13. ආර්ථික මිනිසා – ම්ථ්‍යාව හා යථාර්ථය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

පුද්ගල බද්ධ ආර්ථික අභිලාෂ වසයෙන් අප හඳුනා ගන්නා බොහෝ දේවල සැබෑ අරමුණ වන්නේ හුදෙක් ධනය හා සම්පත් අත්පත් කර ගැනීමේ සෘජු අවශ්‍යතාවකට වඩා ගෞරවය සහ තත්වය දිනා ගැනීමේ මූලික කොන්දේසියක් ලෙස ධනවත්කම යොදා ගැනීමයි.  නූතන ආර්ථික විද්‍යා න්‍යාය හා සුවිශේෂ වසයෙන් නවලිබරල්වාදී ආර්ථික චින්තනය බිහි වී ඇත්තේ ම ‘මනුෂ්‍යයා වනාහි උපයෝගීතාව උපරිම කර ගැනීම සඳහා හෙවත් තමන්ගේ ද්‍රව්‍යයමය උන්නතිය සලසා ගැනීම පිණිස ස්වාර්ථය ම සලකා සබුද්ධික තීරණවලට එළඹෙන ආත්මාර්ථකාමී සත්ව විශේෂයකි’ යන පදනම මත යි.[1] ඒ අනුව නම් දේශපාලනය යනු එකී උපයෝගිතාව උපරිමකරණය කර ගැනීමේ චර්යාව යි.

මනුෂ්‍යයන් ආවේණික ව ම ආත්මාර්ථකාමීය යන ආකල්පය මුල් කාලයේ සිට ම බටහිර දර්ශනය තුළ පැවත එන්නක් බව Humankind: a Hopeful History නමැති කෘතිය ලියූ රට්ගර් බ්‍රෙග්මන් පෙන්වා දී තිබේ. ඔහුට අනුව තුසිඩයිඩ්ස්, ඔගස්තීන්, මැකියාවෙල්ලි, හොබ්ස්, ලූතර්, කැල්වින්, බර්ක්, බෙන්තම්, නීචේ, ප්‍රොයිඩ් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පියවරු වසයෙන් සැලකෙන නායකයින් ද මේ හා සමාන ආකල්පයෙන් යුතු ව කරුණු දක්වා තිබේ. පැරණි ග්‍රීකයන් අතර ද මිනිසුන් සම්බන්ධයෙන් මේ සමාන නින්දාශීලී ආකල්පයක් තිබුණි. කෝර්සිරා නමැති ග්‍රීක දූපතේ ක්‍රිස්තු පූර්ව 427 දී ඇති වූ කැරැල්ලක් විස්තර කරමින් මුල්ම ඉතිහාසඥයෙකු වන තුසිඩයිඩ්ස් ‘කොතෙකුත් නීති තිබිය දීත් මනුෂ්‍ය ස්වභාවය සැම විටම පෙන්නුම් කරන්නේ මෘගයන් මෙන්  ක්‍රියා කිරීමට සූදානම් බව යැ’යි පැවසීය[2]

මනුෂ්‍යයන් සම්බන්ධ මේ සමාන ම නරුම ආකල්පයක් ක්‍රිස්තියානි යුගයේ මුල් කාලයේ සිට ම පැවතුණි. කතෝලික ක්‍රිස්තියානි ආගමේ ඉපැරණි ම දේශකයෙකු වූ ඕගස්තීන් (354-430) ‘මිනිසුන් උපදින්නේ ම පව්කාරයන් ලෙස යි’ යන්න ජනප්‍රිය කරවීමට කටයුතු කළේ ය. ඔහුට අනුව පවුකාරකමෙන් කිසිදු මිනිසෙකුට ගැලවීමක්  නැත. උපතෙන් පසු එක දිනක් පමණක් ජීවත් වෙන බිලිඳෙකුට වුව ද එය පොදු ය.

මුල්ම පාපය පිළිබඳ මේ අසුභ සංකල්පය කතෝලික පල්ලියෙන් කැඩී යෑමෙන් පසු ද රෙපරමාදු ප්‍රතිසංස්කරණවාදීන් අතර පවා පැවතුණි. රෙපරමාදු ප්‍රතිසංස්කරණවාදියෙකු වූ ජෝන් කැල්වින් ට අනුව ‘මනුෂ්‍ය ස්වභාවය යනු  කිසි ම හොඳකින් තොර වූ කාලකණ්නිකමකි’. මේ විශ්වාසය හෛදල්බර්ග් කැතිචිසමය යනුවෙන් 1563 දී ලියන ලද ප්‍රතිසංස්කරණවාදී මූල ලේඛනයක ද අඩංගු වේ. එයට අනුව මිනිසුන් පිළිසිඳ ගන්නේත් ඉපදෙන්නේත් පාපභරිත ව ය. (හෛදල්බර්ග් කැතිචිසමය – 7 වෙනි ප්‍රශ්නය හා පිළිතුර)

පුදුමයකට මෙන් ක්‍රිස්තියානි ආගම පමණක් නො ව විශ්වාසය වෙනුවට සහේතුක බව වැදගත් යයි සැලකූ බටහිර පුනරුදවාදීන් අතර ද මනුෂ්‍ය ස්වභාවය සම්බන්ධයෙන් තිබුණේ අයහපත් ආකල්පයකි. මනුෂ්‍යයන් දුරාචාරයට ම බර අය  බවත් ඒ  නිසා මනුෂ්‍යයන්ට කළ හැකි හොඳ ම දෙය ශ්‍රද්ධාව ඇති කර ගැනීම බවත් එකල සාම්ප්‍රදායික ආගමික විශ්වාසය විය. පුනරුදවාදී දාර්ශනිකයන් ද මිනිසුන් ස්වභාවයෙන් ම පවිටු අය බව පැවසූ අතර එය අවම කර ගැනීම සඳහා අවශ්‍ය වන්නේ ආගමික විශ්වාසය නො ව තර්කානුකූල සබුද්ධිය බව ප්‍රකාශ කළේ ය.

මනුෂ්‍ය ස්වභාවය සම්බන්ධයෙන් බටහිර චින්තනය එලෙස එකම ආකාරයක අසුභ ස්ථාවරයක් ගැනීම පුදුමය දනවනසුලු ය. දේශපාලන විද්‍යාවේ ආදි කර්තෘ ලෙස සැලකෙන නිකොලායි මැකියාවෙල්ලිට (1469-1527) අනුව මිනිසුන් යනු කිසිම කෙළෙහිගුණයක් නැති චපල කුහකයෝ ය. ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් පෙළේ මූලාරම්භකයෙකු ලෙස සැලකෙන ජෝන් ඇඩම්ස් ට අනුව පුළුවන්කමක් ඇත්නම් හැම මිනිසෙකු ම ප්‍රජා පීඩකයෙකු වීමට කැමති ය. ‘අප  පැවතෙන්නේ අප්‍රමාණ සංඛ්‍යාත වූ මිනීමරු පරම්පරා ගණනාවකින්’ යැයි නූතන මනෝවිද්‍යාවේ පියා වසයෙන් සැලකෙන සිග්මන් ප්‍රොයිඩ් පැවසී ය.

ඩාවින්ගේ පරිණාමවාදය පවා මේ අසුබ සංකල්පය ප්‍රචලිත කිරීමට යොදා ගන්නා ලදි. සමකාලීන ප්‍රකට ඩාවින්වාදියෙකු  වූ තෝමස් හක්ස්ලි ට අනුව ‘ජීවිතය යනු මිනිසෙකු විසින් තවත් මිනිසෙකුටත් ජාතියක් විසින් තවත් ජාතියටත් එරෙහිව කරනු ලබන ශ්‍රේෂ්ඨ අරගලයකි’. ස්වභාවධර්මයාගේ පරම උත්සාහය අසමර්ථයන් ලෝකයෙන්  තුරන් කොට සාර්ථක අයට ඉඩ සලසා දීම බැවින් මෙකී සටන ඇවිළවීමට අප උත්සුක ව කටයුතු කළ යුතු බව පළ කළ බ්‍රිතාන්‍ය දාර්ශනිකයෙකු වූ හර්බට් ස්පෙන්සර්ගේ (1820-1903) පොත් දස දහස් ගණනින් විකුනුණි. 

පුදුමයකට මෙන් මෙකී චින්තකයන් යථාර්ථවාදීන් ලෙස අභිවන්දනයට ලක් වූ අතර ඊට ප්‍රතිපක්ෂ ව මනුෂ්‍ය ස්වභාවයේ යහපත් බව විශ්වාස කළ චින්තකයන් පරිභවයට ලක් වූ බව බ්‍රෙග්මන් පෙන්වා දෙයි. නිදහස හා සමානාත්මතාව සඳහා අරගල කළ නිසා  ම ඇගේ ජීවිත කාලය පුරා නිග්‍රහයට සහ අපවාදවලට ලක් වූ ස්ත්‍රීවාදී එමා ගෝල්ඩ්මන් (1869-1940) වරක් මෙසේ ලීවා ය.  “අහෝ! දුප්පත් මනුෂ්‍ය ස්වභාවය, ඔබේ නමට මොන තරම් දරුණු අපරාධ බැර කර තිබේ ද…. වංචාකාරයා ඉස්තරම් වන තරමට මනුෂ්‍ය ස්වභාවයේ දුෂ්ට බව සහ දුර්වලකම් ගැන ඔහුගේ අවධාරණයේ තීරණාත්මක බව ද ඉහළ යයි.” [3]

මේ කාරණය වඩාත් සවිස්තර ව සාකච්ඡා කිරීම අවශ්‍ය වන්නේ ‘මනුෂ්‍යයන් තීරණ ගන්නේ ම ස්වාර්ථය ම සලකාය’ යන දෘෂ්ටිය මත පදනම් වී ඇති නූතන ආර්ථික චින්තනයේ විකාසනය විමසීමට ලක් කිරීම සමාජ විෂමතාව ආමන්ත්‍රණය කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳ කතිකාවේ මුල් පියවරක් විය යුතු බැවිනි. හැරත් නවලිබරල්වාදී ආර්ථික චින්තනයට බැරෑරුම් විකල්පයක් ඉදිරිපත් කිරීමට එහි විවේචකයින් අපොහොසත් වීම තේරුම් ගැනීමටත් සාම්ප්‍රදායික ආර්ථික චින්තනයේ විකාසනය එවැනි ආගන්තුක කියවීමකට ලක් කිරීම වැදගත් ය.

සම්ප්‍රදායික ආර්ථික විද්‍යා දැක්මට අනුව ආත්මාර්ථකාමී වීම (self-interested) මිනිසුන්ගේ අනිවාර්ය ගති ලක්ෂණයකි. බොහෝ ආර්ථික විග්‍රහවලට අනුව පුද්ගල චර්යාව මෙහෙයවෙන්නේ  “තෘෂ්ණාවේ දැවැන්ත බලවේග” වලිනි. ආර්ථික ක්‍රම පිළිබඳ ආදර්ශනවල දී මිනිස් ක්‍රියාකාරිකයන් නිරූපණය කරන්නේ ‘බොරු කීම, සොරකම සහ රැවටීම වැනි නිහීන ක්‍රියා කරන, බොහෝ විට සියුම් ක්‍රම මඟින් වංචා කරන්නන්” ලෙස ය. [4]

නූතන ජාතික රාජ්‍ය පදනම් කොට ආර්ථිකය හැසිරෙන ආකාරය පිළිබඳ ව අධ්‍යයන කළ යටත් විජිත යුගයේ විසූ යුරෝපීය බුද්ධිමතුන් අතරින් ඇඩම් ස්මිත්(1723-1790), ඩේවිඩ් රිකාඩෝ (1772-1823) සහ ජෝන් ස්ටුවර්ට් මිල්(1806-1873) බෙහෙවින් ප්‍රකට ය. තමා අවට ලෝකයේ දේශපාලනය සහ ආර්ථිකය විග්‍රහ කිරීම පිණිස මූලික මූලධර්ම කිහිපයක් ම ඔවුහු ලෝකයට හඳුන්වා දුන්හ. මෙකී මූලධර්ම අතරින් අතිශයින් වැදගත් මූලධර්මයක් ලෙස සැලකුණේ Economic Rationality හෙවත් ‘ආර්ථික තාර්කිකත්වය’ යි. එහි දී තාර්කිකත්වය යන්නෙන්  සරල ව අදහස වුණේ සිය අරමුණු හැකි තරම් කාර්යක්ෂම ව සහ ප්‍රායෝගික ව සාක්ෂාත් කර ගැනීමට කෙනෙකුට ඇති ඒකායන අභිලාෂය යි. මේ මතයට අනුව තාර්කික මිනිසෙකු යනු හැම ප්‍රතික්‍රියාවක් මඟින් ම ස්වාර්ථය ම පමණක් සලකා  තමන්ට හැකි ඉහළ ම වාසිය ලබාගැනීමට තැත් කරන පුද්ගලයෙකි. ඒ අනුව කම්හල් හිමියෙකුගෙන් හැකි ඉහළ ම වේතනය දිනා ගැනීමට සේවකයා කටයුතු කරන අතර සේවකයාගෙන් අඩු ම වේතනයකට වැඩ ගැනීමට කම්හල් හිමියා කටයුතු කරයි. ඒ හා සමාන ව පාරිභෝගිකයාද අඩු ම මිලකට භාණ්ඩ ලබා ගැනීමට උත්සාහ කරන අතර නිෂ්පාදකයා වැඩි ම මිලකට තම භාණ්ඩ අලෙවි කිරීමට බලාපොරොත්තු වෙයි. ස්වාර්ථකාමී ව තාර්කික යැ’යි සැලකුණ මේ මානව අන්තර්ක්‍රියා හෙවත් ගනුදෙනු එක් කරන  තැන ‘වෙළඳපොළ’ යන නමින්  හැඳින්විණි.

එහෙත් තාර්කික මිනිසා යන්න හුදෙක් ආර්ථික කටයුතුවලට පමණක් සීමා වූවක් නො වී ය. අර කී බුද්ධිමතුන්ට එකල බටහිර ලෝකයේ තිබූ සමාජවල සියලු යථා හැසිරීම් තනි තනි පුද්ගලයින් ස්වාර්ථය සලකමින් එකිනෙකා හා ජාලගත වීම නිසා සිදු වන දේවල් ය. ඒ අනුව පොහොසත් ජාතීන් සහ සරුසාර සමාජ බිහි වන්නේ එසේ ස්වාර්ථය සලකන තාර්කික මිනිසුන් ජාලගත වීම මගිනි. ඒ නිසා ඇතැම් නාගරික ප්‍රදේශවල ප්‍රාග්ධන හිමියන්ට විශාල ලාභයක් ලැබෙන බව සැබෑවක් මෙන් ම ඒ නිසා කම්කරුවන්ගේ පවා ජීවන තත්වය ඉහළ නැංවෙන බවට ද තර්ක කෙරුණි. අනෙක් අතට මේ ස්වාර්ථකාමී තාර්කිකත්වය ප්‍රතික්ෂේප කරන සමාජ, ප්‍රතිගාමී සහ දුප්පත් නොහොත් නො දියුණු අයගේ සමාජ වසයෙන් සැලකිනි.

තාර්කික ස්වාර්ථකාමිත්වය පිළිබඳ මේ සංකල්පය නිෂ්පන්න වූයේ ‘ආර්ථික මිනිසා’ හෙවත් ‘හෝමෝ එකොනොමිකස්’ ( Homo Economicus) නමින් එකල ව්‍යවහාරයට පැමිණි මතවාදයෙනි. තම වියදම ගණින, කෙරෙන නිෂ්පාදනයේ ලාභ ප්‍රයෝජන නිතර මැන බලන, අලෙවිය, සේවා සහ භාණ්ඩ මිල දී ගැනීම ආදියේ නිරත වෙමින් රට පුරා වෙළඳපොළ ආශ්‍රිත කටයුතුවල නිරත වන තාර්කික ඒජන්තවරයෙකු එකී ‘හෝමෝ එකොනොමිකස්’ හෙවත් ‘ආර්ථික මිනිසා’ යන්නෙන් අදහස් කෙරිණි. මුලින් ම හුදු ස්වයංගවේෂණීය (heuristic) වහරක් ලෙස ජෝන් ස්ටුවර්ට් මිල් විසින් නිර්මාණය කළ මේ සංකල්පය, ආර්ථික විද්‍යාව සහ ආර්ථික මානව විද්‍යාව හඳුන්වා දීමට පෙර තිබූ ‘දේශපාලන ආර්ථිකය’ (Political Economy) නමැති අධ්‍යන ක්ෂේත්‍රයේ නියැලුනු බුද්ධිමතුන් අතර සෘෂි භාෂිතයක් ලෙස සැලකිනි.

සරලව කිව්වොත් ‘හෝමෝ එකොනොමිකස්’ යන්නෙන් අදහස් වන්නේ මනුෂ්‍යයන් යනු නිදහස් වෙළඳපොළක් හරහා අන් අය සමඟ ස්වේච්ඡාවෙන් කරන හුවමාරු මඟින් සිය ද්‍රව්‍යයමය ඕනෑ එපාකම් උපරිම මට්ටමෙන් ඉටු කර ගැනීමට කටයුතු කරන සමාජ සත්ව විශේෂයක් බව යි. මේ දැක්මට අනුව ආර්ථික කටයුතු සහ දේශපාලන කටයුතු යනු එකිනෙකින් වෙන් ව තබා ගත හැකි ඒවා යි. එහෙත් ඒ දෙක අතරින් ආර්ථිකය වඩා උසස් වන්නේ එය වඩාත් හොඳින් කටයුතු කරන්නේ දේශපාලනය මෙන් නො ව ආණ්ඩුවේ මැදිහත්වීකින් තොර ව සුසංවාදී ක්‍රමයක ස්වාභාවික නීති  (a harmonious system of natural laws) යටතේ ක්‍රියාකරන විට පමණක් වන බැවින් යැයි ඇදහිනි.

තමා බලාපොරොත්තුවන උපයෝගිතාව උපරිම කර ගැනීමට හොඳ නරක දෙකම නිරන්තරයෙන් එක විට යොදා ගන්නා සදාකාලික මිනිස් චර්යාවක් පිළිබඳ මේ සංකල්පය මිනිසාගේ ආර්ථික චර්යාව ස්වාර්ථය ම මත තීරණය වන්නක් බව පිළිගැන්වීමට යොදා ගැණිනි. සදාචාරය, පියකරු බව, පක්ෂපාතීත්වය සහ සත්‍යගරුක බව වැනි වෙනත් උසස් චේතනා මඟින් ද මානව චර්යාව මෙහෙය වෙන බව ඇතැම් ආර්ථික විද්‍යාඥයන් පිළිගනු ලැබුව ද තාර්කික ආර්ථික මිනිසා පිළිබඳ මොඩලය සාම්ප්‍රදායික ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව ද ඉක්මවා ගොස්  විවාහයේ සිට වැඩපොළ උසස් වීම දක්වා සකල මානව චර්යා සම්බන්ධයෙන් ම තීරණාත්මක ලෙස ආදේශ විය.  

මේ සංකල්පයේ මූලික තර්කයක් වූයේ කෙනෙකු ස්වාර්ථය ම තකා කටයුතු කරන විට වඩා පුළුල් වූ පොදු සමාජ සුභසාධනය ද ඒ මඟින් ඉටු වෙන බවයි. ඇඩම් ස්මිත්ගේ මේ ප්‍රසිද්ධ ප්‍රකාශය එයට සාධකයකි.

“අප රාත්‍රි ආහාරය බලාපොරොත්තු වන්නේ මස්කඩකරුවාගේ, බේකරිකරුවාගේ හෝ තැබෑරුම්කරුවාගේ කරුණාව මත නො ව ඔවුන් තමන්ගේ ස්වාර්ථය ම සලකා කරන කටයුතු මත ය. ඒ අනුව අප ආමන්ත්‍රණය කරන්නේ ඔවුන්ගේ මනුෂ්‍යත්වයට නො ව ඔවුන්ගේ ඒ ස්වාර්ථකාමිත්වයටයි. ඒ නිසා හුදෙක් ඔවුන්ට සිදු වන වාසිය මිස අපේ අවශ්‍යතාව පිළිබඳ කිසි දිනක ඔවුන් හා කතා කළ යුතු නැත. හිඟන්නෙකු හැරෙන්නට වෙනත් කිසිවෙකු මූලික වසයෙන් සිය සහචර පුරවැසියන්ගේ කරුණාව මත යැපීමට නො සිතති.” [5]

මේ මතයට අනුව මනුෂ්‍යයන් වන අපි ස්වභාවයෙන් ම ලාභය ම පෙරදැරි කර කටයුතු කරන ස්වාර්ථකාමී තීරකයෝ ය. ආර්ථික මිනිසා හෙවත් ‘හෝමෝ එකොනොමිකස්’ යන වහර අපට යෙදෙන්නේ එබැවිනි. නූතන ආර්ථික විද්‍යාවට පදනම වී ඇති ‘මනුෂ්‍යයන් වනාහී නිරන්තරයෙන් ම  උපයෝගිතාව හෙවත් ප්‍රයෝජ්‍යත්වය (utility) උපරිම කර ගැනීමට සහේතුකව වෙර දරන ස්වාර්ථකාමී සත්ව විශේෂයකි’ යන්න නවලිබරල්වාදී ආර්ථික චින්තනය විසින් වෙසෙසින් හුවා දක්වන මානව චර්යා සිද්ධාන්තයකි. ඒ සිද්ධාන්තයට අනුව හැම මනුෂ්‍යයෙක් ම තමන්ගේ ඥානික හැකියාව පුද්ගල ස්වාර්ථය සඳහා ම යොදා ගනියි. මේ සිද්ධාන්තයට අනුව නම් ස්වාර්ථය පිළිබඳ ප්‍රායෝගික ඒකකය වන්නේ පුද්ගලයා අයත් යැයි සැලකෙන ඔහුගේ ගෝත්‍රය හෝ ජාතිය නො ව හුදෙක් තනි පුද්ගලයායි.

ස්වාර්ථය පිළිබඳ තවත් වැදගත් කාරණයක් වන්නේ අර කී ප්‍රයෝජ්‍යත්වයෙන් ඉටු කර ගැනීමට තැත් කරන අපේක්ෂාවේ ස්වභාවයයි. එය අලුත් වාහනයක් ලබා ගැනීම, ලිංගික සන්තර්පණයක් දිනා ගැනීම එසේත් නැතිනම් විනෝද ජනක නිවාඩුවක් ගත කිරීම වැනි දෙයක් විය හැකි ය. ආර්ථික විද්‍යාඥයන් උපයෝගිතා හෙවත් ප්‍රයෝජ්‍යතා කටයුත්ත යනුවෙන් එය හඳුන්වන්නේ එක් එක් තැනැත්තාගේ පුද්ගලික අභිමතය අනුව ඒවා සිදු වෙති යි යන්න සලකමිනි. කෙසේ වෙතත් ආර්ථික විද්‍යාඥයන් සිය අවධානය යොමු කරන්නේ එම අභිමතය සාක්ෂාත් කර ගැනීමට පුද්ගලයන් කටයුතු කරන ආකාරය ගැන පමණි.

එහෙත් සිය ආයෝජන සඳහා උපරිම ලාභයක් ලබා ගැනීමට කටයුතු කරන පුද්ගලයා ද තම සගයන්ගේ දිවි ගලවා ගැනීම සඳහා සිය ජීවිතය පූජා කරන සොල්දාදුවෙකු ද කරන ක්‍රියාව එකිනෙකට වෙනස් වුව ද දෙදෙනා ම කරන්නේ අර කියන උපයෝගීතාව වෙනස් ආකාරවලින් උපරිම කර ගැනීමේ කටයුත්තක් බව Identity: The Demand for Dignity and the Politics of Resentment නමැති කෘතියේ ෆ්‍රැන්සිස් ෆකුයාමා පෙන්වා දෙයි[6]. ඒ අනුව  මූලධර්මවාදී ත්‍රස්තවාදියෙකු සිය දිවි නසා ගන්නා බෝම්බ කරුවෙකු බවට පත් වන්නේ ආගමික වීරයෙකු වීම සහ මරණින් මතු අත්බවයේ ලැබෙන කන්‍යාවන් ගණනාවකගේ පහස විඳ ගැනීමට ඇති හැකියාව සිය ක්‍රියාවේ උපයෝගීතාව උපරිම කර ගැනීමක් ලෙස සලකමිනි.

එහෙත් ලෞකික හා ද්‍රව්‍යයමය අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීමේ ස්වාර්ථය ගැන කියන ආර්ථික සිද්ධාන්තවලින් අර කියන සොල්දාදුවාගේ හෝ බෝම්බකරුවකු වී ජීවිතක්ෂයට පත් වන මූලධර්මවාදියාගේ චර්යාව විස්තර නො කරයි. ඒ නිසා ඇතැම් අය ධනය සහ ලෞකික සම්පත් හඹායන අතර තවත් අය ස්වාර්ථය ඉක්මවා ගොස් කිසියම් ඇදහිල්ලක් මුල්කරගත් ව්‍යාපාරයක් සඳහා ජීවිත පූජා කරන්නේ ඇයි ද යන්න විස්තර කෙරෙන සිද්ධාන්තයක් අපට තිබිය යුතු බව ෆකුයාමා පෙන්වා දෙයි.

ලෞකික අවශ්‍යතා මුල් තැනෙහි ලා කටයුතු කිරීම මනුෂ්‍ය ස්වභාවය බව නවලිබරල්වාදී මෙන් ම මාක්ස්වාදී යන ආස්ථාන දෙකට ම අයත් ආර්ථික විද්‍යාඥයන්ගේ පොදු පිළිගැනීමකි. කෙසේ වෙතත් චර්යාවක් වසයෙන් එම අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීමට පෙලඹීම පිළිබඳ ව ආර්ථික විද්‍යා සිද්ධාන්තවලට තිබෙන්නේ බෙහෙවින් පටු සීමිත අර්ථකථනයකි.

ද්‍රව්‍යයමය අවශ්‍යතා අතිශයින් වැදගත් බව අවිවාදිත ය. ඒ අනුව ද්‍රව්‍යයමය අවශ්‍යතා පිළිබඳ උපයෝගීතාව වැඩි කර ගැනීමේ අදහසින් මනුෂ්‍ය චර්යාව ද ප්‍රතිචාරය දක්වන බව නිවැරදි ය. චීන කොමියුනිස්ට් පක්ෂය විසින් මුලින් ම හඳුන්වා දුන් ක්‍රමය යටතේ කොමියුනිස්ට් චීනයේ ගොවීන්ට තමන් විසින් නිපදවන අතිරික්ත අස්වැන්නට හිමිකම් කීමට ඉඩ නො ලැබුණි. ඒවා සමස්ත ජනතාවගේ ප්‍රයෝජනය සඳහායි යන පදනම මත රජය සතු විය. එහි ප්‍රතිඵලය වුණේ කිසිදු ආකාරයක අතිරික්තයක් ඉපදවීමෙන් වැළකී සිටීමට එකල චීන ගොවියන් වග බලා ගැනීම යි. ඒ අනුව අස්වැන්නේ බලාපොරොත්තු වූ වැඩි වීම සාක්ෂාත් කර ගැනීමට චීන රජයට නො හැකි විය. එහෙත් එම ප්‍රතිපත්තිය වෙනස් කොට  අතිරික්තය තමන්ට අවශ්‍ය පරිදි විකුණා ගැනීමට ගොවියන්ට ඉඩ දුන් විට චීනයේ සමස්ත අස්වැන්න දෙගුණයක් ඉක්මවා ඉහළ ගියේ ය.

මේ අනුව ද්‍රව්‍යයමය අවශ්‍යතා පිළිබඳ මනුෂ්‍ය චර්යාවේ ස්වභාවය නිර්ණය වෙන සාධක බොහෝමයක් සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාව නිවැරදි විය හැකි නමුත් සියලු ම චර්යා වර්ග එම අර්ථකතනවලින් පමණක් තේරුම් කළ නො හැකි ය. Thinking Fast and Slow නමැති පොත ලියූ මනෝවිද්‍යාව පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ඩැනියෙල් කාහ්නෙමන් පෙන්වා දෙන පරිදි මිනිසුන් ප්‍රායෝගික කටයුතුවල දී හැම විටම තාර්කිකව ක්‍රියාකරතැ’යි බලාපොරොත්තු නො විය යුතු ය. උදාහරණයක් වසයෙන් ඔහු පැහැදිලි කරන පරිදි තමන් විසින් ම මහන්සි වී සිතාමතා තෝරා බේරා වඩාත් ඵලදායක ප්‍රතික්‍රියාවක් සොයා ගන්නවාට වඩා මිනිස්සු බොහෝ විට තමන් වටා සිටින උදවිය විසින් කරනු ලබන ප්‍රතික්‍රියාව පුරුද්දක් වසයෙන් ම අනුගමනය කිරීමට පෙලඹෙති[7].

මිනිස්සු තාර්කික තෝරා ගැනීම් කරන ආර්ථික සත්වයන් ය යන සාම්ප්‍රදායික ආර්ථික විද්‍යා සිද්ධාන්තය නූතන චර්යා ආර්ථික විද්‍යාඥයන්ගේ ද දෝෂදර්ශනයට ලක් වී ඇත. අවුරුදු 150ක් තිස්සේ සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාවේ පැවත ආ තාර්කික ආර්ථික මිනිසා පිළිබඳ අදහස චර්යා ආර්ථික විද්‍යාව (Behavioral Economics) රැඩිකල් ලෙස බැහැර කරයි.

ස්වාර්ථකාමී තාර්කිකත්වය යන අදහස ඇරිස්ටෝටල්ගේ කාලයේ සිට පැවත එන අදහසකි. එයට අනුරූප ව මනුෂ්‍යයා ස්වභාවයෙන් ම ආත්මාර්ථකාමීය යන අදහස ද පෘථුල ව පවතින්නකි. ඒ අදහස සජීවී ව තබා ගැනීමට ඇතැම් දේශපාලන හා සංස්කෘතික න්‍යාය ද කටයුතු කර තිබේ. 19 වන සිය වසේ විසූ බ්‍රිතාන්‍ය ජාතික දේශපාලන දාර්ශනිකයෙකු වූ හර්බට් ස්පෙන්සර් විසින් ඉදිරිපත් කළ සමාජ-ඩාවින්වාදය (Social Darwinism) එබඳු අදහසකි. සත්ව පරිණාමය පිළිබඳ ඩාවින් විසින් තහවුරු කරන ලද න්‍යාය විකෘත කරමින් ඇති හා නැති අය අතර පරතරය තේරුම් ගැනීමට ස්පෙන්සර් ඉදිරිපත් කළ Survival of the Fittest හෙවත් ‘ප්‍රබලතමයාගේ ප්‍රවර්තනය’ යන ප්‍රකට කියුම ඇති වූයේ ඒ නිසා ය. සමාජ ඩාවින්වාදයට අනුව ජීවිතය සාර්ථක කර ගන්නා අය අනෙක් අයට අත දීම වැරදි ය. මන්ද ඒ නිසා ජීවිතය සාර්ථක කරගත් අය පහළට ඇද ගැනීමට ජිවත් වීමට අරගල කරන අය විසින් තැත් කරනු ඇති බැවිනි. මේ හා සමාන ආත්මාර්ථකාමී ආකල්පයක් ව්‍යාපාර ලෝකයෙන් ද බෙහෙවින් අසන්නට ලැබේ.

කුඩා ව්‍යාපාර පාගා ගෙන මහා ව්‍යාපාර ව්‍යාප්ත වීම අනුමත කළ ඇමෙරිකානු ප්‍රකෝටිපතියෙකු වූ ජෝන් ඩී රොකෆෙලර් එය “ස්වභාවධර්මයට අනුකූලව සිදුවන්නක්”යැ’යි පැවසුවේ ස්පෙන්සර්ගේ සමාජ ඩාවින්වාදයට අනුව ය. ඩොලර් බිලියන 60 ක වත්කම් හිමි ව තිබී 2001 දී බංකොලොත් බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලීමට පෙර ඇමෙරිකානු  බල ශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ කුප්‍රකට එන්රොන් සමාගම විදුලිය මිල ඉහළ නැංවීමට කෘත්‍රිම විදුලි බල ඇනහිටීම් හා විදුලි බලය අවහිර කිරීම් වැනි අසික්කිත උපක්‍රම යොදා ගත් අන්දම එළිදරව් වීම ප්‍රකට කරුණකි. [9]  එම නිහීන උපක්‍රම නිසා ශ්වසන යන්ත්‍ර සහ විදුලි සෝපාන යන්ත්‍ර හිටි හැටියේ අතර මග නතර වීම නිසා මිනිසුන් මුහුණ දුන් අකරතැබ්බ ගැන හෙළි වූ අප්‍රසන්න කරුණු ඇතැම් දැවැන්ත ව්‍යාපාරවල වනචර ආත්මාර්ථකාමයට උදාහරණයෝ ය.

ආවේණික ව ම මිනිසුන් ආත්මාර්ථකාමී ය යන අදහස ඇතිවීමට තුඩු දුන් එක හේතුවක් වූයේ මිනිසුන් ස්වභාවයෙන් ම ප්‍රචණ්ඩකාරී ය,  කලහකාරී ය යන විශ්වාසය විය හැකි බව වානර චර්යාව පිළිබඳ විශේෂඥයෙකු වන ෆ්‍රාන්ස් ඩි වාල් පවසයි. දෙවන ලෝක යුද්ධය අවසන් වන විට බ්‍රිතාන්‍ය අගමැති ව සිටි වින්ස්ටන් චර්චිල් වරක් පැවසූ අන්දමට “මිනිසාගේ කතන්දරය යනු යුද්ධයේ කතන්දරයයි. ඉඳහිට ඇති වූ විරාමයක දී හැරෙන විට ලෝකයේ කිසි දිනක සාමය නො තිබිණි. ඉතිහාසය ඇරඹීමට පෙර ද මේ මිනීමරු අභිප්‍රාය සර්වව්‍යාපී නො නවතින දෙයක් විය.”

එහෙත් ඉතිහාසය සමීප ව විමසුමට ලක් කළ විට චර්චිල්ගේ නිගමනයේ සත්‍යයක් නො තිබෙන බව පෙනේ. වඩාත් නිවැරදි වන්නේ මානව ඉතිහාසය යනු දීර්ඝ කාලීන සාමය සමඟ ඉඳ හිට කෙටි සටන් උද්ගත වූ ඉතිහාසයක් බවයි. උදාහරණයක් ලෙස ලෝකයේ පැරණි ම නගරයක් වන පරණ තෙස්තමේන්තුවේ සඳහන් ජෙරිකෝ නගරය වටා ඉදි කර තිබූ පවුරු ආරක්ෂක පවුරක් වසයෙන් කලක් තිස්සේ සැලකුව ද ඇත්ත වසයෙන් ම එය ඉදි කර තිබුණේ මඩ ප්‍රවාහ ගලා ඒම වැළැක්වීමට සඳහා බව වඩා මෑත දී කරන ලද පුරා විද්‍යා පර්යේෂණවලින් හෙළි වී තිබේ. ඉන් පෙර ප්‍රාග් ඓතිහාසික යුගයේ පැවතුණයි විශ්වාස කළ යුද්ධ පිළිබඳව ඇති ව තිබූ සාවද්‍ය මත ගැන මාක් ඩබ්. ඇලන් සහ ටෙරි ජෝන්ස් සංස්කරණය කළ Violence and Warfare of Hunter Gatherers කෘතියේ මෙසේ සඳහන් කරයි:

“මේ පරීක්ෂණවලින් සොයා ගත් තොරතුරු සම්භාරය කෙසේ වුව ද ප්‍රාග් ඓතිහාසික යුද්ධ පිළිබඳව පුරාවිද්‍යාව විසින් නො තකා හරින ලද ඉතා වැදගත් සාධකයක් වෙයි. ස්වදේශික යුද්ධ හා ප්‍රචණ්ඩ ක්‍රියා සාරාංශ ගත කොට ලියන ලද බොහෝ කෘති දඩයමින් යැපුණු සමාජ ගැන සලකා බලා තිබුණ ද එවැනි සමාජ සහ සමකාලීන කෘෂි ගොවි සමාජ අතර තිබූ වෙනස ගැන සලකා බලා නැත. මේ මඟහැරීමෙන් නිරූපණය වන්නේ පූර්ව ශිෂ්ටාචාර යුගයේ පැවති සමාජ රටාව ගැන නො සිතා හුදෙක් ස්වදේශික යුද්ධවල දරුණු ගති ලක්ෂණ සහ ප්‍රචණ්ඩ බව උලුප්පා පෙන්වීමට තිබූ අභිලාෂය යි.”.[10]

ඒ හැර නිව්ගිනිහි ගෝත්‍ර අතර පැවති ආක්‍රමණශීලී ක්‍රියාවන්ට බොහෝ විට හේතු වුණේ තමන්ගේ රැහෙන් පිට ස්ත්‍රීන් ලබා ගැනීමේ ජීව විද්‍යාත්මක අවශ්‍යතාව විසින් මෙහෙය වූ සහෘද කණ්ඩායම් අන්‍ය ගෝත්‍රික ස්ත්‍රීන් පැහැර ගැනීම සිරිතක් කර ගැනීම නිසා බව ද මානව විද්‍යාඥයෝ පෙන්වා දෙති. එය වෙනත් කණ්ඩායම්වලට එරෙහි ව ප්‍රචණ්ඩත්වය පවත්වා ගැනීමට වඩා තම ඥාති කණ්ඩායම තුළ ම ප්‍රජනනය සිදුවීමෙන් ඇති විය හැකි දුර්වලකම් වළක්වා ගැනීම පිණිස උපයෝගී වූ ක්‍රියාන්විතයක් බවයි ඉන් අදහස් වන්නේ.

ස්වාර්ථය ම සලකන ‘හෝමෝ එකොනොමිකස්’ හෙවත් ආර්ථික මිනිසා යනු ප්‍රධාන ධාරාවේ ආර්ථික චින්තනයේ හරය වසයෙන් සැලකිය හැකි මූලධර්මයකි. හෝමෝ එකොනොමිකස් යන නිර්වචනය මඟින් කෙරෙන්නේ මනුෂ්‍යයන් ආවේණික වසයෙන් ම සබුද්ධික එහෙත් පුද්ගල ස්වාර්ථය ම මුල් කොට ගත් සත්ව කොට්ඨාසයක් ලෙස නිරූපණය කිරීමයි.

වඩා සාධාරණ, සහෝදරකාමී සහ තිරසාර ආර්ථික අනාගතයක් ගැන ඵලදායක කතිකාවක් ඇති කිරීමට මිනිසුන්ට නොහැක්කේ ස්වභාවයෙන් ම උරුම වන මෙකී හෝමෝ එකොනොමිකස් ගති ගුණ නිසා යැ’යි ඇතැම් අය අදහති. ‘මිනිස්සු ස්වභාවයෙන් ම ආත්මාර්ථකාමීහු ය. ඒ නිසා විශ්වාසය, සාධාරණත්වය මත පදනම් වූ කිසි ම දෙයක් හෝ අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය හෝ මිනිසුන් සමඟ ඉස්ට කරන්න පුළුවන් දේවල් නො වෙයි’ යනුවෙන් අනන්තවත් අප අසා ඇති බවට සැකයක් නැත. 

මේ හෝමෝ එකොනොමිකස් නමැති අභිධානය අපට ආවේ කොහෙන් ද? එමඟින් අදහස් කරන සදාතනික ආත්මාර්ථකාමී බව සත්‍යයක් ද? අපි හුදෙක් ස්වාර්ථය ම සලකන අය ද? නැතහොත් අපේ කරුණාවන්ත, සහානුකම්පිත, පරාර්ථකාමී ස්වභාවය යටපත් කරන වැරදි අර්ථ නිරූපණ නිසා ආත්මාර්ථකාමීන් යැ’යි හංවඩු ගසන ලද්දෝ ද? නැතහොත් අපේ සත්‍ය ස්වභාවය ඒ දෙඅන්තය අතර දෙයක් ද?

පුරාවිද්‍යාවේ සිට අපරාධ විද්‍යාව දක්වා වූ ක්ෂේත්‍රවල නවතම විද්‍යාත්මක සොයා ගැනීම් දෙස බැලුවොත්, හෝමෝ එකොනොමිකස් අභිධානයෙන් යුක්ත ව ආත්මාර්ථකාමිත්වය පිළිබඳ කිරුළ දරා සිටිනවාට වඩා සම්පූර්ණයෙන් ම වෙනස් වූ ආඛ්‍යානයක් සොයා ගැනීමට අපට හැකි වනු ඇත. අප සහජයෙන් ම ආත්මාර්ථකාමී නො වන බවත් අප මුහුණ දෙන අර්බුද ස්වයංක්‍රීය ව අපව ම්ලේච්ඡයන් බවට පත් නො කරන බවත් රට්ගර් බ්‍රෙග්මන් සිය Humankind නමැති කෘතියෙන් පෙන්වා දෙයි. .

බ්‍රෙග්මන් උපුටා දක්වන අන්දමට යුද්ධය වැනි අර්බුදවල දී ජනතාව භීතියට පත්වන අතර ඔවුන්ගේ සැබෑ ස්වභාවය නො පිට හැරී ප්‍රචණ්ඩකාරී හා ආත්මාර්ථකාමීන් බවට පත් වෙන අයුරු 1885 දී ප්‍රංශ ජාතික ගුස්ටාව් ලෙ බොන් සිය The Psychology of Crowds නම් කෘතියෙන් විස්තර කර තිබුණි. දෙවැනි ලෝක මහා යුද්ධයට නායකත්වය දුන් ඇඩොල්ප් හිට්ලර්, ජෝසප් ස්ටාලින්, බෙනිටෝ මුසොලිනි, වින්ස්ටන් චර්චිල් සහ ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් ද එම තෘතිය කියවා තිබුණි. ලෙ බොන්ගේ මතයට අනුව, මිනිසුන් තම ජීවිත ගැන බිය වන විට ම්ලේච්ඡයන් බවට පත් වේ. එවිට ඔවුන් තමන්ගේ පුද්ගලික පැවැත්ම හැර අන් කිසිවක් ගැන සැලකිලිමත් නො වේ. 1940 දී හිට්ලර් සිය බෝම්බ හෙලන ලුෆ්ට්වාෆ් ගුවන් යානා 348 ක් ලන්ඩනයට යවන විට ලෙ බොන්ගේ අදහස් මත පිහිටා කටයුතු කරන්නට ඇති බව නිසැක ය. ඒ අනුව බෝම්බ වැස්සෙන් ලන්ඩනයේ වැසියන් සංත්‍රාසයට හා ම්ලේච්ඡත්වයට පත් වනු ඇතැ’යි හිට්ලර් විශ්වාස කළේ ය.

මෙවැනි බෝම්බ වර්ෂාවක් නිසා ඇතිවිය හැකි භීතිකාවට හා භින්නෝන්මාදයට ප්‍රතිකාර කිරීමේ අපේක්ෂාවෙන් හදිසි මනෝ චිකිත්සක වාට්ටු ගණනාවක් කල් තියා ලන්ඩනයේ ඉදි කර තිබුණි. ‘බ්ලිට්‍ස් (Blitzs) ක්‍රියාන්විතය’ යනුවෙන් හැඳින්වුණ එම බෝම්බ වර්ෂාව නිසා ලන්ඩනයේ පමණක් 40,000කට අධික පිරිසක් මරණයට පත් වූහ. එහෙත් අරුමයකට මෙන් මනෝචිකිත්සක වාට්ටු භාවිත කිරීමට තරම් මනෝභීතිකාවක් ලන්ඩන් වැසියන් තුළ උද්ගත නො වී ය.

ජර්මන් ගුවන් ප්‍රහාර බොහෝ කලක සිට පැවතුණ ද, බ්‍රිතාන්‍යයන් සිය දෛනික ජීවිතය අඩු වැඩි වසයෙන් සාමාන්‍ය පරිදි ගත කළ ආකාරය බොහෝ නිරීක්ෂකයන් විස්තර කර තිබේ. ළමයින් සෙල්ලම් කළ අතර ස්ත්‍රීහු සාමාන්‍ය පරිදි සාප්පු සවාරියේ ගියහ. දුම්රිය ද නො කඩවා ධාවනය විය. බෝම්බ පිපිරීම නිසා ඇති වූ කම්පනයට වීදුරු ජනේල ඉරි තැළී බිඳී ගිය ද ලන්ඩනයේ වැසියෝ සන්සුන්ව තේ පානය කළහ.

එලෙස ලන්ඩන් වැසියන් අනපේක්ෂිත ලෙස සන්සුන් ව සිටියා පමණක් නො ව – බොහෝ ආකාරවලින් ඔවුහු වෙන කවරදාකටත් වඩා මානසික වසයෙන් යහපත් වූහ. බෝම්බවලින් ඇති වූ මරණ නිසා ඔවුන් තුළ හෘදයංගම ශෝකයක් ඇති වී තිබුණු බව සැබෑවක් වූ නමුත් අධික මත්පැන් පානය ද සිය දිවි නසා ගැනීම් ද බෙහෙවින් අඩු වී තිබුණි. බියෙන් වියරු ව ඇන කොටා ගන්නා නගර වැසියන් දැකීමට බලාපොරොත්තු වූ හිට්ලර්ගේ ‘බ්ලිට්ස්’ ක්‍රියාන්විතයෙන් සිදු වුණේ ලන්ඩන් වැසියන් එකිනෙකාගේ ඕනෑ එපාකම් සොයා බලමින් සහානුකම්පාවෙන් සාමූහික ව කටයුතු කිරීමට පෙලඹීම යි. යුද්ධය අවසන් වූ විට, බොහෝ ලන්ඩන් වැසියෝ යුද සමය ගැන කාංසාවෙන් කතා කළහ. සාමාන්‍ය තත්ව යටතේ සිදු වෙනවාට වඩා මිනිසුන් එකිනෙකාට උදව් කරමින් වගා කරගත් සුහදත්වය ඔවුන්ගේ මතකයේ නිරන්තරයෙන් රැඳී තිබුණි. කොටින් ම, ලන්ඩන් වැසියෝ හිට්ලර්ගේ අපේක්ෂා කඩාකප්පල් කළ අතර ගුස්ටාව් ලෙ බොන්ගේ න්‍යාය ද බොරු කළහ.

පැවැත්ම පිළිබඳ තර්ජනයක් නිසා නිරායාසයෙන් ම මනුෂ්‍ය ස්වභාවය කුරිරු බවට පත් නො වන බවත් ඒ නිසා ම මිනිසුන් ස්වභාවයෙන් ම ආත්මාර්ථකාමි වෙතැ’යි කීම නිවැරදි නො වන බවත් ලන්ඩන් වැසියෝ ඔප්පු කළහ. ඇත්ත වසයෙන් ම යුද්ධය ඔවුන්ට ප්‍රායෝගික ව ම පෙන්වා දී තිබුණේ සහානුකම්පිත ව සාමූහික ව කටයුතු කිරීම එවැනි අවස්ථාවල දී පැවැත්ම පිළිබඳ තර්ජනයට මුහුණ දිය හැකි හොඳ ම ආකාරය බව යි.  ලෙ බොන්ගේ නිබන්ධනයට පටහැණි ව, හිට්ලර්ගේ ‘බ්ලිට්ස්’ ක්‍රියාන්විතය බොහෝ ආකාරවලින් බ්‍රිතාන්‍ය සමාජය ශක්තිමත් කළේ ය. හිට්ලර් සිය සැබෑ ඉලක්කයට හරියටම ප්‍රතිවිරුද්ධ විපාකයක් අත් කර ගෙන තිබුණි.

යුද සමයේ දී බ්‍රිතාන්‍යයන් දැක් වූ සන්සුන් භාවය අද පවා ඔරොත්තු දීමේ හැකියාව බ්‍රිතාන්‍ය චරිතයේ ඉතා වැදගත් අංගයක් ලෙස හුවා දැක්වීමට සාක්ෂියක් ලෙස යොදා ගැනේ. එහෙත් ඇත්ත වසයෙන් එය හුදෙක් බ්‍රිතාන්‍යයන්ට පමණක් සීමා වූවක් නො ව මනුෂ්‍ය සංහතියේ ම සහජ ගති ලක්ෂණයකි. මාරාන්තික ආවේගවලට නො නැමී, බ්‍රිතාන්‍යයන් හැසිරුණු ආකාරයට අනුරූප ව ව්‍යසනය හමුවේ කලබල නො වී සාමූහික ව සහානුකම්පාවෙන් කටයුතු කිරීමට මිනිසුන් පෙලඹෙන බව තහවුරු කරන එවැනි උදාහරණ ගණනාවක් ම වෙයි. නිදසුනක් ලෙස දක්වනවා නම් 2001 සැප්තැම්බර් 11 දින නිව්යෝක් නුවර වර්ල්ඩ් ට්‍රෙඩ් සෙන්ටර් කුලුනු යුගලයට එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමඟ, සාමාන්‍යයෙන් ආත්මාර්ථකාමී යැ’යි හැඳින්වෙන නිව්යෝර්ක් වැසියන් අන් අයගේ ජීවිත බේරා ගැනීම සඳහා තම ජීවිතය පරදුවට තබා ඉදිරිපත් වූ අන්දම ගත හැකි ය. එම අර්බුදය විසින් දිරි ගන්වන ලද්දේ ම්ලේච්ඡත්වය නො ව සහයෝගීතාව යි.

ඉතිහාසය නැවත නැවතත් පෙන්නුම් කරන්නේ ව්‍යසන වැනි ආන්තික අවස්ථාවල දී මිනිසුන්ගේ යහගුණය කැපී පෙනෙන ලෙස ඉස්මතු වන බව යි. ආපදාවකින් පසු මිනිසුන් ආත්මාර්ථකාමයකින් තොර ව ක්‍රියා කිරීමට පෙලඹෙන බව ඩෙලවාර් විශ්ව විද්‍යාලයේ ආපදා පර්යේෂණ මධ්‍යස්ථානය ක්ෂේත්‍ර පරීක්ෂණ 700 කින් ලබාගත් දත්ත මත නිගමනය කළ බව රට්ගර් බ්‍රෙග්මන් පෙන්වා දෙයි. ව්‍යසනයකින් පසු මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ සහ හොරකම් කිරීම අඩු වෙන නමුත් සාමාන්‍ය මතය වන්නේ එවැනි තත්වයක් තුළ මිනිසුන් තිරිසනුන් මෙන් හැසිරෙන බවයි. 2005 කැත්‍රිනා සුළි කුණාටුව ඇමෙරිකාවේ නිව් ඔර්ලියන්ස් නගරයට බලවත් හානියක් කරමින් හමා ගිය අවස්ථාවේ දී වෙළඳසැල් කොල්ල කෑම සම්බන්ධ ඇඟ කිලිපොළා යන කතන්දර ජනමාධ්‍යයෙන් ප්‍රචාරය විය. එහෙත් ඒ පිළිබඳ ව පසු ව සිදු කළ සමාජ විද්‍යාත්මක ගවේෂණවලින් හෙළිවුුණේ එම සිදුවීම්වලින් බොහෝමයක් ම ආත්මාර්ථකාමී මංකොල්ල කෑම් නිසා ඇති වූ සිදුවීම් නො ව නිවාස කැඩී බිඳී යෑම නිසා දහස් සංඛ්‍යාත ගණනින් විතැන්ව අධිකාරීන්ගේ හව්හරණයකින් තොර ව සරණාගතයන් බවට පත් ව සිටි සහෝදර නගරවාසීන්ට ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමට තරුණයන් විසින්  කරන ලද රොබින් හුඩ් වර්ගයේ සොරකම් බවයි.

එහෙත් අපි නිරතුරුව ම මනුෂ්‍යත්වය පිළිබඳ අප විසින් මවා ගෙන ඇති නිෂේධාත්මක ප්‍රතිරූපයට ඇලුම් කරමු. ජනමාධ්‍ය වාර්තා කරන්නේ සාමාන්‍ය දේවල් ලෙස නො සැලකෙන අසාමාන්‍ය සිදුවීම් සහ පුද්ගල චර්යා ය. සිදුවීමක්  ප්‍රවෘත්තියක් වසයෙන් සලකනු ලබන්නේ එය අසාමාන්‍ය නම් පමණි. අතන සිදු වන ත්‍රස්තවාදී ප්‍රහාරයක්, මෙතැන සිදු වන ස්වාභාවික ව්‍යසනයක් ආදි වසයෙන් කෙරෙන ප්‍රවෘත්ති ප්‍රකාශ යනු බොහෝ විට වේදනාව හා අවාසනාව පෙළ ගස්වන අවමගුල් පෙරහැරක් බඳු ය. දිනපතා ප්‍රවෘත්තිවලින් අප නිරන්තරයෙන් ම නිරාවරණය වන්නේ අයහපත පිළිබඳ කතන්දරවලට ය. ‘අද යුරෝපයේ යුද්ධයක් ප්‍රකාශයට පත් නො වී ය’ යනුවෙන් කියවෙන සිරස්තලයක් ඔබ කිසි විටෙකත් නො දකිනු ඇත.

දිනපතා ප්‍රවෘත්ති කියවන හෝ බලන අයට සහජයෙන් ම මිනිසුන් නරක ය යන හැඟීම ඇති වීම පුදුමයක් නො වේ. දේශපාලනඥයන්ගේ බොරු හා කපටිකම්වල සිට විවිධ පුද්ගලයන්ගේ වංචා සොරකම්, දූෂණ අඩු සැලකිලි දැක්වීම් හා මිනී මැරීම් දක්වා වූ කරුණු දිනපතා පාහේ ප්‍රවෘත්ති මඟින් අනාවරණය වන විට  අපට සිතෙන්නේ මිනිසුන්ගේ මෘග ගති පැවතුම් නැවැත්විය හැක්කේ එකී අපරාධවලට දැඩි දඬුවම් ලබා දීම පිණිස ආණ්ඩුව විසින් නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම මඟින් පමණක් බවයි.

මෙවැනි ලෝකයක තමන් ගැන හිතන අයට හැර අන් අයට තැනක් නැත, හැම දෙයක් ම බලු පොරයක් වැනි ය. පැවැත්ම තහවුරු කර ගන්නේ බලපුලුවන්කාරකම වඩාත් ම යොදා ගත හැකි පුද්ගලයා පමණි යන්න පොදු චින්තනය බවට පත් වීම පුදුමයක් නො වේ.

ප්‍රවෘත්ති පමණක් නො ව අපට කියවන්ට ලැබෙන බොහෝ ප්‍රබන්ධ කතන්දරවලින් ද මිනිසුන් සාමාන්‍යයෙන් ම දුෂ්ටය හෝ ආත්මාර්ථකාමීය යන හැඟීම ප්‍රචාරණය කරවයි. මේ කතන්දරවල අයථා ස්වභාවය පිළිබඳ උදාහරණයක් රට්ගර් බ්‍රෙග්මන් විසින් කළ  කදිම විමර්ශනයකින් උපුටා දැක්විය හැකි ය. යොවුන් පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය ප්‍රබන්ධ කතාවක් මෙන් ම එහි කතුවර  විලියම් ගෝල්ඩින්ට නොබෙල් ත්‍යාගය හිමි වීමට හේතු වූ Lord of the Flies කෘතියට බ්‍රෙග්මන්ගේ අවධානය යොමු විය. ගෝල්ඩින්ට අවශ්‍ය ව තිබුණේ දූපතක හුදකලා වන ළමයින් හැසිරෙන ආකාරය විස්තර කරන ‘සත්‍ය’ තොරතුරු මත ප්‍රබන්ධ කතන්දරයක් ලිවීමට යි. ඔහුගේ නව කතාවේ එන අන්දමට පුරුදු සමාජයෙන් ඈත් ව හුදකලාව විසීම නිසා එකිනෙකා අතර ඇතිවෙන අවුල් සහගත අරාජික තත්වයකට පසු කතාවේ පාත්‍රවර්ගයා අතරින් ළමයි කිහිප දෙනෙක් මියයති. ගැටීම් වැළැක්වීම සඳහා නීත්‍යනුකූල බලයක් සහිත බේරුම්කරුවෙක් සමාජයක් තුළ නොමැති විට මිනිසුන් කෙබඳු ලෙස හැසිරේ ද යන්න මේ කතාව මඟින් තාත්වික ව නිරූපණය කිරීම සම්බන්ධයෙන් ගෝල්ඩින්ග් බොහෝ විචාරකයන්ගේ පැසසුමට ලක් විය.

එහෙත් මේ කතාවෙන් හෙළි කළ ගැටුම්කාරී චර්යාව පදනම් කරගත් සත්‍ය කථාව ගැන බ්‍රෙග්මන්ට සැක පහළ වී තිබුණි. ගෝල්ඩින්ගේ ප්‍රබන්ධ කතාවේ එන අන්දමින් දූපතක හුදකලා වූ ළමයින් පිරිසක් ඇත්ත වසයෙන් ම හැසිරී ඇත්තේ කෙසේ දැ’යි සොයා බැලීමට බ්‍රෙග්මන්ට අවශ්‍ය විය. ඒ අනුව 1966දි ළමයින් හය දෙනෙකුට පැසිෆික් සාගරයෙ පාලු දූපතක මාස 15ක් තිස්සේ හුදකලාව ජිවත් වීමට සිදුවූ සත්‍ය සිද්ධියක් ගැන සොයා බැලීමට ඔහුට  හැකි විය. 

එහෙත් එම සත්‍ය සිද්ධියේ දී ළමයින් හැසිරුණේ ගෝල්ඩින්ග්ගේ කථාවේ සඳහන් ආකාරයට වඩා හාත්පසින් ම වෙනස් අයුරින්  බව බ්‍රෙග්මන්ග්ට සොයා ගැනීමට හැකි විය. යථා ජීවිතයේ දී අරාජිකත්වයක් රජ නො කරයි. ඇත්ත වසයෙන් ම රංඩු සරුවල් නො කර ගැනීමේ ගිවිසුමක් දූපතේ හුදකලා වූ ළමයින් විසින් ඇති කර ගෙන තිබුණි. ආහාර පුලුස්සා කෑම පිණිස ගිනිමැලයක් දල්වා ගත් ඔවුහු අවුරුද්දකට වැඩි කාලයක් එය සාමූහික ව පවත්වා ගෙන ගියහ. අවසානයේ දී දූපතට අහම්බයෙන් පැමිණි යාත්‍රාවකින් ගලවා ගනු  ලැබූ ඔවුහු හයදෙනා ම අතිජාත මිත්‍රයන් වසයෙන් ඉතිරි කාලය දිවි ගෙවූහ. ඉදින් මේ කතන්දර දෙකෙන් මනුෂ්‍යයාගේ ඇත්ත ස්වභාවය පවසන කතාව කුමක් ද? 

ඒ හුදකලා වු දරුවන් පිළිබඳ හද කකියන සුලු සත්‍ය කතන්දරය අහම්බයක් ද? එමඟින් අපේ සත්‍ය ස්වභාවය ඇත්තටම නිරූපණය නො කරන්නේ ද?

එහෙත් දාහත්වැනි සියවසේ ඉංග්‍රීසි දාර්ශනිකයෙකු වූ තෝමස් හොබ්ස් උපකල්පනය කළේ ස්වාභාවික තත්වයේ සිටින තාක් මිනිසුන් “නරක” බවයි – හොබ්ස්ට අනුව මිනිසුන් කටයුතු කරන්නේ ආත්මාර්ථකාමිත්වය මුල් කර ගෙන ය. රාජ්‍යයක් සහ නීති රීති නොමැති නම් මනුෂ්‍යත්වය යනු නිරන්තරයෙන් “සියල්ලන්ට එරෙහි සියල්ලන් විසින් කරනු ලබන යුද්ධයක්” බවට පත් වනු ඇතැ’යි හොබ්ස් ප්‍රකාශ කළේ ය. අප දැක ඇති පරිදි, මෙම ලෝක දෘෂ්ටිය අදටත් පවතී.

නමුත් හොබ්ස්ට මෙන් නො ව, අපට දැන් දාර්ශනික උපකල්පනයෙන් ඔබ්බට ගොස් ශිෂ්ටාචාරය උදා වීමට පෙර පැවති මිනිස් ජීවිතය පිළිබඳ වඩාත් ආනුභාවික චිත්‍රයක් ඉදිරිපත් කරන විවිධ විද්‍යාත්මක සාක්ෂි තිබෙන බව බ්‍රෙග්මන් පෙන්වා දෙයි.

මෑතක් වනතුරු ම, ක්ෂේත්‍ර කටයුතු සහ පුරාවිද්‍යාත්මක කැණීම් යන දෙක ම හොබ්ස්ගේ අසුභ ලෝක දෘෂ්ටිය සනාථ කරන බවක් පෙනෙන්නට තිබුණි. උදාහරණයක් ලෙස ඇමෙරිකානු මානව විද්‍යාඥයෙකු වූ නැපෝලියන් චැග්නොන්, ඇමසන් කලාපයේ වෙසෙන යානෝමාමි දඩයම් ගෝත්‍රය ගැන අධ්‍යයනයකින් පසු ලියන ලද නිබන්ධනය සඳහන් කළ හැකි ය. එම අධ්‍යයනය පදනම් කොට 1968 දී චැග්නොන් ලියූ The Fierce People කෘතියේ ඔහු හුවා දැක්වූයේ යානෝමාමි ගෝත්‍රිකයන් නිරන්තරයෙන් ස්ථිර යුද්ධයක යෙදී සිටින බව යි.

එමෙන් ම මනෝ විද්‍යාඥ ස්ටීවන් පින්කර් විසින් 2011 දී තරම් මෑත දී පළ කළ The Better Angels of Our Nature නමැති ග්‍රන්ථයේ ඉදිරිපත් කළ සංඛ්‍යාත්මක විස්තරයකින් හොබ්ස්ගේ ආකල්පය අනුමත කරන බව පෙනේ. ඒ අනුව කැණීම්වල දී සොයා ගත් ඇටසැකිලි මත පදනම් ව, පින්කර් පෙන්වා දුන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ දී මිනිසුන්ගෙන් සියයට 14 ක පමණ ප්‍රමාණයක් යුද්ධවලට ගොදුරු වන්නට ඇති බව යි. කෙටියෙන් කිව හොත්, ඒ 14% ඝාතනයට ලක් වූ අයයි. එහෙත් නූතන කාලවල දී, කොතෙකුත් යුද්ධ පැවතුණ ද ලොව පුරා මිනීමැරුම් අනුපාතය වන්නේ සියයට එකක් පමණි. හොබ්ස්ගේ සම්ප්‍රදායට අනුව යමින් “අප තුළ ඇති යුධකාමී ම්ලේච්ඡයා මෙල්ල කිරීමට හැකි වූයේ ශිෂ්ටාචාරයට පමණි.” යනුවෙන් පින්කර් නිගමනය කළේ ය.

එහෙත් ස්ටීවන් පින්කර්ගේ නිගමනය සහ යානෝමාමි ගෝත්‍රිකයන් පිළිබඳ නැපෝලියන් චැග්නොන්ගේ නිරීක්ෂණ යන දෙක ම දෝෂ සහිත බව බ්‍රෙග්මන් පෙන්වා දෙයි. ප්‍රථමයෙන් ම  යානෝමාමි ගෝත්‍රිකයෝ පුර්ව ශිෂ්ටාචාර යුගයේ අපේ මුතුන් මිත්තන් ජීවත් වූ ආකාරය කිසි සේත් ම නියෝජනය නො කරති. චැග්නොන් සිය කෘතිය ප්‍රකාශයට පත් කරන විට, යානෝමාමි ගෝත්‍රිකයන් සෑහෙන කලක් තිස්සේ ඇමසන් ගොවීන් හා නූතන නාගරිකයන් සමඟ සම්බන්ධකම් පවත්වා තිබුණි. චැග්නොන් පවා සිය ක්ෂේත්‍ර පර්යේෂණයේ දී ගෝත්‍රිකයන්ට පොරෝ සහ ගිනිකූරු වැනි භාණ්ඩ ද ලබා දි තිබුණි.  ඒ අනුව ඔහුට නිරීක්ෂණය කරන්නට ලැබුණේ යැයි කියන යානෝමාමි ගෝත්‍රිකයන්ගේ ප්‍රචණ්ඩත්වය ශිෂ්ටාචාරයට අභිමුඛ වීමට පෙර සිට පැවත එන්නකැ’යි නිගමනය කිරීම සදොස් ය.

පින්කර්ගේ සංඛ්‍යා ලේඛනත් නිදොස් ඒවා නො වේ.  යුද්ධවලින් 14% ජනගහනයක් ඝාතනය වී යැයි තහවුරු කිරීමට ඔහු විසින් උපුටා දක්වන කැණීම් විසි එකෙන් විස්සක් ම කෘෂිකර්මය හඳුන්වා දීමෙන් පසු මිනිසුන් ස්ථිර පදිංචිය තෝරා ගත් කාලවල දී සිදු වූ සිදුවීම්වලට අයත් ඒවා ය. ඒ අනුව පින්කර් හුවා දක්වන සංඛ්‍යා ලේඛන කෘෂිකර්මයට පෙර පැවති පූර්ව ශිෂ්ටාචාර යුගයේ මානව සමාජවල චර්යාව නිරූපණය කරන සංඛ්‍යා ලේඛන ලෙස සැලකිය හැකි නො වේ.

කෘෂිකර්මය හඳුන්වා දීමට පසු ‘ශිෂ්ට’ සම්පන්න වීමට පෙර අප ගල්යුගයේ දී ගත කළ ජීවිතය පිළිබඳ වඩා විශ්වාසදායක සාක්ෂියක් ලෙස ඒ කාලයට අයත් ගුහා චිත්‍ර සැලකිය හැකි ය. එවැනි ගුහා සිතුවම් ප්‍රංශයේ සිට ඉන්දුනීසියාවේ සුලවෙසි දූපත් දක්වා ලෝකයේ විවිධ තැන්වලින් සොයා ගෙන තිබේ. ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ පමණක් එවැනි චිත්‍ර සහිත ගුහා 350 කට කිට්ටු සංඛ්‍යාවක් සොයා ගෙන තිබේ. වඩාත් ජීවමාන ලෙස චිත්‍රණය කරන ලද සිතුවම් ලැස්කෝ සහ ඇල්ටමීරා වැනි  ගුහාවල දක්නට ලැබේ. දඩයම් යුගයට අයත් යැයි සැලකෙන චිත්‍ර ඇති බොහෝ  ගල්ගුහාවල  නිරූපණය වන්නේ දඩයමට ගොදුරු වන සතුන් සහ දඩයම් කිරීම පිළිබඳව සිතුවම් ය. එහෙත් ඒ අතරින් මිනිසුන්ගේ ප්‍රචණ්ඩත්වයක් හෝ යුද්ධයක් හෝ නිරූපණය කරන කිසිදු සිතුවමක්  සොයා ගෙන නැති බව බ්‍රෙග්මන් පෙන්වා දෙයි. ඇතැම් ගුහාවල මිනිසුන්ට විදින  දුනුවායන්ගේ රූප සටහන් හමු වි ඇති  නමුත් ඒවා වඩා මැතක දී එනම් කෘෂිකාර්මික යුගයේ දී ඒ වන විටත් ගල්ගුහාවල ජිවත් වූ දඩයමින් යැපුණු මිනිසුන් විසින් අඳින ලද ඒවා බව සැලකේ. 

අපේ අතීතය අධ්‍යනය කරන නූතන මානව විද්‍යාඥයන්ගේ මතය වන්නේ දඩයමින් හා වන සම්පතින් ජිවත් වූ යුගයේ දී තැනින් තැන සැරිසරමින් දිවි ග‍ෙවූ මිනිස් කණ්ඩායම් තුළ ප්‍රචණ්ඩත්වය යනු ඉතා කලාතුරකින් දක්නට ලැබුණු දෙයක් බවයි. ඒ වෙනුවට ඔවුන්ගේ පැවැත්ම සඳහා සාමුහිකව කටයුතු කිරීම හා එකිනෙකා ගෙන් ඉගෙන ගැනීම අත්‍යවශ්‍ය දෙයක් විය. කලක් ජීවත් වීමටත් දූ දරුවන් බිහි කිරීමටත් හැකි වූයේ සහයෝගයෙන් කටයුතු කිරීමට සමත් මනුෂ්‍යයන්ට ය. ඒ අනුව ස්වභාවධර්මය වැඩි සැලකිල්ලක් දැක්වූයේ ශක්තිමත් ම මිනිසාට හෝ වඩාත් ම ආත්මාර්ථකාමී මිනිසාට නො ව වඩාත් ම සහයෝගයෙන් කටයුතු කළ හැකි මිනිසාට යි.

දඩයම් යුගයට අයත් ගුහා චිත්‍රවල ප්‍රචණ්ඩත්වය නොමැති වීම පමණක් නො ව අපේ මුහුණු සහ සිරුරුවල ස්වරූපය පරිණාමය වි ඇති ආකාරය ද එම නිගමනය තහවුරු කරන බව බ්‍රෙග්මන් පෙන්වා දෙයි.  නූතන මිනිසාගේ මුහුණුවල ලක්ෂණ අපේ පුර්වජයන්ගේ මුහුණුවල ලක්ෂණවලට වඩා බෙහෙවින් මිත්‍රශීලී ය; මෘදු; වටකුරු ය; සිනහමුසුය. ඊට හේතුව අප විසින් ම අප ගෘහස්ථකරණය (domestication)කර ගෙන තිබීම යි.  සුනඛයන් පරිණාමයට ලක් කරගත් ආකාරයට ම අප මිත්‍රශීලී ස්වභාවය ඉස්මතු වන ලෙස අප විසින් අපව ම පරිණාමයට ලක් කර ගෙන තිබේ. ඒ නිසා ‘හෝමෝ පපි’ යන නාමය අපට වඩා ගැළපෙන බව බ්‍රෙග්මන් පවසයි.

අපේ පෙනුමෙන් පමණක් නො ව අප ඉගෙන ගන්නා ආකාරයෙන් ද කියවෙන්නේ මිනිසුන්ගේ පැවැත්ම සහතික වන්නේ එකිනෙකා සමඟ  සහයෝගයෙන් ජීවත් වීමට ඇති හැකියාව මත බවයි. තනි තනි ව ගත හොත් අප එතරම් සපන් පුද්ගලයෝ නො වෙමු. ළදරුවන් සහ චිම්පන්සි පැටවුන් සැසඳීමේ දී තහවුරු වී අති පරිදි මිනිස් දරුවන් වානර දරුවන්ට වඩා දක්ෂ වන්නේ ‘සමාජමය ඉගෙනීම’ යන අධ්‍යන ප්‍රවර්ගය සම්බන්ධයෙන් පමණි. එහි දී අපි චිම්පන්සියන්ට සහ ඔරං ඔටං වානරයන්ට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටිමු. එකිනෙකාගෙන් ඉගෙන ගැනීම සම්බන්ධයෙන් අප කොතරම් දක්ෂ දැ’යි කිව හොත් මිනිසුන් සම්බන්ධයෙන් නම්  ඥානන හැකියාව සහ සහයෝගිතා හැකියාව යන දෙක ම  එකම කාසියක දෙපැත්ත වසයෙන් සැලකිය හැකි බව බ්‍රෙග්මන් සඳහන් කරයි.

ඉතින් ශිෂ්ටාචාර බිහි වීමට පෙර නො පැවති ප්‍රචණ්ඩත්වයක් ශිෂ්ටාචාර බිහි වීමට පසු අප තුළ ඇති වන්නට ඇත්තේ කෙසේ ද ? මෑත කාලීන පුරාවිද්‍යා පර්යේෂණවලට අනුව මීට අවුරුදු 12,000 කට පමණ පෙර ප්‍රථම අයිස් යුගය අවසානයේ ජීවනෝපාය ලෙස කෘෂිකර්මය හඳුනා ගත් පසු මිනිස්සු වඩා ස්ථිර වාසභූමිවල දිවි ගෙවීමට පුරුදු වූහ. ඒ සමඟ වාසභූමි වටා ප්‍රථම ආරක්ෂක පවුරු බැමි බැඳීම ද ආරම්භ විය. ඇතැම් ගුහා චිත්‍රවල දුනුවායන් නිරූපණය වීම ඇරඹියේ ද මේ අවධියේ දීම ය. මේ යුගයේ කැණීම්වලින් සොයා ගත් මිනිස් ඇට සැකිලිවලින් ඇතැම් ඒවාවල තිබූ ලකුණු නිසා එම ඇට සැකිලි ප්‍රචණ්ඩ ක්‍රියා නිසා මරණයට පත් වූ අයගේ බවට තීරණය කළ හැකි විය. ඉන් පැහැදිලි වන්නේ කෘෂිකර්මයට පුරුදු වීමත් සමඟ අප ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීම ද ඇරඹුණු බවයි. මන්ද කෘෂිකර්මයට පිවිසීමත් සමඟ ඉඩම් අත්පත් කර රැක ගැනීමට සහ භෝග ආරක්ෂා කර ගැනීමට ද සිදු විය. කොටින් ම කෘෂිකර්මයට පිවිසීමත් සමඟ දේපොළ ගැන ද දේපොළවල ආරක්ෂාව සහ අයිතිය ගැන ද කරදර වීමට මිනිසුන්ට සිදුවිය.

දේපොළ අයිතිය ඇතිවීමත් සමඟ අන් අය ගැන සැක මුසු බව ද අපේ සිත් තුළ පහළ විය. දඩයමින් සහ වන සම්පතින් ජීවත් වූ යුගයේ දී එක් එක් පුද්ගලයාට අයත් සරල ආම්පන්න ගැන බෙහෙවින් ලිහිල් එකඟත්වයක් තිබුණු නමුත් ඉඩකඩම් හා ස්ථිර වාසස්ථාන පිළිබඳ අයිතිය ඊට වඩා වෙනස් ආකාරයක පුද්ගලික භුක්තිය පිළිබඳ ස්වාර්ථකාමී ආකල්පයක් බවට පත් විය. තැනින් තැන සැරිසරමින් ගත කළ දඩයක්කාර ජීවිතයේ දී නිශ්චිත ගෝත්‍රයකට අයත් වීම මිනිසුන්ට අනිවාර්යය නො වූ අතර බොහෝ විට මග දී මුණ ගැසෙන නව කණ්ඩායම් සමඟ එක්වීම ද සිදු විය. එහෙත් කෘෂිකර්මය සඳහා මිනිසුන් ස්ථිර පදිංචිය තෝරා ගත් පසු මේ සියල්ල වෙනස් විය. එතැන් සිට ‘අපි නිදහසේ සැරිසරන සාර්වභෞමිකයන්ගේ සිට පරජන භීතිකාවෙන් නිතර පෙළෙන සැක මුසු අය’ බවට පත්වීමු යැ’යි බ්‍රෙග්මන් පවසයි. 

ප්‍රචණ්ඩත්වය ඉස්මතු වීමට තවත් හේතුවක් වසයෙන් බ්‍රෙග්මන් පෙන්වා දෙන්නේ ශිෂ්ටාචාරය ඇතිවීම සමඟ සමාජ ධුරාවලිය ද ඇතිවීම යි. ලොකු ජනගහනයක් ඇති ජනාවාස පිහිටු වීමට පෙර සිටි දඩයමින් යැපුණු කාණ්ඩවල නායකයන්ට තම කණ්ඩායමේ අනෙක් සාමාජිකයන්ට ඉහළින් සිය තනතුරේ වැජඹීම පහසු කරුණක් නො වී ය. ඊට හේතුව තැනින් තැන සැරිසරමින් ගත කළ ජීවන ක්‍රමයක් තුළ සාමාජිකයන් අතර අසමානත්වය තහවුරු වීමට තිබූ ඉඩකඩ බෙහෙවින් සීමිත වීම යි.  පුරා තත්ව විද්‍යාව මඟින් සොයා ගෙන ඇති සාක්ෂිවලට අනුව දඩයමින් සහ වන සම්පතින් ජීවත් වූ බොහෝ සමාජ ඒවායේ සාමාජිකයන්ගේ හැසිරීම නින්දාලාප මත නියාමනය වන ක්‍රමයක් පවත්වා ගෙන ගිය බව හෙළිදරව් වී තිබේ. ඒ අනුව කිසියම් සාමාජිකයෙකු අනෙක් අය පාලනය කිරීමට තැත් කළ හොත් කණ්ඩායමේ අවශේෂ සාමාජිකයෝ නින්දාලාප අවියක් කොට ගෙන තුල්‍ය පීඩනය (peer pressure) මඟින් සමානයින්ට අවනත වීමට පොලඹවා ගනිමින් ඔහු නිසි තැන තැබීමට වග බලා ගනිති. 

එහෙත් මීට වසර 10,000 කට පමණ පෙර ස්ථිර ජනාවාස ඇති වූ පසු නායකයන් බවට පත් වූ බලගතු පුද්ගලයන් හුදු ඕපාදූපවලින් හෝ නින්දාලාපවලින් දමනය කිරීමට නො හැකි විය. අවශ්‍ය වූ වහාම තමා වටා සිටි හිතවත් චණ්ඩි සගයන් සහායට කැඳවා ගත හැකි වු නිසා එවැනි නායකයන්ට පහසුවෙන් තම බලය තහවුරු කර ගත හැකි විය. අද කාලයේ නම්  පාලකයන් විශාල හමුදාවල අධිපතියන් බවට පත් ව තිබෙන බැවින් හුදු අවඥා සහගත ෆේස්බුක් පෝස්ට්වලින් හෝ නින්දාලාපී ට්වීට් පණිවුඩවලින් ඔවුන් බලයෙන් පහ කළ නො හැකි ය.

අපේ ආදි මානවයෝ නෂ්ට වී යෑමේ තර්ජනයට නිරන්තරයෙන් ම ගොදුරු වූහ. ඔවුන් කුඩා කණ්ඩායම් ලෙස අවශේෂ කණ්ඩායම්වලින් බොහෝ ඈත් ව ජීවත් වූ අතර එකල මුලු ලෝකයේ ම සිටි මානව ජනගහනය දහස් ගණනකට සීමා විය. වාල් පවසන පරිදි එවැනි තත්වයක් යටතේ ආදි මානව සමාජ අතර නිරන්තරයෙන් ම යුද්ධ ඇති වී යැයි සිතිය නො හැකි ය. මෙකී මානවයන් වර්තමානයේ අප්‍රිකාවේ  කලහාරි කාන්තාරය අසබඩ ජීවත් වන බුෂ්මන් ගෝත්‍රිකයන්ට සමාන ය. ඔවුන් අතර මෙන් එකල මානව සමාජවල ද ඉඳ හිට ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වන්නට ඇති නමුත් ඒවා කලාතුරකින් පමණක් සිදු වන දේවල් ය. 

ඔබේ ඈනුම් යෑම බෝවෙන රෝගයක් මෙන් අවට සිටින අයට ද පැතිරෙන්නේ ඇයි? මිනිසුන් අතර පමණක් නො ව චිම්පන්සියන් අතර ද මෙසේ ඈනුම් යෑම බෝවන බව කියෝටෝ විශ්ව විද්‍යාලය කළ පරීක්ෂණයක් උපුටා දක්වමින් වානර චර්යාව පිළිබඳ විශේෂඥයෙකු වන ෆ්‍රාන්ස් ඩි වාල් ඔහුගේ  Age of Empathy නමැති කෘතියේ පෙන්වා දෙයි. මේ හා සමාන වෙනත් ආකාරයේ හැසිරීම ද සත්ව රාජධානියේ දක්නට ලැබේ. පිංචි කුරුල්ලන් වලාකුළක් මෙන් රංචු ගැසී එක ම රටාවකට ඇඹරෙමින්  කැරකෙමින් එක ම දිසාවකට පියාසර කරන ආකාරය තවත් එවැනි එක් උදාහරණයකි.  දිග දුර පියාසර කරන සංක්‍රමණික පක්ෂීන් අතර ද මෙවැනි හැසිරීම් දක්නට ලැබේ.  මෙසේ එකම රටාවකට හැසිරීම හඳුන්වන්නේ synchronization හෙවත් සමකාලනය යන නමිනි. සහජාශිය සම්බන්ධීකරණය හෙවත් අන්තර්ඥානයෙන් මෙන් සහෘදයන් සමඟ මෙසේ එක ම රටාවකට හැසිරීමට පෙලඹීම සාමූහිකත්වය සහජයෙන් ම තහවුරු කරන්නක් බව වාල් පවසයි.

වාල්ට අනුව මේ සමකාලනීය චර්යාව අපේ සාමූහික පැවැත්මට අත්‍යවශ්‍ය දෙයකි. පෙම්වතිය සමඟ සතුටු සාමීචියෙන් ගත කරන මෙහොතක ඇය සිනාසෙන විට ඔබ සිනාසෙන්නේත් ඔබ වතුර  බොන විට ඇය ද ඒ සමඟ වතුර බොන්නේත් පෙම් යුවල අතර සහසම්බන්ධය සමකාලනය මඟින් පවත්වා ගැනීමටයි.  මේ ආකාරයෙන් මනුෂ්‍යයන් යනු නිසර්ගයෙන්ම එකිනෙකා සමඟ බැඳුම් ඇති කර ගැනීමට නැඹුරු වූවෝ වෙති.

ඒ නිසා මරණය ළඟට මිනිසෙකුට දිය හැකි දරුණු ම දඬුවම වන්නේ හුදකලාව සිරකර තැබීම යි. එය කෙතරම් අමාරු දෙයක් දැ’යි කිව හොත් එසේ හුදකලාවට ලක් වන බොහෝ සිරකරුවෝ සිය මුරකරුවන් සමඟ කළහ කිරීමට පෙලඹෙන්නේ හුදකලාව දරුණු වූ අවස්ථාවල දී බව නිරීක්ෂණය කර  තිබේ. එමඟින් ඔවුන් තැත් කරන්නේ හුදකලාවෙන් මිදීමට යි. ඒ නිසා සමාජය යනු එකිනෙකාගෙන් ස්වායත්ත වූ හුදකලා ආත්මාර්ථකාමී මිනිසුන්ගේ එකතුවක් ලෙස සැලකීම වැරදි ය. 

මෙකී සියලු තර්ක වලංගු යැයි මොහොතකට සිතමු. ඒ අනුව මනුෂ්‍යයෝ ස්වභාවයෙන් ම යහපත් ය. අනෙක් අයට හානියක් කිරීම ඔවුන්ගේ සහජ ගතියක් නො වේ. විද්‍යාව මඟින් බොහෝ විට කරන්නේ දැනට මත් දන්නා එවැනි විශ්වාස සාක්ෂි මත තහවුරු කිරීම යි. එහෙත් මේ සහජ මනුෂ්‍යත්වයට පටහැණි ව යුද වැදීම වැනි අවස්ථාවල දී ඇතිවෙන ප්‍රචණ්ඩ ක්‍රියා විස්තර කරන්නේ කෙසේ ද?

එම පැනයට පිළිතුරු වෙනත් එවැනි ම පැනයක් පිටු පස සැඟවී තිබුණු අන්දම රට්ගර් බ්‍රෙග්මන් ඔහුගේ Humankind නමැති කෘතියේ විස්තර කරයි. ඒ පැනය නම් දෙවන ලෝක මහා යුද සමය  අවසානයේ 1944 දී  මිත්‍ර පාක්ෂිකයන් තමන්ගෙන් ම අසා ගත් පැනයකි. එනම් මේ සා පැහැදිලි පරාජයක් ඉදිරියේ සතුරු ජර්මන් සොල්දාදුවන් තවමත් මිත්‍රපාර්ශ්වික හමුදා මෙන් දෙගුණයක උනන්දුවකින් සටන් කරන්නේ ඇයි? පරාජය පෙනි පෙනීත් ඉතා කැපවීමෙන් සටන් කළ බොහෝ ජර්මන් සොල්දාදුවෝ කිසි සේත් ම යුද බිම අතහැර පලායෑමද නො කළෝ ය. මෙය මිතුරු හමුදාවලට පුදුම ගැටලුවක් විය.

තමන්ට වඩා විශාල සේනාවකින් වට කරනු ලැබ තිබිය දීත් ජර්මන් හමුදා නො කඩවා සටන් කරන්නේ ඇයි දැ’යි යන කරුණ ගැන විමර්ශනයක් කිරීමට ඇමෙරිකානු සමාජ විද්‍යාඥයෙකු වන මොරිස් ජැනොවිට්ස්ට පැවරුණි. ඒ යුගයේ විසූ අනෙකුත් බොහෝ සමාජ විද්‍යාඥයන් මෙන් ම ජර්මන් සොල්දාදුවන්ගේ සටන්කාමී හැසිරීම ගැන ජැනොවිට්ස්ට කීමට තිබුණේ එක ම දෙයකි. එනම් හිට්ලර්ගේ ෆැසිස්ට් දෘෂ්ටිවාදයෙන් මත් කර පමණ ඉක්මවා තම පිතෘ භුමිය වන්දනා මාන කිරීම පිණිස දරුණු මොළ ශෝධනයකට (brainwash) ලක් කර ඇති නිසා ජර්මන් සොල්දාදුවන් මෙසේ වියරුවෙන් මෙන් සටන් කරන බව යි. 

ඒ අනුව මේ දෘෂ්ටිවාදයට එරෙහි ව ජර්මන් සොල්දාදුවන් නම්මවා ගැනීමේ ප්‍රචාරණ ක්‍රියාන්විතයක් මිත්‍ර හමුදාවල මෙහෙයවීමෙන් දියත් විය. ජර්මන් සොල්දාදුවන් විසින් අල්ලා ගත් පෙදෙස්වලට ගුවනින් ගොස් දස දහස් ගණනින් ප්‍රචාරක පත්‍රිකා විසුරුවා හරින ලදී. ඒවායේ සඳහන් වූයේ  “ඔබට කිසිදු බලාපොරොත්තුවක් තබා ගත නො හැකි ය! මිත්‍ර හමුදාවේ ජය නියත යි!” වැනි  ප්‍රතිඋද්යෝග පාඨයන් ය. එහෙත් ජර්මන් යුද භටයන් ඒ ප්‍රචාරණවලට රැවටුණේ නැත. ඒ ඇයි? හේතුව ජර්මන් සොල්දාදුවන්ගේ පෙලඹවීම සම්බන්ධයෙන් සමාජ විද්‍යාඥයන්ගේ උපකල්පන සියල්ල වැරදි වීම නිස යි.

ඒ බව හෙළිවුුණේ සටන් බිමේ දී අල්ලා ගනු ලැබූ ජර්මන් සොල්දාදුවන් හා කතා බහ කිරීමේ අවස්ථාව මොරිස් ජැනොවිට්ස්ට ලැබුණු පසුව යි. ප්‍රශ්න කිරීම්වලින් මොරිස් තේරුම් ගත් පරිදි ජර්මන් සොල්දාදුවන් නො කඩවා සටන් කළේ ඔවුන් නාසිවාදී මොළ ශෝධනයකට ලක් ව තිබූ නිසා නො වේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අන්ධානුකරණයෙන් නාසිවාදය විශ්වාස කළ අය නො වූහ. ඒ සියල්ල පරයා ඔවුන් තුළ පැවති ශක්තිය වූයේ හුදෙක් සිය රෙජිමේන්තු සගයන් එක කුස ඔත් සහෝදරයන් ලෙස සලකමින් තද සාමූහික ආකල්පයකින් හා කැපවුණු මිත්‍රත්වයකින් කටයුතු කිරීමට  සාමාන්‍ය ජර්මන් සොල්දාදුවන් පුරුදු වී සිටීම යි. නාසි ජනරාල්වරු මෙය හොඳින් අවබෝධ කර ගෙන සිටි අතර සිය බළඇණි තුළ සිටි සොල්දාදුවන් අතර එකී සහෝදරත්වය හා සහෘද බව වැඩි කළ හැකි හැම දෙයක් ම ඉටු කිරීමට ඔවුහු නො පැකිළ ව යුහුසුලු වූහ.

ඒ අනුව බලන විට ප්‍රචණ්ඩ අපරාධකරුවෝ පවා සාමූහිකත්වය තකන සහ ආත්මාර්ථකාමිත්වය නො තකන අය වෙත් ද? ජර්මන් සොල්දාදුවන්ගේ හැසිරීම අනුව බලන විට එම ප්‍රශ්නයට පිළිතුර වන්නේ පැහැදිලිව  ම ‘ඔව්’ යන්නයි. මේ සියල්ල මෙහෙයවෙන්නේ ඒ සහානුකම්පාව (empathy) නමැති බෙහෙවින් ම මානුෂික වූ හැඟීම නිස යි.

කෙසේ වෙතත් වරකට අපට සහානුකම්පාව දැක්විය හැක්කේ සීමිත පිරිසක් සඳහා පමණි. බොහෝ විට අපේ සහානුකම්පාව යොමු වන්නේ අප අවට සිටින අපට දැනෙන හා ඇහුන්කන් දෙන අය වෙත ය. ඒ නිසා බොහෝ දෙනෙක් අපේ සහානුකම්පා පථයට හසු වන්නේ නැත. ඒ නිසා සහානුකම්පාව යනු අඩු පිරිසක් අන්තර්ග්‍රහණය කරන ඊට වැඩි පිරිසක් බහිෂ්කරණය කරන මනෝභාවයකි. ඇතැම් විචාරකයන් පෙන්වා දෙන පරිදි සහානුකම්පාව ද දෙපැත්ත කැපෙන ආයුධයක් වසයෙන් සැලකිය හැකි ය. මන්ද එය එක් අතකින් ඔබේ සාහානුකම්පාවට භාජනය වන අයට උදව් කිරීමට ඔබ පොලඹවන අතර අනෙක් අතට යුද්ධයක් වැනි ජීවිතය හා මරණය අතර සිදුවීමක දී  ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනත් අයෙකු මරා දැමීම සාධාරණීකරණය කිරීමට ද එම සහානුකම්පාව හේතු විය හැකියැ’යි ඔවුහු තර්ක කරති.

එහෙත් හොඳින් විමසා බැලූ විට එම උපකල්පනය ද නිවැරදි යැ’යි කිව නො හැකි ය. මන්ද යුදපිටියේ දී මිනිසුන් හිටි හැටියේ ම ම්ලේච්ඡයන් ලෙස කටයුතු කරනු ඇතැ’යි සිතීම අසීරු ය. කුරිරු යුද්ධයක දී වුව ද එකිනෙකා හා අභිමුඛ වන විට තවකෙකු මරා දැමීමට කොකා ගැස්සීම යනු පහසු දෙයක් නො වේ. ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක අවස්ථාවක දී වුව ද සාමාන්‍යයෙන් මිනිසුන් නැඹුරු වන්නේ ප්‍රචණ්ඩත්වයට පිටු පෑමට යි.

මේ පිළිබඳව අධ්‍යයන කළ අය අතරින් මුල් ම තැනැත්තෙකු වන්නේ ඇමෙරිකානු හමුදා කර්නල්වරයෙකු මෙන් ම ඉතිහාසඥයෙකු වූ සැමුවෙල් මාෂල් ය. 1943 දී ජපනුන් විසින් අත්පත් කර ගෙන සිටි ‘මාකන්’ නමැති පැසිෆික් දූපත අල්ලා ගැනීමේ ක්‍රියාන්විතයකට මාෂල් නායකත්වය දුන්නේ ය. ඉතා හොඳ සන්නද්ධ පුහුණුවක් තිබූ ඇමරිකානු සොල්දාදුවන් 300 කින් යුත් ඔහුගේ බළඇණිය ප්‍රමාණයෙන් සතුරන්ට වඩා විශාල වුවද දූපත අල්ලා ගැනීමේ ප්‍රයත්නය අසාර්ථක විය. මේ නිසා විමතියට පත් මාෂල් ඊට හේතු සොයා බැලීමට තීරණය කළේ ය.

සාමාන්‍යයෙන් පැවති හමුදා සම්ප්‍රදායට පටහැණි ව ඔහු එක් එක් සොල්දාදුවා පුද්ගලික සම්මුඛ සාකච්ඡාවකට කැඳවා හැකි තරම් අවංකව සිය අදහස් ප්‍රකාශ කිරීමට සොල්දාදුවන් පොලඹවා ගත්තේ ය. එමඟින් සොයා ගත් කරුණු ඔහු විමතියට පත් කළේ ය. ඒ අනුව සොල්දාදුවන් 300 දෙනා අතරින් සටනේ දී සිය ආයුධය භාවිත කර තිබුණේ සොල්දාදුවන් 36 දෙනෙකු පමණි. ආයුධ භාවිතය සම්බන්ධයෙන් කොතරම් හොඳ පුහුණුවක් ලබා තිබුණ ද හැම සොල්දාදුවෙකු ම පාහේ  සිය ආයුධයෙන් වෙඩි තබා තවත් කෙනෙකු මරණයට පත් කිරීමට කැමැත්තක් දක්වා නො තිබිණි.

දෙවැනි ලෝක මහා යුද්ධයේ දී මියගිය බ්‍රිතාන්‍ය සොල්දාදුවන් ගැන රැස් කළ දත්තවලින් ද මෙය හෙළිදරව් වේ. එම යුද්ධයෙන් මියගිය සොල්දාදුවන්ගෙන් 75% කගේ මරණවලට හේතු වී තිබුණේ ගුවන් මඟින් දැමූ බෝම්බ සහ සටන් බිමේ අටවා තිබූ බිම් බෝම්බ ය. එයින් තේරුම් යන්නේ මුහුණට මුහුණ ලා කරන සටන්වල දී  සතුරු සොල්දාදුවන් විසින් හිතාමතා වෙඩි තැබීමෙන් මරණයට පත්වී ඇත්තේ අඩු ප්‍රමාණයක් බව යි. තුවක්කුවකින් වෙඩි තබනවාටත් වඩා අසීරු ක්‍රියාවක් වන්නේ මුහුණට මුහුණ ලා සටන් කළ පැරණි ක්‍රමයට අනුව බයිනෙත්තුවලින් ඇන මරා දැමීම යි. 1815 දී නැපෝලියන්ගේ සේනා පරාජයට පත් වූ වෝල්ටර් ලූ සටනේ දී බයිනේත්තුවලින් තුවාල ලත් හෝ මරණයට පත් වූ සොල්දාදුවන්ගේ සංඛ්‍යාව 1%‍ ක් තරම් අඩු ප්‍රමාණයක් වූ බව බ්‍රෙග්මන් පෙන්වා දෙයි. ප්‍රචණ්ඩ ලෙස අනෙකා මරා දැමීමට මිනිසුන් තුළ කැමැත්තක් ඇති බව පෙන්නුම් කරන චිත්‍රපට හා ටෙලිවිෂන් නාටක කොතෙක් තිබුණ ද යථා ලෝකයේ යුද්ධවල දී සොල්දාදුවන්ගේ සැබෑ හැසිරීම බොහෝ විට ඊට හාත්පසින් ම වෙනස් ය.

පළමුවැනි ලෝක යුද්ධය පවතින අතරතුර 1914 නත්තල් දා බටහිර යුරෝපීය යුද පෙරමුණේ දෙපිළට බෙදී සටන් කළ ජර්මන් සොල්දාදුවන් සහ බ්‍රිතාන්‍ය ප්‍රංශ සොල්දාදුවන් ඔවුන්ට ඉහළින් ලැබුණු ආඥා නො තකා සටන් නවතා සටන් බිම හරහා ගොස් එකිනෙකාට සුබ පතමින්, කමින් බොමින්, තෑගි හුවමාරු කර ගනිමින් නත්තල් ගී ගයමින් දවස ගත කළහ. ඉන් පසු සිය සොල්දාදුවන්ට සටන් කිරීම පිණිස බල කිරීමට අණ දෙන නිලධාරීන්ට සිදු විය.  එහෙත් දෙපිළේ ම සොල්දාදුවෝ එකිනෙකාට රහසිගත පණිවිඩ යවමින් සටන් කිරීමට නියමිත වේලාවල් දැනුම් දුන්හ. ඒ අනුව දෙපැත්තේ ම සොල්දාදුවෝ එකිනෙකාට තුවාල නො වීමට හිසට ඉහළින් එල්ලය ගැනීමට කටයුතු කළෝ ය.

බ්‍රෙග්මන් පෙන්වා දුන් පරිදි අප ශිෂ්ට වන තෙක් ම යුද්ධ ඇති නො වීය. ඒ නිසා ‘අර්බුදයක් ඇති වූ විට ශිෂ්ටාචාරයේ කඩතුරාව කඩා වැටේ’ යන කීම නිවැරදි නො වේ. ප්‍රචණ්ඩත්වය සාධාරණය කළ හැකි යුද්ධයක් වැනි අවස්ථාවල දීත් ප්‍රචණ්ඩ ක්‍රියා කිරීමට අපි මැලි වන්නෙමු. ඒ නිසා අප ඔය කියන තරම් ස්වභාවයෙන් ම  නරක ආත්මාර්ථකාමී මිනිස්සු නො වෙමු.

මිනිසුන්ගේ ආත්මාර්ථකාමිත්වය  ඔවුන්ගේ ආර්ථික තර්කානුකූල බවට හේතුවක් බව සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාව උපකල්පනය කරයි. එයින් කියවෙන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් මිල දී ගැනීමට පාරිභෝගිකයන් පෙලඹෙන්නේ එම භාණ්ඩය හෝ සේවාව මඟින් ලැබෙන ඵල ප්‍රයෝජන ඒ සඳහා වැය කිරීමට සිදු වන මුදලට සාපේක්ෂ ව ඥානාන්විත ව, තාර්කික ව සහ ආත්මාර්ථකාමී ලෙස තක්සේරු කර බැලීමෙන් පසු ව බවයි.

උත්කර්ෂණ පරිභෝජනය (Conspicuous Consumption)යන යෙදුම හඳුන්වා දුන් ඇමෙරිකානු ආර්ථික හා සමාජවිද්‍යාඥයෙකු වූ Thorsten Veblen (1857–1929), එය නිර්වචනය කළේ “ප්‍රායෝගික ව අපට අවශ්‍ය වන මට්ටම ඉක්මවා ගුණයෙන් හෝ ප්‍රමාණයෙන් වැඩි භාණ්ඩ පරිභෝජනය කිරීම” යනුවෙනි. ජෝන් මේනාඩ් කේන්ස්ගේ මතය අනුව මනුෂ්‍ය අවශ්‍යතා දෙවර්ගයකට අනුව භාණ්ඩ වර්ග කළ හැකි ය. ඉන් එක් වර්ගයක් නම්  ඕනෑම තත්වයක් යටතේ අපට අත්‍යවශ්‍ය ම වන භාණ්ඩ යි. අනික් වර්ගය නම් අපේ සහචර මිනිසුන්ට වඩා අපි ඉහළින් සිටිමු යන සතුට නිසා අප තුළ අතිමානයක් ඇති කළ හැකි වර්ගයේ භාණ්ඩ යි.

එහෙත් සැබෑ ලෝකයේ දී මිනිසුන් හැම විටක දී ම අනිවාර්යයෙන් ම මේ කියන අන්දමට තර්කානුකූල ව හිතමින් මිලට සරිලන ඵල ප්‍රයෝජන ගැන ක්ෂණික ව තක්සේරු කරමින් හැසිරෙන බව පිළිගැනීම අපහසු බව චර්යා ආර්ථික විද්‍යාව (Behavioral Economics) පැහැදිලි කරයි. දිනපතා දහස් ගණන් කුදු මහත් තේරීම් ගැන තීරණ ගැනීමට සිදු වන විට අප නො වරදවා ම ඥානවන්ත තර්කානුකූල තේරීම කරන්නේ යැයි කීම අසීරු ය. ඒ හැම තේරීමක ම වටිනාකම සැසඳීමට, ඒ හැම භාණ්ඩයක ම උපයෝගීතාවේ සාපේක්ෂ වාසි ගැන තීරණය කිරීමට තරම් ප්‍රමාණවත් තොරතුරු නිරායාසයෙන් ම අපට ලබා ගත නො හැකි ය.  අනෙක් අතට අප හුදෙක් ආත්මාර්ථකාමී ලෙස ම එම තෝරා ගැනීම කරන්නේ ද නැත. ඇත්ත වසයෙන් ම අපේ තේරීම අන් අයට බලපාන්නේ කෙසේ ද යන්න ගැන අපි බොහෝ විට සංවේදී ය. 

පාරිභෝගිකයන් තාර්කිකව තීරණ ගනිති යි යන මතය අභියෝගයට ලක් වීම චර්යා ආර්ථික විද්‍යාව බිහි වීමට හේතු විය. පාරිභෝගිකයන්ගේ තේරීම් හුදෙක් නව සම්භාව්‍ය ගුරුකුලයේ සරල මතවාදයට වඩා බෙහෙවින් සංකීර්ණ කරුණු මත කෙරෙන දෙයක් බව විස්තර කරන ‘චර්යා ආර්ථික විද්‍යාව’ ඒ සඳහා මනුෂ්‍යයා හා සම්බන්ධ මනෝවිද්‍යාත්මක පරිඥානය (insight) උපයෝගී කර ගනී.

චර්යා ආර්ථික විද්‍යාවේ පුරෝගාමියෙකු ලෙස රිචඩ් තේලර් සැලකෙයි. චර්යා ආර්ථික විද්‍යාව හඳුන්වා දීම සම්බන්ධයෙන් කළ සේවාව සලකා ඔහු 2017 දී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය. තේලර් තර්ක කළ පරිදි නව සම්භාව්‍ය සම්ප්‍රදායේ ආර්ථික විද්‍යාඥයන් පවසන අන්දමේ “තාර්කික පාරිභෝගිකයන්” කියා ජාතියක් නො පවතී.

තේලර් පෙන්වා දෙන පරිදි හැම විටක ම මනුෂ්‍යයන් තාර්කික තීරණ ගනිති යැ’යි නිසැක ලෙස කිව නො හැකි ය. එබැවින් පරිභෝජනය කළ යුතු සහ පරිභෝජනය නො කළ යුතු දේවල් සම්බන්ධයෙන් ඔවුහු නිතරම නිවැරදි තීරණ නො ගනිති. චර්යා ආර්ථික විද්‍යාව තැත් කරන්නේ “ඊනියා තාර්කික මනුෂ්‍යයා” වෙනුවට “නියම මිනිසා” සිය තීරණ ගන්නා ආකාරය තේරුම් ගැනීමට යි. එම තේරුම් ගැනීම් උපයෝගී කර ගෙන වඩා හොඳ තේරීම් කිරීමට පාරිභෝගිකයා දැනුවත් කිරීමත් ඒ අනුව සුදුසු ප්‍රතිපත්ති තීරණවලට එළඹීමට රජයට උපකාර කිරීමත් චර්යා ආර්ථික විද්‍යාවේ අරමුණ යි.

රිචඩ් තේලර් සහ ඔහුගේ සහෘද ආර්ථික විද්‍යාඥයෙකු වන කේස් සස්ටෙයින් ලියූ Nudge: Improving Decisions about Health, Wealth and Happiness නම් කෘතියේ තමන්ට මෙන් ම සමාජයට ද යහපත් වන ස්වේච්ඡා තීරණ ගැනීමට හැකි වන ලෙස පාරිභෝගිකයන්ට පොඩි තල්ලුවක් (nudge) ලබා දීමට රජයට මැදිහත් විය හැකි බව පෙන්වා දී තිබේ. උදාහරණයක් වසයෙන් ගත් විට පිරිසැකසුම් කළ ආහාර ටින්වල එම ආහාරයේ ඇති පෝෂ්‍ය පදාර්ථ සංඛ්‍යාත්මක වසයෙන් විස්තර කළ යුතු යැයි රජය තීරණය කළ විට ඇත්ත වසයෙන් ම රජය කරන්නේ වඩා පෝෂ්‍යදායක ආහාර පරිභෝජනය කිරීමට පාරිභෝගිකයන්ට “පොඩි තල්ලුවක්” ලබා දීම යි.

“පොඩි තල්ලුවක්” පිළිබඳ මේ න්‍යාය සම්බන්ධයෙන් චර්යා ආර්ථික විද්‍යාඥයන් කර ඇති විමර්ශනවල ප්‍රතිඵල බොහෝ රජයන් හා රාජ්‍ය ආයතනවල තීරණ කෙරෙහි බලපා ඇත. එම තීරණ බොහෝමයක් ම යහපත් පාරිභෝගික තීරණ ගැනීමට පාරිභෝගිකයන්ට “පොඩි තල්ලුවක්” දෙන ආකාරයේ ඒවා ය. උදාහරණයක් වසයෙන් පැණි බීමවල අන්තර්ගත වන සීනි ප්‍රමාණය බෝතල් ලේබලයේ සඳහන් කිරීම රජය විසින් අනිවාර්ය කළ විට එය සීනි අඩුවෙන් ඇති පැණි බීම වර්ග තෝරා ගැනීමට පාරිභෝගිකයාට දෙන පොඩි තල්ලුවකි. මෙකී ප්‍රතිපත්ති තීරණ මහජනතාවගේ ජීවන තත්වය හා සෞඛ්‍ය ඉහළ නැංවීමට මෙන් ම ප්‍රජා සමූහ හා පරිසරය සුරැකීමට ද දායක වේ.

පොඩි තල්ලුවක් පිළිබඳ මේ න්‍යාය පිළිබඳ විවේචකයින් බොහෝ විට එන්නේ නවලිබරල්වාදී හෙවත් මූල්‍යවාදී ගුරුකුලයෙනි. ඔවුන් පවසන අන්දමට ඕනෑ ම ආකාරයක රාජ්‍ය මැදිහත් වීමක් පුද්ගල අයිතීන්ට පටහැණි විය හැකි ය. ඒ හැර මහජනතාවට වඩාත් ම උචිත දේවල් මොනවා ද යන්න රජය නො දනී. එම නිසා ඒ සම්බන්ධයෙන් පොඩි තල්ලුවක් කිරීමට රජයට ඉඩ දීම එතරම් විශ්වාසදායක දෙයක් නො වේ. මේ විරසකය වෙළඳපොළ ක්‍රියාකාරිත්වයේ දී ඉටු කළ යුතු වැදගත් භූමිකාවක් රජයට ඇත්තේ ය සහ ඊට එරෙහි ව රජයේ ඇඟිලි ගැසීම්වලින් තොර ව නිර්බාධක ස්වයං නියාමනයට ඉඩ දුන් විට වෙළඳපොළ කාර්යක්ෂම ව කටයුතු කරන්නේ ය යන මතවාදී කඳවුරු දෙක අතර ඇති මතභේදය පිළිබඳ හොඳ උදාහරණයකි. කෙසේ වෙතත් චර්යා ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ ස්වයං නියාමනය වන වෙළඳපොළක් වඩා කාර්යක්ෂම යැයි ඇදහීම මූලික වසයෙන් රඳා පවතින්නේ ම පාරිභෝගිකයන් තාර්කික තේරීම් කිරීමට ඒකායන වසයෙන් සමත් ය යන විශ්වාසය මත බව යි. එහෙත් මේ විශ්වාසය අභියෝගයට ලක් වී ඇති බව චර්යා ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඔවුන් විසින් කර ඇති පර්යේෂණ රාශියකට අනුව පාරිභෝගිකයන්ගේ තෝරා ගැනීමේ අයිතියට පටහැණි නො වන ලෙස නිවැරදි තේරීම තෝරා ගැනීම පිණිස මනෝ විද්‍යානුකූල ව පාරිභෝගිකයන්ට පොඩි තල්ලුවක් දෙන්නේ කෙසේ ද යන්න පෙන්වා දීම චර්යා ආර්ථික විද්‍යාවේ අරමුණ යි.

විසි වැනි සියවසේ විසූ දැවැන්තයින් වන කේන්ස් සහ හයෙක්ගේ මතවාද අතර මොන පරස්පරතා තිබුණත් ඔවුන් කළ වාද විවාද තුළින් විශිෂ්ට අදහස් ජනිත වූ බව සැබෑවකි. එහෙත් ඔවුන්ගේ වැරදි උපකල්පන සහ ඒ දෙදෙනාට ම නො පෙනුණ වැදගත් සාධක කිසිදු සැලකිය යුතු පිරික්සුමකට ලක් නොවී ඒ මතවාද අතර තිබූ නොයෙකුත් පරස්පරතා තුළ ම ඉතුරු විය. එනිසා විසි එක් වැනි සිය වසේ අපට මුහුණ දීමට සිදුවී ඇති නව සන්දර්භය එකී වැරදි උපකල්පන මැනවින් අධ්‍යනය කොට අනාවරණය කිරීමත් ඔවුන්ට නො පෙනුණු සාධක පෙන්වා දීමත් නො පමාව කළ යුතු දෙයක් බව කේට් රේවර්ත් පැහැදිලි කරයි.

‘හෝමෝ එකොනොමිකස්’ දර්ශනයෙන් මුළාව දශක ගණනාවක් තිස්සේ  නවලිබරල්වාදී  ආර්ථික චින්තනය අනුව යමින් මිනිසුන් සහජයෙන් ම ආත්මාර්ථකාමී යැයි අපි අප ගැන ම ව්‍යාජ ප්‍රතිරූපයක් ගොඩ නඟා ගෙන ඇත්තෙමු. එහි ප්‍රතිඵලයක් ලෙස අපි බොහෝ විට ජීවත් වන්නේ ජීවිතය තරඟයක් කොට ගෙන එකිනෙකා කෙරෙහි අවිශ්වාසයෙනි. ඒ නිසා ඇතිවෙන බිය අපට වර්ගවාදය, ආගම් වාදය, කුලවාදය ආදි නොයෙකුත් කඩතුරා තුළ ආරක්ෂාව සොයා ගැනීමට බල කර තිබේ. එහෙත් අපේ ප්‍රචණ්ඩත්වය සහ ආත්මාර්ථකාමී චර්යාව වළක්වන්නේ ශිෂ්ටාචාරයට හෝ  දඬුවමට ඇති බිය නිසා නො වේ.  පරිණාමීය වසයෙන් බැලුවොත් අපි මමංකාරයෙන් හෝ මිනීමැරීමේ ආශාවෙන් පෙළෙන අය නො ව මිත්‍රශීලී ව සහ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති සත්වයෝ ය. ආහාර සම්පත් අඩු වූ විට චිම්පන්සි කණ්ඩායම තුළ සහයෝගය වැඩි වූ බව චිම්පන්සීන්ගේ හැසිරීම සම්බන්ධයෙන් චිකාගෝහි වානර අධ්‍යනය සහ සංරක්ෂණය පිළිබඳ ලෙස්ටර් ෆිෂර් ආයතනය ප්‍රධාන ආයතන කිහිපයක පර්යේෂණවලින් හෙළිදරව් වී තිබේ.[11] ඒ සහජ ගතිගුණ පරිණාමයෙන් අපට ද උරුම වී තිබේ. ඒ බව විවිධ අර්බුදවලට අප මුහුණ දී ඇති ආකාරයෙන් ස්ඵුට වේ.  ඒ නිසා නවලිබරල්වාදය විසින් පොරවන ලද ආත්මාර්ථකාමී හෝමෝ එකොනොමිකස් වහන්තරාව ගලවා දමා මනුෂ්‍යත්වය ගැන වඩා බලාපොරොත්තු සහගත දයාබර හැඟීමක් ඇති කර ගැනීම අද අපට අත්‍යවශ්‍ය වේ.

‘වචන දහසකින් කිව හැකි දෙයක් එක පින්තූරයකින් කිය හැකියැ’යි කතාවක් තිබේ. එසේ නම් අපි අපේ ස්ව-ආලේඛනය (self-portrait) හෙවත් තම පින්තූරය තමන් විසින් ම ඇඳිය යුතු වන්නේ කෙසේ ද? අප ජීවත් වන ප්‍රජා සමූහය තුළ සාමාජිකයන් වසයෙන් ගත හොත් අප තරම් සමාජශීලී වෙනත් සත්ව විශේෂයක් නැති තරම් ය. නො එසේ නම් අනෙක් සත්ව විශේෂවලට වෙනස් ව  මේ සා දැවැන්ත මානව ශිෂ්ටාචාරයක් ගොඩ නැගීමට අපට හැකි වන්නේ ද නැත. අනෙක් අතට අපි අනෙකුත් සියලු සත්ව ශාක ආදී ජීවීන් සමඟ එක ම දැවැන්ත ජීව ගෝලයක කොටස්කරුවෝ ද වෙමු. අපේ ජීවිතය රඳා පවතින්නේ ඒ ජීව ගෝලයේ යහපැවැත්ම මත ය. අපේ ජන සමාජ ඒ ජීවී ගෝලය තුළ සහපරිණාමය (co-evolve) වූ ඒවා ය.  

අප කිසිවකුටත් තනි තනි ව සාක්ෂාත් කර ගැනීමට නො හැකි බොහෝ දේවල් සහානුකම්පාව, අන්‍යෝන්‍ය  උපකාරය, විශ්වාසය සහ සහයෝගය මත සාක්ෂාත් කර ගැනීමට අපට හැකි ව තිබේ. ඒ අනුව හෝමෝ එකොනොමිකස් විසින් නිරූපණය කරන ආත්මාර්ථකාමී ස්වරූපය වෙනුවට ඒ සියලු ගුණාංග පිළිබිඹු වෙන ස්ව-ආලෙඛනයක් වසයෙන් අපේ බහුවිධ ස්වරූපය ඇඳීමට අපට හැකි විය යුතු ය. දැන් තිබෙන හෝමෝ එකොනොමිකස් (homo economicus) ප්‍රතිරූපය කිසි සේත් ම පරිපූර්ණ එකක් නො වේ. එහෙත් දැනටමත් ඒ ප්‍රතිරූපය විසින් අප බොහෝ දුර නො මඟ යවනු  ලැබ තිබේ. අවුරුදු 200ක් තිස්සේ අප කර ඇත්තේ කුමක් ද? අතේ යහමින් මිල මුදල් ගැවසෙන, හිසේ ගණක යන්ත්‍රයක් පිහිටුවා ඇති, දෙපා ළඟ ස්වභාවධර්මය දන නමා ඇති, අතෘප්තිකර තෘෂ්ණාවක් ඇති හෝමෝ එකොනොමිකස් මිනිසුන් ලෙස අප පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් ඔසවා ගෙන යෑම ය. එහෙත් අපේ පමණක් නො වන පෘථිවිය නමැති මේ අපේ පොදු නිවහන තුළ එකිනෙකා මත යැපීමෙන් සරු ඵල ලබන මිනිසුන් ලෙස අපේ ස්ව-ආලේඛනය අමුතුවෙන් ඇඳීමට දැන් කාලය පැමිණ තිබේ.

මිනිසුන් වන අපට විශාල පරාසයක වටිනාකම් අනුව නම්‍යශීලී විය හැකි ය.  නිරන්තරයෙන් වෙනස් වන ආර්ථිකයේ ස්වභාවයට අනුව කේවල් කිරීම, පරිත්‍යාග කිරීම, තරඟ කිරීම සහ බෙදා හදා ගැනීම ආදී මේ සියල්ල එක ම විට යුක්ති සහගත ව හා සාධාරණ ව ඉටු කිරීමට අපට හැකි විය යුතු ය.

ඒ අනුව ‘හෝමෝ එකොනොමිකස්’ යන යෙදුම අත්හැරීමට අප සූදානම් නම් ඒ වෙනුවට යොදා ගත හැකි නම කුමක් ද?. ඒ සම්බන්ධයෙන්  හෝමෝ හියුරිස්ටිකස් ( Homo heuristicus)හෙවත් ‘හෝමෝ ස්වයංගවේෂණික’, හෝමෝ රෙසිප්රොකන්ස් (Homo reciprocans) හෙවත් ‘හෝමෝ ප්‍රත්‍යෝපකාරික’, හෝමෝ අල්ත්රුයිස්ටිකස් (Homo altruisticus) හෙවත් ‘හෝමෝ පරාර්ථකාමික’ සහ හෝමෝ සෝසියලිස් (Homo socialis ) හෙවත් ‘හෝමෝ සමාජශීලික’ ආදී විකල්ප නම් කිහිපයක් ම යෝජනා කර තිබේ. එහෙත් ඉන් අදහස් කරන පරිදි මනුෂ්‍යයා ඉන් එක් ස්වභාවයක් සමඟ පමණක් ප්‍රතිරූප ගත කිරීම තේරුමක් නැති වැඩක් වන්නේ එකී සියලු ස්වභාව එක ම මිනිසා තුළ අවස්ථෝචිත ප්‍රතිචාර වසයෙන් දක්නට ලැබෙන බැවිනි. මිනිස්සු ගනුදෙනු කිරීමට, කේවල් කිරීමට සහ හුවමාරු කිරීමට කැමැත්තෝ ය යනුවෙන් කියන විට ඇඩම් ස්මිත් බෙහෙවින් නිවැරදි ය. එහෙත් ඇඩම් ස්මිත් ඊටත් වඩා නිවැරදි වන්නේ ‘අපේ සමාජ සමෘද්ධිමත් වන්නේ අප මනුෂ්‍යත්වය, යුක්තිය, නිර්ලෝභීත්වය සහ පොදු හැඟීම මත කටයුතු කරන විට දී ය’ යන ඔහුගේ කීම සම්බන්ධයෙනි. ඒ නිසා යෝජනා කර ඇති නම්වලින් එකක් පමණක් තෝරා ගන්නවා වෙනුවට ඒ සියලු නම්වලින් කියැවෙන ගුණාංග නිරූපණය කිරීමට අපේ නව ස්වආලෙඛනයට හෙවත් නව ස්වරූපය පෙන්වන පින්තූරයට හැකියාව තිබිය යුතු ය.

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022


[1] Arrow, Kenneth. 1980. “Discrimination in the Labour Market,” in J.E. King, ed.   Oxford: Oxford University Press.

[2] Bregman, Rutger (2021) Humankind: A Hopeful History, London: Bloomsbury Publishing, p.39 (KE)

[3] Goldman Emma, (2010) Anarchism and Other Essays (New York: Stillwell, 2008), p. 29.

[4] Williamson, Oliver. 1985. The Economic Institutions of Capitalism. New York: Free Press. (“self-interest seeking with guile (which) includes . . . more blatant forms, such as lying, stealing, and cheating … (but) more often involves subtle forms of deceit”)

[5] Smith Adam (1776), An Inquiry into the Nature and Causes of the Wealth of Nations, Harvard Classics eds. By Elliot C.W, New York: P.F.Collier, p.19

[6] Fukuyama, Francis (2019) Identity: The Demand for Dignity and the Politics of Resentment, New York: Farrar, Straus and Giroux,  p.24

[7] Kahneman, Daniel (2013), Thinking, Fast and Slow, New York: Farrar, Straus, and Giroux.

[8]https://www.instituteforgovernment.org.uk/sites/default/files/publications/MINDSPACE.pdf Retrieved on 21Aug 2021

[9] https://www.theguardian.com/business/2005/feb/05/enron.usnews – Retrieved on 22 Aug. 2021

[10] Allen W.M, (2014) Hunter Gatherer Conflict: The Last Bastion of the Pacified Past? in Violence Warfare Among Hunter Gatherers, Mark W. Allen & Terry L Johns (eds.), Walnut Creek: Left Coast Press, p.16

[11] Calcutt, S.E et el.(2014) Captive chimpanzees share diminishing resources, in Behaviour, Brill Publishers

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: