෙන් ම සංකීර්ණ වූ පද්ධතියකි. එය අපට පාලනය කළ නො හැකි බොහෝ විචල්‍යතා සහ අපට පැහැදිලිව නො පෙනෙන අනියම් සම්බන්ධතාවන්ගෙන් සමන්විත ය. ආර්ථික පුරෝකථන බොහොමයක් වරදින්නේ එබැවිනි.

කිසියම් කරුණක් ගැන ආර්ථික විද්‍යාව සතු ව නිවැරදි එක් උත්තරයක් නැත්නම් එය වනාහී අපට හුදෙක් විශේෂඥයන්ට පමණක් පවරා බලා සිටිය හැකි කාරණයක් නො වේ. ඉන් පවසන්නේ හැම වගකිවයුතු පුරවැසියෙකු ම ආර්ථික විද්‍යාව යම්කිසි පමණකට ඉගෙන ගත යුතු බවයි. එහෙත් හැම කෙනෙකු ම ආර්ථික විද්‍යාව පිළිබඳ තඩි පෙළ පොතක් ගෙන කියවිය යුතු බවක් ඉන් අදහස් නො වේ. අවශ්‍ය වන්නේ ආර්ථික තත්වය පිළිබඳ විස්තරවලට සදාචාරීය වටිනාකම් සහ දේශපාලනික අරමුණු අරභයා කොතෙක් දුරට විග්‍රහාත්මක විනිශ්චයන් කළ හැකි ද යන්න දැන ගත හැකි වන පමණට විවිධාකාර ආර්ථික තර්ක පිළිබඳ දැනුමක් ඇති කර ගැනීමයි.

අප ද ඇතුළු ව ආර්ථික විද්‍යා විෂය ගැන එතරම් දැනුමක් නැති කෙනෙකු ආර්ථික විද්‍යාව යනු හුදෙක් ආර්ථිකය ගැන අධ්‍යයනය කිරීම යැ’යි සිතනු ඇත.  රසායන විද්‍යාව යනු රසායන ද්‍රව්‍ය අධ්‍යයනය කිරීම යි.  ජීව විද්‍යාව යනු ජීවයක් ඇති දේවල් අධ්‍යයනයට ලක් කිරීම යි.  එමෙන් ම සමාජ විද්‍යාව යනු සමාජය පිළිබඳව අධ්‍යයනය කිරීම යි.  ඉතින් ඒ අනුව ආර්ථික විද්‍යාව යනු ආර්ථිකය පිළිබඳව අධ්‍යයනය කිරීම යැ’යි යන්න කෙනෙකුට නිරායාසයෙන් ම සිතෙන්ට පුළුවන.

එහෙත් අද කාලයේ ඇති බෙහෙවින් ජනප්‍රිය ආර්ථික විද්‍යා පාඨ ග්‍රන්ථවලට අනුව ආර්ථික විද්‍යාව යනු ඊට වඩා ඉතා පුළුල් දෙයකි.  ඉන් ඇතැම් අදහසකට අනුව ආර්ථික විද්‍යාව යනු ජීවිතය,  විශ්වය සහ කුදු මහත් සියලු දේ ගැන පරම ප්‍රශ්නය (ultimate question) විමසීමට ලක් කිරීමකි.

Undercover Economist නමැති බෙහෙවින් සාර්ථක වූ කෘතිය ලියූ Financial Times පුවත්පතේ මාධ්‍යවේදියෙකු වන ටිම් හාෆෝඩ් පවසන අන්දමට ආර්ථික විද්‍යාව යනු ජීවිතය පිළිබඳව කතා කිරීමයි.  ඔහු සිය දෙවැනි ආර්ථික විද්‍යා පොත නම් කළේ Logic of Life හෙවත් ‘ජීවිතයේ තර්කනය’ යන නමිනි.

කිසිදු ආර්ථික විද්‍යාඥයෙකු ආර්ථික විද්‍යාව මඟින් විශ්වය විස්තර කළ හැකි යැයි තවමත් පවසා නැති නමුත් ඇතැම් ආර්ථික විද්‍යාඥයෙක් ඊට තරමක් සමීප ව ආර්ථික විද්‍යාව යනු ලෝකය ගැන කෙරෙන විග්‍රහයකැ’යි ඇඟවීමට උත්සාහ කළේ ය.  උදාහරණයක් වසයෙන් රොබට් ෆ්‍රෑන්ක් ලියූ ජනප්‍රිය Economic Naturalist කාණ්ඩයට අයත් දෙවැනි වෙළුම නම් කළේ How Economics Help you Make Sense of Your World?  හෙවත් ‘ඔබේ ලෝකය තේරුම් ගැනීමට ආර්ථික විද්‍යාව උදව් වන්නේ කෙසේ ද?’ යන නමිනි.

ආර්ථික විද්‍යාවට ආගන්තුක වූ අයකුට මේ කියමන් ගැන බොහෝ විට සිතෙන්නේ ඒවා ආර්ථික විද්‍යාවේ මූලික කාර්යය වන ආර්ථිකය ගැන කතා නොකර වෙනත් අනම් මනම් ගැන නන්දොඩවන හුදු පුරාජේරු ලෙස යි.

2008 ලෝක ආර්ථික අර්බුදය එළඹීමට ඉතා ආසන්න ව ආර්ථික විශේෂඥයන් බහුතරයක් කියා සිටියේ වෙළඳපොළට වරදින්නේ ඉතාමත් ම කලාතුරකින් බවත් වෙළඳපොළේ කිසියම් අවුලක් ඇත්නම් එය ස්වයං සමථයකට පත් කර ගැනීමට වෙළෙඳපොළ ඉඳුරා ම සමත් බවත් ය.  1955දී ආර්ථික විද්‍යාව සම්බන්ධ නොබෙල් ත්‍යාගය ලබාගත් රොබට් ලූකස් 2003 දී පැවසුවේ ආර්ථික පරිහානිය වැළැක්වීම පිළිබඳ ගැටලුව දැන් මුළුමනින් ම විසඳා අවසන් වී ඇති බව යි. එහෙත් තමන්ට සහමුලින් ම නො දැනුවත් ව හිටි හැටියේ ම 2008 ලෝක ආර්ථික අර්බුදය උද්ගත වීම ඔහු ද ඇතුළු  බොහෝ ආර්ථික විද්‍යාඥයන් අන්දමන්ද කිරීමට සමත් විය.

මේ සියල්ල සලකා බලන විට ආර්ථික විද්‍යාව යනු බරපතළ මෙගලොමේනියාවකින් හෙවත් අහංකාරෝන්මාදයකින් පෙළෙන විෂයයක් බව හා-ජුන්ග් චැන්ග් පවසයි. තමන්ට අයත් ක්ෂේත්‍රය වත් හරි හැටි විස්තර කිරීම කළමනාකරණය කර  ගත නො හැකි විෂයයක් අනෙක් හැම දෙයක් ම පාහේ විස්තර කිරීමට සමත් බව කියා සිටින්නේ කෙසේ ද?

ආර්ථික විද්‍යාව අරභයා මවා පා ඇති රැස් වළල්ල නිසා බොහෝ නූතන වාමාංශික මතවාදීහු ආර්ථික ප්‍රශ්න විවරණය කිරීමට වඩා ‘උපරි ව්‍යුහයට අයත්’ වෙනත් දේවල් ගැන කතා කිරීමට කැමැත්තක් දක්වති. ඔවුන්ගේ මුඛ්‍ය ප්‍රශ්නය විය යුතු ආර්ථික විෂමතා නිසා ඇතිවෙන සමාජ අසමානතාව කෙරෙහි දේශපාලනික වසයෙන් අඩු අවධානයක් දැක්වීම එහි අනවරත ප්‍රතිඵලයකි. කෙසේ වෙතත් ආර්ථිකය ගැන බඩපිනුම් ගැසීම ආර්ථික විද්‍යාඥයන්ට පමණක් සීමා කොට අතහැර දැමිය යුතු ක්ෂේත්‍රයක් නො වන බව ආර්ථික විද්‍යාඥයෙකුද වූ  2015 ග්‍රීක සිරිසා රජයේ මුදල් ඇමති ව සිටි  යානිස් වරුෆාකිස්ගේ කීම අනුව පැවසිය හැකි ය.

ආර්ථික විද්‍යාවට පෙරටුගාමී වූ ‘දේශපාලන ආර්ථිකය’ (Political Economy) පිළිබඳ විෂය හඳුන්වා දුන් ආදිකර්තෘවරු ආර්ථිකයේ අරමුණ පිළිබඳ ව තම අදහස ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍ය දෙයක් ලෙස සැලකූ බව පෙනේ. 

1767 ස්කොට් ජාතික නීතිඥයෙකු වූ ජේම්ස් ස්ටුවර්ට් (1712-1780) පළමු වරට ‘දේශපාලන ආර්ථිකය’ නමැති සංකල්පය ඉදිරිපත් කරන විට ඔහු දේශපාලන ආර්ථිකය හඳුන්වා දුන්නේ ‘නිදහස් ජාතීන්ගේ දේශීය ප්‍රතිපත්ති පිළිබඳ විද්‍යාව’ යනුවෙනි.  විද්‍යාවක් යනුවෙන් නම් කළ ද එහි අරමුණ කුමක් දැ’යි යන්න සඳහන් නොකර සිටීමට ඔහුට එය හේතුවක් නොවීය.  ඔහුගේ මතයට අනුව මෙම විද්‍යාවේ මූලික පරමාර්ථය සියලු දේශවාසීන්ට ජීවත් වීමට අවශ්‍ය අරමුදල් සහතික කර ගැනීම සහ එය අවහිර වීම වළක්වා ගැනීමත්, සමාජයේ අවශ්‍යතා පරිපූර්ණ කර ගැනීමත්, එකිනෙකා මත රඳා පැවැත්ම සහ එකිනෙකාගේ අවශ්‍යතා ඉටු කිරීමට මහජනතාව පෙලෙඹවීමත් ය.

ඇඩම් ස්මිත් (1723-1790) ද දේශපාලන ආර්ථිකයේ අරමුණු ගැන විශේෂයෙන් කතා කළේ ය. ඔහු සඳහන් කළ අන්දමට එහි අරමුණු දෙකක් වේ. ඉන් එකක් නම් ජනතාවට අවශ්‍ය යැපීම් සහ ආදායම් සැපයීම නොහොත් වඩා නිවැරදිව කියනවා නම් එවැනි ආදායම් උපයා ගැනීම පිණිස ඔවුන්ට අවස්ථාවක් සලසා දීම ය. දෙවන අරමුණ වන්නේ මහජන සේවා සැපයීම සඳහා රජයට ප්‍රමාණවත් ආදායමක්  උපයා දීම ය. නිදහස් වෙළඳපොළ මඟින් ආර්ථිකය ස්වයං නියාමනය වීම උත්කර්ෂණයට නැංවූ මුල් ම පුද්ගලයෙකු වසයෙන් වර්තමානයේ ඇඩම් ස්මිත් හුවා දැක්වීමට තැත් කරන බොහෝ අය අමතක කරන්නේ ඔහුගේ ආර්ථික චින්තනයට මහජන සේවා ප්‍රමුඛ නිශ්චිත සමාජීය අරමුණක් තිබුණ බව යි.

ඇඩම් ස්මිත් ගෙන් වසර හැත්තෑවකට පසු ජෝන් ස්ටුවර්ට් මිල් (1806-1873) දේශපාලන ආර්ථිකය (Political Economy) සම්බන්ධයෙන් කළ අර්ථකථනය ඒ සම්බන්ධයෙන් එතෙක් පැවති අරමුණ තරමක් වෙනස් කර ලී ය. දේශපාලන ආර්ථිකය යනු ධනය නිෂ්පාදනය කිරීම සඳහා මිනිසා විසින්  කරනු ලබන ඒකාබද්ධ ක්‍රියාකාරකම්වලින් පැන නැගෙන සමාජීය ප්‍රපංච පිළිබඳ නියාමයක් සොයා බලන විද්‍යාවක් යයි මිල් පැවසී ය. මිල්ගේ මේ පටන් ගැනුමත් සමඟ වෙනත් අය විසින් තව දුරටත් අර්ථ දක්වන ලද පරිදි ආර්ථිකයේ අරමුණු පැහැදිලි කිරීම ඇනහිට ආර්ථිකය පිළිබඳව ඇතැ’යි සිතන සිද්ධාන්ත සම්බන්ධයෙන් අවධානය යොමු විය. එතැන් සිට සියවසක් පමණ යන තෙක් ආර්ථිකය නමැති මේ නූතන විද්‍යාව බොහෝ විට අර්ථකථනය වූයේ අවිනිශ්චිත ආකාරයකිනි. 

එයට හොඳම උදාහරණය 1930 ගණන්වල දී  චිකාගෝ ගුරුකුලයේ ආර්ථික විද්‍යාඥයකු වූ යාකොබ් වයිනර් ආර්ථික විද්‍යාව යනු හුදෙක් ‘ආර්ථික විද්‍යාඥයින් විසින් කරනු ලබන දේවල් ය’ යනුවෙන් පැවසීම ය. එහෙත් හැම කෙනෙක් ම එයට එකඟ නො වූහ. 1932 දී ලන්ඩන් ආර්ථික විද්‍යායතනයේ ලයනල් රොබින්ස් මේ අවුල ගැන නො මනාපයෙන් මෙසේ පැවසී ය. “අපි හැමෝම කතා කරන්නේ එකම දේ ගැන. ඒත් ඒ දේ මොකක්ද කියන එක ගැන අපි තවමත් එකඟ වී නෑ.” එහෙත් ඒ සම්බන්ධයෙන් තමන්ට නිශ්චිත අදහසක් ඇති බව පැවසූ රොබින්ස් ආර්ථික විද්‍යාව යනු  මාරුවෙන් මාරුවට වෙනස් වන අරමුණු සහ දුලබ විධික්‍රම (ends and scarce means) පිළිබඳ ව මනුෂ්‍ය හැසිරීම අධ්‍යනය කරන විද්‍යාව යැ’යි පැවසී ය. එම ප්‍රකාශයත් සමඟ මේ පිළිබඳව ඇති වූ විවාදය තරමක් සංසිඳෙන බවක් පෙනෙන්ට තිබුණි. වර්තමානයේ ඇති පාඨ ග්‍රන්ථවල ආර්ථික විද්‍යාව පිළිබඳ ව ඇති නිර්වචන බොහෝ දුරට මෙයට සමාන යැයි කිව හැකි ය.’  බොහෝ අය භාවිත කරන ග්‍රෙගරි මැන්කිව්ගේ Principles of Economics නමැති පොතේ මෑතකාලීන සංස්කරණවල දී ඇති ‘ආර්ථික විද්‍යාව යනු සමාජය තමන් සතු දුලබ සම්පත් කළමනාකරණය කරන ආකාරය අධ්‍යයනය කරන විද්‍යාවයි’ යන අර්ථකථනය ඒ අතරින් ඉතාමත් සංක්ෂිප්ත එකකි.

මෙකී විවිධ අර්ථකථන කෙරෙද්දී ආර්ථිකයට අරමුණක් තිබිය යුතු ය යන අදහස ගිලිහී ගියේ ය.  මෙසේ වටිනාකම්වලින් නිදහස් ව ප්‍රතිමාන (norms) පිළිබඳ කතාවලින් මිදී අවසානයේ දී ආර්ථික විද්‍යාව යනු හුදෙක් එයින් කෙරෙන්නේ කුමක් ද යන්න සරල ලෙස විස්තර කරන විද්‍යාවක් ලෙස පිළිගැනීමට සිදු ව තිබීම ඉතා යහපත් දෙයක් ලෙස නවලිබරල්වාදී චිකාගෝ ගුරුකුලයට නායකත්වය දුන් මිල්ටන් ෆ්‍රීඩ්මන්ඩ් ප්‍රකාශ කළේ ය. එහෙත් ඉන් සිදු වූයේ ආර්ථික චින්තනයට සුවිශේෂ අරමුණු සහ වටිනාකම් නොමැති වීමෙන් ඇතිවූ හිදැස නොයෙක් නොයෙක් අය තම තමන්ට අභිමත අන්දමින් පුරවන්ට යෑමයි.

කෙසේ වෙතත් ‘දේශපාලන ආර්ථිකය’ නමැති විෂය ක්ෂේත්‍රය හඳුන්වා දුන් පුරෝගාමීහු ආර්ථිකයක අරමුණ කුමක් දැ’යි නිරාකරණය කිරීම අත්‍යවශ්‍ය දෙයක් ලෙස සැලකූහ. එහෙත් 19වන සියවසේ දී දේශපාලන ආර්ථිකය නමැති තනි විෂය ක්ෂේත්‍රය දේශපාලන දර්ශනය සහ ආර්ථික විද්‍යාව යනුවෙන් කොටස් දෙකකට වෙන් විය.  What Money Can’t Buy: The Moral Limits to Markets නම් කෘතිය ලියූ මයිකල් සැන්ඩල්ගේ යෙදුමකින් කිව හොත් “එනිසා මහජන ප්‍රතිපත්ති සම්පාදනයේ හරය තුළ ‘සදාචාරය පුරප්පාඩු’ (moral vacancy) වී තිබේ[7]”. ආර්ථික විද්‍යාඥයන් ද දේශපාලනඥයන් ද අද ඉමහත් විශ්වාසයකින් යුතු ව ආර්ථික කාර්යක්ෂමතාව, ඵලදායීතාව සහ වර්ධනය ගැන කතා කරන්නේ ඒවා ඉතා පහසුවෙන් තේරුම් යන දේවල් වසයෙන් සලකමිනි.

එහෙත් ඒ අතර ම ඔවුන් යුක්තිය, සාධාරණත්වය සහ අයිතීන් වැනි ආර්ථිකය විසින් තහවුරු කළ යුතු නියම වටිනාකම් ගැන කතා කිරීමට පැකිළෙති. ඒ නිසා එකී නියම වටිනාකම් සහ අරමුණු ගැන කතා කිරීම දැන් ආර්ථික විද්‍යාව තුළ නැවත සොයා ගත යුතු නැති වී ගිය කලාවක් බවට පත් වී තිබේ.

ප්‍රථම වතාවට යෞවනයන් අනාගත සමාජය ගැන තමන්ගේ හැඟීම් ‍ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ඉගෙන ගෙන ඇති නිසා ආර්ථික විද්‍යාඥයෝ ද දේශපාලනඥයෝ ද අපි සියල්ලෝ ම ද දැන් හුදු වර්ධනයට වඩා උතුම් වූ ආර්ථික අරමුණක් ගැන කතා කිරීමට සුදුසු වචන සොයමින් සිටිමු. ඉතිං අපි නැවතත් අරමුණු, ප්‍රතිමාන සහ වටිනාකම් පිළිබඳව කතා කිරීමට සහ ඒවා විසිඑක් වෙනි සියවසේ අපේ ආර්ථික මනෝ ගතියේ (mindset) මූලධර්ම ලෙස සැලකීමට ඉගෙන ගන්නේ කෙසේ ද?

එක බලාපොරොත්තු සහගත ක්‍රමයක් වන්නේ තම ආර්ථික චින්තනයේ අරටුව ලෙස මනුෂ්‍යත්වය උත්කර්ෂණයට නැංවූ එහෙත් මෙතෙක් එතරම් ප්‍රශස්තියකට ලක් නො වූ ආර්ථික චින්තකයන්ගෙන් පටන් ගැනීමයි.   1819දී ෂෝන් සිස්මොන්ඩි නමැති ආර්ථික විද්‍යාඥයා දේශපාලන ආර්ථිකය යනු ධනය රැස් කිරීම නො ව මානව සුභසාධනය අරමුණු කරගත් දෙයක් ලෙස සැලකිය යුතු බව පැවසී ය.  පසුව ඔහු අනුගමනය කළ ඉංග්‍රීසි ජාතික සමාජ චින්තකයෙකු වූ ජෝන් රස්කින් එකල පැවැති ධනය රැස් කිරීම මූලික කර ගත් ආර්ථික චින්තනය විවේචනය කරමින් මෙසේ කීවේ ය: “ජීවිතය මිස ධනය කියා දෙයක් නැත, රටක් පොහොසත් යැයි කිව හැක්කේ සුඛිත හා සංතුෂ්ඨිමත් මිනිසුන් වැඩි ම සංඛ්‍යාවකින් ඒ රට සමන්විත වූ විටයි”. 1900 ගණන්වල දී රස්කින්ගේ පොත කියවූ මහත්මා ගාන්ධි එහි තිබූ මූලික අදහස් ජීවමාන කිරීම පිණිස සදාචාරාත්මක පුද්ගලභාවය මත පදනම් වූ සමූහ ගොවිපළක් ඇති කළේ ය.  Small is Beautiful හෙවත් ‘පුංචි දේ ලස්සනයි යනුවෙන් පොතක් ලිවීමෙන් ඉමහත් ප්‍රසිද්ධියක් ලත් ඊ.එෆ්. ෂුමාචර්  ආචාර ධර්ම සහ මානුෂික බව ආර්ථික චින්තනයේ මධ්‍ය ලක්ෂ්‍යය විය යුතු යැයි කීවේ ය. චිලියානු ආර්ථික විද්‍යාඥ මැන්ෆ්‍රඩ් මැක්නීෆ් ධරණීය හැකියාව, සහභාගිත්වය, නිර්මාණශීලී බව සහ අන්‍යෝන්‍ය සහයෝගය වැනි මූලික මානුෂික අවශ්‍යතා තත් සමාජයේ සංස්කෘතියට ගැළපෙන අයුරින් සකසා ගැනීමෙන් සංවර්ධනයේ අරමුණ නිශ්චය කර ගත යුතු යැ’යි පැවසී ය.

සංවර්ධනය නමැති සංකල්පය දෙස වඩා පුළුල් ලෙස බැලූ මේ අය ආර්ථිකය යන්නෙන් අදහස් කළ යුත්තේ කුමක් දැයි යන්න පිළිබඳව ද විකල්ප අදහස් ඉදිරිපත් කළත් ඒවා ආර්ථික විද්‍යා ශිෂ්‍යයන්ගේ අවධානයට ලක් නො කිරීමට සහ ඒවා මානුෂිකත්ව ආර්ථික විද්‍යාවක් පිළිබඳව අතිසංවේදී ගුරුකුලයක මනස්ගාත ලෙස බැහැර කිරීමට ද බොහෝ ආර්ථික විද්‍යා ආචාර්යවරු කටයුතු කළහ. කෙසේ වෙතත් අවසානයේ දී ඔවුන්ගේ ඒ මානුෂිකත්ව ව්‍යාපෘතිය පුළුල් අවධානයක් සහ විශ්වසනීය භාවයක් දිනා ගැනීමට සමත් විය.

එම කතිකාව ප්‍රධාන ධාරාව තුළට පැමිණීම ඇරඹුණේ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලත් ආර්ථික විද්‍යාඥයෙකු සහ දාර්ශනිකයෙකු වූ අමාත්‍ය සෙන්ගේ කෘති මාර්ගයෙනි. ඔහු තර්ක කළ අන්දමට සංවර්ධනයේ මූලික අරමුණ විය යුත්තේ මිනිසුන් ජීවත් වන ආර්ථිකයේ පොහොසත්කම වැඩි කිරීම නො ව මනුෂ්‍ය ජීවිතයේ පොහොසත්කම වැඩි කිරීමයි. දළ දේශීය නිෂ්පාදිතය වැනි මිනුම්වලට ප්‍රමුඛත්වය දෙනවාට වඩා අප කළ යුත්තේ සෞඛ්‍ය සම්පන්න වීම, බලායනය හෙවත් බලාත්මක කිරීම (empowerment)  සහ නිර්මාණාත්මක වීම පිණිස මිනිසුන්ට අවශ්‍ය වන ශක්‍යතා (capabilities) පෝෂණය කොට තම තමන්ගේ වටිනාකම් අනුව සිය ජීවිතය පවත්වා ගෙන යෑමට අවශ්‍ය දෑ තෝරා ගැනීමට සහ යොදාගැනීමට  ඔවුන්ට ඉඩ සලසා දීම බව සෙන් පෙන්වා දුන්නේ ය. එකී ශක්‍යතා සාක්ෂාත් කර ගැනීම රඳා පවතින්නේ තමන් ජීවත් වන සමාජය තුළ පෝෂ්‍යදායක ආහාර, සෞඛ්‍යාරක්ෂාව, අධ්‍යාපනය, පෞද්ගලික සුරක්ෂාව සහ දේශපාලනික හඬ ප්‍රකාශ කිරීමේ නිදහස යනාදි ජීවිතයේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට මිනිසුන්ට ඇති ඉඩකඩ අනුව බවත් සෙන් ප්‍රකාශ කළේ ය.  අමාත්‍ය සෙන්ගේ ශක්‍යතා එළඹුම ඉදිරි පරිච්ඡේද වල සංවර්ධන කතිකාව විස්තර කරන විට තව දුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

2008 ආර්ථික අර්බුදය සමයේ දී අමාර්ත්‍ය සෙන් සහ තවත් නොබෙල් ත්‍යාග ලාභියෙකු වූ ජෝශප් ස්ටිග්ලිට්ස් ප්‍රධාන කොට ජාත්‍යන්තර කීර්තියක් ඇති ආර්ථික විශේෂඥයන් 25 දෙනෙකුට ආරාධනා කළ ෆ්‍රන්ස ජනාධිපති නිකොලායි සාකොස්කි රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට එවකට පාදක කොට ගත් ආර්ථික හා සාමාජික පියවර ඇගැයීමකට ලක් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ය. ඒ සඳහා එවකට යොදා ගෙන තිබූ දර්ශක විමසීමකට ලක් කළ සෙන් ඇතුළු විශේෂඥ කණ්ඩායම තම නිගමනය මෙසේ සෘජු ව ම කියා සිටියහ.  “අපේ සමාජ ආර්ථිකය සම්බන්ධයෙන් මග පෙන්වීමට තැත් කරන්නන් හරියට මාලිමාවක් නැති ව ගමන් කරන ගුවන් යානයක නියමුවන් වැනිය” යනුවෙන් තම නිගමනය අරඹමින් ඔවුහු මෙසේ ද කියා සිටියහ. “හසරක් නො දැන යන එවැනි ජෙට් යානයක මගීන් වීමට අප කිසි කෙනෙකුට අවශ්‍ය නැත. එබැවින් ප්‍රතිපත්ති සම්පාදකයන්,  සමාජ ක්‍රියාකාරීන්, ව්‍යාපාරික නායකයන් සහ පුරවැසියන් යන සියල්ලන්ට ම විසි එක් වෙනි සියවසට උචිත ඥානාන්විත මාර්ගයක් ඔස්සේ එකාවන් ව සිය ගමන හසුරුවා ගැනීමේ ක්‍රමයක් ඉතා කඩිනමින් අවශ්‍ය වී තිබේ.”[8] ඉතින් ඒ මාලිමාව කුමක් ද?

එවැනි මාලිමාවක් පිළිබඳ විචාරාත්මක කතිකාවක් කේට් රේවර්ත් සහ මාරියානා මස්සුකාටෝ වැනි ආර්ථික චින්තකයන් විසින් කරළියට ගෙන තිබේ. අංගෝපාංග කිහිපයකින් සමන්විත එම කතිකාවේ එක අංගයක් අමාර්ත්‍ය සෙන්ගේ මිනිසුන් ශක්‍යතාවලින් (capabilities) බලාත්මක කිරීම හා බැඳේ. ඒ අනුව ආර්ථික සංවර්ධනයේ එක් අනිවාර්ය ඵලයක් විය යුත්තේ මිනිසුන්ට තමන් සතු මූලික අයිතිවාසිකම් පරිපූර්ණව භුක්තිවිඳීමට හැකිවීමයි. මානව අයිතිවාසිකම් පාදක  සංවර්ධනය යනුවෙන් වරක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් ද හඳුන්වාදීමට  තැත් කළ ඒ සංකල්පයට අනුව අවශ්‍ය වන්නේ අයිතිවාසිකම් පරිපූර්ණව භුක්තිවිඳීම පිණිස සුදුසු වාතාවරණය ගොඩ නැගීමයි

ආර්ථික චින්තනයේ මෙතෙක් පැවති සීමා ඉක්මවා වඩා පරිපූර්ණ ආර්ථික දැක්මක් ගොඩ නගා ගැනීම සඳහා නව පරපුරකට අයත් බොහෝ ආර්ථික විද්‍යාර්ථිහු කටයුතු කරමින් සිටිති. ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඇදුරුවරියක ලෙස සේවය කරන කේට් රේවර්ත් එවැන්නන් අතරින් කෙනෙකි. ඉමහත් පිළිගැනීමකට ලක් ව ඇති ඇයගේ ‘ඩෝනට් ආර්ථිකය’ නමැති ආර්ථික මොඩලය ගැන සවිස්තරාත්මක සාකච්ඡාවක් 22 වැනි පරිච්ඡේදයෙන් ගෙන එන බැවින් එයට පදනම් වූ ඇය embedded economy හෙවත් ‘සහබද්ධිත ආර්ථිකය’ යනුවෙන් හඳුන්වන සාර්වත්‍ර ආර්ථික සංකල්පය ගැන කෙටි හැඳින්වීමකින් මේ පරිච්ඡේදය අවසන් කිරීම වැදගත් යැයි සිතමි. රේවර්ත් ‘සහබද්ධිත ආර්ථිකය’  ගැන සිය හැඳින්වීම වැදගත් ප්‍රශ්නයකින් අරඹයි. අපේ අවශ්‍යතා සපයා ගැනීම පිණිස අපට රඳා පැවැත්මට සිදු ව ඇත්තේ කුමක් මත ද? යන්න ඒ ප්‍රශ්නයයි. මේ ඒ පැනයට පිළිතුර සාර්ව ආර්ථිකය පිළිබඳ පෝල් සැමුවෙල්සන් ඉදිරිපත් කළ සම්ප්‍රදායික රූපාදර්ශයට විකල්පයක් ලෙස නව සාර්ව ආර්ථිකය (macro economy) පිළිබඳ ව කේට් රේවර්ත් ඉදිරිපත් කරන මේ රූපාදර්ශයෙන් සහ එහි එක් එක් අංග පිළිබඳ ව අනතුරුව කෙරෙන විස්තරයෙන් පැහැදිලි වේ.

නව සාර්වත්‍ර ආර්ථිකය – කේට් රේවර්ත් ගේ embedded economy සහබද්ධිත ආර්ථිකය පිළිබඳ සංකල්පය

මේ මඟින් පෙන්නුම් කරන්නේ කුමක් ද – අපේ අවශ්‍යතා සපුරා ගැනීමේ පළමු සහ මූලික ම සාධකය පෘථිවිය හෙවත් සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන සජීවී ලෝකය බව යි. එම ලෝකය තුළ මානව සමාජයත් මානව සමාජය තුළ ආර්ථිකයත් ක්‍රියාත්මක වේ. ඒ ආර්ථිකය තුළ මානව අවශ්‍යතා සපුරා ගැනීමේ ලා වැදගත් වන කුටුම්බය, පොදු වස්තු, වෙළඳපොළ හා රජය යන ක්ෂේත්‍ර මූලික සාධකයෝ වෙති. ඒ සඳහා මූල්‍ය ප්‍රවාහය උත්තේජකයක් ලෙස කටයුතු කරයි. 21 වැනි සිය වසේ ආර්ථිකය පිළිබඳ වේදිකාව සැකසී ඇත්තේ මේ රූපාදර්ශය අනුව බවත් එහි නිරූපණය වන සාධකවල සමබරතාව අත්‍යවශ්‍ය බවත් රේවර්ත් පෙන්වා දෙයි. මේ රූපාදර්ශයේ නිරූපණය කෙරෙන සාධක ඒවායේ අනුක්‍රමය අනුව පහත සඳහන් පරිදි විස්තර කළ හැකි ය.

පෘථිවිය (Earth): සමස්ත ආර්ථිකය ම පවතින්නේ අපේ පෘථිවියේ සංවේදී ජෛව ගෝලය තුළ යි. එම ජෛව ගෝලයට මහ පොළොවේ භූමියත්, සාගරය ඇතුළු ජල තලයත්, වායු ගෝලයත් අයත් ය. පෘථිවියේ ඇති ද්‍රව්‍යයමය හා ජෛවමය පද්ධතිවලින් නොකඩවා බලශක්තිය හා ද්‍රව්‍ය පදාර්ථ උපයෝගී කර ගන්නා ජෛව ගෝලය එමඟින් තාපය සහ ද්‍රව්‍යයමය දේවල් නිපදවයි. ගඩොල්වල සිට ලෙගෝ සෙල්ලම් බඩු දක්වා ද, වෙබ් අඩවිවල සිට දැවැන්ත මහල් ගොඩනැගිලි දක්වා ද,  සහල්වල සිට ගෘහ භාණ්ඩ දක්වා ද, කේක්වල සිට අයිස්ක්‍රීම් දක්වා ද සියලු නිෂ්පාදිත දේවල් රඳා පවතින්නේ පෘථිවිය සතු බලශක්තිය සහ ද්‍රව්‍ය පදාර්ථ, ජෛව ස්කන්ධ, ඛනිජ ඉන්ධන, ලෝහ සහ ඛනිජ සම්පත් මතය. මේ කිසිවක් අප නො දන්නා දේවල් නො වේ. එහෙත් මෙතරම් සුපැහැදිලි ව ආර්ථිකය ජෛව ගෝලයට බද්ධ වී තිබිය දීත් ඒ වැදගත් සාධකය ආර්ථික විද්‍යාව ඉතා ඔලමොට්ටල ලෙස නො තකා හරින්නේ ඇයි?

දහඅට වැනි සියවසේ දී ඇඩම් ස්මිත් (1723-1790) සහ ඩේවිඩ් රිකාඩෝ (1772-1823) වැනි මුල් කාලීන ආර්ථික ශ්‍රාස්ත්‍රඥයන් නිෂ්පාදන ක්‍රියාවලියේ සුවිශේෂ සාධක ලෙස ශ්‍රමය, ප්‍රාග්ධනය සහ භූමිය යන තුනම සැලකූ නමුදු විසි වැනි සියවස වන විට ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාඥයන්ගේ අවධානය ශ්‍රමයට සහ ප්‍රාග්ධනයට පමණක් සීමා විය. ඔවුන් භූමිය ද සැලකුවේ තවත් මාදිලියක ප්‍රාග්ධනයක් ලෙස ය. එහි ප්‍රතිඵලයක් ලෙස ජෛව ගෝලයත්, ප්‍රභාසංස්ලේෂණයේ සිට සියලු ජීවී අජීවී වස්තුවලට බලශක්තිය හා තාපය සපයන  ප්‍රධාන ශක්ති ප්‍රභවය වන සූර්යාලෝකයත් ආර්ථික විද්‍යාඥයන් සලකන්නේ ඉතා සුළු කොට ය. හැරත් රේඛීය ආර්ථික නිෂ්පාදන (linear economic development) ක්‍රම නිසා පරිසරය මත ඇති කරන පීඩනයේ ඵල විපාක ලෙස ඇතිවෙන  දේශගුණ විපර්යාස, වනගහන විනාශය, රසායනික දූෂණය, පාංශු ඛාදනය වැනි ගැටලු ගැන සාම්ප්‍රදායික ආර්ථික චින්තනයට වගේ වගක්වත් නැත.

ආර්ථිකය යනු ඛනිජ ඉන්ධන, මැටි, කොබෝල්ට්, තඹ, යපස්  වැනි සීමිත පෘථිවි සම්පත් මෙන් ම දැව, භවභෝග, ධීවර කටයුතු සහ මිරිදිය ජලය වැනි පුනර්ජනනීය පෘථිවි සම්පත්වල ද පැවැත්ම මත රැඳී පවතින්නකි. එමෙන් ම හරිතාගාර වායු, රසායනික දූෂණකාරක හා ප්ලාස්ටික් ආදී අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් බැහැර කිරීමට ද ආර්ථිකය මුළුමනින් ම පාහේ යැපෙන්නේ පෘථිවිය මත ම ය. එහෙත් පෘථිවි ගෝලය යනු සංවෘත පද්ධතියකි. සූර්ය තාපය හැරෙන විට එයට කිසිවක් ඇතුළු වන්නේ වත් ඉන් කිසිවක් පිට වන්නේ වත් නැත. එනිසා ආර්ථිකය විසින් නිපදවන සියලු අපද්‍රව්‍ය, හරිතාගාර වායු  සහ අධි තාපය පෘථිවි පද්ධතිය තුළ ම ගොඩ ගැසිය යුතු ය.  ඉතා සීරුවෙන් සමබර වන දේශගුණ රටා සහ අතිශය සංවේදී පාරිසරික පද්ධතිවලින් යුක්ත පෘථිවියකට මේ නිසා මුහුණ දීමට සිදු විය හැකි අසහනය කෙබඳු විය හැකි ද? එහි දී බරපතළ ම ප්‍රශ්නය වන්නේ අපේ පැවැත්ම සහ ජීවි වර්ග ප්‍රවර්තනය කිරීමට පෘථිවියට ඇති හැකියාව අනතුරට දැමීමට පෙර කොතෙක් දුරට නිතිපතා ඉහළ යන ගෝලීය රේඛීය ආර්ථිකයේ බලශක්ති සහ ද්‍රව්‍යයමය අවශ්‍යතා සංසිඳවීමට අපේ ජෛව ගෝලයට හැකි වේවි ද යන්නයි.

සමාජය (Society):. බ්‍රිතාන්‍යය අගමැතිනි මාග්‍රට් තැචර් (1979-1990) ‘සමාජය කියා දෙයක් නැත’ යන අදහස පළ කළ විට සමාජයට කෙසේ වෙතත් බොහෝ දෙනෙකුට එය විමතියට කරුණක් විය. ඒ අතර ප්‍රකට ඇමෙරිකානු දේශපාලන විද්‍යාඥයෙකු වන රොබට් පුට්නම් සමාජ කණ්ඩායම් තුළ ඇති සම්බන්ධතා ජාල නිසා ජනිත වන අන්‍යෝන්‍ය විශ්වාසය සහ ප්‍රත්‍යෝපකාරීභාවය ‘සමාජ ප්‍රාග්ධනය’ (social capital) ලෙස හැඳින්වී ය.[1] ක්‍රීඩා කටයුතු, උත්සව, ආගමික ඇදහිලි, සමාජ සේවා, ශ්‍රමදාන ආදී  කටයුතුවල දී එකිනෙකා හා සම්බන්ධ වීමටත් එකිනෙකා කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීමත් මඟින් අපි පොදු සම්බන්ධතා, නීති, ප්‍රතිමාන හා සදාචාරීය චර්යාව බිහි කර ගන්නෙමු. මේ සම්බන්ධතා මඟින් ඇතිවෙන සමාජමය බැඳීම අපේ මූලික මානුෂික අවශ්‍යතා වන සහභාගිත්වය, විනෝදය, අයිතියාව හෙවත් අයිති බව (belongingness) සහ ආරක්ෂාව සාක්ෂාත් කර ගැනීමේ ලා ඉතා වැදගත් ය. පුට්නම් පෙන්වා දෙන අන්දමට ‘ප්‍රජා සම්බන්ධතා යනු හුදෙක් ශිෂ්ට බවේ විශිෂ්ටත්වය ගැන පුරසාරම් කතාවක් නො වේ. ‘හොඳින් අධ්‍යනය කොට දැන ගෙන ඇති පරිදි… සමාජ ප්‍රාග්ධනය (social capital) අප සුහුරු, යහපත්, පොහොසත් සහ ආරක්ෂිත සමූහයක් බවට පත් කරන අතර සාමූහික ව සාධාරණ සහ ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදයක් පවත්වා ගෙන යෑමට ද අපට පිහිට වේ. හැම ක්‍රීඩාවක ම සාර්ථකත්වය එම ක්‍රීඩාවේ යෙදෙන  ක්‍රීඩකයන් විසින් අනුගමනය කළ යුතු ක්‍රීඩා නීති අනුගමනය කිරීම මත රඳා පවතිනවා මෙන් ම ආර්ථිකයක උද්දීප්තිය සමාජය තුළ පෝෂණය කරනු ලබන විශ්වාසය, ප්‍රතිමාන සහ ප්‍රත්‍යුපකාරය පිළිබඳ ආකල්ප මත රඳා පවතී. එමෙන් ම සමාජයක උද්දීප්තිය ද එහි ආර්ථිකයේ ව්‍යුහය එනම් ආර්ථිකය මඟින් බිහි කරන සම්බන්ධතාවල ශක්තිය හෝ දුර්වලතා, එමඟින් ප්‍රවර්ධනය කරන හෝ ඛාදනය කරන පොදු බව පිළිබඳ ජීව ගුණය  සහ එමඟින් ජනනය කරන වත්කම් බෙදා ගන්නා ආකාරය විසින් හැඩ ගස්වනු ලැබේ.

ඒ හැර එවැනි ක්‍රියාශීලී සමාජයක් තුළ ප්‍රජා රැස්වීම්, බිම් මට්ටමේ සංවිධාන, දේශපාලන නියෝජිතයන්ගේ වග වීම සහතික කරන දේශපාලන ව්‍යාපාර බිහි කිරීම වැනි උද්‍යෝගිමත් දේශපාලන ක්‍රියාකාරකම් දකින්නට ලැබෙනු ඇත. සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ ආර්ථිකය රඳා පවතින්නේ අවංක සංවිචාරණීය (deliberative) සාකච්ඡාවක නියැලීම සඳහා පුරවැසියන්ට ඇති අයිතිය සහ හැකියාව මතයි. – ජන සමාජයක දේශපාලන හඬ වැදගත් වන්නේ ඒ නිස යි.           

ආර්ථිකය (The Economy): එකී සක්‍රිය සමාජ ජාලයට ම බද්ධ වී ඇති ආර්ථිකය යනු මිනිසුන් සිය අවශ්‍යතා සහ ඕනෑ එපාකම් සඳහා භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කරන, බෙදා හරින හා පරිභෝජනය කරන ක්ෂේත්‍රය යි.  බොහෝ ආර්ථික විද්‍යා පන්තිවල ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් කියා නො දෙන එක් කාරණයක් නම් ආර්ථිකය ක්ෂේත්‍ර හතරක එක්වීමෙන් සැදුම් ලද්දක් බව යි. කේට් රේවර්ත්ගේ සහබද්ධිත ආර්ථිකය (embedded economy) පිළිබඳ රූපාදර්ශයේ පෙන්වා ඇති පරිදි ඒ ක්ෂේත්‍ර හතර වන්නේ පවුල හෙවත් කුටුම්බය, වෙළඳපොළ, පොදු වස්තු සහ රජයයි. මේ ක්ෂේත්‍ර හතර ම නිෂ්පාදනයට සහ බෙදාහැරීමට සම්බන්ධ නමුත් ඒ එක් එක් ක්ෂේත්‍රය සතු කාර්යභාරය එක හා සමාන නො වේ. උදාහරණයක් ලෙස කුටුම්බය එහි සාමාජිකයන් සඳහා අවශ්‍ය මූලික භාණ්ඩ තනයි. වෙළඳපොළ පුද්ගලික භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ ඒවා මිල දී ගැනීමට කැමති හා හැකි අයට යි. ජල සම්පත්, වන සම්පත් සහ සාගර වැනි පොදු වස්තු අදාළ ප්‍රජා කණ්ඩායම් සඳහා සහ-නිෂ්පාදිත (co-produced) භාණ්ඩ සපයයි. සාගර හා ජලාශ ආශ්‍රිත ව කෙරෙන ධීවර කර්මාන්තය එයට එක් නිදසුනකි. ඒ අතර රජය මුලු ජනගහනයට ම පොදු භාණ්ඩ සහ පොදු සේවා සපයයි. මේ ක්ෂේත්‍ර හතරෙන් එකක් හෝ නැති ආර්ථිකයක් සහිත සමාජයක ජිවත් වීමට බොහෝ අය අකැමැති වනු ඇත. ඒ එක් එක් ක්ෂේත්‍රයට ආවේණික වූ සුවිශේෂතා තිබෙන නමුත් ඒ හතරේ ම අගය වැඩි වන්නේ හතර ම එක් ව හා එකිනෙකට අනුපූරක ව ක්‍රියා කරන විට දී ය. සාම්ප්‍රදායික ආර්ථික සිද්ධාන්ත විසින් මූලික වසයෙන් සියලු මිනිසුන් ශ්‍රමිකයන්, පාරිභෝගිකයන් සහ ප්‍රාග්ධන හිමියන් වසයෙන් කොටස් තුනකට පමණක් බෙදනු ලබන නමුත් කේට් රේවර්ත්ගේ සහබද්ධිත ආර්ථිකය පිළිබඳ සංකල්පයට අනුව අප සතු ව වෙනත් බොහෝ ආර්ථික අනන්‍යතා ද පවතී. ඒ අනුව කුටුම්බයක දී මා දෙමව්පියන්ගෙන් කෙනෙකු, සාත්තු කාරයෙකු හෝ අසල්වැසියෙකු විය හැකි ය. රජය සම්බන්ධයෙන් සලකන විට මා පොදු ප්‍රජාවේ සාමාජිකයෙකු, පොදු සේවා ලබන්නෙකු හා ඒ වෙනුවෙන් බදු ගෙවන්නෙකු විය හැකි යි. පොදු වස්තු පරිහරණයේ දී මා අනිකුත් අසල්වැසියන් සමඟ ඒවා නිර්මාණශීලී ව යොදා ගන්නෙකු හා පරිසරලෝලී ව රස විඳින්නෙකු විය හැකියි.  සමාජයේ දී අපි සියල්ලෝ ම විටින් විට පුරවැසියෝ, ඡන්ද දායකයෝ, සමාජ ක්‍රියාකාරිකයෝ සහ ස්වේච්ඡා සේවකයෝ වෙමු. ඒ අනුව අපි අපේ භූමිකා හා ක්‍රියාකාරකම් පාරිභෝගිකයන්ගේ සිට නිර්මාපකයාට ද, වෙළඳපොළේ සිට රැස්වීම්පොළට ද, හෙට්ටු කිරීමේ සිට ස්වේච්ඡාවෙන් උදව් කිරීමට ද ආදී වසයෙන් දිනපතා ම පාහේ මාරු කර ගනිමින් සිටිමු.

කුටුම්බය (The Household): වැටුප් ශ්‍රමයේ නිෂ්පාදන ඵලදායකත්වය පිළිබඳව සාම්ප්‍රදායික ආර්ථික චින්තනය බෙහෙවින් උනන්දු වෙන නමුත් නිෂ්පාදන කටයුතු සඳහා එම ශ්‍රමය ලබා ගත හැකි වූයේ කිසිදු වැටුපක් නො ලබා නිවෙස්වල වැඩ කරන ගෘහිණියන් නිසා බව මුළුමනින් ම අමතක කරයි. කුටුම්බය සම්බන්ධ ‘වැඩ’ සලකනු ලැබුවේ වැටුප් නො ගෙවන සත්කාර (caring) සේවා, ප්‍රජනක ආර්ථිකය (reproductive economy), ද්විතීයික ආර්ථිකය ආදී නම්වලිනි. ආර්ථික විද්‍යාඥ නේවා ගුඩ්වින් අවධාරණය කරන පරිදි ද්විතීයික ආර්ථිකය යැ’යි හැඳින්වූ ව ද ආර්ථිකයේ අරටුව වන්නේ එය යි. කාලය, දැනුම, නිපුණතා, සත්කාරය, ඉගැන්වීම, ප්‍රත්‍යුපකාරය ආදී වසයෙන් මානව සම්පත් යොදමින් පවුලේ හා සමාජ ජීවිතයේ එදිනෙදා අවශ්‍යතා ඉටු කරමින් එමඟින් ඉටු කරන කාර්යභාරය නො වන්නට ආර්ථිකයට ස්වාධීන පැවැත්මක් නැත. ගෘහිණියක් අතින් ඉටු වන කාර්ය ගැන ඔබ තවමත් ගැඹුරෙන් කල්පනා කර බලා නැත්නම් දිනපතා උදේ ආහාර වේල පිළියෙළ කිරීම, භාජන සේදීම, නිවස ඇමදීම, කඩේ යෑම, දරුවන් බලා කියා ගැනීම හා ඔවුන්ට ඉගැන්වීම, ඇඳුම් සේදීම, වැඩිහිටි දෙමව්පියන් බලා ගැනීම, අසල්වැසියන්ට උදව් කිරීම ආදී කටයුතුවලින් ආර්ථිකයට දෙනු ලබන දායකත්වය ගැන හිතා බලන්න. ඇතැම් ග්‍රාමීය පළාත්වල රජයේ සේවා සැපයුම දුර්වල වූ විට සහ වෙළඳපළ දුර බැහැර වූ විට නේවාසිකයන්ට තම නිෂ්පාදන අවශ්‍යතා ස්වෝත්සාහයෙන් ම ඉටු කර ගැනීමට සිදුවේ.  මේ ආර්ථිකය සඳහා වැටුප් නො ගෙවන බැවින් එයට යොමු වී ඇති අවධානය ද අඩු ය. අගයට ලක් වීමක් ද නැත. ඒ නිසා වැටුප් නො ලබන එම ආර්ථික කටයුතුවල නිරත වන ස්ත්‍රීන් හා වැටුප් ලබන පුරුෂයන් අතර ජීවිත කාලය පුරාම පැවතෙන සමාජ හා ආදායම් විෂමතා එමටය.

ආර්ථිකයේ හරය බඳු මේ කටයුතු නො තකා හැරීමෙන් වැටුප් උපයන ආර්ථිකය වැටුප් නො ලබන සේවා මත කො‍තෙක් රැඳී ඇත්තේද යන කාරණය අමතක කර දැමීමට සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයන්ට හැකි වී තිබේ. අර කියූ ආහාර පිසීම, රෙදි සේදීම, සත්කාරය සහ ඇමදීම නොමැති ව හැම උදෑසනක ම පාතරාසය වළඳා වැඩට යෑමට සූදානම් කම්කරුවන් බිහි නො වනු ඇත. කුටුම්බ සත්කාරය මනුෂ්‍යයන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් ඉතා වැදගත් නිසාත් වැටුප් ශ්‍රමය මත කෙරෙන නිෂ්පාදක කටයුතු  ඒ මත රඳා පවතින නිසාත් මේ අවිධිමත් ආර්ථික හරය ආර්ථික චින්තනයේ වැදගත් අංගයක් විය යුතු ය. නව සාර්වත්‍ර ආර්ථිකය පිළිබඳ කේට් රේවර්ත්ගේ රූපාදර්ශයේ කුටුම්බයේ කේන්ද්‍රීය ස්වභාවය සනිටුහන් කිරීම ඒ සඳහා ගන්නා පළමු පියවරකි.

වෙළඳපොළ (The Market): ආර්ථික විද්‍යාවේ පියා වසයෙන් සැලකෙන ඇඩම් ස්මිත්ගේ එක් තීක්ෂණ දැක්මක් වූයේ මිනිසුන්ගේ ඕනෑ එපාකම් සහ ඒවා සපුරාලීමට වැය වන මිල ගණන් පිළිබඳ තොරතුරු එක්රැස් කොට බෙදාහැරීමෙන් හා කිසිදු මධ්‍යගත පාලනයකින් තොර ව හුදෙක් මිල ගණන් පිළිබඳ ගෝලීය ක්‍රමයක් මඟින් පමණක් බිලියන ගණනක් වූ මිල දී ගන්නන් හා විකුණන්නන් සම්බන්ධීකරණය කිරීමට වෙළඳපොළට ඇති විශිෂ්ට හැකියාවයි. වෙළඳ පොළේ ඇති මේ විස්තෘත හෙවත් පැතිරුණු කාර්යක්ෂමතාව (distributed efficiency) සැබවින් ම අසාමාන්‍ය ය. කාර්යක්ෂම ලෙස විස්තෘත වූ වෙළඳපොළකින් තොර ව ආර්ථිකය මෙහෙයවීමට තැත් කිරීම භාණ්ඩ හිඟයට සහ දිගු පෝලිම්වලට තුඩු දෙනු ඇත. නවලිබරල්වාදීන් වෙළඳපොළ සිය ආර්ථික දැක්මේ කේන්ද්‍රය බවට පත් කළේ මෙකී විස්තෘත කාර්යක්ෂමතාවේ වැදගත්කම නිසා ය.  එහෙත් වෙළඳපොළ බලය සම්බන්ධ තවත් පැත්තක් ද වෙයි. වෙළඳපොළ අගය කරන්නේ මිල නියම කර ඇති දේවල් පමණි. එමෙන් ම එයට සන්තර්පණය තළ හැක්කේ ද මිල ගෙවිය හැකි අයගේ ඕනෑ එපාකම් පමණි. නිසි නියාමනයකින් තොර ව කටයුතු කිරීමට ඉඩ හැරියොත් වෙළඳපොළ පෘථිවියේ ඇති සම්පත් ඉවක් බවක් නැතිව වනසමින් ජෛව ගෝලයේ පැවැත්ම අනතුරට ලක් කරනු ඇත. අධ්‍යාපනය සහ එන්නත් කිරීමේ සිට මංමාවත් සහ දුම්රිය මාර්ග දක්වා වූ වෙළඳපොළ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය බොහෝ දේවල් නිසි ලෙස  සැපයීමට වෙළඳපොළට නො හැකි ය. ඒ අතර ම වෙළඳපොළට ආවේණික වූ ගතිකයන් විසින් සමාජ අසමානතාව වර්ධනය කොට ආර්ථික අස්ථාවරත්වය ද ඇති කළ හැකි ය. වෙළඳපොළ බලය පුළුල් ආර්ථිකය තුළ පොදු නියාමනය මඟින් හසුරුවා එහි වපසරිය පොදු යහපත මුල් කොට නිර්ණය කළ යුත්තේ එබැවිනි.

නිදහස් වෙළඳපොළ උත්කර්ෂණයට නංවන නොයෙක් කතන්දර තිබුණ ද නිදහස් වෙළඳපොළ නිරායාසයෙන් ම පිළිගැනීමට පෙලඹෙන බොහෝ අය ඒ තුළ ඇති සීමා දැකීමට අපොහොසත් වෙති.  ගමන් බලපත්‍ර සහ ඖෂධවල  සිට ආයුධ දක්වා බොහෝ දේවල් නිල බලපත්‍රයක් නොමැතිව නිදහසේ මිලට ගැනීම හෝ විකිණීම කළ නො හැකි ය. වෘත්තීය සමිති, ආගමන විගමන ප්‍රතිපත්ති සහ අවම වැටුප් පිළිබඳ විධිවිධාන රටක වැටුප් සහ වේතන නිර්ණය කරයි. කෝපරේට් සමාගම්වල ලාභය කෙරෙහි සමාගමේ ගිණුම් වාර්තාකරණ අවශ්‍යතා, කොටස්කරුවන්ගේ සංස්කෘතිය සහ ඔවුන්ට ලැබෙන ප්‍රමුඛත්වය, මූල්‍ය අර්බුදවල දී රජයේ මැදිහත් වීම ලබා ගැනීමේ හැකියාව ආදිය බෙහෙවින් බලපායි. එනිසා අප නිදහස් වෙළඳපොළ වෙනුවට සහබද්ධිත වෙළඳපොළ (embedded market) ගැන කතා කළ යුතු ය. ඒ අනුව වෙළඳපොළ නිර්නියාමනය යනුවෙන් දෙයක් නැති බව අප වටහා ගත යුතු ය. ඇත්ත වසයෙන් ම තිබිය යුත්තේ අවදානම සහ වියදම භාර ගැනීම මෙන් ම වැඩි  වාසි සැලසෙන්නේ කාට ද යන්න පොදු යහපත තකා වෙනස් කළ හැකි දේශපාලනික, නෛතික සහ සංස්කෘතික නියාම ධර්ම සහිත සන්දර්භයක වෙළඳපොළ යළි නියාමනය වීමයි.

පොදුවස්තු (Commons): පොදුවස්තු යනුවෙන් සැලකෙන්නේ රජය හෝ වෙළඳපොළ මත රැඳෙනු වෙනුවට ස්වයං සංවිධානය වීම තුළින් මිනිසුන් විසින් භාවිත කරනු ලබන ස්වාභාවික හා සමාජීය සම්පත් ය. ඒ සඳහා උදාහරණයක් වසයෙන් ගමක වැවක් හෝ අසබඩ කැලෑවක් සාමූහික ව භාවිත කරන ආකාරය ගත හැකියි. ඒ අනුව වැව සහ කැලෑව පොදු වස්තු ය. වෙළඳපොළ හෝ රජ්‍ය ආයතනයක මැදිහත් වීමකින් තොර ව ස්වේච්ඡා සේවා දායකත්වය මත බෙහෙවින් රැඳී ඇති විකිපීඩියා විශ්වකෝෂය ද එවැනි පොදු වස්තුවක් ලෙස සැලකිය හැකි ය. සාම්ප්‍රදායික ව ප්‍රජාවේ පොදු පරිහරණය සඳහා තිබූ තණබිම්, ජලාශ, ඇල දොළ, වෙරළ හා ධීවර කලාප සහ වනාන්තර ආදිය භාවිත කිරීම සම්බන්ධයෙන් පොදු එකඟතා මෙහෙයවුණේ වෙළඳපොළ හෝ රජයේ මැදිහත් වීමකින් නො වේ;  ප්‍රජා සම්මුති මගිනි. ඒ හැර භාෂාව, වත්පිළිවෙත්, සාම්ප්‍රදායික සංගීතය, නැටුම්, ගැයුම්, වැයුම් ආදී සංස්කෘතික ලක්ෂණ ද, පාරම්පරික දැනුම ද අස්පර්ශණීය (intangible) පොදුවස්තු ගණයේ ලා සැලකිය හැකි ය. ඉතා වේගයෙන් ව්‍යාප්ත වූ තවත් පොදුවස්තු වර්ගයක් හැඳින්වෙන්නේ ‘ඩිජිටල් කොමන්ස්’ (digital commons) යන නමිනි. ඒවාට ඕපන් සෝස් හෙවත් විවෘත ප්‍රභව මෘදුකාංග, සමාජ ජාල, ඔන්ලයින් සහයෝගිතා ක්‍රියාකාරකම්, පොදු නිර්මාණාත්මක (creative commons) බලපත්‍ර යටතේ ජනගත කරන නිර්මාණ, පොදු අරමුදල් භාවිත කොට නිපදවූ තොරතුරු සහ දැනුම අයත් වේ. උදාහරණයක් ලෙස රාජ්‍ය ආයතන සතු තොරතුරුවලට ප්‍රවේශ වීමට මහජනයාට ඇති අයිතිය තහවුරු වන්නේ එම තොරතුරු පොදුවස්තු නිසා ය.  

නවලිබරල්වාදයට අනුව නම් පොදුවස්තු යනු ඛේදවාචකයකි. මන්ද ඔවුන් කල්පනා කරන අන්දමට තණබිම්, කැලෑව සහ ධීවර කලාප. සඳහා විවෘත ප්‍රවේශයක් තිබීමෙන් එ්වා පමණ ඉක්මවා භාවිත කිරීම නිසා විනාශ ව යෑමට ඉඩ තිබේ. ඒ නිසා භාවිතය සඳහා මුදල් අය කර ගැනීමෙන් එම තත්වය වළක්වා ගත යුතු ය. බැලූ බැල්මට ම එම තර්කය නිවැරදි නමුත් පොදුවස්තු සම්බන්ධයෙන් කළ පර්යේෂණ නිසා නොබෙල් අනුස්මරණ ත්‍යාගය දිනා ගත් ආර්ථික විද්‍යාඥ එලිනෝර් ඔස්ට්‍රොම් පෙන්වා දුන් පරිදි හැම ප්‍රජා කණ්ඩායමක් තුළ ම පාහේ පොදුවස්තු අරපරිස්සමෙන් පරිහරණය කිරීම සහතික කරන පොදු සම්මුති තිබේ.  ඒ සම්බන්ධයෙන් ඇය ලියූ Governing the Commons: The evolution of institutions for collective action නම් කෘතියේ ලංකාවේ දකුණු පලාතේ මාවැල්ල ගමේ වෙරළ පොදු වස්තුවක් ලෙස සලකා වරකට  එහි භාවිත කළ හැකි මාදැල් සංඛ්‍යාව පිළිබඳව ධීවර ප්‍රජාව අතර පවතින සම්මුතියක් ද එක් උදාහරණයක් වසයෙන් ගෙන තිබේ[2].

තාක්ෂණික දියුණුවත් සමඟ ඩිජිටල් කොමන්ස් යනුවෙන් හැඳින්වෙන ඩිජිටල් පොදුවස්තු වැඩි වසයෙන් යොදා ගැනීම නිසා ආර්ථික නිෂ්පාදන කටයුතුවල ඇතිවිය හැකි විප්ලවීය වෙනස ජෙරමි රිෆ්කින් වැනි ආර්ථික විශ්ලේෂකයන් විස්තර කර තිබේ. ඔහු පෙන්වා දෙන පරිදි  ඩිජිටල් සංනිවේදනය, පුනර්ජනනීය බලශක්තිය සහ 3D මුද්‍රණ ශිල්පයේ දියුණුවත් සමඟ විස්තෘත (distributed) දායකයන් අතර සහයෝගිතාවෙන් නිෂ්පාදනය වන භාණ්ඩ නිසා සාම්ප්‍රදායික නිෂ්පාදන ක්‍රම වෙනස් විය හැකි ය. සූර්ය බලශක්තිය උපයෝගී කර ගැනීම, අන්තර්ජාලීය ධාරිතාවයේ වැඩි වීම සහ 3D මුද්‍රණයේ දියුණුව මත  සහයෝගිතා නිෂ්පාදනයේ දී භාණ්ඩවල අමතර ඒකක නිෂ්පාදනය සඳහා වැය වන මුදල විශාල වසයෙන් අඩු විය හැකි ය. ඒ අනුව බොහෝ විට යොදා ගන්නා ඕපන් සෝස් හෙවත් විවෘත ප්‍රභව භාණ්ඩ සැලසුම්, නොමිලේ සැපයෙන මාර්ගගත අධ්‍යාපනය (දැනටමත් නොයෙක් විෂය කරුණු හා නිර්මාණ ගැන අන්තර්ජාලය හරහා නොමිලේ ලබා ගත හැකි අධ්‍යාපනික වීඩියෝ) සහ විස්තෘත නිෂ්පාදන ක්‍රම නිසා පවතින වෙළඳපොළ හා සාර්ථක ව තරඟ කිරීම පමණක් නො ව එය විස්ථාපනය කිරීමට ද ‘ඩිජිටල් කොමන්ස්වලට’ ඇතැම් විට හැකි වනු ඇත.

පොදු ඉඩම් අල්ලා ගැනීමට තැත් කිරීම, කම්කරුවන් සහ හිමිකරුවන් වසයෙන් ව්‍යවසායන් දෙකට බෙදීම, රජය හා වෙළඳපොළ අතර තරඟය ආදී වසයෙන් සියවස් ගණනක් තිස්සේ පොදුවස්තු අත්පත් කර ගැනීමට වෙළඳපොළ මෙන් ම රාජ්‍යය ද තැත් කර තිබේ. පොදුවස්තු ගරහන එවැනි ආකල්ප බිහි වීමට සාම්ප්‍රදායික ආර්ථික චින්තනයේ එන ‘පොදුවස්තු යනු කොහොමටත් අසාර්ථක වීමට නියමිත ඒවා ය’ යන විශ්වාසය ද හේතු වන්නට ඇත. එහෙත් ඩිජිටල් යුගයත් සමඟ සාර්ථක වීමට වැඩි හැකියාවක් ඇති ඩිජිටල් කොමන්ස් වැනි දේවල් සලකන විට නව කාර්යක්ෂම ආර්ථික එළඹුමක් සඳහා ඇති ඉඩ කඩ වැඩිය. එබැවින් කේට් යෝජනා කරන  සහබද්ධිත ආර්ථිකය පිළිබඳ රූපාදර්ශයේ පොදුවස්තු සුවිශේෂයෙන් නිරූපණය වීම වටී.

රජය: (The State) නවලිබරල්වාදයේ ප්‍රකට න්‍යායාචාර්යවරයෙකු වූ මිල්ටන් ෆ්‍රීඩ්මන්ඩ් රජයේ ආර්ථික කාර්යභාරය ජාතික ආරක්ෂාව, පොලිස් සේවය සහ නීතිය ක්‍රියාත්මක කරලීමට සීමා කළ යුතු යැ’යි පැවසී ය. ඔහු විශ්වාස කළ ආකාරයට රජය සුජාතකරණය කළ හැක්කේ වෙළඳපොළ කාර්යක්ෂමතාවට අත්‍යවශ්‍ය වූ පුද්ගලික දේපළ ආරක්ෂා කිරීම හා නීත්‍යනුකූල ගිවිසුම් බලාත්මක කිරීම නිසි ලෙස ඉටු කර දීමට එයට ඇති වගකීම නිසා ය. ඒ් හැරෙන කොට ඔහුට අනුව ආර්ථිකය සම්බන්ධයෙන් රජය වෙනත් කිසි ම මැදිහත් වීමක් නො කළ යුතු ය. එහෙත් පෝල් සැමුවෙල්සන් වැනි ආර්ථික පාඨ ග්‍රන්ථ කර්තෘවරු ෆ්‍රීඩ්මන්ඩ්ගේ මතය ප්‍රතික්ෂේප කළෝ ය. සැමුවෙල්සන්ගේ  මතය වූයේ ‘සියලු දෙනාගේ ම පැවැත්ම එකිනෙකා මත රඳා පවතින මේ සා සුවිශාල ජන රාශියක් ඇති ලෝකයක ආර්ථික ජීවිතය සම්බන්ධයෙන් රජයට විශාල භූමිකාවක් ඇති බවයි’[3]. එහෙත් රජය ‘ආපසු තල්ලු කර දැමීමට’ උත්සුක වූ අය අතර වඩා තහවුරු වූයේ ෆ්‍රීඩ්මන්ඩ්ගේ මතයයි.

කෙසේ වෙතත් නව ආර්ථිකය දැක්ම තුළ කුටුම්බය, පොදුවස්තු සහ වෙළඳපොළ යන ත්‍රිත්වයේ ම සහකරු වසයෙන් රජයේ කාර්ය වැදගත් තැනක් ගනී. පළමුවෙන් ම නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යයේ සිට මංමාවත් සහ වීදි ආලෝකය දක්වා ගෙවිය හැකි අයට පමණක් නො ව නො ගෙවිය හැකි අයටත් සමාන ව භුක්ති විඳිය හැකි සමාජය සහ ආර්ථිකය කාර්යක්ෂම ව පවත්වා ගෙන යෑමට අවශ්‍ය පොදු භාණ්ඩ සහ සේවා සපයනු ලබන්නේ රජයෙනි. දෙවනු ව කුටුම්බයක මව් පිය දෙපොළ සබල ගන්වන ප්‍රසූත නිවාඩු, පිතෘ නිවාඩු මෙන් ම මුල් ළමා විය අධ්‍යාපනය සහ වැඩිහිටියන් සඳහා සත්කාර සේවා සැපයුම් බොහෝ රජයන් විසින් සහතික කරන සමාජ ආරක්ෂණ විධිවිධානවලට අයත් ය. එමෙන් ම පොදු දේපළ සහ පොදු වස්තුවල සාමූහික අයිතිය ආරක්ෂා කිරීමත් ඒවා අත්තනෝමතික ලෙස පෞද්ගලික අවශ්‍යතා සඳහා යොදා ගැනීම වැළැක්වීමත් රජය මඟින් කරන කටයුත්තකි.  සමාජ යහපත මුල් කර ගෙන වෙළඳපොළ බලය නියාමනය කිරීමට රජයේ මැදහත් වීම අත්‍යවශ්‍ය ය. වෙළඳපොළ හා සහබද්ධිත වීමෙන් රජය පාරිභෝගික අයිතීන් සුරැකීමට, ආභ්‍යන්තරික කොටස් වෙළඳාම වැනි දුෂ්ක්‍රියාවලින් කොටස් වෙළඳපොළ ආරක්ෂා කිරීමට, හානිකර විෂ ද්‍රව්‍ය අලෙවිය තහනම් කිරීමට, භාණ්ඩ ප්‍රමිති නියාමනය කිරීමට, කම්කරු අයිතීන් සුරැකීමට සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට ද  කටයුතු යොදයි. වෙළඳපොළ විසින් ගැනීමට පසුබට වන ව්‍යවසායකත්ව අවදානම නො තකා නවොත්පාදන කටයුතු ඉටු කිරීමට රජය සූදානම් ය. මේ පුරෝගාමී කාර්ය ඉටු කිරීමේ ලා රජයේ භූමිකාව අතිශයින් වැදගත් වන්නේ ඇයි යන්න රජයේ මැදිහත් වීමෙන් බිහි වූ නවොත්පාදන පිළිබඳ විශේෂඥවරියක වන ආර්ථික විද්‍යාඥ මාරියානා මස්සුකාටෝ උදාහරණ සහිත ව පෙන්වා දෙයි.  උදාහරණයක් ලෙස අද හැම සුහුරු ජංගම දුරකථනයක ඇති GPS පහසුකම, ප්‍රතිචාරක තිරය, මයික්‍රොචිපය පමණක් නො ව අන්තර්ජාලය බිහි වීමට තුඩු දුන් තාක්ෂණය ද එක්සත් ජනපද රජයේ නිෂ්පාදනයෝ ය. නවොත්පාදනය සම්බන්ධයෙන්  රජයේ මේ කාර්යසාධක භූමිකාව ගැණ අපි 23 වැනි හා 24 වැනි පරිච්ඡේදවල වෙසෙසින් සාකච්ඡා කරමු.

එහෙත් ආර්ථිකයට කාර්යක්ෂම දායකත්වයක් රජයකට දිය හැකි වන්නේ එම රජයේ ආයතන කෙතෙක් දුරට අන්තර්ග්‍රහනීය (inclusive) හෙවත් සියල්ලන්ට ම සමානව සලකන සහ අදූෂිත ඒවා ද යන්න මතයි. ආර්ථික විද්‍යාඥ ඩැරොන් ඇසිමොග්ලු සහ දේශපාලන විද්‍යාඥ ජේම්ස් රොබින්සන් ලියූ Why Nation Fails නමැති කෘතියේ රජයක ආයතන අන්තර්ග්‍රහනීය වන විට ආණ්ඩුවේ කාර්යක්ෂමතාව ඉහළ යන අන්දම මැනවින් විස්තර කරයි. අන්තර්ග්‍රහනීය දේශපාලනික ආයතනවල ඇති ප්‍රයෝජනය නම් එමඟින් ජනසමාජයේ විවිධ කණ්ඩායම් අතර බලය පිළිගත හැකි ලෙස බෙදා ගැනීමට හැකිවීම යි.  මේ නිසා බලවත් අතළොස්සකගේ සුඛවිහරණය පිණිස පොදු වත්කම් උදුරා ගැනීම පරමාර්ථය කරගත් නිස්සාරක ආර්ථික ප්‍රතිපත්ති (extractive economic policies) ප්‍රතික්ෂේප කරලීමට හැකි වේ. අධිකාරිවාදී රජයකින් මෙන් ම මූල ධාර්මික වෙළඳපොළකින් ද  දුර්විපාක ඇතිවිය හැකි ය. ප්‍රජා පීඩක ආණ්ඩුවක් මෙන් ම ප්‍රජා පීඩක වෙළඳපොළක් ද මෙල්ල කිරීමට ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක පැවැත්ම අත්‍යවශ්‍ය ය. පොදු සහ දේශපාලනික ජීවිතයේ වග වීම තහවුරු කිරීමට අවශ්‍ය වන ප්‍රජා සහභාගිත්වය බලමුළු ගැන්වීමට සමාජයට හැකි වන්නේ එම සමාජය කොතෙක් දුරට ප්‍රජාතන්ත්‍රවාදී ද යන්න මත ය.

මූල්‍යය කටයුතු (Finance): කේට් රේවර්ත් පෙන්වා දෙන අන්දමට මූල්‍ය අංශය සම්බන්ධයෙන් සාම්ප්‍රදායික මිථ්‍යා මත තුනක් පවතී. වාණිජ බැංකුවල කාර්ය මහජනතාවගේ ඉතුරු කිරීම් ආයෝජන බවට පත් කිරීම ය, මූල්‍ය වෙළඳපොළ විසින් ආර්ථිකයේ උච්චාවචනය වීම සමනය කරණු ලැබේ සහ ඒ අනුව මූල්‍ය අංශය නිසා නිෂ්පාදන ආර්ථිකයට විශාල සේවයක් සැලසෙනු ඇත යන්න ඒ මිථ්‍යාවෝ වෙති. මේ මිථ්‍යා මත තුන ම ඉතාමත් ප්‍රකට ලෙස 2008 ආර්ථික අර්බුදයත් සමඟ සුනුවිසුනු වී ගියේ ය. බැංකුවලින් ඇත්ත වසයෙන් ම සිදු වන්නේ බැංකු ඉතුරු කිරීම්වලින් ණය ලබා දීමට වඩා ණය වසයෙන් මුදල් මවා පෑම යි. මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීම වෙනුවට මූල්‍ය වෙළඳපොළ මඟින් ආවේණික ව කෙරෙන්නේ මූල්‍ය අංශය විචල්‍ය වීම යි. ඒ අනුව රේවර්ත් පවසන්නේ නිෂ්පාදන ආර්ථිකයට විශාල සේවයක් කිරීම වෙනුවට මූල්‍ය අංශය බල්ලෙකු වැනීමට තැත් කරන වලිගයක් මෙන් කටයුතු කරන බව යි. [4]

ආර්ථික විද්‍යා පාඨ ග්‍රන්ථවල කුමක් තිබුණත් බැංකු ණය දෙන්නේ ඉතුරු කරන්නන් විසින් බැංකුවල තැන්පත් කර ඇති ඉතිරී කිරීම් යොදා ගැනීමෙන් ම නො වේ. ණය මුදලක් නිකුත් කරන හැම විට ම බැංකු කරන්නේ සිය ගිණුම් පොත්වල බැරකම් හෙවත් ණය ලබන්නාගේ වගවීම සහ පොලිය සමඟ ආපසු ගෙවිය යුතු ණය යන දෙක ම එක්වර ම සටහන් කිරීම යි. ඒ අකාරයට ණය නිර්මාණය කිරීම අලුත් දෙයක් නො ව අවුරුදු දහස් ගණනක සිට පැවත එන්නකි. නිසි නියාමනය යටතේ එමඟින් වැදගත් මෙහෙයක් ඉටු වන නමුත් 1980 ගණන්වල සිට ණය නිර්මාණය පමණ ඉක්මවා ගොස් තිබේ. ඊට හේතුව  මූල්‍ය අංශයේ නියාමනය  මුළුමනින් ම පාහේ ඉවත් කිරීම යි. ඇමෙරිකා එක්සත් ජනපදයේ එතෙක් පැවැති ග්ලාස් ස්ටීගල් පනත යටතේ ගනුදෙනුකරුවන්ගේ ඉතුරු කිරීම් සහ ණය බැංකුවල ආයෝජන කටයුතුවලින් වෙන් කොට සැලකිය යුතු බවට නියමිත ව තිබුණත් 1999 සිට එම අවශ්‍යතාව ඉවත් කරන ලදී. ඒ නිසා බැංකුවලට සිය මනාපය පරිදි ගනුදෙනුකරුවන්ගේ ඉතිරි කිරීම් අනතුරුදායක සමපේක්ෂණීය (speculative) ආයෝජනවල යෙදවිය හැකි විය.

‘ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීම සඳහා මූල්‍ය වෙළඳපොළ වැදගත් මෙහෙයක් ඉටු කරයි’ යන කතාවේ ද ඒ තරම් සත්‍යයක් නොමැති බව රේවර්ත් පෙන්වා දෙයි. 2004 දී ඇමෙරිකානු ෆෙඩරල් රිසව් බැංකුවේ සභාපති ඇලන් ග්‍රීන්ස්පෑන් ආර්ථිකයේ අස්ථාවරත්වය සම්බන්ධයෙන් සහතික කළ අන්දමට අවදානම  නිසා තනි තනි මූල්‍ය ආයතනවලට කම්පනයකට මුහුණ දීමට සිදුවීමේ හැකියාව අඩුව ඇති අතර සමස්තයක් වසයෙන් ගත් විට මූල්‍ය පද්ධතිය වඩා ඔරොත්තු දෙන ප්‍රවණතාවක් ඇති කර ගෙන තිබුණි. එහෙත් ඉන් වසර හතරක් ගත වූ පසු පැමිණි 2008-2010 ආර්ථික අර්බුදයත් සමඟ ග්‍රීන්ස්පෑන්ගේ ප්‍රකාශය තීරණාත්මක ලෙස අනාථ වී ගියේ ය. මූල්‍ය වෙළඳපොළ යනු ආවේණික ව ම කාර්යක්ෂම වෙළඳපොළකි වැනි පුරසාරම් ද ඒ සමඟ අයාලේ ගියේ ය. රේවර්ත් පෙන්වා දෙන අන්දමට 70 දශකයේ හයිමන් මින්ස්කි වැනි ආර්ථික විද්‍යාඥයන් ඉදිරිපත් කළ මූල්‍ය අස්ථාවරත්වය පිළිබඳ උපන්‍යාසය අනුව මූල්‍ය වෙළඳපොළ යනු ආවේණික ව ම වාෂ්පශීලී අස්ථාවර දෙයකි. 2008 අර්බුදය උත්සන්න වූ විට ආර්ථික විශ්ලේෂකයෝ නැවත මින්ස්කි කියවන්නට පටන් ගත්හ.

බැලූ බැල්මට තර්ක බුද්ධියට ගෝචර නො වන බව පෙනුණත් මින්ස්කි විස්තර කළ ආකාරයට  මූල්‍ය වෙළදාම් කටයුතුවල ඇති විශේෂත්වය නම් මූල්‍ය ස්ථාවරත්වය ම මූල්‍ය අස්ථාවරත්වයට හේතු වෙන බව යි[5].  මින්ස්කිට අනුව ඊට හේතුව මූල්‍ය කටයුතු ශක්තිමත් වීම ප්‍රතිචාර ලූපයක් හෙවත් චක්‍රයක් මෙන් ක්‍රියා කරන නිසාය.

උදාහරණයක් ලෙස ආර්ථික වසයෙන් යහපත් කාලවල දී ආර්ථිකය ගැන ඇති විශ්වාසය වැඩි වෙන බැවින් බැංකු, සමාගම් සහ ණය ඉල්ලුම්කරුවෝ වඩ වඩා ආයෝජන අවදානම් ගැනීමට පෙලඹෙති. ඒ නිසා නිවාස ඇතුළු වාණිජ වත්කම්වල මිල ඉහළ යයි. මිල මෙසේ ඉහළ යෑම නිසා ණය දෙන්නන් සහ ණය ගන්නන් අතර වත්කම් මිල නො කඩවා ඉහළ නැගෙනු ඇතැ’යි යන බලාපොරොත්තුව තව තවත් තහවුරු කරවයි. මින්ස්කි පවසන අන්දමට මෙසේ ‘සියල්ල වාසිදායක ලෙස  සිදුවේය යන විශ්වාසය නිසා සමපේක්ෂණාත්මක ආයෝජනවල (speculative investments) හදිසි උත්පාතයක් ඇතිවීම ධනවාදී ආර්ථිකයේ අස්ථාවර බවට මූලික හේතුව යි’. ඉහළ බලාපොරොත්තුවලට සරිලන ආකාරයට මිල පවත්වා ගැනීමට තදනන්තර ව නො හැකි වූ විට අනිවාර්යයෙන් ම සිදු වන ආකාරයට ණය වාරික සහ පොලිය ගෙවීම අතපසු වෙන අතර වත්කම්වල මිල පහළ වැටීම ඇරඹේ. එම තත්වය උත්සන්න වූ විට මූල්‍ය බංකොලොත් බව ඇතිවී ආර්ථිකය කඩා වැටේ.  එහෙත් කඩා වැටීමෙන් කලකට පසු ආර්ථිකය නැවත නැගී එන විට විශ්වාසය තහවුරු වෙන පමණට අර ක්‍රියාවලිය ම යළි යළි සිදු විය හැකි බව මින්ස්කි පෙන්වා දුන්නේ ය.

නිෂ්පාදන ආර්ථිකයට සහයෝගය දක්වනු වෙනුවට ඇත්ත වසයෙන් ම මූල්‍ය ආර්ථිකය කරන්නේ නිෂ්පාදන ආර්ථිකය අබිබවමින් ඒ මත ආධිපත්‍යය පැතිර වීම යි. බොහෝ රටවල බැංකු හා මූල්‍ය ආයතන නතු කර ගෙන ඇති මූල්‍යප්‍රභූවරු අතළොස්ස පුළුල් ආර්ථිකය අස්ථාවර කරමින් කොටස් වෙළඳපොළ මාට්ටු කිරීමෙන් සහ කපටි මූල්‍ය ගනුදෙනුවලින් අධික ලාභ උපයා ගනිති. එනිසා මේ මූල්‍ය දුසිරිත් නිවැරදි කර මුල්‍ය කටයුතු ආර්ථිකයේ සහ සමාජයේ යහපතට හේතු වෙන ලෙස මෙහෙයවීම පිණිස ආර්ථිකය යළි සැලසුම් කළ යුතු යැ’යි රේවර්ත් පවසයි. 

ව්‍යාපාර සමාගම් (Business): වෙළඳපොළ හරහා නව නිපැයුමක් නිර්මාණය කොට හඳුන්වා දීම සඳහා කටයුතු කරන විට මිනිසුන්, තාක්ෂණය, බලශක්තිය, ද්‍රව්‍ය සහ මූල්‍ය සම්පත් එක් කිරීමේ ලා ව්‍යාපාර අසාමාන්‍ය කාර්යසාධක භූමිකාවක් ඉටු කරයි. නව ලිබරල්වාදී ආඛ්‍යානයට අනුව සමාගම් කාර්යක්ෂම වන්නේ වෙළඳපොළ යන්ත්‍රණය නිසා ය. එහෙත් කුටුම්බය සම්බන්ධයෙන් දැක්වූ ආකල්පය මෙන් ම සමාගම් තුළ සිදු වන ක්‍රියාවලිය ද නවලිබරල්වාදී ආඛ්‍යානයට වැදගත් නොවීය.  සමාගම් තුළ නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කුමක් සිදු වේද යන්න අධ්‍යයනය කිරීම අතිශයින් වැදගත් ය.  සමාගමක සේවකයන් සහ කොටස් හිමි අයිතිකරුවන් අතර බලය හැසිරෙන ආකාරය නිෂ්පාදනයේ පැවැත්ම සම්බන්ධයෙන් තීරණාත්මක ය. ඊට මූලික වසයෙන් ම හේතු වන්නේ ඒ දෙකොට්ඨාසය අතර ඇති අසමානතාව යි. මේ බව වික්ටොරියානු යුගයේ සෞඛ්‍යයට අහිතකර අපිරිසිදු කර්මාන්ත ශාලා උදාහරණයට ගනිමින් මාක්ස් සහ එංගල්ස් විසින් පෙන්වා දී තිබේ. ඇතැම් විට වර්තමානයේ පවා එවැනි කර්මාන්ත ශාලා සහ ගොවිපළවල් දැක ගැණීමට හැකි ය. ලාභයේ හා තරඟකාරිත්වයේ නාමයෙන් බොහෝ කම්හල් කළමනාකරුවෝ කම්කරු නීති හා සේවක සුභසාධනය නො තකමින් ඇතැම් විට අගුලු දැමූ කම්හල්වල කම්කරුවන් රඳවා ගනිමින්, වැසිකිළි භාවිතය සීමා කරමින්, ගර්භිනී වීම හෙළා දකිමින් හෝ ගර්භිනී කාන්තාවන් සේවයෙන් පහ කරමින්, ළමා ශ්‍රමිකයන් යොදා ගනිමින් කටයුතු කරනු දක්නට ලැබේ. නීත්‍යනුකූල ව කටයුතු කළත් ඇතැම් රටවල සමාගම් බොහෝ විට සේවකයන් යොදා ගන්නේ අස්ථිර පත්වීම් සහ මෑන්පවර් කොන්ත්‍රාත්තු මත ගෙවිය හැකි අවම වැටුපට සේවය ලබා ගැනීම සඳහා ය.

සංවිධානය වීමේ අයිතිය පෙරදැරි කොට සාමූහික කේවල් කිරීමට හැකි වන ආකාරයට සේවකයන් සංවිධානය වීම මඟින් උග්‍ර විෂමතා සහිත සමාගම් තුළ සේව්‍ය සේවක බල සම්බන්ධතා තුලනය කර ගත හැකි වේ. තවත් ක්‍රමයක් වන්නේ සමාගම් හිමිකාර ව්‍යුහය වෙනස් කොට ශතවර්ෂ ගණනක් පැරණි සේව්‍ය සේවක බෙදීම අවසන් කිරීමයි. රේවර්ත් පෙන්වා දෙන පරිදි 21වැනි සියවසේ අභියෝග හමුවේ කොටස්වල මිල ඉහළ දමා ගැනීමට වඩා අගය කළ හැකි පරමාර්ථයක් සමාගම්වලට තිබිය යුතු ය. ව්‍යාපාරවල එකම සමාජ වගකීම ලාභ ලැබීමයි යන නවලිබරල්වාදී ගුරු මිල්ටන් ෆ්‍රීඩ්මන්ඩ්ගේ පටු දැක්ම 21 වැනි සියවසට වලංගු නො වේ.

වෙළඳාම (Trade): සහබද්ධිත ආර්ථිකය (embedded economy) පිළිබඳ රේවර්ත්ගේ රූපාදර්ශය තනි ජාතික රාජ්‍යයක ආර්ථිකය නිරූපණය කිරීමට මෙන් ම ජාත්‍යන්තර වෙළඳාම ඇතුළු ව ගෝලීය ආර්ථිකය නිරූපණය කිරීමට ද යොදා ගත හැකි ය. ශීඝ්‍ර ගෝලීයකරණය නිසා පසුගිය වසර 20 තුළ දේශ සීමා ඉක්මවා යන වෙළඳාම වැඩි වූ අතර කොන්ටේනර් බහාලුම් නැව් සහ අන්තර්ජාලය නිසා ජාත්‍යන්තර පරිවහන හා සංනිවේදන වැය ද සැලකිය යුතු ලෙස අඩු විය. 1995 පිහිටුවන ලද ලෝක වෙළඳ සංවිධානයේ මෙහෙයවීමෙන් වෙළඳාම නිදහස් කිරීමේ න්‍යාය පත්‍රය රටවල් 164 ක  ක්‍රියාත්මක වීම ද ගෝලීය වෙළඳපොළ ව්‍යාප්තියට බෙහෙවින් හේතු විය. තමන් විසින් සියලු ම දේවල් නිපදවා ගැනීමට තැත් කරනු ලබනවාට වඩා එක් එක් රටවල් තම තමන්ගේ රටවල වඩා හොඳින් නිපදවිය හැකි දේවල් නිෂ්පාදනය කොට අනෙකුත් දේවල් වඩා හොඳින් නිපදවිය හැකි රටවල් සමඟ හුවමාරු කර ගැනීම වාසිදායක බව පැවසූ ඩේවිඩ් රිකාඩෝගේ විදේශ වෙළඳාම පිළිබඳ න්‍යාය සැලකිය යුතු බලපෑමක් ඇති කළ න්‍යායකි. වයින් සහ රෙදිපිළි උදාහරණයට ගෙන තම න්‍යාය විස්තර කළ ඩේවිඩ් රිකාඩෝ එවැනි අනෙකුත් නිමි භාණ්ඩ කෙසේ වෙතත් ඉඩම්, ශ්‍රමය සහ ප්‍රාග්ධනය වැනි නිෂ්පාදන සාධක එකල සැලකුවේ දේශ සීමා අතර හුවමාරු කර ගත නො හැකි දේවල් ලෙස ය. එහෙත් අද ඉඩම් හැරෙන විට අලුත් පලතුරුවල සිට නීති උපදේශනය දක්වා අනෙක් හැම දෙයක් ම භාණ්ඩ සහ සේවා වසයෙන් දේශ සීමා හරහා වෙළඳාම් කෙරේ. ඊට ව්‍යාපාර සහ දේපළ ක්ෂේත්‍රයේ සෘජු විදේශ ආයෝජන සහ ජීවනෝපායක් සොයමින් විදේශවලට සංක්‍රමණය වන ශ්‍රමිකයෝ ද ඇතුළත් ය.

මේ සියලු ආකාරයේ දේශාන්තර භාණ්ඩ සහ සේවා ප්‍රවාහ තුළ ප්‍රතිලාභ මෙන් ම නොයෙකුත් අවදානම් ද අඩංගු වේ. සහල් වැනි ප්‍රධාන ආහාරයක් ස්වදේශීය ව වගා කරනවාට වඩා ලාභයට ආයාත කොට වෙළඳාම් කිරීමට හැකි වීමෙන් ආහාර මිල අඩු මට්ටමක පවත්වා ගත හැකි බව සැබෑ ය. එහෙත් එය දේශීය ආහාර නිෂ්පාදනයට තර්ජනයක් විය හැකි ය. ඒ අතරම ජාත්‍යන්තර වෙළඳපොළේ ආහාර මිල ඉහළ යන විට ඇතිවෙන බලපෑම දරා ගැනීමට නො හැකි වීම නිසා සමාජ වියවුල් ඇති විය හැකි ය. උදාහරණයක් ලෙස 2007-2008 කාලයේ ඊජිප්තුව සහ බුර්කිනා ෆාසෝවල ආහාර කැරලි ඇවිලීමට හේතුවක් වූයේ ගෝලීය වෙළඳ පොළේ තිරිඟු, ඉරිඟු සහ සහල් යනාදියේ මිල තුන් ගුණයකින් වැඩි වීමෙන් දේශීය වෙළඳ පොළේ ආහාර ද්‍රව්‍යය මිල දැරිය නො හැකි තරමට ඉහළ යෑම නිසාය. සංක්‍රමණය වන පුහුණු සේවකයන් විසින් සිය මව් රටවලට විදේශ විනිමය උපයන නමුත් ඒ නිසා ම මව් රටවලට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයක් ඇතිවිය හැකි ය. එමෙන් ම විදේශ ආයෝජන නිසා නැගී එන දේශීය ආර්ථිකය තුළ කොටස් වෙළඳපොළ සරු විය හැකි වුවත් 1990 ගණන්වල තායිලන්තය, ඉන්දුනීසියාව සහ දකුණු කොරියාව වැනි රටවල සිදු වූවාක් මෙන් සමපේක්ෂණීය අවදානම (speculative risk) නිසා හිටි හැටියේ විදේශීය ආයෝජකයන් කොටස් වෙළඳපළෙන් ඉවත් වූ විට දේශීය ආර්ථිකය මුළුමනින් ම කඩා වැටීමට එය හේතු විය හැකි ය. 

අද ඉහළ ආදායම් ලබන රටවල් ඒතැනට පැමිණ ඇත්තේ කලකට ඉහත දී  ආරක්ෂණවාදී ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙනි. එහෙත් තමන් එතැනට පැමිණි ඉණිමගට පයින් ගසා නිදහස් වෙළඳාම සඳහා සිය දේශ සීමා මුළුමනින් ම විවෘත කරන ලෙස එම රටවල් දැන් අඩු සහ මැදි ආදායම් ලබන රටවලට බල කිරීම අයුතු බව ආර්ථික විද්‍යාඥ හා ජූන් චැන්ග් පෙන්වා දෙයි. නිදහස් වෙළඳපොළක මහා ආනිසංස ගැන දැන් කොතරම් බණ දෙසුවත් ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය ඇතුළු ඉහළ ආදායම් ලබන රටවල් සිය කාර්මික ආර්ථික වර්ධනය ආරක්ෂා කර ගැනීම සඳහා විදේශීය නිමි භාණ්ඩ ආනයනය අධෛර්යමත් කරවන ආනයන බදු, ස්වදේශීය සමාගම්වලට බදු සහන මෙන් ම සහනාධාර ලබා දීම  සහ රාජ්‍ය ආයෝජන යොදවා අත්‍යවශ්‍ය සේවා සමාගම් පවත්වා ගෙන යෑම වැනි දේශීය නිෂ්පාදනවලට වැඩි වාසි සැලසෙන ලෙස වෙළඳපොළට මැදිහත් විය.  1830 සිට 1940 දක්වා ම ඇමෙරිකාව ස්වදේශීය ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා වෙළඳපොළ සම්බන්ධයෙන් දැඩි ආරක්ෂණවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ බව හා-ජුන් චැන්ග් උදාහරණ උපුටා දක්වමින් පෙන්වා දෙයි. [6] නවොත්පාදනයයේ අරටුව වැනි බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් අදත් එම රටවල් සිය ආරක්ෂණවාදී ප්‍රතිපත්තිය දැඩි ලෙස ක්‍රියාත්මක කරයි.

 නිදහස් වෙළඳපළක් කියා දෙයක් නැතිවාක් මෙන් ම නිදහස් වෙළඳාමක් ද නොමැති බව  රේවර්ත් පවසයි. ඇය පෙන්වා දෙන පරිදි රටක දේශ සීමා හරහා භාණ්ඩ සහ සේවා හුවමාරු වීම එහි ජාතික ඉතිහාසය අතින් සැලකූ විට වර්තමාන ජාත්‍යන්තර බල සම්බන්ධතා හා ආයතනික පද්ධතියක සන්දර්භය තුළ සිදු වන දෙයකි. 2007- 2008 ආහාර අර්බුදය සහ ඒ සමඟ 2008-2010 පැන නැගුණු ආර්ථික අර්බුදය මඟින් පෙන්වා දුන් පරිදි  දේශාන්තර ආර්ථික ප්‍රවාහයේ ප්‍රතිලාභ පුළුල් ලෙස සමාජය තුළ බෙදී යෑම සහතික කිරීමට අවසානයේ දී රටවල් අතර ඵලදායක සහයෝගයක් තිබිය යුතු ය. උදාහරණයක් ලෙස දකුණු ආසියාතික දේශපාලනික හා ආර්ථික සංගමයක් තුළ එක්සත් වීමෙන් ලක් වැසියන්ට ලබා ගත හැකි ඵල ප්‍රයෝජන එමටය.

බලය (Power): ආර්ථික විද්‍යාව පිළිබඳ නූතන පාඨ ග්‍රන්ථයක සූචිය විමසා බැලුවොත් බලය යන වචනය යෙදෙන එක ම තැන විදුලි බල ක්ෂේත්‍රය විශ්ලේෂණය කිරීම සම්බන්ධයෙන් පමණක් විය හැකියැ’යි කේට් රේවර්ත් උපහාසාත්මක ව පවසයි. එහෙත් ආර්ථිකය සහ සමාජය පුරා ම බලය ක්‍රියාත්මක නො වන තැනක් නැත. එදිනෙදා කුටුම්බය තුළ දරුවන් බලා කියා ගැනීම, අයිතිකරු  සහ සේවකයින් අතර වැටුප් කේවල් කිරීම, ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සහ දේශගුණ විපර්යාසය ආමන්ත්‍රණය කිරීමේ සම්මන්ත්‍රණ ආදී වසයෙන් මිනිසුන් මැදිහත් වන හැම තැනක ම බල සම්බන්ධකම් ද ඇති වේ. සහබද්ධිත ආර්ථිකය පිළිබඳ රූපාදර්ශය තුළ ඇති හැම ක්ෂේත්‍රයක් තුළ මෙන් ම එම ක්ෂේත්‍ර අතර සම්බන්ධතාව සම්බන්ධයෙන් ද එකී බල සම්බන්ධකම් පවතින ආකාරය සිහියට නගා බලන්න.

මේ සියලු බල සම්බන්ධකම් අතරින් ආර්ථිකය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් තීරණාත්මක ව බලපාන එක් සුවිශේෂ බල සම්බන්ධතාවක් වෙත අපේ අවධානය නිරායාසයෙන් යොමු වෙයි. එය නම් ආර්ථිකයේ නීති හා විධිවිධාන තමන්ගේ වාසියට හැඩ ගස්වා ගැනීමට පොහොසතුන්ට ඇති බලය යි. ආර්ථිකය සම්බන්ධයෙන් කුටුම්බයේ වැදගත්කම ගැන කතා කරන විට අප මතක තබා යුතු වැදගත් ම කාරණය කුටුම්බය යනු සමජාතීය ඒකකයක් නො වන බවයි. ඇතැම් දැවැන්ත පාරජාතික සමාගම්, ව්‍යාපාර, කාටල් මෙන් ම ආණ්ඩු පවා පවත්වාගෙන යන්නේ සාමාන්‍ය ජනයා ‘පවුල් බලය’ යනුවෙන් හඳුන්වන සුවිශේෂ කුටුම්බ සම්බන්ධතාවල මෙහෙයවීමෙනි.  ආර්ථිකය පිළිබඳ සාම්ප්‍රදායික රූපාදර්ශවල එන අන්දමට කුටුම්බය යනු ශ්‍රමය සහ ප්‍රාග්ධනය ආර්ථිකයට ලබා දී  එ් සඳහා ලැබෙන ප්‍රතිලාභ ලෙස වේතන සහ ලාභයෙන් කොටසක් සමජාතීය සමාගම්වලින් එක හා සමාන ලෙස ලබාගන්නා අහිංසක ප්‍රපංචයක් නො වේ.  2011 සැප්තැම්බර් මස ඇරඹුණු Occupy (අල්ලා ගනිව්) ව්‍යාපාරය විසින් පුළුල් භාවිතයක් බවට පත් කළ උද්ඝෝෂණ පාඨය වූ  1% ක් වූ සුපිරි පොහොසතුන් විසින් ඉතිරි 99% යේ ආර්ථිකය ග්‍රහණයට ගැනීම සලකන විට ආර්ථිකයේ බලය පරිහරණය වන ආකාරය කිසිසේත් ම සාධාරණ නො වන බව පෙනී යයි. මෑත දශක කිහිපය තුළ බොහෝ රටවල  කුටුම්බ අතර මෙන් ම සමාගම් අතර ද විෂමතා පරතරය එන්න එන්න ම වැඩි වී තිබේ. බිලියනපතියන් සහ මහා සමාගම් අධ්‍යක්ෂ මණ්ඩල අතර අත්‍යන්තයෙන් සංකේන්ද්‍රණය වෙමින් පවතින සුවිශාල ආදායම් සහ වත්කම් ප්‍රමාණය ආර්ථිකය වැඩ කරන්නේ කා වෙනුවෙන් ද යන්න තීරණය කරන බල සාධකය බවට පත් ව තිබේ.

බොහෝ විට දේශපාලනයේ දී අද වැඩ කරන්නේ එසේ සංකේන්ද්‍රණය වූ ධනයෙන් ජනිත වන බලය යි.  දේශපාලනය යනු පොදු අවකාශයේ විවෘතව පැවතිය යුතු දෙයක් වන නමුත් අද එය රහසිගත අතට අත දීම්වලින්, දොර වසා ගෙන කරන සාකච්ඡාවලින් සහ අත යට ගනුදෙනුවලින් යුත් පුද්ගලික කටයුත්තක් බවට පත් ව තිබේ. දේශපාලන අපේක්ෂකයන්ට අත දිග හැර වියදම් කරන ව්‍යාපාරිකයෝ සහ කෝපරේට් සමාගම් තමන් කරන්නේ තමන්ට පෞද්ගලික ව වාසි ලැබෙන ආකාරයට ප්‍රතිපත්ති සකස් කරවා ගැනීමට කරන ආයෝජනයක් බව හොඳින් දනිති. රේවර්ත් Doughnut Economy කෘතියේ උපුටා දක්වන තොරතුරුවලින් තහවුරු වන පරිදි 1976 සිට දැවැන්ත සමාගම් එක්සත් ජනපදයේ මැතිවරණ සඳහා යෙදවූ මුලු මුදල 20 ගුණයකින් වැඩි වී තිබේ. දේශගුණ විපර්යාසය පිළිබඳ ප්‍රතිපත්තිවල දී කාබනික ඉන්ධන ව්‍යාපාරයට අවාසියක් සිදුවීම හැකි තරම් දුරට වළක්වා ගැනීම පිණිස ඉන්ධන සමාගම් විසින් පමණක් 2005 සිට ඇමෙරිකානු මැතිවරණ සඳහා ඩොලර් බිලියන 1.7ක් වියදම් කර තිබේ. ලංකාවේ මැතිවරණ සම්බන්ධයෙන් මුදල් යෙදවීම නියාමනය කරන ක්‍රමයක් නැති බැවින් කවුරුන් කුමන රහස් ගිවිසුමක් යටතේ දේශපාලන පක්ෂවලට ධනය සපයන්නේ දැ’යි යන්න දැන ගැනීමට ක්‍රමයක් නැත. ආර්ථිකය සැලසුම් කළ යුත්තේ අතළොස්සක් අතර ධන බලය හා ඒ නිසා දේශපාලන බලය ද ඒකරාශි වන අන්දමට නො වේ; ධනය හැකි තරම් ව්‍යාප්ත වන ආකාරයට ය. අප සමාජ විෂමතා අවම කරන සමානාත්මතාව අගය කරන නිර්මාණශීලී සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්  ගොඩ නැගිය යුත්තේ ඒ අරමුණෙනි.

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022



[1] Goodwin, Neva et. Al. (2019) Microeconomics in Context, New York: Routledge p.1-2

[2] https://www.nobelprize.org/prizes/economic-sciences/1974/hayek/speech/ Retrieved on 21 April 2021

[3] Ha-Joon Chang (2014) Economics The User’s Guide, London: Pelican, p.2

[4] Kate Raworth (2017) Doughnut Economics: Seven ways to think like a 21st Century Economist, by Kate Raworth, New York: Random House, p.1

[5] “Give me a one-handed Economist. All my economists say ‘on hand…’, then ‘but on the other…” – Harry S TRUMAN

[6] Prakash Loungani et. al.(2018) IMF Working Paper : How Well Do Economists Forecast Recessions?, Washington: International Monetary Fund

[7]  Sandel Michael J.(2012)  What Money Can’t Buy: The Moral Limits to Markets, New York:  Alan Lane Penguin, p.2

[8]  Stiglitz. J and Sen. A, (2008) Report by the Commission on the Measurement of Economic Performance and Social Progress,  p.9 – https://ec.europa.eu/eurostat/documents/8131721/8131772/Stiglitz-Sen-Fitoussi-Commission-report.pdf – Retrieved on the 21 Aug 2021

[9] https://www.socialcapitalresearch.com/putnam-on-social-capital-democratic-or-civic-perspective/ – Retrieved on 21 April 2021

[10] Ostrom, Elinor (1990) Governing the Commons: The evolution of institutions for collective action, Cambridge:  Cambridge University Press pp 185-190

[11] Samuelson, P. (1980) Economics, 11th edn. New York: McGraw Hill, p.592

[12] Raworth, Raworth (2017) Doughnut Economics: Seven ways to think like a 21st Century Economist, New York: Random House p.52

[13]  Raworth, Kate (2017) Doughnut Economics: Seven ways to think like a 21st Century Economist, New York: Random House p.189 (KE)

[14] Chang, H.J. (2010). 23 Things They Don’t Tell You About Capitalism, London: Allen Lane p. 109-120 (KE)

One thought on “7. ආර්ථික චින්තනයේ සීමා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: