9. දේශපාලන සමානාත්මතාව හා පොදු අයිතිය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

Photo Credit: New York Times

ප්‍රජාතන්ත්‍රවාදයේ අනිවාර්ය පදනම වන්නේ දේශපාලන සමානාත්මතාව යි (political equality). එහෙත් එතෙක් මෙතෙක් ප්‍රජාතන්ත්‍රවාදයට සාක්ෂාත් කර ගැනීමට නො හැකි වූයේ ද එය යි. ඒ හැර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට දේශපාලනික ආයතනවල ස්වරූපය දක්වා වූ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවශ්‍ය යැයි සැලකෙන අනිකුත් හැම දෙයක් ම ප්‍රජාතන්ත්‍රවාදයක අනිවාර්ය අවශ්‍යතාවලට වඩා හුදු වෛකල්පික අවශ්‍යතා ලෙස සැලකිය හැකි ය. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඉඳුරා ම වැදගත් වන්නේ සියලු වැසියන් අතර තිබිය යුතු  දේශපාලන සමානාත්මතාව යි. දේශපාලන බලයේ සංයුතිය සහ දේශපාලන බලය මෙහෙය වෙන ආකාරය සමස්ත ප්‍රජාව අනුමත කරන්නේත්, දේශපාලන බලය සමස්ත ප්‍රජාවට වග වන දෙයක් බවට පත් වන්නේත්, දේශපාලන සමානාත්මතාව සහතික වුව හොත් පමණි. එහෙත් දේශපාලන සමානාත්මතාව යනු හුදෙක් වයස සම්පූර්ණ වූ හැම පුරවැසියෙකුට ම මැතිවරණයක දී භාවිත කිරීම පිණිස එක සමාන ඡන්ද බලයක් හිමි ව තිබීම පමණක් ම නො වේ. 

ඡන්ද බලය සමාන ව තිබුණ ද දේශපාලන සමානාත්මතාව අවහිර කරන වෙනත් සාධක ගණනාවකි. රටවැසියන් අතර ඇති  අත්‍යන්ත සමාජ හා ආර්ථික විෂමතා ඒ අතරින් මුල් තැන ගනී. අවවරප්‍රසාදිත ජන කොට්ඨාස දේශපාලනයෙන් පිට මං කිරීම, ජනමාධ්‍ය දුරාචාරය, අසමාන අවස්ථා නිසා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට අපහසු වීම සහ ජනමාධ්‍ය හා මැතිවරණ ක්‍රියාවලිය කූට ලෙස මෙහෙයවීම යනාදිය මඟින් ද දේශපාලන සමානාත්මතාව ඇතිවීම වැළකේ. එවිට සමස්ත ප්‍රජාවගේ යහපත වෙනුවට එම සමස්තයෙන් කොටසකගේ යහපත වෙනුවෙන් දේශපාලන බලය භාවිත කරනු ඇත. එසේ ම එකී දේශපාලන බලය මෙහෙයැවෙන්නේ ද සමස්ත ප්‍රජාව විසින් නො ව වරප්‍රසාද ලත් සුළු පිරිසක් විසිනි.  

දේශපාලන සමානාත්මතාව කොයි තරම් ප්‍රජාතන්ත්‍රවාදයට වැදගත් ද යන්න “ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක එක් එක් සාමාජිකයන් අතර තිබිය හැකි බලයේ වෙනස ප්‍රචණ්ඩත්වයක් ලෙස භාවිත කිරීමට තරම් වැඩි එකක් නොවිය යුතු ය” යනුවෙන් හා “වෙනත් අයෙකු මිලට ගැනීමට තරම් කිසිවෙකු පොහොසත් නො විය යුතු අතර තමන්ව විකුණා ගැනීමට බල කෙරෙන තත්වයකට පත් වෙන තරම් කිසිවකු  දුප්පත් නො විය යුතු ය”[1] යනුවෙන් රූසෝ සමාජ ගිවිසුම (Social Contract) පිළිබඳ සිය ප්‍රකට කෘතියේ කළ අවධාරණයෙන් නිරූපණය වේ. රූසෝ ඉන් අදහස් කළේ  වරප්‍රසාද ලත් අයගේ ප්‍රචණ්ඩත්වය හුදු පරපීඩනයකට හා දුප්පතුන්ගේ දිළිඳුකම හුදු අසාධාරණත්වයකට ලඝු කරනවාට වඩා ඒ දෙකම ප්‍රජාතන්ත්‍රවාදය අවලංගු කරන මූලික සාධක ලෙස සැලකිය යුතු බවයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ පුරෝගාමීන් ලෙස සැලකෙන ග්‍රීසියේ පුරාණ ඇතීනියන්වරුන් දේශපාලන සමානාත්මතාව ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම ලෙස සැලකූ බව බර්ක්ලි සරසවියේ ආචාර්ය වෙන්ඩි බ්‍රවුන් සිය In the Ruins of Neoliberalism නම් කෘතියේ පෙන්වා දෙයි.[2]ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුනු තුන ලෙස ඇතීනියන්වරුන් සැලකුවේ ඇතන්ස්හි පුරවැසි සභාවේ දී ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කිරීමටත්, එම අදහස්වලට පුරවැසි සභාව විසින් කන් දෙනු ලැබීමටත් හැම පුරවැසියෙකුට ම ඇති අයිතිය හෙවත් අයිස්ගෝරියා (isegoria), නීතිය ඉදිරියේ සියල්ලන් සමානයන් ලෙස සැලකීම හෙවත් අයිසොනොමියා (isonomia) සහ එක සමාන ඡන්ද බලය සමග දේශපාලන නිලතල සඳහා ඉදිරිපත් වීමට ඇති එක සමාන අයිතිය හෙවත් අයිසොපොලිටෙයා (isopoliteia ) යන මූලික කොන්දේසි තුන යි. පුරවැසි ඇතීනියන්වරුන් අතර දේශපාලන සමානාත්මතාව ඇති කිරීමට එම කොන්දේසි තුන අත්‍යවශ්‍ය බව සැලකුණි. ඇතීනියන්වරු නිදහස අගය කළ නමුත් ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ අවම වසයෙන් අර කී මූලික කොන්දේසි තුන මඟින් තහවුරු වන සමානාත්මතාවක් මත පමණක් බවත් තේරුම් ගත්හ.

එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සාධකය වසයෙන් ‘දේශපාලන සමානාත්මතාව’ සැලකුවොත් ලිබරල්, සුලු ධනේශ්වර, ධනවාදී, සමාජවාදී ආදී විවිධාකාර විශේෂණ පදවලින් හැඳින්වෙන වර්තමාන ප්‍රජාතන්ත්‍රවාද කිසිවක් එම සාධකය ප්‍රමාණවත් තරම් සපුරා නැති බව පෙනී යනු ඇත. හැරත් එකී මාදිලියේ ප්‍රජාතන්ත්‍රවාදවල කිසියම් සාධනීය ලක්ෂණයක් වී ද ඒවා ද පසුගිය දශක කිහිපය තුළ  අතුරුදහන් වී අනුක්‍රමයෙන් නිර්ප්‍රජාතන්ත්‍රවාදී වෙමින් තිබේ.  එහෙත් ධනවාදී ආර්ථිකයක් ඇති ජාතික රාජ්‍ය ව්‍යුහයක් තුළ, අත්‍යන්ත සමාජ හා ආර්ථික විෂමතා තුරන් කොට දැනුම ලබා ගැනීමේ අවස්ථා අසමාන වීම වළක්වා සියල්ලන්ට පිළිගත හැකි දේශපාලන සමානාත්මතාවක් ඇති කර ගත හැක්කේ කෙසේ ද යන්න සැලකිය යුතු අභියෝගයකි.  නූතන රාජ්‍යයේ සියලු ආකෘති ප්‍රජාතන්ත්‍රවාදී බවක් පෙන්වීමට තැත් කරන නමුත් ඒවා ඇත්ත වසයෙන් ම ප්‍රජාතාන්ත්‍රික නො වේ යැ’යි කාල් මාක්ස් පැවසුවේ එබැවිනි.

ඒ අනුව මුල්කාලීන යුරෝපියානු නූතනත්වය විසින් හඳුන්වා දෙන ලද ධනවාදය, ජාතික-රාජ්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්ප ත්‍රිත්වය අතරින් භාවිතයේ දී  ප්‍රායෝගික වසයෙන් වඩාත් දුර්වල ම සංකල්පය බවට පත් ව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය බව පෙනී යයි. මේ ත්‍රිත්වය අතරින් ධනවාදය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මෙන් ම නිර්ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ද මෙහෙයවිය හැකි ය. එමෙන් ම ජාතික රාජ්‍යය අඩු වැඩි වසයෙන් දේශපාලන සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීමට මෙන් ම බෙහෙවින් දුර්වල කිරීමට ද යොදා ගත හැකි ය. ඇත්ත වසයෙන් ම 20 වැනි සියවසේ ඇති වූ ලෝක මහා යුද්ධ දෙකටත් වර්තමාන ජනවාර්ගික යුද්ධවලටත් ජාතික රාජ්‍ය සංකල්පය බෙහෙවින් බලපා තිබේ.

ඉදින්, හුදෙක් ධනවාදී ආර්ථික වර්ධනයේ අත පල්ලෙන් පහළ ආදායම් ලබන්නන් අතරට වැටෙනු ඇතැ’යි  කියන සෞභාග්‍ය පිළිබඳ පුරසාරම් නො තකා  ප්‍රජාතන්ත්‍රවාදය නියමාර්ථයෙන් ම අත්විඳීමට සියල්ලන්ගේ දේශපාලන සමානාත්මතාව තහවුරු කරන්නේ කෙසේ ද? දේශපාලන සමානාත්මතාව ඇතිවෙන්නේ සමාජ විෂමතා අවම කිරීමෙන් බව සැලකූ විට එදිනෙදා ජීවත් වීම පිණිස අවශ්‍ය කරන සාර්වත්‍රික මූලික ආදායමක් (universal basic income), දැරිය හැකි කුලියකට/මිලකට ගත හැකි නිවාස, ගුණාත්මක නිදහස් අධ්‍යාපනය  සහ ප්‍රමාණවත් නිදහස් සෞඛ්‍ය සේවා යනාදිය රජයේ නිසි මැදිහත් වීම් මඟින් සහතික කළ හැකි විය යුතු ය. අඩු ආදායම් ලබන කොටස් අතර දේශපාලන සහභාගිත්වයේ ලා ඇතිවිය හැකි ඉච්ඡාභංගත්වය ඒ මඟින් අවම කළ හැකි ය. එමෙන් ම නිරවද්‍ය තොරතුරු සංසරණය,  ගුණාත්මක ප්‍රජා අධ්‍යාපනය, සාධාරණ හා පාරදෘශ්‍ය මැතිවරණ සහතික කිරීම, දේශපාලන නිලතල දැරීමට අවවරප්‍රසාදිත කණ්ඩායම් දිරිගැන්වීම, ප්‍රතිපත්ති හා නීති සම්පාදනයේ දී විවෘත සංවිචාරණීය සහභාගිත්වය සඳහා අවස්ථා සැලසීම ආදිය සඳහා උචිත ප්‍රතිපත්ති ද සමාජයට ක්‍රියාත්මක කළ හැකි ය.

ප්‍රජාතන්ත්‍රවාදී සමානාත්මතාව පිළිබඳ  තවත් වැදගත් සාධකයක් වන්නේ පොදු දේවල්, පොදු පහසුකම්  සහ පොදු අයිතිය යි. හැමට එක ලෙස කාර්යක්ෂම ව සේවය සලසන පොදු ප්‍රවාහන සේවා, පොදු අධ්‍යාපන ක්‍රමයක් සහ පොදු සෞඛ්‍ය සේවයක් ඒ අතර ඉතා වැදගත් ය. පොදු දේවල් යනුවෙන් හැඳින්වෙන හැම දෙයක් ම පොදු අයිතිය යටතේ නො පවතින බව ආචාර්ය බොනී හොනිග් සිය  Public Things – Democracy in Disrepair නම් කෘතියේ පෙන්වා දෙයි.  අවශ්‍ය වන්නේ ඒවා පොදු යහපත තකා අධීක්ෂණය හෝ නියාමනය වීම හෝ පොදු භාවිතය සඳහා යොදා ගැනීම යි. උදාහරණයක් වසයෙන් බොහෝ පොදු විශ්ව විද්‍යාලවලට පෞද්ගලික ධන සම්පත්, හෝ අරමුදල් යෙදෙන නමුත් ඒ නිසා ම ඒවා පෞද්ගලික දේපළ බවට පත් නො වේ. මන්ද ඒවා පොදු යහපත මුල්කරගත් නියාමනයක් යටතේ පොදු පරමාර්ථ ඉටු කර ගැනීම වෙනුවෙන් ක්‍රියා කළ  යුතු බැවිනි. පොදු දේවල්වලට පාසල්, විශ්ව විද්‍යාල, රෝහල්, රජයේ වනාන්තර සහ කැලෑ ප්‍රදේශ, ජාතික වනෝද්‍යාන, සිර ගෙවල්, මහාමාර්ග හා අනෙකුත් මං මාවත්, ගමනා ගමන සේවා, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, වරාය හා ගුවන් තොටුපළවල්, සුසාන භූමි, පොලිසිය, හමුදාව, ආණ්ඩු සහ රාජ්‍ය ආයතන, විදුලි, වායු, න්‍යෂ්ටික සහ අනෙකුත් බල ශක්ති ප්‍රභව, සාගර, ගංගා, ජලාශ හා ජල සැපයුම් පද්ධතිය හා තෙල් නල මාර්ග, තරංග සංඛ්‍යාත, ගුවන් විදුලි හා රූපවාහිනී ජාල, පුස්තකාල සහ තවත් බොහෝ දේවල් ඇතුළත් වේ.

එහෙත් ජාතික රාජ්‍යයක දේශපාලන බලය ඉක්මවා ගිය ක්ෂේත්‍රයක් වන ‘පොදු ලෝක උරුමය’ (Global Commons) නිර්ණය කරන්නේ මනුෂ්‍ය වර්ගයේ පොදු උරුමය යන මූලධර්මය සලකමිනි. භූමිය, වනාන්තර, මුහුදු සහ සාගර, වායු ගෝලය හා දේශගුණ පද්ධති ආදි වසයෙන් මේ පොදු ලෝක උරුමයේ ස්වරූපය කුමක් වුව ද තිරසාර හා සෞභාග්‍ය සම්පන්න අනාගත ලෝකයක් පිළිබඳ අපේ බලාපොරොත්තුව ඉෂ්ට කර ගැනීමට නම් එකී සාධක සියල්ලෙහි යහපැවැත්ම තහවුරු වීම අත්‍යවශ්‍ය වේ. ස්වාභාවික විද්‍යා පිළිබඳ නවීනතම සොයා ගැනීම් නූතන ශිෂ්ටාචාරය ආරම්භයේ සිට අපේ පරිසරය මුහුණ දී ඇති අවදානම් හැරවුම් ලක්ෂ්‍යන් පිළිබඳ අපට අනතුරු හඟවා තිබේ. මෙකී හැරවුම් ලක්ෂ්‍යන් පසු කළ විට ආපසු නිවැරදි කළ නො හැකි පරිදි ඇතිවෙන විපර්යාස පිළිබඳ විද්‍යාඥයන් අවුරුදු ගණනාවක් තිස්සේ නොකඩවා කොතෙකුත් අවවාද දී තිබේ. එහෙත් ප්‍රතිපත්ති සම්පාදනයට සෘජු ව සම්බන්ධ වන සැලකිය යුතු බල ව්‍යුහ සහ ඒවායේ අනුග්‍රාහක ආයතන විසින් එම අනතුරු ඇඟවීම් බොහෝ විට මුළුමනින් ම නො තකා හැර තිබේ. එහි ප්‍රතිඵලය ගෝලීය උණුසුම වැඩි වීමට බලපාන සාධක අවම කිරීම සම්බන්ධයෙන් සාමූහික ව ක්‍රියා කිරීමට කටයුතු යෙදීමට අප අපොහොසත් වීම යි.

ස්වාභාවික සම්පත් බෙදා ගැනීම සහ නැවත බෙදී යෑමේ රටාව බොහෝ විට බහුතරයේ අවශ්‍යතාව නො තකන සුළුතරයක ප්‍රමුඛතා අනුව සිදු වන දෙයක් බවට පත්වී තිබේ. උදාහරණයක් වසයෙන් දේශගුණය වෙනස් වීම පිළිබඳ නියාම සහ විවිධාකාර අත්දැකීම් දිගින් දිගට ම උද්ධච්චකමින් ප්‍රතික්ෂේප කරන බලවේගවලින් මෙහෙයවන ලෝකයක ජීවත් වීමට අපට සිදුවී තිබේ. ඉහත කී දේශගුණික වෙනස්කම්වලට තුඩු දුන් කරුණු බොහෝමයක් ඇති වූයේ ද එකී බලවේගවල ක්‍රියාකාරකම් හේතු කර ගෙනයි. දේශගුණික විපර්යාස එදිනෙදා ජීවිතයට අතිශයින් විනාශකාරී ලෙස බලපා ඇති අන්දම ගැන අපි දැනටමත් බොහෝ දේ දන්නෙමු.

පොදු දේවල් යනු සක්‍රිය ප්‍රජාතන්ත්‍රවාදයක පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි. පොදු දේවල් පවත්වා ගෙන යෑම හා පරිහරණය පිළිබඳ කතිකාව ප්‍රජාතන්ත්‍රවාදය බිහි වීමට මූලික හේතුවක් විය. පොදු දේවල්වලින් තොර ව පොදු ජනතාවක් ද නැත. එවැනි පොදු දේවල් නොමැති නම් ප්‍රජාතන්ත්‍රවාදය හුදෙක් මැතිවරණ, බහුතරයේ පාලනය හා පාර්ලිමේන්තු විවාද පිළිබඳ පටිපාටිවලට පමණක් සීමා වෙනු ඇත.  පොදු දේවලින් සමන්විත වන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය හෝ පොදු දේවල්වල අයිතිය, කාර්ය සාධනය සහ පැවැත්ම සම්බන්ධයෙන් රජයට ඇති වග වීම  නැතිව ගියොත් ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසිභාවයකට පැවැත්මක් ද නො තිබෙනු ඇත.

පොදු දේවල් පුද්ගලීකරණය කිරීමට පක්ෂ වන බොහෝ අය එය සාධාරණීකරණය කිරීමට තැත් කරන්නේ එමඟින් වඩා කාර්යක්ෂම සේවාවක් සැපයිය හැකි ය යන තර්කය මතය. පොදු දේවල් සම්බන්ධ නිලධාරිවාදය නිසා නාස්තිය වැඩි වෙන බවත් සේවකයන්ගේ කාර්යක්ෂමතාව වැඩි කරන වෙළඳපොළ පාදක කරගත් දිරිගැන්වීම්වලින් එකී සේවා ඈත් කර තැබීම සිවිල් සේවයේ ආකල්පය බවත් ඒ සම්බන්ධ ආනුෂංගික තර්ක ය. ඒ අනුව අකාර්යක්ෂම වන්නේ සමාගම් නිලධාරිවාදය නො ව රජයේ නිලධාරිවාදය යි. රජයේ අධීක්ෂණයකට වඩා වෙළඳපොළට වග කියන පුද්ගලික අංශයේ සේවා සපයන්නන් රජයේ ආයතනවලට වඩා විශ්වාසදායක යැයි කල්පනා කෙරේ. එහෙත් ඉතාමත් කාර්යක්ෂමව සේවය සලසන පොදු සේවා ඇති බව අප දනිමු. ප්‍රංශය ඩෙන්මාර්කය වැනි ඇතැම් යුරෝපීය රටවල පොදු ප්‍රවාහන සේවා හා මහජන සෞඛ්‍ය සේවා ඒවාට කදිම උදාහරණ ය. වඩා නාස්තියක් සිදු වන්නේ පුද්ගලික අංශයේ පාලනයෙන් ද නැත හොත් රාජ්‍ය අංශයේ පාලනයෙන් ද යන්න සම්බන්ධයෙන් ඇති සාක්ෂි පිළිබඳ ව අනුභූතිවාදීන්ට ඇති තරම් තර්ක කළ හැකි වූවත් හුදු  කාර්යක්ෂමතාවට වඩා පොදු දේවල්වල පැවැත්ම අත්‍යවශ්‍ය වන තවත් වැදගත් සාධක ඇති බව අප අමතක නො කළ යුතු ය. ප්‍රජාතාන්ත්‍රික පුද්ගලභාවය හෙවත් ප්‍රජාතන්ත්‍රීය පුරවැසිභාවය නමැති සාධකය එක් ව අල්ලා ගෙන සිටින මැලියම වන්නේ පොදු දේවල් ය. ප්‍රජාතන්ත්‍රවාදී ජීවිතය පුරවනු ලබන්නේ පොදු දේවල්වලිනි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සාමාජිකයන්ගේ සමාජීය හැඩගැසීම, ඌනතා සම්පූර්ණ කිරීම, නිදහස අත්විඳීම, තහංචි පැනවීම ආදියෙන් ඔවුන් පුරවැසිභාවයට පත් වන්නේ පොදු දේවල් නිසා ය.

ඒ නිසා හුදෙක් කාර්යක්ෂමතාවේ නාමයෙන් සිදු වන පෞද්ගලීකරණය ද ඇතුළු ව රාශි භූත ‍වෙන නොහොත් සමුච්චයනය වන ධනය විසින් දේශපාලන බලයේ ලීවර අත්පත් කර ගනු ලැබීම වැළැක්වීමට නිතර විමසිලිමත් වීම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයකි. ධනය සමුච්චයනය වීම කෝපරේට් – සාමූහික හෝ පුද්ගලික ආදි කොයි මට්ටමෙන් පැවතිය ද එහි අභිප්‍රාය වන්නේ එකී බලයේ ලීවර අත්පත් කර ගැනීම මඟින් ධනය ඒකරාශි වීම තව තවත් වැඩි කර ගැනීමේ ආත්මාර්ථකාමී අවශ්‍යතාව ඉටු කර ගැනීම යි.  ඒ අවශ්‍යතාව ඉටු කර ගැනීම පිණිස අවවරප්‍රසාදිත සහ ආන්තික කොටස්වලට දේශපාලන අයිතිය ලබා දීම සීමා කිරීමට වුවද සමුච්චයනය වන ධනය පසුබට වන්නේ නැත . කොටින් ම ජාතික රාජ්‍ය හා ධනවාදය යටතේ ප්‍රජාතන්ත්‍රීය පැවැත්මක් සහතික කර ගැනීමට නම් සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය පහසුකම්වල සිට ගුණාත්මක අධ්‍යාපනයක් දක්වා පොදු පහසුකම් සියලු දෙනාට ම  සහතික කිරීමත්, ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵල සාධාරණ ලෙස බෙදී යන ලෙස ප්‍රතිව්‍යාප්ත (redistribution) කිරීමත්, ධනය සමුච්චයනය වීම අරමුණු කර ඇතිවෙන ජාවාරම් හා දූෂණ ක්‍රියා වැළැක්වීමත් අනිවාර්යයෙන් ම සිදු විය යුතු ය.

ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන සමානාත්මතාව සාක්ෂාත් කර ගැනීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම තහවුරු කිරීමට නම් වෙළඳපොළට පමණක් සහ වෙළඳපොළ ජය ගත් අයට පමණක් පාලනය බාර දීමට දරන ප්‍රයත්නයට ඉඩ නො දිය යුතු ය. ඇත්ත වසයෙන් කළ යුත්තේ දේශපාලන සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම පිණිස වෙළඳපොළ බලපෑම නියාමනය කිරීම යි.

ධන කුවේරයන් අතළොස්සක් බිහි කර බහුතරය සාපේක්ෂ දිළින්දන් වසයෙන් තබා ගැනීම ධනවාදයට ආවේණික වූ   “සමාජ ප්‍රශ්නය” වසයෙන් 19 වැනි සිය වසේ සිට ම පැවත එන්නකි. මෙලෙස “සමාජ ප්‍රශ්නය” රාමු ගත කිරීමේ දී දුප්පතුන් කෙරෙහි දැක්විය යුතු කරුණාව, සාධාරණත්වය හෝ සමාජ අසහනය ගැන සැලකිලිමත් වීම ධනවාදයට දිය හැකි විසඳුම් ලෙස සැලකුණි. එහෙත් ඊට වෙනස් ව ඇත්ත වසයෙන් ම අවශ්‍ය වන්නේ අසල්වැසි බිම් මට්ටම දක්වා ස්වයංපාලනයක් පවත්වා ගෙන යෑමට හැකි වන සේ හැම පුරුෂයෙක් ම හැම ස්ත්‍රියක් ම හැකි තරම් සවිබල ගැන්වීම යි. එය වළක්වන සමාජීය හා ආර්ථික අසමානතා තීව්‍ර වීමට ඇති හැකියාව දේශපාලන සමානාත්මතාව තහවුරු කිරීම මඟින් අවහිර කළ යුතු ය .

අප අතර ඇති බහුවිධත්වය හා නොයෙකුත් වෙනස්කම් තිබිය දී වුව ද අන්‍යෝන්‍ය විශ්වාසය අත්විඳිය හැකි අප ‘සමාජය’ යනුවෙන් හඳුන්වන පොදු අවකාශයේ ශක්තිමත් වර්ධනය ද  ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අත්‍යවශ්‍ය ය. ප්‍රායෝගික වසයෙන් ගත් විට රජය සහ අපේ පුද්ගලික ජීවිතය අතර පිහිටා තිබෙන ‘සමාජය’ නමැති මේ පොදු අවකාශය එකිනෙකට වෙනස් සම්පත් හා පසුබිම් සහිත ව පැමිණෙන පුරවැසියන් එකට එක් කරන සහ අන්‍යෝන්‍ය වසයෙන් එකට ඉගෙන ගැනීමට සලස්වන තැනයි. පොදු යහපත මුල් කර ගනිමින්  අප දේශපාලන වසයෙන් එක් රැස් වන්නේත් අප දේශපාලන වසයෙන් බලාත්මක කරවනු ලබන්නේත් සමාජය තුළ යි. දේශපාලනයට පිවිසීමේ හැකියාව, දේශපාලන හඬ නැංවීම සහ සේවා පහසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇති විෂමතා නිරූපණය වන්නේ ද සමාජය නමැති පොදු අවකාශය තුළයි. එය අපේ දරු මුනුබුරන්ගේ අනාගතයේ යහපත් අයහපත් බව නිරූපණය කරන අවකාශය යි. 

සමාජය යනු මතිභ්‍රමයක් නොව සැබවින්ම පවතින අවකාශයකි. එහි සුගමතාවය (Intelligibility) හෙවත් සුපැහැදිලි බව මෙන් ම මහජනතාව ස්තරායනය(stratifying) කිරීමේ ලා එයට ඇති හැකියාව ද අප අත්දැක තිබේ. එහෙත් ඒ සියල්ල අබිබවා යුක්තිය සහ පොදු යහපත ගැවසෙන අවකාශය ද සමාජය යි. කෙසේ වෙතත් ‘සමාජය’ යන්න සංකල්පීය වසයෙන්, ප්‍රතිමානික වසයෙන් සහ ප්‍රායෝගික වසයෙන් විනාශ කර දැමීම නවලිබරල්වාදී (neo-liberal) ආර්ථික හා දේශපාලන දර්ශනයේ අරමුණයි. ( නවලිබරල්වාදයේ එකී ආත්මාර්ථකාමි දේශපාලන දැක්ම ගැන අපි වෙන ම පරිච්ඡේදයකින් සාකච්ඡා කරමු.) එහෙත් මානව සංහතියේ සාමූහික ප්‍රවර්තනය සහතික කළ හැක්කේ අප සියල්ලන්ගේ ම අන්‍යෝන්‍ය පැවැත්ම හිතකර ගෝලීය පරිසරය හා ඒකාබද්ධ කළ හැකි සංවිචාරණීය සමාජයක් ගොඩනැගීම මඟින් පමණි.

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022


[1] Rousseau, Jean-Jacques, [1762] 1968, The Social Contract (London: Penguin,) pp,96

[2] Wendy Brown (2019) In the Ruins of Neoliberalism, New York: Columbia University Press, pp. 24

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: