තොරතුරු ප්‍රභවයක රහස්‍ය භාවය රැකීමට ජනමාධ්‍යකරුවෙකු සතු අයිතිය.

ජනමාධ්‍යවේදියෙකුට ලැබෙන තොරතුරු වල ප්‍රභවය රහසිගතව තබා ගැනීමට අවශ්‍ය අවස්ථා වල දී ප්‍රභවය හෙළිදරව් කිරීමට බල නො කළ යුතු ය යන්න පිළිගත් සම්ප්‍රදායක් පමණක් නොව ඇතැම් රටවල නීතියෙන් පවා ආරක්ෂා කර ඇති අයිතියකි. එයට හේතුව ප්‍රභවයක් හෙලි කිරීමට බල කළ හොත් ජනමාධ්‍යකරුවෙකු විසින් කරන වාර්තාකරණයකින් හෙළිදරව් විය හැකි අකටයුතු හෙලි කිරීම පිණිස තොරතුරු සපයන්නන් ඉදිරිපත් නො වීමයි. ඒ අනුව තම කටයුතු ඉටු කර ගැනීමේ දී යම් පමණකට ස්වයං වාරණයක් සිදු කර ගැනීමට ජනමාධ්‍ය කරුවන්ට සිදුවේ. එහි ප්‍රතිඵලය වන්නේ සංවේදී කරුණු සම්බන්ධයෙන් වැදගත් තොරතුරු මහජනයාට නො ලැබීමයි. ඒ නිසා ස්වීඩනය වැනි රටවල තොරතුරු ප්‍රභවය ආරක්ෂා කිරීමේ අයිතිය උල්ලංඝනය කරන ජනමාධ්‍යවේදීන්ට දඬුවම් පැමිණීමට පවා නීතිමය ප්‍රතිපාදන තිබේ.

ඒ එසේ වුව ද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් අත් විඳින අනික් හැම අයිතියක දී මෙන් ම තොරතුරු ප්‍රභවය හෙළිදරව් කිරීමේ අයිතිය සම්බන්ධයෙන් ද යුක්ති සහගත ව්‍යතිරේක තිබේ. එහිදි මූලික ව වැදගත් වන්නේ රහසිගතව දෙනු ලබන තොරතුරක  ප්‍රභවය හෙළි නො කිරීමට වඩා හෙළි කිරීම යුක්තිය ඉටු කිරීම හෝ මහජන යහපත සඳහා අත්‍යවශ්‍ය වන්නේ ද යන කාරණයයි. ඒ සම්බන්ධයෙන් කරුණු විමසා තීරණයක් කිරීම ස්වාධීන අධිකරණයකට පැවරෙන අතර යුක්තිය ඉටු කිරීම හෝ මහජන යහපත සඳහා අත්‍යවශ්‍යයැ’යි සැලකුණ ද ප්‍රභවය හෙළි කිරීමට ස්වාධීන අධිකරණයක් ජනමාධ්‍යවේදියාට නියම කරන්නේ වෙනත් ක්‍රමයකින් එම ප්‍රභවය පිළිබඳ අවශ්‍ය තොරතුරු දැන ගැනීමට  දැන ගැනීමට නො හැකි නම් ය.

මේ සම්බන්ධයෙන් මහා බ්‍රිතාන්‍යයේ ඇති නීතිමය විධි විධාන සංයුක්ත වන්නේ උසාවියට  අපහාස කිරීමේ නීතිය යටතේ ය. එහි මෙසේ සඳහන් වෙයි.

 “යුක්තිය පසිඳලීම පිණිස හෝ ජාතික ආරක්ෂාව පිණිස හෝ අපරාධයක් හෝ කැලඹීමක් වැළැක්වීම සඳහා හෙළිදරව් කිරීමක් අත්‍යවශ්‍යයැ’යි අධිකරණය සෑහීමකට පත් වන අවස්ථාවකි දී හැර තමන් විසින් පළ කරන ප්‍රකාශනයක අඩංගු තොරතුරුවල ප්‍රභවය හෙළි දරව් කිරීමට නියම කිරීම හෝ එසේ හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කිරීමක් අධිකරණයට කෙරෙන අපහාසයක් වශයෙන් කිසිදු අධිකරණයක් සැලකිය යුතු නොවේ” (අධිකරණයට අපහාස කිරීම පිළිබඳ 1981 පනත, 10 වැනි ජේදය)

No court may require a person to disclose, nor is the person guilty of contempt of court for refusing to disclose the source information contained in the publication for which he is responsible, unless it is established to the satisfaction of the court that disclosure is necessary in the interests of justice or national security or for the prevention of disorder or crime.” (Section 10 of the Contempt of Court Act 1981, UK)

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහා බ්‍රිතාන්‍යයේ අධිකරණ තීන්දු කිහිපයක් ම යුරෝපා සංගම් සම්මුතියේ 10වෙනි වගන්තියට පටහැනි බව යුරෝපීය අධිකරණය විසින් තීන්දු කර තිබේ. තොරතුරු වල ප්‍රභවය ආරක්ෂා කිරීම ට මුල් තැන දිය යුතු බවත් එයට පටහැණි ව අපහාසය, ජාතික ආරක්ෂාව සහ ත්‍රස්ත්‍රවාදය සම්බන්ධ අපරාධ නීති යොදා නො ගත යුතු බවත් යුරෝපා කවුන්සිලය අමාත්‍ය මණ්ඩල කමිටුව විසින් 2014 දී ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බැවින් යුරෝපා අධිකරණයේ තීන්දු ඉදිරියේ දි මහා බ්‍රිතාන්‍ය සම්බන්ධයෙන් වලංගු නොවිය හැක.

තොරතුරු වල ප්‍රභවය රහසිගතව තබා ගැනීම ආරක්ෂා කරණ සුවිශේෂී ෆෙඩරල් නීතියක් අමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක නොවේ ( ඇතැම් ප්‍රාන්ත නීතිවල කිසියම් පමණක් ආරක්ෂාවක් ඇත. ) අපරාධ නඩුවක දී  එසේ ප්‍රකාශිත කිසියම් තොරතුරු ප්‍රභවයක් පිළිබඳ අධිකරණය විසින් දැන ගත යුතු යැයි ද එය දැන ගැනීමට වෙනත් ක්‍රමයක් නැතැයි ද විනිසුරු වරයෙකු තීරණය කරණ අවස්ථාවල දී ප්‍රභවය හෙළිදරව් කිරීමට නියම කළ අවස්ථා ඇමෙරිකා එක්සත් ජනපදයේ තිබේ. 2014 ජුලි මස පළ වූ Columbia Journalism Review සඟරාවේ 2001 වර්ෂයේ සිට ජනමාධ්‍යවේදීන් 10 දෙනෙක් එවැනි අවස්ථා වන්ට මුහුණ දුන් බව වාර්තා වේ.  එහෙත් ඇතැම් විට උසාවියේ අණ නො තකා තම තොරතුරු වල ප්‍රභවය හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කොට සිර දඬුවම් විඳීම තෝරා ගත් ජනමාධ්‍යවේදීනුත් ඇමෙරිකාවේ වෙති. 2005 දී නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ ජනමාධ්‍යවේදිනියෙකු වූ ජුඩිත් මිලර්  මධ්‍යම ඔත්තු සේවයට අයත් ඔත්තුකරුවෙකුගේ අනන්‍යතාවය පිළිබඳ තොරතුරු තමාට ලබා දුන්නේ කවුදැ’යි හෙළිදරව් කරනවාට වඩා එය  ප්‍රතික්ෂේප කොට තුන් මසකට සිරගත වීමකට ලක් වීමට කැමති වූවා ය.

තොරතුරක ප්‍රභවය ආරක්ෂා කරන බවට සහතික වීම ජනමාධ්‍යකරුවන්ගේ කාර්ය ඉෂ්ට කර ගැනීමට අත්‍යවශ්‍ය අයිතියක් බව අවිවාදිත ය. එහෙත් අන්‍ය අයිතියක් ලබා දීම වැළැක්නො වීම පිණිස එවැනි අයිතියකට පවා එකී අයිතියෙන් ඉටු කෙරෙන මූලික  කාර්යයට තර්ජනයක් නොවන ලෙස ව්‍යතිරේක තිබිය හැකි ය. උදාහරණයකට ගතහොත් යුක්තිය ඉෂ්ට කර ගැනීමේ දී තම නිදහසට අවශ්‍ය කරුණු තහවුරු කිරීමට විත්ති කරුවෙකුට ජනමාධ්‍යකරුවෙක් සතු තොරතුරක ප්‍රභවය දැන ගැනීමට මැදිහත් වෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට අවශ්‍ය වන විට ඒ සඳහා සුදුසු විධිවිධාන නො තිබීම යුක්තිය ඉටු කිරීමට බාධාවක් විය හැකියි. ආටිකල් 19 සංවිධානයේ හෙන්රි මායිනා පෙන්වා දුන් පරිදි ත්‍රස්ත්‍ර ප්‍රහාරයකට වග කිව යුතු අයගේ අනන්‍යතාවය දන්නා ජනමාධ්‍යවේදියෙකුගෙන් එය හෙළි කිරීමට ඉල්ලා සිටීම මාධ්‍ය මර්දනයක් නොවේ.

ලංකාවේ ශේෂ්ඨාධිකරණය විසින් දී ඇති නඩු තීන්දුවක් මගින් ජනමාධ්‍ය කරුවන්ගේ ප්‍රභවයන් සහතික කිරීම සහතික කරන බව පැවසෙන නමුදු ව්‍යවස්ථාපිත නීතියකින් එය පැහැදිලිව තහවුරු කිරීම වඩාත් සුදුසු බව මගේ මතයයි. මන්ද එවැනි නඩු තීන්දු අකුරට ම ගරු කරන ලද බවට සහතිකයක් දිය හැකිද යන්න  අපේ අධිකරණයේ මෑත ඉතිහාසය සම්බන්ධයෙන් සැලකූ විට තහවුරු කිරීම අපහසු විය හැකි බැවිනි.

තොරතුරු ප්‍රභවය ආරක්ෂා කිරීමට ජනමාධ්‍යකරුවන්ට ඇති අයිතිය ජනමාධ්‍ය තත්ව මණ්ඩලයක් පිහිටුවීම සම්බන්ධ යෝජිත සාකච්ඡා කෙටුම්පතේ තහවුරු කර ඇති වා පමණක් නොව එසේ ප්‍රතික්ෂේප කරන්නෙකු සම්බන්ධයෙන් කිසිදු අගතිගාමි පියවරක් අධිකරණයක විසින් නො ගත යතු බව ද නියම කර ඇත. යුක්ති යුක්ත ව සෑහීමකට පත් වන අවස්ථාවල දී තොරතුරු ප්‍රභවය හෙළිදරව් කිරීමට ජනමාධ්‍යවේදියෙකුට නියම කිරීමට ශේෂ්ඨාධිකරණයට පවරා තිබූ බලය මේ විධිවිධාන සම්බන්ධයෙන් මෑත දී ඇති වූ විවේචන සලකා වඩා සිදු කළ සංශෝධනයට අනුව  ඉවත් කරන ලදී. එහෙත් යුක්තිය ඉෂ්ඨ කිරීමට බාධාවක් වන අවස්ථාවල දී ජනමාධ්‍ය කරුවන්ට දෙන තොරතුරු ප්‍රභවය ආරක්ෂා කිරීමේ අයිතිය පරම අයිතියක් වශයෙන් නො සැලකිය යුතු බව මගේ අදහසයි. වැදගත් වන්නේ ඒ සඳහා ඇති ව්‍යතිරේක වැරදි අර්ථකථනයන්ට ගොදුරු වීම වළක්වන ලෙස කෙටුම්පත් කිරීමට දායක වීමයි. සාකච්ඡා විය යුත්තේ එයයි.  නො එසේ ව නො දැනුවත් කමින් මේ නම් ජනමාධ්‍ය මර්ධනයෙකැ’යි, කුමන්ත්‍රණයකයි ආඩපාලි ගැසීම නොවේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: