© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

ගත වූ දශක ගණනාවක් තිස්සේ මිනිසුන්ගේ ‘නිදහස’ පිළිබඳ මූලික ආකෘතිය වන්නේ නිදහස් වෙළඳපොළයි. – රාජ්‍ය නියාමනයකින් තොර ව භාණ්ඩ, සේවා, මූල්‍ය සම්පත් සහ ශ්‍රමය අලෙවි කිරීමේ හැකියාව නිදහස බවත්, ‘නිදහස’ ක්‍රියාත්මක විය යුත්තේ ද නිර්බාධක වෙළඳපොළක් කටයුතු කරන ආකාරයෙන් බවත් අපට පවසන ලදී. ව්‍යාපාර හිමියාගේ නිදහස, මාධ්‍ය අයිතිකරුගේ නිදහස, ඔබේ ශ්‍රමය විකිණීමට ඔබට ඇති නිදහස, යහපත් ජීවිතයකට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය මිල දී ගැනීමට ඇති නිදහස ආදී වසයෙන් නිදහස් වෙළඳපොළ විසින් පිරිනමනු ලබන විවිධ අවස්ථා මඟින් නිදහස භුක්ති විඳීමට අපට ඉඩ සලසන බව පැවසිනි. ඒ අනුව පාරිභෝගිකයන් ලෙස අදහස් ප්‍රකාශ කිරීමට අපට ඉඩ සලසන්නේ ද ඒ නිදහසම ය. පසුගිය දශක ගණනාව තිස්සේ අපේ දේශපාලනය හා ආර්ථිකය තුළ නිදහස පිළිබඳ මූලික හැඳින්වීමට බොහෝ විට පදනම වුණේ මේ පටු දැක්ම යි.
එහෙත් නිදහස් වෙළඳපොළේ මහිමය උත්කර්ෂණයට නැංවූ ඒ දැක්ම දැන් කලක සිට ම කඩා වැටෙන්නට පටන් ගෙන තිබේ. 2008-2010 ආර්ථික අර්බුදයත් සමඟ නියාමනයෙන් මිදුණු නිර්බාධක වෙළඳපොළ දැක්ම මත කටයුතු කළ ඇමෙරිකානු බැංකු සහ මූල්‍ය ආයතන ගණනාවක් කඩා වැටෙන්නට පටන් ගත් විට ඇමෙරිකානු සෙනෙට් සභාවේ ආණ්ඩු සංනිරීක්ෂණය සහ ප්‍රතිසංස්කරණ කමිටුව හෙවත් “House Committee on Government Oversight and Reform” ඇති වී තිබෙන තත්වය පිළිබඳ විමර්ශනයක් කිරීමට තීරණය කළේ ය. ඒ අනුව 2008 ඔක්තෝබර් 04 වැනිදා එවකට අසූ දෙහැවිරිදි ව සිටි ඇලන් ග්‍රීන්ස්පෑන් එම කමිටුව ඉදිරියේ සාක්ෂි දීමට කැඳවන ලදී. ඇලන් ග්‍රීන්ස්පෑන් නො කඩවා අවුරුදු 19ක් ඇමෙරිකානු ෆෙඩරල් රිසව් මධ්‍යම බැංකුවේ සභාපති වසයෙන් කටයුතු කර තිබුණි. 1987 දී ජනාධිපති රොනල්ඩ් රේගන් විසින් මුල් වරට පත් කරනු ලැබූ ඔහු රේගන්ගේ නවලිබරල්වාදී නිදහස් වෙළඳපොළ චින්තනයේ මුල් පෙළේ කස කරුවෙක් විය. ග්‍රීන්ස්පෑන් සෙනේට් සභා කමිටුව ඉදිරියේ සිය ප්‍රකාශය කියවී ය. එම ප්‍රකාශයෙන් ආර්ථික අර්බුදය මෝරමින් තිබූ ගත වූ වසර තුළ මූල්‍ය වෙළඳපොළ මේ සා වියරු ලෙස හැසිරීමට හේතු දැක්වීමට උත්සාහ කර තිබුණි. එහෙත් ලෝකය වැඩ කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව තමාට තිබුණේ වැරදි වැටහීමක් බව ග්‍රීන්ස්පෑන් පිළිගත්තේ ය. සෙනෙට් කමිටුවේ සභාපති ධුරය දැරූ ඩිමොක්‍රටික් පාක්ෂික සභිකයෙකු වූ හෙන්රි වැක්ස්මන් ප්‍රකාශය අවසානයේ ග්‍රීන්ස්පෑන්ගෙන් මෙසේ ඇසී ය. “වෙනත් විදියකින් කියනවා නම් ඔබේ ලෝක දර්ශනය, ඔබේ දෘෂ්ටිවාදය නිවැරදි නො වන බව, එය වැඩ නො කරන බව ඔබට තේරුණා?” ග්‍රීන්ස්පෑන්ගේ පිළිතුර පටන් ගත්තේ ම “හරියට ම හරි” (precisely!) යනුවෙනි. අනතුරු ව ඔහු මෙසේ ද කී ය “ ඒක තමයි මට හරි තද කම්පනයක් දැනුණා. මොක ද ඒක ඉතාමත් හොඳින් වැඩ කරන බවට සාක්ෂි මම අවුරුදු හතළිහක් තිස්සේ දැකල තිබුණා”.[1]
එහෙත් ඒ දක්වා ග්‍රීන්ස්පෑන් විසින් උත්කර්ෂණයට නංවනු ලැබූ නවලිබරල්වාදී නිර්බාධක වෙළඳපොළ සංකල්පය ගර්හාවට ලක් වීම ඇරඹුණේ1990 ගණන්වල අවසානයේ සිට බව ක්වීන්ස්ලන්ඩ් සරසවියේ ආර්ථික විද්‍යාඥ ජෝන් ක්විගින් පෙන්වා දෙයි[2]. මල ගිය නවලිබරල්වාදය තවමත් අප අතර හොල්මන් කරන ආකාරය පිළිබඳ ඔහු 2010දී “Zombie Economics: How Dead Ideas Still Walk Among Us” නමින් කෘතියක් පළ කළේ ය. ක්විගින්ට අනුව වඩාත් ම කැපී පෙනෙන නිර්බාධක වෙළඳපොළ විපාකය ඵල දුන්නේ 1997 ආසියානු මූල්‍ය අර්බුදය සහ 2000 දී අන්තර්ජාල සමාගම් කොටස්වල අනුහස ගැන පාරම් බෑ “ඩොට්කොම්” බුබුල පුපුරා ගිය විට දී ය. එම අර්බුද දෙක ම නිර්බාධක මුල්‍ය වෙළඳපොළ මහිමය පිළිබඳ නවලිබරල්වාදී පුරසාරම් අනාථ කළේ ය. ආසියානු මූල්‍ය අර්බුදය උද්ගත වීමට පෙර මූල්‍ය වෙළඳපොළ ලිහිල්කරණය කිරීමේ ආනිශංස මහ ඉහළින් වර්ණනා කළ වාර්තා ගණනාවක් දේශීය හා ගෝලීය මූල්‍ය ආයතන විසින් නිකුත් කර තිබුණි. ඒ අතරින් වඩාත් උද්‍යෝගිමත් වාර්තා නිකුත් කර තිබුණේ ලෝක බැංකුවෙනි. එහෙත් මුල්‍ය අර්බුදය හොඳින් කළමනාකරණය කර ගැනීමට හැකි වුණේ සම්මත නවලිබරල්වාදී මූලධර්මවලට පටහැණි ව ආණ්ඩුව මැදිහත් වී ප්‍රාග්ධන සංසරණය පාලනය කිරීම ක්‍රියාවට නැංවූ මලයාසියාව වැනි රටවල්වලට ය. ආසියානු මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් ගෝලීය මූල්‍ය ආයතන දැක්වූ අසමත් ප්‍රතිචාරය එවකට ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විශේෂඥයා ලෙස කටයුතු කරමින් සිට ඉවත් වූ ජෝසප් ස්ටිග්ලිස්ගේ තද දෝෂදර්ශනයට ලක් විය. නිර්නියාමනය කළ මූල්‍ය වෙළඳපොළක වාසි ගැන එතෙක් ගොඩනගා තිබූ විශ්වාසය ස්ටිග්ලිස්ගේ එම විවේචනයෙන් අඩපණ කර දැමිණි.
ඩොට්කොම් ආයෝජන බුබුල පුපුරා යෑම කැපී පෙනුණේ එය කෝඩුකාර මූල්‍ය ධනවාදය පැවති පරිධියේ පිහිටි රටක සිදු වූවාට වඩා ගෝලීය ධනවාදයේ මහා මධ්‍යස්ථානය වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ දී ම සිදුවූ බැවිනි. අන්තර්ජාල සෞභාග්‍ය පිළිබඳ 1990 ගණන්වල පතළ වූ සිහිනය අවසන් කරමින් ද කාර්යක්ෂම මූල්‍ය වෙළඳපොළ පිළිබඳ නව ලිබරල් මතවාදය කඩා ඉහිරවමින් ද ඩොට්කොම් ආයෝජන බුබුලෙන් ඔද වැටී තිබූ කොටස් වෙළඳපොළ හිටි හැටියේ කඩා වැටුණි. ඩොට්කොම් බුබුල පුපුරා යෑම කාර්යක්ෂම වෙළඳපොළ පිළිබඳ නවලිබරල් උපන්‍යාසය බහුබූතයක් බවට පත් කළ බව ක්විගින් පවසයි. අර්බුදයත් සමඟ බංකොලොත් බව ප්‍රකාශ කරන තෙක් ම සුනඛ ආහාර අලෙවි කිරීම වැනි ඇතැම් අභූත රූපී අන්තර්ජාල ව්‍යාපාරවලට ඩොලර් බිලියන ගණනක කොටස් වෙළඳපොළ වටිනාකමක් ආදේශ කර තිබුණි. කාර්යක්ෂම වෙළඳපොළ පිළිබඳ නවලිබරල්වාදී උපන්‍යාසය එසේ ප්‍රතික්ෂේප වී යෑමත් සමඟ ඩොට්කොම් සමාගම් ව්‍යාප්තියෙන් පොරොන්දු වූ සෞභාග්‍ය ලබා දීමට නවලිබරල්වාදය අසමත් විය.
වැඩ කරන ජනතාව ඇතුළු හැම කෙනෙකුට ම නිර්බාධිත මූල්‍ය වෙළඳපොළ නිසා වාසි සැලසේ යන අදහස 1990 ගණන්වල පැවති ආර්ථික උත්පාත සමයේ විශේෂයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පතළ ව පැවති මතයක් විය. ඒ අනුව කොටස් හිමිකම පුළුල් වීම නිසා පෙරට වඩා පෘථුල ව ප්‍රාග්ධන ප්‍රතිලාභ බෙදී යන බවටත් ඒ නිසා සරු වන ආර්ථිකයේ ඵල ප්‍රයෝජන වැඩ කරන ජනයාට ලැබීම නියත බවටත් අනාවැකි පළ වුණි. එහෙත් වසර 2000 කොටස් වෙළඳපොළ කඩා වැටීමත් සමඟ ඒ සියලු බලාපොරොත්තු සුන් වී ගියේ ය.
ඉන් ටික කලකට පසු එක්සත් ජනපදයේ ආර්ථිකය තරමක් සුවය ලැබූ නමුත් ඒ වන විට නවලිබරල් නිර්බාධක වෙළඳපොළ මූලධර්මයේ අසාර්ථකත්වය බොහෝ දෙනෙකුට පැහැදිලි වෙමින් තිබුණි. ඒ අතර මේ කාලය තුළ එක්සත් ජනපදයේ කුටුම්බ ආදායමේ සාමාන්‍ය අගය කැපී පෙනෙන ලෙස අඩු ව ගියේ ය. යුරෝපයේ හා ජපානයේ ද ආර්ථික වර්ධනය ඇනහිටියේ ය.
එහි ප්‍රතිඵලය වූයේ ජන සමාජයේ ආදායම් විෂමතා කැපී පෙනෙන ලෙස වැඩි වීම යි. ඒ නිසා සිදු වූයේ අඩු ආදායම්ලාභීන්ට කෙසේ වෙතත් දේශපාලන පංතිය ඇතුළු ඉහළ ආදායම්ලාභීන්ගේ ජීවන තත්වය පමණක් නො කඩවා දියුණු වීම බව තෝමස් පිකෙටි සහ සාස් පෙන්වා දෙයි.[3] 2008 ගෝලීය ආර්ථික අර්බුදයත් සමඟ නවලිබරල්වාදී නිර්බාධක වෙළඳපොළ සංකල්පයේ අසාර්ථකත්වය තවදුරටත් ප්‍රතික්ෂේප කළ නො හැකි ලෙස තහවුරු විය. ගෝලීය ආර්ථික අර්බුදය මෙන් ම එය විසඳීම සඳහා සැකසූ ප්‍රභූ ප්‍රතිපත්ති ද නවලිබරල්වාදය පිළිබඳ විශ්වාසයට මරු පහරක් විය. රාජ්‍යයේ මැදිහත් වීම ප්‍රතික්ෂේප කිරීම පුන පුනා දේශනා කළ නවලිබරල් දර්ශනයට පටහැණි ව දැවැන්ත රාජ්‍ය අරමුදලක් යොදා බැංකුකරුවන් සහ මුල්‍ය ක්‍රමය ගලවා ගැනීමට ප්‍රභූ පන්තිය කටයුතු කළේ ය. ඒ අතර සාමාන්‍ය ජනතාවට අර්බුදයේ මිල දරා ගැනීමට සිදු විය.
2008-2010 ආර්ථික අර්බුදයේ බලපෑම යුරෝ කලාපය තුළ තවත් බරපතළ විය. අර්බුදයට මුහුණ දීම සඳහා යුරෝපීය මහ බැංකුව විසින් පිළියෙළ කරන ලද සැලැස්මට අනුව දැඩි අරපිරිමැස්ම, අයවැය හිඟය අවම කිරීම සහ නො තිබෙන උද්ධමනයක් පාලනය කිරීම හැර වෙනත් සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සාමාජික රටවලට ඉඩ නො ලැබුණි. එහි ප්‍රතිඵලය වූයේ ඉන් පසු දශක ගණනාවක් තිස්සේ සංවර්ධිත ලෝකයට ආර්ථික අවපාතයකට මුහුණ දීමට සිදුවීම බව ක්විගින් පෙන්වා දෙයි. කිසියම් පමණකට ආර්ථික අවපාතයෙන් ගොඩ ආ එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යයේ පවා ජීවන මට්ටම ඉන් පෙර පැවති ආර්ථික වර්ධන යුගයේ තත්වයට නැවත ළඟා නොවූ අතර ආදායම් විෂමතාව පුළුල් වීම අන් කවර කලකටත් වඩා වැඩි වෙන බව පෙනුණි.
නිදහස් වෙළඳපොළ නිසා සමෘද්ධිමත් වන ආර්ථිකයේ ඵල සමාජයේ පහළ ස්තරවලට කාන්දු වන බවට පළ කළ අනාවැකි හරි ගිය බවක් දත්ත අනුව නො පෙන්වන බව ජෝන් ක්විගින් පෙන්වා දෙයි.[4] එයට සාක්ෂි ලෙස ඔහු වෙළඳපොළ නිදහස්කරණය ඵලදායක වී යැයි සැලකෙන සමයේ එක්සත් ජනපදයේ සමාජ විෂමතා වැඩි වීම පිළිබඳ වැදගත් දත්ත උපුටා දක්වයි. උදාහරණයක් ලෙස එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 2008 ආර්ථික අර්බුදය උද්ගත වූ වසර සම්බන්ධ නිකුත් කළ දත්තවලට අනුව ඒ වන විට ඇමෙරිකානුවන් මිලියන 49.1 ක් “ආහාර සුරක්ෂිතභාවයක් නැති” කුටුම්බවල සාමාජිකයන් ලෙස වර්ගීකරණය කර තිබුණි. ඊට හේතුව වසයෙන් දක්වා තිබුණේ ආහාර ඇතුළු මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට ප්‍රමාණවත් මූල්‍ය සම්පත් ඔවුන් සතු නො වීම යි. ඒ අතර මිලියන 17.3 ක් වර්ගීකරණය කොට තිබුණේ ආහාර සුරක්ෂිත භාවය අතින් ඉතා දුර්වල කුටුම්බවලට අයත් සාමාජිකයන් ලෙස යි. ඒ අනුව වසර 2000 සිට 2008 වන විට එනම් නිදහස් වෙළඳපොළ මහිමය පැවැතියේ යැ’යි සැලකූ සමය තුළ ආහාර සුරක්ෂිතභාවයකින් තොර ජනගහනය දෙගුණයකින් වැඩි වී තිබුණි.
ඒ සමය තුළ ම සෞඛ්‍ය රක්ෂණයට දායකවීමට තරම් ආර්ථික ශක්තියක් නැති ඇමෙරිකානුවන්ගේ සංඛ්‍යාව මිලියන 46 දක්වා ඉහළ ගියේ ය. ප්‍රතිශතයක් ලෙස එය මුලු ජනගහනයෙන් 15%කි. රක්ෂිත ජනතාව අතරින් වැඩි කොටසක් ද රජය මඟින් හඳුන්වා දුන් සහනදායී සෞඛ්‍ය හා ඖෂධ වැඩසටහන්වල උපකාරය පැතූහ.
ක්විගින් පෙන්නා දෙන පරිදි ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘නිවාස රහිත වීම’ (Homelessness) යනු මුළුමනින් ම පාහේ වෙළඳපොළ නිදහස්කරණ සමය තුළ උද්ගත වූ සමාජ ප්‍රශ්නයකි. ඉන් පෙර පූර්ණ රැකියා නියුක්තිය තිබූ අවදියේ පැවති ‘නිවාස රහිත වීම’ බොහෝ කොට මහලු වියට පත් මානසික ආබාධ හෝ මත් ද්‍රව්‍ය භාවිතය වැනි පුරුදුවලට ගොදුරු වූ පිරිමි අතළොස්සකට සීමා වී තිබුණි. එහෙත් 2007 වන විට මිලියන 1.7ක් නිවාස රහිතයන් බවට පත්වී තිබුණ අතර ඉන් 40%ක් දරුවන් සහිත පවුල්වල සාමාජිකයෝ වූහ.[5]
උසස් අධ්‍යාපනය තවත් වැදගත් උදාහරණයකි. උසස් අධ්‍යාපනය සඳහා ගෙවිය යුතු මිල සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර ලැබිය හැකි හොඳ ම රැකියාවලට මාර්ගය ලෙස සැලකෙන වංසක්කාර අධ්‍යාපන ආයතනවල ගාස්තු විශාල වසයෙන් ඉහළ ගියේ ය. මින් වැඩියෙන් ම අවාසි වුණේ මධ්‍යම පන්තික පවුල්වලින් පැමිණි තරුණ තරුණියන්ටයි. ඉතාමත් දීප්තිමත් දුප්පත් ශිෂ්‍යයන් අතළොස්සකට මුදල් ආධාර ලැබෙන ක්‍රම ක්‍රියාත්මක වූ නමුදු මැද පන්තියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වැඩි කළ ගාස්තු සහ අඩු කළ ආධාර යන දෙකට ම එක විට මුහුණ දීමට සිදු විය.
එහි ප්‍රතිඵලයක් ලෙස 1985 සිට 2000 දක්වා කාල පරිච්ඡේදය තුළ වංසක්කාර අධ්‍යාපන ආයතනවලට ඇතුළත් වූ ඉහළ ආදායම් සහිත පවුල්වල ශිෂ්‍ය ප්‍රමාණය 46% සිට 55% දක්වා වැඩි විය. මධ්‍යම ආදායම් සහිත පවුල්වල ශිෂ්‍ය ප්‍රමාණය 41% සිට 33% දක්වා අඩු විය.[6]
අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන දෙඅංශයේ ම උදාහරණවලින් පෙන්වා දෙන පරිදි වෙළඳපොළ නිදහස්කරණය යටතේ සේවා වැඩි වීමේ වාසිය එම සේවා යුක්ති යුක්ත ව ලබා ගැනීමට ඇති හැකියාව අඩු කිරීමෙන් නැති කෙරිණි.
ආර්ථික වර්ධනය පහළ ස්තරවලට කාන්දු වීම පිළිබඳ නවලිබරල් උපන්‍යාසය ප්‍රතික්ෂේප කිරීමට වෙළඳපොළ නිදහස්කරණය උත්කර්ෂණයට නැංවූ අවධියේ ඇමෙරිකාව ලැබූ අත්දැකීම් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් ය. ඒ යුගය තුළ යමක් කමක් ඇති අය ධනවත් වූ අතර ධනවත් පුද්ගලයෝ සුපිරි ධනවත්හු වූහ. සැලකිය යුතු තාක්ෂණික දියුණුවක් ඒ යුගයේ දී ඇති වුව ද මැදි ආදායම් මට්ටම්වල සිටි අයට නො වැටී එම මට්ටමේ ම රැඳී සිටීමට අරගල කිරීමට සිදුවුණි. බොහෝ පැතිවලින් බැලූ විට ඊටත් පහළ මට්ටමේ සිටි අයට සිදු වුණේ කබලෙන් ලිපට වැටීම වැනි දෙයකි. අවශ්‍ය විශ්වාසදායක දත්ත සොයා ගත හැකි නම් වෙළඳපොළ නිදහස්කරණය එක ම පිහිට ලෙස වැළඳ ගත් සංවර්ධනය වෙන රටවල විෂමතා වැඩි වීම ද මීට දෙවැනි නො වන බව පෙන්වා දිය හැකි ය.
එහෙත් මෙවැනි ප්‍රබල සාක්ෂි නො තකා හැරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට දරන වෑයම් බහුල බව ක්විගින් පවසයි. ඒ අතරින් වඩාත් ම ජනප්‍රිය සහ මෝඩ ම නිරීක්ෂණය වන්නේ ‘එකල මෙන් නො ව වෙළඳපොළ නිදහස්කරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දුප්පතුන්ට පවා රූපවාහිනියක්, ශීතකරණයක් මිල දී ගැනීමට හැකි වීම කොතරම් ලොකු දෙයක් ද’ වැනි ප්‍රලාප ය.
උදාහරණයක් ලෙස මයිකල් කොක්ස් සහ රිචර්ඩ් ආල්ම් ලියූ Myths of Rich and Poor: Why We’re Better Off than We Think නමැති කෘතියේ මෙසේ සඳහන් වෙයි. “1990 දුප්පත් කුටුම්බයක් 1970 පැවති කුටුම්බයකට වඩා රෙදි සෝදන යන්ත්‍රයක්, පිඟන් සෝදන යන්ත්‍රයක්, ශීතකරණයක්, වර්ණ රූපවාහිනියක්, පරිගණකයක් සහ දුරකථනයක් හිමි නිවසක් බවට පත්වීමට ඇති ශක්‍යතාව වැඩිය.”
එහෙත් මෙකී උධෘතයේ සඳහන් සියලු මෙවලම් සම්බන්ධයෙන් පොදුවේ කිව හැකි වන්නේ සාමාන්‍ය භාණ්ඩ මිලට සාපේක්ෂ ව ඒවායේ මිල ගණන් බෙහෙවින් අඩු වීම බව ක්විගන් පෙන්වා දෙයි. ඒ නිසා ආදායම 1970 පැවති ආදායම ම වුවත් මෙවැනි භාණ්ඩ පරිභෝජනයේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙනු ඇතැයි ද ක්විගන් පවසයි. ප්‍රශ්නය වන්නේ මෙවැනි මෙවලම් ලාභයට ගත හැකි වූවත් සෞඛ්‍ය අධ්‍යාපනය වැනි ඊට වඩා බොහෝ වැදගත් දේවල් එතරම් ලාභයට ගත නො හැකි වීමයි. මිල අඩු වීමට අතිරේක ව ණයවරපත්, කොටස් වසයෙන් ගෙවීමේ ක්‍රම ආදී නොයෙක් වාණිජ උප්පරවැට්ටි මඟින් වැඩි ම පාරිභෝගික සංඛ්‍යාවකට ලාභ බඩු භාණ්ඩ විශාල ප්‍රමාණයක් අලෙවි කිරීම ලාභදායක ව්‍යාපාරයක් බව ව්‍යාපාරිකයෝ දනිති.
ආර්ථික සහ දේශපාලන න්‍යායක් ලෙස නවලිබරල්වාදය ගරා වැටෙමින් ගියත් තවත් දශකයක් පමණ කාලයක් නිර්නියාමනය කළ නවලිබරල්වාදී වෙළඳපොළ මහිමය පිළිබඳ විශ්වාසය ප්‍රධාන දේශපාලන පක්ෂ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ යුරෝපීය කොමිසම වැනි සංවිධාන තුළ හොල්මන් කළේ ය. ක්විගින් පවසන අන්දමට ඒ ගෝලීය මූල්‍ය අර්බුදයෙන් ආර්ථික විද්‍යා පණ්ඩිතයින් කිසිවක් ඉගෙන ගත් බවක් නො පෙනුණි.
2008 ඇරඹි ආර්ථික අර්බුදයත් සමඟ සංවර්ධිත රටවල් 1970 සිට දක්නට නො ලැබුණු පරිමාණයේ සමාජීය හා ආර්ථික පිරිහීමක් අත්දුටුවේ ය. බොහෝමයක් යුරෝපීය රටවල් දිගින් දිගටම නිදන් ගත අවධමනයකට ලක් විය. අර්බුදයෙන් හිස ඔසවන බව පෙනී ගිය රටවල පවා වර්ධන වේගය එක තැන පල් වෙන බව පෙනෙන්නට විය. දේශපාලන පිපිරීම ඊටත් වඩා බරපතළ විය. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු රිපබ්ලිකන් පක්ෂය ගෙලෙන් අල්ලා අවනත කොට ජනාධිපති විය. බ්‍රිතාන්‍යයෝ යුරෝපියානු සංගමයෙන් ඉවත් වූහ. වැඩි වෙන සමාජ විෂමතාව නිසා දක්ෂිණාංශික සහ අන්තවාදී පක්ෂ යුරෝපය සිසාරා හිස ඔසවන බව පෙනෙන්නට විය. නිදහස් වෙළඳපොළ දැක්ම තුළ වැඩි වූ සමාජ විෂමතාව හා ඉච්ඡා භංගත්වය නිසා වර්ගවාදී, ආගම්වාදී දක්ෂිණාංශික අනන්‍යතා දේශපාලනය ඉස්මතු වීම ගත වූ දශකය තුළ අනෙකුත් බොහෝ රටවල ද කැපී පෙනුණු ලක්ෂණයක් විය.
දේශපාලන අර්බුද, අනාරක්ෂාව, වසංගත වැනි අවදානම් අවස්ථාවල දී මිනිසුන්ගේ අභිලාෂ නිදහස් වෙළඳපොළ චින්තනය අබිබවා සජීවී වන ආකාරය ඔවුන්ගේ විසම්මුතික දේශපාලන මැදිහත් වීම්වලින් පෙනී යයි. අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම රජයේ වගකීමක් බව පවසන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව එවැනි අවස්ථාවල දී වැඩි වෙමින් පවතී. නිදහස් වෙළඳපොළේ ඇතැම් අංග අබිබවා රජය කටයුතු කළ යුතු යැයි ඔවුහු අදහස් කරති. වෙළඳපොළ මත ම රඳා පැවැත්ම මිනිසුන් විසින් එසේ ප්‍රතික්ෂේප කරන විට අපට පෙනී යන්නේ නිදහස සම්බන්ධයෙන් ඔවුන් තුළ ඇත්තේ වෙනත් අභිලාෂයක් බව යි. ‘සැමට සෞඛ්‍ය සේවය ලැබීම මානව අයිතිවාසිකමක්’ යැයි කියන විට මිනිසුන් ඉන් අදහස් කරන්නේ නිදහස් වෙළඳපොළ ග්‍රහණයෙන් අත් මිදීම යි. එහෙත් වෙළඳපොළක් නැති බවක් ඉන් අදහස් නො වේ. වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට ඔවුන්ගේ සේවයට සරිලන වැටුපක් ගෙවිය යුතු ය. වෛද්‍ය උපකරණ, බෙහෙත්, එන්නත් ආදිය මිලට ගත යුතු දේවල් ය. එහෙත් ඒ අතර පුද්ගලයන්ට ලැබෙන සෞඛ්‍ය පහසුකම් වෙළඳපොළ මඟින් පමණක් තීරණය කිරීම අයුතු ය. සෞඛ්‍ය පහසුකම් අවශ්‍ය වන්නේ අසනීප වූ අයට මිස අත මිට මුදල් ඇති ව අසනීප වූ අයට පමණක් නො වේ. එනිසා වෙළඳපොළ අබිබවා යන සමානාත්මතාව සලකන පොදු සෞඛ්‍ය සේවයක් පැවතිය යුතු ය.
එහෙත් අද නිදහස මෙන් ම සමානාත්මතාව යන්නට ද වෙළඳපොළේ ඇතැයි කියන නිදහස හැර වෙනත් තේරුමක් ආරෝපණය කරන බවක් නො පෙනේ. කෙසේ වෙතත් වෙළඳපොළ යන්න නිසග ලෙස ම අසමානතාව රජයන තැනකි. එය දිනන්නන් සහ පරදින්නන් ගැවසෙන තැන යි. එනිසා නිදහස් වෙළඳපොළ මත අලෙවිකරණයට යට වූ ප්‍රජාතන්ත්‍රවාදයක ප්‍රතිඵලය වන්නේ ද දිනන්නන් සහ පරදින්නන් බිහි වීම යි.
නිර්බාධක ව තිබෙන තාක් කල් තරඟකාරිත්වය මත නිදහස් වෙළඳපොළ මෙහෙය වෙන නිසා එමඟින් නවොත්පාදනය දිරිගැන්වීම සහ පාරිභෝගිකයන්ට අත් වන අසාමාන්‍ය වාසි ගැන සහතික කිරීම් අපට සිය දහස් වරක් ඇසී තිබේ.. එහෙත් වරක් ලෝකයට ම ආදර්ශයක් යැයි සැලකූ ඇමෙරිකානු නිදහස් වෙළඳපොළ එම තරඟකාරිත්වය අත්හැර දමමින් සිටින බව ලොව වයස අවුරුදු 45ට අඩු විශිෂ්ටතම ආර්ථික විද්‍යාඥයන් 25 දෙනා අතරින් කෙනෙකු ලෙස වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නම් කළ තෝමස් පිලිපොන් පෙන්වා දෙයි. එය ඇමෙරිකාවට පමණක් සීමා වූ ගති ලක්ෂණයක් ද නො වේ. නිව්යෝක් සරසවියේ මූල්‍ය ආර්ථික විෂය පිළිබඳ ව මහාචාර්යවරයෙකු ලෙස සේවය කරන පිලිපොන් 2019 දී පළ කළThe Great Reversal නම් කෘතියෙන් විස්තර කරන පරිදි ආයෝජනය සහ නවොත්පාදනය මත ලාභ ඉපදවීම වෙනුවට බලසම්පන්න ඇමෙරිකානු සමාගම් දැන් මුල් තැන දී ඇත්තේ වාසි සඳහා දේශපාලන බලපෑම යෙදීම යි. දශක ගණනාවක් තිස්සේ නියාමනය පිළිකුල් කළ ඇමෙරිකානු වෙළඳපොළට දැන් මුහුණ දීමට සිදු ව ඇති අගතීන් කිහිපයක් ඔහු සිය කෘතියෙන් විස්තර කරයි. ඉන් පළමුවැන්න ඇමෙරිකානු ආර්ථිකයේ බොහෝ ක්ෂේත්‍රවල තරඟකාරිත්වය හීන වෙමින් යෑම යි. එයට හේතුව පිලිපෝන් මෙසේ විස්තර කරයි: “වෙළඳපොළ තරඟකාරිත්වයක් නොමැති වීම වැඩි වසයෙන් විස්තර කළ හැක්කේ ලොබි කිරීම සහ මැතිවරණ අරමුදල්වලට දායකවීම මඟින් තම සමාගම්වලට වාසිදායක වන ලෙස රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කරවා ගැනීමට කෝපරේට් ප්‍රභූන් ඇති කරන බලවත් බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස යි”[7]. ගත වූ අවුරුදු විස්ස තුළ හැම ඇමෙරිකානු කෝපරේට් සමාගමක් ම නියාමකයන්, සෙනෙට් සභිකයන්, කොන්ග්‍රස් සභිකයන් සහ ප්‍රධාන මන්ත්‍රණ සභා කමිටුවල සාමාජිකයන් නම්මවා ගැනීමට මෙන් ම ෆෙඩරල් හා ප්‍රාන්ත රාජ්‍යවල මැතිවරණවලට කරන අධික වියදමෙන් මෙය පැහැදිලි වන බව ඔහු පෙන්වා දෙයි. මේ නිසා හැම විටම ප්‍රාන්තවල මෙන් ම කාර්මික ක්ෂේත්‍රවල නිදහස් වෙළඳපොළ අවුල් වන අන්දමත්, ඒකාධිකාර විරෝධී නීතිය (Antitrust Law) ක්‍රියාත්මක කිරීම හිතාමතා දුර්වල කරන, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර වර්ධනය අවහිර කරන සහ දැවැන්ත සමාගම් ආරක්ෂා කිරීමට තරඟකාරිත්වය වළක්වන බලවේග ඒ සඳහා දේශපාලන අනුග්‍රහය ලබා ගන්නා ආකාරයත් ඔහුගේ විමසුමට ලක් වේ.
තෙවැනි සාධකය ලෙස තරඟකාරිත්වය මේ අන්දමින් දුර්වල කිරීමේ ප්‍රතිඵල ලෙස වැටුප්, ආයෝජන, නිෂ්පාදනය හා වර්ධනය අවම මට්ටමක තබා ගැනීමට හැකි වෙන බවත් එනිසා සමාජ අසමානතාව වැඩි වෙන අන්දමත් පිලිපොන් පෙන්වා දෙයි. සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රය තුළ තරඟකාරිත්වය පහත වැටීම නිසා සාමාන්‍ය ඇමෙරිකානුවන්ගේ ආදායම අඩු වී ඇති ආකාරයත් සාමාන්‍යයෙන් ආර්ථික වර්ධනයේ ලක්ෂණ ලෙස සලකන ආයෝජන වැඩි වීම, තාක්ෂණික දියුණුව සහ වැටුප් වැඩි වීම තරඟකාරිත්වය අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස බෙහෙවින් පසු බා ඇති අන්දමත් පිලිපොන් නිදසුන් සහිතව විස්තර කරයි. මේ අනුව ආර්ථික වසයෙන් පමණක් නො ව දේශපාලන වසයෙන් ද අපේ ජීවිත යටත් කර ගැනීම අතින් ධනවාදය කොයි තරම් සාර්ථක වී ඇත් ද සහ වෙළඳපොළ මත ම රඳා පැවැත්මට සිදුවීම නිසා වෙළඳපොළ ආම්බාන් කිරීමට අප ගන්නා සියලු වෑයම් තළා පොඩි පට්ටම් කර දැමීමට වෙළඳපොළට හැකි වීම සම්බන්ධයෙන් ද ගත වූ දශක කිහිපය වැදගත් ය.
සමාගම් අයිතිකරුවන් විසින් දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවනු ලැබීම පිළිබඳ විධිමත් විමසුමක් කළ හොත් ලංකාවේ තත්වය පිලිපෝන් විස්තර කරන තත්වයට වෙනස් නො වන බව පැහැදිලි වනු ඇත. කෙසේ වෙතත් මැතිවරණ සඳහා පක්ෂවලට හා අපේක්ෂකයන්ට ලබාදෙන මුදල් ප්‍රමාණය හඳුනා ගැනීමෙ ක්‍රමවේදයක් අපේ මැතිවරණ නීතිවල නැත.
පිලිපොන් පෙන්වා දෙන අන්දමට දේශපාලනය සඳහා අත දිග හැර වියදම් කිරීමෙන් නිදහස් වෙළඳපොළ ග්‍රහණයට ගත් කෝපරේට් සමාගම් විසින් තරඟකාරිත්වය දුර්වල කරනු ලැබීම ආර්ථික අසමානතාවට එක් හේතුවකි.
ඒ අනුව ඓතිහාසික වසයෙන් අසමානතාව ආරම්භ වූ ආකාරය පිළිබඳ විමසා බැලීම මේ සාකච්ඡාවට වැදගත් ය. Talking to My Daughter About Economy හෙවත් ‘ආර්ථිකය ගැන මගේ දුවට කතා කිරීම’ නමින් ලියූ කෘතියේ කර්තෘ හිටපු ග්‍රීක මුදල් ඇමති යානිස් වරුෆාකිස් නූතන ආර්ථික අසමානතා ඇතිවීමේ ඓතිහාසික සම්භවය කෘෂිකාර්මික අතිරික්තයේ ඵලයක් ලෙස මෙසේ විස්තර කරයි:
“1788 ජනවාරියේ දී බ්‍රිතාන්‍ය නැව් හතක් ඔස්ට්‍රෙලියානු වෙරළට ළඟා විය. ඉන් පැමිණි මුල් ම යටත් විජිතවාදීන් තුවක්කු, ලෝහමය ආයුධ හා ආම්පන්න, ගෘහස්ථ කළ හීලෑ සතුන් හා යුරෝපියානු ලෙඩ රෝග ඔස්ට්‍රේලියාවට ගෙන ආවේ ය. එතෙක් ඔස්ට්‍රේලියාවේ විසූ එකම මිනිස් වර්ගය වූ ඇබොරිජින්ස් යන නමින් හැඳින්වුණු ඔස්ට්‍රෙලියානු ස්වදේශිකයන්ට ඒ කිසිවක් නො තිබිණි. ඒ නිසා තමන්ගේ නිජබිම් ආගන්තුකයන් විසින් ඩැහැ ගනු ලැබීමට එදිරි ව කටයුතු කිරීමේ හැකියාවක් ඔවුන්ට නො වී ය.
එය අනෙක් අතට සිදු නොවී මෙසේ සිදුවුණේ ඇයි? වෙනත් අන්දමකට කිව හොත් බ්‍රිතාන්‍යයන් ඕස්ට්‍රේලියාව අත්පත් කර ගනු වෙනුවට ඕස්ට්‍රේලියානු ඇබොරිජින්වරුන්ට ලන්ඩනය ආක්‍රමණය කොට ජය ගැනීමට නො හැකි වූයේ ඇයි.? ආවේණික ලක්ෂණ ගත් විට ඇබොරිජින්වරුන් යනු යුරෝපීයන්ට වඩා අඩුවෙන් වර්ධනය වූ මිනිස් වර්ගයක් නො වේ. ඇබොරිජින්වරුන් සහ යුරෝපීයන් අතර තිබූ මූලික වෙනස එකී ජන සමාජ දෙක විසින් වර්ධනය කර ගනු ලැබූ ද්‍රව්‍යයමය තත්වයන් (material conditions) සහ ඒවාට ආරෝපණය කර තිබූ වටිනාකම් අතර කැපී පෙනෙන වෙනසක් තිබීම යි.”
ජීවනෝපාය ලෙස දඩයම් කිරීමෙන් සහ වනඵල එක්රැස් කිරීමෙන් ඔස්ට්‍රෙලියානු ඇබොරිජින්වරුන්ට සාමාන්‍යයෙන් පහසුවෙන් ම ජීවත් විය හැකි විය. එහෙත් බ්‍රිතාන්‍යයන්ගේ ජීවිතය රඳා පැවතුණේ පසුකලෙක සිදු වූ සමාජ පරිවර්තන රාශියකට හේතු වූ කෘෂිකර්මාන්තය මතයි.
එහෙත් ලෝකයේ වැඩි කොටසක් යුරෝපය විසින් යටපත් කර ගනු ලැබීමට කෘෂිකර්මාන්තය හේතුවක් වූයේ කෙසේ ද? ඇත්ත වසයෙන් ම මිනිසුන්ට සිය පරිභෝජනයට අවශ්‍ය වූ ආහාර ප්‍රමාණයට වඩා වැඩිපුර ආහාර ප්‍රමාණයක් නිපදවා ගත හැකි වූයේ වසර 12,000 කට පෙර කෘෂිකර්මාන්තය ඇරඹූ පසුව ය. අප මෙහි දී ‘අතිරික්තය’ (surplus) යනුවෙන් හඳුන්වන්නේ මෙසේ නිපදවන ලද ආහාර ප්‍රමාණයෙන් පරිභෝජනයට අවශ්‍ය වන ආහාර ප්‍රමාණය ඉක්මවා ලබා ගන්නා වැඩිපුර අස්වැන්න ප්‍රමාණය යි. අස්වැන්නක් අස්වැන්නක් පාසා මෙසේ ලබා ගත් අතිරික්ත ආහාර ප්‍රමාණය අහේනියක් ඇති වුව හොත් සාගතයකට මුහුණ නො දී එදිනෙදා පරිභෝජනය සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් කෘෂි ජන සමාජවලට තිබූ ශක්තිමත් රක්ෂණයක් විය. එහෙත් ඒ සමඟ ම එසේ වරින්වර වැඩි වන අතිරික්තය ගබඩා කර කළමනාකරණය කර පවත්වා ගැනීම සඳහා නව විධික්‍රම ද සොයා ගත යුතු විය.
ප්‍රථමයෙන් ම කන්නයක් පාසා නිපදවෙන අතිරික්තය කලක් ගබඩා කර තැබිය හැකි ගොඩනැගිලි අවශ්‍ය විය. එමෙන් ම ගබඩා කර ඇති අතිරික්තය ගණන් තැබීමට හා ඒ පිළිබඳ වාර්තා තැබීමට ලේඛන කලාවක් ද අවශ්‍ය විය. ඉන් පසු මිනිසුන්ට අවශේෂ බඩු භාණ්ඩ හා හුවමාරු වෙළහෙළදාම් සඳහා එකී අතිරික්තය යොදා ගත හැකි විය. අතිරික්තය ගබඩාවල තිබිය දී ම වෙළඳාම පහසු කරවීමට ගබඩා කළ ධාන්‍ය ප්‍රමාණ නියෝජනය කරමින් නිකුත් කළ ටෝකන් යොදා ගැනීම ද ඒ සමඟ ඇරඹුණි. එමෙන් ම දැනට අතිරික්තයක් නැති වුව ද ඊළඟ කන්නයේ නිසැක ව ම ලැබෙන අතිරික්තය බලාපොරොත්තු වෙමින් අර කී ටෝකන් යොදා ගෙන පාරිභෝගික ද්‍රව්‍ය වෙළහෙළදාම දිගට ම කළ හැකි විය. මේ ටෝකන් එම ගනුදෙනුවල දී මුදල් ලෙස භාවිත වීම ඇරඹීමත් සමඟ එමඟින් ණය දීම හා ණයට ගැනීම ද ආරම්භ විය.
එහෙත් මුදල් යන්නට වලංගුභාවයක් ඇත්තේ මුදල් භාවිතය සම්බන්ධයෙන් සියල්ලන්ට ම එක සමාන විශ්වාසයක් ඇත්නම් පමණි. එම නිසා මුදල්වල වටිනාකම තහවුරු කිරීමට නම් මුදල්වල ස්ථාවර භාවය පවත්වා ගැනීමට නිලධාරි තන්ත්‍රයකුත් අවශ්‍ය වූ විට බලහත්කාර බලය යොදා මුදල්වල සුජාතභාවය සහතික කිරීමට හැකි සන්නද්ධ හමුදාවකුත් අවශ්‍ය වේ. මේ අනුව වැඩි කලක් නො ගොස් අතිරික්තය නිපදවීමට සෘජු සම්බන්ධයක් නැති එහෙත් අතිරික්තය බෙදා හැරීම සම්බන්ධයෙන් සැලකිය යුතු බලයක් ඇති නිලධර තන්ත්‍රයක් ඇති වේ. තදනන්තර ව සමාජ ධුරාවලිය (social hierarchy) බිහි වන්නේ ද ඊට අනුකූලව යි.
ඔස්ට්‍රෙලියානු ඇබොරිජින්වරුන් වැඩි කලබලයක් නැති ව එදිනෙදා වේල සොයා ගනිමින් ගීතයෙන් සංගීතයෙන් සහ මිථ්‍යා කතන්දර නිර්මාණවලින් පොහොසත් සමාජයක ජීවත් වන අතර යුරෝපීයයෝ අතිරික්තය රැස් කර ගැනීමේ උත්සුක වෙමින් මුදල් හා සංකීර්ණ කළමනාකරණ ක්‍රම සහ ධුරාවලි මත පදනම් වූ සමාජයක ජීවත් වූහ. මේ සමාජ දෙක අතර ද්‍රව්‍යයමය වසයෙන් පැවති අසමානතාව ආවේණික වෙනස්කම් නිසා සිදු වූවක් නො ව ද්‍රව්‍යයමය තත්වවලට ආරෝපණය කළ සමාජ වටිනාකම් පිළිබඳ වෙනස නිසා ඇති වූවකි.
එහෙත් යුරෝපීයන් මේ සංසිද්ධිය දුටුවේ ඒ ආකාරයෙන් නො වේ. අනෙකුත් හැම සංස්කෘතීන්ට මෙන් ම යුරෝපීයන්ට ද විශ්වාස පද්ධතියක් හෙවත් අර කී වෙනස් ද්‍රව්‍යයමය තත්ව දෛවය අනුව ලැබෙන දේවල් බව තහවුරු කරන දෘෂ්ටිවාදයක් තිබුණි. ඒ දෘෂ්ටියට අනුව යුරෝපීයන්ට අන් අයට වඩා දේවල් තිබුණා පමණක් නො ව තව තවත් දේවල් අත්පත් කර ගැනීමේ හිමිකම ද තිබුණි. ඒ නිසා යුරෝපීය යටත් විජිතවාදීන් 1788 ඔස්ට්‍රේලියාවට සම්ප්‍රාප්ත වූයේ ඔස්ට්‍රේලියාව පවතින්නේ ම තමන්ට අත්පත් කර ගැනීම සඳහායි යන සිතුවිල්ලෙනි.
එහෙත් වටිනාකම් ඇත්තේ ද්‍රව්‍යයමය සම්පත්වලට පමණක් නො වේ. උදාහරණයක් වසයෙන් හිත මිතුරන් සමඟ සතුටු සාමීචියේ යෙදෙමින්, මෑණියන් විසින් විශේෂයෙන් පිසින ලද ඇඹුල්තියල් මාලුවක් සහිත රසවත් ආහාර වේලකින් සන්තර්පණය වන අවස්ථාවකට ද වටිනාකමක් තිබේ. එහෙත් එය ඇමසන් වෙතින් ඔන්ලයින් ඇණවුම් කර ගෙන්වා ගන්නා භාණ්ඩයකට ආරෝපණය කරන වටිනාකම මෙන් නො වේ.
එහෙත් හැම බඩු භාණ්ඩයක් ම පාහේ එසේ රිසි සේ හිතමිතුරන් සමඟ බෙදා ගෙන කෑම සඳහා පිළියෙළ කළ අර ඇඹුල්තියල් හට්ටිය මෙන් නො වේ. ඇඹුල්තියල් හට්ටියේ වටිනාකම ඇත්තේ භාවිත වන ආකාරය නිසා ය. එනම් මිත්‍රශීලී තෘප්තියකට තුඩු දෙන සතුටු සාමීචිය පවත්වා ගැනීමට ඉන් ලැබෙන රස නහර පිනවා යන පිටිවහල නිසා ය. එහෙත් ඇමසන් සමාගම හරහා ඔබ ඇණවුම් කරන අයිපෑඩය හෝ ඔරලෝසුව එසේ නො වේ. ඒවායේ වටිනාකම ඇත්තේ එම භාණ්ඩවල මිල ගණන්වල ය. එය ඇතැම් විට හුවමාරු වටිනාකම (exchange value) ලෙස ද හඳුන්වනු ලැබේ.
ඉතිං මේ වටිනාකම් දෙවර්ගය අතරින් වඩාත් වැඩි වටිනාකම ලෙස සැලකෙන්නේ කුමක් ද? අප කැමති වුණත් නැතත් නූතන ලෝකයේ වඩාත් ම රජයන වටිනාකම හුවමාරු වටිනාකම යි. කොටින් ම වෙළඳපොළ සමාජය (market society) අනෙක් සියලු වටිනාකම් වර්ගවලට වඩා හුවමාරු වටිනාකම ඉහළින් තබා කටයුතු කරන සමාජයකි.
අපේ සමාජය අප වෙළඳපොළ සමාජයක් ලෙස නම් කරන්නේ අපේ ජීවිතයේ හැම කටයුත්තක් සම්බන්ධයෙන් ම හුවමාරු වටිනාකම තදින් කාන්දු වී තිබෙන බැවිනි. ඔබ වෙසෙන නිවස, එය පිහිටා ඇති බිම් කඩ පමණක් නො ව ඔබේ ප්‍රයත්න සහ කාලය ආදී හැම දෙයකට ම මිලක් සහ වෙළඳපොළ හුවමාරු ප්‍රස්තාවක් නියම කර තිබේ. වෙනස් අන්දමකින් කිව හොත් ඒ සියල්ල වෙළඳ ද්‍රව්‍ය බවට පත්කර (commodify) තිබේ.
එහෙත් එය හැම දා ම පැවති දෙයක් නො වේ. පැරණි සමාජවල ද වෙළඳපොළවල් පැවතුණ ද ඒවාට අද මෙන් තීරණාත්මක බලයක් නො තිබිණි. උදාහරණයක් ලෙස පූර්ව කාර්මික මධ්‍ය කාලීන යුගයේ යුරෝපයේ ඉඩම් මිල දී ගැනීමක් හා විකිණීමක් නො තිබිණි. ඉඩම් යනු රජු විසින් පවරා දෙන පරිදි රදලයන්ට ප්‍රවේණියෙන් උරුම වූ දේවල් විය. ඒවායේ වැඩ කළ ප්‍රවේණි දාසයන්ට වැටුපක් නො ලැබුණි. ඔවුන් වැඩ කළේ එම ඉඩම්වල භවභෝග ආහාර ද්‍රව්‍ය නිපදවීම සඳහා ය. එහි නිෂ්පාදනය ඉඩම් හිමි රදලයා සතු ය. එදිනෙදා යැපීම සඳහා ප්‍රවේණි දාසයන්ට අවශ්‍ය ආහාර ඇඳුම් ආදිය සමඟ ආරක්ෂාව ද රදලයාගෙන් ලැබුණි. මෙය ද එක්තරා හුවමාරුවකි. එහෙත් එය වෙළඳපොළ මත රැඳුණ අලෙවිකරණයක් නො වී ය. ඒ සඳහා මුදල් භාවිතයක් නො වී ය. එහි තිබුණේ කාට කුමක් ලැබේ ද යන්න තීරණය වන පාරම්පරික ප්‍රවේණිදාස රාජකාරිය ඉටු කිරීම සහ රදලයන් විසින් වරප්‍රසාද ලබා ගැනීම යන අභිලාෂ දෙක පමණි.
එහෙත් 1500 ගණන්වල දී වෙළඳාම ගෝලීය මට්ටමට පැතිර යන්නට පටන් ගත් විට මෙම රදල ප්‍රවේණිදාස ක්‍රමය තවදුරටත් පවත්වා ගැනීම අසීරු විය. ලෝම වැනි කල් පවතින භාණ්ඩ දුර බැහැර සිට පැමිණ මිල දී ගන්නන්ට අලෙවි කිරීමෙන් වෙළෙන්දෝ විශාල ධනයක් එක්රැස් කර ගත්තෝ ය. ඒ අතර ප්‍රවේණිදාස ගොවීන් අතින් පරිභෝජනයට ආහාර නිපදවෙන නමුත් ලෝම වැනි අලෙවි කළ හැකි වෙළඳ භාණ්ඩ නිපදවීමක් සිදු නො වන බව රදලයන්ට වැටහෙන්ට පටන් ගත්තේ ය. ඒ අනුව ලාභ දායක ගෝලීය වෙළදාමේ කොටස්කරුවන් වීමේ අටියෙන් ප්‍රවේණිදාසයන් ඔවුන් ගොවිතැන් කළ ඉඩම්වලින් පලවාහරිමින් රදලයෝ ඒ ඉඩම් ලෝම වැනි වෙළඳ භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සතුන් ඇති කිරීම සඳහා වැඩි වැඩියෙන් යොදා ගත්හ.
මේ අනුව එක්වර ම ඉඩම්වලට හුවමාරු වටිනාකමක් ඇති විය. ඒ නිසා තව දුරටත් තම ආහාර සපයා ගැනීමට ඉඩම් භාවිත කිරීමට ප්‍රවේණිදාස ගොවීන්ට ඉඩ නො ලැබුණු අතර තමන් සතු එක ම වස්තුව වන කාලය හා ශ්‍රමය විකිණීම හැර ජීවිතය පවත්වා ගැනීමට ඔවුන්ට වෙනත් විසඳුමක් නො වී ය. එහෙත් මේ අනුව ශ්‍රමයට ද හුවමාරු වටිනාකමක් ඇති විය.
යුරෝපයේ සිදුවූ කාර්මිකකරණයට සහ කර්මාන්තශාලා බිහි වීම නිසා මේ තත්වය තවත් තීව්‍ර විය. ඒ නිසා පාරිභෝගික වෙළඳ පොළේ විකිණෙන බඩු භාණ්ඩ මිල දී ගැනීම පිණිස බොහෝ මිනිසුන්ට සිය ශ්‍රමය ශ්‍රම වෙළඳපොළේ විකිණීමට සිදු විය. මෙසේ කලක් ගත වන විට මෙකී වෙළඳපොළ හුවමාරු වටිනාකම් ක්‍රමය කේන්ද්‍ර කර ගෙන සමාජය ප්‍රතිසංවිධානය වීම පටන් ගත්තේ ය.
ඔබ ද රදලයෙකුගේ ඉඩමෙන් නෙරපුණු ප්‍රවේණි දාසයෙකු යැයි මොහොතකට සිතන්න. නව වෙළඳපොළ සමාජයේ (market society) ජීවිතය ගැට ගසා ගැනීමට නම් ඔබ ද මුදල් ඉපයිය යුතු ය. ඔබට ඒ සඳහා අලුතින් පටන් ගත් ගල් අඟුරු ආකරයක වැඩට ගොස් කය වෙහෙසා ඔබේ ශ්‍රමය විකිණිය හැකි ය. එසේ නැත හොත් ව්‍යවසායකයෙකු ලෙස ලෝම නිෂ්පාදන ව්‍යාපාරයක් ඇරඹිය හැකි ය. මේ දෙක අතරින් බොහෝ අය වැඩි කැමැත්තක් දැක්වූයේ ලෝම නිෂ්පාදන කර්මාන්තයේ නියැලීමට යි. එහෙත් ඒ සඳහා ගෙවිය යුතු මිලක් තිබේ.
මුලින් ම ඔබට ආරම්භක වියදම් සඳහා ප්‍රාග්ධනයක්, එනම් ඉඩමක් කුලියට ගැනීමට, බැටළුවන් මිලට ගැනීමට හා අත්‍යවශ්‍ය සේවකයන්ට ගෙවීමට ආරම්භක මුදලක් අවශ්‍ය වේ. පොලිය සමඟ ආපසු ගෙවීමට කැමති නම් ප්‍රදේශයේ පොලී මුදලාලිගෙන් ඔබට එම මුදල ණයට ලබා ගත හැකි ය. ඒ අනුව ණයක් ගැනීමට ඔබ තීරණය කරයි.
දැන් ඉතිං ඔබ තවදුරටත් ප්‍රවේණි දාසයෙකු නො වන්නේ ය. ඒ වෙනුවට ඔබ දැන් ව්‍යවසායකයෙකි. එහෙත් ඒ සමඟ ම ඔබ ණයකාරයෙකි. ණයෙන් මිදිය හැක්කේ ලොම් වෙළඳාමෙන් ලාභයක් ඉපදීමට ඔබ සමත් වුව හොත් පමණි. වෙළඳපොළ සමාජයේ ඇති ලාභය පිළිබඳ නිරන්තර තෘෂ්ණාව සන්තර්පණය කිරීමට මෙසේ ණය ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
එකිනෙකාට උදව් කිරීම මිනිසුන් අතර බොහෝ කලක් තිස්සේ පැවතුණකි. අසල්වැසියා ඔබේ ගස කැපීමට උදව් දුන් විට එවැනි ම උදව්වක් ඔබෙන් ද ඉල්ලා සිටිය හැකි බව ඔහු දනී. මෙවැනි අන්‍යෝන්‍ය උදව් පදනම් වි ඇත්තේ ප්‍රජා එකමුතුකම මතයි. එවැනි අවස්ථාවලදී “ස්තුතියි, මාත් ඔයාට ණයගැතියි” යනුවෙන් කීවත් ඉන් කිසි සේත් ම අදහස් වන්නේ මූල්‍යමය ණය ගනුදෙනුවක් නො වේ.
මූල්‍යමය ණයක් යන්න ඊට වඩා වෙනස් ය. මන්ද එමඟින් ඇති කරන සම්බන්ධතාවට නව ගනුදෙනු කොන්දේසි දෙකක් අයත් ය. ප්‍රථමයෙන් ම ණය ගනුදෙනුව ගිවිසුමක් මඟින් නීතිමය වගකීමක් බවට පත් කරනු ලැබේ. දෙවැන්න ණයට පොලියක් අය කරනු ලැබේ. මෙය ණයට ගන්නා ලද මුදල ආපසු ගෙවීමට අමතර ව ණයකරු විසින් ණය හිමියාට ගෙවිය යුතු ණය මුදලට එක් කරන ලද අමතර අගය යි.
වෙළඳපොළ සමාජයක දැනටමත් සල්ලි කාරයෙකු නො වන කිසියම් කෙනෙකුට නිෂ්පාදනයක යෙදීමට අවශ්‍ය නම් ණයක් ගත යුතු ම ය. එසේ ගන්නා ණයට පොලියක් අයවන නිසා හුදෙක් නිෂ්පාදන වියදම ආවරණය කිරීමට පමණක් භාණ්ඩ මිල නියම කළ නො හැකි ය. ඒ නිසා ණයකරු විසින් භාණ්ඩ මිල නියම කළ යුත්තේ ලාභයක් ලැබෙන පරිදි ය. තරඟකාරී වෙළඳපොළ තුළ ලාභ ගැනීම යනු ඇත්ත වසයෙන් අඩු ම වියදමක් දරමින් භාණ්ඩ නිෂ්පාදනය කිරීම යි.
ඒ නිසා ලොම් නිෂ්පාදනයේ යෙදෙන අපේ හිටපු ප්‍රවේණි දාසයා මෙන් ම සියලු ව්‍යවසායකයන් ද හැකි තාක් අඩු වැටුපක් තම සේවකයන්ට ගෙවමින් වැඩි වැඩියෙන් ඉඩම් සහ නිෂ්පාදන මෙවලම්වලට ආයෝජනය කළ යුතු ය. මෙකී පීඩනය නිසා ණය වීම, ලාභ ඉපයීම සහ වියදම් අඩු කිරීම චක්‍රයක් මෙන් නො කඩවා ක්‍රියාත්මක වෙයි. එහි ප්‍රතිඵලය කුමක් ද? එහි ප්‍රතිඵලය වන්නේ ණය දීමට හැකි අය වැඩි වැඩියෙන් ධනය රැස් කර ගන්නා අතර වැඩ කරන අයට නිරන්තර මූල්‍ය ආතතියකට හෙවත් අගහිඟකම්වලට මුහුණ දීමට සිදුවීම යි.
ක්‍රිස්තියානි හා ඉස්ලාම් ඇතුළු ඇතැම් ආගම් ණය දීම අනුමත කළත් පොලිය අය කිරීම තහනම් කළේ ය. එහෙත් වෙළඳපොළ සමාජය තහවුරු වීමත් සමඟ මෙකී තහංචි දුර්වල වී ගියේ ය. සමාජය තුළ වර්ධනය වන ද්‍රව්‍යමය තත්වයන් විසින් සමාජයේ දෘෂ්ටිවාදය මෙහෙයවන බවට මෙය ද එක් නිදර්ශනයකි.
වෙළඳපොළ සමාජයේ සියලු ධනය පෝෂණය වන්නේ ණය නිසා ය. පසු ගිය සියවස් තුන පුරා නො සිතූ විරූ ධනයක් නිර්මාණය කිරීමට හැකි වීමේ ගෞරවය බැංකු වැනි ණය දෙන්නන්ට හිමි විය යුතු ය. එහෙත් වෙළඳපොළ සමාජයක බැංකුවලට අසාර්ථක විය නො හැකි ය. කිසියම් අසාර්ථක වීමක් සිදු වුනොත් එහි විපාක දැරිය යුත්තේ ඔබ මිස බැංකුව නො වේ.
ඔබ බැංකුවකින් ඩොලර් මිලියනයක ණයක් ගත්තායැ’යි මෙහොතකට සිතන්න. එම මුදල් එන්නේ කොහෙන් ද? ඔබේ බැංකුවේ ඇති ආරක්ෂිත සේප්පුවක සිට ද? සත්තකින් ම නැත. බැංකුව ඇත්ත වසයෙන් ම කරන්නේ ඔබේ බැංකු ගිණුමේ ඉතිරි ව ඇති මුදල සංකේතික වන අංකවල අගට තවත් බිංදු කිහිපයක් එකතු කිරීම පමණි. හරියට ඩොලර් මිලියනයක් අසරු සැණකින් නිර්මාණය කළා වැනි ය.
මෙකී ඩොලර් මිලියනය දැන් ඔබේ ගිණුමේ පවතින්නේ අනාගතයේ දී එය ඔබ විසින් ආපසු බැංකුවට ගෙවිය යුතු ය යන කොන්දේසියට යටත් ව ය. එම කොන්දේසිය ඉටු කිරීමට අපොහොසත් වුව හොත් ඔබට දේපළ නැති ව යෑම වැනි දරුණු විපාකවලට මුහුණ දීමට සිදුවේ. ණයක් ලබා ගැනීමේ වරප්‍රසාදය වෙනුවෙන් ඔබට බැංකු ගාස්තු හා පොලිය ද ගෙවීමට සිදු වෙනු ඇත. බැංකුවලින් දෙන ණය වැඩි වෙන තරමට බැංකුවලට ආපසු ලැබෙන මුදල් ප්‍රමාණය ද වැඩිවේ. ඒ නිසා හැකි තරම් ණය ප්‍රමාණයක් නිකුත් කිරීම බැංකුවක අභිප්‍රාය යි.
එහෙත් ආපසු අය කර ගැනීමට නො හැකි ලෙස සියල්ලන්ට ම බොල් ණය (bad debts) දී තිබුණොත් බැංකුවලට සිදු වන්නේ කුමක් ද? බැංකුවලට එහි ඵල විපාක විඳීමට සිදු වේ ද? ඇත්තට ම නැති තරම් ය. මන්ද වෙළඳපොළ සමාජයක බැංකුවලට අසමත් වීමට නො හැකි ය. එහෙත් ඒ වෙනුවට ඔබට අසමත් වීමට සිදුවිය හැකි ය. වෙළඳපොළ සමාජයක ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක වීමට නම් මුදල් සංසරණය නිරන්තරයෙන් ම සිදුවිය යුතු ය. ණය දීමත් එම ණයවලට වග වීමත් මඟින් මේ ක්‍රියාවලිය නොකඩවා ඉටු කිරීමට බැංකු බෙහෙවින් දායක වෙයි. ඇතැම් විට මෙය සෑහෙන හොඳින් වැඩ කරයි. ඒ නිසා වැඩි වැඩියෙන් ව්‍යාපාර කිරීම මඟින් ව්‍යාපාරිකයන් වැඩි ගණනකට වැඩි වැඩියෙන් ලාභ උපයා ගත හැකි වේ. එහෙත් තෘෂ්ණාව තරමක් වැඩි වූ විට මේ චක්‍රය නිසා ඇතිවිය හැකි සුබදායක සර්පිලය දිගේ ආර්ථිකය ඉහළ නඟිනවා වෙනුවට පහළට රූටා වැටීම ද සිදුවිය හැකි ය.
බොහෝ විට එය සිදු වන්නේ වැඩිපුර ලාභ ලැබීමේ චේතනාවෙන් බැංකු අවදානම් සහිත ණය වැඩි වැඩියෙන් දීමට පටන් ගත් විට ය. අවදානම් ණයකරුවන්ට සිය ණය ආපසු ගෙවීමට නො හැකි වූ විට තමන්ට දරා ගැනීමට නො හැකි තරම් බොල් ණය කන්දරාවකට වගකීමට බැංකුවලට සිදු වෙයි. එවිට අදාළ බැංකුවේ මුදල් තැන්පත් කළ කෙනෙකුට තම මුදල් ආපසු ගැනීමට අවශ්‍ය වූ විට එම මුදල වහා ම ලබා දීමට බැංකුව අපොහොසත් වෙයි. ඒ නිසා තවත් ප්‍රමාද වීමට පෙර තම තැන්පත් මුදල් ආපසු ලබා ගැනීමට සියල්ලෝ ම බැංකුවට දුවති.
ඒ අනුව නො වැළැක්විය හැකි ලෙස වෙළඳපොළ කඩා වැටීමත් සමඟ සමස්ත ආර්ථිකය පොඩි පට්ටම් වී යයි. මෙය වැළැක්වීමට රජය මැදිහත් වී බැංකුවලට ණයක් ලෙස විශාල වසයෙන් රාජ්‍ය අරමුදල් පොම්ප කළ යුතු ය. මෙය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ‘බේල්අවුට්’ නැත්නම් ‘ගලවා ගැනීම’ යනුවෙනි. 2008 ඇමෙරිකානු එක්සත් ජනපදයේ නිවාස වෙළඳපොළ එසේ කඩා වැටුණු විට ඩොලර් බිලියන 700 පොදු අරමුදල් යොදමින් රජය එවැනි බේල්අවුට් ගලවා ගැනීමක් කළේ ය.
මෙවැනි අවස්ථාවක් උද්ගත වූ විට එවැනි ගලවා ගැනීමක් සිදු කිරීමට අවශ්‍ය නම් බැංකු විසින් කොන්දේසි කිහිපයක් ඉටු කළ යුතු යැ’යි රජයට නියම කළ හැකිවා පමණක් නො ව අර්බුදය ඇති කළ බැංකුකරුවන්ට නොසැලකිලිමත්කම යන චෝදනාව මත දඬුවම් පැනවිය ද හැකි ය. එහෙත් දේශපාලනඥයන්ට මූල්‍ය අනුග්‍රහය දක්වන්නේ යහමින් මුදල් වියදම් කළ හැකි පොහොසත් බැංකුකරුවන් නිසා රජය කරවන අය එසේ සිය ව්‍යාපාරික සගයන්ට දඬුවම් කිරීමට බෙහෙවින් පසුබට වෙති.
මේ අන්දමට බැංකු කෙසේ හෝ දෙලොවට ම වැඩ සලසා ගනී. ආර්ථිකය යහපත් ව පවතින විට උඩින් ම ඇති මුදල් සම්භාරය උකහා ගැනීමට බැංකු සමත් වෙන අතර ආර්ථිකය අර්බුදයට යන විට බැංකුවලට තව තවත් මුදල් පොම්ප කිරීමට රජයට සිදුවේ. ඒ අනුව ආර්ථික අර්බුදයක දී ඔබ පැරදුනත් බැංකු හැම විට ම දිනුම් ය.
මුදල් සහ ශ්‍රමය යන දෙක ම හැසිරෙන්නේ ඒවාට ම ආවේණික වූ නීතිවලට අනුවයි. උදාහරණයක් ලෙස සුදුසුකම් ලත් ඉංජිනේරුවෙකු වූ නිමල්ට තමන්ට සරිලන රැකියාවක් සොයා ගැනීම අසීරු යැ’යි ද ඒ අතර සුනිල්ට නුවරඑළියේ පිහිටි තම නිවාඩු නිවස විකුණා දැමීමට අවශ්‍ය වූ නමුත් බලාපොරොත්තු වන මුදලට ඉල්ලන ගැනුම්කරුවෙකු සොයා ගැනීමට නො හැකි වීය යි ද සිතමු. ගැනුම්කරුවෙකු සොයා ගැනීමට අපහසු වී ඇති නමුත් මේ දෙදෙනා ම උත්සාහ කරන්නේ තමන් සතු කිසියම් දෙයක් විකුණා ගැනීමට යි. ඊට හේතුව ඔවුන් එම දෙය විකිණීමට බලාපොරොත්තු වන මිල ගණන් පමණට වඩා වැඩි වීම නිසා විය නො හැකි ද?
ඔව් සහ නැහැ යන දෙක ම එයට පිළිතුර විය හැකියි. සුනිල් ඔහුගේ නිවාඩු නිවසේ විකුණුම් මිල රුපියල් දහය දක්වා පහත දැමුව හොත් ඔහුට බොහෝ විට ගැනුම්කරුවන්ගෙන් අඩුවක් නැති වන්ට පුළුවන. මන්ද එතරම් අඩු මුදලකට නුවරඑළියෙන් නිවසක් මිල දී ගැනීමට හැම කෙනෙක් ම කැමැත්ත දැක්විය හැකි බැවිනි. එහෙත් එවැනි ක්‍රමයක් අනුගමනය කළොත් නිමල්ගේ තත්වය කෙබඳු විය හැකි ද? ඔහු සිය ශ්‍රමය රුපියල් දහයක් වැනි අඩු මුදලකට සැපයීමට තීරණය කළ හොත් පහසුවෙන් ම ගැණුම්කරුවන් සොයා ගත හැකි වෙතැ’යි ඔබ සිතන්නේ ද?
එය නම් හිතන තරම් පහසු කටයුත්තක් නො වනු ඇත. නිවාඩු නිවාස මෙන් නො ව මිනිසුන් ශ්‍රමය මිල දී ගන්නේ ඇත්ත අවශ්‍යතාවක් ඇති වුව හොත් පමණි. ඒ අනුව ශ්‍රමය සහ මුදල් යනු ඒවාට ආවේණික වූ විශේෂ නීති මඟින් පාලනය වන දේවල් ය.
නිවසක් මෙන් ම ශ්‍රමය ද මිල දී ගැනීම හා විකිණීම කළ හැකි නමුදු නිවස මෙන් නො ව ශ්‍රමය යනු (ලිංගික ශ්‍රමය හැර) ඔබට අත්විඳිය හැකි වටිනාකමකින් සමන්විත වූවක් නො වේ. උදාහරණයක් වසයෙන් අඩු මිලකට නිවාඩු නිවස මිලට ගත් අයෙකුට එය විවේක සුවයෙන් ගත කිරීමට යොදා ගත හැකි නමුත් සේව්‍යයෙකු විසින් බොහෝ විට ශ්‍රමය මිල දී ගනු ලබන්නේ එම ශ්‍රමය ලාභ ඉපයීම සඳහා යොදා ගත හැකි නම් පමණි.
උදාහරණයක් වසයෙන් ඔබ ශීතකරණ නිපදවන කර්මාන්ත ශාලාවක හිමිකරුවෙක් නම් ඔබ අමතර ශ්‍රමිකයන් බඳවා ගන්නේ ශීතකරණවලට ඇති ඉහළ ඉල්ලුමට අභිමුඛ වීමට එමඟින් ඔබට හැකිවෙතැ’යි යන අදහසිනි. එහෙත් ඔබ නිපදවන ශීතකරණ කිසිවෙකුත් මිල දී නො ගනී නම් අඩු මුදලකට ශ්‍රමය ලැබුණත් කම්හල සඳහා තව තවත් ශ්‍රමිකයන් බඳවා ගැනීමට ඔබට කිසිදු හේතුවක් නැත.
මේ තර්කණය මුදල් සම්බන්ධ ව ද ආදේශ වේ. කිසිවෙකු විනෝදයට මුදල් මිල දී ගැනීම – එනම් ණයට මුදල් ගැනීම හා පොලී ගෙවීම නො කරයි. ව්‍යාපාරිකයන් මුදල් මිලට ගන්නේ ම නව යන්ත්‍රෝපකරණ මිල දී ගැනීම වැනි ආයෝජන කටයුතු මඟින් ලාභය වැඩි කර ගත හැකි ය යන අදහසිනි. එනිසා අඩු පොලියක් අය කළ ද මුදල් ණයට ගැනීමට වෙනත් හේතුවක් නැත.
වෙළඳපොළ සමාජයක් තුළ මින් අදහස් වන්නේ කුමක් ද? ඉන් කියවෙන්නේ මිනිසුන් ශ්‍රමය හෝ මුදල් මිල දී ගන්නේ තමන් නිපදවන හෝ අලෙවි කරන භාණ්ඩවලට හෝ සේවාවලට හොඳ පාරිභෝගික ඉල්ලුමක් පවතින්නේ ය යන අදහසිනි. ආර්ථික අවධමනයක් නැතහොත් පසුබෑමක් ඇති වූ විට වියදම් කිරීමට තරම් අමතර මුදලක් අත නැති වූ විට කිසිවෙක් ශ්‍රමිකයන් සේවයට බඳවා ගැනීමට හෝ නිෂ්පාදනය සඳහා ආයෝජන කිරීමට උත්සුක නො වෙති.
මේ හේතුව නිසා ආර්ථික අවධමනයක් පවතින විටක දී වුව ද මිනිසුන් අඩු මුදලකට ශ්‍රමය සැපයිය යුතු යැ’යි කීම පලක් නැති වැඩකි. එසේ හැම කෙනෙකු ම සිය ශ්‍රමයට අය කරන මිල අඩු කළ හොත් විය හැක්කේ කුමක්’ද? ශ්‍රමිකයන්ට ලැබෙන වැටුප අඩු වීමෙන් ඔවුන්ගේ වියදම් කිරීමේ හැකියාව ද අඩුවේ. ඒ අනුව පාරිභෝගික භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම ද අඩු වී යයි. ඒ නිසා ව්‍යාපාරවලට ශ්‍රමය මිලට ගැනීමේ හැකියාව ද අඩුවෙයි. සමස්තයක් වසයෙන් ගත් විට මේ චක්‍රය ආර්ථිකයට බෙහෙවින් අහිතකර ය.
මුදල්වල වටිනාකම හැම විටම දේශපාලනික ව තීන්දු වන්නකි. ඒ නිසා එය ප්‍රජාතාන්ත්‍රික ව සිදුවිය යුතු දෙයකි. රත්තරන්, කවඩි සහ කඩදාසි නෝට්ටු ආදී වසයෙන් ඉතිහාසය පුරා නොයෙකුත් දේවල් මුදල් වසයෙන් භාවිත වී තිබේ. දෙවැනි ලෝක මහා යුද්ධ සමයේ යුද සිරකරුවන් රඳවා තැබූ සිර කඳවුරුවල රතු කුරුස හමුදාව විසින් බෙදා දෙනු ලැබූ සිගරැට් මුදල් වසයෙන් භාවිත විය. ප්‍රමාණයෙන් කුඩා වූ ද පහසුවෙන් ගබඩා කර තබා ගත හැකි වූ ද පාරිභෝගික ද්‍රව්‍යයක් වූ සිගරැට්වලට විශාල ඉල්ලුමක් යුද සිරකරුවන් අතර පැවති බැවින් මුදල් වෙනුවට සිගරැට් හොඳ ආදේශකයක් විය.
මේ යුද හිර කඳවුරුවල දී සිගරැට්වල වටිනාකම සැපයුමට අනුව ඉහළ පහළ ගියේ ය. රතු කුරුස හමුදාවට යුද සිරකරුවන් අතර වැඩි සිගරැට් ප්‍රමාණයක් බෙදා දීමට හැකි වූ අවස්ථාවල දී එක සිගරැට්ටුවකට එක චොකලට් පෙත්තක් ලබා ගත හැකි විය. එහෙත් යම් යම් ප්‍රායෝගික දුෂ්කරතා නිසා රතු කුරුස හමුදාවෙන් ලැබෙන සිගරැට් සැපයුම අඩු වූ විට එක සිගරැට්ටුවකට චොකලට් පෙති 10 ක් ලබා ගත හැකි තරමට සිගරැට්වල වටිනාකම ඉහළ ගියේ ය.
හිර කඳවුරුවලින් පිටත සමාජයේ මුදල් භාවිතයේ දී මුදලේ වටිනාකම තීරණය වූයේ ද මේ අන්දමින් ම ය. එකම වෙනස සිගරැට් සම්බන්ධයෙන් රතුකුරුස හමුදාව අපක්ෂපාතී සපයන්නෙකු වූ නමුදු යථා ලෝකයේ දී මුදල් සැපයුම පාලනය වන්නේ ඒ තරම් ම අපක්ෂපාතී අන්දමින් නො වීම ය.
අප කලින් සඳහන් කළාක් මෙන් හුවමාරු විධික්‍රමයක් ලෙස මුදල් භාවිත වන්නේ මුදල් වර්ගයට දී ඇති වටිනාකම සම්බන්ධයෙන් හැම දෙනා අතර ම පොදු එකඟත්වයක් පවතින්නේ නම් පමණි. මුදලේ මේ සුජාතභාවය බලාත්මක කරන්නේ රජය විසිනි. ඒ නිසා බොහෝ විට අදාළ රටේ පාලකයන්ගේ රූපවලින් නෝට්ටු හා කාසි සැරසී තිබීම පුදුමයක් නො වේ. රෝම අධිරාජ්‍ය තුළ නිකුත් කළ කාසිවල රෝම අධිරාජයාගේ රූපය නිරූපණය වී තිබීම මෙයට කදිම උදාහරණයකි.
එහෙත් මුදලේ වටිනාකම සංසරණය වන මුදල් ප්‍රමාණය අනුව ද නියාමනය වේ. ලබා ගත හැකි භාණ්ඩ හා සේවාවලට සාපේක්ෂව සංසරණය වන මුදල් ප්‍රමාණය අධික වූ විට මුදලේ අගය අඩු වී යයි. මේ තත්වය හඳුන්වන්නේ inflation හෙවත් උද්ධමනය යන නමිනි. මෙහි අනෙක් පැත්ත නම් ප්‍රමාණවත් මුදලක් සංසරණයේ නැත්නම් එම මුදලේ අගය ඉහළ යෑම යි. එය හඳුන්වන්නේ deflation හෙවත් අවධමනය යන නමිනි.
ඒ අනුව මුදල් සැපයුම පාලනය කිරීම යනු බොහෝ බලසම්පන්න කටයුත්තකි. බොහෝ රටවල මේ බලය අත්පත් වී තිබෙන්නේ රටක Central Bank හෙවත් මධ්‍යම බැංකුව යන නමින් හැඳින්වෙන මහ බැංකුවට යි. මේ මහ බැංකු නාමික ව සැලකෙන්නේ ස්වාධීන ආයතනයක් ලෙස වුවත් ඒවා අනෙකුත් විශාල වාණිජ බැංකු සහ ධනවත් පංතියේ ප්‍රබල සාමාජිකයන් සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වා ගෙන යයි. ඒ නිසා මේ මහ බැංකු මුදල් පාලනය සම්බන්ධ සිය බලතල භාවිත කරන විට මුලින් ම අර කී වාණිජ බැංකු හා ධනවතුන්ගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වෙයි.
උදාහරණයක් වසයෙන් කඩා වැටීමට ආසන්න කිසියම් වාණිජ බැංකුවක් ගලවා ගැනීමේ අවශ්‍යතාව උද්ගත වූ විට මහ බැංකුව ඒ සඳහා මැදිහත් වන්නේ සෑහෙන ලිහිල් කොන්දේසි මත විය හැකි ය. එහෙත් පොදු ජනතාවට සෙත සැලසෙන යටිතල ව්‍යාපෘතියකට මුදල් අවශ්‍ය වූ විට ඒ තරම් පහසුවෙන් මුදල් ලැබෙන්නට නො පුළුවන. එහෙත් අනෙක් බොහෝ ආර්ථික කටයුතු මෙන් ම මෙය අනිවාර්යය ඉරණම නො වේ. ප්‍රබල දේශපාලන අධිෂ්ඨානයක් ඇත්නම් මුදල් සැපයුම ද වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට නතු කළ හැකි ය.
මෙහි දී මොහොතකට නතර ව ඇඩම් ස්මිත් විසින් එකල උත්කර්ෂයට නැංවූ තරඟකාරී වෙළඳපොළ නොහොත් නිදහස් වෙළඳ පොළ නූතන යුගයේ නිර්වචනය වන ආකාරය සිහියට නඟා ගැනීම වැදගත් ය. අද නිදහස් වෙළඳපොළ යන්න නොයෙක් දෙනා නොයෙක් ආකාරයෙන් විග්‍රහ කරති. ඇතමුන්ට නිදහස් වෙළඳපොළ, ධනවාදය සහ නිර්බාධක වෙළඳපොළ හෙවත් laissez-faire යනු එක සමාන තේරුම් ඇති යෙදුම් ය. කෙසේ වෙතත් නිදහස් වෙළඳපොළට ඇතැම් පොදු ලක්ෂණ තිබෙන බව ද පැවසේ. නිදහස් වෙළඳපොළ නමින් හැඳින්වෙන්නේ කුමක් ද යන්න පිළිබඳ ව ආර්ථික විද්‍යාඥයන් අතරද පැහැදිලි එකඟත්වයක් නැත. සාමාන්‍යයෙන් පිළිගැනෙන පරිදි වෙළඳ පොළක් යනු භාණ්ඩ සහ සේවා සැපයීම හා මිලට ගැනීම සිදු වෙන විමධ්‍යගත ආර්ථික ක්‍රමයකි. එය තුළ සැපයෙන භාණ්ඩ හෝ සේවා වළ මිල හා ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ හුදෙක් වෙළඳපොළ බලවේග විසින් බව ද ඇදහේ. මේ සියල්ල සිද්ධ වෙන්නේ කිසිදු බලහත්කාර කමකින් හෝ බාධාවකින් සිදුවන අවහිර කමක් නොමැතිව යි. නිදහස් වෙළඳපොළ යනුවෙන් අදහස් වෙන්නේ එකී නිර්බාධක ස්වභාවයයි. මේ හැර නිදහස් වෙළඳපොළක තිබිය යුතු අවශේෂ ලක්ෂණ ගැන සඳහන් කරන නිර්වචන ද පවතී. උදාහරණයක් වසයෙන් ඇතැම් නිර්වචන වලට අනුව රැවටිලි සහ වංචාවලින් තොර වීම ද නියම නිදහස් වෙළඳපොළක පැවැත්මට අත්‍යවශ්‍ය කොන්දේසියකි.
ඉහත සඳහන් ආකාරයට නිදහස් වෙළඳපොළ තේරුම් කිරීම ගැන වැඩි මතභේදයක් නැති නමුත් මතභේදය වැඩි වසයෙන් ම පවතින්නේ කරුණු දෙකක් සම්බන්ධයෙනි. ඉන් එකක් නම් ඇතැම් අයට අනුව වෙළඳපොළට මැදිහත් වීමේ දී ඒ සම්බන්ධ බලහත්කාර බලය යෙදෙන්නේ රජයක් මැදිහත් වන විට පමණි. එහෙත් තවත් අය පෙන්වාදෙන පරිදි පුද්ගලික අංශයෙන් වුවද වෙළඳපොළ විකෘති කරන බලපෑම් ඇතිවිය හැකි බැවින් ප්‍රභවය කුමක් වුවත් නො සලකා පුද්ගලික අංශයෙන් සිදුවන බලපෑම් ද බලහත්කාරකම් ලෙස සැලකෙන අන්දමේ අර්ථකතනයක් නිදහස් වෙළඳපොළ යන්න නිර්ණය කිරීමේ දී අප යොදා ගත යුතු බව යි. දෙවැනි කරුණ වන්නේ “නිදහස් වෙළඳපොළ” යන අභිධානය ලැබීමට වෙළඳපොළක් කෙතෙක් දුරට තරඟකාරී විය යුතු ද යන්නයි. ඇතැම් තර්ක වලට අනුව තරඟකාරිත්වය සීමා කිරීමට රජය මැදිහත් නො වන තාක් ඒකාධිකාරයක් හෝ කතිපයාධිකාරයක් ඇතුළු ඕනෑම ආකාරයක තරඟකාරිත්වයක් නිදහස් වෙළඳපොළ ලක්ෂණයක් ලෙස සැලකිය හැකි ය. ඊට පටහැණි මතය නම් නිදහස් වෙළඳපොළක් යනු අන් කිසිවක් නොව විශේෂයෙන්ම භාණ්ඩ හා සේවාවල මිල තරඟකාරී ව වෙනස් වන වෙළඳපොළකි. මිල තරගකාරී නොවන විට නිදහස් වෙළඳපොළක් නො පවතී. එනිසා භාණ්ඩ හෝ සේවා මිල ගණන් නිතරඟයෙන් නියම කළ හැකි ඒකාධිකාර හෝ කතිපයාධිකාරයක් පවතින වෙළඳපොළක් නිදහස් වෙළඳ පොළක් විය නො හැකිය.
හුවමාරු වටිනාකමෙන් අතොරක් නැති ව සම්මෝහනය වී සිටින වෙළඳපොළ සමාජයක් බොහෝ විට පෘථිවියේ සමස්ත පැවැත්මට ද තර්ජනයක් විය හැකි ය. සිංහරාජයට නුදුරු කඳු බෑවුමක සාර සොබාවට වැඩුණු නො ඉඳුල් වැසි වනාන්තරයක් ගැන සිතින් සිතා ගන්න. මේ නො ඉඳුල් වනාන්තරය වටින්නේ ඇයි යන ප්‍රශ්නය ඔබෙන් ම අසා බලන්න. ඒ හුදෙක් එමඟින් ලැබෙන සෙවන හා සිසිල නිසා ද? නැතහොත් එහි ඇති ගහ කොළ මල් වැල් ආදියෙන් එන සිත නිවන සුගන්ධය නිසා ද? එසේත් නැතිනම් එහි වෙසෙන විහඟුන්ගේ ප්‍රිය ජනක කූජනය නිසා ද? නො එසේ නම් එම සශ්‍රීක වනගහනය සමන්විත දැවැන්ත වෘක්ෂලතා කපා දමා ලබා ගත හැකි දැවවල වටිනාකම නිසා ද?
අවාසනාවකට මෙන් අපේ වෙළඳපොළ සමාජයට එහි ඇති එකම වටිනාකම වන්නේ වනයේ ඇති හුවමාරු වටිනාකම වසයෙන් සැලකෙන දැවවල වටිනාකම යි. ඇත්ත වසයෙන් ම මුළු මහත් ස්වාභාවික ලෝකය ම වෙළඳපොළ සමාජය විසින් අගයනු ලබන්නේ වෙළඳපොළ සඳහා සුදුසු පාරිභෝගික භාණ්ඩ ලබා ගත හැකි ස්වාභාවික සංචිතයක් ලෙස යි.
එහි අවාසනාව මේ පාරිභෝගික භාණ්ඩ අතරින් ගල් අඟුරු සහ ඛනිජ තෙල් වැනි ද්‍රව්‍ය නිමක් නැති පරිභෝජනය සඳහා යොදා ගැනීම නිසා ස්වාභාවික ලෝකයේ පැවැත්මට ඇතිවිය හැකි හානියයි.
අනෙක් සියල්ලට ම වඩා ලාභය ම වැදගත් කොට සැලකීම බරපතළ ප්‍රශ්නවලට තුඩු දෙන කරුණකි. අද පවතින වෙළඳපොළ තරඟයේ ස්වභාවය නිසා හැකි හැම දෙයක් ම ඒවායේ ධරණීයතාව නොහොත් තිරසාර පැවැත්ම සහතික කළ හැකි නො හැකි බව නො තකා සූරා ගෙන පරිභෝජන භාණ්ඩ බවට පත් කොට විකිණීමට සෑම පුද්ගලයෙකුට ම, සෑම පුද්ගලික ව්‍යාපාරයකට ම බල කරයි. මේ ප්‍රශ්නය පමණ ඉක්මවා අධික ලෙස මසුන් මැරීමේ සිට දිගින් දිගට ම ඛනිජ තෙල් විකිණීම සහ භාවිත කිරීම දක්වා හැම දෙයක් සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ හැකි ය.
මේ නිරන්තර පරිසර විනාශය වැළැක්විය හැකි ද? ඒ සම්බන්ධයෙන් එක පිළියමක් විය හැක්කේ හුවමාරු වටිනාකම නො තකා ස්වාභාවික ලෝකය සුරැකීමට හැකි නීති සම්මත කර බලාත්මක කිරීමෙනි. සිය වැසිවනාන්තරවල වටිනාකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානවලින් තහවුරු කොට ආරක්ෂා කිරීමට මෑතක දී ඉක්වදෝරය ගත් පියවර මෙයට එක් උදාහරණයකි. එහෙත් ව්‍යාපාරික අවශ්‍යතාවලින් සිර කරනු ලැබු අනෙකුත් බොහෝ ආණ්ඩු ඒ හා සමාන තද බල නීති රීති හඳුන්වා දිම ට මැලි විය හැකි ය.
තවත් පිළියමක් වන්නේ අප ආශ්වාස කරන වාතය ඇතුළු සියලු ස්වාභාවික දේවල්වලට හුවමාරු මිලක් නියම කිරීම යි. වායුගෝලය දූෂණය කිරීමට අයිතිය ලබා ගැනීම පිණිස සමාගම් විසින් ගෙවිය යුතු බද්දක් ලෙස යෝජනා වූ කාබන් බද්දේ අරමුණ එය යි. ඉන් බලාපොරොත්තු වන්නේ එවැනි බද්දක් නියම කිරීම නිසා වායු ගෝලය දූෂණය වන හරිතාගාර වායු තම කර්මාන්තවලින් විමෝචනය වීම හැකි තාක් දුරට අඩු කිරීමට කම්හල් හිමියන් පෙලඹෙනු ඇති බවයි. එහෙත් එහි දී මිල, විමෝචන සීමා සහ නීති බලාත්මක කිරීම පැවරෙන්නේත් ව්‍යාපාරිකයන්ට හිතවත් ආණ්ඩුවලට ය. එමඟින් සිදුවිය හැක්කේ ද වෙළඳපොළ තර්කණය විසින් රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙය වීම යි.
ඒ නිසා වඩාත් යහපත් විසඳුම විය හැක්කේ ලෝකයේ ඇති සම්පත් ප්‍රජාතන්ත්‍රවාදී ව කළමනාකරණය කිරීම යි. දැනට සිදු වන අන්දමට ලෝකයේ ඇති කිනම් සම්පතක් උකහා ගෙන අලවි කරන්නේ ද යන්න තීරණය කරන්නේ සුපිරි ධනවතුන් අතළොස්සක් විසිනි. සාගරබද මිලියන ගණනක් ජනතාවගේ අපේක්ෂාව සූර්ය බල ශක්තිය සඳහා කරන ආයෝජන තව තව වැඩි කර වීම වුවද මේ ධනවතුන්ට අවශ්‍ය කරන්නේ වැඩි වැඩියෙන් ඛනිජ තෙල් ලබා ගැනීම පිණිස වෙරළාසන්න සාගරය තව තවත් විද බැලීමටයි. අර කී ජනතාවට තනි තනි ව නො ව ප්‍රජා සමූහයක් ලෙස හඬ නැංවිය හැකි නම් බල ශක්තිය සඳහා වඩා තිරසාර සහ සාධාරණ විසඳුම ඉස්මතු කර ගත හැකි ය.
නූතන ගෝලීය ආර්ථිකය විස්තර කළ හැක්කේ ජීවිතයෙන් වැඩි කොටසක් වෙළඳපොළ බලවේගවලට අනුව හැසිරිය යුතු වෙළඳපොළ සමාජයක් ලෙසය. එහි තේරුම අපේ ස්වාභාවික සම්පත්වල සිට අපේ කාලය සහ ආයාසය දක්වා හැම දෙයක් ම ලාභය ජනනය කිරීමට ඇති හැකියාව පදනම් කොට ඇගයීමට හා පාරිභෝගිකකරණයට (commodification)ලක් වෙන බව ය. එහෙත් මෙකී ආර්ථික ක්‍රමය ස්වාභාවික දෙයක් වත් අනිවාර්ය දෙයක් වත් නො වේ. දේවල්වල අයිතිය තීරණය වෙන ආකාරය සහ ඒවාට වටිනාකම් ආදේශ කරන ආකාරය වෙනස් කළ හැකි නම් ආර්ථිකය වඩා ප්‍රජාතන්ත්‍රවාදී කිරීම සහ වඩා සාධාරණ කිරීම අපට ඉඳුරා ම කළ හැකි ය.
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022
[1] https://www.theguardian.com/business/2008/oct/24/economics-creditcrunch-federal-reserve-greenspan – Retrieved on 21 July 2021
[2] Quiggin, J. (2018) “Neoliberalism: Rise, decline and future prospects” Damien Cahill et al (eds). The SAGE Handbook of Neoliberalism. London: Sage Publication Ltd, pp. 655-658 (KE)
[3] Piketty, T. (2014) Capital in the Twenty-First Century. Cambridge, MA: Harvard University Press.
[4] Piketty, Thomas, and Emanuel Saez (2003), “Income Inequality in the United States, 1913–1998,” Quarterly Journal of Economics, 118(1), 1–39.
[5] Quiggin, John (2010). Zombie Economics: How Dead Ideas Still Walk Among Us. Princeton: Princeton University Press, p. 155
[7] Philippon Thomas (2019), The Great Reversal, Cambridge: Belknap Press of Harvard University Press, p. 21 (KE)