16. නවලිබරල්වාදයේ දේශපාලන දැක්ම

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

බර්ක්ලි සරසවියේ ආචාරිනී වෙන්ඩි බ්‍රවුන් පෙන්වා දෙන පරිදි  නවලිබරල්වාදය යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ප්‍රාග්ධන සංසරණයට හා ප්‍රාග්ධනයේ නිර්බාධිත ක්‍රියාකාරිත්වයට මෙන් ම ප්‍රාග්ධනය රාශි භූත වීමට (accumulation of capital) ද අසීමිත ව ඉඩ සලසන නිශ්චිත ආර්ථික හා දේශපාලනික ප්‍රතිපත්ති සමුච්චයකි..[1] මෙකී නිශ්චිත ප්‍රතිපත්ති සමුච්චයට මූලික  වසයෙන් අයිතිවන්නේ ප්‍රාග්ධන හිමිකරුවන් සඳහා උපරිම බදු සහන ලබා දීම, භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්ෂේත්‍ර නිර්නියාමනය (deregulation) කිරීම, රජය යටතේ පවතින පොදු සේවා සහ භාණ්ඩ සැපයීම් මුළුමනින් ම පෞද්ගලීකරණය කිරීම,  සුභසාධන රාජ්‍ය ක්‍රමය බිඳ දැමීම සහ ශ්‍රමය සංවිධානය කර ගැනීමට වෘත්තීය සමිති ව්‍යාපාරවලට ඇති හැකියාව නැති කර දැමීම යි. රජය විසින් ඉටු කළ යුතු ජාතික ආරක්ෂක සහ අධිකරණමය සේවා හැර අනෙකුත් සියලු නිෂ්පාදන හා පොදු සේවා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් රජය සතු කර ගෙන ඇති භූමිකාව ඊට වඩා කාර්යක්ෂම ලෙස නිර්බාධක වෙළඳපොළ මඟින් ඉටු කර ගත හැකි බව නවලිබරල්වාදය අදහයි.

ඒ හැර මිචෙල් ෆුකෝ විසින් පෙන්වා දී ඇති පරිදි නවලිබරල්වාදය යන්න සුවිශේෂ මාදිලියක පාරිභෝගික වැසියන්, හැසිරීම්, සමාජීය තේරුම් සහ වටිනාකම් නිර්මාණය කරන්නා වූ පරිපාලනමය තාර්කිකත්වයක් (governing rationality) ලෙස ද ග්‍රහණය කර ගත යුතු සංකල්පයකි. සාමාන්‍ය දෘෂ්ටිවාදවලට වඩා වෙනස් ආකාරයෙන් යථාර්ථය ගූඪකරණයට හෝ විකෘතියට ලක් කරන නවලිබරල්වාදී තාර්කිකත්වය එහි වෙළඳපොළ අරමුණුවලට අනුව ලෝකය ප්‍රතිනිර්මාණය කරයි. හැම ක්ෂේත්‍රයක් ම හැම මානව ප්‍රයත්නයක් ම සම්බන්ධයෙන් පොදු යහපතට වඩා එහි දී මුල් වන්නේ ප්‍රාග්ධනයේ නිර්බාධිත ක්‍රියාකාරිත්වය සලසන ආර්ථික කාර්යක්ෂමතාවයි. යුක්තිය පදනම් කරගත් සමාජයක් වෙනුවට සමාජය වෙළඳපොළ පදනම් කර ගත යුතු ව ඇති බවත් රාජ්‍යය ක්‍රියාත්මක විය යුත්තේ එම වෙළඳපොළ අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම පිණිස බවත් නවලිබරල්වාදය අදහයි. කොටින් ම ඒ අනුව රාජ්‍ය විචාරණය මූලික වසයෙන් ම සිදු විය යුත්තේ නිර්බාධක වෙළඳපොළ ප්‍රතික්‍රියා හරහායි.

අනුක්‍රමයෙන් සමාජයේ සාර්වත්‍රික සාමාන්‍ය දැනුම බවට පත් වෙන මේ නවලිබරල්වාදී මූලධර්ම රජය පමණක් නො ව වැඩපොළ, පාසල්, රෝහල්, පොලිසි ආදියෙහි කටයුතු සහ සියලු ආකාරයේ මිනිස් චර්යා සහ තීරණ කෙරෙහි ද බලපායි. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය උදාහරණයකට ගත්තොත් නවලිබරල්වාදී තාර්කිකත්වයට අනුව උසස් අධ්‍යාපනය හුදෙක් මිනිස් ප්‍රාග්ධනයේ අනාගත වටිනාකම වැඩි කිරීම සඳහා කෙරෙන මූල්‍ය ආයෝජනයක් වසයෙන් සලකනු ලැබේ. ඒ අනුව සාමාන්‍යයෙන් අස්පෘශ්‍ය (Intangible) අදහසක් සහ භාවිතයක් වසයෙන් මෙතෙක් කල් සැලකුණ අධ්‍යාපනය යනු පොදු ප්‍රජාතන්ත්‍රවාදී යහපතකි යන අදහස බැහැර කෙරේ.  මේ නවලිබරල්වාදී චින්තනය අද බොහෝ විශ්ව විද්‍යාලවල පාඨමාලා, විෂය නිර්දේශ, ගාස්තු, ඇතුළුවීම් සහ බඳවා ගැනීම්, ඉගැන්වීම් සහ සමීක්ෂණ හා පර්යේෂණ ප්‍රමුඛතා සහ පරිපාලන පරමාර්ථ ආදී සෑම දෙයක් සම්බන්ධයෙන් ම බලපායි.

එපමණක් නො ව එතෙක් පැවති පොදු යහපත අරමුණු කරගත් සාම්ප්‍රදායික ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රජය ද නවලිබරල්වාදී චින්තනයට අනුව සාර්ථක වෙළඳ සමාගමක් මෙන් යළි සැකසීමට ලක් විය යුතු යැ’යි  ද අදහස් කෙරේ. ඒ අනුව 2017 පැවති මැතිවරණයෙන් ප්‍රංශ ජනාධිපති වසයෙන් තේරී පත් වූ එමානුවෙල් මැක්‍රොන් ප්‍රංශය start-up හෙවත් මුල සිට ඇරඹෙන නව සමාගමක් මෙන් කටයුතු කරමින් ඉදිරියට යන රටක් බවට පත් විය යුතු යැ’යි පැවසී ය. ඇමෙරිකානු නවොත්පාදනය පිළිබඳ ධවල මන්දිර කාර්යාලයීය මෙහෙවරකරු සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණනුවන් වූ ජාරෙඩ් කුෂ්නර් පැවසූ අන්දමට ආණ්ඩුව පවත්වා ගෙන යා යුත්තේ විශාල ඇමෙරිකානු සමාගමක් පවත්වා ගෙන යන ආකාරයෙනි. සමාගමක් මෙන් ම ආණ්ඩුවේ ද  අරමුණ විය යුත්තේ පාරිභෝගිකයන් වන රටවැසියන් සඳහා සාර්ථකව හා කාර්යක්ෂමව සේවා සැපයීමයි. සමාගම්වලට පාරිභෝගිකයන් මෙන් ම කොටස්කරුවන් ද සිටින බව සිය තර්කයට උචිත ලෙස කුෂ්නර් අමතක කරයි.

නවලිබරල්වාදයේ දී නිදහස යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න පිළිබඳව යම් යම් වෙනස්කම් තිබුණත් පොදුවේ ගත් විට නිදහස යනු නිර්බාධිත වෙළඳපොළ ඇසුරෙන් ඇතිවිය යුත්තක් බව නවලිබරල්වාදීහු අදහති. කෙසේ වෙතත් මෙහි දී නිදහස යන්න ස්වෛරීත්වය සහ ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදයට එහි ඇති සම්බන්ධය තහවුරු කරන දේශපාලනික සාරයෙන් වියුක්ත කොට සැලකේ. ඒ වෙනුවට නවලිබරල්වාදය නිදහස යන්න ස්වාමිත්වකාමි පුද්ගලික අවශ්‍යතා ඉටු කර ගැනීමට ඇති අවකාශය යන්නට මුළුමනින් ම සමාන වූ සංකල්පයක් ලෙස ප්‍රවර්ධනය කරයි. එයට අනුකූලව නිර්නියාමනය, තරඟකාරිත්වය, වටිනාකම වැඩි කර ගැනීමට ඇති හැකියාව නවලිබරල්වාදී නිදහසේ මූලික අංග විය යුතු ය. මේ කියන නිදහසේ දේශපාලන වටිනාකම ප්‍රතිෂේධාත්මක ය; ඒ නිසා නවලිබරල්වාදී නිදහස සාර්ථක වන්නේ දේශපාලනයේ විශේෂයෙන් ම ආණ්ඩුවක බලපෑම නැති වන තරමට ය. නිදහස යන්නේ අර්ථය මෙසේ නවලිබරල්වාදය විසින් වෙනස් කරනු ලබන විට වම යනු හුදෙක් නිර්බාධක වෙළඳපොළ ක්‍රියාකාරිත්වයට පමණක් නො ව නිදහසට විරුද්ධ බලවේගයක් යැයි ද හංවඩු ගැසෙයි.

නවලිබරල්වාදය බිහි වූයේ ජර්මනියේ ෆැසිස්ට්වාදය සහ සෝවියට් ඒකාධිකාරීවාදයේ බලපෑම අත්දැක තිබූ තත්වය යටතේ ය. ඒ ක්‍රම දෙක අතර වෙනස්කම් තිබුණත් මූලික වසයෙන් ඒ දෙක ම සැලසුම්ගත ව රාජ්‍ය පාලනයට නතු වූ දේශපාලන-ආර්ථික ක්‍රම විය. සෝවියට් ආර්ථික ක්‍රමය රජයේ මධ්‍යගත සැලසුමට අනුව ක්‍රියා කල යුතු වූ අතර ෆැසිස්ට්වාදි ජර්මනියේ පැවති ක්‍රමයට අනුව වෙළඳපළ මෙහෙයවීම ජර්මන් රජයේ කාර්යභාරය විය. 1947 දී මොන්ට් පෙලරින් සමාජය (Mont Pelerin Society) නමැති චින්තන පර්ෂදය බිහි වූයේ ආර්ථිකය සම්බන්ධයෙන් රජයේ මේ මැදිහත් වීම පිටු දැකීම අත්‍යවශ්‍ය බව ඒත්තු ගැන්වීම සඳහා ය. එකී චින්තන පර්ෂදයේ මතය අනුව කේනීසියානු සුභසාධන රාජ්‍ය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ පොදු අයිතිය වැනි සියල්ල වහල්භාවයට මාවත වෙයි. මොන්ට් පෙලරින් සමාජයේ පුරෝගාමී ආර්ථික විද්‍යාඥයෙක් වූ  ෆ්‍රීඩ්රික් වොන් හයෙක් “Road to Surface” නම් සිය සුපතළ කෘතියට පාදක කරගත් මූලික තර්කය වූයේ එයයි. පසු ව එය නව ලිබරල්වාදයේ දේශපාලනික අනුග්‍රාහිකාව වූ බ්‍රිතාන්‍ය අගමැතිනී මාග්‍රට් තැචර්ගේ ප්‍රියතම කෘතිය විය. ෆ්‍රීඩ්රික් වොන් හයෙක් සහ චිකාගෝ ගුරුකුල නායකයා ලෙස විරුදාවලි ලත් මිල්ටන් ෆ්‍රීඩ්මන්ඩ් නව ලිබරල් වාදය උත්කර්ෂණයට නැංවූ ආර්ථික විද්‍යා ප්‍රාමාණිකයන් වසයෙන් සැලකෙයි.

සම්භාව්‍ය ලිබරල්වාදයට වඩා නවලිබරල්වාදය දේශපාලනික වසයෙන් හාත්පසින් ම වෙනස් ය. සම්භාව්‍ය ලිබරල්වාදයට අනුව ජාතික රාජ්‍ය යන්නෙන් අදහස් වන්නේ සමාන අයිතීන් භුක්ති විඳිය යුතු සංයුක්ත පුරවැසි සමාජයකි. එහෙත් නවලිබරල්වාදීන්ට අනුව ජාතික රාජ්‍ය යනු තනි තනි පුද්ගලයන්ගේ හුදු එකතුවකි. නවලිබරල්වාදයට වෙනස් ව සම්භාව්‍ය ලිබරල්වාදයට අනුව දේශපාලනික නිදහස අවශ්‍ය වන්නේ තනි තනි පුද්ගලයන් වසයෙන් කටයුතු කිරීමට පමණක් නො ව  ප්‍රජාවක් හෝ සමාජයක් වසයෙන් කටයුතු කිරීම සඳහා ය.

එහෙත් ‘සමාජය කියා දෙයක් නැත, ඇත්තේ තනි පුරුෂයින් ස්ත්‍රීන් සහ ඔවුන්ගේ පවුල් පමණි’[2] යනුවෙන් බ්‍රිතාන්‍ය අගමැතිනී මාග්‍රට් තැචර් පැවසුවේ නවලිබරල්වාදී ආභාසය නිසා ය. තැචර් ඇදහූ නවලිබරල්වාදී දේශපාලනයේ මුල් ගුරුවරයා වූ ෆෙඩ්රික් හයෙක්ට සමාජය යන්න අරහං විය. ඊට හේතු වුණේ එය අනිවාර්යයෙන් ම සාධාරණය සහ සුපිළිවෙළ යන දෙක ම රාජ්‍ය සැලසුම් කිරීම් මඟින් අත්පත් කර දීමට තැත් කරන සංකල්පයක් බවට ඔහු තුළ තිබූ විශ්වාසයයි. සුවිශේෂිත අරමුණකින් තොර ව වෙළඳපොළ සහ සාම්ප්‍රදායික සදාචාරය යන දෙකේ එකතුව නිසා ඉබේ ඇතිවෙන ගතික සුපිළිවෙළ(dynamic order) රාජ්‍ය මැදිහත් වීම නිසා අවහිර වෙන බව හයෙක් කියා සිටියේ ය.  සර්වව්‍යාපී නීතිරීති මත තහවුරු වෙතැ’යි සැලකෙන සාධාරණත්වයක්  ‘සමාජ සාධාරණත්වය’ යනුවෙන් ජනයා වෙත ආදේශ කිරීම වැරදි වැටහීමක් බව ද ඔහුගේ අදහස විය. ඇත්ත වසයෙන් ම සමාජ සාධාරණය තැත් කරන්නේ සාම්ප්‍රදායික සදාචාරය විස්ථාපනය කොට ඒ වෙනුවට කිසියම් එක් කණ්ඩායමක් විසින් හොඳ යැ’යි සලකන දෙයක් ආදේශ කිරීම බව ද ඔහු පැවසී ය.

ඒ ගැන  වෙන්ඩි බ්‍රවුන් මෙසේ ලියයි. “සමාජීය යන අදහස ඉතා භයානක, තේරුමක් නැති, හිස්, විනාශකාරී වංක ‘ශබ්දාර්ථ ප්‍රෝඩාවක්’ (semantic fraud) බව හයෙක්ගේ අදහස  විය. සමාජීය යන්න සාමූහික පැවැත්ම ආණ්ඩුමට්ටු කිරීම පිණිස දරන තුච්ඡ උත්සාහයේත් ප්‍රජාපීඩනයේත් සංකේතයක් බව ද ඔහු සැලකීය. ‘සමාජය’ යන්න ද එය මඟින් ඉස්මතු කරන බලාපොරොත්තු කඩ වූ විට පැමිණිලි කිරීමට අප විසින් නිම වූ ‘නව දෙවියෙකු’  සඳහා ‘අටවා ගන්නා ලද යෙදුමකි’ යනුවෙන් හයෙක් තව දුරටත් පැවසීය.  පොදු අරමුණක් ඉටු කර ගැනීමට සාමූහික ව කටයුතු කරන ලදැයි යන වැරදි උපකල්පනය මත ක්‍රියාත්මක වෙන්නට ඇතැ’යි සිතන පුරාණ ලෝකයේ තිබූ කුඩා හා කුලුපග පයිරුපාසානයක් ගැන කාංසාවක් සමාජය යන යෙදුමෙන් පිළිබිඹු කරන බව ද ඔහුගේ අදහස විය. එහෙත් ඔහුට අනුව ‘නරක ම තත්වය නම් එය රාජ්‍ය සතු බලහත්කාර බලය සඟවා ගැනීමට යොදන යෙදුමක් වීමයි”. හයෙක්ට අනුව සමාජ සාධාරණය යන්න ද මිරිඟුවකි. එයට ආකර්ෂණය වීම නිදහස් ශිෂ්ටාචාරයක ඇති  අනෙකුත් සියලු වටිනාකම්වලට බරපතළ අනතුරක්  කැඳවීමකි.”[3]

සමාජ සාධාරණත්වයට අතිරේක ව නවලිබරල්වාදීන් නො කැමැත්ත පළ කළ අනෙක් සංකල්පය වූයේ ‘දේශපාලනය’ බව වෙන්ඩි බ්‍රවුන් පෙන්වා දෙයි. හයෙක්ගේ අගසව්වෙකු වසයෙන් හැඳින්විය හැකි මිල්ටන් ෆ්‍රීඩ්මන්ඩ් පෙන්වා දුන් පරිදි නිදහසට එරෙහි වන ද්විත්ව බලය වන්නේ වෙළඳපොළ බලවේග විසින් පලවා හැරෙන දේශපාලන බලය යළි සංකේන්ද්‍රණය වීමට ඇති ඉඩකඩ සහ වෙළඳපොළ මත නිදහස් ලෙස කෙරෙන තේරීම් වෙනුවට නීති හෝ විධාන මඟින් බලහත්කාරය පැටවීමට දේශපාලන බලය පෙලඹීම යි. දේශපාලන බලය මත සුරැකෙන  කොන්ත්‍රාත්තු ගිවිසුම් නීති ආදී ක්‍රියා වෙළඳපොළ පවත්වා ගෙන යෑමට අවශ්‍ය ස්ථාවර භාවය සැලසුව ද පොදුවේ ගත් විට හැම දේශපාලන ක්‍රියාවක් සහ විධි විධානයක් ම ෆ්‍රීඩ්මන්ඩ්ට අනුව පුද්ගල නිදහසෙන් කෙරෙන අඩු කිරීමක් වන්නේ ය. ඒ අනුව බහුතරයකගේ මතය සුළුතරයක් මත පටවන බැවින් සෘජු ප්‍රජාතන්ත්‍රවාදයකින් වුවද සිදු වන්නේ පුද්ගල නිදහස අවම කිරීමකි. මිල්ටන් ෆ්‍රීඩ්මන්ඩ් එය පැහැදිලි කරන්නේ මෙසේය:

“වෙළඳපොළ ක්‍රියාවලියට පදනම් වන දේශපාලනික මූලධර්මය ඒකමතික එකඟත්වයයි. පුද්ගලික දේපළ මත රඳා පවතින නියම නිදහස් වෙළඳපොළක කිසිදු පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකු බලහත්කාරයෙන් නතු කර ගත නො හැකි අතර සියලු සහයෝගිතා ස්වේච්ඡාවෙන් ම සිදු වෙයි. එකී සහයෝගිතාව යනු සහභාගි වන සියල්ලන්ට ම ඵල ප්‍රයෝජන සලසන සහයෝගිතාවකි. නො එසේ නම් සහභාගි වීම අවශ්‍ය නො කෙරේ. පුද්ගලයන් සතු වගකීම් සහ හවුල් වටිනාකම් හැරෙන්නට වෙන යම් අර්ථයකින් ගත හැකි සමාජ වගකීම් හා වටිනාකම් කියා දෙයක් එහි නොමැත.”[4]

හයෙක්ට අනුව දේශපාලනය, විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය යනු බලය සංකේන්ද්‍රණය කරන්නා වූ ද, පුද්ගල ක්‍රියා යටපත් කරන්නා වූ ද, නිරායාසයෙන් ම ඇතිවෙන වෙළඳපොළ සුපිළිවෙලට (order) බාධා කරන්නා වූ ද, ස්වාභාවික දිරි ගැන්වීම් හා බෙදා හැරීම් විකෘති කරන්නා වූ ද ඒ නිසා ම වෙළඳපොළ සෞඛ්‍යයට තර්ජනයක් වන්නා වූ ද දෙයකි. Law, Legislation and Liberty නම් කෘතියේ වෝල්ටර් ලිප්මන් උපුටා දක්වමින් හයෙක් මෙසේ සඳහන් කරයි. “නිදහස් සමාජයක රජය මිනිසුන්ගේ කටයුතු පරිපාලනය නො කරති. රජය කරන්නේ තම තමන්ගේ කටයුතු තම තමන් විසින් ම ඉටු කර ගන්නා මිනිසුන් අතර යුක්තිය පසිඳා ලීම යි.”

ඉහත කී අන්දමින් රාජ්‍ය විචාරය සහ ආර්ථිකය වෙත යොමු වෙමින් විස්තර කිරීමට තැත් කළ ද නියම නවලිබරල්වාදී නිදහස යනු ආර්ථිකය ද ඉක්මවා පුද්ගලීකරණය සහ නිර්නියාමනය පුළුල් සදාචාරීය දෘෂ්ටියක් බවට පත් කරන ප්‍රයත්නයක් බව වෙන්ඩි බ්‍රවුන් පවසයි.

නිදහස යන්නෙන් නවලිබරල්වාදීන් අදහස් කරන්නේ කුමක් ද යන්න ගැන අඩු වැඩි වසයෙන් එකිනෙකට වෙනස් වූ මත තිබිය හැකි වුව ද  පොදුවේ ගත් විට හයෙක් අදහස් කරන ලිබරල්වාදී නිදහස කුමක් ද යන්න සාමාන්‍යකරණයකට ලක් කිරීම අපහසු නො වේ. ෆ්‍රීඩ්රික් හයෙක් සිය කෘතියෙන් අවධාරණය කරන පරිදි නිදහස යනු අන් කිසිවක් නො ව තවත් කෙනෙකුගේ අත්තනෝමතික විධාන මත ක්‍රියා කිරීමට සිදු නො වීම යි. ඒ නිසා තර්ජන ගර්ජන මෙන් ම රෙගුලාසි, නියාමන නීති රීති, විධාන ආඥා ආදී සියල්ල ද නිදහස සීමා කරන දේවල් ය. ඒ හැර වෙනත් කිසිදු ආකාරයක අර්ථයකින් නිදහස තේරුම් කිරීමට හයෙක් එකඟ නො වේ. ඔහු විශේෂයෙන් ම විරුද්ධ වන්නේ නිදහස සහ මහජන පරමාධිපත්‍ය එක හා සමාන කිරීමට යි. මහජන පරමාධිපත්‍ය යන භාවිතය සමඟ සම්පත් බෙදා හැරීම රජයේ පාලනයට නතු විය යුතු දෙයකි යන්න ගම්‍ය වන බැවින් නිදහස මහජන පරමාධිපත්‍යය හා සම කිරීම හෝ එහි ලක්ෂණයක් ලෙස සැලකීම මුළුමනින් ම වැරදි දෙයක් ලෙස හයෙක් සලකන බව වෙන්ඩි බ්‍රවුන් පෙන්වා දෙයි. ඊට අනුව නිදහස යන්න කිසියම් කාරකත්වයක් (agency), හැකියාවක් හෝ පරමාධිපත්‍යයක් ලෙස පිළිගැනීම මඟින් සිදු වන්නේ නියම නිදහස සහ එනිසා නිරායාසයෙන් බිහි වන සුපිළිවෙළ(order) අහෝසි කිරීම යි. කොටින් කිව්වොත් නිදහස් වෙළඳපොළ යන අර්ථයෙන් හැරෙන්නට අනෙක් ඕනෑ ම අර්ථයකින් නිදහස භාවිත කිරීමෙන් හයෙක්ට අනුව සිදු විය හැක්කේ අනිවාර්යයෙන් ම එම භාවිතය නිදහසේ විරුද්ධාර්ථය බවට පත් වීම යි. ඒ නිසා සියලු සමානාත්මතාවාදී ව්‍යාපාර ද නියම නිදහස පිළිබඳ නවලිබරල්වාදීන්ගේ මතයට ප්‍රතිවිරුද්ධ ව්‍යාපෘති වසයෙන් සැලකිය යුතු ය.

හයෙක්ගේ මතයට අනුව වෙළඳපොළ නිදහස උත්කෘෂ්ට ය. සමාජය කාර්යක්ෂම වන්නේ වෙළඳපොළක් මෙන් සංවිධානය වුවහොත් පමණි. ඒ නිසා පුද්ගල, දේශපාලනමය, ප්‍රජාමය ආදී ඕනෑම ආකාරයක නිදහසකට වෙළඳපොළක් වැනි ආකෘතියක් පවති. නිදහස විසින් වගකීම ද, වගකීම විසින් විනය ද විනය විසින් නවොත්පාදන ද බිහි කරනු ලබයි. විනය මඟින් කාර්යක්ෂමතාව සහ සුපිළිවෙළ ද ජනිත වෙයි.

ඉතින් හයෙක් කියන මේ නිදහස සියලු ක්ෂේත්‍රවලට ආදේශ කරන්නේ කෙසේ ද? වෙනත් අන්දමකින් කිව හොත් දේශපාලනයේ බලය සහ වපසරිය සීමා කිරීම මඟින් හයෙක් පවසන නිදහස තහවුරු කරන්නේ කෙසේ ද?  ඒ සඳහා ඔහුට ඇති ප්‍රකට විසඳුම වන්නේ පොදු දේවල් පෞද්ගලීකරණය කිරීමයි. ඒ මඟින් හයෙක්ගේ අරමුණ වන්නේ දේශපාලන වපසරියේ බලපෑම අවම කොට “පුද්ගල ආරක්ෂිත අවකාශය” (the personal, protected sphere) සුරක්ෂිත කොට ‘සමාජය’ යන්නට ඇති පොදු පිළිගැනීම බිඳ දැමීම යි. මේ නිසා හයෙක් නිර්වචනය කරන පරිදි නිදහස යනු රජයේ අයිතියෙන් හා නියාමනයෙන් මුක්ත වීම මත පවතින දෙයක් ලෙස පිළිගත යුතු වේ. හයෙක්ගෙන් ලැබූ බුද්ධිමය ආභාසය අනුව පොදු දේවල් පෞද්ගලීකරණය කිරීම මාග්‍රට් තැචර් හා රොනල්ඩ් රේගන් 1980 සහ 1990 ගණන්වල දී සිය නායකත්වයේ මූලික ක්‍රමෝපායක් ලෙස යොදා ගත්තේ එමඟින් ‘සමාජය’ යන්නට ඇති පිළිගැනීම බිඳ දැමීමට ඇති අධිෂ්ඨානයත් සමඟ ය. “සමාජය කියා දෙයක් නැත, ඇත්තේ තනි පුරුෂයින් ස්ත්‍රීන් සහ ඔවුන්ගේ පවුල් පමණි” යනුවෙන් මාග්‍රට් තැචර් ප්‍රකාශ කළේ එබැවිනි.

ඒ අනුව නවලිබරල්වාදී නිදහස පිළිබඳ ව්‍යාපෘතිය මඟින් සිදු කරන්නේ උපරිම ක්‍රියාකාරකම් ප්‍රමාණයක් පුද්ගලික (private) ගණයේ ලා සැලකීම යි. එපමණක් නො ව එම ක්‍රියා සියල්ල සුදුසු පරිදි නිර්නියාමනය(deregulation) විය යුතු අතර ප්‍රජාතන්ත්‍රවාදී සමානාත්මතා බලපෑම්වලින් මුක්ත විය යුතු ය. ඒ අනුව හයෙක් පවසන අන්දමට අප බලහත්කාර බලයෙන් මුදා හරින ප්‍රථම කොන්දේසිය වන්නේ පුද්ගලික අවකාශය නිර්ණය කරන “දේපළවල පුද්ගලික අයිතිය” පිළිගැනීම යි. පුද්ගලික අවකාශය ලෙස හැඳින්වෙන මෙම අවකාශය හුදු භෞතික අවකාශයක් පමණක් නො වේ. ඒ අවකාශය පුද්ගල ක්‍රියා සුරක්ෂිත කරන දේශපාලන අවකාශයක් ලෙස ද තහවුරු කළ යුතු ය.

රජයේ බලපෑම ද ඉන් බාහිර සමාජ බලපෑම් ද ඇතුළු ව බලහත්කාර බලපෑමට එරෙහි ව පුද්ගල නිදහස තහවුරු කර ගැනීම පිළිබඳ මේ වියුක්ත මූලධර්මය එක්සත් ජනපදයේ නව ලිබරල් තර්කනයේ මූලික අංගයක් බව වෙන්ඩි බ්‍රවුන් පෙන්වා දෙයි. එම තර්කනයේ දී වරණ නිදහස හෙවත් තෝරා ගැනීමට ඇති නිදහස (freedom of choice) යන්න මූලික වසයෙන් ම යෙදෙන්නේ සමානාත්මතාව (equality), උත්ප්‍රේක්ෂාව(tolerance) සහ අන්තර්ග්‍රහණය(inclusion) වැනි ප්‍රජාතන්ත්‍රවාදි සංකල්පවලට එරෙහිව ය.

අනෙක් අතට පොදු යහපත මුල් කර ගෙන පිහිටුවා ඇති සහ අභියාචනා ක්‍රමයක රැකවරණය සහ ප්‍රජාතන්ත්‍රීය වග වීමක් ඇති අධිකරණ ක්‍රමයකට අභිමුඛ වීම වෙනුවට වෙළඳපොළ සම්බන්ධ බොහෝ තීන්දු තීරණ නවලිබරල්වාදී චින්තනයෙන් අනුදත් ආකාරයට අනිවාර්ය බේරුම්කාර ක්‍රමවලට යොමු කිරීම ද වැඩි වෙමින් පවතී.

පුද්ගලීකරණය පිළිබඳ මේ භාවිතය මඟින් සමානාත්මතාව මෙන් ම අඩු සැලකිලි දැක්වීමට එරෙහි වීම ද අභියෝගයට ලක් කරනවාට වඩා වැඩි දෙයක් ද සිදු කරයි. ඒ හයෙක්ගේ “පුද්ගලික සුරක්ෂිත අවකාශය” යන්නට පවුල් වටිනාකම්, චාරිත්‍ර වාරිත්‍ර සහ සදාචාරාත්මක විශ්වාස ද ඇතුළත් වන බැවිනි. ඒ අනුව නවලිබරල්වාදය විසින් පොදු තන්ත්‍රය යන්න ආර්ථිකකරණයට පමණක් නො ව කුටුම්බකරණයට ද ලක් කරනු ලබයි. එනිසා සමස්තයක් වසයෙන් ගත් විට සමානාත්මතාව, ලෞකිකවාදය (secularism), බහුත්වවාදය(pluralism) සහ අන්තර්ග්‍රහණය (inclusion) වැනි නූතන ප්‍රජාතන්ත්‍රවාදී හර වෙනුවට නවලිබරල්වාදී චින්තනය සමාජ වටිනාකම් ලෙස ආදේශ කරන්නේ හයෙක් සිය කුටුම්බකරණය තුළින් දකින “සාම්ප්‍රදායික සදාචාරීය වටිනාකම්”ය. මේ අනුව අධ්‍යාපනයට පොදු අරමුදල් ආයෝජනය කිරීම වෙනුවට තනි තනි පවුල්වලට නිකුත් කෙරෙන මුදල් වවුචර මඟින් එම පවුල්වල වටිනාකම්වලට අනුකූලව තීරණය කරන අභිමත අධ්‍යාපනයක් ලබා දීමට පවුල්වලට ම ඉඩ සැලසිය යුතු බව අදහස් කෙරේ[5]. එමඟින් අධ්‍යාපනයේ සමානතාව පිළිබඳ සංකල්පය සහමුලින් ම බැහැර කෙරේ. මේ කියන පවුල් වටිනාකම් චාරිත්‍ර වාරිත්‍ර සහ විශ්වාසවලට සම්බන්ධ ඒවා මිස අවංකකම, ගුණගරුක භාවය ආදී සාරධර්ම වසයෙන් තේරුම් ගැනීමට අවශ්‍ය කරන ඒවා නො වේ. එකල නිව්යෝක් දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ කැපී පෙනුණු ව්‍යාපාරිකයෙකු වූ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 1987 දී පළ කල The Art of the Deal නම් කෘතියේ “ව්‍යාපාරික කටයුතුවල දී අවංකභාවය යනු හොඳ ම ගුණාංගය නො වේ”යැ’යි සඳහන් කරන්නේ එබැවිනි.

ඒ හා සමාන සාම්ප්‍රදායික සදාචාරීය වටිනාකම් ආදේශ කිරීම සම්බන්ධයෙන් තවත් උදාහරණයක් වන්නේ සිය සේවකයන් රක්ෂණය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ෆෙඩරල් සමානාත්මතා ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමට “සාම්ප්‍රදායික සදාචාරීය වටිනාකම්” නමැති වහන්තරාව යොදා ගැනීමයි. ඒ සම්බන්ධ ප්‍රකට නිදසුන වන්නේ ගබ්සා කිරීම ආවරණය වලංගු වන රක්ෂණ ගිවිසුම්වලට තම දායකත්වය දීම ආගමික විශ්වාසය අනුව ප්‍රතික්ෂේප කිරීමට සමාගම්වලට අයිතිය දීමට ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම යි. මේ අනුව “තෝරා ගැනීමට ඇති නිදහස”(freedom of choice) යන්න කොන්සර්වේටිව්වාදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් විසින් රාජ්‍ය නියාමනයෙන් සමාගම් මුක්ත කිරීමටත්, සමාගම්වලට දේශපාලන ජීවිතයේ ඇතැම් අංශ සම්බන්ධයෙන් මැදිහත් වීමටත් ඉඩ දෙන තීන්දුවලට පාදක කර ගෙන ඇති බව වෙන්ඩි බ්‍රවුන් පෙන්වා දෙයි. මේ නිසා කලින් පුද්ගලිකව පුද්ගලයන්ට පමණක් ආදේශ වූ ආගමික නිදහස වැනි සිවිල් අයිතීන් නවලිබරල්වාදී ආකල්පවලට අනුව සමාගම්වලට ද ඇතැ’යි යන්න ඇතැම් තීන්දුවලින් පෙන්නුම් කරයි.

කෙටියෙන් පැවසුවොත් පොදු යහපත, බහුත්වවාදී බව සහ ලෞකික ගුණාංගවලින් සමන්විත ජාතික රාජ්‍යයක් පිළිබඳ ප්‍රතිරූපය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී වපසරිය අඩු කොට හයෙක්ගේ “සුරක්ෂිත පුද්ගලික අවකාශය” සමඟ පුද්ගලීකරණය, සමජාතීය බව (homogeneity) සහ කුටුම්බීය වටිනාකම් මුල්කරගත් ජාතික රාජ්‍යයක් නිදහසේ නාමයෙන් ප්‍රතිරූපගත කිරීම නව ලිබරල්වාදයේ දෘෂ්ටිමය අභිලාෂය යි.

සම්භාව්‍ය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික රාජ්‍ය පිළිබඳ කලින් පැවති ප්‍රතිරූපය මඟින් පාරදෘශ්‍ය භාවය, නීතියේ ආධිපත්‍ය, සංස්කෘතික හා ආගමික බහුවිධත්වය නිරූපණය කළ නමුත් නවලිබරල්වාදී ප්‍රතිරූපය නිරූපණය කරන්නේ සම්ප්‍රදාය ගරු කරන, සමජාතීය (homogeneous), බහිෂ්කරණීය (exclusionary) සහ සංක්‍රමණික විරෝධී ජාතියකි. අනෙක් අතට නවලිබරල්වාදී ආර්ථිකයේ එන පුද්ගලීකරණය ප්‍රජාතන්ත්‍රවාදය කඩාකප්පල් කර දමන්නකි. සම්භාව්‍ය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සංයුක්ත කොට තබන හුය වන්නේ පොදු යහපත සහ එයට ආනුෂංගික පොදු අයිතිය බැවින් සෑම ක්ෂේත්‍රයක ම පුද්ගල අයිතිය සහ පුද්ගලික යහපත ප්‍රවර්ධනය කරන නවලිබරල්වාදයට සම්භාව්‍ය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ පොදු යහපත පිළිබඳ පදනම සුරැකිය නො හැකි ය. ඒ වෙනුවට නවලිබරල්වාදී පුද්ගලීකරණයෙන් උත්කර්ෂණයට නංවන්නේ පොදු දේපළවල පුද්ගලික අයිතිය, අසමානතාව හා ප්‍රාග්ධන ඒකරාශි වීම මත බිහි වන අසීමිත ව ධනකුවේර භාවය ප්‍රවර්ධනය කරන නිර්ප්‍රජාතන්ත්‍රවාදයකි.

ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රාග්ධන වටිනාකම්වලටත් වඩා ඇතැම් විට ප්‍රජාතන්ත්‍රවාදය කඩාකප්පල් කිරීමට උපයෝගී වන්නේ ලිබරල්වාදී පුද්ගලීකරණයේ දේශපාලනික ආස්ථානය වසයෙන් සැලකිය හැකි නිර්ප්‍රජාතන්ත්‍රවාදී සදාචාරීය හා කුටුම්බීය වටිනාකම් ය. ඒ අනුව ආර්ථික ක්ෂේත්‍රයට අතිරේක ව “පුද්ගල ආරක්ෂිත අවකාශයේ” නාමයෙන් අපේකම, සදාචාරීය විශ්වාස, කුටුම්බීය වටිනාකම් ප්‍රමුඛ කර ගැනීම මඟින් පුළුල් පොදු යහපත පදනම් කරගත් සම්භාව්‍ය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අවතක්සේරු කිරීමට නවලිබරල්වාදය දායක වෙයි.

නවලිබරල්වාදී දේශපාලන සන්දර්භය අධ්‍යයනය කිරීමේ දී සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සාමාන්‍ය භාෂා ව්‍යවහාරයෙන් අප මුලාවට පත් නො විය යුතු ය. මන්ද සමානාත්මතාව, සිවිල් ක්‍රියාකාරිත්වය, අන්තර්ග්‍රහණය සහ සමාජ සාධාරණත්වයට එරෙහි ව නූතන විකල්ප-දක්ෂිණාංශය භාවිත කරන දෙපැත්ත කැපෙන ආයුධයක් වසයෙන් සැලකිය හැක්කේ පුද්ගල අයිතියක් වසයෙන් සැලකෙන භාෂණයේ නිදහස වන බැවිනි. මෙය මෙහෙයවෙන්නේ වෙළඳපොළ වටිනාකම් උත්කර්ෂණයට නැංවීම මගිනි. උදාහරණයක් වසයෙන් ඇතැම් පුද්ගලික විද්‍යුත් නාලිකා හුදෙක් දක්ෂිණාංශික මතවාද ප්‍රචාරය කිරීමට මුල් තැන දෙන්නේ විද්යුත් මාධ්‍යයේ පුද්ගලික අයිතිය භාෂණයේ පුද්ගල නිදහස හා සම කිරීමෙනි. ඇමෙරිකා එක්සත් ජනපදයේ බොහෝ පුද්ගලික කථන ගුවන් විදුලි නාලිකා (talk radio) මේ ඒක පාක්ෂික භාෂණයට නිදසුන් ය.

එය එසේ වුව ද මීට අවුරුදු හතළිහකට පෙර එනම් නව ලිබරල්වාදයේ බලපෑම ඇමෙරිකානු අධිකරණ ක්ෂේත්‍රයට තවමත් කාන්දු නො වී තිබූ 1969 දී රෙඩ් ලයන් ගුවන් විදුලි සමාගම එදිරි ව ෆෙඩරල් සංනිවේදන කොමිසම නඩුවේ දී  පිළිබිඹු විය.  රෙඩ් ලයන් ගුවන් විදුලි වැඩ සටහනක් මඟින් විවේචනයට භාජනය වූ පාර්ශවයක් එම විවේචනයට පාදක වූ කරුණු අභියෝග කරමින් තමන්ට ද අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් දෙන ලෙස කළ ඉල්ලීමක් රෙඩ් ලයන් ගුවන් විදුලි ආයතනය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි. අගතියට පත් පාර්ශවය එයට එරෙහි ව කළ පැමිණිල්ලක් විභාග කළ ෆෙඩරල් සංනිවේදන කොමිසම එම ඉල්ලීමට ඉඩ දෙන ලෙස රෙඩ් ලයන් ගුවන් විදුලි ආයතනයට නියෝග කළේ ය. එම නියෝගය නිසා සිය අභිමතයට අනුව තම භාෂණයේ අයිතිය භාවිත කිරීම උල්ලංඝනය වන්නේ ය යන පදනම මත ෆෙඩරල් සංනිවේදන කොමිසමේ නියෝගය අවලංගු කරන ලෙස රෙඩ් ලයන් ගුවන් විදුලි ආයතනය ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.  එහෙත්  තමන්ට අභිමත මතය පමණක් තෝරා ප්‍රචාරය කිරීමට පොදු දේපළක් වන ගුවන් විදුලි තරංග භාවිත කරන ගුවන් විදුලි ආයතනයට ඉඩ දිය නො හැකි බවත් අභිමත අදහසක් ප්‍රකාශ කිරීමට ගුවන් විදුලියට ඇති අයිතියට  වඩා වැදගත් වන්නේ එම ගුවන් විදුලිය අසන අයට අදාළ කරුණ පිළිබඳ ව සියලු  පැති දැන ගැනීමට ඇති අයිතිය බව අවධාරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය රෙඩ් ලයන් ගුවන් විදුලියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය. කෙසේ වෙතත් ගුවන් විදුලි තරංග පොදු දේපළකි යන මතය මත විද්‍යුත් මාධ්‍ය වැඩසටහන්වල සාධාරණත්වය පිළිබඳ මූලධර්මය ක්‍රියාත්මක වීම (fairness doctrine) සන්නිරීක්ෂණය කිරීමට එතෙක් ෆෙඩරල් සංනිවේදන කොමිසමට තිබූ නියාමන බලය නවලිබරල්වාදී රේගන් පාලනය යටතේ අහෝසි කිරීමෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය, විශේෂයෙන් බොහෝ කථන ගුවන් විදුලි නාලිකා ඒක පාක්ෂික දක්ෂිණාංශික කථකයන්ගේ ආධිපත්‍යට යටත් විය. [6]

මේ අනුව කොන්සර්වෙටිව් පවුල් වටිනාකම්වලට එරෙහි යැ’යි  සැලකෙන අදහස් දරුණු ලෙස අවමානයට ලක් කරන පුද්ගලික ගැරහීම්, අවලාද හා තර්ජන කිරීම් භාෂණයේ නිදහස නාමයෙන් ඒක පාක්ෂික ව යොදා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයේ දක්ෂිණාංශික ගුවන් විදුලි මාධ්‍ය කරුවන්ට ඉඩ ලැබී තිබේ. එය කිසිවකුට කිසිදු තත්වයක් යටතේ තවත් කෙනෙකුට සීමා පැනවිය නො හැකි ය යන නවලිබරල්වාදී චින්තනය හා ගැළපේ.

මින් අදහස් වන්නේ පවුල් වටිනාකම් වෙනුවෙන් ජාතිවාදී ප්‍රකාශ හා අන් අය ගැරහීම හයෙක් අනුමත කළ බවක් නො වේ. ඉන් කියවෙන්නේ නවලිබරල්වාදී ආඛ්‍යානය මඟින් සාධාරණීකරණය කිරීමට තැත් කරන පුද්ගල නිදහස නියාමනය කිරීම රජයේ බලහත්කාර බලයක් භාවිත කිරීමක් ලෙස සලකන නවලිබරල්වාදී මතවාදයේ ආශිර්වාදයට එය මුවා වෙන බවයි. පුද්ගලයා හා සමාගම යන දෙපාර්ශ්වයම  එකම ලෙස පුද්ගල අයිතීන් ආදේශ කිරීම මඟින් සමාගම් විසින් නියම කෙරෙන දක්ෂිණාංශික සදාචාරීය වටිනාකම්වලට එහි සේවකයන් යටත් කර තැබීම නවලිබරල්වාදයට අනුව නිවැරදිය.

අප මෙතෙක් සලකා බැලූ ආකාරයට පුද්ගලීකරණයේ ආර්ථික හා දේශපාලනීය පැතිකඩ දෙක ම ජාතික රාජ්‍යයට ආදේශ කළ විට එය තවදුරටත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මත පිහිටු විය නො හැකි ය. ආර්ථික වසයෙන් හොඳ ඩීල් එකක් දැමීමට හැකි හෙවත් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට හැකි තරඟකාරී ව්‍යාපාර හිතෛෂී භූගෝලීය ඒකකයක් ලෙස එක් අතකින් ද අනෙක් අතට සුළු ජාතිකයන් ද ඇතුළු අහිතකර පිටස්තරයන් විසින් සාම්ප්‍රදායික පවුල් වටිනාකම් අභියෝගයට ලක් කිරීමට එරෙහි වන කුටුම්බවල එකතුවක් යන දෙලක්ෂණයෙන් ම සමන්විත දෙයක් ලෙස ද නවලිබරල්වාදී ජාතිය සැලකේ. නූතන දක්ෂිණාංශික දේශපාලනය දෝලනය වන්නේ මේ දෙඅන්තය අතර ය. දක්ෂිණාංශික මාරි ලපෙන්ගේ “ප්‍රංශය ප්‍රංශ ජාතිකයන්ට පමණයි” සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ‘ඇමෙරිකාව යළි ශ්‍රේෂඨත්වයට නංවමු’වැනි සටන් පාඨවලින් ගම්‍ය වන්නේ එයයි. ලංකාවේ සිංහල බෞද්ධකම සහ ඉන්දියාවේ හින්දුත්වවාදය දේශපාලනයේ පෙරමුණට එන්නේ ද ඒ ද්වි ලක්ෂණ සහිත නවලිබරල්වාදී චින්තනය තුළ ය.

ජාතිකවාදයේ නැගිටීම යනු හුදෙක් ම නවලිබරල්වාදය නිසා පමණක් ඇති වූ දෙයක් ලෙසට සැලකීමට වඩා එය නවලිබරල්වාදී විරුද්ධාභාෂයක් නිසා පෝෂණය වූවක් ලෙස සැලකිය හැකි ය. නවලිබරල්වාදී ආර්ථික එළඹුම විසින් ජනිත කර ඇති ආදායම් විෂමතා නිසා වැඩි දෙනෙකුට ජීවත් වීමට සරිලන ආදායමක් සහතික කර ගැනීමට නො හැකි වීම, විශ්‍රාම වැටුප් ක්‍රම අනිස්ථිර වීම සහ රැකියා සුරක්ෂිතභාවය ඇතුළු සමාජ රක්ෂණ ක්‍රම අහෝසි වී යෑමේ තර්ජනය නිසා ඇති වී තිබෙන අසහනය එක් අතකින් ද අනෙක් අතින් පොදු වියදම් කපා හැරීම, ධන හිමියන්ට වැඩි බදු සහන ලබා දීම පිණිස ආදායම් හිඟය පියවීමට ගත් පියවර සහ වෙළඳපොළ ගෝලීයකරණය හමුවේ දේශීය කර්මාන්ත අභියෝගයට ලක් වීම ආදිය ද නිසා ‘අනෙකා’පිට මං කරන ජාතිවාදයක් කරා නැඹුරු වීමට බහුතරය පෙළඹුනහ. ඇතිවෙන  ආර්ථික අසීරුකම්වලට අතිරේක ව ගෝලීයකරණය නිසා ජාතික රාජ්‍ය අභියෝගයට ලක් වන බව මේ ජාතිමාමකයන්ගේ නිරීක්ෂණය විය.  බොහෝ කොට බටහිර රටවල දී  මෙම තත්වය සාම්ප්‍රදායික සුදු ජාතික මමංකාරය බෙහෙවින් අභියෝගයට ලක් කරන්නක් විය. 

කර්මාන්තශාලා පිටින් ම ගලවා ගෙන ගොස් අඩු වැටුප් ගෙවන රටවල පිහිටුවීම, තමන් විසින් සැපයූ සේවා අඩු වියදම් මත ඉටු කළ හැකි රටවලට විතැන් කිරීම, පොදු සේවයක් වසයෙන් සැලකුණු නාගරික නිවාස ඉදිකිරීම අහෝසි කිරීම හෝ පෞද්ගලීකරණය කිරීම නිසා ඉහළ ගිය ගෙවල් කුලී, පෙර නොවූ විරූ අන්දමට අනෙකුත් රටවලින් පැමිණි සංක්‍රමණිකයන් නිසා ශ්‍රමයට පැවති මිල පහළ වැටීම ආදිය නිසා එතෙක් සිය පවුල සම්බන්ධ වගකීම් ඉටු කර දීමේ ලා සුදු ජාතික ගෘහමූලිකයාට සාම්ප්‍රදායික ව හිමි ව තිබූ භූමිකාව නවලිබරල්වාදී ආර්ථිකය තුළ අභියෝගයට ලක් වී තිබුණි. මේ තත්වය ආපසු හැරවිය නො හැකි නමුත් ආදායම් හා සමාජ විෂමතා අවම කිරීමේ වමේ ක්‍රියාකාරී භූමිකාව අතුරුදහන් වීම තුළ දේශපාලන වසයෙන් ඒකරාශී වීමට එම අසහනය දක්ෂිණාංශයට වාසිදායක ලෙස යොදා ගත හැකි වූවක් විය.

ඉහත කී ලක්ෂණ සම්භාව්‍ය ප්‍රජාතන්ත්‍රවාදය විකෘති කිරීමට දායක වූයේ කෙසේ දැ’යි මොහොතකට සලකා බලමු. නවලිබරල්වාදයට අනුව සෝෂල් හෙවත් ‘සමාජීය’ යන්නෙන් අදහස් වන්නේ වෙළඳපොළ සහ සාම්ප්‍රදායික සදාචාරය විසින් අනවරතයෙන් ගොඩ නගනු ලබන සුපිළිවෙළ වෙනුවට සමානාත්මතාවක් හඹා යන මිථ්‍යා ප්‍රබන්ධයක් ආදේශ කිරීමකි. නවලිබරල්වාදයට අනුව දේශපාලනය යනු බලහත්කාර බලය නීත්‍යනුකූල කිරීම යි. මේ නො පනත්කම් දෙකට ප්‍රතිකාරයක් වසයෙන් නවලිබරල්වාදී යෝජනාව වන්නේ නිර්දේශපාලනීකරණය වූ ද, නිර්නියාමණය කරන්නා වූ ද රජයක් මඟින් පෞද්ගලීකරණය සහ පුද්ගල අවකාශය පුළුල් කිරීම යි. කෙසේ වෙතත් මේ ප්‍රතිකාරයේ ප්‍රතිඵලය වන්නේ දේශපාලන සංස්කෘතිය නිර්ප්‍රජාතන්ත්‍රීය කිරීම මෙන් ම සමානාත්මතාවය, අන්තර්ග්‍රහණය(inclusion), සහ බහුත්වවාදය ගැරහීමට ලක් කිරීම යි. අනෙක් අතට සමානාත්මතාව ප්‍රමුඛ ඉහත කී ප්‍රතිමාන ප්‍රවර්ධනය කිරීමට තැත් කිරීම පුද්ගල නිදහස කඩාකප්පල් කිරීමට තුඩු දෙන දේශපාලන වරමක් විසින් සදාචාරය විස්ථාපනය කිරීමේ ඒකාධිකාරවාදයක් ගොඩ නැගීමට කරන වෑයමක් බව නවලිබරල්වාදය පවසයි.

ඒ අනුව නවලිබරල්වාදය විසින් වෙළඳපොළ සහ කුටුම්බ වටිනාකම් මත පදනම් වූ සාම්ප්‍රදායික සදාචාරය යොදා සමාජය හා ප්‍රජාතන්ත්‍රවාදය විස්ථාපනය කරනු ලබන අතර ජාතිය යන්න ප්‍රජාතාන්ත්‍රික රටවැසියන්ගෙන් සමන්විත වූවකට වඩා අර කී කුටුම්බ වටිනාකම් අනුව සිතන පතන රටවැසියන්ට අයත් දෙයක් ලෙස සැලකේ.  අවස්ථෝචිත ව අත්තනෝමතික බලය යොදා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ ම කොටසක් වසයෙන් සැලකිය යුතු බව හුවා දක්වන ෆ්‍රීඩ්රික්  හයෙක්ගේ මේ ස්ථාවරය  ඕනෑම ආකාරයක අධිපතිවාදියෙකුගේ අමන්දානන්දයට හේතු වනු ඇත.

“තර්ජනයට ලක් ව ඇති මූලික වටිනාකම වසයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සැලකීමේ මෝස්තරකාර ගොනු වීම අනතුරුදායක නො වන දෙයක් නො වේ. බලයේ පරම ප්‍රභවය බහුතරයේ කැමැත්ත නිසා එම බලයට අත්තනෝමතික නො විය හැකි බවට  ඇති වැරදි සහ පදනමක් නැති විශ්වාසයට එම ගොනු වීම හේතුවක් වී තිබේ…ප්‍රජාතන්ත්‍රවාදී විධික්‍රමයක් යටතේ පවරන ලද බලයකට අත්තනෝමතික විය නො හැකියැ’යි යන විශ්වාසය සාධාරණීකරණය කළ හැක්කක්ද නො වේ. නියමිත නීතිවලින් මෙහෙයවිය නො හැකි බලයක මැදිහත් වීම අවශ්‍ය කරන කාර්යයක් විසඳීමට ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වුවහොත් එසේ යොදා ගන්නා බලය අත්තනෝමතික බලයක් බවට පත් විය යුතු ය.”[7]

එහෙත් දේශපාලන බලයේ ලීවර ධන සමුච්චකයන් විසින් ඩැහැ ගනු ලැබීම වැළැක්වීමට නිරන්තරයෙන් අවදි ව සිටීම ප්‍රජාතන්ත්‍රවාදයේ වගකීමකි. සමාගමික, එකාබද්ධිත හෝ පෞද්ගලික යන ඕනෑ ම ආකාරයකින් සමුච්චිත ධනයට පැවතිය හැකි ය. වරක් දේශපාලන බලය ග්‍රහණය කරගත් පසු ස්වාර්ථකාමය වෙනුවෙන් ඕනෑ ම දෙයක් ඉටු කර ගැනීමට සමුච්චිත ධනය සූදානම් ය. එකී ස්වාර්ථකාමය සඳහා සාමාන්‍ය මිනිසුන්, දුප්පතුන් සහ ඓතිහාසික වසයෙන් අඩු සැලකිලිවලට ගොදුරු වූ  සමාජ කොටස් සිය දේශපාලන අභිලාෂ සාක්ෂාත් කර ගැනීමට දරන වෑයම කඩාකප්පල් කිරීමට පමණක් නො ව සිය වාසිය තකා ඔවුන්ගේ ඡන්ද බලය නො මඟ යැවීමට ද සමුච්චිත ධනය නො පැකිළේ. කොටින් ම ධනවාදී ජාතික රාජ්‍ය සන්දර්භයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මක් ප්‍රවර්තනය වීමට නම් සෞඛ්‍ය සේවයේ සිට අධ්‍යාපනය දක්වා ඉමහත් පරාසයක කාර්යක්ෂම සහ ගුණාත්මක මහජන සේවා සැපයීම, ආර්ථික ප්‍රතිව්‍යාප්තිය සහ ධන හිමියන්ගේ දූෂණ කටයුතුවලට එරෙහිව බලවත් ලෙස කටයුතු කිරීම රජයේ හා සමාජයේ වගකීම විය යුතු ය. වෙළඳපොළට හෝ වෙළඳපොළ ජය ගන්නා අයට හෝ පාලන කටයුතු පවරා දීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්තනය කළ නො හැකි ය. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන දේශපාලන සමානාත්මතාව වෙනුවෙන් ඒ දෙකම නියාමනය හා සීමායනය (containment) කළ යුතු ය.

කෙසේ වෙතත් පුද්ගල නිදහස පිළිබඳ නවලිබරල්වාදී සංකල්පය හා පීඩාකාරී ආණ්ඩුවලට එරෙහි ව මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම එකක් නො ව දෙකක් බව අප මතක තබා ගත යුතු ය. නවලිබරල්වාදී පුද්ගලික නිදහස ධනය ඒකරාශි කර ගැනීමට පුද්ගලයාට තිබිය යුතු යැ’යි අදහස් වූ නිදහස ප්‍රමුඛ කොට ගොඩ නැගුණු සංකල්පයකි. අනෙක් අතට විශ්ව මානව අයිතිවාසිකම්වලට අයත් සිවිල්, දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම්වලට පදනම වූයේ හිට්ලර්ගේ ජනප්‍රිය නාසිවාදී ජාතික චින්තනය මඟින් ගාල් කරනු ලැබූ ජන විඥානය යටතේ යුදෙව් ජාතිකයන් වැනි ආන්තික කොටස් ප්‍රමුඛ සියලු විසම්මුතිකයන් නො මිනිසුන් ලෙස සැලකීම යළි උද්ගත වීම වළක්වනු වස් නිර්ණය කළ ජාත්‍යන්තර ප්‍රමිති ය. මේ වැදගත් වෙනස චිලියේ ඒකාධිපති  පීනෂේට් රජය නව ලිබරල්වාදයෙන් ලද ආභාසය සම්බන්ධයෙන් මී ළඟ පරිච්ඡේදයේ එන විස්තරයෙන් පැහැදිලි වෙයි.

1970 සිට හෙජමොනික ආන්ඩුකරණ වර්ගයක් බවට ගෝලීය වසයෙන් නවලිබරල්වාදය නැගී ඒමට හේතු වූ ව්‍යුහාත්මක පරිවර්තන, දේශීය හා ගෝලීයකරණීය වර්ධන ගැන ලියැවුණු පොහොසත් සාහිත්‍යයක්[8] තිබෙන බව පෙන්වා දෙන මාඩ්රා සහ අඩමාන් නවලිබරල්වාදය එහි ආර්ථිකකරණීය එළඹුම මඟින් සමාජ සහ දේශපාලන ක්ෂේත්‍ර පොදු ජනයා සඳහා නිර්දේශපාලනීකරණය කිරීමට වෑයම් කරන දෘෂ්ටිවාදයක් ලෙස තේරුම් ගැනීම අතිශයින් වැදගත් බව පවසයි[9]. එම ආර්ථිකකරණීය වැඩපිළිවෙළට මනුෂ්‍යයන් යනු ආර්ථික වාසි හඳුනන සහ ඒවාට ප්‍රතිචාරය දක්වන සත්වයන් ය යන අදහස මුල්කරගත් ‘හෝමෝ එකොනොමිකස්’ ප්‍රමුඛ කොට සියලු ආයතනික වාතාවරණ යළි සකසා ගැනීම, සියලු ආකාරයේ සමාජ හා දේශපාලන ගැටලු ආර්ථික දිරිගැන්වීම් නිර්මාණය කිරීමෙන් විසඳීම අරමුණු කරගත් නවලිබරල්වාදී  ආණ්ඩුකරණයක් පිහිටුවීම ද ඇතුළත් ය. ඒ අනුව අපි  නවලිබරල්වාදය යනු හුදෙක් වෙළඳපොළකරණය, පුද්ගලීකරණය සහ වාණිජ හා මූල්‍ය ලිහිල්කරණය යන ආර්ථික සාධකවල එකතුවක් ය යන සුලබ ආඛ්‍යානයට සීමා නො විය යුතු ය. මන්ද එමඟින් අපට විවිධ ආකාරයේ නවලිබරල්වාද ග්‍රහණය කර ගැනීමට නො හැකි වන බැවිනි. උදාහරණයක් වසයෙන් සමාජය ආර්ථිකකරණයට යටපත් කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන අතර ම රජයේ මෙවලම්වල තීරණාත්මක මැදිහත් වීම ද යොදා ගන්නා තුර්කියේ එර්ඩොගාන් වැනි දේශපාලනඥයන් පවත්වා ගෙන යන අන්දමේ නවලිබරල්වාදී මාදිලිය එමඟින් ආවරණය නො වන බව මාඩ්රා සහ අඩමාන් පවසයි. ඒ වෙනුවට අප කළ යුත්තේ මානව චර්යාව යනු සහයෝගිතාව හා සහකම්පනය මත නො ව හුදෙක් මිල සහ ප්‍රතිලාභ ගණනය කිරීම ප්‍රමුඛ කර ගැනීම මත තීරණය වන දෙයක් ලෙස සැලැකීමට රාජ්‍ය ආයතන මෙන් ම, ඇතැම් විට වෙළඳපොළ ප්‍රමුඛ නො වන උපක්‍රම පවා යොදා ගන්නා වූ  පුළුල් පරාසයක න්‍යායික සහ ප්‍රතිපත්තිමය ස්ථාවර අතර වැඩ කරන ආණ්ඩුකරණීය විධි ක්‍රමයක් ලෙස නවලිබරල්වාදය විස්තර කිරීම ය.


[1] Wendy Brown (2018) Authoritarianism: Three Inquiries in Critical Theory, Chicago: University of Chicago Press, p.12

[2]       “They are casting their problems at society. And, you know, there’s no such thing as society. There are individual men and women and there are families”. – Margaret Thacher in an interview in Women’s Own in 1987. – https://www.theguardian.com/politics/2013/apr/08/margaret-thatcher-quotes    Retrieved on 21 March 2021

[3] Wendy Brown (2019), In the Ruins of Neoliberalism, New York: Columbia University Press, , p. 33 (KE)

[4] Friedman, Milton (1970), “The Social Responsibility of Business is to Increase Profits”, New York Times Magazine, 13 Sept 1970 – quoted by Wendy Brown

[5] Wendy Brown (2019), In the Ruins of Neoliberalism, New York: Columbia University Press,  p. 91 (KE)

[6] Matzako, Paul (2020), Talk Radio Is Turning Millions of Americans Into Conservatives, New York Times, 09 Oct 2020

[7]  Hayek, F. A. 2007 [1944]. The Road to Serfdom: The Definitive Edition. Edited by Bruce Caldwell. Chicago, IL: University of Chicago Press. pp. 110-111

[8] (see, e.g., Duménil and Lévy, 2004; Harvey, 2005; Cerny, 2008; Klein, 2008)

[9] Madra Y.M and Adaman (2018) “Neoliberal Turn in the Discipline of Economics: Depoliticization Through Economization” in The SAGE Handbook of Neoliberalism, Damien Cahill et.el (eds) London: Routledge, p. 515

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: