20. වර්ධනය යනු සංවර්ධනයම ද?

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

රටක ආර්ථිකයේ සාර්ථකත්වය සාම්ප්‍රදායික ව මනිනු ලබන්නේ GDP (Gross Domestic Product) හෙවත් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ඉහළ යෑම මත ය. දළ දේශීය නිෂ්පාදිතය වසයෙන් හඳුන්වනු ලබන්නේ වසරක දී රට තුළ නිපදවන භාණ්ඩ සහ සේවාවල මුළු එකතුවේ වටිනාකම යි. වෙළඳපොළ ආර්ථිකයක නිෂ්පාදනය කරන හැම භාණ්ඩයක් හා සේවාවක් ම විකිණීමකට හා මිල දී ගැනීමකට ලක් වන්නේ ය යන පදනම මත දළ දේශීය නිෂ්පාදිතය ගිණීමේ ක්‍රමය වන්නේ අදාළ වසරේ රට තුළ නිපදවෙන භාණ්ඩ හා සැපයෙන සේවාවල සමස්ත වටිනාකම ගණන් බැලීම යි. මේ මිණුමට අනුව භාණ්ඩ හා සේවාවල පුද්ගලික පරිභෝජනයේ එකතුව, නව වත්කම් සඳහා කර ඇති ආයෝජන, රාජ්‍ය සේවක වැටුප් ඇතුළු රජයේ වියදම් සහ නිර්යාත ආදායම ද ඇතුළත් ව ගණනය වන මුලු මූල්‍යමය වටිනාකම මත දළ දේශීය නිෂ්පාදනය ගණනය වෙයි. එහෙත් මෙහි දී ඉතිරි කිරීම් වසයෙන් සැලකෙන කොටස් මිල දී ගැනීම් සහ දැනටමත් හිමි ව ඇති දේපළ සම්බන්ධයෙන් කෙරෙන ආයෝජනය ගණන් නො ගැනේ. එමෙන් ම සමාජ ආරක්ෂණය වැනි යළි බෙදාහැරීම සඳහා වන වියදම් මේ ගණනයෙන් ඉවත් කෙරේ.

දළ දේශීය නිෂ්පාදිතය මත ආර්ථික සාර්ථකත්වය මනින මෙම සාම්ප්‍රදායික ක්‍රමය තාක්ෂණික වසයෙන් මෙන් ම හරය වසයෙන් ද පලුදු සහගත බව පෙයිස්කර් සහ ෆ්ලිට්නි සිය “The Age of Post-Rationality කෘතියේ පෙන්වා දෙයි. ඔවුන් පෙන්වා දෙන පරිදි තාක්ෂණික ව ගත් විට ‘අළුපැහැ ආර්ථිකය’ (grey economy) හෝ ‘අත යට මුදල්’ හෝ යනුවෙන් හැඳින්වෙන අවිධිමත් ආර්ථිකය දළ දේශීය නිෂ්පාදිතය තුළ නිරූපණය නො වේ. මේ ඌණතාව ආමන්ත්‍රණය කිරීමට ඇතැම් සංවිධාන මෑතක දී කිසියම් උත්සාහයක් ගෙන තිබුණි. යුරෝපා සංගමය තුළ නීති විරෝධී ගණිකා වෘත්තිය සහ මත් ද්‍රව්‍ය ජාවාරම් පවා දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් වසයෙන් සැලකිය යුතු යැයි සැලකීම එයට එක් උදාහරණයකි.

ඒ අතර ‘සමාජීය ආර්ථිකය’ (social economy) යනුවෙන් හැඳින්විය හැකි ක්ෂේත්‍රය ද දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ මිනුම්වලින් ආවරණය නො වන තවත් වැදගත් ක්ෂේත්‍රයකි. උදාහරණයක් වසයෙන් මිතුරන් අතර හා පවුලේ සාමාජිකයන් අතර මුදල් හුවමාරුවකින් තොර ව සිදු වන උදව් පදව්, සේවා සහ ආච්චිලා සීයලා විසින් මුනුබුරු මිනිබිරියන් බලා ගැනීමේ සිට අසල්වාසීන් විසින් එකිනෙකාට උදව් කර ගනු ලැබීම දක්වා කරන පරෝපකාරී කටයුතු බෙහෙවින් අගය කළ යුතු ඒවා වන නමුත් එවැනි දේවල් ආර්ථික අගයක් ඇති දේවල් ලෙස දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ සංකල්පය තුළ නො සැලකේ. මැදි ආදායම් සහ අඩු ආදායම් ලබන රටවල එවැනි ‘සමාජීය ආර්ථික’ කටයුතු බෙහෙවින් පවතින නමුත් ඒවා දළ දේශීය නිෂ්පාදන මිණුම්වල දී කිසිදු සැලකීමකට ලක් නො වේ. ඒ නිසා එම රටවල දුප්පත්කම ඇත්ත වසයෙන් ම පවතිනවාට වඩා අතිශයෝක්තියකින් නිරූපණය වේ.

ඉහත කී පරෝපකාරී ‘සමාජීය ආර්ථිකයක’ පැවැත්ම ධනවාදී ආර්ථික තාර්කිකත්වයට අනුව නම් ක්‍රම විරෝධී දෙයක් ලෙස සැලකිය යුතු ය. ඒ අනුව උදව්වක් ලෙස ඔබේ මිතුරෙකු ඔබ ඔබේ ම වාහනයෙන් ගුවන් තොටුපලට ගෙන ගොස් ඇරලීම ගැනෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයට සිදු වූ පාඩුවක් ලෙස ය. මන්ද එම ගමන දළ දේශීය නිෂ්පාදිතයට සිදු වන වාසියක් ලෙස සැලකිය හැකි වන්නේ ඔබේ මිතුරා එම ගමන මුදල් ගෙවා කුලී රථයකින් ගියේ නම් පමණක් වන බැවිනි. දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ මිනුමේ ඇති බරපතළ දුර්වලතාව වන්නේ අපේ ජීවිතවල සාමූහික ගුණාත්මක භාවය ඇත්ත වසයෙන් ම අඩු කිරීමට තුඩු දෙන අප්‍රසන්න වියදම් ද එම මිනුම තුළ අන්තර්ගත වීම යි. ඒ අනුව අපරාධ ප්‍රමාණය වැඩි වුණ විට නීතිය ක්‍රියාත්මක කිරීම සහ බන්ධනාගාර පවත්වා ගෙන යෑම සඳහා වැඩි වන වියදම නිසා ද රිය අනතුරු වැඩි වන විට අලුත්වැඩියා කිරීමේ වියදම වැඩි වීම නිසා ද දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යයි. අපේ දළ දේශීය නිෂ්පාදිතයට වායු දූෂණය ද, දුම් පානය දිරි ගන්වන ප්‍රචාරක කටයුතු ද අඩංගු වන බව අමතක නො කළ යුතු බව රොබට් කෙනඩි වරක් ප්‍රකාශ කළේ දළ දේශීය නිෂ්පාදිත මිණුමේ වැඩි වීම යනු ප්‍රගතිය නො වන බව  අවධාරණය කිරීම සඳහා ය.

මෙහි දී ප්‍රධාන ගැට‍ලුව වන්නේ GDP හෙවත් දළ දේශීය නිෂ්පාදනය යනු සමාජයට සහ මිනිසුන්ගේ ජීවිතයේ ගුණාත්මක භාවයට සිදු වන්නේ කුමක් දැ’යි නො තකා සියලු ම ආකාරයේ මූල්‍යමය ගනුදෙනු අඩංගු කර ගන්නා ප්‍රමාණාත්මක මිණුමක් බවට පත්වී තිබීම යි. සාම්ප්‍රදායික ව ජාතියක ආර්ථික ප්‍රගතිය මැනීමේ දී දළ ඒක පුද්ගල දේශීය ආදායම ඉහළ යා හැකි නමුදු වැඩිවන සමාජ අසමානතාව නිසා එය හුදෙක් සුළුතරයක් අතර කේන්ද්‍ර ගත වන ධනයක් පිළිබඳ මිම්මක් ද විය හැකි ය. වසර 2000 සිට 2008 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ සමස්ත ආර්ථික වර්ධනය ඉතා ඉහළ මට්ටමක පැවතුණ නමුත් උද්ධමනයට අනුව සැකසූ මිණුම්වලට අනුව ඒ කාලය තුළ කුටුම්බ ආදායම 4% කින් අඩු විය. එහෙත් ඒ අතර ඉහළ ආදායම් ලබන 1%ක උපයා ගත් ප්‍රමාණය සාපේක්ෂ ව සැලකිය යුතු පමණින්‍ වැඩි විය. ඒ නිසා සමාජ විෂමතාව දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ මිනුම්වලින් එළිදරව් නො වේ. කෙසේ වුව ද ආර්ථික විද්‍යාඥයෝ ආර්ථික ප්‍රගතිය මනින්නේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය අනුව යි. එනිසා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය කොතෙක් දුරට වැදගත් ද කියා විමසිය යුතු ය.

දළ දේශීය නිෂ්පාදිතය හෙවත් GDPය පිළිබඳ සංකල්පය හඳුන්වා දීමට එක්තරා අන්දමකට හේතු වුණේ එක්දහස් නවසිය තිස් ගණන්වල දී ඇමරිකානු කොංග්‍රස් සභාව ඇමරිකාවේ ජාතික ආදායම මැනීමට සුදුසු මිම්මක් සකස් කිරීම ආර්ථික විද්‍යාඥයකු වන සයිමන් කුස්නෙට් ට පැවරීමේ ප්‍රතිඵලයක් ලෙස යි. ඒ අනුව ලෝකය පුරා ම ඇමෙරිකාව විසින් වාර්ෂිකව ජනිත කරනු ලබන ඉපයුම්වල වටිනාකම පදනම් කර ගෙන දළ ජාතික නිෂ්පාදිතය (Gross National Product) යනුවෙන් හැඳින්වෙන මිම්මක් කුස්නෙට් විසින් හඳුන්වා දෙන ලදී. මේ නිසා ප්‍රථම වතාවට ලොව පුරා ඇමෙරිකාව සතු සම්පත් මඟින් වාර්ෂිකව බිහි වෙන නිපැයුම්වල වටිනාකමට ඩොලර්වලින් මිලක් නියම කිරීමට හැකි විය. ඇමෙරිකා එක්සත් ජනපදයේ මහා අවපාතයට(1929-1941) මුහුණ දීමට තමන් විසින් හඳුන්වා දෙන ලද ප්‍රගතිශීලී ප්‍රතිපත්ති නිසා ඇති වූ ප්‍රගතිය මැන බැලීමට ජනාධිපති රූස්වෙල්ට්ට මේ මිම්ම අතිශයින් ප්‍රයෝජනවත් විය. මෙයට අනුරූප ව පසු කලක දළ දේශීය නිෂ්පාදිතය යනුවෙන් හැඳින්වුණු මිම්ම මඟින් මනින ලද්දේ වාර්ෂිකව දේශීය නිෂ්පාදනයේ එනම් අදාළ රට තුළ පමණක් බිහි කරන නිෂ්පාදිතයේ මුළු වටිනාකම යි. එය දළ දේශීය නිෂ්පාදිතය (Gross Domestic Product) හෙවත් GDP යනුවෙන් හැඳින්විණි. මේ අනුව බලන විට ජනාධිපති රූස්වෙල්ට් සිය සංවර්ධන ප්‍රතිපත්තිවල ප්‍රගතිය මැන ගැනීම සඳහා යොදා ගත් මිම්ම වර්තමානයේ දී සමස්ත ආර්ථිකයේ ප්‍රගතිය පිළිබඳ නිර්ණායකය පමණක් නො ව මූලික ප්‍රතිපත්තිය බවට පත්වී තිබීම ද උත්ප්‍රාසයකි.

ඉතා භක්තිමත් ව GDP හෙවත් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ඉලක්කය කරගත් අලුත් ම තරඟකාරී ආර්ථික නියාම මොනවා දැ’යි නිරන්තරයෙන් විමසා බැලීමට තමන් ද ඇතුළුව ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නා ශිෂ්‍යයෝ විශ්ව විද්‍යාලයේ දී උත්සුක වූ බව ඉදිරියේ දී අප සවිස්තරව සලකා බැලීමට අදහස් කරන ඩෝනට් ආර්ථිකය (Doughnut Economics) යන උත්තේජනීය සංකල්පය ඉදිරිපත් කළ තරුණ ආර්ථික විද්‍යාඥවරියක වන කේට් රේවර්ත් පවසයි. දළ දේශීය නිෂ්පාදිතයෙහි වර්ධනයක් ඇති වන්නේ ජාතියක් නව තාක්ෂණය යොදා ගැනීම නිසා ද? නැත්නම් වැඩි වන කර්මාන්තශාලා යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණයේ ප්‍රතිඵලයක් වසයෙන් ද? එසේත් නො වේ නම් මානව ප්‍රාග්ධනය වැඩි වීමක් නිසා ද? වැනි විමසුම් සියල්ල එකල ඉතා ආකර්ෂණීය ප්‍රශ්න වූ බව ද ඇය සඳහන් කරයි. එහෙත් ඔවුන් කවදාවත් මොහොතක් නැවතී දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය සැම විට ම අවශ්‍ය වන දෙයක් ද? හැම විට ම අභිමත වන දෙයක් ද?  ඇත්ත වසයෙන් ම දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය හැම විට ම සාක්ෂාත් කර ගත හැකි දෙයක් දැ’යි බරපතළ ලෙස විමර්ශනය කිරීමක් නො කළ බව ද ඇය සිහිපත් කරයි. අනතුරුව ආර්ථික චින්තනයේ අරමුණ කුමක් විය යුතු ද යන ප්‍රශ්නය තමාගේ හිතට නැගුණේ එකල එතරම් සැලකිල්ලක් නො දැක්වූ මාතෘකාවක් ලෙස ගැනුණු සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකය පිළිබඳ ව විමසිලිමත් වූ විට බව රේවර්ත් පවසයි.

එහි දී කේට්ගේ හිතට නැඟුණු අභියෝගාත්මක ප්‍රශ්නය වූයේ සංවර්ධනයේ සාර්ථකත්වය තක්සේරු කිරීමේ හොඳම ක්‍රමය කුමක් ද යන්නයි. ඒ බව ඇය සඳහන් කරන්නේ මෙසේයි. “මේ ප්‍රශ්නය මෙසේ සිතට නැගීම මා විමතියටත් භ්‍රාන්තියටත් පත් කරන්නක් විය. වසර දෙකක ආර්ථික විද්‍යා අධ්‍යාපනයකින් පසුව ආර්ථික චින්තනයේ නියම අරමුණ කුමක් ද යන්න ගැන ‍ප්‍රථම වරට ප්‍රශ්න කිරීමට මට සිදුවී තිබේ. එම ප්‍රශ්නය අපේ සිත්වලින් මග හැරී යෑම මට මෙතෙක් කල් පෙනී නො තිබීම පුදුමයකි”. [1]

සෝවියට් දේශය ඉස්මතු වීම තරඟයක් ලෙස සැලකූ ඇමරිකාව එක්දහස් නවසිය හැට ගණන්වල ජාතික ආරක්ෂාව සඳහා විශාල සම්පත් ප්‍රමාණයක් යොදවමින් එය දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නැංවීම සඳහා යොදා ගත්තේ ය. ඇමෙරිකාව සහ සෝවියට් සංගමය අතර තිබූ දෘෂ්ටිවාදී තරඟය නිදහස් වෙළඳපොළ සහ මධ්‍යගත සැලසුම් මත ආර්ථිකය කළමනාකරණය කරන ආර්ථික මතවාද අතර තරඟයක් බවට පත් විය. කිනම් ආර්ථික දෘෂ්ටිවාදයක් වඩා බලවත් වේද යන කාරණය පිළිබඳ ඇමෙරිකාව සහ සෝවියට් සංගමය අතර වූ තරඟයේ දී දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධන වේගය තීරණාත්මක සංවර්ධන සංරචකයක් ලෙස ඇමෙරිකාව විසින් ප්‍රවර්ධනය කරන ලදී. 1960 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ දී ජෝන් කෙනඩිගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූයේ ඇමරිකාවේ දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධන වේගය 5% ක් දක්වා වැඩි කර ගන්නා බවයි. මැතිවරණය ජයග්‍රහණය කළ වහා ම ඔහු සිය ආර්ථික උපදේශකයන් ගෙන් ඇසූ ප්‍රධාන ප්‍රශ්නය වූයේ අපට 5% ක වර්ධන වේගයක් පවත්වා ගෙන යෑමට ඇත්තට ම පුළුවන් වේවි ද යන්නයි.

එහෙත් කුස්නෙට් පවා තමන් විසින් හඳුන්වා දෙනු ලැබූ දළ ජාතික නිෂ්පාදිතය පිළිබඳ දර්ශකය ආර්ථික ප්‍රගතියේ දර්ශකයක් වසයෙන් හුවා දැක්වීමට මැලි විය. ඊට හේතු වූයේ එකී දර්ශකය පිළියෙල කිරීම පිණිස යොදා ගත් ගණනය කිරීම්වල සීමාසහිත ස්වභාවය ඔහු දුටු බැවිනි. කුස්නෙට් විස්තර කළ අන්දමට දළ ජාතික නිෂ්පාදිතය මඟින් ගණනය කරනු ලැබුවේ ආර්ථිකයක් තුළ භාණ්ඩ සහ සේවාවල වෙළඳපළ අගය පමණි. එදිනෙදා ජීවිතයේ දී ගෘහස්ථ ව නිපදවන භාණ්ඩ සහ සපයන සේවා සිය දර්ශකය පිළියෙළ කිරීමේ දී මුළුමනින් ම නො තකා හැර ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය. අනික් අතට තමන් හඳුන්වා දුන් දර්ශකය මඟින් ආදායම හා පරිභෝජනය කුටුම්බ අතර ඇත්ත වසයෙන් ම බෙදී යන්නේ කෙසේ ද යන්න ගැන සැලකිල්ලක් නො දැක්වූ බව ද ඔහු පෙන්වා දුන්නේ ය. ජාතික ආදායම පිළිබඳ මිම්ම ආදායම් ප්‍රවාහය පිළිබඳ මිම්මක් නිසා එම ආදායම නිපයූ ධන සම්පත් පිළිබඳ විගණනයක් සහ එකී ධන සම්පත් බෙදී යන ආකාරය පිළිබඳ විශ්ලේෂණයකින් තොර ව දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය සියල්ල සඳහා ප්‍රයෝජනයට ගත හැකි දර්ශකයක් නො වන බව කුස්නෙට් දුටුවේ ය. 1960 ගණන්වල දී දළ ජාතික නිෂ්පාදිතය පිළිබඳ දර්ශකයෙහි ජනප්‍රියතාව උච්චතම ස්ථානයක තිබුණු අවධියේ ඒ පිළිබඳ ව දරුණු ම විවේචකයා වූයේ කුස්නෙට් ය. ජාතියක සුභසාධනය ජාතික ආදායම පිළිබඳ මිම්මකින් අනුමානය කිරීම අසීරු බව ඔහු මුල සිට ම පෙන්වා දුන්නේ ය. 

දළ ජාතික නිෂ්පාදිතය පිළිබඳ  මිම්මේ නිර්මාතෘවරයා එසේ අනතුරු හැඟවුව ද  ආර්ථික විද්‍යාඥයන් මෙන් ම දේශපාලනඥයන් ද එකාවන් ව කුස්නෙට්ගේ එම අවවාදය නො තකා හැරියේ ය. වසරෙන් වසරට ඇති වෙතැ’යි සැලකෙන ආර්ථික ප්‍රගතියක් මැන බැලීමේ තනි මිම්මකට තිබූ ආකර්ෂණය ඉතා බලවත් එකක් විය. ඒ නිසා වසර 50 තුළ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය (Growth Rate) ප්‍රතිපත්තිමය තේරීමක් පමණක් නො ව දේශපාලනික අවශ්‍යතාවක් බවට ද පත් විය. ඒ අනුව තත්වාකාරයෙන් ම අවසානයේ දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සංවර්ධනයේ මූලික ප්‍රතිපත්තිමය අරමුණ බවට පත් විය. එනිසා තව දුරටත් වර්ධන වේගය වැඩි කර ගැනීම හැම විට ම අභිමතයක් විය යුතු ම ද, අත්‍යවශ්‍ය ම ද නැත හොත් හැම දා ම සාක්ෂාත් කර ගත හැකි වන දෙයක් ද යන්න විචාරශීලී ව විමසීම ආර්ථික විද්‍යාඥයන්ට මෙන් ම දේශපාලනඥයින්ට ද දේශපාලනික වසයෙන් සිය දිවි හානිකර ගැනීමක් බඳු විය. (දරුණු ගංවතුර උවදුරකින් පවුල් ගණනාවක් ම අවතැන් වූ එක් අවස්ථාවක එවකට සිටි ජනාධිපතිවරයා ගංවතුර පැමිණි හැම වසරක දී ම ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සැලකිය යුතු ප්‍රතිශතයකින් ඉහළ ගිය බව කියමින් උදම් ඇනීම දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට ඇති ලොල් බව කොතෙක් දුරට දේශපාලනඥයන් අතර ඇටුවන් බැහැ ඇති සංකල්පයක් ද යන්න පෙන්වයි.)

සමාජ විෂමතාව, සමාජ සාධාරණය පිළිබඳ කාරණය සම්බන්ධයෙන් නූතන ආර්ථික විද්‍යාවේ මතය වූයේ මුල දී කැපී පෙනෙන ලෙස සමාජ විෂමතා ඇතිවීම ස්වාභාවික වන නමුත් ආර්ථික වර්ධනයත් සමඟ නිදහස් වෙළඳපොළ ක්‍රමය තුළ එකී විෂමතා බොහෝ දුරට  සමනය වන බව යි. මේ අදහස කුස්නෙට් විසින් මුලින් ම සමාජගත කරන ලද අතර පසු ව නව ලිබරල් වාදය විසින් උත්කර්ෂණයට නංවනු ලැබ ඇත. උදාහරණයක් ලෙස කාර්මිකකරණයේ මුල් අවදියේ දී වායු අපද්‍රව්‍ය නිසා නාගරික ප්‍රදේශ බෙහෙවින් පරිසර දූෂණයට ලක් වුණත් ආර්ථික වර්ධනය ඉහළ යෑමත් සමඟ කාර්යක්ෂමතාව  වැඩි කිරීමට වඩා දියුණු තාක්ෂණය යොදා ගැනීමෙන් එම තත්වය පාලනය වූ බව ඔවුන් ඒ සම්බන්ධයෙන් ගෙන හැර දක්වන තර්කයකි. එය හුදෙක්  නිදහස් වෙළඳපොළ  නිසා ඇතිවෙන ස්වයං නියාමනයක් බවට ලඝු කිරීමට තැත් කළත් ඇත්ත වසයෙන් ම සමාජය වඩ වඩා  ප්‍රජාතන්ත්‍රීකරණයට ලක් වීම නිසා පරිසරය හා සෞඛ්‍යාරක්ෂාවට හිතකර නියාමනයක් සඳහා මැදිහත් වීමට රජයට බල කිරීමට මහජනතාවට හැකි වීම අර කියන ස්වයං නියාමනයට වඩා වැදගත් විය.

වර්ධනය උත්කර්ෂණයට නැංවීම ප්‍රශ්න කිරීමට තරම්  ධෛර්යය සම්ප්‍රයුක්ත වූ එක් තැනැත්තියක් වූයේ පද්ධති චින්තනය පිළිබඳ විශේෂඥවරියක් වූ ඩොනෙල්ලා මීඩොව්ස් (Donella Meadows)ය. ඇය 1972 දී පළ වූ Limits to Growth හෙවත් ‘වර්ධනයේ සීමා’ නමැති වාර්තාවේ ප්‍රධාන කර්තෘවරියකි. දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට ලබා දී ඇති අනවශ්‍ය තැන ගැන ඇගේ නො මනාපය විස්තර කරමින් ඕනෑ ම සංස්කෘතියක් විසින් වර්ධනය තම මූලික අරමුණ වසයෙන් සලකනු ලැබීම මුග්ධකමක් බව ඇය පැවසුවා ය. [2] 1990 ගණන්වල දී තව දුරටත් ඒ ගැන කරුණු දැක්වූ ඩොනෙල්ලා “අපට දැන් මේක හොඳට ම ඇති වෙලා.  තව තවත් වර්ධනය අවශ්‍යයි කියන කංකරච්චලයට පිළිතුරු වසයෙන් වර්ධනය කුමක් ගැනද ඇයි වර්ධනය කා සඳහා ද වර්ධනය සඳහා මිල ගෙවන්නේ කවුද වර්ධනය කොතෙක් කලක් පවතී ද වර්ධනය සඳහා පෘථිවිය විසින් ගෙවිය යුතු මිල කොතරම් ද කොයි තරම් වර්ධන මට්ටමකින් අපට සංතෘප්ත විය හැකි ද වැනි  ප්‍රශ්න අප විසින් මතු කළ යුතු යැයි” ඇය ප්‍රකාශ කළා ය[3]. එහෙත් ‍දශක ගණනාවක් තිස්සේ ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාඥයෝ ඇගේ අදහස් රැඩිකල් යයි මුග්ධ ලෙස නො සලකා හැරිය හ.

එහෙත් ඇත්තටම ඇගේ අදහස් කුස්නෙට්ගේ අදහස්වල දෝංකාරයක් බඳු විය. වර්ධනය ගැන කතා කරන විට අප වර්ධනයේ ගුණාත්මක භාවය සහ ප්‍රමාණාත්මක භාවය, වර්ධනයේ මිල සහ ලැබෙන ප්‍රතිලාභ සහ වර්ධනයේ කෙටි කාලීන සහ දිගු කාලීන ඵල විපාක අතර ඇති වෙනස්කම් සිත්හි තබා ගත යුතු යැයි කුස්නෙට් 1960 ගණන්වල දී පවසා තිබුණි. වර්ධනය තවතවත් වැඩි කර ගැනීම ගැන සිතන්නේ නම් වැඩි වර්ධනයක් යනු මොකක් ගැනද කුමක් උදෙසා ද යන කරුණු පැහැදිලි විය යුතු බව කුස්නෙට් පැවසීය.

2008 මූල්‍ය කඩාවැටීම, 2011 ඔක්‍යුපයි ව්‍යාපාරයේ ගෝලීය දෝංකාරය, දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් පියවර ගැනීම පිණිස වැඩිවන මහජන බලපෑම ආදිය නිසා තරමක් අන්ද මන්ද වී ඇති දේශපාලනඥයෝ සමාජ හා ආර්ථික ප්‍රගතිය ගැන වඩා ආකර්ෂණීය දැක්මක් ප්‍රකාශ කිරීමට උචිත වදන් මොනවා දැ’යි සෙවීම ආරම්භ කර ඇති බව රේවර්ත් පවසයි. එහෙත් ඔවුහු ඒ හැම විට ම අර එක ම පිළිතුර වන ‘වර්ධනය’ නමැති කෝකටත් තෛලය කරා ආපසු කැරකී යති. ඔවුන් අතින් සිදු වන්නේ වර්ධනය නමැති ඒ සාර්වත්‍රික නාම පදයට විශේෂණ පද මඟින්  උත්කෘෂ්ට අභිලාෂ වැලක් එකතු කිරීම පමණ ය. දරිද්‍රතාව,  දේශගුණ විපර්යාසය සහ වැඩි වන සමාජ විෂමතාව මැද මූල්‍ය අර්බුදය නිසා අවදි වූ කෙනෙකුට දේශපාලනඥයන්ගේ ඒ කියුම් කෙරුම් දුටු විට මතක් වන්නේ සාමාන්‍ය සැන්විච් එකක් මිල දී ගැනීමට ගිය කෙනෙකුට එය මැදට දැමීම පිණිස තෝරා ගැනීමට ඇති විවිධාකාර පිරවුම් දැක කුමක් තෝරා ගනිම් දැ’යි උභතෝකෝටිකයකට පත් වී වික්ෂිප්ත වූ අයෙකුට සිදු වන දෙයයි. අද ඔබ කැමති මොන ජාතියේ වර්ධනයකට ද යනුවෙන් රේවර්ත් සෝපහාසයෙන් විමසන්නේ ඒ නිසා ය.

ඒ අනුව ඇන්ජලා මර්කල් තිරසාර වර්ධනයක් ගැන කතා කළා ය.  ඩේවිඩ් කැමරූන් ද සමබර වර්ධනයක් ගැන කතා කළේ ය.  බැරැක් ඔබාමා තමා කැමති දිගුකාලීන ව කල් පවතින වර්ධනයකට බව කීවේ ය. යුරෝපා කවුන්සිලයේ සභාපති හොසේ මැනුවෙල් බරොස්සෝ  හුරුබුහුටි, තිරසාර, අන්තර්ග්‍රහනීය වර්ධනයක් ගැන කතා කළේ ය. ලෝක බැංකුව පොරොන්දු වන්නේ අන්තර්ග්‍රහනීය හරිත වර්ධනයකි. ඉතින් තවත් ඒවගේ රස ජාති තිබේ ද?.  සමහරක් විට ඔබේ කැමැත්ත වන්නේ සාධාරණ, යහපත්, හරිතමය, කාබන් අඩු, වැඩි වගකීමකින් යුතු ශක්තිමත් වර්ධනයකට විය හැකියි. කෙසේ වෙතත් ක්‍රියා පදය වසයෙන් වර්ධනය තෝරා ගන්නා තාක් ඔබට අන් අයගෙන් ණයට ගත් කැමති විශේෂණ පදයක් යොදා ගත හැකි යැ’යි රේවර්ත් සිය උපහාසය තීව්‍ර කරයි.

ඉතින් අප සිනාසිය යුතු ද? නැතහොත් ඇඬිය යුතු ද? ඉතිහාසයේ මේ සා තීරණාත්මක අවස්ථාවක දී ආර්ථික චින්තනයට නිසි ඉදිරි දැක්මක් නො මැති වීම පිළිබඳ ව ඇත්ත වසයෙන් ම අපි ඇඬිය යුතු වෙමු යැයි කේට් පවසයි. ඉන් පසු අප සිනාසිය යුත්තේ දළ දේශීය නිෂ්පාදිතය උත්කර්ෂණයට ලක් කොට එයට සුජාතභාවය ලබා දීමට දේශපාලනඥයන් මොන තරම් විශේෂණ පද සංඛ්‍යාවක් යොදා ගන්නවා ද යන කාරණය සම්බන්ධයෙනි.  වර්ධනයට ඔබ්බෙන් යන කිසියම් දෙයක් අවශ්‍ය බව ඔවුන්ට දැනුනත් ඒ කුමක් දැයි පැහැදිලිව විස්තර කිරීමට සුදුසු වචන සොයා ගැනීමේ අපහසුවකින් ඔවුන් පෙළෙන බව පෙනේ. ආර්ථික විද්‍යාඥයන් එවැනි වචන ඔවුන්ට සපයා නො දීම ද ඊට එක් හේතුවකි.  ඉතින් අපට හැඬීමත් සිනාසීමත් යන දෙකම එක විට කළ හැකි වුවත් ඇත්තට ම අවශ්‍ය වන්නේ කුමක් ද කියා සාකච්ඡා කිරීම වඩාත් වැදගත් යැයි රේවර්ත් සඳහන් කරයි.

ආර්ථික වර්ධනය ප්‍රතිපත්ති ප්‍රකාශනවල මූලික අරමුණ බවට පත්වීමත්, එය වඩාත් හොඳින් සාක්ෂාත් කර ගත හැක්කේ නියාමනය  අත්හැර දැමීමෙන් ය යන විශ්වාසයත් සැබවින් ම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යෑමට හේතු වන්නට ඇතැ’යි යන්න කිසියම් කාලසීමාවක් සම්බන්ධයෙන් පිළිගත හැකි වුවත් එය බලාපොරොත්තු නො වූ ප්‍රතිවිපාක ඇති කිරීමට හේතු වූ බවත් අප අමතක නො කළ යුතු ය. මේවා අතරට 1970 ගණන්වල සිට නිරන්තරයෙන් වැඩිවන සමාජ අසමානතාව සහ ආර්ථික වර්ධනය අවධාරණය කරමින් ප්‍රගතිය නිර්ණය කිරීමේ දී තරඟකාරිත්වයට ලැබුණු ප්‍රමුඛත්වය නිසා ආතතිය, රෝග පීඩා වැනි තත්වයන් වැඩි වීම ද දක්නට ලැබුණි. උදාහරණයක් ලෙස වසංගත රෝග, මානසික ආබාධ, මත් ද්‍රව්‍ය භාවිතය, ස්ථුලතාව (දරුවන්ගේ ස්ථුලතාද ඇතුළුව) දියවැඩියාව හා රුධිර පීඩනය වැනි ආබාධවල සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබීම සෞඛ්‍යය වාර්තාවලින් මනාව තහවුරු වී තිබේ. බොහෝ විශේෂඥයින්ට අනුව බටහිර රටවල ජීවිතාපේක්ෂා කාලය උපරිමයට පැමිණ ඇති බැවින් අධි සංවර්ධනය සහ ඉසුරුමත්කම සම්බන්ධ මෙවැනි ගැටලු දැනට වඩා වැඩි අවධානයකට ලක් විය යුතු ව තිබේ.

රටක ආර්ථික සාර්ථකත්වය මැනීම සඳහා GDP හෙවත් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය පිළිබඳ මිම්ම යොදා ගැනීමෙන් සෑහීමකට පත් නො වීමත් මූල්‍යමය, දේශපාලනමය හ සමාජමය වසයෙන් GDP මිම්මට ලොල් වීමත් යනු දෙකකි. සමාජ ප්‍රගතිය නිර්වචනය කිරීමට ආර්ථික වර්ධනය පිළිබඳ මිම්මක්  අවශ්‍ය ම ද නැද්ද යන්න ගැන අප එතරම් කලබල විය යුතු නැත. ආර්ථික වර්ධන වේගය වැඩි වීමේ අවශ්‍යතාව ගැන අප තුළ තිබිය යුත්තේ ඇදහිල්ලක් වැනි විශ්වාසයක් නො ව කිසියම් ආකාරයක අඥෙයවාදී (Agnostic) ආකල්පයක් බව කේට් රේවර්ත් ඇගේ Doughnut Economy කෘතියෙන් යෝජනා කරයි. (අඥෙයවාදියා යන්න යොදා ගැනෙන්නේ දෙවියන් වහන්සේ යනුවෙන් කෙනෙකු සිටී ද නො සිටී ද යන විවාදයේ දී ඒ ආස්ථාන දෙකම සම්බන්ධයෙන් කිසිදු පැත්තක් නොගන්නා තැනැත්තාටයි.)  වර්ධන වේගය ගැන අපේ වැටහීම ද එබඳු විය යුතු බව කේට් රේවර්ත් අදහස් කරයි. එසේ අඥෙයවාදී වීම වර්ධනය ම ඉල්ලා සිටින හා වර්ධනය මත ම යැපෙන අපේ ආර්ථිකය හා සමාජය දේශපාලනමය වසයෙන් ව්‍යුහාත්මක පරිවර්තනයකට ලක් කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටීමක් වන බව ද කේට් සඳහන් කරයි.

දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය මෙන් ම ආර්ථිකය නිරූපණය කරන විවිධාකාර ප්‍රස්තාර සටහන් ආර්ථික විද්‍යාවේ දී දක්නට ලැබේ. නිදසුනක් ලෙස ලෙනින්ගේ අනුග්‍රහය ලැබ සෝවියට් පාලනයේ නව ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීමට කටයුතු කළ, පසුව 1938 දී ස්ටාලින් විසින් මරණයට පත් කළ ආර්ථික විද්‍යාඥයෙකු වූ නිකොලායි කොන්ඩ්රාටීව් හඳුන්වා දුන් ආර්ථික චක්‍ර පිළිබඳ ප්‍රස්තාර හුවා දැක්විය හැකි ය.  කොන්ඩ්රාටීව් තර්ක කළ අන්දමට ධනවාදී ප්‍රගතිය රේඛීය දෙයක් නො ව ඉහළ පහළ යන ආර්ථික චක්‍රවලින් යුක්ත ය.  ඒ නිසා ධනවාදය එය තුළ ම ඇති ප්‍රතිවිරෝධ නිසා මුළුමනින් ම කඩා වැටෙන බව අනුදත් සම්භාව්‍ය මාක්ස්වාදී මතයට කොන්ඩ්රාටීව් එකඟ නොවීය. ඔහුට අනුව හැම ධනවාදී ආර්ථික චක්‍රයක් ම ක්‍රියා කරන්නේ වසර 25ක් පමණ වන කාලයක ඉහළට නැගීමක් සහ තවත් වසර 25ක පමණ කාලයක් පහළට රූටා යෑමක් ද ඇතිවෙන ආකාරයට යි. එහි දී ආර්ථිකය ඉහළට නැගීමට හේතු වන්නේ දියුණු තාක්ෂණය සහ සාර්ථක ආයෝජනයි. කෙසේ වෙතත් පහළට රූටා යෑමේ ප්‍රතිඵල  වන්නේ ආර්ථික අවපාතය, රැකියා විරහිත භාවය, සමාගම් බංකොලොත් වීම් සහ ණය ලබා ගැණීමට හෝ දීමට නො හැකි වීම යි.

කොන්ඩ්රාටීව්ගේ න්‍යාය උපයෝගී කර ගත් ඔස්ට්‍රියානු ජාතික ජෝසප් ෂුම්පිටර් නමැති ආර්ථික විද්‍යාඥයා පළ කළ අදහස්වලට අනුව ධනවාදයේ ඉතිහාසය 1790 සිට1848 දක්වාත්, 1840 සිට1890 ගණන්වල මැද භාගය දක්වාත්, 1890 ගණන්වල මැද භාගයේ සිට 1945 දක්වා සහ 1945 සිට 2008 දක්වාත් වසයෙන් ආර්ථික චක්‍ර හතරකට වෙන් කළ හැකි ය. අවසානයට සඳහන් කළ හතරවැනි ආර්ථික චක්‍රය ඉහළ නැගීමේ ආරම්භය බොහෝ දුරට සනිටුහන් කළේ 1947 දී ට්‍රාන්සිස්ටරය හඳුන්වා දීමත් සමඟයි. එහෙත්  ඉන් අවුරුදු ගණනාවකට පසු 1973 අරාබි රටවල් ඛනිජ තෙල් සම්බාධක හඳුන්වා දීමත් සමඟ බටහිර ආර්ථිකය පසුබෑමකට හෙවත් අවධමනයකට (recession) ලක් විය.  එය හතර වැනි ආර්ථික චක්‍රයේ පහළට රූටා යෑමේ ආරම්භය ලෙස සැලකිය හැකියි.

 1945 සිට ම බටහිර ආර්ථිකය කිසිදු පසුබෑමකට ලක් නොවී තිබුණු නමුත් 1973 සිට 2008 මූල්‍ය අර්බුදය සිදු වන තෙක් වූ කාලය තුළ ආර්ථික අවධමන (recessions)  හයක් බටහිර ලෝකයේ සිදු ව තිබේ. කෙසේ වුණත් ඉහළ පහළ යන ආර්ථික චක්‍ර පිළිබඳ මේ රටාවේ කිසියම් කැඩීමක්1990 ගණන්වල දී  හතරවැනි චක්‍රය අවසන් වීමට ආසන්න ව සිදු වූ බවත් ඊට හේතුව නව අන්තර්ජාල තාක්ෂණය, ජංගම දුරකථන පදනම් කරගත් සංනිවේදනය සහ වඩා ජාලගත වූ ගෝලීය වෙළඳපොළක් වැනි පස්වැනි ආර්ථික චක්‍රයකට උචිත මූලිකාංග බිහි වීම බව ඇතැම් ආර්ථික විද්‍යාඥයන්ගේ අදහස විය. අවුරුදු 7-10ත් අතර කාලාන්තරවල වරින් වර උන්නතිය (boom) හා අවනතිය (bust) ඇති වෙතැ’යි සැලකෙන මේ ආර්ථික චක්‍ර පිළිබඳ ප්‍රස්තාර ආර්ථික විද්‍යාව විද්‍යාවක් ලෙස නිරූපණය කිරීමට කළ තවත් වෑයමක් ලෙස සැලකිය හැකි යි. එහෙත් කොන්ඩ්රාටීව් හඳුන්වා දුන් මේ  ආර්ථික චක්‍ර පිළිබඳ න්‍යාය නව ලිබරල්වාදයේ අසමත්කම නිසා ඇනහිට තිබෙන සෙයක් පෙනෙන බව පශ්චාත් ධනවාදය ගැන පෝල් මේසන් ලියා ඇති   Post Capitalism: A Guide to Our Future (2016) කෘතියේ පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් පසුගිය අතීතයේ ශතවර්ෂ කිහිපයක් තුළ දීර්ඝකාලීන ව දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය වෙනස් වූ අන්දම හෝ ඉදිරි ශතවර්ෂ කිහිපයක දී වෙනස් වීමට හැකි අන්දම පිළිබිඹු කරන ආර්ථික ප්‍රස්තාර දැක ගැනීම උගහට ය. ඊට එක හේතුවක් වන්නේ එලෙස දීර්ඝකාලීන ව ආර්ථික වර්ධනය ප්‍රක්ෂේපණය කිරීම ආර්ථික විද්‍යාඥයන්ට කිසි සේත් ම කළ නො හැකි කටයුත්තක් වන බැවිනි.

1950 ආර්ථිකයේ ශීඝ්‍ර වර්ධනය ඇතිවීමත් සමඟ ගෝලීය මට්ටමෙන් ගත් විට දළ ගෝලීය නිෂ්පාදිතය මේ වන විට පස් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. ආර්ථික විද්‍යාඥයින්ගේ පුරෝකථනවලට අනුව ඉදිරි වසර කිහිපය තුළ වර්ධනය 3-4% දක්වා ඉහළ යා හැකි ය. එහෙත් ගෝලීය ආර්ථික වර්ධනය මනිනු ලබන්නේ එකිනෙකට බෙහෙවින් වෙනස් දෙසීයකට ආසන්න රටවල දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගවල එකතුවේ සාමාන්‍ය අනුව ය. එම රටවල් අතරින් වර්ධන වේගය 7%-10% දක්වා ඉහළ අගයක් ඇති කාම්බෝජය සහ ඉතියෝපියාව වැනි අඩු ආදායම් ලබන රටවල් මෙන් ම වර්ධන වේගය 0.2%ක් තරම් අල්ප වූ ජපානය සහ ප්‍රංශය වැනි අධි-ආදායම් ලබන රටවල් ද වෙති.

ඝාතීය වර්ධනය (exponential growth) යනුවෙන් හැඳින්වෙන්නේ නො කඩවා සිදු වෙන ඕනෑ ම වර්ධනයක් කල් යෑමේ දී දැක්වෙන ආකාරය නිරූපණය කරන දත්ත රටාවටයි. එය ඝාතීය ඵලය (exponential function) ලෙස ද හැඳින්වේ. උදාහරණයක් වසයෙන් පළමු වසරේ දී  මීයන් දෙදෙනෙකුගෙන් ආරම්භ වී, දෙවැනි වසරේ 4 දෙනෙකුගෙන් ද තෙවැනි වසරේ දී 16 කින් හා සිව්වැනි වසරේ දී 256 කින් ආදී වසයෙන් හැම වසරක දී ම දෙකේ බලයකින් වැඩිවන වර්ධනයක් ඝාතීය වර්ධනයක් ලෙස හැඳින්විය හැකි ය. තර්කානුකූලව බැලුවොත් පාලනයකින් තොර ව සිදු වන ඕනෑම ඝාතීය වර්ධනයක් අප හිතා ගත නො හැකි තරම් ඉක්මනින් අනන්තයට ගමන් කරනු ඇත. අපේ මොළ හැඩ ගැසී ඇත්තේ ඉලක්කම් එකතු කිරීමට මිස ඒ වායේ දෙකේ බල ගුණිතය හෝ ඊට වැඩි බල ගුණිත ගණනය කිරීමට නො වේ. මනුෂ්‍ය වර්ගයාගේ ලොකු ම දුර්වලකම ඝාතීය ඵලය තේරුම් ගැනීමට නො හැකි වීම යයි න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයෙකු වන අල් බාර්ට්ලට් වරක් පැවසීය. එයට හේතුව පොකුණක ඇල්ගී, බැංකුවක ණය, හෝ ජාතියක බල ශක්ති භාවිතය ආදී ඕනෑම දෙයක් වේගයෙන් සහ ප්‍රමාණයෙන් යන දෙකෙන් ම නො කඩවා වැඩි වීම අප සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවාට වඩා විස්මය ජනක ලෙස වැඩි වීම යයි ඔහු පෙන්වා දුන්නේ ය.

ආර්ථිකයේ වර්ධන වේගය ගැන මන්මත් වී සිටින අය ද ආර්ථිකයේ නො කඩවා වර්ධනය වීමක් ප්‍රක්ෂේපණය කරන්නට තැත් කරන විට වැටිය හැකි අමාරුව ගැන අවදියෙන් සිටිය යුතු ය. උදාහරණයක් ලෙස වසර 2000 දී පැවති ගෝලීය ආර්ථිකය වසරකට 3% සාමාන්‍ය වර්ධන වේගයකින් ව්‍යාප්ත වී යැයි සිතමු. මෙවැනි අඩු මට්ටමක වර්ධන වේගයකින් ව්‍යාප්ත වුව ද ගණනය කර බැලූ විට හැම අවුරුදු විසි තුනකට වරක් එම ව්‍යාප්ත වීම දෙගුණයක් විය යුතු ය. එහි තේරුම ශත වර්ෂය මැද වන විට එනම් මිනිසෙකුගේ ආයු කාලයෙන් අඩක දී ආර්ථිකය 2000 දී පැවතුණාක් මෙන් සිව් ගුණයකින් වැඩිවන බවයි. වර්ධන වේගය නො කඩවා ඒ අන්දමින් ම පැවතුණ හොත් ශත වර්ෂය අවසන් වන විට ආර්ථිකය වසර 2000 තිබුණාක් මෙන් විසි ගුණයකින් වැඩි වී තිබිය යුතු ය. 2000 දී කොයි තරම් මහත් ගෝලීය ආර්ථිකයක් පැවැතියේ දැ’යි සැලකුවොත් ඊට වඩා විසි ගුණයකින් විශාල රේඛීය ආර්ථිකයක් පවත්වා ගැනීමට කෙබඳු සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය දැයි සලකා බැලිය යුතු ය. ගෝලීය ආර්ථික වර්ධනය 3% ප්‍රමාණයට පැවතීමෙන් ගෝලීය පරිසරයට හා ස්වාභාවික සම්පත්වලට දැනටමත් සිදු ව ඇති හානිය සලකා බැලුවොත් එ වැනි අසාහාය ප්‍රමාණයකින් වැඩි වෙන දැවැන්ත වර්ධනයක් සහ අත්‍යන්ත පරිභෝජනයක් දරා ගැනීමට පෘථිවියට හැකි වේද යන ප්‍රශ්නය  මිනිස් පැවැත්ම සම්බන්ධයෙන් අතිශයින් තීරණාත්මක වනු ඇත. ඒ අන්දමින් තවත් වසර 100 ක් ගත වූ විට ආර්ථිකය 370 ගුණයකින් ද ඉනුත් වසර 100කට පසු ආර්ථිකය 7000 ගුණයකින් ද විශාල වනු ඇත[4]. එය අපේ සියලු ආකාරයේ පරිකල්පන අවඥාවට ලක් කරයි. වර්ධන වේගය ගැන මන්මත් වීම එබඳු ය.

ඇමෙරිකානු ආර්ථික විද්‍යාඥයෙකු වූ ඩබ්. රොස්ටොව් The Stages of Economic Growth Non Communist Manifesto (1960) නමැති සිය ප්‍රකට කෘතියේ දියුණු වීමට තැත් කරන හැම රටක් ම ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් නිශ්චිත අවධි පහක් පසු කළ යුතු ය යන මතය ඉදිරිපත් කළේ ය. නූතනීකරණ න්‍යාය (Modernization Theory) යනුවෙන් හැඳින්වෙන එම මතයට අනුව රටක සංවර්ධනය පහත සඳහන් අනුක්‍රමික අවධිවලින් යුක්ත වෙයි:

  1. සාම්ප්‍රදායික සමාජය
  2. උත්ප්ලවය (take off) සඳහා අවශ්‍ය වන කොන්දේසි  (උත්ප්ලවය යනු ගුවන් ගත වීම වැනි රූපකයකින් නිරූපණය වන අන්දමින් දියුණුව කරා පියෑඹීමට ප්‍රාරම්භක පියවර ගැනීමයි)
  3. උත්ප්ලවය (takeoff)
  4. පරිණත වීමට ගන්නා ආයාසය
  5. අධිපරිභෝජන අවධිය

මේ අවධි පහ අනුව ආර්ථික වර්ධනය නමැති ගමන මුලින් ම ඇරඹෙන්නේ පාරම්පරික යැපුම් කෘෂිකර්මයේ සීමාවල සිර ව සිටි සාම්ප්‍රදායික සමාජවලිනි. එවැනි සමාජ තුළ ආර්ථික වර්ධනයේ උත්ප්ල්වයීය (takeoff)තත්වය ඇතිවෙන්නේ නූතනීකරණය හෙවත් ආර්ථික වර්ධනය යනු ජාතික අභිමානය පමණක් නො ව පුද්ගලික ලාභය, පොදු යහපත  සහ තම දරුවන්ට වඩා යහපත් ජීවන තත්වයක් ඇති කිරීමට අත්‍යවශ්‍ය වන කොන්දේසියකි යන අදහස පෘථුල සමාජය විසින් වැළඳ ගනු ලැබීමත් සමඟ ය. ඒ අනුව විවෘත වන බැංකු, ආයෝජනය කරන ව්‍යවසායකයන්, ගොඩ නැගෙන පරිවහන හා සංනිවේදන පද්ධති, නූතන ආර්ථිකයකට අවශ්‍ය අධ්‍යාපනය සමඟ නව ජාතිකත්වයක් ද ගොඩ නගන නූතන රාජ්‍ය යන්ත්‍රණය බිහි වෙන බව රොස්ටොව්ගේ මතය විය.

රොස්ටොව්ට අනුව මේ සියලු වෙනස්වීම් සාම්ප්‍රදායික සමාජ නූතන සමාජ බවට පත් කරන ගුවන් ගමනක ගුවන් යානය ගුවන් ගත වීමේ අවස්ථාව හා සමාන උත්ප්ලවීය (takeoff) කටයුතු ය. ඒ නිසා පොළොවේ සිට ගුවන් ගත කිරීමේ අවස්ථාවේ දී ඒ සඳහා ගුවන් යානයකට අධික බලශක්තියක් අවශ්‍ය කරනවා මෙන් ම ආර්ථිකයකට ද පියසර මට්ටමට එළඹීමට ශක්තිය ලබා දීම පිණිස සැලකිය යුතු ආයෝජනයක් කළ යුතු ය. එහි දී ආර්ථික වර්ධන වේගය යන්න ගුවන් යානය අනුක්‍රමයෙන් ඉහළට නංවන  ප්‍රමාණයට සමරූපී ය. එහෙත් මේ ගුවන් යානය ඉහළට යෑමක් මිස යා යුතු තැනක් හෝ බෑ යුතු ගුවන් තොටුපලක් ගැන හෝ රොස්ටොව්ට අදහසක් නො තිබිණි. ඒ අනුව රොස්ටොව්ගේ ආර්ථික වර්ධනය සදාකාලික අධිපරිභෝජන කක්ෂයක කක්ෂගත විය යුතු ය. ජනාධිපති ජෝන් එෆ් කෙනඩි රජයේ ආර්ථික උපදේශකයෙකු වසයෙන් කටයුතු කළ රොස්ටොව් ගේ මතය වූයේ දිගින් දිගටම 5% වර්ධන වේගයක් පවත්වා ගෙන යෑමට අවශ්‍ය පහසුකම් සැපයීම ඇමෙරිකානු රජයේ ආර්ථික කාර්යය විය යුතු බව ය.

කෙසේ වෙතත් ආර්ථික වර්ධනය යනු සදාකාලික ත්වරණයක (acceleration) නො නැවතී යන ගුවන් ගමනක් නො වේ. දැනට ඇති තත්වයට අනුව ආර්ථික ගමන යා හැක්කේ පෘථිවිය මත ඇති සම්පත් උපයෝගී කර ගැනීමෙනි. ඒවා අසීමිත සම්පත් නො වේ. ඒ නිසා වර්ධන වේගය පිළිබඳ නොකඩවා ඉහළ යන ප්‍රස්තාරයට යම් අවස්ථාවක දී ඒ ඉහළ යෑම නතර කොට අඩු ම වසයෙන් ප්‍රස්තාරයේ X අක්ෂයට සමාන්තරව ගමන් කිරීමට සිදු ව තිබේ. එය වර්තමානයේ ඉහළ ආදායම් ලබන රටවල දළ දේශීය නිෂ්පාදිතයේ වාර්ෂික වර්ධන වේගයේ මන්දගාමී බවින් එක්තරා දුරකට පෙන්නුම් කරයි. කෙසේ වෙතත් වර්ධන වේගයේ මේ මන්දගාමී බව සමඟ ඉහළ ආදායම් ලබන රටවල අඩු ආදායම් සහ අධික ආදායම් ලබන ජන කොටස් අතර ආදායම් පරතරය ද බෙහෙවින් වැඩි වෙමින් තිබේ. ගෝලීය මට්ටමෙන් ගණන් බැලූ විට 1980වේ සිට අඩු ම ආදායම ලබන 50% ක ජනගහනයක ඉපයීම්වල එකතුව මෙන් දෙගුණයක ආදායමක් වැඩිම ආදායම ලබන 1% විසින් අත්පත් කරගත් බව 2018 පළ වූ ලෝක අසමානතා වාර්තාව (World Inequality Report) පෙන්වා දෙයි.[5]

රොස්ටොව්ගේ මතයට අනුව සාම්ප්‍රදායික යැයි සැලකූ  අඩු ආදායම් ලබන රටවල් සංවර්ධනයේ ප්‍රාරම්භක උත්පලවීය (takeoff) අවධියට එළඹීමට නම් අවශ්‍ය තරම් ආර්ථික බලයක් මුලදී ම ලබාගත යුතු ය.  එය කළ හැකි වන්නේ සැලකිය යුතු ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කිරීමට හැකි කොන්දේසි පවත්වා ගැනීමෙන් සහ විදේශාධාර වලිනි. රොස්ටොව්ගේ මේ මතය 1980 ගණන් දක්වා ම ගෝලීය උතුර හා දකුණ අතර පැවති සංවර්ධන සහයෝගිතා එළඹුමට පදනම විය. කෙසේ වෙතත් නවීකරණය වීම සඳහා ඉහළ ආදායම් ලබන රටවල් අනුගමනය කළ සියලු අවධි ඒ ආකාරයෙන් ම පසු කර යෑමේ අවශ්‍යතාවක් අඩු ආදායම් ලබන රටවල්වලට ඇති නො වේ. මන්ද බටහිර රටවල් මෙන් වාෂ්ප බලය යොදා ගැනීමෙන් පටන් ගෙන ගල් අඟුරු, ඛනිජ තෙල් වැනි දූෂණ කාරක ඉන්ධන මත ගොඩනැගුණු කාර්මිකකරණයට ප්‍රවිෂ්ට වීම වෙනුවට වඩා කාර්යක්ෂම නවීන බලශක්ති විසඳුම් මත පරිසර හිතකාමී නවීකරණයක් බිහි කිරීමේ පුරෝගාමීන් වීමට ගෝලීය දකුණේ රටවලට හැකියාව ඇති බැවිනි. ඒ නිසා ගෝලීය දකුණේ රටවල් නවොත්පාදනය දිරිගැන්විය හැකි, නව තාක්ෂණික විසඳුම් සොයා ගත හැකි නිර්මාණශීලී උගත් යොවුන් පරපුරක් බිහි කිරීමට හැකි යාවජීව අධ්‍යාපනයක් සඳහාත් ඔවුන්ගේ පර්යේෂණ කටයුතු සඳහාත් වැඩි වැඩියෙන් ආයෝජනය කළ යුතු ය. 

වර්ධනය සම්බන්ධයෙන් අප අමතක නො කළ ම යුතු එක් වැදගත් කරුණක් වෙයි. එය නම් සමස්තයක් ලෙස ගත් විට සංවර්ධනයේ නාමයෙන් සියලු ම රටවල් විසින් දැනටමත් ගෝලීය පරිසර පද්ධතියට පටවනු ලැබ ඇති බර පෘථිවියට දරා ගත නො හැකි තරම් වැඩි බවයි. ඒ නිසා අප හැම කෙනෙකුට ම ස්වීඩනයේ, කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ජීවත් වන මධ්‍යම පංතිකයෙකු මෙන් ජීවත් වීමට අවශ්‍ය නම් තවත් පෘථිවි හතරක් වත් අවශ්‍ය බව Dougnut Economy කෘතිය ලියූ කේට් රෙවර්ත් පවසයි.

මේ සන්දර්භය යටතේ වර්ධන වේගය පිළිබඳ විවාදය “වර්ධනය වෙමින් නො නැවතී ඉහළට පියාඹමු’ සහ “පියෑඹුවා ඇති. ගොඩ බෑම පිණිස පහත් කිරීම පටන් ගනිමු” යන අන්ත දෙකට ධ්රුවීකරණය වෙමින් තිබේ. මේ අන්ත දෙක නියෝජනය කරන අය අතර ඇති වෙනස බැලූ බැල්මට තාක්ෂණික කරුණුවලට සීමා වී තිබේ. උදාහරණයක් ලෙස ප්‍රමාණවත් තරම් පුනර්ජනනීය බල ශක්තිය යොදා ගැනීමට හැකි වන තරමට සූර්ය බල ශක්තියේ ආයෝජන මිල පහළ බසී විද, චක්‍රීය ආර්ථිකයක් ඇත්ත වසයෙන් ම කොයි තරම් කාර්යක්ෂම වේද සහ ඩිජිටල් ආර්ථිකය, ආර්ථික වර්ධනයට කොයි තරම් දායකත්වයක් ලබා දේවි ද වැනි තාක්ෂණික ප්‍රශ්න ඒ අතර ප්‍රධාන වේ. එහෙත් දේශපාලන තලයේ දී මේ අන්ත දෙක ඊට වඩා දෘෂ්ටිවාදී ස්වරූපයක් ගනී. ඒ අනුව වර්ධන ලෝලීන්ගේ ස්ථාවරය වන්නේ ආර්ථික වර්ධනය යනු තවමත් ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වන බවයි. එනිසා වර්ධනය දිගින් දිගටම කළ හැකි දෙයකි යන්න වර්ධන ලෝලීන්ගේ ස්ථාවරය  වන අතර වර්ධන විරෝධීහු වර්ධනය යනු තවදුරටත් පවත්වා ගෙන යා හැකි දෙයක් නො වේ, ඒ නිසා එය ප්‍රගතියට අත්‍යවශ්‍ය කොන්දේසියක් නො විය යුතු ය යන ස්ථාවරය දරයි.

In Defense of Economic Growth කෘතිය ලියූ ආර්ථික විද්‍යාඥ විල්ෆ්‍රඩ් බෙකර්මන් පවසන අන්දමට “ප්‍රතිපත්තිමය අරමුණක් ලෙස වර්ධනය අතහැර දැමීමට සිදුවුණ හොත් ප්‍රජාතන්ත්‍රවාදය ද අතහැර දැමීමට අපට සිදු වනු ඇත. හිතාමතාම වර්ධනය අවහිර කිරීම සමාජ ප්‍රගමනයට අත්‍යවශ්‍ය දේශපාලන සමාජීය පරිවර්තන සිදු කිරීම සම්බන්ධයෙන් නම් ඉතා අහිත කර වනු ඇත”.[6] ‘ආර්ථික වර්ධනය දේශපාලන අවශ්‍යතාවයකි’ යන බෙකර්මන්ගේ අදහස බොහෝ ආර්ථික හා දේශපාලන චින්තකයන්ගේ සුපුරුදු ආස්ථානය බවට පත් ව තිබේ. එම අදහස ම අනුගමනය කරන තවත් ආර්ථික විද්‍යාඥයෙකු වන බෙන්ජමින් ෆ්‍රීඩ්මන්ඩ්ට අනුව බහුවිධත්වය ගරු කිරීම, සමාජ සචලතාව (social mobility), සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදයට කැපවීම සහ සමාන අවස්ථා විවෘත කර දීම වැනි සාධක ඇති කිරීමට අවශ්‍ය වන්නේ ඉහළ යන වර්ධනයකට වඩා නො නවත්වා පවත්වා ගෙන ගිය හැකි වර්ධනයකි. එනිසා ආර්ථික වර්ධන වේගය පිරිහී යෑම යනු මානව ප්‍රගමනයට සහ සමාජ දේශපාලන ස්ථාවරභාවයට ද හානිදායක විය හැකි ය යන අදහස සමඟ ඔහු ද එකඟ වෙයි. එසේ ‘වර්ධනය යනු දිගින් දිගට ම පවතින දෙයකි’ යන්න වෙනුවෙන් පෙනී සිටින ආර්ථික විද්‍යාඥයින් විසින් හුවා දක්වන තවත් කරුණක් වන්නේ ඩිජිටල් තාක්ෂණයේ දියුණුව සමඟ වැඩි වැඩියෙන්  ස්වයංක්‍රියාකාරි රොබෝ යාන්ත්‍රික විසඳුම් යොදා ගැනීම මත ඇති වන දෙවැනි කාර්මික විප්ලවය නිසා දළ දේශීය නිෂ්පාදනය වැඩි වීමේ නව වර්ධන රැල්ලක් ඇතිවෙන බවයි.

මේ අතර හරිත වර්ධනයක් (green growth) වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය වැනි ආයතන දළ දේශීය නිෂ්පාදිතයේ ග්‍රහණයෙන් පාරිසරික සංරක්ෂණයට අහිතකර හරිතාගාර වායු ජනනය කරන සාධක ඉවත් කිරීම ගැන කතා කරති. ඉන් ඇත්තට ම අදහස් වන්නේ වර්ධනය පවත්වා ගෙන යන අතර වර්ධනයට අවශ්‍ය සම්පත් භාවිතයේ දී මිරිදිය ජල භාවිතය, රසායනික පොහොර භාවිතය අරපිරිමැස්මකින් හා පරිසර හිතකාමී ව කර ගැනීමට සහ හරිතාගාර වායු විමෝචනය හැකි තරම් අවම කර ගැනීමට වැඩි අවධානයක් යෙදිය යුතු බවයි. මිරිදිය ජලය සහ බල ශක්ති භාවිතය සම්බන්ධයෙන් හරිතප්‍රිය විසඳුම් යොදා ගැනීමට කටයුතු යෙදීම අඩු ආදායම් ලබන රටවලට සැලකිය යුතු ඉදිරි පියවරකි.

එහෙත් තවදුරටත් දරා ගත නො හැකි තරම් සම්පත් ප්‍රමාණයක් වැය කිරීමට පෘථිවියට බල කෙරෙන  අධිපරිභෝජනයක් සහිත  ඉහළ ආදායම් ලබන රටවල් ගෝලීය උණුසුම ඉහළ නැංවීමට දායක වන කාබනික බලශක්ති භාවිතය ඇතුළු අනෙකුත් හේතු මුළුමනින් ම පාහේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන සාධකවලින් ඉවත් කළ යුතු ය. ඇතැම් රටවල මෙය සෙමින් සෙමින් හෝ සිදු වෙමින් තිබෙන බව කේට් රෙවර්ත් පෙන්වා දෙයි. ඇය විසින් උපුටා දක්වනු ලබන සංඛ්‍යා ලේඛනවලට අනුව2000 සහ 2013 අතර ජර්මනියේ දළ දේශීය ආදායම 16%කින් වර්ධනය වූ නමුත් ගෝලීය උණුසුම ඉහළ යෑමට තුඩු දෙන දූෂක හරිතාගාර වායුවක් වන කාබන් ඩයොක්සයිඩ් විමෝචනය 12% කින් අඩු විය.  එමෙන් ම මහා බ්‍රිතාන්‍යයේ දළ දේශීය ආදායම එම කාලය තුළ 27% කින් වැඩි වූ නමුත් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය 9% කින් අඩු විය.

මේ දත්ත මඟින් එක්තරා දුරකට පෙන්නුම් කරන්නේ කාර්මිකකරණය නිසා අතීතයේ සිදුවූ පාරිසරික හානියෙන් බැහැර වීමේ හොඳ ප්‍රවණතාවකි. එහෙත් තවමත් අවශ්‍ය කරන තරමට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ඉහළ නැංවීම පෘථිවි පරිසරයට හානිදායක සාධකවලින් ඉවත් වී ඇතැ’යි සෑහීමකට පත් වීමට නො හැකි ය.

එසේ නම් නිරන්තරයෙන් වැඩි වෙන දළ දේශීය නිෂ්පාදනයක වර්ධනය පෘථිවි සම්පත් හා පරිසර හායන (depreciation) සාධකවලින් මුළුමනින් ම පාහේ ඉවත් කිරීම ඇත්තට ම කළ හැකි දෙයක් ද? හරිත වර්ධනයක හැකියාව වෙනුවෙන් පෙනී සිටින අයගේ මතය අනුව නම් තුන් ආකාරයක විසඳුම් මඟින් එය නියත ලෙස ම ඉටු කළ හැකි ය. ඒ සඳහා පළමුවෙන් ම අවශ්‍ය වන්නේ ඛනිජ තෙල් පදනම් කර ගෙන බලශක්තිය නිපදවීමෙන් සියලු රටවල් හැකි ඉක්මනින් ඉවත් වී සූර්ය බලය, සුළං බලය හා ජල බලය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කරා යොමු කිරීම යි. දෙවනුව දැනට ඇති නිෂ්පාදනය කොට පරිභෝජනයෙන් පසු අපද්‍රව්‍ය ලෙස පරිසරයට එක් කරන දූෂණකාරක රේඛීය ආර්ථිකය (linear economy) වෙනුවට පෘථිවි සම්පත්වලට දරා ගත හැකි, අපතේ යැවීම සහ හායනය (depletion) අවම කරන ප්‍රතිචක්‍රීකරණයක් (recycling) මත පදනම් වන චක්‍රීය ආර්ථිකයක් (circular economy) ඇති කර ගැනීමයි. තුන්වෙනුව ද්‍රව්‍යයමය නිෂ්පාදන වෙනුවට බුද්ධිමය නිෂ්පාදන විසින් මෙහෙයවනු ලබන හා පෘථිවියට බරක් නැති ඩිජිටල් නිෂ්පාදන හා සේවා ආර්ථිකයක් (weightless economy) මත පැවතෙන දළ දේශීය නිෂ්පාදනයක වර්ධනයක් කරා යොමු වීමයි.[7]

එහෙත් වැඩිවන වර්ධන වේගයකින් තවත් ඉහළට පියෑඹීම නතර කොට වර්ධන යානය බිමට බෑමට කාලය පැමිණ ඇතැ’යි කියන අයගේ අදහස වන්නේ හරිත හිතකර එළඹුමක් අනුගමනය කිරීමෙන් වුවද වර්ධනයේ අනිසි විපාක අවම කර ගැනීමට ඉහළ ආදායම් ලබන රටවලට දැන් හැකියාවක් නැති බව යි. මෙය තේරුම් ගැනීමට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ගැන කලක් තිස්සේ පැවති උපකල්පන විමසා බැලිය යුතු ය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය වර්ධනය වීමට තුඩු දුන් හේතු විමසීම සඳහා අඩසිය වසක ආර්ථික දත්ත භාවිත කරමින් 1950ස් ගණන්වල දී රොබර්ට් සොලොව් විසින් විමර්ශනයක් සිදු කරන ලදී. එයට අනුව ආර්ථික වර්ධනය නිරූපණය කිරීමේ දී වර්ධනයට තුඩු දෙන ප්‍රාග්ධන වැය කිරීම් අනුව ශ්‍රමිකයන් සඳහා වියදම් කිරීමට සිදු වන ඒක පුද්ගල වැය ප්‍රමාණය 13%ක් බව සොයා ගැණිනි. ඒ අනුව  ඉතිරි 87%ම වැය වන්නේ ආර්ථික වර්ධනය ඉහළ දැමීමට අවශ්‍ය දියුණු තාක්ෂණය යොදා ගැනීමේ සංක්‍රමණික කටයුතු සඳහා යැයි උපකල්පනය කිරීමට සොලොව්ට සිදුවිය.[8] රොබට් සොලොව්ගේ සමකාලීනයෙකු වූ මෝසස් ඇබ්‍රොමොවිට්ස් මේ සා විශාල ප්‍රතිශතයක් තාක්ෂණ සංක්‍රමණයේ  වැය ලෙස සැලකීම විවේචනය කළේ ය. රොබට් සොලොව් යොදා ගත් දත්ත හා උපකල්පනවලින් ඇත්ත වසයෙන් ම පෙන්නුම් කරන්නේ ආර්ථික වර්ධනයට හේතු වන ඇත්ත කරුණු ගැන අපේ ඇති නො දැනුවත්කම හැර  වෙන කිසිවක් නො වන බව ඇබ්‍රොමොවිට්ස්ගේ මතය විය.

එතැන් සිට බොහෝ ආර්ථික විද්‍යාඥයෝ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට තුඩු දෙන ඇත්ත හේතු සොයා ගැනීමට උත්සුක විය. කේට් රේවර්ත් අදහස් කරන පරිදි පාරිසරික ආර්ථික විද්‍යාඥයෙක් වන බෙන්ජමින් වෝර් භෞතික විද්‍යාඥයෙකු වන රොබර්ට් අයර්ස් සමඟ එක් ව ආර්ථික වර්ධනය සම්බන්ධ 2009 දී ඉදිරිපත් කළ නව මොඩලය අලුත් පර්යාලෝකයකින් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන සාධක විමසිල්ලට ලක් කළ ආකාරය සලකා බැලීම මෙහි දී වැදගත් ය.  වර්ධනය පිළිබඳ සිය  මොඩලය ඉදිරිපත් කරමින් ඔවුහු එතෙක් සාම්ප්‍රදායික ව පිළිගැනුණු ප්‍රධාන නිෂ්පාදන සාධක වන ශ්‍රමය සහ ප්‍රාග්ධනය යන ද්විත්වයට තුන්වැනි ප්‍රධාන සාධකය ලෙස ‘බලශක්ති උපයෝගීතාව’ ද එක් කළහ. ‘බලශක්ති උපයෝගීතාව’ (exergy) යන්නෙන් මෙහි දී අදහස් වන්නේ අපතේ යැවීමකින් තොර ව ප්‍රයෝජනවත් කටයුත්තක් සඳහා උපයෝගි කර ගත හැකි බලශක්ති ප්‍රමාණයයි. මේ අන්දමින් ශ්‍රමය, ප්‍රාග්ධනය හා බලශක්ති උපයෝගිතාව යන  සාධක ත්‍රිත්වය ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය,ජපානය සහ ඔස්ට්‍රියාව යන රටවල විසිවැනි සියවසේ ඇති වූ වර්ධනය සම්බන්ධයෙන් ආදේශ කොට බැලූ විට වැටහී ගියේ බලශක්තිය කොයි තරම් කාර්යක්ෂමතාවකින් නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගත්තේ ද යන්න එම රටවල දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට තීරණාත්මක ව හේතු වුණ බව යි. කොටින් ම ඉන් කියවෙන්නේ බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ යෑම ආර්ථික වර්ධනයේ ගාමක බලවේගය බව යි.

මේ අනුව පසුගිය ශත වර්ෂ දෙක තුළ ඉහළ ආදායම් සහිත රටවල ඇති වූ ඉමහත් ආර්ථික වර්ධනයට වැඩියෙන් ම දායක වුණේ  ලාභයට සපයා ගත හැකි වූ ඛනිජ තෙල් බව පැහැදිලි ය. එක ඛනිජ තෙල් ගැලුමක අඩංගු බලශක්ති ප්‍රමාණය දින 47ක මිනිස් ශ්‍රමයට සමාන වන බව ගණන් බලා තිබේ. මේ අනුව එක දිනක් තුළ ගෝලීය වසයෙන් නිපදවන ඛනිජ තෙල් ප්‍රමාණය අදෘශ්‍යමාන වහලුන් බිලියන ගණනාවක් එක දිනක් තුළ ලබා දෙන ශ්‍රමය හා සමාන ය. එය එසේ නම් නුදුරු අනාගතයේ ඇති වෙන පශ්චාත් ඛනිජ තෙල් යුගයක දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය කෙබඳු ස්වරූපයක් ගනු ලබයි ද? අයර්ස් සහ වොර් අනතුරු අඟවන අන්දමට “ එවිට ආර්ථික වර්ධනය මන්දගාමී විම පමණක් නො ව සෘණ අගයකින් යුක්ත වීම ද අප බලාපොරොත්තු විය යුතු ය. කොටින් කියතොත් අනාගතය සම්බන්ධයෙන් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සහතික කළ නො හැකි වනවා පමණක් නො ව ඉදිරි දශක කිහිපය තුළ දී වර්ධනය සම්පූර්ණයෙන්ම නතර වීමට ද ඉඩ තිබේ.” [9]

මේ සම්බන්ධයෙන් විකල්පයක් ලෙස පුනර්ජනනීය බලශක්තියට කළ හැකි වන්නේ කුමක් ද? පුනර්ජනනීය බලශක්තියේ මිල ශීඝ්‍රයෙන් පහළ යන නමුත් ඛනිජ තෙල් බලශක්තිය වෙනුවට අවශ්‍ය තරමට සූර්ය බල, සුළං බල හා ජල විදුලි බලශක්ති ප්‍රභව ආදේශ කිරීම තරමක් කල් ගත වන කටයුත්තකි. කාබන් විමෝචනය අඩු කර ගැනීමට ඉක්මනින් ම ඛනිජ තෙල් භාවිතයෙන් ඉවත් වීමට සිදු වුව හොත් ආර්ථිකය ඉල්ලා සිටින බලශක්ති ප්‍රමාණය සපුරා ලිය හැකි තරම් වේගයකින් පුනර්ජනනීය බලශක්තිය සැපයීමට නො හැකි වනු ඇතැ’යි වර්ධන යානය බිමට බෑමට දැන් කල් පැමිණ ඇතැ’යි කියන අය තර්ක කරති. වර්ධන වේගය නො කඩවා ඉහළ යැවීම පිණිස දැරීමට සිදු වන මිල නො තකා වර්ධන ලෝලී වීම නැවත හිතා බැලිය යුතු කාලය පැමිණ ඇතැ’යි පවසන ඇමෙරිකානු බලශක්ති ආර්ථික විද්‍යාඥයෙකු වන ඩේවිඩ් මර්පි සඳහන් කරන අන්දමට “ඉදිරි අවුරුදු 100 තුළ ආර්ථික වර්ධන වේගය කිසි සේත් ම පසුගිය අවුරුදු 100 තුළ සිදුවූ ආර්ථික වර්ධන වේගය වැනි ම වෙතැ’යි නො සිතිය යුතු ය.”[10]

නව ඩිජිටල් තාක්ෂණය මඟින් බිහි කරන දෙවැනි කාර්මික විප්ලවය නිසා වර්තමානයේ වැඩි වසයෙන් ද්‍රව්‍යයමය දේවල් මත රඳා ඇති ආර්ථිකය ද්‍රව්‍යයමය දේවල් අඩුවෙන් භාවිත කරන වඩා සැහැල්ලු ආර්ථිකයක් බවට පත් වනු ඇතැ’යි යන බලාපොරොත්තුව සම්බන්ධයෙන් ද වර්ධන විරෝධීන් දක්වන්නේ සංශයවාදී ආකල්පයකි. ඩිජිටල් විප්ලවය සිදු වන්නේ ද්‍රව්‍යයමය උපාංග  සහ බහුල බලශක්ති භාවිතයක් ඇති යටිතල පහසුකම් මත බව පෙන්වා දෙන ඔවුහු මෘදුකාංග, සංගීතය, අධ්‍යාපනය, වින්දනය සහ වෙළඳාම දැනටමත් ආර්ථිකය තුළ  මංගත (Online) නිෂ්පාදන සහ සේවා වසයෙන් පවතින බව පෙන්වා දෙති.  ඒ අනුව ද්‍රව්‍යයමය දේවල් මත රඳා නො පවතින ආර්ථිකයක් ගැන බලාපොරොත්තු තැබීම සැක සහිත කටයුත්තක් බව ද ඔවුහු පවසති.

පරිසර සංරක්ෂණවාදීන්ට හා වර්ධන විරෝධීන්ට කෙසේ වෙතත් සාම්ප්‍රදායික දේශපාලනඥයින්ට නම් ආර්ථික වර්ධන වේගය ඉහළ දැමීම නැතිව ම බැරි දේශපාලන අවශ්‍යතාවයකි. එයට අවම වසයෙන් හේතු දෙකක් තිබේ. ඉන් පළමුවැන්න ආර්ථික වර්ධන වේගය වැඩි වීම යනු බදු වැඩි කිරීමකින් තොර ව රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ ක්‍රමයක් බවට දේශපාලනඥයන් අතර ඇති පිළිගැනීම යි. දෙවැන්න වර්ධන වේගය අඩු වීම රැකියා වියුක්තිය වැඩි වීමට හේතු වනු ඇතැ’යි යන බිය යි. 

පොදු යහපත සඳහා අවශ්‍ය වන ආයෝජන කිරීමට ආණ්ඩුවලට බදු අය කිරීමෙන් පොදු අරමුදලට එකතු වන ආදායම අත්‍යවශ්‍ය වේ. ලංකාව වැනි රටවල බදු ආදායමෙන් වැඩි කොටසක් ලැබෙන්නේ පරිභෝජන භාණ්ඩවලට අය කරන වැට් බදු වැනි වක්‍ර බදුවලිනි. ආර්ථික වර්ධනය ඉහළ යන විට පරිභෝජනය ද ඉහළ යතැ’යි විශ්වාස කෙරේ. ඒ අනුව පරිභෝජන භාණ්ඩ සඳහා අය කරන බදු ආදායම ද  ඉහළ යන බව සැලකේ. ඒ නිසා ආණ්ඩුවල අපේක්ෂාව වන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය හරහා පුළුල් වන පරිභෝජනය අනුව සෘජු බදු වැඩි කිරීමකින් තොර ව ම කලින්ට වඩා වැඩි බදු ආදායමක් ලබා ගැනීම යි. දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට මේ සා ඇබ්බැහි වී ඇති දේශපාලකයන් වර්ධනයක් නැති හෝ අඩු වර්ධනයක් ඇති ආර්ථිකයක් ගැන කැප වෙතැ’යි සිතන්නේ කෙසේ ද?

මේ සඳහා අපට ප්‍රවර්ධනය කළ හැකි එක පිළිවෙතක් වන්නේ ස්කැන්ඩිනේවියානු රටවල   මෙන් හැම කෙනෙකුට ම ගුණාත්මක පොදු සේවාවක් ලබා දීමට රජයට හැකි වන ලෙස ආදායම් බදු වැඩි කිරීමට මහජන කැමැත්ත ලබා ගැනීම යි. ඒ අනුව බදු ආදායම්වල ඇත්ත අරමුණ ගුණාත්මක සේවා සැපයීම මඟින් ඉහළ ජීවන තත්වයක් පවත්වා ගැනීමට හැකි වීම බව පෙණී යන ලෙස බදු ප්‍රතිපත්තිය පැහැදිලි ව යළි  රාමු ගත කළ යුතු වේ. ආර්ථික විද්‍යාඥ කේට් රේවර්ත් යෝජනා කරන පරිදි මෙහි දී බදු කතිකාව කේන්ද්‍ර කර ගත යුත්තේ “බදු සහන” යන සංකල්පය මත නො ව “බදු සාධාරණය” යන සංකල්පය මත යි. එමඟින් යථා ලෙසම අදහස් වන්නේ  ගුණාත්මක පාසල් සහ අධ්‍යාපන ආයතන, කාර්යක්ෂම සහ සැප පහසු පොදු ප්‍රවාහන සේවා, නවීන සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා, සැමට විශ්‍රාම වැටුප් හා සාර්වත්‍රික මූලික ආදායමක් සහතික කරන අසමානතා අවම කාරුණික සජ්ජන සමාජයක් ගොඩ නැගීම පිණිස උපයන හා උරුම වන ආදායම් අනුපාතය ප්‍රමුඛ කොට සාධාරණ ආදායම් බදු ක්‍රමයක් පවත්වා ගැනීම යි.  

දෙවනු ව බදු ක්‍රමවල ඇති දුර්වලකම්වලින් රිංගා යෑමට ධන කුවේරයන්ට ඉඩ තැබීම නිසා ඇති වෙන අසාධාරණය නිමාවට පත් කළ යුතු ය. මෙයට ‘අක් වෙරළ රහස්‍ය ගිණුම්’ (Off shore Accounts) පවත්වා ගෙන යෑම, ලාභය වෙනත් තැන්වලට මාරු කර සැඟවීම සහ ලොව මුල් පෙළේ පොහොසතුන්ට, ඇමසන් සහ ඇපල් වැනි දැවැන්ත කෝපරේට් සමාගම්වලට තම ව්‍යාපාර ඇති රටවලට අල්ප බද්දක් ගෙවීමට ඉඩ දෙන විශේෂ බදු සහන නතර කිරීම ද අයත් විය යුතු ය. ධන කුවේරයන් විසින් අක් වෙරළ ගිණුම්වල සඟවා ඇති ඩොලර් ට්‍රිලියන 18.5ක් පමණ මුදල් සඳහා වාර්ෂික ව ඩොලර් බිලියන 156ක් බදු වසයෙන් අය විය යුතු බව ගණනය කර තිබේ.[11] ඒ හැර බහු ජාතික සමාගම් ද වසරක් පාසා ඩොලර් බිලියන 660 කට කිට්ටු මුදලක් ආදායම් බදු ප්‍රතිශතය බිංදුවට පමණ බස්සවා ඇති නෙදර්ලන්තය, අයර්ලන්තය, බර්මුඩා සහ ලක්සෙම්බර්ග් වැනි රටවලට යවා බදු ගෙවීමෙන් මග හැර ඇති බව ද වාර්තා වේ.[12] බදු සාධාරණත්වය පිළිබඳ ගෝලීය සංධානය (The Global Alliance for Tax Justice) බදු ගෙවීම පැහැර හැරීම පිළිබඳ ව සොයා බලමින් කෝපරේට් සමාගම්වල පාරදෘශ්‍ය භාවය සහ වග වීම, සාධාරණ ජාත්‍යන්තර බදු රෙගුලාසි හා ප්‍රගතිගාමී ජාතික බදු ප්‍රතිපත්තිවල අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටිමින් මේ බදු මග හැරීම ගැන වැදගත් තොරතුරු එකතු කර තිබේ.[13] එහෙත් මේ කටයුත්ත සාර්ථක ව ඉටු කර ගැනීමට නම් ජාත්‍යන්තර  ගිවිසුම් මෙන් ම ඒවා බලාත්මක කිරීම පිණිස උචිත අන්තර්ජාතික සංවිධානවලට බලය පැවරිය යුතු ය. අප අදහස් කරන පරිදි සැමට සාර්වත්‍රික මූලික ආදායමක් (Universal Basic Income) සහතික කිරීම වැනි කටයුතු ඉටු කිරීමට බොහෝ විට හැකි වන්නේ ඒ සඳහා ගෝලීය බදු ක්‍රමයක් හඳුන්වා දීමෙනි.

තෙවනුව, බදු අය කිරීමේ පදනම වෙනස්  කිරීම ද ඉතා වැදගත් ය. දැන් ඇති අයබදු ක්‍රමය අනුව බොහෝ විට සිදු වන්නේ පුද්ගලයන් සහ සමාගම්වල වාර්ෂික ආදායම මත බදු ගණනය කිරීම යි.  ආදායම මත බදු ගණනය කරන ක්‍රමය වෙනුවට සමුච්චිත වූ ධනය හෙවත් දේපළ සහ මූල්‍ය වත්කම් ඇතුළු රැස්කරගත් ධනය මත බදු අය කිරීමට වැඩි ප්‍රමුඛත්වයක් දිය හැකි ය. වැඩිවන නිෂ්පාදනය හා පරිභෝජනය මත වැඩි බදු ආදායමක් ලැබෙතැ’යි බලාපොරොත්තුවෙන් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය වාර්ෂික ව වැඩි කර ගැනීමේ අවශ්‍යතාව එවිට උද්ගත නො වේ. කෙසේ වෙතත් මෙවැනි ප්‍රගතිගාමී බදු සංශෝධන අධික දේපළ හා මූල්‍ය වත්කම් හිමි ධන කුවේරයන්ගේ සහ කෝපරේට් සමාගම්වල විරෝධයට හේතු වනු නිසැක ය. එවැනි විරෝධතා  සුපුරුදු පරිදි පොදු සේවාවල අකාර්යක්ෂමතාව සහ දූෂණය වෙනුවෙන් තව තවත් මුදල් ආයෝජනය කිරීමේ වැරැද්ද පිළිබඳ මැසිවිලි ලෙස නැවත නැවතත් අපට අසන්ට ලැබෙනු ඇත. එහෙත් ඉන් ගම්‍ය වන්නේ ආණ්ඩුවල වග වීම සහතික කළ හැකි ප්‍රබල සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයක් බිහි කිරීමේ ඇත්ත අවශ්‍යතාවයි. ආණ්ඩුවල වග වීම සහතික කර ගැනීම සඳහා කැප වෙන ප්‍රබල හා ක්‍රියාකාරී  සිවිල් සමාජ ව්‍යාපාරයක වැදගත්කම ද ඒ සමඟ ඉස්මතු වනු ඇත. බදු ක්‍රමයේ පදනම මෙසේ තීරණාත්මක ව වෙනස් කිරීමේ අවශ්‍යතාව තවදුරටත් පැහැදිලි කරන ආර්ථික විද්‍යාඥ තෝමස් පිකෙටිගේ අදහස් ගැන 25වැනි පරිච්ඡේදයේ දී අපි වඩාත් සවිස්තර ව සාකච්ඡා කරමු.

දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය අඩු වීම රැකියා වියුක්තිය වැඩි වීමට හේතුවන බවට දේශපාලනඥයන් අතර ඇති මතය ද විමසිල්ලට ලක් කිරීම වැදගත් ය. මනුෂ්‍යයන් වනාහි විචක්ෂණ සත්ව විශේෂයකි. අවශ්‍යතාවක් ඇත්නම් වැඩ කරන ආකාරය වෙනස් කර ගැනීමෙන් ඵලදායකත්වය වඩා ඉහළ නැංවීමට ඔවුන්ට හැකි ය. හෙන්රි ෆෝඩ් සිය මෝටර් රථ නිෂ්පාදන ක්‍රමයට ඇසම්බ්ලි ලයින් හෙවත් ‘ඇමුණුම් පේළි ක්‍රමය’ හඳුන්වා දුන් පසු ඔහුගේ මෝටර් රථ නිපදවීමේ හැකියාව පස් ගුණයකින් ඉහළ ගියේ ය. හෙන්රි ෆෝඩ්ගේ  T වර්ගයේ මෝටර් රථ සඳහා නිතිපතා වැඩි වෙන ඉල්ලුම නො වන්නට ඔහුට වඩා කුඩා  සේවක පිරිසකින් තම සැපයීම ඉටු කර ගන්නට බෙහෙවින් ඉඩ තිබුණි.  පුළුල් වන ආර්ථිකයක නම් එක ව්‍යාපාරයකින් අස් කරනු ලැබූ සේවකයන්ට තවත් ව්‍යාපාරයක රැකියා සොයා ගැනීම අපහසු නැත. එහෙත් ඉල්ලුමට සරිලන ලෙස නිෂ්පාදනය පුළුල් නො වන විට රැකියා වියුක්තිය ද වැඩි විය හැකි ය. ඉතිහාසය විසින් පෙන්නුම් කරන ලද පරිදි රැකියා වියුක්තිය වැඩි වීම නිසා ඇතිවෙන අතිථිභීතිකාව (xenophobia) හෙවත් අන්‍යයන් නො රිස්සීම ප්‍රකෝපකාරී අන්‍යන්‍යතා දේශපාලනයේ (identity politics) සිට ප්‍රචණ්ඩ පැසිස්ට්වාදය දක්වා සමාජ විරෝධී ප්‍රවණතා බිහි වීමට ද තුඩු දිය හැකි ය. එක්දහස්  නවසිය තිස් ගණන්වල ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ලෝකයේ ඇති වූ මහා ආර්ථික අවපාතය හමුවේ පෝලිම් ගැසුණු රැකියා වියුක්තියකින් පිළිබඳ ගැටලුව විසඳීමට නම් දළ දේශීය නිෂ්පාදනයේ සැලකිය යුතු වර්ධනයක් අත්‍යවශ්‍ය බව එකල ජෝන් මේනාඩ් කේන්ස් පැවසුවේ එබැවිනි.

එහෙත් හෙන්රි ෆෝඩ් හඳුන්වා දුන් ඇමුණුම් පේළි ක්‍රමයට අනුව වැඩ සංවිධානය කිරීම දැන් සිදු වන්නේ එකල මෙන් මිනිස් ශ්‍රමය යොදා ගැනීමෙන් නො ව වැඩි වැඩියෙන් ස්වයංක්‍රියාකාරි (automation) යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීමෙනි. ඒ අනුව නිෂ්පාදනය වැඩි වෙන පමණට මිනිස් ශ්‍රමයට ඇති ඉල්ලුම ද එකල මෙන් ම අද ද වැඩි වෙනු ඇතැ’යි සිතීම වැරදිය. ඒ නිසා ස්වයංක්‍රීයකරණය නිසා ඇතිවිය හැකි රැකියා වියුක්තිය සමනය කිරීමට දළ දේශීය ආදායමේ වර්ධන වේගය වැඩි වීම පිළිතුරකැ’යි කීම තවදුරටත් වලංගු නො වේ. එබැවින් ඒ සඳහා අප 26 වැනි පරිච්ඡේදයේ දී සවිස්තරව සාකච්ඡා කරන ‘සැමට සාර්වත්‍රික මූලික ආදායම’ (Universal Basic Income) සහතික කිරීම සහ ‘වැඩ සතිය කෙටි කිරීම’ වැනි විසඳුම් කරා යොමු විය යුතු ය.

දේශපාලනය සහ ආර්ථිකය යන ක්ෂේත්‍ර දෙක ම එකිනෙක විසින් පෝෂණය හෝ මන්දපෝෂණය කරන බව අපි දනිමු. මේ ක්ෂේත්‍ර දෙක ම සම්බන්ධ කෙරෙන මැදිහත් වීම් පදනම් කර ගෙන ඇත්තේ දේශපාලනය හා ආර්ථිකය යනු ජාතික රාජ්‍යයන් විසින් තම තම හැකියා අනුව විසඳුම් සොයා ගත යුතු ප්‍රශ්න වසයෙනි.  ඒ සම්බන්ධ කෙරෙන අන්තර්ජාතික කටයුතු ද සංකල්ප ගත වන්නේ ජාතික රාජ්‍ය අතර සිදු වන ගනු දෙනු වසයෙනි.

ඇතැම් රටවල් සිය දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය වැඩි කිරීම ගැන උත්සුක වන්නේ ගෝලීය ආර්ථික බලයේ තීරණාත්මක හිමිකරුවන් වීමේ බලාපොරොත්තුවෙනි. එනිසා ගෝලීය වේදිකාවේ ප්‍රධාන භූමිකාවලින් විසි වී නො යෑමට නම් දළ දේශීය නිෂ්පාදිතයේ අඛණ්ඩ වර්ධනය අත්‍යවශ්‍ය කොන්දේසියකැ’යි ඒ රටවල් අදහති.  එහෙත් මෙහි විරුද්ධාභාසය (paradox) වන්නේ සංහතියක් ලෙස මනුෂ්‍යයන්ට නුදුරු කාලයේ මුහුණ දීමට සිදු වන ගෝලීය උණුසුම ඉහළ යෑම ඇතුළු තීරණාත්මක ප්‍රශ්න තවදුරටත් ජාතික රාජ්‍ය මට්ටමෙන් පමණක් විසඳා ගත හැකි ඒවා නො වීමයි. එපමණක් නො ව ආදායම් විෂමතාව අවම කොට සැමට සාර්වත්‍රික මූලික ආදායමක් සහතික කිරීම පිණිසත්, වත්කම් ප්‍රමුඛ කොට බදු ක්‍රමය සංශෝධනය කිරීමටත් බදු සාධාරණත්වය තහවුරු කිරීම සඳහාත් අක් වෙරළ ගිණුම්වල මුදල් සැඟවීම හා මුදල් විශුද්ධිකරණය වැනි කටයුතු වැළැක්වීම සඳහාත් අපට අද අන් කවර කලකටත් වඩා ජාතික රාජ්‍යයේ ඊනියා ස්වෛරිත්වය ඉක්මවා ගොස්  කලාපීය හා ජාත්‍යන්තර වසයෙන් සංවිධානගත වීමට සිදු ව තිබේ.

වර්ධනයට ඇති ඇබ්බැහිකමින් අත් මිදීමට නම් වර්ධන වේගය වෙනුවට  සාර්ථකත්වය පිළිබඳ විකල්ප දර්ශක අපට යොදා ගත හැකි බව කේට් රේවර්ත් පෙන්වා දෙයි. සාර්ථක ආර්ථිකයක් යන්නෙන් අදහස් කරන්නේ විෂමතා අඩු සමබර දියුණුවක් සලසන ආර්ථිකයක් නම් එම සාර්ථකත්වය මුදල්වල ප්‍රතිශතයක් ලෙස නො ව සමස්ත ජීවන ක්‍රමය මඟින් පිළිබිඹු වන මානව සමෘද්ධිය පිළිබඳ දර්ශක මඟින් නිරූපණය විය යුතු ය. දැනට මත් ඇති ඇතැම් ප්‍රකට දර්ශක මේ ගුණයෙන් සම්ප්‍රයුක්ත වෙයි. ඒ අතර රටක ජනතාවගේ  සෞඛ්‍යාරක්ෂාව, අධ්‍යාපනය හා ආදායම පදනම් කොට 1990 දී හඳුන්වා දුන් එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකය හෙවත් Human Development Index ප්‍රකට ය. ඒ හැර Happy Planet Index[14], the Inclusive Wealth Index, and the Social Progress Index වැනි වෙනත් දර්ශක  ද වෙයි.

තවත් උපායමාර්ගික වැදගත්කමක් ඇති කටයුත්තක් වසයෙන් සැලකිය හැක්කේ ජාතික රාජ්‍ය අතර ඇති තරඟය ඉක්මවා යමින් පුරවැසියන් අතර සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කලාපීය හා ගෝලීය වසයෙන් අන්තර්ජාතික සහයෝගිතාව ගොඩ නගන මහා නගර ජාලයක් බිහි  කිරීම යි. එම ජාලය තුළ දූෂණ කාරක ආර්ථික වර්ධනයේ දුර්විපාක අවම කරන නිෂ්පාදන හා පරිභෝජන සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම පිණිස විසඳුම් සහ තාක්ෂණික දැනුම සෘජු ව ම බෙදා හදා ගත හැකි වේ. ගෝලීය උණුසුම වැඩි වීම වැනි ගැටලු ආමන්ත්‍රණය කිරීමට දැනට පිහිටුවා ගෙන ඇති C40 නමින් හැඳින්වෙන මෙගා නගර ජාලය වඩා දේශපාලනික මෙහෙවරක් සහිතව ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මේ කටයුත්ත ඉටු කළ හැකිදැ’යි සොයා බැලිය හැකි ය.[15]  ලොව පුරා ඇති මෙගා නගර 80 කට වැඩි සංඛ්‍යාවක් C40 නගර ජාලයට අයත් වේ. එම නගර 80 ජනගහනය මිලියන 550 ක් වන අතර දළ ගෝලීය නිෂ්පාදිතයෙන් 25% ක ආර්ථික අගයක් එම නගර එකතුවෙන් ජනනය වේ. උචිත දේශපාලනික දැක්මක් ඇත්නම් මෙම අන්තර්ජාතික නගර ජාලය ජාතික රාජ්‍ය ඉක්මවා යන ගෝලීය මට්ටමේ පුරවැසි ව්‍යාපාරයක කොඳු නාරටිය බවට පරිවර්තනය කිරීමට හැකි ය. අනුක්‍රමයෙන්  ලෝක ජනතාවගෙන් වැඩි කොටසකට නගරවල ජීවත් වීමට සිදු වන බැවින් ජාතික රාජ්‍ය ව්‍යුහයට ඉහළින් තැබිය හැකි ක්‍රියාකාරී අන්තර්ජාතික නගර ජාලයක් මඟින් සංවර්ධනයේ දේශපාලනය පරිසර හා මානව හිතවාදී ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කළ හැකි ය.

අවසාන වසයෙන් කල්පනා කළ යුතු වන්නේ සමාජීය වසයෙන් අප හැම දෙනෙක් ම වාගේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය නිසා මේ තරම් ආවේශ වී ඇත්තේ ඇයි ද යන්නයි. සමාජය තුළ පවතින විවිධ විෂමතා නිසා ඇතිවෙන ආතතිය සහ පරිභෝජන සංස්කෘතිය විසින් අප මෙහෙයවනු ලැබීම ඊට මූලික වසයෙන් හේතු විය හැකි බව කේට් රෙවර්ත් සඳහන් කරයි. නූතන සමාජයේ ජීවත් වන අපි සියලු දෙනා ම ඉපැරණි ජන සමාජවල විසූ ගෝත්‍රික රජවරුන්ට වඩා බහු භාණ්ඩිකයෝ ය. නොයෙකුත් භාණ්ඩ අත්පත් කර ගැනීමට අප දක්වන ආශාව විසින් අපේ නිෂ්පාදන ක්‍රමය හා ඒ සඳහා අවශ්‍ය සම්පත් ප්‍රමාණය ද තීරණය වෙයි. අප මිලට ගන්නා දේවල් අනුව බොහෝ විට අපේ අනන්‍යතාව හා සමාජ සම්බන්ධකම් නිර්ණය වන බව අපි දනිමු. අප සැසඳීමට යොදා ගන්නා අසල්වැසියා හෝ ඥාති මිත්‍රාදීන්ට නො දෙවෙනි ව ප්‍රකට සන්නාම සහිත භාණ්ඩ අපට හිමි බව පෙන්වීමට අපි කැමැත්තෙමු. අලුත් ම පන්නයේ අයිෆෝනයක්  අත තබා ගෙන යෑමට අප පෙලඹෙන්නේ එබැවිනි.  ධනවාදී ආර්ථික ක්‍රමය යනු පාරිභෝගිකයා තෘප්තියට පත්වීම මත පවතින ආර්ථික ක්‍රමයක් නො ව සදාකාලික අතෘප්තිය ජනනය කිරීම මඟින් මෙහෙයවනු ලබන ආර්ථික ක්‍රමයකි. තරඟකාරී වාණිජ ප්‍රචාරණ විධි මේ බව මැනවින් අවබෝධ කර ගෙන තිබේ. විසි වැනි සියවසේ බිහි වූ වාණිජ ප්‍රචාරණයේ පදනම සමාජ ඉණිමගේ අප ඉහළට යන බව දැනෙන්නේ අසල්වැසියාට වඩා  තවත් යමක් මිල දී ගැනීමට අපට ඇති හැකියාව ප්‍රදර්ශනය කිරීම මඟින් බවට අප තුළ ඇති ඇදහිල්ල යි. ඉතින් මේ විසිවැනි සිය වසේ බිහි වූ ඒ අතෘප්තියේ උරුමය අත් හැර දැමීමට අපට හැකි වේද?

ඒ සඳහා කෙරෙන උත්සාහයක් ලෙස ස්වීඩනය සහ නෝර්වේ වැනි රටවල් දැනටමත් වයස 12ට අඩු දරුවන් ඉලක්ක කොට වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කිරීම  තහනම් කර තිබේ. දෘශ්‍ය දූෂණය (Visual Pollution) නැති කිරීම සඳහා ප්‍රංශයේ ග්‍රෙනොබෙල් සහ බ්‍රසීලයේ සාඕ පව්ලූ වැනි නගරවල වෙළඳ දැන්වීම් පුවරු ඇටවීමට අවසර දෙනු නො ලැබේ. එහෙත් ඒ අතර අන්තර්ජාල හැසිරීම අනුව අපේ රුචිඅරුචිකම් නිරීක්ෂණය කරමින් පුද්ගලිකව ම අපට ඉලක්ක කරනු ලබන මංගත (online) වෙළඳ දැන්වීම් ප්‍රචාරණයේ සැලකිය යුතු වැඩි වීමක් ද දක්නට ලැබේ. වෙළඳ ප්‍රචාරණය මත යැපෙන සේවා ගණනාවක් ආර්ථිකය තුළ ද පැලපදියම් වී ඇති බැවින් සචේතනික උත්සාහයකින් තොර ව බහු භාණ්ඩික අධි පරිභෝජනවාදයේ මූල්‍යමය හා සංස්කෘතික ආධිපත්‍යයෙන් ගැලවීමට අපට පහසු නො වනු ඇත. එහෙත් ස්මාට් හෙවත් සුහුරු නගර සංකල්පය තුළ ප්‍රවාහනය ඇතුළු පොදු සේවා වැඩි දියුණු  කිරීම මඟින් සහ යාන වාහන සහ මෙවලම් ආදිය බෙදා හදා ගැනීමේ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම මඟින් මේ අධික පරිභෝජනය අවම කළ හැකි දැ’යි සොයා බැලිය හැකි ය. මේ සඳහා ඇතැම් නගරවල ඇති පාපැදි හා රෙදි සේදීමේ යන්ත්‍ර පොදුවේ භාවිත කිරීම වැනි නිදසුන් සලකා බැලිය හැකි ය.   

අධිපරිභෝජනවාදී සංස්කෘතිය ගැන කල්පනා කරන විට අපට පෙනී යන එක් වැදගත් දෙයක් වන්නේ ද්‍රව්‍යයමය සමෘද්ධිය කොතෙකුත් තිබුණත් භාවාත්මක සමෘද්ධිය (emotional abundance) අතින් අප ඉතා දුප්පත් බවයි. භාවාත්මක සමෘද්ධිය යනු අපට ඇත්තට ම වැදගත් වන දේවල් ලැබී තිබීම යි. අපේ කුසලතා ප්‍රයෝජනයට ගැනීම, අන්‍යයන්ට අධාර උපකාර කිරීම, අප විශ්වාස කරන වටිනාකම් වෙනුවෙන් පෙනී සිටීම ආදී  වසයෙන් ඇත්තට ම අපට භාවාත්මක ව වැදගත් වන දේවල් මොනවා ද යන්න සම්බන්ධ ව විවිධ මත තිබිය හැකි ය. මනෝවිද්‍යාත්මක පර්යේෂණ රාශියකින් ලබා ගත් දත්ත භාවිත කරමින් New Economics Foundation හෙවත් නව ආර්ථික පදනම නමැති සංවිධානය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව යහජීවනය (wellbeing) ප්‍රවර්ධනය කිරීමට භාවාත්මක වසයෙන් වැදගත් වන දේවල් සරලව කොටස් පහකට බෙදිය හැකි ය. එනම් අප අවට වෙසෙන අය සමඟ සබැඳියාව ඇති කර ගැනීම, ශාරීරිකව හා මානසික ව සක්‍රිය වීම, ලෝකය ගැන සිහි නුවනින් සිටීම,  නව හැකියා ඉගෙන ගැනීම සහ පරෝපකාරී බව ඒ කොටස් පහයි.[16]

මේ අන්දමේ යහජීවනයක් ඇති කර ගැනීමට ආත්මාර්ථකාමිත්වය ම උත්කර්ෂණයට නංවන විෂමතා දායක නාස්තික ආර්ථික චින්තනය වෙනුවට ආදායම් අසමානතාව අවම කෙරෙන, පරිසර සංරක්ෂණය ආර්ථිකයේ ප්‍රතිලාභයක් ලෙස සැලකෙන, පරිභෝජන නාස්තිය අවම කෙරෙන සහ සහභාගිත්වය හා සහයෝගය සහතික කෙරෙන චක්‍රීය ආර්ථිකයක් (circular economy) ගොඩ නැගිය යුතු ය. ඒ චක්‍රීය ආර්ථිකය දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ගැන අඥෙයවාදී (agnostic)ආකල්පයක් දරන්නක් විය යුතු ය.

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

මීළඟට: 21.  යුක්තිය අත්පත් කර ගැනීමේ දේශපාලනයේදී තිරසාර සංවර්ධන අරමුණු වැදගත් ප්‍රවේශයක් වන්නේ ඇයි? 


[1] Kate Raworth (2017) Doughnut Economics: Seven ways to think like a 21st Century Economist, by Kate Raworth, New York: Random House, p.36

[2] Meadows, Donella H., Dennis L. Meadows, Jørgen Randers, and William W. Behrens III. (1972). The Limits to Growth. New York: Universe Books.

[3] Meadows, D. (1999) ‘Sustainable Systems’. Lecture at the University of Michigan, 18 March 1999, https://www.youtube.com/watch?v=HMmChiLZZHg

[4] Hickel, Jason, (2021) Less is More: How De-growth will Save the Worlds, London: William Heinemann, p. 114 (KE)

[5] https://wir2018.wid.world/files/download/wir2018-full-report-english.pdf – Retrieved on 17th July 2021

[6] “Beckerman, W. (1972) In Defense of Economic Growth. London: Jonathan Cape, pp. 100–101.”

[7] “Bowen, A. and Hepburn, C. (2012) Prosperity with Growth: Economic Growth, Climate Change and Environmental Limits, Centre for Climate Change Economic and Policy Working Paper no. 109, and Brynjolfsson, E. (2013) ‘The key to growth? Race with the machines’, TED Talk, February 2013. https://www.ted.com/talks/erik_brynjolfsson_the_key_to_growth_race_em_with_em_the_machines?language=en”

[8] Solow, R. (1957) ‘Technical change and the aggregate production function’, Review of Economics and Statistics 39: 3, p. 320.

[9] Ayres. R. and Ayres, E. (2010) Crossing the Energy Divide: Moving from Fossil Fuel Dependence to a Clean Energy Future. Upper Saddle River, NJ: Wharton School Publishing, p. 14.

[10] Murphy, D.J. (2014) ‘The implications of the declining energy return on investment of oil production’, Philosophical Transactions of the Royal Society 372, p. 16.

[11]   Oxfam (2013), ‘Tax on the “private” billions now stashed away in havens enough to end extreme world poverty twice over’, 22 May 2013. https://www.oxfam.org/en/pressroom/pressreleases/2013-05-22/tax-private-billions-now-stashed-away-havens-enough-end-extreme

[12] Tax Justice Network (2015) ‘The scale of Base Erosion and Profit Shifting’ (BEPS). http://www.taxjustice.net/scaleBEPS/

[13]  Global Alliance for Tax Justice, http://www.globaltaxjustice.org

[14] http://happyplanetindex.org/

[15] https://www.c40.org/

[16] Aked, J. et al. (2008) Five Ways to Wellbeing: The Evidence. London: New Economics Foundation.

One thought on “20. වර්ධනය යනු සංවර්ධනයම ද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: