3. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

“හැම වැඩිහිටියෙකු ම පාහේ දේශපාලන ක්‍රමය තුළ ඡන්දය භාවිත කළත් දැනුම,  ධනය, සමාජ තත්වය, විධායකය මෙහෙයවීමේ හැකියාව සහ අනෙකුත් සියලු සම්පත් අසමාන ලෙස බෙදී ඇති විට ඇත්තට ම ආණ්ඩු කරන්නේ කවුද ? ” යනුවෙන් වසර හැටකට පෙර යේල් සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය රොබට් ඩාල් ඇසූ ප්‍රශ්නය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අදටත් වලංගු ය.[1]  ඒ වන විට ආර්ථික විද්‍යාඥ ජෝශප් ෂුම්පිටර් 1942 දී පළ කළ ඔහුගේ ප්‍රකට Capitalism, Socialism, and Democracy නමැති කෘතියේ ප්‍රජාතන්ත්‍රවාදය නිර්වචනය කර තිබුණේ මිනිසුන්ගේ මනාපය පරිදි කටයුතු කිරීම පිණිස “නායකත්වයට පත් වීමට බලාපොරොත්තු වන අය විසින් මැතිවරණයක දී ඡන්ද සඳහා කරනු ලබන තරඟයක්” ලෙසයි.[2]

ෂුම්පිටර්ට අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු චේතනාවක් නො ව “දේශපාලනමය, ව්‍යවස්ථාමය සහ පරිපාලනමය  තීරණ ගැනීම පිණිස සකසන ලද කිසියම් ආයතන පද්ධතියක් පිළිබඳ ක්‍රමවේදයකි”.[3] වඩාත් ම හොඳින් සන්නද්ධ ව සිටින තරඟකරුවන් අතර දේශපාලන නායකත්වය සඳහා නිර්ප්‍රචණ්ඩ තරඟයක් එම ක්‍රමය මඟින් ප්‍රවර්ධනය කරන බව ෂුම්පිටර්ගේ මතය විය. ඡන්ද සඳහා වන දේශපාලන තරඟය තරඟකාරී වෙළඳ සමාගම් විසින් සිය අභිමතයට අනුව පාරිභෝගික මතය හැඩ ගස්වනු ලැබීමට සමාන බව ෂුම්පීටර් පැවසීය. ඒ අනුව  මැතිවරණයක් යනු දේශපාලන පක්ෂ විසින් කරනු ලබන නියාමනය හරහා තරඟකාරී දේශපාලන ව්‍යවසායකයින් විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ගැන තීරණය කිරීමේ සටනකි. [4] ෂුම්පිටර්ගේ එම නිර්වචනය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සරල, සකසුරුවම් සහ විශිෂ්ට නිර්වචනයක් ලෙස එකල සැලකුණි.

බහුජන කැමැත්ත යනු ඇත්ත වසයෙන් ම බහු ජනතාවගෙන් ජනිත වන්නක් නො ව තරඟකාරී නායකයන් විසින් හැඩ ගස්වනු ලබන්නක් බව ජෝශප් ෂුම්පිටර් කියා සිටියේ ය. මැතිවරණයක දී සිදුවන්නේ පුරවැසියන් තමන් විසින් තෝරා ගනු ලබන නායකයින්ගේ මතවාදයට අනුගත වීමයි. මැතිවරණය සඳහා අවශ්‍ය කරන කොන්දේසි කිහිපයක් ගැන ෂුම්පිටර් සඳහන් කරන නමුදු  ඔහුගේ නිර්වචනයට අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ හරය මැතිවරණයයි. ෂුම්පිටර්ගේ සිද්ධාන්තය තුළ  පුරවැසි සහභාගිත්වයට වැදගත් ස්ථානයක් නො ලැබෙනවා පමණක් නො ව නිශ්චිත කාලසීමා අතර පැවැත්වෙන මැතිවරණවලට සහභාගී වීම හැරෙන විට පුරවැසියන්ට වෙනත් කිසිදු භූමිකාවක් නැත.  ඒ නිසා ෂුම්පිටර් වර්ගයේ සාම්ප්‍රදායික සිද්ධාන්ත අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු නායකත්වය සඳහා සුළුතර ප්‍රභූ පිරිසක් අතර කෙරෙන තරඟයක් සඳහා බහු ජනතාව අනුග්‍රහය ලබා දිය යුතු ක්‍රමයකි.

සියවස් දෙකකට ආසන්න කාලයක් ග්‍රීසියේ ඇතන්ස් නුවර පැවති ප්‍රජාතන්ත්‍රවාදී විධි ක්‍රමය ඊට බොහෝ වෙනස් වූවකි. ඇත්ත වසයෙන් ම සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ගැන පැරණි ම නිදර්ශනයක් වසයෙන් බොහෝ අය සලකන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිජ බිම ලෙස සැලකෙන ඇතන්ස් නුවර පැවති ප්‍රජාතන්ත්‍රවාදයයි. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් අදහස් වන්නේ නියෝජිතයන් වෙනුවට දේශපාලන තීන්දු තීරණ ගැනීම සෘජු ව ම පුරවැසියන්ට පැවරෙන ප්‍රජාතන්ත්‍රවාදී  විධික්‍රමයකි.

ඇතීනියානුවන්ගේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අනෙකුත් බොහෝ ග්‍රීක පෞර රාජ්‍යවල පැවති පාලන ක්‍රමවලට වඩා අඩු ම වසයෙන් ලක්ෂණ දෙකකින් වෙනස් විය. පළමුවෙන් ම ඇතන්ස් නුවර නීති සම්පාදනය කිරීම කිසියම් ප්‍රභූ කණ්ඩායමකට සීමා නො වීය. ඒ වෙනුවට, වහලුන්[5] හා ස්ත්‍රීන් හැර, ඇතන්ස් නුවර විසූ අන් හැම පුරුෂයෙකු ම එකිනෙකා සමඟ සංවිචාරණය (deliberation) කරමින් හෙවත් ‘හේතු යුක්ති සහගත ව සාකච්ඡා කරමින්’ නීති සම්පාදනය හා ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීමට සාමූහික ව සහභාගි විය යුතු ය. මේ සහභාගිත්වය තීරණය වූයේ සහභාගි වන්නාගේ පරම්පරාව, වංශය හෝ ගෝත්‍රය අනුව නො ව නාගරික පදිංචිය, නිවහලෙකු වීම සහ නගරවැසියන් අතර පැවති අන්‍යෝන්‍ය-උප ජීවනය (interdependence) යන කරුණු මතයි. ඇතන්ස් නුවර පුරවැසිභාවය යනුවෙන් හැඳින්වුණේ එය යි.

එක්ලෙසියා (ecclesia) නමින් හැඳින්වුණු ඇතන්ස් මන්ත්‍රණ සභා රැස්වීම පැවතුණේ ප්‍රේක්ෂකයන් 14,000 කට රැස් විය හැකි එළිමහන් රඟමඩලකයි. එම රැස්වීමක සාමාන්‍ය ගණපූරණය 6000 කි. හාවඩ් සරසවියේ දේශපාලන විද්‍යා මහාචාර්යවරියක වන ජේන් මැන්ස්බ්‍රිජ්  පෙන්වා දෙන අන්දමට එක්ලෙසියා සභාව යනු “සිය පුද්ගලික කුටුම්බය පිළිබඳ ළැදිකම් අමතක කොට හැම දෙනෙකු ම හවුලේ භුක්ති විඳින ලෝකයක එකිනෙකා අභිමුඛ වන සහ සිය සහෝදර පුරවැසියන්ට වග වෙන පුරවැසි සභාවකි”.[6] ඊට සහභාගි වන හැම පුරවැසියෙකුට ම යුද්ධ ප්‍රකාශ කිරීමේ සිට බදු අය කර ගැනීම දක්වා වූ ඕනෑ ම විෂය කරුණක් ගැන සම්පාදනය විය යුතු යැයි තමන් විශ්වාස කරන නීතියක් යෝජනා කළ හැකි විය. එසේ නැති නම් වෙනත් පුරවැසියෙකුට එරෙහි ව විභාග කළ යුතු චෝදනාවක් ඉදිරිපත් කිරීම කළ හැකි විය. තීරණ ගැනීම සිදු වූයේ සම්මුතියට පැමිණීමෙන් බැවින් යෝජනාවට හෝ චෝදනාවට හෝ පක්ෂ ව ඉදිරිපත් කරන කරුණු තාර්කික සහ යුක්ති යුක්ත කළ හැකි ඒවා විය යුතු ය. නො වැදගත් යෝජනා සහ බොරු චෝදනා ඉදිරිපත් කළ හොත් ඒ සම්බන්ධ ව විභාග කිරීමට කුසපත් ඇදීමෙන් තෝරා ගත් ජූරි සභාවක් ද විය. කෙසේ වෙතත් මේ සා විශාල පිරිසක් එක් ව කරන සාකච්ඡාවක් නිසියාකාර ව පවත්වා ගැනීමට නම් සෑම පුරවැසියෙක් ම සැලකිය යුතු ඉවසීමකින් සහ අවධානයකින් කටයුතු කළ යුතු ය. එපමණක් නො ව විසම්මුතික අවස්ථාවල දී  සහෝදර පුරවැසියන් යනු අවධානයකින් යුතු ව සවන් දීමට තරම් වටිනා අය බව පිළිගත හැකි නිවැරදි මනෝ ගතියක් ද රැස් වන පුරවැසියන් තුළ තිබිය යුතු විය. කොටින් ම සියලු පුරවැසියන් මිතුරන් ලෙස හැසිරිය යුතු ය.  ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් පැවසූ අන්දමට හොඳ මිත්‍රත්වයක් යනු “යහපත් සහ සත්ගුණවත් බවින් එක සමාන එකිනෙකාට යහපත පතන මිනිසුන්ගේ බැඳීමකි”.

ඇතීනියානු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ වැඩි ඡන්දයෙන් තීරණ ගැනීමක් සිදු නො වූ තරම් ය. තීරණ ගැනීම හැකි තාක් දුරට සම්මුති එකඟත්වය මත ම සිදු කිරීම සම්ප්‍රදාය විය. මැන්ස්බ්‍රිජ් තේරුම් කරන අන්දමට “සාකච්ඡාව අවසානයේ එක් සාමාජිකයෙක් හෝ සාමාජිකයන් කිහිප දෙනෙක් සාකච්ඡාවලට අනුව ඒ වන විට සභාවට එළඹිය හැකි නිගමනය කුමක් ද යන්න කෙටියෙන් පැහැදිලි කරති. එලෙස ඉදිරිපත් කළ නිගමනය සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නො වී නම් එම නිගමනය  එක්ලෙසියා සභාවේ සම්මුතිය ලෙස සැලකෙයි.”[7] එහෙත් විරුද්ධත්වයක් ඇතිවී නම් කුමක් විය හැකි ද? සම්මුතියට එළඹීමේ විධික්‍රම විවිධ බව පෙන්වා දෙන මෙන්සර් නිගමනය සම්බන්ධයෙන් කිසිවෙකු විසින් විරුද්ධත්වය ප්‍රකාශ කරනු ලැබූ අවස්ථාවක දී බොහෝ විට සිදු වන්නේ එම විරුද්ධත්වයට හේතු වූ කාරණය යෝජිත සම්මුතියට අනුව සමථයට පත් කළ හැකි ආකාරය පළමුවෙන් ම වෙනත් අයෙකු විසින් පැහැදිලි කරනු ලැබීම යි.[8]. එම පැහැදිලි කිරීම අසාර්ථක නම් විරෝධයට පාදක වූ තර්කයට අනුකූල වන ලෙස සම්මුතිය සඳහා ඉදිරිපත් වූ යෝජනාව ප්‍රතිශෝධනය කරනු  ලැබේ. එහෙත් එසේ යෝජනාව ප්‍රතිශෝධනය කිරීම මඟින් විරෝධතාව සමනය කළ නො හැකි බව පෙනී ගිය හොත් උපයෝගී කර ගත හැකි තවත් ක්‍රම තුනක් ඉතිරි වේ. ඉදිරිපත් ව ඇති සමථ යෝජනාව ගැන වැඩිදුරටත් පැහැදිලි කිරීම් ලබා ගැනීමෙන් පසු විරෝධතාව දැක්වූ තැනැත්තා විසින් සිය විරෝධතාව ඉවත් කර ගැනීම ඉන් පළමු වැන්නයි. එහෙත් එසේ නො වී ප්‍රතිශෝධිත යෝජනාව පිළිගැනීම විරෝධතාකරු විසින් දිගින් දිගට ම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඉතිරි වන්නේ විකල්ප දෙකකි. ඉන් පළමුවැන්න විරෝධතාකරු විසින් යෝජනාව මුළුමනින් ම අවහිර කිරීමයි. එය බොහෝ දුරට නිෂේධ බලය භාවිත කොට යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට හැම සහභාගි වන්නෙකුට ම ඇති අයිතිය යොදා ගැනීමකි. එහෙත් තමන් විරුද්ධ වුවත් අන් අයගේ එකඟත්වයෙන් යෝජනාව සම්මත කර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විරෝධතාකරුගේ විශාල අකැමැත්තක් නැත්නම් ඔහුට “පැත්තකට වී” යෝජනාවට සහයෝගය නො දක්වා සිටිය හැකි ය. ඒ අනුව අන් අය විසින් යෝජනාව සම්මත කොට ඒ අනුව කටයුතු කිරීම ගැන විරෝධතාකරු අමනාපයක් නො දක්වන නමුත් එම යෝජනාවට අනුව කටයුතු කිරීමේ වගකීමකට තමා බැඳී නැති බවට පිළිගැනීමක් අන් අයගෙන් ලබා ගනී.

ඇතීනියානු වර්ගයේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය හරියට ම ක්‍රියාත්මක වීමට නම් පුරවැසියන් අවංක වීම සහ සිය පුද්ගලික අභිමතාර්ථ අබිබවා පොදු යහපත පිණිස කැප වූ අය වීම අත්‍යවශ්‍ය විය. ඒ නිසා නිවැරදි මනෝ ගතිය පමණක් නො ව ‘එක හිතකින්’ කටයුතු කිරීමේ හැකියාවත් ඔවුන්ට තිබිය යුතු ය. ජේන් මැන්ස්බ්‍රිජ් එය හඳුන්වන්නේ ‘ඒකීය ප්‍රජාතන්ත්‍රවාදය’ (unitary democracy) ලෙසයි.[9] ඇයට අනුව කිසියම් ප්‍රතිපත්තියකට සහයෝගය දැක්වීම පමණක් නො ව සියලු දෙනා ම එම සහයෝගය දක්වන්නේ  එක ම හේතු මත වීමත් එවැනි ඒකීය ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා අවශ්‍ය වේ.  සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මේ මුල්කාලීන මාදිලිය සමජාතීය (homogeneous) ප්‍රජාවක් පිළිබඳ කතන්දරයක් ලෙස සැලකිය හැකි ය.  

ඇතීනියානු ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් පුරවැසියන්ගේ සාමූහික සාකච්ඡාව සහ නීති සම්පාදනය කිරීම පමණක් නො වේ. ආණ්ඩුකරණය  සහ පරිපාලනය ද එයට අයත් ය. හැම ඇතීනියානු පුරවැසියෙකුට ම පරිපාලනයට දායක වීමේ අයිතිය තිබුණා පමණක් නො ව කිසියම් කාලසීමාවක් සඳහා රජයේ නිලයක් දැරීම ද ඉටු කළ යුතු වගකීමක් විය. හමුදා සේවය, බදු එකතු කිරීම ආදියේ සිට උත්සව සංවිධානය කිරීම සහ පොදු ස්ථාන පවත්වා ගෙන යෑම දක්වා ඉටු කළ යුතු ආණ්ඩුවේ විවිධ රාජකාරි කටයුතු ඒ අතර විය. හමුදා ජනරාල් වැනි විශේෂ ප්‍රාගුණ්‍යයක් තිබිය යුතු තනතුරුවලට පුද්ගලයන් තෝරා ගනු ලැබුවේ සමාන ඡන්දයෙනි. අනෙකුත් සියලු තනතුරු සඳහා පුරවැසියන් නම් කරනු ලැබුවේ කුසපත් ඇදීමෙන් අහඹු ලෙස තෝරා ගැනීමෙනි. එසේ තෝරා ගත් අයට සේවා දීමනාවක් ගෙවනු ලැබූ නමුත් සේවා කාලය කෙටි එකක් විය. එක් පුරවැසියෙකුට එක සේවා කාලයකට වඩා තම තනතුර තබා ගත නො හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස කිසිදු පුද්ගලයෙකුට හෝ පවුලකට ආණ්ඩුවේ කිනම් ආයතනයක් සම්බන්ධයෙන් වුව ද තම බලය තහවුරු කර ගැනීම අසීරු විය.

සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ එවැනි වැදගත් නිදර්ශන ඇතැම් ගෝත්‍රික සමාජවල ද පැවතුණි. ඒ අතරින් එක් විශිෂ්ට උදාහරණයක් වන්නේ උතුරු ඇමෙරිකාවේ පැවති ඉරොකොයිස් (Iroquois) යනුවෙන් හැඳින්වෙන ස්වදේශීය ගෝත්‍රික ෆෙඩරේෂණයයි. අවාසනාවකට මෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ නිජ බිම ඇතන්ස් නුවර ලෙස සලකන බොහෝ අයගේ නිසි අවධානයට යොමු ව නැතත් ආචාර්ය මයිකල් මෙන්සර් පෙන්වා දෙන පරිදි ඉරොකොයිස් ෆෙඩරේෂණය මෙතෙක් මිහි මත ඇති වූ වඩාත් ම ශක්තිමත් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය විය හැකි ය.[10] ගෝත්‍ර පහකින් සමන්විත ව ක්‍රි.ව. 1570-1600 අතර ගොඩනැගුණ බව සැලකෙන ඉරොකොයිස් ෆෙඩරේෂණයට අයත් වූ ජනගහනය ප්‍රමාණයෙන් 20,000ක් පමණ විය. දිගු කාලයක් තිස්සේ පාරම්පරික ව පැවත ආ මුහුණට මුහුණ ලා සාකච්ඡා කරන රැස්වීම් ක්‍රමවේදයක් අනුගමනය කළ ඉරොකොයිස් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය නිසා දේශපාලන බලය ඒකරාශි වීම, ධුරාවලි සහ පංති ක්‍රම ඇති වීම ද වැළකුණු අතර ගෝත්‍රිකයන් වැඩි දෙනෙකුට ප්‍රතිපත්ති සම්පාදනය, නෛතික හා දේශපාලනික විනිශ්චයට දායක වීම සහ පරිපාලනයට සහභාගි වීමට ද ඉඩ සැලසුණි.

සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නූතන දෘෂ්ටිකෝණයකින් බැලූ විට ඉරොකොයිස්වරුන් කිහිප ආකාරයකින් ම ඇතීනියන්වරුන් ඉක්මවා යන බව ආචාර්ය මෙන්සර් පෙන්වා දෙයි. ඇතන්ස්වල මෙන් නො ව ඉරොකොයිස් ක්‍රමය යටතේ දේශපාලන තීරණ ගැනීමේ දී ස්ත්‍රීන්ට ද පූර්ණ සහභාගිත්වය හිමිවුණි. ස්ත්‍රීන් සඳහා වෙනම මන්ත්‍රණ සභාවක් තිබූ අතර ෆෙඩරේෂණයේ සාකච්ඡාවට ලක් වන  සියලු කරුණු සහ යෝජනා පළමුවෙන් ම ස්ත්‍රීන්ගේ මන්ත්‍රණ සභාව තුළ සාකච්ඡා කළ යුතු විය. තීරණ ගැනීම සැම විට ම අවසානය දක්වා සාකච්ඡා කොට සියල්ලන්ගේ ම ඒකමතික එකඟත්වයෙන් සිදු විය යුතු විය. ඒ අතින් එය ඇතන්ස් නුවර ‘එකාවන් ව තීරණ ගැනීමේ’ සම්ප්‍රදායට බෙහෙවින් සමාන ය. එසේ ස්ත්‍රීන්ගේ මන්ත්‍රණ සභාව තුළ එකඟත්වයට පැමිණ ගනු ලැබූ තීරණ ඉන් අනතුරු ව පැවැත්වෙන පුරුෂ සම්මන්ත්‍රණ සභාවේ දී සාකච්ඡාවට ලක් විය යුතු ය. අදාළ යෝජනාව සම්බන්ධයෙන් පුරුෂ සම්මන්ත්‍රණ සභාවේ ඒකමතික තීරණය ලැබුණොත් එය නැවත ස්ත්‍රී මන්ත්‍රණ සභාවට යොමු කරන අතර  අවශ්‍ය නම් එහි දී අවසාන වරට යෝජනාව නැවත විමසුමට ලක් කෙරේ. මෙම ක්‍රමය අනුව ඉරොකොයිස් සමාජයේ පාලනය පිළිබඳ සියලු යෝජනා පළමුව ස්ත්‍රීන් විසින් අනුමත කරනු ලැබිය යුතු විය. 

ඉරොකොයිස් ජනගහනයෙන් වැඩි පිරිසක් අද අප පුරවැසියන් ලෙස හඳුන්වන නිත්‍ය නේවාසිකයෝ ය. එහෙත් නිත්‍ය නේවාසිකයන් නො වන විදේශිකයන්ට පවා ඉරොකොයිස්  දේශපාලන ක්‍රමයේ කොටස්කරුවන් ලෙස සලකා නිසි ගරු බුහුමන් දැක්වූහ. ඇතීනියන්වරුන් මෙන් ඉරොකොයිස්වරු වහල් හිමියෝ ද නො වූහ. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඔවුන්ගේ වටිනාකම් සහ ක්‍රමවේදය දේශපාලනයට පමණක් සීමා වූවක් නො ව ආර්ථිකය සහ කුටුම්බ ක්‍රමයට ද පැතිර ගිය එකක් විය. ඉරොකොයිස්වරුන්ගේ බිම් මට්ටමේ (grassroot level) ආර්ථික ක්‍රමයේ විශිෂ්ට ලක්ෂණය වූයේ ධනය සහ දේපළ අතළොස්සක් අතර සමුච්චයනය වීම හෙවත් ඒකරාශි වීම වැළැක්වීමයි. ඒ වෙනුවට ආර්ථික සම්පත් සියලු ගෝත්‍ර සහ කණ්ඩායම් අතර සංසරණය විය යුතු වූ දෙයක් ලෙස සලකන ලද අතර සාමාජිකයන් අතර පැවති ශ්‍රම දායකත්වය බෙහෙවින් සහභාගිශීලී වූවක් විය. එපමණක් නො ව පාරිසරික තිරසාරත්වය (environmental sustainability) පිළිබඳ ඉරොකොයිස්වරුන්ගේ වටිනාකම් සහ භාවිත ඉතා ප්‍රගාමී විය. තිරසාරත්වය ඔවුන් සැලකුවේ අවම වසයෙන් ‘පරම්පරා හතක් වත්’ (7 generations) පැවතිය යුතු දෙයක් ලෙස ය.

ඇතන්ස් නුවර මෙන් නො ව ඉරොකොයිස්වරුන්ගේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඇරඹුණේ ම “ගැටුම් අවසන් කොට සාමය පවත්වා ගැනීම මඟින් පුද්ගල ස්වීයත්වය, කණ්ඩායම් අයිතිවාසිකම් සහ බලතල සුරකින අතර අනෙකුත් සංස්කෘති සම්බන්ධයෙන් විවෘත හා අන්තර්ග්‍රහනීය ආකල්පයක් ඇති සමාජ ගතිකත්වයක් පවත්වා ගැනීම සහතික කිරීම” [11] උදෙසා ය. ඉරොකොයිස් මන්ත්‍රණ සභා වාර ආරම්භ කරන ලද්දේ “ඉරොකොයිස් සභාවේ පරිපූර්ණ එකඟත්වයකට පැමිණීමේ අරමුණ ඉටු කර ගැනීම පිණිස රැස්ව ඇති සියලු සචේතනික සිත්වලට පොළෝ මහීකාන්තාව, ජලය, වන සතුන් සහ ගහ කොළවල සිට මේඝ ගර්ජන, සඳ මිත්තණිය සහ ක්ෂීරපථයට අධිපති සියලු භූතාත්මයන්ට එකතුව ඉවහල් වන ලෙස” [12] ආයාචනා කරමිනි.   

ඉරොකොයිස් ආර්ථිකය කෘෂිකර්මය, දඩයම, වෙළඳාම යන අංශවල මිශ්‍රණයක් වු වත් කේන්ද්‍රීය ජීවනෝපාය වූයේ බෝග වගාවයි. ඒ වගාවේ මූලිකාංග වූයේ ඔවුන් විසින් සහෝදරියන් තිදෙනා ලෙස හැඳින්වුණු ඉරිඟු, බෝංචි සහ බටානා වට්ටක්කා යන බෝග තෙවර්ගය යි. ඒවා සලකන ලද්දේ හුදෙක් ප්‍රධාන කෘෂිකාර්මික බෝග වසයෙන් පමණක් නො ව ඉරෝකියානු සංස්කෘතියේ එන උත්පත්ති කතන්දරයේ මූල භාණ්ඩ ලෙස ය. ඒ නිසා එම බෝගවලට සුවිශේෂ අනන්‍යතාවක් තිබුණු අතර ඒවා සලකන ලද්දේ ඉරොකොයිස් සය ජාතීන්ගේ ඥාතීන් ලෙස ය. ඉරොකොයිස් ස්ත්‍රී පුරුෂ ශ්‍රම විභජනය අනුව ස්ත්‍රීන් කුටුම්බ පාලනය සහ වැවිලි කටයුතුවල නිරත වීම කළ  අතර පුරුෂයන්ගේ කාර්ය ලෙස සැලකුණේ සකසුරුවමින් දඩයම් කිරීම සහ වන සම්පත් උකහා ගැනීම, වෙළඳ කටයුතු හා ආරක්ෂාව ආශ්‍රිත කටයුතු ය. මේ හේතුව නිසා නිෂ්පාදන අතිරික්තය පිළිබඳ තීරණ ගැනීම සහ වාසභූමිය අවට ගොවි ඉඩම් බෙදා දීම වැනි පරිපාලන කටයුතු හුදෙක් ස්ත්‍රීන්ගේ නායකත්වය යටතේ සිදු විය.

ස්වභාවධර්මය ක්‍රියා කාරකයක් මෙන් ම පරිත්‍යාගයක් ලෙස ද තේරුම් ගැනීම ඉරොකොයිස්වරුන් ඉඩම් සහ දේපළ සම්බන්ධයෙන් දැක්වූ ආකල්පය ද බිම් මට්ටමේ ආර්ථිකය ක්‍රියාත්මක වූ ආකාරය ද ඔවුන්ගේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ද වටහා ගැනීමට උපකාරී වේ. ඉරොකොයිස්වරුන්ට අනුව ඉඩම් යනු කිසියම් පවුලකට හෝ පුද්ගලයෙකුට අයත් සම්පතක් නො වී ය. ඒ නිසා මිනිසුන් යනු ඉඩම්වලට අයත් ජීවීන් කොටසක් මිස ඉඩම් යනු මිනිසුන්ට අයත් දෙයක් නො වේ. ගොවිතැන් කිරීමේ දී ඉඩම් කොටස්වලට වෙන් කර පවුල් අතර බෙදා දෙන ලද්දේ වරිගයේ දෙටු මෑණිවරුන් විසිනි. එහෙත් මේ ස්ත්‍රීන් විසින් එසේ ඉඩම් බෙදීම සිදු කරන ලද්දේ අත්තනෝමතික තීරණ මත නො ව වරිගය විසින් පිළිගෙන තිබූ චාරිත්‍ර වාරිත්‍රවලට අනුව එක් එක් පවුලේ ප්‍රමාණය, කෘෂි කාර්මික හැකියාව සහ සාධාරණත්වය සලකමිනි. සාමාන්‍යයෙන් වැඩි සාමාජික සංඛ්‍යාවකින් යුතු පවුල්වලට හොඳ ම ඉඩම් ලැබුණි. කෘෂිකර්මයට විශේෂයෙන් දක්ෂ පවුල් වී නම් ඒවාට වැඩිපුර ඉඩම් ලැබුණු නමුත් එසේ වැඩිපුර ලැබුණු ඉඩම් සරුසාර ඉඩම් නො විය යුතු විය. වඩා සශ්‍රීක වෙතැ’ යි හැඟුණු ඉඩම් කන්නයෙන් කන්නයට පවුලෙන් පවුලට මාරු විය. මෙම විධිවිධාන විස්තර කිරීම වැදගත් වන්නේ ඉඩම් බෙදීම හුදෙක් අවශ්‍යතාව අනුව නො ව දක්ෂතාව ද සලකා සිදු වූවක් නිසා ය. එය කිසියම් දුරකට පරණ සමාජවාදී ආප්තෝපදේශය වූ “හැම කෙනෙකුගෙන් ම ඔහුගේ හැකියාව අනුව සහ හැම කෙනෙකුට ම ඔහුගේ අවශ්‍යතාව අනුව” යන්න සිහි ගන්වයි.[13]  මෙසේ මාරුවෙන් මාරුවට හොඳ ඉඩම් අතිනත යැවීම සමාන අවස්ථා සැලසීම සහ බලය සංකේන්ද්‍රණය වීම වළක්වා  සාධාරණත්වය ඉටු කිරීම සඳහා ගනු ලැබූ පියවරකි. එසේ හොඳ ම ඉඩම් කන්නයෙන් කන්නයට සීට්ටු ඇදීමෙන් මාරු කිරීම ඇතන්ස් නුවර පැවති කුසපත් ඇදීමේ ක්‍රමයට මහේස්ත්‍රාත් ධුර වැනි වැදගත් තනතුරු සඳහා පුද්ගලයන් තේරීම හා සමාන ය. ඉන් අපේක්ෂා කළේ ද කිසියම් පවුලකට හෝ පවුල්වලට බලය සංකේන්ද්‍රණය කර ගැනීමට ඉඩක් නො තැබීමයි. 

ඉරොකොයිස් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය හැරෙන විට සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තවත් එවැනි නිදර්ශන බොහෝ පැරණි සමාජවල පවතින්නට ඇත. ඉන්දියානු සමූහාණ්ඩු සම්ප්‍රදාය ගැන ලියන ස්ටීවන් මුහිබර්ගර් ගණ හා සංඝ ආදි වසයෙන් හැඳින්වුණු ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම පිළිබඳව ප්‍රමාණවත් විස්තරයක් වර්ණ හෙවත් කුල ක්‍රමය උත්කර්ෂණයට නැංවූ බ්‍රාහ්මණික සම්ප්‍රදායට අයත් මනුස්මෘතිය හා කෞටිල්‍යගේ අර්ථශ්‍රාස්ත්‍රය වැනි කෘතිවලින් හුවා දක්වනු ඇතැ’යි බලාපොරොත්තු නොවිය හැකි බව පවසයි[14]. ඉන්දියානු ගණ සංඝයක් වූ වජ්ජීන් අතර සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින්නට ඇතැ’යි මහා පරිනිබ්බාණ සූත්‍රයේ එන ඇතැම් කරුණුවලට අනුව අපට අනුමාන කළ හැකි ය. එම සූත්‍රයට අනුව මගධ රට රජකම් කළ අජාසත්ත රජු  අති ප්‍රබල වජ්ජීන් යටත් කර ගැනීමට අදිටන් කොට ඒ සඳහා බුදුන් වහන්සේගේ උපදෙස් ලබා ගැනීමට සිය ඇමතියෙකු යැවීය. එහෙත් සූත්‍රයේ එන පරිදි වජ්ජීන් යටත් කිරීමට අපහසු හේතු බුදුන් වහන්සේ විස්තර කරන්නේ අර ඇමතියාට නො ව උපස්ථායක ආනන්ද හාමුදුරුවන්ට ය. මහා පරිනිබ්බාණ සූත්‍රයේ එන එම විස්තරයට අනුව වජ්ජීන් කිසියම් ආකාරයක සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වා ගෙන ගිය බව පෙනේ.

පුරාතන ග්‍රීසියේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය පැවති කාලය තුළ ඇත්ත වසයෙන් ම ග්‍රීසිය සංස්කෘතික ව  වඩාත් සමීප වූයේ බ්‍රිතාන්‍ය දූපත් ඇතුළු යුරෝපයට වඩා උතුරු අප්‍රිකාවට, මැදපෙරදිගට හා බැක්ට්‍රියානු ප්‍රදේශවලට බැවින් ප්‍රජාතන්ත්‍රවාදයේ නිජබිම යුරෝපය යැයි සැලකීම නිවැරදි නො වන බව ඩේවිඩ් ග්‍රේබර් සහ ඩේවිඩ් වෙන්ග්‍රෝ පෙන්වා දෙති. ප්‍රජාතන්ත්‍රවාදය වනාහි ඉතා භයානක ආණ්ඩුක්‍රමයකැ’යි හැරෙන්නට වෙනත් කිසිවක් කියූ ගත් කතුවරයෙක් 19 වන සියවසට පෙර යුරෝපයෙන් සොයා ගත නො හැකි තරම් බව ද ඔවුහු පවසති. උදාහරණයක් ලෙස ඔවුන්ට අනුව නිදහස, සමානාත්මතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපේ වර්තමාන ප්‍රතිමාන (norms) බටහිර සම්ප්‍රදායේ නිපදවීම් ලෙස හැඳින්වීම වොල්ටෙයාර් (1694-1774) වැනි යුරෝපීය  විද්වතෙකු විමතියට පත් කරන්නක් විය හැකි ය.[15]

කෙසේ වෙතත්, නූතන යුගයේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතිකාව ඇරඹෙන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විවේචනයක් ලෙස 18 වැනි සියවසේ දී ප්‍රංශ දාර්ශනිකයෙකු වූ ජීන් ජැක් රූසෝ විසින් ‘සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයක්’ පිළිබඳ සංකල්පය හඳුන්වා දෙනු ලැබීම සමඟයි. උතුරු ඇමෙරිකාවේ ප්‍රංශ ජනාවාස බහි කිරීමට ගිය ගවේශකයන් ඇමරිකානු ස්වදේශික ජනයාගේ පාලන ක්‍රම සහ ඇවැතුම් පැවතුම් ගැන ලියූ දේවල් රූසෝ කියවා තිබුණි.  

ආචාර්ය කැරොල් පේට්මන් විස්තර කරන අන්දමට පුරවැසි සහභාගිත්වය පිළිබඳ රූසෝ ඉදිරිපත් කරන තර්කය ඒ ගැන ඇති වෙනත් බොහෝ තර්කවලට වඩා වෙනස් ය. රූසෝට අනුව මහජනතාව ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් තමන්ට ඇති බලය කිසි සේත් ම අත්හැර දමා නො මැත. අර කණ්ඩායමට අයත් අය ලෙස හෝ මේ සමාජ පන්තියට අයත් අය ලෙස හෝ නො ව රටක පුරවැසියන් වසයෙන් එකමුතුව මුළු දෙන අවස්ථා පැමිණි සැම විටක ම  ඔවුහු එම ව්‍යවස්ථා සම්පාදන ශක්‍යතාව වර්ධනය කර ගනිති. එවැනි අවස්ථාවල දී ඔවුන් රැස් වන්නේ ස්වාර්ථකාමී තනි පුද්ගලයන් ලෙස නො ව සියල්ලන්ගේ ම  අනාගත අභිවෘද්ධිය සඳහා අනෙකුත් පුරවැසියන් සමඟ එක් ව දේශපාලන එකමුතුවක් පවත්වා ගැනීම පිණිස ය. එය පුද්ගලික අවශ්‍යතාවක් නො ව පොදු අවශ්‍යතාවකි. මේ පොදු අවශ්‍යතාව පැන නැගිය හැක්කේ ඔවුන් අතරින් හැම කෙනෙක් ම තම ජීවනෝපාය හෝ පදිංචි ස්ථානය හෝ නිසා ඇතිවිය හැකි ළැදියා නො තකා හැමදෙනෙකුගේ ම පොදු යහපත නිශ්චය කර ගැනීම තකා කටයුතු කරන විට දී ය. පොදු ජනතාවගේ ‘පොදු අභිලාෂය’ (general will) බිහි වන්නේත් ප්‍රදර්ශනය වන්නේත් එසේ ය. රජයේ කාර්යය වන්නේ එකී ‘පොදු අභිලාෂය’ සාක්ෂාත් කර දීමයි.

රූසෝ ගේ මතයට අනූව කිනම් නමකින් ඇමතුව ද ඡන්දයෙන් පත් වන මැති ඇමතිවරුන් යනු මහජනතාවගේ නියෝජිතයෝ නො ව පොදු අභිලාෂය අනුව පරිපාලන කටයුතු ඉටු කරන අයයි. රූසෝ පෙන්වා දෙන පරිදි ප්‍රජාතන්ත්‍රවාදය යනු සියලු ම ජනතාව විසින් දේශපාලන තීන්දු ක්‍රියාවට නංවන ක්‍රමයකි. එහෙත් රටකට විශාල මිනිසුන් සංඛ්‍යාවක් සිටින බැවින් එය ප්‍රායෝගික ව ඉටු කළ නො හැක්කකි. ඒ අනුව ආණ්ඩු කිරීම යනු හුදෙක් අර කී පොදු අභිලාෂය සාක්ෂාත් කිරීමයි. ඒ නිසා අන් අයට පෙර ආණ්ඩුව නීතියට ඉඳුරා ම කීකරු වීම අත්‍යවශ්‍ය ය. එහෙත් රූසෝ අවධාරණය කළ පරිදි හැම විට ම උතුම් වන්නේ නීතිය නො ව මුළු දෙන පුරවැසියන්ගේ ව්‍යවස්ථාදායක ශක්‍යතාවයි.[16] නීතිය උද්ගත වන්නේ එතැනිනි.

රූසෝ අදහස් කළ පරිදි පුරවැසියන්ගේ මුළු දීමෙන් නිරූපණය වන සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ අභිප්‍රාය වූයේ ආණ්ඩුව නීතියට අවනත කරවන සාධාරණ සමාජයක් (a just society) ගොඩනැගීමයි. ඒ සඳහා සමාජයේ සාමාජිකයන්ගේ ක්‍රියාශීලී දේශපාලන සහභාගිත්වය අත්‍යවශ්‍ය ය.

දේශපාලන ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදී යැ’යි හැඳින්වීම පිණිස ජාතික මට්ටමේ නියෝජන ආයතන තිබීම පමණක් ප්‍රමාණවත් නො වන බවත් රූසෝගේ මතය විය. ඒ අනුව යමින් පසු කාලීන විචාරකයෝ පෙන්වා දුන් පරිදි  “ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පද්ධතියක පැවැත්ම පිණිස සහභාගිත්ව සමාජයක පැවැත්ම ද අත්‍යවශ්‍ය වේ. ඉන් අදහස් වන්නේ ආර්ථික ක්ෂේත්‍රය ද ඇතුළු, එහෙත් එයට පමණක් සීමා නො වී, සියලු දේශපාලන පද්ධති ප්‍රජාතන්ත්‍රීකරණය වූ සමාජයක් තිබීම යි”.[17] මෙහි දී  රූසෝ අනුගමනය කළ තවත් විචාරකයෝ “කාර්ය සාධනීය පුරවැසියන් බිහි කිරීමට අවශ්‍ය සබල ගැන්වීම (empowerment) සහ අධ්‍යාපනය යන දෙක ම පුරවැසියන්ට ලබා දිය හැක්කේ පුරවැසි සහභාගිත්වය සඳහා ලැබෙන අවකාශය වැඩි කිරීමෙන්”[18] බව අවධාරණය කළහ.

මෑත කාලයේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂව කරුණු ඉදිරිපත් කළ මුල් ම ශ්‍රාස්ත්‍රාලයීය බුද්ධිමතුන්ගෙන් කෙනෙකු වූයේ මිෂිගන් සරසවියේ ආචාර්ය ආර්නොල්ඩ් කවුෆ්මාන් ය. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය (Participatory Democracy) යන යෙදුම මුලින් ම භාවිත කරන්නට ඇත්තේ 1960 ගණන්වල දී  කවුෆ්මාන් විසින් යැ’යි ඇතැම් විචාරකයෝ පවසති. කවුෆ්මාන් තර්ක කළ අන්දමට පුරවැසියන්ගේ  සෘජු සහභාගිත්වය සහතික කරන ප්‍රජාතන්ත්‍රවාදී විධික්‍රමයක් මඟින් පුද්ගලයන්ගේ බුද්ධි මහිමය නිසැක ව ම වැඩි දියුණු වේ.  ඔහුට අනුව “සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය නිසා බොහෝ ඵලදායී දේවල් ඇතිවිය හැකි වුවත් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය  සාධාරණීය කරනු ලබන ප්‍රධානතම කරුණ වූයේත් වන්නේත් මනුෂ්‍යයන්ගේ හැඟීම්, චින්තනය, සහ ක්‍රියාකාරකම්  වැඩි දියුණු කිරීම සඳහා එය විසින් ලබා දෙන ඉමහත් දායකත්වයයි”.[19]  ඒ අර්ථයෙන් ගත් විට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට වඩා බොහෝ දේවල් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයට කළ හැකි ය. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයෙන්  කෙරෙන්නේ  හුදෙක් පුරවැසියන් කුරිරු පාලකයන්ගෙන් ආරක්ෂා කිරීම පමණක් නො ව  දේශපාලන වසයෙන් පුරවැසියන් සබල ගැන්වීම සහ ඔවුන්ගේ  බුද්ධිමය සංවර්ධනය ඇති කිරීමයි.

කවුෆ්මාන්ට අනුව ප්‍රමුඛතා සම්බන්ධයෙන් එකඟ වීම සඳහා පවත්වන මූලික සාකච්ඡාවලට පුරවැසියන්  සහභාගි වීම මෙන් ම  විධිමත් තීරණ ගැණීමේ දී සහ තීරණ ක්‍රියාත්මක කිරීමේ දී සමානයන් ලෙස පුරවැසි දායකත්වය ලබා දීම යන කරුණු දෙක ම සහභාගිත්වය යන්නට අයත් ය. කෙනෙකුගේ කාර්ය සාධනීය හා නිර්මාණාත්මක හැකියා වර්ධනය කර ගැනීම සහ සන්තුෂ්ටිය සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය විසින් ඉටු කරනු ඇතැ’යි යන්න ප්‍රතික්ෂේප කළ හැකි ආනුභාවික හෝ දාර්ශනික හෝ සාක්ෂි මෙතෙක් ඉදිරිපත් ව නැති බව ද කවුෆ්මාන් පෙන්වා දුන්නේ ය.

නිකම් ම නිකම් ස්වාර්ථකාමී පුද්ගලික මිනිසෙකු වනවාට වඩා පුද්ගලයෙකු  කල්පනාකාරී පොදු පුරවැසියෙකු බවට පත් කිරීමට නම් සහභාගිත්ව සමාජයක් අවශ්‍ය ය. ඒ නිසා ප්‍රජා මූල සහභාගිත්වයකින් තොර ව පොදු යහපත  මුඛ්‍ය කරගත් සමාජයක් ගොඩ නැගිය නො හැකි බව සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය  කළ අයගේ අදහස විය. මෙම අදහස තවදුරටත් පුළුල් කරමින් ස්වයං පාලිත ප්‍රජාවකට පදනම විය යුත්තේ එම ප්‍රජාවේ සමජාතීය (homogeneous) ස්වභාවයට වඩා ඔවුන්ට ලැබෙන ප්‍රජා අධ්‍යාපනය, සහභාගිත්ව ආයතන ක්‍රමය සහ ප්‍රජා මූල ආකල්ප තුළින් ගොනු වෙන ඔවුන්ගේ පොදු අරමුණු බව සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් පෙනී සිටින විචාරකයෝ ප්‍රකාශ කළහ.[20] ඒ නිසා දේශපාලන  න්‍යාය පත්‍රයේ මහජන පාලනය, දේශපාලන තීරණ ගැනීම සහ ක්‍රියාත්මක කිරීම ද පුරවැසි සහභාගිත්වය ප්‍රමුඛ කොට සිදු විය යුතු බව ද ඔවුහු පළ කළෝ ය.

1960 ගණන්වල මුලදී සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතිකාව නැවත ඉස්මතු වන විට ප්‍රජාතන්ත්‍රවාදය ගැන විවාදයේ ආධිපත්‍යය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කළ අනුභූතික(empirical) න්‍යායිකයින්ට හිමි වී තිබුණි. දේශපාලනයට සහභාගි වීමට සාමාන්‍ය පුරවැසියන්ට අභිමතයක් මෙන් ම නිපුණත්වයක් ද නොමැති බැවින් වඩා සුදුසු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වන්නේ දැනුවත් අය මඟින් පුරවැසි නියෝජනයට ඉඩ සැලසීම බව මේ අනුභූතික න්‍යායිකයින්ගේ පොදු මතය විය.  පුරවැසියන්ට තම දේශපාලන මනාපකම්වල ඵල විපාක සෘජු ලෙස නො දැනේ යැ’යි ද ඒ නිසා දේශපාලනය පිළිබඳ  අවසාන නිගමනවලට එළඹීමට සාමාන්‍ය පුරවැසියන් මැලි වනු ඇතැ’යි ද ඔවුහු තර්ක කළහ.

මේ විවේචනවලට පිළිතුරු වසයෙන් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදීන් කියා සිටියේ සහභාගිත්වය සඳහා පුරවැසියන්ට  අවශ්‍ය යැ’යි සලකන  එකී ගුණාංග වර්ධනය වන්නේ සහභාගිත්වය තුළින් ම බවත් සහභාගිත්වය සඳහා ලැබෙන ඉඩප්‍රස්ථා වැඩි වන පමණට වඩ වඩා ඥානෝද්දීපිත (enlightened) සහ පොදු යහපත පිළිබඳ වඩා සවිඥානික පුරවැසියන් බිහිවීම වැඩි වන බවත් ය.[21] එනිසා උචිත තත්ව යටතේ පුරවැසියන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට සෘජු ව මැදහත් විය යුතු බවට ඔවුහු තර්ක කළහ.

මේ විවාදවල දී සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය සාධාරණීකරණය කිරීමේ ලා මූලික කරුණු තුනක් ඉදිරිපත් විය. පළමු කොට ම සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය  ලිබරල් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන්  නිර්ව්‍යාජ සහ ප්‍රාමාණික වසයෙන් දියුණු අර්ථ දැක්වීමක් ඉදිරිපත් කරයි. ඒ අනුව දේශපාලනික, සමාජීය සහ ආර්ථික යන කිනම් ක්ෂේත්‍රයක වුව ද  තමන්ට බලපාන කරුණු සම්බන්ධයෙන් පුරවැසියන්ගේ සහභාගිත්වයෙන් සාමූහික තීරණ ගන්නේ නම් පුරවැසියන් අතර දේශපාලන සමානාත්මතාව සහ පුරවැසියන්ගේ පුද්ගල ස්වීයත්වය වැඩි දියුණු වේ. එමඟින් ප්‍රජාතන්ත්‍රවාදයේ නියම තේරුම වන ‘ජනතාව විසින් පාලනය කරනු ලැබේ’ යන්න තහවුරු වේ. දෙවැනි ව  තීන්දු තීරණ ගැනීමේ දී පුරවැසියන්ගේ සහභාගිත්වය ඉහළ යෑම නිසා දේශපාලන ආයතන පිළිබඳ විශ්වාසය මෙන් ම ඒවාට ලැබෙන මහජන සහයෝගය වැඩි වේ. තෙවැනි ව, ඒ හා සමඟ ප්‍රජාතන්ත්‍රවාදය ද  වඩා විශ්වාස දායක හා විචක්ෂණ පාලන ක්‍රමයක් ලෙස තහවුරු වේ. 

සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදීන් තර්ක කළ අන්දමට ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්වය වැඩි වීමට අනුගාමී ව සමාජ අසමානතාව ද අඩු විය හැකි ය. එමඟින් දේශපාලනික සමානාත්මතාව වැඩි වීම මෙන් ම හරයාත්මක වසයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති වැදගත්කම ගැන පෘථුල අවබෝධයක් ද ඇති වෙයි. ඇතැම් සමාජ-ආර්ථික කණ්ඩායම්වල දේශපාලන සහභාගිත්වය අඩු වීම ඔවුන්ගේ ඕනෑ එපාකම් පිළිබඳ අවධානය අඩු වීමට හේතු වනවා පමණක් නො ව එවැනි පිටමංවීම් නිසා දේශපාලන තීන්දු ගැනීම වරප්‍රසාද ලත් කොටස්වල ඒකාධිකාරයක් බවට පත්වීමට ද හේතු විය හැකි ය. එවැනි තත්වයක දී දේශපාලන සහභාගිත්වයක් නොමැති කොටස්වල ඕනෑ එපාකම් ගැන කරදර වීමට වරප්‍රසාද ලත් කොටස් තැත් නො කරනවා පමණක් නො ව අවවරප්‍රසාදිතයන් ගේ දේශපාලන සහභාගිත්වය හැකි තරම් අවහිර කිරීමට ද ඔවුන් පෙලඹෙනු ඇත. මේ නිසා දේශපාලනයේ දී බහුජන නියෝජනයට වඩා ඇත්ත වසයෙන් ම වැදගත් වන්නේ බහුජන සහභාගිත්වයයි.

මේ අනුව දේශපාලන ක්‍රියාවලිය තුළ පොදු ජනතාවගේ භූමිකාව ඡන්දය දීමට පමණක් සීමා නො කොට ඔවුන් පරිපූර්ණ ලෙස දේශපාලන ක්‍රියාවලියට සහභාගි කර ගැනීම ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීමට යුරෝපයේ ඇතැම් පළාත් පාලන ආයතන උත්සාහ කළහ. ඉතාලියේ ටස්කනි ප්‍රාන්තයේ ප්‍රාදේශීය කවුන්සලය 2007 දී  සම්මත කර ගත් අංක 69 දරණ ප්‍රාන්තීය හා ප්‍රාදේශීය ප්‍රතිපත්ති සැකසීමේ දී මහජන සහභාගිත්වය ප්‍රවර්ධනය කරන නීතියේ සඳහන් පහත දැක්වෙන ඡේද දෙක ඒ සඳහා උදාහරණයකට ගත හැකි ය.

  • ප්‍රාන්තීය සහ ප්‍රාදේශීය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රජා සහභාගිත්වය අයිතියක් වසයෙන් සලකනු ලැබේ. මෙම නීතිය මඟින් ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්වය සඳහා වන ආකෘති සහ විධිවිධාන ප්‍රගාමී ලෙස ප්‍රවර්ධනය කරන අතර එම අයිතිය කාර්යසාධක ලෙස සාක්ෂාත් කර ගැනීම පිණිස අවශ්‍ය මූල්‍ය හා ක්‍රමවේදීය සම්පත් සැපයිය යුතු බව ද දැනුම් දෙයි.
  • පුරවැසි සහභාගිත්වය ශක්තිමත් කරන ස්වාධීන ව්‍යාපෘති යෝජනා කරන ලෙස මෙම නීතියෙන් ප්‍රාදේශීය පොදු අධිකාර, පාඨශාලා සහ සමිති සමාගම් වැනි සංවිධානාත්මක සමාජ සංවිධාන දිරි ගන්වයි.

ස්ටැන්ෆර්ඩ් සරසවියේ ආචාරිනී ස්ටෙෆානි මැක්නල්ටි රටවල් 17ක මධ්‍යම ආණ්ඩු විසින් ප්‍රාදේශීය මට්ටමේ ආණ්ඩුකරණය සඳහා  පුරවැසි සහභාගිත්වය  හඳුන්වා දීමට ගන්නා ලද ප්‍රයත්න පිළිබඳ  අධ්‍යනයක් කළා ය.  ඇය සිය  Democracy From Above? නම් කෘතියේ  පෙන්වා දෙන අන්දමට සහභාගිත්වය මුල්කරගත් ප්‍රතිසංස්කරණ වර්ග දෙකක් තිබේ. ඉන් පළමු වර්ගය ජාතික මට්ටමින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දුවකට අනුව හෙවත් ඉහළ සිට පහළට කෙරෙන විධාන අනුව හඳුන්වා දෙන සහභාගිත්ව වර්ගයයි. පාර්ලිමේන්තුව හෝ විධායකය විසින් දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා ජාතික මට්ටමින් ගනු ලබන තීරණයකට අනුව පළාත් සහ ප්‍රාදේශීය ආණ්ඩුකරණය සඳහා සහභාගිත්ව ආයතන ක්‍රමයක් සැලසුම් කිරීම මේ පළමුවැනි වර්ගයට දිය හැකි උදාහරණයකි.

දෙවැනි වර්ගය වසයෙන් සැලකෙන්නේ මූලික වසයෙන් ම බිම් මට්ටමේ මහජන ක්‍රියාකාරකම්වල දී සහභාගිත්වය මත තීරණ ගැනීම සහ ක්‍රියාත්මක කිරීම මුල් කර ගෙන දියත් කරන හුදකලා ව්‍යාපෘතිය. බොහෝ විට රාජ්‍ය නො වන සංවිධාන විසින් අදාළ ක්ෂේත්‍ර නිලධාරීන් සමඟ එක් ව මහජන සහභාගිත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරන මෙවැනි ව්‍යාපෘතිවලින් දේශපාලනය ප්‍රතිසංස්කරණය කිරීමට විශාල බලපෑමක් ඇති නො වේ. බොහෝ විට ව්‍යාපෘති කාලයෙන් පසුව ඒවායේ ප්‍රජා සහභාගිත්වය අකර්මණ්‍ය වෙයි.

මැක්නල්ටි ඇගේ කෘතියෙන් වැඩියෙන් අවධානය යොමු කරන්නේ පළමුවැනි වර්ගයට අයත් ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්වය පුළුල් කිරීම පිණිස කෙරෙන දේශපාලන ප්‍රතිසංස්කරණ ලෙස  හඳුන්වා දෙමින් මධ්‍යම ආණ්ඩු විසින් දියත් කරන ලද වැඩ පිළිවෙළවල් ය. ඒවායින් බොහොමයක් ම මධ්‍යම ආණ්ඩුවල ප්‍රතිපත්ති තීරණ අනුව ප්‍රාදේශීය දේශපාලනයේ පුරවැසි සහභාගිත්වය වැඩි කිරීමට සැලසුම් කළ ඒවායි. 

ජාතික මට්ටමේ මැතිවරණවලින් තෝරා පත් වූ ඇතැම් දේශපාලනඥයන් මේ අන්දමින් ප්‍රාන්ත හා පළාත් පාලන මට්ටමේ ආණ්ඩුකරණයට පුරවැසියන් සහභාගී කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශ්වාසය යළි ගොඩ දමා ගැනීමට ප්‍රයත්න දැරීමක් ලෙස සැලකිය හැකි ය. ටික කලක සිට ලොව පුරා හැම රටක ම පාහේ මිනිස්සු ඔවුන්ගේ පාර්ලිමේන්තු  සභා සහ දේශපාලන පක්ෂ පිළිබඳ ව කලකිරී  දේශපාලන ක්‍රියාවලියෙන් ඉවත් වෙමින් සිටියහ.[22] ප්‍රජාතන්ත්‍රවාදයේ මේ ගරා වැටීම නිසා බොහෝ ආණ්ඩුවලට එම රටවල ජනතාව අතර තම සුජාතභාවය තහවුරු කර ගැනීම අසීරු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ‘පාලන ක්‍රමය උඩු යටිකුරු කොට හදන්නෙමි’ යනුවෙන් වහසි බස් දොඩවමින් පැමිණෙන දේශපාලනික පිටස්තරයන්ට අනුග්‍රහය දැක්වීමට බොහෝ රටවැසියෝ පෙලඹුනහ. මේ ප්‍රවණතාව කිසිදු දේශපාලන අත්දැකීමක් නැති විකට නළුවෙක් 2015 දී රටේ නායකත්වයට පත්කර ගත් ගෝතමාලාවේ සිට කිසි දිනක දේශපාලන තනතුරක් දරා නැති රියලිටි ටීවී සංදර්ශනකාරයෙකු හා ව්‍යාපාරිකයෙකු වූ ඩොනල්ඩ් ට්‍රම්ප් 2017 දී ඇමෙරිකානු එක්සත් ජනපදයේ ජනාධිපති කර ගැනීම දක්වා විවිධාකාරයෙන් දක්නට ලැබුණි.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශ්වාසය කඩවීම නිසා කලබල වූ ඇතැම් දේශපාලනඥයෝ එක්තරා ප්‍රමාණයකට සහභාගිත්ව ආණ්ඩුකරණය හඳුන්වා දී ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ දමා ගැනීමේ අටියෙන් ප්‍රාදේශීය මට්ටමේ ආණ්ඩුකරණය සඳහා පුරවැසි සහභාගිත්වය ප්‍රවර්ධනය කරන ආයතන ක්‍රමයක් පිහිටුවීමට හැකි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්හ. ඉන්දියාව, චිලිය, පිලිපීනය, උගන්ඩාව සහ වෙනිසියුලාව වැනි රටවල් ගණනාවක ජාතික මට්ටමේ දේශපාලනඥයන් විසින් ප්‍රාදේශීය අයවැය, පළාත් පාලන ආයතන මට්ටමේ ආණ්ඩුකරණය සහ ඒවාට ඡන්දයෙන් පත් වූ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ කටයුතු සන්නිරීක්ෂණය සඳහා පුරවැසියන් සහභාගි කර ගත හැකි විධිවිධාන හඳුන්වා දෙන ලදී. මෙයින් තහවුරු කිරීමට උත්සාහ කළේ සිය පොදු යහපත තකා ආණ්ඩු කිරීමෙහි සහ පාලනය සන්නිරීක්ෂණය කිරීමේ ලා පුරවැසියන්ට ද කොටස්කරුවන් විය හැකි බවයි. මේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටි අය බොහෝ විට කියා සිටියේ එමඟින් මේ අතෘප්තිමත් යුගයේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ඵලදායක ලෙස ප්‍රතිෂ්ඨාපනය කළ හැකි බවයි. [23].

2002 දී ගෝතමාලාවේ ජාතික කොන්ග්‍රස් සභාව ප්‍රාදේශීය මට්ටමේ ප්‍රජා සංවර්ධන සභාවලට සිය සංවර්ධන ප්‍රතිපත්ති සකස් කිරීමේ දී පුරවැසි සහභාගිත්වය සහිතව තීරණ ගැනීමට බලය පවරන නීතියක් සම්මත කිරීම ඒ සඳහා එක් උදාහරණයක් ලෙස සැලකිය හැකි ය. මැක්නල්ටි සිය කෘතියේ ගෝතමාලා නීතිය ප්‍රායෝගික ව ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ විශ්ලේෂණාත්මක  විස්තරයක් ගෙන එයි.[24] ඒ ප්‍රජා සහභාගිත්වය පිළිබඳ නව නීතිය අනුව සැන් මිගෙල් ඩි එස්කොබාර් දිස්ත්‍රික්කයේ සුළු නගර සභා කොට්ඨාස අටක පිහිටුවන ලද ප්‍රජා සංවර්ධන සභා මඟින් තමන්ට අවශ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවක් දියත් කළේ ය. එහෙත් 2010 ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පසු ඔවුන්ගේ ප්‍රමුඛතා වෙනස් විය. ඒ අනුව  වඩා යහපත් ජලාපවහන ක්‍රමයක් සහ සෞඛ්‍ය සායන ක්‍රමයක අවශ්‍යතාව ප්‍රමුඛත්ව ලැයිස්තුවේ ඉදිරියට පැමිණ තිබුණි. ඒ පිළිබඳ ජන මතය අවදි කොට ඒකරාශි කිරීමේ වැඩසටහනක්  සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් ආරම්භ කර තිබුණි. එකී නව ප්‍රමුඛතා අනුව යාවත්කාලීන කළ ව්‍යාපෘති ලැයිස්තුවක් සමඟ ඔවුන් කිහිප වරක් ම නගරාධිපතිවරයා හමු වී ඒ සඳහා මුදල් වෙන් කිරීමේ සාකච්ඡාවක් දියත් කරන ලෙස  ඉල්ලා සිටියේ ය. එහෙත් සමාජ ක්‍රියාකාරීන් බොහෝමයක් නගරාධිපතිවරයාගේ දේශපාලන පක්ෂයේ අය නො වීම නිසා එම ඉල්ලීම් නො සලකා හැරිණි. එනිසා අධෛර්යමත් නො වූ සමාජ ක්‍රියාකාරීහු නගරසභා මැතිවරණය පැමිණි විට තම යෝජනාවලට සහාය දක්වන ලෙස අපේක්ෂකයන්ගෙන් ඉල්ලමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන ගියහ. 

මැක්නල්ටිගේ මතය අනුව ඒ නිසා මෙවැනි ප්‍රතිසංස්කරණ නීතිවල කිසියම් වැදගත්කමක් තිබේ. ගෝතමාලාවේ ජාතික මට්ටමේ දේශපාලනයේ නිරත වන ප්‍රභූන් මෙවැනි ප්‍රතිසංස්කරණ වැළඳ ගන්නේ එමඟින් හෝ ගරා වැටෙන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගත හැකි වෙතැ’ යි යන අදහසිනි. Democracy from Above නමැති කෘතියෙන් මැක්නල්ටි සාකච්ඡාවට ලක් කරන්නේ සංවර්ධනය වන රටවල ජාතික රාජ්‍ය මට්ටමේ විධාන මඟින් ප්‍රාදේශීය දේශපාලනයට සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දීම සාර්ථකව කළ හැක්කක්ද යන්නයි. ඇය පෙන්වා දෙන පරිදි ගෝතමාලාවේ ප්‍රාදේශීය පාලන ආයතන සම්බන්ධයෙන් පුරවැසි දේශපාලන සහභාගිත්වයක් ඇති කිරීම සඳහා කටයුතු කිරීම තරමක් දුරට හොඳ දෙයකි. මන්ද එමඟින් ඡන්දයෙන් පත් වන ප්‍රාදේශීය මට්ටමේ මහජන නියෝජිතයන්ට පුරවැසියන් සම්බන්ධ ව ඇති වග වීම ශක්තිමත් කොට පාලන තන්ත්‍රය වඩා කාර්යක්ෂම කළ හැකි බැවිනි. එහෙත් උගන්ඩාවේ සහ රුවන්ඩාවේ ආණ්ඩු ප්‍රතිසංස්කරණවල දී සහභාගීත්වය ගැන කථා කළ අය ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්වයට වඩා සැලකිලිමත් වූයේ ආණ්ඩුවේ කාර්යක්ෂමතාව සහ ඵලදායකත්වය වැඩි දියුණු කිරීම පිණිස ආණ්ඩුවේ තීරණ ක්‍රියාත්මක කිරීමේ ලා ප්‍රාදේශීය මට්ටමෙන් රටවැසියන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව බව මැක්නල්ටි පෙන්වා දෙයි.

එක් අතකින් බැලූ විට ජාතික මට්ටමේ එදිනෙදා දේශපාලනයට වඩා ප්‍රාදේශීය බිම් මට්ටමේ දේශපාලන ඒකක පාදක කර ගෙන මෙසේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දීමට තැත් කිරීම තාර්කිකය. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ දී එක කොන්දේසියක් වන්නේ සහභාගි වන කණ්ඩායමේ ප්‍රමාණය සියලු සාමාජිකයන්ට ක්‍රියාකාරී ව සහභාගිවීමට හෙවත් සහභාගිත්ව ක්‍රියාවලියේ කාරකත්වය (agency) පවත්වා ගෙන යෑමට අපහසු වන තරම් විශාල නො විය යුතු බව යි. ඒ අනුව සහභාගිත්ව ක්‍රියාවලියට සහභාගි වන සංඛ්‍යාව පමණට වඩා කුඩා හෝ විශාල වීම එම කොන්දේසිය උල්ලංඝණය කිරීමකි. එනිසා ජනගහනය මිලියන ගණන් වන රටවල් සහ මහා මෙගා නගර පාලන ඒකක වසයෙන් සලකා සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දීම අසීරු ය. එවැනි සුවිශාල ජන රාශිවලට එකිනෙකා සහ සුහද ව සාකච්ඡා කොට කරුණු නිරාකරණය කර ගැනීමට තරම් සමීප දැන හැඳින ගැනීමක් ඇති කර ගැනීම ද අපහසු ය.

මෙවැනි ඉහළ සිට මධ්‍යම රජයෙන් පනවනු ලබන ප්‍රතිසංවිධාන මඟින් ප්‍රාදේශීය හා බිම් මට්ටමේ මහජන සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීමට ගන්නා ප්‍රයත්නවලින් ඇතිවෙන සත්‍ය බලපෑම ගැන ප්‍රමාණවත් අධ්‍යන මෙතෙක් කර නොමැති බව මැක්නල්ටි පවසයි. එහෙත් ජාතික මට්ටමින් ගන්නා තීරණවලට අනුව පළාත් පාලන ආයතනවලින් ක්‍රියාත්මක වන කටයුතුවල ප්‍රමුඛත්වය තීරණය කිරීමට සාමාන්‍ය පුරවැසියන්ට සහ සිවිල් සමාජ සංවිධානවලට අවස්ථාව සැලසීම මඟින් කිසියම් ප්‍රජාතන්ත්‍රවාදී බලපෑමක් ඇතිවෙන බව ඇගේ මතයයි.

එහෙත් එම බලපෑම කරුණු කිහිපයක් මත රඳා පවතී. ඉන් ප්‍රධාන කරුණ වන්නේ ප්‍රජා සංවර්ධන සභා රැස්වීම්වලට මැදිහත් වන සිවිල් සමාජ සංවිධානවල ශක්තියයි. බොහෝ අවස්ථාවල දී නගරාධිපතිවරුන් තමන්ගේ ‘හෙංචයියන්’ වැඩි ප්‍රමාණයක් මෙවැනි නාගරික සංවර්ධන සභා රැස්වීම්වලට කැඳවා තම අභිමතය ජයග්‍රහණය කරවා ගැනීමට තැත් කර තිබුණි. සිවිල් සමාජ සංවිධානවල සහභාගිත්වය දුර්වල වී තිබූ ප්‍රජා සංවර්ධන සභාවල ඔවුන්ගේ උත්සාහය හැම විට ම පාහේ සාර්ථක විය. සහභාගිත්වය යනු බල ගැන්වීමේ (empowering) ක්‍රියාවලියක් බැවින් කලින් බලයක් නොමැති ව සිටි කොටසක් බල ගැන්වීම සිදු කළ හැක්කේ තවත් තැනක බලය අඩු කොට එම බලය අලුතින් බල ගැන්විය යුතු අය වෙත බෙදා දීම මගිනි. එවිට බලය අඩු වන ආයතන හා පුද්ගලයන් එම බලය වෙනත් ආකාරයකට හෝ නැවත ලබා ගැනීමට තැත් කිරීම ස්වභාවයයි.  ගෝතමාලාවේ බොහෝ නගරාධිපතිවරුන් ප්‍රජා සංවර්ධන සභා තම සහචරයන්ගෙන් පුරවා ගැනීමට තැත් කළේ තමන් ළඟ තිබී බෙදා දීමට සිදු වූ ඒ බලය එසේ වෙනත් අන්දමකින් යළි අත්පත් කර ගැනීමට අදහස් කළ නිසා යි.

ගෝතමාලා ප්‍රජා සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීමේ නීතිය සම්බන්ධයෙන් ඇතිවුණු තවත් විවේචනයක් වූයේ කලක් තිස්සේ පැවති ස්වදේශිකයන් (indigenous) ගේ පාරම්පරික  ප්‍රජා සංවිධානවල කටයුතුවලට නව නීතිය නිසා අවහිර සිදු වූ බවයි. ගෝතමාලාවේ වැඩි ජනගහනයක් එහි මුල් පදිංචිකාරයන් ලෙස සැලකෙන මපුචෙ, අයිමාරා, කිචුවා, මිස්කිටෝ, කිචෙ, ඛක්චිකිල්, සුටුජිල්, මාම් සහ සපොටෙක් (Mapuche, Aymara, Quichua, Miskito, K’iché, Kaqchikel, Tzútujil, Mam and Zapotec) වැනි ස්වදේශික  ජන වර්ගවලට අයත් වූහ. ඔවුන්ට ආවේණික වු පාරම්පරික ප්‍රජා සංවිධාන ව්‍යුහ තිබුණි. නව සහභාගිත්ව නීතිය යටතේ සමාන්තර ප්‍රජා සංවර්ධන සභා හඳුන්වා දීම ඒවාට අභියෝගයක් විය. ඒ අතර ස්පාඤ්ඤ සම්භවයක් ඇති සුළුතර ප්‍රභූ පෙළැන්තිය ආර්ථික හා දේශපාලන බලය අතින් ප්‍රබල විය. බොහෝ නගරාධිපතිවරු මේ ප්‍රභූ පෙළැන්තියට අයත් වූහ.

මැක්නල්ටිගේ විග්‍රහය තුළ සඳහන් නො වූවත් බිම් මට්ටමින් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දීමට මධ්‍යම රජය ගත් මේ ප්‍රයත්නය ඇතැම් විට ස්වාධීන ප්‍රජා ගුවන් විදුලි සේවා තිබුණේ නම් මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි. ලතින් ඇමෙරිකානු රටවල් අතරින් ගෝතමාලාව කලක් තිස්සේ බිම් මට්ටමේ (grassroots level) ප්‍රජා ගුවන් විදුලි සේවා මධ්‍යස්ථාන රැසක් පවත්වා ගෙන ගිය රටකි. සාමාන්‍යයෙන් සහභාගිත්ව සංනිවේදන වැඩසටහන් නිෂ්පාදනය හා ප්‍රචාරණය පාදක කරගත් මේ ප්‍රජා ගුවන් විදුලි සේවා මඟින් බොහෝ ස්වදේශික ජන කණ්ඩායම්වල සමාජ කතිකාවට, භාෂා හා සංස්කෘතික ප්‍රවර්ධනයට මෙන් ම අධ්‍යාපනයටත් සැලකිය යුතු දායකත්වයක් ලැබී තිබුණි. ඒවායින් බොහෝමයක් අදාළ වසමේ පිහිටි පල්ලියේ අනුග්‍රහය ඇති ව පවත්වා ගෙන ගිය ඒවා විය.

එහෙත් 1960 සිට 1996 දක්වා ආණ්ඩුවේ හමුදා සහ විවිධ වාමවාදී සන්නද්ධ කණ්ඩායම් අතර සිවිල් යුද්ධය පැවති සමයේ මේ ප්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථාන මිලිටරිය විසින් ද්රුඩතර පාලනයකට ලක් කරන ලදි. හමුදා මර්දනය විවේචනය කළ ඇතැම්  ප්‍රජා ගුවන් විදුලිවල ජනමාධ්‍යකරුවන් සාහසික ලෙස ඝාතනය කර තිබුණි. ඒ අතර 1980 දී නවලිබරල්වාදී ප්‍රතිපත්ති අනුව ගෝතමාලා රජය ගුවන් විදුලි සංඛ්‍යාත වෙන්දේසියේ විකුණන ලද බැවින් මිල අධික ලංසු ඉදිරිපත් කිරීමට නො හැකි ව බොහෝ ප්‍රජා ගුවන් විදුලි සේවා අකර්මණ්‍ය වී ගියේ ය. ඒ අනුව වැඩි ගුවන් විදුලි සංඛ්‍යාත ප්‍රමාණයක් වාණිජ ගුවන් විදුලි සේවාවල ග්‍රහණයට නතු විය. තරඟකාරී මිලට වෙන්දේසියෙන් බලපත්‍ර ලබා ගත නො හැකි වූ ප්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථාන පොලිසිය විසින් වසා දමන ලදි.[25]  සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය බිම් මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමට ඇත්ත අවශ්‍යතාවක් තිබුණේ නම් ප්‍රදේශීය දේශපාලනයේ පුරවැසි සහභාගිත්වය ශක්තිමත් කිරීමේ අත්‍යවශ්‍ය මෙවලමක් බවට  ප්‍රජා ගුවන් විදුලි සේවා පත් කළ යුතු ව තිබුණි. එහෙත් මධ්‍යම රජය විසින් ප්‍රාදේශීය දේශපාලනය සඳහා සහභාගි ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දීමේ ක්‍රමෝපායට එය අඩංගු නොවීය. සංනිවේදන විෂමතා ආමන්ත්‍රණය නො කොට සහභාගිත්වය සඳහා අවශ්‍ය දේශපාලන සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම අසීරු ය. 

ඒ හැර ඉහළ සිට පහළට සහභාගිත්ව දේශපාලනය තල්ලු කිරීමට තැත් කරන මෙවැනි ප්‍රයත්නවල තවත් බොහෝ දුර්වලකම් දැක ගත හැකි ය. ස්වදේශික ප්‍රජා කණ්ඩායමක් විසූ සාන්ත මාරියා විසිටාසියොන්හි කරන ලද සමීක්ෂණයකට අනුව රාජ්‍ය නූතනීකරණය කිරීම සහ විමධ්‍යගතකරණය සඳහා බිහි කළ ප්‍රජා සංවර්ධන සභා වැනි නව ආයතන නිසා පවතින පාරම්පරික ස්වදේශික සමාජ ආයතනවල බල පෑම අඩු වීම ගැන ස්වදේශික ජනයා නො සතුටට පත් ව සිටියහ. නව ප්‍රජා සංවර්ධන සභා හරහා සංවර්ධන වැය විමධ්‍යගත කිරීම ඒ වන විටත් සැලකිය යුතු ප්‍රශ්නයක් ව තිබූ දූෂණය තවත් වැඩි කිරීමට හේතු වූ බව ඇතැම් නිරීක්ෂකයෝ වාර්තා කළහ.[26]

සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මේ අත්හදා බැලීම්වලින් තහවුරු වන එක් කාරණයක් වන්නේ සහභාගිවීම අපේක්ෂා කරන ප්‍රජාවගේ දේශපාලනික, ආර්ථික, සාමාජික පමණක් නො ව සංනිවේදන සමානාත්මතාව ද ඒ සඳහා ඉතා වැදගත් වන බවයි.

ආචාර්ය මයිකල් මෙන්සර්ට අනුව ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්වය පුළුල් කිරීම අභිප්‍රාය ලෙස ප්‍රකාශ කරමින් දියත් කළ බොහෝ ප්‍රතිසංස්කරණ  ව්‍යාපෘති, වර්ග තුනකට බෙදිය හැකි ය.[27] පළමු වර්ගය මහජනතාව රවටන සහ බොරු සහභාගිත්වය සලසන වර්ගයයි. දෙවැන්න සංකේතාත්මක ව පමණක් සහභාගිත්වය ඉවසන වර්ගයයි. තෙවැන්න සහභාගිත්ව ක්‍රියාවලිය සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑමක් ඇති කළ හැකි වර්ගයයි. එම තුන් ආකාරයට අයත් ක්‍රියාන්විත  පහත සඳහන් ලෙස අනුක්‍රමණිකව නැවත වර්ගීකරණය කළ හැකි ය.

  1. රැවටීම/නිහඬ කිරීම: මෙවැනි සහභාගිත්ව වැඩසටහන්වල දී මහජනතාව සම්බන්ධ කර ගන්නා නමුත් මහජනතාවට නො මග යවන තොරතුරු ලබා දේ. තීරණ ගැනීම පිළිබඳ ව ඵලදායක හඬක් හෝ බලයක් මහජනතාවට නො ලැබෙයි – මේ සම්බන්ධයෙන් දී ඇති එක් උදාහරණයක් වන්නේ සංස්ථා මණ්ඩලවලට සේවක නියෝජිතයෙකු පත් කර සේවක සහභාගිත්වය ඇති බව ව්‍යාජ ලෙස නිරූපණය කිරීමයි. බොහෝ විට එහි දී සිදු වන්නේ සේවක නියෝජිතයාගේ මතය අවශේෂ බහුතරය විසින් උපක්‍රමශීලී ව නො සලකා හැරීමයි.
  2. දැනුම් දීම: පාලන තන්ත්‍රය සිය ප්‍රතිපත්තියක් හෝ සැලැස්මක් ගැන මහජනතාවට දැනුම් දෙයි. මේ වර්ගයට අයත් වන කටයුතු සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීමක් ලෙස නො සැලකේ. හදිසි අවස්ථාවක දී නගර වැසියන් ආරක්ෂිත ස්ථානයක් කරා ගෙන යෑමට නගර සභාව විසින් සැලසුම් කරන ලද  වැඩපිළිවෙළක් පිළිබඳව දැනුවත් කිරීම වැනි කටයුත්තක් මේ සඳහා උදාහරණයකට ගත හැකි ය. ඒ පිළිබඳ ව නගරවැසියන්ට ප්‍රශ්න ඇසිය හැකි නමුත් විශේෂඥයන් විසින් සකසන ලද සැලැස්ම වෙනස් කිරීමට යෝජනා ඉදිරිපත් කිරීමක් පුරවැසියන්ගෙන් අපේක්ෂා නො කෙරේ. පුරවැසියන් විසින් කළ යුත්තේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ විට සැලැස්මට අනුව කටයුතු කිරීමයි.
  1. උපදේශනය: ආණ්ඩුවේ ප්‍රතිපත්ති/තීරණ ගැන තම අදහස් පළ කරන ලෙස ආණ්ඩුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. මෙහි දී සිදු වන්නේ පාලන තන්ත්‍රය විසින් මහජනයාට තොරතුරු දැනුම් දීම වෙනුවට මහජනයා සිය අදහස් උදහස් පාලන තන්ත්‍රයට දැනුම් දීමයි. මෙය බොහෝ විට ක්‍රියාත්මක වන්නේ ප්‍රශ්නාවලියක් සහිත සමීක්ෂණ, ඉලක්ක ගත කණ්ඩායම් සාකච්ඡා (focus group discussions) වැනි තොරතුරු රැස් කිරීමේ මෙවලම් යොදා ගැනීමෙනි.
  1. සාකච්ඡාව: ආණ්ඩුව සහ මහජනතාව ඇතැම් කරුණු හා ප්‍රතිපත්ති පිළිබඳව සංවිචාරණීය (deliberative) කතිකාවක් පවත්වයි. දෙවැනි සහ තෙවැනි වර්ග මත ගොඩනගන මේ වර්ගයට අයත් ව්‍යාපෘතිවලින් කෙරෙන්නේ දෙපැත්ත ම සහභාගි වන එක ම රැස්වීමක දී  ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රශ්න හා පිළිතුරු සාකච්ඡාවට ලක් කිරීමයි. සාර්ථකව සිදු කෙරෙන විට ප්‍රශ්න දෙපැත්තට ම යොමු විය හැකි නමුත් මහජනතාවගෙන් නැගෙන ප්‍රශ්නවලට ආණ්ඩුවේ නියෝජිතයන්ගෙන් දුර්වල හෝ වංක පිළිතුරු ලැබීමෙන් ප්‍රයත්නයේ අසාර්ථකත්වය පිළිබිඹු වේ.
  • එක් ව තීරණය කිරීම: ආණ්ඩුව සහ මහජනතාව යන කණ්ඩායම් දෙක අතර බලය සමාන ව බෙදා ගෙන එක් ව තීරණය කරති. උදාහරණයක් ලෙස කිසියම් ප්‍රතිපත්තියක් තීරණය කිරීම හෝ ක්‍රියාවක් තීන්දු කිරීමේ දී දෙපැත්තේ ම සමාන නියෝජනයක් ඇති තාවකාලික කමිටුවක් පිහිටුවා ඡන්ද බලය මහජනයා නියෝජනය කිරීමට තෝරා ගත් කමිටු සාමාජිකයන් අතර එක සමාන ව බෙදා ගනිති. එහෙත් ඒ අතර තීරණ ගැනීම හැකි තරම් දුරට එකඟත්වය මත පදනම් කර ගැනීමට උත්සාහ කරති.
  1. ස්වයං පාලනය හෝ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය: මහජනතාව තීරණය කරති. ආණ්ඩුව තීරණ ගැනීමේ ක්‍රියාවලියට ආධාර කරයි. පාලන තන්ත්‍රය මහජනයාට සිය බලතල පවරා දෙයි. මෙයට හොඳ නිදර්ශනයක් වන්නේ කිසියම් කරුණක් සම්බන්ධයෙන් තීරණය ජනමත විචාරණයක ප්‍රතිඵලවලට අනුව තීන්දු කිරීමයි. ඇතැම් පළාත් පාලන ආයතනවල වාර්ෂික අය වැය යෝජනා විවෘත පුරවැසි සහභාගිත්වය මත (participatory budgeting) පදනම් ව පිළියෙළ කිරීම ද මේ ගණයට වැටෙන ව්‍යාපෘතියක් විය හැකි ය. 

මධ්‍යම ආණ්ඩුවල මෙහෙයවීමෙන් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දීම  අධ්‍යනය කළ ආචාර්ය මැක්නල්ටි මහජන සහභාගිත්වය පුළුල් කිරීම  අභිමතාර්ථය ලෙස පළ කළ රජයේ ප්‍රයත්නවල යථාර්ථය මෙසේ පැහැදිලි කරයි:

“ඇතැම් අවස්ථාවල දී මධ්‍යම රජය විසින් හඳුන්වා දුන් නව ප්‍රතිසංස්කරණ ප්‍රාදේශීය මට්ටමේ පොදු ප්‍රතිපත්ති තීරණය කිරීමේ දී සහභාගිත්වය වැඩි කිරීමට හේතු විය. විශේෂයෙන් බොලීවියාවේ ක්‍රියාත්මක වූ ක්‍රමය මඟින් පෙන්වා දෙන ලද පරිදි සංවිධානාත්මක සිවිල් සමාජ අංශය සහ කැපවීමෙන් වැඩ කරන නායකත්වයක් සහිත පරිසරයක ක්‍රියාවට නංවන ලද සහභාගිත්වලෝලී ප්‍රතිසංස්කරණවලින් ආණ්‍ඩුකරණයේ කාර්යක්ෂමතාව සහ ප්‍රතිචාරය (responsiveness) වැඩිදියුණු කළ හැකි බව පෙනී ගියේ ය. එහෙත් අධ්‍යනයට ලක් වූ හැම රටකින් ම දක්නට ලැබුණු උදාහරණවලින් පෙන්නුම් කළේ මධ්‍යම ආණ්ඩු විසින්  දියත් කරන ලද සහභාගිත්වය පිළිබඳ මෙවැනි ප්‍රතිසංස්කරණ සැලසුම්වලට ශතවර්ෂ ගණනාවක් තිස්සේ පැවති පුරුෂෝත්තම සහ ජාතිවාදී ප්‍රතිමාන මෙන් ම දූෂණය ද පිටු දැකිය නො හැකි බවයි.” [28]

සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඇති විවේචන බොහොමයක් ම පවතින නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ විකෘති විසින් සාධාරණීකරණය කරන ඒවා ය. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධාන විවේචකයෙකු වන රොබට් මිචෙල්ස් තර්ක කරන පරිදි ආයතන සහ සංවිධානවල ඇති ශ්‍රම විභජනයේ ස්වභාවය විසින් ම ප්‍රතිපත්ති සහ වැදගත් කරුණු සම්බන්ධ තීරණ ගැනීමවල දී බහුජන සහභාගිත්වය අධෛර්යමත් කරවයි.[29] ඔහු පවසන පරිදි ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කරන බොහෝ සංවිධාන තුළ පවා එය ප්‍රායෝගික ව ක්‍රියාත්මක කළ නො හැකි ඒ නිසා ය. තවත් තර්කයක් වන්නේ දේශපාලන නායකත්වය විසින් මෙහෙයවනු ලැබීමට ඇබ්බැහි වී ඇති පුරවැසියන් ඊට වෙනස් ආකාරයක සහභාගිත්වයක් සඳහා පොලඹවා ගැනීමට අසීරු බවයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යනු ඡන්ද දායකයන් විසින් තරඟකාරී නායකයන් අතරෙන් කෙනෙකු තෝරා ගනු ලැබීම බවත් එකී නායකයන් විසින් දේශපාලන කරුණු තීන්දු කරන බව ඡන්ද දායකයන් දන්නා නිසා සහභාගිත්වය ගැන ඔවුන් තුළ උනන්දුවක් ඇති විය නො හැකි බව ඒ හා ආනුෂංගික තවත් තර්කයකි. තීරණ ගැනීමට කරදර නො වී ඒ පිළිබඳ විශේෂඥයන්ට එම කටයුත්ත ඉටු කිරීමට ඉඩ දීම, සහ බහුතරය සිය දේශපාලන නායකයින් පූජනීයත්වයෙන් සලකන බැවින් දේශපාලන නායකත්වයේ සිතැඟි අනුව තීරණ ගැනීමට ඉඩ දීම වැනි කරුණු ද සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ව යොදා ගන්නා ඇතැම් තර්ක අතර වෙති. මෙම විවේචන මුළුමනින් ම නො සලකා හැරිය හැකි ඒවා නො වන මුත් ඒ සියල්ලෙන් ම පැහැදිලි වන්නේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ අසමත්කම්වලට වඩා නියෝජන  ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යාජ ස්වරූපයයි. 

සහභාගිත්වය සඳහා අවශ්‍ය කරන කාලය සහ හැකියා බහු ජනතාව සතු ව නැතැයි යනුවෙන්  1960 ගණන්වල ඇති වූ විවේචනයට තුඩු දුන් හේතු, ගත වූ හැට වසර තුළ බෙහෙවින් වෙනස් වී ඇති බව කිව හැකි ය. අධ්‍යාපනික අවස්ථා පුළුල් වීම,  සංනිවේදන තාක්ෂණය  හා සමාජ මාධ්‍ය භාවිත කිරීමේ හැකියාව බෙහෙවින් වැඩි වීම ආදි සාධක සලකන විට විචාරාත්මක එළඹුමක් භාවිත කිරීමට බහු ජනතාවට ඇති හැකියාව 1960 ගණන්වලට වඩා කිසි සේත් ම වෙනස් වී නැතැයි කිව නො හැකි ය. සිදුවී අත්තේ එම හැකියා අන්‍යෝන්‍ය ලෙස මුවහත් කර ගැනීමට හැකි අවස්ථා සලසන විධි ක්‍රමයක් සහ මහජනයා අතර සංවිචාරණීය (deliberative) සංනිවේදනයකට දායක විය හැකි මහජන සේවා ජනමාධ්‍ය ක්‍රමයක් ඇති නො වීම යි.

සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඇති විවේචන සලකමින් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිගත හැකි ලෙස ප්‍රතිෂ්ඨාපනය කිරීමට නම් කරුණු දෙකක් ඉටු විය යුතු බව ජොඑල් ඩි වොල්ෆෙ යෝජනා කරයි. ඒ අනුව පළමුවෙන් ම කළ යුත්තේ දේශපාලන වසයෙන් හෝ සමාජීය වසයෙන් අපයෝජනය කළ නො හැකි අන්දමේ සමානාත්මතාවක් සිය සාමාජිකයන් අතර සාක්ෂාත් කර ගැනීමට කැප වන කුඩා ප්‍රජා සමූහයන් සංවිධානය කිරීමයි. එසේ බිම් මට්ටමෙන් ප්‍රජා සමූහ සංවිධානය වීමෙන් පසු නිශ්චිත කරුණු සම්බන්ධයෙන් එවැනි  ප්‍රජා සමූහ අතර සාකච්ඡා සම්මේලන පවත්වා පොදු අවශ්‍යතා හා රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කළ හැකියැ’යි වොල්ෆෙ පෙන්වා දෙයි. ඉන් පසු එම ක්‍රියාවලිය මඟින් නිර්ණය කරනු ලබන පොදු අවශ්‍යතා වෙනුවෙන් අව්‍යාජ ව පෙනී සිටින හා කටයුතු කරන දේශපාලන නායකයන්ට පමණක් සහාය ලබා දීමට ප්‍රජා සමූහ අධිෂ්ඨාන කළ යුතු යැ’යි ඔහු පවසයි.

දෙවැනි කාරණය නම් සහභාගිත්වය දිරි ගැන්විය හැකි වන්නේ සාමාජිකයන් අතර දේශපාලන සමානාත්මතාව ඇත්නම් පමණක් බැවින් ඒ සඳහා සුදුසු පියවර ගත යුතු ය යන්න යි. ආදායම් විෂමතාව උග්‍ර වන සමාජයක මෙය සැලකිය යුතු  අභියෝගාත්මක කරුණක් වන බැවින් සහභාගිත්වය සඳහා අවශ්‍ය වන දේශපාලන සමානාත්මතාව ඇති කිරීමට නම් සැමට මූලික ආදායමක් සහතික කිරීමට දායක වන සුවිශේෂ පියවර සැලසුම් කළ යුතු ය. ඒ සඳහා එක් විසඳුමක් ලෙස  මෙම කෘතියේ 26 වැනි පරිච්ඡේදයේ සවිස්තර ව සාකච්ඡා වන ‘සැමට සාර්වත්‍රික මූලික ආදායමක් ලබා දීම’ යෙදා ගත යුතු බව  කැරොල් පේට්මන් යෝජනා කරයි.[30]  විෂමතා අධ්‍යනය පිළිබඳ විශේෂඥයෙකු ලෙස සැලකෙන ආර්ථික විද්‍යාඥ තෝමස් පෙකටි පෙන්වා දෙන අන්දමට ආදායම් බෙදී යෑම සම්බන්ධයෙන් මානව ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම සමාජ විෂමතාව අප මේ වන විට අත්දකිමින් සිටිනවා විය හැකි ය.[31] පුරවැසියන් අතර වැඩි වන ආර්ථික අසමානතා සියලු ආකාරයේ දේශපාලන හා සමාජ සම්බන්ධතා තුළ ඔඩු දුවමින් යයි.

සුලු දඩ මුදලක් ගෙවා ගැනීමට නො හැකි ව දස දහස් ගණන් සිරකරුවන් සිරකූඩුවල ලත වන අතර වංචනික ලෙස අයබදු ගෙවීම පැහැර හරින, අක්වෙරළ ගිණුම්වල (offshore accounts) මුදල් සඟවන ලොකු ව්‍යාපාරික සමාගම් සහ ධනකුවේරයින් ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ අරමුදල්වලට කෝටි සංඛ්‍යාත මුදල් පිරිනමයි. එ් අනුව ආණ්ඩුවල ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කරන්නේ ධනවතුන්ට තව තවත් ධනවත් වීමට ඉඩ සැලසෙන ලෙසය. ලංකාවේ රටවැසියන්ගෙන් 60% කට ලැබී තිබෙන්නේ අපොස සාමාන්‍ය පෙළ වත් සාර්ථක ව සමත් කර ගත නො හැකි මට්ටමේ අධ්‍යාපනයකි. තරුණ තරුණියන්ට ලැබෙන රැකියා බොහෝමයක් ම එන්න එන්න ම කොන්ත්‍රාත්තු හෝ මෑන්පවර් ක්‍රමයට ලැබෙන විශ්‍රාම වැටුප්වලට හිමිකම් නැති අස්ථිර ඒවායි. මේ ලක්ෂණ මඟින් පෙන්නුම් කරන්නේ සමාජය තුළ අප කවරෙක් ද සහ අපට කළ හැක්කේ කුමක් ද යන්න හුදෙක් අපට අත්පත් කර ගත  හැකි ආර්ථික සම්පත් මත තීරණය වන සෙයකි. 21 වැනි සිය වසේ ප්‍රජාතන්ත්‍රවාදය සොයා ගත හැකි වන්නේත්, සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අර්ථාන්විත අත්දැකීමක් ලබා ගත හැකි වන්නේත් ආර්ථික, ලිංගික සහ වාර්ගික ඈ සියලු වර්ගවල පරිපීඩක අසමානතාවලට එරෙහිව කරන අරගල මගිනි.

එයට ප්‍රවේශයක් ලෙස අවම වසයෙන් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ ම සම සහභාගිත්වය සහතික කිරීමට ඉරොකොයිස්වරුන්ගේ සම්ප්‍රදාය අනුව යමින් ස්ත්‍රීන්ගෙන් පමණක් සමන්විත මන්ත්‍රණ සභාවකින් සියලු අණපනත්, අයවැය සහ ප්‍රතිපත්ති පළමුව සම්මත කරන ද්වි මණ්ඩල ආණ්ඩුක්‍රමයක් හඳුන්වා දීමට අප සූදානම් නො වෙන්නේ ඇයි? ගත වූ වසර හැත්තෑව පුරා පාර්ලිමේන්තුවලට හා දේශපාලන පක්ෂවලට කිසි සේත් ම කළ නො හැකි වූ විශිෂ්ට චින්තන හා සමාජ වෙනසක ඇරඹුම එය විය හැකි ය.

සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය වඩා ඵලදායක ලෙස ක්‍රියාත්මක කළ හැක්කේ බිම් මට්ටමේ ආණ්ඩුකරණ කටයුතු සඳහා බව ඒ සම්බන්ධයෙන් ඇති අත්දැකීම් වලින් පෙනී යයි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය යන දෙකෙහි ම ඇති දුර්වල කම් ඌණපූරණය කිරීම පිණිස සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය (Deliberative Democracy) ද එකී ක්‍රම දෙක සමග යොදා ගැනීමේ හැකියාව දැන් අප විමසා බැලිය යුතුය. ඉදිරි පරිච්ඡේද දෙක ම වෙන් කරන්නේ සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය විමසුමට ලක් කිරිමට යි.

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022


[1] Dahl, Robert A.  (1961) Who Governs? Democracy and Power in an American City, New Haven: Yale University Press, p. 1.”

[2] Schumpeter, Joseph (1975), Capitalism, Socialism and Democracy New York: Harper & Row, p. 285, conditions for democracy 289-296.

[3] Schumpeter, Joseph (1950) Capitalism, Socialism and Democracy, Melbourne: George Allen & Unwin Ltd, p. 242

[4] Schumpeter, Joseph (1975), Capitalism, Socialism, and Democracy, New York: Harper & Row, p. 269.

[5] ඇතන්ස් නුවර පැවති පාලන ක්‍රමය අනුව වහලුන් යනු දාසකම් කළ අය පමණක් නොවේ. බොහෝ විට සිවිල් සේවකයන් සහ පොලිස් භටයන් ලෙස කටයුතු කළේ ද පුරවැසියන් නො වන වහලුන් ය.

[6] Mansbridge, Jane. 1980. Beyond Adversary Democracy. New York: Basic Books. pp. 13-14

[7] ibid. p 32

[8] Menser, Michael (2018): We decide!: theories and cases in participatory democracy, Temple University Press  p. 266

[9] Mansbridge, Jane. (1980). Beyond Adversary Democracy. New York: Basic Books. pp. 13-15

[10] Menser, Michael (2018): We decide!: theories and cases in participatory democracy, Philadelphia PA: Temple University Press,  p. 7

[11]  Menser, Michael (2018): We decide! theories and cases in participatory democracy, Philadelphia PA: Temple University Press, pp.17 -18

[12] Mann, Barbara Alice. (2000). Iroquoian Women: ἀ e Gantowisas. New York: Peter Lang.  p. 166

[13] Mann, Barbara Alice. (2000). Iroquoian Women: ἀ e Gantowisas. New York: Peter Lang.  pp. 217-218

[14] Muhlberger, Steven (2011) Republics and Quasi-Democratic Institutions in Ancient India in The Secret History of Democracy, Ishakan. B and Stockwell. S (eds) London: Palgrave Macmillan, p.50

[15] Graeber, David and Wengrow, David (2021) The Dawn of Everything: A new History of Humanity, New York: Allen Lane, p 30 KE

[16] Pateman, Carole (1985).  Problem of Political Obligation: A Critique of Liberal Theory. Berkeley, CA: University of California Press. pp. 152, 150-162

[17] Pateman, Carole (1970) Participation and Democratic Theory. Cambridge: Cambridge University Press Pp.42-43

[18] Vick, Jason (2015)  Participatory Versus Radical Democracy in the 21st Century: Carole Pateman, Jacques Rancière, and Sheldon Wolin,” New Political Science, Vol 37, No. 2, p. 208.

[19] Kaufman, Arnold (1969). “Participatory democracy and Human Nature.” In The Bias of Pluralism, edited by William Connolly, 178-200. New York: Atherton Press, p. 184

[20] Barber, Benjamin R, (2004) Strong Democracy, Oakland CA: University of California Press p. 117.

[21] Pateman, Carole.  (1970) Participation and Democratic Theory, Cambridge: Cambridge University Press pp.42-43

[22] Norris, Pippa (2011). Democratic Deficit: Critical Citizens Revisited. New York: Cambridge University Press.

[23] Poletta, Francesca (2013). “Participatory Democracy in the New Millennium.” Contemporary Sociology 42(1): 40–50”

[24] McNulty, Stephanie L. (2019) Democracy from Above? Stanford: Stanford University Press, pp 13-14 (KE)

[25] Lauer, Polly W., “Community Radio in Guatemala: A Half-Century of Resistance in the Face of Repression” (2017). Undergraduate Honors Theses. Paper 1051. JSTOR

[26] McNulty, Stephanie L. McNulty (2019) Democracy from Above? Stanford: Stanford University Press, pp 214-224 (KE)

[27] Menser, Michael (2018): We decide!: theories and cases in participatory democracy, Temple University Press,  pp. 61-63

[28] McNulty, Stephanie L. McNulty (2019) Democracy from Above? Stanford University Press, Stanford, p. 264(KE)

[29] Michels, Robert (1961). Political Parties: A Sociological Study of the Oligarchical tendencies of Modern Democracy, Free Press New York – quoted by Joel D. Wolfe in “A Defense of Participatory Democracy”. The Review of Politics. Cambridge University Press 47 (3): 370–389.

[30] Pateman, Carol (2004) “Democratizing Citizenship: Some Advantages of a Basic Income.” Politics and Society 32, no. 89: pp. 89-105.

[31] Thomas Piketty, Capital in the 21st Century and Joseph Stiglitz, The Price of Inequality: How Today’s Divided Society Endangers Our Future.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: