21.  යුක්තිය අත්පත් කර ගැනීමේ දේශපාලනයේදී තිරසාර සංවර්ධන අරමුණු වැදගත් ප්‍රවේශයක් වන්නේ ඇයි? 

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

ආර්ථික වර්ධන වේගය ඉහළ යෑම නො තකා සමාජ අසමානතාව (social inequality) වැඩි වීම නිසා ප්‍රගතිය යන්න හුදෙක් GDP හෙවත් දළ දේශීය නිෂ්පාදිතයේ මිම්මක් ලෙස හුවා දැක්වීම බොහෝ විචාරකයන්ගේ විවේචනයට ලක් විය. ඒ නිසා සමාජ ප්‍රගතිය සම්බන්ධයෙන් සෘජු ආර්ථිකමය නො වන දර්ශක ඇති කර ගැනීම පිළිබඳ කලක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් විශේෂ අවධානයක් යොමු කර තිබුණි.

ආර්ථික නො වන සමාජ දර්ශක කිහිපයක් ම හඳුන්වා දීමට ගත වූ දශක ගණනාවක් තිස්සේ විවිධ උත්සාහ ගෙන තිබේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානය 1976 දී කැඳවූ ලෝක රැකියා නියුක්තිය පිළිබඳ සම්මේලනයක දී  මූලික අවශ්‍යතා (Basic Needs) යනුවෙන් හඳුන්වා දුන් වුවමනාකම් සපුරාලීම සංවර්ධන දර්ශකයක් ලෙස සැලකීම ඉන්‍ ප්‍රමුඛ එකකි. ඒ අනුව පුද්ගලයෙකුට අවශ්‍ය ආහාර, පානීය ජලය, නිවාස, ඇඳුම්, සනීපාරක්ෂාව, අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන මූලික අවශ්‍යතා කොතෙක් දුරට සපුරා ගත හැකි ද? යන්න සංවර්ධනයේ අත්‍යවශ්‍ය දර්ශකය වශයෙන්‍ එකල සැලකුණි.  1980 දී සාක්ෂරතාව, ළදරු මරණ අනුපාතිකය සහ ජීවිතාපේක්ෂාව අඩංගු වන ජීවිතයේ භෞතික ගුණාත්මක භාවය පිළිබඳ දර්ශකය Physical Quality of Life Index (PQLI) හඳුන්වා දෙන ලදී.[1]

ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන අමාර්ත්‍ය සෙන් ඒ කාලයේ දී ම ඔහුගේ ශක්‍යතා න්‍යාය (capability theory) හඳුන්වා දෙමින් ආදායම මඟින් සමාජීය ඇගයුම (social value) තක්සේරු කිරීම වෙනුවට පුද්ගලයෙකුට කළ හැකි කාර්ය සහ පුද්ගල ශක්‍යතාව මත කෙනෙකුගේ වටිනාකම නිර්ණය කළ යුතු බව පෙන්වා දුන්නේ ය. සෙන්ගේ ශක්‍යතා න්‍යායට අනුව ආරක්ෂාකාරී තත්වයන් යටතේ වැටුප් සඳහා වැඩ කිරීමට මිනිසුන්ට ඇති හැකියාව සහ මිනිසුන්ගේ සෞඛ්‍ය සම්පන්න බව කිනම් ශක්‍යතාවලින් සන්නද්ධ වීමට එම මිනිසුන්ට හැකි ව ඇත් ද යන කාරණය මත තීන්දු වන්නකි.

රටක සංවර්ධනය මැනීමේ දී වියුක්ත ආර්ථික වර්ධන දර්ශක පමණක් නො ව ආර්ථිකය නිසා රටවැසියන්ට අත් වන විවිධාකාර ඵල විපාක සහ හැකි නො හැකියා ද කේන්ද්‍ර කර ගත යුතු ය යන අදහස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් 1990 ගණන්වල ප්‍රවර්ධනය කරන ලදී. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ පාකිස්ථානු ජාතික ආර්ථික විද්‍යාඥයෙකු වූ මහබුබ් උල් හක්ගේ මෙහෙයවීමෙන් එම අදහස මුල් කර ගෙන එක්සත් ජාතීන්ගේ Human Development Index (HDI) නොහොත් මානව සංවර්ධන දර්ශකය හඳුන්වා දෙන ලද්දේ එහි ප්‍රතිඵලයක් වසයෙනි. යේල් සරසවියෙන් ආචාර්ය උපාධිය ලබාගෙන හාවඩ් සරසවියේ පශ්චාත් ආචාර්ය පර්යේෂණ කටයුතු කර තිබූ උල් හක් 1960 ගණන්වල සිට 70 ගණන් දක්වා ම පාකිස්ථානයේ සැලසුම් කොමිසමේ සභාපති ධුරය ද දැරීය. පකිස්ථානය ආර්ථික ලිබරල්වාදය දෙසට යොමු වුණේ ද ඒ කාලයේ දී ය.

එහෙත් උල් හක් හඳුන්වා දුන් මානව සංවර්ධන දර්ශක ආර්ථික ලිබරල්වාදයේ සාම්ප්‍රදායික වර්ධන මැනුම් ඉක්මවා යමින් මානව සංවර්ධනයේ වැදගත් මාන (dimension) තුනක් විශේෂයෙන් ම සලකා බැලීය. ඒවා නම් මිනිසුන්ට අත්පත් කර ගත හැකි දීර්ඝායුෂ හා එයට පදනම වන සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව, දැනුම අත්පත් කර ගැනීමට ප්‍රමාණවත් අධ්‍යාපනයක් සහ තෘප්තිමත් ජීවන තත්වය යි. මෙම සංවර්ධන දර්ශක සාධාරණීකරණය කරමින් UNDP හෙවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වෙනුවෙන් උල් හක් සංවර්ධනය පිළිබඳ සිය අදහස මෙසේ ගොනු කරයි:

“සංවර්ධනයේ මූලික අභිප්‍රාය වන්නේ මිනිසුන්ගේ තෝරා ගැනීම් හැකි තරම් පුළුල් කර ලීම යි. මෙකී තේරීම් විවිධත්වය අතින් අනන්ත අප්‍රමාණ විය හැකි අතර කාලාන්තරයක දී ඒවා වෙනස් වීමට ද ඉඩ තිබේ. දැනුම අත්පත් කර ගැනීමේ හැකියාව, හොඳ පෝෂණයක් සහ සෞඛ්‍ය සේවයක් ලබා ගැනීමේ හැකියාව, වඩා ආරක්ෂිත ජීවන ක්‍රමයක් තිබීම, අපරාධවලට සහ ශාරීරික පීඩාවට එරෙහි ව ආරක්ෂාව ලැබීම, විවේක කාලය සතුටෙන් ගත කිරීමට ඇති හැකියාව, දේශපාලනික හා සංස්කෘතික නිදහස සහ අව්‍යාජ ව ප්‍රජා කටයුතුවලට සහභාගි වන්නේ යැ’යි යන හැඟීම වැනි ආදායම් සහ වර්ධන වේගය පිළිබඳ සංඛ්‍යාවන්ගෙන් කිසි සේත් ම හෝ වහාම පෙන්නුම් නො කරන බහුවිධ වටිනාකම් සාක්ෂාත් කර ගැනීමේ හැකියාව මහජනයා බෙහෙවින් අගය කොට සලකති. ඒ අනුව සංවර්ධනයේ අරමුණ විය යුත්තේ සැමට දීර්ඝ, සෞඛ්‍ය සම්පන්න සහ නිර්මාණාත්මක ජීවිතයක් අත්විඳ ගැනීමට හැකි වාතාවරණයක් බිහි කිරීම යි “.[2]

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් හඳුන්වා දෙන ලද මානව සංවර්ධන දර්ශකවල අඩංගු ත්‍රිමාන අතරින් සෞඛ්‍ය පිළිබඳ මානය නිර්ණය කරන ලද්දේ අදාළ වසරේ උපදින සාමාන්‍ය පුද්ගලයෙකුට එම රටේ ඇති සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් අනුව අපේක්ෂා කළ හැකි ජීවිත කාලය අවුරුදු කීයක් වේ ද යන කරුණ මත යි. විසිවැනි සිය වස තුළ කිසිදු රටක සාමාන්‍ය ජීවිතාපේක්ෂාව අවුරුදු 20ට වඩා අඩු වී නොමැති බැවින් රටක ජීවිතාපේක්ෂාව ප්‍රමුඛ සෞඛ්‍ය පිළිබඳ මානය ගණනය කිරීමේ දී අවම අගය අවුරුදු 20ක් ලෙස ද උපරිම අගය අවුරුදු 85ක් ලෙස ද සලකන ලදී.  මේ අනුව 2020 දී සෞඛ්‍ය මානය සම්බන්ධයෙන් ඉදිරියෙන් ම සිටින්නේ වයස 84.6 ක සාමාන්‍ය ජීවිතාපේක්ෂාව ක් ඇති ජපානය යි. ඒ වසර සඳහා ලංකාවේ ජීවිතාපේක්ෂාව වයස 77 කි.  දෙවෙනි මානය වන දැනුම ලබා ගැනීමේ අවස්ථා පිළිබඳ මානය පුරවැසියෙකු අධ්‍යාපනයට කැප කරන වසර ගණන අනුව ගණනය කෙරිණි. ඒ අනුව වයස විසිපහ ඉක්මවන වැඩිහිටියන් පාසල් ගිය වසර ප්‍රමාණයේ සාමාන්‍යය සහ පාසල් යන වියේ සිටින දරුවන් අඛණ්ඩ ව පාසල් යතැ’යි බලාපොරොත්තුවිය හැකි වසර ප්‍රමාණය යන කරුණු දෙක මත දැනුම අත්පත් කර ගැනීමෙ හැකියාව පිළිබඳ මානය ඇගයිනි. වයස 25 ඉක්මවූ ලාංකිකයෙකු සාමාන්‍යයෙන් වසර 10.9ක පාසල් අධ්‍යාපනයක් ලබන විට එම වයසේ ජර්මන් තරුණයෙකු වසර 14.2 ක් අධ්‍යාපනය ලබයි.  තෙවනු ව ජීවන තත්වය පිළිබඳ මානය ඒක පුද්ගල දළ ජාතික ආදායම මත ඇගයීමට ලක් කෙරිනි. ජීවන තත්ව මානය අනුව වසර 2020 දී  ඉදිරියෙන් ම සිටින නොර්වේ රටේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ලංකාවේ ඒක පුද්ගල ජාතික ආදායම මෙන් පස් ගුණයක් විය. මෙකී මාන තුන ම සඳහා දෙනු ලබන අගයන්වල එකතුවේ සාමාන්‍යය අනතුරුව සංඛ්‍යාත්මක ව සංයුක්ත සූචකයක් ලෙස නිරූපණය කිරීම මානව සංවර්ධන දර්ශකය ලෙස හැඳින්විණි.

කෙසේ වෙතත් මානව සංවර්ධන සූචකය මඟින් නිරූපණය වන්නේ මානව සංවර්ධනයෙන් එක් පැතිකඩක් පමණි. එමඟින් සමාජීය අසමානතා, දරිද්‍රතාව, මානව සුරක්ෂාව, පුද්ගල සබල ගැන්වීම (empowerment) වැනි සංවර්ධනය සම්බන්ධ අනෙකුත් වැදගත් මාන නිරූපණය නො වේ.  

හක් අදහස් කළ අන්දමට මානව සංවර්ධනය යනු වැදගත් සාධක කිහිපයක් පදනම් කරගත්තකි. ඒ අනුව ප්‍රථම කොට නූතන සමාජය පැවතිය යුත්තේ ම අත් කර දිය හැකි හොඳ ම ජීවිතය එහි සියලු සාමාජිකයන්ට ලබා දීමට යි. දෙවනුව, තමන්ට අත් කර ගත ගත හැකි හොඳම ජීවිතය දිනා ගැනීමට නම් තමන් කෙබඳු අයෙකු විය යුතු ද ඒ සඳහා තමන්ට අවශ්‍ය වන්නේ මොනවා දැයි තීරණය කිරීමටත්, ඒ අනුව තම අරමුණ ඉටු කර ගැනීම කරා යෑමටත් සමාජයේ හැම කෙනෙකුට ම හැකි විය යුතු ය. ඒ නිසා ආර්ථික සංවර්ධනය විසින් කළ යුත්තේ ඒ ශක්‍යතාව හෙවත් හැකියාව ඔවුන්ට ලබා දීම බව හක් පැවසී ය.

බැලූ බැල්මට ම එය විවාදාත්මක ප්‍රකාශයක් නො වේ. එහෙත් හක්ගේ අදහස විශේෂ වෙන්නේ ආර්ථික සංවර්ධනය පමණක් ම මානව සංවර්ධනයට තුඩු දෙනු ඇතැ’යි යන මතය ඔහු තරයේ ප්‍රතික්ෂේප කළ බැවිනි. ආර්ථික වර්ධනය පොහොසතුන්ට සහ හොඳ සම්බන්ධකම් ඇති අයට සෞභාග්‍ය ළඟා කර දුන්නත් බොහෝ විට දුප්පතුන් එම සෞභාග්‍යයෙන් පිට මං කර තැබීමට කටයුතු කරනු ඇතැ යි ඔහු තර්ක කළේ ය. ඒ හැර දුප්පතුන්ගේ අධ්‍යාපන හා සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීමට පොහොසතුන් වියදම් කරනු ඇතැ’යි ද සිතිය නො හැක. ඔහුගේ ඒ අදහස 1990 ගණන්වල දොහොත් මුදුනින් පිළිගෙන තිබූ නවලිබරල්වාදී ආර්ථික දර්ශනයට හාත්පසින් ම ප්‍රතිවිරුද්ධ විය.  නවලිබරල්වාදී චින්තනයට අනුව අවම රජයේ මැදිහත්වීම් සහ නිදහස් වෙළඳපොළක්  ඇත්නම් ව්‍යාපාර කටයුතු ආරම්භ කොට මුදල් ඉපයීමට මිනිස්සු පෙලඹෙති. එහෙත් හක් ඒ මතය හා එකඟ නොවීය. හක් තර්ක කළ අන්දමට සමාජය පවතින්නේ මිනිසුන්ගේ ජීවන තත්වය දියුණු කිරීමට නම් ආර්ථික සංවර්ධනයේ අරමුණ ද එය ම විය යුතුය. ආර්ථික වර්ධනය වැඩිවන තරමට ම සමාජ විෂමතා ද වැඩී වී සැලකිය පිරිසකගේ තත්වය අන් අයට වඩා පිරිහී ඇත්නම් නම් එය අභූතරූපී සංවර්ධනයකි. ඒ අනුව හක්ගේ අවධානය බෙහෙවින් ම යොමු වුනේ සංවර්ධනය නිසි මානව අරමුණු කරා යොමු කිරීමට යි.

ඒ සඳහා ඔහු මානව සංවර්ධන දර්ශක (Human Development Index) හඳුන්වා දුන්නේ ය. රටක ආර්ථික සෞභාග්‍ය (economic prosperity), අධ්‍යාපනය (education) සහ ආයු අපේක්ෂාව (life expectancy) පිළිබඳ තෝරා ගත් ක්ෂේත්‍රවලින් සංයුක්ත කළ දර්ශක මඟින් එම රටේ සංවර්ධන මට්ටම ගැන පරිපූර්ණ චිත්‍රයක් ලබා ගත හැකි වේ යැයි හක් අදහස් කළේ ය. හක් හඳුන්වා දුන් මානව සංවර්ධන දර්ශක යාවත්කාලීන කරමින් 1990 සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියලු රටවල් සම්බන්ධයෙන් මිනුම් අඩංගු මානව සංවර්ධන වාර්තාව (Human Development Report) එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන විසින් වාර්ෂික ව ප්‍රකාශයට පත් කරනු ලැබේ.. 

කෙසේ වෙතත් හක්ගේ මානව සංවර්ධන දර්ශක ගැන සැලකිය යුතු විවේචන ද එල්ල වී තිබේ. මුල්ම විවේචන පැමිණියේ යෝජිත දර්ශක හඳුනා ගැනීමේ ක්‍රමවේදය ගැනයි. “හුදෙක් ආදායම මැනීම ඉක්මවා සංවර්ධනයේ අර්ථය පුළුල් කිරීම පිළිබඳ ව මානව සංවර්ධන වාර්තාවේ එන  දැක්ම හා අප එකඟ වන නමුත් එය දර්ශකවලට පරිවර්තනය කිරීම ගැන අප තුළ සැලකිය යුතු විචිකිච්ඡා තිබේ” යනුවෙන් දකුණු ආසියානු ශ්‍රාස්ත්‍රඥයන් දෙදෙනෙකු වූ  ඒ.ඩී. සාගර් සහ ඒ. නජාම් පැවසීය.[3]  එවැනි විවේචන බොහෝ විට සාධනීය ඒවා විය. මානව සංවර්ධන දර්ශක තිබිය යුතු බව සැබෑ නමුත් නිසි ක්‍රමවේදයකට අනුව දර්ශක සකස් කළ යුතු බව එම විවේචනවලින් අවධාරණය විය.

ඔස්ට්‍රෙලියානු ශ්‍රාස්ත්‍රඥයෙකු වූ මාක් මැක්ගිලිව්රේ තර්ක කළ පරිදි මානව සංවර්ධන දර්ශකවලින් ඉන් පෙර පැවති මිනුම්වලින් හෙළිදරව් වනවාට වඩා වැඩි දෙයක් හෙළිදරව් නො වේ. හක් යෝජනා කර ඇති විචල්‍යතා (variables)තුන (ආයු කාලය, අධ්‍යාපනය සහ ධන සම්පත්) පිළිබඳ මිනුම් බොහෝ විට එම අගයන් සහිතව ම කොහොමටත් පවත්වා ගෙන යන බවත් ඉන් එක විචල්‍යතාවක් පිළිබඳ අගය ගත්තත් බොහෝ අවස්ථාවල දී එය විචල්‍යතා තුනේ ම සංයුක්ත අගයට සමාන වන බවත් ඔහු පෙන්වා දුන්නේ ය. දේශීය වශයෙන් සංවර්ධනය මැනීමේ  නව දැක්මක් ඉදිරිපත් කරනවාට වඩා මානව සංවර්ධන දර්ශක භාවිතා වන්නේ සමාජ සංවර්ධනය පිළිබඳ දෘෂ්ටිවාදී චින්තනය ප්‍රවර්ධනය කිරීමට බව මැක්ගිලිව්රේගේ අදහස විය.[4] ඉන්දියානු ආර්ථික විද්‍යාඥයෙකු වූ ටී. එන්. සිරිනිවාසන් පෙන්වා දුන් පරිදි  පුද්ගලයන් සහ සමාජ ආර්ථික කණ්ඩායම් වෙන් වෙන් ව ලා සැලකුවොත් මානව සංවර්ධන දර්ශකවලින් කියැවෙන අගයන් සාපේක්ෂව එක සමාන නොවේ.

කෙසේ වෙතත් මානව සංවර්ධන දර්ශකවල සීමිත උපයෝගිතාව මෙන් ම හක් යෝජනා කළ බහුවිධ මානව සංවර්ධනය පිළිබඳ අදහසේ වැදගත්කම නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වූ අමාර්ත්‍ය සෙන්ගේ පහත දැක්වෙන ප්‍රකාශයෙන් සාරාංශ ගත කළ හැකි ය.

“මානව සංවර්ධන දර්ශක හෝ එවැනි ඕනෑම සංයුත දර්ශකයක් (aggregative index) ගැන වැඩි අවධානයක් යොමු කිරීම වරදකි…. මෙවැනි දර්ශක රළු සහ එසැණ වැඩ සඳහා ප්‍රයෝජනවත් ය. නමුත් මානව සංවර්ධන එළඹුමේ නියම වටිනාකම වන්නේ සංවර්ධනය බහුවිධ ව ඇගයීමේ අවශ්‍යතාව පිළිබඳ අවධානය යොමු කිරීම නිසා මිස එමඟින් ඉදිරිපත් කරන සංයුත මිනුම්වලින්  විවිධාකාර සංඛ්‍යාලේඛන තේරුම් ගැනීමට ආධාර කරන නිසා නොවේ.”[5]

90 දශකයේ පමණ සිට සංවර්ධන ආධාර ලබා දීමේ මූලික අරමුණ බවට ‘සංවර්ධනය යනු දුප්පත්කම තුරන් කිරීමයි’ යන්න පත් වීමට මානව සංවර්ධන දර්ශක ද හේතු විය. බොහෝ ආධාර ලබාදෙන රටවල් නියෝජනය කරන OECD (Organization of Economic Cooperation and Development) හෙවත් ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය පිළිබඳ සංවිධානය ‘21 වැනි සියවස හැඩ ගැස්වීම: සංවර්ධන සහයෝගිතාවේ දායකත්වය’ යනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් 1996 දී පළ කළේ ය. එහි සඳහන් වූ පරිදි ආර්ථිකයේ අරමුණ විය යුත්තේ මූල්‍යමය වර්ධනය නො ව දැනට පවතින අත්‍යන්ත දුප්පත්කම  2015 වන විට අඩකින් අඩු කිරීම යි[6]. සංවර්ධනය යනු මනුෂ්‍ය අවශ්‍යතා සපුරා දීමට හැකිවීම යැයි යන පිළිගැනුම ඒ ආකාරයෙන් දුප්පත්කම තුරන් කිරීම ලෙස අර්ථකතනය විය.

අමාර්ත්‍ය සෙන් අදහස් කළ පරිදි සංවර්ධනය සංකල්ප ගත කිරීමේ දී  මූලික අවධානය යොමු විය යුත්තේ තමන් විසින් සාක්ෂාත් කර ගත යුතු යැයි තෝරා ගනු ලබන ශක්‍යතා හෙවත් හැකියා වර්ධනය කර ගැනීමට හැම පුද්ගලයෙකුට ම අවස්ථාව හා පහසුකම ලබා දීම සංවර්ධනයේ මූලික අරමුණ බවට පත් කිරීම පිණිස යි. “ජීවිතයේ ගුණාත්මක බව සහ ජීවන තත්ව ඇගයීමට ලක් කිරීමේ ලා ස්ථාවර පදනමක් ලෙස මානව ශක්‍යතාවල තීරණාත්මක වැදගත්කම සැලැකිය හැකි ය”[7] යනුවෙන් සෙන් සඳහන් කරයි.

කෙසේ වෙතත් සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවේ දී  අන්තර් ජාතික සංවිධාන වැඩි අවධානයක් යොමු කළේ අත්‍යන්ත දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ වැඩපිළිවෙළවල් කෙරෙහි ය. කලක් තිස්සේ ම අත්‍යන්ත දරිද්‍රතාව නිර්ණය කරන ලද්දේ ආදායම් දරිද්‍රතාව මත ය. වඩා මෑත මිනුම්වලට අනුව  දිනකට ඇමෙරිකානු ඩොලර් 1.90 ( ආසන්න වසයෙන් රු.400/- කට)කට වඩා අඩු ආදායමක් ලබන්නෝ අන්ත දරිද්‍රතාවෙන් පෙළෙන අය වෙති.  දරිද්‍රතාව විවිධ මානවලින් ප්‍රකාශ වන්නේ යැයි යන අදහස අනුව ඔක්ස්ෆර්ඩ් සරසවියේ සබිනා අල්කයර් සහ ජේම්ස් ෆොස්ටර් බහුමාන දරිද්‍රතා දර්ශක හඳුන්වා දීමට යෝජනා කළ හ.  මානව සංවර්ධනය සම්බන්ධයෙන් බහුමාන පර්යාලෝකයක අවශ්‍යතාව සංවර්ධනය නිර්වචනය කිරීම පිළිබඳව අමාර්ත්‍ය සෙන් ඉදිරිපත් කළ ශක්‍යතා එළඹුමේ (capability approach) ද හුවා දක්වා තිබුණි.

අල්කයර් සහ ෆොස්ටර්ගේ බහුමාන දරිද්‍රතා දර්ශක සෙන්ගේ චින්තනයෙන් ලද ආභාසය අනුව සකස් කළ ඒවා ය. එතෙක් අනුගමනය කළ ආදායම සහ පරිභෝජනය මැනීම මත දරිද්‍රතාව විස්තර කිරීම මඟින් දිළිඳු බව පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගත නො හැකි බව අල්කයර් සහ ෆොස්ටර් මතය විය. ඒ අනුව ඔවුන්ගේ මෙහෙයවීමෙන් ඔක්ස්ෆර්ඩ් දරිද්‍රතා සහ මානව සංවර්ධන වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන එක් ව අධ්‍යාපනය, සෞඛ්‍යය හා ජීවන තත්වය යන ප්‍රවර්ග තුනක් සම්බන්ධයෙන් දර්ශක දහයකින් යුත් බහුමාන දරිද්‍රතා දර්ශක හඳුන්වා දුන්නේ ය. යම් යම් වෙනස්කම් සහිතව මෙකී දර්ශක ශ්‍රී ලංකා රජයේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2019 සිට උපයෝගී කර ගෙන තිබේ. පහත සඳහන් වන්නේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර ඇති ඒ බහුමාන දර්ශක දහය යි:[8] වරහන් ඇතුළත සඳහන් කර ඇත්තේ ඔක්ස්ෆර්ඩ් දරිද්‍රතා සහ මානව සංවර්ධන වැඩසටහන විසින් හඳුන්වා දුන් මුල් දර්ශකය යි[9].

අධ්‍යාපනය      

  1. පාසල් යන වසර ප්‍රමාණය: කුටුම්බයට අයත් වයස 15ට වැඩි සාමාජිකයෙකු අවම වශයෙන් වසර 5 ක් වත් පාසල් ගොස් නැති නම් එම කුටුම්බය පාසල් අධ්‍යාපනය අහිමි කුටුම්බයක් සේ සැලකේ. (කුටුම්බයක සුදුසුකම් ඇති අයෙකු වසර හයක පාසල් අධ්‍යාපනයක් සම්පූර්ණ කර නො තිබීම දරිද්‍රතා දර්ශකයකි.)
  2. පාසල් යෑම: කුටුම්බයට අයත් වයස 5-14 ත් අතර දරුවෙකු පාසල් නො යන්නේ නම් එම කුටුම්බය පාසල් ගමන අහිමි කුටුම්බයක් ලෙස සැලකේ. (අටවැනි පන්තිය දක්වා ඉගෙනීමට ගත වෙන වයස් ප්‍රමාණය දක්වා පාසලකට නොයන දරුවෙකු කුටුම්බයක සිටීම දරිද්‍රතා දර්ශකයකි.)

සෞඛ්‍යය

  1. පෝෂණය: පෝෂණ තොරතුරු ලබාගත හැකි කුටුම්බයක වයස 15-49 අතර ස්ත්‍රියක හෝ වයස අවුරුදු 5 හට අඩු දරුවෙකු හෝ මන්දපෝෂණයෙන් පෙළෙන්නේ නම් එම කුටුම්බය පෝෂණය අහිමි කුටුම්බයක් ලෙස සැලකේ. (කුටුම්බයක පෝෂණය පිළිබඳ ව තොරතුරු හා සැසඳු විට එම කුටුම්බයට අයත් වයස 70ට අඩු ඕනෑම පුද්ගලයෙකු මන්දපෝෂණයෙන් පෙළීම දරිද්‍රතා දර්ශකයකි.)  
  2. ළදරු මරණ: ගත වූ වසර පහ ඇතුළත කිසියම් කුටුම්බයක වයස අවුරුදු 5 කට අඩු දරුවෙකු මිය ගොස් ඇත්නම් එම කුටුම්බය ළදරු මරණ සම්බන්ධ අසමත් කුටුම්බයක් සේ සැලකේ. (සමීක්ෂණයට පෙර ගත වූ වසර පහ තුළ කුටුම්බයේ වයස 18ට අඩු දරුවෙකු මියගොස් තිබීම දරිද්‍රතා දර්ශකයකි.)

ජීවන තත්වය:

  1. විදුලි බලය: කුටුම්බයක නිවහනට විදුලි බලය ලැබී නොමැති නම් එය විදුලි බලය අහිමි කුටුම්බයක් ලෙස සැලකේ. (කුටුම්බයේ නිවහනට විදුලි බලය නොමැති වීම දරිද්‍රතාව පිළිබඳ දර්ශකයකි.)
  2. ‍පානීය ජලය: කුටුම්බයකට ආරක්ෂාකාරී පානීය ජලය ලබා ගැනීමට නැති නම් හෝ පානීය ජලය ලබා ගැනීමට විනාඩි 30කට වැඩි කාලයක් ඇවිද යෑමට සිදුවන්නේ නම් හෝ එම කුටුම්බය පානීය ජලය අහිමි කුටුම්බයක් ලෙස සැලකේ. (කුටුම්බයේ පානීය ජල ප්‍රභවය සනීපාරක්ෂක නො වීම හෝ පානීය ජලය ගෙන ඒමට විනාඩි 30කට වඩා ඇවිද ගොස් ඒමට සිදුවීම දරිද්‍රතාව පිළිබඳ දර්ශකයකි.)
  3. සනීපාරක්ෂක කටයුතු: කුටුම්බයක වැසිකිළි වැඩිදියුණු නොකළ (උදා: ජල මුද්‍රිත නො වන) ඒවා නම් හෝ වෙනත් කුටුම්බ සමඟ හවුලේ භාවිතා කළ යුතු ඒවා නම් හෝ එම කුටුම්බය සනීපාරක්ෂාව අහිමි කුටුම්බයක් ලෙස සැලකේ. (වැඩිදියුණු නොකළ වැසිකිළි පහසුකම් හෝ කිසිදු වැසිකිළි පහසුකමක් කුටුම්බයකට නො තිබීම හෝ වැඩිදියුණු කළ වැසිකිළියක් අනෙකුත් කුටුම්බ සමඟ හවුලේ භාවිත කිරීමට සිදුවීම දරිද්‍රතාව පිළිබඳ දර්ශකයකි.)
  4. සුදුසු ගෙබිම: කිසියම් කුටුම්බයක ගෙබිම සැදී ඇත්තේ මඩ, මැටි හෝ වැලිවලින් නම් එම කුටුම්බය සුදුසු ගෙබිමක් නැති කුටුම්බයක් ලෙස සැලකේ. (කුටුම්බයක නිවහනේ ගෙබිම, වහල සහ බිත්ති උචිත ගොඩනැගිලි ද්‍රව්‍යවලින් තනා නො තිබීම දරිද්‍රතාව පිළිබඳ දර්ශකයකි.)     
  5. පිසීමේ ඉන්ධන: කිසියම් කුටුම්බයක් ආහාර පිසීම සඳහා භාවිත කරන්නේ දර, ලී කුඩු, දහයියා හා අඟුරු වැනි දේවල් නම් එම කුටුම්බය පිසීමේ ඉන්ධන අහිමි නිවසක් ලෙස සැලකේ. (කුටුම්බයක් ගොම, පිදුරු, දර, අඟුරු හා ගල් අඟුරු වැනි ඝන ද්‍රව්‍යයක් පිසීමේ ඉන්ධන වශයෙන් භාවිත කිරීම දරිද්‍රතාව පිළිබඳ දර්ශකයකි.)
  6. වත්කම්: කුටුම්බයකට රේඩියෝවක්, රූපවාහිනියක්, බයිසිකලයක්, මෝටර් සයිකලයක් හෝ ශීතකරණයක් යන භාණ්ඩ වර්ග අතුරින් එක් වර්ගයකට වඩා නැති අතර ම මෝටර් රථයක් හෝ ට්‍රක් රථයක් ද නැති නම් එම කුටුම්බය වත්කම් අහිමි කුටුම්බයක් ලෙස සැලකේ.  (මේ දර්ශකය වෙනස් කර නැත.)

අත්‍යන්ත දරිද්‍රතාව තුරන් කිරීමේ වැඩසටහන් සම්බන්ධයෙන් මෙවැනි ප්‍රාථමික මට්ටමේ බහුමාන දර්ශක තිබීම ප්‍රයෝජනවත් විය හැකි වුව ද ඉහත දැක් වූ ආකාරයට සූත්‍රගත කිරීම තුළ ඉදිරියේ දී සාකච්ඡා කෙරෙන තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කිරීම එම දර්ශකවලින් නිරූපණය කළ හැක්කේ ඉතා සීමිත ව ය.  උදාහරණයක් ලෙස අධ්‍යාපනය පිළිබඳ ඉහත දැක්වෙන දර්ශක දෙක මඟින් තිරසාර සංවර්ධන අරමුණුවල සඳහන් වන  ගුණාත්මක අධ්‍යාපනයක් (quality education) සහ යාවජීව ඉගෙනුම් අවස්ථා ලබා ගැනීමට ඇති හැකියාව නිරූපණය නොවේ. තිරසාර සංවර්ධන අරමුණු 17 අතරින් සිව් වැන්න වන්නේ “හැම දෙනෙකුට ම අන්තර්ග්‍රහනීය(inclusive) සහ සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීම සහතික කිරීම සහ යාවජීව ඉගෙනුම් අවස්ථා ලබා ගැනීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීම” යි.

16 වැනි තිරසාර සංවර්ධන අරමුණේ එන “යුක්තිය සාක්ෂාත් කර ගැනීමට සියල්ලන්ට හැකිවීම” වැනි ඉලක්ක හා අදාළ දර්ශක බැහැර කිරීම මඟින් මෙකී දරිද්‍රතාව පිළිබඳ මිනුම් අදේශපාලනිකව තබා ගැනීමට අල්කයර් සහ ෆොස්ටර් වෑයම් කර තිබෙන බව පෙනී යයි.  එහෙත් තිරසාර සංවර්ධනය යනු හුදෙක් අත්‍යන්ත දුප්පත්කම තුරන් කිරීම නොවේ. අනෙක් අතට බහුමාන දර්ශක යොදා ගැනීම යනු ආදායම් දරිද්‍රතාව නො තකා හැරීම නොවිය යුතුය. මන්ද දුප්පත්කම පිළිබඳ ප්‍රධාන නිර්ණායකයක් වන්නේ ජීවත් වීමට සරිලන ආදායමක් උපයා ගැනීමට නො හැකි වීම බැවිනි.

කෙසේ වෙතත් දුප්පත්කම නිර්වචනය කිරීම සංවර්ධන කතිකාව තුළ කලක් විවාද ජනක කරුණක් බවට පත් ව තිබුණි. දුප්පත්කම යන්න නිවැරදිව අවබෝධ කර ගත හැක්කේ පරිභෝජන අසමත්කම, ආදායම හෝ වත්කම් ඌනතා අනුව නො ව කෙනෙකු සතු ශක්‍යතා හෙවත් හැකියාවල අසමත්කම හෙවත් ඌනතා අනුව බව අමාර්ත්‍ය සෙන් නො කඩවා තර්ක කළේ ය. අවශ්‍ය කරන හැකියාවල ඌනතා නිසා තමන්ට ලැබිය හැකි නොයෙක් අවස්ථා උපයෝගි කර ගැනීමට මිනිස්සු අපොහොසත් වෙති.  එහෙත් අඩු ආදායමක් ලැබීම හා එවැනි ඌනතා අතර හැම විටම නියත සම්බන්ධයක් නැත. සෙන් පෙන්වා දෙන පරිදි සමාජයේ ආන්තික තත්වයට පත් ව ඇති නිර්ප්‍රභු ජනතාවට ලැබෙන ආදායම වුව ද ශක්‍යතා නැතිකම නිසා සඵලදායක ක්‍රියාකාරකම් බවට නියත ලෙස ම හැරවීම අසීරු දෙයකි. ඒ අනුව “දුප්පත්කම යනු කිසිදු බලයක් නැතිකම පිළිබඳ හැඟීමත්, දුප්පතුන් කියන දෙයක් ගණනකට නො ගැනීමත් ය” [10]යනුවෙන් දුප්පත් කැමරූන් ජාතිකයෙකු සිය දුප්පත්කම විස්තර කළ ආකාරය දුප්පත්කම ගැන දිය හැකි කදිම අර්ථකතනයකි. දුප්පතුන් විසින් ම දුප්පත්කම නිර්ණය කරන ආකාරය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් රටවල් පනහකින් එකතු කළ දත්ත අනුව සමීක්ෂණයක් කළ දීපා නාරායන් ඒ බව සිය Voices of the Poor: Can Anyone Hear Us?නම් කෘතියේ සඳහන් කරයි.

කලින් කල ඇතිවෙන ව්‍යසනවලින් ජනගහනයෙන් සැලැකිය යුතු කොටසක් මියයෑම ස්වභාවයකි යන ජනගහන න්‍යාය 18 වැනි සිය වසේදී ඉදිරිපත් කළ තෝමස් මැල්තුස්  දුප්පත්කම ද අනිවාර්ය දෙයක් බව පැවසීය. ස්වාභාවික නියාමවලට අනුව ඇතැම් මනුෂ්‍යයන් දුප්පත් වීම අනිවාර්යතාවක් බවත් ජීවිතය නැමති ලොතරැයියේ තෑගි අහිමි ව අසන්තෝෂයට පත් මිනිසුන් වන්නේ ඔවුන් බවත් මැල්තුස් ප්‍රකාශ කළේ ය.[11] දුප්පත්කම කරුම විපාකයක් බව විශ්වාස කිරීමට තවමත් මිනිසුන් පොලඹවන සමාජයක වෙසෙන අපට 18වනි සියවසේ විසූ මැල්තුස් එසේ පැවසීම ගැන පුදුම විය නො හැකිය. බොහෝ අයගේ වැටහීම අනුව දුප්පත්කම යනු ඉතිහාසය පුරාම පැවති යථාර්ථයකි. එනිසා දුප්පත්කමෙන් තොර සමාජයක් ගැන සිතීම පවා බොහෝ දෙනෙකුට අසීරු විය.

එහෙත් දුප්පත්කම අනිවාර්යතාවකි යන මැල්තුස්ගේ මතය සාවද්‍ය බව මැල්තුස්ගේ මරණයෙන් පසු ගත වූ සියවස් දෙක තුළ සිදු වූ වෙනස්කම් මඟින් ඉගෙන ගැනීමට අපට හැකි විය. අතීතයේ පැවති අත්‍යන්ත දුප්පත්කම අනිවාර්ය දෙයක් නො වන බව අපි දැන් දනිමු. ආර්ථික වර්ධනය නිසා අතීතයේ පැවති අත්‍යන්ත දුප්පත්කමින් සහමුලින් ම පාහේ මිදීමට ඇතැම් සමාජවලට හැකිව තිබේ.

ධනවත් ම රටවල් අතරින් 16 වෙනි ස්ථානයේ ලා සැලකෙන ස්වීඩනය උදාහරණයකට ගත්තොත්. 2020 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 6,382ක් වන විට ස්වීඩනයේ එය ඩොලර් 56,270 ක් විය. එම වෙනස නව ගුණයකට ආසන්න ය.

එසේ වුව ද සියවස් දෙකකට පෙර ස්වීඩනයේ ජනතාවගෙන් සාතිශය බහුතරයක් අත්‍යන්ත දිළිඳු කමින් පෙළුනි. එකල ස්වීඩනයේ ඉපදුණු හැම දරුවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු දිළිඳුකම නිසා මිය ගිය හ. දිළිඳුකම එවකට කොතරම් පෘථුල දෙයක් දැයි කිව හොත් ජීවත් වීමට සුදුසු තැනක් පිළියෙල කර ගැනීමට, නිවස උණුසුම් කර ගැනීමට හෝ මන්දපෝෂණයෙන් මිදීමට හැකි ආහාරයක් ගැනීමට ස්වීඩනයේ ජනගහනයෙන් 90% කට පමණ හැකියාවක් නො වීය.

එහෙත් 19වෙනි සියවසේ සිට ස්වීඩනය  නූතන නිෂ්පාදන තාක්ෂණය උපයෝගී කර ගෙන දැවැන්ත ආර්ථික වර්ධනයක් ඇති කර ගත්තේ ය. අනතුරු ව මීට සියවසකට පෙරත් ස්වීඩනය දුප්පත් රටක් ලෙස සැලකුණු නමුත් ඒ වන විටත් ඇති වෙමින් තිබූ ආර්ථික වර්ධනය නිසා ජනගහනයෙන් බහුතරයට අත්‍යන්ත දරිද්‍රතාවෙන් අත් මිදීමට හැකි වී තිබුණි. අද ස්වීඩනයේ දරිද්‍රතාවෙන් පෙළෙන අය ලෙස සැලකෙන්නේ දිනකට ඇමෙරිකානු ඩොලර් 30 කට ( ආසන්න වසයෙන් දිනකට රුපියල් 6000/- කට) අඩු ආදායමක් ලබන්නේ නම් පමණි. [12] ඒ අනුව ස්වීඩනයේ ජනගහනයෙන් 6%ක් හෙවත් 570,000 ක් පමණ දුප්පත් වීමේ අවදානමට ලක් වූ අත්‍යවශ්‍ය ජීවන වියදම දැරීමට අපහසු අඩු ආදායම් ලබන්නන් වසයෙන් සැලකේ.  ඒ අය අතරෙන් සැලකිය යුතු පිරිසක් අඩු ආදායම් ලබන රටවලින් පැමිණි සංක්‍රමණිකයෝ ය. 

ආර්ථික වර්ධනයට අතිරේකව ගෝලීය මට්ටමට සාපේක්ෂව දුප්පත්කම මුළුමනින් ම පාහේ තුරන් කර දැමීමට ස්වීඩනයට හැකි වූ ප්‍රධාන හේතුවක් නම් කාර්යක්ෂම බදු ක්‍රමයක් මඟින්  ධනය නැවත බෙදී යෑම තහවුරු කරන ඵලදායක සමාජ සුභසාධන ක්‍රමයක් ඇති කර ගැනීමට හැකිවීමයි. කාලාන්තරයක සිට පවත්වා ගෙන යන එම සුභසාධන ක්‍රමය මඟින් හැම රටවැසියෙකුට ම අවම ආදායමක් සහතික කර තිබේ. එය ස්වීඩනයේ සාමාන්‍ය වැටුපෙන් 60%-70% අතර ප්‍රමාණයකි.  එයට පවුලේ සෑම ළමයෙකු වෙනුවෙන් ම දෙමව්පියන්ට ලැබෙන බදු රහිත දීමනාවක් (තනි මවකට හෝ පියෙකුට ඒ සඳහා අමතර දීමනාවක් ද ලැබේ), හැම ළමයෙකු වෙනුවෙන් ම පළමු පාසල් වසර දක්වා දොළොස් මසක වැටුප් සහිත නිවාඩුවක් භුක්ති විඳීමට දෙමව්පියන්ට ඇති අයිතිය, අනුපූරක ගාස්තු යටතේ නිවසේ දී හෝ ආණ්ඩුවේ දිවා පහසුකම් මධ්‍යස්ථානයක දී හෝ ළමයින් රැක බලා ගැනීමේ වියදමෙන් කොටසක් ලබා ගැනීමේ අයිතිය. පෙර පාසල් සඳහා සහන ගාස්තු, එතෙක් ලැබුණු ආදායමෙන් 80%ක් පමණ රැකියා විරහිත රක්ෂණය යටතේ ලැබීමේ අයිතිය වැනි හිමිකම් අයත් වේ. ඒ හැර වයස 6-19 අතර සියලු දරුවන්ට නොමිලයේ අධ්‍යාපනය ලබා දේ. ඒ අනුව 2017 දී ස්වීඩනයේ පාසල් හැර යන වියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගෙන් 90% ක් ඇමෙරිකාවේ ශාස්ත්‍රාලයීය ඩිප්ලෝමාවට සමාන සුදුසුකම් සපුරා සිටියේ ය. මේ ක්‍රමය පවත්වා ගැනීම සඳහා ස්වීඩන රජය සැලකිය යුතු බදු ආදායමක් අය කරයි. ඇමෙරිකානු වැසියෙකු 10%ක ආදායම් බද්දක් ගෙවන විට ස්වීඩන රටවැසියෙක් ආදායමේ ප්‍රමාණය අනුව තම ආදායමෙන් 29%සිට 35% දක්වා ප්‍රමාණයක් ආදායම් බදු වශයෙන් ගෙවිය යුතුය.

2016දී රැස් කළ දත්තවලට අනුව ස්වීඩන ජනගහනයෙන් 1% කටත් වඩා අඩු සංඛ්‍යාවක් අත්‍යන්ත ද්‍රව්‍යයමය දරිද්‍රතාවෙන් (Severe Material Poverty) පෙළෙන බව වාර්තා විය. අත්‍යන්ත ද්‍රව්‍යයමය දරිද්‍රතාවෙන් පෙළන්නන් වශයෙන් එහි දී සලකන ලද්දේ පහත සඳහන් ශක්‍යතා හය අතරින් අවම වසයෙන් හතරක් වත් සාක්ෂාත් කර ගත නො හැකි වූ කුටුම්බවාසීනු යි[13].

  1. අනපේක්ෂිත වියදම් දරා ගැනීමට ඇති හැකියාව
  2. වසරකට වරක් වත් නිවසින් බැහැර සතියක නිවාඩුවක් ගත කිරීමේ වියදම දරා ගැනීමට ඇති හැකියාව
  3. දවසක් ඇර දවසක් වත් මස් හෝ මාලු සහිත ආහාරයක් ගැනීමේ හැකියාව.
  4. ශීත කාලයේ දී නිවස උණුසුම් කිරීමේ වියදම දරා ගැනීමේ හැකියාව
  5. රෙදි සෝදන යන්ත්‍රයක්, වර්ණ රූපවාහිනියක්, දුරකථනයක් හා වාහනයක් වැනි ප්‍රාග්ධන භාණ්ඩ සතු ව තිබීම
  6. ණය ගෙවීමේ හැකියාව (උකස්, කුලී, සේවා බිල්පත්, ගාස්තු, ණය වාරික ගෙවීම ද ඇතුළත් ව)

කෙසේ වෙතත් ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවිධානය දරිද්‍රතාව ලෙස සලකන්නේ දිනකට ඇමෙරිකානු ඩොලර් 1.90කට අඩු ( ආසන්න වසයෙන් රුපියල් 400/- ක්) ආදායමක් ලැබීමයි. මෙම ජාත්‍යන්තර දරිද්‍රතා රේඛාව ලෝකයේ අඩු ආදායම් මට්ටමේ රටවල් 15 ක දත්ත මත නිර්ණය කරන ලද්දකි.

එහෙත් ඉහළ ආදායම් මට්ටමේ ලා සලකන බොහෝ රටවල  දෛනික දරිද්‍රතා රේඛාව ද ස්වීඩනයේ මෙන් ම ඩොලර් 30 (රු. 6000/-) ක මට්ටමට පවතී. ඒ අනුව ඩොලර් 30 ක ට වඩා අඩු දෛනික ආදායමක් ඇති අය දුප්පතුන් වශයෙන් සැලකුවොත් වර්තමානයේ ලෝක ජනගහනයෙන් 85% ක් ම අයත් වන්නේ දුප්පතුන්ගේ ගණයට බව ආචාර්ය මැක්ස් රෝසර් පෙන්වා දෙයි[14].

ස්වීඩනයේ මෙන් දිනකට ඩොලර් 30 කට වැඩි ආදායමක් නො ලැබීම දරිද්‍රතාව ලෙස ආදේශ කර ගත හැකි තරම් ඉහළ ආර්ථික වර්ධනයක් හැම රටකට ම ඇති කර ගැනීමට නම් ගෝලීය ආර්ථික වර්ධනය අද මෙන් පස් ගුණයකින් පමණ වැඩි විය යුතු බව ආචාර්ය රෝසර් පවසයි. එහෙත් චක්‍රීය ක්‍රමවලට සංක්‍රමණය නොවී රේඛීය නිෂ්පාදන විධි ක්‍රම පවත්වා ගනිමින් පස් ගුණයක ආර්ථික වර්ධනයක් ලොව පුරා ඇති කර ගැනීමට තැත් කිරීම තුලින් තිරසාර සංවර්ධනයක් සහතික කළ නො හැකිය.  

තදනන්තර ව සංවර්ධනය යන්න නිශ්චිත අරමුණු සාක්ෂාත් කර ගැනීම මත  අර්ථකථනය කළ වෑයමක්  ලෙස 2000 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දුන් සහස්‍රක සංවර්ධන අරමුණු (Millennium Developments Goals) සැලකිය හැකි ය. මේ යටතේ නිශ්චිතව විසඳීම පිණිස සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන දිළිඳුකම ප්‍රමුඛ සංවර්ධන ගැටලු කිහිපයක් තෝරා ගන්නා ලදී. අනතුරු ව ඒවා කිනම් ප්‍රමාණයකට හෝ ආකාරයකට විසඳිය යුතු ද යන්න නිශ්චය වන අරමුණු සහ ඉලක්ක වසයෙන් නිරූපණය කොට එම ඉලක්කවල සාර්ථකත්වය විනිශ්චය කළ හැකි දර්ශක ද හඳුන්වා දෙනු ලැබීය.

එම සහස්‍රක සංවර්ධන අරමුණුවල පරමාර්ථය වූයේ අත්‍යන්ත දිළිඳුකම සහ සාගින්න පිටුදැකීම, සැමට ප්‍රාථමික අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානත්වය සහ ස්ත්‍රීන් සබල ගැන්වීම, ළමා සෞඛ්‍යය, මාතෘ සෞඛ්‍යය, ඒඩ්ස් පැතිරීම වැළැක්වීම, පාරිසරික තිරසාර භාවය සුරැකීම සහ සංවර්ධනය සඳහා නව ගෝලීය සහයෝගීතාව ගොඩනැගීම යන අට වැදෑරුම් මූලික අරමුණු වසර 15 ක කාලයක් ඇතුළත සපුරා ගැනීම යි. මේ එක් එක් අරමුණක් ඉලක්ක සහ දර්ශක වසයෙන් ඉදිරිපත් කිරීම සහස්‍රක සංවර්ධන අරමුණුවල විශේෂත්වය විය. උදාහරණයක් ලෙස  ස්ත්‍රී පුරුෂ සමානතාව සහ ස්ත්‍රීන් සබල ගැන්වීම යන අරමුණ යටතේ ඉලක්ක වසයෙන් සැලකුණේ වසර 2005 වන විට ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයට සහභාගී වීම සම්බන්ධ ඇති ස්ත්‍රී පුරුෂ අසමානතාව අහෝසි කිරීම සහ වසර 2015 වන විට සියලු මට්ටම්වල අධ්‍යාපනයේ ස්ත්‍රී පුරුෂ සමාන සහභාගිත්වයක් ඇති ව තිබීම යි. මේ පොදු ඉලක්කයේ දර්ශක වසයෙන් සලකන ලද්දේ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේ ගැහැණු හා පිරිමි දරුවන් අතර ඇති අනුපාතිකය, වයස 15-24 දක්වා අයගේ සාක්ෂරතාවය සම්බන්ධයෙන් ස්ත්‍රීන් හා පුරුෂයන් අතර ඇති අනුපාතිකය, කෘෂිකාර්මික නො වන අංශවල වැටුප් සහිත රැකියාවල නියුක්ත ව ඇති ස්ත්‍රීන්ගේ ප්‍රතිශතය සහ පාර්ලිමේන්තුව තුළ ස්ත්‍රීන් විසින් නියෝජනය කරනු ලබන ආසන ප්‍රමාණයේ ප්‍රතිශතයයි. එසේ ප්‍රගතිය ප්‍රමාණාත්මක ලෙස නිරූපණය කළ යුතු බව ඉල්ලා සිටීම සහස්‍රක සංවර්ධන අරමුණුවල විශේෂත්වයක් විය.

අත්‍යන්ත දිළිඳුකම අඩකින් අඩු කිරීම ඉලක්ක කරගත් සහස්‍රක සංවර්ධන අරමුණු මඟින් දිළිඳුකම නිර්වචනය කළේ දිනකට ඩොලර්1.25 ට අඩුවෙන් උපයන අය දිළින්දන් වසයෙන් සලකමිනි. ආදායමින් දිළින්දන් වන අය හැරෙන විට වෙනත් සමාජ විෂමතා නිසා දිළින්දන් වන අය ගැන සැලකිල්ලක් දැක්වීමට එම අර්ථකථනය තුළ අවකාශ නොවීය. ඒ අනුව දියුණු රටවල සමාජ විෂමතාව නිසා ඇතිවෙන සාපේක්ෂ දිළිඳුකම ආමන්ත්‍රණය කිරීමක් සහස්‍රක සංවර්ධන අරමුණු තුළින් ඉටු නො වී ය. අනික් අතට සහස්‍රක අරමුණු සංකල්ප ගත වුණේ ම දියුණු රටවල් නො දියුණු රටවලට ආධාර කිරීම යන සාම්ප්‍රදායික අනුග්‍රාහක සංකල්පයට අනුව ය. 

කෙසේ වෙතත් සහස්‍රක සංවර්ධන අරමුණු පිළිබඳ පුළුල් දේශපාලනික සාකච්ඡාවක් තම තමන්ගේ රටවල් තුළ ඇති කිරීමට ආණ්ඩු බලය දරන හෝ බලය අත්පත් කර ගැනීම අරමුණු කරගත් දේශපාලන පක්ෂ කණ්ඩායම් මෙන් ම රාජ්‍ය නො වන සංවිධාන ද එතරම් උනන්දු නො වී ය. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ ස්ත්‍රීන්ගේ ආසන සංඛ්‍යාව වැඩි වීම සහස්‍රක සංවර්ධන අරමුණුවලින් ඉල්ලා සිටි දර්ශකයක් බව බොහෝ ඡන්ද දායකයෝ නො දනිති. ජනවාර්ගික හා ආගමික පක්ෂපාතකම් මත අධිපතිවාදී දේශපාලන ව්‍යාපෘති පවත්වා ගෙන ගිය ලංකාව වැනි ඇතැම් රටවල් මානව අයිතිවාසිකම් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳ දැක්වූ නුරුස්සන ආකල්පය ද සහස්‍රක සංවර්ධන අරමුණු පිළිබඳ ප්‍රමාණවත් දේශපාලන සාකච්ඡාවක් ජනගත වීම වැළැක්වීමට හේතු වූවා විය හැකි ය.

2015 වන විට ඇතැම් සහස්‍රක සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳ කිසියම් ප්‍රගතියක් අත්පත් කර ගෙන තිබුණි. උදාහරණයක් ලෙස  1990 දී ලොව පුරා අත්‍යන්ත දිළිඳුකමින් පෙළුණු ජනගහනය බිලියන 1.9ක් වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව 2015 වන විට එය මිලියන 836 දක්වා අඩු ව තිබුණි.  එහෙත් අනෙකුත් ඇතැම් අරමුණු බලාපොරොත්තු වූ ආකාරයෙන් ම සාක්ෂාත් කර ගැනීමට නො හැකි විය.[15]ඒ බව දිගින් දිගට ම පවතින ස්ත්‍රී පුරුෂ අසමානතාව, පොහොසතුන් හ දුප්පතුන් අතර ආදායම් පරතරය අතිශයින් වැඩි වීම, නාගරික හා ග්‍රාමීය ප්‍රදේශ අතර පහසුකම් විෂමතාව, අධ්‍යාපන අවස්ථාවල හා ගුණාත්මක බව පිළිබඳ විෂමතාව, ගෝලීය උණුසුම ඉහළ යෑම නිසා ඇතිවෙන ව්‍යසන හා දේශගුණික වෙනස් වීම්, පරිසර ගැට‍ලු හා මානව සංවර්ධනයට එරෙහි වන විවිධ ගැටුම් යනාදියෙන් පැහැදිලි වේ. මෙකී සෘණ විපාකවලට බොහෝ දුරට හේතු වූයේ සාම්ප්‍රදායික ආර්ථික වර්ධන වේගය ඉස් මුදුනේ තබා ගත් දේශපාලන ආර්ථික චින්තනය යි. දේශපාලනික වසයෙන් සහස්‍රක සංවර්ධන අරමුණු සියල්ල ඒකාග්‍ර ලෙස ප්‍රක්ෂේපණය කර ගැනීමට හැකි ක්‍රමවේදයක් ද එම වැඩ පිළිවෙළ තුළ නො තිබිණි. සමස්තයක් ලෙස ගත් විට සහස්‍රක සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම අධිපතිවාදී ආර්ථික චින්තනය තුළ සංවේදී දේශපාලන කරුණක් බවට පත් නො වීම බලාපොරොත්තු විය යුත්තකි. 

ඒ හැර රටවල ආභ්‍යන්තරික විෂමතා ද, විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ අවගමනය ද  මේ අසමබර වර්ධනයට හේතු විය. ගෝලීය බල දේශපාලනය මෙන් ම  රටවල් අතර පැවති විෂමතාව ද ඊට බෙහෙවින් බලපෑවේ ය. උදාහරණයක් ලෙස සහරා උප කලාපයට අයත් රටවල් මූලික අවශ්‍යතා සපුරා ගැනීම ආසියාතික හා ලතින් ඇමෙරිකානු රටවලට වඩා සෑහෙන පහළ මට්ටමක පැවතුණි. තෙවැනි ව සහස්‍රක සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට එකඟ වූ පහළොස් අවුරුද්ද තුළ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ පර්යාලෝකය ද සැලකිය යුතු ලෙස වෙනස් වී තිබුණි. උදාහරණයක් ලෙස පෘථිවි පරිසරයට දැඩි පීඩනයක් එල්ල වී තිබූ බැවින් පරිසර සංරක්ෂණය පිළිබඳ අවශ්‍යතාව ඉස්මතු වෙමින් තිබූ අතර කෙමෙන් උග්‍ර වෙමින් තිබූ බලශක්ති සහ ජල පරිභෝජන අවශ්‍යතා විසඳීමට වැඩි ප්‍රමුඛත්වයක් දීමට සිදුවිය. අනික් අතට සහස්‍රක සංවර්ධන අරමුණු තුළ දේශපාලනය යුක්ති සහගත කිරීමට හා ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්වය පුළුල් කිරීමට තුඩු දෙන සෘජු අරමුණු අඩංගු වී නො තිබිණි. සංවර්ධනය සඳහා ගෝලීය සහයෝගිතාව ගොඩ නැගීම වැනි අරමුණු කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු නො වූ අතර නවලිබරල්වාදී  ආකල්පය විසින් උත්කර්ෂණයට නංවන ලද තරඟකාරී ගෝලීය වෙළඳපොළ හා සංවර්ධනයේ දර්ශකය ලෙස දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යෑම ගැන අවධාරණය කිරීම ගෝලීය සහයෝගිතාවට ආදේශයක් වසයෙන් යොදා ගැණිනි. [16]

අත්‍යන්ත දිළිඳු බව අවම කිරීම වැනි ඇතැම් අරමුණු සම්බන්ධයෙන් සමහර රටවල් සතුටුදායක ප්‍රතිඵල ලබා තිබුණ ද පොදුවේ ගත් විට සහස්‍රක සංවර්ධන අරමුණු අනුව කටයුතු කිරීම සහ ඒ මඟින් ඉලක්ක කරගත් සැබෑ ප්‍රතිඵල සම්බන්ධ ව තිබුණේ සංශයවාදී ආකල්පයකි. වසර 2000 දී  සහස්‍රක සංවර්ධන ඉලක්ක ප්‍රකාශයට පත් කළ පසු ඒ මඟින් දී තිබූ ඉලක්ක අත්පත් කර ගැනීම ගැන සංඛ්‍යානමය වසයෙන් වැදගත් තොරතුරු නොමැති බව ෆ්‍රීඩ්මන්ඩ් විසින් කරන ලද අධ්‍යනයකින් යෝජනා කළේ ය.[17] විලියම් ඉස්ටර්ලි වැනි ඇතැම් විචාරකයින්ගේ විවේචනවලට අනුව සහස්‍රක සංවර්ධන අරමුණු මඟින් ප්‍රවර්ධනය කරන ලද සංවර්ධනය පිළිබඳව ආකල්පය වැරදි එකකි. ඒ සංවර්ධනය යනු තාක්ෂණික, අනුග්‍රාහක ආධාර මත ඉටු වන දෙයක් ලෙස සලකමින් සහස්‍රක සංවර්ධන අරමුණු ඉන්ද්‍රජාලික ව දේශපාලනයෙන් වියුක්ත කර තිබූ බැවිනි. සංවර්ධනය යනු බටහිරෙන් එන ගැලවුම්කරුවන් පිළිබඳ බලාපොරොත්තුවක් නො ව දේශපාලන නිදහස පුළුල් කර ගැනීමට ස්වදේශිකයන් ගන්නා උත්සාහය තුළින් ජනිත වන්නකි.[18] තවත් බොහෝ විචාරකයෝ තෝරා ගත් සහස්‍රක සංවර්ධන අරමුණුවලින් නවලිබරල්වාදී වටිනාකම් ප්‍රතික්ෂේප නො කළ බව පෙන්වා දුන්හ. උදාහරණයක් ලෙස යාන් වැන්ඩර්මූටල් පෙන්වා දුන් පරිදි “සහස්‍රක සංවර්ධන අරමුණු නවලිබරල්වාදී න්‍යාය පත්‍රය වෙනුවෙන් සංවර්ධනයේ සමාජමය මාන (social dimensions) නො සලකා හැරී ය. සහස්‍රක සංවර්ධන අරමුණුවලට ආදායම් දරිද්‍රතාව ඉක්මවා මානව දරිද්‍රතාවේ බහුවිධ ස්වභාවයට සහ පටු වර්ධන සුසමාදර්ශයක සිට පුළුල් මානව කේන්ද්‍රීය තිරසාර යහජිවනයක් පිළිබඳ දැක්මකට අවධානය යොමු කිරීමට නො හැකි විය. ඒ නිසා සංවර්ධනය පිළිබඳ සාම්ප්‍රදායික ආඛ්‍යානය ගොඩ නැගීම පිණිස වියුක්ත මූල්‍ය කේන්ද්‍රීය දැක්මක් සහස්‍රක සංවර්ධන අරමුණු සඳහා අයුතු ලෙස යොදා ගැනිණි.”[19]

සාමාජික රටවල් ඒ තරම් උනන්දුවක් නො දැක්වුව ද සහස්‍රක සංවර්ධන අරමුණු හඳුන්වා දුන් අවධියේ දී ම එනම් 1999 දී ආර්ථික විද්‍යාඥයෙකු වූ නොබෙල් ත්‍යාගලාභී අමාත්‍ය සෙන්ගේ Development as Freedoms (1999)යන කෘතියෙන් පැහැදිලි කළ ශක්‍යතා එළඹුම (Capability Approach) වැනි සංකල්ප ද  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයින්ගේ අවධානයට යොමු වී තිබුණි. අමාත්‍ය සෙන්ගේ ශක්‍යතා එළඹුමට අනුව සාම්ප්‍රදායික දළ දේශීය නිෂ්පාදිතයේ වැඩිවන වර්ධනය, තාක්ෂණික දියුණුව හෝ කාර්මිකකරණයට වඩා මානව සංවර්ධනය යන්නෙන් අදහස් වන්නේ “අපට අගය කිරීමට හේතු ඇති ආකාරයේ ජීවිත ගත කිරීමට ඇති හැකියාවයි”[20]. එහි දී සෙන්ගේ අවධානය යොමු වන්නේ පුද්ගලයන්ගේ ශක්‍යතා, වගකීම් සහ අවස්ථා ඇතුළත් ව පුද්ගලයාගේ කාරකත්වය (Agency) හෙවත් ස්වතන්ත්‍ර ව ක්‍රියා කිරීමට හා තෝරා ගැනීම් කිරීමට පුද්ගලයාට ඇති හැකියාව සහ පුද්ගල විචාර බුද්ධිය වර්ධනය කිරීමයි. සෙන්ට අනුව මනුෂ්‍යයන්ගේ ශක්‍යතා වර්ධනය කිරීම හොඳ දෙයක් වන්නේ එමඟින් ඔවුන්ගේ තෝරා ගැනීමේ හැකියාව, යහජීවනය සහ නිදහස පුළුල් වන නිසාත්, සමාජය වෙනස් කිරීම සහ ආර්ථික නිෂ්පාදනය සම්බන්ධයෙන් බලපෑම් කිරීමේ භූමිකාව සවිබල ගැන්වෙන නිසාත් ය.

ශක්‍යතා එළඹුම හඳුන්වා දෙමින් සමානාත්මතාව ඇගයුමට ලක් කිරීමේ ලා පුද්ගලයන්ගේ  ‘ශක්‍යතාව”(Capability) මූලික සාධකයක් ලෙස පෙන්වා  දීම සංවර්ධනය පිළිබඳ කතිකාවට අමාර්ත්‍ය සෙන් ලබා දුන් කේන්ද්‍රීය දායකත්වය ලෙස සැලකිය හැකිය.

ශක්‍යතා එළඹුම (Capability Approach)  හඳුන්වා දීමේ ලා නොබෙල් ත්‍යාගලාභි ආර්ථික විද්‍යාඥ අමාර්ත්‍ය සෙන් සමඟ පුරෝගාමී වූ ප්‍රකට විද්‍යාර්ථීයෙකු වූයේ වර්තමානයේ චිකාගෝ සරසවියේ නීතිය හා ආචාරධර්ම පිළිබඳ මහාචාර්යවරියක ලෙස සේවය කරන ආචාර්ය මාර්තා සී නුස්බවුම් ය. ශක්‍යතා එළඹුම සහ මානව අයිතිවාසිකම් අතර ඇති සහසම්බන්ධය විස්තර කරමින්   අයිතිවාසිකම් පිළිබඳ භාෂාව වෙනුවට ශක්‍යතා පිළිබඳ භාෂාව යොදා ගැනීමේ අවශ්‍යතාව නුස්බවුම් මෙසේ පැහැදිලි කරයි: 

“මා කල්පනා කරන අන්දමට ශක්‍යතා ඉතා සමීප ලෙස අයිතිවාසිකම්වලට සම්බන්ධ වේ. එහෙත් ශක්‍යතා පිළිබඳ භාෂාව අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීම ගැන අයිතිවාසිකම් පිළිබඳ භාෂාවට දැනට වඩා වැදගත් හා නිශ්චිත පැහැදිලි කිරීමක් එකතු කරයි. මානව අයිතිවාසිකම් යනු සුපැහැදිලි අදහසක් ම නො වේ. අයිතිවාසිකම් යන්න විවිධාකාරයෙන් තේරුම් ගෙන තිබේ. එමෙන් ම අයිතිවාසිකම් පිළිබඳ භාෂාව මඟින් ඇතිවෙන අසීරු න්‍යායික ප්‍රශ්න නිසා ඇතැම් විට ඒවායේ තේරුම විකෘත වෙයි. එනිසා ගැඹුරු දාර්ශනික වෙනස්කම් පවතිද්දී වුවද අයිතිවාසිකම් පිළිබඳ එකඟත්වයක් ඇති බවට වැරදි හැඟීමක් ඇති විය හැකි ය.”[21]

ජනතාවට මූලික අයිතිවාසිකම්  සාක්ෂාත් කර දීම යනු එම අයිතීන් භුක්ති විඳීම සඳහා ජනතාවට අවශ්‍ය ශක්‍යතා ලබා දීම යි. දේශපාලන සහභාගිත්වය සඳහා අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුළු අයිතීන් මහජනතාවට සාක්ෂාත් කර ගැනීමට හැකි වන්නේ ඒවායේ නිරත වීමට අවශ්‍ය ශක්‍යතා හිමිකර ගෙන ඇත්නම් පමණි. අමාර්ත්‍ය සෙන් සඳහන් කළ අන්දමට ශක්‍යතා ඇති කර ගැනීමේ හැකියාව සංවර්ධනය ලෙස සැලකුව හොත් සජ්ජන සමාජයක පොහොසත් සාමාජික ජීවිතයකට  අවශ්‍ය කරන ශක්‍යතා කෙබඳු විය හැකි ද යන්න පිළිබඳව විමසා බැලීමෙන් ‘ශක්‍යතාවලින් පොහොසත් වීම’ යන්න තේරුම් කිරීමට අපහසු නැත.

එනිසා මානව අයිතිවාසිකම් පිළිබඳ හුදු ලිබරල් මතයට වඩා අමාර්ත්‍ය සෙන් පෙන්වා දුන් ශක්‍යතා එළඹුම මත අයිතිවාසිකම් තහවුරු කිරීම වඩා සාධනීය බව නුස්බවුම් පෙන්වා දෙයි. එසේ කිරීමේ දී අප වඩා අවධාරණය කරන්නේ සැමට අයිතිවාසිකම් තහවුරු කිරීම සහ ඒ සඳහා ආයතනික සහයෝගය සහතික කිරීමයි. ලිබරල් හා විශේෂයෙන්ම නව ලිබරල් මතයට අනුව නම් කළ යුත්තේ  පුද්ගල අයිතිවාසිකම් සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත් වීම් වැළැක්වීම නමුත් ශක්‍යතා එලඹුම අනුව අයිතිවාසිකම් භුක්ති විඳීම පිණිස ශක්‍යතා වර්ධනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍යයට සාධනීය කාර්යභාරයක් තිබේ. උදාහරණයක් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ව්‍යවස්ථාවෙන් සහතික කර තිබුනත් මාධ්‍ය අයිතිය සංකේන්ද්‍රණය වීම වැළැක්වීම ප්‍රමුඛ බහුවිධ මාධ්‍ය වාතාවරණයක් දිරි ගන්වන විධි විධාන ස්වාධීන  නියාමනයක් මඟින් ඇති කර ගැනීමට නො හැකි නම් මහජනතාවට එම අයිතිය පරිපූර්ණව භුක්ති විඳීමට අවශ්‍ය කරන ශක්‍යතා බිහි නො වීමට ඉඩ තිබේ.  

ශක්‍යතා එළඹුම යනු මූලික ව අයිතිවාසිකම් පදනම් කරගත් එළඹුමකි. කොටින් ම ශක්‍යතා (capabilities) නො මැති ව අයිතිවාසිකම් භුක්ති විඳිය නො හැකිය. පුද්ගල යහපැවැත්ම ඇගයීමට, ප්‍රතිපත්ති සම්පාදනයට, සමාජ වෙනස්කම් යෝජනා කිරීමට සහ සමාජ වැඩපිළිවෙළවල් ඇගයීමට බොහෝ අය ශක්‍යතා එළඹුම යොදා ගෙන තිබේ. ශක්‍යතා එළඹුම මඟින් විමසනු ලබන මුලික ප්‍රශ්න දෙක වන්නේ “මිනිසුන්ට ඇත්තටම කළ හැකි කුමක් ද ? සහ මිනිසුන්ට කිනම් ආකාරයක අය විය හැකි ද ?”[22]යන්නයි. මෙම ප්‍රශ්නය ශක්‍යතා එළඹුමේ ඇති මාන දෙක එනම් කෘත්‍යයන් (functionings) හා හැකියා (abilities)  පිළිබිඹු කරයි. මෙහි දී කෘත්‍යයන් යනු ‘පැවතුම් සහ කෙරුම්’ ( beings and doings) ය. මිනිසුන්ට පත් වීමට  හැකි තත්ව සහ මිනිසුන්ට කළ හැකි දේවල් ලෙස ද එය හැදින්විය හැකිය. පැවතුම්වලට උදාහරණ ලෙස බෙහෙවින් පෝෂ්‍යජනක ව විසීම ද අතිශයින් සංතාපයට පත් ව සිටීම ද නිවහනක් ඇතිව විසීම ද අසනීපයෙන් සිටීම ද උදාහරණ ලෙස ගත හැකිය. කෙරුම් යන්නෙන් අදහස් වන්නේ සංචාරය කිරීම, ඡන්දය භාවිතා කිරීම,  ආහාර ගැනීම වැනි විවිධ ක්‍රියා ය. ශක්‍යතා යනු මෙවැනි කෘත්‍යයන් ඉටු කර ගැනීම සඳහා කෙනෙකුට තිබිය යුතු  නියම නිදහස, අවකාශ සහ හැකියා ලෙස සැලකිය හැකිය. උදාහරණයක් ලෙස පෝෂ්‍යජනක ව විසීම කෘත්‍යයක් වන නමුත් එයට අදාළ වන ශක්‍යතාව වන්නේ ප්‍රමාණවත් තරම් පෝෂ්‍යජනක ආහාර පරිභෝජනය කිරීමට තිබෙන හැකියාවයි. මෙම ශක්‍යතා ඇත්ත වශයෙන් ම අත්පත් කර ගැනීමට හැකි විය යුතු තත්‍ය ඒවා මිස හුදෙක් නීතියෙන් හෝ සම්මුතියකින් පමණක් මිනිසුන්ට හිමි වන ඒවා නොවේ. ඒ අර්ථයෙන් ශක්‍යතා එළඹුම යනු  හුදෙක් අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීම  ඉක්මවා යන්නකි.

ලිබරල් මතවාදයට අනුව සාමාන්‍යයෙන් අයිතීන්, විශේෂයෙන් සිවිල් හා දේශපාලන අයිතීන් තේරුම් ගනු ලබන්නේ රජයේ මැදිහත්වීම්වලින් මුක්ත වූ ඒවා ලෙසයි. ඒ අනුව රජය මැදිහත් නො වන තාක් දුරට  එකී අයිතිවාසිකම් තහවුරු වූවා ලෙස සැලකේ. ඒ නිසා එකී මතයට අනුව වරක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පිළිගත් පසු ඒවා තහවුරු කිරීම හෝ සියල්ලන්ට ම භුක්ති විඳීමට හැකිවීම සම්බන්ධයෙන් රජයේ විශේෂ මැදිහත් වීමක් අපේක්ෂා නො කරයි. ඇමෙරිකානු ව්‍යවස්ථාවේ සඳහන් “කිසිදු ප්‍රාන්ත රාජ්‍යයක් එක්සත් ජනපදයේ පුරවැසියෙකු සතු වරප්‍රසාද හා විනිර්මුක්තිය සීමා කරන නීතියක් පැනවිය නො යුතු ය, නීත්‍යනුකූල ව හැරෙන විට කිසිවකුගේ ජීවිතය, නිදහස හෝ දේපළ අහිමි  කිරීමට කටයුතු නො කළ යුතු ය, කිසිවෙකු නීතිය ඉදිරියේ සමානයන් ලෙස සැලකීමෙන් වැළැක්වීමට කටයුතු නො කළ යුතුය” වැනි නො කිරීම පෙරදැරි කරගත් ව්‍යවස්ථා බස් වහර එයට උදාහරණයකට ගත හැකි ය. එමඟින් රජයක් විසින් නො කළ යුතු දේවල් නිෂේධිතව (negatively) සඳහන් කිරීමෙන් තත් අයිතිවාසිකම් තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ. මෙසේ රජයේ මැදිහත් වීම  නිෂේධනය කිරීමෙන් පුද්ගලික නිදහස තහවුරු කිරීමට තැත් කිරීම රාජ්‍ය නිර්බාධක නිදහස් වෙළඳපොළක් ගැන  නව ලිබරල්වාදීන්ගේ  අදහස හා බොහෝ දුරට සමපාත වේ.

“සාමකාමී ව රැස්වීමට ඇති අයිතිය අවහිර කිරීමට කොන්ග්‍රස් සභාව  නීති නො පැනවිය යුතු ය” යනුවෙන් ඇමරිකානු ව්‍යවස්ථාවේ ප්‍රථම සංශෝධනයෙන් තේරුම් ගැනීමට සිදුවීම එසේ නිෂේධාත්මක (negative) යෙදුම් මඟින් අයිතීන් තහවුරු කිරීමට තැත් කිරීම පිළිබඳ තවත් පැහැදිලි  උදාහරණයකි. එහෙත් ඊට වෙනස්ව ඉන්දියානු ව්‍යවස්ථාව එම අයිතිය තහවුරු කරන්නේ නිශේධනාත්මක ව්‍යවහාරයකින් නො ව සාධනීය ව්‍යවහාරයකිනි. ඉන්දියානු ව්‍යවස්ථාවේ 19 වෙනි ඡේදයේ ඒ බව මෙසේ සඳහන් වේ. “සියලු රටවැසියන්ට භාෂණයට සහ ප්‍රකාශනයට; නිරායුධ ව සාමකාමී ලෙස රැස්වීමට; සමාගම් සහ වෘත්තීය සමිති පිහිටුවීමට….. අයිතිය ඇත….”

රජය හැරෙන විට අයිතිවාසිකම් සම්බන්ධයෙන් වෙළඳපොළ, පුද්ගලික ආයතන, බල කණ්ඩායම් සහ වෙනත් රාජ්‍ය නො වන අංශ විසින් යොදා ගත හැකි නිෂේධනාත්මක ක්‍රියාකාරකම් ගැන ලිබරල් සම්ප්‍රදාය මුළුමනින් නිහඬ ය. උදාහරණයක් ලෙස ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14.1.(ඇ) වගන්තිය ට අනුව “වෘත්තීය සමිති පිහිටුවීමේ හා වෘත්තීය සමිතියකට බැඳීමේ නිදහස” මූලික අයිතිවාසිකමකි. එහෙත් බොහෝ පුද්ගලික සමාගම් විවිධ උපක්‍රම යොදා වෘත්තීය සමිති පිහිටුවීම අධෛර්යමත් කිරීමට කටයුතු කරන බව නො රහසකි.  ඉන්දීය ව්‍යවස්ථාවේ අයිතිවාසිකම් බස් වහර අනුව රාජ්‍ය නො වන ක්‍රියාකාරීන් විසින් කරනු ලබන අවහිරකම් ද අයිතීන් උල්ලංඝනයේ ලා  සැලකෙන බව නුස්බවුම් පෙන්වා දෙයි.[23] ඒ හැර රටවැසියන්ගේ ශක්‍යතා ගොඩ නැගීම පිණිස සාධනීය රාජ්‍ය මැදිහත්වීම්වලට ඉඩ සලසන වැදගත්  ප්‍රතිපාදන ඉන්දියානු ව්‍යවස්ථාවේ විශේෂයෙන් දක්නට ලැබේ. විශේෂයෙන් කුලයෙන් පහත් යැයි ගැනෙන ආන්තික සමාජ කොටස්වලට සහ ස්ත්‍රීන්ගේ හැකියා වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළවල් හඳුන්වා දීම ඉන්දියානු රජයේ ව්‍යවස්ථාපිත වගකීමක් වීම ඊට එක් උදාහරණයකි.

මානව අයිතිවාසිකම්වලට පදනම් වන හේතු සම්බන්ධයෙන් මිනිසුන් අතර වෙනස් මත පැවතිය හැකි ය. ඒ අතර තර්ක බුද්ධිය, සංවේදනා, ඓතිහාසික සංසිද්ධි හෝ හුදෙක් ජීවිතය නිසාම ඇතිවෙන අයිතිය ආදි හේතු මත අයිතිවාසිකම් සාධාරණීකරණය කිරීමේ වෑයම් දැක ගත හැකි ය. අයිතිවාසිකම් යනු පූර්ව දේශපාලන අවදියේ සිට පැවතුණි ද නො එසේ නම් නීතිමය සහ ආයතනික විධිවිධාන මඟින් පිහිට වූ ඒවා ද  වැනි ප්‍රශ්න ද ඒ අතර වේ. අයිතිවාසිකම් යනු පුද්ගලිකව අයත් වන දේවල් ද නැතහොත් සාමූහික ව අයත් වන ඒවා දැ යි තවත් අය ප්‍රශ්න කරති. ධනවාදයට පදනම් වූ ස්වාමිත්වකාමි පුද්ගල අයිතිය සහ පුද්ගල ස්වතන්ත්‍රබාවය මුල් කරගත් මානව අයිතීන් අතර ඇති  වෙනස වටහා ගැනීමට ඇතමුන්ට නො හැකිය. ඒ නිසාම ඔවුන් මානව අයිතීන් සාමූහික අයිතීන් වලට එරෙහිව ස්ථාන ගත කිරීමට පෙලඹෙති. ඒ හැර අරමුණු කරා යන ගමනේ දී අයිතිවාසිකම් යනු බාධකයක් ද නැතහොත් අරමුණුවල ම ඒකාග්‍ර කොටසක් ලෙස සැලැකිය යුතු ඒවා ද යන්න තවත් අය නගන ප්‍රශ්නයකි, අයිතිවාසිකම් සහ යුතුකම් අතර ඇති සම්බන්ධතාව ගැන විවිධ අදහස් දරන්නෝ ද වෙති. විවිධ අයිතීන් අතරින් තමන්ට පුද්ගලිකව ලබා දිය යුතු අයිතීන් මොනවාද හෝ ඒවා ලැබීමට නියමිත කුමන තත්වයන් යටතේ ද? අයිතිවාසිකම් මඟින් සම්පත් සඳහා ඇති අයිතිය තහවුරු කරයි ද ආදී එවැනි කොතෙකුත් ප්‍රශ්න නැගිය හැකිය.

මෙවැනි මතභේදකාරී ප්‍රශ්න සම්බන්ධයෙන් පැහැදිලි ස්ථාවරයක් ඉදිරිපත් කළ හැකි බැවින් සහ අභිප්‍රේරණීය අවශ්‍යතා සහ අරමුණු නිශ්චිතව සඳහන් කරන බැවින් අයිතිවාසිකම් වෙනුවට ශක්‍යතා එළඹුම මඟින් සංවර්ධන දර්ශක සකස් කර ගැනීම වඩා සුදුසු බව ආචාර්ය මාර්තා සී නුස්බවුම් පෙන්වා දෙයි.

හැකියාව යන්න එහි දී යෙදුණේ තමන් විසින් කළ යුතු යැයි මිනිසුන් අගය කරන ශක්‍යතා තෝරා ගැනීමේ කාරකත්වයට යි (agency).මේ කාරකත්වය යන්න අසමානතාව තේරුම් ගැනීමේ ලා සෙන් විසින් එක් කරන ලද වැදගත් මූලික සාධකයකි. කෙසේ වෙතත් සන්දර්භය අනුව අදාළ කාරකත්වය කුමක් විය යුතු ද යන්න සම්බන්ධයෙන් සමාජය විසින් කරනු ලබන පොදු ඇගයීමක් තිබිය යුතු බව සෙන් පවසයි . මන්ද අන් අයට අනතුරු කිරීම වැනි දේවල් එකී කාරකත්වයේ ලා සැලකිය නො හැකි බැවිනි. ඒ ඒ සන්දර්භයට විශේෂිත වූ ශක්‍යතා ලැයිස්තු ගත කිරීමේ සාධකයක් ලෙස ද කාරකත්වය නමැති සංකල්පය සෙන් සලකයි. එහෙත් එවැනි ශක්‍යතා ලැයිස්තු ගත කළ යුත්තේ පුළුල්  ජන සමාජයේ සංවාදශීලී සාකච්ඡාවකින් සහ හේතු යුක්ති විමර්ශනයකින් අනතුරුව සන්දර්භයට අනුව බව ද ඔහු සඳහන් කරයි.

සිය ශක්‍යතා එළඹුම හඳුන්වා දීමේ දී විශ්ලේෂණ ඒකකය වශයෙන් පුද්ගලයා කෙරෙහි වැඩි අවධානය යොමු කිරීම ගැන ඇතැම්හු සෙන් විවේචනය කළහ. එහෙත් ඒ විවේචනය වැරදි වැටහීමක් නිසා ඇතිවෙන දෙයක් බව පෙන්වා දෙමින් ආචාර්ය ඉන්ග්‍රිඩ් රොබේන්ස්  මෙසේ පවසයි. “තනි පුද්ගලයන් ලෙස ඇගයීමට ලක් වීම සහ  සත්භාවීය පුද්ගලත්වභාවය (ontological individualism) යනු දෙකකි. සත්භාවීය පුද්ගලත්වභාවයට අනුව මිනිස් සමාජය යනු සියලු පුද්ගලයන් සහ එම පුද්ගලයන්ගේ ගුණාංගවල එකතුවකි. (සමාජය යනු පුද්ගලයන් හැර වෙන කිසිවක් නො වේ) එබැවින් විවරණාත්මක පුද්ගලභාවය (Evaluative individualism) යන්න හැම සමාජ ප්‍රපංචයක් ම දෙස බලන්නේ පුද්ගලයන් සහ එම පුද්ගලයන්ගේ ගුණාංග වශයෙනි. (සමාජයක හැම දෙයක් ම සිදුවන්නේ මනුෂ්‍ය ක්‍රියා නිසාය) විවරණාත්මක පුද්ගලභාවය මුළුමනින් ම අවධානය යොමු කරන්නේ පුද්ගලයා ගැන ය. මන්ද විස්තර කිරීමට සහ විශ්ලේශණය කිරීමට හැකි යමක් පවතින්නේ එවිට බැවිණි.”[24]

මෙකී අදහස තේරුම් ගැනීම ඉතා වැදගත් වන්නේ මානව අයිතිවාසිකම් වැනි සංකල්ප  හුදෙක් ලිබරල් පුද්ගල වාදයට ලඝු කර පහසුවෙන් ම නො තකා හැරීමට ඇතමුන් පුරුදු වී සිටින බැවිනි. සංවර්ධනය යනුවෙන් අප හැඳින්විය යුත්තේ ජෙරමි බෙන්තම්ගේ උපයෝගිතාවාදයට (utilitarianism) අනුකූල ව වැඩිම පුද්ගල සංඛ්‍යාවකට වැඩි සතුට ලබා දීමට සැලසීම  නො ව කිසිවෙකුත් අත නො හැර සමාජය තුළ ජීවත් වන හැම පුද්ගලයා ම එකිනෙකට වෙනස් අනන්‍ය වූ පුද්ගලයන් බව සලකමින් සැබෑ ශක්‍යතා අත්පත් කර ගැනීමට අවශ්‍ය සාධාරණ අවස්ථා සැමට ඇති කර දීමයි. සද්ජන සමාජයක් ගොඩ නැගීය හැක්කේ කරුණා, මෙත්තා, මුදිතා, උපේක්ඛා සහ අහිංසා යන ශික්ෂා මත පිහිටා කටයුතු කිරීමට හැකි වන ලෙස තමන්ට අනන්‍ය වූ  ශක්‍යතා වගා කර ගැනීමට සමාජයේ හැම පුද්ගලයෙකුට ම හැකි වන පමණට ය. සද්ජන සමාජය සැදෙන්නේ තනි පුද්ගල ශක්‍යතාවල එකතුවකිනි.

න්‍යායක් වශයෙන් සලකන විට  ශක්‍යතා එළඹුම කිසියම් පොදු ශක්‍යතා ලැයිස්තුවක් පිළියෙළ කිරීමට යොදා ගැනීම සෙන් උනන්දුවක් නො දැක්වීය . ඒ වෙනුවට ඔහු වැඩි වැදගත්කමක් දෙන්නේ අදාළ ශක්‍යතාව තෝරා ගැනීමේ විධික්‍රමය, තෝරා ගැනීම සාධාරණීකරණය කිරීමට ඇති නිදහස සහ පුද්ගල කාරකත්වයට  යි.  සෙන් පෙන්වා දෙන පරිදි එවැනි ශක්‍යතා ලැයිස්තුවක් පිළියෙළ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී කටයුත්තක් විය යුතුය. ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ශක්‍යතා එළඹුම යොදා ගන්නේ නම් එම ප්‍රතිපත්ති සඳහා වැදගත් වන ශක්‍යතා මොනවාද යන්න තීරණය කළ යුත්තේ ප්‍රතිපත්තියේ  බලපෑමට ලක් වන ජනතාව විසිනි. මේ අනුව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී අවශ්‍ය ශක්‍යතා හඳුනා ගැනීම සහ වර්ධනය කර ගැනීම පිළිබඳ බිම් මට්ටමේ තීන්දු ගැනීම මහජන කතිකාව හා සහභාගිත්වය මුල්කරගත් සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කොට සිදුවිය යුතුය.  

ඒ ඒ සන්දර්භයට අනුකූලව මිස විශ්ව සාධාරණ ශක්‍යතා ලැයිස්තුවක් පිළියෙල කිරීමට සෙන් මැලි වීම විවේචනය කළ මාර්තා නුස්බවුම් යෝජනා කළ අන්දමට “මනුෂ්‍ය ක්‍රියාකාරිත්වය සම්බන්ධ ප්‍රතිමානීය විස්තරයක්  සහ යහපත් ජීවිතයකට හේතු වන්නේ කිනම්  ක්‍රියාකාරිත්ව දැයි විෂය මූලික ව අගය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමෙන් මෙතෙක් කල් කටයුතු කළ අන්දමට වඩා වැඩි රැඩිකල් බවක් සෙන් පෙන්විය යුතු ය”.[25] ස්වකීය විවේචනය අනුව යමින් නුස්බවුම් ඇයගේ Women and Human Development නම් කෘතියෙන් ‘කේන්ද්‍රීය මානව ශක්‍යතා’ දහයක් යෝජනා කොට සෙන්ගේ ශක්‍යතා එළඹුම පිළිබඳ ව ඇති විවේචනවලට විසඳුමක් ලෙස ඒවා ප්‍රායෝගික ව යොදා ගත හැකි බව පෙන්වා දුන්නා ය.

ඕනෑම කෙනෙකුට තිබිය යුතු හිමිකම් ලෙස නුස්බවුම් හඳුන්වා දුන් එම ශක්‍යතා දහය මානව අයිතිවාසිකම් පිළිබඳ ව්‍යාපාරය විසින් අවධාරණය කළ දේශපාලන  නිදහස, රැස්වීමේ නිදහස, කැමති රැකියාවක් තෝරා ගැනීමේ නිදහස මෙන් ම  විවිධ ආර්ථික හා සමාජීය අයිතිවාසිකම් ද බොහෝ දුරට නිරූපණය කරයි. මානව අයිතිවාසිකම් මෙන් ම සිය ශක්‍යතා හිමිකම් ලැයිස්තුව ද  “ආර්ථික විද්‍යාඥයන් නිතර කියන  ධනවත්කම සහ දුප්පත්කම ගැන කතන්දරය” වෙනුවට සදාචාරීය සහ මානවීය වසයෙන් පොහොසත් සංවර්ධන අරමුණු කුලකයක් සපයන බව නස්බවුම් පවසයි. නස්බවුම් යෝජනා කරන එම කේන්ද්‍රීය මානව ශක්‍යතා දහය මානව සංවර්ධනයේ ප්‍රතිමාන පිළිබඳ දැනුවත් සංවිචාරණයකට බෙහෙවින් උචිත ය. ඒවා පහත දැක්වේ:

කේන්ද්‍රීය මානව ශක්‍යතා (ආචාර්ය මාර්තා සී නස්බවුම්ට අනුව):[26]

  1. (Life): සාමාන්‍ය මිනිස් ජීවිතයක කල් පිරෙන වයස දක්වා ම ජීවත් වීමට ඇති හැකියාව; අකල් හි හෝ ජීවිතයට වටිනාකමක් නැති වීම නිසා ජිවත් විමෙන් පලක් නො මැති වීමේ හේතුව නිසා හෝ මරණයට පත් නො වීම.  
  2. Bodily Health): ප්‍රජනක සෞඛ්‍ය ද ඇතුළුව යහපත් සෞඛ්‍ය තත්වයකින් යුතු ව විසීමට හැකිවීම; ප්‍රමාණවත් පෝෂණයක් ලැබීම; ප්‍රමාණවත් නිවහනක් තිබීම.
  3. (Bodily Integrity): නිදහස් සංචරණයකට ඇති හැකියාව; ලිංගික හිංසනය සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ද ඇතුළුව  ප්‍රචණ්ඩ ප්‍රහාරයන්ට ලක් නො වී සිටීම: ලිංගික තෘප්තිය ලබා ගැනීමට හා ප්‍රජනක කටයුතු සම්බන්ධයෙන් අභිමත තෝරා ගැනීම් කිරීමේ හැකියාව.
  4. සංවේදන, පරිකල්පනය හා චින්තනය (Senses, Imagination, and Thought): සිය පරිකල්පනය, සිතීම සහ තර්ක බුද්ධිය පිණිස සැබෑ මානවීය ( “truly human”) ක්‍රමයට, එනම් සාක්ෂරතාව සහ මූලික ගණිතමය හා විද්‍යාත්මක පුහුණුව ද ඇතුළත් ව සහ එහෙත් එයට පමණක් සීමා නො වූ, ප්‍රමාණවත් අධ්‍යාපනයක් මඟින් සුභාවිත හා දැනුවත් කරන ලද සංජානන යොදා ගැනීමේ හැකියාව; තමන් කැමති ආගමික, සාහිත්‍යයමය, සංගීතමය ආදී  විවිධ ක්ෂේත්‍රවල කෘති හා සංසිද්ධි නිර්මාණය කිරීම හා විඳ ගැනීම පිණිස පරිකල්පනය හා චින්තනය මෙහෙය වීමට හැකි වීම; දේශපාලනය සහ කලා කටයුතු යන දෙකෙහි දී ම භාෂණයේ නිදහස ද ආගමික නිදහස ද උපයෝගි කර ගැනීමට සිත මෙහෙයවා ගැනීමට ඇති හැකියාව: සංතුෂ්ඨිමත් අත්දැකීම් විඳ ගැනීමට සහ ඵලයක් නො මැති වේදනා මඟ හරවා ගැනීමට ඇති හැකියාව.
  5. Emotions)‍ බාහිර මිනිසුන් සහ දේවල් හා බැඳීම් ඇති කර ගැනීමේ හැකියාව; අපට ආදර සත්කාර කරන්නන්ට ආදරය කිරීම සහ ඔවුන්ගේ වියෝ වීමේ දී දුක් වීම; කොටින් ම ආදරය කිරීමට, දුක් වීමට, මනදොළ සපුරා ගැනීමට, කෘතගුණ දැක්වීමට සහ සාධාරණ කෝපය පළ කිරීමට හැකිවීම; බිය සහ අසහනය නිසා කෙනෙකුගේ උද්වේගී වර්ධනය (emotional development) බොල් නො වීම ( මෙම ශක්‍යතාව වර්ධනය කිරීමට ආධාර කිරීම යනු ඒවා වර්ධනය කිරීමේ ලා තීරණාත්මක වන මානව සම්බන්ධතා ඇති කර ගැනීමට ආධාර කිරීමයි.)
  6. (Practical Reason): හොඳ යනු කුමක් ද යන්න ගැන ප්‍රබුද්ධ සංකල්පයක් ඇති කර ගැනීමටත් සිය ජීවිතය සැලසුම් කිරීමේ දී  විචාරශීලී ප්‍රත්‍යවේක්ෂණයක (critical reflection) නියැලීමටත් ඇති හැකියාව (හෘද සාක්ෂියට එකඟ ව කටයුතු කිරීමට සහ අභිමත ආගමක් පිළිපැදීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඇති නිදහස ද මෙයට ඇතුළත් ය.)
  7. Affiliation):

(අ). අන් අය හා එකට ජීවත් වීමේ හැකියාව, අනෙකුත් මනුෂ්‍යයන් සම්භාවනයට (recognition), ඔවුන් කෙරෙහි සැලකිලිමත් වීමට හා නොයෙක් ආකාරයේ සමාජ ක්‍රියාකාරකම්වලට දායක වීමේ හැකියාව; අන් අය පත් ව ඇති තත්වය සංජානනය කිරීමේ හැකියාව ( මෙම හැකියාව සාක්ෂාත් කිරීමට එවැනි සම්බන්ධතා ඇති කරන සහ පෝෂණය කරන ආයතන මෙන් ම  රැස්වීමේ නිදහස සහ දේශපාලන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීම ද ඇතුළත් ය.)

(ආ). අවමානයට ලක් නො වන ආත්ම ගෞරවය රැකෙන සමාජ පදනම්වලින් යුතු වීම; අන් අය හා සමව අගය කළ හැකි අභිමානවත් තැනැත්තෙකු වශයෙන් සැලකීමට ලක් වීමට හැකිවීම; මෙයට ජාතිය, ලිංග භේදය, ලිංගික නැඹුරුව, ජනවර්ගය, කුලය, ආගම, ජාතිකත්වය මත අඩුසැලකිලිවලට ලක් නො වීමේ හැකියාව ද අඩංගු වේ.

  • (Other Species): සොබා දහම, ශාක සහ සත්ව විශේෂ පිළිබඳ සැලකිල්ලක් දක්වමින් ඒවා සමඟ සහබන්ධුත්වයකින් යුක්ත ව ජීවත් වීමට ඇති හැකියාව.
  • Play) සිනාසීමට, සෙල්ලම් කිරීමට, විනෝද ක්‍රියාවලින් ප්‍රීති වීමට ඇති හැකියාව;
  • Control over Ones Environment.)

(අ). දේශපාලනික: තමන්ගේ ජීවිතය හසුරුවන දේශපාලන තේරීම්වලට අනුව ඵලදායක ලෙස දේශපාලනයට සහභාගිවීමට ඇති හැකියාව; දේශපාලන සහභාගිත්වයට ඇති අයිතිය අනුව ප්‍රකාශන නිදහස සහ රැස්වීමේ නිදහස තහවුරු කිරීම;

(ආ). ද්‍රව්‍යයමය: දේපළ (නිශ්චල හා චංචල) හිමි කර ගැනීමේ හැකියාව සහ අන් අය හා සමාන පදනමකින් දේපළ අයිතිය භුක්ති විඳීමට හැකිවීම; අනවශ්‍ය පරීක්ෂා කිරීම්වලින් සහ අත්පත් කර ගැනීම්වලින් නිදහස් ව විසීමට හැකිවීම; වැඩ කිරීමේ දී ප්‍රායෝගික විචාර බුද්ධිය අනුව කටයුතු කිරීමට අනෙකුත් සගයන් සමඟ අනොන්‍ය අවබෝධයෙන් යුත් අර්ථවත් සම්බන්ධතා ගොඩනගා ගැනීමට හැකිවීම.

ශක්‍යතා එළඹුම (Capability Approach) නොයෙක් ශාස්ත්‍රාලයීය දායකත්ව නිසා නිරන්තර ව යාවත්කාලීන වෙන සංවර්ධන සිද්ධාන්තයකි. යුට්රෙක්ට් විශ්ව විද්‍යාලයේ ආචාරධර්ම ආයතනයේ සභාපති ආචාර්ය ඉන්ග්‍රිඩ් රොබේන්ස් පෙන්වා දෙන පරිදි “ශක්‍යතා එළඹුම ගැන කතා කිරීමට අපේ කාලය යෙදීම වැදගත් වන්නේ මිනිසුන්ගේ ජීවිත පිළිබඳවත් එම ජීවිත ගෙවෙන සමාජය පිළිබඳවත් නව ඇගයීම් ක්‍රමයක් එමඟින් අපට ලබා දෙන බැවිනි. එම ඇගයීමේ දී වැඩි අවධානයක් යොමු කෙරෙන්නේ සංවර්ධනය විග්‍රහ කිරීමේ දී මෙතෙක් එතරම් සැලකිල්ලක් ලැබී නැති යහපැවැත්ම, නිදහස සහ යුක්තිය වැනි කරුණු ගැන ය. එබැවින් එය සංවර්ධනය ගැන විකල්ප කතිකාවක් හෙවත් සුසමාදර්ශයක් පමණක් නො ව සමාජය, දරිද්‍රතාව සහ සෞභාග්‍ය පිළිබඳව දැනට ප්‍රධාන ධාරාව අරක් ගෙන තිබෙන සිද්ධාන්ත ගණනාවකට ම ප්‍රතිවිරුද්ධ සිද්ධාන්තයක් ද වන්නේ ය”[27].

අමාත්‍ය සෙන්ගේ ශක්‍යතා එළඹුමෙන් ලද ආභාසය අනුව දේශපාලනික යුක්ති සහගත භාවයට ප්‍රමුඛත්වය දිය හැකි ලෙස සංවර්ධනය පරිකල්පනය කිරීමේ වෑයමක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන(UNDP)තුළ සාකච්ඡා විය. ඒ අනුව ‘සංවර්ධනය යනු මුලික මිනිස් අයිතිවාසිකම් පරිපූර්ණ ලෙස භුක්ති විඳීමට මිනිසුන්ට ඇති හැකියාව යි’ යන අදහස මුල්කරගත් සංවර්ධනය පිළිබඳ මානව හිමිකම් පාදක එළඹුමක් (Human Rights Based Approach to Development) හඳුන්වාදීමට 1997 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ එහි මහ ලේකම් කොෆි අනාන් යෝජනා කළේ ය. ඉන් අදහස් වුණේ එක් අතකින් සිය අයිතිවාසිකම් මොනවාද යන්න දැන ගෙන ඒවා භුක්ති විඳීමට සියලු මිනිසුන් බලාත්මක කිරීමත් අනික් අතින් සියල්ලන්ට ම එම අයිතීන් අඩුවකින් තොර ව භුක්ති විඳීමට අවශ්‍ය වටාපිටාව සහ පහසුකම් වර්ධනය කිරීම රාජ්‍යයේ මූලික වගකීම වශයෙන් සැලකීමත් ය. ඒ අනුව සිවිල් හා දේශපාලන අයිතීන් ඇතුළුව විශ්ව මානව අයිතිවාසිකම් ප්‍රකාශනයේ සඳහන් සියලු ආර්ථික, සාමාජීය හා සංස්කෘතික අයිතීන් ද  රටවැසියන්ට පරිපූර්ණව භුක්ති විඳීමට ඉඩ සැලසීම අරමුණු කර රටක පොදු ආයතනවල ශක්‍යතාව හා ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම සංවර්ධනයේ කේන්ද්‍රීය උපාය මාර්ගය විය යුතු යැයි අදහස් විය.

නමුත් බොහෝ සාමාජික රටවල ආණ්ඩු එවැනි මානව අයිතිවාසිකම් පාදක සංවර්ධනයක් ගැන එතරම් උනන්දුවක් නො දැක්වීය. ඒ අනුව එම අදහස එක්සත් ජාතීන්ගේ අන්තර් ආයතන සහයෝගිතා (inter-agency cooperation) වැඩපිළිවෙළකට සීමා කිරීමට සිදුවිය. ආණ්ඩු පමණක් නො ව ආණ්ඩු බලය බලාපොරොත්තු වූ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ද මානව අයිතිවාසිකම් පාදක සංවර්ධන එළඹුම මඟින් යෝජනා කළ අන්දමට මිනිසුන් සබල ගැන්වීම ගැන උනන්දුවක්  නො දැක්වීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් යෝජනා වෙන කිසිදු ක්‍රියාවක් හා අනන්‍ය වීමට ජාතිකත්වය හා මානව හිමිකම් යනු එකිනෙකට පටහැණි සංකල්ප ලෙස මැතිවරණ ව්‍යාපාරවල දී අලෙවි කිරීම බලය අත්පත් කර ගැනීම සිය දේශපාලන වසයෙන් සලකන දේශපාලන පක්ෂවලට එවැනි හැකියාවක් නොවීය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇරඹෙන ‘එක්සත් ජාතීන්ගේ ජනතාව වන අපි….’ We the Peoples of the United Nations යන යෙදුම සංකේතාර්ථයක් වසයෙන් මෙහි දී වැදගත් ය. එ් අනුව නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය මිනිස් සංහතිය  කේන්ද්‍ර කොට ගත්තක් මිස ජාතික රාජ්‍ය කේන්ද්‍ර කොට ගත්තක් නො වේ. ඉන් අනතුරු ව ප්‍රඥප්තියේ මානව සංහතිය වසයෙන් අප අධිෂ්ඨාන කරන්නේ කුමක් ද යන්න සඳහන් වන …… “අපේ ජීවිත කාලය තුළ දෙවරක් ම අප්‍රමාණ දුක්කම්කටොලු මිනිස් වර්ගයාට ගෙන ආ යුද්ධයේ පරිපීඩිනයෙන් මතු පරපුර ගලවා ගැනීමටත්, මූලික මානව අයිතිවාසිකම්, මිනිසා නමැති පුද්ගලයාගේ අභිමානය හා වටිනාකම, පුරුෂයන් සහ ස්ත්‍රීන් අතර සහ කුඩා හා විශාල ජාතීන් අතර සමාන අයිතිවාසිකම් පිළිබඳ විශ්වාසය යළි තහවුරු කිරීමටත්, ගිවිසුම් සහ වෙනත් ප්‍රභවවලින් එන අන්තර්ජාතික නීති ප්‍රකාර යුතුකම් අනුව යුක්තිය තහවුරු කිරීමත්,  විසල් නිදහස තුළ සමාජ ප්‍රගතිය සහ ජීවන ප්‍රමිති ප්‍රවර්ධනය කිරීමත් උදෙසා…” යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ අභිමතාර්ථය සංකල්ප ගත කර ඇත්තේ ජාතික රාජ්‍ය ඉක්මවා යන මානව සංවර්ධනයක් ගැන අවධාරණය කිරීමට ඉඩ සලසමිනි.

ඒ අනුව ප්‍රඥප්තියේ  පූර්විකාව  “මූලික මානව අයිතිවාසිකම් සහ මිනිසා නමැති පුද්ගලයාගේ අභිමානය හා වටිනාකම පිළිබඳ විශ්වාසය” සහ “විසල් නිදහස තුළ සමාජ ප්‍රගතිය සහ ජීවන ප්‍රමිති ප්‍රවර්ධනය කිරීම” යනුවෙන් මානව අයිතිවාසිකම් සහ සංවර්ධනය අන්‍යෝන්‍ය වසයෙන් ප්‍රතිපෝෂණය වන දේවල් ලෙස සලකයි. මේ වගන්ති ඉන් වසර ගණනාවකට පසු නොබෙල් ත්‍යාගලාභි අමාර්ත්‍ය සෙන් විසින් පහත කියවෙන පරිදි පැහැදිලි කරන ලද මානව අයිතිවාසිකම් පාදක සංවර්ධනය යන්නෙහි සාරය නිරූපණය කරයි.

“මානව අයිතිවාසිකම් යනු කුරිරු අපයෝජනවලින් මෙන් ම අහිමි කිරීම්වලින් ආරක්ෂා කිරීම සහ අභිමානවත් ජීවිතයකට අවශ්‍ය නිදහස සාක්ෂාත් කර ගැනීම සම්බන්ධයෙන් සියලු මිනිසුන්ට අවශ්‍ය සමාජ විධිවිධාන පිළිබඳ එඩිතර ප්‍රකාශනයකි. අනික් අතට මානව සංවර්ධනය යනු මානව ශක්‍යතා වර්ධනය කරන හැම කෙනෙකුට ම ගෞරවනීය හා අගය කළ හැකි ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය තෝරා ගැනීම් සහ අවස්ථා පුළුල් කරන ක්‍රියාමාර්ගයකි. මානව අයිතිවාසිකම් සහ මානව සංවර්ධනය එක් ව ගමන් කරන විට මිනිසුන්ගේ හැකියා සහ ඔවුන්ගේ අයිතීන් සහ මූලික නිදහස ආරක්ෂා කරමින් එකකින් අනෙක පෝෂණය කරයි.”[28] 

මානව අයිතිවාසිකම් වර්ගීකරණයට අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පළමු පරම්පරාවට අයත් අයිතිවාසිකම් ලෙස සැලකේ. පුද්ගල අයිතිවාසිකම් ලෙස සැලකෙන ඒවා ප්‍රජාතන්ත්‍රවාදය සහ සිවිල් සමාජය සක්‍රිය ව සංවිධානය කර ගැනීමට සෑම පුද්ගලයෙකුට ම අවශ්‍ය වන අයිතිවාසිකම් ලෙස ගැනෙයි. එම අයිතීන්ට අයත් වන්නේ ඡන්දය දීමේ අයිතිය, භාෂණයේ නිදහස, නිදහස් ලෙස රැස්වීමට ඇති අයිතිය, සාධාරණ විනිශ්චයකට භාජනය වීමේ සහ නීතිය ඉදිරියේ සමාන සැලකුම් ලැබීමට ඇති අයිතිය, පුරවැසියෙකු වීමේ අයිතිය, පෞද්ගලිකත්වයට ඇති අයිතිය, තම අදහස ප්‍රකාශ කිරීමේ අයිතිය, අභිමත ආගමක් ඇදහීමේ අයිතිය, මහජන නියෝජිතයෙකු වසයෙන් තෝරා පත් කරනු ලැබීමට ඇති අයිතිය, සමාජීය සහභාගිත්වය සඳහා ඇති අයිතිය ආදිය යි.  ඒ හැර තම පුද්ගල අභිමානයට නිගරු නො වන ලෙස සලකනු ලැබීමට,  ආරක්ෂිත ව ජීවත් වීමට, ආගම, ජනවර්ගය හා ස්ත්‍රී පුරුෂ භේදය නිසා අඩු සැලකිල්ලකට පාත්‍ර නො වීමට, නීත්‍යනුකූල ව්‍යාපාරයක නිරත වීමට, හිංසනයට, වධ බන්ධනයට සහ බලහත්කාරයට භාජනය නො වීමට ඇති අයිතිය ද ප්‍රථම පරම්පරාවේ අයිතීන් ලෙස සැලකෙයි. 

රූසෝගේ අදහස්වලින් ආභාසය ලත් පරිදි පුද්ගලයාගේ වටිනාකම  පිළිබඳ සම්භාව්‍ය ලිබරල් මතවාදය මත පදනම් වූ මෙම අයිතීන් අමුතුවෙන් දිනා ගත යුතු ඒවා නො ව මනුෂ්‍යයෙකු වීම නිසා නිසර්ගයෙන් ම උරුම වන ඒවා ලෙස සලකන ලදි. රාජ්‍යයේ කාර්ය වන්නේ සෑම පුද්ගලයෙකු සම්බන්ධයෙන් ම ඔහු සතු මේ පරම අයිතීන් උල්ලංඝනය නො වන පරිදි ආරක්ෂා. කර දීම යි. රජය මඟින් මේ කටයුත්ත ඉටුවෙති’යි අපේක්ෂා කෙරෙන්නේ යට කී අයිතීන් ආරක්ෂා කිරීමට අවශ්‍ය නීති සම්පාදනය හා බලාත්මක කිරීම ඉටු කිරීම රජයක මූලික කාර්ය වන බැවිනි. ඇතැම් විචාරකයින් පෙන්වා දෙන පරිදි පළමු පරම්පරාවට අයත් අයිතීන් පුද්ගල පාදක ඒවා ලෙස සලකනු ලැබීමට එක් මූලික හේතුවක් වූයේ එකී අයිතීන් උල්ලංඝනය වූ විට ඒ පිළිබඳ ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ දී පුද්ගල පාදක පැමිණිලි වසයෙන් ඒවා ඉදිරිපත් කිරීමට සිදු වූ බැවිනි. කෙසේ වෙතත් සමාජය යනු තනි තනි පුද්ගලයන්ගේ එකතුවක් බැවින් සමාජ අභිවෘද්ධිය මැනීමේ දී වුව ද විශ්ලේෂණ ඒකකය බොහෝ විට පුද්ගල පාදක වීම ගැන අහිතක් ඇති කර ගත යුතු නැත.

සංවර්ධනය සම්බන්ධයෙන් රාජ්‍යයේ වගකීම සහ ආර්ථිකයේ අරමුණ සෘජු ව ම නිර්ණය කෙරෙන දර්ශක වසයෙන් සැලකිය හැකි දෙවැනි පරම්පරාවට අයත් අයිතීන් වසයෙන් සැලකෙන්නේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික යන ක්ෂේත්‍රයන්ට අයත් අයිතිවාසිකම් ය. මිනිසෙකු වසයෙන් පරිපූර්ණ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය කරන සමාජමය ප්‍රතිපාදන සහ සේවා ලබා ගැනීමට සෑම අයෙකුට ම ඇති හිමිකම මේ අයිතීන් මඟින් ආවරණය වෙයි. මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සවිස්තර ව දක්වා ඇති මේ ගණයට අයත් අයිතීන්ට අනුව වැඩ කිරීමේ අයිතියත්, තම රැකියාව තෝරා ගැනීමේ නිදහසත්, සාධාරණ හා සතුටුදායක රැකියා කොන්දේසි සඳහා ඇති අයිතියත්, විරැකියාවෙන් ආරක්ෂා වීමේ අයිතියත් සෑම කෙනෙකුට ම හිමි වේ. ඒ හැර කිසිදු ආකාරයක අඩු සැලකිල්ලකට ලක් විමෙන් තොර ව සමාන වැඩට සමාන වැටුප් ලැබීමේ අයිතිය සෑම කෙනෙකුට ම හිමි වේ. අවශ්‍ය නම් අනෙකුත්  සමාජ ආරක්ෂණ විධි විධාන මඟින් ප්‍රදානය කරන පරිපූරකයන් ද සහිත ව වැඩ කරන සෑම අයෙකුට ම තමාගේ හා තම පවුලේ මානව අභිමානයට සරිලන පරිදි සාධාරණ හා සතුටුදායක වේතනයක් ලබා ගැනීමට අයිතිය ඇත්තේ ය. තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා වෘත්තිය සමිති පිහිටු වීමටත් වෘත්තීය සමිතියකට බැඳීමටත් සෑම අයෙකුට ම අයිතිය ඇත්තේ ය. වැඩ කළ යුතු පැය ගණන පිළිබඳ සාධාරණ සීමාවක් ද වැටුප් සහිත ව කලින් කලට ලැබෙන නිවාඩු දිනයන් ද සහිත ව විවේකය හා නිවාඩු ගැනීම සෑම කෙනෙකුගේ ම අයිතියකි.

මෙකී අයිතීන් කාණ්ඩයට අනුව තමාගේ හා තම පවුලේ සෞඛ්‍යය හා සුභසාධනය සඳහා ප්‍රමාණවත් වන පරිදි ආහාර, ඇඳුම්, නිවාස, වෛද්‍ය සේවාව හා අවශ්‍ය සමාජ සේවාවන්ගෙන් සමන්විත ජීවන තත්වයක් භුක්තිවිඳීමට සියල්ලන්ට ම මේ යටතේ හිමිකම ඇති අතර විරැකියාව, රෝගාබාධ, වැන්දඹු වීම, මහලු වීම හා ඒ හා සමාන වූ තම පාලනයෙන් තොර ආපදාවක් සිදු වූ විටක දී රැකවරණය ලැබීමටත් සියලු දෙනාට ම හිමිකම ඇත්තේ ය. මාතෘ භාවය හා ළදරුභාවය විශේෂ උපකාරයට හා සාත්තුවට උරුම වූ තත්වයෝ ය. සුජාත හෝ අවජාත බව නො සලකා, සමාජ ආරක්ෂාව එක සමාන ව භුක්ති විඳීම සියලු ම දරුවන්ට හිමි ය.

ඒ හැර අධ්‍යාපනය ලබාගැනීමට සෑම පුද්ගලයෙකුට ම අයිතිය ඇත්තේ ය. අවම වසයෙන් ප්‍රාථමික හා මූලික අධ්‍යාපනය නො මිලේ ලබා ගැනීමට හැකි විය යුතු ය. ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය විය යුතු වේ. කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව පොදුවේ සැලසිය යුතු වන අතර ඒ හා සමාන ව, සියල්ලන්ට ම දක්ෂතාව පදනම් කොට ගෙන උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වීමේ අවස්ථාව ද සැලසිය යුත්තේ ය.  මනුෂ්‍යයාගේ ස්වීයත්වය පරිපූර්ණ කර ගැනීමත් මානව අයිතිවාසිකම්  හා මූලික නිදහසට ගරු කිරීම ප්‍රවර්ධනය කිරීමත් අරමුණු කොට අධ්‍යාපනය සකස් විය යුතු ය. සියලු ජාතිකත්ව, ජාති හා ආගමික කණ්ඩායම් අතර අන්‍යෝන්‍ය අවබෝධය, රිස්සීම හා මිත්‍ර‍්‍ර‍ත්ත්වය වර්ධනය කිරීමටත් සාමය පවත්වා ගෙන යෑම උදෙසා එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම් තව දුරට කර ගෙන යෑමටත් අධ්‍යාපනයෙන් අනුබලය දිය යුත්තේ ය.  සිය දරුවන්ට දිය යුතු අධ්‍යාපනයේ ස්වභාවය තීරණය කිරීමේ ප්‍රමුඛ අයිතිය දෙමව්පියන් සතු ය ආදි වසයෙන් මේ අයිතීන් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ නිශ්චිත ව සඳහන් වේ.[29]

18 වන සිය වසේ සම්භාව්‍ය ලිබරල්වාදයෙන් ජනිත වූ සිවිල් හා දේශපාලනික අයිතීන්ට වෙනස් ව දෙවැනි පරම්පරාවට අයත් ඉහත දැක්වෙන මානව අයිතිවාසිකම්වල බුද්ධිමය ප්‍රභවය 19වන හා 20 වෙනි සියවස්වල උද්ගත වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී චින්තන සම්ප්‍රදායට අයත් වේ.

කෙසේ වෙතත් සිවිල් හා දේශපාලනික අයිතීන් කෙරෙහි දක්වන තරම් අවධානයක් ලිබරල්වාදය මෙකී ආර්ථික, සංස්කෘතික හා සමාජීය අයිතිවාසිකම් කෙරෙහි දක්වා නැත. එයට එක් හේතුවක් වූයේ රාජ්‍යයේ මැදිහත් වීම අවම කිරීම අරමුණු කරගත් සාම්ප්‍රදායික ධනවාදී ආර්ථික චින්තනය රැකියා නියුක්තිය සහතික කිරීම, නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය වැනි සංකල්ප ප්‍රතික්ෂේප කරමින් ඒවා තරඟකාරී වෙළඳ පළ මඟින් සැපයිය හැකි ඒවා වසයෙන් සැලකීම යි.

ඒ අනුව පළමු පරම්පරාවට අයත් මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් ලෙස සැලකෙන ජනඝාත හෝ අමානුෂික වද හිංසනයට ලක් කිරීම මත රජයකට හෝ රාජ්‍ය නායකයන්ට චෝදනා එල්ල කොට නඩු විභාග පැවැත්වීමට අන්තර්ජාතික අයිතිවාසිකම් නීතිවලට අනුව හැකි වුව ද දෙවන පරම්පරාවට අයත් අයිතීන්වලට ගැනෙන තම ජනතාවට ගුණාත්මක නිදහස් අධ්‍යාපනයක් හෝ ගුණාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවක් ලබා නො දෙන රජයකට හෝ රාජ්‍ය නායකයෙකුට චෝදනා එල්ල කොට විභාග කිරීම පිණිස ප්‍රතිපාදන අන්තර් ජාතික නීතියේ නොමැත. 

කෙසේ වෙතත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ඇගයූ ස්කැන්ඩිනේවියානු හා යුරෝපීය රටවල් ධනවාදි ආර්ථික ක්‍රමය යටතේ ද මෙකී අයිතීන් සාක්ෂාත් කර දීම රජයේ කාර්යයක් ලෙස සැලකූහ. ඒ සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ (social security) වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට එම රටවල් කටයුතු කළහ.  ශක්තිමත් සමාජ ආරක්ෂණ ක්‍රම ඇති රටවල සමානාත්මතාව ද සැලකිය යුතු අන්දමින් ප්‍රවර්ධනය වීම එම රටවල ප්‍රජාතන්ත්‍රවාදය තිරසාර වීමට ද හේතුවක් වී තිබේ. ඊට සමාන ව 1944 ජනවාරි‍ 11 දින ඇමෙරිකානු කොන්ග්‍රස් සභාව හමුවේ සිය වාර්ෂික කථාව පැවැත්වූ ෆෑන්ක්ලින් රූස්වෙල්ට් ජනාධිපතිවරයා නව සම්භාව්‍ය ආර්ථික ගුරුකුලයේ මතවාදයට පටහැණි ව ඇමෙරිකානු ව්‍යවස්ථාවේ සඳහන් දේශපාලන හා සිවිල් අයිතීන්ට අනුපූරකයක් වසයෙන් මහජනතාවගේ ආර්ථික අයිතීන් සාක්ෂාත් කිරීම පිණිස ආර්ථික අයිතිය පිළිබඳ පනතක් (Economic Bill of Rights) කොන්ග්‍රස් සභාව විසින් සම්මත කළ යුතු යැ’යි කියා සිටියේ ය. ඔහු යෝජනා කළ පරිදි එම පනතින් සියලු ඇමෙරිකානුවන්ට පහත කියවෙන අයිතීන්ට හිමිකම තිබිය යුතු ය:

වේතනයක් සහිත ප්‍රයෝජනවත් රැකියාවක නියැලීමේ අයිතිය, ආහාර ඇඳුම් සහ විනෝදය සඳහා වැය කිරීමට ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමේ අයිතිය, තම හා තම පවුලේ ජීවිකාව සඳහා සෑහෙන ආදායමක් ලබා ගැනීම සඳහා නිෂ්පාදනය කිරීමට හා අලෙවි කිරීමට ගොවීන්ට ඇති අයිතිය, දේශීය හා විදේශීය ඒකාධිකාරවල ග්‍රහණයකින් හා අසාධාරණ තරඟකාරිත්වයකින් තොර ව තම ව්‍යාපාරික කටයුතු නිදහසේ කර ගෙන යෑමට ව්‍යාපාරිකයන්ට ඇති අයිතිය. උචිත නිවාසයක් ලබා ගැනීමට සෑම පවුලකට ම ඇති අයිතිය,  යහපත් සෞඛ්‍යයක් හා ප්‍රමාණවත් සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමේ අයිතිය, වැඩිහිටියෙකු වීම, රෝගී විම, අනතුරකට ලක් වීම, රැකියා වියුක්ත වීම නිසා ඇතිවිය හැකි ආර්ථික අමාරුකම්වලින් මිදීම සඳහා ප්‍රමාණවත් රැකවරණය ලැබීමේ අයිතිය හා හොඳ අධ්‍යාපනයකට ඇති අයිතිය.

එහෙත් 1945 අප්‍රියෙල් 12 වන දින ජනාධිපති රූස්වෙල්ට් මියගිය අතර ඇමෙරිකානු කොන්ග්‍රස් සභාව රූස්වෙල්ට්ගේ එම අදහස නො සලකා හැරියේ ය. කෙසේ වෙතත් ආර්ථික හා සමාජීය අයිතීන් විශ්ව මානව අයිතිවාසිකම් ප්‍රකාශනයට ඇතුළත් කිරීම පිණිස අවසානයේ ඇමෙරිකානු පාලනතන්ත්‍ර‍ය එකඟ කර ගැනීමට විශ්ව මානව අයිතිවාසිකම් ප්‍රකාශනය කෙටුම්පත් කළ එක්සත් ජාතීන්ගේ කමිටුවේ සභාපති එලිනෝර් රූස්වෙල්ට් ට හැකි වුණේ ජනාධිපති වසයෙන් ඇගේ සැමියා පැවැත්වූ මේ කථාව නිසා බව මානව අයිතිවාසිකම් ඉතිහාසය පිළිබඳ විශේෂඥයෙකු වූ මිචෙලින් ඉෂායි සිය History of Human Rights කෘතියෙන් පෙන්වා දෙයි.[30]

අනෙකුත් බොහෝ රටවල මෙන් ම රටවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයක් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වී තිබේ. සර්වජන ඡන්ද බලය සහ ඡන්දයෙන් පත්කර ගත් සිය නියෝජිතයන් මඟින් ක්‍රියාත්මක කරන ආණ්ඩුක්‍රමයට අතිරේක ව රටේ ජනතාවගේ පරමාධිපත්‍යය සමන්විත වන අනෙක් අංගය වන්නේ මෙකී මූලික අයිතිවාසිකම් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ. ආගමික නිදහස, ක්රූර වධහිංසා සහ අවමානවලට ලක් නො වීම, නීතියේ සාධාරණ සැලකිල්ල,  භාෂණයේ හා සමාගමයේ නිදහස වැනි සීමිත ක්ෂේත්‍රයක් ආවරණය වන  පරිදි සැකසී ඇති මෙකී මූලික අයිතිවාසිකම්වල එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1948 දී සම්මත කරගත් මූලික මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සඳහන් වන සමාජීය සංස්කෘතික හා ආර්ථික අයිතිවාසිකම් ඇතුළු අනෙකුත් බොහෝ වැදගත් අයිතිවාසිකම් අඩංගු නො වේ.

අභිමතාර්ථය අතින් ගත් විට මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අඩංගු වී ඇති අයිතීන් විශේෂයෙන්ම වැඩිදියුණු කළ ආර්ථික, සංස්කෘතික හා සාමාජික අයිතීන්වලට පාරිසරික අයිතීන් ද එක් කළ විට එම අයිතීන්  භුක්ති විඳීමේ හැකියාව සියල්ලන් සඳහා ම සාක්ෂාත් කර ගැනීම සංවර්ධනයේ ප්‍රධාන අරමුණක් වසයෙන් සැලකිය හැකියි. ඒ අනුව  වෙසෙසින් ම මනුෂ්‍යයන්ට තම ශක්‍යතාව පරිපූර්ණ ලෙස උපයෝගී කර ගැනීමට හැකි වන ලෙස  පිරිසිදු වාතය, පිරිසිදු ජලය සහ ආහාර සහිත යහපත් පරිසරයකට ඇති අයිතිය ද මානව අයිතිවාසිකම් වසයෙන් පිළිගත යුතු ය.[31] මෙම අවබෝධය පළමු පරම්පරාවට අයත් ලිබරල් මතවාදී මානව අයිතිවාසිකම්වල ම දිගුවක් ලෙස සැලකිය හැකි ය. එමඟින් පරිසර දූෂණයට ලක් වන ජන කොටස් මානව අයිතිවාසිකම් උල්ලංඝනයට ලක් වූවන් ලෙස සලකමින් පරිසර සක්‍රියවාදය (Environmental Activism) මානව අයිතිවාසිකම් අරගලයේ ඒකාග්‍ර කොටසක් බවට පත් කරයි. එම අයිතිය තනි තනි පුද්ගලයාට මෙන් ම පුද්ගලයා අයත් වන සාමූහිකයට ද පොදු ය.

 විශ්ව ප්‍රකාශනයේ සඳහන් වන දෙවැනි පරම්පරාවට අයත් බොහෝ අයිතිවාසිකම් වැඩිදියුණු කළ යුතු ඒවා වන්නේ ඒවා සකස් කිරීමේ දී කොතෙක් දුරට ඒවා සාක්ෂාත් කර දීමට හැකි වේ ද යන සැකය එම අයිතිවාසිකම් කෙටුම්පත් කළ කමිටුවේ ඇතැම් සාමාජිකයන් තුළ පවා තිබූ බැවිනි[32]. එම නිසා සුභාවිත ‘ගුණාත්මක අධ්‍යාපනයක්’ ලබා ගැනීමට ඇති අයිතිය වෙනුවට නිකම් ම අධ්‍යාපනයක් ලබා ගැනීමේ අයිතිය යනුවෙන් සඳහන් කිරීමට ඔවුන්ට එකඟ වීමට සිදු විය. මේ නිසා මුල් ලේඛනයේ ජීව ගුණය වඩාත් තියුණු කිරීම පිණිස ආර්ථික, සාමාජික හා සංස්කෘතික අයිතිවාසිකම් නිශ්චිත දර්ශකවලින් නිරූපණය වන ලෙස තවදුරටත් වැඩි දියුණු කළ හැකි ය. .

මානව අයිතිවාසිකම් බටහිර ආධිපත්‍යයේ මෙවලම් ලෙස සැලකීමේ ආධානග්‍රාහී ආකල්පය නිසා මානව අයිතිවාසිකම් පාදක සංවර්ධනය පිළිබඳ නිසි අවධානයක් සංවර්ධනය වෙමින් පවතිනවා යැ’යි සැලකෙන රටවල වියතුන් අතර ද වාමවාදී දේශපාලන ව්‍යාපාර තුළ ද ඇති නොවූ බව කිව හැකි ය. මානව අයිතිවාසිකම් යනු පුද්ගල ස්වතන්ත්‍රභාවය පිළිබඳ නිර්ණායක බව පිළිගැනීමට පක්ෂයේ ආධිපත්‍ය මුදුන් කොට සැලකූ වාමාංශිකයන් මැලි විය. තවත් අය ධනවාදය විසින් ඔජවඩන ලද  ස්වාමිත්වකාමි (possessive) පුද්ගලික අයිතිය සහ පුද්ගල ශක්‍යතා පදනම් කරගත් මානව අයිතිවාසිකම් අතර ඇති දෘෂ්ටිවාදී වෙනස දැකීමට අපොහොසත් වූහ.  දෙවන ලෝක මහා යුද්ධයේ දී යුදෙව් ජන වර්ගයට එරෙහි ව අමානුෂික ජනඝාතය රාජ්‍ය ප්‍රතිපත්තියක් වසයෙන් ක්‍රියාත්මක කළ ආර්යෝත්තමික නාසිවාදය වැන්නක් නැවත බිහි වීම වැළැක් වීම පිණිස යොදා ගත හැකි මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයක අවශ්‍යතාව පිළිබඳ කතිකාව  දෙවැනි ලෝක මහා යුද්ධය ඇරඹීමත් සමඟම බිහි වූවකි. බ්‍රිතාන්‍ය ගත්කතුවර එච්. ජී. වෙල්ස් 1939 දී ලන්ඩන් ටයිම්ස් පුවත් පතට ලිපියක් ලියමින්  මානව අයිතිවාසිකම් ප්‍රකාශයේ අරමුණ පැසිස්ට්වාදයට එරෙහිව අප යුද වැදී ඇත්තේ කිනම් වටිනාකම් ආරක්ෂා කර ගැනීම සඳහා ද යන්න ගැන අපේ තරුණ තරුණියන්ට අවබෝධයක් ලබා දීම යැයි කියා සිටියේ ය. 

අමාර්ත්‍ය සෙන්ට අනුව මානව අයිතිවාසිකම් විමර්ශනයේ දී වැදගත් වන්නේ එම අයිතිවාසිකම්වලට පාදක වූ මනුෂ්‍ය නිදහසෙහි සුවිශේෂ වැදගත්කම යි. එම වැදගත්කම අපට අපේ ම වූ අයිතීන් තහවුරු කර ගැනීමේ වටිනාකම පමණක් නො ව අන් සියලු අය සඳහා ද එම අයිතීන් තහවුරු කර දීමේ වැදගත්කම ද අවබෝධ කර දෙයි.[33] ඒ අනුව මානව අයිතිවාසිකම්වලින් මූලික වසයෙන් උත්කර්ෂණයට නංවන්නේ පුද්ගල ස්වතන්ත්‍රභාවය මිස පුද්ගලික ආත්මාර්ථය නො වේ. මානව අයිතිවාසිකම් කතිකාව බටහිර ලෝකයේ පැවති රදල- ප්‍රවේණිදාස ක්‍රමයට, ආගමික සංවීක්ෂණයේ (Inquisition) පරිපීඩනයට සහ  ආධිපත්‍යට එරෙහි ව නිෂ්පන්න වූ බව සැබෑවකි.  එහෙත් එම අයිතීන් උත්ප්‍රේක්ෂාව (tolerance), නිදහස හා පුද්ගල ස්වතන්ත්‍රභාවය යන ගුණාංග ප්‍රමුඛ කරගත් පොදු මානව ශිෂ්ටාචාරයක්  ගොඩ නැගීමේ පූර්ව කොන්දේසි වසයෙන් පෙර අපර දෙ දිගට ම පිළිගැනීමට හැකි ය. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයකට අත්‍යවශ්‍ය අංගයක් වන්නේ දේශපාලන සමානාත්මතාව තහවුරු කිරීම යි. ඒ සඳහා අවශ්‍ය වන්නේ පුද්ගල ස්වතන්ත්‍ර භාවය අදීන ව පවත්වා ගැනීමට රට වැසියන්ට ඇති හැකියාව නිරන්තරයෙන් තහවුරු කරන මානව ශිෂ්ටාචාරයකි .

මානව අයිතිවාසිකම් පාදක සංවර්ධන එළඹුමක දී සංවර්ධනයේ දර්ශකයක් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සැලකිය යුත්තේ කෙසේ ද යන්න විමසා බැලූ විට මෙම අදහස තව දුරටත් පැහැදිලි කර ගත හැකි ය. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය බටහිර රටවල බොහෝ විට නිරූපණය වන්නේ ජනමාධ්‍ය නිදහස පිළිබඳ ආයතනික ප්‍රශ්නයක් ලෙස ය. උදාහරණයක් ලෙස Reporters without Borders හෙවත් ‘දේශ සීමාවලින් තොර වාර්තාකරුවෝ’ නමැති ප්‍රකට  රාජ්‍ය නො වන ජාත්‍යන්තර සංවිධානය වාර්ෂික ව නිකුත් කරන ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දර්ශක මඟින් හැම රටක ම මාධ්‍ය බහුවිධත්වය, මාධ්‍ය ස්වාධීනත්වය, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ නීතිය මඟින් ලැබෙන ආවරණය අනුව ජන මාධ්‍ය නිදහස පිළිබඳ සංඛ්‍යාත්මක අගයක් ලබා දෙයි[34]. එහෙත් ඒ මඟින් ජනමාධ්‍ය අන්තර්ගතයේ ගුණාත්මක භාවය, බහුවිධත්වය හා නාගරික මෙන් ම ග්‍රාමීය ප්‍රදේශවල ද වෙසෙන විවිධ ජන කොට්ඨාශවලට සිය අදහස් ප්‍රකාශ කිරීමට ජනමාධ්‍ය උපයෝගී කර ගැනීමට ඇති හැකියාව නිරූපණය නො වේ.

ඒ නිසා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පරිපූර්ණ ලෙස භුක්ති විඳීමට නම් එම අයිතිය නීතියෙන් සහතික කිරීමට අමතර ව රටවැසියන්ට සිය අදහස් ප්‍රකාශ කිරීම පිණිස කාර්යක්ෂම ලෙස උපයෝගී කර ගත හැකි බහුත්වවාදී  ජන සංනිවේදන පද්ධතියක පැවැත්ම ද අවශ්‍යය වේ. එහි දී මහජන මතය ගොඩ නැගීමේ ලා වඩා දැනෙන බලපෑමක් කළ හැකි විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය බහුවිධත්වය හා සංස්කාරක ස්වාධීනත්වය සහතික කළ හැකි ස්වාධීන නියාමන ක්‍රමයක් මඟින් ඵලදායී ප්‍රජාතන්ත්‍රවාදී කතිකා යන්ත්‍රණයක් ලෙස පවත්වා ගෙන යෑම වැදගත් ය.  විශේෂයෙන් දේශපාලනික, සමාජීය, පාරිසරික  හා ආර්ථික  සාක්ෂරතාවය ගුණාත්මක හා ප්‍රභේද්‍ය (distinctive) වැඩසටහන් මඟින් ප්‍රවර්ධනය කළ හැකි  ස්වාධීන මහජන සේවා විද්‍යුත් මාධ්‍ය (Public Service Broadcasting)  සහ බිම් මට්ටමේ දේශපාලන සහභාගිත්වය සහතික කිරීම පිණිස ස්වාධීන ප්‍රජා ගුවන් විදුලි (Community Radio)  හා පරිස්ථානීය පුවත්පත් (Local Newspapers)  වැනි ජනමාධ්‍ය මෙවලම්  සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය ය. දැරිය හැකි මිලකට අන්තර්ජාල පහසුකම් ලබා දීම මඟින්  මංගත(Online) තොරතුරු සඳහා ප්‍රවේශ වීමට, ප්‍රතිචාර දැක්වීමට සහ සමාජ  මාධ්‍ය පරිහරණය කිරීමට ඇති හැකියාව ද  අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භුක්ති විඳීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසි අතර වැදගත් වෙයි.  ඒ අනුව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යනු හුදෙක් අගනුවර පාදක කරගත් සහ බොහෝ විට පවතින ආණ්ඩුවේ ව්‍යාපාරික අනුග්‍රහය සහතික කර ගැනීමේ උපාය මාර්ගයක් ලෙස  පවත්වා ගෙන ගිය හැකි ජනමාධ්‍ය ආයතන අතළොස්සක් පිහිටුවා ගැනීමට ඉඩ දීමෙන් පමණක් සාක්ෂාත් කර ගත හැක්කක්ද නො වේ. සමස්තයක් ලෙස ගත් විට  ජන මාධ්‍ය පද්ධතිය කොතෙක් දුරට සමාජයේ හැම ස්තරයක් ම ඵලදායකව නියෝජනය කිරීමට සමත් වේද යන්න යුක්තිගරුක දේශපාලනයට අත්‍යවශ්‍ය වන සහභාගිත්වය හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධ වැදගත් ම සාධකයයි. 

අනන්‍යතා දේශපාලනය නිසා විභේදනය වී ඇති මනුෂ්‍ය වර්ගයාට සමානාත්මතාව පදනම කර ගැනීමට හැකි විශ්ව සාධාරණ වූ පොදු චින්තනයක් විශ්ව මානව අයිතිවාසිකම් ප්‍රකාශනය සපයයි. එම ප්‍රකාශනයේ අඩංගු සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ විවේචන බොහෝමයක් ම අනන්‍යතා දේශපාලනය මත පදනම් වූ අනන්‍යතා දේශපාලනය සමඟ ම පිටු දැකිය හැකි ඒවා ය. වඩා වැදගත් වන්නේ මනුෂ්‍යයන් අතර ඇති පුද්ගල අසමානතා සලකමින් වුව ද සිවිල් හා දේශපාලනික මෙන් ම ආර්ථික, සමාජීය හා සංස්කෘතික ක්ෂේත්‍රවල නිශ්චිත මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සමාන සැලකීම් ලැබීමට අනන්‍යතා නො තකා සියලු මනුෂ්‍යයන්ට ඇති සමාන හිමිකම පිළිගැනීමත් එය සාක්ෂාත් කර ගැනීමට කටයුතු යෙදීමත් ය. ඒ අනුව ආර්ථිකයේ පොදු අරමුණ ද මානව අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීම අන්තර්ග්‍රහණය කරගත් සංකල්පයකින් සමන්විත විය යුතු වේ.

සාම්ප්‍රදායික ව වම තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධයෙන් තිබූ ආකල්පය ලෙනින් ජාතීන්ගේ සංගමය සම්බන්ධයෙන් තිබූ සෘණ ආකල්පයට වඩා වෙනස් නොවීය. විශේෂයෙන් ගැටුම් සමනයේ දී බලවත් රටවල ආධිපත්‍යවාදී න්‍යාය පත්‍ර එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ක්‍රියාත්මක කිරීමට තැත් කළ ද එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු විවිධ ආකාරයේ ප්‍රතිවිරෝධිතා නියෝජනය වන ගෝලීය වේදිකාවකි. මේ වෙනස තේරුම් ගැනීමට නම් බහුපාර්ශවික ජාත්‍යන්තර ආයතන, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ලෝක බැංකුව, සංවර්ධනය යන්න එකිනෙකට වෙනස්ව අර්ථකතනය කළ ආකාරය පිළිබඳ ඉතිහාසය මඳක් විමසා බැලිය යුතු ය

එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිට වූ  මුල් කාලයේ දී ‘සංවර්ධනය’ සහ ‘ආර්ථික ප්‍රගතිය’ සමාන තේරුම් ඇති යෙදීම් වසයෙන් භාවිත විණි. ‘ආර්ථික සංවර්ධනය’ යන යෙදුම ආර්ථික විද්‍යාඥ ජෝශප් ෂුම්පිටර් වැනි අය විසින් විසිවැනි සිය වසේ මුල් කාලයේ සිට ම භාවිත කරන ලද්දකි. එහෙත් ‘ආර්ථික සංවර්ධනය’ යන්නෙන් එකල අදහස් වුණේ නො වෙනස් වන විසංක්‍රාන්තීය තත්වයක් නො ව එක තත්වයකින් වඩාත් ඉහළ තත්වයකට සංක්‍රමණය වන සංක්‍රාන්තීය ක්‍රියාවලියකි. ඒ අනුව ඒ සංක්‍රාන්තිය සඳහා අවශ්‍ය උත්තේජකයක් සැපයෙන්නේ නම් ඌණ සංවර්ධිතයැ’යි ගැනෙන රටවල් සංවර්ධිත රටවල් බවට පරිණාමනය කළ හැකි යැ’යි ඉන් අදහස් විය. ඒ නිසා හැම රටක් ම සංවර්ධිත තත්වයට පත්වීම සිය අභිප්‍රාය කර ගත යුතු ය. (වර්ධන වේගය මත සංවර්ධනය තීරණය වීම මේ වන විටත් වේදිකාවට පැමිණ තිබුණේ නැත) මේ මතය විදහා දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය 1948 දී A/RES/198 (III) හා A/RES/200(3) යන යෝජනා දෙක සම්මත කර ගත්‍තේ ය. එම යෝජනා අනුපිළිවෙළින් සංවර්ධනය සඳහා ණය ආධාර සැපයීම සහ තාක්ෂණික සහාය ලබා දීම හා සම්බන්ධ ව ඒවා විය. එකල  International Bank for Reconstruction and Development නමින් හැඳින්වුණු ලෝක බැංකුව විසින් සංවර්ධන ණය ලබා දීම ඉටු කරනු ඇතැ’යි එම යෝජනා මඟින් අපේක්ෂා කෙරිණි.

මේ ආකාරයෙන් සංවර්ධනය සංකල්පගත කිරීමට එක් හේතුවක් වූයේ දෙවැනි ලෝක මහා යුද්ධයේ දී හානියට ලක් වූ යුරෝපීය රටවලට ඇමෙරිකාවේ මාෂල් සැලැස්ම යටතේ ලැබුණු මූල්‍ය ආධාර මත සිදු කෙරුණු ප්‍රතිස්ථාපන කටයුතු නිසා ඇති වූ දියුණුව යි. එහෙත් මේ දියුණුව වැඩි වසයෙන් ඇති වූයේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ වග වීම යන සාධක තුන ම සතුටුදායක ව ක්‍රියාත්මක වුණ යුරෝපීය රටවල මිස 1970 ගණන් දක්වා ම ඒකාධිපති පාලන තන්ත්‍ර පැවති පෘතුගාලය සහ ස්පාඤ්ඤය වැනි දකුණු දිග යුරෝපීය රටවල නො වන බව ද අප මතක තබා ගත යුතු ය.

ඉන් අනතුරුව ගත වූ වසර කිහිපය තුළ සංවර්ධනය යන්න වඩාත් නිර්මාණාත්මක ව අර්ථ කථනය කිරීමේ කතිකාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කළ විශේෂඥයන්ගේ මැදිහත් වීමෙන් බිහි විය.

මේ කතිකාවල දී පැහැදිලි තේමා දෙකක් ඉස්මතු විය. ඒ අනුව පළමුවෙන් ම, සංවර්ධනය සඳහා ප්‍රාග්ධනය අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සැලකිණි. එයට පදනම් වූයේ නූතනීකරණ න්‍යාය හඳුන්වා දුන් ඇමෙරිකානු ආර්ථික විද්‍යාඥයෙකු වූ වෝල්ට් රොස්ටොව් පෙන්වා දුන් පරිදි කාර්මිකකරණය හරහා ආර්ථික වර්ධනය වැඩි කර ගැනීම තුළින් සංවර්ධිත හා ඌණ සංවර්ධිත රටවල් අතර ඇති අසමතුලිතතාව ආමන්ත්‍රණය කිරීමට ප්‍රාග්ධන ආයෝජන හේතු වනු ඇතැ’යි යන අදහස යි. උත්ප්‍රාසයට හේතුවක් වන්නේ මුල් අවධියේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයින් ප්‍රාග්ධනයේ කේන්ද්‍රීය බව උදක් ම කියා සිටිමින් ඌණ සංවර්ධිත රටවලට සහන දායක ණය පහසුකම්  සපයන ලෙස ලෝක බැංකුවෙන් ඉල්ලා සිටීම යි. මුලදී එම ඉල්ලීම ගැන ලෝක බැංකුව එතරම් කැමැත්තක් නො දැක්වූ නමුත් 1969දී ලෝක බැංකුව විසින් මෘදු ණය ලබා දීම පිණිස ජාත්‍යන්තර සංවර්ධන සංගමය (International Development Association) පිහිටුවන ලදී. ඉන් පසු ව ණය ආධාර ලබා දීමේ විශාලතම අනුග්‍රාහකයා බවට ලෝක බැංකුව පත් විය. මේ නිසා එහි මූල්‍යමය බල පරාක්‍රමය සමඟ බහුපාර්ශවික ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ බරසාර ම හඬ ලෝක බැංකුව සතු විය.  ‘මුදල් කතා කරයි’ යන්න සම්බන්ධයෙන් ඊට වඩා හොඳ නිදසුනක් සොයා ගැනීමට නො හැකි තරම් ලෝක බැංකුවේ ස්ථාවරය දියුණු වන රටවල සංවර්ධනයේ දිශානතිය තීරණය කිරීමට බලපා තිබේ. ඒ අතර 1960 ගණන්වල සිට ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෝලීය දකුණේ අවධානය දිනා ගැනීම සම්බන්ධයෙන් සමාදාන නො වන එදිරිවාදීන් ලෙස කටයුතු කර තිබේ. නොකඩවා පුලුල්වෙන ලෝක බැංකුවේ තාක්ෂණික ආධාර වැඩපිළිවෙළ මේ විරසකය තවත් තීව්‍ර කළේ ය.[35]

ආර්ථික වර්ධන වේගය අනුව සංවර්ධනය අර්ථකථනය කිරීමේ සුර දූතයා වසයෙන් සැලකිය හැකි ලෝක බැංකුව හා සැසඳු විට දෘෂ්ටිවාදී වසයෙන් වර්තමානයේ දී  එක්සත් ජාතීන්ගේ සංවිධානය සංවර්ධන කතිකාවේ වාමාංශය දෙසට වඩා නැඹුරු බව පැහැදිලිය. ඇතැම් සාමාජික රටවල පාලකයන්ගේ නො රුස්නා භාවය ද නො තකා මානව සංවර්ධන වාර්තාව (Human Development Report), මානව සංවර්ධන දර්ශක (Human Development Index) වැනි මෙවලම් ද  ඇතුළු ව නොයෙකුත් අන්තර්ජාතික ගිවිසුම්, ප්‍රොටෝකෝල සහ වැඩ සටහන් මඟින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, කම්කරු අයිතීන් ද ඇතුළු ව මානව සංවර්ධනය සමස්තයක් ලෙස ග්‍රහණය කිරීමේ  ජාත්‍යන්තර ප්‍රවර්ධකයාගේ භූමිකාව ඉටු කිරීමට තැත් කරයි.  එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්ෂිකව නිකුත් කරන Human Development Report (මානව සංවර්ධන වාර්තාව) සහ ලෝක බැංකුවේ වාර්ෂික ප්‍රකාශනය වන World Development Report ( ලෝක සංවර්ධන වාර්තාව) මඟින් සංවර්ධනය පිළිබඳ එම ආයතන දෙක පිළිවෙලින් වාම හා දක්ෂිණාංශික නැඹුරුතා අඩු වැඩි වසයෙන් නියෝජනය කරන බව එම වාර්තා පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණයක් කළ ඩෙවින් ජෝසි හා රොනි කේ ඔඩෙල් පෙන්වා දෙයි.[36]

ඔවුන් පෙන්වා දෙන පරිදි පෙරට වඩා අසමමිතිකකම් අඩු බව පෙනුනද මේ වාර්තා දෙක මඟින් ඉදිරිපත් කරන කතිකාවල හරය අතර ඇති වෙනස සංවර්ධන ප්‍රතිපත්ති පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ලෝක බැංකුව අනුගමනය කරන දිශානතිවල වෙනස මනාව පිළිබිඹු කරයි. කතිකාවේ විෂය පථය, භාවිත පාරිභාෂික පද සහ ප්‍රශ්න රාමු ගත කරන ආකාරවල පෙරට වඩා පොදු බවක් මෑතක සිට දක්නට ලැබුණ ද කිසි සේත් ම එය සංවර්ධනය අර්ථකථනය කිරීම සම්බන්ධයෙන් ආයතන දෙක අතර දෘෂ්ටිවාදීමය එකඟ වීමක් ලෙස සැලකිය නො හැකි බව ද ඔවුන්ගේ මතය යි.  බොහෝ විට ලෝක බැංකු වාර්තාවල ඇති කතිකාමය වෙනස්කම් යනු පුරුදු ප්‍රතිපත්තිය දිගින් දිගට ම පවත්වා ගෙන යෑම මුවා කිරීමට කරන ලද දක්ෂ මහජන සම්බන්ධතා ව්‍යායාමයකට වැඩි යමක් නොවිය හැකි බව ද ඩෙවින් ජෝසි හා රොනි කේ ඔඩෙල් පවසති.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට වඩා වැඩි බලපෑමක් දියුණුවන රටවල සංවර්ධන දිශානතිය කෙරෙහි ඇති කිරීමට බ්‍රෙටන්වුඩ්‍ සම්මුතිය යටතේ පිහිටුවන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව සමත් ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුදක්නා මානව අයිතිවාසිකම් සුරැකීම, ජන මාධ්‍ය නිදහස වැනි සංකල්ප සහ වංචා හා දූෂණ වැළැක්වීම, වද හිංසනයට එරෙහි වීම ආදී කරුණු පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පිළිබඳ කොහොමටත් නුරුස්නා ආකල්පයක් දරන පාලකයෝ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය ඉතසිතින් අනුදක්නා ලෝක බැංකුවේ සංවර්ධන සංකල්ප දෝතින් ම පිළිගැනීමට සූදානම් ය.

සංවර්ධන යන්න ආර්ථික සංවර්ධනය වසයෙන් පිළිගැනීමට ලක් වීමත් දළ දේශීය නිෂ්පාදිතය  සංවර්ධනයේ මානකය වසයෙන් ඉස්මතු වීමත් සමඟ අනුක්‍රමයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි විශේෂඥ ආයතන සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවෙන් කොන් වී ගියේ ය. ඒ වෙනුවට  නවලිබරල්වාදය උත්කර්ෂණයට නැංවූ  ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑමට සංවර්ධනය පිළිබඳ මතවාද නතු විය. කෙසේ වෙතත් වර්ධනයේ ගුණාත්මක භාවය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි විශේෂඥ ආයතන දිගින් දිගට ම කරුණු දැක්වීය. එම කරුණු දැක්වීම්වලට විෂය වූ කරුණු බොහෝමයක් විශ්ව මානව ප්‍රකාශනයේ මානව අයිතිවාසිකම් වසයෙන් දක්වා තිබූ ඒවා විය. ඒ අතර  සැමට ප්‍රාථමික අධ්‍යාපනය සහතික කිරීම, ස්ත්‍රී පුරුෂ සමානතාව ප්‍රවර්ධනය කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීම, සැමට සෞඛ්‍ය හා සනීපාරක්ෂාව සහතික කිරීම සහ පරිසර සංරක්ෂණය එක්සත් ජාතීන් දියත් කළ කතිකාව තුළ මුල් තැනක් ගත්තේ ය. ඒ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධාන ව්‍යුහයට අයත් ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) ආර්ථික වර්ධනය මානව කේන්ද්‍රීය විය යුතු බවත් එහි එක් ප්‍රධාන ඵලයක් විය යුත්තේ සැමට  ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ නිවාස වැනි මූලික අවශ්‍යතා සහතික කිරීම ඇතුළුව සුභසාධනය සැලසීම බව පෙන්වා දෙමින් “මූලික අවශ්‍යතා එළඹුම” (Basic Need Approach) නම් සංවර්ධන සංකල්පය එක්සත් ජාතීන්ගේ සංවර්ධන කතිකාවට හඳුන්වා දී තිබුණි.  මෙම එළඹුම දිළිඳු බව මුලිනුපුටා දැමීමට ප්‍රමුඛත්වය දුන් ‘වෙනත් සංවර්ධනයක්’(Another Development) යන මැයෙන් හැඳින්විණි. එහෙත් 1990 වන තෙක් ම දිළිඳු බව අවම කිරීම ලෝක බැංකුවේ වැඩසටහන්වලට ඇතුළත් නො වී ය.

ලෝක බැංකුව මෙන් නො ව සාමාජික රටවල අධිකාරි බලයෙන් මිදෙමින්  නිදහස් මතධාරී විෂය විශේෂඥයන්ගේ සහ සිවිල් සංවිධානවල අදහස්වලට වැඩි වැඩියෙන් කන්දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි පරිවාර ආයතන අනුක්‍රමයෙන් පෙලඹී තිබේ. උදාහරණයක් ලෙස බලගතු සාමාජික රටවල හා අන්තර්ජාතික සමාගම්වල කෙනෙහිලි මැද වුවද දේශගුණ විපර්යාසය පිළිබඳ විද්‍යාත්මක මතය ජයග්‍රහණය කරවීමට එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (Intergovernmental Panel on Climate Change) සමත් වී ඇත්තේ තම රටවල ආණ්ඩුවලින් ස්වාධීන වූ විෂය විශේෂඥයන්ගේ සහ සිවිල් සංවිධානවල පුළුල් සහයෝගිතා පෙරමුණක් ගොඩනගා ගැනීමට එයට හැකි ව තිබෙන නිසා ය.  ඒ හැර මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ එන කැපවීමට අනුව විශ්ව මානව අයිතිවාසිකම් ප්‍රකාශනයේ සඳහන් මානව අයිතිවාසිකම් ගෝලීය ප්‍රමිති ලෙස ප්‍රවර්ධනය කිරීමට අදාළ එක්සත් ජාතීන්ගේ ආයතනවල කාර්ය මණ්ඩල දක්වා ඇති කැපවීම ද අගය කළ යුතු ය. සිවිල් සංවිධාන සමඟ එක් ව එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල බොහෝ විට ක්‍රියාකර ඇත්තේ එහි ප්‍රඥප්තියේ සඳහන් “එක්සත් ජාතීන්ගේ ජනතාව වන අප” (We the peoples of the United Nations) යන්න කේන්ද්‍ර කර ගනිමින් මිස එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් යන්න කේන්ද්‍ර කර ගනිමින් නො වේ. කනිෂ්ඨ ජෝජ් බුෂ් ජනාධිපතිවරයා ඉරාකය ආක්‍රමණය කිරීමට තීරණය කළ විට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට විරුද්ධ ක්‍රියාවක් බව නො පැකිළ ව පෙන්වා දීම ඊට එක් උදාහරණයකි.

සංවර්ධන අවශ්‍යතාවක් ලෙස දේශපාලනය යුක්තිගරුක කිරීම සම්බන්ධයෙන් සහස්‍රක සංවර්ධන අරමුණු (Millennium Development Goals) බෙහෙවින් දුර්වල විය. එහි තිබූ ප්‍රමුඛ දුර්වලතාවක් වූයේ සහස්‍රක සංවර්ධන අරමුණු නිර්ණය කිරීමට පූර්විකාවක් ලෙස සහස්‍රක ප්‍රකාශනයෙන් (Millennium Declaration) මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් රටවල් පොරොන්දු වූ කැපවීම ක්‍රියාවට නංවන කිසිවක් සහස්‍රක සංවර්ධන අරමුණුවල නො තිබීමයි. ගෝලීය වසයෙන් එකඟ වූ න්‍යාය පත්‍රයකින් වැදගත් මාතෘකා ඉවත් කළ විට එම මාතෘකා ගැන වාර්තා කිරීමක් සිදු නොවන බැවින් ප්‍රමුඛතා පිළියෙළ කිරීමේ දී එවැනි මාතෘකා පිළිබඳ ප්‍රතිපත්ති තීරණය කිරීම හා ප්‍රවර්ධනය සඳහා සාමාජික රටවල් මුදල් වෙන් නොකරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය සහස්‍රක සංවර්ධන අරමුණු  ගැන 2013 දී කළ විවේචනයකින් පෙන්වා දුන්නේ ය.[37]

හුදු ආර්ථික වර්ධනය පදනම් කොට සංවර්ධනය සංකල්පගත කිරීමට කිසියම් දුරකට විකල්පයක් ලෙස ‘තිරසාර සංවර්ධනය’ යන අදහස මුලින් ම සමාජ ගත වූයේ ධ්‍රැවාසන්න වායුගෝලයේ ඉහළින් පිහිටි ඕසෝන් ස්තරය ක්ෂය වීම, වැඩිවන ගෝලීය උණුසුම නිරීක්ෂණය වීම සහ ලෝක ජනගහනයේ ජීවන තත්වයන්ට බලපාන අනෙකුත් පාරිසරික ගැටලු විමසා වාර්තා කිරීම පිණිස 1983දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කරන ලද අන්තර්ජාතික කොමිසමක නිර්දේශ නිසාය. පාරිසරික විශේෂඥයන්, දේශපාලනඥයන් සහ සිවිල් නිලධාරීන් ගෙන් සමන්විත මෙම කොමිසමේ සභාපතිත්වය දැරුවේ නෝර්වේජියානු අගමැතිනි ග්‍රෝ හාර්ලම් බ්‍රන්ට්ලන්ඩ් ය. ‘අපේ පොදු අනාගතය’ (Our Common Future) යන නමින් 1987 දී නිකුත් වූ බ්‍රන්ට්ලන්ඩ් කොමිසමේ වාර්තාව ‘තිරසාර සංවර්ධනය’ යන්න අර්ථ කථනය කරන ලද්දේ “අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීම අසීරුවට ලක් නො කරමින් වර්තමාන අවශ්‍යතා සපුරා ගැනීම පිණිස කරන සංවර්ධනය” යනුවෙනි.  මේ අර්ථකථනය සැපයීමට අතිරේක ව දිළින්දන්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දීම මෙන් ම වර්තමාන හා අනාගත අවශ්‍යතාව සපුරාලීමට පරිසරයට ඇති හැකියාව තාක්ෂණය සහ සමාජය සංවිධානය වී ඇති ආකාරය අනුව සීමා වී තිබීම ද වාර්තාවෙන් අවධාරණය කළේ ය.

දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය මඟින් නිරූපණය වන ධනවාදී ආර්ථික සංවර්ධනයේ ඵල ප්‍රයෝජන trickle down නොහොත් අතපල්ලෙන් වැටීමෙන් දුප්පතුන්ට ද වාසිදායක වෙතැ’යි යන අදහස කලක් තිස්සේ ම පිළිගත් සංවර්ධන න්‍යායක් ලෙස උත්කර්ෂණයට නංවා තිබුණි. එම අදහස ම සංවර්ධනය යනු වෙළඳපොළ බලවේගවල අදෘශ්‍යමාන ස්වර්ණමය හස්තය විසින් මෙහෙයවන දෙයක් ලෙස නවලිබරල්වාදය විසින් ද ඔජ වඩවා තිබුණි. එහෙත් ඒ අනුව වුව ද පරිසර සංරක්ෂණය අනතුරේ වැටීම හා අධිපරිභෝජනය නිසා අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීම අසීරුවට ලක් නො කර නිරායාසයෙන් ම තිරසාර වන සංවර්ධනයක් ඇති කිරීම උගහට බව ඇතැම් ප්‍රතිපත්ති විශ්ලේෂකයන් විසින් පෙන්වා දෙන ලදී.

සංවර්ධනය පිළිබඳ බොහෝ මුල් කාලීන විග්‍රහ trickle down නොහොත් ධනවතුන් විසින් නිපදවන ධනයෙන් කොටසක් වැටුප් හා බදු වසයෙන් ඔවුන්ගේ අත පල්ලෙන් වැටීමෙන් අවශේෂ අයට ද වාසි සැලසේ ය යන ධනවාදී අදහස මත පදනම් වූ ඒවා විය. එහෙත් එයට පටහැණි ව සමාජ විෂමතාව වැඩි වීම නිසා විසිවැනි සිය වසේ අවසාන කාර්තුව වන විට මේ අදහස ගර්හාවට ලක් ව තිබුණි. ඉන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙහෙයවීමෙන් ‘Structural Adjustment Programme’ හෙවත් ‘ව්‍යුහාත්මක ගැලපුම් ක්‍රියාමාර්ගය’ යනුවෙන් 1990 ගණන්වල දී තවත් සංවර්ධන සංකල්පයක් ඉදිරිපත් කර තිබුණි. එමඟින් සියලු ආකාරයේ රාජ්‍ය සහනාධාර සහ පොදු සේවා වෙනුවට නිදහස් වෙළඳපොළ බලවේගවලට නිර්බාධක ව ඉඩ ලබා දීම පොදු සංවර්ධන ප්‍රතිපත්තිය වසයෙන් ප්‍රවර්ධනය කළේ ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙයවීමෙන් වර්තමානයේ වඩා පරිපූර්ණ සහ ඒකාග්‍ර වැඩ සටහනක් ලෙස තිරසාර සංවර්ධන අරමුණු සම්පාදනය වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකී ‘ව්‍යුහාත්මක ගැලපුම් වැඩසටහන’ (structural adjustment program) කේන්ද්‍ර කර ගත් සංවර්ධන උපාය මාර්ගය ද අසාර්ථක වූ නිසාය.

කෙසේ වෙතත් සංකල්පයක් ලෙස ගත් විට සංවර්ධනය යනු විශේෂයෙන් පශ්චාත් යටත් විජිත යුගයේ බෙහෙවින් භාවිතයේ තිබී 1980 ගණන්වල අගභාගය වන විට වේදිකාවෙන් අතුරුදහන් ව ගිය ප්‍රපංචයකි. ඉන් අදහස් කරන්නේ විවෘත වෙළඳපොළ මත පදනම් වූ ආර්ථික සංවර්ධනය ගැන නො ව නව ලිබරල්වාදයේ ග්‍රහණයට හසු වීමට පෙර සංවර්ධනය වන රටවල්වල නායක කාරකාදීන් කතා කළ, බොහෝ විට විදේශාධාර මත දියත් කරනු ලැබූ නැවත පදිංචි කිරීමේ ජනපද ව්‍යාපෘති, ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති, අධ්‍යාපන හා ඉඩම් ප්‍රතිසංස්කරණ ආදි කටයුතුවලට පාදක වූ සංවර්ධනය නමැති සාම්ප්‍රදායික සංකල්පයයි. එකල බොහෝ ඒකාධිකාරී පාලකයෝ එ් පැරණි මෝස්තරයේ සංවර්ධනයට වහ වැටී සිටියහ. එහෙත් මෑත දී ඇතිවූ ජනප්‍රිය ජාතිකවාදී දේශපාලනයේ නැගීමත් සමඟ ඔවුන් අතර පවා සංවර්ධනය තවදුරටත් ඒ තරම් උත්කර්ෂයක් දනවන ඉදිරිගාමී සංකල්පයක් ලෙස නො සැලැකුණි. එහෙත් ට්‍රම්ප්, බොල්සොනාරෝ, එර්ඩොගාන් සහ මෝඩි වැනි අය විශාල ව්‍යාපෘති, පරිභෝජනය වැඩි කිරීම සහ නවලිබරල්වාදී නිර්නියාමනය මඟින් කෝපරේට් සමාගම්වල ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම වැනි “සංවර්ධන” කටයුතු ගැන විශ්වාසය තබා නැති බවක් ඉන් අදහස් නො වේ. එහෙත් සංවර්ධනය නමින් අප කලින් දැන සිටි සාම්ප්‍රදායික සංකල්පය දැන් පිළුණු වී ඇටකටු බවට පත්වී තිබේ. ඒ නිසා, ඒකාධිකාරය සහ පරජන භීතිකාව වැපිරීම හැරෙන විට, ට්‍රම්ප් ආදී ජනප්‍රිය ජාතිකවාදී දේශපාලකයන් භූ සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමට පරිසරයේ සතුරන් වසයෙන් පෙනී සිටීමට වුව ද අකැමැත්තක් නො දැක්වීම පුදුමයට කරුණක් නො වේ. එහෙත් ඒ අතර ම ජනප්‍රිය ජාතිකවාදී දේශපාලනයේ ඇති එක් අසන්තතියක් වන්නේ එය බෙහෙවින් ආත්මාර්ථකාමී ස්වවර්ග කේන්ද්‍රීය මතවාද ප්‍රවර්ධනය කිරීම බව ද අමතක නොකළ යුතු ය.

කෙසේ වෙතත් දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසු බිහි වූ  සංවර්ධනය යන්න හොඳට හෝ නරකට හෝ හැම විට ම රාමු ගත වුණේ ජාතීන් අතර බහුපාර්ශ්වීය (multilateralism) සහයෝගය මත සිදුවිය යුතු දෙයක් ලෙස යි. එහෙත් ට්‍රම්ප්ගේ “මුලින් ම ඇමෙරිකාව” (America First) නමැති ජනප්‍රිය ජාතිකවාදී කාහල නාදයත් සමඟ බහුපාර්ශ්වීය සහයෝගය ඒකපාර්ශවීය අභිලාෂය බවට පත් විය. ඒ නිසා වැදගත් වන්නේ එක් ජාතිකත්වයක ඕනෑ එපාකම් පමණි. අනෙකුත් ජාතීන්ගේ ඕනෑ එපාකම් නො සලකා හැරිය හැකි ය. ඒ අනුව බහුපාර්ශ්වීය සහයෝගය තුළ රාමු ගත වූ සංවර්ධනය පිළිබඳ යුගය ඉක්ම ගොස් තාක්ෂණය සහ සංස්කෘතිය පදනම් කරගත් පශ්චාත් සංවර්ධන යුගයක් එළඹ ඇතැ’යි ඇතැම් විචාරකයෝ පවසති. එහෙත් පැරණි සංවර්ධන සංකල්පය විතැන් කිරීමේ සමාරම්භය ඇත්ත වසයෙන් ම සනිටුහන් වන්නේ තිරසාර සංවර්ධන අරමුණු පිළිබඳ කතිකාව ඇරඹීමත් සමඟ ය.

තිරසාර සංවර්ධන අරමුණු

තිරසාර සංවර්ධන අරමුණු (Sustainable Development Goals)යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියලු සාමාජික රටවල් විසින් අංක 70/1 දරණ යෝජනාව අනුව 2015 දී ඒකමතිකව සම්මත කරගත් සංවර්ධන අරමුණු 17ක එකතුවකි. 2000 සිට 2015 දක්වා ක්‍රියාත්මක වූ සහස්‍රක සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේ වැඩ සටහන නිමාවට වසර තුනකට පෙර 2012 දී Rio+20 යනුවෙන් හැඳින්වෙන එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ලෝක සමුළුව පවත්වා තිබූ අතර එහි නිගමන ‘The Future We Want’ (අපට අවශ්‍ය අනාගතය) යනුවෙන් ප්‍රකාශයට පත් කර තිබුණි. තිරසාර සංවර්ධන අරමුණු නිර්ණය කිරීම සහ ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මුල් පෙළේ දේශපාලන කේන්ද්‍රයක්  පිහිටු විය යුතු බව එම ලේඛනයේ යෝජනා වූ එක් නිර්දේශයකි. ඒ අනුව සාමාජිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ඒ සඳහා පත් කරන ලද අතර තිරසාර සංවර්ධන අරමුණු පිළිබඳ සාකච්ඡා කෙටුම්පත සම්පාදනය වුණේ ඔවුන් අතිනි. 

 වසර 2030 වන විට සාක්ෂාත් කරගත් යුතු නිශ්චිත ඉලක්කවලින් සමන්විත එම තිරසාර සංවර්ධන අරමුණු  හරය වසයෙන් ගත් විට සාමකාමී හා සෞභාග්‍යමත් මිනිස් වර්ගයක්  මෙන් ම නිරෝගී  පෘථිවියක් හා වායුගෝලයක් ද ගොඩනැගීමට හේතු වනු ඇතැ’යි බලාපොරොත්තු වේ.

නිශ්චිත තිරසාර සංවර්ධන අරමුණු 17 කින් සමන්විත එම වැඩපිළිවෙළ මඟින් සමස්ත ලෝකයේ ම සංවර්ධනය තිරසාර ලෙස සිදුවිය යුතු ය යන්න අවධාරණය කෙරේ. ඒ නිසා සංවර්ධනය වෙමින් පවතින රටවලට වෙසෙසින් එල්ල කරන ලද සහස්‍රක සංවර්ධන අරමුණු මෙන් නො ව තිරසාර සංවර්ධන අරමුණු සමස්ත ලෝකයාට ම අඩු වැඩි වසයෙන් අදාළ වන සියලු රටවල් එක් ව හවුලේ සාක්ෂාත් කර ගත යුතු ඒවා වසයෙන් සැලකේ.  මේ අරමුණු 17 වන්නේ:

  1. සියලු තැන්වල ඇති හැම ආකාරයක ම දරිද්‍රතාව අවසන් කිරීම (end poverty in all its forms everywhere);
  2. සාගින්න අවසන් කිරීම, ආහාර සුරක්ෂිතතාව අත්පත් කර ගැනීම, පෝෂ්‍යදායකත්වය වර්ධනය කිරීම සහ තිරසාර කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (end hunger, achieve food security and improved nutrition, and promote sustainable agriculture);
  3. සියලු වයස් කාණ්ඩවලට අයත් සියලු ම දෙනාට සෞඛ්‍ය සම්පන්න සුවපහසු දිවියක් සහතික කිරීම (ensure healthy lives and promote well-being for all at all ages);
  4. inclusive) සහ සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීම සහතික කිරීම සහ යාවජීව ඉගෙනුම් අවස්ථා ලබා ගැනීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීම (ensure inclusive and equitable quality education and promote life-long learning opportunities for all);
  • ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව අත්පත් කර ගැනීම සහ කාන්තාවන් හා දැරියන් සවිබල ගැන්වීම (achieve gender equality and empower all women and girls);
  • සැමට සුලබ ව සහ තිරසාර කළමනාකාරිත්වයක් සහිතව ජලය සහ සනීපාරක්ෂාව සාක්ෂාත් කිරීම (ensure availability and sustainable management of water and sanitation for all);
  • පහසු මිලකට විශ්වාසදායක, තිරසාර හා නවීන බලශක්තිය ලබා ගැනීමට ඇති හැකියාව සහතික කිරීම (ensure access to affordable, reliable, sustainable, and modern energy for all) ;
  • සැමට ශිෂ්ට-කාර්ය සම්ප්‍රයුක්ත පූර්ණ සහ ඵලදායී රැකියා නියුක්තියක් සහිත පෝෂිත, අන්තර්ග්‍රහනීය සහ තිරසාර ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම (promote sustained, inclusive and sustainable economic growth, full and productive employment and decent work for all) ;
  • ප්‍රත්‍යස්ථිත (resilient) හෙවත් ඔරොත්තුදෙන යටිතල පහසුකම් ගොඩ නැගීම, අන්තර්ග්‍රහනීය සහ තිරසාර කාර්මිකකරණය ප්‍රවර්ධනය කිරීම සහ නවොත්පාදනය පරිපෝෂණය කිරීම (build resilient infrastructure, promote inclusive and sustainable industrialization and foster innovation) ;
  • රටවල් තුළ සහ රටවල් අතර ඇති අසමානතා අවම කිරීම (reduce inequality within and among countries);
  • නගර සහ මිනිස් ජනාවාස අන්තර්ග්‍රහනීය, ආරක්ෂිත, ප්‍රත්‍යස්ථිත  සහ තිරසාර ඒවා බවට පත් කිරීම ( make cities and human settlements inclusive, safe, resilient and sustainable);
  • තිරසාර පරිභෝජන සහ නිෂ්පාදන රටා තහවුරු කිරීම (ensure sustainable consumption and production patterns);
  • දේශගුණ විපර්යාසයට සහ එහි බලපෑම්වලට එරෙහිව සටන් කිරීමට වහාම ක්‍රියාත්මක වීම (take urgent action to combat climate change and its impacts) ;
  • තිරසාර සංවර්ධනය සඳහා සාගර, මුහුදු හා සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ ඒවායේ තිරසාර භාවිතය ප්‍රවර්ධනය කිරීම (conserve and sustainably use the oceans, seas and marine resources for sustainable development) ;
  • භූමි පරිසර පද්ධති ආරක්ෂා කිරීම, පුනස්ථාපනය කිරීම සහ ඒවායේ තිරසාර භාවිතය ප්‍රවර්ධනය කිරීම, වනාන්තර තිරසාර ලෙස කළමනාකරණය කිරීම, කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීම, ඉඩම් හායනය නතර කොට ප්‍රතිහායනය කිරීම සහ ජෛව විවිධත්වයට හානි වීම නතර කිරීම (protect, restore and promote sustainable use of terrestrial ecosystems, sustainably manage forests, combat desertification, halt and reverse land degradation and halt biodiversity loss);
  • තිරසාර සංවර්ධනය උදෙසා සාමකාමී සහ අන්තර්ග්‍රහනීය සමාජ ප්‍රවර්ධනය කිරීම, යුක්තිය සාක්ෂාත් කර ගැනීමට සියල්ලන්ට ම හැකි වීම සහ වග වීම සහිත අන්තර්ග්‍රහනීය සහ ඵලදායී ආයතන හැම මට්ටමක ම ගොඩනැගීම (promote peaceful and inclusive societies for sustainable development, provide access to justice for all and build effective, accountable and inclusive institutions at all levels);
  • තිරසාර සංවර්ධනය ක්‍රියාවට නැංවීමේ විධික්‍රම ශක්තිමත් කිරීම ඒ සඳහා ගෝලීය සහයෝගිතාව යළි පණගැන්වීම (strengthen the means of implementation and revitalize the global partnership for sustainable development).

ඉහත කී එක් එක් අරමුණ නිශ්චිත ඉලක්ක ගණනකින් සමන්විත ය.  එම ඉලක්කවල එකතුව 119 කි.  උදාහරණයක් ලෙස 16 වැනි අරමුණ ලෙස සැලකෙන “තිරසාර සංවර්ධනය උදෙසා සාමකාමී සහ අන්තර්ග්‍රහනීය සමාජ ප්‍රවර්ධනය කිරීම, යුක්තිය සාක්ෂාත් කර ගැනීමට සියල්ලන්ට ම හැකි වීම සහ හැම මට්ටමක ම වග වීම සහිත අන්තරීභූත සහ ඵලදායී ආයතන ගොඩනැගීම” යන්න සාමකාමී සමාජ, නීතියේ ආධිපත්‍ය සහ යුක්තිය අත්පත් කර ගැනීම, වග වීම සහිත ඵලදායී අන්තර්ග්‍රහනීය ආයතන, මානව අයිතිවාසිකම් සහ මූලික නිදහස යන උප කාණ්ඩවලට අයත් පහත දැක්වෙන ඉලක්කවලින් සමන්විත ය.

  1. ලොව පුරා සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඒ හා සම්බන්ධ මරණ අනුපාතික සැලකිය යුතු ලෙස අඩු කිරීම (Significantly reduce all forms of violence and related death rates everywhere);
  2. ළමයින් අපයෝජනය, උපයෝජනය, හොර ජාවාරම්වලට යොදා ගැනීම සහ ළමයින්ට එරෙහි සියලු ආකාරවල ප්‍රචණ්ඩකම් හා  ළමයින් වධ හිංසනයට ලක් කිරීම අවසන් කිරීම (End abuse, exploitation, trafficking and all forms of violence against and torture of children);
  3. ජාතික මට්ටමේ ද ජාත්‍යන්තර මට්ටම්වල ද නීතියේ ආධිපත්‍ය ප්‍රවර්ධනය කිරීම සහ සියල්ලන්ට ම යුක්තිය අත්පත් කර ගැනීමේ හැකියාව සහතික කිරීම  (Promote the rule of law at the national and international levels and ensure equal access to justice for all);
  4. 2030 වන විට නීති විරෝධී මූල්‍ය කටයුතු සහ ආයුධ සංසරණය සැලකිය යුතු පමණින් අඩු කිරීම, සොරා ගත් වස්තු හා වත්කම් ප්‍රතිසාධනය සහ ආපසු භාර දීම ශක්තිමත් කිරීම සහ සියලු ආකාරයේ සංවිධානාත්මක අපරාධවලට එරෙහි ව සටන් කිරීම (By 2030, significantly reduce illicit financial and arms flows, strengthen the recovery and return of stolen assets and combat all forms of organized crime);
  5. සියලු ආකාරයේ අල්ලස් හා දූෂණ තථ්‍ය ලෙස ම අවම කිරීම (Substantially reduce corruption and bribery in all their forms);
  6. කාර්යක්ෂම, වග වීම සහිත, පාරදෘශ්‍ය ආයතන සියලු මට්ටම්වල සංවර්ධනය කිරීම (Develop effective, accountable and transparent institutions at all levels);
  7. ප්‍රතිචාරශීලී, අන්තරීභූත, සහභාගිත්ව සහ නියෝජනීය තීරණ ගැනීමේ විධිවිධාන සියලු මට්ටමින් සහතික කිරීම (Ensure responsive, inclusive, participatory and representative decision-making at all levels );
  8. ගෝලීය පාලනය මෙහෙයවන ආයතන තුළ සංවර්ධනය වන රටවල සහභාගිත්වය ශක්තිමත් කිරීම (Broaden and strengthen the participation of developing countries in the institutions of global governance);
  9. 2030 වන විට සියල්ලන්ට ම උත්පත්තිය ලියා පදිංචි කිරීම ද ඇතුළත් ව නීත්‍යනුකූල අනන්‍යතාවයක් ලබා දීම (By 2030, provide legal identity for all, including birth registration);
  10. ජාතික නීති සහ අන්තර්ජාතික ගිවිසුම්වලට අනුව තොරතුරුවලට ප්‍රවේශ වීමට මහජනයාට ඇති අයිතිය සහතික කිරීම සහ මූලික අයිතීන් ආරක්ෂා කිරීම (Ensure public access to information and protect fundamental freedoms, in accordance with national legislation and international agreements);
  11. විශේෂයෙන් ම සංවර්ධනය වන රටවල ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට, ත්‍රස්ත්‍රවාදයට සහ අපරාධවලට එරෙහිව කටයුතු කිරීමට අන්තර්ජාතික සහයෝගය ද සමඟ අදාළ ජාතික ආයතන ශක්තිමත් කිරීම  (Strengthen relevant national institutions, including through international cooperation, for building capacity at all levels, in particular in developing countries, to prevent violence and combat terrorism and crime);
  12. තිරසාර සංවර්ධනය උදෙසා අඩු සැලකිලි දැක්වීමට නො හැකි නීති සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම  (Enforce non-discriminatory laws and policies for sustainable development );

ඉතිරි තිරසාර සංවර්ධන අරමුණු 16 සම්බන්ධයෙන් ද මේ ආකාරයෙන් නිශ්චිත ඉලක්ක හඳුන්වා දී තිබේ.  තිරසාර සංවර්ධන අරමුණු 17 සම්බන්ධව 2015 සැප්තැම්බරයේ දී එකඟත්වයට පැමිණීමට එක්සත් ජාතීන්ට අයත් රටවලට හැකි වීමෙන් පසු ගත වූ පස් වසර තුළ ඒ සම්බන්ධයෙන් ශාස්ත්‍රාලයීය මට්ටමෙන් සැලකිය යුතු විචාර කෘති සංඛ්‍යාවක් පළ වී තිබේ. ඒ අනුව සංවර්ධනය සම්බන්ධයෙන් මින් පෙර පැවති සංකල්ප ගත කිරීම්වලට වඩා වැඩි අවධානයක් ශාස්ත්‍රාලයීය බුද්ධිමතුන් අතර දිනා ගැනීමට තිරසාර සංවර්ධන අරමුණුවලට හැකි ව තිබෙන බව පෙනී යයි.

තිරසාර සංවර්ධන අරමුණුවලින් සැලකිය යුතු ප්‍රමාණයක් සංවර්ධනය සම්බන්ධයෙන් අපට ඉදිරි දශක දෙක තුන තුළ මුහුණ දීමට සිදු වන ඉතාමත් ම වැදගත් කාරණය වසයෙන් සැලකෙන ගෝලීය උණුසුම වෙනස් වීම නිසා ඇතිවිය හැකි දේශගුණ විපර්යාස හා අනෙකුත් ව්‍යසන සම්බන්ධයෙන් වැදගත් වන ඒවා ය. ගෝලීය උණුසුම ඉහළ යෑමෙන් ඇතිවිය හැකි අනතුරු පිළිබඳව වසර තිහකට ආසන්න කාලයක් තුළ අප විසින් ඉමහත් දැනුම් සම්භාරයක්  එකතු කර ගෙන තිබේ. එහෙත් මුලින් සිතුවාට වඩා වේගයකින් ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රවණතාව මානව සංවර්ධනයට අභියෝගයක් විය හැකි බව දැන් අපි දනිමු. ගෝලීය උණුසුම  ඉහළ යෑම වළක්වා ගැනීමට සැලකිය යුතු කැප කිරීමක් කිරීමටත් විශේෂයෙන් බල ශක්ති ප්‍රභවවල තීරණාත්මක වෙනසක් ඇති කිරීමටත් සිදු වනු ඇත. එහෙත් දේශපාලන දේහය මෙහෙයවනු ලබන්නේ  එයට අවහිර කරන ව්‍යාපාරික බලවේග විසිනි. ඒ අනුව ගෝලීය උණුසුමේ වැඩි වීම කාර්මික යුගයට පෙර පැවති උෂ්ණත්වය ඉක්මවා උපරිම වසයෙන් සෙන්ටිග්‍රෙඩ් අංශක 02 ක සීමාව තුළ රඳවා ගැනීමට 2015 පැවති පැරිස් සමුළුවේ ඇති කරගත් එකඟත්වය ක්‍රියාත්මක කිරීම සැලකිය යුතු අභියෝගයක් වී තිබේ. ඒ අතර ඒ සම්බන්ධයෙන් දැනෙන ලෙස මැදිහත් වීමට වෘත්තීය සමිති හා වාමවාදී ව්‍යාපාර තව මත් සමත් වී නැත .

16 වැනි තිරසාර සංවර්ධන අරමුණේ සඳහන් ‘යුක්තිය සාක්ෂාත් කර ගැනීම සියල්ලන්ට ම හැකි වීම‘අපේ නව දේශපාලන සුසමාදර්ශයේ මුඛ්‍ය පාඨය යි. එ බැවින් තිරසාර සංවර්ධනය පිළිබඳ කතිකාව නව දේශපාලන සුසමාදර්ශයක් පිළිබඳ කතිකාවක් බවට පත් කර ගැනීමේ හැකියාව අප ගැඹුරින් විමසා බැලිය යුතු ය. නව දේශපාලන හා ආර්ථික එළඹුමක් සංකල්ප ගත කිරීමේ දී එකී තිරසාර සංවර්ධන අරමුණුවල ඇති ශක්‍යතා හා ඌනතා පිළිබඳ දැනුවත් සාකච්ඡාවක් ඉතා වැදගත් වනු ඇත. උදාහරණයක් ලෙස ‘යුක්තිය සාක්ෂාත් කර ගැනීම සියල්ලන්ට ම හැකි වීම’ යන ඉලක්කය යටතේ අවධානයට යොමු වී නැති කරුණු අතර වැදගත් ම කාරණයක් වන්නේ යුක්තිගරුක ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක් පවත්වා ගෙන යෑමට අත්‍යවශ්‍ය සාධකයක් වන නිදහස්, ස්වාධීන හා බහුවිධ ජනමාධ්‍ය වාතාවරණය යි.

යුක්තිය සාක්ෂාත් කර ගැනීම සියල්ලන්ට ම හැකි වීමට නම් රටක ජනමාධ්‍ය පද්ධතිය අයිතිය සහ අන්තර්ගතය අතින් බහුවිධත්වය හා විවිධත්වය පිළිබිඹු විය යුතු ය. නිරවද්‍ය තොරතුරු සැපයීම මුල් කොට ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව පවත්වා ගෙන යෑමට දැනුවත් වේදිකාවක් වීම ජනමාධ්‍යයේ කේන්ද්‍රීය කාර්යභාරය යි. ඒ සඳහා ජනමාධ්‍ය සංලේඛ්‍ය නිදහසින් (editorial independence) අනූන විය යුතු අතර වෘත්තීය නිපුණත්වය අතින් ඉහළ ජනමාධ්‍යවේදීන්ගෙන් සම්ප්‍රයුක්ත විය යුතු ය. 16 වැනි තිරසාර අරමුණ සම්බන්ධයෙන් නිශ්චය කර ගෙන ඇති ඉලක්කවල එක දුර්වලකමක් වන්නේ එමඟින් මේ අවශ්‍යතාව ආමන්ත්‍රණය නො කිරීමයි. එනිසා එක්සත් ජාතීන්ගේ සංවිධාන ව්‍යුහයට අයත් අධ්‍යාපනය හා සංනිවේදනය පිළිබඳ විශේෂඥ ආයතනය වසයෙන් සැලකෙන යුනෙස්කෝ ආයතනය මඟින් කතිකා කොට සම්මත කර ගෙන ඇති මාධ්‍ය සංවර්ධන දර්ශක යොදා ගැනීමෙන් යුක්තිය සාක්ෂාත් කර ගැනීම සියල්ලන්ට ම හැකි වීමට දායකවන ජනමාධ්‍ය පද්ධතියක සංවර්ධන අවශ්‍යතා නිගමනය කළ හැකි ය. යුනෙස්කෝ මාධ්‍ය සංවර්ධන දර්ශක පහත දැක්වෙන අන්දමින් ප්‍රවර්ග පහකට වෙන් කර තිබේ:

  • ප්‍රකාශනයේ නිදහස, මාධ්‍ය බහුවිධත්වය හා විවිධත්වය ප්‍රවර්ධනය කරන නියාමන විධිවිධාන හා නීති;
  • මාධ්‍ය හිමිකාරිත්වයේ පාරදෘශ්‍යභාවය හා බහුවිධත්වය, මාධ්‍යවල ආර්ථික ශක්තිය හා සමස්ත මාධ්‍ය පද්ධතියේ බහුවිධත්වය;
  • ජනමාධ්‍යය භූමිකාව ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවේ වේදිකාවක් ලෙස ඉටු වීම;
  • ප්‍රකාශනයේ නිදහස, බහුවිධත්වය හා විවිධත්වය වෙනුවෙන් පෙනී සිටින ආයතනවල සහ ජනමාධ්‍යයේ වෘත්තීය ධාරිතාවය සහ ඒවා ප්‍රවර්ධනය සඳහා ලැබෙන සහයෝගය;
  • නිදහස්, ස්වාධීන හා බහුවිධත් ව මාධ්‍ය පද්ධතියක් සඳහා අවශ්‍ය යටිතල පහසුකම්;

ඉහත කී මාධ්‍ය සංවර්ධන දර්ශක පදනම් කර ගෙන ශ්‍රී ලංකාවේ මාධ්‍ය පද්ධති සම්බන්ධයෙන් මෙම කතුවරයාගේ උපදෙස් මත කරන ලද පුළුල් සහභාගිත්ව විමර්ශනයකට අනුව නාලක ගුණවර්ධන සංගෘහිත කළ අගැයීම් වාර්තාවක් ‘ජනතාවට වග කියන මාධ්‍ය කර්මාන්තයක්: ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය හා වෘත්තිය නගා සිටවීමට සැලැස්මක්’ යනුවෙන් 2016දී ප්‍රකාශයට පත් කර ඇත.[38]

දේශපාලන මට්ටමේ දී තිරසාර සංවර්ධන අරමුණු පිළිබඳ සාකච්ඡා තවමත් සීමා වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහනට සම්බන්ධ නිලධාරීන්ට පමණි. ඒ පිළිබඳ උනන්දුවක් දේශපාලන පක්ෂ, සිවිල් සමාජ සංවිධාන හා පොදු මහජනතාව අතර දක්නට නො ලැබේ. කොටින් ම මේ තිරසාර සංවර්ධන අරමුණු දේශපාලන ඉල්ලීම් බවට පරිවර්තනය වී නැත. එනිසා ඒවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතයා හා රජය අතර පවතින සාකච්ඡාවලට පමණක් සීමා විය හැකි ය. මේ අන්දමින් තිරසාර සංවර්ධනය පිළිබඳ සාකච්ඡාව මඟ හැර යෑමට වාමවාදීන් දක්වන තැත බොහෝ දුරට මානව අයිතිවාසිකම් ගැන වාමවාදීන් මුල දී දැක් වූ නො සැලකිල්ලට සමානය. තිරසාර සංවර්ධන අරමුණු සම්බන්ධ ඉලක්ක 169 පමණට වඩා වැඩි යැ’යි කෙනෙකුට හැඟෙන්නට පුළුවන් වුවද වඩා උචිත අරමුණුවලට සහ ඉලක්කවලට වැඩි ප්‍රමුඛත්වයක් දිය හැකි ය. ඩෙන්මාර්කයේ මානව හිමිකම් කවුන්සිලය විසින් කරවන ලද ශාස්ත්‍රාලයීය විශ්ලේෂණයකට අනුව එකී ඉලක්ක 169න්  ඉලක්ක 156ක්ම මානව හිමිකම් හා සම්බන්ධ ඒවා ය.  කෙසේ වෙතත් සංවර්ධනය සම්බන්ධ යුක්තිය සාක්ෂාත් කර ගැනීමේ දේශීය ව්‍යාපාරවලට මෙන් ම ඒ සඳහා වඩා ඵලදායක ලෙස කලාපීය හා ගෝලීය මට්ටමේ මහජන සහයෝගිතා ව්‍යාපාරයක් ගොඩ නැගීමට ද තිරසාර සංවර්ධන අරමුණු සාකච්ඡාව පිවිසුමක් ලෙස යොදා ගත හැකි ය.

තිරසාර සංවර්ධන අරමුණු අන්තර්ගත වන වඩා පරිපූර්ණ ආර්ථික දැක්මක් ඔක්ස්ෆර්ඩ් සරසවියේ ආර්ථික විද්‍යාව ඉගැන්වූ කේට් රේවත් 2018 දී පළ කළ Doughnut Economics නමැති කෘතියෙන් හඳුන්වා දී තිබේ. තිරසාර සංවර්ධන අරමුණුවලට බද්ධ ව මානව හිමිකම් පාදක සංවර්ධනය, පරිසර සංරක්ෂණය සහ ජීවිත ප්‍රවර්තනය සඳහා අත්‍යවශ්‍ය පෘථිවි ආධාරක පද්ධතිය සමස්තයක් ලෙස ගෙන සංකල්ප ගත කර ඇති ඩෝනට් ආර්ථික එළඹුම සංවර්ධනය පිළිබඳ වඩාත් අන්තර්ග්‍රහනීය ආදර්ශයක් (inclusive model) යෝජනා කරයි. එය පෘථිවිය සතු සම්පත් විනාශකාරී ලෙස යොදා ගැනීමෙන් වැළකී ජීවිතය උපරිම ලෙස විඳ ගැනීමට අපට ඇති හැකියාව වර්ධනය කර ගැනීම අරමුණු කරගත් ආර්ථික එළඹුමකි. ඊළඟ පරිච්ඡේදයක දී අපි ඒ ගැන සවිස්තරාත්මක ව විමසා බලමු.

සමාජ විෂමතාව අවම කරන විකල්ප ආර්ථික ප්‍රවේශයක් ගොඩ නැගීමේ දී වැදගත් ම කාරණයක් වන්නේ එම ආර්ථික ප්‍රවේශය මඟින් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන මෙහෙවර (mission) ගැන නිශ්චිත අවබෝධයක් ඇති කර ගැනීම යි. ආදායම් විෂමතාව අවම කළ හැකි සාර්වත්‍රික මූලික ආදායමක් ලබා දීම, දින හතරක වැඩ සතියක් ලබා දීම, අධ්‍යාපන අවස්ථා පිළිබඳ විෂමතාව නැති කිරීම සහ අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීම වැනි කරුණු කේට් රෙවර්ත් යෝජනා කරන ඩෝනට් ආර්ථික එළඹුම තුළ ස්ථාන ගත කර ගැනීමෙන් එවැනි මෙහෙවරක් නිශ්චය කර ගැනීමට අපට හැකි වනු ඇත. ආර්ථික විද්‍යාඥ මරියානා මස්සුකාටෝ ‘මෙහෙවර ආර්ථිකය’ (mission economy) යන යෙදුම යොදා ගන්නේ ආර්ථිකය මෙහෙයවිය යුත්තේ කල් තියා එකඟ වූ සමාජ මෙහෙවර සාක්ෂාත් කර ගැනීම සඳහා බව අවධාරණය කිරීමට යි. ඒ ගැන 24 වැනි පරිච්ඡේදයේ දී සවිස්තර ව සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022


[1] Morris, M.D. (1980), “The physical quality of life index (PQLI),” Development Digest, Vol. 18(1), pp. 95–109.

[2] Mahbub ul Haq, Reflections on Human Development (Oxford: Oxford University Press, 1995), 14.

[3] Sagar,  A. D. and Najam, A.(1998), “The Human Development Index: A Critical Review,” Ecological Economics 25, no. 3 p. 251.

[4] McGillivray, Mark (1991)“The Human Development Index: Yet Another Redundant Composite Indicator?” World Development 19, no. 10 p. 1461.

[5] Sen, Amartya (2000)  “A Decade of Human Development,” Journal of Human Development 1, no. 1 p. 21.

[6] Organization of Economic Cooperation and Development, (1996) Shaping the 21st Century: The Contribution of Development Cooperation (Paris: OECD,),p 2

[7] Sen, Amartya.( 2003). Development as Capability Expansion. In Readings in human development, ed. S. Fukuda-Parr, et al. New Delhi: Oxford University Press.

[8]http://www.statistics.gov.lk/Poverty/StaticalInformation/GlobalMultidimensionalPovertyforSriLanka

[9] https://ophi.org.uk/multidimensional-poverty-index/

[10] Deepa Narayan (2000), Voices of the Poor: Can Anyone Hear Us?, Oxford University Press, p.39

[11] Thomas Malthus (1798) – An Essay on the Principle of Population. Chapter X, paragraph 29, lines 12-15. (Online) 

[12] https://ourworldindata.org/history-of-poverty-has-just-begun retrieved on 19 Jan 2022

[13]https://www.eapn.eu/wp-content/uploads/2019/01/EAPN-EAPN-SE-Poverty-Watch-2018-En-Final.pdf retrieved on the 19 Jan 2022

[14] Roser, Max (2022), The history of the end of poverty has just begun, published at https://ourworldindata.org/history-of-poverty-has-just-begun retrieved on the 19 Jan 2022

[15] Hazra, Somnath  and Bhukta, Anindya (eds.) (2020), p. vii, Sustainable Development Goals, An Indian Perspective, New York: Springer

[16] Lomazzi, Marta et el. (2014) The Millenium Development Goals, Experiences

[17] Friedman, HS (2013) Causal Inference and the Millennium Development Goals (MDGs): Assessing Whether There Was an Acceleration in MDG Development Indicators Following the MDG Declaration. MPRA Paper no. 48973, 3rd August 2013. Available at https:// mpra.ub.uni-muenchen.de/48793/. (Accessed on 14 June 2021)

[18] See Sakiko Fukuda-Parr, “Reducing Inequality: The Missing MDG: A Content Review of PRSPs and Bilateral Donor Policy Statements,” IDS Bulletin 41, no. 1 (2010): 26–35; Sakiko Fukuda-Parr, “Theory and Policy in International Development: Human Development and Capability Approach and the Millennium Development Goals,” International Studies Review 13, no. 1 (2011): 122–132; Fukuda-Parr and Hulme, “International Norm Dynamics.”

[19] Vandemoortele, Jan “The MDG Story: Intention Denied,” Development and Change 42, no. 1 (2011): 1–21.

[20] Sen, A (1999) p. 285 Development as Freedom, New York

[21] Nussbaum, Martha C. (2000) Women and Development} Capability Approach, London: Cambridge University Press p.97-

[22] Sen. Amartya (2009) The Idea of Justice (London: Allen Lane), p’ 354

[23] Nussbaum, Martha C (2006) Poverty and Human Functioning: Capability as Fundamental Entitlements in Poverty and Inequality, David B Grusky and Ravi Kanbur (eds.)  (Stanford: Stanford University Press) p.54

[24] Robeyns, Ingrid (2017) Wellbeing Freedom and Social Justice (Cambridge: Open Book Publishers) p.184-185

[25] Nussbaum, Martha C (1988) “Nature, Function, and Capability: Aristotle on Political Distribution,” in Oxford Studies in Ancient Philosophy: Supplementary Volume (Oxford: Oxford University Press, ), p. 145-184.

[26] Nussbaum, Martha C. (2000) Women and Development} Capability Approach, London: Cambridge University Press p.78-80,

[27] Robeyns, Ingrid (2017) Wellbeing Freedom and Social Justice (Cambridge: Open Book Publishers) p.10-11

[28] UNDP (2000) Human Development Report – 2000, United Nations Development Programme, New York, p. 2

[29] https://www.un.org/en/about-us/universal-declaration-of-human-rights Retrieved on 21 August 2021

[30] Ishay, Micheline R (2004) The History of Human Rights, Berkly: University of California Press, p 222

[31] Ife, Jime (2008) Human Rights and Social Work, Cambridge: Cambridge University Press, p..45

[32] මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සඳහා විශ්ව මානව අයිතිවාසිකම් ප්‍රකාශනයේ ඉතිහාසය අලළා 2012 දී මා ලියූ “නියත විවරණය” කෘතිය කියවන්න. එය රාවය ප්‍රකාශනයකි.

[33] Sen, Amartya (2010). The Idea of Justice. Penguin UK. pp. 366-367, Kindle Edition.

[34] https://rsf.org/en/ranking#

[35] Stephen Browne and Tomas G. Weiss (2021) p.14-15, UN development System: Origins, Structure, Status in Routledge Handbook on UN and Development, (eds) Stephen Browne and Tomas G. Weiss, Routledge New York

[36] Devin Joshi and Roni Kay O’Del (2013) p. 249-275, Global Governance and Development Ideology in Global Governance: A Review of Multilateralism and International Organizations (ed. Alynna J. Lyon et.al) Vol 19-2

[37] Statement by 17 Special Procedures mandate-holders of the Human Rights Council on the Post-2015 development agenda, 21 May 2013, https://newsarchive.ohchr.org/EN/NewsEvents/Pages/DisplayNews.aspx?NewsID=13341&LangID=E

[38] ජනතාවට වග කියන මාධ්‍ය කර්මාන්තයක් උදෙසා: ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය සහ වෘත්තිය නංවා සිටුවීමට සැලැස්මක් (2016), නාලක ගුණවර්ධන (සංස්.) ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගිතාව (International Media Support), Colombo

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: