5. සංවිචාරණ ප්‍රජාතන්ත්‍රවාදයේ මොන්ගෝලීය අත්දැකීම

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

මොන්ගෝලීය සංවිචාරණ ඡන්දයේ එක් අවස්ථාවක්

ඉහත පරිච්ඡේදයේ විස්තර කළ අයිස්ලන්තයේ අත්දැකීම විග්‍රහ කරමින් විවෘත ප්‍රජාතන්ත්‍රවාදයක් යනුවෙන් ප්‍රායෝගික වසයෙන් අදහස් වන්නේ කුමක් ද යන පැනයට පිළිතුරු දෙන  හෙලන් ලැන්ඩ්මොර් ඒ සඳහා සුදුසු තනි ක්‍රමයක් නොමැති බව පවසයි. අයිස්ලන්ත ව්‍යවස්ථා සම්පාදනයේ දී අනුගමනය කළ ක්‍රමෝපාය තුළ වැදගත් නව ක්‍රමවේද තිබුණ ද එය ද මුළුමනින් සාර්ථක උදාහරණයක් යැයි කිව නො හැකි ය.  එහෙත් ඕනෑම සන්දර්භයක් යටතේ වුවද විවෘත ප්‍රජාතන්ත්‍රවාදයක මුඛ්‍ය සාධකය වන්නේ “open mini-public” හෙවත් ‘විවෘත මිනි-ජන සමූහ’ බව ඇය පෙන්වා දෙයි..[1] Mini-public හෙවත් ‘මිනි-ජන සමූහ’ යන යෙදුම භාවිත වෙන්නේ කිසියම් ගැටලුවක් සංවිචාරණයට ලක් කිරීම සඳහා අහඹු ලෙස තෝරා ගත් සංඛ්‍යාවෙන් තරමක් කුඩා කණ්ඩායමකට සීමා වූ සාකච්ඡා සභාවලට යි.  සිය විචාර බුද්ධිය මෙහෙයවා පොදු වැදගත්කමකින් යුතු විෂය කරුණක් පිළිබඳව සංවිචාරණය (deliberation) කොට තීරණය කිරීම පිණිස රැස් වන එවැනි මිනි ජන සමූහ කුසපත් ඇදීමෙන් හෝ ඒ සමාන අහඹු ක්‍රමයකින් තෝරා ගත්, සාමාන්‍යයෙන් එකිනෙකා හා නිතර ඇසුරු නො කරන, විවිධ පසුබිම් වලින් යුත් පුරවැසියන්ගෙන් සමන්විත විය යුතු ය. මිනි ජන සමූහ සාකච්ඡාවල දී  මතු වෙන කරුණු හා යෝජනා සම්බන්ධයෙන් අවශේෂ මහජනතාවට දුරස්ථ ව ප්‍රතිචාර දැක්වීමට ඉඩ ප්‍රස්තා සලසා තිබිය යුතු ය.[2]

‘විවෘත මිනි ජන සමූහය’ (open mini-public) යනුවෙන් ලැන්ඩ්මොර් හඳුන්වන්නේ පොදු ජනයා විසින් පුරවැසි මුලපිරුම් (citizens initiatives) මඟින් ඉදිරිපත් කරන අදහස්වලට අනිවාර්යයෙන් ම  විවෘත වූ ද අහඹු ලෙස (random) තෝරා ගත් සාමාජිකයන්ගෙන් සමන්විත වූ ද මහජන සභාවකි. එය බොහෝ දුරට අයිස්ලන්ත ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමට අහඹු ලෙස තෝරා ගත් විසිපස් දෙනාගෙන් යුත් ව්‍යවස්ථා කෙටුම්පත් සභාවට සමාන ය. ඔස්ට්‍රියාවේ අනාගත කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ සිට එක්සත් රාජධානියේ වැඩිහිටි සුභසාධනය සඳහා මුදල් වෙන් කිරීම දක්වා විවිධ ප්‍රශ්න හා විසඳුම් සාකච්ඡා කිරීම පිණිස යුරෝපා රටවල් ගණනාවක පැවති සියයකට අධික එවැනි ‘විවෘත මිනි ජන සමූහ’ පිළිබඳ විස්තර http://www.participedia.netවෙබ් අඩවිය වාර්තා කරයි.[3]

‘විවෘත මිනි ජන සමූහ’ කතිකා ක්‍රමවේදය තුළ  විශේෂ මහජන සාකච්ඡා සභා පැවැත්වීම සහ අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාශීලී ලෙස ජනමූලීය (crowdsourcing) අදහස් හා ප්‍රතිචාර ලබා ගැනීමට නිත්‍ය විධික්‍රමයක් තිබීම සුවිශේෂ අංගයකි. එම කතිකා ක්‍රමවේදයේ කූට ප්‍රාප්තිය වන්නේ මුඛ්‍ය කාරණය පිළිබඳ ජන මත විචාරණයකි. බොහෝ විට එය පවා ජනමූලීය ප්‍රතිචාර ලබාගත් ආකාරයට සමාන ව අන්තර්ජාල පහසුකම් ඔස්සේ ම ක්‍රියාත්මක කළ හැකි ය.  ඒ අනුව ‘විවෘත මිනි ජන සමූහයේ’ කාර්යභාරය වන්නේ කාර්යක්ෂම ව කතිකාව පවත්වා ගෙන යන අතර ම ඒ සඳහා පෘථුල මහජන සහභාගිත්වයක් ලබා ගැනීම බව ලැන්ඩ්මොර් පෙන්වා දෙයි. ඒ අතරම පුරවැසි මුලපිරුම්වල සිට ජනමත විචාරණයක් දක්වා යොදා ගත හැකි විධිවිධාන නිසා ‘විවෘත මිනි ජන සමූහය’ විසින් තීරණය කරණු ලබන න්‍යාය පත්‍රයට විශාල බලපෑමක් කිරීමට පොදු ජනතාවට හැකි වේ. ඒ හැර ‘විවෘත මිනි ජන සමූහයට’ අහඹු ලෙස තෝරා පත් වූ අය ඒ සඳහා ඇති වෙබ් අඩවිය, ෆේස්බුක් පිටුව හා ට්විටර් පණිවිඩ ක්‍රම භාවිත කරමින් සාකච්ඡාවට භාජනය වන කරුණු පිළිබඳ ව පොදු ජනතාව හා නිරන්තර සංවාදයක යෙදෙයි. අහඹු ක්‍රමය අනුව තෝරා පත් වන පුරවැසියන් සියල්ලන්ට ම ඒ හැකියාව තිබේ දැයි නො දන්නා බැවින් ‘විවෘත මිනි ජන සමූහය’ සඳහා පත් කළ පහසුකම් සපයන්නන්ට හා කාර්ය මණ්ඩලයට ඒ සඳහා සහාය විය හැකි ය. අවසානයේ දී ඉතා වැදගත් කරුණු සම්බන්ධයෙන් අන්තර්ජාලය ද උපයෝගී කර ගෙන සිදු කරන ජනමත විචාරණයකින් සමස්ත මහජනතාව සහ විවෘත මිනි ජන සමූහය අතර පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සහ-සම්බන්ධතාව තහවුරු කළ හැකි ය.

මෙවැනි විවෘත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක ඇති වාසි තුන් ආකාරයකින් විස්තර කළ හැකි බව ලැන්ඩ්මොර් පෙන්වා දෙයි. ප්‍රථමයෙන් ම විවෘත ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනප්‍රිය පාලනය පිළිබඳ පරමාදර්ශය විශ්වසනීය ලෙස ස්ථාපිත කිරීමේ ප්‍රයත්නයකි. එමඟින් ඉටු කෙරෙන්නේ මහජන අධිකාරය තහවුරු කිරීම පිණිස හැකි තාක් දුරට පුළුල්  ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්වය තහවුරු කිරීම යි. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතැම් සාම්ප්‍රදායික ලක්ෂණ එය තුළ තිබිය හැකි වූව ද රාජ්‍ය සම්බන්ධයෙන් රටවැසියන්ගේ භූමිකාව වඩා සක්‍රිය හා සඵලදායී එකක් බවට පත් කිරීම අතින් එය සාම්ප්‍රදායික නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අබිබවා යයි. ආයතනික ප්‍රතිසංස්කරණ සඳහා මාර්ගෝපදේශ ලබා දීමේ දී මැතිවරණයෙන් මහජනතාවගේ කැමැත්ත ගැනීමෙන් පසු ඔවුන් ඈත් කොට තබනවාට වඩා විවෘත ප්‍රජාතන්ත්‍රවාදයෙන් කෙරෙන්නේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නොකඩවා සන්නිරීක්ෂණය කරමින් එයට මැදිහත් වීමට මහජනතාව සබල ගැන්වීමයි.

දෙවනුව, විවෘත ප්‍රජාතන්ත්‍රවාදය යනු වඩා පුළුල් පුරවැසි සහභාගිත්වයක් සලසන ක්‍රමයක් බැවින් එය ප්‍රජාතන්ත්‍රවාදී තර්ක බුද්ධියට හෙවත් සාමූහික ප්‍රඥාවට (collective wisdom) වැඩි ඉඩක් සලසන ක්‍රමයකි. වෙනත් අන්දමකින් පැවසුවොත් විවෘත ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයක් පමණක් නො ව එහි ඇති විවෘත ස්වභාවය නිසාම රටවැසියන්ගේ සුභසාධනය, සෞඛ්‍ය සහ සන්තුෂ්ටිය වැනි පොදු යහපත පිළිබඳ කරුණු ගැන දැඩි අවධානයකින් යුතු ව වඩාත් හොඳින් ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදයකි.

තෙවනුව, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට වඩා විවෘත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවරය, කල් පවතින සුලු ය. ඊට හේතුව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය මෙන් නොව විවෘත ප්‍රජාතන්ත්‍රවාදය කිසියම් කතිපයාධිපත්‍යයක ග්‍රහණයට හසු වීමට ඇති ඉඩ කඩ අඩු වීමයි. නොයෙක් ආකාරයේ ඒකාධිපති ප්‍රවණතාවලට එරෙහි ව ප්‍රජාතන්ත්‍රවාදී සුජාතභාවය භාවය පවත්වා ගැනීම සම්බන්ධයෙන් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට වඩා වැඩි ශක්‍යතාවක් ඇත්තේ විවෘත සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදයටයි.  

ලැන්ඩ්මොර් පෙන්වා දෙන අන්දමට විවෘත ප්‍රජාතන්ත්‍රවාදය මැතිවරණ මාදිලියක් සහිතව ද පවත්වා ගෙන යා හැකි ය. උදාහරණයක් ලෙස අයිස්ලන්තයේ විසිපස් දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තෝරා පත්කර ගන්නා ලද්දේ ආධුනික දේශපාලනඥයින්ට පමණක් තරඟ කළ හැකි මැතිවරණයකිනි. මැතිවරණවලින් තොර කුසපත් ඇදීම වැනි ක්‍රමවලින් නියෝජන ක්‍රමයේ ඇති අඩුපාඩු  ඌණ පූරණය වන්නේ නම් සහ ව්‍යවස්ථා හා නීති සම්පාදනයේ දී නිරන්තර මහජන මැදිහත් වීම් සඳහා ව්‍යවස්ථාපිත ක්‍රමවේද සලසා තිබේ නම් විවෘත ප්‍රජාතන්ත්‍රවාදය තුළ පක්ෂ ක්‍රමය මුළුමනින් ම අහෝසි වෙතැ’යි බිය විය යුතු නැති බව ලැන්ඩ්මොර් පවසයි. එහෙත් මැතිවරණ වියදම් නියාමනය, පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විධිවිධාන, අපේක්ෂකයන්ගේ අසද්භාවය සහ මැතිවරණ දූෂණ පිටු දැකීමේ අව්‍යාජ විධිවිධාන සහ විද්‍යුත් මාධ්‍යයේ අපක්ෂපාතිත්වය වැනි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන කොන්දේසි නොමැති ව පවත්වා ගෙන යන පාලන ක්‍රමයක දේශපාලන පක්ෂයක් යනු හුදෙක් බලය අල්ලා ගැනීමේ දේශපාලනය සඳහා අතළොස්සක් විසින් යොදා ගන්නා කෙමණකට වැඩි දෙයක් නො වේ.

විවෘත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීමට හැකි බව කලින් පරිච්ඡේදයේ විස්තර කළ අයිස්ලන්ත අත්හදා බැලීම තහවුරු කළේ ය. ප්‍රජාතන්ත්‍රවාදය විවෘත කිරීම සඳහා විධිමත් සංවිචාරණය යොදා ගත් තවත් වැදගත් මෑත කාලීන අත්දැකීමක් ආසියානු රටක වැසියන් වන මොංගෝලියන්වරුන්ට ද තිබේ. එහි දී සංවිචාරණ ඡන්ද විමසුම (deliberative poll) නමැති ක්‍රමය හඳුන්වා ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් විවෘත කළ අන්දම පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මහාචාර්ය ජේම්ස් ෆිෂ්කින් විසින් පළ කර තිබේ.[4] ඒ අනුව මොංගෝලියානු අත්දැකීම අදියර දෙකකින් යුක්ත ය. ඉන් පළමුවැන්න ක්‍රියාත්මක වුණේ 2015 දී ය. එහි මූලික අරමුණ උලන්බටාර් අගනුවර සම්බන්ධයෙන් යෝජනා කර තිබූ සංවර්ධන ව්‍යාපෘති 14ක වැදගත්කම සහ ප්‍රමුඛත්වය මහජන මතය අනුව තීරණය කිරීමයි. ඒ සඳහා නගරවැසියන්ගේ විවිධ ස්තර නියෝජනය වන පරිදි අහඹු ලෙස තෝරා ගත් නිවාස 1502 ක නියැදියකින් පුරවැසියන් 400 දෙනෙක් අහඹු ලෙස තෝරා ගනු ලැබූහ. අහඹු නියැදියට (random sample) තේරුණු නිවාස සියල්ලට ම ව්‍යාපෘති 14 පිළිබඳ ප්‍රමුඛත්වය ප්‍රකාශ කළ හැකි ප්‍රශ්නාවලියක් සංවිචාරණයට පෙර පැවති ආධාරක සමීක්ෂණයේ දී ලබා දී තිබුණි. සංවර්ධන ව්‍යාපෘති 14 හි ප්‍රමුඛත්වය පිළිබඳ ඒ වන විට නගරවාසීන් අතර තිබූ මතය ගැන කිසියම් අවබෝධයක් ඒ අනුව ඇති කර ගත හැකි විය. එම ව්‍යාපෘති සියල්ල ම ණය ලබා ගැනීමෙන් ක්‍රියාත්මක කළ යුතු ඒවා විය. එම කාරණය ද සලකමින් ව්‍යාපෘතිවල වැදගත්කම අනුපිළිවෙළින් තේරීම සංවිචාරණීය ඡන්ද දායකයන් ලෙස අහම්බයෙන් තෝරා ගත් පුරවැසියන්ගෙන් බලාපොරොත්තු වූ කටයුත්ත විය. එසේ අහඹු ක්‍රමයට තේරී පත් වූ සංවිචාරණ ඡන්ද හිමියන් 400 දෙනාට ම ඇරයුම් පත් සමඟ සාකච්ඡාවට ලක් වන ව්‍යාපෘති 14 පිළිබඳ අවශ්‍ය තොරතුරු අඩංගු ගොනුවක් යවා තිබුණි. සංවිචාරණ කතිකාව සඳහා අවම වසයෙන් ඉන් 300 දෙනෙකු පමණ පැමිණෙතැ’යි  බලාපොරොත්තු විය. එහෙත් අවසානයේ කතිකාව සඳහා 317 දෙනෙකු ම  පැමිණ තිබුණි.

ඒ අනුව  ඔවුන් සියලු දෙනා ම කුසපත් ඇදීමෙන් එකකට පහළොස් දෙනෙකු පමණ වන කණ්ඩායම්වලට තෝරා වෙන් කොට ව්‍යාපෘති  පිළිබඳ ව සංවිචාරණ කතිකාව කර ගෙන යෑම  සඳහා ඉඩ සලසනු ලැබීය . එක් එක් ව්‍යාපෘතිය පිළිබඳ  තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු මොඩරේටර්වරුන් හෙවත් මැදහත්කරුවන් විසින් සපයන ලද අතර  නිශ්චිත න්‍යාය පත්‍රයකට අනුව හැම ව්‍යාපෘතියක් ගැන ම සංවිචාරණ සාකච්ඡා සැසි පැවැත‍්විණි. මොඩරේටර්වරුන් පුහුණු කර තිබුණේ සිය පුද්ගලික මතය ප්‍රකාශ කිරීමෙන් වැළකීම හා සහභාගි වන්නන්ගේ තේරීම්වලට බලපාන අන්දමින් මැදිහත් නො වී ම ඔවුන්ගේ භූමිකාවේ ප්‍රධාන කාර්යයක් ය යන අවබෝධය ද ලබා දෙමිනි. ඔවුන්ගේ කාර්ය වූයේ සියල්ලන්ගේ ම සහභාගිත්වය උත්තේජනය කරමින් හැම යෝජනාවක ම හොඳ සහ නරක සාකච්ඡාවට ලක් කිරීම සහ සහභාගි වන්නන් අතර අන්‍යෝන්‍ය ගෞරවය තහවුරු වන ලෙස ක්‍රියා කිරීමයි. එක් එක් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැවතුණු කණ්ඩායම් සාකච්ඡා සැසි අවසන් වූයේ ප්‍රධාන සැසි වාරවලට පැමිණීමට නියමිත විශේෂඥයින්ගෙන් විමසිය යුතු කරුණු සහ ප්‍රශ්න මොනවාද යන්න තීරණය කර ගැනීමෙනි. මේ අන්දමින් ව්‍යාපෘති 14 ම සාකච්ඡා වෙන තෙක් දෙ දිනක් තිස්සේ මාරුවෙන් මාරුවට කණ්ඩායම් සාකච්ඡා සැසි සහ ප්‍රධාන සාකච්ඡා සැසි පැවැත‍්විණි. අවසාන දිනයේ දී සියල්ලෝ ම පළමුවෙන් ම පැවැත්වුණු ආධාරක සමීක්ෂණයේ දී බෙදා දුන් ප්‍රශ්නාවලිය නැවත විමර්ශනයට ලක් කරමින් ව්‍යාපෘති ප්‍රමුඛත්වය තීරණය කළෝ ය.

ඒ අනුව පුරවැසියන් විසින් සංවිචාරණ ඡන්ද ක්‍රමයෙන් තීරණය කළ ව්‍යාපෘති ප්‍රමුඛත්වය අනුව නගරසභාව විසින් නව ක්‍රියාන්විත සැලැස්මක් සකස් කළේ ය. එම සැලැස්ම 2016 යෝජනා අංක 174 යටතේ පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද අතර ඒ අනුව කටයුතු ඉටු කිරීමට නගරවැසියන් සහ සියලු ම රාජ්‍ය ආයතන බැඳී සිටී. ප්‍රමුඛතම ව්‍යාපෘතිය ලෙස තෝරා ගන්නා ලද නගරයේ පාසල්වල පංති කාමර උණුසුම් කිරීම ඇතුළු ප්‍රමුඛ ව්‍යාපෘති ගණනාවක් ම කල් නො යවා ම දියත් කෙරිණි.

අගනුවර ව්‍යාපෘති 14 පිළිබඳ ප්‍රමුඛත්වය තීරණය කිරීමට පැවැත්වූ සංවිචාරණ ඡන්දයේ සාර්ථකත්වය දුටු මොන්ගෝලියානු පාර්ලිමේන්තුව සංවිචාරණ ඡන්ද ක්‍රමය ව්‍යවස්ථාපිත කිරීම පිණිස “Law on Deliberative Polling” හෙවත් ‘සංවිචාරණ ඡන්දය පිළිබඳ නීතිය’ යනුවෙන් විශේෂ නීතියක් 2017 පෙබරවාරියේ දී සම්මත කළේ ය. මෙම නීතිය මඟින් පක්ෂග්‍රාහිත්වයකින් තොර ව සහ වෘත්තීය ප්‍රමිති අනුව සංවිචාරණ ඡන්ද විමසුමක් පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන විස්තර කර තිබුණි. සංවිචාරණ ඡන්ද විමසුම පිළියෙළ කිරීම සහ ඊට විෂය වන කරුණු නිරවුල් ව ඉදිරිපත් කිරීම සඳහා උපදේශන මණ්ඩලයක් පත් කිරීම, එහි කාර්ය සහ බලතල, නියැදි සැකසීම, අහඹු තෝරා ගැනීම  සහ ආධාරක සමීක්ෂණ සඳහා වෘත්තීය සමීක්ෂණ ආයතනයක් යොදාගැනීම, නියැදියේ ප්‍රමාණය සහ සංවිචාරණ ඡන්ද විමසුම සඳහා සහභාගි විය යුතු අවම සංඛ්‍යාව ආදී කරුණු එම නීතිය මඟින් නිර්ණය කර තිබුණි. ප්‍රාදේශීය, පළාත් බද හා ජාතික මට්ටමේ ව්‍යාපෘති සම්බන්ධයෙන් සංවිචාරණ ඡන්ද පැවැත්වීමේ නිර්ණායක වෙන් වෙන් ව නීතිය මඟින් විස්තර විය. සංවිචාරණ ඡන්ද ක්‍රමය පිළිබඳ නීතිය යටතේ පැනවූ එක් විශේෂ විධිවිධානයක් වූයේ පාර්ලිමේන්තුව මඟින් මොන්ගෝලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පිළිබඳ යෝජනා සාකච්ඡා කිරීමට පෙර එම යෝජනා ජාතික සංවිචාරණ ඡන්දයකින් අනුමත වී තිබිය යුතු බව නියම වීමයි.

ඒ අනුව ඉදිරිපත් වූ ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා 2017 අප්‍රියෙල්වල පැවැත්වුණු සංවිචාරණ ඡන්දයක දී විමසුමට ලක් විය. සංවිචාරණ ඡන්දයට පෙර සූදානමක් ලෙස සලකා බැලිය යුතු විවිධ ව්‍යවස්ථා සංශෝධන රට පුරා පැවති විවිධ රැස්වීම්වල ඒ වන විට සාකච්ඡාවට ලක් වෙමින් තිබුණි. මහජනතාව විසින් කරන ලද එකී මැදිහත්වීම් සලකමින් සංවිචාරණ ඡන්ද උපදේශන කමිටුව අදාළ යෝජනා සම්බන්ධයෙන් න්‍යාය පත්‍රයක් සකස් කොට ප්‍රසිද්ධ කළේ ය. එයට අනුව සමීක්ෂණ කණ්ඩායම විසින් මූලික ආධාරක සමීක්ෂණය සඳහා ප්‍රශ්නාවලියක් සහ සංවිචාරණය සඳහා අවශ්‍ය තොරතුරු පත්‍රිකා සකස් කරන ලදී.

සංවිචාරණ ඡන්දදායකයන්ගේ නියැදිය සැකසීම සිදු කරන ලද්දේ ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසිනි. ඒ සඳහා රටේ නොයෙක් ප්‍රදේශවලින් විවිධ සමාජ මට්ටම් නියෝජනය වන ලෙස කුසපත් ඇදීමේ ක්‍රමයට අහඹු ලෙස කුටුම්බ 1568ක් තෝරා ගන්නා ලදී. තෝරාගත් හැම නිවසකට ම ගිය සමීක්ෂකයෝ මූලික ප්‍රශ්නාවලිය මත ගෘහමූලිකයා හෝ සංවිචාරණයට සහභාගි වීමට පවුලේ අය විසින් තෝරා ගත් සාමාජිකයා ආධාරක සමීක්ෂණයට සහභාගි කර ගත්තේ ය. සමීක්ෂකයන් ඇත්ත වසයෙන් ම එකී නිවාසවලට යන්නේ දැ’යි නිරීක්ෂණය කිරීම පිණිස GPS හෙවත් ගෝලීය තැන් සෙවුම් පද්ධති තාක්ෂණය යොදා ගැනිණි. තෝරා ගත් නිවාස 1568 අතරෙන් 1554ක් ආධාරක සමීක්ෂණය සම්පූර්ණ කළ අතර ඉන් සංවිචාරණයට සහභාගි වීමට කැමැත්ත පළ කළ නිවාසවලින් අහඹු ලෙස තෝරා ගත් නිවාස 785කට සංවිචාරණ ඡන්ද විමසීමට සහභාගි වීමේ ආරාධනා පත්‍ර යවන ලදී. අනතුරු ව පැවති සංවිචාරණ සැසි වාර උලන්බටාර් නගර ව්‍යාපෘති සම්බන්ධයෙන් පැවති සංවිචාරණ වැඩපිළිවෙළට බෙහෙවින් සමාන විය. සංවිචාරණයට ලක් වූ ව්‍යවස්ථා සංශෝධන යෝජනා හය සම්බන්ධ ව විවිධ මානවලින් විමසන ප්‍රශ්නාවලියක් සංවිචාරණ කණ්ඩායම් කතිකාවල දී පිළියෙළ කරන ලදු ව අනතුරු ව ඒවා පදනම් කොට ප්‍රධාන සාකච්ඡා සැසි පැවැත‍්විණි. සියලු සංවිචාරණ සාකච්ඡා අවසානයේ යෝජනා හය ප්‍රමුඛත්වය අනුව ලැයිස්තු ගත කළ විට යෝජනා දෙකක් සම්බන්ධයෙන් හැර ඉතිරි ප්‍රතිඵලය බොහෝ දුරට මුලින් ම කළ ආධාරක සමීක්ෂණයේ ප්‍රතිඵල හා සමාන බව පෙනී ගියේ ය.

ආධාරක සමීක්ෂණයේ දී 61% ක් කැමති වූ පාර්ලිමේන්තුවේ කටයුතු සන්නිරීක්ෂණය කිරීම සඳහා දෙවැනි මන්ත්‍රණ සභාවක් පිහිටුවීමේ යෝජනාව සංවිචාරණ සාකච්ඡා වටවලින් පසුව 30% දක්වා අඩු වීම සංවිචාරණ ඡන්දයේ දී ඇති වූ කැපී පෙනෙන වෙනසක් විය. සංවිචාරණ ඡන්දයෙන් 50% ට වැඩි කැමැත්තක් ලබා ගැනීමට නො හැකි වූ නිසා එය පාර්ලිමේන්තු සාකච්ඡාව සඳහා අනුමත නො විණි. ඒ පිළිබඳ තිබූ ප්‍රධාන විවේචනය වූයේ යෝජිත දෙවැනි මන්ත්‍රණ සභාවේ නියෝජනය ද පක්ෂ ක්‍රමය අනුව සිදුවන්නක් බැවින් පාර්ලිමේන්තුවට වෙනස් ආකාරයක සේවයක් ඉන් ඉටු නො වන බවයි. දෙවැනි මන්ත්‍රණ සභාව කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා සාමාජිකයන්ගෙන් සමන්විත විය යුතු බවට යෝජනාවක් තිබුණේ නම් සමහර විට ඒ තීරණය වෙනස් වන්නට ඉඩ තිබුණි. අඩු සංවිචාරණ ඡන්දයක් ලැබීමෙන් ප්‍රතික්ෂේප වූ අනෙක් යෝජනාව වූයේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයක් වූ එක් වතාවකට සීමා කිරීම සහ සෘජු ඡන්දයකින් ජනාධිපති තෝරා පත් කිරීම වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන් මඟින් ජනාධිපති තෝරා ගැනීමයි . ආධාරක සමීක්ෂණයේ දී ඒ සඳහා 61.5% ක් කැමැත්ත පළ කර තිබූ නමුත් සංවිචාරණ ඡන්ද විමසීමේ දී එය 41% දක්වා අඩු විය. ආධාරක සමීක්ෂණයේ දී 57% ක් කැමති වූ කැබිනට් මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීම හා ඉවත් කිරීම අගමැතිවරයාට පැවරිය යුතු ය යන යෝජනාවට සංවිචාරණ ඡන්දයේ දී 73% ක මනාපයක් ලැබීම අනික් කැපී පෙනෙන වෙනසයි.

සංවිචාරණ ඡන්දයේ ප්‍රතිඵල පාර්ලිමේන්තුවේ දී උණුසුම් සාකච්ඡාවකට ලක් විය. වඩාත් කැපී පෙනෙන කාරණය වූයේ ආණ්ඩු කරන දේශපාලන පක්ෂය ප්‍රබල ලෙස අනුමැතිය දැක්වූ ජනාධිපතිවරයා තේරිමේ ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාව සහ ප්‍රධාන විරුද්ධ පක්ෂය අනුග්‍රහය දැක්වූ ද්විමණ්ත්‍රණ සභාව යන යෝජනා දෙක ම සංවිචාරණ ඡන්දයෙන් ප්‍රතික්ෂේප වී තිබීමයි. මේ නිසා සංවිචාරණ ඡන්ද ක්‍රමය පිළිබඳ දේශපාලන පක්ෂ අකැමැත්තක් දැක්වූවත් අවසානයේ දී පාර්ලිමේන්තුව සංවිචාරණ ඡන්දයෙන් 50% කට වැඩි අනුමැතියක් ලබාගෙන තිබූ යෝජනා අනුව අවශ්‍ය වූ  පරිදි 2/3 වැඩි ඡන්දයකින් ව්‍යවස්ථාව සංශෝධනය කළේ ය.

මොන්ගෝලීය සංවිචාරණ ක්‍රමයේ මූලික පියවරවල් මෙසේ අනුපිළිවෙළින් පෙළ ගැස්විය හැකි ය

  1. අදාළ මහජන න්‍යාය පත්‍රයට අඩංගු කළ යුතු යෝජනා සහ විකල්ප සාකච්ඡා කිරීම පිණිස රට පුරා පැවති පුරවැසි රැස්වීම් මාලාව.
  2. උපදේශන මණ්ඩලයේ සාකච්ඡා – ආධාරක සමීක්ෂණය සඳහා යෝජනා හා ප්‍රශ්නාවලිය.
  3. අහඹු සංවිචාරණ සභාවේ සාකච්ඡාව සහ තීරණය.
  4. නො සලකා හැරිය යුතු යෝජනා සනිටුහන් කරමින් අවශ්‍ය නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
  5. තුනෙන් දෙකක වැඩි ඡන්දය ලැබේ නම් යෝජිත නිර්දේශ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබීම.

මේ අත්දැකීම විස්තර කරමින් මොන්ගෝලියානු පාර්ලිමේන්තුවේ කථානායක සන්දන්ෂතාර් ඔහුගේ පුද්ගලික නිරීක්ෂණ මෙසේ පළ කළේ ය:

“සංවිචාරණයේ දී රටවැසියන් අතර හුවමාරු වූ අදහස් උදහස් ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවලියේ දී ඉතා වැදගත් විය. පුරවැසි සහභාගිත්වය සහ පුරවැසියන්ට කන්දීම සංශෝධන ක්‍රියාවලියේ දී කේන්ද්‍රිය කරුණක් වූ අතර අපි ඒ සඳහා පුළුල් උපදේශන යන්ත්‍රණයක් යොදා ගත්තෙමු. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රට පුරා යමින් පුරවැසි රැස්වීම්වලට සහභාගි වෙමින් විවිධ අදහස්වලට කන්දෙමින් වැසියන් සමඟ සාකච්ඡා කළහ. එහි දී අපට දහස් ගණන් අදහස් සහ යෝජනා එකතු කර ගැනීමට හැකි විය. මෙතෙක් යොදා ගත් අනෙකුත් සියලු ම උපදේශන ක්‍රම හා සසඳන විට සංවිචාරණ ඡන්ද ක්‍රමය නිසා වඩාත් දැනුවත් සහ ප්‍රවේසමෙන් සලකා බලන ලද අදහස් සහ විශාල දත්ත ප්‍රමාණයක් අපට ලබාගත හැකි විය. ඒවා සංඛ්‍යාවෙන් මෙන් ම ගුණාත්මක බවින් ද ඉහළ මට්ටමක තිබුණි. ව්‍යවස්ථා සංශෝධන සාකච්ඡාවේ දී අපට ඒවා බෙහෙවින් ප්‍රයෝජනවත් විය. ඒ අනුව විශේෂඥයන්ගේ ද සහාය ඇති ව සංශෝධන තවදුරටත් විශුද්ධ කිරීමට අපට හැකි විය.  එහෙත් සංවිචාරණ ඡන්ද ක්‍රමය මඟින් තහවුරු කළ මූලධර්මය සමස්ත ක්‍රියාවලිය තුළ ම නිරූපණය කළ බව අවසාන ප්‍රතිඵලයෙන් මනාව පෙනී යයි.”[5]

දැන් පාර්ලිමේන්තු කටයුතු සඳහා පමණක් නො ව පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ද ආදේශ වන නීතියක් බවට පත් ව ඇති මොන්ගෝලියාවේ මේ අත්දැකීම විධිමත් සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම මඟින් වඩා අන්තර්ග්‍රහණීය හෙවත් සියල්ලන් අතුළත් වෙන සාමූහික තීරණ ගැණීමේ හැකියාව තහවුරු කරයි. එමඟින් දේශපාලන තීරණ ගැනීමේ දිශානතිය දමනය කිරීම මහජනතාව අතට පත් කරයි. ඒ අනුව මහජනයාගේ සංවිචාරණ  ඡන්දයකින් අනුමත නො කරන කිසිදු තීරණාත්මක යෝජනාවක් පාර්ලිමේන්තුවට  සම්මත කළ නො හැකි ය. මේ ක්‍රියාවලිය තුළ සංවිචාරණයට යොමු කරන සියලු යෝජනා සම්බන්ධයෙන් පුළුල් සමාජ සාකච්ඡාවක් ඇති වෙන අතර යෝජනාවලට පක්ෂ විපක්ෂ සියලු පාර්ශවවලට තම මතය සමානාත්මතාව මත අහඹු ලෙස තෝරා පත් කෙරෙන සංවිචාරකයන්ට ඉදිරිපත් කළ හැකි ය.

මොංගෝලියාවේ මේ අත්දැකීම පිළිබඳ විවරණයක යෙදෙන මහාචාර්ය ජේම්ස් ෆිෂ්කින් මහජනයා විසින් විචාරශීලී සංවිචාරණය මඟින් අන්ඩුකරණය දමනය (popular control) කර ගැනීමට අවශ්‍ය වන මූලික සාධක කිහිපයක් හඳුන්වා දෙයි.[6] ඉන් පළමුවැන්න අන්තර්ග්‍රහනීය බව (inclusiveness) හෙවත් සංවිචාරණයට එක්වීමට සියල්ලන්ට ම සමාන අවස්ථා ලැබෙන ක්‍රමවේදයක් තිබිය යුතු වීමයි. ඒ අනුව අහඹු ලෙස කරන තේරීමක දී සමාජයේ ඕනෑ ම කෙනෙකුට ඔහුගේ හෝ ඇයගේ වත් පොහොසත්කම්, ස්ත්‍රී පුරුෂ භාවය හා අනෙකුත් සමාජ විෂමතා නො සලකා තීන්දු ගන්නා ඡන්දදායකයෙකු ලෙස සංවිචාරණයට තෝරා පත් වීමට ඉඩ ලැබේ. අවධාරණය කරන ඊ ළඟ වැදගත්  සාධකය වන්නේ එකිනෙකට වෙනස් තෝරා ගැනීම් (choice)කිරීමට හැකි වීමයි. එනම් සංවිචාරණයේ දී අදාළ කාරණය ගැන තෝරා ගැනීමට ඇති අනෙකුත් විකල්ප එකිනෙකට සැලකිය යුතු ලෙස වෙනස් වූ සහ යථාර්ථවාදී වූ ඒවා වීමයි. තෙවැන්න මනා ලෙස දැනුවත් කළ සංවිචාරණයයි (informed deliberation). ඉන් අදහස් වන්නේ ඉදිරිපත් ඇති යෝජනා සහ විකල්පවලට පක්ෂ ව හා විපක්ෂ ව ඇති කරුණු කාරණා හොඳින් විමසා බලා කල්පනා කිරීමට මහජනයා පොලඹවන සියලු වැදගත් දත්ත සහ තොරතුරු පුළුල් ලෙස සමාජ ගත කිරීමයි. අනෙක් වැදගත් සාධකය ලෙස ෆිෂ්කින් සඳහන් කරන්නේ සංවිචාරණයේ නිර්දේශිත ප්‍රතිඵල ප්‍රායෝගික වසයෙන් ක්‍රියාත්මක වීමයි (impact). එනම් සංවිචාරණය මඟින් තීන්දු වූ තෝරා ගැනීම් ආණ්ඩුකරණය සම්බන්ධ තීරණ වසයෙන් කල් නො යවා නිශ්චිත ව ක්‍රියාවට නැංවීමයි.

අයිස්ලන්තීය සහ මොන්ගෝලියානු උදාහරණවලින් පෙන්නුම් කළ සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ න්‍යායික මට්ටමේ අදහස් කලක් තිස්සේ ම සාකච්ඡාවට ලක් ව තිබුණු ඒවා ය. ජේම්ස් බොමන් සහ විලියම් රෙග් විසින් සංස්කරණය කොට 1997දී පළ කළ Deliberative Democracy: Essay on Reason and Politics නමැති ලිපි සංග්‍රහයේ ඒ පිළිබඳ ජෝන් රොව්ල්ස් සහ ජෝසුවා කොහෙන් වැනි ප්‍රකට දේශපාලන විද්‍යාඥයන් ඉදිරිපත් කළ මතවාද සහ නිර්දේශ සංගෘහීත කර තිබේ. අනෙකුත් බොහෝ දේශපාලන න්‍යායවල දී මෙන් ම එකී නිර්දේශ දේශපාලන භාවිතයේ දී පරමාදර්ශ ලෙස සලකා යොදා ගත හැකි ඒවා ය. 

දේශපාලන සංවිචාරණයේ දී අන් හැම දෙයකට ම වඩා මුඛ්‍ය කාරණය වන්නේ  සහභාගි වන්නන් හෙවත් සංවිචාරකයන් අතර ඇති එක සමානාත්මතාව පිළිබඳ හැඟීම සංවිචාරණය සම්බන්ධයෙන් වැදගත් පූර්ව කොන්දේසියක් වීමයි. කුසපත් ඇදීමේ ක්‍රමය මඟින් එක සමාන ව තෝරා ගත් නිසා තීරණ ගැනීමට බලය ඇති කිසිදු සහභාගි වන්නෙකුට අන් අය අබිබවා ගිය හැකි විශේෂ තත්වයක් හිමි නො වේ. ඒ නිසා නියම සංවිචාරණයක යෙදෙන කොටස්කරුවන් විධිමත් ව මෙන් ම හරායාත්මක ව ද සමානයෝ ය.

ඔවුන් විධිමත් ලෙස සමානයන් වන්නේ සංවිචාරණය සඳහා උපයෝගී කර ගන්නා කිසිදු නීතියක් හෝ රෙගුලාසියක් හෝ මඟින් කිසියම් පුද්ගලයෙකුට විශේෂ වරප්‍රසාදයක් සැලකිල්ලක් නො ලැබෙන බැවිනි. සංවිචාරණීය විධි ක්‍රමය තුළ හැම අදියරක දී ම සංවිචාරණීය හැකියා ඇති හැම කෙනෙකුට ම සම අවස්ථා ලැබේ. ඒ අනුව න්‍යාය පත්‍රයට කරුණු ඇතුළත් කිරීම, යෝජනා ඉදිරිපත් කිරීම සහ යෝජනා යුක්ති යුක්ත කිරීම හෝ විවේචනය කිරීම හැම සංවිචාරකයෙකුට ම කළ හැකි විය යුතු ය. එමෙන් ම තීරණ ගැනීමේ දී හැම කෙනෙකුට ම එක සමාන හඬක් තිබිය යුතු ය.

සහභාගි වන්නන් හෙවත් සංවිචාරකයන් හරායාත්මක වසයෙන් සමාන යැ’යි යන්නෙන් කියවෙන්නේ කිසිදු සංවිචාරකයෙකුගේ වත්කම් හා බලගතු බව සංවිචාරණයේ දී ඔහු හෝ ඇය හෝ ලබා දෙන දායකත්වයේ ස්වභාවය තීරණය වීමට හේතු නො විය යුතු බවයි.  එමෙන් ම එවැනි විශේෂ සමාජ තත්වයක් සංවිචාරණයේ දී කිසිදු අධිකාරි භූමිකාවක් ඉටු නො කළ යුතු ය. සමානයන් අතර නිදහස් සංවිචාරණයක් සඳහා රාමුවක් ඇති කිරීම ගැන හැරෙන විට කිසිදු සංවිචාරකයෙකු පවතින ක්‍රමය තුළ ඇති අනෙකුත් අයිතිවාසිකම් හා රෙගුලාසිවලින් බැඳී නැත. ඒ වෙනුවට ඔවුහු පවතින ක්‍රමය ද සිය සංවිචාරණීය විනිශ්චයේ එක් ආරම්මණයක් (object) ලෙස සලකති.

හැම නියම සංවිචාරණයක් ම අවසානයේ දී හේතු යුක්ති කිරීම මඟින් පොලඹවන ලද සම්මුතියකට එළඹිය යුතු ය. එක සමානයන් ලෙස සියලු  විකල්ප පිළිබඳ නිදහස් ව සහ සහේතුක ව කරන ලද ඇගයීමකින් එළඹුණු ප්‍රතිඵලය මත අවසානයේ දී කටයුතු කිරීමට කැප වී ඇති සියල්ලන්ට ම එම සම්මුතිය ඒත්තු යන සුලු විය යුතු ය. එහෙත් සුදුසු ම කොන්දේසි යටතේ වුව ද නිත්‍ය වසයෙන් ම සම්මුතිශීලී යුක්ති යුක්ත කිරීමක් සිදු වෙතැ’ යි සහතිකයක් නැත. එසේ සම්මුතියකට එළඹිය නො හැකි සංවිචාරණයක දී වැඩි ඡන්දයෙන් නිගමනයකට එළඹිය යුතු ය.

සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය විධිමත් ලෙස  සංකල්ප ගත කිරීමේ දී විශේෂයෙන් සංවිචාරණය ප්‍රායෝගික වසයෙන් යොදා ගැනීමේ දී සැලකිය යුතු ලක්ෂණ කිහිපයක් ගැන ජොෂුවා කොහෙන් මෙසේ සඳහන් කරයි:

  1. සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩ ස්වතන්ත්‍ර සමාගමයක් (independent association) ලෙස සැලකිය හැකි ය. එහි සාමාජිකත්වයට කාලසීමාවක් නොමැත.
  2. සමාගමයේ සියලු සාමාජිකයන් එකාවන් ව පිළිගන්නා පරිදි (එසේ පිළිගන්නා බව පොදු දැනුමකි)  සමාගමය සඳහා වන කොන්දේසි සංවිචාරණයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවෙන මෙන් ම සංවිචාරණය සඳහා රාමුවක් සපයන ප්‍රමිති වසයෙන් සැලකිය යුතු ය. සංවිචාරණයක ප්‍රතිඵල  සුජාතකරණය කිරීමේ පදනම සංවිචාරණය නිදහස් එකක් වීම යි.
  3. ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුත්වවාදී (pluralistic) සමාගමයකි. එහි සාමාජිකයන්ගේ මනාප, අවබෝධය සහ ජීවන වටිනාකම් විවිධ ය. සාමූහික තේරීම් පිළිබඳ ගැටලු සංවිචාරණය මඟින් විසඳා ගැනීමට ඔවුන් කැප වී ඇති නමුත් ඔවුන්ගේ අරමුණු එකිනෙකට වෙනස් විය හැකි ය. එනිසා ඉදිරිපත් ව ඇති යෝජනා සම්බන්ධ ව බුද්ධි ගෝචර බව හැරෙන විට අනිවාර්යයෙන් සැලකිය යුතු සුවිශේෂ මනාප, අවබෝධ හෝ වටිනාකම් ඇතැ’යි ඔවුහු නො සිතති.
  4. ප්‍රජාතන්ත්‍රවාදී සමාගමයක සාමාජිකයන් සංවිචාරණීය ක්‍රමවේදය සලකන්නේ එකී සමාගමය සුජාතකරණය කිරීමේ ප්‍රභවය ලෙසයි. එනිසා ඔවුන්ගේ සමාගමය හුදෙක් සංවිචාරණයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන්නක් නො ව සංවිචාරණය මූර්තිමත් කරන දෙයක් ලෙස ඔවුන්ට හැඟී යා යුතු ය. එනිසා සංවිචාරණයේ ප්‍රතිඵල මෙන් ම සංවිචාරණය ඇත්තට ම සිදු වන ආකාරය ද ඉතා වැදගත් ය.
  5. සංවිචාරණීය සමාගමයේ යෙදෙන හැම දෙනෙකුට ම සංවිචාරණීය හැකියා එනම් සබුද්ධිමත් හේතු දැක්වීමක් කළ හැකි බවට සියලු සාමාජිකයන් පිළිගත යුතු ය. ඉන් අදහස් වන්නේ ඉදිරිපත් ව ඇති යෝජනා පිළිගැනීම, වෙනස් කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම තාර්කික ව ඉටු කිරීමේ හැකියාව සහ සංවිචාරණයේ ප්‍රතිඵල අනුව කටයුතු කිරීමේ හැකියාව සියල්ලන්ට ම ඇත යන්නයි.

ජොෂුවා කොහෙන් හඳුන්වා දෙන ideal deliberative procedure හෙවත් පරමාදර්ශී සංවිචාරණීය ක්‍රමවේදයට අනුව සංවිචාරණය පෙළ ගැස්වීමේ දී කරුණු තුනක් ප්‍රධාන වේ.  පළමුවෙන් ම සංවිචාරණය සඳහා න්‍යාය පත්‍රයක් තීරණය කළ යුතු ය. දෙවනු ව  න්‍යාය පත්‍රයේ අඩංගු කර ඇති  පිළිතුරු සැපයිය යුතු ගැටලු සම්බන්ධ හේතු යුක්ති කළ හැකි විකල්ප විසඳුම් කිහිපයක් තිබිය යුතු ය. තෙවනු ව අවම වසයෙන් ඉන් එක විකල්පයක් අවසානයේ දී  එකඟ විය හැකි එකක් විය යුතු ය. අවසාන ප්‍රතිඵලය ප්‍රජාතන්ත්‍රවාදි ලෙස සුජාතකරණය කළ හැකි වන්නේ එය සමානයන් අතර නිදහස් සහ සබුද්ධික ලෙස එකඟත්වයකට පැමිණිය හැකි විසඳීමක් වුවහොත් පමණි.

නියම සංවිචාරණයක් (ideal deliberation)සිදුවීමට තවත් වැදගත් කොන්දේසි දෙකක් සපුරා ලිය යුතු යැයි කොහෙන් පවසයි.  පළමුවෙන් ම සංවිචාරණයට සහභාගි වන අය බැඳී සිටින්නේ ඔවුන්ගේ සංවිචාරණය හා සම්බන්ධ පූර්ව කොන්දේසිවලින් සහ එම සංවිචාරණයේ ප්‍රතිඵලවලින් පමණක් බව සියල්ලන් විසින් ම පිළිගත යුතු වීමයි. යෝජනා සලකා බැලීමේ දී ඔවුන්ගේ සංවිචාරණීය චර්යාව ඉන් පෙර පැවති සම්මුති සහ එකඟතා නිසා සීමා නො විය යුතු ය. දෙවනු ව ඔවුන් විසින් එකඟ වන ප්‍රතිඵලය අනුව කටයුතු කිරීමට හැකි වනු ඇතැ’යි යන සහතිකයක් සහභාගි වන්නන්ට තිබිය යුතු ය. ඒ අනුව සංවිචාරණය මඟින් තීරණයකට එළඹීම ම එම තීරණයට අනුව කටයුතු කිරීම සාධාරණීකරණය කිරීමට  ප්‍රමාණවත් හේතුවක් විය යුතු ය.

සංවිචාරණය යුක්ති යුක්ත කළ හැකි හෙවත් තර්ක බුද්ධි ගෝචර විය යුතු ය. ඉන් අදහස් වන්නේ සංවිචාරණයේ යෙදෙන්නන් කිසියම් යෝජනාවක් ඉදිරිපත් කරන විට, ප්‍රතික්ෂේප කරන විට හා විවේචනය කරන විට එසේ කිරීම සම්බන්ධ ඔවුන් ඉදිරිපත් කරන හේතු පැහැදිලි ව හා තාර්කික ව සඳහන් කළ යුතු බවයි. ඔවුන් එසේ හේතු ඉදිරිපත් කරන්නේ එකී හේතුවල සබුද්ධික බව අනුව තත් යෝජනාවේ ඉරණම විසඳේ ය යන බලාපොරොත්තුවෙන් මිස ඔවුන්ගේ සමාජ තත්වය හෝ බලය  නිසා යෝජනාව ප්‍රතික්ෂේප කළ යුතු ය යන අදහසින් නො වේ. හාබර්මාස් සඳහන් කරන අන්දමට නියම සංවිචාරණයේ දී “වඩා හොඳ තර්කයක් හැරෙන විට වෙනත් කිසිදු බලයක් භාවිත නො වේ”.[7] සහභාගි වන අනෙක් අය මෙහි දී හේතු ඉදිරිපත් කරන්නේ වෙනස් අරමුණු සහිත සමානයන් අතර කෙරෙන නිදහස් සංවිචාරණයක් මඟින් කරුණු කාරණා තීරණය කිරීමට තමන් කළ කැපවීම සලකමිනි. ඉදිරිපත් වන ඇතැම් යෝජනා සාධාරණ ඒවා විය හැකි වුවත් සංවිචාරණයේදී පිළිගත හැකි හේතු දැක්වීමක් මඟින් සාධාරණීකරණය නො වෙන්නේ නම් ඒවා ප්‍රතික්ෂේප කළ යුතු ය. යෝජනා සම්බන්ධ  සුදුසු තේරීම් තීරණය කිරීමේ දී හුදෙක් එම තේරීම් පුරවැසියන්ගේ මනාපය හා ගැළපෙනු ඇත යන්න පමණක් නො ව ඒවා සංවිචාරණීය ක්‍රමය යොදා තෝරා ගත් ඒවා වීම වැදගත් ය. විධිමත් සංවිචාරණයක මූලික කොන්දේසිය වන්නේ සමානාත්මතාවයි. නො එසේ නම් මිෂෙල් ෆූකෝ පැවසූ අන්දමට සංවිචාරණයක ප්‍රතිඵල තීරණය කරන්නේ බලය මිස තර්කණය නො වේ.[8] ඇතන්ස් නුවර සම්ප්‍රදාය අනුව යමින් ෆිෂ්කින් හඳුන්වා දුන් අන්දමට සංවිචාරණයේ දී සහභාගි වන්නන් අහඹු ලෙස තෝරා ගැනීම සහ බල කණ්ඩායම් ගැසීම වැළැක්වීමට ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වන්නේ එබැවිනි. සංවිචාරණයට සහභාගි වන අය එකිනෙකා නාඳුනන එකිනෙකා ගැන නො දන්නා අය වන තරමට තර්ක බුද්ධිය විසින් මිස බලය විසින් සංවිචාරණයේ ප්‍රතිඵල තීරණ කිරීම වැළැක්විය හැකි ය.

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ දී මෙන් නො ව සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදයේ දී වැඩි අවධානයක් යොමු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව විවෘත එකක් වීම සහ එය සමානයන් අතර සංවිචාරණීය බව මුල් කොට සිදු කළ යුතු එකක් වීම ගැනයි. දේශපාලනඥයන් විසින් මෙහෙයවනු ලබන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බලාපොරොත්තු වේගයෙන් සුන් ව යමින් තිබේ. ෆුකෝ තර්ක කළ අන්දමට සාකච්ඡාවක ප්‍රතිඵල තර්කණය විසින් නො ව බලය විසින් තීරණය කිරීමට වැඩි ඉඩකඩක් ඇත්තේ පක්ෂ ක්‍රමය මත පදනම් වූ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුළ ය. බොහෝ දේශපාලනඥයන් දූෂිත බවත් ඔවුන් පොදු යහපත තකා තර්කානුකූල ව තීරණ ගනු ඇතැ’යි විශ්වාස කළ නො හැකි බවටත් පැතිර ඇති මතය ප්‍රබල ය. ඒ හැර ලංකාවේ බොහෝ ජනමාධ්‍ය විසින් දේශපාලනය වාර්තා කරනු ලබන පක්ෂග්‍රාහී ආකාරය පිළිබඳව  සමාජ මාධ්‍යවල පළවන සෝපාහාස සහ නර්මාලාපවලින් ද පැහැදිලි වන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඇති පොදු අවිශ්වාසයයි. දේශපාලනඥයන්ගේ දේශපාලන ඥානය පිළිබඳ අධිකාරය තවදුරටත් පිළිගැනීමට තමන්ට හේතුවක් නැති බව පොදු ජනතාවට වැටහෙමින් තිබේ.  මේ නිසා අප අත්දකින නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ විශාල අඩුවක් ඇති බව පැහැදිලි ය. එම අඩුව සපුරා ලිය හැකි වන්නේ සාමාන්‍ය ජනතාව වැඩි වැඩියෙන් දේශපාලන ක්‍රියාකාරිත්වය තුළට ගෙන ඒමෙනි. සාමූහික ව දේශපාලන තීන්දු ගැනීමේ දී බොහෝ පුරවැසියන්ට තමන්ගේ වෘත්තීය හා පුද්ගලික ජීවිතයේ නොයෙක් අත්දැකීම් උපයෝගී කර ගත හැකි ය. දේශපාලන පක්ෂ නායකයන්ගේ අභිමතය අනුව කටයුතු කිරීමට පුරවැසියන්ට බල කිරීමක් කළ නො හැකි ය. තර්ක බුද්ධියට අනුව තීරණ ගැනීමට වැඩි හැකියාවක් ඇත්තේ සංවිචාරණශීලී ජන සමූහයකට මිස පක්ෂ නායකත්වයේ විධානය අනුව කටයුතු කරන දේශපාලනඥයන්ට නො වේ.  ඒ නිසා දේශපාලනය හුදු නියෝජනය පිළිබඳ කාර්යයක් නො ව නිරන්තරයෙන් මහජනයාට විවෘත කාර්ය සාධක ලෙස සංවිචාරණීය වූ කාර්යයක් බවට පත් විය යුතු ය.  ඒ අනුව  දේශපාලන තීරණ පොදු යහපත මුල් කර ගෙන ගන්නා ඒවා බවට පත් කළ හැකිවා පමණක් නො ව පොදු ජනතාව විසින් හෘදයංගම ව පිළිගනු ලබන ඒවා බවට ද පත් කළ හැකි ය. අඩු ම වසයෙන් එම උපන්‍යාසය පරීක්ෂා කර බැලීම වටී.

එදිනෙදා ජීවිතයේ දී  සාමාන්‍යයෙන් බොහෝ රටවැසියන්ට සිදු වන්නේ මොකක් හෝ මිථ්‍යාවකට ඡන්දදායකයා පොලඹවා ගැනීම අරමුණු කරගත් සිය ගණන් පණිවිඩවලට මුහුණ දීමට මිස දේශපාලන, ආර්ථික හා සාමාජීය කටයුතු සම්බන්ධයෙන් ඥානෝද්දීපනය වෙන අදහසක්, තොරතුරක් ලබා ගැනීමට නො වේ. තරඟකාරී මැතිවරණ ක්‍රමය තුළ තරඟ කරන පක්ෂවලට අවශ්‍ය වන්නේ මිථ්‍යාව හෝ පතුරා මැතිවරණ දිනීම මිස විසඳිය යුතු ප්‍රශ්න හා සම්බන්ධ ඇත්ත සාකච්ඡා කොට ඡන්දදායකයන් දිනා ගැනීම නො වේ. විවිධ ව්‍යාපාරික ළැදියා මත ස්වචන්දයෙන් ම පත් වන ලොබි කණ්ඩායම්වල බලපෑම්වලට පමණක් බොහෝ විට නතු වන තරඟකාරී නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුළ මැතිවරණයකින් තෝරා පත් වෙන අපේක්ෂකයන්ට පක්ෂ නායකත්වයේ අභිමතයට අනනුකූල ව අව්‍යාජ සංවිචාරණයක් පැවැත්වීමට දිරි ගැන්වීමක් නො ලැබේ.  එනිසා අයිස්ලන්ත සහ මොන්ගෝලියානු නිදර්ශනවලින් තහවුරු වන පරිදි එවැනි ක්‍රමයක් තුළ වුවද ප්‍රබල සංවිචාරණීය අංගවලින් යුත් මහජනයාට විවෘත සංවිචාරණ ඡන්ද ක්‍රමයක පැවැත්ම ව්‍යවස්ථාව මඟින් ම සහතික කර තිබීම වැදගත් වර්ධනයකි. ඒ මඟින් විවෘත ප්‍රජාතන්ත්‍රවාදයකට අත්‍යවශ්‍ය සමානාත්මතා මූලධර්මය මත මැතිවරණ අතර දී වුව ද ආණ්ඩුකරණය සම්බන්ධයෙන් ඵලදායක ලෙස මැදිහත් වීමට පොදු ජනතාවට අවකාශ ලැබේ.

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022


[1] Landemore, Hélène (2020) Open democracy: reinventing popular rule for the twenty-first century, Princeton: Princeton University Press, p. 92

[2] Graham Smith and Maija Setälä (2018) Mini-Publics and Deliberative Democracy in The Oxford Handbook of Deliberative Democracy, Andre Bächtiger, et. al.  (eds) Oxford: Oxfords University Press, Oxford P.

[3] https://participedia.net/collection/7119?page=1 Retrieved on 12 Aug 2021

[4] Fishkin, James S.  and Siu, Alice (2021) Mongolia: Piloting Elements of a Deliberative System; Deliberative Democracy in Asia, Baogang He et.al (eds.) New York: Routledge, pp. 191-204

[5] Letter from Chairman Great Hural (Speaker of the Parliament) available at https://cdd.sta nford.edu/mm/2020/02/mongolia-letter.pdf.

[6] Fishkin, James S. and Siu, Alice (2021) Mongolia: Piloting Elements of a Deliberative System; Deliberative Democracy in Asia, Baogang He et.al (eds.) New York: Routledge, p. 191

[7] Habermas, J. (1975). Legitimation Crisis, trans. T. McCarthy (Boston, MA: Beacon Press) p.108

[8] Foucault, M. (2001). Power [vol. 3 of The Essential Works of Foucault, 1954–1984], ed. J. B. Faubion, trans. R. Hurley and others (New York: New Press).

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: