ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල කලා විෂයයන් හදාරන ශිෂ්‍ය ප්‍රජාව තුළ සිය අනාගතය සම්බන්ධයෙන් පවතින්නේ දැඩි අවිනිශ්චිත භාවයකි. මේ අවිනිශ්චිත භාවයට හේතු නිසි ලෙස විශ්ලේශණයට ලක් කිරීම පිණිස උචිත සමීක්ෂණයක් තවමත් පවත්වා නැත. එහෙත් උසස් අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ නිසි ප්‍රතිපත්ති සම්පාදනයට වැදගත් විය හැකි තොරතුරු කලා විෂය හදාරන ශිෂ්‍ය ප්‍රජාව සම්බන්ධයෙන් ඇති ඇතැම් උපාඛ්‍යාන සාක්ෂිවලින් හෙළි කරගත හැකිය.
ඒ අනුව සාමාන්‍යයෙන් කලා ශිෂ්‍ය ප්‍රජාවෙන් වැඩි කොටසක් උපාධි සහතිකය සලකන්නේ තරමක් හොඳ රැකියාවක් ලබාගැනීමේ මාර්ගයක් ලෙසිනි. බොහෝ කලක සිට කලා උපාධිධාරීන්ගේ රැකියා රාජ්‍ය අංශයෙන්, විශේෂ වශයෙන් ගුරුවෘත්තියෙන් සැපයින.
එහෙත් රාජ්‍ය අංශයේ උපාධිධාරී රැකියා අවම වෙමින් යාම ශිෂ්‍යයන්ගේ ඉච්ඡාභංගත්වයට හේතු වෙමින් පවතී. අනෙක් අතට ඉංග්‍රීසි බසින් කටයුතු කිරීමේ නොහැකියාව නිසා පෞද්ගලික අංශයේ ඇති සුදුසු රැකියා පවා ලබා ගැනීමට ද බොහෝ කලා උපාධිධාරීන්ට අසීරු ය.
ලංකාවේ විශ්ව විද්‍යාල වල මූලික අරමුණ වූයේ තරමක් හොඳ රැකියාවකට අවශ්‍ය පමණට ප්‍රාථමික උපාධියක් ලබා දීම සඳහා ශිෂ්‍යයන් සූදානම් කිරීම මිස, විෂය කරුණු වලට විචක්ෂණ දැනුමක් එක් කළ හැකි ලොව පිළිගත් බුද්ධිමතුන් හා ප්‍රමාණිකයන් බිහි කිරීම නොවේ. ඒ නිසා බොහෝ විට පශ්චාත් උපාධි පර්යේෂණ ආයතන විශ්වවිද්‍යාලයීය පද්ධතියේ අනවරත කොටසක් විය යුතු බවත් ඒ මගින් ප්‍රාථමික උපාධි විෂය ක්ෂේත්‍ර නිරන්තරයෙන් පෝෂණය විය යුතු බවත් නො සලකා හැරිනි.
කෙසේ වෙතත් විද්‍යාර්ථීයෙකු වශයෙන් වර්ධනය වීමට වඩා අද බොහෝ කලා ශිෂ්‍යයන්ගේ අරමුණ වූයේ කෙසේ හෝ අවසාන විභාගය සමත් කොට උපාධි සහතිකය ලබාගැනීමයි. මේ ඒකායන අරමුණ නිසා සිසුන් ඉගෙන ගන්නේ ඉගෙනීම කරදරයක් ලෙස සලකා ය. පෙළ ග්‍රන්ථ ගැඹුරින් හදාරා ඒවායේ ඇති ප්‍රධාන තේමා හා ආනුෂංගික තර්ක වටහා ගන්නවා වෙනුවට බොහෝ ශිෂ්‍යයන් කරන්නේ පෙළ අනුක්‍රමයෙන් කියවා ගෙන ගොස් විෂය කරුණු මතුපිටින් හදාරා විභාගයට අවශ්‍ය පමණට කරුණු මතක තබා ගැනීමයි. අධ්‍යන පැවරුම් බුද්ධිමය අභියෝගයක් වශයෙන් සලකනවා වෙනුවට මෙවැනි සිසුන් කරන්නේ ඒවා බලෙන් පටවන වැඩ ලෙස නො රිස්සීමයි.
ශිෂ්‍ය ප්‍රජාවේ මේ සෘණ ආකල්පයට තවත් බොහෝ හේතු තිබිය හැකිය. ඒ අතර ඉගැන්වීම ශිෂ්‍ය කේන්ද්‍රීය නො වීම, ගුරුවරුන්ගේ සීමා සහිත දැනුම, විෂය කරුණු ඇල්ම දනවන අන්දමට ඉගැන්වීමට ගුරුවරු අසමත් බව ශිෂ්‍යයන්ට වැටහීම, භාෂා ඥානයේ සීමා නිසා ඉංග්‍රීසි බසින් ඇති දැනුම පරිහරණය කිරීමට නො හැකි වීම ආදිය ද ශිෂ්‍ය අසහනයට හේතු විය හැකිය.
කලා අංශයේ ශිෂ්‍යයන් සම්බන්ධයෙන් පවතින මේ තත්වය ඒ අන්දමින් ම ශුද්ධ විද්‍යා, ඉංජිනේරු , වෛද්‍ය හා කළමනාකරණ අංශ වල ශිෂ්‍යයන් සම්බන්ධයෙන් නො පවතී. කලා විෂයයන් මෙන් නොව ශුද්ධ විද්‍යා, වෛද්‍ය, ඉංජිනේරු ආදී විෂයයන් ඉගෙන ගැනීම, බොහෝ විට අතීත හා සමීප සුසමාදර්ශයන් (paradigm) වෙනස් කරන සුලු, විද්‍යා පර්යේෂණ නිගමන වලින් මෙහෙය වෙයි. එයට වෙනස් ව කලා හා මානව ශ්‍රාස්ත්‍රීය විෂයයෙහි වෙනස් කම් සිදු වන්නේ නිරන්තරයෙන් සංක්‍රාන්තියට (transition) ලක් වෙන සංස්කෘතියකට එම විෂය ක්ෂේත්‍ර අයත් වන බැවිනි. බොහෝ විට එම සංක්‍රාන්තීය වෙනස්කම් සිදු වන්නේ ආභ්‍යන්තරික මතභේද, වාද විවාද, රස වින්දනයේ ඇතිවෙන වෙනස් කම්, සමීක්ෂණ මගින් තහවුරු කිරීමට තැත් කරන දේශපාලනික හා දාර්ශනික මත ආදිය සමතික්‍රමණය වීම් ආදී වශයෙනි. ඒ නිසා කලා අංශයේ විෂය උගන්වන ආචාර්යවරුන් සතු විෂය අවබෝධයේ ගුණාත්මක බව හා ක්ෂේත්‍රයේ ප්‍රමාණිකයන් වශයෙන් ඹවුන් දිනා ගතයුතු කීර්තිය ද ශිෂ්‍ය ප්‍රජාව ගේ ඉගෙනීම පිළිබඳ ආකල්ප කෙරෙහි බෙහෙවින් බලපා හැක.
කෙසේ වෙතත් කලා උපාධිධාරීන් වැඩි වශයෙන් ගුරුවෘත්තියට යොමු වන බැවින් ඔවුන්ගේ බුද්ධිමය පරිචය ලංකාවේ පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමේ ලා ඉතා වැදගත් වෙයි. එනිසා විශ්ව විද්‍යාලවල කලා හා මානවවිද්‍යා විෂය ක්ෂේත්‍රවල ඉගැන්වීමේ සහ ඉගෙන ගැනීමේ ගැටළු නිසි ලෙස හඳුනා ගැනීමේ සමීක්ෂණයක් කිරීම ඉතා වැදගත් ය. එකී සමීක්ෂණයෙන් හෙළිදරව් වන කරුණු මත පිහිටා අවශ්‍ය ප්‍රතිපත්තිමය විසඳුම් නිරවුල් කරගැනීමේ සංකථනයක් දියත් කළ හැකිය.