22. රේඛීය ආර්ථිකය වෙනුවට චක්‍රීය ආර්ථිකයක්

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

ආර්ථිකයේ තිරසාරත්වය හෙවත් ධරණීයතාවය (sustainability)  සම්බන්ධයෙන් අප අද මුහුණ දෙන බොහෝ අභියෝග“රේඛීය ආර්ථිකය” යනුවෙන් හඳුන්වනු ලබන ආර්ථික කටයුතුවල අනිවාර්ය ප්‍රතිඵල නිසා උද්ගත වන ඒවා ය. මේ නිසා මෙතෙක් පැවති රේඛීය ආර්ථිකයට වඩා වෙනස් චක්‍රීය එළඹීමක් සහිත නව ආර්ථික චින්තනයක් අවශ්‍ය බව ඩෝනට් ආර්ථික එළඹුම හඳුන්වා දුන් ආර්ථික විද්‍යාඥ කේට් රේවර්ත්ගේ අදහස යි. රේවර්ත්ගේ ඒ ආර්ථික ආකෘතිය ගැන අපි පසුව විමසා බලමු. ඒ අතර එයට පූර්විකාවක් ලෙස රේඛීය ආර්ථිකයක සිට චක්‍රීය ආර්ථිකයකට මාරු වීමේ යෝජනාව විමසා බැලීම වටී. රේඛීය ආර්ථිකයක් යන්නෙන් අදහස් වන්නේ කුමක් ද යන්න පිළිබඳ දළ අදහසක් පහත දැක්වෙන  සංකල්ප සටහන ඇසුරෙන් ඇති කර ගත හැකි ය.

රේඛීය ආර්ථිකය තුළ නිෂ්පාදන හා පරිභෝජන ක්‍රියාවලිය පහත දැක්වෙන ආකාරයට නිරූපණය කළ හැකි ය:

ගන්න (Take) > හදන්න (Make) > අපතේ යවන්න (Waste)

‘ගන්න’ යනුවෙන් මෙහි දී අදහස් වන්නේ පාරිභෝගික භාණ්ඩ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යය ද ඇතුළු ව සියලු සම්පත් පෘථිවියෙන් ලබාගන්නා බව යි. හදන්න යන්නෙන් ඒවා පරිභෝජනය සඳහා නිෂ්පාදනය කිරීම ද (නිෂ්පාදනය සඳහා යොදන බලශක්තිය බොහෝ විට පෘථිවියෙන් ම ලබාගත යුතු ය), අපතේ යවන්න යන්නෙන් පරිභෝජනයෙන් පසු අපද්‍රව්‍ය වසයෙන් ඉවත දැමීම ද අදහස් කෙරේ.

රේඛීය ආර්ථිකය නිසා මෙසේ අපතේ යැවෙන විශාල අප ද්‍රව්‍ය ප්‍රමාණයක් පුලුස්සා දැමේ; නැත් නම් කුණු වසයෙන් පහත් බිම් පිරවීමට යොදා ගැනේ. මේ රේඛීය  ක්‍රියාවලිය නිසා ගොඩ ගැහෙන අති මහත් අපද්‍රව්‍ය ප්‍රමාණය කළමනාකරණය කිරීම අපහසු වනවා පමණක් නො ව ඒ නිසා ඇති විය හැකි සනීපාරක්ෂක හා පාරිසරික අවදානම ද  ඉමහත් ය. එපමණක් නො ව ස්වාභාවික සම්පත් නො කඩවා යොදා ගැනීම මත යැපෙන රේඛීය ආර්ථිකය නිසා පෘථිවි සම්පත් වේගයෙන් වියැකී යෑම ද  සිදු වේ.

නයිජීරියාවේ ලාගෝස් නුවර අසබඩ ‘ඔලුසොසුන්’ කුනු කන්ද අප්‍රිකාවේ විශාලතම කුනු කන්ද යි. ලොව පුරා විවිධ පෙදෙස්වලින් ගෙනෙන ලදු ව  දිනකට එයට හෙලන කුණු ප්‍රමාණය ටොන් 10,000 කට වැඩි ය. එයට එන බොහෝ කුණු ඉවත දමන කොම්පියුටර, ජංගම දුරකථන, රූපවාහිනි වැනි ඉලෙක්ට්‍රොනික අප ද්‍රව්‍යය යි. දිනෙන් දින නව නිපැයුම් මෙන් ම පවතින නිපදවුම්වල නව මාදිලි වෙළඳපොළට එන බැවින් ඒවා මිලට ගෙන පැරණි ඒවා ඉවත දැමීමට බොහෝ ඇති හැකි මිනිසුන් පුරුදු වී ඇත. එනිසා අප ද්‍රව්‍ය කළමනාකරණය කිරීමට ගෝලීය මට්ටමින් ඇති ව තිබෙන අභියෝගය සුලු පටු නො වේ.  රේඛීය ආර්ථිකය මඟින් අපතේ යවන ප්ලාස්ටික් ප්‍රමාණය ද අති විශාල ය.  වසර 2018 දී අපද්‍රව්‍ය වසයෙන් ගෝලීය පරිසරයට එක් වූ ප්ලාස්ටික් ප්‍රමාණය දළ වසයෙන් ටොන් මිලියන 348 ක් බවත් 2010 සිට එකතු කළ දත්තවලට අනුව එම ප්‍රමාණයෙන් ටොන් මිලියන 4.7 සිට 12.7 දක්වා ප්‍රමාණයක් වාර්ෂිකව සාගර දූෂණයට දායක වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය 2021 දී පළ කළ දෙවැනි ලෝක සාගර ඇගයුම් වාර්තාවේ සඳහන් කරයි.[1]

එහෙත් දිගු කලක් තිස්සේ සාම්ප්‍රදායික ආර්ථික න්‍යායවලින් ප්‍රකාශ කළ පරිදි පිරිසිදු පරිසරයක් යනු ධනයෙන් ආඪ්‍ය ඇති හැකි අයට පමණක් භුක්ති විඳිය හැකි සුඛෝපභෝගී පහසු කමකි. දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ අදහස හඳුන්වා දුන් ආර්ථික විද්‍යාඥ කුස්නෙට් ඔහුගේ චිර ප්‍රසිද්ධ පාරිසරික කවය (Environmental Kuznets Curve) මඟින් නිරූපණය කළ පරිදි ආර්ථික වර්ධනය සිදු වන විට පරිසරය යහපත් වීමට පෙර කොහොමටත් පරිසර දූෂණය ඉහළ යෑම අනිවාර්ය වේ. ඒ මතයට අනුව පරිසරය නැවත යථාතත්වයට පත් වන්නේ ආර්ථිකය වර්ධනය වී රට සශ්‍රීක වූ පසුව ය.

එහෙත් කුස්නෙට් යෝජනා කළ ඒ පරිසර දූෂණ න්‍යාය ප්‍රායෝගික වසයෙන් ආදේශ වන්නක් නො වේ. මන්ද, පරිසර දූෂණයට මෙන් ම පරිසර හායනයට හෙවත් නාස්තියට ද හේතු වන්නේ ආර්ථික වර්ධනය නො ව භාණ්ඩ නිෂ්පාදනය සඳහා උපයෝගී කර ගන්නා පරිහානි දායක කාර්මික නිෂ්පාදන රටාව යි (degenerative industrial design). එනිසා විසි එක්වැනි සියවසට අවශ්‍ය වන්නේ නාස්තිකාර රේඛීය ආර්ථිකයක් නො ව ප්‍රතිජනනීය රටාවක් (regenerative design) පාදක කරගත් ආර්ථික චින්තනයකින් මෙහෙයවෙන චක්‍රීය ආර්ථිකයකි. එම ආර්ථික චින්තනය මනුෂ්‍යයන් හෝමෝ එකොනොමිකස් ලෙස නො ව මහ පොළොවේ චක්‍රීය ජීවන කාර්යාවලිවල පූර්ණ හා අවියෝජනීය කොටස්කරුවන් ලෙස ප්‍රතිස්ථාපනය කළ යුතු ය.

ආර්ථික වර්ධනය ඉහළ යන විට ඉහළ යන පරිසර දූෂණය පසුව සමනය වෙතැ’යි යන ඇදහිල්ල ඉන්දියාවට ආදේශ කළ ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ පරිසර ආර්ථික විද්‍යාඥයෙකු  වන මුතුකුමාර මානි “ගත වූ වසර ගණනාව තුළ ආර්ථික වසයෙන් ඉන්දියාව විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇති නමුත් පරිසරය සම්බන්ධයෙන් නම් ඒ බවක් නො පෙන්වයි. දැන් වර්ධනයට ඉඩ දී පසුව පිරිසිදු කරමු යන්න ඇත්ත වසයෙන් ම සිදු වන දෙයක් නො වේ.”[2] යනුවෙන් සඳහන් කරයි.  

ආර්ථික වර්ධනය සමඟ ඉහළ යන පරිසර දූෂණය රට සශ්‍රීක විමෙන් පසු සමනය වෙතැ’යි යන  කුස්නෙට්ගේ මතය උත්කර්ෂණයට නංවමින් ඇතැම් ආර්ථික විද්‍යාඥයෝ හා දේශපාලකයෝ අපරීක්ෂාකාරී ආර්ථික ප්‍රතිපත්ති නිසා පස, සාගර, පරිසර පද්ධති, ජෛව විවිධත්වය, දේශගුණය යනාදිය කෙරෙහි ඇතිවෙන අහිතකර බල පෑම  පිළිබඳ පරිසරවේදීන්ගේ විවේචන හුදෙක් අනවශ්‍ය ලෙස බියවැද්දීම සඳහා කරන ඒවා යැයි ගැරහීමට ලක් කළහ. එහෙත් ඒ සමඟම කුස්නෙට් කවය මඟින් පෙන්නුම් කරන අන්දමට වර්ධනයෙන් පසු ඇතිවෙන සශ්‍රීකත්වය මඟින් පරිසරය නැවත පිරිසිදු කරනු ඇතැ’යි යන උපකල්පනය දත්ත මඟින් තහවුරු කළ නො හැකි බව ද ඔවුහු පිළිගත්හ. එනිසා ඔවුන් එයට නිදහසට තර්ක තුනක් ඉදිරිපත් කළහ. පළමුවැනි තර්කය වූයේ රටක ආර්ථික වර්ධනය වැඩිවන විට එහි රට වැසියන් යහපත් පාරිසරික ප්‍රමිති ඉල්ලා සිටින බවයි. දෙවැන්න ආර්ථික වර්ධනයෙන් ලැබෙන ප්‍රතිලාභ නිසා සිය කර්මාන්ත සඳහා දූෂණ නිවාරක තාක්ෂණය යොදා ගැනීමට කර්මාන්ත හිමියන්ට ඉඩ ලැබේ. තෙවනුව වර්ධනය වන ආර්ථිකයක පදනම නිෂ්පාදන කර්මාන්තවල සිට සේවා සැපයීමකට පරිවර්තනය වීමේ ප්‍රවණතාව වැඩිය. ඒ අනුව දුම් දමන කම්හල් වෙනුවට වැඩි වැඩියෙන් ‘කෝල් සෙන්ටර්’ වැනි සේවා සැපයුම් ස්ථාන ඇතිවිය හැකි ය.

බැලූ බැල්මට ම මේ තර්ක ප්‍රබල යැයි පෙනුන ද කුස්නෙට් කවය අනුව ම දූෂණයේ සිට පරිසරය දූෂණ නිවාරණය කරා ගමන් කිරීමට වර්ධනය වන ආර්ථිකය හේතු වනු ඇතැ’යි යන්න තහවුරු වන ප්‍රබල සාක්ෂි නැත. පළමු කොට වඩා යහපත් පරිසර ප්‍රමිති ඉල්ලා සිටීමට රට වැසියන් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය ඉහළ යන තෙක් බලා සිටීම අවශ්‍ය නො වේ. කේට් රේවත් උපුටා දක්වන පරිදි  මරියානෝ ටෝරාස් සහ ජේම්ස් කේ බොයිස් විසින් රටවල් ගණනක් සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකට අනුව ආදායම සැලකිය යුතු ලෙස බෙදී යෑමත්, ඉහළ සාක්ෂරතාවත් සමඟ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට ගරු කිරීමත් යන කරුණු සම්බන්ධ ව ඉහළ අගයක් ඇති නම් අඩු ආදායම් සහිත රටවල පවා පරිසරයේ ගුණාත්මක බව ඉහළ මට්ටමක තිබූ බව තහවුරු විය.[3] ඒ අනුව වාතයේ සහ ජලයේ ගුණාත්මක බව තීරණය කරන්නේ ආර්ථිකය විසින් නො ව පරිසරය සුරැකීම වෙනුවෙන් පෙනී සිටින මහජන මතය කොතෙක් ශක්තිමත් ද නැද්ද යන කාරණය මත ය. එමෙන් ම කර්මාන්ත හිමියන් හා නිෂ්පාදන සමාගම් පරිසර හිතකාමී තාක්ෂණය යොදා ගන්නේ හුදෙක් ඔවුන්ගේ ආදායම වැඩි වීම නිසා නො ව පරිසර හිතකාමී නියාමන ක්‍රම හා රෙගුලාසි ඉල්ලා මහජනයා විසින් රජයට සහ කර්මාන්ත හිමියන්ට කරන අඛණ්ඩ බලපෑම නිසා ය. තෙවනු ව දූෂණ කාරක කර්මාන්ත වෙනුවට ආර්ථිකය සේවා සැපයීමට පරිවර්තනය වීමේ ප්‍රවණතාව සම්බන්ධයෙන් කිව යුත්තේ ඇත්තටම මේ පරිවර්තනය සිදු වන්නේ සිය රටේ මහජන මතය, පාරිසරික රෙගුලාසි සහ වැඩි වැටුප්වලින් ගැලවීම සඳහා නිෂ්පාදන සමාගම් තම කර්මාන්ත ශාලා ගලවා ගෙන ගොස් වඩා ලාභදායක රටවල පිහිටුවීම නිසා බව යි. ඒ නිසා කුස්නෙට්ස් කවයට අනුව ආර්ථික වර්ධනය වැඩි වී සශ්‍රීක වූ පසු හැම රටක ම පරිසර දූෂණය අඩු වුවහොත් කර්මාන්ත හිමියන්ට දූෂණ කාරක කර්මාන්ත ශාලා විතැන් කිරීමට හැකි වෙනත් රටක් ඉතිරි විය නො හැකි ය.  එහෙත් එය එසේ නො වන බව අපි දනිමු.

1990 සිට 2007 දක්වා ඉහළ ආදායම් ලබන රටවල වර්ධන වේගය ඉහළ ගිය විට ඒ සඳහා වැය කළ යුතු ද්‍රව්‍යය සම්භාරය නිරූපණය වන ද්‍රව්‍යයමය පා සටහන (material footprint) ද සුලු ප්‍රමාණයකින් නො ව සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගියේ ය. ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, නවසීලන්තය යන රටවල එම ඉහළ යෑම 30%ක් වූ අතර ස්පාඤ්ඤය, පෘතුගාලය හා නෙදර්ලන්තය යන රටවල එය 50% කින් ඉහළ ගියේ ය. වැඩිවන වර්ධනයත් සමඟ ඉහළ ගොස් නැවත පහළට එතැ’යි උපකල්පනය කළ කුස්නෙට්ස් පරිසර කවයේ පොරොන්දුව කෙසේ වෙතත් දත්ත අනුව අපට ඇත්තට ම අත්දකින්නට ලැබෙන්නේ ද්‍රව්‍යයමය පා සටහනට අනුරූප ව පාරිසරික පා සටහන ද විපත්තිකාරි ලෙස තව තවත් ඉහළට යන බව යි. උදාහරණයක් ලෙස ගෝලීය ඒක පුද්ගල පාරිසරික පා සටහන gha ඒකක හෙවත් ගෝලීය හෙක්ටෙයාර් 1.7ක් වන නමුත්  යුරෝපා සංගමයට අයිති රටවල පමණක් ඒක පුද්ගල පාරිසරික පා සටහන ගෝලීය හෙක්ටෙයාර් 4.7 කි. මේ දත්තවලට අනුව දියුණු රටවලට අනුරූප ව දියුණු වෙන රටවල ද්‍රව්‍යයමය පා සටහන සලකුණු කළ යුතු වුවහොත් අවශ්‍ය වන ස්වාභාවික සම්පත් ප්‍රමාණය සැපයීමට තවත් පෘථිවි තුනක් වත් තිබිය යුතු ය. අධිපරිභෝජනය සම්බන්ධයෙන් පවතින විෂමතාව ද එවැනි ය. උදාහරණයක් ලෙස සත්ව ප්‍රෝටීන වර්ග අනුභව කිරීමේ දී යුරෝපීයයෝ පෝෂණ උපදේශවල නිර්දේශිත ප්‍රමාණයට වඩා 70% ක් වැඩියෙන් ප්‍රෝටීන් පරිභෝජනය කරති. ඒ අතර ගෝලීය උණුසුමට තුඩු දෙන හරිතාගාර වායු ප්‍රමාණයෙන් 14.3% ක් නිපදවෙන්නේ මේ සත්ව ප්‍රෝටීන සැපයෙන පශූ කර්මාන්තයෙනි.[4]

ඒ නිසා ජාතික නිෂ්පාදනයේ වර්ධනය ඉහළ ගිය පසු පරිසරය වැඩි දියුණු වෙතැ’යි කියවෙන ආර්ථික පුරසාරම් ඉවත දැමීමට දැන් කල් පැමිණ තිබේ. ආර්ථික විද්‍යාව යනු ලෝක ස්වභාවය පිළිබඳ නියාම සොයා ගැනීමේ කලාවක් නො වේ. මෙතැන මූලික වැරැද්ද ඇත්තේ දෝෂ සහගත කාර්මික නිපදවුම් රටාවේ ය. ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කරගත් පසුව ද පොහොසත් රටවල කෙරෙන කටයුතුවලින් ගෝලීය පරිසරයට දැවැන්ත පීඩනයක්  එල්ල කර තිබේ. ඊට හේතුව පසුගිය වසර 200 තිස්සේ එම රටවල ක්‍රියාත්මක වූ සියලු කාර්මික නිෂ්පාදන කටයුතු ආවේණික ව ම පරිහානි දායක රටාවකින් යුත් රේඛීය කාර්මික නිෂ්පාදන විධික්‍රමයක් මත පදනම් වූ බැවිනි. එම කාර්මික විධික්‍රමයේ පිළිවෙත වුණේ ගන්න, හදන්න, භාවිත කරන්න, අපතේ දමන්න යන්න යි. එම රේඛීය ක්‍රියා පටිපාටියට අනුව සිදු වන්නේ මහ පොළොවේ ඛනිජ ද්‍රව්‍ය, ජෛව ස්කන්ධ සහ ෆොසිල ඉන්ධන උද්ධරණය කොට උපයෝගී කොට නිෂ්පාදිත නිමි භාණ්ඩ වැඩි කල් නො යවා ඉවත වීසි කර දැමීමට පාරිභෝගිකයන් අතට පත් කිරීම යි. සරල රූපයකින් නිරූපණය කරන්නේ නම් මෙම රේඛීය නිෂ්පාදන ක්‍රමය හරියට එක් පැත්තකින් නොකඩවා වියරුවෙන් මෙන්  බුදින අනික් පැත්තෙන් නොකඩවා අපද්‍රව්‍ය පිට කරන දැවැන්ත දළඹුවෙකු වැනිය.

ලොව පුරා පැතිර ඇති මේ පරිහානිදායක කාර්මික නිෂ්පාදන විධික්‍රමය බොහෝ ව්‍යාපාර ලාභයෙන් පිනවා ඇති අතර කාලාන්තරයක් තිස්සේ  රටවල් ගණනාවක් මූල්‍යමය වසයෙන් පොහොසත් කර තිබේ. එහෙත් එහි සැලැස්ම මූලික වසයෙන් ම දෝෂ සහගත ය. මන්ද එය ක්‍රියා කරන්නේ කාබන්, ඔක්සිජන්, ජලය, නයිට්‍රජන් සහ පොස්ෆරස් වැනි ජීවයේ තැනිලි කැට (building blocks) නො කඩවා ප්‍රතිචක්‍රීකරණය (recycling) කිරීමෙන් වැජඹෙන ස්වාභාවික ජීව ලෝකයට එදිරි ව ය. පෘථිවි සම්පත් හිස් කරමින් දැවැන්ත අපද්‍රව්‍ය ප්‍රමාණයක් නිපදවමින් පරිසරය දූෂණය කරන රේඛීය කාර්මික නිෂ්පාදන විධික්‍රමය විසින් මේ ස්වාභාවික ප්‍රතිචක්‍රීකරණ චක්‍රය බිඳ දමනු ලැබ තිබේ. පොළොවෙන් සහ මුහුදින්  ඛනිජ තෙල්, ගල් අඟුරු සහ ගෑස් උද්ධරණය කොට දවා ලමින් වායුගෝලයට නිකුත් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි කරමින් ගෝලීය උණුසුම ඉහළ නැංවීමට හේතු වන්නේ මේ රේඛීය නිෂ්පාදන විධික්‍රමය යි. එමෙන් ම නයිට්‍රජන් සහ පොස්ෆරස් රසායනික පොහොර බවට හරවමින් එම කෘෂි රසායනික අප ද්‍රව්‍ය පිටාරය සාගර සහ ජලාශවලට මුසු කරමින් පාරිසරික පද්ධතිවලට කරන විනාශය සුලු පටු නැත. පාරිභෝගික භාණ්ඩ බවට හරවා භාවිතයෙන් පසු කසල කඳුවල ගොඩ ගැහෙන සහ ජලයට, වාතයට හා පසට වස විස ලෙස එක් වන ලෝහ සහ ඛනිජ වර්ග නිස්සාරණය සඳහා වනාන්තර මුලින් උදුරමින් කටයුතු කරන මේ රේඛීය ආර්ථික නිෂ්පාදන රටාව දිගින් දිගටම පවත්වා ගෙන යා හැකි දෙයක් නො වේ.  

රේඛීය ආර්ථිකයේ ඇති සෘණ බාහිරතා (negative externalities) ලෙස හඳුන්වන මේ පරිහානිදායක ඵල විපාකවල අනතුර ආර්ථික න්‍යාය විසින් පිළිගෙන තිබේ. එය ආමන්ත්‍රණය කිරීම සඳහා ආර්ථික විද්‍යාඥයන් වැඩි කැමැත්තක් දක්වන්නේ කෝටා සහ බදු වැනි වෙළඳපොළ මෙවලම් යොදා ගැනීමට යි. ඒ අනුව විසඳුම් අතර මූලික වන්නේ පරිසර දූෂණය සඳහා දායක විය හැකි උපරිම සීමාවක් නියම කිරීම සහ පරිසර දූෂණ අයිතිය වෙළඳ පොළේ විකිණීමට සැලසීම වැනි විසඳුම් ය. තවත් යෝජනාවක් වන්නේ පරිසර දූෂණයේ සමාජ බරපැනට සමාන අගයකට සරිලන ලෙස බදු අය කිරීමක් කොට කොයි තරම් පරිසර දූෂණයක් ඇති කිරීමට ඉඩ ලැබෙන්නේ ද යන කාරණය වෙළඳපොළ හරහා විසඳා ගැනීමයි.

ඇත්ත වසයෙන් ම එයින් ඇතැම් විසඳුම් මඟින් සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගත් අවස්ථා ද තිබේ. උදාහරණයක් ලෙස 1999 සිට 2003 දක්වා කාලය තුළ ජර්මනිය ප්‍රවාහනය, නිවෙස් උණුසුම් කිරීම සහ විදුලිය ජනනය කිරීම සඳහා යොදා ගන්නා ඛනිජ තෙල් සඳහා විශේෂ පරිසර බද්දක් නියම කොට ඊට සමාන බදු ප්‍රමාණයක් වේතන බදු සහන වසයෙන්  පාරිභෝගිකයන්ට ලබා දුන්නේ ය. ඒ අනුව තමන් ගෙදර ගෙන යන වැටුප වැඩි වූ නමුත් ෆොසිල ඉන්ධන සඳහා වැඩියෙන් මුදල් ගෙවීමට පාරිභෝගිකයන්ට සිදුවිය. එහි ප්‍රතිඵලය වූයේ අරපරිස්සමින් ඉන්ධන භාවිත කිරීමට පාරිභෝගිකයන් පෙලඹීමයි.  ඒ නිසා ඉන්ධන භාවිතය 17% කින් අඩු වූ අතර ඒ අනුව වාතයට මුසු වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ද 3%කින් අඩු කර ගැනීමට හැකි විය. ඒ හැර පුද්ගලික වාහන හවුලේ ප්‍රවාහනය සඳහා යොදා ගැනීම  70% කින් ද වැඩි වූ අතර අමතර රැකියා අවස්ථා 250,000ක් බිහි කිරීමට ද එම විසඳුමට හැකි විය.[5] ජලය හා විදුලි බලය සඳහා මසකට අවශ්‍ය කරන අවමය ඉක්මවා භාවිත කරන ජලය සඳහා ඒකක ගාස්තුව වැඩි කිරීම ද මේ හා සමාන විසඳුමකි. දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගර සභාව ජීවිතය සඳහා අත්‍යවශ්‍ය ජලය ලබා ගැනීම පුරවැසියන්ගේ ව්‍යවස්ථාදායක අයිතියක් ලෙස සලක යි. එබැවින් අඩු ආදායම් ලබන පවුල්වලට සැපයෙන ජලය සම්බන්ධයෙන් නිශ්චිත මාසික කෝටාවක් නියම කොට ඒ සඳහා ගාස්තුවක් අය නො කරන නමුත් එම කෝටාව ඉක්මවා ගිය විට ගාස්තු අය කෙරේ.

එහෙත් බදු අය කිරීම සහ කෝටා ක්‍රමය මඟින් ම රේඛීය ආර්ථිකය විසින් පෘථිවි පරිසරයට එල්ල කර ඇති පීඩනය අවම කළ හැකි යැයි සිතිය නො හැකි ය. ප්‍රායෝගික ව බැලුවොත් එකී විසඳුම් අප මුහුණ දී ඇති හරිතාගාර වායු ජනක පාරිසරික අභියෝගවලට මුහුණ දීමට ප්‍රමානවත් ඒවා නො වේ.  අනෙක් අතට බදු අඩු කිරීම සහ කෝටා වැඩි කිරීම සම්බන්ධයෙන් සමාගම් විසින් කරනු ලබන බලපෑම්වලට කන්දීමට ආණ්ඩුවලට බොහෝ විට සිදු වේ. මැතිවරණ  කටයුතු සඳහා මේ සමාගම්වලින් සැලකිය යුතු අරමුදල් ප්‍රමාණයක් ලැබෙන බැවින් සමාගම්වල ඉල්ලීම් නො තකා හැරීමට දේශපාලනඥයන්ට අසීරු ය.  

එනිසා ඇත්ත වසයෙන් ම අවශ්‍ය ව ඇත්තේ රේඛීය ආර්ථික ක්‍රමය අනුව සැකසුණ පැරණි කාර්මික නිෂ්පාදන පිළිවෙත වෙනුවට ප්‍රතිචක්‍රීකරණය(recycling) මුල් කරගත් නව චක්‍රීය නිෂ්පාදන පිළිවෙතක් හඳුන්වා දීම යි. ගෝලීය උණුසුම පිළිබඳ සංශයවාදීන්ගේ නො මඟ යැවීම් මැද වුව ද එම පිළිවෙත දැන් ගොඩ නැගෙමින් තිබේ. ව්‍යාපාර ලෝකයේ ඇතැම් උදාහරණවලින් ඒ බව පෙනී යන බව කේට් රේවර්ත් සඳහන් කරයි. ගෝලීය උණුසුම වැඩි වීම සහ භූගත ජලය අඩු වීම නිසා කපු, කෝපි, මිදි සහ සේද සම්බන්ධ සැපයුම් දාම අඩපණ වී යෑමේ තර්ජනය ගැන එම කර්මාන්තවලින් යැපීමට හා ලාභ ලැබීමට බලාපොරොත්තුවන ව්‍යාපාරිකයෝ කනස්සල්ලට පත් වෙමින් සිටිති. 

ඒ නිසා ගෝලීය උණුසුම ඉහළ යෑම වළකන ක්‍රියාකාරකම්වලට දායකත්වය සැපයීමට ඇතැම් ව්‍යාපාරිකයෝ සූදානම් ය. ගෝලීය උණුසුම වැඩි වීමට තුඩු දෙන හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ අරපරිස්සම් ජල භාවිතය පිළිබඳ තාක්ෂණික විසඳුම් යොදා ගැනීම මඟින් තම ලාභය වැඩි කර ගැනීමට හැකි බව ද ඇතැම් ව්‍යාපාරිකයන් මෙන් ම ආයෝජකයන් ද වටහා ගෙන තිබේ. උදාහරණයක් ලෙස උග්‍ර භූගත ජල හිඟයකට මුහුණ දී ඇති මෙක්සිකෝවේ ජැලිස්කෝ නගරයේ පිහිටි නෙස්ලේ සමාගමේ කිරි කර්මාන්ත ශාලාව එයට අවශ්‍ය ජලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලබා ගන්නේ කිරි රත් කිරීමේ දී නිකුත් වන ජල වාෂ්ප ඝනීභවනය කිරීමෙනි. එමෙන් ම,  ගෝලීය උණුසුම ඉහළ නැංවීමට දායක වන පරිභෝජන භාණ්ඩ තමන් අතින් නිෂ්පාදනය නො වන බවට සහතිකයක් දීම පාරිභෝගික විශ්වාසය දිනා ගැනීම සහ සන්නාම ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමෝපායක් ලෙස  සැලකීමට ද ඇතැම් ව්‍යාපාරිකයෝ උත්සාහ කරති.

ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රමුඛතම හේතුව මානව ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට එක් වන කාබන් ඩයොක්සයිඩ් සහ මීතේන් වැනි හරිතාගාර වායු ප්‍රමාණය (Greenhouse Gas) ඉහළ යෑමයි. ඉන් වැඩි කොටසක් අප භාවිත කරන ඛනිජ තෙල්, ගල් අඟුරු සහ ගෑස් වැනි ෆොසිල ඉන්ධන නිසා වාතයට විමෝචනය වෙන හරිතාගාර වායුව යි. එක් එක් රටක් විසින් වායුගෝලයට එක් කරනු ලබන හරිතාගාර වායු ප්‍රමාණයට සමාන හරිතාගාර වායු ප්‍රමාණයක් වායුගෝලයෙන් ඉවත් කිරීමේ වකවානුව ඉලක්කයක් ලෙස ප්‍රකාශ කිරීම Net-Zero Goal (ශුද්ධ ශුන්‍යය ඉලක්කය)යනුවෙන් හැඳින්වේ. එය ඉටු කර ගැනීමට නම් හරිතාගාර වායු නිකුත් කිරීමට දායක වන ෆොසිල ඉන්ධන භාවිතය අනුක්‍රමයෙන් අඩු කිරීම, කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කිරීම පිණිස වනගහනය හා ශාක ප්‍රමාණය වැඩි කිරීම, හරිතාගාර වායු නිකුත් නො වන පුනර්ජනනීය බලශක්තිය වැඩි වැඩියෙන් භාවිත කිරීම, ස්වාභාවික සම්පත් අපතේ යවන රේඛීය නිෂ්පාදන – පරිභෝජන ක්‍රමය පරිසර හිතකාමී ප්‍රතිචක්‍රීය නිෂ්පාදන-පරිභෝජන ක්‍රමයක් බවට පරිවර්තනය කිරීම වැනි කටයුතු රැසක් සැලසුම් කළ යුතු ය.

ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ හා දේශපාලනඥයන් ඒ සම්බන්ධ කෙබඳු ඉදිරි දැක්මක් තමන්ට ඇත් දැයි මහජනයාට විස්තර කර දී නැත. දැනටමත් ස්වාභාවික ව්‍යසන නිසා ලංකාවේ ආර්ථිකයට සාමාන්‍යයෙන් වසරකට ඩොලර් මිලියන 330 ක අලාභයක් සිදු වන බව ලෝක බැංකුව පවසයි. 2020 German Watch වාර්තාවට අනුව දේශගුණ විපර්යාසය නිසා ඇති විය හැකි අනතුරුවල අවදානමට ලක් වීමට ඇති ප්‍රවණතාව අතින් ලංකාව සිටින්නේ හය වැනි ස්ථානයේ ය.  2020 UNEP වාර්තාවට අනුව රටවල් 126ක් මේ වන විට Net-Zero ඉලක්කය ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව ලංකාව ද ඇතුළු බොහෝ රටවල් තම Net Zero ඉලක්කවලට ළඟා වීමට බලාපොරොත්තු වන්නේ 2050 දී පමණ මේ සිය වස මැද භාගයේ දී ය. එහෙත් 2021 පිට කළ IPCC වාර්තාවේ නිගමන අනුව එම ඉලක්කය ප්‍රමාණවත් වේයැ’යි සැක සහිත ය.

ගෝලීය උණුසුම ඉහළ යෑමට මූලික හේතුව රේඛීය ආර්ථික ක්‍රමය තුළ මිනිස් ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට එක් වන කාබන් ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු ප්‍රමාණය වැඩි වීමයි.  එහෙත් ඒ අතර කොතරම් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වාතයට මුසු කිරීමට අපට හැකි වේද කොතරම් භූගත ජල ලීටර ප්‍රමාණයක් අපට උකහා ගැනීමට ඉඩ ලැබේ ද  වැනි ප්‍රශ්න අසන කිසියම් පමණකට හෝ පරිසර දූෂණකාරක කටයුතු කිරීම සිය අයිතියක් බව ද සිතන ව්‍යාපාරිකයෝ ද කොතෙකුත් වෙති. ඉනුත් ඔබ්බට ගොස් තවත් අය පාරිසරික නියාමන විධිවිධාන රැවටිය හැකි ක්‍රම යොදා ගැනීමට ද පසුබට නො වෙති. එයට උදාහරණයක් ලෙස සිය කර්මාන්ත ශාලාවලින් නිකුත් වන ඩීසල් වාහන පරීක්ෂක අවස්ථාවෙ දී අඩු කාබන් විමෝචනයක් පෙන්නුම් කරන ආකාරයට වාහන මෘදුකාංග වෙනස් කිරීමේ  චෝදනාවට වොක්ස්වැගන් මෝටර් රථ සමාගම 2015 දී වරදකරු වීම පෙන්වා දිය හැකි ය.

කෙසේ වෙතත් රේඛීය ආර්ථිකය චක්‍රීය ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම සඳහා ව්‍යවසායක චින්තනය පිළිබඳ මූල ධාර්මික වෙනසක් ඇති කිරීමට සිදු වෙයි. එම වෙනස හුදෙක් මිනිසා යනු ස්වාර්ථය  ම සලකන ආර්ථික සත්වයෙක් ය යන පදනමෙන් කළ නො හැකි ය. ඒ වෙනුවට නිෂ්පාදක පාරිභෝගික යන දෙකොට්ඨාසයේ ම තිරසාර පැවැත්ම ස්වාභාවික සම්පත්වල තිරසාර පැවැත්ම හා සහසම්බන්ධ වී ඇති බව අප වටහා ගත යුතු ය. එබැවින් නිෂ්පාදන කාර්යයේ දී ස්වාභාවික සම්පත් අපතේ යැවීම වෙනුවට ප්‍රතිචක්‍රීකරණය මඟින් හැකි තරම් ඒවා ආපසු ස්වභාවධර්මයට ම ලබා දීම නිෂ්පාදන සමාගම්වල සමාජ වගකීම බවට පත් කළ යුතු ය. ඒ සඳහා ඉල්ලීම් කිරීමට පාරිභෝගිකයන් පෙලඹවිය යුතු අතර ප්‍රතිචක්‍රීය නිෂ්පාදන ක්‍රියාවලියක් මඟින් නිපදවෙන පරිසර හිතකාමී භාණ්ඩ අලෙවිය ප්‍රවර්ධනය කිරීමට භාවිතයෙන් ම සහභාගී වන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිය යුතු ය. එවැනි වැඩපිළිවෙළක ප්‍රතිඵලය විය යුත්තේ ස්වභාව ධර්මයේ චක්‍රීය පැවැත්ම හා බද්ධ වන පුනර්ජනනීය නිෂ්පාදන විධික්‍රම අනුගමනය කිරීමට ව්‍යවසායකයින් දිරි ගැන්වීම යි.

ඒ සඳහා කාබන් විමෝචනය අවම කිරීම දිරි ගැන්වෙන ප්‍රතිපත්ති ලෙස කාර්මික නිෂ්පාදනයේ දී විමෝචනය වන කාබන් සඳහා මිලක් නියම කිරීම, ආදායම් බදු වෙනුවට නිෂ්පාදන ක්‍රියාවලියේ දී විමෝචනය වන කාබන් ප්‍රමාණය අනුව කාර්මික ක්ෂේත්‍රයේ බදු අය කිරීම සහ කාබන් සඳහා බදු ගෙවීමේ වගකීම සාමාන්‍ය පුරවැසියාගේ සිට පරිසර දූෂකයාට පැවරීම වැනි දෑ කළ හැකි ය. ඒ හැර ආර්ථික හා පිස්කල් ප්‍රතිපත්ති සැකසීමේ දී හා තීරණ ගැනීමේ දී  කාබන් විමෝචනය අවම කරන කාබන් උදාසීන (carbon neutral) පිළිවෙතක් අනුගමනය කිරීම, හරිත ආර්ථිකයක් දිරිමත් කරන අනුවර්තනයන්ට සහ ධරණීය බවට මුල් තැනක් ලැබෙන නිපැයුම් කටයුතු දිරි ගැන්වීම කළ යුතු ය. ඒ හැර සියලු පෞද්ගලික හා රාජ්‍ය ආයෝජන තිරසාර සංවර්ධන අරමුණු සහ ආර්ථිකය නිර්කාබනය (decarbonize) කිරීමේ ශුද්ධ ශුන්‍ය ඉලක්කවලට (net zero goal) දායක වන  ආකාරයට මෙහෙය විය යුතු ය. බහුපාර්ශවික, කලාපීය සහ ජාතික මට්ටමේ අනුග්‍රහය සහ ආධාර ලබන සංවර්ධන වැඩසටහන්  මෙන් ම රාජ්‍ය හා පෞද්ගලික බැංකු ව්‍යාපාර ණය ද නිකුත් කළ යුත්තේ එම ව්‍යාපාර ආර්ථිකය විකාබනය කිරීමට දායක වන්නේ නම් පමණි. කොටින් ම ව්‍යාපාර ණය ලබා දිය යුත්තේ රේඛීය නිෂ්පාදන ක්‍රම වෙනුවට චක්‍රීය නිෂ්පාදන හා පරිභෝජන ක්‍රම හඳුන්වා දීම සඳහා ය.

පරිහානිදායක නිෂ්පාදන සැලැස්මක් පුනර්ජනනීය නිෂ්පාදන සැලැස්මක් බවට රූපාන්තරණය කළ හැක්කේ චක්‍රීය ආර්ථිකයක් තුළ ය. ස්වරූපයෙන් ම චක්‍රීය ආර්ථිකයක් පුනර්ජනනීය වන්නේ එහි මූලික නිෂ්පාදන විධික්‍රමය ශාකවල සිදු වන ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියට අනුරූප ව හුදෙක් පුනර්ජනනීය බලශක්තිය යෙදා ගැනීම මඟින් ද්‍රව්‍යාත්මක දේවල්  ප්‍රයෝජනවත් භාණ්ඩ හා සේවා බවට පත් කිරීම නිසා ය. ස්වභාව ධර්මයේ විශාලතම නිෂ්පාදන ක්‍රියාවලිය හැඳින්වෙන්නේ ප්‍රභාසංස්ලේෂණය (photosynthesis) යනුවෙන් ශාක පත්‍රවල සිදු වන ක්‍රියාදාමය යි. ඉන් සිදු කරන්නේ ශාක පත්‍ර තුළ ජලය සහ කාබන් ඩයොක්සයිඩ් සංශ්ලේෂණය කිරීම මඟින් සූර්ය බල ශක්තිය ශාකවලට අත්‍යවශ්‍ය රසායනික ශක්තිය බවට හැරවීම යි. එම ක්‍රියාවලිය තුළ අපද්‍රව්‍ය වසයෙන් නිපදවන ඔක්සිජන් අප ද ඇතුළු අවශේෂ ජීවීන්ගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍යය. අනෙක් අතට එම ජීවීන් විසින් ප්‍රභාසංස්ලේෂණය නිසා ලබා ගෙන ආශ්වාස කරන ඔක්සිජන් නැවත පිට කරන්නේ ප්‍රභාසංස්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් ලෙසිනි. ප්‍රභාසංස්ලේෂණය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියක් යැයි කියන්නේ එබැවිනි. එය තුළ අපතේ යෑමක් සිදු නො වේ.

ප්‍රාග්ධනය හා ශ්‍රමයට අතිරේක ව ආර්ථිකයක තුන්වැනි මූල සාධකය ලෙස බලශක්තිය හැදින්වීමේ අවශ්‍යතාව ගැන අප මීට පෙර සාකච්ඡා කළෙමු. චක්‍රීය ආර්ථිකයක් පවත්වා ගෙන යෑම කළ හැකි වන්නේ එහි නිෂ්පාදන කටයුතු සඳහා විස රසායනික ඇතුළු සියලු ආකාරවල අපද්‍රව්‍ය නිකුත් කිරීමෙන් තොර ව බලශක්තිය ලබා දෙන සූර්යයා, සුළං, මුහුදු රළ සහ භූතාපය වැනි පුනර්ජනනීය ප්‍රභව යොදා ගැනීමෙනි. ගෝලීය වසයෙන් ගත් විට රේඛීය ආර්ථිකය තුළ නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නා විදුලි බලශක්තිය නිපදවීම සඳහා යොදා ගන්නා බල ශක්ති ප්‍රභව World Energy 2020 වාර්තාව අනුව මෙසේ ය:

ඉහත සඳහන් දත්ත නිරූපණයට අනුව පුනර්ජනනීය, න්‍යෂ්ටික හා ජල විදුලි යන ප්‍රභව තුන ම  පාරිසරික වසයෙන් පිරිසිදු ප්‍රභව ලෙස සැලකෙන බැවින් ගෝලීය විදුලිය සැපයුමෙන් 37% ක් පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවවලින් ලැබෙන බව පෙණේ. ජල විදුලි බලාගාර සම්බන්ධ ව ඇති බරපතළ විවේචනයක් වන්නේ ජලාශ ඉදිකිරීම සහ විශාල වේලි බැඳීම සඳහා මිනිසුන් විතැන් කරමින් සැලකිය යුතු භූමි ප්‍රමාණයක් ජලයට යට කිරීමට සිදුවීම යි. අනෙක කලක දී එම ජලාශවල රැඳෙන රොන්මඩ මීතේන් ආදී හරිතාගාර වායු විමෝචනයට දායක වීම යි.  කෙසේ වෙතත් බොහෝ අවස්ථාවල දී ජල විදුලි බලය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස සැලකේ.

ගල් අඟුරු සහ ඛනිජ තෙල් හා සසඳන විට ස්වාභාවික වායු (natural gas) ද අඩු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් විමෝචනය කරන බල ශක්ති ප්‍රභවයක් ලෙස සැලකිය හැකි ය. එහෙත් ස්වාභාවික වායු යනු හායනය වන ස්වාභාවික සම්පතක් වන බැවින් එය චක්‍රීය ආර්ථිකයක ප්‍රබල සාධකයක් ලෙස නො සැලකේ. ඒ අර්ථයෙන් ගත් විට න්‍යෂ්ටික බලය නිපදවීම සඳහා අවශ්‍ය වන යුරේනියම් ප්‍රමුඛ න්‍යෂ්ටික ඉන්ධන ද හායනය වන සම්පතකි. එහෙත් න්‍යෂ්ටික බලය යනු අඩු ම හරිතාගාර වායු ප්‍රමාණයකට දායක වන බල ශක්ති ප්‍රභේදයකි. ප්‍රංශයේ විදුලි බලයෙන් 70% ප්‍රමාණයක් නිපදවෙන්නේ න්‍යෂ්ටික බලය බලශක්ති ප්‍රභවය වසයෙන් යොදා ගැනීමෙනි.

කෙසේ වෙතත් පුනර්ජනනීය බලශක්ති හිතකර ප්‍රතිපත්ති තදින් අනුගමනය නො කළ හොත් ලෝකයට අවශ්‍ය මුලු විදුලි බල ශක්ති ප්‍රමාණය දූෂණකාරක නො වන පිරිසිදු බලශක්ති ප්‍රභවවලින් පමණක් ලබා ගැනීම පහසු කටයුත්තක් නො වේ. ඒ විදුලි බල උත්පාදනය වැඩි වසයෙන් ම ගල් අඟුරු, ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු වැනි ෆොසිල ඉන්ධන තවමත් ලාභයට ලබාගත හැකි වීම නිසා ය. එපමණක් නො ව සංසන්දනාත්මක ව බලන විට බොහෝ අවස්ථාවල දී ෆොසිල ඉන්ධනවල බල ඝණත්වය හෙවත් වර්ග මීටරයකට නිපදවිය හැකි විදුලි බල වොට් ප්‍රමාණය සෑහෙන ඉහළ මට්ටමක පවතී.

ගෝලීය උණුසුම ඉහළ යෑම සම්බන්ධයෙන් ෆොසිල ඉන්ධන භාවිතය කොයි තරම් ප්‍රබල සාධකයක් වුව ද බල ශක්ති භාවිතය පිළිබඳ ප්‍රතිපත්ති තීරණ ගැනෙන්නේ ජාතික රාජ්‍ය මට්ටමෙන් මිස ජාත්‍යන්තර මට්ටමෙන් නො වේ. ප්‍රාග්ධනය හා ශ්‍රමය මෙන් ම බලශක්තිය ද රේඛීය කාර්මික නිෂ්පාදන ක්‍රමයේ ප්‍රධාන සාධකයක් වන බැවින් අඩු වියදමකින් වැඩි කාර්යක්ෂමතාවක් ඇති බල ශක්තිය යොදා ගැනීම තරඟකාරී වෙළඳපොළ ක්‍රමය තුළ බලාපොරොත්තු විය යුතු දෙයකි. ලාභ  ළමා ශ්‍රමය සපයා ගැනීම ද ඇතුළුව සේව්‍යයාට වාසිදායක සේවා කොන්දේසි යටතේ අඩු වැටුපට ශ්‍රමය සූරා ගැනීම ද ධනේශ්වර වෙළඳපොළ ක්‍රමය යටතේ කලක් තිස්සේ සිදු වූව කි. එහෙත් ශ්‍රමය සම්බන්ධයෙන් බැලූ විට  තමන්ගේ ම වූ වෘත්තීය සමිති තුළ සංවිධානය වී පාර්ලිමේන්තු අණපනත් සහ සේවා ගිවිසුම් මඟින් යහපත් සේවා සහ වේතන කොන්දේසි දිනා ගැනීමට සේවකයන්ට ඇතැම් විට හැකි ව තිබෙන අතර  ශ්‍රමිකයන්ගේ සංවිධානවල බලපෑම නිසා ජාත්‍යන්තර මට්ටම් දක්වා සිය අරගලය ගෙන යෑම මඟින් යහපත් සේවා තත්ව සඳහා ජාත්‍යන්තර සම්මුති කිහිපයක් ම ඇති කර ගැනීමට හැකිව තිබේ. [6] ස්ත්‍රී පුරුෂ සම වැටුප්, ස්ත්‍රීන් රාත්‍රි සේවා මුර සඳහා කැඳවීම, ළමා ශ්‍රමය, ගර්භණී නිවාඩු ආදී වසයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මැදිහත් වීමෙන් මෙකී ගිවිසුම් ඇති කර ගත හැකි වූයේ බොහෝ දුරට වෘත්තීය සමිති සංවිධාන ජාතික මෙන් ම ජාත්‍යන්තර වේදිකාවේ ද ඇති කළ අඛණ්ඩ බලපෑම නිසා ය. ඒ සමාන කාර්යභාරයක් ඉටු කරමින් කාබන් විමෝචන කාරක ඉන්ධන භාවිතය වෙනුවට පුනර්ජනනීය බලශක්තිය ආදේශ කිරීම දිරි ගන්වන  ප්‍රතිපත්ති සහ අන්තර් ජාතික ගිවිසුම් ඇති කිරීම සඳහා චක්‍රීය ආර්ථිකයක් වෙනුවෙන් ක්‍රියාශීලී ව පෙනී සිටින පුරවැසි ව්‍යාපාරයක් ජාතික, කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් ප්‍රවර්ධනය කළ යුතු ව ඇත.

බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගත් විට  ගත වූ දශකය තුළ තාක්ෂණික දියුණුවත් සමඟ විදුලි බලය නිපදවීම සඳහා පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමේ වියදම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී තිබේ. එම මිල, ප්‍රකාශ වොල්ටීය (photovoltaic) කෝෂ සහිත සූර්ය බලය යොදා ගැනීම සම්බන්ධයෙන් 90% කින් ද සුළං බලය යොදා ගැනීම සම්බන්ධයෙන් 70% කින් ද තරම් විශාල ප්‍රමාණයකින් අඩු වී තිබේ. ප්‍රථම සූර්ය බලශක්ති ජාතිය බවට පත්වීම අභිප්‍රාය කරගත් අසල්වැසි බංගලාදේශය තම තමන්ගේ ගම්වල පුනර්ජනනීය බලශක්ති උපකරණ සවි කිරීම හා නඩත්තු කිරීම කළ හැකි ප්‍රජා ඉංජිනේරුවන් ලෙස කටයුතු කිරීමට දහස් ගණන්  කාන්තාවන් පුහුණු කරමින් සිටී. සූර්ය බලශක්තිය යොදා ගැනීමේ දී සූර්ය පුවරු ඉදි කිරීම පිණිස යොදා ගත යුතු ගොඩ ඉඩම් ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා ජලාශවල පාවෙන සූර්ය බල පුවරු යොදා ගැනීම සම්බන්ධයෙන් දැන් වැඩි අවධානයක් යොමු කරනු ලැබේ. ඒ අතර ප්‍රතිශතයක් වසයෙන් ගත් විට විදුලි බලය නිපදවීම ප්‍රමුඛ කොට සියලු ක්ෂේත්‍ර සඳහා පුනර්ජනනීය බලශක්තිය භාවිතයේ සැලකිය යුතු දියුණුවක් ඇතැම් රටවල දක්නට ලැබේ. ඒ අතරින් ඉදිරියෙන් ම සිටින අයිස්ලන්තයේ සමස්ත බලශක්ති ප්‍රතිශතයෙන් 79%ක් ම ප්‍රධාන වසයෙන් භුතාප ශක්තිය යොදා ගැනීමෙන් සැපයේ. සුළං බලය සහ සූර්ය බලය මුල් කොට ගත් ඩෙන්මාර්කයේ පුනර්ජනනීය බලශක්තිය මුලු බලශක්ති නිෂ්පාදනයෙන් 50% කි.

මූලික බල ශක්ති  සැපයුම සඳහා ශ්‍රී ලංකාව යොදා ගන්නා බලශක්ති ප්‍රභව ප්‍රතිශතයක් ලෙස (2018)[7]
ඛනිජ තෙල්40% 
ජෛව ස්කන්ධ (දර ද ඇතුළත් ව)36% 
ගල් අඟුරු10% 
ජල බලය10% 
සූර්ය බලය හා සුළං බලය4% 

ඇමෙරිකා එක්සත් ජනපදයේ පුනර්ජනනීය බලශක්තිය නිපදවීම සඳහා වැය වන මිල වසර 2018 සිට ගල් අඟුරු භාවිත කිරීමෙන් බල ශක්තිය නිපදවීමේ මිලට වඩා අඩුව ඇති බව ෆෝබ්ස් සඟරාව වාර්තා කළේ ය.[8] එම වාර්තාවට ම අනුව ප්‍රථම වරට 2019 සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ගල් අඟුරු භාවිතය ඉක්මවා යමින් විදුලි බල නිෂ්පාදනය සඳහා පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීම ඇරඹුණි. ඒ අනුව 2020 වන විට විදුලි බල නිෂ්පාදනය සඳහා ගල් අඟුරු භාවිත කිරීම 13%කින් අඩු වූ අතර එයට අනුරූප ව ජල විදුලිය නො වන පුනර්ජනනීය බලශක්තිය යොදවා විදුලිය නිපදවා ගැනීම ද 13% කින් වැඩි වී තිබේ.  

ෆෝබ්ස් වාර්තාව සඳහා යොදා ගෙන ඇති එක් තොරතුරු ප්‍රභවයක් වන ලිසාඩ් බලශක්ති මිල විශ්ලේෂණ වාර්තාවට (Lizard’s levelized cost of energy analysis – version 13)[9]  අනුව ප්‍රජා මට්ටමේ ප්‍රකාශ වොල්ටීය කෝෂ සහිත සූර්ය බලශක්ති ජනක උපයෝගී කර ගැනීමේ දී විදුලි බලය මෙගා වොට් පැයක් සඳහා යන නිෂ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් 64-147ක් අතර ප්‍රමාණයක් වේ. එහෙත් ගල් අඟුරු භාවිත කළ විට මෙගා වොට් පැයකට ඩොලර් 66 සිට 152 දක්වා වියදම් විය හැකි බව ගණන් බලා තිබේ. වඩාත් ම වැදගත් කරුණ වන්නේ ප්‍රාග්ධන වියදම් සම්බන්ධයෙන් බැලූ විට පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීම ගල් අඟුරු යොදා ගැනීමට වඩා බෙහෙවින් ලාභ දායක වීම යි. එහි දී සූර්ය බලශක්තිය සහ සුළං බලය යොදා විදුලිය නිපදවීමේ දී කිලෝ වොට් එකක් සඳහා ප්‍රාග්ධන වියදම පිළිවෙළින් ඇමෙරිකානු ඩොලර් 1600-2250 සහ 1100-1500 දක්වා වන නමුත් ගල් අඟුරු යොදා විදුලි බලය නිෂ්පාදනය කිරීමේ දී කිලෝවොට් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් 3000-6250 දක්වා ඉහළ ප්‍රාග්ධන වියදමක් දැරීමට සිදුවේ. ඒ අතර පුනර්ජනනීය බලශක්තිය සඳහා වැය වන ප්‍රාග්ධන වියදම් අවුරුදු පතා සැලකිය යුතු ලෙස  අඩු වෙමින් යයි.

  විදුලි බලය නිපදවීම සඳහා ගල් අඟුරු වැනි ෆොසිල ඉන්ධන භාවිතය වෙනුවට පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීම නිසා ලැබෙන මූල්‍යමය ලාභයටත් වඩා වැදගත් වන්නේ එමඟින් ගෝලීය උණුසුම ඉහළ නැංවීමට දායක වන මුළු හරිතාගාර වායු ප්‍රමාණය 27% කින් අඩු කර ගැනීමට හැකි වීමයි.[10] ඊට අතිරේක ව බඩු භාණ්ඩ  නිපදවීමට, ප්‍රවාහන කටයුතු සඳහා සහ ශීතකරණ උණුසුම්කරණ කටයුතු සඳහා ද ෆොසිල ඉන්ධන වෙනුවට වැඩි වැඩියෙන් පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීම කළ හැකි නම් මේ ප්‍රතිශතය 50% කින් වැඩි කර ගත හැකි විය යුතු ය.

කෙරෙන කටයුතු අනුව නිපදවෙන හරිතාගාර වායු ප්‍රතිශතය[11]
ද්‍රව්‍ය නිෂ්පාදනය (සිමෙන්ති, වානේ සහ ප්ලාස්ටික්)31%
විදුලි බල නිෂ්පාදනය (ෆොසිල ඉන්ධන යොදාගැනීමෙන්)27%
භවභෝග නිෂ්පාදනය (ශාක සහ සත්ව)19%
ප්‍රවාහන කටයුතු (රථ වාහන, ගුවන් යානා සහ ජල යාත්‍රා)16%
උණුසුම් කිරීම, වායුසමනය හා ශීතකරණය7%

චක්‍රීය ආර්ථිකයකට පුනර්ජනනීය බලශක්තිය අතිශයින් වැදගත් ය. චක්‍රීය ආර්ථිකයක වැදගත් ම ලක්ෂණය වන්නේ නිෂ්පාදන කටයුතු  සඳහා උපයෝගී කර ගන්නා ද්‍රව්‍ය ද සූර්යයාගේ නිරන්තර බල ශක්ති ප්‍රභාව මඟින් නිෂ්පාදිත ද්‍රව්‍ය හා සේවා බවට පරිවර්තනය කිරීම යි. රේඛීය ආර්ථිකයක් යනු නොකඩවා කාගෙන කාගෙන යමින් අපද්‍රව්‍ය බහිස්‍රාවය කරන දැවැන්ත දළඹුවකු ලෙස නිරූපණය කළොත් චක්‍රීය ආර්ථිකය ලස්සන සමනලයෙකුගේ අනුරුවකින් නිරූපණය කළ හැකි ය. ඇත්ත සමනලයෙකුගේ මෙන් ම චක්‍රීය ආර්ථික සමනලයාගේ ද අලංකාරය ඇත්තේ පහත රූ සටහනින් පෙන්වන පරිදි එහි පියාපත්වල ය.

 

 මේ ප්‍රතිජනනීය කාර්මික රටා මෝස්තරයේ සමනළයාට පියාසර කළ හැකි වන්නේ ඇයි? ඉහත පින්තූරයේ මැද කොටසින් පෙනෙන ලෙස එය තවමත් විසිවැනි සිය වසේ මෙන් නො කඩවා ඛනිජ ද්‍රව්‍ය කැණීමටත්, ෆොසිල ඉන්ධන සඳහා පොළොව විදීමටත් අතිමහත් අපද්‍රව්‍ය ප්‍රමාණයක් පරිසරයට එක් කිරීමටත් කැපවුණු ගන්න, සදන්න, පරිභෝජනය කරන්න, ඉවත ලන්න යන ක්‍රියා පිළිවෙතට අනුගත කෑදර දළඹුවා වැනි ය. එහෙත් දැන් එය පුනර්ජනනීය බලශක්තිය පාදක කරගත් පියාපත් සහිත සමනලයෙකු බවට අනුක්‍රමයෙන් රූපාන්තරණය වෙමින් තිබේ. එන්න එන්න ම එය බලශක්තිය ලබා ගන්නේ සූර්යයා, සුළඟ, මුහුදු රළ, ජල විදුලි බලය, භූතාපය වැනි පුනර්ජනනීය ප්‍රභවයන්ගෙනි. ඒ නිසා හරිතාගාර වායු විමෝචනය, විස රසායන පරිසරයට එක්වීම සහ විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් පරිසරයට එක් කිරීම නව චක්‍රීය ආර්ථිකයේ ප්‍රතිචක්‍රීය කාර්මික සැලැස්ම මඟින් ම වළක්වා තිබේ.  හුදෙක් කුණු කඳු තවතවත් පිරවීමට යොදා ගනු වෙනුවට චක්‍රීය ආර්ථිකයක ඉවත ලන ආහාර ද්‍රව්‍යවල සිට පරණ යකඩ දක්වා සියලු ආකාරයේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කොට වෙනත් භාණ්ඩ නිපදවීමේ මූලද්‍රව්‍ය ලෙස යොදා ගනු ලැබේ. මෙය නිසි ලෙස ක්‍රියාත්මක වීමට නම් හැම අපද්‍රව්‍යත් ම පාංශු, ශාක හා සත්ව ආදී ජීව විද්‍යාත්මක පෝෂක හෝ ප්ලාස්ටික්, සින්තටික් ද්‍රව්‍ය සහ ලෝහ වැනි තාක්ෂණික පෝෂක හෝ යන චක්‍ර දෙකෙන් එකකට අයිති ලෙස සැලකිය යුතු ය. මේ චක්‍ර දෙක චක්‍රීය ආර්ථිකයේ සමනල තටු දෙක නිරූපණය කරයි. ඒ තටු දෙක මඟින් නිරූපණය වන චක්‍ර දෙකට අයත් ද්‍රව්‍ය කෙදිනක වත් භාවිත කොට අවසන් වන හෝ අපද්‍රව්‍ය වසයෙන් ඉවත ලන දේවල් නො ව ප්‍රතිචක්‍රීකරණය කොට නැවත නැවත භාවිත වන දේවල් ය.

අමුද්‍රව්‍යවල සිට භාණ්ඩය නිපදවීම දක්වා නිෂ්පාදන ක්‍රියාවලිය තුළ එතෙක් පැවති තිරස් ද්‍රව්‍ය සැපයුම ප්‍රතිජනනීය ආර්ථිකයක දී චක්‍රාකාර ද්‍රව්‍ය සැපයුමක් බවට පරිවර්තනය වෙයි. එහෙත් කේට් රේවර්ත් පෙන්වාදෙන පරිදි ඇත්ත පරිවර්තනය සිදු විය යුත්තේ අප දේවල් අගය කරන ආකාරය සම්බන්ධයෙනි. එහි දී  “ජීවිතය මිස වත්කම් යනුවෙන් දෙයක් නොමැත” යනුවෙන් වික්ටෝරියානු යුගයේ විසූ ඉංග්‍රීසි කිවියෙකු වූ ජෝන් රස්කින් ලියූ වැකිය හුදු කාව්‍යෝක්තියක් පමණක් නො ව ප්‍රබල අනාගත වාක්‍යයක් ලෙස ද සැලකිය යුතු ය. ආර්ථික වටිනාකම ඇත්ත වසයෙන් ම පවතින්නේ නිෂ්පාදනයේ තිරස් ද්‍රව්‍ය සැපයුම තුළ නො ව එහි අඛණ්ඩ ප්‍රභවය වන විවිධාකාර වත්කම් තුළ ය. එම වත්කම් තුළ ට්‍රැක්ටර්වල සිට නිවාස දක්වා මිනිසා විසින් නිපදවන ලද දේවල් මෙන් ම මිනිසා සතු කුසලතා සහ මිනිසා විසින් දිනා ගෙන ඇති  ප්‍රජා විශ්වාසදායකත්වය ද, වනාන්තරවල සිට මුහුදු පත්ල දක්වා වැජඹෙන ජීව ගෝලය ද, විකිපීඩියාවේ සිට මානව ජෙනෝමය දක්වා ද බිහි කරන ලද දැනුම් සම්භාරය ද ආදී සියලු දේවල් අඩංගු ය.  එහෙත් මේ ආකාරයේ වත්කම් පවා අවසානයේ දී විසිර යයි. ට්‍රැක්ටර් වළ මල බැඳේ. ශාක ද්‍රව්‍ය දිරාපත් වෙයි. මිනිස්සු මියැදෙති. අදහස් අමතක වී යයි. කාලය ගත වන විට ඉතිරි වන එක ම වත්කම් වර්ගය සූර්යයා විසින් සබල ගන්වන ජීවයේ ප්‍රතිජනනීය බලයයි.

කර්මාන්ත ශාලා ද කර්මාන්ත ද ප්‍රතිජනනීය නිෂ්පාදන ක්‍රියාවලියට උචිත ලෙස සැලසුම් කළ හැකි ය. ඒ සඳහා භාණ්ඩ නිෂ්පාදනයේ දී පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීම, ඉහළ ගුණාත්මක භාවය, කල් පැවැත්ම, වහා ඉවත දැමීමෙන් තොර ව අලුත්වැඩියා කොට භාවිත කිරීමට හැකිවීම, යොදා ගන්නා නිෂ්පාදන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට සුදුසු වීම සහ එසේ නොමැති ද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස ජීර්ණ වීම සහතික වීම ඇතුළත් නිෂ්පාදන සැලසුම් දිරි ගන්වන සුලු ප්‍රතිපත්ති සහ දණ්ඩන නියාමන ක්‍රම හඳුන්වා දිය යුතු ය. කර්මාන්ත සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය නිෂ්කාෂණය දැඩි පරිසර හිතකාමි නීතිවලින් නියාමනය විය යුතු ය. නිෂ්පාදිත භාණ්ඩ හා සේවා සැපයුම් පරිසර හිතකාමී චක්‍රීය නිෂ්පාදන ප්‍රමිතිවලට අනුකූල වීම පිළිබඳ සහතිකයක් ලබා දීමට ප්‍රමිති කාර්යාංශවලට හැකි ය. කර්මාන්ත ණය සහ ආධාර ලබා දීම චක්‍රීය නිෂ්පාදනය දිරි ගන්වන කොන්දේසි යටතේ සිදු කළ හැකි ය.

 එමෙන් ම නාගරික වාසභූමිය ද එසේ ප්‍රතිජනනය මුල් කොට සැලසුම් කළ හැකි ය. ප්‍රතිචක්‍රීකරණය මුල් කොට ගත් ස්මාට් නගර බිහි කිරීම එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණුවල එක්  ඉලක්කයකි. එවැනි නගරයක හැම නිවසක් ම පුනර්ජනනීය බලශක්ති උත්පාදන ඒකකයක් විය හැකි ය. නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් සහ අලුත්වැඩියා කිරීමේ සැලසුම් සඳහා ප්‍රතිචක්‍රීය ගොඩනැගීම්වලට අනුගත වන ආකාරයේ නියාමන නීති පැනවිය හැකි ය. ගෙවතු වගා කිරීම සඳහා ප්‍රතිචක්‍රීකෘත ජලය හා ගබඩා කළ වර්ෂා ජලය යොදා ගැනීම දිරිගැන්විය හැකි ය.  ආදායමට සරිලන පහසු මිලකට හිමි කර ගත හැකි පරිසර හිතකාමී නිවාස ක්‍රමවල ඉදි කළ හැකිය. ගමනාගමනය සඳහා විදුලි බලයෙන් දිවෙන කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවා යෙදවීම පුරවැසියන්ගේ  ගමනාගමන කටයුතු නිර්කාබනය කිරීමට උදව් කරයි. ගෘහස්ථ අපද්‍රව්‍ය නිෂ්කාෂණය ප්‍රතිචක්‍රීකරණය දිරි ගන්වන නියාමන රෙගුලාසිවලින් පාලනය විය යුතු ය. දැනටමත් ඇතිවී ගෙන යන ප්‍රවණතා සලකා බැලූ විට නාගරික ජනාවාස තුළ ජනගහනය සංකේන්ද්‍රණය වීම දේශපාලන ඒකකයක් වසයෙන් පෞර රාජ්‍ය ව්‍යුහය වඩාත් කාර්යක්ෂම ලෙස ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්ව පාලන ක්‍රමයක් පවත්වා ගෙන යෑමට යොදා ගත හැකි විය යුතු ය. ජාතික රාජ්‍ය ඉක්මවා ගොස් ප්‍රජා මට්ටමේ සහභාගිත්වය මුල් කොට කලාපීය වසයෙන් හා ගෝලීය වසයෙන් ද චක්‍රීය ආර්ථිකයකට කැප වෙන අන්තර් නගර ජාලයක් ස්ථාපිත කොට පවත්වා ගෙන යෑම මඟින් චක්‍රීය ආර්ථිකය ප්‍රවර්ධනය සඳහා ගෝලීය සහයෝගිතාව වර්ධනය කල හැකිය.

චක්‍රීය ආර්ථිකයේ මූලධර්ම බොහෝ කොට එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු සහ ඉලක්ක හා ගැලපිය හැකි ය. ඒ අනුව තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ කතිකාවට සක්‍රිය ව දායකත්වය සැපයීමෙන් මහජන සංවිධානවලට චක්‍රීය ආර්ථික එළඹුම පිළිබඳ කතිකාව ද පෝෂණය කළ හැකි ය. 2019 දී යුරෝපීය සංගමය චක්‍රීය ආර්ථිකයකට ක්‍රියාන්විත වැඩපිළිවෙළක් යනුවෙන් පරිපූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළේ ය.  ඒ අනුව 2020 මාර්තු මාසයේ දී යුරෝපීය කොමිසම චක්‍රීය ආර්ථිකයක් සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කළේ ය.[12] භාණ්ඩ නිෂ්පාදනය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ හරිත සැලැස්ම පිළිබඳ විධානයට (EU Eco-design Directive) අනුගත වීම, භාණ්ඩ හා සේවාවල තිරසාර බව වැඩි කිරීම, භාණ්ඩවල කල් පැවැත්ම, අලුත්වැඩියා කිරීමේ හැකියාව, අමතර කොටස් ලබාගැනීම සහතික කිරීම සම්බන්ධ නීති හා රෙගුලාසි හඳුන්වා දීම, භාණ්ඩ සඳහා හරිතප්‍රිය සලකුණ යෙදීමේ දී ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාව අනුව වර්ග කිරීමේ නව නීති,  පොදු ආයතනවල ප්‍රසම්පාදන කටයුතු නව චක්‍රීය ආර්ථික රෙගුලාසි අනුව සිදු කිරීම අනිවාර්ය කිරීම වැනි ක්‍රියාන්විත 35ක් ඇති ඒ සැලැස්ම ගැන විචාරශීලී කතිකාවක් දැන් ඇති ව තිබේ.[13] අපේ ආර්ථිකය ද චක්‍රීය ආර්ථිකයක් බවට පත් කිරීමේ පරිවර්තනීය සැලැස්මක් සැකසීමට දැන් කාලය පැමිණ තිබේ. කලාපීය වසයෙන් එය කළ හැකි නම් වඩා සඵලදායක බලපෑමක් ඇති කළ හැකි ය. ඒ අනුව යුරෝපා සංගමය සකස් කර ඇති සැලැස්ම ආදර්ශයට ගෙන  දකුණු ආසියානු කලාපය තුළ පිහිටි සියලු රටවල මහජන සංවිධාන, විශ්ව විද්‍යාල,  විද්වතුන්, ව්‍යාපාරිකයන්, පාරිභෝගික සංවිධාන  සහ දේශපාලන ක්‍රියාධරයන් සහභාගී වන කතිකාවක් මඟින් චක්‍රීය ආර්ථිකයක් සඳහා මූලික සැලැස්මක් පිළියෙළ කිරීම කරා යොමු විය හැකි ය.

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

මීළඟට : 23.  චක්‍රීය ආර්ථිකය පිළිබඳ කේට් රේවර්ත්ගේ ඩෝනට් මොඩලය


[1] The Second World Ocean Assessment: Vol. II (2021), United Nations Publications, New York, p. 123

[2] Mallet, V. (2013) ‘Environmental damage costs India $80bn a year’, Financial Times 17 July 2013, http://www.ft.com/cms/s/0/0a89f3a8-eeca-11e2-98dd-00144feabdc0.html#axzz3qz7R0UIf

[3] Torras .M and Boyce J.K. (1998) Income, inequality, and pollution: a reassessment of the environmental Kuznets Curve in Ecological Economics Vol 25, issue 2 pp. 147-160

[4] Fath. B (eds) 2019, Encyclopedia of Ecology, Elsevier

[5] “ Heinrich Böll Foundation (2012) ‘Energy transition: environmental taxation’, available at: http://energytransition.de/2012/10/environmental-taxation/” – Retrieved on 17 July 2021

[6] https://www.ilo.org/moscow/areas-of-work/gender-equality/WCMS_249143/lang–en/index.htm

[7] Sri Lanka Sustainable Energy Authority (2018) Sri Lanka Energy Balance, Colombo

[8] [8] https://www.forbes.com/sites/energyinnovation/2020/01/21/renewable-energy-prices-hit-record-lows-how-can-utilities-benefit-from-unstoppable-solar-and-wind/?sh=72c982312c84Retrieved on 17 July 2021

[9] https://www.lazard.com/media/451086/lazards-levelized-cost-of-energy-version-130-vf.pdf – Retrieved on 17 July 2021

[10] Gates Bill (2021) How to avoid a climate disaster, London: Penguin Random House, p 55

[11] Gates, Bill (2021) How to Avoid Climate Disaster, London: Penguin Random House, p. 55

[12]  https://ec.europa.eu/environment/strategy/circular-economy-action-plan_en – Retrieved on 18 July 2021

[13] Delivering a circular economy within the planet’s boundaries: An analysis of the new EU Circular Economy Action Plan (2021), Institute of European Environmental Policy, Bruxelles

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: