විද්යුත් මාධ්‍යයේ පිළබඳ ඇති විවේචනය ස්ථාන ගත කළ යුත්තේ කිනම් ආකාරයක ප්‍රතිඵලයක් ළඟා කර ගැනීම සඳහාද යන කාරණය මං හිතන්නේ අපේ කතිකාවට ඉතා වැදගත්. මේ කතිකාව පුළුල් සමාජය තුළ වගේම විද්‍යුත් මාධ්‍ය ට සම්බන්ධ මාධ්‍යවේදීන් ඇතුළු සියලු ආකාරයේ පරදු දරන්නන් නැත්නම් ස්ටේක් හෝල්ඩර්ස් ල අතරට ගෙන යාමත් අවශ්‍යයි. ඒ නිසා හුදු ව්‍යාපාරික ක්ෂේත්‍රයකට වඩා ජනමාධ්‍ය පද්ධතිය සමාජයීය ආයතනයක් වශයෙන් සලකා බැලීම මේ කතිකාවේ දී වැදගත් වන්නේ ඇයි කියන කාරණය ගැන පළමුවෙන් ම යමක් කියන්න කැමතියි.
සමාජයක් කියලා අපි කියන්නේ එකම භෞමික දේශ සීමාවක් තුළ ජීවත් වෙන විශාල පුද්ගල කණ්ඩායමකට. ඒ පුද්ගල කණ්ඩායමට සමාජයක් වශයෙන් ජීවත් වීමට සිද්ධ වෙන්නේ එකම දේශපාලන අධිකාරියක හා සංස්කෘතික ආධිපත්‍යයක බලපෑමට ලක් වෙලා. වඩා පුළුල් අර්ථයෙන් සලකා බැලුවොත් සමාජයක් ආර්ථික, දේශපාලනික, සමාජීයක, කාර්මික, සහ සංස්කෘතික ආදී විවිධාකාර ව්‍යුහ වශයෙන් නිරූපනය වෙනවයි කියලා ව්‍යුහවාදී විදියට හිතන්නත් පුළුවන්. ඒත් සමාජයෙන් වියුක්ත ව (එසේ වියුක්ත වීමට ප්‍රායෝගික ව හැකි නුවූවත්) තනි තනි පුද්ගලයන් වශයෙන් ළඟා කරගැනීමට නොහැකි ආකාරයේ පල ප්‍රයෝජන කිසියම් ප්‍රමාණයක ඵලදායක සහයෝගිතාවක් සමාජයක සාමාජිකයන් අතර පවත්වා ගැනීමට හැකි වන තාක් දුරට ඒ සමාජයේ සාමාජිකයන් බහුතරයකට ලබාගන්න පුළුවන්. දල වශයෙන් මහජන යහපත යනුවෙන් අපි මෙය හඳුන්වනවා.
උදාහරණයක් වශයෙන් එක් එක් අය හුදකලාව අධ්‍යාපනයක් ලබාගැනීමට තැත් කරනවාට වඩා සමාජ සහයෝගිතාව මත ගොඩ නගා ගත් සංවිධාන ගත ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් මගින් අධ්‍යාපනය ලබා ගැනීමට හැකි වීම කාර්යක්ෂමයි, එල දායකයි. ඒ වගේ ම සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත්තොත් තනියෙන් රෝග විශ්වය කොට ගොඩ වෙදකම් මගින් තමන්ගේ ලෙඩේ හොඳ කරගන්න තැත් කර ගන්නවාට වඩා සමාජ සහයෝගිතාව මත ගොඩනගා ගත් නූතන සෞඛ්‍ය හා සනීපාරක්ෂක පද්ධතියක අනුග්‍රහය ලබාගෙන ලෙඩ සුව කර ගැනීම නැත්නම් සනීපාරක්ෂිත ව සිටීම ඵල දායකයි. එතකොට මේ උදාහරණ දෙක ගත්තත් අපිට සමාජ සහයෝගිතාවෙන් තොරව ඒවා පවත්වා ගෙන යන්න බැරි බව පේනවා. එත කොට මෙතෙන්දි සහයෝගිතාව කියලා අපි සඳහන් කරන්නෙ, යම් යම් විෂමතා තිබුණත්, පුද්ගලයන් අතර ඇතිවෙන සමාජ සම්බන්ධතා වල සමස්ත එකතුවෙන් බිහි වෙන දෙයකට. මේ සහයෝගිතාව මූලික ව නියාමනය වෙන්නේ සමාජය අනුගමනය කරන දේශපාලනික, නෛතික හා ආර්ථික විදි විධාන මගින්. ඒ නිසා අපේ නිරන්තර අරගලය මේ දේශපාලනික, නෛතික හා ආර්ථික විධිවිධාන වඩ වඩා දියුණු මට්ටමකට ගෙන ඒම මගින් ඒවායේ කාර්යක්ෂමතාව හා ඵල දායකත්වය ඉහළ නංවා ගැනීමයි.
එහෙත් සමාජය යන්නෙන් නිරූපණය වන්නේ හුදෙක් එය තුළ ජීවත් වන අය කෙරෙහි බලපවත්වන දේශපාලනික, නෛතික හා ආර්ථික විධිවිධාන ජාලය පමණක් ම නොවේ. මේකී විධිවිධාන වැඩිදියුණු කිරීමට අවශ්‍ය කතිකාව පවත්වා ගෙන යාමට මෙන් ම සමාජයක සාමාජිකයන්ගේ නිරන්තර දැන ඉගෙන ගැනීමට පාදක වන ජන සංනිවේදනය ද සමාජය නිරූපණය කිරීමේ ලා ප්‍රමුඛ සාධක වෙනවා. කොටින් ම සමාජය යනුවෙන් හැඟවෙන්නේ ම එම සමාජයේ සාමාජිකයන් එකිනෙකා අතර සිදුවන සංනිවේදනය මගින් සමාජය ගැන ඇති කරගන්නා අවබෝධය හෙවත් ප්‍රත්‍යක්ෂණයයි. ආදි කාලයේ කෙසේ වෙතත් වර්තමානයේ මේ කටයුත්ත මූලික වශයෙන් ම සිද්ධ වෙන්නේ ජනමාධ්‍ය හරහායි.
සමාජය නො වෙනස් වන තිරසාර දෙයක් නොවන බැවින් එකිනෙකා සම්බන්ධයෙන් සමාජයේ සාමාජිකයන් ඇති කරගන්නා ආකල්ප වල දිශානතිය තීරණය කරගන්නේ ද එසේ වෙනස් වන සමාජ වාතාවරණය තුළයි. එම දිශානතිය තුමක්ද යන්න නිරූපණය වෙන්නේ අර කී ජන සංනිවේදන වල ස්වාභාවය සහ ඒවා මගින් බෙදා හරින අන්තර්ගතය සම්බන්ධයෙන් ඇතිවෙන වෙනස්කම් වලට පුද්ගලයන් විසින් දෙනු ලබන ප්‍රතිචාර වලින්.
ඒ නිසා සමාජය යන්න ඇත්ත වශයෙන් ම නිර්ණය වන්නේ එහි ජීවත් වන පුද්ගලයන් සහ සමාජීය ආයතන අතර ඇතිවෙන සුවිශේෂ ආකෘති වල සම්බන්ධතා අනවරතයෙන් ඇගයෙන, යළි තහවුරු කෙරෙන හෝ සංශෝධනය වන සමාජීය සංනිවේදනය හා ඒ නිසා ඇතිවෙන අන්තර් ක්‍රියා මගින් යැයි කීම වඩා නිවැරදියි. මෙය සිදු වන්නේ භාෂාව හා සංකේත කරණය යොදා ගැනීම හරහා සමාජය තුළ බලය සංවිධානය කෙරෙන ආකාරය සමග සම්බන්ධ වන සංනිවේදන ජාල මගින්. මේ සංනිවේදන ජාල අතරින් ජනමාධ්‍ය ප්‍රම්‍රඛ වෙන නිසා ජනමාධ්‍යයේ චර්යාව සමාජ සහයෝගිතාවේ දිශානතිය හා ප්‍රතිඵල තීරණය කිරීමේ ලා ඉතා වැදගත් වෙනවා. මේ සඳහා අදාල සිදුවීම් වල වැදගත්කමට සරිලන තොරතුරු ලබා ගැනීමට අපට ඇති අයිතිය ජනමාධ්‍ය තුලින් ඉටු විය යුතුයි. මෙය ඉටු වන බව වැටහෙන්නේ ජන සමාජයේ සාමාජිකයන් වශයෙන් අප මුහුණ දෙන මූලික ගැටලුව වන නිවැරදි තොරතුරු ලබා ගැනීමේ අවශ්‍යතාවය නිසි ලෙස තේරුම් ගෙන ජනමාධ්‍යකරුවන් කටයුතු කරන බව අපට පෙනී ගිය විටයි. නිරන්තරයෙන් ම අප මුහුණ දෙන ඒ ගැටලුව නම් වැදගත් කරුණු හා ප්‍රවණතා සම්බන්ධයෙන් කාලානුරූප ගැඹුරු දැනුමක් ලබාගැනීමට අවශ්‍ය මාර්ග, කැප කිරීම හා කාලය අපට අවශ්‍ය පමණට නොමැති වීමයි. ඒ නිසා තමන් එකතු කර වාර්තා කරන තොරතුරු විචක්ෂණ ලෙස එහෙත් අතිශයෝක්තියකින් තොරව සන්දර්භ ගත කිරීමෙන් අප ප්‍රබුද්ධත් කිරීමට ජනමාධ්‍යකරුවා කටයුතු කළ යුතුය. එමගින් තත්කාලීන සිදුවීම් හා ප්‍රවණතා වල නියම වැදගත්කම හා ඒවා අපේ ජීවිතවලට බලපාන්නේ කුමන ප්‍රමාණයට ද යන්න තේරුම් ගැනීමට අපට හැකි විය යුතුය.
වර්තමාන සමාජයේ මේ අවශ්‍යතාවය එල දායක ලෙස ඉටු කිරීම රඳා පවතින්නේ අපේ සමාජයේ බහුතර සාමාජිකයන්ට තොරතුරු ලැබෙන හා එම තොරතුරු විශ්ලේශණය කෙරෙන, ඇගයීමට ලක් කරන ජනමාධ්‍ය පද්ධතිය ගුණාත්මක වශයෙන් මොනවගේදැ’යි කියන කාරණය මතයි. ඒ නිසා අපට අවශ්‍ය මොන වගේ ආර්ථික ක්‍රමයක් ද, අධිකරණයක් ද, අපේ ආණ්ඩුක්‍රමය මොන වගේ විය යුතු ද කියන කාරණා වගේ ම අපට තිබිය යුතු ජන මාධ්‍ය පද්ධතිය මොන වගේ එකක් විය යුතු ද කියන කාරණත් සමාජ සහයෝගිතාවට, දියුණු සමාජයක් බිහි කිරීමට අතිශයින් වැදගත්.
නූතන ලෝකයේ පැරණි ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වශයෙන් සලකන්න පුළුවන් ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුල්ම සංශෝධනය 1791 සිදුවූ අවස්ථාවේ දී භාෂණයේ නිදහස, පුවත්පත් නිදහස, සාමකාමී ලෙස රැස්වීමට ඇති නිදහස, තමන්ගේ දුක්ගැනවිලි ආණ්ඩුව ලවා විසඳා ගැනීම පිණිස පෙත්සම් ඉදිරිපත් කිරීමට ඇති නිදහස අවම කරන කිසිදු නීතියක් කොන්ග්‍රස් සභාව විසින් නො පැනවිය යුතුය යනුවෙන් සඳහන් කළේ ඒ සියල්ල තත් කාලීන සමාජ සංනිවේදනයේ අත්‍යවශ්‍ය අංග වූ නිසයි.
ඒ කාලයේ ජනමාධ්‍ය මේ තරම් පෘථුල වී තිබුණේ නැහැ. එ බැවින් ජන සංනිවේදනය දී ජනමාධ්‍ය ප්‍රමුඛ වී ඇති අද කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයෝ ඊට වඩා සංයුක්ත ව වඩා නිදහස් හා අදීන ජන සංනිවේදන පද්ධතියක් ඇති කර ගැනීමට අවශ්‍ය විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ම සහතික කර දිය යුතුයි කියලා මා හිතනවා. මොකද එවැනි ඵලදායී අදීන ජන සංනිවේදන පද්ධතියකින් තොරව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රමුඛ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම කළ නොහැකියි. ඒ නිසා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පමණක් නොව ඒ හා ආනුෂංගික කරුණු වන ලැබෙන හා බෙදාහැරෙන තොරතුරු වල නිරවද්‍යතාව තහවුරු කර ගැනීමේ හැකියාව හුදෙක් එක් එක් පුරවැසියාගේ මූලික අයිතිවාසිකමක් වශයෙන් පමණක් නොව සමස්ත සමාජයේ ම වැදගත් අවශ්‍යතාවක් වශයෙන් ව්‍යවස්ථා සම්පාදනයේ දී සැලකිල්ලට ලක් විය යුතුයි. හුදෙක් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සාක්ෂාත් කිරීම පමණක් මදි. මොකද ඵලදායක ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හාවිතා කිරීමට නම් නිවැරදි තොරතුරුත් අවශ්‍ය කරනවා. භාෂණයේ නිදහස අනුල්ලංඝනීය සමාජයීය අවශ්‍යතාවක් ලෙස සැලකීමට ඇමෙරිකානු ව්‍යවස්ථාවට කළ ප්‍රථම සංශෝධනයේ අරමුණ වන්නේ ම වඩා දැනුවත් ජනතාවක් බිහි කිරීම බව එම සංශෝධනය හා සම්බන්ධ මාධ්‍ය නිදහස පිළිබඳ නඩුවක දී ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබෙනවා.
ගුණාත්මක වශයෙන් දියුණු ජනමාධ්‍ය පද්ධතියකින් තොරව ළමාකාලයේ පාසල් අධ්‍යාපනයක් ලබා දීමෙන් පමණක් දැනුවත් ජනතාවක් බිහි කිරීම අසීරුයි. කෙසේ වෙතත් ජනමාධ්‍යයේ ගුණාත්මක ස්වභාවය ගැන සැලකිලිමත් වීම ජනමාධ්‍ය පවත්වා ගෙන යන අයට විතරක් පැවරෙන කාරියක් නෙවෙයි. අපි හැම දෙනාට ම පැවරෙන කාර්යයක්. ඒත් එකී ගුණාත්මක බව ඉහළ නැංවිය යුතුයි කියන කාරණය ජනසමාජයට මෙන් ම ජනමාධ්‍යයට ද වැදගත් වෙන්න ඕනෙ. දැන් මෙතෙන්දි සලකා බලන්න ඕනෙ මුල්ම කාරණය ජනමාධ්‍යයට තමන්ගේ සමාජයීය භූමිකාව පිළිබඳව නිවැරදි දැක්මක් ඇති කර ගැනීමට හැකි වන ආකාරයට ජන සමාජය ක්‍රියා කර තියනවාද කාරණයයි. මේ කටයුත්ත හුදෙක් ජනමාධ්‍ය අයිතිකරුවාගේ අභිමතයට අනුව පමණක් සිදුවිය යුතු කටයුත්තක් නොවෙයි. ජනමාධ්‍යයේ භූමිකාව පිළිබඳව සමාජය තුළ ඇති අවබෝධයේ ප්‍රමාණයට අනුවයි ඒ කටයුත්ත සිදුවන්නේ.
ජනමාධ්‍ය භූමිකාව පිළිබඳ අර්බුදය මීට පෙරත් විවිධ ආකාරයෙන් වෙනත් රටවලත් සාකච්ඡාවට ලක් වෙලා තියෙනවා. ඒ සාකච්ඡා සංක්ෂිප්තව හෝ විමසා බැලීමත් අපේ කතිකාවට වැදගත්. දෙවැනි ලෝක මහා යුද්ධ කාලේ ඇමෙරිකානු මාධ්‍ය අයිතියේ ස්වභාවය නිසා ඇතිවුන අයහපත් බලපෑම ගැන මහජනයාගේ මෙන්ම ජනාධිපති රූස්වෙල්ට් ගේ ආණ්ඩුවෙත් තදබල විවේචනයක් තිබුණා. (රූස්වෙල්ට් කියන්නේ ඉතාමත් ජනප්‍රිය ජනාධිපතිවරයෙක්. ඔහු පිට පිට තුන් වරක් ම ඇමෙරිකාවේ ජනාධිපති වුණා) ඒ අනුව සුප්‍රසිද්ධ ටයිම්ස් හා ලයිෆ් සඟරාවල අයිතිකාරයා වුණු හෙන්රි ලූස් මහත්මයා ජනමාධ්‍ය හිමිකාරිත්වයේ බලපෑම ගැන ඇතිවූ විවේචන විමසා බලා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට චිකාගෝ සරසවියේ සභාපති ආචාර්ය රොබර්ට් හචින්ස් මහත්තයාගේ ප්‍රධානත්වයෙන් විද්වත් කොමිසමක් පත් කළා. දැන් මේක ආණ්ඩුවෙන් පත් කළ කොමිසමක් නෙවෙයි. ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය අයිතිකරුවෙක් මුල් වීමෙන් හා බරපැන දැරීමෙන් පත් කළ විද්වත් කොමිසමක්. මේ කොමිසමේ නිල නාමය වුනේ පුවත්පත් නිදහස පිළිබඳ කොමිසම. ඒත් හචින්ස් කොමිසම කියන එක තමයි වඩා ප්‍රචලිත. අවුරුදු හතරක් පුරා සාක්ෂි විමසා 1947 දී හචින්ස් කොමිසමේ වාර්තාවෙන් හුවා දැක්වූ ප්‍රවාදය මේ ආකාරයට සාරාංශ ගත කරන්න පුළුවන්.
“වර්තමාන සමාජයේ ස්ථාවරභාවය සහ අභිවර්ධනය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති මාධ්‍ය වැදගත් භූමිකාවක් ඉටුකරයි. ඒ නිසා ජනසමාජයට වගකීම සම්බන්ධයෙන් ජනමාධ්‍යයේ කැපවීම අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ. සිය තීරණ ගැනීමේ දී උපරිම මහජන යහපත බිහි කිරීම උදෙසා සමස්ත සමාජයේ ම අවශ්‍යතා සලකා බැලීමේ සදාචාරමය වගකීමක් ජනමාධ්‍යයට ඇත.“
උපරිම මහජන යහපත බිහි කිරීම පිණිස සමස්ත සමාජයේ ම අවශ්‍යතා සලකා බැලීමයි ජනමාධ්‍යයේ කාර්යභාරය. ඒකයි හචින්ස් කොමිසම විසින් ජනමාධ්‍යයේ කාර්යභාරය සම්බන්ධයෙන් කළ මූලික නිර්දේශය.
දැන් ඔය කියන දෙවැනි ලෝක මහා යුද්ධ කාලයේ රූපවාහිනී මාධ්‍ය අදතරම් ප්‍රබල මාධ්‍යයක් නොවෙයි. අද ලංකාව වගේ රටවල රූපවාහිනිය ගෙයක් ගෙයක් දොරක් දොරක් පාසා තියෙන දෛනික මෙවලමක්. රූපවාහිනී මාධ්‍යයේ ඇති ආකර්ෂණීය ශ්‍රව්‍ය දෘෂ්‍ය ස්වභාවය නිසා එය බාල මහලු හැම දෙනෙක්ම ග්‍රහණයට අරගෙන තිබෙනව. දවසෙන් සැලකිය යුතු කාලයක රූපවාහිනී මාධ්‍ය ඇසුරු කරන ඔවුන්ගේ ජන සමාජය පිලිබඳ දෘෂ්ටිය බොහෝ කොට ගොඩ නැගෙන්නේ රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු හරහා.
විශේෂයෙන් රූපවාහිනී ප්‍රමුඛ විද්යුත් මාධ්‍ය ගත්තොත් ඒවායේ අන්තර්ගතයෙන් බොහෝමයක් ප්‍රවෘත්ති හෝ සුවිශේෂයෙන් ම ජර්නලිසම් නැත්නම් ජන මාධ්‍ය වේදය ම නොවෙයි. ඒවායේ සමස්ත අන්තර්ගතය අර ගෙන බැලුවොත් වෘත්තීය ජනමාධ්‍යවේදය හාවිතා වෙන්නේ අන්තර්ගතයෙන් අල්පයකට පමණයි. අනෙක් බොහෝ ඒවා, නාටක, ගීත සංගීත, කතා, අනුශාසනා, මතිමතාන්තර, ප්‍රචාරාත්මක කරුණු වගේ අන්තර්ගතයන්. එසේ වෙතත් රූපවාහිනී මාධ්‍යයේ ප්‍රවෘත්ති හා කාලීන කරුණු පිළිබඳ ජනමාධ්‍යවේදීය නැත්නම් ජර්නලිස්ටික අන්තර්ගතය අන් සියලු මාධ්‍ය වර්ග ඉක්මවා යන බලපෑමක් ජනසමාජය කෙරෙහි ඇති කරනවා. ඒ ඔස්සේ ලැබෙන තොරතුරු බොහෝ කොට ග්‍රාහකයන්ගේ සමාජ දෘෂ්ටිය හා මතවාද හැඩ ගැස්වීමට මූලික වශයෙන් දායක වෙනවා. එනිසා රූපවාහිනී මාධ්‍යයේ ඇති ජනමාධ්‍යවේදීය අන්තර්ගතයේ සමාජ වටිනාකම අනෙක් අන්තර් ගත වර්ග හා සසඳන විට ඉතා වැඩියි. ඒ වටිනාකම ඇති වෙන්නේ වෘත්තීයමය වශයෙන් ගත්තොත් ජර්නලිසම් වල නැත්නම් ජනමාධ්‍යවේදයේ මූලික අරමුණ නිසි තීරණ ගැනීමට ජනතාවට අවශ්‍ය වන තහවුරු කරන ලද තොරතුරු සැපයීම වෙන නිසයි. ජනමාධ්‍යවේදය කියන්නේ ම කරුණුමය සත්‍ය හෙවත් ෆැක්ට්ස් තහවුරු කිරීම පිළිබඳ ශික්ෂයකි යනුවෙන් කියන්නේ ඒ නිසයි. සංලේඛ්‍ය ක්‍රියාවලියක් මගින් ඉටු වෙන එම කරුණු තහවුරු කිරීමෙන් හුදෙක් කරුණු පමණක් නොව කරුණු පිළිබඳ ඇත්ත ද තහවුරු විය යුතුයි. එසේ තහවුරුකරගත් ඇත්ත කරුණුවලින් තොරව ජනසමාජයේ දැනුවත් බව වර්ධනය කළ නොහැකියි. (ජන සමාජයේ දැනුවත් බව වර්ධනය කිරීමට වඩා මොට කිරීම දේශපාලනික තීරණයක් වීමත් එයට අනුකූලව සිය චර්යාව පවත්වා ගැනීමට ජන මාධ්‍යයට බල කිරීමත් බොහෝ විට සිදුවිය හැකි දෙයක්. එය අයිති කරුවන් ලවා නැත්නම් ජනමාධ්‍යවේදීන්ට හා ජන මාධ්‍ය ආයතන වලට එල්ල වන තර්ජන හරහාත් ඉටු වෙන හැටි අපි අත් දැක තිබෙනවා)
රූපවාහිනී මාධ්‍ය ප්‍රමුඛ ස්තානයක් ගැනීමෙන් පසුව අනුක්‍රමයෙන් ප්‍රවෘත්ති වටිනාකම් අබිබවා අලංකාරික ඕපාදූප වැනි දේවල් මුල් තැන ලැබීමේ හේතුව නිසා ඇමෙරිකාවේ ඇතැම් වෘත්තීය ජනමාධ්‍යවේදීන් අතර ඇතිවුන කලකිරීම් හා විවේචන නිසා සංවේදී ජනමාධ්‍යකරුවන්ගේ කමිටුව යනුවෙන් සංවිධානයක් පිහිටුවා ගත් ජ්‍යේෂ්ඨතම ඇමෙරිකානු ජනමාධ්‍යවේදීන් 25 දෙනෙක් 1997 දී ජනමාධ්‍යවේදයේ සමාජමය වගකීම නැවත අවධාරණයට ලක් කලා. මේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස බිල් කොවැක් හා ටිම් රොසෙන්තාල් යන ජන මාධ්‍යවේදීන් දෙපොළ අතින් බිහි වූ ‘ඉලෙමන්ට්ස් ඔෆ් ජර්න්ලිස්ම්’ (Elements of Journalism) නැත්නම් ජනමාධ්‍යවේදයේ මූලධර්ම නමැති නමැති පොත ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය පිළිබඳ ලියැවුන විශිෂ්ටතම පොතක් ලෙස සැලකිය හැකියි. එහි කියවෙන පරිදි ජන මාධ්‍යවේදියාගේ කාර්යභාරය මෙසේ සංක්ෂිප්තව සකසා දැක්විය හැකියි.
ජනමාධ්‍යකරු නොපසුබට ව හා ආක්‍රමණශීලී ලෙස සත්‍ය සොයා යා යුතු අතර සොයා ගන්නා තොරතුරු නිරවද්‍ය ව, නිසි සන්දර්භයක් තුළ හා හැකි තරම් පරිපූර්ණව ඉදිරිපත් කළ යුතුයි. ඒ අනුව ජනමාධ්‍යකරු නිරන්තරයෙන් ම සත්‍ය සොයන බවත්, අදාල සිදුවීම් වල වැදගත්කම කිසිවකු විසින් අවම කිරීමට හෝ අතිශයෝක්තියට නැගීමට තැත් කරන විට එවැනි සියලු විකෘති කිරීම් නොපසුබට ව අභියෝගයට ලක් කරන බවත් අපට පෙනී යුතුය. එමෙන්ම ඉදිරිපත් කරන තොරතුරුවල ප්‍රභවය කුමක් ද යන්න හා එහි විශ්වසනීයත්වය කෙතරම් ද යන්න අපට ඒත්තු යන අයුරින් තොරතුරු ඉදිරිපත් කළ යුතුය. මේ ආචාරධර්මයට අනුව අසත්‍යයක් බව දැන දැන ම ඒවා සත්‍ය තොරතුරු ලෙස ඉදිරිපත් කිරීම පාඨකයා මුලා වෙන ලෙස ඡායාරූප, වීඩියෝ හා හඬ පට ආදිය වෙනස් කිරීම, නො කළ යුතු දේවල් ය. ජනමාධ්‍යකරුවන් පළමුවෙන්ම වගවිය යුත්තේ මහජනතාවටයි. එය අපට දැනෙන්නේ හුදෙක් මහජන යහපත උදෙසා මිසක් අන් කිසිදු හිතවත් කමක් වෙනුවෙන් ජනමාධ්‍යකරු කටයුතු නොකරන බව ඔහුගේ ජනමාධ්‍ය භාවිතයෙන් අපට ඒත්තු යන්නේ නම් පමණි.
දැන් ජනමාධ්‍යයේ සමාජමය කාර්යභාරය ඔය අන්දමින් සිදු විය යුතු ය කියලා අපි එකඟ වෙනවා නම් අයිතිය පෞද්ගලික ද නැද්ද යන කාරණය නො තකා ජනමාධ්‍ය අවම වශයෙන් ජනමාධ්‍යවේදීය නැත්නම් ජර්නලිස්ටික අන්තර්ගතය ඉදිරිපත් කරන විට තොරතුරු වල නිවැරදි බව සාක්ෂාත් කිරීමට කැප වී ඇති බව එහි ජනමාධ්‍ය නාලිකාවේ චර්යාව මගින් ප්‍රකාශයට පත් විය යුතු නේද?
විශේෂයෙන්ම පොදු දේපළක් වන සංඛ්‍යාත භාවිතා තරමින් පුවත් බෙදා හැරීමට කටයුතු කරන විද්‍යුත් මාධ්‍ය වල චර්යාව, අයිතිය රජයේ හෝ පෞද්ගලික හෝ වේවා, නිසි ස්වාධීන නියාමනයකින් තොරව හුදෙක් අයිතිකරුවන්ගේ අභිමතය පරිදි සිදුවන විට මතභේදාත්මක කරුණු විකාශනය කිරීමේ දී එකී චර්යාව අපක්ෂපාතී ව ඉටු වෙන බව සහතික කරගන්නේ කෙසේ ද. දැන් මේ කාරණය සම්බන්ධයෙන් පරස්පර මතවාද දෙකක් තියෙනවා.
මේ අතරින් විද්‍යුත් මාධ්‍ය නියාමනයේ පෞද්ගලික වෙළඳ පළ මොඩලය (Private Market Model) ලෙස හැඳින්විය හැකි එක් මතවාදී ආස්ථානයකට අනුව නිසි ක්‍රියා මාර්ගයක් මගින් විකාශන සංඛ්‍යාත බදු දුන් පසු තමන්ට අභිමත පරිදි තම විද්‍යුත් මාධ්‍ය සේවය පවත්වා ගෙන යාමට විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභීන්ට ඉඩ දිය යුතු වේ. එවිට සාමාන්‍යය ව්‍යාපාරික තරඟයක දී සිදුවන්නාක් මෙන් පාරිභෝගික අවශ්‍යතා ඉටු කරන හොඳ තරගකාරී සේවාවක් ලබා දීමට හැකි වේ. එනිසා විද්‍යුත් මාධ්‍ය නියාමනයේ දී වැදගත් වන්නේ එම ව්‍යාපාරික අභිලාෂය මගින් ඉටු විය හැකි සේවය මුල් කර ගත් අවම නියාමනයකට යෑමයි. කොටින් ම මේ අනුව පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නියාමනය හුදෙක් බලපත්‍ර නිකුත් කිරීමේ දී සිදුවිය හැකි හානිය අවම කිරීමට පමණක් සීමා විය යුතුයි. එහෙත් එකී හානිය අවම කිරීම යන්නට වාර්තාකරණයේ සාධාරණත්වය (fairness)සහ මතභේදාත්මක කරුණු සම්බන්ධයෙන් බලපත්‍රලාභියාගේ අපක්ෂපාතීත්වය (impartiality) තහවුරු කිරීම යන කරුණු අඩංගු කිරීම අවශ්‍ය නැත.
මේ කියන මතවාදයට අනුව මාධ්‍ය තුලින් නියෝජනය විය යුතු සමාජ ප්‍රකාශනය ට වඩා වැදගත් වන්නේ බලපත්‍ර හිමියාගේ ප්‍රකාශන අයිතියයි. තම තමන්ට අභිමත මතය ප්‍රකාශ කිරීමට හැකි සැලකිය යුතු පෞද්ගලික මාධ්‍ය සංඛ්‍යාවක් ඇත්නම් ඒ සියල්ලේ ම එකතුව මගින් සමාජ ප්‍රකාශනය නිරූපනය කිරීමට හැකි වෙතැ’යි පෞද්ගලික වෙළඳ පොළ මොඩලය විශ්වාස කරන අය කල්පනා කරකවා. ඒ විශ්වාසයට අනුව මතභේදාත්මක කරුණු වල දී වුව ද බලපත්‍ර හිමිකරු ගේ මතයට බර තබන අන්දමින් වැඩ සටහන් ප්‍රචාරය වීම අවැඩක් ලෙස නො සැලකෙයි. මගේ වැඩසටහන් වල පක්ෂග්‍රාහී බවට ඔබ අකැමැති නම් ඔබට වෙනත් අයිතකරුවෙකු ගේ නාලිකාවකට මාරු විය හැකිය. පෞද්ගලික දේපළ අයිතිය කේන්ද්‍රීය කර ගත් මේ මොඩලයේ දී ග්‍රාහකයන් සැලකෙන්නේ අනෙකුත් වානිජ ව්‍යාපාර වලධි වගේම හුදු පාරිභෝගිකයන් පිරිසක් ලෙසයි.
එයට වෙනස් ව අනික් මතවාදයට අනුව කෙරෙන පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නියාමනය මහජන විශ්වසන මොඩලය ( Public Trustee Model) වශයෙන් හැඳින්විය හැකියි. මහජන විශ්වසන මතවාදයට අනුව ඇතැම් පොදු දේපළ ඒවායේ සුවිශේෂ ස්වභාවය නිසා පොදු යහපත මුල් කොට යොදා ගත යුතු ය. විකාශන තරංග ද එවැනි පොදු දේපළකි. එවැනි දේපළ ව්‍යාපාරික කටයුතු සඳහා පෞද්ගලික අංශයට වෙනත් ආකාරයක අයිතියට පැවරීමේ දී පොදු යහපතට හානි වන පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් ඒවා යොදා ගැනීම වැළැක්වීමේ විධිවිධාන යෙදිය යුතු ය. ඒ අනුව සංඛ්‍යාත භාවිතා කිරීමේ විකාශන බලපත්‍ර පෞද්ගලික අංශයට ලබා දෙන්නේ ඔවුන් ද මහජන යහපත (Public Interest) පදනම් කොට විශ්වාසදායී ලෙස කටයුතු කරනු ඇතැ’යි යන අවබෝධය මතයි. මේ සඳහා අවශ්‍ය එකඟත්වය පිළිබඳ මූලික කොන්දේසි මහජන විශ්වසන මොඩලයේ නියාමනයට අයත් වේ. ඒ අතරින් ප්‍රමුඛ වන්නේ ජනමාධ්‍යවේදයේ වෘත්තීය ආචාරධර්ම අනුව තොරතුරු ඉදිරිපත් කිරීම සහ මතභේදාත්මක අවස්ථාවල දී විද්‍යුත් මාධ්‍ය අපක්ෂපාතී ව කටයුතු කිරීමයි. මේ මොඩලය ට අනුව හානිය අවම කිරීම යන්නට වාර්තාකරණයේ සාධාරණත්වය (fairness) හා අපක්ෂපාතීත්වය (impartiality) පවත්වා ගැනීම ද අඩංගුයි.
විද්‍යුත් මාධ්‍ය හිමියාගේ ප්‍රකාශන අයිතියට වඩා මහජන විශ්වසන මොඩලයේ දී වැදගත් වන්නේ තොරතුරු ලබා ගැනීමට ග්‍රාහකයන්ට ඇති අයිතියයි. ඒ නිසා විවාදාත්මක කරුණක දී ඒක පාර්ශවික නො වී වැදගත් දෘෂ්ටිකෝණ සියල්ල දැන ගැනීමට ග්‍රාහකයාට ඇති අයිතිය ඉටු කිරීම හැම බලපත්‍රලාභියෙකුගේ ම වගකීම වේ. ඒ අනුව මහජන විශ්වසන මොඩලය ග්‍රාහක කේන්ද්‍රීය නියාමන මොඩලයක්. මෙහි දී විකාශන බලපත්‍රයක් යනු මූලික වශයෙන් එම කරුණු ඉටු වීම සහතික කිරීම පිණිස පුරවැසියන් සහ බලපත්‍රලාභීන් අතර ඇති වන ගිවිසුමකි. ස්වාධීන නියාමන යන්ත්‍රණයේ වගකීම එම ගිවිසුම ක්‍රියාත්මක කිරීමයි. එනිසා විද්‍යුත් මාධ්‍ය නියාමනය පොදු යහපත මුල් කර සම්මත කර ගත් නීතියක් මගින් කළ යුතු ය.
ඇමෙරිකානු එක්සත් ජනපදයේ විද්‍යුත් මාධ්‍ය නියාමන විධිවිධාන කලක් තිස්සේ ම මේ මොඩල දෙක අතර නිරන්තර ගැටුම පිළිබිඹු කළේ ය. එහෙත් කලක් තිස්සේ පවැති සාධාරණත්වය පිළිබඳ මූලධර්මය ජනාධිපති ඩොනල්ඩ් රේගන් යටතේ 1987 දී අත්හිටවීමෙන් පසු එක්සත් ජනපදයේ විද්‍යුත් මාධ්‍ය නියාමනය වූයේ පෞද්ගලික වෙළඳ පොළ මොඩලයට බරව යි. ෆොක්ස් නිව්ස් වැනි පක්ෂග්‍රාහී විද්‍යුත් නාලිකා වලට ඇමෙරිකානු ජනමතයට විශාල බලපෑමක් කිරීමට හැකි වුනේ ඒ නිසයි.
එහෙත් යුරෝපීය සම්ප්‍රදාය තුළ විද්‍යුත් මාධ්‍ය, මහජන පරිමණ්ඩලයේ (Public Sphere) අතිශයින් වැදගත් කොටසක් විය. එනිසා යුරෝපයේ මහජන සේවා විද්‍යුත් මාධ්‍යයට මුල් තැනක් තිබුණා. පුද්ගලික විද්‍යුත් මාධ්‍ය සේවා යුරෝපයේ ඇරඹුණේ ඇමෙරිකාවට වඩා බොහෝ කලකට පසු 1980 ගණන් වල දී ය. මේ නිසා ආරම්භයේ සිට ම යුරෝපයේ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නියාමනය මහජන විශ්වසන මොඩලයට බරක් තබා ක්‍රියාත්මක වූවක් විය. ඒ අනුව ප්‍රවෘත්ති ප්‍රචාරයේ දී හා මතභේදාත්මක කරුණු පිළිබඳ වැඩසටහන් වල දී බලපත්‍ර හිමියාගේ අභිමතය ප්‍රකාශ කිරීම හෝ බලපත්‍ර හිමියා කැමති මතවාදයට මුල් තැන දීම වැළැක්විය යුතු අකටයුත්තක් ලෙස සැලකිනි. ඒ සම්බන්ධයෙන් ඇති යුරෝපීය නීති අතරින් හොඳ උදාහරණයක් ලෙස සැලකිය හැක්කේ බ්‍රිතාන්‍ය නියාමන නීතියේ (Communication Act) 320 වැනි ඡේදයේ සඳහන් අපක්ෂපාතීත්වය පිළිබඳ විශේෂ අවශ්‍යතාව[1] Special Impartiality Requirement නමැති විධිවිධානයයි.
අපක්ෂපාතීත්වය පිළිබඳ මේ අවශ්‍යතාව බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන නීතියේ නො තිබෙන්නට 2017 පැවැතුණු මැතිවරණයේ දී ලේබර් පක්ෂයට එතරම් ආසන ගණනක් දිනා ගැනීමට ඉඩ නො ලැබෙනු ඇතයි කාඩිෆ් විශ්ව විද්‍යාලයේ සංනිවේදන මහාචාර්ය ජස්ටින් ලුවිස්[2] පෙන්වා දුන්නේ ය[3]. මාධ්‍ය හිමියන් අතර අධිරාජ්‍යයෙක් ලෙස සැලකෙන රූපට් මර්ඩොක්ට අයත් පුවත්පත් ඇතුළු වැඩියෙන් විකිණෙන ප්‍රධාන පුවත්පත් බොහෝමයක් එකී මැතිවරණයේ දී පක්ෂපාතීත් වය දැක්වූවේ කොන්සර්වෙටිව් පක්ෂයටයි. එහෙත් සිය පුවත්පත් යොදා ගත් අන්දමින් මර්ඩොක්ට ඔහු සතු විද්‍යුත් මාධ්‍ය ද කොන්සර්වෙටිව් පක්ෂයට වාසි වෙන ලෙස යොදා ගත නො හැකි වූයේ නියාමන නීතියට අනුව මැතිවරණවල දී විද්‍යුත් මාධ්‍යයේ අපක්ෂපාතීත්වය රැකීමට ඔහු බැඳී සිටි බැවිනි. ඒ නිසා මැතිවරණයේ දී මහජන මතය තමන්ට අභිමත අන්දමින් මෙහෙයවීමට ඔහුට නො හැකි විය.
බ්‍රිතාන්‍ය නියාමන නීතියට අනුව විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභීන් අපක්ෂපාතීත්වය උල්ලංඝනය නො කළ යුතු අවස්ථා වෙසෙසින් දක්වා ඇත. ඒ අනුව දේශපාලනික සහ වෘත්තීය අරගල සම්බන්ධ මතභේදාත්මක කරුණු වලදී(matters of political or industrial controversy) සහ තත් කාලීන පොදු ප්‍රතිපත්ති පිළිබඳ ව කරුණු වලදී (matters relating to current public policy) පැත්තක් නො ගෙන අපක්ෂපාතී ව කටයුතු කිරීමට බලපත්‍රලාභියා නීතියෙන් බැඳී සිටී. ඒ අනුව එවැනි කරුණු වල දී තමන්ගේ අභිමතය අසන්නන් හෝ නරඹන්නන් වෙත පටවනවාට වඩා මතභේදාත්මක කරුණු වල දී සියලු වැදගත් දෘෂ්ටිකෝණ අසන්නන් හෝ නරඹන්නන් වෙත ඉදිරිපත් කිරීමට බලපත්‍රලාභියා නීතියෙන් බැඳී සිටී. [i]
අපක්ෂපාතීත්වය පිළිබඳ අවශ්‍යතාවෙන් මූලික වශයෙන් ම ඉටු කරන්නේ අන් මත වාරණය කොට තම අභිමතයට අනුකූල වන ලෙස මහජන මතය මෙහෙයවීමට බලපත්‍ර හිමි කරුට ඇති හැකියාව අවම කිරීමයි. මේ අනුව තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මුවා වී අන් මතධාරීන්ට අවස්ථාවක් නො දී සිටීමට බලපත්‍ර හිමියාට ඉඩ නො ලැබේ. මන්ද අපක්ෂපාතීත්වය රැකීම ඉටු කල හැක්කේ මතභේදාත්මක කරුණු ඇතුළත් වැඩසටහන් වල දී අනෙකුත් වැදගත් මතවාද වලට ද ඉඩ සැලසීමෙනි. බ්‍රිතාන්‍ය නියාමන නීතියේ 319 වැනි වගන්තියට අනුව ප්‍රවෘත්ති ප්‍රකාශයට ද අපක්ෂපාතීත්වය පිළිබඳ විධිවිධානය සෘජු ලෙස අදාළ වේ.(“that news included in television and radio services is presented with due impartiality and that the impartiality requirements of section 320 are complied with”) අයර්ලන්ත නියාමනය නීතියට අනුව ප්‍රවෘත්ති ප්‍රකාශයක හෝ වර්තමාන සිදුවීම් පිළිබඳ සාකච්ඡා කෙරෙන වැඩසටහන් වල බලපත්‍ර හිමිකරු ගේ මතය ප්‍රකාශ කිරීම නියාමන නීතිය උල්ලංඝනය කිරීමකි.
මේ විධිවිධාන වල වැදගත්කම නො සලකන ඇතැම් අයගේ තර්කයක් වන්නේ එවැනි නීති මනෝරාජික ය, අනවශ්‍ය ය, මන්ද කෙසේ වෙතත් බලපත්‍ර හිමි කරු තමන්ගේ අභිමතයට මුල් තැන දීමට කටයුතු කරනු ඇති බවයි. ඒ සඳහා ඔවුන් තමන්ගේ මතය නියෝජනය කරන අය වැඩ සටහන් වලට යොදා ගනු ඇත. එහෙත් මෙහි දී අමතක කරන කරුණ නම් තමන්ට අභිමත මතය අන් අය ලවා ප්‍රචාරය කළ ද අපක්ෂපාතීත්වය නීතියෙන් නියම කර තිබීම නිසා අදාළ කාරණය පිළිබඳ අනෙකුත් මත ද එම වැඩසටහනේ හෝ ඊට නුදුරු සමාන වැඩ සටහනක ප්‍රචාරය කිරීමට බලපත්‍ර හිමි කරුට බල කෙරෙන බවයි. ඒ හැරත් අපක්ෂපාතීත්වය පිළිබඳ නීතිය අයිති කරුගේ අනිසි බලපෑමකට යටත් නොවී අදීන ලෙස තම වෘත්තීය වාර්තාකරණය සිදු කිරීමට ජනමාධ්‍යවේදීන් දිරි ගන්වයි.
මහාචාර්ය ජස්ටින් ලුවිස් පෙන්වා දුන් පරිදි අපක්ෂපාතීත්වය පිළිබඳ නීතිමය විධිවිධානය නො තිබුණේ නම් මර්ඩොක් වැනි දැවැන්ත මාධ්‍ය හිමියන්ට අවශ්‍ය වූ පරිදි බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ප්‍රතිඵලය වෙනස් වන්නට ඉඩ තිබුණි. ලංකාවේ ද 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ව විද්‍යුත් මාධ්‍යවලට තම තමන්ට අභිමත පක්ෂවලට සහයෝගය දැක්වීමට ඉඩ දෙන අමනෝඥ විධිවිධානයක් යෝජනා කර තිබුණා. විවාදාත්මක කරුණු ප්‍රචාරය කිරීමේ දී ද මැතිවරණයක දී ද විද්‍යුත් මාධ්‍යයේ අපක්ෂපාතීත්වය අනවශ්‍ය යැයි සලකන අය මතක තබා ගත යුතු කරුණක් වන්නේ යහමින් මුදල් වියදම් කිරීමට හැකි අයට (ඇතැම් විදේශීය රටවල් ලංකාවේ මැතිවරණ වලට විශාල වශයෙන් මුදල් වියදම් කරන බවට ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් පුවත් පත්වල මෑත දී පල වූ වාර්තා ද සලකමින්) මාධ්‍ය හිමියන්ගේ පක්ෂපාතීත්වය මිල දී ගැනීමට ඉඩ තැබීම යනු එය ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය තිබිය යුතු මහජන විශ්වාසය තව දුරටත් කඩාකප්පල් කිරීමට දායක වීමක් බවයි. එනිසා විවාදාත්මක කරුණු වල දී සියලු වැදගත් මතවාද ග්‍රාහකයන්ට දැන ගැනීමට හැකි වන විද්‍යුත් මාධ්‍ය අපක්ෂපාතී ව කටයුතු කළ යුතු බවට නීතිමය විධිවිධාන නියාමන ක්‍රමයට අඩංගු විය යුතුයි.
සැලකිය යුතු පෞද්ගලික මාධ්‍ය සංඛ්‍යාවක් ඇත්නම් වාර්තාකරණයේ සාධාරණත්වය (fairness) රැකීම සහ විවාදාත්මක අවස්ථාවල දී අපක්ෂපාතී වීම යන අවශ්‍යතා නො තකා තම තමන්ට අභිමත මතය ප්‍රකාශ කිරීමට විද්‍යුත් මාධ්‍ය කරුවන්ට හැකි වුවද ඒ සියල්ලේ ම එකතුව මගින් සමාජ ප්‍රකාශනය නිරූපනය කිරීමට හැකිවෙතැ’යි අදහස් කරන අය පළමු වෙන් කල්පනා කළ යුත්තේ බලපත්‍රලාභීන් සියලු දෙනා ම විවාදාත්මක හා තීරණාත්මක අවස්ථා වල දී තමන්ට නො රිසි අනෙකුත් මත වාරණය කරමින් එක් මතයකට පමණක් ප්‍රමුඛත් වය දීමට විවෘතව හෝ රහසිගතව හෝ තීරණය කළොත් ඒ නිසා වන අගතිය වැළැක්වීමට ස්වාධීන නියාමන යන්ත්‍රණයට නො හැකි වන බවත් ඒ අනුව මහජන මතයට සිදු විය හැකි විකෘතිය වැළැක්විය නො හැකි බවත් ය.
තොරතුරු යනු හුදු පාරිභෝගික භාණ්ඩයක් නොවේ. තොරතුරු සැපයීම පාලනය කිරීමට ඇති හැකියාව සමාජය නතු කර ගැනීමට ඇති හැකියාව පිළිබඳ ප්‍රමුඛ සාධකයකි. මුල් පෙලේ විද්‍යුත් මාධ්‍ය තම අභිමත මතය තෝරා ගන්නේ විවිධ මතවාද එකිනෙකා අතර බෙදා ගැනීමට එකඟ වීමෙන් නොව ඒ අදහස් අතරින් තම ව්‍යාපාරික හා දේශපාලනික අවශ්‍යතාවලට ගැළපෙන මතය කුමක්දැ’යි යන තක්සේරුව මතය.
විද්‍යුත් මාධ්‍ය අපක්ෂපාතී වීමේ අවශ්‍යතාව මැතිවරණ නීතියක පමණක් තිබිය යුතු දෙයක් යැයි පවසන අයට මතක් කළ යුත්තේ මැතිවරණවල දී පමණක් නොව පොදු ප්‍රතිපත්ති පිළිබඳ විවාදාත්මක කරුණු වල දී ද මහජන මතය තමන්ට අභිමත දිසාවට නැම්ම වීමට ඇති හැකියාවෙන් විද්‍යුත් මාධ්‍ය බලපත්‍ර හිමියන් වැලක් විය යුතු බවයි. මැතිවරණ වල දී මෙන් ම මැතිවරණ අතරතුර දී සමාජ කතිකාව නිසි ලෙස පවත්වා ගෙන යා හැක්කේ එමගිනි. අපක්ෂපාතීත්වය පිළිබඳ කාරණාව නියාමන නීතිය මගින් ආමන්ත්‍රණය නො කර එය මැතිවරණ නීතියක වැඩක් යැයි කීම නියාමන නීති යෝජනා කිරීමේ දී පවතින මාධ්‍ය හිමිකාරිත්වයේ උදහසට ලක් නො විය යුතු යැයි සිතන අය නිදහසට දක්වන හේතුවකි. විද්‍යුත් මාධ්‍ය සම්බන්ධ වැදගත් නියාමන කරුණු වල දී එය ඉටු විය යුත්තේ වෙනත් නීති මගින් නොව විද්‍යුත් මාධ්‍ය නියාමන නීතිය මගිනි. බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍යයේ අපක්ෂපාතීත්වය පිළිබඳ විධිවිධාන ඇත්තේ නියාමන නීතියේ මිස අන් නීතිවල නොවේ.
එක් එක් විද්‍යුත් මාධ්‍යයට තම අභිමත මතය ප්‍රකාශ කිරීමට, ප්‍රමුඛත්වය දීමට ඉඩ දිය යුතු ය. ඒ අනුව මහජන මතයේ ස්වරූපය දැන ගැනීමට අවශ්‍ය අයගේ වගකීම නම් නාලිකා කිහිපයක් ම නැරඹීම යැ’යි කෙනෙකුට තර්ක කළ හැකිය. එවැනි තර්ක විශ්ලේෂණයේ දී කාඩිෆ් විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍යවේදය පිළිබඳ මහාචාර්ය රිචර්ඩ් සැම්බෘක්[ii] පෙන්වා දෙන පහත සඳහන් කාරණය අවධානයට ලක් කිරීම වටී.
Homophily – the eco chamber effect where people tend towards the familiar or views they agree with – is an increased risk in the digital age. With an abundance of views and information it is easier than ever to seek refuge only in the familiar. ……….Unless there are major outlets with significant reach committed to reflecting an impartial diversity of views (as opposed to partial limited views) there is likely to be polarizing effect as the public limit their information sources to those with which they are pre-disposed to agree.[4]
ඔහු විස්තර කරන ඒ සමානුකූලතා (Homophily) බලපෑම නිසා ඇතිවිය හැකි අනර්ථකාරී බව තේරුම් ගැනීම අපේ සාකච්ඡාවට ඉතා වැදගත් ය. මෙහි දී සමානුකූලතාව යන්නෙන් අදහස් වන්නේ තිබිය හැකි අනෙක් අදහස් නො තකා තමන් දන්නා හෝ තමන්ට එකඟ විය හැකි අදහස් වලට පමණක් ලැදිවීමට මිනිසුන් දක්වන නැඹුරුතාවයයි. මෙය eco chamber effect යනුවෙන් ද. හඳුන්වනු ලැබේ. තොරතුරු ගහනය අතිශයින් ඉහළ යන තොරතුරු තාක්ෂණික යුගයක මෙය එක්තරා ආකාරයක අවදානමකි. මන්ද ඒ නිසා අන් මත නො තකන බුද්ධි ශෝධනයකට (Brain wash) ආන්තිකවාදී කොටස් නැඹුරු වීමට තිබෙන ඉඩ කඩ වැඩි බැවිනි. මේ නිසා තර්ක බුද්ධිය විසින් යුක්ති යුක්ත කළ හැකි සමාජ කතිකාවක් ගොඩ නගනු වෙනුවට අපේකම, ජන වර්ගය, කුලය, ආගම, හුදු විශ්වාසය හා මනෝභාවය ආදි කරුණු මත විවිධ කල්ලි වලට ජනසමාජය බෙදී යාමට අර කී සමානුකූලතාව හේතුවක් වේ. ඒ නිසා ඒකපාර්ශ්වික, සීමිත මතවාද පතුරවන විද්‍යුත් මාධ්‍ය නාලිකා වෙනුවට වෙනත් කවරදාකටත් වඩා අද අපට අවශ්‍ය වන්නේ මහජන යහපත මුල් කරගත් අපක්ෂපාතී ලෙස බහුවිධ අදහස් හා මතවාද නිරූපණය කරන විද්‍යුත් මාධ්‍යයයි.
එසේ නොමැතිව තම තොරතුරු ප්‍රභවය තමන්ට කැමති මතය සැපයෙන ප්‍රභවයට සීමා කර ගැනීමට ග්‍රාහකයන් පෙලඹීමෙන් සිදු වන්නේ අනෙකුත් මතවල සබුද්ධිමත් බව තක්සේරු කිරීමට නො හැකිව ජන සමාජය අනවශ්‍ය ලෙස කොටස් වලට ධ්‍රැවීකරණය වීමයි. මෙය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගත ස්වරූපය හැඩ ගැසෙන ආකාරය සම්බන්ධයෙන් අතිශයින් තීරණාත්මක විය හැකිය. එබැවින් අපක්ෂපාතීත්වය පිළිබඳ අවශ්‍යතාව නො තකා හැරිය හැකි දෙයක් නොවේ.
අනෙක් අතට තොරතුරු සමාජය තුළ සංසරණය වන වෛරී ප්‍රකාශන (වෛරී ප්‍රකාශන යනු පක්ෂග්‍රාහීත් වය නිසා පැන නැගෙන දෙයකි) බොරු පුවත් ආදී දේවල් වලින් සිදු විය හැකි හානිය අවම කර ගත හැකි වන්නේ සමාජ ජාල හෝ අන්තර් ජාලය නියාමනය කිරීමට නීති පැනවීමට තැත් කිරීමෙන් නොව වාර්තාකරණයේ දී නිරවද්‍යතාව හා සාධාරණත්වය මුල් කර ගන්නා සහ විවාදාත්මක කරුණු සම්බන්ධයෙන් අපක්ෂපාතී ව බහුවිධ මතවාද ඉදිරිපත් කළ හැකි වෘත්තීය විද්‍යුත් ජනමාධ්‍ය සේවා සඳහා උචිත වාතාවරණයක් ඇති කිරීමෙනි. නො එසේ ව අන්තර්ජාලය පාලනය කිරීමට නීති සැදිය නො හැකි නම් සමාජ මාධ්‍ය ජාලා මෙන් අභිමත පරිදි කටයුතු කිරීමට විද්‍යුත් මාධ්‍යයට ඉඩ දිය යුතු යැ’යි සිතීම නොවේ. මන්ද සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය මගින් ඉටු කරන්නේ එකිනෙකට වෙනස් වූ කාර්යභාරයන් වන බැවිනි. විද්‍යුත් මාධ්‍යය නියාමනයේ ප්‍රමුඛ කාර්ය අයිතියේ ස්වභාවය කුමක් වුවද වෘත්තීය ජනමාධ්‍යයක් වශයෙන් කටයුතු කිරීමට විද්‍යුත් මාධ්‍යයට සහ ඒවායේ නියුතු ජනමාධ්‍යවේදීන්ට අවස්ථාව සැලසීමයි.
වර්තමාන ලාංකේය සන්දර්භය තුළ අන් සියල්ලට ම වඩා විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සමස්තයක් වශයෙන් යහපත් බලපෑමක් ඇති කළ හැකි නියාමන ක්‍රමය වන්නේ දැනට ඇති පක්ෂපාතී රාජ්‍ය මාධ්‍ය වෙනුවට කල් නො යවා අපක්ෂපාතී ස්වාධීන මහජන සේවා විද්‍යුත් මාධ්‍ය පද්ධතියක් හඳුන්වා දීමයි. බීබීසිය පමණක් නොව ස්කැන්ඩිනේවියානු රටවල මහජන සේවා මාධ්‍යය ද ජපානය කැනඩාව ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය ජර්මනිය ප්‍රංශය ඇතුළු බොහෝ යුරෝපීය රටවලද පෞද්ගලික අංශයේ විද්‍යුත් මාධ්‍ය වලට තරඟකාරී වෘත්තීය මට්ටමකින් සිය මාධ්‍ය සේවා පවත්වා ගෙන යාමට සිදු වී තිබෙන්නේ එකී රටවල ඉහළ ගුණාත්මක භාවයකින් යුතු මහජන සේවා විද්‍යුත් මාධ්‍ය පවත්වා ගෙන යාම ඒ රටවල ප්‍රජාතන්ත්‍රවාදයේ ම අත්‍යවශ්‍ය අංග ලක්ෂණයක් බවට පත් ව තිබෙන නිසයි.
හොඳ මට්ටමේ මහජන සේවා විද්‍යුත් මාධ්‍යක කාර්ය පිඬු කොට ගත්තොත් සමාජය එන්ලයිට්න් කිරීම නැත්නම් ප්‍රබුද්ධ කිරීම කියලා කියන්න පුලුවන්. ඒ අනුව දේශපාලනික වශයෙන්, ආර්ථික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්, අධ්‍යාපනික වශයෙන්, සංස්කෘතික වශයෙන් රසවින්දනාත්මක වශයෙන් සමාජය එන්ලයිට්න් කිරීම නැත්නම් ප්‍රබුද්ධ කිරීම මහජන සේවා විද්‍යුත් මාධ්‍යයේ කාර්යයි. ඵලදායි මහජන සේවා විද්‍යුත් මාධ්‍යයක් පවත්වා ගෙන යාමට අවම වශයෙන් මූලික කරුණු දෙකක් සම්පූර්ණ කළ යුතුයි. පළමුවෙන් ම ආණ්ඩුවෙන් සහ ව්‍යාපාරික බලපෑම් වලින් ස්වාධීන වූ ජනමාධ්‍යයේ වෘත්තීය පරිචය හා සංලේඛ්‍ය නිදහස සහතික කරන සහ තම කාර්ය භාරය සම්බන්ධයෙන් ජනසමාජයට සෘජුව වග වෙන ආයතනික ව්‍යුහයක් එයට තිබිය යුතුයි. දෙවනුව ගුණාත්මක මට්ටමින් ඉහළ වැඩසටහන් සම්පාදනය කොට ඉදිරිපත් කිරීමට අවශ්‍ය මූල්‍ය සම්පත් සහ වෘත්තීය පරිචය අතින් ඉහල කාර්ය මණ්ඩලයක් එයට ලබා දිය යුතුයි. ඒ අනුව නුතන ව්‍යවස්ථා සම්පාදකයෝ ස්වාධීන මහජන සේවා විද්‍යුත් මාධ්‍යයක අවශ්‍යතාවය දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක අත්‍යවශ්‍ය අංගයක් ලෙස සලකා ඒ සඳහා ව්‍යවස්ථාවෙන් විධිවිධාන සැලසිය යුතුය. අපේ අධ්‍යාපන ක්‍රමයට, සෞඛ්‍යයට හා සනීපාරක්ෂාවට දී ඇති වැදගත් කමට නො අඩු වැදගත් කමක් මහජන සේවා විද්‍යුත් මාධ්‍ය ප්‍රමුඛ ජනමාධ්‍ය පද්ධතියට ආරෝපණය කිරීම දියුණු ජන සමාජයක් ගොඩ නැගීමේ පූර්ව කොන්දේසියක් බවට පත් වෙමින් තිබේ.
මේ නිසා අපේ කතිකාව හුදෙක් පෞද්ගලික මාධ්‍ය පිළිබඳ විවේචනයකට පමණක් සීමා නො කොට රාජ්‍ය මාධ්‍ය ස්වාධීන මහජන සේවා ජනමාධ්‍ය බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව කරා අනලස්ව යොමු විය යුතුයි.
විජයානන්ද ජයවීර
[1] https://www.legislation.gov.uk/ukpga/2003/21/section/320
[2] As Loughborough’s research shows, press coverage in this campaign has been overwhelmingly anti-Labour and broadcasters have by no means given Labour an easy ride. But their statutory obligation to impartiality means that they have done what news providers are supposed to do in a democracy, and given both sides roughly equal time to make their case. – Justin Lewis Professor of Communication, Cardiff University
[3] http://theconversation.com/broadcast-impartiality-rule-has-helped-labour-to-achieve-biggest-poll-shift-since-1945-78949
[4] Richard Sambrook, (2012), Delivering Trust Impartiality and Objectivity in the digital Age, published by the Reuters Institute Study of Journalism
Impartiality Requirement
[i] The requirements of this section are—
(a)the exclusion, in the case of television and radio services (other than a restricted service within the meaning of section 245), from programmes included in any of those services of all expressions of the views or opinions of the person providing the service on any of the matters mentioned in subsection (2);
(b)the preservation, in the case of every television programme service, teletext service, national radio service and national digital sound programme service, of due impartiality, on the part of the person providing the service, as respects all of those matters;
(c)the prevention, in the case of every local radio service, local digital sound programme service or radio licensable content service, of the giving of undue prominence in the programmes included in the service to the views and opinions of particular persons or bodies on any of those matters.
(2)Those matters are—
(a)matters of political or industrial controversy; and
(b)matters relating to current public policy.