ජනමාධ්‍යකරුගෙන් සමාජය බලාපොරොත්තුවෙන්නේ කුමක්ද?


ජනමාධ්‍යකරුගේ සමාජමය වගකීම කුමක්ද යන ප්‍ර‍ශ්නය සාකච්ඡා කිරීමේදී මගේ අදහස වන්නේ පුවත් කලාවේ නියැලෙන ජනමාධ්‍ය කරුවන්ගේ වෘත්තීය කාර්යභාරය විමසීමෙන් මේ ප්‍රශ්නය පිළිබද සාකච්ඡාවට පිවිසිය යුතුබවයි. එහෙත් ජනමාධ්‍යය ආයතන වල අරමුණු, අයිතිකරුවන්ගේ අභිමතාර්ථ හා සංලේඛ්‍ය නිදහස (editorial independence), පුවත් කලාවේදීන්ට වෘත්තිකයන් වශයෙන් සංවිධානය වීමට ඇති අයිතිය, ඔවුන්ගේ වැටුප් හා සේවා කොන්දේසි, මෙන්ම මාධ්‍ය නිදහස, මාධ්‍ය බහුවිධත්වය සහ මහජනසේවාව ප්‍ර‍මුඛකරගත් ඵලදායී ස්වයං නියාමන හෝ සහ-නියාමන යාන්ත්‍ර‍ණ (self or co-regulatory mechanisms) වැනි අවශේෂ කරුණුද මෙහිදී සාකච්ඡා කළ යුතුය. කෙසේ වෙතත් ජනමාධ්‍ය කරුවාගේ වෘත්තීය වගවීම පිළිබද නිසි අවබෝධයකින් තොරව ඒ වගවීම ඉටු කිරීමට බාධාවන සාධක හඳුනා ගැනීම අපහසු බැවින් මගේ ප්‍රවේශයේ මුලික අරමුණ මුලින්ම ජනමාධ්‍ය කරුගේ වෘත්තීය වගවීම පිළිබඳව සාකච්ඡා කිරීමයි.

ජනමාධ්‍යකරුගේ වෘත්තීය වගකීම ඉටු කිරීමේ කටයුත්ත කෙතෙක් දුරට අදීනව, බියකින් තොරව ඉහළ වෘත්තීය මට්ටමකින් කළ හැකිද? යන්න නිදහස්-ස්වාධීන ජනමාධ්‍යයේ පැවැත්ම පිළිබඳ මූලික ප්‍රශ්නයකි. මෙහිදී එක් මූලික ප්‍රශ්නයක් වී ඇත්තේ ජනමාධ්‍යයක මූලික කාර්ය භාරය පිළිබඳව ආණ්ඩු කරන අයද ආණ්ඩු කිරීමට කැමැති අයද මෙන්ම ආණ්ඩුවෙන අයද ඇතුළුව මුළු ජනසමාජයේ වැඩි කොටසක් තුළ ඇති දුරවබෝධය හා ඒ නිසා ඇතැම් ජනමාධ්‍යවේදීන් අතර සිය භූමිකාව පිළිබඳ ඇති විය හැකි වැරදි වැටහීමයි (wrong role perception).


රටක ප්‍ර‍ධාන ධාරාවේ ජනමාධ්‍ය ආයතනවල යහපත් පුවත් කලා (journalism) භාවිතයකින් තොරව මහජන පරමාධිපත්‍ය තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, මූලික අයිතිවාසිකම් සාක්ෂාත් කරගැනීම, සාධාරණ සර්වජන ඡන්ද ක්‍රමය පවත්වාගැනීම හා පෝෂණය කිරීම කළ නොහැකිය. ජනමාධ්‍ය යනු ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව සිදුකෙරෙන, අදහස් හා තොරතුරු හුවමාරු කෙරෙන, ජන සමාජයේ සාංස්කෘතික ප්‍රකාශන විදහා පෙන්වන වේදිකාවයි. අනෙක් අතට මහජනතාවගේ පරමාධිපත්‍යයේ අරමුණු ඉටුවෙන ලෙස ආණ්ඩුව සිය කටයුතු සම්බන්ධයෙන් මහජනතාවට වගවියයුතු බවට වගබලාගනිමින් මහජන ආයතන මෙන්ම පුද්ගලික අංශයේ ආයතනද ජන සංනිරීක්ෂණයට ලක් කරමින් මහජන යහපත මුල්කොටගත් අද්වීතීය සමාජක්‍රියාධරයෙකු ලෙස ජනමාධ්‍ය කටයුතු කළ යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගැනීමේ හා පෝෂණය කිරීමේදී සුවිශේෂ වශයෙන් ගතහොත් ජනමාධ්‍ය යනු අදහස් ප්‍රකාශ කිරීමට හා තොරතුරු දැන ගැනීමට මහජනතාවට ඇති මූලික අයිතිය සාක්ෂාත් කරගත හැකි ප්‍රධානතම මාර්ගයයි. ඒ නිසා ජනමාධ්‍ය සතු එකී නිදහසේ හා එම නිදහස භාවිතා කිරීමේ දී නිරූපණය වෙන ස්වාධීනත්වයේ හා වෘත්තීය භාවයේ තරම රටක මානව සංවර්ධනයේද මූලික දර්ශකයෙකි.


තොරතුරු දැනගැනීමට අපට ඇති අයිතිය නිසි ලෙස භූක්ති විඳීමට නම් වෘත්තීය ජනමාධ්‍යවේදීන් මතම යැපීමට අපට සිදුවේ. මන්ද අයිතිය අපේ වුවද ඒ අයිතිය භුක්ති විඳීමට අවශ්‍ය කරන ප්‍රවෘත්ති හා තොරතුරු සපයා ගැනීම, ඒවායේ නිරවද්‍යතා විමර්ශනය, තොරතුරු විශ්ලේෂණය හා නිරවුල් ලෙස සන්දර්භගත කොට වාර්තා කිරීම ආදිය සඳහා අවශ්‍ය කරන වෘත්තීයමය හැකියාව අප සියලූ දෙනාටම නැති බැවිනි. හැරත් ඒ තරම් භාරදූර කටයුත්තක් ඉටු කිරීමට තිබිය යුතු පරිචය මෙන්ම ගතකල යුතු කාල වේලාවද, සම්පත්ද අප සියලූ දෙනාටම නැත. මේ නිසා එය මනාව ඉටු කල හැකි ජනමාධ්‍යවේදීන් නම් වෘත්තිකයන් පිරිසක් හා ජනමාධ්‍ය ආයතන ජන සමාජයකට අත්‍යවශ්‍යය. මේ අවශ්‍යතාවය නිසාම ජනමාධ්‍යවේදීන්ට අන් අයට නැති මූලික වරප්‍රසාද දෙකක් ජනසමාජය විසින් පිරිනමා ඇත. ඉන් එකක් නම් තමන්ට තොරතුරු සපයන ප්‍රභවයන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ජනමාධ්‍ය වේදීන්ට ඇති අයිතියයි. ඒ අයිතිය නොමැතිනම් බොහෝවිට බලපුළුවන්කාරයන් සැගවීමට තැත්කරන වැදගත් තොරතුරු හා අකටයුතු එළිදරව් කරදීමට ජනමාධ්‍යවේදීන්ට හැකි නොවේ. මන්ද ජනමාධ්‍යවේදීන්ට රහසිගතව තොරතුරු සපයන අය තම අනන්‍යතාව හෙළිදරව් නොකිරීමේ පොරොන්දුව මත ජනමාධ්‍යවේදීන්ට වැදගත් තොරතුරු සපයන බැවිනි. පොලිස් ආදි විමර්ශන සේවාවන්ට කිසියම් තොරතුරක් අවශ්‍ය නම් එම තොරතුරු ජනමාධ්‍යවේදීන් මගින් නොව පොලිස් දෙපාර්තමේන්තුව මගින් මහජන අරමුදල් භාවිතා කර පවත්වා ගෙන යනු බුද්ධි සේවා යොදා ලබා ගත යුතුය. අසාමාන්‍ය තත්වයක් නොවේනම් ජනමාධ්‍යකරුවන්ට තම තොරතුරු ප්‍රභව ආරක්ෂා කිරීමේ වෘත්තීය වගකීමක් තිබේ. එය සමාජය විසින් අනුදත් වෘත්තීය අයිතියකි.

අනෙක් වැදගත් වරප්‍රසාදය නම් මහජනතාවට සෘජුව හෝ වක්‍රව වැදගත්වන කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා අදාළ අයගෙන් ප්‍රශ්න කර විමසීමට ඇති අයිතියයි. දෙවැනි කී අයිතිය අවහිර කිරිම සඳහා ඇතැම් විට සිය යටත් විජිත ස්වාමීන්ගෙන් උරුම වූ රාජ්‍යරහස් රැකීම වැනි කසිකබල් අණ පනත් කිසිදු හිරිකිතයක් නැතිව යොදා ගැනීමට ඇතැම් ආණ්ඩු පෙළඹෙන නමුත් ජනමාධ්‍ය කරුවන් ඉල්ලන තමන් සතු තොරතුරු නොසඟවා සැපයීම රජයේ සේවකයන්ගේ මූලික වගකීමක් බවට තොරතුරු දැනගැනීම මහජනයා සතු මූලික අයිතියක් වශයෙන් පිළිගැනීම නිසා දැන් වඩාත් තහවුරු වී තිබේ. බියගැන්වීමෙන් මෙන්ම සන්තෝෂම් ලබාදීම මගින්ද තම කාර්ය නිසි ලෙස ඉටුකිරීමෙන් ජනමාධ්‍යවේදීන් වැළැක්වීම තොරතුරු ලබා ගැනීමට අපට ඇති අයිතිය උල්ලංඝණය කරන සමාජවිරෝධී අපරාධයක් වන්නේ ඒ නිසාය.


The Sociology of Journalism නමැති කෘතියේ ආචාර්ය බ්‍ර‍යන් මැක්නෙයා නිර්වචනය කරන පරිදි ජනමාධ්‍යයේදී පුවත් කලාව (journalism) යනුවෙන් අප හදුන්වන්නේ ‘‘අද්‍යතන සමාජයේ ඇති මෙතෙක් හෙළි නොවූ නව ලක්ෂණයක් පිළිබඳ හෙලිදරව්කරමින් එය සත්‍යක් බවට ග්‍රාහකයන්ට ඒත්තු යන සේ ලිඛිතව හෝ ශ්‍රව්‍ය දෘෂ්‍ය ආකාරයෙන් හෝ ඉදිරිපත් කිරීම පිණිස කතෘකරණය (Authored) කරන ලද පෙළක්(Text) සැකසීමයි”. මේ නිර්වචනය තුළ පුවත් කලාවේදී කතෘකරණය යනුවෙන් හැදින්වෙන්නේ නිරවද්‍යතාවය හැකිතාක් දුරට තහවුරු කරගත් කරුණුමය සාක්ෂි මත පිහිටා සත්‍ය වාර්තා කිරීමයි. එය නවකතා කතෘවරයෙකුගේ නිර්මාණාත්මක ප්‍ර‍බන්ධකරණයට වඩා හාත්පසින්ම වෙනස්ය. මන්ද පුවත් කලාවෙන් කරන්නේ ප්‍ර‍බන්ධයකදී මෙන් පරිකල්පනීය ලෝකයකට පාඨකයා කැඳවාගෙනයාමක් නොව යථාවශයෙන්ම සිදුවන එදිනෙදා කටයුතු වලදී සත්‍ය සොයා දැනගැනීමට පාඨකයා කැඳවාගෙන යාමක් වන බැවිනි. එය සත්‍යක්වේෂණය වශයෙන් හැදින්විය හැකියි. විද්‍යාඥයෝද සත්‍යක්වේෂණය කරති. එහෙත් ඒ ස්වාභාවික ලෝකය ගැනයි. නමුත් පුවත්කලාවේදීන් සත්‍යක්වේෂණය කරන්නේ සමාජ ලෝකය ගැනයි. සත්‍ය සොයා යෑමේදී ඇතිවිය හැකි පුද්ගල අගතිගාමී වීම් (personal biases) අවම කිරීම සදහා විද්‍යාඥයෝ සිය නිගමන වලට එළඹෙන්නේ සම්මත විද්‍යාත්මක ක්‍ර‍මවේදයක පිහිටා නිරීක්ෂණ හා පරීක්ෂණ කිරීමෙනි.


සමාජ ලෝකය සත්‍යක්වේෂණය කරන පුවත් කලාවේදීහුද තම පුද්ගල අගතිගාමිවීම් අවම කිරීම පිණිස වෛශයිකත්වය (objedctivity) යනුවෙන් හැදින්වෙන වෘත්තීය ක්‍ර‍මවේදය යොදා ගනිති. මේ ක්‍ර‍මවේදයට අනුව වාර්තා කිරීමේදී කරුණුමය සත්‍ය සහ පුද්ගල මත විමසා එකිනෙකින් වෙන් කොට දැක්විය යුතු අතර විවාදාත්මක කරුණු සාධාරණව ඉදිරිපත් කළයුතුය. එසේ විවාදාත්මක කරුණු සාධාරණව ඉදිරිපත් කළ හැක්කේ අදාල කරුණ පිළිබදව පාඨකයා වෙනුවෙන් අදීන ලෙස ප්‍ර‍ශ්න කොට කරුණු මතු කර ගැනීමෙනි. මේ ක්‍ර‍මවේදයට අයත් අනෙක් වැදගත් අංගය සිය වාර්තාකරණය නිසි තතුදත් අය මගින් තහවුරු කිරීමයි. ඒ අනුව සිද්ධියට පිළිබද අදාල හා තතුදත් පුද්ගලයන්, විෂය පිළිබද ප්‍ර‍මාණිකයන් විමසා වාර්තාකරණයේදී උපුටා දැක්වීම වැදගත් වෙයි. වෛශයිකත්වය පිළිබඳ ක්‍ර‍මවේදය නිසිලෙස අනුගමනය කිරීම පුවත් කලාවේදියාගේ වෘත්තීය වගකීමක් වශෙයෙන් සැලකේ.


කරුණු මෙසේ වුවද ජනමාධ්‍යයේ ආධානග්‍රාහී පක්ෂග්‍රාහීත්වය, ජනමාධ්‍ය කරුවන්ගේ අවෘත්තීය හා අගතිගාමී වාර්තාකණය සමාජමය ගැටලුවක් වශයෙන් වරින්වර තදබල ලෙස මතු විය. එවැනි අවස්තාවලදී ජනමාධ්‍ය කරුවන්, ශ්‍රාස්ත්‍රාලීය බුද්ධිමතුන් හා සමාජක්‍රියාධාරීන් අතරත් ජනමාධ්‍යකරුවන්ගේ සමාජමය වගකීම පිළිබඳ දැනුවත් සාකච්ඡාවක් ඇතිවිය යුතුය. උදාහරණයක් මගින් මේ සම්බන්ධව අවධානය යොමු කිරීමට මම කැමැත්තෙමි.


2003 දී අමෙරිකාවේ ජෝර්ජ්බුෂ් ජනාධිපතිවරයා ඉරාක ආක්‍ර‍මණය කිරීමේ තීරණය සාධාරණීයකරණය කිරීමට හේතුවක් වශයෙන් දැක්වූයේ අමෙරිකානු ජනතාවවට එරෙහිව භාවිතා කළ හැකි සමූල ඝාතනීය ආයුධ සදාම් හුසේන් සතුව පවතින බවත් ඒවා භාවිත කිරීමෙන් වැලක්වීමට කල්තියා ඉරාකයට පහරදීම අන්ත්ර්ජාතික නීතියට පටහැනි නොවන බවත්ය. එහෙත් යුද්ධයෙන් පසුව තහවුරු වූ අන්දමට එවැනි සමූලඝාතනීය ආයුධ ඉරාකය සතු බවට සාධක තිබෙන බවක් එක්සත් ජාතීන්ගේ ආයුධ පරීක්ෂකයන්ගේ සමීක්ෂණ වලින් එලිදරව් වී නොතිබුනි. අමෙරිකාව විසින් ඉරාකය ආක්‍ර‍මණය කරනු ලැබීම අන්තර් ජාතික නීතියට පටහැනි බව එක්සත් ජාතීන්ගේ මහා ලේකම් කොෆි අනාන් ප්‍ර‍කාශ කළේය. බුෂ්ගේ මතය අනුමත කල බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර්ට එරෙහිව ඔහුගේ රජයේ විදේශ ඇමැති රොබින් කුක් ඉල්ලා අස්වූ අතර ප්‍ර‍න්ස ජනාධිපති ජැක් චිරාක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ඉරාක ආක්‍ර‍මණයට එරෙහිව කතා කිරීම පිනිස සිය විදේශ ඇමැති වරයා යැවීය.


ඒ කෙසේ වුවද අමෙරිකාවේ ප්‍ර‍ධාන ජනමාධ්‍ය බොහෝමයක්ම කිසිදු වෘත්තීය විචාරයකින් තොරව බුෂ් ජනාධිපතිවරයාගේ මතය සමාජ ගත කිරීම සදහා කටයුතු කළේය. 3000 කට කිට්ටු ජීවිත රැසක් විනාශ කරමින් නිව්යෝක්හි ලෝක වෙළද මධ්‍යස්තානයට එල්ලවූ ත්‍ර‍ස්ත ප්‍ර‍හාරය නිසා වික්ෂිප්තව සිටි අමෙරිකානු ජනතාව අතර මේ අවිචාරශීලී මතය පහසුවෙන්ම තහවුරු කළ හැකිවිය. මෙහිදී ‍ෆොක්ස් නිව්ස් වැනි දක්ෂිණාංශික නැඹුරුවක් ඇති මාධ්‍ය බුෂ් ජනාධිපතිවරයාගේ මතය සමාජ ගත කිරීමේ ලා ඉදිරියේන්ම සිටියේය. මාධ්‍ය යොදා විසම්මුතික මතවාද ගැරහීම විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි ලේකම් කොෆි අනාන්ට එරෙහිව අවලාද අවමාන වැපිරීම ජනාධිපති බුෂ්ගේ යුධවාදයේ එක් උපක්‍ර‍මයක් විය.


කෙසේ වෙතත් ඉරාක ආක්‍ර‍මණයෙන් පසුව සදාම් හුසේන් සතුව අර කියූ සමූල ඝාතනීය ආයුධ තිබූ බවක් තහවුරු කිරීමට අමෙරිකාව අපොහොසත්විය. ආක්‍ර‍මණය සාධාරණීය කරණය කිරීමට නොහැකි වුවත් ඉරාක යුද්ධය පැවැති 2003 -2011 දක්වා කාලය තුළ අමෙරිකානු තරුණයන් 4000 කට අධික සංඛ්‍යාවක් සහ ඉරාක සිවිල් වැසියන් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් යුද්ධය නිසා ජීවිතක්ෂයට පත්විය. ඉරාකය සිරියාව වැනි රටවල් කඩා වැටුනු අතර අයි එස් එස් වැනි ත්‍ර‍ස්ත්‍ර‍වාදි ව්‍යාපාර ඉරාකය හා සිරියාවේ බල රික්තය සියතට ගත්තේය. සමුල ඝාතනීය ආයුධ ඉරාකය සතු නැති බව දැනගත් විට ඇමෙරිකානු ජනමාධ්‍ය කරුවෝ සහ ඇතැම් ශ්‍රාස්ත්‍රාලීය බුද්ධි මතුන් ඇමෙරිකානු ජනමාධ්‍ය සිය සමාජමය වගකීම අතහැර කිසිදු විචාරයකින් තොරව බුෂ්ගේ යුදවාදී ප්‍ර‍චාරයට අනුගතවීමෙන් සිය පාඨකයන් නොමග යැවූ බවත් මේ අනුව ජනමාධ්‍ය කරුවන් තම සමාජමය වගකීම නැවත් සාකච්ඡාවට ලක් කළ යුතුබවත් පැවසීය. මේ කරුණ සංවාදයට ලක්කිරීම පිණිස කොළොම්බියා විශ්ව විද්‍යාලයේ පුවත්කලා කොලීජියේ මහාචාර්ය ජේම්ස් කැරේගේ මෙහෙයවීමෙන් ජේෂඨ ජනමාධ්‍ය වේදීන් පිරිසක් පොයින්ටර් ආයතනය හරහා දීර්ඝ සාකච්ඡාවක් පවත්වාගෙන ගොස් ජනමාධ්‍ය කරුවන්ගේ සමාජ වගකීම පිළිබද සය වැදෑරුම් ප්‍ර‍මිතීන් ඉදිරිපත් කළේය. මේ වගකීම් සැම ජනමාධ්‍යවේදියෙකු ජනමාධ්‍ය ආචාර්ය වරයෙකු විසින්ම කියවිය යුතු, ටිම් රොසෙන්තාල් හා බිල් කොවැක් විසින් ලියූ Elements of Journalism කෘතියේ සවිස්තරව සටහන් කර ඇත.


ඒ අනුව ප්‍රථම ප්‍රමිතිය වන්නේ පුරවැසියන් වන අප අන් සියල්ලටම වඩා ජනමාධ්‍යයෙන් බලාපොරොත්තු විය යුත්තේ සත්‍යකාමී වීම යන්න පුවත් වාර්තාකරණයෙන් තහවුරු වීමයි. ජනමාධ්‍යකරුගේ වාර්තාකරණයේ අවංක භාවය අපට නිතැතින්ම පෙනීයායුතුය. වාර්තාකරණයේදී පවසන කරුණු වල නිරවද්‍යතාවය සෑහෙන පමණට සොයා බලා ඇති බව අපට වැටහී යායුතුය. වාර්තා කරණු ලබන කරුණුවල වටිනාකම හා යුක්ති යුක්ත භාවය අපටම තක්සේරු කරගත හැකිවන අයුරින් වාර්තාකරණය විනිවිද පෙනෙන සුළුවිය යුතුය. එවැනි විනිවිද පෙනෙන වාර්තාකරණයක් සිදුවී ඇති බව දැනගත හැකි ආකාරය මෙසේය. තොරතුරුවල ප්‍රභවය, එකී තොරතුරු සම්බන්ධයෙන් අදාළ ප්‍රභවය සතු දැනුම, තොරතුරු වල අදාළත්වය හා ඒවා විශ්වාසදායක ඇයිද යන්න අපට ජනමාධ්‍යයේ වාර්තාකරණය තුළින්ම පැහැදිලි විය යුතුය. නිර්නාමික ප්‍රභවයන් සම්බන්ධයෙන් වුවද ප්‍රභවයේ විශ්වාසදායක භාවය මෙන්ම ප්‍රභවය තුළ තිබිය හැකි පක්ෂග්‍රහී ප්‍රවණතාවයන්ද අපට ඒත්තුයන පමණට එකී ප්‍රභවය සම්බන්ධයෙන් තොරතුරු සැපයිය යුතුය. වාර්තාවේ අඩංගුවන පාත්‍රවර්ගයාගේ අදාළත්වය පැහැදිලිව අපට පෙනී යායුතුය. එමෙන්ම සිද්දිය සම්බන්ධයෙන් පිළිතුරු සපයාගැනීමට නොහැකි වූ වැදගත් ප්‍රශ්න ඇත්නම් ඒ ගැන ජනමාධ්‍යකරු අප දැනුවත් කළ යුතුය. වාර්තාව තුලින් වැදගත් මතභේදාත්මක කරුණු මතු කරන්නේනම් ඒවා ඊළඟට එන වාර්තාවලින් ලුහුබැඳිය යුතුය. මේ අනුව අපේ මුල්බැහැගත් විශ්වාසයම තහවුරු කරන ආකාරයෙන් ජනමාධ්‍ය තම වාර්තාකරණය සිදු කළ යුතුයැ’යි යන මතයෙන් බැහැරව විවෘත මනසනින් යුතුව ජනමාධ්‍ය ප්‍රවෘත්ති වාර්තාදිය කියවීම අපේද යුතුකමකි.


දෙවැනි ප්‍රමිතිය ජනමාධ්‍යකරු සිය මූලික ලැදිකම දක්වා ඇත්තේ තමන් කැමති බල කණ්ඩායම් වලට නොව පුරවැසියන්ටය යන්න වාතාකරණය තුළින් තහවුරු වී තිබීමයි. මෙහි තේරුම ජනමාධ්‍ය ඉදිරිපත් කරන තොරතුරු අපේ පුරුවැසි අවශ්‍යතාවයන් මුල් කොට මිස හුදෙක් දේශපාලන හෝ ආර්ථීක ක්‍රමය මෙහෙයවන බලපුළුවන්කාරයන්ගේ ́ඕනෑ එපාකම් ඉටු කිරීමට ඉදිරිපත් කරන ඒවා නොවිය යුතු බවයි. ඒ නිසා, සමස්ත සමාජය හා එහි විවිධ කොටස් සිය වාර්තාවට පාදක වන කරුණු ගැන දක්වන ආකල්ප තේරුම් ගැනීමට ජනමාධ්‍යකරු උත්සාහගෙන ඇති බව වාර්තාකරණයේදී මැනවින් පෙනී යායුතුය. සිය දැන්වීම්කරුවන්ගෙන් හා අර්ථපතියන්ගෙන් ලැඛෙන අනුග්‍රහයට සිදුවිය හැකි පාඩු නොතකා පුරවැසි හා පාරිභෝගික අභිමතයන්ට වන හානි අවංකව හා අකලංකව වාර්තා කිරීම තුළින් සිය මූලික ලැදිකම හා වගකීම පුරවැසියන් කෙරෙහිය යන්න ජනමාධ්‍ය අපට භාවිතයෙන් ඔප්පු කළ යුතුය. ඒ හැර තොරතුරක් වාර්තා කරන අවස්ථාවේදී එකී තොරතුර මගින් ආවරණය කෙරෙන කරුණු ගැන අදාල ජනමාධ්‍ය ආයතනයට විශේෂිත වූ සම්බන්ධයක් වෙයි නම් එයද නොස`ඟවා පාඨකයින්ට දැනුම් දිය යුතුය.


තෙවැනි ප්‍රමිතිය ජනමාධ්‍යකරුවා සිය වාර්තාකරණයට පාත්‍ර කරනු ලබන අයගේ බලපෑමෙන් ස්වාධීන වී ඇති බව වාර්තාකරණය තුළින් අපට පෙනී යායුතු වීමයි. ජනමාධ්‍යයක නිරත වන තීරු ලිපි හෙවත් කොලම් රචකයන්, විවරණ සපයන්නන් හා ජනමාධ්‍යකරුවන් ඉදිරිපත් කරන කරුණු මහජන මතය හැඩගැන්වීමේ දැනුවත් විවාදයකට දායක වන අයුරින් ඉදිරිපත් කරන ඒවා මිස කිසියම් කණ්ඩායමකගේ පටු අවශ්‍යයතාවයන් කෙසේ හෝ ඉටු කරගැනීමට ඉදිරිපත් කරන ඒවා නොවිය යුතුය.


ජනමාධ්‍යකරුවා මධ්‍යස්ථව සිටිය යුතු බවක් අප බලාපොරොත්තු නොවිය යුතු නමුත් තමන් විසින් ආවරණය කරන අයට පමණට වඩා ළංවූ විට හැම පැත්තකින්ම අදාල කාරණා සොයා බලා තේරුම් ගැනීමට අසීරු බව අප වටහා ගත යුතූ සත්‍යයකි. මෙවැනි පමණට වඩා ළංවීම් වශයෙන් සාමාන්‍යයෙන් සැලකෙන්නේ තමන්ට තොරතුරු දෙන බලගතු අයගේ රහස්‍ය උපදේශකයන් ලෙස ක්‍රියා කිරීම, ඔවුන්ගෙන් පුද්ගලික ලාභ ප්‍රයෝජන ලබා ගැනීම හෝ ඔවුන් පුම්බා තැබීමට කතා පිටපත් ලියා දීම වැනි කටයුතුයි. තමන් එක් පාර්ශවයක් සම්බන්ධයෙන් විවේචකයන් වශයෙන් කටයුතු කරමින් අනෙක් පැත්ත ගැන හැමවිටම උදම් අනන හුදු ලියන්නන් කියන්නන් නොව අදීනව හා නිදහසේ සිතා කටයුතු කරන අය බව ජනමාධ්‍යකරුවා අපට සාක්ෂි සහිතව ඔප්පු කළ යුතුය. එමෙන්ම තොරතුරු විවරණය සඳහා යොදාගන්නා විචාරකයන් ඔවුනට එකඟ විය හැකි අදහස් මෙන්ම එකඟ විය නොහැකි වැදගත් අදහස්ද නිසි පමණ විවරණයකට ලක් කරන බව ජනමාධ්‍ය අපට භාවිතයෙන් ඒත්තු ගැන්විය යුතුය.

තරාතිරම නොතකා බලගතු අය අදීනව ජනසංනිරීක්ෂණයට ලක් කරන බවත් හඬක් නැගීමට හැකියාවක් නැති කොටස් වල හඬ නැගීමට ජනමාධ්‍ය කැපවී ඇති බවත් එහි භාවිතයෙන්ම අපට පෙනී යායුතුය. සිව්වෙනි ප්‍රමිතිය වශයෙන් සැලකෙන මෙය ඉටු වන බව පෙනෙන්නේ ජනමාධ්‍ය තම සංනීරීක්ෂණ කාර්යය හරිහැටි ඉටු කරමින් වංචාව, දූෂණය ඇතූළුව බලය අයුතු ලෙස යෙදීම, අකටයුතුකම් සම්බන්ධයෙන් වැදගත් හා අළුත් කරුණු අනාවරණය කරමින් ඒ සම්බන්ධයෙන් සමාජය සිතන ආකාරය දැනුවත්ව වෙනස් කිරීමට දායක වෙන බව ජනමාධ්‍යය භාවිතය තුලින් පෙනෙන පමණටය. කෙසේ වෙතත් මේ නිදහස හුදෙක් තම ආයතනය ජනප්‍රිය කරලීමේ අටියෙන් කරන අතුරු ප්‍රදර්ශනයක් ලෙස පදනම් විරහිත චෝදනා සහ බොරු ලෝකාපවාදයන් සඳහා යොදා නොගත යුතුය. එමෙන් ම ජනමාධ්‍ය කටයුතු අකටයුතු පිළිබඳ තම සංනිරීක්ෂණය හුදෙක් රාජ්‍යය ආයාතන වලට පමණක් සීමා නොකළ යුතුය.

වාරානුකූලව පත්වෙන ව්‍යවස්ථාපිත මහජන නියෝජිත සහාවලට අතිරේකව, මහජනතාවට සෘජුව හා වක්‍රව බලපාන කරුනු විවෘතව විවේචනයට ලක් කිරීම හා විසඳුම් සාකච්ඡා කිරිම පිණිස නිරන්තර මහජන සාකච්ඡා මණ්ඩපයක් පවත්වාගැනීමට අපට ඇති අයිතිය ජනමාධ්‍ය භාවිතයෙන් සාක්ෂාත් කර දිය යුතුය. පස්වැනි ප්‍රමිතිය වශයෙන් සැලකෙන මෙය බොහෝ විට ප්‍රදර්ශනය වෙන්නේ පාඨකයන්ගේ අදහස් උදහස් පැවසීම සඳහා නිරන්තරයෙන් විවිධාකාර අවස්ථා ළබාදීමට ජනමාධ්‍ය කටයුතු කරන්නේද, වැදගත් කරුණු සම්බන්ධව පුළුල් පරාසයක අර්ථවත් අදහස් මතු කිරීමට නිරන්තරයෙන්ම අවස්ථා ලබාදෙන්නේද යන්න මතය. එමෙනේම බියකින් සැකයකින් තොරව ඒවැනි අවස්ථා අර්ථවත් ලෙස උපයෝගි කරගැනීමට පාඨකයන්ට ශ්‍රාවකයන්ට හා විෂය ප්‍රමාණිකයන්ට ඇති හැකියාවද ජනමාධ්‍ය නිදහස පිලිබඳ එක් දර්ශකයකි. පුරවැසියන් වශයෙන් අනනොන්‍ය ලෙස අදහස් හුවමාරු කරගැනීමේ ඉඩකඩක් ජනමාධ්‍ය අපට නිරන්තරයෙන් ලබා දිය යුත්තේය. අන්තවාදී මතධාරීන්ගේ ස්ථාවරයන් පමණක් ඉස්මතු කරනවා වෙනුවට ඒ මත පිළිබඳ පුළුල් නියෝජන පරාසයක විසම්මුතික අදහස්, උදහස්. ප්‍රමාණික මත හා වටිනාකම්ද ජනමාධ්‍ය භාවිතය තුළින් ඉස්මතු කරලන බව අපට පෙනී යායුතුය.


අදාළ සිදුවීම් වල වැදගත්කමට සරිලන තොරතුරු ලබා ගැනීමට අපට ඇති අයිතිය ජනමාධ්‍ය තුලින් ඉටුවිය යුතුවීම සය වැනි ප්‍රමිතියයි. මෙය ඉටුවන බව වැටහෙන්නේ පුරවැසියන් වශයෙන් අප මුහුණ දෙන මූලික ගැටළුව නිසි ලෙස තේරුම් ගෙන ජනමාධ්‍යකරුවන් කටයුතු කරන බව අපට පෙනීගිය විටය. ඒ ගැටළුව නම් වැදගත් කරුණු හා ප්‍රවණතා සම්බන්ධයෙන් කාලානුරූප ගැඹුරු දැනුමක් ලබාගැනීමට අවශ්‍ය මාර්ග, කැපකිරීම හා තොරතුරු හඹා යාමට අවශ්‍ය කාලය අපට නිරන්තරයෙන් නොමැති වීමයි. ඒ නිසා තමන් එකතුකර වාර්තා කරන තොරතුරු විචක්ෂණ ලෙස එහෙත් අතිශයෝක්තියකින් තොරව සන්දර්භගත කිරීමෙන් අපේ අවධානය දිනාගැනීමට ජනමාධ්‍යකරුවා කටුයුතු කළ යුතුය. එමගින් තත්කාලීන සිදුවීම් හා ප්‍රවණතාවයන්වල නියම වැදගත්කම හා ඒවා අපේ ජීවිතවලට බලපාන්නේ කුමන ප්‍රමාණයටද යන්න තේරුම් ගැනීමට අපට හැකිවිය යුතුය. ජනමාධ්‍යකරුවන් අතර ඇති වෘත්තීය භාවිතය හා අනුකූල වූ ආචාරධර්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන ආකාරය තුලින් ඉහත සඳහන් ප්‍රමිතීන් කෙතෙක්දුරට පැහැදිලිවන්නේද යන්න ජනමාධ්‍ය නිදහස පිළිබඳ හොඳ දර්ශකයකි. අවසානයේදී ජනමාධ්‍යයක ස්වාධීනත්වය හා පරමාර්ථය දෙකක් නොව එකකි. මන්ද රටක වැසියන්ට ස්වාධීනවීමට හා තමුන්ගේ කටයුතු තමුන්ගේම පාලනය යටතේ තබාගැනීමට අවශ්‍ය වෙන තොරතුරු නොසඟවා සැපයීම වෘත්තීය ජනමාධ්‍යයක මූලික පරමාර්ථය වෙන බැවිනි.

නමුත් ජනමාධ්‍යයට අදීන ලෙස තම කාර්ය ඉටුකරලීමට අවශ්‍ය වාතාවරණය බොහෝකොට තීරණය වෙන්නේ මූලිකවම අදහස් ප්‍රකාශ කිරීම, තොරතුරු ලබා ගැනීම හා ඛෙදාගැනීම සඳහා ඇති මානව අයිතිය සාක්ෂාත් කරගැනීම ප්‍රවර්ධනය කරන සමාජ සම්මුති හා නෛතික විධිවිධාන ඇතිකිරීම සහ ඒවා සවිඥාණිකව හා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම මතයි. එය බියෙන් අත්මිදුණු සමාජයක මූලික ලක්ෂණයකි.


අපේ රටේ ජනමාධයයේ සමාජ වගකීම පිලිබද නිසි සාකච්ඡාවක් ඇතිකිරීම ජනමාධ්‍යයේ නියුතු හා ජනමාධ්‍ය පිළිබද උනන්දුවක් දක්වන ශ්‍රාස්ත්‍රාලීය බුද්ධිමතුන්ගේ මැදිහත්විමෙන් කළයුතු දෙයකි. එහිදී පළමුවෙන්ම කළ යුතතේ මෑත කාලයේ අපේ රටේ ජනමාධ්‍ය හැසුරුනු ආකාරය පිලිබද කෙරෙන අවංක සාකච්ඡාවක් ඔස්සේ ඉහත කියූ සය වැදෑරුම් ප්‍ර‍මිතීන්ට අනුව කටයුතු කිරීමට ඇති බාධක හදුනාගෙන ඒ සදහා සුදුසු පිළියම් යෝජනා කොට ක්‍රියාත්මක කිරීමයි.

විජයානන්ද ජයවීර
w.jayaweera@gmail.com
2016 ජනවාරි 10

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: