විද්‍යුත් මාධ්‍ය නියාමනය කළ යුත්තේ සංඛ්‍යාත සීමාවීමේ තර්කය මත පමණක්ද?

මේ අන්තර්ජාල යුගයේ විද්‍යුත් විකාශන මාධ්‍ය නියාමනයට ඓතිහාසික හේතුව වූ විකාශන සංඛ්‍යාතවල පවතින සීමිත බව (Scarcity of spectrum) තව දුරටත් නියාමනය සඳහා වලංගුවන හේතුවක් නොවේ යැයි ඇතැම් මාධ්‍ය අයිතිකරුවන් පවසන බව අසන්නට ලැබේ. ඒ සඳහා සංඛ්‍යාත ජනතාවගේ යැයි 1930 ගනන්වල ඇමරිකාවේ නඩුවක තීන්දුව 1960 ගනන්වල අහෝසිකළ බවට සාවද්‍ය කරුණුද ගෙන හැර දක්වන බව පෙනේ.

විද්‍යුත් මාධ්‍ය ස්වාධීන අධිකාරියක් මගින් නියාමනය කිරීමට එකම හේතුව විකාශන සංඛ්‍යාතවල සීමිත බව නොව මහජන මතය කෙරෙහි විසාල බලපෑමක් කිරීමට විද්‍යුත් මාධ්‍යවලට ඇති හැකියාව සහ අයිතිකරුගේ පුද්ගලික අභිමතය සලකා නොව පොදු යහපත මුල්කරෙගන විකාශන කටයුතු සිදුවිය යුතුය යන මූලික සමාජ අවශ්‍යතාවයි. ඒ අනුව විද්‍යුත් මාධ්‍ය නිරවද්‍යතාව තහවුරුතරගත් ප්‍රවෘත්ති සහ තොරතුරු සැපයීමට වග බලාගත යුතුය, ජන සමාජයේ මතවාද සාධාරණව සහ අපක්ෂපාතීව ඉදිරිපත් කළ යුතුය වැනි අවශ්‍යතා නිසිලෙස ඉටුවන්නේදැයි මහජනයා වෙනුවෙන් සංනිරීක්ෂණය කිරීම ස්වාධීන නියාමනයේ හෙවත් සහනියාමනයේ අභිප්‍රායයි. සීඑන්එන් සහ ෆොක්ස් නිව්ස් වලට දේශපාලන ලැදියාවන් තිබේ, ඒ නිසා අප ප්‍රකාශකරන පුවත් සහ තොරතුරුද අපේ දේශපාලනයට අනුව විය යුතුයැයි සිතා කටයුතු කිරීමට විද්‍යුත් මාධ්‍ය හිමිකරුවන්ට අවසරයක් නැත. සීඑන්එන් සහ ෆොක්ස් නිව්ස් කිසිදු නිරවද්‍යතා සහතිකයකින් තොරව කුප්‍රකට කැළනියේ නයා වැනි අමු කෙප්පයක් ප්‍රචාරය කළොත් ඇමෙරිකාවේ විද්‍යුත්මාධ්‍ය නියාමන ආයතනය වන ෆෙඩරල් සංනිවේදන කොමිසම හෙවත් FCC එක ඒ පිලිබඳ ක්‍රියාමාර්ගයක් ගනු නිසැකය.

දෘෂ්‍ය සහ ශ්‍රව්‍ය විකාශන අන්තර්ජාලය පාදක කරගත් මාධ්‍ය වෙත යොමු වීම නිසා කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක් ගුවන් විදුලි සංඛ්‍යාත මත විකාශනය කරන විද්‍යුත් මාධ්‍ය ස්වාධීන අධිකාරියක් මගින්ම නියාමනය කිරීම අත් හැර දමා නොමැත. අන්තර්ජාලය නිසා සංඛ්‍යාත භාවිතය යල්පැන ගොස් ඇතැයි කියන්නන් සඟවන්නේ, සාම්ප්‍රදායික භූමිය මත පදනම් වූ (Terrestrial) විකාශනය තවමත් මිලියන සංඛ්‍යාත ජනයාගේ ප්‍රධාන තොරතුරු මූලාශ්‍රය බවයි. ගුවන් විදුලි/රූපවාහිනි සංඛ්‍යාත යනු තවමත් සීමිත පොදු සම්පතකි. ඩිජිටල් තාක්ෂණය පැවතියද, ගුවන් තරංග හරහා ගුණාත්මක සංඥා විකාශනය කළ හැකි ප්‍රමාණය සීමිතය. රජය විසින් මෙම සංඛ්‍යාත භාවිතා කිරීමට සුවිශේෂී බලපත්‍ර ලබා දෙන්නේ සීමිත පිරිසකට බැවින්, උසස් තත්ත්වයේ, විවිධාංගීකරණය වූ සහ විශ්වාසදායක තොරතුරු සහිත වැඩසටහන් මහජනතාවට ලබා දීමට බලපත්‍රලාභී විකාශකයින් බැඳී සිටී.

අන්තර්ජාලය මඟින් “අදහස්වල වෙළඳපොළක්” ලබා දුන්නද, එය බොහෝ විට සංවිචාරණය වෙනුවට කට්ටිවාදය හා සියමතවාදකාමයට (Echo chambers) සීමා වේ. එයට වෙනස්ව නියාමනය කරන ලද විද්‍යුත්විකාශනය පක්ෂග්‍රාහී වීමකින් තොරව සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව සංවිචාරශීලීව නිරවද්‍ය තොරතුරු මත ගොඩනැගීමට වේදිකාව සැපයිය යුතුය. ඒ හැර නියාමනය මඟින් මාධ්‍ය ඒකාධිකාරයන් වැළැක්වේ. නියාමන අධීක්ෂණය නොමැති නම්, බලවත් ආයතන කිහිපයකට තොරතුරු පාලනය කළ හැකි අතර, සුළුතර හඬවල් සහ ප්‍රාදේශීය දෘෂ්ටිකෝණයන් යටපත් විය හැකිය.”සංඛ්‍යාත හිඟකම” (scarcity) පිළිබඳ තර්කය වෙනුවට දැන් ප්‍රධාන වශයෙන් භාවිත වන්නේ “සමාන අවස්ථා ලබාදීමේ” (level playing field) දර්ශනයයි.

අන්තර්ජාලය තුළ පවතින “ව්‍යාජ පුවත්” සහ ඇල්ගොරිතම යොදා ජනනය කරන පක්ෂග්‍රාහීත්වය හමුවේ, නියාමනය කරන ලද ගුවන් විදුලි හා රූපවාහිනී විකාශකයින් සමබර (fair)සහ සත්‍යාපනය (verified) කළ පුවත් ලබා දෙන විශ්වාසදායක මූලාශ්‍ර ලෙස පැවැත්වීමට ස්වාධීන නියාමනය වගබලාගනී.

අන්තර්ජාල සේවා බුක්තිවිඳීම යනු ඩේටා සඳහා කෙනෙකුට දරාගත හැකි වියදම මත තීරණය වන්නකි. එහෙත් සංඛ්‍යාත මත කෙරෙන විකාශන මගින් තමන්ගේ වත්පොහොසත්කම් මත තොරතුරු ලබාගැනීම සීමා කරගැනීමට පාරිභොගිකයාට අවශ්‍ය නොවේ.

සාම්ප්‍රදායික රූපවාහිනිය පමණක් නියාමනය කර, Netflix හෝ YouTube වැනි Streaming සේවා රිසිසේ හැසිරෙන්නට ඉඩ හැරියහොත්, එමඟින් දේශීය අන්තර්ගතය නිපදවන්නන් අධර්යමත්විය හැකි බැවින් දැන් අන්තර්ජාලය ඔස්සේ ලැබෙන එවැනි සේවා ද ජාතික මට්ටමින් ස්වාධිනව නියාමනය කරන නීති හඳුන්වා දෙමින් තිබේ. මේ සඳහා උදාහරණයක් ලෙස යුරොපා සංගමය යුරොපා රටවල් සඳහා සම්මත කළ European Media Freedom Act හෙවත් යුරෝපීය මාධ්‍ය නිදහස පිළිබඳ පනත (EMFA) පෙන්වා දිය හැකිය. මෙහිදී අවධානය යොමු වන්නේ තාක්ෂණය (ගුවන් විදුලි තරංග) ගැන නොව, එම මාධ්‍යය මඟින් මහජනයාට සිදුවන බලපෑම (influence) පිළිබඳවයි.

එම නීතිය අනුව YouTube හෝ Netflix වැනි විශාල සමාගම්වලට දැන් තහවුරු කළ මාධ්‍ය ආයතනයක අන්තර්ගතයන් හිතුවක්කාරී ලෙස සිය වෙදිකාවලින් ඉවත් නොහැක. ඒ හැර අන්තර්ජාලය හරහා පමණක් පුවත් සපයන ආයතන පවා ඔවුන්ගේ අයිතිකරුවන් කවුදැයි හෙළි කළ යුතුය. ඒ හැර හානිකර අන්තර්ගතයන්ගෙන් ප්‍රේක්ෂකයන් ආරක්ෂා කිරීමට අපොහොසත් වුවහොත්, සාම්ප්‍රදායික රූපවාහිනී නාලිකාවලට මෙන්ම Streaming සේවාවලටද විශාල දඩ මුදල් ගෙවීමට සිදුවේ.

දශක ගණනාවක් තිස්සේ සාම්ප්‍රදායික රූපවාහිනියට දේශීය වැඩසටහන් යම් ප්‍රතිශතයක් පෙන්වීමට නීතියෙන් නියම කර තිබුණි. දැන් ඕස්ට්‍රේලියාව සහ කැනඩාව වැනි රටවල් මෙම නීති Streaming සමාගම්වලට ද බලපාන පරිදි සකස් කර ඇත.

ඒ අනුව Netflix සහ Disney+ වැනි සේවාවන් තමන් යම් රටකින් උපයන ආදායමෙන් 7.5% සිට 10% දක්වා ප්‍රමාණයක් එම රටේම නිර්මාණ සඳහා නැවත ආයෝජනය කළ යුතුය.

EMFA නීතිය අනුව ස්මාර්ට් රූපවාහිනී නිෂ්පාදකයින්ට දැන් තම තිරය මත මහජන සේවා රූපවාහිනී මෘදුකාංග (උදා: BBC iPlayer) පහසුවෙන් සොයාගත හැකි පරිදි තැබීමට නියම කර ඇත.

මේනිසා දැන් සංඛ්‍යාත තර්කය වලංගු නැත ඒනිසා අපිට කැමැත්තක් අපිට අයිති විකාශනවලින් කරගැනීමට ඉඩ දිය යුතුය වැනි අමන කතා කියමින් මහජනතාව නොමග යැවීමේ අභිප්‍රායෙන් සම්පප්‍රලාප බිණිම නවතා ස්වාධීන නියාමනයේ සමාජ අවශ්‍යතාව වටහාගෙන කටයුතු කළයුතු බව මාධ්‍ය අයිතිකරුවන්ට කියා දීමට දැනුම් තේරුම් ඇති ජන මාධ්‍ය සංවිධාන පෙරමුණ ගතයුතුය. ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම යනු ආණ්ඩුවේ ග්‍රහණෙයන් පමණක් නොව අයිතිකරුවන්ගේ අයුතු ග්‍රහණෙයන්ද ජනමාධ්‍ය නිදහස ආරක්ෂාකර ගැනීමයි.

අර කියූ 1960 ගණන්වල නඩු තීන්දුවෙන් සංඛ්‍යාතවල සීමිත කම පිළිබඳ තර්කය අවලංගු කළායැයි කියන මුසාවාදය කෙසේවෙතත් තමන් සම්බන්ධයෙන් විකාශනය කරන ලද විවේචනයකට පිලිතුරුදීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ රෙඩ්ලයන් ග්‍රවන් විදුලියට එම ඉල්ලීම ඉටුකරන ලෙස කළ FCC නියාමන ආයතනය කළ නියොගයක් මගින් ඇමෙර්කානු ව්‍යවස්ථාවේ ප්‍රථම සංශෝධනයට අනුව තමන්ට හිමි ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කරන්නේයැයි රෙඩ් ලයන් ගුව්න් විදුලිය ශ්‍රේෂ්ටාධිකරණය හමුවේ අභියොගයට ලක් කල විට දුන් 1969 Red Lion Broadcasting Co., Inc. v. FCC, 395 U.S. 367 (1969)නඩු තීන්දුවේ මෙසේ සඳහන් විය.

…..as far as the First Amendment is concerned, those who are licensed stand no better than those to whom licenses are refused. A license permits broadcasting, but the licensee has no constitutional right to be the one who holds the license or to monopolize a radio frequency to the exclusion of his fellow citizens. There is nothing in the First Amendment which prevents the Government from requiring a licensee to share his frequency with others and to conduct himself as a proxy or fiduciary with obligations to present those views and voices which are representative of his community and which would otherwise, by necessity, be barred from the airwaves. (“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය (First Amendment) සලකා බලන විට, විකාශන බලපත්‍රයක් හිමි තැනැත්තාට, බලපත්‍රයක් ප්‍රතික්ෂේප වූ තැනැත්තාට වඩා වැඩි විශේෂ අයිතියක් හිමි නොවේ. බලපත්‍රයක් මගින් විකාශනය සඳහා අවසර ලබා දුන්නද, එම බලපත්‍රය තමා සන්තකයේ තබා ගැනීමට හෝ තම සහෝදර පුරවැසියන් බැහැර කරමින් ගුවන් විදුලි තරංග මාලාවක ඒකාධිකාරයක් පවත්වාගෙන යාමට බලපත්‍රලාභියාට ව්‍යවස්ථාපිත අයිතියක් නැත. බලපත්‍රලාභියෙකු සිය තරංග මාලාව අනෙක් අය සමඟ බෙදා ගැනීමටත්, තම ප්‍රජාව නියෝජනය කරන, එසේ නොවන්නට ගුවන් විදුලි තරංග මාලාවන්ගෙන් අනිවාර්යයෙන්ම බැහැර වීමට ඉඩ ඇති අදහස් සහ හඬවල් ඉදිරිපත් කිරීමට බැඳී සිටින නියෝජිතයෙකු හෝ භාරකරුවෙකු (Fiduciary) ලෙස කටයුතු කිරීමටත් රජය විසින් නියම කිරීම වැළැක්වීමට පළමු සංශෝධනය තුළ කිසිවක් සඳහන් නොවේ.”)

මහජන විශ්වාසය දිනාගැනීමට නම් තමන් නිරූපණය කරන්නේ ජනසමාජයේ සමස්ත අභිලාශය මිස අයිතිකරුවාගේ පුද්ගලික අභිලාෂය නොවන බව තම අන්තර්ගතය මගින් පෙන්වීම තරම් තවත් හොඳ දෙයක් රූපවාහිනියකට ගුව්නවිදුලියකට නැත.

Leave a comment