මානව අයිතිවාසිකම් වර්ගීකරණයට අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පළමු පරම්පරාවට අයත් අයිතිවාසිකම් ලෙස සැලකේ. පුද්ගල අයිතිවාසිකම් ලෙස සැලකෙන ඒවා ප්‍රජාතන්ත්‍රවාදය සහ සිවිල් සමාජය සක්‍රිය ව සංවිධානය කර ගැනීමට සෑම පුද්ගලයෙකුට ම අවශ්‍ය වන අයිතිවාසිකම් ලෙස ගැනෙයි. එම අයිතීන්ට අයත් වන්නේ ඡන්දය දීමේ අයිතිය, භාෂණයේ නිදහස, නිදහස් ලෙස රැස්වීමට ඇති අයිතිය, සාධාරණ විනිශ්චයකට භාජනය වීමේ සහ නීතිය ඉදිරියේ සමාන සැලකුම් ලැබීමට ඇති අයිතිය, පුරවැසියෙකු වීමේ අයිතිය, පෞද්ගලිකත්වයට ඇති අයිතිය, තම අදහස ප්‍රකාශ කිරීමේ අයිතිය, අභිමත ආගමක් ඇදහීමේ අයිතිය, මහජන නියෝජිතයෙකු වසයෙන් තෝරා පත් කරනු ලැබීමට ඇති අයිතිය, සමාජීය සහභාගිත්වය සඳහා ඇති අයිතිය ආදිය යි. ඒ හැර තම පුද්ගල අභිමානයට නිගරු නො වන ලෙස සලකනු ලැබීමට, ආරක්ෂිත ව ජීවත් වීමට, ආගම, ජනවර්ගය හා ස්ත්‍රී පුරුෂ භේදය නිසා අඩු සැලකිල්ලකට පාත්‍ර නො වීමට, නීත්‍යනුකූල ව්‍යාපාරයක නිරත වීමට, හිංසනයට, වධ බන්ධනයට සහ බලහත්කාරයට භාජනය නො වීමට ඇති අයිතිය ද ප්‍රථම පරම්පරාවේ අයිතීන් ලෙස සැලකෙයි.
පුද්ගලයාගේ වටිනාකම පිළිබඳ සම්භාව්‍ය ලිබරල් මතවාදය මත පදනම් වූ මෙම අයිතීන් අමුතුවෙන් දිනා ගත යුතු ඒවා නො ව මනුෂ්‍යයෙකු වීම නිසා නිසර්ගයෙන් ම උරුම වන ඒවා ලෙස සලකන ලදි. රාජ්‍යයේ කාර්ය වන්නේ සෑම පුද්ගලයෙකු සම්බන්ධයෙන් ම ඔහු සතු මේ පරම අයිතීන් උල්ලංඝනය නො වන පරිදි ආරක්ෂා. කර දීම යි. රජය මඟින් මේ කටයුත්ත ඉටුවෙති’යි අපේක්ෂා කෙරෙන්නේ යට කී අයිතීන් ආරක්ෂා කිරීමට අවශ්‍ය නීති සම්පාදනය හා බලාත්මක කිරීම ඉටු කිරීම රජයක මූලික කාර්ය වන බැවිනි. ඇතැම් විචාරකයින් පෙන්වා දෙන පරිදි පළමු පරම්පරාවට අයත් අයිතීන් පුද්ගල පාදක ඒවා ලෙස සලකනු ලැබීමට එක් මූලික හේතුවක් වූයේ එකී අයිතීන් උල්ලංඝනය වූ විට ඒ පිළිබඳ ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ දී පුද්ගල පාදක පැමිණිලි වසයෙන් ඒවා ඉදිරිපත් කිරීමට සිදු වූ බැවිනි. කෙසේ වෙතත් සමාජය යනු තනි තනි පුද්ගලයන්ගේ එකතුවක් බැවින් සමාජ අභිවෘද්ධිය මැනීමේ දී වුව ද විශ්ලේෂණ ඒකකය බොහෝ විට පුද්ගල පාදක වීම ගැන අහිතක් ඇති කර ගත යුතු නැත.
සංවර්ධනය සම්බන්ධයෙන් රාජ්‍යයේ වගකීම සහ ආර්ථිකයේ අරමුණ සෘජු ව ම නිර්ණය කෙරෙන දර්ශක වසයෙන් සැලකිය හැකි දෙවැනි පරම්පරාවට අයත් අයිතීන් වසයෙන් සැලකෙන්නේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික යන ක්ෂේත්‍රයන්ට අයත් අයිතිවාසිකම් ය. මිනිසෙකු වසයෙන් පරිපූර්ණ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය කරන සමාජමය ප්‍රතිපාදන සහ සේවා ලබා ගැනීමට සෑම අයෙකුට ම ඇති හිමිකම මේ අයිතීන් මඟින් ආවරණය වෙයි. මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සවිස්තර ව දක්වා ඇති මේ ගණයට අයත් අයිතීන්ට අනුව වැඩ කිරීමේ අයිතියත්, තම රැකියාව තෝරා ගැනීමේ නිදහසත්, සාධාරණ හා සතුටුදායක රැකියා කොන්දේසි සඳහා ඇති අයිතියත්, විරැකියාවෙන් ආරක්ෂා වීමේ අයිතියත් සෑම කෙනෙකුට ම හිමි වේ. ඒ හැර කිසිදු ආකාරයක අඩු සැලකිල්ලකට ලක් විමෙන් තොර ව සමාන වැඩට සමාන වැටුප් ලැබීමේ අයිතිය සෑම කෙනෙකුට ම හිමි වේ. අවශ්‍ය නම් අනෙකුත් සමාජ ආරක්ෂණ විධි විධාන මඟින් ප්‍රදානය කරන පරිපූරකයන් ද සහිත ව වැඩ කරන සෑම අයෙකුට ම තමාගේ හා තම පවුලේ මානව අභිමානයට සරිලන පරිදි සාධාරණ හා සතුටුදායක වේතනයක් ලබා ගැනීමට අයිතිය ඇත්තේ ය. තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා වෘත්තිය සමිති පිහිටු වීමටත් වෘත්තීය සමිතියකට බැඳීමටත් සෑම අයෙකුට ම අයිතිය ඇත්තේ ය. වැඩ කළ යුතු පැය ගණන පිළිබඳ සාධාරණ සීමාවක් ද වැටුප් සහිත ව කලින් කලට ලැබෙන නිවාඩු දිනයන් ද සහිත ව විවේකය හා නිවාඩු ගැනීම සෑම කෙනෙකුගේ ම අයිතියකි.
මෙකී අයිතීන් කාණ්ඩයට අනුව තමාගේ හා තම පවුලේ සෞඛ්‍යය හා සුභසාධනය සඳහා ප්‍රමාණවත් වන පරිදි ආහාර, ඇඳුම්, නිවාස, වෛද්‍ය සේවාව හා අවශ්‍ය සමාජ සේවාවන්ගෙන් සමන්විත ජීවන තත්වයක් භුක්තිවිඳීමට සියල්ලන්ට ම මේ යටතේ හිමිකම ඇති අතර විරැකියාව, රෝගාබාධ, වැන්දඹු වීම, මහලු වීම හා ඒ හා සමාන වූ තම පාලනයෙන් තොර ආපදාවක් සිදු වූ විටක දී රැකවරණය ලැබීමටත් සියලු දෙනාට ම හිමිකම ඇත්තේ ය. මාතෘ භාවය හා ළදරුභාවය විශේෂ උපකාරයට හා සාත්තුවට උරුම වූ තත්වයෝ ය. සුජාත හෝ අවජාත බව නො සලකා, සමාජ ආරක්ෂාව එක සමාන ව භුක්ති විඳීම සියලු ම දරුවන්ට හිමි ය.
ඒ හැර අධ්‍යාපනය ලබාගැනීමට සෑම පුද්ගලයෙකුට ම අයිතිය ඇත්තේ ය. අවම වසයෙන් ප්‍රාථමික හා මූලික අධ්‍යාපනය නො මිලේ ලබා ගැනීමට හැකි විය යුතු ය. ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය විය යුතු වේ. කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව පොදුවේ සැලසිය යුතු වන අතර ඒ හා සමාන ව, සියල්ලන්ට ම දක්ෂතාව පදනම් කොට ගෙන උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වීමේ අවස්ථාව ද සැලසිය යුත්තේ ය. මනුෂ්‍යයාගේ ස්වීයත්වය පරිපූර්ණ කර ගැනීමත් මානව අයිතිවාසිකම් හා මූලික නිදහසට ගරු කිරීම ප්‍රවර්ධනය කිරීමත් අරමුණු කොට අධ්‍යාපනය සකස් විය යුතු ය. සියලු ජාතිකත්ව, ජාති හා ආගමික කණ්ඩායම් අතර අන්‍යෝන්‍ය අවබෝධය, රිස්සීම හා මිත්‍ර‍්‍රත්ත්වය වර්ධනය කිරීමටත් සාමය පවත්වා ගෙන යෑම උදෙසා එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම් තව දුරට කර ගෙන යෑමටත් අධ්‍යාපනයෙන් අනුබලය දිය යුත්තේ ය. සිය දරුවන්ට දිය යුතු අධ්‍යාපනයේ ස්වභාවය තීරණය කිරීමේ ප්‍රමුඛ අයිතිය දෙමව්පියන් සතු ය ආදි වසයෙන් මේ අයිතීන් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ නිශ්චිත ව සඳහන් වේ.[1]
18 වන සිය වසේ සම්භාව්‍ය ලිබරල්වාදයෙන් ජනිත වූ සිවිල් හා දේශපාලනික අයිතීන්ට වෙනස් ව දෙවැනි පරම්පරාවට අයත් ඉහත දැක්වෙන මානව අයිතිවාසිකම්වල බුද්ධිමය ප්‍රභවය 19වන හා 20 වෙනි සියවස්වල උද්ගත වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී චින්තන සම්ප්‍රදායට අයත් වේ.
කෙසේ වෙතත් සිවිල් හා දේශපාලනික අයිතීන් කෙරෙහි දක්වන තරම් අවධානයක් ලිබරල්වාදය මෙකී ආර්ථික, සංස්කෘතික හා සමාජීය අයිතිවාසිකම් කෙරෙහි දක්වා නැත. එයට එක් හේතුවක් වූයේ රාජ්‍යයේ මැදිහත් වීම අවම කිරීම අරමුණු කරගත් සාම්ප්‍රදායික ධනවාදී ආර්ථික චින්තනය රැකියා නියුක්තිය සහතික කිරීම, නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය වැනි සංකල්ප ප්‍රතික්ෂේප කරමින් ඒවා තරඟකාරී වෙළඳ පළ මඟින් සැපයිය හැකි ඒවා වසයෙන් සැලකීම යි.
ඒ අනුව පළමු පරම්පරාවට අයත් මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් ලෙස සැලකෙන ජනඝාත හෝ අමානුෂික වද හිංසනයට ලක් කිරීම මත රජයකට හෝ රාජ්‍ය නායකයන්ට චෝදනා එල්ල කොට නඩු විභාග පැවැත්වීමට අන්තර්ජාතික අයිතිවාසිකම් නීතිවලට අනුව හැකි වුව ද දෙවන පරම්පරාවට අයත් අයිතීන්වලට ගැනෙන තම ජනතාවට ගුණාත්මක නිදහස් අධ්‍යාපනයක් හෝ ගුණාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවක් ලබා නො දෙන රජයකට හෝ රාජ්‍ය නායකයෙකුට චෝදනා එල්ල කොට විභාග කිරීම පිණිස ප්‍රතිපාදන අන්තර් ජාතික නීතියේ නොමැත.
කෙසේ වෙතත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ඇගයූ ස්කැන්ඩිනේවියානු හා යුරෝපීය රටවල් ධනවාදි ආර්ථික ක්‍රමය යටතේ ද මෙකී අයිතීන් සාක්ෂාත් කර දීම රජයේ කාර්යයක් ලෙස සැලකූහ. ඒ සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ (social security) වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට එම රටවල් කටයුතු කළහ. ශක්තිමත් සමාජ ආරක්ෂණ ක්‍රම ඇති රටවල සමානාත්මතාව ද සැලකිය යුතු අන්දමින් ප්‍රවර්ධනය වීම එම රටවල ප්‍රජාතන්ත්‍රවාදය තිරසාර වීමට ද හේතුවක් වී තිබේ. ඊට සමාන ව 1944 ජනවාරි 11 දින ඇමෙරිකානු කොන්ග්‍රස් සභාව හමුවේ සිය වාර්ෂික කථාව පැවැත්වූ ෆෑන්ක්ලින් රූස්වෙල්ට් ජනාධිපතිවරයා නව සම්භාව්‍ය ආර්ථික ගුරුකුලයේ මතවාදයට පටහැණි ව ඇමෙරිකානු ව්‍යවස්ථාවේ සඳහන් දේශපාලන හා සිවිල් අයිතීන්ට අනුපූරකයක් වසයෙන් මහජනතාවගේ ආර්ථික අයිතීන් සාක්ෂාත් කිරීම පිණිස ආර්ථික අයිතිය පිළිබඳ පනතක් (Economic Bill of Rights) කොන්ග්‍රස් සභාව විසින් සම්මත කළ යුතු යැ’යි කියා සිටියේ ය. ඔහු යෝජනා කළ පරිදි එම පනතින් සියලු ඇමෙරිකානුවන්ට පහත කියවෙන අයිතීන්ට හිමිකම තිබිය යුතු ය:
වේතනයක් සහිත ප්‍රයෝජනවත් රැකියාවක නියැලීමේ අයිතිය, ආහාර ඇඳුම් සහ විනෝදය සඳහා වැය කිරීමට ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමේ අයිතිය, තම හා තම පවුලේ ජීවිකාව සඳහා සෑහෙන ආදායමක් ලබා ගැනීම සඳහා නිෂ්පාදනය කිරීමට හා අලෙවි කිරීමට ගොවීන්ට ඇති අයිතිය, දේශීය හා විදේශීය ඒකාධිකාරවල ග්‍රහණයකින් හා අසාධාරණ තරඟකාරිත්වයකින් තොර ව තම ව්‍යාපාරික කටයුතු නිදහසේ කර ගෙන යෑමට ව්‍යාපාරිකයන්ට ඇති අයිතිය. උචිත නිවාසයක් ලබා ගැනීමට සෑම පවුලකට ම ඇති අයිතිය, යහපත් සෞඛ්‍යයක් හා ප්‍රමාණවත් සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමේ අයිතිය, වැඩිහිටියෙකු වීම, රෝගී විම, අනතුරකට ලක් වීම, රැකියා වියුක්ත වීම නිසා ඇතිවිය හැකි ආර්ථික අමාරුකම්වලින් මිදීම සඳහා ප්‍රමාණවත් රැකවරණය ලැබීමේ අයිතිය හා හොඳ අධ්‍යාපනයකට ඇති අයිතිය.
එහෙත් 1945 අප්‍රියෙල් 12 වන දින ජනාධිපති රූස්වෙල්ට් මියගිය අතර ඇමෙරිකානු කොන්ග්‍රස් සභාව රූස්වෙල්ට්ගේ එම අදහස නො සලකා හැරියේ ය. කෙසේ වෙතත් ආර්ථික හා සමාජීය අයිතීන් විශ්ව මානව අයිතිවාසිකම් ප්‍රකාශනයට ඇතුළත් කිරීම පිණිස අවසානයේ ඇමෙරිකානු පාලනතන්ත්‍රය එකඟ කර ගැනීමට විශ්ව මානව අයිතිවාසිකම් ප්‍රකාශනය කෙටුම්පත් කළ එක්සත් ජාතීන්ගේ කමිටුවේ සභාපති එලිනෝර් රූස්වෙල්ට් ට හැකි වුණේ ජනාධිපති වසයෙන් ඇගේ සැමියා පැවැත්වූ මේ කථාව නිසා බව මානව අයිතිවාසිකම් ඉතිහාසය පිළිබඳ විශේෂඥයෙකු වූ මිචෙලින් ඉෂායි සිය History of Human Rights කෘතියෙන් පෙන්වා දෙයි.[2]
අනෙකුත් බොහෝ රටවල මෙන් ම රටවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයක් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වී තිබේ. සර්වජන ඡන්ද බලය සහ ඡන්දයෙන් පත්කර ගත් සිය නියෝජිතයන් මඟින් ක්‍රියාත්මක කරන ආණ්ඩුක්‍රමයට අතිරේක ව රටේ ජනතාවගේ පරමාධිපත්‍යය සමන්විත වන අනෙක් අංගය වන්නේ මෙකී මූලික අයිතිවාසිකම් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ. ආගමික නිදහස, ක්රූර වධහිංසා සහ අවමානවලට ලක් නො වීම, නීතියේ සාධාරණ සැලකිල්ල, භාෂණයේ හා සමාගමයේ නිදහස වැනි සීමිත ක්ෂේත්‍රයක් ආවරණය වන පරිදි සැකසී ඇති මෙකී මූලික අයිතිවාසිකම්වල එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1948 දී සම්මත කරගත් මූලික මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සඳහන් වන සමාජීය සංස්කෘතික හා ආර්ථික අයිතිවාසිකම් ඇතුළු අනෙකුත් බොහෝ වැදගත් අයිතිවාසිකම් අඩංගු නො වේ.
අභිමතාර්ථය අතින් ගත් විට මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අඩංගු වී ඇති අයිතීන් විශේෂයෙන්ම වැඩිදියුණු කළ ආර්ථික, සංස්කෘතික හා සාමාජික අයිතීන්වලට පාරිසරික අයිතීන් ද එක් කළ විට එම අයිතීන් භුක්ති විඳීමේ හැකියාව සියල්ලන් සඳහා ම සාක්ෂාත් කර ගැනීම සංවර්ධනයේ ප්‍රධාන අරමුණක් වසයෙන් සැලකිය හැකියි. ඒ අනුව වෙසෙසින් ම මනුෂ්‍යයන්ට තම ශක්‍යතාව පරිපූර්ණ ලෙස උපයෝගී කර ගැනීමට හැකි වන ලෙස පිරිසිදු වාතය, පිරිසිදු ජලය සහ ආහාර සහිත යහපත් පරිසරයකට ඇති අයිතිය ද මානව අයිතිවාසිකම් වසයෙන් පිළිගත යුතු ය.[3]මෙම අවබෝධය පළමු පරම්පරාවට අයත් ලිබරල් මතවාදී මානව අයිතිවාසිකම්වල ම දිගුවක් ලෙස සැලකිය හැකි ය. එමඟින් පරිසර දූෂණයට ලක් වන ජන කොටස් මානව අයිතිවාසිකම් උල්ලංඝනයට ලක් වූවන් ලෙස සලකමින් පරිසර සක්‍රියවාදය (Environmental Activism) මානව අයිතිවාසිකම් අරගලයේ ඒකාග්‍ර කොටසක් බවට පත් කරයි. එම අයිතිය තනි තනි පුද්ගලයාට මෙන් ම පුද්ගලයා අයත් වන සාමූහිකයට ද පොදු ය.
විශ්ව ප්‍රකාශනයේ සඳහන් වන දෙවැනි පරම්පරාවට අයත් බොහෝ අයිතිවාසිකම් වැඩිදියුණු කළ යුතු ඒවා වන්නේ ඒවා සකස් කිරීමේ දී කොතෙක් දුරට ඒවා සාක්ෂාත් කර දීමට හැකි වේ ද යන සැකය එම අයිතිවාසිකම් කෙටුම්පත් කළ කමිටුවේ ඇතැම් සාමාජිකයන් තුළ පවා තිබූ බැවිනි[4]. එම නිසා සුභාවිත ‘ගුණාත්මක අධ්‍යාපනයක්’ ලබා ගැනීමට ඇති අයිතිය වෙනුවට නිකම් ම අධ්‍යාපනයක් ලබා ගැනීමේ අයිතිය යනුවෙන් සඳහන් කිරීමට ඔවුන්ට එකඟ වීමට සිදු විය. මේ නිසා මුල් ලේඛනයේ ජීව ගුණය වඩාත් තියුණු කිරීම පිණිස ආර්ථික, සාමාජික හා සංස්කෘතික අයිතිවාසිකම් නිශ්චිත දර්ශකවලින් නිරූපණය වන ලෙස තවදුරටත් වැඩි දියුණු කළ හැකි ය. .
මානව අයිතිවාසිකම් බටහිර ආධිපත්‍යයේ මෙවලම් ලෙස සැලකීමේ ආධානග්‍රාහී ආකල්පය නිසා මානව අයිතිවාසිකම් පාදක සංවර්ධනය පිළිබඳ නිසි අවධානයක් සංවර්ධනය වෙමින් පවතිනවා යැ’යි සැලකෙන රටවල වියතුන් අතර ද වාමවාදී දේශපාලන ව්‍යාපාර තුළ ද ඇති නොවූ බව කිව හැකි ය. මානව අයිතිවාසිකම් යනු පුද්ගල ස්වතන්ත්‍රභාවය පිළිබඳ නිර්ණායක බව පිළිගැනීමට පක්ෂයේ ආධිපත්‍ය මුදුන් කොට සැලකූ වාමාංශිකයන් මැලි විය. තවත් අය ධනවාදය විසින් ඔජවඩන ලද ස්වාමිත්වකාමි (possessive) පුද්ගලික අයිතිය සහ පුද්ගල ශක්‍යතා පදනම් කරගත් මානව අයිතිවාසිකම් අතර ඇති දෘෂ්ටිවාදී වෙනස දැකීමට අපොහොසත් වූහ. දෙවන ලෝක මහා යුද්ධයේ දී යුදෙව් ජන වර්ගයට එරෙහි ව අමානුෂික ජනඝාතය රාජ්‍ය ප්‍රතිපත්තියක් වසයෙන් ක්‍රියාත්මක කළ ආර්යෝත්තමික නාසිවාදය වැන්නක් නැවත බිහි වීම වැළැක් වීම පිණිස යොදා ගත හැකි මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයක අවශ්‍යතාව පිළිබඳ කතිකාව දෙවැනි ලෝක මහා යුද්ධය ඇරඹීමත් සමඟම බිහි වූවකි. බ්‍රිතාන්‍ය ගත්කතුවර එච්. ජී. වෙල්ස් 1939 දී ලන්ඩන් ටයිම්ස් පුවත් පතට ලිපියක් ලියමින් මානව අයිතිවාසිකම් ප්‍රකාශයේ අරමුණ පැසිස්ට්වාදයට එරෙහිව අප යුද වැදී ඇත්තේ කිනම් වටිනාකම් ආරක්ෂා කර ගැනීම සඳහා ද යන්න ගැන අපේ තරුණ තරුණියන්ට අවබෝධයක් ලබා දීම යැයි කියා සිටියේ ය.
නෝබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥ අමාර්ත්‍ය සෙන්ට අනුව මානව අයිතිවාසිකම් විමර්ශනයේ දී වැදගත් වන්නේ එම අයිතිවාසිකම්වලට පාදක වූ මනුෂ්‍ය නිදහසෙහි සුවිශේෂ වැදගත්කම යි. එම වැදගත්කම අපට අපේ ම වූ අයිතීන් තහවුරු කර ගැනීමේ වටිනාකම පමණක් නො ව අන් සියලු අය සඳහා ද එම අයිතීන් තහවුරු කර දීමේ වැදගත්කම ද අවබෝධ කර දෙයි.[5]ඒ අනුව මානව අයිතිවාසිකම්වලින් මූලික වසයෙන් උත්කර්ෂණයට නංවන්නේ පුද්ගල ස්වතන්ත්‍රභාවය මිස පුද්ගලික ආත්මාර්ථය නො වේ. මානව අයිතිවාසිකම් කතිකාව බටහිර ලෝකයේ පැවති රදල- ප්‍රවේණිදාස ක්‍රමයට, ආගමික සංවීක්ෂණයේ (Inquisition) පරිපීඩනයට සහ ආධිපත්‍යට එරෙහි ව නිෂ්පන්න වූ බව සැබෑවකි. එහෙත් එම අයිතීන් උත්ප්‍රේක්ෂාව (tolerance), නිදහස හා පුද්ගල ස්වතන්ත්‍රභාවය යන ගුණාංග ප්‍රමුඛ කරගත් පොදු මානව ශිෂ්ටාචාරයක් ගොඩ නැගීමේ පූර්ව කොන්දේසි වසයෙන් පෙර අපර දෙ දිගට ම පිළිගැනීමට හැකි ය. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයකට අත්‍යවශ්‍ය අංගයක් වන්නේ දේශපාලන සමානාත්මතාව තහවුරු කිරීම යි. ඒ සඳහා අවශ්‍ය වන්නේ පුද්ගල ස්වතන්ත්‍ර භාවය අදීන ව පවත්වා ගැනීමට රට වැසියන්ට ඇති හැකියාව නිරන්තරයෙන් තහවුරු කරන මානව ශිෂ්ටාචාරයකි .
මානව අයිතිවාසිකම් පාදක සංවර්ධන එළඹුමක දී සංවර්ධනයේ දර්ශකයක් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සැලකිය යුත්තේ කෙසේ ද යන්න විමසා බැලූ විට මෙම අදහස තව දුරටත් පැහැදිලි කර ගත හැකි ය. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය බටහිර රටවල බොහෝ විට නිරූපණය වන්නේ ජනමාධ්‍ය නිදහස පිළිබඳ ආයතනික ප්‍රශ්නයක් ලෙස ය. උදාහරණයක් ලෙස Reporters without Borders හෙවත් ‘දේශ සීමාවලින් තොර වාර්තාකරුවෝ’ නමැති ප්‍රකට රාජ්‍ය නො වන ජාත්‍යන්තර සංවිධානය වාර්ෂික ව නිකුත් කරන ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දර්ශක මඟින් හැම රටක ම මාධ්‍ය බහුවිධත්වය, මාධ්‍ය ස්වාධීනත්වය, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ නීතිය මඟින් ලැබෙන ආවරණය අනුව ජන මාධ්‍ය නිදහස පිළිබඳ සංඛ්‍යාත්මක අගයක් ලබා දෙයි[6]. එහෙත් ඒ මඟින් ජනමාධ්‍ය අන්තර්ගතයේ ගුණාත්මක භාවය, බහුවිධත්වය හා නාගරික මෙන් ම ග්‍රාමීය ප්‍රදේශවල ද වෙසෙන විවිධ ජන කොට්ඨාශවලට සිය අදහස් ප්‍රකාශ කිරීමට ජනමාධ්‍ය උපයෝගී කර ගැනීමට ඇති හැකියාව නිරූපණය නො වේ.
ඒ නිසා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පරිපූර්ණ ලෙස භුක්ති විඳීමට නම් එම අයිතිය නීතියෙන් සහතික කිරීමට අමතර ව රටවැසියන්ට සිය අදහස් ප්‍රකාශ කිරීම පිණිස කාර්යක්ෂම ලෙස උපයෝගී කර ගත හැකි බහුත්වවාදී ජන සංනිවේදන පද්ධතියක පැවැත්ම ද අවශ්‍යය වේ. එහි දී මහජන මතය ගොඩ නැගීමේ ලා වඩා දැනෙන බලපෑමක් කළ හැකි විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය බහුවිධත්වය හා සංස්කාරක ස්වාධීනත්වය සහතික කළ හැකි ස්වාධීන නියාමන ක්‍රමයක් මඟින් ඵලදායී ප්‍රජාතන්ත්‍රවාදී කතිකා යන්ත්‍රණයක් ලෙස පවත්වා ගෙන යෑම වැදගත් ය. විශේෂයෙන් දේශපාලනික, සමාජීය, පාරිසරික හා ආර්ථික සාක්ෂරතාවය ගුණාත්මක හා ප්‍රභේද්‍ය (distinctive) වැඩසටහන් මඟින් ප්‍රවර්ධනය කළ හැකි ස්වාධීන මහජන සේවා විද්‍යුත් මාධ්‍ය (Public Service Broadcasting) සහ බිම් මට්ටමේ දේශපාලන සහභාගිත්වය සහතික කිරීම පිණිස ස්වාධීන ප්‍රජා ගුවන් විදුලි (Community Radio) හා පරිස්ථානීය පුවත්පත් (Local Newspapers) වැනි ජනමාධ්‍ය මෙවලම් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය ය. දැරිය හැකි මිලකට අන්තර්ජාල පහසුකම් ලබා දීම මඟින් මංගත(Online) තොරතුරු සඳහා ප්‍රවේශ වීමට, ප්‍රතිචාර දැක්වීමට සහ සමාජ මාධ්‍ය පරිහරණය කිරීමට ඇති හැකියාව ද අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භුක්ති විඳීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසි අතර වැදගත් වෙයි. ඒ අනුව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යනු හුදෙක් අගනුවර පාදක කරගත් සහ බොහෝ විට පවතින ආණ්ඩුවේ ව්‍යාපාරික අනුග්‍රහය සහතික කර ගැනීමේ උපාය මාර්ගයක් ලෙස පවත්වා ගෙන ගිය හැකි ජනමාධ්‍ය ආයතන අතළොස්සක් පිහිටුවා ගැනීමට ඉඩ දීමෙන් පමණක් සාක්ෂාත් කර ගත හැක්කක්ද නො වේ. සමස්තයක් ලෙස ගත් විට ජන මාධ්‍ය පද්ධතිය කොතෙක් දුරට සමාජයේ හැම ස්තරයක් ම ඵලදායකව නියෝජනය කිරීමට සමත් වේද යන්න යුක්තිගරුක දේශපාලනයට අත්‍යවශ්‍ය වන සහභාගිත්වය හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධ වැදගත් ම සාධකයයි.
අනන්‍යතා දේශපාලනය නිසා විභේදනය වී ඇති මනුෂ්‍ය වර්ගයාට සමානාත්මතාව පදනම කර ගැනීමට හැකි විශ්ව සාධාරණ වූ පොදු චින්තනයක් විශ්ව මානව අයිතිවාසිකම් ප්‍රකාශනය සපයයි. එම ප්‍රකාශනයේ අඩංගු සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ විවේචන බොහෝමයක් ම අනන්‍යතා දේශපාලනය මත පදනම් වූ අනන්‍යතා දේශපාලනය සමඟ ම පිටු දැකිය හැකි ඒවා ය. වඩා වැදගත් වන්නේ මනුෂ්‍යයන් අතර ඇති පුද්ගල අසමානතා සලකමින් වුව ද සිවිල් හා දේශපාලනික මෙන් ම ආර්ථික, සමාජීය හා සංස්කෘතික ක්ෂේත්‍රවල නිශ්චිත මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සමාන සැලකීම් ලැබීමට අනන්‍යතා නො තකා සියලු මනුෂ්‍යයන්ට ඇති සමාන හිමිකම පිළිගැනීමත් එය සාක්ෂාත් කර ගැනීමට කටයුතු යෙදීමත් ය. ඒ අනුව ආර්ථිකයේ පොදු අරමුණ ද මානව අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීම අන්තර්ග්‍රහණය කරගත් සංකල්පයකින් සමන්විත විය යුතු වේ.
[1] https://www.un.org/en/about-us/universal-declaration-of-human-rights Retrieved on 21 August 2021
[2] Ishay, Micheline R (2004) The History of Human Rights, Berkly: University of California Press, p 222
[3] Ife, Jime (2008) Human Rights and Social Work, Cambridge: Cambridge University Press, p..45
[4] මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සඳහා විශ්ව මානව අයිතිවාසිකම් ප්‍රකාශනයේ ඉතිහාසය අලළා 2012 දී මා ලියූ “නියත විවරණය” කෘතිය කියවන්න. එය රාවය ප්‍රකාශනයකි.
[5] Sen, Amartya (2010). The Idea of Justice. Penguin UK. pp. 366-367, Kindle Edition.