© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

අද පවතින ප්‍රජාතන්ත්‍රවාදී යැයි හඳුන්වා ගන්නා ආණ්ඩුක්‍රම තුළ මහජනයාගේ ක්‍රියාකාරී සහභාගිත්වය ඔවුන් වෙත ඉදිරිපත් කරන අතළොස්සක් වූ අපේක්ෂකයන් අතරෙන් වාරානුකූල ව නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට පමණක් සීමා වී ඇති බව අප දනිමු. මැතිවරණ ක්‍රමවල අසාර්ථක භාවයට තුඩු දෙන හේතු අතර පක්ෂ මඟින් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේ ක්‍රමයේ දුර්වලතා, මැතිවරණ සඳහා මුදල් ලබාගැනීමේ දූෂිත ක්‍රම සහ පක්ෂග්‍රාහී ජනමාධ්‍ය ආවරණය ප්‍රධාන වන බව අපි මුල් පරිච්ඡේදයේ දී සාකච්ඡා කළෙමු. බලය අත්පත් කර ගැනීම පාදක කරගත් දේශපාලන පංතියෙන් පැමිණෙන මේ නියෝජිතයන් විසින් බලය ග්‍රහණය කර ගනු ලැබීමෙන් පසු මහජනයා දර්ශනයෙන් අතුරුදහන් වී යයි. මහජනතාව යළි ඉස්මතු වීම අර නියෝජිතයන් සහ ඔවුන්ගේ අනුග්‍රාහක අර්ථපතියන් සලකන්නේ අනවශ්‍ය කන්කරච්චලයක් ලෙස ය. එවැනි හැම අවස්ථාවක දී ම තමන් වෙනුවෙන් කටයුතු කිරීමට සිය නියෝජිතයන්ට වරය දී ඇති බව මහජනතාවට මතක් කිරීමට දේශපාලන පංතිය නො වළහා කටයුතු කරයි.
16 වෙනි සිය වසේ ඉතාලියේ විසූ දේශපාලන උපදේශකයෙකු වූ මැකියාවෙල්ලි විසින් පුළුල් ව නිර්වචනය කර ඇති අන්දමට ‘දේශපාලනය යනු බොරු කීමේ පරමාධිකාරී කලාවකි’ (“a sovereign art of lying”).[1] ඉටු කළ නො හැකි බොරු පොරොන්දු දීමට හැකි වීම බලය අත්පත් කර ගැනීමේ දේශපාලනය සඳහා අත්‍යවශ්‍ය දෙයක් ලෙස බොහෝ දේශපාලනඥයන් විසින් සලකනු ලැබීමෙන් එය කදිමට නිරූපණය වෙයි. එහෙත් දේශපාලනය යනු බොරු කීමේ රාජකීය කලාවක් නො ව සත්‍ය පිළිවෙතක් (a truth procedure) අනුගමනය කරන සදාචාරය, දයාව හා පොදු යහපත මුල්කරගත් සජ්ජන ක්‍රියාන්විතයක් විය යුතු ය. කොටින් ම ඉන් අදහස් වන්නේ දේශපාලනය යනු ඓන්ද්‍රීය ලෙස ම යුක්තිය පතා කරන අරගලයක් විය යුතු ය යන්නයි.
ෆ්‍රැන්සිස් ෆකුයාමා පෙන්වා දෙන අන්දමට සියලු සමාජ සඳහා ප්‍රායෝගික ව මෙන් ම සදාචාරීය ව ද අවශ්‍ය වන්නේ රජය, නීතිය සහ වග වීම (state, law and accountability) යන සංයුක්ත සාධක තුන සමබර ව පවත්වා ගෙන යා හැකි දේශපාලන ක්‍රමයකි.[2] නීතියේ ආධිපත්‍ය සහ වග වීම විශේෂයෙන් අවශ්‍ය වන්නේ රජය අත්තනෝමතික වීමෙන් වැළැක්වීමට යි. එමෙන් ම සමාජයේ ආරක්ෂාව ආභ්‍යන්තරික ව හා බාහිර ව සහතික කිරීමට සහ පොදුවේ එකඟ වූ නීති ඵලදායක ව ක්‍රියාත්මක කිරීමට තරම් ප්‍රමාණවත් බලයක් ද හැම සමාජයකට ම තිබිය යුතු ය. ඒ සමඟ ම තරාතිරම නො තකා සියලු පුරවැසියන් සම්බන්ධයෙන් නීතිය එක සේ ක්‍රියාත්මක කිරීම පිණිස එම බලය සමාජය විසින් නීත්‍යනුකූල ව නියාමනය කරනු ලැබිය යුතු ය. ප්‍රභු පෙළැන්තියට හා ආණ්ඩුව කරවන අයට පමණක් සීමා නො වී රජය පුළුල් ප්‍රජාවගේ ඕනෑඑපාකම්වලට ද නිබඳ ව සවන් දිය යුතු ය. එමෙන් ම විවිධ දේශපාලන මතවාද, ආගමික හා ජනවාර්ගික බෙදුම්වලින් සමන්විත බහුත්වවාදී සමාජයක (pluralistic society) අනිවාර්යයෙන් ම පැන නැගිය හැකි ගැටුම් සාමකාමී ලෙස විසඳා ගත හැකි පිළිගත් ක්‍රමවේදයක් ද සමාජය විසින් පවත්වා ගෙන යා යුතු ය.
රජය, නීතිය සහ වගවීම යන ඉහත කී මූලික සාධක තුන ඵලදායී ලෙස උපයෝගී කර ගත හැකි වන්නේ ඒ සම්බන්ධ කටයුතු ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීමට අත්‍යවශ්‍ය වන ආයතන පද්ධතිය ගොඩ නගා ගැනීමෙනි. එම පද්ධතියට අයත් ආයතනවල කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීම සියලු මානව සමාජවල මූලික අවශ්‍යතාවක් බව ෆකුයාමා පවසයි. එම අවශ්‍යතාව බටහිර සංස්කෘතිය හෝ වෙනත් නිශ්චිත සංස්කෘතික කණ්ඩායමක් නියෝජනය කරන හෝ ඒ අනුව වෙනස් වන දෙයක් නො වේ. ඔහුට අනුව හොඳට හෝ නරකට හෝ නූතන ‘අපුද්ගල රජය’ (impersonal state) හැරෙන විට පොදු යහපත, සුපිළිවෙළ(order) සහ ආරක්ෂාව සහතික කරන ප්‍රභවය බවට පත් විය හැකි වෙනත් විකල්පයක් දැනට අපට නැත. නීතියේ ආධිපත්‍ය ආර්ථික කටයුතු සඳහා ද තීරණාත්මක ලෙස අවශ්‍ය කරන සාධකයකි. දේපළ අයිතිය සහ කොන්ත්‍රාත්තු සවිබල ගැන්වීම ආදිය පිළිබඳ නිසි නීති නොමැති ව දැන හඳුනන කුඩා කවයකට පමණක් සිය විශ්වාසය සීමා කර ගැනීම මඟින් නිෂ්පාදකයින්ට හා ව්‍යාපාරිකයන්ට තම කටයුතු සාර්ථක කර ගැනීම අසීරු ය. ඒ නිසා නීතියේ ආධිපත්‍ය යනු සමාජයක පැවැත්මට අවශ්‍ය නිපැයුම් කටයුතු සහ අව්‍යාජ ව්‍යාපාරවල සාර්ථකත්වයට අත්‍යවශ්‍ය සාධකයකි.
කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රීය සහභාගිත්වය යනු හුදෙක් නින්දා ජනක, දූෂිත හෝ දුෂ්ට ආණ්ඩුවක් බිහි වීම වැළැක්වීමට පමණක් සීමා වූ ක්‍රියාන්විතයක් නො වේ. එයට පුද්ගලයාගේ අනුල්ලංඝනීය අයිතීන් නීතිය මඟින් පූජනීයත්වයට පත්කර තිබෙනවා ද යන කාරණය ද වැදගත් ය. ඒ මඟින් කාරකත්වය (agency) සතු අය වසයෙන් මිනිසුන්ට තිබිය යුතු අභිමානයට නිසර්ග වටිනාකමක් ද ලැබී තිබේ ද යන කාරණය ද එමෙන් ම වැදගත් ය. කාරකත්වය යනු සමාජ විද්‍යාවේ එන යෙදුමකි. කාරකත්වය යන්නෙන් අදහස් වන්නේ නිදහසේ තෝරා ගැනීම් කිරීමට සහ එම තෝරා ගැනීම් අනුව යුක්ති යුක්ත ව කටයුතු කිරීමට පුද්ගලයෙකුට ඇති හැකියාවයි. ඒ නිසා දේශපාලන කාරකත්වය යනු කෙනෙකුගේ ජීවිතය පොහොසත් සහ පිරිපුන් කරන නිදහසේ මූලික පැතිකඩක් ලෙස අත්පත් කර ගත යුතු හැකියාවකි. කොටින් ම කාරකත්වය හිමි වීම ප්‍රගතියේ මූලික දර්ශකයකි. එහෙත් අනුග්‍රාහක සන්තෝසම් මත පැවැත්වෙන දූෂිත මැතිවරණ ක්‍රම මගින් ස්වායත්ත පුද්ගල කාරකත්වයක් සාක්ෂාත් කර ගත නො හැකිය. එය සාක්ෂාත් කර ගත හැකි වන්නේ සැමට යුක්තිය අත්පත් කර ගැනීම දේශපාලනයේ අරමුණ බවට පත් වූ විට ය.
මෙය මනෝරාජික සිතිවිල්ලක් නො වේ. යුක්තිය පදනම් කර ගත් දේශපාලනය යනු ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමුච්චයකි. එය සහභාගි වන්නන්, ක්‍රියාකාරීන්, සංවිධාන සහ ජනප්‍රිය ව්‍යාපාර අවශ්‍ය වෙන නිරන්තර ක්‍රියාවලියකි. එකී ක්‍රියාකාරකම් මඟින් අදාළ ප්‍රජා සමූහය සත්‍ය වසයෙන් ම ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන අභිමතාර්ථ ඉතා පැහැදිලි ව නිරූපණය විය යුතු ය. අත්තනෝමතික අධිකාරයන්ට හෝ විසඳිය නො හැකි බෙදීම් සහ විෂමතාවල ග්‍රහණයට ප්‍රජා සමූහය තල්ලු කිරීම දේශපාලනයේ කාර්ය නො විය යුතුය. ඒ වෙනුවට සියල්ලන් විසින් භුක්ති විඳිය යුතු යුක්තිය පිළිබඳ ප්‍රමිති මත පදනම් ව ප්‍රගතියේ දිශානතිය තීරණය කිරීමේ වගකීම තමන් වෙත පවරා ගත් ප්‍රජා සමූහයක් බිහි කර ගැනීම දේශපාලනයේ අභිප්‍රාය විය යුතු ය.
එහෙත් වසර 70 කට අධික කාලයක් තිස්සේ ලාංකේය ප්‍රභූ දේශපාලනයේ අත්දැකීම වී ඇත්තේ මැකියාවෙල්ලි විසින් හුවා දැක් වූ පරිදි දේශපාලනය යනු බොරු කීමේ රාජකීය කලාවකි යන්නයි. ඒ අතර යුක්තිය පැතූ දේශපාලන අරගල ද ඉඳහිට ඉස්මතු වූ අන්දම අප අත්දැක තිබේ.
උදාහරණයක් ලෙස අපේ හා සමීප පරම්පරාවේ තරුණ තරුණියෝ තම තම නැන පමණින් වටහා ගත් දේශපාලන මතවාදවලට අනුව යුක්තිගරුක යහපත් සමාජයක් ගොඩනගා ගැනීමේ අභිලාෂයෙන් දකුණේ කැරලි දෙකක් ද උතුරේ කැරැල්ලක් ද ගැසුවෝ ය. ඔවුන් අතරින් සැලකිය යුතු පිරිසක් මරා දමනු ලැබූහ. ඒ කැරලි මර්දනයට යොදා ගත් අපේ ම තවත් තරුණ පිරිසක් හමුදා ඇඳුමින් ම මියගියහ. දැන් මේ සියලු දෙනා අභිවන්දනය කිරීමට ඒ ඒ පාර්ශව විසින් විප්ලවවාදීන්, මහ විරුවන්, රණවිරුවන් ආදී අභිධාන භාවිත කරන ලෙස ජීවත් ව සිටින අපට බල කළ ද සරල සත්‍ය නම් යෞවන වියේ දී මරණයට පත් වූ ඒ සියලු තරුණ තරුණියන් තමන් සතු ව තිබූ එක ම මනුෂ්‍යාත්මභාවය ප්‍රේම කිරීමකට, ප්‍රේමයට ලක් වීමකට, දරු සුරතල් බැලීමකට, දරුමුනුපුරන්ගේ ආදරයට ලක් වීමකට ද ඇතුළත් ව මහලු විය දක්වා පරිපූර්ණ කර ගැනීමකට ඉඩ නො දී ඔවුන්ට අකල් මරණයක් හිමි කර දීම ය.
දියුණුව, ප්‍රගතිය යනු හුදෙක් මනෝ මූලික මතිභ්‍රමයක් බව කෙනෙකුට පැවසිය හැකි ය. තවකෙක් එය සංස්කෘතියට සාපේක්ෂ ව තේරුම් ගත යුතු යැ’යි කියනු ඇත. බොහෝ දේශපාලනඥයන්ට අවිවාදයෙන් පිළිගැනීමට සිදු වන පරිදි ආර්ථික විද්‍යාඥයෝ එය දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය, ඒක පුද්ගල ආදායමේ වැඩි වීම යනාදී වසයෙන් විස්තර කරනු ඇත. මෙවැනි නොයෙකුත් සංකීර්ණ වැල්වටාරම් නිසා ප්‍රගතිය කුමක්දැ’යි යන ප්‍රශ්නයට පිළිතුරු දීම අසීරු දෙයකැ’යි සාමාන්‍ය ජනයාට සිතෙන්නට පුළුවන. එහෙත් හාවඩ් සරසවියේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීවන් පින්කර් සිය Enlightenment Now: The case for Reason, Science, Humanism and Progress නම් කෘතියෙන් ප්‍රකාශ කරන අන්දමට ප්‍රගතිය යනු කුමක් ද යන්න පිළිතුරු දීමට පහසු තම ප්‍රශ්නයයි.
පින්කර්ට අනුව ජීවත් වීම මරණයට පත් වීමට වඩා හොඳ බවට බොහෝ දෙනෙකු එකඟ වනු ඇත. එමෙන් ම රෝගී වීමට වඩා නිරෝගී වීම හොඳ බවත්, සාගින්නේ සිටීමට වඩා කුසට අහරක් ලැබීම හොඳ බවත්, හොඳ නිවසක් නරක නිවහනකට වඩා හොඳ බවත්, දුප්පත් වීමට වඩා තමන්ගේ සහ තම පවුලේ අවශ්‍යතාවලට සරිලන ආදායමක් ලැබීම හොඳ බවත්, අනතුරුවලට මූණ දීමට වඩා ආරක්ෂිත ව විසීම හොඳ බවත් පින්කර් පෙන්වා දෙයි. ඒ ක්‍රමය වෙනත් බොහෝ ක්ෂේත්‍රවලට ආදේශ කිරීමෙන් පින්කර් කියන අන්දමට ප්‍රගතිය යනු කුමක් ද යන්න පිළිබඳ සෘජු මතයක් ඇති කර ගැනීම අපහසු නැත.
ඒ නිසා පින්කර් ට අනුව එකී හොඳ දේවල් විඳ ගැනීමට අපට ඇති හැකියාව අනුක්‍රමයෙන් වැඩි වී ඇත්නම් එයට ප්‍රගතිය, දියුණුව යැයි කිව හැකි ය. එහෙත් මේ හොඳ දේවල්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඒ සඳහා යොදා ගත හැකි භෞතික සම්පත් මත තීරණය වන බැවින් එම සම්පත් ප්‍රතිජනනය කිරීමක් සිදු නො වේ නම් එවැනි ප්‍රගතියක් පවා අසීමිත විය නො හැකි ය.
පින්කර් සඳහන් කළ හොඳ දේවල්වල අනුක්‍රමික වැඩි වීම සමාජීය දියුණුවක් ලෙස සැලකිය හැකි වන්නේ ඒ හොඳ දේවල් ලබා ගැනීමට හා විඳ ගැනීමට ජන සමාජය තුළ ජීවත් වන සැම දෙනෙකුට ම කොතෙක් දුරට කොතෙක් කලක් අවකාශය හා හැකියාව ඇත් ද යන කරුණ මතයි. යුක්තිය මත පදනම් වන දේශපාලන සුසමාදර්ශයක මූලික ලක්ෂණයක් විය යුත්තේ එකී හොඳ දේවල් විඳ ගැනීමේ හැකියාව විෂමතාවකින් තොර ව හැම රටවැසියෙකුට ම අත්පත් කර දීමට කටයුතු කරන අතර එ් නිසා හායනය (depletion) විය හැකි සම්පත් තිරසාර කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමයි.
සිය විධි ක්‍රමය අනුව ප්‍රගතිය ලෙස නිර්ණය කරන හොඳ දේවලින් බොහෝමයක් මැන බැලිය හැකි දේවල් බව පින්කර් පෙන්වා දෙයි. උදාහරණයක් වසයෙන් 1950 දී පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 48 ක් වූ නමුත් අද එය අවුරුදු 71 දක්වා වැඩි වී තිබේ.
මේ කාලය තුළ ලෝකය පුරා බිලියන 2 කට වැඩි ජනතාවක් පළමු වතාවට සනීපාරක්ෂිත ජල සැපයුමක් සහ වැසිකිළි පහසුකම් ලබා ගැනීමට සමත් ව ඇත. මේ සියල්ල ම සිදුවී තිබෙන්නේ ලෝක ජනගහනය සියයට 40 කින් වැඩි වෙන අතරතුරේ දී බව පින්කර් අපට මතක් කරයි. එහෙත් ප්‍රගතිය පිළිබඳ පින්කර්ගේ විග්‍රහයේ ඇති මූලික අඩුපාඩුවක් නම් මේ සා ප්‍රගතියක් අත්පත් කර ගැනීමේ දී පෘථිවියට ගෙවීමට සිදු ව ඇති වන්දියේ ඵල විපාක වළක්වා ගැනීම පිණිස කටයුතු කිරීම ඒ ප්‍රගතිය විසින් මුළුමනින් ම නො සලකා හරිනු ලැබීමයි.
අපේ අතීතය කොතරම් අසුන්දර වුවද මෙතෙක් මානව වර්ගයා අනුගමනය කර ඇති මාර්ගය ඔස්සේ ඉදිරියට ගිය විට අනාගතය ප්‍රියජනක විය හැකි බව පින්කර් පවසයි. දුප්පත්කම තුරන් කිරීම, ආදායම් අසමානතාව, සාමය හා ආරක්ෂාව වැනි ක්ෂේත්‍රවල විසඳිය යුතු ප්‍රශ්න තිබුණ ද පෘථිවිය මත ජීවත් වන ජනගහනයේ ප්‍රමාණය සැලකූ විට ඉතිහාසය පුරා මිනිසුන් විසින් අත්පත් කර ගනු ලැබූ දියුණුවට වඩා අද පවතින තත්වය විශිෂ්ට බව පින්කර් තර්ක කරයි. පින්කර්ට අනුව නූතන ජීවන ක්‍රමය ඊට පෙර පැවති ජීවන තත්වයට වඩා කොහොමටත් හොඳ ය. තම තර්කය තහවුරු කිරීමට සෞඛ්‍ය, අධ්‍යාපනය, සුවපහසුව ඇතුළු විවිධ කේෂ්ත්‍ර සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කරන ප්‍රගතිය පිළිබඳ සංඛ්‍යාලේඛන සැබැවින් ම ඒත්තු යන සුලුය. එහෙත් අධ්‍යාපනය, ඖෂධ හා වෛද්‍ය ප්‍රතිකාර, පෝෂණය ආදිය සම්බන්ධයෙන් ඇති සමාජ විෂමතා පින්කර් ඉදිරිපත් කරන සර්ව සුභවාදී චිත්‍රය මගින් නිරූපණය නොවේ.
පින්කර් මේ හා සමාන තර්කයක් සිය Better Angels of Our Nature නම් කෘතියේ ප්‍රචණ්ඩත්වය අඩු වීම සම්බන්ධයෙන් ද ඉදිරිපත් කර තිබුණි. ඔහු ඉදිරිපත් කළ කරුනු වලට අනුව ඉපැරණි සමාජ වල පැවැති ගෝත්‍රික යුද්ධ හා සසඳන විට නූතන සමාජ වල ප්‍රචණ්ඩ ගැටුම් සැලැකිය යුතු ලෙස අඩු වී තිබේ. ඒ නිසා ප්‍රචණ්ඩත්වය අඩු වීම ප්‍රගතියේ දර්ශකයක් ලෙස සැලැකිය හැකිය. මෙහි දී වුව ද ප්‍රචණ්ඩත්වය පිළිබඳ පින්කර්ගේ නිර්ණය මුහුණට මුහුණ ලා කෙරෙන ගෝත්‍රික යුද්ධ මගින් නිරූපණය වන පමණට සීමාවේ. එහෙත් නූතන ප්‍රචණ්ඩත්වය ගුවනින් හෙලන බෝම්බ, කාලතුවක්කු, මිසයිල, ඩ්‍රෝන වැනි දුරස්ථ අවි මගින් කෙරෙන දහස් සංඛ්‍යාත ජනයා අනාථ කරවන සිදුවීම් ය. ඇෆ්ගනිස්තානය, සිරියාව, යේමනය, බුරුමය සහ යුක්‍රේනය ඒ සම්බන්ධ ඉතා සමීප උදාහරණයෝ ය. ඒ හැර සමාජ ප්‍රචණ්ඩත්වය පැත්තෙන් බැලුවොත් විරුද්ධවාදීන් මර්දනය කිරීම, ජන ගහනය විතැන්වීම්, වර්ණ භේදය, ආගමික හා වර්ගවාදී ප්‍රචණ්ඩත්වය පිළිබඳ දත්ත සලකා බැලූ විට ප්‍රචණ්ඩත්වයෙන් මිදීමේ ප්‍රගතිය පින්කර් කියන තරම් ම සුභවාදී නොවිය හැකිය.
ප්‍රගතිය පිළිබඳ පින්කර්ගේ එලඹුම අභියෝගයට ලක් කරන ඩේවිඩ් ග්‍රේබර් සහ ඩේවිඩ් වෙන්ග්‍රෝ පින්කර්ගේ සංඛ්‍යා ලේඛන තාර්කික වෙන්නේ ඒවා උකහා ගත් පදනම ද සලකා බැලුවොත් පමණක් බව අපට මතක් කරයි.[3] පින්කර් සංඛ්‍යා ලේඛන මඟින් තහවුරු කිරීමට තැත් කරන ප්‍රගතියේ පදනම බටහිර ශිෂ්ටාචාරය යැ’යි සැලකුව හොත් බටහිර ශිෂ්ටාචාරය සියල්ලන්ගේ ම ජීවිත (කලු මිනිසුන්ගේ සහ සිරියානු අනාථයන් ද ඇතුළත් ව) යහපත් බවට පත් කර ඇත් දැයි ග්‍රේබර් සහ වෙන්ග්‍රෝ ප්‍රශ්න කරති. අවසානයේ දී පින්කර්ගේ මතය මිනිසුන්ගේ සතුට මැනිය හැක්කේ කෙසේ ද යන අසීරු ප්‍රශ්නයට ලඝු වන බවත් එක ජීවන ක්‍රමයකට වඩා අනෙක් ජීවන ක්‍රමය පරිපූර්ණ, සංතුෂ්ඨිමත්, ප්‍රසන්න එකක් දැයි තීරණය කර හැකි හොඳම ක්‍රමය එක පුද්ගලයෙකුට ජීවන ක්‍රම දෙක ම අත්විඳ ගැනීමට ඉඩ සලසා දීම බවත් ග්‍රේබර් සහ වෙන්ග්‍රෝ යෝජනා කරති.
පින්කර් මෙහි දී නිවැරදි නම් අත්‍යන්ත දරිද්‍රතාවෙන් පෙළෙන්නේ යැ’යි සැලකිය හැකි ගෝත්‍රික සමාජයක රැකවරණය හා බටහිර ශිෂ්ටාචාරයේ සෞභාග්‍යමත් සුරක්ෂිත බව යන දෙක ම අත්විඳ ඇති තැනැත්තෙකු අනිවාර්යයෙන් ම බටහිර ශිෂ්ටාචාරයේ සුරක්ෂිත බව තෝරා ගත යුතු ය. ආර්ථික හා දේශපාලන සරණාගතයන් වසයෙන් දිවි පරදුවට තබා බටහිර රටවලට සංක්‍රමණය වීමට බොහෝ අය තැත් කරන්නේ ඒ නිසා විය හැකියැ’යි කෙනෙකුට තර්ක කළ හැකි ය. එහෙත් ඒ අතරම එසේ සංක්‍රමණිකයන් බවට පත්වන අය අතරින් බොහෝ දෙනෙකු කලක් ගත වන විට බටහිර ශිෂ්ටාචාරයට අධ්‍යාත්මිකව අනුගත වනවාට වඩා සිය නිජබිම්වල ජීවත් වන අය පරයා තම නිජබිම ගැන දේශප්‍රේමී බව පෙන්වීමට කැමති ඇයි ද යන ප්‍රශ්නයට ද පිළිගත හැකි පිළිතුරක් තිබිය යුතු ය.
කෙසේ වෙතත් ආනුභාවික දත්ත අනුව පින්කර්ගේ නිගමනය නිවැරදි නො වන බව ග්‍රෙබර් සහ වෙන්ග්‍රෝ පෙන්වා දෙයි. ඒ සඳහා ඔවුන් යොදා ගන්නා දත්ත අතර ඇමෙරිකාවේ ස්වදේශික ගෝත්‍රිකයන් අතර හැදී වැඩී නැවත බටහිර ශිෂ්ටාචාරයට අන්තර්ග්‍රහණය වීමට තැත් කළ අය පිළිබඳව දත්ත ඇතුළත් විය. සුදු ජාතිකයන් විසින් ගෝත්‍රික පවුල්වලින් පැහැර ගෙන ගිය ස්වදේශික දරුවන්ගේ මෙන් ම ගෝත්‍රිකයන් විසින් සුදු ජාතික පවුල්වලින් පැහැර ගෙන ගිය සුදු ජාතික දරුවන්ගේ වැඩිහිටි අත් දැකීම් ද ඒ අතර විය. එහි දී අනාවරණය වූ වැදගත් ම කරුණ වූයේ සුදු ජාතික ද ගෝත්‍රික ද යන්න නො තකා බොහෝ විට සිදු වූයේ සැලකිය යුතු කලක් ගෝත්‍රික අත්දැකීම් වින්දනය කළ සියල්ලෝ ම ගෝත්‍රික සමාජවලට ම ආපසු සම්බන්ධ වීමට ඉත සිතින් කැමති වීමයි.
එවැනි අත්දැකීම්වලට මුහුණ දුන් අය දැනුම් තේරුම් වියට එළඹුණු විට තමන්ට වඩා උචිත වන ශිෂ්ටාචාරය තෝරා ගැනීමේ අරගලයක යෙදුණ අය ලෙස සැලකිය හැකි ය. ඒ අතරින් යළිත් ගෝත්‍රික ජීවිතය වැළඳ ගැනීමට තීරණය කළ අය ඒ සඳහා දුන් හේතු ප්‍රගතිය පිළිබඳව පින්කර්ගේ අවධානයට යොමු නොවූ වැදගත් මානයක් හෙළිදරව් කරයි. ඔවුන් අතරින් ඇතමෙක් ස්වදේශික ඇමෙරිකානු ගෝත්‍රිකයන් අතර ලිංගික නිදහස ඇතුළු ව නිදහස පිළිබඳ ව පැවති විවෘත ආකල්පය අගය කිරීම යළි ගෝත්‍රික ජීවිතය තෝරා ගැනීමට හේතුවක් වසයෙන් දැක්වීය. නිරන්තරයෙන් ම ධනය සහ ඉඩම් අත්පත් කර ගැනීමට තැත් කිරීමට සිදුවීමෙන් නිදහස් වීම ද ගෝත්‍රික ජීවිතයෙන් ලද එක් වැදගත් වරප්‍රසාදයක් ලෙස සඳහන් විණි. තවත් අය තම සමාජය තුළ කිසිවකු දුප්පත් කමින්, කුස ගින්නෙන් සහ අසරණ බවින් පෙළීමට ස්වදේශික ගෝත්‍රිකයන් ඉඩ නො තැබීම යළි ගෝත්‍රික ජීවිතයට පිවිසීමේ හේතුව වසයෙන් දැක්වීය. දුප්පත් කමට පත්වේ යැ’යි ඔවුන් තුළ බියක් ඇතිවීමකට වඩා එහි දී විශේෂයෙන් වැදගත් වූයේ කිසිවකුටත් අත්‍යන්ත අසරණ බවකට මුහුණ පෑමට සිදු නො වන එවැනි සමාජයක ජිවත් වීම ඉතා ප්‍රසන්න දෙයක් ලෙස ඔවුන් සැලකීමයි.
තවත් සමහරු යළිත් ගෝත්‍රික ජීවිතය තෝරා ගැනීමට තීන්දු කළේ කිසිම වෙනස්කමක් නො දක්වා ස්වදේශික ඉන්දියානු ගෝත්‍රිකයෝ පිටස්තරයන් සිය පවුල්වල සාමාජිකයන් බවට පත් කර ගැනීම ඔවුන් දිරි ගැන්වූ බැවිනි. ගෝත්‍රික සමාජවලට එක් වන පිටස්තරයන්ට ප්‍රධාන පවුල්වල සාමාජිකයන් වීමට පමණක් නො ව ගෝත්‍රික නායකයන් බවට පත්වීමට පවා අවස්ථාව ලැබේ. බටහිර ප්‍රවර්ධකයන් සමාන අවස්ථාවන් සැලසීමේ අවශ්‍යතාව ගැන නොකඩවා දේශනා කරන අතර මෙකී ස්වදේශික ගෝත්‍රවල එය යථාර්ථයෙන් ම පැවතුණි. එහෙත් වඩාත් ම පොදු හේතුව වසයෙන් බොහෝ අය දැක්වූයේ යුරෝපීය ජනාවාසවල නැති ආදරයක්, සජ්ජන සත්කාරයක්, රැකවරණයක් සහ ඒ සියල්ල පරයන සංතුෂ්ටියක් ස්වදේශික ඇමෙරිකානු ප්‍රජා කණ්ඩායම් තුළ විසීමෙන් විඳ ගැනීමට හැකිවීමයි.[4]
මේ අත්දැකීම් විමසන කෙනෙකුට ඇතිවෙන හැඟීම නම් ඇමෙරිකානු ස්වදේශිකයන්ගේ ගෝත්‍රික ජීවිතය යුරෝපීය ඇමෙරිකානුවන් සිය සුලු නගරවල සහ ජනාවාසවල ගත කළ ජීවිතයට වඩා බෙහෙවින් ආකර්ෂණීය වූ බවයි. එය නැවත යුරෝපීයන් අතරට පැමිණීමෙන් ලබාගත හැකි දෙයක් නො වීය. ජනාවාසවල යුරෝපීයන්ගේ ජීවිතය නොකඩවා වැඩ කිරීමෙන් හෙම්බත් වූ, ඒකාකාරී සහ සංකල්පීය වසයෙන් හිස් වූ ජීවිතයකි. ඒ නිසා ඊට විකල්ප වූ ජීවිතයක් කොයි තරම් සිත් අලළන සුන්දර එකක් දැයි හිතා ගැනීමට නො හැකි වීම ජීවිතයට වඩා ජීවිතය පිළිබඳව අපේ ඇති පරිකල්පනීය සීමා නිසා ඇතිවන්නකැ’යි ග්‍රේබර් සහ වෙන්ග්‍රෝ පවසයි. මේ නිසා පෙර අපර කොයි දිගින් ආවත් ප්‍රගතිය යන්න හුදෙක් භෞතික හා තාක්ෂණික විසඳුම්වල කාර්යක්ෂමතාවට පමණක් ලඝු කළ හැකි දෙයක් නො වේ. ප්‍රගතියේ සලකුණ ලෙස සමාජයේ සද්ගුණවත්බව අපි වඩ වඩා අවධාරණය කල යුත්තේ එබැවිනි.
කෙසේ වෙතත්, පින්කර් හොඳ දේවල් ලෙස සඳහන් කරන බොහෝ අභිලාෂ අපේ ලැයිස්තුවල ද තිබේ. එහෙත් ඒ දේවල් සම්බන්ධයෙන් අප ලබා ඇති ප්‍රගතිය අසමමිතික පමණක් නො ව අහිංසකයන්ගේ අධ්‍යාත්මික පරිහානිය පවා සාධාරණීකරණය කරන්නක් ද වෙයි. අධ්‍යාපන අවස්ථා සම්බන්ධයෙන් බොහෝ නාගරික හා ග්‍රාමීය පාසල් අතර ඇති සමාජ විෂමතා වටා උද්ගත ව ඇති තත්වය ඊට එක් උදාහරණයකි. ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට අපේ දරුවන්ට ඇති අමාරුකම නගරවල ඇති ‘හොඳ පාසලකට” සිය දරුවන් යැවීමට ඇති අවශ්‍යතාව හමුවේ අල්ලස් ගැනීමට හා අල්ලස් දීමට සූදානම් ගුරු දෙ ගුරුන්ගේ ආකල්පවලින් නිරූපණය වෙයි. හොඳ පාසලකට සිය දරුවන් ඇතුළත් කර ගැනීම පිණිස අල්ලස් දීමට පමණක් නො ව කූට ලේඛන සකස් කිරීමට සූදානම් දෙමව්පියන්ගෙන් බොහෝ අය සාමාන්‍ය ජීවිතයේ දී බොහෝ විට ගුණගරුක යහපත් පුද්ගලයෝ ය.
සමස්තයක් ලෙස බැලූ විට වෙළඳපොළ සීමාවලට යටත් ව බොහෝ සේවා පහසුකම් සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව සැබෑවක් නමුත් මිහිපිට ජීවත් වන මිනිසුන් අතුරෙන් සෑම නව දෙනෙකුගෙන් ම එක් අයකුට තව මත් ප්‍රමාණවත් ආහාරයක් නො ලැබේ. පහසුවෙන් සුව කළ හැකි පාචනය සහ මැලේරියාව වැනි රෝගවලින් 2019 දී පමණක් ලොව පුරා වයස අවුරුදු පහට අඩු දරුවන් මිලියන 5.2 ක් මිය ගිය බව ගණන් බලා තිබේ.[5] ලෝකවාසී ජනතාවගෙන් බිලියන දෙකක් එනම් ලෝක ජනගහනයෙන් 26% ක් සිය අසීරු ජීවිතය ගැට ගසා ගන්නේ දිනකට ඇමරිකානු ඩොලර් තුනකට (රු. 540/-) අඩුවෙන් ලැබෙන ආදායමකිනි.
ඒ අතර ලොව පුරා මිලියන හැත්තෑවකට අධික තරුණ තරුණියෝ රැකියා විරහිත භාවය නිසා ළත වෙති. නිසි සමාජ ආරක්ෂණ ක්‍රමයක් නැතිකම සහ නිතිපතා වැඩි වෙන සමාජ අසමානතාව නිසා මේ නැති බැරිකම් තව තවත් තීව්‍ර වී ඇත. ඒ අතර 2008 සිදු වූ මූල්‍යය කඩා වැටීම නිසා ඇති වූ ලෝක ආර්ථික අර්බුදය මිනිසුන් මිලියන ගණනාවකට රැකියාව අහිමි කළේ ය. වාරික ව ගෙවීමේ පදනම මත මිලට ගත් නිවාසවලින් අති විශාල ඇමෙරිකානු පවුල් සංඛ්‍යාවක් පිට මං කරනු ලැබී ය. ඒ ආර්ථික අර්බුදය ලොව පුරා මිලියන ගණනකගේ ඉතිරි කිරීම් සහ විශ්‍රාම පාරිතෝෂික නැතිභංග කර දැමී ය. ඒ අතර ලෝකය පුරා අසමානතා පරතරය පුදුමාකාර ලෙස වැඩි වී තිබේ. කෙසේ වෙතත් එසේ ආර්ථිකයේ ඇති වූ කඩා වැටීම් තිබිය දීත් 2015 වන විට ලෝකයේ පොහොසත් ම 1% ඉතිරි 99% ම සතු මුලු සේසතේ ම එකතුවට වඩා වැඩි ධන සම්භාරයක් අත්පත් කර ගැනීමට සමත් වූහ.
නොකඩවා ඇති වූ ආර්ථික වර්ධනය නිසා සංවර්ධනය වෙන රටවල අත්‍යන්ත දිළිඳු බව මෑත කාලයේ දී සැලකිය යුතු පමණින් අඩු වී තිබුණත් එකී ආර්ථික වර්ධනය විසින් ම එම රටවල මිලියන ගණනක දිළිඳු ජනතාව එම වර්ධනයේ නියම ප්‍රතිලාභවලින් පිට මං කර තිබේ. 2015 වන විට ලෝකයේ දිළිඳු ජනතාවගෙන් බහුතරය ජීවත් වූයේ වාර්ෂික ඒක පුද්ගල ආදායම අනුව ලංකාව ද ඇතුළුව මැදි ආදායම් ලබන රටවල් ලෙස වර්ගීකරණයට ලක් වූ රටවල ය. මේ දිළින්දන් අතර බහුතරය ජීවත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී යැ’යි සැලකෙන රටවල්වල නමුත් වර්ධනයේ ඵල ප්‍රයෝජන සාධාරණ ලෙස බෙදී යන ප්‍රතිපත්ති සම්පාදනයක් සඳහා බලපෑමක් කිරීමට තරම් ඇත්ත දේශපාලන බලයක් ඔවුන්ට නැත. උත්පාදනය වන ධනය සාධාරණ ව භුක්ති විදීමට සමාජ වැඩපිළිවෙළක් සහතික කළ හැකි කාර්යක්ෂම ආදායම් බදු ක්‍රමයක් ලංකාව වැනි රටවලට නැත. ඒ වෙනුවට දක්නට ලැබෙන්නේ නිස්සාරිත ආදායමෙන් වැඩි කොටසක් දේශපාලන පංතිය විසින් වංචා කරනු ලැබ අක් වෙරළ (offshore) හොර මුදල් තිප්පලවල්වල ආරක්ෂිත ව තබා ගැනීමයි.
ඉහළ ආදායම් ලබන සංවර්ධිතයැ’යි සැලකෙන රටවල් හා සසඳන විට මැදි ආදායම් රටවල පුද්ගලික ආදායම අනුව ආදායම් බදු අය කිරීම සෑහෙන දුර්වල මට්ටමක පවතී. සංසන්දනාත්මක ව බැලූ විට ඉහළ ආදායම් ලබන රටවල පොදු සමාජ ආරක්ෂණය සඳහා බදු ආදායමෙන් වැඩි පිරිවැයක් වෙන් කරන අතර ඒ වෙනුවට බොහෝ මැදි ආදායම් ලබන රටවල ඇත්තේ දේශපාලන අනුග්‍රහය රඳවා තබා ගැනීම අරමුණ කරගත් දූෂණයට තුඩු දෙන ‘සමෘද්ධිය’ වැනි වැඩපිළිවෙළවල් ය. මේ නිසා මැදි ආදායම් ලබන ලංකාව වැනි රටවල ප්‍රතිපත්තිය වී ඇත්තේ ආදායම් විෂමතාව අඩු කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා වෙනුවට විවිධ අනුග්‍රහාත්මක වැඩසටහන් මඟින් දේශපාලන අවනතභාවය තහවුරු කර ගැනීම පිණිස ආදායම් විෂමතාව පවත්වා ගෙන යෑමයි.
දැනට ඇති ආදායම් විෂමතා පරතරය පිළිබඳ කැපී පෙනෙන උදාහරණයක් වන්නේ ඉන්දියාවයි. ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට ලෙස සැලකෙන ඉන්දියාව වසර 2009 දී අඩු ආදායම් කාණ්ඩයේ රටක සිට මැදි ආදායම් කාණ්ඩයේ රටක් බවට පත් වුවත් එහි ඇතිහැකි හා නැතිබැරි අය අතර ආදායම් විෂමතාවේ පරතරය දශ ලක්ෂ සංඛ්‍යාත අත්‍යන්ත දිළින්දන්ගේ දුක් සුසුම් මැද බිලියනපතියන් සංඛ්‍යාව අතින් ලෝකයේ තුන්වැනි තැන ගැනීමෙන් පෙන්නුම් කරයි.
මෙසේ තීව්‍ර වන සමාජ විෂමතාවලට අතිරේක ව අප වසන පෘථිවියට සිදුවී ඇති හානිය ද සුළු පටු නො වේ. මනුෂ්‍යයන්ගේ ධනලෝභී අකටයුතුකම් නිසා පෘථිවි ජීව පද්ධතියට බරපතළ පීඩනයක් එල්ල වී තිබේ. මහ පොළොවේ ජීව වස්තුවල පැවැත්මට හිතකර මට්ටමට වඩා සෙන්ටිග්‍රෙඩ් අංශක 0.8 කින් ලෝක උෂ්ණත්වයේ සාමාන්‍යය දැනටමත් වැඩි වී තිබෙන අතර හරිතාගාර වායු විමෝචනය සැලකිය යුතු ලෙස අඩු නො කළ හොත් වසර 2100 වන විට එය සෙන්ටිග්‍රෙඩ් අංශක 4.5 කින් වුවද වැඩි වීමට ඉඩ ඇති බව 2021දී නිකුත් කළ IPCC (The Intergovernmental Panel on Climate Change) හෙවත් ‘දේශගුණ විපර්යාසය පිළිබඳ අන්තර් ආණ්ඩු අනුමණ්ඩලයේ’ හයවැනි තක්සේරු වාර්තාවෙන් අනතුරු හඟවයි.
හරිතාගාර වායු නිකුත් වීම පාලනය කිරීම හෝ නො කිරීම පිළිබඳ විද්‍යාත්මක දත්ත පදනම් කොට පුරෝකථනය කළ හැකි සෙනාරි (scenarios) හෙවත් පරිදර්ශන පහක් අනුව ඇති විය හැකි ඵල විපාක පිළිබඳ විස්තර මෙම වාර්තාවෙන් ඉදිරිපත් කර තිබේ. කාබන් ඩයොක්සයිඩ් නිකුත් කිරීම නො වළහා බලවත් ලෙස අඩු කරන සෙනාරියක සිට 2050 වන විට අමතර කාබන් ඩයොක්සයිඩ් විමෝචනය සම්පූර්ණයෙන්ම උදාසීන කොට 21 වැනි සිය වසේ දෙවැනි භාගය කිසිදු අමතර කාබන් විමෝචනයකින් තොර කිරීම දක්වා ද කිසිදු පාලනයකින් තොර ව කාබන් ඩයොක්සයිඩ් විමෝචනය නො කඩවා ඉහළ ගොස් 2050 වන විට අදට වඩා දෙගුණයකින් වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩී වී සහ 2100 වන විට කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය තුන් ගුණයකින් ඉහළ යෑමෙන් ඇති විය හැකි තත්වය දක්වා ද විවිධ සෙනාරි පහක් එම වාර්තාවෙන් ඉදිරිපත් කර තිබේ. ඒ එක් එක් සෙනාරියට අනුව ඇතිවෙන දේශගුණික විපර්යාස මට්ටම ද වාර්තාවෙන් විස්තර කරයි. ඒ අනුව ගෝලීය උණුසුමේ සාමාන්‍ය වැඩි වීම වසර 2100 වන විට සෙන්ටිග්‍රෙඩ් අංශක 1.4 නො ඉක්මවා පාලනය කර ගැනීම හෝ පාලනයකින් තොර ව එය සෙන්ටිග්‍රෙඩ් අංශක 4.5 කින් ඉහළ යෑම දක්වා ඇති විය හැකි සෙනාරි පහක ඵල විපාක වාර්තාවේ සඳහන් වෙයි. අත්‍යන්ත සිනාරිවලට අනුරූප ව ඇති විය හැකි තාප තරංග, නියඟ, සුළි සුළං, අත්‍යධික වර්ෂාපතනය වැනි ව්‍යසනික වායුගෝලීය සිද්ධිවල සංඛ්‍යාත්මක වැඩි වීම සහ හිම තලා, නිත්‍ය තුහිනය (permafrost) සහ ග්ලැසියර දිය වීම, සාගර ජල මට්ටම ඉහළ යෑම සහ සාගර ආම්ලීකරණය වැනි සාගරයේ සහ හිම ගෝලයේ ඇතිවිය හැකි විවිධ වෙනස්කම් ද විද්‍යාත්මක දත්ත පදනම් කොට IPCC වාර්තාවෙන් විස්තර කර තිබේ.[6]
ඒ මඟින් පෙන්නුම් කරන්නේ කාබන් විමෝචනය අවම කර ගැනීමට කඩිනමින් කටයුතු නො කළ හොත් මින් පෙර නො ඇසූ විරූ බරපතළ ගංවතුරු, නියඟ, සුළි කුණාටු සහ මුහුදු ජල මට්ටම ඉහළ යෑමේ තර්ජනයකට නුදුරු අනාගතයේ දී මුහුණ දීමට මිනිසුන්ට සිදු වන බවයි. කෘෂිකර්මය සඳහා ගෙන ඇති බිම් ප්‍රමාණයෙන් 40% දැනටමත් බරපතළ ලෙස නිසරු බවට පත් ව ඇති අතර 2025 වන විට ලෝකවාසී මිනිසුන් හැම තුන් දෙනෙකුගෙන් දෙදෙනෙකුට ම අඩු ජල සම්පත් ඇති ප්‍රදේශවල ජීවත් වීමට සිදු වනු ඇත. ඒ අතර රසායන ද්‍රව්‍ය, පොලිතින්, ප්ලාස්ටික් සහ කාර්මික, කෘෂිකාර්මික, වාසභූමි හා නාවික ක්ෂේත්‍රවල අපද්‍රව්‍ය, අසීමිත ව මසුන් මැරීම සහ ආක්‍රමණශීලී ආගන්තුක ජීවීන්ගේ බෝවීම නිසා සාගරවලට සිදුවී ඇති හානිය ද සුලු පටු නො වේ. මේ අපද්‍රව්‍යවලින් 80% ක් ම සාගරයට එක් වන්නේ ගොඩ බිමෙනි. ගෝලීය උණුසුම ඉහළ යෑමට අනුකූලව සාගර ජලයේ උෂ්ණත්වය ද ඉහළ යෑමෙන් ඇතැම් මුහුදු ජීවීන් වර්ග නෂ්ට ප්‍රාප්තියට මුහුණ දී සිටින අතර සාගර මතුපිට වායුව උණු ව ඉහළ නැගීමෙන් සුළි සුළං සහ කුණාටු ඇතිවීමේ විභවය විශාල වසයෙන් ඉහළ ගොස් තිබේ.
අද ජීවත් වෙන අයගෙන් බොහෝ දෙනෙකු 2050 දී ද ජීවත් වෙන බැවින් ගෝලීය උණුසුම ඉහළ යෑමෙන් ඇතිවිය හැකි ව්‍යසන පිළිබඳ දැනට මත් තක්සේරු කර ඇති ගණන් හිලව් අතිශයින් බරපතළ ය. ඒත් අනාගත අභියෝග මීටත් වඩා බරපතළ විය හැකි ය. දැනටමත් බිලියන 7.3 ක් වන ලෝක ජනගහනය 2050 වන විට බිලියන 10 දක්වා ඉහළ යනු ඇත. එය 2100 වන විට බිලියන එකොළහක් දක්වා ඉහළ යෑමට නියමිත ය. දැනට පවතින ක්‍රමය එලෙස ම පැවතුනොත් 2050 දක්වා ලෝක ආර්ථික නිෂ්පාදනය වාර්ෂිකව 3% බැගින් වර්ධනය වී 2037 වන විට එය දැනට ඇති ප්‍රමාණය මෙන් දෙගුණයකින් ද 2050 වන විට තුන් ගුණයකින් ද වැඩි වනු ඇතැ’යි ගණනය කර තිබේ. ඒ අතර අද බිලියන 2 කක් ව ඇති ලෝක මධ්‍යම පංතිය, එනම් දිනකට ඩොලර් 10 සිට ඩොලර් 100 දක්වා වියදම් කිරීමට හැකියාව ඇති අය, 2030 වන විට බිලියන 5 දක්වා වැඩි වනු ඇත. ඒ අනුව ඇතිවෙන ඉල්ලීම සපුරා ගැනීම සඳහා පාරිභෝගික ද්‍රව්‍ය මෙන් ම ගොඩනැගිලි ද්‍රව්‍ය ද අතිවිශාල වසයෙන් අවශ්‍ය වනු ඇත. විකල්ප විසඳුම් කරා නො ගියොත් විශාල හානියකින් තොර ව මිහිමත ඇති සම්පත්වලින් එම අවශ්‍යතා පිරිමසා ගැනීමේ හැකියාව අවම වෙමින් පවතී. විසි එක් වන සියවස මුල දී අපට හඳුනා ගත හැකි මේ ප්‍රවණතාව අපට සරිලන ලෙස හැඩ ගස්වා ගැනීමට අපේ ඉදිරි ගමන සඳහා අවශ්‍ය වන චින්තනය කුමක් විය යුතු ද?
ස්ටීවන් පින්කර් අනුගමනය කරමින් අප හොඳ දේවල් වසයෙන් කලින් සඳහන් කළ බොහෝමයක් දෑ ජන සමාජයේ ඇති හැකි අතළොස්සකට අඩු පාඩුවක් නැති ව භුක්ති විඳීමට හැකිව තිබෙන බව අපි දනිමු. මේ නිසා එකී දේවල් සාධාරණ ව සියල්ලන්ට ම භුක්ති විඳ ගැනීමට හැකි වන සේ සමාජ විෂමතා අවම කර ගැනීම අද දවසේ යුක්තිය පාදක කරගත් දේශපාලනයේ කේන්ද්‍රීය කාරණය විය යුතුයි. මේ අරමුණ ඇතිව මින් පෙර දැරූ මුල් පෙළේ උත්සාහයක් වූයේ වසර සියයකට පෙර රුසියානු බෝල්ෂේවික් විප්ලවයේ ඵලයක් ලෙස කළ අසාර්ථක අත්හදා බැලීමක් වූ රාජ්‍ය කේන්ද්‍රීය සෝවියට් ආර්ථික ක්‍රමයයි. එකල බෝල්ෂේවික් විප්ලවයට නායකත්වය සැපයූ අය අතර පවා ධනවාදී ආර්ථික ක්‍රමයට විකල්ප ප්‍රායෝගික ආර්ථික ක්‍රමයක් පිළිබඳ මුල දී නිශ්චිත අදහසක් නො තිබුණ බව රොබට් සර්විස් ඔහුගේ Comrades – Communism: A World History නමැති කෘතියෙහි පැහැදිලි කරයි. 20 වන සියවසේ මැද භාගය වන විට සෝවියට් ආර්ථික ක්‍රමය ඉහළ වර්ධනයක් දැක්වූයේ සෝවියට් නායකයන් විසින් ආර්ථිකය රාජ්‍ය කේන්ද්‍රීය ව සංවිධානය කරනු ලැබීම නිසා ම නො ව සාර් පාලනය යටතේ ඉතා පසුගාමි රටක් ව පැවති රුසියාව සෝවියට් ක්‍රමය යටතේ කඩිනම් කාර්මිකකරණයට ලක් වීම නිසා ඇති වූ ආර්ථික වර්ධනය හේතු කොට ගෙන ය. එහෙත් 1980 වන විට සෝවියට් ආර්ථිකයේ වර්ධනය ඇනහිට සෝවියට් ක්‍රමය රුසියානුවන්ට එපා වන තැනකට පත් වී තිබුණි.
සෝවියට් ආර්ථික විධි ක්‍රමයේ අසාර්ථකත්වයත් නවලිබරල්වාදී වෙළඳපොළ ආර්ථික චින්තනයෙන් පන්නරය ලද සමාජවාදය නවීකරණය කිරීම යනුවෙන් හැඳින්වෙන චීන රාජ්‍ය ධනවාදයේ නැගීම සිදු විය. ඒ සමඟ සමාජ රක්ෂණය සහ ආර්ථික ඵලදායකත්වය සාධාරණ ලෙස බෙදී යෑම අරමුණු කර ගනිමින් කලක් කම්කරුවන්, වෘත්තීය සමිති ආදිය මත පදනම් වූ සාම්ප්‍රදායික වමේ ඉතුරු බිතුරු කොටස් සමාජ විෂමතාව අවම කිරීමේ දේශපාලන ඉලක්කය අතහැර දමා ඇති බව පෙනේ.
මෑතක් වෙන තෙක් ම ධනවාදි ආර්ථිකය විටින් විට උච්චාවචනයට ලක් වෙමින් සිය දරා ගැනීමේ හැකියාව පෙන්නුම් කළේ ය. එහෙත් දශක ගණනාවක් තිස්සේ උත්කර්ෂවත් ලෙස රාජ්‍ය නියාමනයෙන් මුදවා තබන ලද නව ලිබරල් ආර්ථික දර්ශනය ද සමඟ දැන් එය පෙර නො වූ විරූ අර්බුදකාරී තත්වයකට මුහුණ දී තිබේ. සම්භාව්‍ය ලිබරල්වාදය විසින් හඳුන්වා දුන් සමානාත්මතාව, සදාචාරය හා මානව අයිතිවාසිකම් කතිකාව නවලිබරල්වාදය සහමුලින්ම අවඥාවට ලක් කර තිබේ. නියෝ (neo) හෙවත් නව යන විශේෂණයෙන් සමන්විත වන අනෙකුත් බොහෝ වාද මෙන් ම නවලිබරල්වාදය යන යෙදුම නිරූපණය කරන්නේ සම්භාව්‍ය ලිබරල්වාදය විසින් හඳුන්වා දුන් පොදු සේවා ප්‍රමුඛ සමානාත්මතා සාරධර්ම විස්ථාපනය කොට යුක්තිය සහ සමාජ වග වීම වෙනුවට ධනලෝභී ස්වාර්ථකාමය ආදේශ කිරීමයි. මේ නවලිබරල්වාදී ආර්ථික දෘෂ්ටියේ මහානිසංස ලැබූවන් අතර ඒකාධිපති ආණ්ඩු යටතේ පොදු සම්පත් කුණු කොල්ලයට මිල දී ගත් අතළොස්ස, අයථා ලෙස මූල්‍ය වෙළඳපොළ ග්‍රහණයට ගෙන ඇති ජාවාරම්කරුවන්, ණයවරපත් මත සුවිශාල ලාභ උපයන බැංකුකරුවන් සහ විවිධාකාර මුදල් විශුද්ධිකරුවන් ප්‍රධාන වේ. එහෙත් ඒ අතර ආර්ථික ව්‍යාධිවලට ඇති හොඳම විසඳුම නවලිබරල්වාදයයි යන මතය අභියෝගයට ලක් කළ හැකි ඒත්තු යන සුලු විකල්ප ආර්ථික දැක්මක් වර්ධනය කර ගැනීමට වම අපොහොසත් වී ඇත. ඒ වෙනුවට නවලිබරල්වාදී නිර්බාධක වෙළඳපොළ ආර්ථිකය සුළු සුළු වෙනස්කම් සහිත ව සාම්ප්‍රදායික වමේ ආර්ථික චින්තනය බවට ද පත් විය.
සාමාන්‍යයෙන් ආර්ථිකයක මූල්‍ය අංශයේ ප්‍රධාන කාර්ය වසයෙන් සැලකෙන්නේ සිය ධනෝපායන කටයුතු සඳහා අරමුදල් අවශ්‍ය කරන අයට මුදල් ඉතුරු කරන්නන්ගෙන් අරමුදල් ලබා දීම පිණිස මැදිහත්කරු වසයෙන් කටයුතු කිරීමයි. මෙය යහමින් බිත්තර වී ඇති ගොවියෙකු සිය අසල්වැසියාගේ ප්‍රයෝජනය සඳහා බිත්තර වී ලබා දුන් කාලයේ පැවති සරල ආර්ථිකයක සිට චිරාත් කාලයක් තිස්සේ පැවත එන මූලධර්මයකි. නූතන ආර්ථිකයක මේ මැදිහත්කාරකම (intermediation) ඉටු වෙන්නේ බොහෝ විට නිවසක් මිලට ගැනීමට, විශ්‍රාමික අවදිය සඳහා හෝ සිය දරුවාගේ උසස් අධ්‍යාපනය සඳහා හෝ මුදල් ඉතුරු කරන කෙනෙකුගේ ඉතුරු කිරීම් බැංකුවක මැදිහත් වීමෙන් ව්‍යාපාරික අංශයේ ආයෝජනවල යොදවා ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කළ විට දී ය.
එහෙත් නව රැකියා නිර්මාණය කරමින් සිය කටයුතු පුළුල් කිරීමට බලාපොරොත්තු වන සමාගම් සහ ඉතුරු කරන්නන් අතර මැදිහත්කාරකම ඉටු කිරීමේ සාම්ප්‍රදායික කටයුත්තෙන් බැංකු කෙමෙන් ඈත් වීමේ ප්‍රවණතාවක් මෑත කාලයක සිට දක්නට ලැබුණි. මෙය ප්‍රකට ව දක්නට ලැබුණේ බැංකුවල කටයුතු මූල්‍ය ආර්ථිකය මුල් කොට විකාශය වීම ඇරඹීමත් සමඟ ය. ඒ අනුව බැංකු වඩා උත්සුක වූයේ ඉතුරු කරන්නන් සහ කුටුම්බ අතර මැදිහත් වෙමින් ක්‍රෙඩිට් කාඩ් හෙවත් ණයවරපත් මඟින් යහමින් ණයට බඩු ගෙන තමන් උපයන මුදලට වඩා වැඩියෙන් වියදම් කිරීම පිණිස ගනුදෙනුකරුවන් පොලඹවා ගැනීමයි. ණයවරපත් මඟින් ණය ලබා දීම නිසා ඉහළ පොලියක්, ප්‍රමාද ගාස්තු හා බැංකු අයිරා ගාස්තු ආදි විවිධ ගාස්තු අය කරමින් පාරිභෝගිකයන් පහසුවෙන් කොල්ල කෑමට බැංකුවලට හැකි විය. වෙළෙන්දන්ගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් අය කරන සේවා ගාස්තුවලට අතිරේක ව බැංකු ණයවර පත් සඳහා ණය අත්තිකාරමක් පාසා සාමාන්‍යයෙන් 4% ක ගනුදෙනු ගාස්තුවක් හා 21% ක වාර්ෂික පොලියක් අය කරති. බැංකුවල මේ ගොදුරු භක්ෂක කටයුතුවලට ඉඩ දෙමින් බැංකු නියාමනය ද තව තවත් ලිහිල් විය. ඒ අනුව බැංකුවලට සිය වෙළඳපොළ බලය යොදා ගනිමින් පාරිභෝගිකයන්ගෙන් මෙන් ම වෙළෙන්දන්ගෙන් ද එක ම වර ඉහළ ගාස්තු අය කර ගත හැකි විය. ණය දීමේ දී සමාගම්වලට වඩා ඉතා ලෙහෙසියෙන් පාරිභෝගිකයන් සූරාකෑම කළ හැකි බව බැංකු වටහා ගත්තේ ය. කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරවලට ණය දෙනවාට වඩා ණයවරපත් (Credit Card) මඟින් පාරිභෝගිකයන්ට ණය දීම වාසිදායක බව බැංකු වටහා ගත්තේ ය. ඒ නිසා සිය නවොත්පාදන හා ව්‍යාපාරික කටයුතු වැඩිදියුණු කර ගැනීම පිණිස ප්‍රධාන බැංකුවලින් ණය ලබා ගැනීමේ අසීරු කම්වලට විශේෂයෙන් කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර නිරන්තරයෙන් මුහුණ දුන්නේ ය. උදාහරණයක් ලෙස එක්සත් ජනපදයේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත සඳහා ණය ලබා දීම 2008 ආර්ථික අර්බුදය අවදිය හා සසඳන විට ඉන් පසුව 14% කින් අඩු විය.
2020 මහ බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නො වන ව්‍යවසායන් අතරින් 99% ක් කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වන අතර රටේ මුලු සේවා නියුක්තියෙන් 45% අයත් වන්නේ මේ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායවලට ය. මහ බැංකු වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසාය දියුණු කිරීමට ඇති මූලික බාධාවක් වන්නේ ඒවාට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයා ගැනීමට තිබෙන සීමිත ප්‍රවේශයන් ය. බැංකු විසින් අවදානම් මූල්‍යකරණය මග හැර යනු ලැබීම සහ අධික ඇප සුරැකුම් ඉල්ලා සිටීම කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසාය සඳහා ණය ලබා ගැනීමට ඇති බාධා අතර මුලින් ම සඳහන් වේ. මහ බැංකු වාර්තාවට අනුව 2020 අවසානයේ දී බැංකු විසින් කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසාය සඳහා ලබා දී ඇති ණය ප්‍රමාණය පෞද්ගලික අංශයට ලබා දි ඇති මුලු ණය ප්‍රමාණයෙන් 11%ක් පමණි.
මැදිහත්කාරකම ඉටු කරනු වෙනුවට කෙටි කාලීන ව වඩා වාසි සහගත සූදුකාර ව්‍යාපෘතිවල නියැලීමට බැංකු ක්ෂේත්‍රය උත්සුක වී තිබේ. ලාස් වේගාස් වැනි සූදුකාර නගරවල සරල ව ඔට්ටු ඇල්ලීම යනුවෙන් හඳුන්වන ක්‍රියාව බැංකු ක්ෂේත්‍රයට ආදේශ වන්නේ Derivatives යන මෝස්තරකාර නමිනි. ඉතා සරල ව කිව හොත් ‘ඩෙරිවේටිව්ස්’ යනු ඒ සඳහා අවධාරණීය වත්කම් (underline assets) වසයෙන් සැලකිය හැකි පොලී අනුපාතය, විනිමය අනුපාතය, එසේත් නැතිනම් ඛනිජ තෙල් වැනි භාණ්ඩයක මිල උච්චාවචනය සම්බන්ධයෙන් මූල්‍ය ආයතන විසින් ඔට්ටු අල්ලනු ලැබීමයි. මේවා සාමාන්‍යයෙන් මිලියන ගණන් වන ඔට්ටු ය. මේ ඔට්ටු වෙළඳපොළ පවතින්නේ ඒ හා අදාළ බැංකු ගිවිසුම් කිසියම් දුරකට රජය මඟින් රක්ෂණය වන බැවිනි. ඒ අනුව ඩෙරිවේටිව්ස් නිසා බැංකුවලට අති විශාල පාඩුවක් සිදු වු විට රජය විසින් හානිපූරණය කොට බැංකු බේරා ගනු ලැබේ. එහෙත් වාසි ලැබෙන අවස්ථාවල දී ඩෙරිවේටිව්ස් ඔට්ටුවල මුලු ලාභය ම බැංකුව සතු වේ.
පාර්ලිමේන්තුවේ පොදු දේපළ කමිටු වාර්තාවකින් හෙළි වූ පරිදි එකඟ වූ නියමිත මිලකට අමු තෙල් මිලට ගැනීමට 2008 දී ලංකා ඛනිජ තෙල් සංස්ථාව බැංකු සමඟ ඇති කරගත් හෙජින් ගිවිසුම මේ සම්බන්ධයෙන් උදාහරණයකට ගත හැකි ය. එම හෙජින් ගිවිසුම ඇති කර ගත්තේ අනුක්‍රමයෙන් ඉහළ යන අමු තෙල් මිල නිසා ඛනිජ තෙල් සංස්ථාවට ඉදිරියේ දී අමු තෙල් මිලදි ගැනීමට වැය කිරීමට සිදු වන වැඩිපුර මුදල ගිවිසුම අනුව බැංකුවලට දරා ගැනීමට සිදුවෙතැ’යි යන බලාපොරොත්තුවෙනි. බැලූ බැල්මට ම මෙය ඛනිජ තෙල් සංස්ථාවට වාසිදායක ගිවිසුමකි. එහෙත් බැංකු ඛනිජ තෙල් සංස්ථාවට වඩා නුවණක්කාර ය. එවැනි ගිවිසුම්වලට බැංකු එළඹෙන්නේ භාණ්ඩයක මිල වෙනස් වීම ගැන සිය සමීක්ෂණ අනුව ඇති කර ගන්නා තක්සේරු කිරීම් පදනම් කොට ගෙන ය. ඒ ගිවිසුමට අනුව තෙල් මිලට ගත යුතු කාලයේ දී ඛනිජ තෙල් සංස්ථාව බලාපොරොත්තු නොවූ ලෙස අමු තෙල්වල මිල අඩු විය. එහෙත් හෙජින් ගිවිසුම නිසා එහි වාසිය ලබා ගත්තේ ඛනිජ තෙල් සංස්ථාව නො ව එය සමඟ හෙජින් ගිවිසුමට එළඹුණු වාණිජ බැංකුව විසිනි. මේ ගිවිසුම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ ඇතිවූ ආන්දෝලනය නිසා ගිවිසුම අනුව බැංකුවලට ගෙවිය යුතු මුදල් ගෙවීම පැහැර හැරීමට ඛනිජ තෙල් සංස්ථාව මුලින් තැත් කළ ද ජාත්‍යන්තර බේරුම් කාර මණ්ඩලයේ තීරණය අනුව අවසානයේ දී ගිවිසුමට අනුව බැංකුවලට රුපියල් බිලියන 10.2 ක් ගෙවීමට ඛනිජ තෙල් සංස්ථාවට සිදු විය.
මෙවැනි අකටයුතු නිසා බැංකුවලට අධික ලාභ ලැබෙන නමුදු රටක ආර්ථිකයේ දියුණුවට එමඟින් ලැබෙන දායකත්වය ඉතා අල්ප ය. ඛනිජ තෙල් සංස්ථාව හෙජින් කටයුතු සඳහා පොලඹවා ගැනීමෙන් ඇත්ත වසයෙන් ම බැංකුව ආර්ථිකයට හානි කළේ ය. ලෝක මට්ටමෙන් ගත් විට ධනවතුන්ගේ මුදල් සඟවන අක් වෙරළ(offshore banking) බැංකු කටයුතු මඟින් බදු පැහැර හැරීමට උදව් කිරීම, එක ම ව්‍යාපාර ක්ෂේත්‍රයක තරඟ කරන සමාගම් ඒකාබද්ධ කොට ඒකාධිකාර ඇති කිරීමට මැදිහත් වීම ආදී කටයුතු අතින් ද බැංකු කරන හානිය සුළුපටු නො වේ. දැවැන්ත සමාගම්වල බදු ගෙවීම පැහැර හැරීමට බැංකු උදව් වන ආකාරය සුප්‍රකට ඇපල් සමාගම උදාහරණයකට ගෙන සිය People, Power and Profits නම් කෘතියේ ජෝසප් ස්ටිග්ලිට්ස් මෙසේ විස්තර කරයි:
“ඇපල් සමාගම එහි උපාය කෞශල්‍යය යොදා ගන්නේ හුදෙක් ආකර්ෂණීය නිෂ්පාදන හඳුන්වා දීම සඳහා පමණක් නො ව බදු ගෙවීම පැහැර හැරීම සඳහා ද යොදා ගනී. ඇපල් සමාගම සතු ව ඇති දැවැන්ත ධන සම්භාරය සැලකූ එහි ඇතැම් කොටස්කරුවෝ ලාභාංශ වසයෙන් තමන්ට අය විය යුතු මුදල් වහා ම ගෙවන ලෙස ඇපල් සමාගමෙන් ඉල්ලා සිටියහ. 2017 ට පෙර පැවති බදු නීතියට අනුව ලාභ මුදල් පිටරටක තැන්පත් කර තිබෙන විට ඇපල් සමාගමට බදු ගෙවීමට සිදු නො වේ. එහෙත් එම මුදල ඇමෙරිකානු එක්සත් ජනපදය තුළට ගෙන ආ විට ඒ සඳහා සාමාන්‍යයෙන් ගෙවිය යුතු සමාගම් බදු රජයට ගෙවිය යුතු විය. ඒ නිසා රටින් පිට තැන්පත් කර ඇති ලාභ මුදල උපයෝගී කර ගන්නවා වෙනුවට ඇපල් සමාගම කළේ ලාභාංශ ගෙවීම සඳහා සිය රටේ මූල්‍ය වෙළඳපොළට පැමිණ අවශ්‍ය මුදල බැංකුවලින් ණයට ලබා ගැනීමයි. ඒ අනුව තමන් සතු රටින් පිට තැන්පත් කළ ධනය රට තුළට ගෙන ආ විට ගෙවිය යුතු වූ බදු ආදායම රජයට අහිමි කිරීමට ඇපල් සමාගමට හැකි විය. එහෙත් බැංකුවල උදව්වෙන් ණයට ගත් මුදලෙන් සිය කොටස් කරුවන්ට ලාභාංශ ගෙවීමට ඇපල් සමාගමට හැකි විය.”[7]
ආර්ථික විද්‍යාඥ මරියානා මස්සුකාටෝ සිය Entrepreneurial State නමැති ග්‍රන්ථයේ සවිස්තරව පෙන්වා දෙන පරිදි ඇපල් සමාගමේ නිෂ්පාදන බොහෝමයකට මුල් වූයේ රාජ්‍ය ආයතනවල මැදිහත් වීම මත හඳුන්වා දෙන ලද තාක්ෂණයයි. එහෙත් සිය ලාභය අයර්ලන්තය වැනි විදේශීය රටවල අක් වෙරළ (offshore) ගිණුම්වල ආරක්ෂිත තබා ගැනීමට පෙලඹීම මඟින් රජයෙන් ගනු මිසක් රජයට දෙනු නැති බව ඇපල් සමාගම නිරන්තරයෙන් පෙන්වා තිබේ. ස්ටිග්ලිට්ස් පෙන්වා දෙන පරිදි සමාගම්වල සමාජ වගකීම පිළිබඳ මුල් ම කොන්දේසිය විය යුත්තේ නිසි පරිදි බදු ගෙවීමයි. එය පැහැර හැරීමට සමාගම්වලට උදව් කිරීම බැංකු විසින් කරනු ලබන තදබල අකටයුත්තකි.
මේ නිසා තිරසාර ආර්ථික සංවර්ධනයකට වැඩි වැඩියෙන් අවශ්‍ය වන්නේ අකටයුතුකම්වලින් මුදල් උපයන ගොදුරු භක්ෂක බැංකු හා මූල්‍ය ආයතන නො ව ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් මඟින් බිහි කරන ප්‍රතිභාපූර්ණ නිර්මාණශීලී ව්‍යවසායකත්වයක් සඳහා අත හිත දෙන මූල්‍ය ප්‍රතිපත්තියකින් නියාමනය වන බැංකු සහ මූල්‍ය ආයතනයි. එවැනි ව්‍යවසායකත්වයක් සාර්ථක වීමට නම් නවොත්පාදනය හා නව නිෂ්පාදන හඳුන්වා දීම මෙන් ම ප්‍රධාන කොට ම ඒවා සාර්ථක ව වෙළඳපොළට ඉදිරිපත් කිරීම සඳහා ආයෝජනය කිරීමේ හැකියාව ව්‍යවසායකයාට තිබිය යුතු ය. ස්ටිග්ලිට්ස් පැහැදිලි ව පෙන්වා දෙන පරිදි ආර්ථිකය දියුණු කළ යුත්තේ නිෂ්පාදනය නව්‍යකරණය කිරීමෙන් හා වැඩි දියුණු කිරීමෙන් මිස ආර්ථික විද්‍යාඥයන් ‘බදු කුලිය’ හෙවත් Rent යනුවෙන් හඳුන්වන හම්බ කිරීමකින් තොර ව ලබන බදු කුලී අපේක්ෂිත (rent seeking)[8] ආදායම් වලින් නො වේ. එහෙත් නව ලිබරල්වාදයෙන් ආභාසය ලද කොල්ලකාරී මූල්‍ය වාදයක් ප්‍රමුඛ කොට කටයුතු කරන බැංකු හා මූල්‍ය ආයතන ක්‍රමයක් තබා ගෙන එය කළ නො හැකි ය.
කෙසේ වෙතත් 2008 ඇති වූ මූල්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීමෙන් පසු නවලිබරල්වාදී ආර්ථික ක්‍රමය පිළිබඳ ආර්ථික විශේෂඥයන් අතර තිබූ අත්‍යන්ත උත්කර්ෂය සැලකිය යුතු ලෙස පහ ව ගොස් ඇත. එහෙත් නවලිබරල් ආර්ථික ක්‍රමයේ කොල්ලකාරී ඵලයක් ලෙස බිහි වූ සල්ලිකාර මාෆියාව බොහෝ රටවල දේශපාලන දේහය මෙහෙයවන්නන් බවට පත් වෙමින් තිබේ. පරණ ප්‍රජාතන්ත්‍රවාදී වහන්තරාව ඉවත දමමින් විචාරය වෙනුවට ආවේගය උපයෝගී කර ගන්නා වර්ගවාදී අනන්‍යතා දේශපාලන මාදිලියක් ඔවුන්ගේ බලය පවත්වා ගැනීමේ දී ජනමතය දිනා ගැනීමට නිරන්තරයෙන් යොදා ගනු ලැබේ.
© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022
කෙසේ වෙතත් යුක්තිගරුක දේශපාලනය නවලිබරල් වාදය මඟින් සාක්ෂාත් කරගත හැකි දෙයක් නොවේ. ඒ පිළිබඳව අපි ඉදිරි පරිච්ඡේදවලදී සාකච්ඡා කරමු.
[1] Badiou, Alain with Lancelin, Aude, (2019) In Praise of Politics, Medford: Polity Press, p.5
[2] Francis, Fukuyama (2014). Political Order and Political Decay. London: Profile Books, p. 574 (KE)
[3] Graeber, David and Wengrow, David (2021) The Dawn of Everything: A new History of Humanity, New York: Allen Lane, p 43 KE
[4] Graeber, David and Wengrow, David (2021) The Dawn of Everything: A new History of Humanity, New York: Allen Lane, pp. 46-48 KE
[5] https://www.who.int/news-room/fact-sheets/detail/children-reducing-mortality Retrieved on 08 Jan 2021
[6] https://www.ipcc.ch/assessment-report/ar6/ Retrieved on 15 August 2021
[7] Stiglitz, Joseph (2012) People, Power and Politics, New York: W.W.Norton and Company, p 103
[8] බදු කුලී අපේක්ෂිත (rent seeking) කටයුතු යනු අලුතින් ධන සම්පත් නිපදවීමකින් තොරව තමන් සතු ධනය වැඩි කර ගැනීමට කරන කටයුතු යි. බදු කුලී අපේක්ෂිත කටයුතු වල ප්‍රතිඵල වන්නේ සම්පත් අනිසි ලෙස යොදා ගැනීම, ධන සම්පත් නිපදවීම අඩු වීම, රාජ්‍ය ආදායම අඩු වීම, ආදායම් විෂමතා වැඩි වීම ආදිය නිසා ආර්ථික කාර්යක්ෂමතාව අඩු වීම යි.,