18. විකල්ප සංවර්ධනයකට ප්‍රවේශයක්

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

නව දේශපාලන සුසමාදර්ශයක් පිළිබඳ අපේ කතිකාවේ වඩාත් වැදගත් මානයක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය සහ එය විසින් අනුගමනය කරන ආර්ථික හා සමාජීය සංවර්ධන පිළිවෙත අතර තිබිය යුතු සම්බන්ධතාව කුමක් ද යන්නයි.  අප අනුගමනය කළ යුතු ආර්ථික හා සමාජීය සංවර්ධන ප්‍රතිපත්ති පිළිබඳ දැනුවත් සාකච්ඡාවක් ජනිත කිරීමට විවිධ මාදිලියේ නවලිබරල්වාදී ආර්ථික එළඹුම්වලට දැනටමත් කැප ව සිටින පක්ෂවලින් සමන්විත පාර්ලිමේන්තුවකට හෝ ඊට අනුරූප නියෝජිත මන්ත්‍රණ සභාවකට හැකියාවක් නැත. එසේ ම ධනය සමුච්චයනය වීමට ඉඩ හැරීමෙන් ලැබෙන ප්‍රතිලාභ පහළ ස්තරවලට ගලා යාමෙන් අසමානතාව අවම කළ හැකි ය යන නවලිබරල්වාදී බලාපොරොත්තුව ද සාර්ථක වී නැති බව උග්‍ර වන සමාජ හා ආදායම් විෂමතා මඟින් පෙන්නුම් කරයි.

ධනවාදී ආර්ථිකය යටතේ අත්‍යන්ත දුප්පත්කම බොහෝ දුරට අඩු වී ඇති බව එක්තරා දුරකට නිවැරදිය. එහෙත් ඒ හා සමඟ ම සමාජ ස්තර අතර ආදායම්  විෂමතාව විශාල වසයෙන් වැඩි වී තිබෙන බව අප අමතක නො කළ යුතු ය. 1990 සිට ගණන් බැලූ විට අත්‍යන්ත දුගී බව, එනම් දිනකට ඩොලර් 1.90 ක ට (2015 අගය අනුව රු. 275/-) අඩුවෙන් උපයන අයගේ සංඛ්‍යාව 2015 වන විට ලෝක ජනගහනයෙන් 9.6%  දක්වා අඩු විය. ලෝක බැංකුව පවසන පරිදි ඊට හේතු වූ සාධක අතර සංවර්ධනය වන රටවල ශීඝ්‍ර ආර්ථික වර්ධනය සහ අධ්‍යාපනය, සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය සඳහා යොදවන ආයෝජන වැඩි වීම ද ප්‍රමුඛ විය.[1]  එහෙත් පෘථිවි සම්පත් බහුල වසයෙන් අපතේ යවන රේඛීය ආර්ථිකයක ශීඝ්‍ර වර්ධනය විසින් පෘථිවි පරිසරය මත පටවන ව්‍යසනකාරී පීඩනය සලකන විට අත්‍යන්ත දුප්පත්කම අවම කිරීමට රේඛීය ආර්ථික වර්ධනය හොඳ විසඳුමක් ලෙස සාධාරණීකරණය කිරීම අසීරු ය. මන්ද ඒ ආර්ථික වර්ධන එළඹුම විසින් ම සමාජ විෂමතා ද නො කඩවා වැඩි කරනු ලැබ තිබෙන බැවිණි.

මහ බැංකු වාර්තා උපුටා දක්වමින් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (The Centre for Poverty Analysis) පෙන්වා දෙන පරිදි ලංකාවේ සමස්ත කුටුම්බ ආදායමෙන් හරි අඩක් ම අයත් වන්නේ පොහොසත් ම 20% ට වන අතර දුප්පත් ම 20% අතර බෙදී යන්නේ සමස්ත ආදායමෙන් 5%ක් පමණි. ආදායම අනුව පතුලට ම වැටී සිටින 10% ට ලැබෙන්නේ සමස්ත කුටුම්බ ආදායමෙන් 1.6% ක කොටසක් පමණි.[2] මේ ආදායම් විෂමතාව මන්ද පෝෂණය, ණයගැති භාවය, අධ්‍යාපනික අවස්ථා ගිලිහී යෑම, නිසි සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ අපහසුව, මහලු වියේ දී අසරණ බවට පත්වීමේ සිට එදිනෙදා අසන්තුෂ්ටිය, අන්‍යෝන්‍ය අවිශ්වාසය, වාර්ගික ද්වේශය සහ බලාපොරොත්තු කඩවීම දක්වා විවිධාකාර ස්වරූපවලින් නිදර්ශිත විය හැකි ය.

රටවැසියන් අතර විශාල ආදායම් විෂමතාවක් පවත්වා ගනිමින් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගිය  නො හැකි ය. අධික සමාජ විෂමතාවට පිළියමක් ලෙස සමුච්චයනය වන ධනය විභජනය කරමින් හැම පුරවැසියෙකුට ම සාර්වත්‍රික මූලික ආදායමක් (Universal Basic Income) ලබා දීමේ අවශ්‍යතාව පිළිබඳ කලක සිට ඇතැම් රටවල දේශපාලන විචාරකයන්ගේ අවධානයට යොමු ව තිබේ. ඒ ගැන අපි විසි හයවැනි පරිච්ඡේදයේ දී සවිස්තරව සාකච්ඡා කරමු. එහෙත් ලංකාවේ දිළිඳුකම පිටු දැකීම සඳහා සැලසුම් කර ඇති සමෘද්ධි වැඩසටහන විමර්ශනය කරන විට පෙනී යන කරුණක් වන්නේ එය පවත්වා ගෙන යන්නේ හුදෙක් ම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට පරායත්ත භාවය  (dependency) ආදේශ කොට මැතිවරණ ජය ගැනීම සඳහා බව ය.

 වසර 2017 ගණන් බැලීම්වලට අනුව ලංකාවේ පවුල් හෙවත් කුටුම්බ ප්‍රමාණය මිලියන 4.9 ක් පමණ වන අතර ඉන් සමෘද්ධිලාභී පවුල් ප්‍රමාණය මිලියන 1.38 කි (1,381,242).[3] ඒ අනුව ලංකාවේ පවුල්වලින් 28% ක් පමණ සමෘද්ධිලාභී පවුල් ය. එහෙත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2016 වාර්තාවලට අනුව දිළින්දන් ප්‍රමාණය ජනගහනයෙන් 4.1% ක ක් පමණි. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21.6ක් ලෙස සැලකූ විට ඒ අනුව ඒ ගණයේ දිළින්දන් 885,000 ක් පමණ සිටිය  යුතු ය. ශ්‍රී ලංකාවේ කුටුම්බයකට සාමාන්‍යයෙන් පුද්ගලයන් 3.8 ක් අයත් වෙතැ’යි සැලකෙන බැවින් ඒ අනුව දිළිඳු පවුල් සංඛ්‍යාව 233,000 කට පමණ විය යුතු ය. එහෙත් එමෙන් පස් ගුණයකට වැඩි පවුල් සංඛ්‍යාවකට ආණ්ඩුව සමෘද්ධි දීමනා ලබා දෙන්නේ ඇයි? ඊට හේතුව සමෘද්ධි වැඩසටහන පවත්වා ගෙන යන්නේ ම මැතිවරණ ප්‍රතිඵලයට සැලකිය යුතු බලපෑමක් කළ හැකි දේශපාලන අනුග්‍රාහක වැඩසටහනක් වසයෙන් නිසා නො වේ ද?. සමෘද්ධි වැඩ සටහන සම්බන්ධයෙන් කර ඇති අධ්‍යයන කිහිපයකින් ම හෙළිදරව් වන කරුණු අනුව ඉහත කාරණය තහවුරු වෙයි.

සමෘද්ධිලාභීන් තෝරා ගැනීමේ දී සාධාරණ හා විනිවිද පෙනෙන තේරීම් ක්‍රමයක් අනුගමනය කර නොමැති බව ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි බෝධි ග්‍රාමය නමැති ගම අසුරෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ මහාචාර්ය ලලිතා ප්‍රනාන්දු ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම විසින් කරන ලද සමීක්ෂණයකින් තහවුරු කර තිබේ[4]. සමීක්ෂණයට ලක් වූ සමෘද්ධිලාභීන්ගෙන් බහුතරයක් කල්පනා කරන ආකාරයට ස්ථිර ආදායමක් නැති සහ ඉතාමත් අඩු ආදායම් ලැබෙන ඇතැම් අයට, ආබාධිත අයට සහ ඉතා මහලු අයට සමෘද්ධි දීමනාව නො ලැබෙන නමුත් අගහිඟ නැති පවුල්වලට සමෘද්ධි වැඩ සටහනේ ප්‍රතිලාභ හිමි වෙන බොහෝ අවස්ථා තිබේ. කැලණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන නදීකා බණ්ඩාර කළ සමීක්ෂණයකින් තහවුරු වන පරිදි  ආරම්භයේ සිට ම සමෘද්ධි වැඩසටහන යනු පක්ෂ දේශපාලනයේ ග්‍රහණයට තදින් අසු වී තිබෙන්නකි. හැම ග්‍රාම සේවා නිලධාරි කොට්ඨාශයකට ම එක් අයෙකු බැගින් සමෘද්ධි නිලධාරීන් පත් කොට තිබෙන්නේ ද දේශපාලන අනුග්‍රහය මත ය.  සමෘද්ධි වැඩසටහන් ඉලක්ක කිරීම පිළිබඳ විවරණයක යෙදෙන නදීකා බණ්ඩාරගේ  නිරීක්ෂණ  අනුව සමෘද්ධිලාභීන් නිසි ලෙස ඉලක්ක කර ගැනීමට අසමත් වී ඇත්තේ සමෘද්ධි වැඩසටහන දේශපාලනීකරණය වී ඇති බැවින් සහ ඒ නිසා ම සමෘද්ධිලාභීන් මුහුණ දෙන පරායත්ත මනෝභාවය නිසා ය.[5]  සමෘද්ධි ප්‍රතිලාභ හා බැඳී ඇති ඒ පරායත්තභාවය හා අවනතකම පවතින තාක් පාලක දේශපාලනඥයන්ට සමෘද්ධිලාභීන් ස්වායත්ත ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිට මං කොට අවනත කර තබා ගැනීම පහසු ය. සමෘද්ධිය යනු ඡන්ද මැෂිමකැ’යි හිටපු සමෘද්ධි ඇමතිවරයෙක් කියන්නට ඇත්තේ ඒ බව නො දැන නො වේ[6]. පවුල් මිලියන1.3කට අයත් තීරණාත්මක ඡන්ද ප්‍රමාණයක් පාලක දේශපාලන පක්ෂයේ අත් අඩංගුවේ තබා ගැනීමට ඉඩ දෙමින් නැති නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන අප උද්දාම විය යුත්තේ ඇයි?

විෂමතා අධ්‍යනය පිළිබඳ ප්‍රාමාණිකයෙකු වසයෙන් නමක් දිනා ඇති ආර්ථික විද්‍යාඥ තෝමස් පිකෙටි සිය Capital and Ideology නමැති කෘතියෙන් පෙන්වා දෙන අන්දමට මිනිස් සමාජයේ ඉතිහාසය යනු යුක්තිය අත්පත් කර ගැනීමේ පිපාසය පිළිබඳ ඉතිහාසයකි[7]. ඒ තුළ ආගමික ඇදහිලිවල සිට ආර්ථික න්‍යාය දක්වා බොහෝ ක්ෂේත්‍රවල විෂමතාව සාධාරණීකරණය සඳහා ගොඩ නැගූ විවිධ මතවාද දැක ගත හැකි ය. කලක් පින් පව්, ඉරණම, දේව කැමැත්ත වැනි සංකල්ප මඟින් සාධාරණීකරණය කළ විෂමතාවල පැවැත්ම නූතන යුගයේ සාධාරණීකරණය කිරීමට තැත් කරන්නේ ව්‍යවසායකත්වය (entrepreneurship), කුසලතා වාදය (meritocracy) වැනි සංකල්පවලිනි. ඒ නිසා විෂමතා අවම කරමින් යුක්තිය අත්පත් කර ගත හැකි මග එළිපෙහෙළි කර ගත හැකි වන්නේ මෙකී මතවාද මෙන් ම ඒවායින් නො කිය වෙන දේවල් පිළිබඳ ඓතිහාසික හා පුද්ගලික අත්දැකීම් සංසන්දනය කිරීමෙන් සහ ඒවා හැකි තරම් පුළුල් ලෙස සවිචාරී සාකච්ඡාවකට ලක් කිරීමෙනි.

ගෝලීය උණුසුම වැඩි වීම මෙන් ම සමාජ විෂමතාව වැඩි වීම ද අද ලෝකය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයකි. විසි වන සියවසේ දී සැලකිය යුතු ලෙස අඩු වූ ආදායම් පරතරය 1980න් පසු නවලිබරල්වාදී බලපෑමත් සමඟ ලොව පුරා ම වැඩි වෙමින් පැවතීම ප්‍රගතිය පිළිබඳ අපේ අභිමතාර්ථවලට එල්ල වී ඇති දැඩි අභියෝගයකි. සමාජ විෂමතාව පිළිබඳ අභියෝගය දේශගුණ විපර්යාසයට මුහුණ දීමේ අභියෝගයට ද සෘජු ලෙස සම්බන්ධය. මිනිසුන්ගේ ජීවන රටාව වෙනස් කිරීමකින් තොර ව ගෝලීය උණුසුම ඉහළ යෑම නතර කිරීම හෝ පාලනය කිරීම කළ නො හැකි බව ඉතා පැහැදිලි ය. එවැනි චර්යා වෙනසක අවශ්‍යතාව බහුතරය විසින් පිළිගැනීමට නම් වෙනස සඳහා ඉටු කළ යුතු කටයුතුවල වගකීම ගෝලීය උණුසුමට තුඩු දුන් සාධක බිහි කිරීමට දුන් දායකත්වයට සමානුපාතික ලෙස අප අතර බෙදා හදා ගැනීමට හැකි විය යුතු ය. එම අනුපාතය තීරණය කිරීමේ දී සැලකිය යුතු  වඩාත් ම වැදගත් කාරණය වන්නේ දේශගුණ විපර්යාසයේ කුරිරු බලපෑමට වැඩියෙන් ම ලක් වන්නේ දුප්පතුන් වන නමුත් ගෝලීය උණුසුම ඉහළ යෑමට තුඩු දුන් හරිතාගාර වායු නිපදවීමට වැඩි වසයෙන් වගකිවයුත්තේ පොහොසතුන් වීමයි.

එබැවින් ප්‍රමාණවත් මහජන සහභාගිත්වයක් සහිත විවෘත ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් ගැන කල්පනා කිරීමේ දී ඒ මඟින් ඉහත කී විෂමතා අවම කළ හැකි උචිත සංවර්ධන දිශානතියක් තෝරා ගැනීමේ සංවිචාරණීය කතිකාව ඵලදායක ව පවත්වා ගෙන යෑමේ හැකියාව එම ආණ්ඩුක්‍රමයට ඇත් දැයි සොයා බැලීම ද ප්‍රජාතන්ත්‍රවාදය විවෘත කර ගැනීමේ කාර්යයේ ම කොටසක් වසයෙන් සැලකිය යුතු ය. ඒ සඳහා මෙතෙක් කලක් ආර්ථික සංවර්ධනය ප්‍රමුඛ සංවර්ධනය පිළිබඳ මතවාද උද්ගත වූ අන්දම ගැන විමසා බැලීම ද වැදගත් ය. ඒ ගැන අපි දාහත්වැනි පරිච්ඡේදයේ සිට සවිස්තරව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු. එහෙත් ආරම්භයේ ම සංවර්ධනය නමැති අදහස සම්බන්ධයෙන් එසේ විචාරශීලී වීමේ අවශ්‍යතාව වඩාත් නිරවුල් කර ගැනීම වැදගත් ය. ඒ සඳහා සංවර්ධනය නමැති සංකල්පය ගැන නූතන ජර්මන් සමාජ විද්‍යාඥයෙක් වන වොල්ෆ්ගැන්ග් සාච් මෑත දී කර ඇති විවරණය මෙහි දී තරමක් සවිස්තරව විමසීම වැදගත් වේයැ’යි මම සිතමි.

දෙවැනි මහා ලෝක සංග්‍රාමයෙන් පසු හානියට පත් යුරෝපීය රටවල් නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඇමෙරිකානු එක්සත් ජනපදය මාෂල් වැඩ සටහන දියත් කළේ ය. එක්තරා ආකාරයකට එය සංවර්ධනය පිළිබඳ වැඩසටහනකි. එහෙත් දකුණේ රටවල්වලට අදාළ වන සංවර්ධනය පිළිබඳ අදහස හුදෙක් ම 1949 දී එවකට ඇමෙරිකානු ජනාධිපති වසයෙන් කටයුතු කළ හැරී එස් ට්රූමන් ඇමෙරිකානු කොන්ග්‍රස් සභාව අමතා කළ කතාවකින් නිෂ්පන්න වූවකි. ලෝක ජනගහනයෙන් හරි අඩකට ජීවත් වීමට සිදුවී ඇත්තේ ‘ඌණ සංවර්ධිත’ ප්‍රදේශවල බව ට්රූමන් එම කතාවේ දී අවධාරණය කළේ ය. ඌණ සංවර්ධනය පිළිබඳ එම කතාවත් සමඟ යටත් විජිත යුගයෙන් අනතුරුව බිහි වූ වසර 40 ක පමණ කාල පරිච්ඡේදය ‘දියුණු වෙමින් පවතින’ දකුණේ රටවල ‘සංවර්ධන යුගය’ යනුවෙන් හැඳින්විණි. යුරෝපයේ මාෂල් වැඩ සටහනට වෙනස් ව එහි තිබූ විශේෂත්වය වූයේ එතැන් සිට ‘සංවර්ධනය’ යන්න ‘සංවර්ධනය වන’ (developing countries) රටවලට මිස ‘සංවර්ධිත’ රටවලට (developed countries) අදාළ වන කටයුත්තක් වසයෙන් නො සැලැකීම යි.

මෙසේ උද්ගත වූ සංවර්ධනය නමැති සංකල්පය සතර ආකාරයක ලක්ෂණවලින් යුක්ත වූ  බව වුල්ෆ්ගැන්ග් සාච් පෙන්වා දෙයි[8]. කාලාණුුක්‍රමික දේශපාලනය අනුව බැලුවොත් පළමුවෙන් ම හැම දියුණු වන ජාතියක් ම ඒ අනුව තමන් දියුණු වීමට උත්සාහ කරන්නේ එක ම දිශානතියකට අනුව බව විශ්වාස කළ යුතු වූ බව ඔහු පෙන්වා දෙයි. ඒ නිසා ඒක රේඛීය දිශානතියක් සහිත සංවර්ධන මාවත ඔස්සේ ජාතියකට ප්‍රගතිය කරා ඉදිරියට යා හැකි ය යන විශ්වාසය අනුව සංවර්ධනය වන රටවල් කටයුතු කළ යුතු විය. එසේ නැති නම් විය හැකි එක ම දෙය ආපසු රූටා වැටීමෙන් පරිහානියට පත් වීමයි.

දෙවැනි ව, ඒ සංවර්ධන මාර්ගයේ දැනට මත් බොහෝ දුර ගොස් ඇති නායකයන් වසයෙන් භූ දේශපාලනයට අනුව සැලකෙන දියුණු සංවර්ධිත ජාතීන් විසින් නො දියුණු ජාතීන්ට යා යුතු මග පෙන්වනු ලැබිය යුතු ය.  ඒ අනුව ලෝකයේ රටවල් පොහොසත් හා දුප්පත් වසයෙන් සරල ලෙස වර්ග කෙරිණි. ඇතැම් ද්විපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය සංවර්ධන ව්‍යාපෘති සඳහා පොහොසත් රටවලින් යම් පමණකට ආධාර සැපයුණේ ද ඒ අනුව යි.

තෙවැනි ව, සමාජීය හා දේශපාලනික වසයෙන් රටක සංවර්ධනය මනිනු ලැබිය යුත්තේ දළ දේශීය නිෂ්පාදිතයේ (Gross Domestic Product) වර්ධනයෙන් නිරූපණය කරනු ලබන සමස්ත ආර්ථිකයේ කාර්ය ඵලයට අනුව ය. එබැවින් කලක් තිස්සේ යටත් විජිත වසයෙන් පැවත නිදහස් වූ රටවල් වහාම තම අනාගතය ආර්ථිකයේ අත්අඩංගුවට පත් කළ යුතු විය.

සිව්වැනි ව, ජාතියක් සංවර්ධනය කරා තල්ලු කරනු ලබන්නේ මූලික වසයෙන් ම රජයේ විශේෂඥයින්, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා කලාපීය සංවර්ධන බැංකු සහ පාරජාතික (transnational) සමාගම් සහ ඔවුන්ගේ ජාතික නියෝජිතයන් විසින් බව පිළිගනු ලැබිය යුතු විය.

1980 ගණන්වල නව ලිබරල්වාදයේ ජයග්‍රාහී ආගමනයත්, බර්ලින් තාප්පය කඩා වැටීමෙන් පිළිබිඹු කළ සීතල යුද්ධයේ අවසානයත් සමඟ ගෝලීයකරණය විසින් ජාතික රාජ්‍ය නිර්දය ව බාහිර ලෝකයට නිරාවරණය කරනු ලැබීය. ඒ අනුව මුදල්, තොරතුරු, මාධ්‍ය ගත ප්‍රතිරූප, දෘෂ්ටිමය මතවාද සහ සංක්‍රමිකයන් ආදී වසයෙන් දේශ සීමා ඉක්මවා සංචරණය වූ හා සංනිවේදනය වූ නොයෙකුත් ස්පෘශ්‍ය (tangible) සහ අස්පෘශ්‍ය(intangible) දේවල් නිසා ආර්ථික වසයෙන් මෙන් ම සංස්කෘතික වසයෙන් ද පාරජාතික වූ සමාජ අවකාශයක් (transnational social space) හැම රටක ම පාහේ බිහි විය. නව තාක්ෂණික දියුණුවත් සමඟ මේ සමාජ අවකාශය තුළ ජාතික රාජ්‍යයේ දේශ සීමා හා දුරස්ථ බව නො තකා තථ්‍යකාලික (real-time) සංනිවේදන කටයුතු සහ නොයෙකුත් අන්තර්ක්‍රියාකාරිකම් ඇති කර ගැනීමට හැකි විය. ඒ නිසා මේ ක්‍රියාවලිය තුළ අනෙකුත් කාරකයන් අනුක්‍රමයෙන් ජාතික රාජ්‍ය අබිබවමින් සංවර්ධනයේ වැදගත් භූමිකා ඉටු කරන්නන් බවට පත් විය. උදාහරණයක් වසයෙන් දකුණේ රටවලට යෙදවුණ පුද්ගලික විදේශීය ආයෝජන අරමුදල් එතෙක් එම රටවලට ලැබුණු  නිල සංවර්ධන අධාර ප්‍රමාණය ඉක්මවා ගියේ ය. රූපවාහිනී වැඩ සටහන් දියුණු රටවල ජීවන රටාව ලෝකය පුරා අනුකරණය කළ යුතු ප්‍රමිතිය බවට පත් කළේ ය. ගෝලීය පරිභෝජනය විසින් දේශීය සුලු කර්මාන්ත විතැන් කරන ලදී. ඒ අනුව එතෙක් භෞමික ජාතික රාජ්‍යයේ ස්වෛරී කටයුත්තක් ව පැවති සංවර්ධනය ගෝලීයකරණය හා නිදහස් වෙළඳපොළ හමුවේ මුළුමනින් ම පාහේ අභෞමික පාරජාතික කටයුත්තක් බවට පත් විය. 

ඒ හැර සීතල යුද්ධයේ සහ එතෙක් පැවති නියාමන යුගයේ නිමාවත් සමඟ පාරජාතික සමාගම් ඔවුන්ගේ දේශීය නියෝජිතයන් සමඟ එක් ව ලෝකය පුරා සිය ආධිපත්‍ය පැතිර වීම ආරම්භ කළේ ය. ඒ සමඟ ගෝලීයකරණය විසින් ධනවාදී ආර්ථික සංවර්ධනය එහි ඉෂ්ටාර්ථය වන ධන සමුච්චයනය කරා මෙහෙයවනු ලැබීය. සීතල යුද්ධ සමයේ පැවති විභේදන නැති ව ගොස් කෝපරේට් සමාගම් නිදහසේ දේශ සීමා අභිභවනය කරමින් ලාභදායක රටවල්වලට තම කම්හල් විතැන් කළෝ ය.  දේශපාලනඥයන් ද ජනතාව ද  බටහිර ක්‍රමයේ පරිභෝජන සමාජයක් ඇති කිරීම පිණිස යුහුසුලු ව උත්සුක වූහ. ඒ අනුව ආර්ථිකය යනු පවතින අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීමේ මාර්ගයකට වඩා නව අවශ්‍යතා නිර්මාණය කිරීමේ මාර්ගයක් වසයෙන් සැලකුණි. සාච් පෙන්වා දෙන පරිදි එවැනි ආර්ථිකයක වැදගත් කොට සැලකෙන්නේ භාණ්ඩ සහ සේවාවල සංකේතාත්මක අගයයි. භාණ්ඩවලින් කෙරෙන කාර්යයට වඩා භාණ්ඩ මඟින් සංනිවේදනය වෙන දෑ එහි දී වැදගත් විය.  හැම මහාද්වීපයක ම පාහේ ජීවන රටාව ඒ අනුව එක සමාන විය යුතු විය.

මෙසේ වෙළඳපොළ ගෝලීයකරණය වීම හරියට ජාතික රාජ්‍යයකින් තොර ව සංවර්ධනය සිදුවීමක් බඳු විය. මෙයින් වඩාත් ම ඵල ප්‍රයෝජන ලබා ගත්තේ ගෝලීය මධ්‍යම පංතියයි. යටත් විජිත යුගයේ සිට පැවති දේශීය මධ්‍යම පංතිය මෙන් නො ව ඇමෙරිකාවේ ද, යුරෝපයේ ද, ආසියාවේ ද, අප්‍රිකාවේ ද ලතින් ඇමෙරිකාවේදැ’යි නො තකා හැම මහාද්වීපයක ම වෙසෙන නූතන ගෝලීය මධ්‍යම පංතියට තිබෙන්නේ එක සමාන අභිලාෂයෝ ය. ඔවුන් සාප්පු යන්නේ එක ම ආකාරයකට සකස් වූ සාප්පු සංකීර්ණවල ය; අඳින්නේ එක ම සන්නාම ඇති නිමි ඇඳුම් ය; භාවිත කරන්නේ එක ම ආකාරයක ඉලෙක්ට්‍රොනික උපකරණ ය; මිල දී ගන්නේ ද එක ම ආරක වාහන ය; නරඹන්නේ ද එක ම ආකාරයක චිත්‍රපට සහ රූපවාහිනී මාලා නාටක ය; අන් මධ්‍යම පංතිකයන් මෙන් ම විදේශ සංචාරවල යෙදෙන ඔවුහු ලොව සියල්ලන් ම එක මට්ටමට තබා සලකන තීරණාත්මක මාධ්‍ය වන මිල මුදල් නිර්ලෝභී ව වියදම් කළහ.

දළ වසයෙන් බැලුවොත් 2010 වන විටත් ගෝලීය මධ්‍යම පංතියෙන් හරි අඩක් සංවර්ධිත යැ’යි සැලකුණු උතුරු රටවලත්, ඉතිරි අඩ තවමත් සංවර්ධනය වෙමින් පවතින්නේ යැ’යි සැලකෙන දකුණේ රටවලත් විසූහ. 1990 දී ගෝලීය මධ්‍යම පංතියෙන් 26% ක් දකුණු රටවල ජීවත් වූ නමුත් 2010 වන විට එම ප්‍රතිශතය 58% දක්වා ඉහළ ගියේ ය.[9] හමේ පාට වෙනස් වුණත් හැසිරීම් සහ ජීවන විලාසිතා අතින් ඔවුහු එක සමාන වූහ. අනුමානයකින් තොර ව ගෝලීය මධ්‍යම පංතියේ මේ ලෝක ව්‍යාප්තිය සංවර්ධනයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි ව තිබුණි. එහෙත් සාච් පෙන්වා දෙන පරිදි එය තීරණාත්මක ලෙස අසමර්ථ වීමට නියමිත වූ සංසිද්ධියකි.

අද්‍යතන ලෝකය මුහුණ දෙන විවිධාකාර සංකූලතා ගැන සැලකූ විට සමාජීය ගැටලු “සංවර්ධන ගැටලු” ලෙස රාමු ගත කිරීමට තැත් කිරීම අරුමයකට මෙන් දැන් යල්පැන ගොස් තිබෙන බව තේරුම් ගත යුතු ව තිබේ. වුල්ෆ්ගැන්ග් සාච් පෙන්වා දෙන පරිදි  දැනට ඇතිවෙමින් තිබෙන පරිවර්තනය ගැන කියවෙන ආඛ්‍යාන වර්ග තුනක් පැහැදිලිව හඳුනා ගත හැකි ය.[10] ඔහු ඒ තෙවර්ගය හඳුන්වන්නේ බළකොටු ආඛ්‍යාන (narratives of fortress),  ගෝලීයවාදී (globalism) ආඛ්‍යාන සහ සහයෝගිතාවාදී (solidarity) ආඛ්‍යාන යනුවෙනි.

නව ජාතිකවාදීන්ගේ චින්තනය වන ‘බළකොටු’ ආඛ්‍යානවල පදනම වන්නේ මනඃකල්පිත ජනතාවකගේ විභූති මත් අතීතයක් ආරෝපණය කර ගැනීම යි. එය පසුබිම් කොට අධිකාරවාදී පාලකයන් විසින් යටගිය අභිමානය යළි ස්ථාපනය කරනු ඇතැ’යි බලාපොරොත්තු වන අතර මුස්ලිම්වරුන් ගේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වා වූ දේවල් සම්බන්ධයෙන් පරජන භීතිකාව හැකි තරම් ව්‍යාප්ත කරයි. බොහෝ විට ආගමික අන්තවාදය මත යැපෙමින් සංක්‍රමණිකයන් හා විදේශිකයන්ට එරෙහිව වෛරය පැතිරීම ද බළකොටු වාදයේ තවත් එක් ක්‍රමෝපායකි. බළකොටු ආඛ්‍යානය ප්‍රවර්ධනය කරන ට්‍රම්ප් වර්ගයේ නව ජාතිකවාදීන්ගේ “මුලින් ම ඇමෙරිකාව!” (America First) වැනි ප්‍රකාශවලින් සෞභාග්‍යලෝලී දේශානුරාගයක් නිරූපණය වේ. එය විශේෂයෙන්ම දක්නට ලැබෙන්නේ සිය ද්‍රව්‍යයමය වත් පොහොසත්කම් දුප්පතුන්ගෙන් ආරක්ෂා කර ගත යුතුයැ’යි සිතන මධ්‍යම පංතිකයන් අතරයි. 

මෙයට වෙනස් ව ‘ගෝලීයවාදී ආඛ්‍යානය’ (globalism) ගොඩ නැගෙන්නේ පෘථිවි ගෝලයේ ප්‍රතිරූපය එහි පුරාකෘතික (archetypal) සංකේතය ලෙස යොදා ගනිමිනි. බළකොටුවාදීන් මෙන් “මුලින් ම ඇමෙරිකාව” යන  ආරක්ෂණවාදී වාණිජකරණය ප්‍රවර්ධනය කරනු වෙනුවට ගෝලීයවාදීන් විසින් ප්‍රවර්ධනය කරනු ලබන්නේ නියාමන විධිවිධානවලින් නිර්බාධිත වූ මුළුමනින් ම නිදහස් ගෝලීය වෙළඳපොළකි. එමඟින් සමාගම්වලට මෙන් ම පාරිභෝගිකයන්ට ධනයත් යහපතත් ගෙන එනු ඇතැ’යි ඔවුහු අදහස් කරති. ඔවුන්ගේ තවත් ලක්ෂණයක් වන්නේ නවලිබරල්වාදී දේශපාලනය හා සසඳන විට ඊට වඩා බහුපාර්ශ්වීය ආණ්ඩුකරණය සඳහා වැඩි ඉඩක් ලබා දීමට ඇති කැමැත්තයි. මේ ගෝලීය ප්‍රභූ පෙළැන්තිය ද අනාගතය සම්බන්ධයෙන් බියක් දක්වන නමුදු ඒ සම්බන්ධයෙන් උද්ගත වන ගැටලු අන්තර්ග්‍රහනීය (inclusive) සහ හරිත වර්ධනයෙන් (green growth) මෙන් ම සුහුරු තාක්ෂණයෙන් (smart technologies) විසඳා ගත හැකියැ’යි විශ්වාස කරති. කිසියම් දුරකට මේ ගෝලීයවාදී චින්තනය  තිරසාර සංවර්ධන අරමුණුවලින් නිරූපණය වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය සමඟ ද අනුගත වෙයි.

වුල්ෆ්ගැන්ග් සාච් පෙන්වා දෙන තෙවැනි ක්‍රමෝපාය වන ‘සහයෝගිතාව’ (solidarity) පිළිබඳ ආඛ්‍යානය මේ දෙකට ම වඩා බෙහෙවින් වෙනස් ය. එමඟින් ප්‍රවර්ධනය කරන සමාජීය හා පාරිසරික ආචාර ධර්ම ඉහත කී බළකොටු ආඛ්‍යානයට මෙන් ම ගෝලීයවාදී නිර්බාධිත වෙළඳපොළ චින්තනයට ද ප්‍රතිපක්ෂව පෙනී සිටී. අන් සියල්ලට ම ඉහළින් සාමූහික සහ පෞද්ගලික මිනිස් අයිතිවාසිකම් සුරැකීම කළ යුතු බව සහයෝගිතාවාදීහු අදහස් කරති. පරිසර විද්‍යාත්මක මූලධර්ම බෙහෙවින් අගය කරන අතර ඔවුන් වෙළඳපොළ බලවේග දකින්නේ අවසාන ඵලය කුමක් දැයි තීරණය කරන්නන් ලෙස  නො ව අභිමත සමාජ හා පරිසර යුක්තිය සාක්ෂාත් කර දීමට දායකවීම වගකීමක් ලෙස සලකන කොටස්කරුවන් ලෙස ය. සහයෝගිතාවාදීන් වැඩි කැමැත්තක් දක්වන්නේ දේශීය මෙන් ම ගෝලීය මට්ටමෙන් ද සිදු වන තාක්ෂණික වූ වෙනසකට වඩා සමූපකාරී ආර්ථික පිළිවෙත් සහ මහජන සුභසාධනය මුල් කරගත් සමාජ සංස්කෘතික වෙනසක් ඇති කිරීමට ය. ගෝලීයවාදී ආඛ්‍යානයට වෙනස් ව පාරිසරික සදාචාරය ඇති කිරීම පිණිස සහයෝගිතාවාදීන් කේන්ද්‍රීය කර ගන්නේ ජාතික රාජ්‍යය ව්‍යුහයට පහළින් බිම් මට්ටමේ වෙසෙන ක්‍රියාකාරීන් සහ සමාජ සංවිධාන හා වෘත්තීය සමිති ආදියෙන් සමන්විත පාරජාතික සිවිල් සමාජයයි (transnational civil society). ඒ නිසා එය දේශ සීමා ඉක්මවා යන කලාපීය හා ගෝලීය බහුජන ව්‍යාපාර පදනම් කරගත්තකි.  ‘ගෝලීය ව හිතන්න, දේශීය ව කටයුතු කරන්න’ යන ප්‍රකට සටන් පාඨයෙන් නිරූපණය වන අන්දමට සහයෝගිතාවාදීන් බිම් මට්ටමේ අර්ථකථන සමඟ ග්‍රාමීය හා ප්‍රාදේශීය දේශපාලනයේ නියැළීම මඟින් ද වඩා පුළුල් අවශ්‍යතා සඳහා බහුජන සහයෝගය ලබා ගැනීම ගැන උත්සුක වෙති.

මේ ක්‍රමෝපායේ අරමුණ වන්නේ ධනවාදී කාර්මික ශිෂ්ටාචාරය විසින් ඉල්ලා සිටි ආත්මාර්ථකාමී සුඛල්ලිකානුයෝගී ජීවන රටාව අත්හරිමින් සහයෝගයෙන් සමෘද්ධිය සකසුරුවම් කරන තෘප්තිමත් යුක්තිගරුක ජීවන රටාවක් සාමූහික ව ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව සඳහා ජනමතය ඒකරාශි කිරීම යි. ඉන් අදහස් වන්නේ අප නැවත බර කරත්ත යුගය කරා යා යුතු බව නො ව සමස්ත මානව සමාජය මෙන් ම එහි පැවැත්ම පිළිබඳ තීරණාත්මක සාධකය වන පෘථිවි පරිසරය, යුක්තිය හා පොදු යහපත මුල් කොට ගෙන පවත්වා ගැනීමට මෙතෙක් අත්පත් කර ගෙන ඇති හා අත්පත් කර ගත හැකි දැනුම හා තාක්ෂණය උපයෝගී කර ගැනීම යි. සැමට යුක්තිය අත්පත් කර ගැනීමේ දේශපාලනය මුඛ්‍ය කාරණාව බවට පත් විය යුත්තේ එබැවිනි.

ඒ නිසා සමස්තයක් වසයෙන් ගත්තොත් වර්තමාන දේශපාලනයේ මූලික දිශානතිය වෙනස් කිරීම පිණිස හුරුපුරුදු සාම්ප්‍රදායික දේශපාලනය පසෙක තැබිය යුතු ව ඇත. මෙය තරමක් අසීරු ආරවුලක් විය හැකි නමුත් කරන්නන් වාලේ හුදෙක් බලය අත්පත් කර ගැනීමේ සිල්ලර දේශපාලනයට දායක වෙමින් කාලය නාස්ති කිරීමට අපට තවදුරටත් නො හැකි ය. ලොව පුරා බොහෝ රටවල දැනුවත් විද්‍යාර්ථින් විසින් දැනට මත් ශ්‍රාස්ත්‍රාලයීය මට්ටමෙන්[11]තිරසාර සංවර්ධන අරමුණු පිළිබඳ පුළුල් විමර්ශනශීලී කතිකාවක් ආරම්භ කර තිබේ. යුක්තිය සාක්ෂාත් කර ගැනීම ප්‍රථම වරට සංවර්ධන අරමුණක් ලෙස තිරසාර සංවර්ධන කතිකාව හරහා ඉස්මතු වෙමින් තිබේ. සංවෘත නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා අතික්‍රමණය කළ හැකි වඩා විවෘත ප්‍රජාතන්ත්‍රවාදයක් දිනා ගැනීම එම කතිකාවේ ම කොටසක් බවට පත් කරමින් තිරසාර සංවර්ධන අරමුණු පිවිසුමක් ලෙස භාවිත කරමින් නව දේශපාලන සුසමාදර්ශයක් ගොඩනැගීමට අවශ්‍ය සාධක අපට සාකච්ඡා කළ හැකි ය.

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

මීළඟට : 19. සංවර්ධන කතිකාවේ නව දිශානතිය


[1] https://www.worldbank.org/en/news/press-release/2015/10/04/world-bank-forecasts-global-poverty-to-fall-below-10-for-first-time-major-hurdles-remain-in-goal-to-end-poverty-by-2030 – Retrieved on 07 Feb 2021

[2] https://www.cepa.lk/blog/the-correlation-between-poverty-and-inequality/

[3] Auditor General’s Report on Samurdhi Programme (2018), Auditors General Department, Colombo

[4] Fernando R. Lalitha S. & Gunasekara H.O.C. et.al. (2020) Samurdhi Programme as a Poverty Alleviation Strategy: An Evaluation Study Based on Sri Bodhi Gramma Village in Gampaha District in Sri Lanka, Nurul Momen et.al (eds)Building Sustainable Communities: Civil Society Response in South Asia, Palgrave Macmillan, London,  p.63

[5] Bandara, N. D. M. (2016). Causes and Consequences of Poverty Targeting Failures: The Case of the Samurdhi Program in Sri Lanka. Asian Politics & Policy, 8(2), 281–303. Policy Studies Organization. Published by Wiley Periodicals, Inc.

[6]  දිසානායක, ධම්ම (2019) ලංකාදීප පුවත්පත 2019 ජුනි 28 එම කථාව ගැන කළ සඳහන.

[7] Piketty, Thomas (2020) Capital and Ideology, Cambridge NY: The Belknap Press of Harvard University Press, KE p 1452

[8] Wolfgang Sachs, eds. (2019), The Development Dictionary: A Guide to Knowledge as Power, London : Zed Books Ltd, , pp 3-4

[9] UNDP Human Development Report, 2013, p. 14

[10] Sachs, Wolfgang, eds. (2019), The Development Dictionary: A Guide to Knowledge as Power, London: Zed Books Ltd, , pp. 5-7

[11] Google Scholar යටතේ 2020 වර්ෂය සඳහා පමණක් තිරසාර සංවර්ධන අරමුණු සම්බන්ධ ලියැවුණු ලේඛන හා පත්‍රිකා ප්‍රමාණය 17,200ක් වශයෙන් දැක්වේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: