
සමරසිංහ ගුණසේකර මහතා ලියූ “රෝද පුටුවෙන් විශ්වයට ගිය අපේ කාලයේ විස්මිත මිනිසා ස්ටීවන් හෝකිං” නමැති පොත වල්පොල රාහුල මධ්‍යස්ථානයේ දී ජනගත කළා. විශ්වය තුළ මිනිසා යන තේමාව පසුබිම් කොට එහිදී මා කළ ආරාධිත කථාවයි මේ.
අපේ එදිනෙදා ජීවන අරගලයෙන් මොහොතකට මිදී අපි ආවේ කොහන්ද? කොහොමද? විශ්වය මේ අන්දමට හැදිල තියෙන්නෙ ඇයි වගේ දැවැන්ත ප්‍රශ්න වලට පිළිතුරු විචාරශීලී ලෙස විමසා බලන්න හුදී ජනයා වන අපට තියෙන දැනුම සහ ලැබෙන අවස්ථා බෙහෙවින් අඩුයි.
එහෙත් අපේ වාසනාවකට වගේ ලෝකයේ ඉන්න ඇතැම් ස්මාර්ට් උදවිය තමන්ගේ මුලු ජීවිත කාලය ම වගේ යොදවන්නේ අතිශයින් කුතුහලය දනවන එවැනි ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමටයි. “රෝද පුටුවෙන් විශ්වයට ගිය අපේ කාලයේ විස්මිත මිනිසා ස්ටීවන් හෝකිං” යන නමින් අද සමරසිංහ ගුණසේකර මහත්මයා එළිදැක්වූ පොතෙන් හඳුන්වා දෙන, ගිය අවුරුද්දේ මාර්තු 14 වෙනිදා අවුරුදු 76ක් වයස් ගත වී මිය ගිය, ඉංග්‍රීසි ජාතික න්‍යායික භෞතික විද්‍යාඥයෙකු වන ස්ටීවන් හෝකින්ග් එවැනි ප්‍රශස්ත පුද්ගලයන් අතර විශිෂ්ටයෙක්. ඊට හේතු ගුණසේකර මහත්මයාගේ පොතේ ඉතාමත් ප්‍රශස්ත ව සහ සරල ව ඉදිරිපත් කර තිබෙනවා. ජීවිතයෙන් වැඩි කාලයක් තමන්ගේ සිරුර ආම්බාම් කරගැනීමට නොහැකිව ආබාධිතයෙකු වශයෙන් සිටිමින් අප්‍රතිහත ධෛර්යයකින් යුක්ත ව කටයුතු කළ අපූරු මනුෂ්‍යයෙකු වශයෙන් ස්ටීවන් හෝකින්ග් ගැන දැන ගතයුත්තේ මන්ද?, වගේ ම විද්‍යාවට ඔහු විශිෂ්ටයෙකු වන්නේ කෙසේ ද? වැනි කරුණු සම්බන්ධයෙන් සිංහල පාඨකයන්ගේ කුතුහලය අවුලමින් ස්ටීවන් හෝකින්ගේ ජීවිතයේ ඇතැම් තොරතුරු අප ඉදිරියේ දිග හරින මේ පොත අතිශය සිත්කාවදින බසකින් ඉතාමත් සිත් ගන්නා ආකාරයෙන් ඡායාරූප සහිතව විචිත්‍රව ගුණසේකර මහත්මයා ලියා පළකර තියෙනවා.
විද්‍යාත්මක කරුණු එළිදැක්වීමට විද්‍යාඥයන් ගන්නා වෙහෙස සරල ව සිංහල පාඨකයන්ට හඳුන්වා දෙන, ඒ ඔස්සේ ඉදිරියට ගොස් අපේ සමාජයෙ පවතින මෝහාන්ධකාරය අභියෝගයට ලක් කිරීමට අපේ යෞවනයන් පොලඹවන මෙවැනි කරුණුමය සත්‍ය මත පමණක් පදනම් වූ නිර්ප්‍රබන්ධ සාහිත්‍ය වැඩි වැඩියෙන් අවශ්‍ය වන යුගයකයි අප දැන් ජීවත් වන්නේ. අවාසනාවකට මෙවැනි නිර්ප්‍රබන්ධ සාහිත්‍ය පළ කිරීම උසි ගන්වන, දිරි ගන්වන වැඩ පිළිවෙළක් ජාතික මට්ටමින් අපට නැහැ. අපේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්ති සැකසීමට භාර ගෙන ඇති අය ඒ ගැන සැලකිල්ලක් දක්වන බවක් පෙනෙන්නටත් නැහැ. අතිරේක කියවීම් වෙත අද කාලයේ පාසැල් දරුවන් යොමු කරන බවක් ද පේන්නේ නැහැ.
දශක ගණක පෙර රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විෂය කරුණු වලට අදාල සම්භාව්‍ය විදේශීය නිර්ප්‍රබන්ධ කෘති සිංහලට පරිවර්තනය කොට සිංහලෙන් ඉගෙන ගන්නා අපේ දූ දරුවන්ට, සිංහලෙන් කියවන වැඩිහිටියන්ට විවිධ විෂය පිළිබඳ දැනුම ළඟා කර ගැනීමට අවස්ථාව සැලසුවා. ඒත් එය කලකට පෙර ම නතර වුණා. දැන් නම් ඉතිං ඉංග්‍රිසි භාෂාව දන්නවා නම්, විශ්වාසදායක අන්තර්ගතය සොයා ගැනීමට උදව්වෙන ආකාරයේ තොරතුරු සාක්ෂරතාවක් තියෙනවා නම් අන්තර්ජාලය ඔස්සේ තමන්ට අවශ්‍ය ඕනෑම ආකාරයක නව දැනුමක් ලබා ගන්න කෙනෙකුට අපහසු නැහැ. ඒ නිසා මා තදින් ම විශ්වාස කරනවා හැකි තරම් ඉක්මනින් අපේ පාසල්වල ද්වීතියක මට්ටමේ අධ්‍යාපනයේ භාෂාව අනුක්‍රමයෙන් ඉංග්‍රිසි බවට පත් කළ යුතුය, ඒ වරප්‍රසාදය, පෞද්ගලික පාසල්වලට සිය දූ දරුවන් යැවිය හැකි, ඇති හැකි අයට පමණක් සීමා නො කර සියලු ලාංකික දූ දරුවන්ට ලබා දිය යුතුයි කියලා.
විද්‍යාව සම්බන්ධයෙන් සිංහලෙන් පළ වුණු පළමුවැනි නිර්ප්‍රබන්ධ කෘතිය වශයෙන් සලකන්න පුළුවන් පරිණාමවාදය සිංහල පාඨකයන්ට හඳුන්වා දීම සඳහා මීට අවුරුදු 85 කට ඉස්සර 1934 දී පළ කළ මාටින් වික්‍රමසිංහ ශූරීන් ලියූ “සත්ව සන්තතිය” නමැති කෘතිය. පරිණාම වාදය පිළිබඳ මූලික අදහස සරල ව මහජනයා වෙත ළඟා කර දීමට පළ කළ එවැනි කෘතීන් සිංහල ගිහියන් මෙන් ම පැවිද්දන් ද විචාරශීලී චින්තන සම්ප්‍රදායට වඩ වඩා සමීප කළා. වල්පොළ රාහුල යතිවරයන් ඇතුළු තත්කාලීන ගිහි පැවිදි බුද්ධිමතුන් බිහි වීමට පසුබිම සැපයූයේ මාටින් වික්‍රමසිංහ, ඊ.ඩබ්. අදිකාරම් වැනි අය පළ කළ එවැනි නිර්ප්‍රබන්ධ පොත් නිසයි. ඒ සන්දර්භය තුළ සමරසිංහ ගුණසේකර මහත්මයා ස්ටීවන් හෝකින්ග් නමැති විශිෂ්ට විද්‍යාඥයා සිංහල පාඨකයන්ට හඳුන්වා දීම සඳහා පළ කර ඇති මේ පොත අපි ඉතා අගය කළ යුතුයි.
ස්ටීවන් හෝකින්ග්ස්ගේ අධ්‍යනයට ලක් වූ මූලික ක්ෂේත්‍රය Cosmology – සිංහලෙන් නම් විශ්වවේදය සහ අන්තරීක්ෂ වේදය ආදී නම් වලින් හඳුන්වන්ට පුළුවන්. විශ්වය පිළිබඳ ඒ අන්තරීක්ෂවේදී පසුබිමේ තමයි, අපි ආවේ කොහෙන් ද ? කොහොමද? අප ජීවත් වෙන ලෝකය හා එය ඇතුලත් වන සමස්ත විශ්වය වෙනත් අයුරකට නැතිව මේ අන්දමින් තියෙන්නේ ඇයි වගේ බෙහෙවින් කුතුහලය දනවන ප්‍රශ්න මතු වෙන්නේ.
ආගමත්, සුවිශේෂ වශයෙන්ම ප්‍රධාන පෙළේ දේවවාදී ආගම්, මේ කියන මූලික ප්‍රශ්න වලට සුනිත්‍ය පිළිතුරු ලබා දෙනවා. ඒත් මේ ප්‍රශ්න සම්බන්ධයෙන් විද්‍යාව සහ ආගම යන දෙපැත්තෙන් එන පිළිතුරු එකිනෙකට හාත් පසින් ම වෙනස්. ආගම ඒ ප්‍රශ්න වලට දෙන පිළිතුරු පෙර අපර දේව නිරිමාණවාදය මත පදනම් වුණු නො වෙනස් සදාතනික ඇදහිලි වශයෙන් විශ්වාස කිරීමට අපට බල කරන පිළිතුරුයි. ලෝකය මැවුවේ දෙවියෝ. ආයෙත් ඒකේ දෙකක් නැහැ. එහෙත් විද්‍යාව ඒ සම්බන්ධයෙන් ලබා දීමට තැත් කරන පිළිතුරු අවසාන සත්‍ය, පරම සත්‍ය වශයෙන් අපට හඳුන්වා දෙන්නේ නැහැ. අලුත් අලුත් සොයා ගැනීම් වලට අනුව කලින් තිබූ විද්‍යාත්මක විස්තර කිරීම් නව සොයා ගැනීම් විසින් අතික්‍රමණය කරනු ලබනවා. ඒ සොයා ගැනීම් අනුව විද්‍යාත්මක නිගමන රාමු ගත කරන පැරඩයිම හෙවත් සුසමාදර්ශ ද නව තලයක පිහිටවෙනවා.
උදාහරණයක් වශයෙන් ඇරිස්ටෝටල් ගේ මතවාද මත පදනම් වූ විද්‍යාත්මක සුසමාදර්ශය තුළ සූර්යයා ප්‍රධාන කොට අහසේ පිහිටා ඇති සියලු ග්‍රහ වස්තු භ්‍රමණය වන්නේ පෘථිවිය වටායි. ඒකයි බැලූ බැල්මටම පේන්නේ. ඒකාලේ ඇරිස්ටොටල්ගේ විද්‍යාව සීමා වෙලා තිබුණේ ඒ සුසමාදර්ශය තුළ. ඒත් ඊට අවුරුදු 1900 කට පමණ පසු, ඇත්ත වශයෙන්ම ග්‍රහවස්ත්‍ර කරකැවෙන්නේ පොළොව වටා නොව සූර්යයා වටා බව නිකොලස් කොපර්නිකස් පෙන්වා දුන් විට අර කලින් පැවති සුසමාදර්ශය උඩු යටිකුරු වෙලා ගියා. ඉන් අනතුරුව පැමිණි විද්‍යාත්මක චින්තනය ගොඩ නැගුණේ ඒ අනුවයි. කොපර්නිකස් දැමු පදනම මත ගොඩනැගුණ සුසමාදර්ශය තුළ අයිසැක් නිව්ටන්ගේ සිට ඇල්බට් අයින්ටයින් සහ ස්ටීවන් හෝකින්ග් යනාදී වශයෙන් බොහෝ ස්මාර්ට් උදවිය අපට විශ්වය විවෘත කර දුන්නා
දැන් මම මෙහෙම කිව්වා ම කෙනෙක් අහන්නට පුළුවන් තව කලක් ගියා ම විද්‍යාව පිළිබඳ දැන් තියෙන සුසමාදර්ශය උඩු යටිකුරු වෙලා ගිහිල්ලා ඇරිස්ටෝටල්ගේ සුසමාදර්ශය ඒ කියන්නේ පොළොව වටා සූර්යයා කර කැවෙන බව හරිය කියලා නිගමනයකට එන්න බැරි කමක් නැද්ද කියලා. නූතන විද්‍යාව හෙලා දකින ඒවා හුදු බටහිර සංකල්ප කියන උදවිය තුළත් නොයෙක් ආකාරයේ අතීතකාමීන් තුළත් ඒ වගේ සිහින ඇති වෙන්න පුළුවන්. ඒත් විද්‍යාත්මක සුසමාදර්ශ එකිනෙක පරයා ඉදිරියට යනවා මිසක් ආ පස්සට යන්නේ නැහැ. එයත් හරියටම කාලය වගෙයි. කාලය ගමන් කරන්නේ අනාගතයට දෙසට මිසක් ආ පස්සට නොවෙයි. ස්ටීවන් හෝකින්ග්, කාලෝ රොවෙල්ලි වැනි න්‍යායික භෞතික විද්‍යාඥයෝ බොහොම පැහැදිලිව කාලය එක අතකට ගමන් කරන්නේ ඇයි කියන කාරණය විස්තර කරල තියෙනවා.
මේකට උදාහරණයක් වශයෙන් අපිට කියන්න පුළුවන් ගොඩ ගහල තියෙන වැලි ගොඩක් අනුක්‍රමයෙන් විසිරිලා යනවා මිසක් එසේ විසිරුණු වැලි ගොඩ නැවත ස්වයං ක්‍රියාකාරී ව අළුත් ගොඩක් වශයෙන් එක් වෙන්නේ නැති බව. තවත් උදාහරණයකින් කිව්වොත් කරාමයක් ඇරියා ම වැටෙන වතුර බිමට වැටෙනවා මිසක් වතුර ඇති හෝ නැති කරාමයක් ඇරියාට බිම තියෙන වතුර ඉබේම කරාමය තුලට ඇද ගැනෙන්නේ නැහැ. කාලයත් ගමන් කරන්නේ ඒ වගේ එක් දිසාවකට එනම් අනාගතය දෙසට පමණයි. විශ්වයේ ස්වභාවය එයයි. විද්‍යාවත් ඒ වගේයි. පැරණි සුසමාදර්ශ එකිනෙක අනුක්‍රමයෙන් සමතික්‍රමණය කරමින් ඉදිරියට යනවා මිසක් ආ පස්සට යන්නේ නැහැ. ඒ අනුව ඇරිස්ටෝටල් යුගයේ හඳුන්වා දුන් පොළොව වටා සූර්යයා ගමන්කරනවායැ’යි යන අදහස මත එදා ගොඩනැගුණු සුසමාදර්ශය නිෂේධ වී හමාරයි. එයට නැවත වලංගුභාවයක් ඇති වෙන්නේ නැහැ. කොයි තරම් අතීතකාමයක්, අතීතය පිළිබඳ ඇල්මක් තිබුනත් අපිට හිතන්න වෙන්නේ අනාගතය ගැනයි. යන්න වෙන්නේ කාලයත් එක්ක අනාගතයට පමණයි.
ස්ටීවන් හෝකින්ග් මුලින් ම ප්‍රසිද්ධ වුණේ විශ්වයේ ඇති කල කුහර සම්බන්ධයෙන් ඔහු ඇති කළ වැරදි මතවාදයක් සහ පසුව එය වැරැද්දක් වශයෙන් නිහතමානී ව පිළි ගැණීම නිසයි.
සාමාන්‍යයෙන් කලුකුහර විශවයේ ඇති ගැලැක්සියක් මැද හෝ සුපිරි තාරකාවක් ක්ෂය වී තාරකාව තුලට ම කඩා වැටීම නිසා ඇති විය හැකි බවයි විද්‍යාඥයන්ගේ මතය. අපේ සූර්යයාගේ ස්කන්ධය මෙන් දළ වශයෙන් දෙගුණයක් හෝ ඊට වැඩි ඕනෑම තාරකාවක් කළු කුහරයක් බවට පත් වීමට හැකියි. එවන් තාරකා සතුව දැවැන්ත ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් තියනවා. එමගින් ඇතුළට යොමු වුණ පීඩනයක් නිර්මාණය කරනු ලබනවා. තාරකා, සිය ජීවිත කාලය තුල මීට විරුද්ධව ක්‍රියා කරන්නේ ඒවායේ (තාරකාවල) හරයෙහි න්‍යෂ්ටික විලයන ප්‍රතිචාරය නිසයි. එහෙත් තාරකා (ඒවායේ න්‍යෂ්ටික විලයනය සඳහා අවශ්‍ය) ඉන්ධන අවසන් වී යත්ම තවදුරටත් විරෝධ ප්‍රතික්‍රියා දැක්වීමට නොහැකි ව ඒවා තුලට ම ගුලි වීමට හා හැකිළීමට පටන් ගන්නවා. මේ ක්‍රියාදාමය හඳුන්වනු ලබන්නේ ගුරුත්වාකර්ෂණීය ඇදවැටීම යනුවෙන්. මෙය සමහර විට කලු කුහරයක් සෑදීමට සෘජුව ම මඟ පාදනවා. එහෙම නැතිනම් තාරකාවෙන් හරය පමණක් ඉතිරි කර පිටත ස්තර විනාශ වී සුපර්නෝවා නමින් හැඳින්වෙන දැවැන්ත පිපිරීමකට මඟ පාදනවා.
ක්ෂය වන තාරකාවක් තුළ බිඳී ඇද හැලෙන ද්‍රව්‍ය එන්ට එන්ට ම ඝන වෙත් ම එහි ගුරුත්වාකර්ෂණය කොතරම් ප්‍රබල වේ ද කියනවා නම් ආලෝකයට වත් ගැලවීමක් නැති ආපසු හැරිය නොහැකි ලක්ෂ්‍ය පහුකරනවා. ඉතින්, ඔන්න ඔය අන්දමට කල කුහරයක් බිහි වෙනවා.
කෙසේ වෙතත්, විස්මයට කාරණාව වන්නේ පොදුවේ ගත් කළ කළු කුහර වල පැවැත්ම අප පිළිගනු ලැබූවත් කිසිවකු, කිසි දිනක කළු කුහරයක් දැක නො තිබීම යි. ඊට අප වඩාත් ම සමීප වූ අවස්ථාවක් තමයි මෑතක කල කුහර දෙකක් ඝට්ටනය වීමෙන් හට ගත් ගුරුත්වාකර්ෂණ තරංග සොයා ගැනීම.
කලුකුහර සම්බන්ධ හෝකින්ග් ගේ මුල් ම වැදගත් සොයා ගැනීම සිදු වුනේ 1970 දී රොජර් පෙන්රෝස් සමග එක් ව විශ්වයේ ඇති කළු කුහර (black hole) පිළිබඳ ගණිතමය සූත්‍ර විශ්වයේ පැවැත්ම පිළිබඳ සංකල්ප වලට ආදේශ කළ අවස්ථාවේ දී යි.
ක්වොන්ටම් න්‍යාය ට අනුව කලු කුහර වලින් තාපය විකිරණය විය යුතු බවත් ඒ අනුව කලු කුහර වලට සදාකාලික පැවැත්මක් නැති බවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඔහු 1974 දී කළා. සාමාන්‍ය ප්‍රමාණයේ කලු කුහර වලින් තාපය නිකුත් වන වේගය ඉතා මඳ වුව ද කුඩා කලු කුහර වල මේ ක්‍රියාව මෙගා ටොන් එකක හයිඩ්‍රජන් බෝම්බ මිලියනයකට සමව පුපුරා යන තෙක් අතිශය සීඝ්‍ර වේගයකින් සිදු වන බවත් ඔහු ප්‍රකාශ කළා.
කලු කුහර වලින් තාපය මෙසේ නිකුත් වීම පිළිබඳ ඔහුගේ මතය නුතන විශ්ව වේදයේ වඩාත් ම විවාදයට ලක් වූ අදහසක් වුණා. මෙසේ කළු කුහරයකට අතුරුදහන් විය හැකි නම් කලු කුහරයේ ජීවිත කාලය පුරා ම ගුරුත්වාකර්ෂණය නිසා එ තුළ ට ඇද ගන්නා ලද සියලු තොරතුරු ද සදහට ම නැතිව යන බව හෝකින්ග් තර්ක කළා. මේ අදහස ක්වොන්ටම් යාන්ත්‍රකය පිළිබඳ මූලික නියාමයකට පටහැණි වූ බැවින් භෞතික විද්‍යාඥයන් සැලකිය යුතු ප්‍රමාණයක් හෝකින්ග් ගේ අදහස ප්‍රතික්ෂේප කළා. ඒ පිළිබඳ වඩා පිළිගත් අදහස වූයේ තොරතුරු ගබඩා වන්නේ කළු කුහරයේ සිද්ධි පරිමණ්ඩලයක (Event Horizon) බැවින් කලු කුහරය විකිරණය වන විට එම තොරතුරු ද එකී විකිරණ වල කේතනය වන බව ය. කලකට පසු, මේ අදහස හෝකින්ග් විසින් ද පිළිගත් ආකාරය හෝකින්ගේ ශිෂ්‍යාවක වූ මහාචාර්ය මරියා ටේලර් විස්තර කරන්නේ මෙසේයි.
“අප සමග බාර් එකක තරමක පහත් හඬින් කතා කරමින් සිටි හෝකින්ග් හිටිවන ම ඔහුගේ කථන ආධාරකයේ හඬ වැඩි කළේ ය (සිය රෝගය නිසා ස්වාභාවික ලෙස කතා කළ නො හැකි ව සිටි හෝකින්ග් ඒ සඳහා විශේෂයෙන් නිර්මාණය කළ විද්‍යුත් කථන ආධාරකයක් යොදා ගත්තේ ය.) “මං දැන් කියන්නටයි යන්නේ” යනුවෙන් මහා හඬක් කථන ආධාරකයෙන් නිකුත් විය. බාර් එකේ සතුටු සාමිචියේ යෙදී සිටි සියල්ලෝ ම තුෂ්ණිම්භූතව නිශ්ශබ්ද වූහ. “ඔව් මං දැන් පිළිගන්නවා අර මං කලින් කියූ අන්දමට සදහටම තොරතුරු නැතිව යාමක් සිදු නොවන බව”.
විද්‍යාඥයෝ බොහෝ විට කිසියම් පූර්ව නිගමනයක පිහිටල තමයි විද්‍යාත්මක පරීක්ෂණ කරන්නේ. ඒත් එම උපකල්පන, පූර්ව නිගමන කුමක් වුනත් තමන් විතරක් නෙවෙයි වෙනත් අය කරන පරීක්ෂණවලින් ලැබෙන ප්‍රතිඵල අනුව විද්‍යාඥයෝ තම පූර්ව නිගමන වෙනස් කර ගන්නවා.
ආගමික විශ්වාස එහෙම නැහැ. ඒවා පරම සත්‍ය වශයෙනුයි හැදින්වෙන්නේ. එහෙම අවසාන නැත්නම් පරම සත්‍ය කියල දෙයක් මේ විශ්වයේ තියෙන්න පුළුවන් ද?
විශ්වයට “grand design” එකක් නැත්නම් “මහා පිරි සැලැස්මක්” ඇතැ’යි කළක් ස්ටීවන් හෝකින්ග් විශ්වාස කළා. ඒත් ඔහුගේ ඒ “මහා පිරිසැලැස්ම” පිළිබඳ අදහස ලෝකය යනු කිසියම් සර්වබලාධාරියෙකු විසින් කරන ළද නිර්මිතයක් ලෙස හුවාදක්වන දේව-නිර්මාණවාදය සමග කිසි සම්බන්ධයක් නැහැ.
1988 දී A Brief History of Time, (ඛාලය ගැන කෙටි ඉතිහාසයක්) යන නමින් ඔහු පළ කළ පොතේ “theory of everything” නැත්නම් සියලු දේ සම්බන්ධව පරිපූර්ණ තියරියක්, පරම න්‍යායක් භෞතික විද්‍යාඥයන්ට සොයා ගන්න පුළුවන් නම් ඔවුන්ට දෙවියන්ගේ හිත දැන ගැනීමට හැකි වෙයි යනුවෙන් ඔහු සඳහන් කළා. (ස්ටීවන් හෝකින්ග් ගේ ජීවිත කතාව පදනම් කර ගෙන ජේම්ස් මාෂ් අධ්‍යක්ෂණය කළ විශිෂ්ට චිත්‍රපටයත් නම් කරල තියෙන්නේ “theory of everything”,පරම න්‍යාය යන නමින්).
මහා පිරිසැලැස්ම “grand design” ගැන කල්පනා කළ එ් කාලයේ දී ස්ටීවන් හෝකින්ග් විශ්වාස කළා අපිට කවද හරි විශ්වය පිළිබඳ සියලු දේ විස්තර කරන සර්වබලධාරී දෙවියෙක් වගේ සලකන්න පුලුවන් “theory of everything” යනුවෙන් හඳුන්වන පරම න්‍යායක්, තියරි එකක් හොයා ගන්න පුළුවන් කියල. එහෙත් කර්ට් ගොඩ්ල් නමැති ඇමෙරිකානු ගණිතඥයාගේ අදහස් අධ්‍යනය කළාට පස්සේ ඒ වගේ සමස්තය විස්තර කරන පරම න්‍යායක් කවදාවත් බිහි නොවන බව ස්ටීවන් හෝකින්ග් තේරුම් ගත්තා. ඒ සම්බන්ධයෙන් හෝකින්ග් මෙහෙම කිව්වා.
(විශ්වය සම්බන්ධයෙන්) “කිසියම් නිශ්චිත මූලධර්ම කිහිපයකින් පමණක් සමන්විත සමස්ත පරම න්‍යායක් නො තිබීම ගැන දැන් ඇතැම් අය කලකිරී ඇති බව නිසැකයි. මමත් කලක් ඒ ගැන කලකිරුණා. ඒත් දැන් මම වෙනස් වෙලා. අපේ දැන සොයා ගැනීම් කවදාවත් නිම නොවන එකක් වීම ගැන දැන් මං බෙහෙවින් සතුටුයි. යමක් අලුතෙන් සොයා ගැනීමේ අභියෝගයට මුහුණ දෙන්න අපට හැම තිස්සේ ම ඉඩ තියෙන්න ඕනෑ. එහෙම නැත්නම් අපි එක තැන පල්වේවි.”
‘යමක් අලුතෙන් සොයා ගැනීමේ අභියෝගයට මුහුණ දෙන්න අපට හැම තිස්සේම ඉඩ තියෙන්න ඕන’ කියන කියමන තුළ තියෙන්නේ නිර්මාණශීලී නිදහස, චින්තනයේ නිදහස, අදහස් හුවමාරු කර ගැනීමේ සහ ප්‍රකාශ කිරීමේ නිදහස නැතිව අපට ප්‍රගමනයක් නැති බවයි. ඒ නිසා ඒවා හුදෙක් පුද්ගල අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න විතරක් නොවෙයි සමාජයීය හා විද්‍යාත්මක දියුණුව පිළිබඳ නො සලකා හැරිය නොහැකි ප්‍රශ්න.
“අපේ දැන සොයා ගැනීම් කවදාවත් නිම නොවන එකක් වීම ගැන දැන් මං බෙහෙවින් සතුටු’යි” යන්නෙන් ස්ටීවන් හෝකින්ග් අදහස් කළේ නොකඩවා ප්‍රසාරණය වන විශ්වය වගේ ම අපේ ඥානනීය නැත්නම් දැන ගැනීමේ හැකියාවත් අනන්ත අප්‍රමාණ වූ දෙයක් බවයි. දැනට අප සතු තාක්ෂණය යොදා දැනගත හැකි ග්‍රහක, චන්ද්‍රයින්, ග්‍රහ වස්තු, සෞරග‍්‍රහ මණ්ඩල, සූර්යයන්, ගැලැක්සි නැත්නම් මන්දාකිණි, කලු කුහර, සුපර්නෝවා ආදී බිලියන ගණනාවකින් සමන්විත විශ්වයේ පරිධිය දළ වශයෙන් ආලෝක වර්ෂ බිලියන 93ක් පමණ වෙතැ’යි සිතනවා. ඒත් එය හැම තත්පරයක දීම නොකඩවා ප්‍රසාරණය වෙනවා. එය තුළ මිනිසුන් වන අපි හුදු අහම්බයක් පමණයි. විශ්වය ගැන අපේ ගවේශනය කිසි දා නිම නොවන දෙයක්. මනුෂ්‍යවර්ගයා එතෙක් කළක් පවතිනවාය’යි සිතීමට අසීරුයි.
දේවවාදී නිර්මාණවාදය නැත්නම් දෙවියන් විසින් විශ්වය මැවූවා ය කියන නිශ්චිතයෙන් කියන්නේ තව හොයන්න එපා මෙයයි පරම සත්‍ය කියලා. එක තැන පල්වෙන පරම සත්‍යයකට සීමා නොවී පරපුරෙන් පරපුරට අනන්ත වූ අනාගතයක් කරා යන ගමනක අඛණ්ඩතාව රකින පුරුකක් වශයෙන් අප, අප ගැනම සිතන එක කොයි තරම් ආශ්වාද ජනකද?. සුන්දරද?. ඒ සුන්දර බව තහවුරු කරන්න තමයි ස්වභාවධර්මයෙන් ම අපට වඩා ඥානනීය හැකියාවක් සහිතව අපේ ඊළඟ පරපුර ගොඩ නැගීමට අප මෙහෙයවන්නේ.
“විශ්වය පිළිබඳ පරම න්‍යායක් ඇත්නම් දෙවියන්ගේ හිත මොන වගේ ද කියල අපිට දැනගන්ඩ පුළුවන්” කියල ස්ටීවන් හෝකින්ග් වරක් කිව්ව බව සැබෑව. ඒත් ඒ නිසා ඔහු දේවවාදියෙක් කියල හිතන එක වැරදියි. ස්ටීවන් හෝකින්ග් ගේ අදේවවාදී ආස්ථානය සක්සුදක් සේ පැහැදිලි කරන මේ කියමන මා උපුටා ගන්නේ “El Mundo” නමැති ස්පාඤ්ඤ පුවත් පතට 2014 දී ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකින්.
“විද්‍යාව යනු කුමක්දැ’යි තේරුම් ගැනීමට පෙර විශ්වය දෙවියන් විසින් මවන ලද්දකැ’යි විශ්වාස කිරීම ස්වාභාවිකයි. ඒ වුනාට විශ්වයේ බිහි වීම ගැන විද්‍යාත්මක තේරුම් කිරීම ඊට වඩා අතිශයින් විශ්වාස ජනකයි, ඒත්තු යන සුලුයි. දෙවියන්ගේ හිත මොනවගේදැ’යි අපට දැනගත හැකි වේවි යන්නෙන් මන් අදහස් කළේ එහෙම දෙවියෙක් කියල කෙනෙක් ඉන්නවා නම් විතරයි. ඒත් එහෙම දෙවියෙක් නැහැ. මම අදේවවාදියෙක්. I’m an atheist.”
ස්ටීවන් හෝකින්ග් අදේවවාදියෙක් නොවී දේවවාදියෙක් වුනා නම් එහෙම කියන්නේ නැහැ.
විශ්වය කියන්නේ අප්‍රමාණ තැනක්. විශ්වය බිහි වීමට පෙර තිබුණේ මොකක්ද කියල අපි දන්නේ නැහැ. කොටින් ම විශ්වය බිහි වීමට “පෙර” කියල දෙයක් ඊට “ඉස්සර අතීතයක්” කියල දෙයක් තියෙන්න විදියක් නැහැ. මොකද විශ්වය බිහි වීමත් සමගමයි කාලය සහ අවකාශය බිහිවුණේ. Space-Time නැත්නම් අවකාශය-කාලය බිහි වීම කියලා යි අපි ඒකට කියන්නේ. මොකද කාලය තියෙන්නේ අවකාශයක් තියෙන නිසා- අවකාශය තියෙන්නෙ කාලය තියෙන නිසා. දැන් කවුරු හරි කෙනෙක් අහනවා නම් විශ්වය බිහි වීමට පෙර තිබුණේ මොකක්ද කියල රිචඩ් ඩෝකින්ස් නමැති විද්‍යාඥයා කියූ අන්දමට ඒක හරියට උත්තර ධ්‍රැවයට උතුරින් තියෙන්නේ මොකක්ද කියනවා වගේ ප්‍රශ්නයක්. මොකද උත්තර ධ්‍රැවය දක්ෂිණ ධ්‍රැවය වගේ දේවල් පෘථිවියට සම්බන්ධ දේවල් මිසක් ඉන් ඔබ්බට විශ්වයේ තියෙන දේවල් නොවෙයි. ඒ වගේම කාලය සහ අවකාශය විශ්වය බිහි වීමෙන් පස්සේ ඇති වු දේවල් මිසක් ඉන් ඔබ්බට තිබුණු දේවල් නොවෙයි. ඒ නිසා එදිනෙදා ජීවිතයේ දී අපට පුරුදු විදියට කාලය පදනම කර ගෙන විශ්වය බිහි වීමට පෙර ගැන හිතීම නිරර්ථකයි.
මේ විදියට විශ්වයේ අප්‍රමාණය තේරුම් ගැනීම සහ ඒ අනුව කල්පනා කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. මිනිසුන් වන අපි පරිණාමය වෙලා තියෙන්නෙ ම විශ්වය වගේ අති දැවැන්ත දේවල් අනායාසයෙන් තේරුම් ගන්න නොවෙයි. අපේ එදිනෙදා ලෝකය අපිට කල්පනා වෙන්නේ කිලෝග්‍රෑම්, කිලෝමීටර් වලින්. ඒත් විශ්වය ගැන අපට කල්පනා කරන්න සිද්ධ වෙන්නේ අපට නුහුරු ආලෝක වර්ෂවලින්. ආලෝක වර්ෂ කියලා කියන්නේ තත්පරයකට කිලෝමීටර් 300,000 ක වේගයෙන් පුරා අවුරුද්දක් නොහොත් තත්පර ලක්ෂ තුන්සිය පහළොවක් පුරා එක තත්පරයකට කිලෝමීටර් ලක්ෂ 3 බැගින් ගමන් කළොත් ආවරණය කරන්න පුළුවන් දුර ප්‍රමාණයකටයි. මේ තරම් විශාල පරිමාණවලින් සිතන්න කිලෝමීටර් කිලෝ ගෑම් වලින් ගණු දෙන කරන අපට සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නැහැ. සූර්යයා හැරෙන කොට අපට ළඟින් ම තියෙන තාරකාව වන Proxima Century පිහිටල තියෙන්නේ ආලෝක වර්ෂ හතර හමාරක් දුරින්. ආලෝක වර්ෂ සිය දහස් ගණන් ඈත තියෙන ඇතැම් තාරකා අපි දකින්නේ ඒවා පුපුරලා විනාශ වෙලා ගියාට අවුරුදු මිලියන ගණනාවකට පස්සේ වෙන්න පුළුවන් මොකද එවැනි තාරකාවල සිට තාරකාවේ දීප්තිය අපේ ඇස්වලට ළඟා වෙන්න ආලෝක වර්ෂ ගණනාවක් ගත වෙනවා. ඒ අතර අර දීප්තිමත් තාරකාව ක්ෂය වෙළා නිවිල ගිහිල්ලා තියෙන්න පුළුවන්. අනික් අතට ආලෝක වර්ෂ ගණනාවක් දුර එවැනි තාරකාවක සිට මහ පොළොව දෙස බලන කෙනෙකුට දකින්නට ලැබෙන්නේ අපේ වර්තමානය නොවෙයි සමහර විට වසර මිලියන හැටකට පෙර මහ පොළොව සිසාරා ඩයිනසෝරයන් ජීවත් වූ යුගය වෙන්න පුළුවන්.
හෝකින්ග්ස්ගේ A brief History of Time නමැති අතිශයින් ජනප්‍රිය පොතෙන් සාමාන්‍ය පාඨකයෙකුට වටහා ගත හැකි ලෙස විස්තර කරන අවකාශය හා කාලය පිළිබඳ මේ වැනි සංකීර්ණ කරුණු මා සංක්ෂිප්තව හෝ සඳහන් කළේ මේ විෂය පථය අපේ ආදි මුතුන් මිත්තන්ගේ එදිනෙදා බුද්ධියට කොයි තරම් ආගන්තුක වෙන්නන්ට ඇත් ද ඒ නිසා ම ඔවුන්ට එවැනි අභිරහස් දෙවියන්ගේ මහිමයට පවරා නිහඬව ඇදහීමට සිදු වන්නට ඇත් ද යන්න මෙනෙහි කිරීමටයි.
චන්ද්‍රග්‍රහණය ඇතිවෙන්නේ හඳ රාහු විසින් ගිල ගැනීම නිසායැ’යි කලකට පෙර අප විශ්වාස කළ ආකාරයට ම රාත්‍රිය ඇති වෙන්නේ ‘නට්’ නමැති දේවතාවිය විසින් හිරු ගිල ගැනීම නිසා යැයි පැරණි ඊජිප්තු වැසියන් විශ්වාස කළා. වයිකින්වරු විශ්වාස කළ ආකාරයට දේදුන්න යනු පෘථිවියට ගොඩ බැසීම පිණිස දෙවියන් තැනූ පාලමයි.
අපේ ම සස ජාතකයට අනුව හඳේ හාවෙකුට සමානව පෙනෙන්නේ යැයි සිතෙන දෙය ශක්‍ර දෙවියන් විසින් අඳින ලද බෝසත් හාවාගේ රූපයයි. තමන් අවට සිදුවන දේ පිළිබඳ පැරැණ්නන්ගේ දැනුමේ සීමාවන් තුළ ජනිත වූ මේ කතන්දර අතීත සන්දර්භය තුළ සැලකූ විට අහිංසකයි – නිර්මාණශීලීයි. එහෙත් ඊට වෙනත් ආකාරයක අපූරු ප්‍රහර්ෂය දනවන නියම අරුමයක් අලංකාරයක් ද තියෙනවා. එය නම් මෙවැනි ප්‍රශ්න වලට නියම පිළිතුරු සොයා යාමේ දී ඇතිවෙන ප්‍රමෝදයයි. විද්‍යාව යනු එයයි. එයයි අපේ දූ දරුවන් යොමු කළ යුතු නියම අරුමය. නියම අලංකාරය.
ඒ මගිනුයි මේ අප්‍රමාණ වූ විශ්වයේ අහම්බයකින් මෙන් ඇති වු අපට විශ්වයට සාපේක්ෂව එකිනෙකා වටහා ගත හැකි වන්නේ එකිනෙකා අතර දයාව කරුණාව මෛත්‍රිය පැතිර විය හැක්කේ. ඒ අර්ථයෙන් ගත් විට සමරසිංහ ගුණසේකර මහතා “රෝද පුටුවෙන් විශ්වයට ගිය අපේ කාලයේ විස්මිත මිනිසා ස්ටීවන් හෝකින්ග්” යන නමින් මේ පළ කොට ඇති කෘතියෙන් ජනිත කළ හැකි කුතුහලය අපේ දූ දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට ද අවෛරී සහානුකම්පිත විචාරශීලී මනසක් වර්ධනය කර ගැනීමට හේතු වෙනු ඇතැ’යි මගේ ප්‍රාර්ථනයයි.
ස්තූතියි.