19. සංවර්ධන කතිකාවේ නව දිශානතිය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

සංවර්ධනය යනු සෑහෙන කලක් තිස්සේ එක්තරා ආකාරයක ධනාත්මක තේරුමක් ගෙන දුන් එහෙත් බොහෝ විට හිස් වචනයක් ලෙස පැවතුණු දෙයකි. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිට රාජ්‍ය නො වන සංවිධාන දක්වා වූ විශාල පරාසයක ජාල ගත වීම් තුළ සංවර්ධනය යන්න පිළිබඳ ව පොදු ජාත්‍යන්තර පර්යාලෝකයක් ඇති කර ගෙන තිබුණි. ඒ අනුව 1986 දී පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිපූර්ණ  මහා මණ්ඩල සැසියක දී සම්මත වූ “සංවර්ධනය සඳහා ඇති අයිතිය” යන්න මේ සංවර්ධන කතිකාව තුළ නිරන්තරයෙන් ම යෙදුණු වහරක් විය.

වුල්ෆ්ගැන්ග් සාච් පෙන්වා දෙන අන්දමට අද වන විට ‘සංවර්ධනය’ යන සංකල්පය සැලකිය යුතු පරිවර්තනයකට භාජනය වී තිබේ. උදාහරණයක් ලෙස 2015 වන විට පරණ වී ගොස් තිබූ සංවර්ධනය පිළිබඳ කතිකාව වෙනුවට ඊට වඩා බෙහෙවින් පොහොසත් සහ ඖචිත්‍ය කතිකාවක් ඇරඹීමට නියමිත බව එම වසරේ සැප්තැම්බරයේ එළිදැක්වූ එක්සත් ජාතීන්ගේ ‘තිරසාර සංවර්ධන අරමුණු’ (Sustainable Development Goals) දාහතෙන් සහ දෙසැම්බරයේ සම්මත කළ දේශගුණ විපර්යාසය පිළිබඳ පැරිස් සම්මුතියෙන් පැහැදිලි විය. තිරසාර සංවර්ධන අරමුණු මඟින් පළමු වරට ‘යුක්තිය’ සහ මානව වර්ගයාගේ පැවැත්ම සංවර්ධන කතිකාව තුළ මුඛ්‍ය කාරණා ලෙස මතු කර තිබුණි. (තිරසාර සංවර්ධන අරමුණු වටා යුක්තිය දිනා ගැනීම සඳහා දේශපාලනික ව මැදිහත් වීම ගැන වඩාත් විස්තරාත්මක සාකච්ඡාවක් දාහත් සහ දහඅටවැනි පරිච්ඡේදවල අඩංගු වේ.) වුල්ෆ්ගැන්ග් සාච් පැහැදිලි කරන අන්දමට තිරසාර සංවර්ධනය හා දේශගුණ විපර්යාසය පිළිබඳ මේ අන්තර්ජාතික ප්‍රකාශන දෙක ම තවදුරටත් නියෝජනය කරන්නේ අර සාම්ප්‍රදායික සංවර්ධන කතිකාව නො ව අලුතින් ගොඩ නැගෙමින් ඇති පශ්චාත් සංවර්ධන චින්තනය යි.

කලක් තිස්සේ පැවති සංවර්ධනය නමැති සාම්ප්‍රදායික අදහස දැන් අවලංගු වී ඇති බව එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය හෙවත් ‘තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේ වැඩපිළිවෙළ’ දෙස විමසිල්ලෙන් බැලූ විට පෙනී යයි. එයට අනුව සංවර්ධනය යන්න තවදුරටත් ප්‍රගතිය පිළිබඳ පොරොන්දුවක් නො වේ. බොහෝ කලක් තිස්සේ අලුත බිහි වූ රටවල අභිප්‍රාය වූයේ සංවර්ධන මාර්ගය ඔස්සේ ඒකාකාරී ව ප්‍රගතිය කරා ගමන් කිරීම යි. ඒ අනුව සිය අගහිඟකම් අඩු කර ගනිමින් අවසානයේ දී දියුණු කාර්මික ශිෂ්ටාචාරයක ඵල නෙළා ගැනීමට සියලු සමාජවලට හැකි වෙතැ ’යි යන ප්‍රගතිය පිළිබඳ දැවැන්ත ඓතිහාසික පොරොන්දුවක් සංවර්ධනය පිළිබඳ පරණ කතිකාව තුළ ගැබ් ව තිබුණි.

දැන් ඒ යුගය අහවර වී තිබේ. ඒ අනුව සංවර්ධනය යනු තවදුරටත් ප්‍රගතිය පිළිබඳ සංකල්පයක් නො ව අනතුරට ලක් ව ඇති අපේ සාමූහික පැවැත්ම හෙවත් මිනිස් වර්ගයාගේ ප්‍රවර්තනය (survival) රැක ගැනීමේ උත්සාහයක් බවට පත් වී තිබේ. තිරසාර සංවර්ධන අරමුණු සැලසුම් කර ඇත්තේ අඩු වැඩි නැති ව මානව අයිතිවාසිකම් සහ ජීවත් වීමට අවශ්‍ය පාරිසරික තත්ව සහතික කිරීමේ ප්‍රයත්නයක් ලෙස ය. දියුණු වීම, ප්‍රගතිය පිළිබඳ එකල පැවති උත්කර්ෂවත් විශ්වාසය වෙනුවට දැන් අපට කතා කරන්නට සහ කටයුතු කරන්නට සිදුවී ඇත්තේ බලවත් ව්‍යසනයකින් තොර ව අපේ සාමූහික පැවැත්ම රැක ගන්නේ කෙසේ ද යන මූලික ප්‍රශ්නය ගැන ය.

පසුගිය කාලය තුළ දරිද්‍රතාව පිටු දැකීමේ දේශපාලනය ඇතැම් තැන්වල සාර්ථක වී ඇති බව සැබෑවක් නමුත් ඒ සඳහා ගෙවන්නට සිදු වූ වන්දියට වෙනත් තැන්වල අසමානතා උග්‍ර කිරීමේ සිට යළි පිළිසකර කළ නො හැකි තරමට පරිසරයට හානි සිදු කිරීම ද අයිති වූ බව අප අමතක කළ යුතු නො වේ. 2018 ලෝක අසමානතා වාර්තාවට අනුව උතුරු ඇමෙරිකාවේ, චීනයේ සහ ඉන්දියාවේ ද පොහොසත් ම 1% විසින් අත්පත් කර ගෙන ඇති ජාතික ආදායමේ ප්‍රතිශතය ඉතා වේගයෙන් වැඩි වෙමින් පවතී.[1] ඊට වඩා තරමක් අඩු වේගයකින්  සිදු වුව ද ආදායම් විෂමතාව වැඩි වීමේ එම ප්‍රවණතාව යුරෝපයේ ද වෙනත් රටවල ද බහුලව දක්නට ලැබේ. බලය, වත්කම් සහ සම්පත් අකාර්යක්ෂම ලෙස යොදා ගැනීම අතර අනවරත සම්බන්ධතාවක් ඇති බව ඇතැම් විචාරකයෝ පෙන්වා දෙති. වත්කම් අසමානතාව, බලය හා ආයතනවල කාර්යක්ෂමතාව අතර ද එවැනි ම අනර්ථකාරී සහසම්බන්ධයක් තිබේ.[2]

ඒ අතර මේ  අසමානතාව උග්‍ර කරන සම්පත් සපයා දීම පිණිස දිගින් දිගට ම පෘථිවි ග්‍රහලෝකය ඉවක් බවක් නැති ව උපයෝගී කර ගැනීම එහි අන්තයට ම ගෙන ගොස් තිබේ. ගෝලීය පාරිසරික පා සටහන පිළිබඳ කරන ලද ගණනය කිරීම්වලින් අණාවරණය කර ඇති පරිදි මනුෂ්‍ය වර්ගයා විසින් වාර්ෂික ව පෘථිවි ජීවි ගෝලය මෙන් 1.7 ගුණයක වපසරියක් පරිභෝජනයට ගැනීමෙන් ම ඒ බව පෙනී යයි. රටක් සිය කර්මාන්ත සඳහා උද්ධරණය (extract) කොට යොදා ගන්නා ජෛව ස්කන්ධ (biomass), ෆොසිල ඉන්ධන, ලෝපස් සහ වැලි, සිමෙන්ති, ගල්, ගඩොල්, ගල් තාර වැනි ගොඩනැගුම් අමු ද්‍රව්‍ය ආදී ස්වාභාවික සම්පත් ප්‍රමාණයේ සමස්ත එකතුව හඳුන්වන්නේ ජාතික ද්‍රව්‍යයමය පා සටහන (Nation’s global material foot print) යනුවෙනි. මේ පා සටහනේ ප්‍රමාණය එම රට විසින් පරිසරය කෙරෙහි ඇති කරනු ලබන පීඩනය නිරූපණය කරයි. පාරිසරික පා සටහන (Ecological Footprint ) යනුවෙන් ද හැඳින්වෙන එය  කිසියම් මානව ක්‍රියාකාරකමක් ඉටු කිරීම සඳහා වැය කළ යුතු පෘථිවියේ ප්‍රතිජනනීය ධාරිතාව මැනීම පිණිස යොදා ගන්නා මිම්මකි. ඒ සඳහා සාමාන්‍යයෙන් යොදා ගන්නා ඒකකය වන්නේ gha යන සංකේතයෙන් හඳුන්වන ගෝලීය හෙක්ටෙයාරයයි.[3]  මේ පාරිසරික පාද සටහනේ ප්‍රමාණය එම රටවල ජීව ධාරිතාව (biocapacity) ඉක්මවා ගිය විට පාරිසරික හිඟයක් (ecological deficit) ඇති වෙතැ ‘යි සැලකේ. ඒ අනුව 2021 වැඩි ම පාරිසරික හිඟය ඇති කළ රට වසයෙන් සැලකෙන්නේ චීනය යි. එය සෘණ ඒකක -3435 කි. ඇමෙරිකාවේ පාරිසරික හිඟය සෘණ -1416 ක් වන අතර ඉන්දියාවේ එය සෘණ -878 කි. ශ්‍රී  ලංකාවේ පාරිසරික හිඟය සෘණ ඒකක -18.57ක් පමණක් වුවද දකුණු ආසියාවේ වැඩි ම ඒක පුද්ගල පාරිසරික පාද සටහන වන 1.32 gha වාර්තා වන්නේ ද ශ්‍රී ලංකාවෙනි.[4]

පාරිසරික හිඟය පිළිබඳ මේ දර්ශකවලින් පෙන්නුම් කරන්නේ අප අනුගමනය කළ සංවර්ධනය විසින් කොතරම් පරිපීඩනයක් පෘථිවි පරිසරය මත මුදා හරිනු ලැබ ඇත් ද යන්නයි. එහි ඵල විපාක සාගර ජලයේ අඩංගු අති විශාල ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් ද, කෘමි සතුන්ගේ නො නවතින නෂ්ට ප්‍රාප්තියෙන් ද, ආක්ටික් අයිස් ආවරණය පෙර නොවූ විරූ ලෙස දිය වී යෑමෙන් ද තවත් බොහෝ පූරණය කළ නො හැකි පාරිසරික හානිවීම්වලින් ද පැහැදිලි  වේ.[5]

දේශගුණ අර්බුදය මෙන් ම ශාක සහ සත්ව ගහනයේ අනුක්‍රමික පරිහානියට තුඩු දුන් නිසැක හේතු හා පරිභෝජන රටාව අතර ඇති නාස්තිකාර සම්බන්ධය හෙළිදරව් වීම නිසා සමාජ පරිණාමයේ උත්කර්ෂය සංවර්ධිත රටවල් යැ’යි මෙතෙක් පිළිගෙන තිබූ මතය දැන් අවලංගු වෙමින් තිබේ. පෘථිවි ගෝලයේ ස්වාභාවික සම්පත් නිස්සාරණය (extraction) කිරීම හෙවත් උදුරා ගැනීම හැර ධනවාදී ක්‍රමයට වෙනත් විකල්පයක් නැත. ඒ නිසා ඇතිවී තිබෙන පූරණය කළ නො හැකි හානිය සැලකූ විට එකල මානව ප්‍රගතිය (progress) ලෙස සැලකූ සංසිද්ධිය දැන් අපට මානව ප්‍රතිගමනය (regress) ලෙස සැලකීමට සිදුවී තිබේ. දේශගුණ විපර්යාසය පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ (IPCC) මෑත කාලීන සොයා ගැනීම්වලින් තහවුරු වන විශ්ලේෂණවලට අනුව සිදුවී ඇති විනාශය ආපසු හැරවිය නො හැකි තරම් බරපතළය. ඒ අනුව ධනවාදී ආර්ථික වර්ධනය පොදු සමාජ සංවර්ධනය ලෙස සලකා දිගින් දිගට ම කටයුතු කිරීම පෘථිවි ග්‍රහයා මිනිසුන්ට ජිවත් වීමට නො හැකි තැනක් බවට පත් කිරීමට නිසැක ව ම හේතු වීමට ඉඩ ඇති බවට සාක්ෂි ඕනෑ තරම් තිබේ.

එයට හේතුව වන මානව ක්‍රියාකාරකම් නිසා ගෝලීය උණුසුම ඉහළ යෑම අවම වසයෙන් කාර්මික යුගයට පෙර පැවති ගෝලීය උෂ්ණත්වයට වඩා සෙන්ටිග්‍රෙඩ් අංශක 1.5 ඉක්මවා නො යැවීමට කටයුතු කළ යුතුයැ’යි බොහෝ රටවල් 2015දී එකඟ වූයේ එබැවිනි. එහෙත් එම එකඟත්වය පවා ප්‍රමාණවත් නො වන බව 2021ජුලිවල දී පළ වූ IPCC වාර්තාවේ සඳහන් කරුණු තහවුරු කරයි.[6] 2021 සැප්තැම්බර් මැද නිකුත් කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්ලේෂණ වාර්තාවට අනුව 2030 වන විට ගෝලීය කාබන් ඩයොක්සයිඩ් විමෝචනය 2010 පැවති ප්‍රමාණයට වඩා 16% කින් වැඩි විය හැකි ය.[7] ඒ නිසා සමාජ සහ පරිසර යුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා හඳුන්වා දුන් ‘තිරසාර සංවර්ධන අරමුණු’ (Sustainable Development Goal) නමැති යෙදුමට වඩා ඇත්ත වසයෙන් ම ගැළපෙන්නේ එම අරමුණු ‘තිරසාර ප්‍රවර්තන අරමුණු’ (Sustainable Survival Goals) යනුවෙන් හඳුන්වා කටයුතු කිරීම යි.[8]

පරණ සංවර්ධනය පිළිබඳ භූ දේශපාලනය ද ඇතුළතින් කඩා වැටෙමින් තිබේ. 2015 දී හඳුන්වා දුන් තිරසාර සංවර්ධන අරමුණුවලට හාත්පසින් ම වෙනස් ව  2000 දී සහස්‍රක සංවර්ධන අරමුණු (Millennium Development Goals) පිළියෙළ වුණේ පැරණි සංවර්ධන ආකල්පයට අනුව ප්‍රාග්ධනය, වර්ධනය සහ උචිත සමාජ ප්‍රතිපත්ති ඇති කර ගැනීමට සංවර්ධිත රටවල් දුප්පත් රටවලට උදව් කළ යුතු ය යන මතය පදනම් කර ගනිමිනි. එය සංවර්ධනය වෙමින් පවතින රටවල්  සංවර්ධිතයැ’යි නම් කොට තිබූ රටවල් හා සමෝසමේ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීමට තැත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ පශ්චාත් යටත් විජිත සමයේ සිට පැවති ආකල්පයේ ම දිගුවක් විය. සංවර්ධිත රටවල් හා හැම අතින් ම සම වීම නැමති ඒ සංවර්ධන සිහිනයට කුමක් වී ද?

තිරසාර සංවර්ධන අරමුණු හඳුන්වා දුන් පූර්විකාවේ මෙසේ සඳහන් වෙයි. “මෙම න්‍යාය පත්‍රය මින් පෙර නො දුටු විරූ විෂය පරාසයක් හා සුවිශේෂතාවක් පිළිබඳවයි. මෙහි සඳහන් වන අරමුණු සාර්වත්‍රිකය (Universal). එනම් ඒවා සංවර්ධනය වන රටවල් මෙන් ම  හා සංවර්ධිත රටවල් ද  එක හා සමාන ව හසු කර ගන්නා සමස්ත ලෝකයට ම අදාළ අරමුණු වීමයි.” ඒ අනුව තිරසාර සංවර්ධන අරමුණු ද දේශගුණ විපර්යාසය පිළිබඳ පැරිස්/ග්ලාස්ගෝ සම්මුති මෙන් ම ගෝලීය ය; සාර්වත්‍රිකය. සංවර්ධනය සම්බන්ධයෙන් මෑතක දී ඇතිවී තිබෙන සුසමාදර්ශීය වෙනස් වීම මීට වඩා පැහැදිලි කරන වෙනත් උදාහරණයක් නැති තරම් ය. ‘භු දේශපාලනයට අනුව දුප්පත් රටවලට ඒකාන්ත ආදර්ශය විය යුත්තේ දියුණු කාර්මික රටවල් ය’ යන සංවර්ධනය පිළිබඳ එතෙක් රැජයූ ප්‍රවාදය ඒ මඟින් අත්හැර දමා තිබීම මුඛ්‍ය වෙනසකි. 1989 දී සීතල යුද්ධය නිමාවට පත් වූ ආකාරයෙන් ම සංවර්ධිත රටවල් හා සම වීම පිළිබඳ මිරිඟුව ද 2015දී   නිමාවට පත් විය. දැන් ඉතින් තිරසාර ලෙස සංවර්ධිතයැ’යි කිව නො හැකි සංවර්ධනයකින් ඇති ඵලය කුමක් ද?

ඒ හැර ලෝක ආර්ථිකයේ භූගෝලීය ස්වරූපය ද බෙහෙවින් වෙනස් වී තිබේ. භූ දේශපාලනික බලපෑම ගත් විට ලෝකයේ දෙවැනියට විශාලතම ආර්ථික බලය ඇති රට ලෙස චීනයේ ශීඝ්‍ර නැගී ඒම විස්මය දනවන සුලු විය. G7 කණ්ඩායමට අයත් රටවල් තවමත් ලෝකාධිපති රටවල් ලෙස පෙනී සිටීමට උත්සාහ දරන නමුත් එම රටවලට වඩා අලුතින් කාර්මිකකරණයට ලක් වූ රටවල් හත ම ආර්ථික වසයෙන් බලගතු ය. එතෙක් කල් පැවති උතුරු දකුණු බෙදීම ගෝලීයකරණය මඟින් නිතිපතා දියකර හරිමින් තිබේ.

සංවර්ධනය යන්න හැම විටම සංඛ්‍යාත්මකව නිරූපණය කිරීමට වෑයම් කරන ලද ප්‍රපංචයකි. දළ දේශීය නිෂ්පාදිතය නමැති මැජික් අංකයෙන් තොර ව ජාතීන්ගේ සංවර්ධන ප්‍රයත්න අගය කිරීමේ වෙනත් මිම්මක් නොමැති තරම් ය. රටවල් අතර වත්කම් සහ දුප්පත්කම් මැනීමේ දී එසේ ආදායම් සංසන්දනය යොදා ගැනීම පරණ සංවර්ධන චින්තනය තුළ බෙහෙවින් භාවිත කළ මිම්මක් විය.

තිරසාර සංවර්ධන අරමුණු පරණ සංවර්ධන චින්තනයේ සුසමාදර්ශීය වෙනසකට මං පාදන නමුත් තිරසාර සංවර්ධන අරමුණු තුළ ද එකී දුර්වලකම දක්නට ලැබේ. එක අතකින් සාගර සහ භෞමික පරිසර පද්ධතිවලට සිදු වී ඇති හානිය ගැන ද ආදායම් පරතරය වැනි නොකඩවා වැඩි වෙන සමාජ විෂමතා ආමන්ත්‍රණය කිරීමේ අවශ්‍යතාව ගැන ද එමඟින් අවධාරණය කරන අතර ම අනික් අතට ඇතැම් තිරසාර සංවර්ධන අරමුණු  මඟින් දුප්පත් රටවල් සඳහා අවම වසයෙන් 7%ක ආර්ථික වර්ධනයක් ද අපේක්ෂා කරයි.  වර්ධනය සහ තිරසාර බව අතර ඇති ප්‍රතිවිරෝධය අන්තර්ග්‍රහනීය වර්ධනය (Inclusive Growth) සහ හරිත වර්ධනය (Green Growth) වැනි ප්‍රයත්න මඟින් සමනය කර ගැනීමට අදහස් කරන බව පවසන නමුත් මූල්‍ය වෙළඳපොළවල් හැසිරෙන ආකාරය අනුව තීරණය වන ඕනෑ ම ආකාරයක විශේෂණ පදයක් සහිත වර්ධනයක ප්‍රතිඵලය විය හැක්කේ අසමානතාව නැවත නැවත ප්‍රතිනිෂ්පාදනය කිරීම බව ඉදිරි පරිච්ඡේදවල කෙරෙන සාකච්ඡාවලින් පැහැදිලි වනු ඇත.

ඉහත කී දුර්වලකම් තිබිය දී වුව ද තිරසාර සංවර්ධන අරමුණු පරිසර හා සමාජ යුක්තිය මුල් කොට මිනිස් වර්ගයාගේ පැවැත්ම රැක ගැනීම පිණිස බිම් මට්ටමේ සිට ගෝලීය මට්ටම දක්වා වූ ක්‍රියාකාරී සහෘදත්වයක් ගොඩනගා ගැනීම පිණිස මෙතෙක් නොවූ විරූ ආකාරයේ වේදිකාවක් සපයයි. මේ සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාඥ කේට් රේවර්ත් ඇයගේ ඩෝනට් ආර්ථිකය (doughnut economy) නමැති ආකෘතිය මඟින් ඉදිරිපත් කරන යෝජනාව ගැන 22 වැනි පරිච්ඡේදයේ දී සවිස්තර ව විමසා බැලිය හැකි ය.

1990 ගණන්වල තිබූ නවලිබරල්වාදී විජයග්‍රාහී ආකල්ප 2008 ආර්ථික අර්බුදයත් සමඟ බෙහෙවින් මිලින ව ගොස් තිබේ. ඒ සමඟ  චීනයේ නැගීම, බටහිර ලෝකයේ බලය ගිලිහීම, මූල්‍ය වෙළඳපළෙහි ආක්‍රමණශීලී ආධිපත්‍ය සහ අධිකාරවාදී රාජ්‍යයන්ගේ පුනරාගමනය නූතන ඉතිහාසයේ විගඩම් ලෙස සැලකිය යුතු ය. උත්තරාර්ධ ගෝලය පුරාත් දක්ෂිණාර්ධ ගෝලයේ සැලකිය යුතු කොටසකත් දක්නට ලැබෙන වර්තමාන වටපිටාව විස්තර කළ හැකි හොඳ ම යෙදුම වන්නේ ‘අනාගතය පිළිබඳ පවතින බිය’ කියා ය. බොහෝ දෙනෙකුගේ ජීවන තත්වය අසීරු වන බවත් දරු මුනුබුරන්ට මුහුණ දීමට සිදු වන තරඟකාරී අනාගතය ඒ තරම් සුභදායී නො වන බවටත් ඇති හැඟීම පොහොසත් රටවල මධ්‍යම පංතිය තුළ පවා පවතී. ඒ නිසා ඔවුහු ආරක්ෂණවාදී අනන්‍යතා දේශපාලනය වෙත වැඩි වැඩියෙන් යොමු වෙමින් සිටිති. ඒ අතරම සිය සම්ප්‍රදායන්ගෙන් දූරස්ථ වූ බටහිර ජීවන රටාව සුහුරු දුරකථන හා රූපවාහිනී තිර ඔස්සේ දැක බලා ඇති, එහෙත් නූතන ලෝකයෙන් පිටුවහල් කර තිබෙන දකුණේ රටවල විශාල ජන කොටසක් ජාතික අභිමානය සොයමින් ලත වෙති. පෙර අපර හැම තැනක ම පොහොසතුන් හා දුප්පතුන් වසයෙන් දැවැන්ත ධ්රුවීකරණය වීමක් දක්නට ඇත.  ජාතික රාජ්‍ය රැජයූ අතීතයේ දී පරාජිත රටවලට ජයග්‍රාහකයන්ගෙන්  නිවැරදි කිරීම් ඉල්ලා සිටීමට හැකි වූව ද සියල්ල ගෝලීයකරණය වීමත් සමඟ තව දුරටත් ඒ ඉල්ලීම වලංගු නො වේ. පාරජාතීය (transnational) ආර්ථිකය, විශේෂයෙන්ම එහි  මූල්‍ය අංශය හැම රටක ම ජීවන තත්වය, රාජ්‍ය ණයවල සිට පුද්ගලික ණයවරපත් (credit card) දක්වා නිරූපණය වී ඇති අන්දමට ග්‍රහණයට අර ගත්තේ ය. ජනප්‍රිය නව-ජාතිකවාදය(popular neo-nationalism)  හිස ඔසවන්නට පටන් ගත්තේ මේ සියල්ලට පිළිතුරක් ලෙසයි.

එහෙත් ජනප්‍රිය නව-ජාතිකවාදය (popular neo-nationalism) යනු බොරු වළවල් රැසකින් සමන්විත වූවකි. ඒ අතරින් වැඩි දෙනෙකුගේ අවධානයට යොමු නො වී ඇති එක බොරු වළක් වන්නේ පරණ කාර්මික යුගය පිළිබඳ ජාතිකවාදීන්ගේ ඇති නොස්ටැල්ජියානු කාංසාවයි. ජාතිය හා පීතෘභුමිකත්වය පිළිබඳ ඇති ආදරයට අමතර ව පරිසර වාදයට අවඥා කිරීම හැර ඔවුන් සතු වෙන යමක් නැත.  ජනප්‍රිය ජාතිකවාදීහු ඛනිජ ඉන්ධන සොයා ගැනීමට සාගරය කැණ බැලීම, පාෂාණ ස්තර පසාරු කොට ගෑස් වායු ලබා ගැනීම, ගල් අඟුරු කැණ ගැනීම සහ වනාන්තර එළි කිරීම යනාදිය කළ යුතු ම දේවල් වසයෙන් සලකති.  ඔවුන් අදහස් කරන පරිදි දේශගුණ විපර්යාසය යනු ජාතික ආර්ථිකයට සතුරුකම් කිරීමට සැදී පැහැදී සිටින්නන් විසින් අටවනු ලබන මර උගුලකි. බ්‍රසීලයේ බොල්සොනාරෝ වැනි ජනප්‍රිය නව ජාතිකවාදීන් විසින් පෙන්වා දී ඇති පරිදි ස්වභාවධර්මය කොල්ලකෑම උත්කර්ෂයට නැංවිය යුතු ක්‍රියාවකි. ඔවුන්ගේ ප්‍රකට පරජන භීතිකාව (xenophobia) හැරෙන විට ඔවුන් සැලකිය යුත්තේ 1950ස් ගණන්වල පැවති පරණ සංවර්ධන දෘෂ්ටිවාදය අමාරුවෙන් කර තබා ගෙන යන්නන් ලෙසිනි. කෙසේ වෙතත් නව ජාතිකවාදි ව්‍යාපෘතිය පසු බෑමකට ලක් ව ඇති බව දේශගුණ විපර්යාසය දේශපාලන කතිකාවේ කේන්ද්‍රීය සාධකයක් ලෙස ඉස්මතු කළ නෝර්වේ[9] සහ ජර්මනිය වැනි රටවල මැතිවරණවල දී නිරූපණය වූ මෑත කාලීන දේශපාලන ප්‍රවණතාවලින් පෙන්නුම් කරයි.  

 © විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

මී ළඟට 20. වර්ධනය යනු සංවර්ධනයම ද?


[1] Piketty Thomas et al (eds) World Inequality Report 2018, World Inequality Lab, Paris https://wir2018.wid.world/files/download/wir2018-summary-english.pdf – Retrieved on 14 Feb 2021

[2] Gabardo, F.A., Pereima, J.B. and Einloft, P. (2017) “The incorporation of structural change into growth theory: A historical appraisal”, Economia, vol. 18, no. 3, 392-410.

[3] Fath. B (eds) 2019, Encyclopedia of Ecology, Amsterdam: Elsevier 

[4] https://worldpopulationreview.com/country-rankings/ecological-footprint-by-country Retrieved on 14 Feb 2021

[5] මේ පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ආචාර්ය ටිම් ෆ්ලැනරි විසින් We are the Weather Makers යනුවෙන් ලියූ ම විසින් ‘අප කාලගුණ කාරකයෝය’ නමින් පරිවර්තනය කොට අගහස් ප්‍රකාශකයෝ පළ කළ කෘතියේ එයි.

[6] https://www.ipcc.ch/sr15/download/#chapter – Retrieved on 17 Feb 2021

[7]https://www.newscientist.com/article/2290746-un-says-global-carbon-emissions-set-to-rise-16-per-cent-by-2030/?utm_source=onesignal&utm_medium=push&utm_campaign=2021-09-17-Global-emission – Retrieved on 17 Feb 2021

[8] Sachs, Wolfgang (2017) The Sustainable Development Goals and Laudato si’: varieties of post-Development. Third World Quarterly Vol 38 issue12, London: Routledge,

[9] https://www.reuters.com/world/europe/norway-opposition-expected-win-election-fought-oil-inequality-2021-09-13/

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: