
නවලිබරල්වාදය හුදු ආර්ථික චින්තනයක් පමණක් නො ව මානුෂික නිදහස මුල්කරගත් සම්භාව්‍ය ලිබරල්වාදය අනුදත් ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම ආර්ථික වර්ධනයේ නාමයෙන් නො සලකා හරින ආත්මාර්ථකාමී දේශපාලන චින්තනයක් ලෙස ද හැඳින්විය හැකි ය. චිලී රටේ ඒකාධිපති හමුදා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමට ගිය මිල්ටන් ෆ්‍රීඩ්මන්ඩ් ඇතුළු චිකාගෝ ගුරුකුලයට අයත් ආර්ථික විද්‍යාඥයන්ගේ නවලිබරල්වාදී ක්‍රියාන්විතය විමසා බැලීමෙන් එය තේරුම් ගත හැකි ය.
1970 නොවැම්බර් 03 දින මැතිවරණයකින් බලයට පත් වූ සමාජවාදී ජනාධිපති සැල්වඩෝර් අලියෙන්ඩේගේ ආණ්ඩුව1973 සැප් 11 දින හිංසාකාරී හමුදා කුමන්ත්‍රණයකින් පෙරළා දමා චිලී රටේ ආණ්ඩු බලය එහි හමුදාපති ජෙනරාල් අගෝස්ටෝ පීනෂේ ප්‍රමුඛ ජනරාල්වරුන් විසින් අත්පත් කර ගන්නා ලදී. පසු කලක තහවුරු වූ පරිදි ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුවේ පූර්ණ ආශිර්වාදය ද ඇති ව ක්‍රියාත්මක වූ මේ හමුදා කුමන්ත්‍රණයේ දී ජනාධිපති අලියෙන්ඩේ ඇතුළු වාමවාදීන් 3000 කට වැඩි ප්‍රමාණයක් මරා හෝ අතුරුදහන් කර හෝ දමන ලද අතර 80,000 කට අධික සංඛ්‍යාවක් හිර භාරයට ගනු ලැබූහ.
හමුදා ආණ්ඩුවේ මර්දනකාරි වැඩපිළිවෙළ මඟින් සහතික කළ ස්ථාවරත්වය පාදක කරගත් නවලිබරල්වාදී චිකාගෝ ගුරුකුලයේ නියමු මිල්ටන් ෆ්‍රීඩ්මන්ඩ්ගේ චිලියානු ගෝලයෙකු වූ සර්ජියෝ ඩි කැස්ත්‍රෝ ප්‍රමුඛ ආර්ථික විශේෂඥයෝ හමුදා ආණ්ඩුවේ නව ආර්ථික ප්‍රතිපත්තිය සඳහා පිඹුරු පත් සකස් කළෝ ය. සිය ගුරුවරයා වූ මිල්ටන් ෆ්‍රීඩ්මන්ඩ්ගේ නවලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති ප්‍රථම වරට ප්‍රායෝගික ව අත්හදා බැලීමේ පර්යේෂණාගාරයක් ලෙස චිලී රට යොදා ගැනීමට සර්ජියෝ ඩි කැස්ත්‍රෝ ඇතුළු ඔහුගේ චිකාගෝ ගුරු කුලවාදී චිලියානු සගයෝ උත්සුක වූහ.
හමුදා කුමන්ත්‍රණයෙන් පසු ගත වූ අවුරුදු එකහමාර සපුරා ම ජනරාල් පීනෂේගේ රජය සර්ජියෝ පිඹුරු පත් කළ ආර්ථික ප්‍රතිපත්තිය නො වළහා ක්‍රියාත්මක කළේ ය. රාජ්‍ය බැංකු ඇතුළු රජයේ ආයතන සැලකිය යුතු ප්‍රමාණයක් පෞද්ගලීකරණයට ලක් කරන ලද අතර එතෙක් චිලී රටේ නිෂ්පාදන ආරක්ෂා කිරීමට ආනයන භාණ්ඩවලට පනවා තිබූ සියලු ම සීමා ඉවත් කර දමන ලදී. රජයේ මර්දනකාරී අවශ්‍යතා සලකා හමුදාවේ වැය ශීර්ෂය වැඩි කරන ලද නමුත් අවශේෂ රාජ්‍ය ආයතනවල වැය ශීර්ෂ 10%කින් කපා හැරිණි. අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් එතෙක් පනවා තිබූ පාලන මිල ද මුළුමනින් ම ඉවත් කෙරිණි.
සර්ජියෝ ඇතුළු ආර්ථික උපදේශකයන් පීනෂේට විස්තර කළ අන්දමට ජාතික ආර්ථිකයට රජයේ මැදිහත් වීම මේ අන්දමින් එක් වර ම අවසන් කිරීමට ගත් තීරණය නිවැරදි වන්නේ ආර්ථික විද්‍යාවේ ස්වාභාවික නියාමවලට අනුව ආර්ථිකය ස්වයං ක්‍රියාකාරී ව සමතුලිත වීම නියත වන බැවිනි. ඔහු විස්තර කළ පරිදි නිර්බාධක වෙළඳපොළක් ඇති කිරීම සහතික කිරීමට නම් එයට පටහැණි සියලු සාධක ඉවත් කළ යුතු ය. ඒ අන්දමින් ආර්ථික වර්ධනයට පටහැණි සියලු රෝග කාරක ඉවත් කර දැමූ විට ආර්ථිකයේ පිබිදීම සහතික කළ හැකි ය. කෙසේ වෙතත් සර්ජියෝගේ සුභවාදී අනාවැකියට පටහැණි ව රටේ උද්ධමනය 375%කින් ඉහළ ගියේ ය. එය අලියෙන්ඩේ යුගය අවසානයේ පැවති උපරිම උද්ධමනය මෙන් දෙගුණයකින් වැඩි වීමකි. පාලන මිලෙන් ඉවත් කරන ලද පාන් වැනි මූලික භාණ්ඩවල මිල පෙර නො තිබූ විරූ අන්දමින් ඉහළ ගියේ ය. එතෙක් සැලකිය යුතු සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබූ බොහෝ දේශීය කර්මාන්තශාලා පීනෂේගේ නිර්බාධක ආනයන ප්‍රතිපත්තිය නිසා පාඩු ලැබීමට හා වසා දැමීමට සිදු වූ බැවින් රැකියාවලින් නෙරපීම හා රැකියා වියුක්තිය ඉහළ ගියේ ය. මේ නිසා හමුදා ආණ්ඩුවක් යනු ව්‍යාපාරික අවශ්‍යතාවක් යැ’යි කල්පනා කළ ස්වදේශික ධනපතියන් අතර පවා චිකාගෝ ගුරුකුලයේ චිලියානු ගෝලයන්ගේ ආර්ථික වැඩපිළිවෙළ ගැන කුකුසක් ඇති විය.
එහෙත් සර්ජියෝ ඩි කැස්ත්‍රෝ ඇතුළු උපදේශකයන්ගේ මතය වූයේ මේ පසු බෑමට හේතුව ඔවුන්ගේ ආර්ථික න්‍යායේ වැරැද්ද නො ව ඔවුන් විසින් දුන් උපදෙස් තරයේ අනුගමනය කිරීමට රජයට නො හැකි වීමයි. ඒ නිසා මීටත් වඩා තදින් වෙළඳපොළ නිර්බාධකරණය පවත්වා ගැනීම පිණිස ආර්ථිකයට රජයේ ඇති මැදිහත් වීම සහමුලින් ම අහෝසි කළ යුතු බව ඔවුහු තර්ක කළහ. ආර්ථිකය සමතුලිතභාවයට පත්වීම වැළකී ඇත්තේ අඩ සිය වසක කාලයක් තිස්සේ ආර්ථිකයට රජයේ මැදිහත් වීම නිසා ඇටුවන් බැහැ ගෙන ඇති ඇතැම් බාධක තවමත් ඉතිරි වී ඇති නිසා බව සර්ජියෝ පැවසී ය.
එහෙත් හමුදා රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණවලින් වැඩි වාසියක් අත්පත් කර ගෙන ඇත්තේ විදේශික සමාගම් සහ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමෙන් හා කොටස් වෙළඳපොළ අභිමත පරිදි මෙහෙයවා අති විශාල ධනස්කන්ධයක් නිස්සාරණය කරගත් ‘පිරන්හා’ යන ආරූඪ නමින් හැඳින්වුණු කොල්ලකාරී අතළොස්සක් බවත් චිකාගෝ ගුරුකුල ගෝලයින්ගේ උපදෙස්වලින් ආසක්ත ව සිටි දේශීය ව්‍යාපාරික පැලැන්තියේ ඇතැම් නායකයෝ නිරීක්ෂණය කළහ.( පිරන්හා යනුවෙන් හැඳින්වෙන්නේ ලතින් ඇමෙරිකානු රටවල වෙසෙන ඇටකටු පමණක් ඉතුරු වෙන තෙක් සිය ගොදුර පණ පිටින් ගසා කන දරුණු මාංශ භක්ෂක මත්ස්‍ය වර්ගයකි.) මිල්ටන් ෆ්‍රිඩ්මන්ඩ්ගේ චිකාගෝ ගුරුකුලයේ චිලියානු ගෝලබාලයන් ජනරාල් පීනෂේට හඳුන්වා දි තිබුණේ හමුදා කුමන්ත්‍රණයේ උද්යෝගිමත් සහායකයෙකු වූ දේශීය කර්මාන්ත හිමියන්ගේ සංගමයේ සභාපති ඔර්ලන්ඩෝ සේන්ස් විසිනි. දේශීය කර්මාන්ත හිමියන් බොහෝමයක් අලියෙන්ඩේගේ සමාජවාදයට එරෙහි වුව ද දේශීය කර්මාන්ත ප්‍රවර්ධනයට හිතකර වූ ඔහුගේ ඇතැම් ආර්ථික ප්‍රතිපත්තිවලට විරුද්ධ නොවූහ.
සිය නවලිබරල්වාදී ආර්ථික උපදෙස් නිසා තත්වය තව දුරටත් උග්‍ර වී ඇති බව වටහා ගත් සර්ජියෝ කැස්ත්‍රෝ කර්මාන්ත හිමියන්ගේ සංගමයේ සභාපති ඔර්ලන්ඩෝ ප්‍රමුඛ ප්‍රධාන සාමාජිකයන්ගේ මැසිවිලි සලකා උද්ගත වී ඇති තත්වය හොඳින් විමසුමට ලක් කොට වඩා සුදුසු නිර්දේශ ඉදිරිපත් කරන ලෙස සිය මුල් ගුරුවරයා වූ චිකාගෝ ගුරුකුලයේ නායක මිල්ටන් ෆ්‍රිඩ්මන්ඩ්ට ආරාධනා කළේ ය. ඒ අනුව ප්‍රධාන පෙළේ බැංකුවක අනුග්‍රහයෙන් 1975 මාර්තු මාසයේ ෆ්‍රීඩ්මන්ඩ් චිලියේ සන්තියාගෝ අගනුවරට සම්ප්‍රාප්ත විය. ඔහුගේ සම්ප්‍රාප්තිය හමුදා රජයේ පාලනයට නතු වූ ජනමාධ්‍ය වර්ණනා කළේ මුල් පෙළේ ජාත්‍යන්තර නළුවෙකුගේ සම්ප්‍රාප්තියකට නො දෙවෙනි උත්කර්ෂයකිනි. එවකට නව ලිබරල්වාදයේ ජාත්‍යන්තර සුරුවම ලෙස සැලකුණ මිල්ටන් ෆ්‍රීඩ්මන්ඩ්ගේ මේ තීරණාත්මක මැදිහත් වීම පිළිබඳ විවරණයක් කරන නයෝමි ක්ලයින් සිය ‘The Shock Doctrine’ නම් කෘතියේ මෙසේ සඳහන් කරයි.
“ෆ්‍රීඩ්මන්ඩ්ගේ හැම කියමනක් ම පාහේ පුවත්පත්වල ශීර්ෂ පාඨ බවට පත් විය. ඔහුගේ ශාස්ත්‍රාලයීය දේශන සියල්ල ම ජාතික රූපවාහිනී සේවය මඟින් විකාශනය කරන ලද අතර ෆ්‍රීඩ්මන්ඩ් සමඟ පැවති හැම පුද්ගලික සාකච්ඡාවකට ම ජනරාල් පීනෂේ ඉමහත් උනන්දුවකින් සහභාගී විය.”
චිලියේ ගත කළ මුළු කාලය තුළ ම ෆ්‍රීඩ්මන්ඩ්ගේ මුඛ්‍ය පාඨය වූයේ හමුදා ජුන්ටාව හොඳ ආරම්භයක් ගෙන ඇති බවත් එහෙත් එය පරිපූර්ණවීමට නම් ආර්ථිකයට රාජ්‍යයේ ඇති මැදිහත් වීම සහමුලින් ම අහෝසි කොට චිලී රජය නිර්බාධිත නිදහස් වෙළඳපොළ මුළු හදින් ම වැළඳ ගත යුතු ය බව යි. මෙතෙක් කිසි කලක යථා ලෝකයේ ආර්ථික අර්බුද සම්බන්ධ ව භාවිත නො වූ ආකාරයේ අපූරු යෙදුමක් ඔහු සිය සම්මුඛ සාකච්ඡාවල දී හා දේශනාවල දී ප්‍රකාශයට පත් කළේ ය. එනම් චිලියේ ආර්ථිකයට “a Shock Treatment “ හෙවත් “ තද ප්‍රකම්පනයක් දනවන ප්‍රතිකාරයක්” අත්‍යවශ්‍ය වී ඇති බව යි. නිවැරදිව ම එක ම බෙහෙත එය පමණක් බවත් වෙනත් කිසිදු දිගු කාලීන විසඳුමක් නැති බවත් ‘ප්‍රකම්පන ප්‍රතිකාරය’ ගැන සඳහන් කරමින් ෆ්‍රීඩ්මන්ඩ් ප්‍රකාශ කළේ ය.”[1]
ක්ලයින් වාර්තා කරන පරිදි මේ “ තද ප්‍රකම්පන ප්‍රතිකාරය” ගැන විමසූ චිලියානු වාර්තාකරුවෙකු නිදහස් වෙළඳපොළ නියාමනය කිරීම පිණිස එවකට සිටි ඇමෙරිකානු ජනාධිපති රිචඩ් නික්සන් පවා රෙගුලාසි යොදා ඇති බව පෙන්වා දුන් විට “මම ඒවා අනුමත කරන්නේ නැහැ. මා විශ්වාස කරන අන්දමට ඒවා මෙහි දී ද යොදා ගත යුතු නැහැ. මගේ රටේ දී මෙන් ම චිලියේදීත් රජය ආර්ථිකයට මැදිහත් වෙනවාට මම විරුද්ධයි” යනුවෙන් ෆ්‍රීඩ්මන්ඩ් පිළිතුරු දුන්නේ ය.
ජනරාල් පීනෂේ සමඟ පැවති එක සාකච්ඡාවක් පිළිබඳ ව පසු කලක ෆ්‍රීඩ්මන්ඩ් පළ කළ මතක සටහන්වල මෙසේ සඳහන් කරයි. “තද ප්‍රකම්පන ප්‍රතිකාරය පිළිබඳ මගේ අදහසට ජනරාල්වරයා ඇලුම් කළත් ඒ නිසා තාවකාලික ව ඇති විය හැකි දැවැන්ත රැකියා වියුක්තිය සම්බන්ධයෙන් ඔහු තෝන්තුවාවට පත්වී ඇති බව මට පෙනුණි.” මේ වන විට විරුද්ධවාදීන් තොග ගණනින් පාපන්දු පිටිවලට ගෙන ගොස් මරා දැමීම ගැන පීනෂේට එරෙහිව ලෝක ජනමතය තීව්‍ර වෙමින් තිබුණි. ඒ නිසා ප්‍රකම්පන ප්‍රතිකාරයෙන් රට වැසියන්ට ඇති විය හැකි හානිය ගැන ලෝකාපවාද ලැබීමට ඇති ඉඩ කඩ ගැන පීනෂේ කරදර වීම ස්වාභාවික ය. මේ නිසා මදක් පසු බෑ ෆ්‍රීඩ්මන්ඩ් ආපසු සිය රට පැමිණි පසු පීනෂේට ලිපියක් යවමින් ජනරාල්වරයාගේ අතිශය ඥානවන්ත තීරණය බෙහෙවින් අගය කරන අතර කෙසේ නමුත් ඉදිරි මාස හය තුළ රජයේ සමස්ත වියදම අවම වසයෙන් 25% කින් කපා හරින ලෙස ඉල්ලා සිටියේ ය. මෙසේ වියදම කපා හැරීමත් සමඟ පරිපූර්ණ නිර්බාධක වෙළඳාම සඳහා ව්‍යාපාරිකයන් දිරි ගන්වන ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙළක් හඳුන්වා දෙන ලෙස ද ෆ්‍රීඩ්මන්ඩ් නිර්දේශ කළේ ය. රාජ්‍ය අංශය සංකෝචනය වීම නිසා රැකියාවලින් දොට්ට දමනු ලබන සේවකයන්ගේ රැකියා ප්‍රශ්නය නිදහස් වෙළඳපොළ ප්‍රසාරණය වීමට ඇති සියලු බාධක ඉවත් වූ පසු පුද්ගලික අංශය තුළ බිහි වන රැකියා නිසා විසඳෙනු ඇතැ’යි ද ෆ්‍රීඩ්මන්ඩ් පැවසී ය.
තමන්ගේ උපදෙස් අකුරට ම පිළිපදින්නේ නම් මාස කිහිපයක දී උද්ධමනය අවසන් වී ඇතිවෙන “ආර්ථිකයේ ආශ්චර්ය” පිළිබඳ ගෞරවය ඔබට හිමි වනු ඇතැ’යි ජනරාල් පීනෂේට යැවූ ලිපියේ ෆ්‍රීඩ්මන්ඩ් සහතික විය. රැකියා වියුක්තිය ද ඒ හා සමාන ව අඩුව යන අතර අනතුරු ව ආර්ථිකය වේගයෙන් යහපත් අතට හැරෙනු ඇතැ’යි ද ෆ්‍රීඩ්මන්ඩ් සිය ලිපියේ තවදුරටත් සඳහන් කළේ ය. කලින් මෙන් ටිකෙන් ටික කටයුතු කිරීම තවදුරටත් වලංගු නො වන බව සඳහන් කරමින් නො පමාව සහ වේගවත් ලෙස තම යෝජනා ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ෆ්‍රීඩ්මන්ඩ් Shock Treatment හෙවත් ‘ප්‍රකම්පන ප්‍රතිකාරය’ යන යෙදුම තම ලිපියේ තෙවරක් ම සඳහන් කළේ ය.
ෆ්‍රීඩ්මන්ඩ්ගේ දැක්ම සහ නිර්දේශ ජනරාල් පීනෂේ මුලු හදින් ම ඇදහීය. “මගේ ඉහළ ම ප්‍රණාමය සමඟ ඔබ කෙරෙහි ඇති අත්‍යන්ත ගෞරව උපහාරය කරුණාවෙන් පිළිගන්න” යනුවෙන් ෆ්‍රීඩ්මන්ඩ්ට යැවූ පිළිතුරු ලිපිය ඇරඹූ ජනරාල් පීනෂේ “දැන් අපි සැලැස්ම පරිපූර්ණ ලෙස ම ක්‍රියාත්මක කරමින් සිටිමු” යනුවෙන් සඳහන් කළේ ය. ෆ්‍රීඩ්මන්ඩ්ගේ සන්තියාගෝ ගමනෙන් පසු ආර්ථිකය පිළිබඳ සිය ඇමතිවරයා තනතුරෙන් පහකර දැමූ පීනෂේ ඒ වෙනුවට ෆ්‍රීඩ්මන්ඩ්ගේ දේශීය ගෝලයා වු සර්ජියෝ කැස්ත්‍රෝ පත් කළේ ය. පසුව ඔහු මුදල් ඇමති තනතුරට උසස් කෙරිණි. රජයේ වගකිවයුතු ආර්ථික තනතුරු තම චිකාගෝ ගුරුකුලවාදී චිලියානු සගයන්ගෙන් පුරවා දැමීමට සර්ජියෝ වග බලා ගත්තේ ය. කර්මාන්ත ක්ෂේත්‍රයේ බොහෝ සේවකයන් සේවයෙන් පහකර දැමීමට සිදුවීම ගැන අසතුටෙන් සිටි ඔර්ලෙන්ඩෝ සේන්ස් වෙනුවට සර්ජියෝ කැස්ත්‍රෝගේ ප්‍රතිපත්තිවලට අනුග්‍රහය දැක්වූවෙකු කර්මාන්ත හිමියන්ගේ සංවිධානයේ සභාපති ධුරයට පත්කර ගන්නා ලදී.
යෝජිත වැඩපිළිවෙළ අනුව ජනරාල් පීනෂේ සහ සර්ජියෝ කැස්ත්‍රෝ චිලී රටේ ඉතුරුව තිබූ රාජ්‍ය සුභසාධන සේවා ද නතර කර දැමී ය. 1975දී එක වරම රජයේ වියදම 27% කින් කපා හැරිණි. මේ කපා හැරීම 1980 ගණන් දක්වා දිගට ම කර ගෙන ගිය අතර ඒ නිසා වඩාත් ම පහර වැදුණේ මහජන සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට යි. රජයට අයත් ව තිබූ බැංකු සහ වෙනත් ආයතන පන්සීයකට අධික ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ ගජ මිතුරන්ට පවරන ලදී. සර්ජියෝට අවශ්‍ය ව තිබුණේ හැකි ඉක්මනින් එම ආයතන රජයේ පාලනයෙන් ඉවත් කර පෞද්ගලික අංශය පුළුල් කිරීමයි. දේශීය කර්මාන්ත ගැන කිසිදු අනුකම්පාවක් නො දැක්වූ සර්ජියෝ ආනයන සඳහා පනවා තිබූ සියලු බාධක ඉවත් කළේ ය. ඒ අනුව 1973 සිට 1983 කාලය තුළ කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා 177,000 අහෝසි කොට සේවකයන් පහකර දැමීමට සිදු වූ බව නයෝමි ක්ලයින් පෙන්වා දෙයි.
ෆ්‍රීඩ්මන්ඩ්ගේ ‘ප්‍රකම්පන ප්‍රතිකාරය’ නිසා පළමු වසර තුළ චිලියේ ආර්ථිකය 15% කින් සංකෝචනය විය. අලියෙන්ඩේගේ පාලන සමය තුළ 3% ක් ව පැවති රැකියා හිඟය 20% දක්වා වැඩි විය. මාස කිහිපයකින් අවසන් වෙනවා වෙනුවට ෆ්‍රිඩ්මන්ඩ්ගේ අනාවැකියට පටහැණි ව රැකියා හිඟය වසර ගණනාවක් තිස්සේ පැවතුණි.
එහෙත් ෆ්‍රීඩ්මන්ඩ්ගේ ගෝලයෝ සිය ගුරුවරයා නිර්දේශ කළ මූලික ප්‍රතිසංස්කරණ දිගට ම කර ගෙන ගියෝ ය . ඒ අනුව පොදු සේවා පාසල් ක්‍රමය වෙනුවට වවුචර ක්‍රමයක් යටතේ අධ්‍යාපනයට මිල නියම කරමින් බලලත් පාසල් ක්‍රමයක් දිරි ගන්වනු ලැබී ය. සෞඛ්‍ය සේවා සඳහා මිලක් නියම විය. ළදරු පාසල් මෙන් ම සුසානාගාර හා සොහොන් බිම් පවා පෞද්ගලීකරණයට ලක් විය. වඩාත් ම තීරණාත්මක වූයේ එතෙක් කලක් රජය මඟින් පවත්වා ගෙන ගිය සමාජ ආරක්ෂණ ක්‍රමය ද මුළුමනින් ම පෞද්ගලීකරණය කිරීමයි.
නිදහස් වෙළඳපොළ උත්කර්ෂණයට නැංවූ නවලිබරල්වාදීන්ගේ සාඩම්බර ආදර්ශය බවට මෙසේ චිලී රට පත් විය. ඒ අතර පීනෂේගේ පෞද්ගලික ධනය සහ විදෙස් බැංකුවල තැන්පතු ප්‍රමාණය ද විශාල ලෙස ඉහළ ගියේ ය. පසු කලක ජනාධිපති ධුරයෙන් ඉවත් කෙරුණු පීනෂේට එරෙහිව මුදල් වංචා කිරීම හා විශුද්ධිකරණය, ආදායම් බදු ගෙවීම පැහැර හැරීම, අවි වෙළඳාමෙන් කොමිස් ගැනීම යන කරුණු සම්බන්ධ දූෂණ චෝදනා එල්ල වීමට එය හේතු විය. කෙසේ වෙතත් සැලකිය යුතු කාලයක් තිස්සේ ඇතැම් ප්‍රධාන පෙළේ ජන මාධ්‍ය සහ නව ලිබරල්වාදයේ ප්‍රවර්ධකයන් ආර්ථිකයේ වර්ධන වේගය වැඩි වීම චිලී රටේ සෞභාග්‍ය උදා වීම පිළිබඳ දර්ශකයක් ලෙස හුවා දැක්වූයේ ය. 2006 දී ෆ්‍රීඩ්මන්ඩ්ගේ අභාවයෙන් මසක් ගත වීමත් සමඟ එවකට බලයෙන් පහකර දමා තිබූ ජනරාල් පීනෂේ මිය ගිය විට “ඔහු අනුගමනය කල නිදහස් වෙළඳපොළ ප්‍රතිපත්තිය චිලියානු ආර්ථික ආශ්චර්ය බිහි කරලීමට හේතු විය” යනුවෙන් වොෂින්ටන් පෝස්ට් පුවත් පත වාර්තා කළේ ය. එහෙත් මෙකී චිලියානු ආර්ථික ආශ්චර්ය පිළිබඳ ඇත්ත තත්වය බෙහෙවින් විවාදාත්මක කරුණක් බවට පත් ව තිබුණි.
ජනප්‍රිය මහජන නැගිටීමකින් පසු අවසානයේ බලයෙන් ඉවත් කරන තෙක් පීනෂේ 1973 සිට 17ත් වසරක් තිස්සේ චිලී රටේ මර්දනකාරී ඒකාධිපති රජයක් පවත්වා ගෙන ගියේ ය. ඒ මර්දනය ෆ්‍රීඩ්මන්ඩ්ගේ අත්හදා බැලීම්වලට නිසි තෝතැන්නක් සැපයූ නමුත් ඒ සඳහා චිලියේ රටවැසියන්ට ගෙවීමට සිදු වූ සමාජීය වන්දිය ඉතා අධික විය. ඇතැම් නවලිබරල්වාදීන් පාරම්බාන චිලියේ ආර්ථික වර්ධන වේගයේ වැඩි වීම සිදු වූයේ ෆ්‍රීඩ්‍මන්‍ඩ්‍ගේ ‘ප්‍රකම්පන ප්‍රතිකාරය’ ලබා දී දශකයකට පසු එනම් සෑහෙන කලක් ගත වී අසූව දශකයේ මැද භාගයේ දී ය. නයෝමි ක්ලයින් පෙන්වා දෙන අන්දමට එය ද සිදු වූයේ එතෙක් පැවතුණු නවලිබරල්වාදී ආර්ථික වැඩපිළිවෙළේ වැරදි හදා ගැනීමට පීනෂේට බල කෙරුණු පසු ය. එයට හේතුව චිකාගෝ ගුරුකුලයේ නිර්දේශ අකුරට ම ක්‍රියාත්මක කළ ද 1982 වන විට චිලියේ ආර්ථිකය විශාල වසයෙන් කඩා වැටීමේ අනතුරකට මුහුණ දීමයි. ඒ වන විට රාජ්‍ය ණය ප්‍රමාණය දරා ගත නො හැකි මට්ටමට ළං ව තිබූ අතර උද්ධමනය ද විශාල ලෙස ඉහළ ගොස් තිබුණි. රැකියා විරහිත භාවය 30% කින් එනම් අලියෙන්ඩේගේ පාලන සමයේ පැවති ප්‍රමාණය මෙන් දස ගුණයකින් ඉහළ ගියේ ය. මීට එක් හේතුවක් වූයේ චිකාගෝ ගුරුකුලවාදීන් විසින් මූල්‍ය ආයතන නියාමනය පිටු දැකීමෙන් පසු පිරන්හා කල්ලිවලට අයත් මූල්‍ය ආයතන රජයේ සමාගම් කුණුකොල්ලයට මිල දී ගැනීමට අසීමිත ව විදේශ ණය ලබා ගැනීමයි. රජයේ මැදිහත් වීම මත ලබාගත් ඒ ණය ප්‍රමාණය ආපසු ගෙවීමට නො හැකි තරම් වූ ඩොලර් බිලියන 14 දක්වා ඉහළ ගොස් තිබුණි. ඒ ණය කන්දරාව ආපසු ගෙවීම කර ගැසීමට රජයට සිදු විය.
මේ නිසා රටේ තත්වය කෙතරම් අස්ථාවර වී ද යත් කලින් අලියෙන්ඩේ කළ දේ ම කිරීමට පීනෂේට සිදු විය. එනම් ඔහුගේ මුදල් ඇමති සර්ජියෝ කැස්ත්‍රෝ විසින් පුද්ගලික අංශයට පවරා දෙන ලද රජයේ සමාගම් යළි ජන සතු කිරීම යි. වැඩේ මෙසේ බකල් වී යන එන මං නැති වීම නිසා සර්ජියෝ කැස්ත්‍රෝ ඇතුළු ව චිලියේ බොහෝ චිකාගෝ ගුරුකුල ගෝලයන්ට පීනෂේගේ රජයේ ගරු ගම්භීර තනතුරුවලින් ඉවත් වීමට සිදු විය. ඉන් ඇතැම් චිකාගෝ ගෝලයන් සහ පිරන්හා කල්ලියේ සාමාජිකයන් බොහෝ දෙනෙකු පසුව දූෂණ හා වංචා චෝදනාවලට ලක් වූහ.
ආර්ථිකයේ සමස්ත කඩා වැටීමකින් එවර චිලී රට ගැලවුණේ කලකට පෙර සමාජවාදී අලියෙන්ඩේ විසින් ජනසතු කර තිබූ කොඩෙල්කෝ නමැති සුවිශාල තඹ ආකර සමාගම පුද්ගලීකරණය කිරීම පීනෂේ ප්‍රතික්ෂේප කළ නිසා බව නයෝමි ක්ලයින් පෙන්වා දෙයි. චිලී රටේ නිර්යාත ආදායමෙන් සියයට 85% ක් ම උපයන ලද්දේ කොඩෙල්කෝ සමාගම විසිනි. ඒ නිසා චිකාගෝ ගුරුකුලය මවා පෑ මූල්‍ය බුබුල පුපුරා ගිය පසු ද රජයට සැලකිය යුතු ස්ථාවර ආදායමක් සැපයීමට රජය සතු කොඩෙල්කෝ සමාගමට හැකි විය.
නයෝමි ක්ලයින් පෙන්වා දෙන පරිදි ඇත්ත වසයෙන් ම මිල්ටන් ෆ්‍රීඩ්මන්ඩ් ඇතුළු නවලිබරල්වාදීන් හුවා දැක් වූ අන්දමට චිලී රට කිසි සේත් ම ‘සුපිරිසිදු’ තරඟකාරී නිදහස් වෙළඳපොළක් නො වීය. සිදු වූයේ රජයට සමීප ගජ මිතුරු ධනපති අතළොස්සකට ඩොලර් සම්භාරයක් ණයට ලබා ගෙන රජය ලවා ඒවා නැවත ගෙවීමට සැලැස්වීම මඟින් අසික්කිත ප්‍රකෝටිපතියන් වීමට හැකි වීම පමණි. පීනෂේ සහ ඔහුගේ චිකාගෝ ගුරුකුල ගෝලබාලයින් චිලිය ඔවුන්ට හිමිකම් ඇති කෝපරේට්වාදී පෞද්ගලික රාජ්‍යයක් කළා මිස තරඟකාරී ධනවාදී රාජ්‍යයක් බවට පත් නො කළ බව නයෝමි ක්ලයින් පෙන්වා දෙයි. ඇගේ විවරණයට අනුව ඇත්ත වසයෙන් ම පීනෂේ කළේ පොලිස්කාර ආණ්ඩුව හා විශාල සමාගම් අතර අන්‍යෝන්‍ය සහයෝගිතාව සහතික කරමින් කම්කරුවන් හීලෑ කර තබන දූෂිත කොපරේට්වාදී රජයක් පවත්වා ගෙන යෑම යි.
1988 වන විට චිලී රටේ ආර්ථික වර්ධනය වේගයෙන් ඉහළ යමින් තිබුණු නමුත් රට වැසියන්ගෙන් 45% ක් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටී තිබුණි. එහෙත් 10%ක් වූ අධි පොහොසතුන්ගේ ආදායම 83%කින් ඉහළ ගියේ ය. 2007 වන විට පවා පොහොසතුන් සහ දුප්පතුන් අතර වැඩි ම ආදායම් පරතරය ඇති රටක් වසයෙන් චිලී රට සැලකුණි. රටවල් 123 ක සමාජ විෂමතා දත්ත පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව ලෝකයේ වැඩි ම සමාජ විෂමතාවක් ඇති රටවල් අතරින් චිලී රට අට වැනි ස්ථානයට පත්වී තිබුණි.
1981දී සන්තියාගෝ අගනුවරට පැමිණි චිකාගෝ ගුරුකුලයේ සාන්තුවරයා ලෙස පිදුම්වලත් ෆ්‍රීඩ්රික් වොන් හයෙක් පීනෂේ මුණගැසී චිලී රටේ සිදු වෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන සිය උද්දාමය ප්‍රකාශ කළේ ය. ඉන් නො නැවතුණ ඔහු සිය හිත මිතුරියක වූ බ්‍රිතාන්‍යයේ කොන්සර්වෙටිව් පාක්ෂික අගමැතිනී මාග්‍රට් තැචර්ට ලිපියක් යවමින් බ්‍රිතාන්‍යයේ පැවති කේනීසියානු ආර්ථිකය පරිවර්තනය කිරීම පිණිස චිලී රට ආදර්ශයට ගන්නා ලෙස ඉල්ලා සිටියේ ය. මාග්‍රට් තැචර් සහ පීනෂේ පසු කලක තදබල මිතුරන් බවට පත් වූහ. බලයෙන් පහවූ පසු 1998 බ්‍රිතාන්‍යයට පැමිණි මහලු ජනරාල්වරයා බ්‍රිතාන්‍ය අධිකරණය විසින් ජනඝාතය, වද හිංසනය සහ රාජ්‍ය තස්ත්‍රවාදය යන චෝදනා මත නිවාස අඩස්සියේ තබනු ලැබූ කල්හි ඒ වන විට රැජිනගෙන් බැරනස් අභිධානය ලබා තිබූ මාග්‍රට් තැචර් ඔහු මුණ ගැසී තම සහයෝගය ප්‍රකාශ කළා ය.
පීනෂේගේ වැඩපිළිවෙළ ගැන ප්‍රසාදයක් දැක්වූ නමුත් හයෙක්ගේ යෝජනාවට අනුව චිලියේ “තද ප්‍රකම්පන ප්‍රතිකාරය” බ්‍රිතාන්‍යයට යොදා ගැනීමට මාග්‍රට් තැචර් මැලි විය. 1982 පෙබරවාරියේ දී සිය වියත් මිත්‍ර ෆෙඩ්රික් වොන් හයෙක්ට ලිපියක් ලියූ තැචර් “බ්‍රිතාන්‍යයේ අපේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ සාමූහික එකඟත්වයක අවශ්‍යතාව සලකන විට චිලියේ යොදා ගත් ඇතැම් ක්‍රියාමාර්ග කිසි සේත් අපේ රටට පිළිගත හැකි ඒවා නො වන බව ඔබ තේරුම් ගනු ඇත. අපේ ප්‍රතිසංස්කරණ අපේ ම සම්ප්‍රදාය හා ආණ්ඩුක්‍රමයට එකඟ ඒවා විය යුතු ය. බොහෝ විට එවැන්නක් ක්‍රියාත්මක කිරීම වේදනාත්මක හා ඉතා මන්දගාමී දෙයක් විය හැකි ය.”යනුවෙන් සිය අසීරුකම විස්තර කළා ය[2].
කොටින් ම කිව්වොත් තැචර් ප්‍රකාශ කළේ චිලී රට මෙන් නො ව චිකාගෝ ගුරුකුල ක්‍රමයේ ‘තද ප්‍රකම්පන ප්‍රතිකාරය’ බ්‍රිතාන්‍ය වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල කළ නො හැකි බව යි. චිලියේ ආදර්ශයට අනුව චිකාගෝ ගුරුකුලය යෝජනා කළ ආර්ථික ප්‍රතිසංස්කරණ අඩු වැඩි වසයෙන් අත්හදා බැලිය හැකි වූයේ මිලිටරි ඒකාධිපති පාලන පැවති ඉන්දුනීසියාව, ඝානාව, දකුණු කොරියාව හා තුර්කිය වැනි රටවල සහ තනි පක්ෂ පාලන ක්‍රමයක් පැවති මෙක්සිකෝව, සිංගප්පූරුව, හොංකොං හා තායිවානය වැනි රටවල පමණි.
එසේ වුව ද එවැනි රටවල පවා ආර්ථිකයට හා පොදු සේවා සැපයීමට රජයේ මැදිහත් වීම මුළුමනින් ම අතහැර දැමීමට බොහෝ ආණ්ඩු පසුබට විය. නවලිබරල්වාදී නැඹුරුවක් ඇති එකොනොමිස්ට්, වෝල් ස්ට්‍රීට් ජර්නල් වැනි ප්‍රකාශන කියවන බොහෝ දෙනෙකුට සිංගප්පූරුවේ නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය හා විදේශ ආයෝජන දිරි ගන්වන ව්‍යාපාරික වාතාවරණය ගැන නිතර ම අසන්නට ලැබේ. ඒ අනුව සිංගප්පූරුවේ ආර්ථික සංවර්ධනය තනිකර ම නිදහස් වෙළඳාම සහ නිදහස් වෙළඳපොළ මත සිදු වූ දෙයක් යැයි සිතෙන්නට පුළුවන. එහෙත් සිංගප්පූරුව යනු රජය වෙනුවට මුළුමනින් ම පෞද්ගලික අංශය ආදේශ කරගත් රටක් නො වේ. උදාහරණයක් ලෙස බැලූ විට සිංගප්පූරුවේ නිවාස ප්‍රමාණයෙන් 85% ක් ම සපයන්නේ රජයට අයත් නිවාස සංවර්ධන මණ්ඩලයෙනි. ඒ අනුව බැලූ විට නවලිබරල්වාදී, මාක්ස්වාදී හෝ කේනීසියානුවාදී ආදී කිසිදු තනි ආර්ථික න්‍යායක් මඟින් නිදහස් වෙළඳපොළ සහ සමාජවාදය එකිනෙකට අනුපූරණය වෙන ලෙස ආර්ථිකයට බලපාන ආකාරය විස්තර කිරීම කළ නො හැකි දෙයකි. නයෝමි ක්ලයින්ගේ The Shock Doctrine කෘතියේ එන මෙවැනි තවත් උදාහරණවලින් එළිදරව් වන අන්දමට හුදෙක් නවලිබරල්වාදී ආර්ථික න්‍යාය මත පිහිටා දේශපාලන ප්‍රතිපත්ති සැදීම ගැන බොහෝ විට ඇති විය හැක්කේ අවිශ්වාසයකි. ට්‍රිලියන ගණනක රාජ්‍ය අරමුදල් යොදා කළ දැවැන්ත රාජ්‍ය මැදිහත් වීමක් මඟින් සමථයකට පත් කර ගැනීමට සිදු වූ 2008 -2010 ගෝලීය ආර්ථික අර්බුදයත් සමඟ ආර්ථික චින්තනයක් ලෙස නව ලිබරල්වාදයේ අසාර්ථකත්වය බොහෝ දෙනෙකුට පැහැදිලි වූ නමුත් දේශපාලන චින්තනයක් ලෙස නවලිබරල්වාදය මඟින් ප්‍රජාතන්ත්‍රවාදයට කරන ලද හානිය සුළුපටු නො වේ.
[1] Naomi Klein (2007), The Shock Doctrine, London: Penguin Books Ltd, p.81
[2] Klein, Naomi (2007), The Shock Doctrine” London: Penguin Books Ltd, p.131