- දාර්ශනික මතවාද විමර්ශනය – යුනෙස්කෝ සමීක්ෂණය
බොහෝකොට බටහිර සම්භවයක් ඇතැයි පිළිගැනෙන ඓතිහාසික ලේඛන පාදක කොටගත් කරුණු වලින් සමන්විත යැයි සැලකිය හැකි ලියවිල්ලක් කොතෙක් දුරට මානව හිමිකම් පිළීබඳ විශ්ව සාධාරණ ප්‍රකාශනයක් ලෙස ගිණිය හැකිද? යන කුකුස එකළ ද ඇතැමුන් තුල ඇතිවිය. එහෙත් මේ කුකුස නිරාකරණය කරමින් කමිටු සාමාජිකයන් දිරිගන්වන සුළු පිළිතුරු සැපයීමට යුනෙස්කෝ ආයතනය මගින් දියත් කළ සමීක්ෂණය සමත් විය.
1947 ජුනිවල කෙටුම්පත් කමිටුව මානව හිමිකම් පිළිබඳ සිය දාර්ශනික මතවාද උරගා බලන අතරතුර යුනෙස්කෝව විසින් නම් කරන ලද දාර්ශනිකයන්ගේ ජාත්‍යන්තර කමිටුව සිය කාර්යභාරය ප්‍රායෝගික ලෙස නිමා කරමින් සිටියේය. ඒ වන විට මහත්මා ගාන්ධි වැනි දේශපාලන නායකයෝද, ඉන්දීය සමාජ විදාඥයෙකු වූ එස්.වී. පුන්ටාම්බෙකාර්, මුස්ලිම් දාර්ශනිකයෙකු හා කවියෙකු වූ හුමායුන් කබීර්, චීන දර්ශනය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ චුන්ග් ෂූ ලෝ වැනි පෙරදිග විද්වතුන්ද ඇතුළුව පෙර අපර දෙදිග විවිධ රටවල හැත්තෑවකට ආසන්න ප්‍රමාණිකයන් පිරිසක් යුනෙස්කෝ කමිටුවට සිය ප්‍රතිචාර එවා තිබුණි. එමගින් මානව අයිතිවාසිකම් පිළිබඳව චීන, ඉස්ලාමීය, හින්දු, හා බෞද්ධ දර්ශනවල ගැබ්වූ මති මතාන්තර හා විවිධ රටවල චිරාගත නීති සම්ප්‍රදායන්ගෙන් උපුටාගත් කරුනු බටහිර ලිබරල් හා සමාජවාදී දෘෂ්ටිකෝණයන්ගෙන් ඉදිරිපත්කළ මතවාද හා සසඳමින් විචාරයට ලක් කොට තිබුණි. මානව අයිතිවාසිකම් විස්තර කිරීම සඳහා පරිහරණය වන භාෂාව මෑත යුරෝපීය සභ්‍යත්වයට අයත් වුවද ඒ පිළිබඳ මූලික සිද්ධාන්ත පෙරදිග රටවලද නොඅඩුව පිළිගැණුණු බව බොහෝ පෙරදිග ප්‍රමාණිකයෝ පෙන්වා දුන්හ.
මානව අයිතිවාසිකම් පිළිබඳ නිසි ආකෘතියකට ගොනුකළ ලේඛනයක් චීන සභ්‍යත්වයෙන් සොයා ගැනීම අපහසුවීම නිසා චීන ජාතිකයන් මානව අයිතිවාසිකම් පිළිනොගත් බවක් අදහස් නොවේ යයි විස්තර කළ චුන්ග් ෂූ ලෝ මෙසේ පැවසීය.
“මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය බටහිර සාකච්ඡා වු ආකාරයටම චීන ඉතිහාසයේ සාකච්ඡා වී ඇත්තේ මඳ වශයෙනි. කෙසේ වුවද මානව අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය ඈත පුරාණයේ පවා චීනයේ තිරසාර ලෙස පැවැතිණි. ඒ පිළිබඳ එක් උදාහරණයක් නම් තමන් පීඩනයට ලක්කරණ පාලකයන්ට විරුද්ධව කැරලි ගැසීමට රට වැසියන්ට අනුල්ලංඝනීය අයිතියක් තිබේයැයි චීන සමාජය විසින් ඉපැරණි කාලයේ සිට පිළිගැනීමයි. ක්‍රි.පූර්ව 372-289 කාලයේ ජීවත් වු චීන කොන්ෆියුසියානු දාර්ශනිකයෙකු වූ මෙන්සියුස් මෙසේ පවසා තිබේ. ‘වැදගත්කම අතින් ප්‍රථම තැන හිමිවන්නේ ජනතාවටයි. රජයට ලැබෙන්නේ ජනතාවට වඩා අඩු වැදගත් කමකි. රජයේ සෛවරීභාවයට ලැබෙන්නේ ඊටත් වඩා අඩු වැදගත් කමකි.’ ”
ඉන්දියානු සමාජ විද්‍යාඥයෙකු වූ පුන්ටාම්බෙකාර් මිනිස් නිදහස දස ආකාරයක සද්ගුණයන් ලෙස බෞද්ධ හා හින්දු දර්ශන වල මැනවින් සංගෘහිතව ඇති බව යුනෙස්කෝ සමීක්ෂණ කමිටුවට එවු සිය පිළිතුරෙන් පෙන්වා දුන්නේය. ඒ අනුව, ප්‍රචණ්ඩත්වයෙන් අත්මිදීමේ නිදහස (අහිංසා), මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ නිදහස (අස්ථෙය), සූරාකෑමට ලක් නොවීමේ නිදහස (අපරිග්‍රහ), නිගරුවට පාත්‍ර නොවීමේ නිදහස (අව්‍යාභිචාර), අකල් මරණයෙන් හා අනාරෝග්‍යෙයන් වැලැකී සිටීමේ නිදහස (අර්මිථාත්ව සහ ආරොග්‍ය) පංච වාර්ගික සමාජයීය නිදහස වශයෙන් සැලකෙන අතර නොරිස්සීමට භාජනය නොවීමේ නිදහස(අක්‍රොධ), දයාව හා සහෝදරත්වය පැතීමේ නිදහස (භූතදයා සහ අද්‍රොහ), දැනුම වැඩිදියුණු කරගැනීමේ නිදහස (ඥාණ, විද්‍යා), සිතීමේ සහ හෘදසාක්ෂියට අනුව කටයුතු කිරීමේ නිදහස (සත්‍ය සහ සුනර්ථ) සහ ඉච්ඡාභංගයෙන් හා බියෙන් තොරව ජීවත්වීමේ නිදහස (ප්‍රවර්ති, අභය, ධිත්‍රි) මිනිසුන්ට නිසගින් උරුම පුද්ගල අයිතීන් ලෙස සැලකෙයි .
“මේ වනාහී එකිනෙකට වෙනස්ව පවුරු වළලුවලින් වට වූ අසමසම ශිෂ්ටාචාර පවතින යුගයක් නොවේ” යනුවෙන් සිය පිළිතුරේ සඳහන් කළ පුන්ටාම්බෙකාර් අද්‍යතන ලෝකයේ කලාපයෙන් කලාපයට මානව අයිතිවාසිකම් වෙනස් වීමට හේතුවක් නැති බවද කියා සිටියේය. ඔහුට අනුව මානව අයිතිවාසිකම් පිළිබඳ බටහිර දෘෂ්ටියේ ඇති එකම වරද එමගින් මානව අයිතිවාසිකම් නිර්ණය කරන ආකාරය නොව එකී මානව අයිතිවාසිකම් සර්ව සාධාරණ ලෙස පිළිපැදීමට බටහිර ලෝකය අපොහොසත් වීමයි. සිය යටත් විජිතවල වැසියන්ට බටහිර රටවල් සැලකු ආකාරය අනුව මානව අයිතිවාසිකම් ආදේශ වූයේ යුරෝපීයන්ට පමණක් බව චෝදනා කළ පුන්ටාම්බෙකාර් හිට්ලර්ගේ වර්ගවාදී ක්‍රියා පිළිවෙත් සිහිපත් කරවමින් මෑත කාලයේදී නම් එම අයිතීන් යුරෝපීයන් අතරිනුත් ඇතැම් සුවිශේෂ යුරෝපීයන්ට පමණක් සීමා වූ බවත් සඳහන් කළේය.
හාවඩ් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හැදෑරූ ඉන්දියානු කාන්තාවක් වූ ෂිරින් සින්නාර් බොහෝ ඉන්දියානුවන් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයට අභියෝග කිරීමේදී මානව හිමිකම් විශ්ව සාධාරණය යන මතයේ පිහිටා කටයුතු කළ බව පෙන්වා දුන්නාය. දකුණු අප්‍රිකානු යටත් විජිත පාලනය එහි වැසි ඉන්දියානු සුළු ජාතිකයන් පීඩනයට ලක් කළ විට එවකට දකුණු අප්‍රිකාවේ විසූ ගාන්ධි ක්‍රියාකාරී ලෙස එයට විරුද්ධ වූයේ මානව අයිතිවාසිකම් සියළු මිනිසුන්ට උරුමය යන මතයේ පිහිටා බව ඇය කියා සිටියාය.
කටයුතු බහුල බැවින් යුනෙස්කෝ විමර්ශනයට සෑහෙන පිළිතුරක් දීමට කාල වේලා නොමැති බව සඳහන් කළ මහත්මා ගාන්ධි දුම්රියේ ගමන් කරන අතර කෙටි ලිපියක් ලියමින් විශ්ව සාධාරණ අයිතීන් ගැන සිතන විට අප විසින් සිහි තබා ගත යුතු වැදගත් කරුණ එම අයිතීන් අපට උරුම වන්නේ ලෝක පුර වැසියෙක් වශයෙන් අප එක් එක් අයෙකු විසින් ඉටු කළ යුතු යුතුකම් නිසා බව සිය මතය යැයි දැනුම් දුන්නේය.
සමස්තයක් වශයෙන් ගත්විට යුනෙස්කෝ සමීක්ෂණය යෝජිත විශ්ව ප්‍රකාශනයේ ගැබ්වු මානව අයිතිවාසිකම් පිළිබඳ මූලික සිද්ධාන්තවල විශ්ව සාධාරණ බව සැකයකින් තොරව තහවුරු කළේය. සිව් දිගින් එක් රැස්කරගත් තොරතුරු වලට අනුව මානව අයිතිවාසිකම් පිළිබඳ මූලික වටිනාකම් ලයිස්තුව ලෝකය පුරා බෙහෙවින් එක සමාන වීම යුනෙස්කෝ සමීක්ෂකයන්ගේ තරමක විමතියටද හේතු විය. යුනෙස්කෝව විසින් සමීක්ෂා කොට ලයිස්තුගත කරන ලද අයිතිවාසිකම් අතරට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් මෙන්ම සමාජයීය හා ආර්ථික වටිනාකම් ද අයත් විය. යුනෙස්කෝ ලයිස්තුවේ අංඞංගු වු අයිතිවාසිකම් 15ට ජීවිතයට ඇති අයිතිය, සිය සෞඛ්‍යය රැක ගැනීමට ඇති අයිතිය, රැකියාවක නියැලීමට ඇති අයිතිය, අවශ්‍යය අවස්ථාවකදී මහජන ආධාරය පැතීමේ අයිතිය, දේපොළ හිමිකමට ඇති අයිතිය, අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අයිතිය, තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය, සිතීමේ හා විපරම් කිරීමේ නිදහස, සිය අදහස් පළ කර සිටීමේ අයිතිය, තමා උදෙසා අපක්ෂපාතී ක්‍රියා පිළිවෙත් ඉල්ලා සිටීමේ අයිතිය, දේශපාලනයේ යෙදීමට ඇති අයිතිය, භාෂණය, රැස්වීම් පැවැත්වීම, සංවිධානගත වීම, ආගම ඇදහීම හා පුවත්පත් පළ කිරීමට ඇති අයිතිය, රටවැසි භාවයට ඇති අයිතිය, අදමිටු රජයකට එරෙහිව කැරලි ගැසීමේ අයිතිය සහ ප්‍රගතියේ කොටස්කරුවෙකු වීමේ අයිතියද විය.
මානව අයිතිවාසිකම් වලට පදනම් වූ මූලික මිනිස් වටිනාකම් පිළිබඳ අවබෝධය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් අතර පොදුවේ දක්නට ලැබෙන බව නිගමනය කළ යුනෙස්කෝ සමීක්ෂණ වාර්තාව එම අවබෝධය විවිධවූ දේශපාලනික හා ආර්ථික පසුබිම් වලදී විවිධ දාර්ශනික සිද්ධාන්ත පදනම් කොට ප්‍රකාශවන බව පෙන්වා දුන්නේය. මානව අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රකාශනයක් විවිධ දාර්ශනික, ආගමික චර්යාවන් පමණක් නොව නොයෙක් ආර්ථීක හා දේශපාලන සිද්ධාන්ත විසින්ද අනුදක්නා ලබන පොදු රාමුවක් සැපයීමට සමත් විය යුතුයැයි වාර්තාවෙන් යෝජනා කෙරිණ. එහිදී අභියෝගය වන්නේ ඇති පමණ නිශ්චයාර්ථ දෙන අතරම ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කළ හැකි වන ලෙස මානව අයිතිවාසිකම් නිර්ණය කිරීමයි. විවිධ මට්ටම් වල සමාජ හා දේශපාලන වටාපිටාවන්වල ජීවත්වන සියළුම මනුෂ්‍යන් සඳහා උපයෝගී කරගත හැකි වන ලෙස එම නිර්ණයන් ප්‍රමාණවත් ලෙස නම්‍යශීලී විය යුතු බවද යුනෙස්කෝ වාර්තාවෙන් පෙන්වා දුන්නේය.
නිශ්චිත ලෙස අනුගමනය නොකිරීම පිළිබඳ පසුව කොතෙක් චෝදනා වලට භාජනය වුවද එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් තබමින් සියළුම සාමාජික රටවල් ‘නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය’ තැබීමට කැප වන බව ප්‍රකාශ කර සිටියේය. එම ප්‍රඥප්තියට අනුව නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මේ කැපවීමට පාදක වන අනෙක් වැදගත් විශ්වාසය නම් ‘මනුෂ්‍යයන්ට ආවේනිකව උරුම අභිමානයයි’. “එක් විශ්වාසයක් අඩමාන ලෙස පිළිපදිනු දකින විට තවත් එවැනිම විශ්වාසයක් ගැන ඇතිවිය හැකි කැපවීම ගැන අපට සැහීමකට පත්විය නොහැක. එහෙත්, හුදෙක් මනුෂ්‍ය අභිමානය පිළිබඳ අප තුළ ඇති විශ්වාසය ම මේ වැදගත් කාර්ය අනිවාර්යයෙන්ම ඉටුකළ යුත්තක් බවට තීරණය කිරීමට අප පොළඹවයි” යනුවෙන් දාර්ශනිකයන්ගේ යුනෙස්කෝ වාර්තාව මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයක් බිහිකිරීම තරයේ අනුමත කළේය.
- ජාතික රාජ්‍ය සංකල්පය හා මානව අයිතීන්
1948 දෙසැම්බර් 10දින එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විශ්ව ප්‍රකාශනය අනුමත නොකරන්නට සෝවියට් පිල උත්සාහ කළ පරිදි එය කල්දැමුවේ නම් පසු කලෙකදී විශ්ව ප්‍රකාශනය අනුමතවීම බෙහෙවින් සැක සහිතය. ඒ වන විටත් ලෝක දේශපාලනයේ බල කඳවුරු ධ්‍රැවීකරණය වීම පැහැදිලිව පෙනෙන්ට තිබුණි. 1953 ජනවාරියේ අමෙරිකානු ජනාධිපති ධුරයට අයිසන්හවර් පත්වීමත් සමග එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් බලාත්මක කිරීමේ ලා යෝජිත අන්තර්ජාතික ගිවිසුම් සම්පාදනයට ක්‍රියාශීලීව සහභාගිවීම ඔහුගේ රාජ්‍ය ලේකම් ජෝන් ෆොස්ටර් ඩලස් ප්‍රතික්ෂේප කළේය. රිපබ්ලිකන් පක්ෂයෙන් බලයට පත්වු ජනාධිපති අයිසන්හවර්ගේ පාලනය තන්ත්‍රය තුළ විශ්ව මානව අයිතිවාසිකම් ප්‍රකාශනය කෙටුම්පත් කළ එක්සත් ජාතීන්ගේ කමිටුවේ සභාපතිනිය වශයෙන් කටයුතු කළ ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු වූ එලිනෝර්ට තැනක් නොතිබුණි. කොරියානු යුද්ධයට අමෙරිකාව මැදිහත්වීම, සෝවියට් දේශයේ න්‍යෂ්ටික අවි තර්ජනය හා දේශද්‍රෝහීන් යැයි සලකමින් අමෙරිකාවේ ඇතැම් පුවත්පත් කලාවේදීන්, සිවිල් නිලධාරීන්, වෘත්තිය සමිති ක්‍රියාකාරීන්, කලාකරුවන් රාජ්‍ය අනුග්‍රය මත මැකාර්ති වාදයට අනුව දඩයම් කිරීම වැනි තත්වයන් තුළ ජාත්‍යන්තරව කල්පනා කිරීම රිපබ්ලිකන් පක්ෂය යටතේ අමෙරිකාවේ ප්‍රතිපත්තිය නොවීය. මේ නිසා බලය තහවුරු කරගැනීමේ සන්ධාන ඇති කිරීමට උචිත විදේශ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීම මනුෂ්‍ය වර්ගයාගේ මානව අයිතිවාසිකම් තහවුරු කිරීමට වඩා දෙපිලේම දේශපාලන නායකයන්ට වැදගත් විය.
ලෝක මහා යුද්ධය අවසන් වූ දශක දෙක තුළ ආසියාවේ හා අප්‍රිකාවේ බොහෝ යටත් විජිතවලට දේශපාලන නිදහස ලැබුණු නමුදු අනුක්‍රමයෙන් ඒවායින් වැඩි කොටසක් ඒකාධිපතීන්ගේ හෝ ආධිපත්‍යවාදී දේශපාලන කණ්ඩායම් වල බලයට නතුවිය. උදාහරණයක් වශයෙන් ගත් විට එක් කලකදී ජපානය, ඉන්දීයාව හා ශ්‍රී ලංකාව හැරෙන විට ආසියාවේ පිහිටි අනෙක් සියළු රටවල් ඒකාධිපති හෝ ආධිපත්‍යවාදී රජයන් යටතේ පැවැතුණි. කෙන්යාවේ ජෝමෝ කෙන්යාටා, ටැන්සානියාවේ ජූලියස් නියරරේ හා ඝානාවෙ ක්වාමේ න්කෘමා වැනි ජාතික නායකයන් සිය යටත් විජිත විරෝධි අරගල උද්දීපනය කිරීම සඳහා විශ්ව ප්‍රකාශනයේ සහතික කළ ඇතැම් මානව අයිතීන් යොදාගත් නමුදු, යටත් විජිත අරගලයෙන් ජයගත් පසු එම රටවල් ඇතුළු අප්‍රිකාවේ අනෙකුත් රටවල්ද අණුක්‍රමයෙන් ඒකාධිපතියන්ගේ පාලනයට නතු වීමෙන් පසු අයිතිවාසිකම් කතිකා පිටු දකිනු ලැබීය. මේ අතර ලතින් අමෙරිකාවේ බොහෝ රටවල පැවැතුණු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් පෙරළා මිලිටරි ජුන්ටා විසින් බලය අල්ලා ගනු ලැබිනි. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හා සෝවියට් දේශය ප්‍රමුඛ සෝවියට් හිතවාදී රටවල් දෙපිල බෙදී කළ සීතල යුද්ධයේදී මෙම රටවල සහාය බොහෝවිට දෙපිලම ලබා ගත්තේ ඒකාධිපතින්ට හා ආධිපත්‍යවාදී පාලනයන්ට එරෙහි වන රට වැසියන් මර්දනය කිරීම තත් රටවල අභ්‍යන්තර කටයුත්තක් වශයෙන් සලකා, ඒ සඳහා අනුබල දීමේ හෝ නිහඬව සිටීමේ ප්‍රතිපත්තිය මතය. රටක ස්වෛරී භාවය රට වැසියන්ගේ මූලික අයිතිවාසිකම් වලට වඩා ඉහළින් සැලකිය යුතුයැයි තර්ක කරමින් ලොව පුරා ඒකාධිපතීන් හා ආධිපත්‍යවාදී රජයන් මානව අයිතිවාසිකම් කෙලෙසීය. මේ නිසා මානව අයිතීන් සුරැකීම ලෝක දේශපාලන න්‍යාය පත්‍රයේ පතුලට වැටුණු අතර මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය සඳහා 1966දී ඇතිකරගත් – ආර්ථික සමාජයීය හා සස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ගිවිසුම හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ගිවිසුම ක්‍රියාත්මක කිරීම බොහෝසේ ඇනහිටිණ. සෝවියට් දේශයේ බිඳ වැටීම හා ඒකාධිපතීන්ගේ ග්‍රහණය ගිලිහී යෑම ඇරඹුණු 1990 දශකය එළඹෙන තෙක්ම මේ තත්වය වෙනස්වූයේ ඉතා මඳ වශයෙනි.
මානව අයිතිවාසිකම් පිළිබඳ ඇතිකරගත් ගිවිසුම් ක්‍රියාත්මක වීම ඇනහිටිණු ලැබූවද විශ්ව ප්‍රකාශනය විවිධ රටවල මානව හිමිකම් පිළිබඳ උද්‍යෝගය උද්දීපනය කිරීමට දායක විය. අමෙරිකාවේ එවකට පැවැති වර්ණ භේදවාදී අඩුසැලකිලි දැක්වීම නීති විරෝධි කිරීමේ ව්‍යාපාරය සාර්ථකව ජයග්‍රණය කරා මෙහෙයෙ වූ මාටින් ලූතර් කින්ග් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ දැක්ම ඔහු බලාපොරොත්තුවන “පෘථුල නිදහස තුළ ජීවිතය පිළිබඳ ප්‍රමිතියක්˝ වශයෙන් සැලකීය. නෙල්සන් මැන්ඩෙලාගේ නායකත්වය යටතේ දකුණු අපිකාවේ සුළුතර වර්ණභේදවාදී රජයට එරෙහිවූ ව්‍යාපාර ජයග්‍රණය කිරීමට අවශ්‍ය වු ලෝක මතය ගොඩ නැගීමට ද මානව අයතිවාසිකම් කතිකාව ඉමහත් ලෙස දායක වීය.
නිදහස ලැබීමෙන් පසු ඇතැම් අප්‍රිකානු රටවල ස්ථාපිත කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සුවිශේෂයෙන් සඳහන් කරමින් එහි සඳහන් මූලික අයිතීන් සාක්ෂාත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අරමුණක් වශයෙන් සටහන් වීය. උදාහරණයක් වශයෙන් සෙනෙගාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි “සෙනෙගාලයේ ජනතාව තම ස්වාධීන්ත්වය උදාර ලෙස ප්‍රකාශකරමින් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයෙන් නිර්ණය කර ඇති මූලික අයිතීන්ට අනුකූල වීමට ඉටා ගනී“ යනුවෙන් සඳහන්වේ. අප්‍රිකානු මහාද්වීපයේ නිදහස ලබා ගත් රටවල් 19 ක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වල මේ හා සමානව විශ්ව ප්‍රකාශනයට අනුකූල වීම ගැන සඳහන්විය.
ඇතැම් රටවල ව්‍යවස්ථාගත මූලික සිවිල් හා දේශපාලන අයිතීන් අර්ථකථනය කිරීමේ නිර්ණායකයක් වශයෙන්ද මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය යොදා ගැනුණි. උදාහරණයක් වශයෙන් ගත් විට භාෂණය හා ප්‍රකාශනය පිළිබඳ අයිතිය ඉන්දියානු ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් වන්නේ එහි 19 වගන්තියට අනුව “සියළු රටවැසියන්ට භාෂනයේ හා ප්‍රකාශනයේ අයිතිය ඇත්තේය“ යනුවෙන් ලුහුඬු ආකාරයෙනි. එහෙත් අධිකරණයේ විනිශ්චය කරුවන් මාරු කිරීම හා සේවයෙන් පහකිරීම සම්බධයෙන් තොරතුරු සැපයීම ඉන්දියානු ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම සම්බන්ධව, 1982 දී පැවරුණ නඩුවක් විභාග කළ ඉන්දියාවේ ශ්‍රෙෂ්ඨාධිකරණය, ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 19වන වගන්තියේ කියැවෙන පරිදි “තොරතුරු සොයාගැනීම, ලබා ගැනීම හා බෙදා හැරීමට ඇති නිදහසත් මේ අයිතියට ඇතුළත්ය” යන මතය දරමින් මෙසේ තීන්දු කළේය.
“විවෘත ආණ්ඩුවක් යන්න අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන වගන්තියෙන් සහතික කොට ඇති නිදහස් භාෂණය හා ප්‍රකාශනය පිළිබඳ අයිතියේ අනවරතයෙන්ම ගැබ්ව ඇතැයි සැලකිය හැකි තොරතුරු දැනගැනීමට ඇති අයිතියෙන් බිහිවූ සංකල්පයකි. එම නිසා හුදෙක් මහජන යහපත සඳහා රහස්‍යභාවය අත්‍යවශ්‍යවෙතැයි සාධාරණීකරණය කළ හැකි අවස්ථාවන්වලදී හැර අන් හැම අවස්ථාවකම ආණ්ඩුව කටයුතු කරන ආකාරය පිළිබඳව තොරතුරු අනාවරණය කිරීම රීතිය විය යුතුය. අධිකරණයේ කාර්ය විය යුත්තේ තොරතුරු අනාවරණය කිරීම මහජන යහපත සඳහා අතිශයෙන් වැදගත් වන්නේය යන්න සැම විටම සිහියේ තබා ගනිමින් රහස්‍යභාවයේ පරාසය මහජන යහපත සඳහා අවශ්‍යවන පමණට පමණක් ප්‍රමාණවත්වනසේ සීමා කිරීමයි. “
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නිශ්චිත කර ඇති ඇතැම් මානව අයිතිවාසිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් රට වැසියන්ට දේශීය අධිකරණ ක්‍රමය මගින් සහන සලසා ගැනීමට අවස්ථාව ලැබීම මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය හා ඒ හා අනුගාමී වු ජාත්‍යන්තර සම්මුතිවල අනවරත ප්‍රතිඵලයකි. උදාහරණයක් වශයෙන් 1978 ශ්‍රි ලංකා ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතීන් කඩ වන විට ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට රටවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ කඩ සැලසීම විශ්ව ප්‍රකාශනයේ අටවැනි වගන්තිය පිළිපැදීමකි.
මානව අයිතිවාසිකම් සුරැකීම පිළිබඳ කටයුතු දේශීය මට්ටමින් ඉටුවීම ඉතා මන්දගාමී සිදු වුවුද මෑතකදී ටියුනීසියාව, මොරොක්කෝව, ඊජිප්තුව, යේමනයථ ජොර්ඩානය, බහරේන්, සිරියාව වැනි රටවල දක්නට ලැබුණු පරිදි තම අයිතීන් සාක්ෂාත් කර ගැනීම සඳහා නිරන්තරයෙන් කෙරෙන අරගලවලදී විවිධ රටවල වැසියන්ට මානව අයතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ආශ්වාදයක් වීය.
මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ විශ්ව සාධාරණත්වය ප්‍රශ්න කළ මතවාදද එම අයිතිවාසිකම් ජාතික මට්ට්මින් සාක්ෂාත් කිරීම යම් පමණකට අවුල් කර දැමීය. දැනට අකර්මණ්‍යවී ඇති නොබැදී ජාතීන්ගේ වයාපාරය බිහි වීමට තුඩුදුන් 1955 ඉන්දුනීසියාවේ බන්දුං නුවර පැවැති ආසියානු හා අප්‍රිකානු ජාතීන්ගේ ප්‍රථම ජාත්‍යන්තර සම්මේලනයේ අවසාන ප්‍රකාශයේ විශ්ව ප්‍රකාශනය “සියළු ජනතාවගේ හා ජාතීන්ගේ අභිමථාර්තයන් ඉටුකරගැනීමේ ප්‍රමිතියක්“ වශයෙන් සැලකිය යුතුයැයි සඳහන් විය. එහෙත් සමුළුව ආරම්භයේදී කථා කළ චීනයේ එවකට සිටි අගමැති චෞ එන් ලායි මහජන චීන සමූහාන්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙකු නොවූ බැවින් එකල එමගින් පිළියෙල කළ ප්‍රකාශන හා ප්‍රතීපත්ති පිළියෙල කිරීමට සහභාගිවීමට අවස්ථාවක් තම රජයට නොලැබුනේ යැයි චෝදනා කළේය. නොබෝ කලකින්ම මානව අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය බටහිර වටිනාකම් වලට බරවුවක් බවට හිටපු අගමැතිවරුන් වූ මැලේසියාවේ මහතියාර් මොහොමඩ්, සිංගප්පුරුවෙ ලී ක්වාන් යු හා පසුව මහජන නැගිටීමකින් බලයෙන් පහ කෙරෙනු ඉන්දුනීසියාවේ ජනාධිපති සුහර්තෝ ‘ආසියානු වටිනාකම්’ නමැති මතය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය. 1998 විශ්ව ප්‍රකාශනයට පණස් වසරක් පිරීම නිමිත්තෙන් පැවැති රැස්වීමකදී විශ්ව ප්‍රකාශනය මුස්ලිම්වරුන්ට පිළිගත නොහැකි යුදෙව්-ක්‍රිස්තියානි වටිනාකම් පදනම් කොට ගත් ලේඛනයක් බව ඉරාන රජයේ නියෝජිතයා ප්‍රකාශ කළේය.
මෙවැනි බොහෝ මතවාද වල නිර්මාතෘවරු විශ්ව ප්‍රකාශනයේ සදහන් කිනම් සුවිශේෂ අයිතීන් ඔහුන්ගේ අමනාපයට හේතුවන්නේදැයි විස්තර කිරීමට එතරම් උත්සුක නොවූහ. ‘ආසියානු වටිනාකම්’ නැමැති රාජ්‍ය මතවාදය ඉදිරිපත් කළ දේශපාලකයෝ විශ්ව ප්‍රකාශනය විදේශ බලපෑමක ප්‍රත්නයකි යනුවෙන් හැඳින්වීමට තැත් කළද ඔවුන්ගේ ඇත්ත අභිප්‍රාය වූයේ තම පාලන තන්ත්‍රයන්ට අයත් රට වැසියන්ට මනුෂය්‍යන් වශයෙන් සුවිශේෂ වු පුද්ගල අයිතීන් ඇත්තේය යන්න පිළිගැනීමට ඔහුන් තුළ තිබූ අකමැත්තයි. ‘ආසියානු වටිනාකම් ’ අනුව ප්‍රශ්න විරහිතව රාජ්‍ය වැඩ පිළිවෙලට අනුගතවීම රට වැසියාගේ යුතුකම යනුවෙන් ඔහුන් විසින් ප්‍රචලිත කිරීමට තැත් කරනු ලැබූ මතයට ඔහුන්ගේම රටවැසියන් අතර පිළිගැනීමක් නොවීය. ඒ මතය ඉන්දියානු විද්‍යාර්ර්‍ථයෙකු වූ අමාර්ත්‍ය සෙන් විසින් බැහැර කරනු ලැබුවේ පොදු වටිනාකම් සම්බන්ධයෙන් ආසියාව මනඃකල්පිතයක් බවත් එකිනෙකට හාත්පසින්ම වෙනස් පසුබිම් වලට උරුම වූ රටවවල් රැසක වෙසෙන විවිධ සංස්කෘතීන් හා උප සංස්කෘතීන් වලට අයත් මිනිසුන්ගෙන් ගහන ආසියාව වැනි මහාද්වීපයක් සඳහා ‘ආසියානු වටිනාකම්’ වැනි මතිභ්‍රමයක් බිහිකිරීමට තර්ක කිරීම හා පෙරදිග රටවල් සමස්තයක් වශයෙන් ගෙන ඔරියන්ට් හෙවත් ප්‍රාචීන යනුවෙන් හැදින්වීමට 19වන සිය වසේ විසු යුරෝකේන්ද්‍රීය සමාජ විචාරකයන් කළ ප්‍රයත්නය අතර වැඩි වෙනසක් නොමැති බව පෙන්වා දෙමිනි.
සමාජ වටිනාකම් සම්බන්ධයෙන් සැලකූ විට නැගෙනහිර ආසියාවද ඇතුළුව හා ආසියාවේ අනෙකුත් ප්‍රදේශවලද ඉස්තරම්යැයි හුවා දැක්වීමට තැත් කරන බොහෝ අදහස් විවිධත්වය අතින් අතිශයින් වෙනස් බව සෙන් පෙන්වා දෙයි. ඒ හා සමානව බටහිර චින්තන ඉතිහාසයද බහුවිධ වටිනාකම්වල ආකරයක් බව පෙන්වා දෙන ඔහු ‘ආසියානු වටිනාකම්’ සමරූපීයවේ යනුවෙන් ඒකාධිකාරිකයන්ගේ පටු අවශ්‍යතා මත ආසියාවේ ඉතිහාසය තීන්දු කිරීම ආසියානු බුද්ධි සම්ප්‍රදායේ අතිශයින් පොහොසත් විවිධත්වයට කරන අසාධාරණයක් බව කියයි. සෙන් පෙනවා දෙන පරිදි අනුමාන ඉතිහාසය අනුමාන දේශපාලනයේ ගැලවුම්කරුවෙක් නොවේ.
ලී ක්වාන් යූ ප්‍රමුඛ දේශපාලඥයෝ ක්‍රි. පූ පස්වෙනි සිය වසේ ජීවත් වු චීන චින්තකයෙකු වු කොන්ෆියුසියස්ගේ ඉගැන්වීම් ඔහුන්ගේ ආසියානු වටිනාකම් යන මතයට පදනම් කර ගත්තෝය. සිය ඉගැන්වීම් වල හික්මීම යනුවෙන් කොනෆියුසියස් අදහස් කළේ අධිකාරී බලයට අවනත වීම බව ආසියානු වටිනාකම්වාදීන් විසින් අර්ථ කථනය කරන ලදී. මෙය විවේචනය කරමින් “ආසියානු වටිනාකම් හා මානව අයිතිවාසිකම්: ලී ක්වාන් යූගේ හා ලෙ පෙන්ගේ දුරවබෝධය” යනුවෙන් නිව් රිපබ්ලික් සඟරාවට ලිවු ලිපියක අමාර්ත්‍ය සෙන් මෙසේ සඳහන් කළේය
“……මෙහිදී ආසියානු වටිනාකම් වල විවිධත්වය ඉතා වැදගත්ය. මේ සඳහා දිය හැකි කදිම උදාහරණයක් නම් බෞද්ධ දර්ශනයේ එන චින්තන සම්ප්‍රදායයි. බෞද්ධ සම්ප්‍රදායට අනුව නිදහසට ඉතා වැදගත් ස්ථානයක් හිමිවේ. ඉන්දියානු චින්තන සම්ප්‍රදාය තුල බෞද්ධ දර්ශනය නිදහස් චින්තනයට බෙහෙවින් ඉඩ සලසයි. එයට අනුව මනුෂ්‍ය චර්යාවේ උදාරත්වය ලඟාකර ගත යුත්තේ නිදහස තුලිනි. මොක්ෂය යනුවෙන් හැඳින්වෙන විමුක්තිය පිළිබඳ බෞද්ධ චින්තනයේද මෙම නිදහස පිළිබඳ සංකල්පය ඇතුලත්ය. කොන්ෆියුසියස් විසින් අවධාරණය කරන හික්මීම පිළිබඳ අදහස බෞද්ධ සම්ප්‍රදායේ ඇති මෙවැනි ලක්ෂණ මගින් නිෂේධ කරන බවක් මින් අදහස් නොකෙරේ. එහෙත් කොන්ෆියුසියස් වාදය ආසියාවේ පමණක් නොව චීනයේද ඇති එකම චින්තනයැයි සැලකීම මිත්‍යාවකි. වර්තමාන ආධිකාරිකවාදීන් විසින් කොන්ෆියුසියස් වාදය අර්ථ කථනය කරන ආකාරය ආසියානු වටිනාකම් පිළිබඳ මතිභ්‍රමයට පදනම වී ඇති බැවින් ආසියාවේ පවතින චින්තන සම්ප්‍රදායන්ගේ විවිධත්වය අවධාරණය කිරීම අත්‍යවශ්‍යයවේ.
ආසියානු වටිනාකම් හුවාදක්වන ආධිකාරිකවාදීන් විසින් කොන්ෆියුසියානුවාදය අර්ථ දක්වනු ලබන ආකාරය ඇත්ත වශයෙන්ම කොන්ෆියුසියස්ට කෙරෙන බලවත් අසාධාරණයකි. මේ සම්බන්ධයෙන් සයිමන් ලෙයිස් විසින් මෑතකදී බෙහෙවින් කරුණු පෙන්වා දී තිබේ. ඔහුට අනුව අන්ධ විශ්වාසයෙන් යුතුව රජයට පක්ෂපාතී විය යුතු බවක් කොන්ෆියුසියස් නිර්දේශකර නොමැත. “රාජ කුමාරයෙකුට සේවය කල යුත්තේ කෙසේද?” සිහ්ලූ නැමැත්තා කොන්ෆියුසියස්ගෙන් ඇසූ විට “ ඔහුට තරහ යන්න පුළුවන් උනත් ඇත්ත ඇති සැටියෙන්ම කියන්න” යනුවෙන් කොන්ෆියුසියස් පිළිතුරු දුන්නේය. එහෙත් සිංගප්පූරුවේ හා බිජිනයේ වාරණය කරන්නන් මේ සම්බන්ධයෙන් වෙනස් මතයක් දරනු ඇති බව නියතය. ප්‍රායෝගික අවදානම නිසා උපායශීලී වීම අවශ්‍ය නොවෙතැයි කොන්ෆියුසියස් අදහස් නොකළ නමුත් අනර්ථකාරී රජයකට විරුද්ධ නොවිය යුතු යැයි ඔහු ප්‍රකාශ කර නැත. කොන්ෆියුසියස් මෙසේ කීවේය. “රටක් යහපත් වෙන විට එඩිතරව කථාකරන්න, එඩිතරව වැඩ කරන්න. රට අයහපත් වන විට ඉවසිල්ලෙන් කථා කරන්න එහෙත් එඩිතරව වැඩ කරන්න.”
මානව අයිතිවාසිකම් විමර්ශනයේදී අමාර්ත්‍ය සෙන්ට අනුව වැදගත්වන්නේ එම අයිතිවාසිකම්වලට පාදක වූ මනුෂ්‍ය නිදහසෙහි සුවිශේෂ වැදගත්කමයි. එම වැදගත්කම අපට අපේම වූ අයිතීන් තහවුරු කරගැනීමේ වටිනාකම පමණක් නොව අන් සියළු අය සඳහාද එම අයිතීන් තහවුරුකරදීමේ වැදගත් කමද අවබෝධ කරදෙයි.
මේ හැර ඇතැම් විවේචකයන් විශ්ව ප්‍රකාශනය බටහිර වටිනාකම් මත පදනම් වුවක් බැවින් සංස්කෘතික සාපේක්ෂතාවය (Cultural Relativism) අනුව බැහැර කළ යුත්තකැයි තර්ක කළහ. සංස්කෘතික සාපේක්ෂතාවය යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ පුද්ගලයෙකුගේ විශ්වාසයන් හා ක්‍රියාකාරකම් එම පුද්ගලයා අනුගතව ඇති සාංස්කෘතික උරුමයට අනුව තේරුම් ගත යුතු බවයි. පුද්ගලයන් විවිධ ආකාර සංස්කෘතීන්ට අයත්වන බැවින් විශ්ව සාධාරණ යැයි හැඳින් වෙන අයිතීන්ට අනුගතවීම කළ නොහැක්කයි ඔවුන්ගේ තර්කයයි. මිනිස් කොට්ඨාශයන් අතර ඇති සංස්කෘතික වෙනස්කම් උත්කර්ෂයෙන් අගයමින් සංස්කෘතිය මත නිපන් ඥානධාරාවන්ට සම්බුද්ධික නවීන විද්‍යාත්මක දැනුමට වඩා අනුත්තරවූ ප්‍රභවයක් ඇත්තේයැයි තර්ක කිරීමද මෙම ප්‍රවනතාවයේම ආනුෂාංගික කොටසකි.
කෙසේවුවද මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ‘බටහිර’ වටිනාකම් මත බිහිවූකැයි කෙරෙන තර්කයට මූලික වන හේතු දෙකක් ඇති බැවින් ඒ ගැන විමසා බැලිය යුතුය. ඉන් පළමුවන කරුණ විශ්ව ප්‍රකාශනය බිහිවීමට තුඩුදුන් එක්සත් ජාතීන්ගේ කතිකාව පවතින අවධියේ බොහෝ යටත් විජිත, විශේෂයෙන්ම සහරා උපකලාපයේ අප්‍රිකානු රටවල්, එම සාකච්ඡාව තුළ නියෝජනය නොවූ බවය. දෙවැන්න විශ්ව ප්‍රකාශනයේ සඳහන් බොහෝ අයිතීන් යුරෝපීය හා උතුරු දකුණු අමෙරිකානු අයිතිතිවාසිකම් ප්‍රකාශන වල කලක සිටම සඳහන්ව තිබීමයි. මේ කරුණු දෙකම සත්‍යයවේ. එහෙත් ඒනිසාම විශ්ව ප්‍රකාශනයේ විශ්ව සාධාරණ බව කෙසේ කෙලෙසේද?
1948 වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ බොහෝ අප්‍රිකානු රටවල් හා ඇතැම් ආසියානු රටවල්ද ඇතුළත්ව ලෝක ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් නියෝජනය නොවීය. දෙවැනි ලෝක යුද්ධයෙන් පරාජයට පත් වු ජර්මනිය, ඉතාලිය හා ජපානයද එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ නියෝජනය නොවීය. එහෙත් විවිධ කලාපවලින් පැමිණි නියෝජිතයන් විශ්ව ප්‍රකාශනය සම්පාදනය කිරීමට දායක වූ අයුරු සලකා බැලු විට බටහිර නොවන රටවල සහභාගිත්වය කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකි බව පෙනේ. විශ්ව ප්‍රකාශනය සම්පාදනය කිරීමට ඉමහත් දායකත්වයක් ලබාදුන් පී.සී චැන්ග්, චාර්ල්ස් මලික්, රොමියුලෝ, මේතා හා සාන්ත කෘස් වැනි පුරෝගාමීන් සංවර්ධනය වෙමින් පවතින රටවලින් පැමිණි නියෝජිතයෝවූහ. ප්‍රකාශනයේ වගන්තියක් වගන්තියක් පාසා විමසා විවරණය කළ තුන්වැනි කාරක සභාවේ විවාදයට සහභාගිවූවෝ බහුවිධ සංස්කාතීන්ට අයත් වූහ. යුරෝපීය හා උතුරු අමෙරිකානු රටවලට අමතරව ආසියාවෙන් සහභාගිව සිටි චීනය, ඉන්දියාව, පකිස්තානය, වැනි ප්‍රධාන රටවල් සහ බුරුමය, පිලිපීනය හා තායිලන්තය වැනි රටවල්ද කතිකාවේ කැපී පෙනෙන දායකයෝ වුහ. ඉස්ලාම් සංස්කෘතිය නියෝජනය කළ රටවලින් සහභාගිවුවන්ට ඇෆ්ගනිස්තානය, ඊජිප්තුව, ඉරානය, ඉරාකය, පකිස්තානය, සවුදි අරාබිය, සිරියාව, තුර්කිය හා යේමනයෙන් පැමිණි නියෝජිතයෝ අයත් වූහ. වර්ණභේදවාදි දකුණු අප්‍රිකාව හැරෙන විට අප්‍රිකා මහාද්විපය නියෝජනය කරමින් ඉතියෝපියාව, ලයිබීරියාව හා ඊජිප්තුව තුන්වැනි කාරක සභාවේ තීරණාත්මක කතිකාවට මැදිහත් වීය. යුරෝපයෙන් පැමිණි රටවල් හයක්ම සෝවියට් පිලට අයත් වූ බටහිර විරෝධීන් වශයෙන් සැලකිය හැක. කතිකා කිරීම හා කෙටුම්පත් කිරීමේ සිට සම්මත කිරීම දක්වාවූ දෑවුරුද්දක් තුළදී නොයෙක් අවස්ථාවන්ට විවිධ පසුබිම් නියෝජනය කළ සිය ගණනක් පුද්ගලයෝ මානව අයිතිවාසිකම් නිර්ණය කිරීමට සහභාගි වූහ. චාල්ස් මලික්ගේ සඳහන් කළ පරිදි සම්භවය අතින් ගත් විට විශ්ව ප්‍රකාශනයේ “හැම වගන්තියක්ම හා හැම වැකියක්ම තීන්දු වූයේ විවිධාකාර චිත්ත චෛතසිකයන්, අවශ්‍යතාවයන්, පසුබිම්, නීති සම්ප්‍රදායන් හා මතවාදී ආස්ථානයන් ගෙන් සමන්විත ඉමහත් ගතික ස්වභාවයකින් යුත් කතිකා ක්‍රියායනයක් තුළිනි˝ .
විශ්ව ප්‍රකාශනයේ දෙවියන් වහන්සේ ගැන සඳහනක් තිබිය යුතුයැයි වරෙක යෝජනා කොට එය ඉත සිතින් ඉල්ලා අස්කරගත් බ්‍රසීල නියෝජිත පිරිසට අයත් බෙලාර්මිනො ඩි අතයදේ අවසානයේදී තුන්වැනි කාරක සභාව අමතමින්, මේ විශ්ව ප්‍රකාශනය කිසියම් තනි පුදගලයෙකුගේ හෝ සුවිහේෂ සමුහයකගේ අභීමතය පරදි හෝ කිසියම් විශේෂිත දාර්ශනික හෝ දේශපාලනික පදනමකට සීමා වූ වක් නොවීම ගැන තමා ඉතා සතුටු වන අතර බොහෝ ජාතීන්ගේ සාමුහික ප්‍රත්නයක් වීම විශ්ව ප්‍රකාශනයට ප්‍රබල සදාචාරාත්මක අධිකාරියක් ඇතිවීමට හේතුවක් වන බව ප්‍රකාශ කළේය.
විශ්ව ප්‍රකාශනය සම්පාදනය කිරීම සඳහා ලොව හැම රටකටම අවස්ථාව නොලැබුණ බව සැබවකි. එහෙත් යුනෙස්කෝව මගින් මෙහෙයවු මානව අයිතිවාසිකම් පිළිබඳ දාර්ශනික විවරණයට සහභාගි වූ බොහෝ රටවලට අයත් විවිධ විද්‍යාර්ථීන් මානව අයතිවාසිකම් පිළිබඳ ඇතැම් මූලික ප්‍රායොගික සංකල්ප කොතරම් පෘථුල ලෙස පැතිරී ඇත්දැයි කිවහොත් “ඒවා සමාජයක සාමාජිකයෙකු වශයෙන් මනුෂ්‍යන්ට ස්වභාවයෙන්ම උරුම වූ සේ සැලකිය හැකිය” යනුවෙන් නිගමනය කළහ.
විශ්ව ප්‍රකාශනය හුදෙක් බටහිර බලපෑමේ මෙවලමක් වශයෙන් බිහිවු ලේඛනයකි යන දුර්මතයට තුඩුදුන් තවත් එක් හේතුවක් වූයේ අයිතිවාසිකම් අරභයා බටහිර රටවල වැසියන් කළ අරගල ගැන දැනුවත් කතිකාවක් අන් රටවල ඇති නොවීමයි. මිසදිටුවන් වශයෙන් හංවඩු ගසා පල්ලියයෙන් වරලත් සංවික්ෂණ (Inquisition) යටතේ මනුෂ්‍යන් අමානුෂික දඩුවම් වලට ලක්කිරීම 18 වැනි සියවස එළඹෙන තෙක්ම යුරෝපයේ ඇතැම් රටවල පැවැතුණි. අතිශයින් දරුණු වද හිංසා වලට ලක් කොට ලබාගත් පාපෝච්චාරණයන් ඊනියා මිසදිටුවන් අමු අමුවේ පුලුස්සා මරා දැමීම පිණිස යොදා ගැනීම විශේෂයෙන්ම මධ්‍යකාලීන යුග වල පැවැති මේ සංවික්ෂණවල සාමාන්‍ය ලක්ෂණය විය. සිය ආගම පිලබඳ වෙනත් මතවාදයන් දැරීමට තැත් කළ බොහෝ යුරෝපීය ජනකොට්ඨාශ වදහිංසනයට හා සමුල ඝාතනයට ලක්වීමට සිදුවිය. ‘රජතුමා තම පරමාධිපත්‍ය ලබාගන්නේ දෙවියන් වහන්සේ ගෙනි’ යන මතය අනුව පවත්වාගෙන ගිය රාජාණ්ඩු සමග එම මතයද නිශ්ප්‍රභ කිරීම සදහා 1649 එංගලන්තයේ පළමුවෙනි චාල්ස් රජුගේ හිස ගසා දැමීමේ සිට බටහිර වැසියෝ සටන් කළහ. මේ නිසා බටහිර අයිතිවාසිකම් ප්‍රකාශනවල අන්තර්ගත වටිනාකම් ඒ අයුරින් බිහිවූයේ ඇයිදැයි විමසීමට මෙකී අරගලද දැනුවත්ව විමසිය යුතුය.
මානව අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය යුරෝපීය පුනරුදයේ ඵලයක් බවට ඇතැමුන් තර්ක කළද පුනරුදය නිසා බිහිවු යුරෝපීය චින්තනය මුළුමනින්ම සමජාතීය එකක් නොවීය. උදාරණයක් වශයෙන් ගත් විට බ්‍රිතාන්‍ය දාර්ශනිකයෙකු හා නීති ප්‍රතිසංස්කාරකයෙකු වූ ජෙරමි බෙන්තම් (1748-1832) මනුෂ්‍යන්ට ස්වභාවයෙන්ම උරුම වන පුද්ගලික අයිතීන් ඇත්තේය යන අදහස අවඥාවෙන් බැහැර කළේය. බෙන්තම්ට අනුව මිනිසාගේ චර්යාව තීරණය කරන්නේ ඔහුට මුහුණදීමට සිදුවන වේදනාව හා සංතෝෂය පිළිබඳ හැඟීම මතය. වේදනාව හා සංතෝෂය මනුෂ්‍යයන්ගේ ස්වෛරී පාලකයන් බව කියා සිටි බෙන්තම් මනුෂයන් වේදනාව අප්‍රිය කරන බවත් සංතෝෂය ප්‍රියකරන බවත් පෙන්වා දුන්නේය. මේ අනුව සදාචාරය හා දේශපාලනය වනාහී සංතෝෂය වැඩිකරගැනීමේ උපයෝගිතාවය පිළිබඳ ප්‍රශ්ණයක් බව තර්ක කළ කල බෙන්තම් එයට අනුව රජයේ කාර්ය රටක ප්‍රජාව සමස්තයක් වශයෙන් ගෙන කිනම් ආකාරයකින් හෝ බහුතරයේ සංතෝෂය වැඩිකිරීමයැයි කියා සිටියේය . ප්‍රජාව යන ප්‍රබන්ධය එය සංයුක්තවී ඇති තනි පුද්ගලයන්ගේ එකතුවක් බව පෙන්වාදුන් බෙන්තම් සදාචාරය පිළිබඳ සමාජය තුළ ඇතිවන සියළු මතභේද බහුතරයේ වේදනාව අඩුකොට සංතෝෂය වැඩිකරගැනීමේ ක්‍රියාමාර්ග ගැන ඇතිවන විසම්මුති බව ප්‍රකාශ කළේය. බෙන්තම්ගේ උපයෝගිතාවාදය පිළිබඳ ඇති උග්‍රතම විවේචනය මනුෂ්‍යාගේ ස්වීයත්වයට වඩා ප්‍රජා සංතෝෂයේ සමස්ත ඓක්‍යය අවධාරණය කිරිමෙන් පුද්ගල අයිතීන්ට ගරුකිරීම බෙන්තම් විසින් මුළුමනින්ම නොසලකා හරින ලද බවයි. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසමේ විවාද වලදී සෝවියට් පිල අනුදත් ඇතැම් තර්කද ‘ආසියානු වටිනාකම්’ පිළිබඳ රාජ්‍ය මතයද මේ හා සමානව සමස්ත ප්‍රජාවගේ සංතෝෂය උදෙසා උපයෝගිතාවය අනුව පුද්ගල නිදහස හා අයතිවාසිකම් කැපකිරීමට සිදුවන්නේය යන අදහස පිළිඹිඹු කරයි.
අනෙක් අතට යුරෝපීය පුනරුදයේ තවත් ඵලයක් වශයෙන් සැලැකිය හැකි එමානුවෙල් කාන්ට් (1724-1804) අයිතීන් හා යුතුකම් විග්‍රහ කළේ බෙන්තම්ගේ උපයෝගිතාවාදයට වඩා වෙනස් ආකාරයටය. කාන්ට්ට අනුව අයිතීන් හා යුතුකම් පුද්ගලයෙකුට නිසර්ගයෙන්ම හිමි වන ඒවා වශයෙන් විග්‍රහ කළ නොහැක. ඒ අයිතීන් හා යුතුකම් අපට හිමිවිය යුතු හේතුව අන් කිසිවක් නොව අප යුතු අයුතුකම් තේරෙන අභිමානවත් සම්බුද්ධික (Rational) මනුෂ්‍යන්වීමත් ඒනිසා ස්වමතය අනුව කටයුතු කිරීමේ හැකියාව අපට ඇති නිසාත්ය. හැම විටම අප සම්බුද්ධිකයන් ලෙස හැසිරෙන බවක් කාන්ට් මෙයින් අදහස් නොකරයි. සම්බුද්ධිකයන් වීමට අපට හැකිවන්නේ සම්බුද්ධික ලෙස කටයුතු කිරීමට අපට නිදහස ඇති විටය. සම්බුද්ධිකයන් වීම පමණක් නොව සංතෝෂය හා වේදනාව පිළිබඳ සචේතනික වීමේ හැකියාවද මනුෂයන්ට ඇති බව ඔහු පිළිගනී. බෙන්තම්ගේ අදහස් යම් පමණකට සත්‍ය විය හැකි වුවද කාන්ට්ට අනුව සංතෝෂය හා වේදනාව අපේ එකම සෛවරී පාලකයන් ලෙස සැලකීම මුළුමනින්ම වැරදිය. කාන්ට්ගේ මතයට අනුව බොහෝ විට සම්බුද්ධියද අපේ සෛවරී පාලකයා වෙයි. අපේ අභිමතාර්ථ සම්බුද්ධිය මගින් තීරණය කරන විට අප කටයුතු කරන්නේ හුදෙක් වේදනාව බැහැර කොට සංතෝෂය ළඟා කරගැනීමේ අදහසින්ම නොවේ. සම්බුද්ධිය සඳහා අපට ඇති හැකියාව තීරණය වන්නේ අප සතු නිදහස මතය. අප තිරිසනුන්ගෙන් කැපීපෙනෙන ලෙස වෙන් වන්නේ මේ සුවිශේෂ සම්බුද්ධික හැකියාව නිසාය.
කෙනෙකුගේ හැසිරීම හුදෙක් ඔහුගේ ජීව විද්‍යාත්මක හෝ සමාජමය අවශ්‍යතා නිසාම තීරණය වන්නේ නම් එම පුද්ගලයා නිදහස් පුදගලයෙක් නොවන බව කාන්ට් පවසයි. නිදහස්ව හැසිරීම කාන්ට්ට අනුව ස්වීයත්වය මත තීරණය වන්නකි. කාන්ට් අදහස් කරන පරිදි ස්වීයත්වය යනු හුදෙක් තමා විසින්ම සම්බුද්ධිකව තීරණය කොට අනුගමනය කරන නීතිය හා සදාචාරය අනුව ජීවත් වීම මිස ස්වභාධර්මය හෝ සමාජය විසින් තමා වෙත බලෙන් පටවන විධාන අනුව ජීවත්වීම නොවේ.
සැකෙවින් දැක්වු බෙන්තම්ගේ හා කාන්ට්ගේ මේ එකිනෙකට වෙනස් අදහස් බටහිර මතවාද සමජාතීය නොවන බවට නිදර්ශණයෝය.
1998දි අමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ මානව අයිතිවාසිකම් පිළිබඳව පැවැති සම්මේලනයකදී කීනියානු ජාතික ආචාර්ය මකාවු මුටුවා විශ්ව ප්‍රකාශනය බටහිර චින්තනය අන්රටවලට බලහත්කාරයෙන් පැටවීමට කළ වෑයමකයි තර්ක කළේය. චීන විසම්මුතිකයෙකු වශයෙන් සම්මේලනයට සහභාගි වූ ෂියාවෝ කියැන්ග් එයට පිළිතුරු වශයෙන් මෙසේ පැවසීය. “ඔය තර්කය ඔය ආකාරයෙන්ම චීනයෙන්ද, බුරුමයෙන්ද, උතුරු කොරියාවෙන්ද මම අසා ඇත්තෙමි. සම්භවය අතින් සැලකු විට මානව අයිතිවාසිකම් පිළිබඳ මතය බටහිරට අයත් බව මම පිළිගනිමි. කොමියුනිස්ට් වාදයද එසේමය. එහෙත් මේ කාරණය ගැන තර්ක කිරීමේදී කිසිදු චකිතයකින් තොරව ස්වකීය මතය ප්‍රකාශ කිරීමේ සැපත ඔබට ලැබුණේ කෙසේද?. පවතින අනුදත් මතයට වෙනස් මතයක් ඔබ චීනයේදී ප්‍රකාශ කළහොත් එය සිරභාරයට පත් කිරීමට හේතුවක් වන්නේය. එවිට මෙම අයිතීන්ගේ සම්භවය අමෙරිකානුද නැතහොත් චීනයේදැයි සොයමින් කරදර වෙනවාට වඩා ඔබේ අයිතීන් ඉල්ලා සිටීමට ඔබ ක්‍රියා කරනු ඇත.˝
මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ බටහිර සම්භවයක් තිබුණද එය අන් කලාපවල ජනතාවගේ කම්පාවට හේතුවක් නොවිය යුතු බවට තර්ක කරන එක් විචාරකයෙකි දැන් කැනඩාවේ ප්‍රකට දේශපාලඥයෙකු බවට පත්ව සිටින මයිකල් ඉග්නාටියෙෆ් . ඔහු පෙන්වා දෙන පරිදි විශ්ව ප්‍රකාශනය බටහිර බලපෑම පිළිබඳ ප්‍රකාශනයක් නොව හුදෙක්ම දෙවන ලෝක මහා යුද්ධයේදි බටහිර රටවලට මුහුණ දීමට සිදුවූ අති අමානුෂික සන්ත්‍රාස ජනක සිදුවීම් නිසා බිහිවුවකි. ඒ අනුව විශ්ව ප්‍රකාශනය වනාහී කුරිරු ජනඝාතය වැළැක්වීමට බටහිර රටවල් අසමත්වීම පිළිබඳ කෙරුණු අවංක හා වේදනා ජනක පාපෝච්චාරණයක් බව ඔහු අදහස් කරයි. විශ්ව ප්‍රකාශනයේ එන මානව නිදහස පිළිබඳ ඇතැම් අදහස් බටහිර පුනරුදයෙන් ආභාශය ලැබුවක් විය හැකි වුවද එය සම්පාදනය වූයේ නාසිමාමාකවාදය නිසා බටහිර පුනරුදය පිළිබඳ විශ්වාසය එහි උච්චතම අර්බුදයට මුහුණ දුන් අවස්ථාවේදීය. මේ අනුව මානව අයිතිවාසිකම් යනු යුරෝපීය සභ්‍යත්වයේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ ප්‍රකාශනයක් වශයෙන් පිළිගැනීමට වඩා කළ යුත්තේ එය යුරෝපයේ සිදුවූ ප්‍රමාද දෝෂ නිසා ඇතිවු ව්‍යසන කල්තබා වලක්වා ගැනීම සඳහා අවශේෂ ලෝකයාට කළ අනතුරු හැඟවීමක් වශයෙන් සැලකීමයි. ඉග්නාටියෙෆ්ට අනුව මෙහිදී බටහිර රටවල අසමත් බව පිළිගැනීම මානව අයිතිවාසිකම් බටහිර වටිනාකම්වලින් බිහිවූවක් බව ප්‍රතික්ෂේප කිරීමක් නොවේ. මේ සියළු වටිනාකම් අතරින් ඉහළම වටිනාකම වන සමාජයක බලගතු පරිපීඩකයන්ගෙන් පුද්ගලයා ආරක්ෂා කිරීම මුළුමනින්ම බටහිර සංකල්පයක් විය හැක. එසේ වුවද වර්තමානයේ එය විශ්ව සාධාරණ වටිනා කමක් බවට පත්වී අවසාන බව ඔහු පෙන්වා දෙයි. එය විශ්ව සාධාරණ වටිනාකමක් බවට පත්ව ඇත්තේ ලොවපුරා බල විරහිත ජනතාව සිය හඬ නැංවීම සඳහා බලගතු කිරීම නිසාය. ඇතැමුන් අවතක්සේරුවට ලක්කරන පරිදි මානව අයිතිවාසිකම් යනු බටහිර ජීවන ක්‍රමය අන් අයමත බලෙන් පටවන මෙවලමක් නොවේ. මානව අයිතිවාසිකම් තුළ දකිනු ලබන පුද්ගල ස්වීයත්වය මගින් අවශේෂ සංස්කෘතින් බැහැර කිරීමට කිසිදු පුද්ගලයෙකුට බල නොකරයි. ඒ වෙනුවට එමගින් කරන්නේ සුදුස්ස තෝරාගැනීම හෝ නොගැනීම සඳහා තම අභිමතය අනුව කටයුතු කිරීමට පුද්ගලයා සවිඥානිකව සන්නද්ධ කිරීමයි.
බලකාමී දේශපාලන ඕනෑ එපාකම් මත මානව අයතිවාසිකම් නොතැකීම හුවා දැක්වීම සදාචාරය පිළිබඳ විශ්ව සාධාරණ සත්‍යක් නොමැත්තේයැයි තර්ක කරන අයගේ ප්‍රියතම මාතෘකාවකි. මනුෂ්‍යන්ට සත්‍ය ග්‍රහණය කරගතහැක්කේ අසම්පුර්ණවයැයි කීම එක් දෙයකි. එහෙත් කිසිදු සත්‍යයක් නැතියැයි පැවසීම ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයකි. හැනා අරෙන්ඩ්ට් තර්ක කළ පරිදි “ ඒකාධිපති රජයකට අතිශයින් සුදුසු යටත් වැසියා යනු සවිඥාණික නාසිවාදියා හෝ සවිඥාණික කොමියුනිස්ට් වාදියා නොව ඇතිතතු හා ප්‍රබන්ධය අතරත් සත්‍යය හා අසත්‍යය අතරත් සැලකිය යුතු වෙනසක් තවදුරටත් නොමැත්තේයැයි අදහන සාමාන්‍ය ජනතාවෝය.“
භාෂා හා ආගම් මෙන්ම මානව සමාජයන් තුළ ඇති වටිනාකම්, ඇදහිලි, සම්ප්‍රදා, සිරිත් විරිත් සහ හැසිරීම් බහුවිධ ස්වරූපයක් ගැනීම ස්වභාවයකි. එහෙත් ඒ වෙනස්කම් කිසිවක් නිසා හෝ මනුෂ්‍යයාගේ මූලික අවශ්‍යතා වෙනස් නොවේ. කොතෙක් වෙනස්කම් තිබුණද කවර තැනක විසුවද මනුෂ්‍යා හෝමෝ සේපියන් නමැති එකම ජීව විද්‍යාත්මක වර්ගයකට අයත්වේ. මනුෂ්‍යන් වෙත ආරොපණය කර ඇති සංස්කෘතික වෙනස්කම් වලට මනුෂ්‍යන් සතු පොදු ලක්ෂණ අභිබවා යා නෙහැක. සියළු මනුෂ්‍යයෝ වේදනාව, සංවේගය, විප්පයෝගය, පිපාසය, කුසගින්න ඇතුළු විහීනතා ගණනාවක් එකම ආකාරයට විඳගන්නෝය, සංවේදනය කරන්නෝය. ඒ නිසා බලගතු අයට හිතු මනාපයේ මනුෂ්‍යන් මරාදැමීමට, වදහිංසනයට ලක් කිරීමට, අත්තනෝමතිකව අත් අඩංගුවට ගැනීමට, අතුරුදහන් කිරීමට ඉඩ තිබීම සාමාන්‍ය දෙයක් බව කිනම් දේශයක වෙසෙන වැසියෙකුට වුවද පිළිගත නොහැකිය. ඇතැම් විටෙක අත්තනෝමතික බලය හමුවේ කරකියා ගැනීමට දෙයක් නැති විය හැක. එහෙත් අත්ත්නෝමතික බලයට යටත්වීම හා අත්තනෝමතික බලය සදාචාරාත්මකව අනුමත කිරීම එකිනෙකට බෙහෙවින් වෙනස් දෑය.
විශ්ව ප්‍රකාශනයේ නිර්මාතෘන් එම ප්‍රකාශනය මනුෂ්‍ය වර්ගයා හෝ මානුෂ්‍ය අයිතිවාසිකම් පිළිබඳ අවසාන පරම සත්‍යයැයි විශ්වාස නොකළ අතර ඉතා අසීරු කතිකා හා කේවල් කිරීම් යටතේ සම්පාදනය කළ ඒ ලියැවිල්ල මානව අයිතිවාසිකම් පිළිබඳ අවසාන නිර්වචනය වේයැයිද ප්‍රකාශ නොකළෝය. 1948 දෙසැම්බර් 9 වෙනි දින අවසාන විවාදයට සහභාගිවෙමින් විශ්ව ප්‍රකාශනය අනුදත් බොහෝ කර්‍ථකයෝ විශව ප්‍රකාශනය පරිසමාප්ත ලේඛනයක් නොවන්නේ යැයිද පෙන්වා දුන්නේය. විවාදයේදී විශ්ව ප්‍රකාශනය සම්බන්ධයෙන් බහුලව යෙදුනු රූපකය වූයේ එය මානව ඉතිහාසයේ වැදගත් ‘මංසලකුණක්’ බවයි. ප්‍රකාශනයේ සඳහන් වන අයිතින් ක්‍රියාවට නැංවීම පිළිබඳ අත්දැකීම් තුළින් මනුෂ්‍යා සතු මනුෂය්‍යාත්මභාවයේ අභිමානයත් හා අන් මනුෂ්‍යයන් සම්බන්ධයෙන් සහෝදරත්වයෙන් සැලකීමත් උද්දීපනය වනු ඇතැයි ඔවුහු විශ්වාස කළහ. විශ්ව ප්‍රකාශනයේ අරමුණ මානව අයිතිවාසිකම් කඩ කරන්නන්ට දඬුවම් දීම නොව මානව අයිතිවාසිකම් සුරැකීමට හා මානව අයිතිවාසිකම් වලට ගරුකිරීමට සියල්ලන්ම පෙළඹවීමයයැයි පි.සී. චැන්ග් කියා සිටියේය. 1948 දෙසැම්බර් 9 දින මහා මණ්ඩලය ආමන්ත්‍රණය කළ එලිනෝර් රූස්වෙල්ට් සිය කථාව ඇරඹුවේ පුවත්පත් කලාවේදියෙකු වූ ග්ලැඩ්ස්ටෝන් මරේගේ උද්ධෘතයකිනි: “ ප්‍රධාන කාරණය වන්නේ මනුෂ්‍යා යනු සදාචාරමාමක සත්වයෙක් බවයි. ඒ සම්බන්ධයෙන් අප වෙත පතිතවන ආලෝකය දීප්තිමත් නොවූවද එය උද්දීප්තිමත් කිරීම සඳහා අප නිරන්තරයෙන්ම කටයුතු කළ යුතු බැවින් පවතින දීප්තියේ අඩුපාඩු කම් ගැන සිතමින් උකටලීව සිටිය යුතු නැත.˝
මානව අයිතිවාසිකම් යන සංකල්පයට පදනම් වන්නේ අප සියළු දෙනාම අයත් වන මනුෂ්‍යාත්මභාවයයි. මානව අයිතිවාසිකම් අපට හිමිවන්නේ අප කිසියම් රටක නීත්‍යානුකූල රටවැසියන් වීම නිසා හෝ කිසියම් ජාතියක සාමාජිකයන් වීම නිසා නොව එම අයිතීන් සියළු මනුෂ්‍යන් විසින් සහජයෙන් උරුම කරගනු ලැබූ බවට ඇති විශ්වාසය මතයි. එම නිසා මානව අයිතිවාසිකම් යනු නිදහස පිළිබඳ ප්‍රංශ හා ඇමෙරිකානු නිදහස් ප්‍රකාශ මගින් පිරිසිඳ ගත් හෝ කිසියම් රටක ව්‍යවස්ථාව මගින් හෝ සහතික කරනු ලැබූ පුරවැසි අයිතීන්ට වඩා වෙනස් පදනමක් මත නිෂ්පන්න වූ අයිතීන්ය. උදාහරණයක් වශයෙන් ගත් විට තමන් පුරවැසි භාවය දරන රට කුමක් වුවද ලෝකයේ ඕනෑම තැනකදී වදහිංසනයට හෝ ත්‍රස්ත්‍රකල්ලියක ප්‍රහාරයට ලක් නොවී සිටීමට මනුෂ්‍යයෙකුට ඇති අයිතිය අනුල්ලංඝනීය මානව හිමිකමකි. එය ඔහු අයත් රට මගින් සහතික කල දෙයක් හෝ ඔහුගේම රටින් හෝ වෙනත් රටක් මගින් හෝ ලැබෙන සහයෝගය මත තීරණය වන්නක් නොවේ. ඔහු සඳහා එම අයිතිය සුරැකීම මුළු මනුෂ්‍ය සංහතියේම විශ්ව සාධාරණ වගකීමකි. එම නිසා ලෝකයේ කොතැනක හෝ එම අයිතීන් කඩවීමේ තර්ජනයන් ඇතිවන විට මනුෂ්‍යන් විසින් තෝරාපත් කර ගැණුණු සියළු රජයන්ද මනුෂ්‍යයන් විසින් පිහිටුවා ගැණුණු විවිධාකාර ජාත්‍යන්තර හා ජාතික සංවිධානද මැදිහත් වී ඒවා වැළැක්වීමට කටයුතු යෙදීම යුක්ති යුක්තය. මෙය මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය මගින් පමණක් තහවුරු කළ අනූපමේය සංකල්පයකි. විශ්ව ප්‍රකාශනය මානව ඉතිහාසයේ මංසලකුණක් වන්නේ එබැවිනි.