8. සංවිචාරණීය සමාජය – සමාජීය හා ආර්ථික ප්‍රතිමාන

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

යුක්තිගරුක සංවිචාරණීය සමාජයක් බිහි කර ගැනීම අපේ අභිප්‍රාය නම් එවැනි සමාජයක තිබිය යුතු පොදු චර්යාව කෙබඳු විය යුතු ද යන්න කියැවෙන Norms හෙවත් ප්‍රතිමාන මොනවා ද යන්න ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය. Norms යන ඉංග්‍රීසි වචනයට දී ඇති සිංහල වදන් අතර ප්‍රතිමාන, හා ප්‍රමිති වැනි වචන ද වේ. ප්‍රතිමාන යනු  කිසියම් සදාචාරීය චර්යාවක් හෝ අරමුණක් කිනම් ප්‍රමිතියක් ඇතිව ඉටු කර යුතු ද යන්න පිළිබඳ අප තුළ ඇති පිළිගැනීම යි. ඒ අනුව කොටින් ම Norms හෙවත් ප්‍රතිමාන යනු සමාජයේ පුද්ගල පැවතුම් හා කෙරුම් පිළිබඳ ව බහුතරය විසින් පිළිගත යුතු ප්‍රමිති ය. කිසියම් ප්‍රතිමානයක් සදාචාරය පිළිබඳ ප්‍රතිමානයක් නො වන්නේ ද එමඟින් චර්යාවක් නියාමනය නො කරයි ද එවිට එහි ප්‍රතිමානික සද්භාවයක් (normative virtue) නැති බවත් එවැනි දේවල් ප්‍රතිමාන වසයෙන් නො සැලකිය යුතු බවත් ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශාරදයෙකු වන සැන්ඩියාගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලැරි ඇලෙක්සැන්ඩර් පවස යි.[1]

බොහෝ විට යම් යම් චර්යා පිළිබඳ අපේ සිතුවිලි පැන නැගෙන්නේත්  අදාළ ක්‍රියාකාරකම් මෙහෙයවෙන්නේත්  ඒ ඒ චර්යා සම්බන්ධයෙන් ඇතැ’යි අප විශ්වාස කරන පරමාදර්ශී ප්‍රතිමාන පදනම් කර ගෙන ය. යමක් කිරීමේ දී  ප්‍රතිඵලය ලෙස කුමක් බලාපොරොත්තු වන්නේ ද සහ ඒ සඳහා කුමක් කළ යුතු ද යන කරුණු දෙක ම ප්‍රතිමාන මඟින් එක්තරා දුරකට නිශ්චය වේ. අභිමත සමාජීය පැවතුම් සහ කෙරුම්වල ප්‍රතිමාන පිළිබඳව කතිකාවකින් තොර ව යුක්තිය අත්පත් කර ගැනීමේ දේශපාලනය දියත් කිරීම අසීරු ය. ඒ ප්‍රතිමාන මඟින් කියවෙන්නේ අප ගොඩ නැඟීමට බලාපොරොත්තු වන යුක්තිගරුක සමාජය කෙබඳු පුද්ගල චර්යාවලින් සහ පුද්ගල ශක්‍යතාවලින් යුත් සමාජයක් විය යුතු ද යන්න යි. ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පෙර අයිස්ලන්ත වැසියෝ එම ව්‍යවස්ථාව මඟින් ගොඩ නැඟීමට බලාපොරොත්තු වන ජන සමාජය කෙබඳු එකක් විය යුතු ද යන්න පිළිබඳ ව ගැඹුරු සංවිචාරණයක (deliberation) නියැලුණු අන්දම අපි පස්වැනි පරිච්ඡේදයේ දී සාකච්ඡා කළෙමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන්නේ කෙබඳු සමාජයක් ද යන්න සංයුක්ත ලෙස වර්තමාන ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නො වේ. ඒ වෙනුවට එහි පූර්විකාවේ ඇති වැල්වටාරම් භාෂිතයෙන් කියවෙන්නේ එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිදහස, සමානාත්මතාව, යුක්තිය, මූලික මිනිස් අයිතිවාසිකම් හා අධිකරණයේ ස්වාධීනත්වය සකල ජනතාවට සහතික කරන්නා වූ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට පත් කිරීම සඳහා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමටත් සම්මත කිරීමටත් ක්‍රියාත්මක කිරීමටත් තෝරා පත් කර ගන්නා ලද නියෝජිතයන්ට භාර කොට බලය පවරා දෙනු ලැබූ නිසා පනවන ව්‍යවස්ථාවක් ‍බවයි. එහෙත් අප කවුරුත් දන්නා පරිදි එකී නිදහස, සමානාත්මතාවය, යුක්තිය, මූලික මිනිස් අයිතිවාසිකම් හා අධිකරණයේ ස්වාධීනත්වය කෙබඳු විය යුතු ද යන්න පිළිබඳව පුළුල් සංවිචාරණීය සමාජ කතිකාවක් ව්‍යවස්ථා සම්පාදනයට සූදානම් වීමක් ලෙස ඇති කිරීමේ වෑයමක් එකල නොතිබිණි. ඒ නිසා එවැනි වටිනාකම් සහිත ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මහජන වරමක් ලැබිණියැ’යි කීම සත්‍යයකට වඩා ළං වන්නේ ව්‍යවස්ථාව කෙටුම්පත් කළ විශේෂඥයන්ගේ හුදු අනුකරණීය භාවිතයක් ලෙස ය. එය වඩාත් තහවුරු වන්නේ ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරමි යැ’යි දිවුරුම් දෙන ජනාධිපති, අගමැති, මැති ඇමති ආදීන් කිසිදු විලි ලැජ්ජාවක් නැතිව නිදහස, සමානාත්මතාවය, යුක්තිය, මූලික මිනිස් අයිතිවාසිකම් සහ අධිකරණයේ ස්වාධීනත්වය වැනි වටිනාකම් නිරන්තරයෙන් ගර්හාවට ලක් කරන බැවිනි. මූලික අයිතිවාසිකම් මහජන පරමාධිපත්‍යයේ අනුල්ලංඝනීය අංගයක් යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ව තිබියදී මානව අයිතිවාසිකම් යනු අප අමාරුවේ දැමීමට බටහිර රටවල් විසින් ඇටවූ කෙමණකැ’යි ඔවුන්ගෙන් ඇතමෙක් පුන පුනා සඳහන් කරන්නේ එබැවිනි. එනිසා ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථා පූර්විකාවේ  සඳහන් එවැනි වටිනාකම් සැලකිය හැක්කේ  හුදු ව්‍යාජ සැරසිල්ලක් ලෙස පමණි. සමානාත්මතාවය වැනි වටිනාකම් උල්ලංඝණය වන විධිවිධාන වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ම දක්නට ලැබීම ම ඊට නිදසුනකි..

රට තුළ බුද්ධාගමට දිය යුතු ප්‍රමුඛත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් නිරූපණය වීමේ අවශ්‍යතාව පිළිබඳ ඇතැම් කොටස් දක්වන උනන්දුව සලකමින් ඒ සම්බන්ධයෙන්  වඩා යුක්ති යුක්ත කළ හැකි යෝජනාවක් සාකච්ඡාවට ලක් කිරීමේ ප්‍රයත්නයකට 2017 නොවැම්බරයේ දී  මම ද දායක වීමි. එයට දායක වූ සියල්ලන් ම පාහේ රාජ්‍යයේ අනාගමික බව (secular nature) වෙනුවෙන් පෙනී සිටින අය වූහ. එහෙත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් බුද්ධාගම ආරක්ෂා කර ගැනීම පිළිබඳ අදහස වෙනත් අන්දමකට ප්‍රක්ෂේපණය කිරීමට අපි අදහස් කළෙමු. අප කිනම් ආකාරයක සමාජයක් ගොඩනැගිය යුතු ද සහ එම සමාජයේ ජීවත්වන්නන් එකිනෙකා කෙරෙහි හැසිරිය යුත්තේ කෙසේ ද යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කතිකාවේ කේන්ද්‍රීය කරුණක් බවට පත්කර ගැනීම එමඟින් අපේ අභිප්‍රාය වීයැ’යි සැලකිය හැකි ය.[2] යෝජනාවේ හරය වූයේ හුදෙක් බුද්ධාගමට ප්‍රමුඛත්වය දීම වෙනුවට බුදු දහමේ අපේක්ෂා කරන සදාචාරීය ශික්ෂණය පොදු චර්යාව බවට පත් කළ හැකි සමාජයක් ගොඩ නැගීම වඩා සංයුක්ත ලෙස  ආණ්ඩුක්‍රමයේ අරමුණ කිරීම යි. හොඳ සංවිචාරණයකින් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක පූර්විකාවේ ම එවැනි අරමුණු නිශ්චය කොට දැක්විය හැකි ය. එවිට එය  ජනසමාජය ගමන් කළ යුතු දිශානතිය කුමක් විය යුතු ද යන්න පිළිබඳ ව රට වැසියන් අතර ඇති කර ගත් සාමූහික එකඟත්වයක් ලෙස සැලකිය හැකි වේ.  කෙසේ වෙතත් එවකට අපේ යෝජනාව වූයේ 1978 ජනරජ ව්‍යවස්ථාවේ දෙවෙනි පරිච්ඡේදයේ නව වෙනි ඡේදය වෙනුවට පහත සඳහන් ඡේදය ඇතුළත් කළ යුතු බවයි: 

“ආණ්ඩුකරණයේ දී සියල්ලන් සමානයින් ලෙස සලකමින් කුල, පංති, ආගම්, ජනවර්ග සහ ස්ත්‍රී පුරුෂ භාවය නො තකා කරුණා, මෙත්තා, මුදිතා, උපේක්ඛා සහ අහිංසා යන ශික්ෂා උත්තරීතර ශික්ෂා ලෙස සියලු කල්හි පිළිගනිමින් රාජ්‍ය හා ආණ්ඩුව ඒවා ප්‍රගුණ කළ යුතුය;

කරුණා යනු අනුන් වෙත දක්වන ඉවසීම, දයාව වේ;

මෙත්තා යනු සියල්ලන් වෙත දක්වන සොඳුරු බව, මිත්‍රත්වය, යහපත් ගුණගරුක බව වේ; මුදිතා යනු අනුන් සම්බන්ධයෙන් දක්වන ස්වාර්ථකාමයෙන් තොර අවංක සංවේදී සතුට වේ; උපේක්ඛා යනු ක්‍ෂාන්තිය, වෙනසකින් තොර ව සම සිතින් සැලකීම වේ;

අහිංසා යනු හිංසනයෙන්, ප්‍රචණ්ඩත්වයෙන් තොර සිල්වත් ක්‍රියාකාරිත්වය වේ.

මෙම උතුම් පංච ශික්ෂා මත පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ස්ථාපිත කොට පවත්වා ගැනීම පිණිස සියලු පුරවැසියන්ට ඔවුන් සතු සිවිල්, දේශපාලනික, සමාජීය, ආර්ථීක, සංස්කෘතික, පාරිසරික සහ අධ්‍යාපනික අයිතීන් පූර්ණ ලෙස භුක්ති විඳීමේ සම අවස්ථාවන් සහතික කිරීම රාජ්‍යයේ හා එහි ව්‍යවස්ථාපිත ආයතනවල මූලික වගකීම වේ.”

පරිපූර්ණ යෝජනාවක් නො වුනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් කිනම් ආකාරයක සමාජයක් ගොඩ නැඟීමට කටයුතු කළ යුතු ද යන්න සහ සියලු රාජ්‍ය හා ව්‍යවස්ථාපිත ආයතන ඒ සඳහා කුමක් කළ යුතු ද යන්න පිළිබඳ ව සංවිචාරණීය කතිකාවක් ඇති කිරීමේ හොඳ මූලද්‍රව්‍ය ඉහත යෝජනාවේ තිබුණි. යෝජනාව එවකට පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සභාපති ඇතුළු මෙහෙයුම් කමිටු සාමාජිකයන්ට ඉදිරිපත් කරනු ලැබුවත් ඒ ගැන කිසිදු ප්‍රතිචාරයක් නො වී ය.

හොඳ ජීවිතයක් යනු කුමක් ද යන්න පිළිබඳ මිනිසුන් තුළ එකිනෙකට වෙනස් අදහස් තිබිය හැකි ය. එසේ වුව ද වාර්ගික හා ආගමික වෙනස්කම් ඉක්මවා කිසියම් අවම පොදු කොන්දේසි මත එක රටක රටවැසියන් ලෙස  අනන්‍ය වූ දේශපාලන ප්‍රජාවකට අයත් වීමේ එකඟතාවක් ඇති කර ගැනීමට එය බාධාවක් නො වේ. එවැනි අවම පොදු කොන්දේසි එම සමාජයට අයත් ඕනෑ ම කෙනෙකුට සිය පුද්ගල අභිමානය සුරැකගෙන අන්‍යයන් සමඟ සහජීවනයෙන් ජීවිතය විඳ ගැනීමට තරම් ප්‍රමාණවත් විය යුතු ය.  කරුණා, මෙත්තා, මුදිතා, උපේක්ඛා සහ අහිංසා වැනි ප්‍රතිමාන ඒ සඳහා අතිශයින් ම උචිත යැ’යි කිව හැකි ය. කෙසේ වුව ද එවැනි ප්‍රතිමාන ගැඹුරු සමාජ සංවිචාරණයකින් පසු නිශ්චය කළ යුතු දේවල් ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක සඳහන් කළ පමණින් ම එවැනි කොන්දේසි ප්‍රායෝගික ව තහවුරු කළ නො හැකි බව සැබැවි. එහෙත් බොහෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල පටිපාටිමය විධිවිධාන මෙන් ම අභිලාෂාත්මක ප්‍රකාශ ද  අඩංගු වේ. බොහෝ විට එවැනි අභිලාෂ දක්නට ලැබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක පූර්විකාවේ ය.

ඇතැම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ආරම්භ වන්නේ එම ව්‍යවස්ථාව මඟින් සංවිධානය කරන සමාජයේ අභිමත ස්වභාවය කුමක් ද යන්න පැහැදිලි කෙරෙන පූර්විකාවකිනි (preamble). නූතන යුගයේ මුල්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෙස සැලකෙන ඇමරිකානු එක්සත් ජනපද ව්‍යවස්ථාව (1787) ඇරඹෙන්නේ “එක්සත් ජනපදවල ජනතාව වන අප, වඩා පරිපූර්ණ සාංගමික රාජ්‍යයක් පිහිටුවීම උදෙසාත්, යුක්තිය, අභ්‍යන්තර නිරුපද්‍රතාව, පොදු ආරක්ෂාව සැලසීම, පොදු සුභසාධනය ප්‍රවර්ධනය කිරීම සහ අපටත් අපෙන් පසුව එන අයටත් නිදහසේ ආශිර්වාදය සාක්ෂාත් කිරීම පිණිස ඇමරිකා එක්සත් ජනපදය සඳහා මෙම ව්‍යවස්ථාව පනවා පිහිටුවමු” යන පූර්විකාවෙනි.

ව්‍යවස්ථාවක පූර්විකාවෙන්  අදහස් වන්නේ කුමක් ද යන්න සම්බන්ධයෙන් වඩා මෑත කාලීන උදාහරණයක් දකුණු අප්‍රිකාව 1996 දී සම්මත කරගත් නව ව්‍යවස්ථාවේ පූර්විකාවෙන් උපුටා දැක්විය හැකි ය. එම ව්‍යවස්ථාවේ මූලික අභිලාෂය වූයේ පැරණි වර්ණභේදවාදී අතීතයෙන් ගැලවී පරිණාමනය වන අනාගතයක දූතයෙකු බවට පත් වීමයි. ඒ බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහත දැක්වෙන පූර්විකාව කියවීමෙන් සැක හැර දැන ගත හැකි ය:

“දකුණු අප්‍රිකාවේ ජනතාව වන අපි,

අතීතයේ අපට ඇති වූ අසාධාරණකම් සලකමින්,

අපේ දේශයේ යුක්තිය සහ නිදහස සඳහා දුක්විඳි අයට බුහුමන් කරමින්,

අපේ රට ගොඩ නැගීමට හා සංවර්ධනය කිරීමට කටයුතු කළ අයට ගරු කරමින්,

අපේ බහුවිධත්වය එක්සත් කරමින් දකුණු අප්‍රිකාව තුළ ජීවත්වෙන සියල්ලන්ට ම දකුණු අප්‍රිකාව අයිති බව විශ්වාස කරයි.

ඒ අනුව අපි නිදහස් ලෙස තෝරා ගන්නා ලද නියෝජිතයන් මඟින් සමූහාණ්ඩුවේ උත්තරීතර නීතිය ලෙස මෙම ව්‍යවස්ථාව සම්මත කරමු.

මඟින්,

අතීතයේ තිබූ බෙදීම් සුවපත් කොට ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, සමාජ සාධාරණය සහ මූලික මිනිස් අයිතිවාසිකම් පදනම් කරගත් සමාජයක් පිහිටුවීම;

මහජන කැමැත්ත පදනම් කර ගත් ආණ්ඩුවකින් යුක්ත වූ ද මහජනයා සහ හැම පුරවැසියෙකු ම එක හා සමානව නීතියෙන් ආරක්ෂා කරන්නා වූ ද ප්‍රජාතන්ත්‍රවාදී විවෘත සමාජයකට  පදනම දැමීම;

සියලු රටවැසියන්ගේ ජීවන තත්වය වැඩිදියුණු කිරීම සහ හැම පුද්ගලයෙකුගේ ම ශක්‍යතා මුදා හැරීම; සහ

ජාතීන් නමැති පවුලේ ස්වෛරී රාජ්‍යයක් ලෙස නියම ස්ථානය ගැනීමටත් හැකි වෙන එක්සත් සහ ප්‍රජාතන්ත්‍රවාදී දකුණු අප්‍රිකාවක් ගොඩ නගමු.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක පෙළ තුළ පූර්විකාව යනු අලුතින් බිහි කරනු ලබන රාජ්‍යය පිළිබඳ ව ව්‍යවස්ථා සම්පාදකයින්ගේ  කේන්ද්‍රීය අභිලාෂ ප්‍රකාශයට පත් කරන්නා වූ ද ඔවුන්ගේ ගැඹුරු ප්‍රාර්ථනා සංනිවේදනය කරන්නා වූ ද ස්ථානය යි” යනුවෙන් මහාචාර්ය බෝ බ්‍රෙස්ලින් ව්‍යවස්ථාවක කාර්ය ගැන කරන විවරණයක සඳහන් කරයි.[3]

එහෙත් මෙවැනි පූර්විකා ව්‍යවස්ථාවක පදනම ලෙස ගැණුන ද ඒවා අධිකරණමය වසයෙන් විනිශ්චයට ලක් කළ නො හැකි ඒවා ලෙස සැලකේ. අධිකරණයක් මඟින් බලාත්මක කල නො හැකි බැවින් බොහෝ නීතිඥයෝ සහ නීති විශාරදයෝ එවැනි ඡේදවල අමතර වටිනාකමක් නැතැයි නො සලකා හරිති. එසේ වුව ද දකුණු අප්‍රිකාවේ ඡන්ද අයිතිය පිළිබඳ නඩු විභාගයක දී “සමස්තයක් ලෙස ගත් විට එමඟින් ව්‍යවස්ථාවට අර්ථයක් සහ ඥානනයක් දෙන තාක් දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාවේ පූර්විකාවේ සඳහන් වන වටිනාකම් අතිශයින් ම වැදගත් බවත් එහෙත් ඒවා තුළින් බලාත්මක කළ හැකි අයිතීන් පැන නො නගින බවත්”  දකුණු අප්‍රිකානු ව්‍යවස්ථා අධිකරණයේ සභාපති ආතර් චස්කල්සන් පැහැදිලි කර ඇති බව ආචාර්ය ලෙවින්සන් උපුටා දක්වයි.[4]

මහාචාර්ය ලැරි ඇලෙක්සැන්ඩර්ට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කාර්ය වන්නේ ‘අප විසින් සමාජය හා ආණ්ඩුව සංවිධානය කර ගත යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධ ඉතා මූලික ප්‍රශ්න නිරාකරණය කර දැක්වීම’ යි. [5] එසේ වුවද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී සංවිචාරණයක් පැවැත්වීමේ දී අප මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ කිනම් ආකාරයක සමාජයක් ගොඩනැගීම සඳහා ද යන ප්‍රශ්නය මුලින් ම විමසිල්ලට ලක් කිරීම වැදගත් ය. ව්‍යවස්ථාවට අඩංගු විය යුතු පොදු අභිලාෂ හා වටිනාකම් ගැන බහුතරයකට සහභාගි විය හැකි කතිකාවකින් පටන් ගැනීම ව්‍යවස්ථාවේ පොදු අයිතිය තහවුරු කිරීමේ හොඳ ක්‍රමයකි. ආණ්ඩුක්‍රමයේ ව්‍යුහය හා ඒ ඒ ආයතනවල අවශ්‍යතාව සාධාරණීකරණය කිරීම සහ ආයතනික කාර්ය, කළ නො කළ යුතු දේවල් සහ බලතල  පිළිබඳ සාකච්ඡාවකට මහජනතාවගේ ක්‍රියාශීලී  අවධානය හා සහභාගීත්වය යොමු කර ගත හැක්කේ එසේ එකඟ වන අභිලාෂ හා වටිනාකම්වලට ඇති පොදු පිළිගැනීම මත ය.

හැම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ම නිර්ණායක තුනකට අනුව ඇගයීමට ලක් කළ හැකියැ’යි මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය විලියම් ගැල්ස්ටන් පවසයි. ඒවා නම් යථාර්ථවාදී බව ( realism), සංසක්ත බව (coherence), සහ අංගසම බව (congruence) යි.[6] ඔහුට අනුව ව්‍යවස්ථාවක් යථාර්ථවාදී වන්නේ එමඟින් රට වැසියන්ට අනවශ්‍ය බර පැටවීමක් සිදු නො වේ නම් ය; එය සංසක්ත වන්නේ ව්‍යවස්ථානුකූල ව සහජීවනයෙන් ජීවත් විය යුතු රටවැසියන් එකම ප්‍රජාවකට අයත් නො වීමට තරම් ව්‍යවස්ථාවෙන්  ප්‍රගුණ කරවන වටිනාකම් පරස්පර නො වූ විටයි. උදාහරණයක් ලෙස ගත්තොත් ජනවර්ග කිහිපයක් ජීවත් වන රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් ප්‍රගුණ කරවන වටිනාකම් සියලු ජනවර්ග වලට පිළිගත හැකි විය යුතු ඒවා විය යුතුය. ව්‍යවස්ථාවක් අංගසම වන්නේ සමස්තයක් වසයෙන් ගත් විට එමඟින් හඳුන්වා දෙන විධිවිධාන ව්‍යවස්ථාව යටතේ ජීවත්වෙන  ජනතාවගේ සදාචාරීය හැඟීම් හා ගැළපෙන විට යි. ඒ අතින් කරුණා, මෙත්තා, මුදිතා, උපේක්ඛා සහ අහිංසා යන චර්යා ගුණාංග ලක්වැසි සියල්ලන්ට ම එකඟ විය හැකි ඒවා ය. මේ අනුව අපේක්ෂිත සදාචාරීය වටිනාකම් පිළිබඳ පොදු එකඟත්වය ව්‍යවස්ථාවේ සඳහන් ව තිබීම ව්‍යවස්ථාව සුජාතකරණය කිරීමට කොයි තරම් වැදගත් වේ දැයි සිතිය හැකිය.

ඇමෙරිකානු ව්‍යවස්ථාවේ ප්‍රධාන කර්තෘ ලෙස සැලකෙන  ජේම්ස් මැඩිසන් පැවසූ අන්දමට  “මිනිසුන් විසින් මිනිසුන් පරිපාලනය කිරීම පිණිස ආණ්ඩුවක් සැලසුම් කරන විට ඉතා අසීරු ම කාරණය වන්නේ පාලිතයන් පාලනය කිරීමට ආණ්ඩුවට බලය ලබා දෙන අතර ම තමන් ව පාලනය කර ගැනීම ද ආණ්ඩුවේ ම අනිවාර්ය කාර්ය බවට පත් කිරීම යි.”[7]  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කාර්යය වන්නේ මේ අසීරු ගැටලුව විසඳීම සඳහා ආණ්ඩුවක ව්‍යුහය කෙබඳු විය යුතු දැයි විස්තර කොට ආණ්ඩුවකට හිමි බලය නිශ්චිත කිරීම සහ එම බලයේ සීමා නිර්ණය කිරීම බව මැඩිසන් අනුව ගිය ව්‍යවස්ථා විශේෂඥයෝ පැවසූහ.  එහි දී ආණ්ඩුවේ එකී බලය කොතරම් ප්‍රබල විය යුතු ද එම බලය සීමා වන්නේ කෙසේ ද ආණ්ඩුවේ නීත්‍යනුකූල කටයුතු මොනවාද සහ ඒවා යුක්තියුක්ත ව සාධාරණීකරණය කරන්නේ කෙසේ ද පුරවැසියන්ගේ පොදු යහපත සාක්ෂාත් කිරීම රටක ව්‍යවස්ථාවේ අරමුණක් නම් පොදු යහපත යන්න නිර්වචනය කළ යුත්තේ කෙසේ ද රටවැසියන්ගේ අයිතීන් සම්බන්ධව ව්‍යවස්ථාවෙන් කිනම් ආකාරයක රැකවරණ සැපයිය යුතු ද සහ එම අයිතීන් කිනම් ආකාරයකින් කෙටුම්පත් වී තිබිය යුතු ද වැනි ප්‍රශ්න ගණනාවකට පිළිතුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන මඟින් පැහැදිලි කළ යුතු බව ඔවුහු පෙන්වා දෙති. මේ සියල්ල වැදගත් ප්‍රශ්න බව නිසැක ය. ඒ අනුව ආණ්ඩුක්‍රමය ගැන මතු වන ගැටලු ඇතැම් විට අධිකරණය හරහා නිරාකරණය කර ගත හැකිය.

එහෙත් ආණ්ඩුක්‍රමයේ පදනම විය යුතු සමාජ අභිලාෂ ගැන සමස්ත සමාජයේ ම එකඟත්වයක් තිබීම සහ එය ආණ්ඩුක්‍රමයේ මෙහෙයුම් මූලධර්මය ලෙස ඉහළින් ම සඳහන් ව තිබීම සහ ඒ අනුව ආණ්ඩුක්‍රම විධිවිධාන තීරණය කිරීම ද අතිශයින් ම වැදගත් ය.

අප ගොඩ නගන  සජ්ජන සමාජයක වටිනාකම් පිළිබඳ ප්‍රතිමාන ගැන අවධානය යොමුවිය යුත්තේ ව්‍යවස්ථා සම්පාදනයේ දී පමණක් නො වේ. ආර්ථික හා සමාජීය සංවර්ධනය  සම්බන්ධයෙන් ද ඒ අනුව සමාජයේ සාමාජිකයන් තුළ ඇති විය යුතු ශක්‍යතා සම්බන්ධයෙන් ද එවැනි මිනුම් තිබිය යුතුය. දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාවේ පූර්විකාවේ ‘සියලු රටවැසියන්ගේ ජීවන තත්වය වැඩිදියුණු කිරීම සහ හැම පුද්ගලයෙකුගේ ම ශක්‍යතා මුදා හැරීම’ අභිලාෂයක් වශයෙන් සඳහන් ව තිබූ බව අපි දුටුවෙමු. මෙසේ මුදා හැරිය යුතු ශක්‍යතා මොනවාද, ඒවායේ ස්වභාවය කුමක් විය යුතු ද යන ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම මඟින් එම ශක්‍යතා වර්ධනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍යයේ දායකත්වය කෙබඳු විය යුතු ද යන්න ගැන අවබෝධයක් ඇති කර ගත හැකි ය.

කලක් තිස්සේ බ්‍රිතාන්‍ය යටත් විජිත ලෙස පැවැති ඇමෙරිකානු ජනපද දහතුනක් එක් වී බ්‍රිතාන්‍යයට එරෙහි ව යුද්ධ කොට ඇමෙරිකානු එක්සත් ජනපදය නමින් නිදහස් රාජ්‍යයක් ලෙස 1776 දී සිය ස්වාධීනත්වය ප්‍රකාශ කළේ ය. නව ආරක ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දුන් ඔවුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෝකයේ මෙතෙක් ප්‍රායෝගික ව ක්‍රියාත්මක වෙන ව්‍යවස්ථා අතරින් පැරණි ම ව්‍යවස්ථාව ද වෙයි. ඒ අවුරුද්දේ ම ස්කොට් ජාතික දාර්ශනිකයෙකු වූ ඇඩම් ස්මිත් දස වසරක් තිස්සේ ජාතීන්ගේ ධනෝපායන මාර්ග පිළිබඳ ව තමන් විසින්  කරන ලද විමර්ශනවල ප්‍රතිඵල ගොනු කරමින්  Wealth of Nations (ජාතීන්ගේ ධනය) යනුවෙන් ග්‍රන්ථයක් පළ කළේ ය. නූතන ආර්ථික විද්‍යාවේ මූල ග්‍රන්ථය ලෙස සැලකෙන ඒ කෘතියෙන් හඳුන්වා දුන් මූලික ආර්ථික සංකල්ප අද පවා ආර්ථික විද්‍යාවේ සනාතන මූලධර්ම ලෙස සැලකෙයි.

මේ ආණ්ඩු ක්‍රමය සහ ආර්ථික ක්‍රමය යන ක්‍රම දෙක ම  ‘මිනිසුන් වනාහි ආත්මාර්ථකාමී සත්ව විශේෂයකි: එහෙත් එ් ආත්මාර්ථකාමය ම පොදු යහපත සඳහා උපයෝගි කර ගත හැකි ය’ යන අපූරු විශ්වාසය මත පවත්වා ගෙන යනු ලැබේ. මෙය වඩාත් ම පැහැදිලි වන්නේ ‘මිනිසුන්ගේ ඒ ආත්මාර්ථකාමය නිදහස් වෙළඳපොළ මඟින් සමාජයීය වශයෙන් ඵලදායී ප්‍රතිඵල වලට පරිවර්තනය කරනු ඇත’ යන ස්මිත්ගේ දැඩි විශ්වාසය තුළ යි. ඇමෙරිකානු ව්‍යවස්ථාවේ ආදි කර්තෘවරු ද ඒ හා සමාන අදහසක් පළ කරමින් රාජ්‍යයේ මූලික ආයතන අතර බලය බෙදීම නිසා ඇතිවෙන ආයතනික ආත්මාර්ථකාමය මඟින් ආණ්ඩුවේ බලය සංචරණය හා තුලනය කළ හැකියැ’යි ද එය පොදු ජනතාවට වාසිදායක යැ’යි ද කියා සිටියහ.

මේ දැක්මවල් දෙකට ම ආත්මාර්ථකාමයේ පල ප්‍රයෝජන පිළිබඳ ව පොදු වූ අන්ධ විශ්වාසයක් ද තිබුණි. සමාජය පිළිවෙළකට පවත්වා ගැනීමට නම් සියල්ලෝ ම එක් ව හවුලේ සදාචාරීය පැවැත්ම අනුගමනය කළ යුතු  බව ස්මිත් සිය Theory of Moral Sentiments (සදාචාරීය මනෝභාවය පිළිබඳ න්‍යාය) කෘතියෙන් 1759 දී කියා තිබුණි.  එහෙත් ආත්මාර්ථකාමී මිනිසුන් විසින් වෙළඳපොළ නිර්මාණය කරන බව සිය නවතම කෘතියෙන් කියූ  ස්මිත්ට ඒ වෙළඳපොළ මඟින් ම අර කී සදාචාරය අනාථ කරන ආත්මාර්ථකාමී මිනිසුන් බිහි කරන බව දැකීමට නො හැකි විය. ඇමෙරිකානු ව්‍යවස්ථාවේ ආදි කර්තෘවරු ද ඊට දෙවැනි නොවූහ. දේපළ හිමි සුදු ජාතිකයන් වූ ඔවුහු නිදහස ගැන උජාරුවෙන් කථා කළ හ: එහෙත් වර්ණ භේදය හා පුරුෂෝත්තම වාදය හෙළා දැකීමට මැලි විය. සංචරණ හා තුලන ගැන කතා කරන අතර ම ඔවුන් අදහස් කළ ප්‍රජාතන්ත්‍රවාදයෙන් ස්ත්‍රීන්, කලු ජාතිකයින්, වහලුන් සහ දේපොළ අහිමි දිළින්දන් ඇතුළු බහුතරයක් බැහැර කළහ.

ගෝලීය වශයෙන් ප්‍රධාන ආදර්ශයක් වන ඒ දේශපාලන ක්‍රමය හා ආර්ථික ක්‍රමය වසර 250කට වැඩි කාලයක් තිස්සේ ගොඩ නගා ඇත්තේ ස්වාර්ථය ම සලකන ආත්මාර්ථකාමී හා ස්වාමිත්වකාමි (possessive) පෞද්ගලිකත්වය පූජනීයත්වයට පත් කිරීම සහ ආන්තීකරණයට ලක් කළ සමාජ කණ්ඩායම් දේශපාලනයෙන් කොන් කර දැමීම මතය. බොහෝ කොට ම එසේ කොන් කරනු ලැබූවන්ගේ නිරන්තර අරගල ද හේතු කොට මේ කාලය තුළ සමාජීය සහ ආර්ථික වසයෙන් සැලැකිය යුතු දියුණුවක් ද ඇති වී තිබෙන බව සැබෑවකි[8]. නමුත් දැන් අපි ආත්මාර්ථකාමය පිළිබඳ  ඒ කේන්ද්‍රීය ආර්ථික මූලධර්මයේ ඵලයක් ලෙස  බිහි කළ සමාජ විෂමතා හා පාරිසරික හානිය  නිසා සමාජීය බිඳ වැටීම් වලට, පුද්ගල පරත්වාරෝපණයට (alienation) හා දේශපාලනික ධ්රුවීකරණයට ගොදුරු ව අතර මං වී සිටින්නෙමු.

ඉතිං අපට මීට වඩා හොඳ දෙයක් කළ නො හැකි ද? මිනිසුන් වසයෙන් ගත් විට අපි ඇති හැකි පමණින් බෙදා හදා ගැනීමට සහ සියල්ලන්ට ම යහපත සැලසීමට කැමති සත්කාරශීලී ගුණ යහපත් අය වෙමු. එනිසා  අපට ඒ අන්‍යෝන්‍ය සහයෝගිතාව හා පරාර්ථකාමය මත පදනම් ව මීට වඩා හොඳ සාධාරණ ආර්ථික ක්‍රමයක් ගොඩ නගා ගත නො හැකි ද? අප අතර නිරන්තර අනොන්‍ය සම්බන්ධතාවක්, බැඳීමක් ඇතැ’යි හැඟෙන කණ්ඩායම් කටයුතුවල දී හෝ සාමූහික ප්‍රජා කටයුතුවල දී එම කටයුතු බොහෝ විට හොඳින් ඉටු කර ගත හැකි බව අපි අත්දැකීමෙන් දනිමු.   ඉතිං ඒ අනුසාරයෙන් ම අපේ ආර්ථිකය හා දේශපාලනය පොදු යහපත තකා දැවැන්ත පරිවර්තනයකට ලක් කිරීමට අපට නො හැකි ද? ඒ සඳහා  අප කුමක් කළ යුතු ද? සැලැකිය යුතු අරගලයකින් තොර ව  එවැනි පරිවර්තනයක් ඇති කර ගත නො හැකි බව නම් අපි හොඳින් දනිමු.

අපේ අන්‍යෝන්‍ය සහයෝගිතාව සහ සමුපකාරී ආකල්පය ප්‍රවර්ධනය කරමින් ඒ මත  ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීම විශ්ලේෂීය, ප්‍රතිමානීය සහ නිර්දේශීය වසයෙන් පැතිකඩ තුනකින් විග්‍රහ කළ යුතු බව සහයෝගිතා ආර්ථිකයක් පිළිබඳ අදහස ඉදිරිපත් කරමින් සාන්ත ක්රූස් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය  ක්‍රිස් බෙනර් සහ දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය මැනුවෙල් පැස්ටර් පවසයි.[9] විශ්ලේෂීය යනුවෙන් ඔවුන් අදහස් කරන්නේ සහයෝගිතාව, සමූපකාරි බව වර්ධනය කිරීම සහ විෂමතා අවම කිරීම මුල් කොට වැඩි සශ්‍රීකත්වයක්, නවෝත්පාදනික උත්තේජනයක් සහ ආර්ථික ගති ශක්තියක් ඇති කළ හැක්කේ කුමන  ක්ෂේත්‍රවල ද යන්න විස්තර කිරීම යි. ප්‍රතිමානීය යනුවෙන් අදහස් කළේ මිනිසුන් අතර ඇති අන්‍යෝන්‍ය සහජීවනය සහ සහ-සම්බන්ධතාව ප්‍රවර්ධනය කිරීම පිණිස දේශපාලන හා ආර්ථික ආයතන ප්‍රතිසංවිධානය කළ හොත්  වඩාත් ශක්තිමත් ආර්ථිකයක් සහ යහපත් සමාජයක් ඇති කර ගත හැකි බවට ඇති විශ්වාසය යි.  නිර්දේශීය යන්නෙන් අදහස් කළේ මේ අන්‍යෝන්‍ය සහයෝගය මත පවත්වන  වඩා හොඳ ආර්ථිකයක් සඳහා අවශ්‍ය කරන පරිවර්තනය සියල්ලන්ගේ ම අගයට ලක් වීමට හැකි  අන්දමින් ඉටු කිරීම අභියෝගාත්මක දෙයක් බවත් එයට පවතින දේශපාලනයෙන් හා ආර්ථිකයෙන් ලාභ ප්‍රයෝජන ගන්නා අයගේ බලය බිඳ දැමීම ද අනිවාර්යයෙන් ම ඇතුළත් වන බවත් ය.

එම අභියෝගයට සාර්ථක ව අභිමුඛ වීමේ  මුල් ම කොන්දේසියක් වන්නේ ආර්ථිකය ගැන අප හිතන ආකාරය තීරණාත්මක ව වෙනස් කර ගැනීම යි.  සම්ප්‍රදායික ආර්ථිකය අපට උගන්වා ඇති අන්දමට ආත්මාර්ථකාමිත්වය සහ වෙළඳපොළ යන දෙක ම ස්වාභාවික ඒවා ය. හැරත් ඒවාට ඇති විකල්ප අසාර්ථක වූ ඒවා ය; නැතහොත් ස්ථාවර ඒවා නො වේ. වෙනත් සුදුසු ආර්ථික විකල්පයක් නැති බැවින් සම්ප්‍රදායික ආර්ථික විද්‍යාවට අනුව නම් දැනට පවතින මට්ටමින් සමාජ විෂමතා විඳ දරා ගැනීමට අප හුරු පුරුදු විය යුතු ය.

එහෙත් එම අදහස පිළිගැනීමට අප සූදානම් නැත. සත්තිගුම්බ ජාතකයේ එන සත්පුරුෂයන් සහ අසත්පුරුෂයන් යන දෙ කොටස ඇසුරේ වෙන් වෙන් ව හැදුණු ගිරා පෝතකයින් දෙදෙනා මෙන් ම අසත්පුරුෂ ආත්මාර්ථකාමියෙකු වීම හෝ සත්පුරුෂ පරාර්ථකාමියෙකු වීම හෝ සිදුවන්නේ මිනිසුන්ට ලැබෙන උපදෙස්වල ස්වභාවය අනුව ය. “ආර්ථිකය පවතින්නේ හුදෙක් ම ආත්මාර්ථකාමය නිසායැ’යි ආර්ථික විද්‍යාව බිහි වූ දා සිට අපට උගන්වා තිබේ. එහෙත් ඒ වෙනුවට සත්පුරුෂ පරාර්ථකාමීන් බිහි කළ හැකි ආර්ථිකයක් ගොඩ නැගීමට ඉගෙන ගැනීම  දැන් අත්‍යවශ්‍යය කරුණක් වී තිබේ” යැ’යි බෙනර් සහ පැස්ටර් පවසයි.  

පවතින ආර්ථිකය මෙන් ම ආර්ථික න්‍යාය හා ආඛ්‍යානය යන දෙකම ගොඩ නැගී ඇත්තේ වැරදි සංකල්ප මතය. ඒ නිසා සහයෝගිතාව මත පදනම් වූ නිවැරදි නව ආර්ථික එළඹුමක් අපට අවශ්‍යය. බෙනර් සහ පැස්ටර්ට අනුව  එවැනි සහයෝගිතා ආර්ථික එළඹුමක් ඇති කර ගැනීම මූලික පරිශ්‍ර තුනක් මත පදනම් කර ගත යුතු ය. පළමුවැන්න එය හුදෙක් කිසියම් දෙවියෙකු හෝ ස්වභාව ධර්මය විසින් නිශ්චය කරන ලද වියුක්ත නීතිරීති පද්ධතියකින් මෙහෙයවෙන ගම්භීර අන්දමින් ‘ආර්ථිකය’ යනුවෙන් හැඳින්වෙන දෙය නොව ඊට වෙනස් ව හැම දෙනාට ම ‘අපේ ආර්ථිකය’ යනුවෙන් මුලු හදින් ම හැඳින්විය හැකි කිසිවෙකු පිට මං නොකරන  සහයෝගිතා ආර්ථිකයක්  විය යුතුය. ‘අපේ ආර්ථිකය’ යනු විටෙක බලය සහ තවත් විටෙක අන්‍යෝන්‍යත්වය (mutuality) නිරූපණය කරමින් සියල්ලන්ගේ ම අන්‍යෝන්‍ය සබඳකම්වල ප්‍රතිඵලයක් ලෙස අන්‍යෝන්‍ය සහයෝගිතාව මත ගොඩනැඟෙන දෙයකි.  දෙවැනි කාරණය වන්නේ ඇත්ත වසයෙන් ම අප වඩා හොඳින් කටයුතු කරන්නේ එක් ව සහ එකට වැඩ කරන විට බව යි. එහෙත් සම්ප්‍රදායික ආර්ථික විද්‍යාවට අනුව ආර්ථිකය දියුණු වීමට මූලික හේතුව තරඟකාරී ආත්මාර්ථකාමිත්වය යි.  ඒ වෙනුවට අප විශ්වාස කළ යුත්තේ අපේ යහපැවැත්ම රඳා පවතින්නේ අප අතර ඇති අන්‍යෝන්‍ය සහයෝගිතාව ශක්තිමත් වන ප්‍රමාණය මත බව ය. තෙවැනි කාරණය වන්නේ පවතින ක්‍රමය ඇතැම් අයට බෙහෙවින් වාසිදායක නිසා එය වෙනස් කිරීමට නම් සමාජ පරිවර්තනයක් පතන ප්‍රබල මහජන ව්‍යාපාරයක් අත්‍යවශ්‍ය බව යි. මීට වඩා යහපත් කිසිවෙකු පිට මං නො කරන ආර්ථික ක්‍රමයක් හඳුන්වා දීමට හැකි වන්නේ දේශපාලන සහ ආර්ථික සහයෝගිතාව සඳහා කටයුතු කිරීමට එකාවන් ව ඒකරාශි වීමෙන් පමණි.

කෙසේ වෙතත් මුළුමනින් ම පොදු අංශය පාදක කරගත් ආර්ථික විසඳුම් ඉදිරිපත් කිරීම වර්තමාන නවලිබරල්වාදී ආර්ථික අර්බුදයට හොඳ ප්‍රතිකාරයක් නො වේ. ප්‍රගතිශීලි යැයි හැඳින්වුණු එවැනි ඊනියා රාජ්‍යය කේන්ද්‍රීය ආර්ථික එළඹුම්වල අසාර්ථකත්වය අප අත් දැක තිබේ. රැකියා අවස්ථා සුලබ කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, පහසු මිල නිවාස ක්‍රම ඇති කිරීම, වර්ගභේදය, ලිංගභේදය. කුලභේදය සහ ආගම්භේදය වැනි බෙදීම් අනුව අඩුසැලකිලිවලට ලක් වීම වැළැක්වීම වැනි දේවල් රාජ්‍යයේ මැදිහත් වීම මත කළ යුතු ය. එහෙත් රාජ්‍ය කේන්ද්‍රීය සමාජවාදයේ අසාර්ථක වීම, සුභසාධන ප්‍රයත්නවල විකෘති වීම් සහ සීමිත කම් නිසා රජය මැදිහත් වූ ආකාරය ගැන වැඩි දෙනෙකු තුළ ප්‍රසාදයක් නොවීය.  අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු ආයෝජන, පරිසර ආරක්ෂාව වැනි මාර්ග මඟින් ආර්ථික ප්‍රගතියට රජය වේදිකාවක් සපයන නමුත් අපේ එදිනෙදා ක්‍රියාකාරකම් හා ගනුදෙනු වැඩි වසයෙන් ම පවතින්නේ පුද්ගලික අංශය සමඟ ය. ඒ සම්බන්ධයෙන් නම් අපට මීට වඩා හොඳ පොදු යහපත මුල්කරගත් ස්වාධීන නියාමන ක්‍රම අත්‍යාවශ්‍ය බව පැහැදිලි ය. අපට අවශ්‍ය වෙන්නේ PPP හෙවත් ‘පබ්ලික් ප්‍රයිවේට් පාට්නර්ෂිප්’  යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන රජය සහ පුද්ගලික අංශයේ සහයෝගිතාවකට වඩා රජය -මහජනතාව-පුද්ගලික අංශය යන ත්‍රෛපාර්ශ්වික සහයෝගිතාවකි. එහි දී රජය සෘජු ව ජනතාව සමඟ හවුල්කරුවන් විය යුතුය.

අපට මීට වඩා හොඳ ව්‍යාපාරික හා පාරිභෝගික චර්යාවක් අවශ්‍ය ය. ඒ සඳහා ද ප්‍රතිමාන තිබිය යුතු ය. හුදෙක් රජය දෙස බලා සිටිනවාට වඩා එකිනෙකා කෙරෙහි විශ්වාසය ඇති කර ගැනීමටත් එකම අරමුණකට අනුව කටයුතු කිරීමටත් අපට ද සමාජයේ ම කොටසක් වන  ව්‍යාපාරිකයින්ට ද හැකි විය යුතුය. ප්‍රමිති නියාමනයට  රජයේ මැදිහත් වීම  අවශ්‍යය ය. එමෙන් ම ධනය නැවත බෙදී යාම සහතික කිරීම පිණිස  හුදු අවම වැටුපකට වඩා ජීවත් වීමට සරිලන වැටුපක් නිර්දේශ කොට ක්‍රියාත්මක කිරීම,  සැමට මූලික ආදායමක් (Universal Basic Income) සහතික කිරීම, පොදු සේවා පවත්වාගෙන යාම රජයේ කාර්ය අතර ප්‍රමුඛ දේවල් ය. එහෙත් ඒවා නිසි ලෙස ඉටු කර ගත හැක්කේ ඒ සඳහා නිරන්තරයෙන් මැදිහත් විය හැකි සංවිචාරණීය සමාජ ව්‍යාපාර පවත්වාගෙන යා හැකි ප්‍රමාණයට අනුව ය. මේ හැර ජිවත් වීමට සරිලන වැටුප් හා සේවා කොන්දේසි සඳහා වෘත්තීය සමිති සන්ධාන සහ “සාධාරණ හා සදාචාරීය වෙළඳාම” සඳහා උද්ඝෝෂණ ව්‍යාපාර ජාතික මට්ටමෙන් පමණක් නො ව පාර ජාතික මට්ටමෙන් ද විමධ්‍යගත බිම් මට්ටමෙන් ද ඇති කළ යුතු ය.

ඒ හැර කළ හැක්කේ කුමක් දැයි  පෙන්වීමට අධ්‍යක්ෂ මණ්ඩල වලට ඵලදායී ලෙස  සේවක නියෝජිතයන් පත් කිරීම, ධීවර හා පශු සම්පත් ආදී විවිධ කර්මාන්ත සමුපකාර, ප්‍රජා ඉඩම් හා යාය සමුපකාර වැනි දේවල් පදනම කරගත් කාර්යක්ෂම ව්‍යවසාය හඳුන්වා දිය හැකිය. උදාහරණයක් වසයෙන් ගොවියන්ගේ කුඹුරු හිමිකම් මත කොටස් අයිතිය ලැබෙන යාය සමූපකාර ආයෝජන මඟින් කෘෂිකර්මය හා ආහාර සැපයුම නවීකරණය හා කාර්යක්ෂම කිරීම සහ පරිසරයේ රසායනික දූෂණය වැළැක්වීම සඳහා දියුණු තාක්ෂණය යොදා ගත හැකිය. ප්‍රජා සංවිධාන ඇති කළ යුත්තේ හුදෙක් පැරණි ක්‍රම වලට විරුද්ධ වීම සඳහා පමණක් නොවේ නව ක්‍රම ද හඳුන්වා දීම සඳහා ය.

විකල්ප ආර්ථික රාමුවක් බිහි කිරීමේ දී මිනිසුන් යනු හුදෙක් තනි තනි පුද්ගලයන් පමණක් නො ව පුළුල් සමාජ හා ප්‍රජා සමූහවල සාමාජිකයෝ ය යන අවබෝධය වැදගත් ය. එමෙන් ම මිනිසුන් අභිප්‍රේරණය වෙන්නේ හුදෙක් ආත්මාර්ථකාමිත්වය නිසා ම පමණක් නො ව අනෙකුත් අය කෙරෙහි දක්වන සහානුකම්පාව සහ සිය සමාජයට අයත් වීම පිළිබඳ අභිමානීය පිළිගැනීම ද නිසා බව අවබෝධ කර ගත යුතු ය. ඒ අනුව අපි අපේ ආර්ථික ප්‍රවර්ධනය සැලසුම් කළ යුත්තේ ස්වාමිත්වකාමි පුද්ගලභාවය හා තරඟකාරිත්වය මත නො ව පොදු අයිතිය සහ පොදු අනාගතයක හවුල්කාරයන් ලෙස ය.  

නව පරපුරකට අයත් සැලැකිය යුතු ආර්ථික විද්‍යාඥයින් සංඛ්‍යාවක් පශ්චාත් ධනවාදී අනාගතයක් පිළිබඳ ව අවධානය යොමු කර තිබේ. එය තුළ ව්‍යාපාරවල ප්‍රජා හා සේවක අයිතිය පුළුල් වෙන බවත්  ආර්ථික තීරණ ගැනීම සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය අනුව සිදු වන බවත්, ලාබය වෙනුවට සමාජ සුභසාධනය ප්‍රමුඛ වෙන බවත් අපේ බලාපොරොත්තුව යි.  ධනවාදී රේඛීය ආර්ථිකයේ සීමා අතික්‍රමණය කරන පුනර්ජනනීය චක්‍රිය ආර්ථිකයක් සහ හුදු තරඟය වෙනුවට සහයෝගිතාව මුල්කරගත් ව්‍යවසායකත්වයක් ඇති කර ගත යුතුය.

මෙහි දී පවතින ආර්ථිකය තුළ ද යම් පමණකට සහයෝගිතාවක් ඇති බව අප අමතක නො කල යුතු ය. ඒ පිළිබඳ හොඳම උදාහරණය කිසිදු වැටුපක් නො ලබන ගෘහිණියන් විසින් සපයන ගෘහස්ථ සේවාවන් ය. ඊට ළමයින් හදා වඩා ගැනීම, මහල්ලන් සහ ආබාධිතයන් රැක බලා ගැනීම, ඉවුම් පිහුම් ඇතුළු අනෙක් බොහෝ කටයුතු ද  ඇතුළත් ය. මෙය ඉතා ගැඹුරු මට්ටමේ අන්‍යෝන්‍යතාව (mutuality) කි. එහෙත් එම සහයෝගිතාව කිසිවෙකුගේ අවධානයට හා ඇගයුමට ලක් නො වී සිදු වෙමින් පවතී. මෙකී අන්‍යෝන්‍යතාව ජීවලෝකය පුරා ම දක්නට ලැබෙන මූලධර්මයකි. මීමැස්සෙකු පැණි උරමින් මලින් මලට යන විට තමන්ට අවශ්‍ය පැණි ලබා ගන්නා අතරම මල් පරාගනය කිරීමෙන් ගෙඩි හට ගැනීමට උදව් කරයි. සහරක්ෂණය හෙවත් අන්‍යෝන්‍යතාව යනුවෙන් හැඳින්වෙන්නේ එයයි. ඒ  වැදගත් අන්‍යෝන්‍යතාව අප බොහෝ විට නො දකින්නේ නවලිබරල්වාදය විසින් ප්‍රවර්ධනය කරන ලද ආත්මාර්ථකාමි ආර්ථික පුද්ගලයා සහ නිදහස් වෙළඳපොළ පිළිබඳ මිරිඟුව නිසා ය. අන්‍යෝන්‍යතාව ඇත්තේ ගෘහස්ථ කටයුතුවල පමණක් නො වේ. සමාජ කටයුතු යනුවෙන් අප හඳුන්වන බොහෝ දේවල්වලට පදනම වන්නේ එකී අන්‍යෝන්‍යතාව යි.

සංවර්ධනයේ මූලික අරමුණ ආර්ථික වර්ධනය යැයි බොහෝ දේශපාලනඥයන් සැලකූ බැවින් දළ දේශීය නිෂ්පාදිතයෙන් නිරූපණය කරන ඒක පුද්ගල ආදායමේ වැඩි වීම එහි සංවර්ධන දර්ශකය ලෙස නිර්ණය කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වී තිබේ. ආදායම් බෙදී යන ආකාරය ගැන කිසිදු  සැලකිල්ලක් නො දක්වන  දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ ඒ මිනුම රට තුළ ඇති  දරිද්‍රතාව පිළිබඳ ඇත්ත තත්වය මෙන් ම  අධික ආදායම් විෂමතාව නිසා උද්ගත ව ඇති ඌනතා ද සඟවන අන්දම අප මීට පෙර සවිස්තර ව සාකච්ඡා කර ඇත්තෙමු. එබැවින් රටක මානව සංවර්ධනය ඇගයීමේ දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණාත්මක වර්ධනය මත ගණනය කෙරෙන ඒක පුද්ගල ආදායමේ වැඩි වීම එතරම් වැඩකට ගත හැකි මිනුමක් නො වේ. වැඩකට නො මැති වා පමණක් නො ව එය අධික විෂමතා සහ දුප්පත්කම සහිත සමාජවලට ඉහළ ලකුණු ද ලබා දෙයි. උදාහරණයක් ලෙස වර්ණභේදවාදය නිසා එකල දකුණු අප්‍රිකාවේ පැවති උග්‍ර සමාජ විෂමතා නො තකා ආර්ථිකය ගැන ප්‍රශස්ති ගැයීමට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණාත්මක වර්ධනය සුළුතර සුදු ජාතික ආණ්ඩුවට උපයෝගි කර ගත්තේ ය. දළ දේශීය නිෂ්පාදිතය අනුව සංවර්ධනය මැනීම ජීවන තත්වය පිළිබඳ අනෙකුත් මාන එනම් සෞඛ්‍ය, අධ්‍යාපනය, ස්ත්‍රීන්ගේ තත්වය, දේශපාලන සහභාගිත්වය, ජනවාර්ගික සාමය වැනි දේවල් සැලකිල්ලට නො ගනී. ආදායම් බෙදී යන ආකාරය පිළිබිඹු කෙරෙන දත්ත ඒ සමඟ සැපයීමට කටයුතු කළ ද අර කී බහුමාන සංවර්ධන අවශ්‍යතා ඉන් පිළිබිඹු නො වේ.

ඒ නිසා ආර්ථික වර්ධනය හා දරිද්‍රතාව නිර්ණය කිරීමෙන් පටන් ගැනීම වෙනුවට ජන සමාජයේ ප්‍රතිමාන නිර්ණය කිරීමේ හැකියාව අප විමසිය යුත්තේ අපේ සමාජයෙ තුළ “පොහොසත් ජීවිතයක්”  යනුවෙන් හැදින්විය හැක්කේ කෙබඳු ප්‍රතිමානවලින් නිරූපණය වන ජීවිතයක් ද යන්න විමසීමෙනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අඩංගු කළ යුතුයැ’යි අප 2017 දී දායක වූ යෝජනාවට අනුව රාජ්‍යයේ හා ව්‍යවස්ථාපිත ආයතනවල කේන්ද්‍රීය කාර්යයක් විය යුත්තේ  කරුණා, මෙත්තා, මුදිතා, උපේක්ඛා සහ අහිංසා යන ශික්ෂා පංච ශික්ෂා මත පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ස්ථාපිත කොට පවත්වා ගැනීම පිණිස ‘සියලු පුරවැසියන්ට ඔවුන් සතු සිවිල්, දේශපාලනික, සමාජීය, ආර්ථීක, සංස්කෘතික, පාරිසරික සහ අධ්‍යාපනික අයිතීන් පූර්ණ ලෙස භුක්ති විඳීමේ සම අවස්ථාවන් සහතික කිරීම’ යි.

22 වන පරිච්ඡේදයෙන් අප සාකච්ඡාවට ලක් කළ ඩෝනට් ආර්ථික මොඩලය හඳුන්වා දුන් කේට් රේවර්ත් යෝජනා කරන අන්දමට අප පළමුවෙන් ම කළ යුත්තේ අපේ ගෝල් කණුව හෙවත් අරමුණ වෙනස් කිරීමයි. ඇය පෙන්වා දුන් පරිදි වසර 70ක් තිස්සේ ආර්ථික විද්‍යාඥයෝ ප්‍රගතියේ දර්ශකය ලෙස දළ දේශීය නිෂ්පාදනයේ වර්ධන අනුපාතයට ලොල් ව සිටියහ. ඒ ලොල් වීම ආදායම සහ වත්කම් සම්බන්ධ අත්‍යන්ත විෂමතා සාධාරණීකරණය කිරීමටත් පෙර නො වූ විරු ලෙස ජීව ලෝකය විනාශ කිරීමටත් හේතු විය. කේට් අවධාරණය කරන පරිදි ඒ වෙනුවට විසි එක් වැනි සියවස සඳහා අපට අවශ්‍ය කරන්නේ ඊට වඩා විපුල අරමුණක් වූ අපට ජීවදානය දෙන පෘථිවි ග්‍රහයාගේ සාධනීය පාරිසරික සීමා මායිම් තුළ හැම පුද්ගලයෙකුගේ ම මානව අයිතිවාසිකම් සාක්ෂාත් කිරීමයි.

අමාර්ත්‍ය සෙන් පෙන්වා දුන් පරිදි ඇතැම් පුද්ගලයන්ට අනෙක් පුද්ගලයන්ට වඩා වරප්‍රසාද හිමි ව ඇති බැවින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ නිරත වීමට ඔවුන්ට වැඩි අවකාශයක් තිබෙන බව රහසක් නො වේ. එහෙත් “එවැනි අසමානකම් සමතුලිත කිරීමට හැකි පරිපූර්ණ ආයතන ගොඩනගන තෙක් අපට බලා සිටිය නො හැකිය. ප්‍රජාතන්ත්‍රවාදයේ සාර්ථකත්වය යනු හුදෙක් අපට සිතිය හැකි පරිපූර්ණ ම ආයතන ව්‍යුහය ලබා ගැනීම නො වේ. ප්‍රජාතන්ත්‍රවාදයේ සාර්ථකත්වය නිසැක ලෙස ම රඳා පවතින්නේ අපේ සැබෑ චර්යා පිළිවෙළ සහ අපේ සමාජ හා දේශපාලන අන්තර් ක්‍රියාකාරිත්වය මතය. නො එසේ ව එය මුළුමනින් ම ආයතනික ධර්මිෂ්ටකම මත පමණක් රඳා පවතින දෙයක් නො වේ.  අනෙක් සියලු ආයතන මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ද රඳා පවතින්නේ  යුක්තියුක්ත අවකාශය උපයෝගි කර ගන්නා මිනිස් කාරකත්වයේ (Human Agency) දැනුවත් ක්‍රියා මතය.” [10] යනුවෙන් අමාත්‍ය සෙන් සිය Idea of Justice කෘතියේ කළ සඳහන අප මේ කෘතියෙන් ඉදිරිපත් කළ සමස්ත කතිකාව හකුළුවා දක්වන ප්‍රකාශයක් බඳුය. කිසියම් නියෝජිත කණ්ඩායමකට බලය අත්පත් කර දීමට වැඩ කරන අන්තේවාසිකයන් පිරිසක් වීමේ සම්ප්‍රදායක දේශපාලන සුසමාදර්ශය ඉවත ලා අප කළ යුත්තේ සියල්ලන්ට ම යුක්තිය අත්පත් කර ගැනීම අරමුණ කරගත් නිරන්තර ව ගොඩ නැගෙන හා නිරන්තර ව වැඩ කරන විවෘත බහුජන ව්‍යාපාරයක් ගොඩ නැගීමයි. එය බහුජන සංවිචාරණය මුල් කර ගොඩ නැගිය යුත්තක් මෙන් ම බහුජන සංවිචාරණය පදනම් කර ගෙන පවත්වා ගත යුත්තකි.

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

“ආර්ථික චින්තනයේ සීමා” නමැති පරිච්ඡේදය ද කියවා බලන්න


[1] Allexander Larry (2011) What are constitutions and what should they do ? in What Should Constitutions Do? Paul Ellen Frankel (eds), Cambridge University Press. p.12

[2] සෙල්වි තිරුචන්ද්‍රන්, කුසල් පෙරේරා, ඇන්ටන් මාකස්, එම්.සී.එම් ඉක්බාල්, සුනේත්‍රා රාජකරුණානායක, විජයානන්ද ජයවීර, ආචාර්ය නිශාන් ද මැල්, ජීවනි කාරියවසම්, විජය ජයතිලක, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, පරාක්‍රම නිරිඇල්ල, ආචාර්ය එච්. දොන් සුමනරත්න, ආචාර්ය පුෂ්පා රම්ලනි, ලලිත් අබේසිංහ සහ ක්‍රිෂාන් සිරිවර්ධන එම යෝජනාවට අත්සන් කර තිබූ අයයි.

[3] Beau Breslin, From Words to Worlds: Exploring Constitutional Functionality (Baltimore: MD, The Johns Hopkins University Press, 2009), p. 50.

[4] Levinson, Stanford (2011) Do Constitutions Have a Point? in in What Should Constitutions Do?  Paul Ellen Frankel (eds), Cambridge University Press. p.164

[5] Allexander, Larry (2011) What are constitutions and what should they do ? in What Should Constitutions Do? Paul Ellen Frankel (eds), Cambridge University Press. p.1

[6] Galston, William A (2011) Pluralist Constitutionalism, in What Should Constitutions Do? Paul Ellen Frankel (eds), Cambridge University Press. p.238

[7]  James Madison, Federalist No. 51, in Alexander Hamilton, James Madison, and John Jay, The Federalist Papers, ed. Clinton Rossiter (New York: New American Library, 1961), 322.

[8] උදා: ඇමෙරිකානු කලු ජාතිකයන්ට සමානාත්මතා අයිතිය දිනා ගැනීමට නිදහස ලැබී වසර 170ක් පමණ අරගල කිරීමට සිදුවිය. ඇමෙරිකානු ස්ත්‍රීන්ට ඡන්ද බලය ලැබීමට 1920 දී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදුවන තෙක් බලා සිටීමට සිදුවිය.

[9] Benner, Chris and Pastor, Manuel (2021), Solidarity Economics, Cambridge: Polity Press, p.3

[10] Sen. Amartya (2009) The Idea of Justice (London: Allen Lane), p’ 354

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: