4. සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

හුදු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති බොහෝ දුර්ගුණ නිෂේධ කරන සුවිශේෂ ගුණාංගවලින් යුත් සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය (deliberative democracy) පිළිබඳ ව මේ පරිච්ඡේදයේ දී සවිස්තර ව සාකච්ඡා කෙරෙන බැවින් සංවිචාරණය (deliberation) යන වචනය නිශ්චිත ව හඳුන්වා දීම මැනව යි මම සිතමි. ‘සංවිචාරණය’ යන වචනය අප මේ කෘතිය පුරා යොදා ගන්නේ ‘හැම පැත්තක් ගැන ම කරුණු කාරණා ඉතා සැලකිල්ලෙන් හා ඉවසිල්ලෙන් සන්තුලනය කර බලන සාකච්ඡාවක්’ යන අදහස දෙන Deliberation යන ඉංග්‍රීසි පදයෙන් හැඟවෙන තේරුම සඳහායි. තවත් අන්දමකින් කිව හොත් සංවිචාරණීය සාකච්ඡාවක් යනු ඉදිරිපත් කරන කරුණු පිළිබඳ පොදු එකඟතාවක් සඳහා එකී කරුණු විවේක බුද්ධියෙන් (reason) හේතු යුක්ති සහිත ව සාකච්ඡා කිරීමයි.

ඇතැම් අවස්ථාවල දී ඉතිහාසයෙන් අපට උරුම වී යැ’යි අප සිතන බොහෝ දේවල් අපට අත්විඳින්නට ලැබෙන්නේ මුල් ස්වරූපයේ විකෘතියක් ලෙස ය. අර්ථය සහ අන්තර්ගතය පිළිබඳ කොතෙක් විවාද තිබුණ ද සුජාතකරණය කළ හැකි එක ම ආණ්ඩුක්‍රමය ලෙස පෘථුල ව සලකන ප්‍රජාතන්ත්‍රවාදය ද එබන්ඳකි. ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතාන්ත්‍රික ආයතන සඳහා අත්‍යවශ්‍ය යැයි සැලකෙන කොන්දේසි නිශ්චය කිරීමට දේශපාලන විද්‍යාඥයෝ අතිශය වෙහෙසක් දරති. බොහෝ විට එවැනි ප්‍රයත්නවලට යොදා ගන්නේ යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ පවතින භාවිත ඇසුරෙන් පරමාදර්ශී කරන ලද කොන්දේසි ය. එකී පරමාදර්ශ මතු ව එන්නේ ‘ප්‍රජාතන්ත්‍රවාදය යනු තරඟකාරී මැතිවරණවල හා ලිබරල් අයිතිවාසිකම්වල මිශ්‍රණයක හරය වේ’ යන ඔවුන්ගේ මතවාද තුළින් ය. නිසැක ලෙස ම මේ ප්‍රයත්නවල වැදගත්කමක් ඇති නමුදු ඒවායේ උපයෝගීතාව  බොහෝ විට ප්‍රතිමානක (normative) විග්‍රහවලට පමණක් සීමා වේ.

ප්‍රායෝගික අර්ථයෙන් ගත් විට නූතන ප්‍රජාතන්ත්‍රවාදය කිසි සේත් ම ග්‍රීක පෞර රාජ්‍යවල පැවති මුල් ප්‍රජාතන්ත්‍රවාදයට සම නො වේ. ඒ නිසා අපේ දේශපාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී යැයි අප හඳුන්වන්නේ ඇයි? යන්න පිළිතුරු දීමට දුෂ්කර ප්‍රශ්නයක් බව නිසැක ය. ඉතින් දැනට පෙනෙන පරිදි ‘මහජනතාව විසින් පාලනය කරනු ලැබීම’ යන්න නිරූපණය කළ හැකි ආසන්නතම විධි ක්‍රමය තරඟකාරී ලිබරල් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ද යන්න නිර්දය ව විමසා බැලිය යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදය ඊට වඩා අර්ථවත් ආකාරයකට සංකල්ප ගත කර හැකි වෙනත් ප්‍රායෝගික විකල්ප ක්‍රමවේද තිබේ දැයි පිරික්සා බැලීම යෝග්‍ය වන්නේ ඒ නිසා ය.

ඇට්ලාන්ටික් (The Atlantic) යනු 1857 තරම් ඈත කාලයක සිට ඇමෙරිකාවේ පළවන ජනප්‍රිය මාසික සඟරාවකි. 1988 අගෝස්තු මාසයේ ඇට්ලාන්ටික් සඟරාවේ ආචාර්ය ජේම්ස් එස් ෆිෂ්කින් නමින් ලිපියක් පළ විය. ලිපිය පිටු දෙකකට සීමා වුවත් එහි අන්තර්ගතය බොහෝ දෙනෙකුගේ විස්මයට හේතු විය. ලිපිය පළ වුණේ ජ්‍යේෂ්ඨ ජෝජ් බුෂ් ජයග්‍රහණය කළ ඇමෙරිකානු ජනාධිපතිවරණයට මාස තුනකට පෙර ය.

එවකට ටෙක්සාස් සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳ තරුණ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ ජේම්ස් ෆිෂ්කින් සිය ලිපියෙන් යෝජනා කර තිබුණේ ඇමෙරිකාව පුරා වෙසෙන පුරවැසියන් අතරෙන් අහම්බෙන් තෝරා ගත් 1500 දෙනෙකු සමඟ සියලු ජනාධිපති අපේක්ෂකයන් එක ම තැනක දී දෙසතියක කාලයක් සඳහා එකට මුණ ගැස්විය යුතු බවයි. එහි දී ජනාධිපති අපේක්ෂකයන් සිය දේශපාලන හා ආර්ථික සැලසුම් ප්‍රමාණවත් විස්තර සහිතව එසේ රැස් වන පුරවැසියන්ට ඉදිරිපත් කළ යුතු අතර එම යෝජනා හේතු යුක්ති සහිතව මැන බලමින්  එකිනෙකා හා සාකච්ඡා කිරීමේ නොහොත් සංවිචාරණය (deliberation) කිරීමේ අවකාශය පුරවැසියන් 1500 ට ම ලැබිය යුතු ය. මේ පුරවැසි  සංවිචාරණය රූපවාහිනිය ඔස්සේ සජීවී ව ප්‍රචාරණය කරන බැවින් අවශේෂ පුරවැසියන්ට ද එයට කන් දී ජනාධිපතිවරණයේ දී මනා ලෙස දැනුවත් වූ තෝරා ගැනීමක් කළ හැකි ය. මේ කටයුත්ත සඳහා ග්‍රීසියේ පැරණි ඇතීනියානු ප්‍රජාතන්ත්‍රවාදයේ අංග දෙකක් සුවිශේෂයෙන් ම යොදා ගත යුතු බව ෆිෂ්කින් සිය ලිපියෙන් කියා සිටියේ ය. සහභාගී විය යුතු පුරවැසියන් 1500 දෙනා ම අහඹු (Random) ලෙස තෝරා ගැනීම ඉන් පළමුවැන්නයි. එහෙත් එසේ අහඹු ලෙස තෝරා ගත්ත ද  හැකි ඉහළ ම විවිධත්වය නිරූපණය වන ලෙස පුරවැසියන් තෝරා ගැනීමට  සංවිධායකයින් වග බලා ගත යුතු ය. දෙවැන්න සහභාගී වන්නන්ට දිරි දීමනාවක් ගෙවීමයි. මෙම සංවිචාරණයට සහභාගි වන සියලු පුරවැසියන් අතර දේශපාලන සමානාත්මතාව සහතික කළ හැකි ය. ඒ  ඔවුන් ලොට් නොහොත් කුසපත් ඇදීමෙන් අහඹු ලෙස තෝරා ගන්නා අය වීම නිසායැ’යි ෆිෂ්කින් පෙන්වා දුන්නේ ය. න්‍යායික ව බැලූ විට ඒ ක්‍රමය අනුව හැම ඇමෙරිකානු පුරවැසියෙකු සම්බන්ධයෙන් ම තෝරා ගනු ලැබීමට ඇති හැකියාව එක හා සමාන වේ. දේශපාලනමය අවස්ථාව හැමට  සාධාරණ ලෙස බෙදී යෑමේ ඇතීනියානු සංකල්පය නැවත අවදි කිරීමක් ලෙස එය සැලකිය හැකි ය.

 එහෙත් ඇත්ත වසයෙන් ම ෆිෂ්කින්ගේ හිතේ තිබුණේ ඔහුගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම මඟින් වෙනස් මාදිලියක ජන මත විමසුමක් අත්හදා බැලීමයි. එනම් අදාළ කරුණු ගැන කල්පනා නො කර තීරණය කරන විට මහජනතාව සිතන ආකාරය සහ එම කරුණු ගැන හොඳින් කල්පනා කර තීරණය කිරීමට අවස්ථාවක් ලැබුණු විට සිතන ආකාරය අතර ඇති වෙනස කුමක් ද යන්න ගැන ඔහු යෝජනා කරන සංවිචාරණීය මත විමසුම් ක්‍රමය මඟින් පරීක්ෂා කොට බැලීමයි.

මේ  වන විටත් නොබෙල් ත්‍යාගලාභී ඩැනියෙල් කාහ්නෙමන් සිය ප්‍රකට Thinking, Fast and Slow (සිතීම, වේගයෙන් සහ හෙමින්) නමැති කෘතිය පළ කර නොතිබිණි. ඉන් අවුරුදු 23කට පසු එම කෘතිය පළ කරමින් අප හිතන ආකාර දෙකක් ඇති බව චර්යා ආර්ථික විද්‍යාව (behavioural economics) සංවර්ධනය කිරීමට විශාල මෙහෙවරක් කළ මනෝ විද්‍යාඥයෙකු වූ කාහ්නෙමන් පෙන්වා දුන්නේ ය. වැඩියෙන් ම භාවිත වන වඩා ක්ෂණික පළමු අකාරයට අනුව අප තීරණ ගන්නේ කිසිදු ආයාසයක් නො ගෙන පුරුද්දට මෙනි. එහෙත් දෙවැනි ආකාරයට අනුව තීරණ ගැනීමේ දී අපි අපේ අවධානය හා සංවිචාරණීය හැකියාව උපරිම ලෙස භාවිත කරමින් විවේක බුද්ධියෙන් යුතු ව තීරණ ගැනීමට වග බලා ගන්නෙමු. අප බොහෝ විට දේශපාලන තීන්දු ගන්නේ පළමුවැනි අකාරයට ය. එහි දී ස්වායත්ත ව හිතනවාට වඩා අප කරන්නේ වැඩි කරදර නො වී අනුන් හිතන අන්දමට සිතීමයි. කාහ්නෙමන්ගේ ඒ පොත මට සිහි වුණේ ජේම්ස් ෆිෂ්කින් 2018 පල කළ ඔහුගේ Democracy When the People are Thinking යන අලුත් පොතේ නමින් ම කියවෙන පරිදි ප්‍රජාතන්ත්‍රවාදය යනු මිනිසුන් දැනුවත් ව සිතන විට පමණක් පවතින දෙයක් බව පෙන්වා දෙන විට යි. සංවිචාරණයේ අරමුණ එවැනි දැනුවත් සිතීමකට මිනිසුන් යොමු කිරීමයි.

කෙසේ වෙතත් හුදෙක් කිසියම් දේශපාලනඥයෙකුට ඡන්දය දීම නො ව එකිනෙකා හා සමඟ මෙන් ම විෂය විශේෂඥයන් සමඟ ද හේතු යුක්ති විමසමින් සාකච්ඡා කොට දැනුවත් ව තීරණයකට එළඹෙන ප්‍රජාතන්ත්‍රවාදය යන අර්ථයෙන්  ‘සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය’ (‘deliberative democracy’) යන යෙදුම බිහිවුණේ 1988 ඇට්ලාන්ටික් සඟරාවේ ෆිෂ්කින් පළ කළ ඒ ලිපියෙනි.

නිශ්චිත සමාජ අභියෝග සම්බන්ධ සියලු අදාළ තොරතුරු සහ හේතු සාමූහික සංවිචාරණය කේන්ද්‍ර කොට සලකා බලා සහභාගිවන්නන් විසින් තාර්කික හා සංයුක්ත විසඳුම් සම්පාදනය කරන ක්‍රමයක් ලෙස සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය හැඳින්විණි. එහෙත් සහභාගිවන්නන් අතරින් ස්වාධිකාරී අතළොස්සකගේ ග්‍රහණයට එවැනි සාමූහික සංවිචාරණයක් හසු වීම වැළැක්වීම පිණිස නිසි ක්‍රියාමාර්ග ගත යුතු ය. ඒ නිසා එවැනි සංවිචාරණයක දී වඩා කුඩා උප කණ්ඩායම්වලට බෙදී සාකච්ඡා ඇරඹීම, සාකච්ඡා සෙනාරිවල (scenario) දළ සැකසුම් කල් තියා සකසා තිබීම, වෘත්තීය ප්‍රමාණකරුවන් හෙවත් මොඩරේටර්වරුන් යොදා ගැනීම සහ උප කණ්ඩායම්වල වාර්තා සාකච්ඡා කරන පූර්ණ සැසි වාර පැවැත්වීම වැනි විධි විධාන යොදා ගත යුතු බව ද ෆිෂ්කින් යෝජනා කළේ ය.

සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මෑත කාලයේ විශාල ශාස්ත්‍රීය සාහිත්‍යයක් බිහි වී තිබේ. එහෙත් ඒ සඳහා මුල් වූ ආභාසය 2500 වසරක් තරම් පැරණි ය. එය දේශපාලන සමානාත්මතාව තහවුරු කරමින් කුසපත් ඇදීමේ ක්‍රමයට තෝරා ගත් පුරවැසියන් සිය ගණනක සංවිචාරණීය කතිකා මඟින් ප්‍රධාන තීරණවලට එළඹුණු පැරණි ඇතන්ස් පාලනය දක්වා දිවෙන්නකි. අසල්වැසි මැසිඩෝනියානු රාජාණ්ඩුවේ මිලිටරි බලය වැඩි වීමත් සමඟ ඇතීනියානු ප්‍රජාතන්ත්‍රවාදයේ පරිහානිය ඇරඹුණි. ඒ සමඟ සංවිචාරණීය පාලන විධි ක්‍රමය ද අභාවයට ගියේ ය.

ඇට්ලාන්ටික් සඟරාවේ පළ කළ සිය යෝජනාව ෆිෂ්කින් බරපතළ කොට සැලකී ය. ඒ අනුව එවැනි සංවිචාරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සහයෝගය සහ සම්පත් සැපයිය හැකි සංවිධාන පිළිබඳ තොරතුරු රැස් කළ නමුත් 1992 ජනාධිපතිවරණය වන විටත් ඒ සම්බන්ධයෙන් තීරණයකට ඒමට ඔහුට නො හැකි විය. ඒ සා විශාල පිරිසක් රට පුරා විවිධ ප්‍රාන්තවල සිට ගුවන් මඟින් ගෙන ඒමේ බරපැන දරන්නේ කවුරුන් ද, ඔවුන් සඳහා සති දෙකක් නවාතැන් සැපයීම, සංවිධාන වියදම්  ආදිය ගැන විවිධ සාකච්ඡා ඇති වූ නමුත් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල ඇතැම් මුල් පෙළේ අනුග්‍රාහකයෝ ෆිෂ්කින්ගේ අපූරු යෝජනාව ගැන වැඩි මනාපයක් නො දැක්වී ය.

ඒ අනුව ෆිෂ්කින් සිය යෝජනාව සංශෝධනය කොට අහඹු ලෙස තෝරා ගනු ලබන සහභාගිවන්නන් සංඛ්‍යාව 600 කට සීමා කිරීමටත් සංවිචාරණය එක සති අන්තයක දී පවත්වා නිම කිරීමටත් යෝජනා කළේ ය. සංඛ්‍යාව අනුව එය ඇමෙරිකානු ජනතාව නියෝජනය කිරීමට ප්‍රමාණවත් නියැදියක් බවත් නිසි ලෙස සංවිධානය කළොත් සංවිචාරණය සහ මත විමසීම සති අන්තයක දී ඉටු කර ගත හැකි බවත් ඔහුට වැටහී තිබුණි. ඒ වන විට ෆිෂ්කින් වඩා කුඩා ප්‍රමාණයේ සංවිචාරණීය ව්‍යාපෘති කිහිපයක් බ්‍රිතාන්‍යයේ සංවිධානය කර අත්දැකීම් ද ලබා ගෙන තිබුණි.

1996  දී බිල් ක්ලින්ටන් සහ බොබ් ඩෝල් අතර ඇමෙරිකානු ජනාධිපති තරඟය පැවැත්වෙන සමය වන විට ජේම්ස් ෆිෂ්කින් සිය සංවිචාරණීය ජනමත විමසුම දියත් කිරීමට ප්‍රායෝගික ව සූදානම් ව සිටියේ ය. ඒ අනුව 1996 ජනවාරි 18 වැනි දින සිට 21 වැනි දින දක්වා ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නගරයේ දී ‘ජාතික ගැටලු සමුලුව’ (National Issues Convention) යන නමින් ප්‍රථම ඇමෙරිකානු සංවිචාරණීය ජනමත විමසුම පැවැත්වීමට ෆිෂ්කින්ට හැකි විය. ඒ සඳහා ඔහුට ඔස්ටින්හි මහ නගර සභාව, ඇමෙරිකානු මහජන විද්‍යුත් මාධ්‍ය සේවය ( Public Broadcasting Service) සහ ඇමෙරිකානු ගුවන් සේවය ද ඇතුළු සංවිධාන රැසක් සහයෝගය දැක්වී ය. පරිත්‍යාග වසයෙන් ඩොලර් මිලියන හතරක මුදලක් ද ඒ සඳහා එකතු වී තිබුණි.  අහඹු ලෙස තෝරා ගත් පුරවැසියන්ගේ සංවිචාරණය සහ ජනාධිපති අපේක්ෂකයන්ගේ මැදිහත් වීම් PBS මහජන විද්‍යුත් මාධ්‍ය සේවා විසින් විකාශනය කරන ලද බැවින් අවශේෂ ජනතාවට ද මේ සංවිචාරණයට අවධානයකින් යුතු ව සවන් දිය හැකි විය.

එහෙත් මෙතරම් සහයෝගයක් තිබිය දීත් ජේම්ස් ෆිෂ්කින්ට විරුද්ධවාදීන්ගේ කටුක විවේචනවලට මුහුණ දීමට ද සිදු විය. සංවිචාරණය ඇරඹීමට පෙර එයට එරෙහි ව ලිපි රැසක් පළ කළ Public Perspective නමැති සඟරාව ඇමෙරිකාව පුරා ජනමාධ්‍යවේදීන් අතර බෙදා හැර තිබුණි. සංවිචාරණය යනු අහඹු ලෙස තෝරා ගත් පුරවැසියන් පිරිසකට කළ හැකි දෙයක් නො වන බවත් එය අනවශ්‍ය දෙයක් පමණක් නො ව අනතුරුදායක දෙයක් විය හැකි බවත් ඇතැම් විරුද්ධවාදීහු කියා සිටියහ.   

කෙසේ වෙතත් ෆිෂ්කින් එම විවේචනවලින් අධෛර්යයට පත් නොවීය. විද්‍යාර්ථීයෙකු වසයෙන් ඔහුට අවශ්‍ය ව තිබුණේ මෙවැනි සංවිචාරණීය ක්‍රියාවලියක්‍ මඟින් මිනිසුන්ට කිනම් ආකාරයක බලපෑමක් ඇති විය හැකි ද යන්න විද්‍යාත්මක ව විමසා බැලීමයි. සංවිචාරණයේ ප්‍රතිඵලයක් ලෙස සහභාගි වන්නන්ගේ පරිඥානය වෙනස් වන ආකාරය වටහා ගැනීමට ෆිෂ්කින්ට අවශ්‍ය වී තිබුණි. ඒ සඳහා ඔහු සංවිචාරණයට පෙර, සංවිචාරණය අතර මග දී මෙන් ම සංවිචාරණය අවසානයේ දී සහභාගි වන්නන් විසින් පිළිතුරු දිය යුතු ප්‍රශ්නාවලි තුනක් පිළියෙළ කර තිබුණි. සහභාගි වන්නන් හැම දෙනෙකුට ම සංවිචාරණයට විෂය වන කරුණු සහිත තොරතුරු ගොනුවක් කල් තියා සපයා දී තිබුණි.  ඔවුනොවුන් අතර මෙන් ම විෂය විශේෂඥයන් සමඟ ද සාකච්ඡා කොට කරුණු විමසා බැලීමට හා ගැටලු නිරාකරණය කර ගැනීමට සහභාගි වන්නන්ට ප්‍රමාණවත් අවස්ථා ද සලසා දී තිබුණි.  නිරීක්ෂකයන්ගේ නිරීක්ෂණවලට අනුව සහභාගී වූ බොහෝ අය තුළ තමන් සහභාගි වන්නේ පොදු මෙහෙවරක් සඳහා ය යන හැඟීම, අන්‍යෝන්‍ය ගරුත්වය සහ ප්‍රසාද ජනක බව තිබුණු අතර පරස්පර මත ඉතා ඉවසිල්ලෙන් සහ සාවධාන ව සාකච්ඡා කිරීමට තරම් සුදුසු වාතාවරණයක් නිරන්තරයෙන් පවත්වා ගෙන යෑමට ද ඔවුහු සමත් වූහ.

අවසානයේ දී සිය සංවිචාරණීය මත විමසුමේ අභිමතාර්ථය මුළුමනින් ම පාහේ ඉටු වූ බවට සෑහීමකට පත් වීමට ෆිෂ්කින්ට හැකි විය. සංවිචාරණයට පෙර සහ පසු තත්වය සසඳන විට සහභාගි වන්නන්ගේ අදහස්වල ඇතිවී තිබූ වෙනස් වීම විස්මය දනවන සුලු විය. දේශපාලන තීරණ ගැනීමේ සංකීර්ණ භාවය පිළිබඳ වඩා දැනුවත් වීම සිය අදහස් වෙනස් කර ගැනීමට සහභාගි වන්නන්ට සැලකිය යුතු ලෙස බලපා තිබුණි . සහභාගිත්ව සංවිචාරණය දේශපාලන තීන්දු ගැනීමෙහි ලා සහභාගී වූවන්ගේ හැකියාව සහ විදග්ධ බව බෙහෙවින් මුවහත් කළ බව නිසැක ලෙස පෙනී ගියේ ය. අවශ්‍ය මෙවලම්  හා තොරතුරු සැපයූ විට සාමාන්‍ය ජනතාවට ද  නිපුණ පුරවැසියන් බවට පත් විය හැකි බව පළමු වරට විද්‍යාත්මක ව තහවුරු කළ අවස්ථාව එය බව ෆිෂ්කින්ගේ ප්‍රයත්නය ගැන විවරණයක් කරමින් රේබෲක් පවසයි[1]

සිය අත්හදා බැලීම නිසා වොයිස් කට්, සටන් පාට, වෙළඳ දැන්වීම් හා ඊනියා ජනමත සමීක්ෂණ යොදා ගෙන පැවැත්වෙන ගාල ගෝට්ටි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට නියම මහජන මතය සාවධානව ඉස්මතු කර ගැනීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදය වඩා ශක්තිමත් කිරීමට අවස්ථාවක් සැලසිය හැකි බව ෆිෂ්කින් විශ්වාස කළේ ය.

ජේම්ස් ෆිෂ්කින්ගේ මේ ශාස්ත්‍රීය කටයුතු දේශපාලන විද්‍යාවේ නියම සංවිචාරණීය හැරවුම නිසැක ව ම සලකුණු කළේ ය. බරපතළ ලෙස රෝගාතුර ව ඇති නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට නව ජීවන හුස්මක් පිඹීමට සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදයට ඇති හැකියාව තව දුරටත් සැක කිරීමට කිසිදු දැනුවත් විද්‍යාර්ථීයෙකුට හේතුවක් නැති බව රේබෘෘක් පවසයි.  පුරවැසි සහභාගිත්වය යනු හුදෙක් පෙළපාලි යෑමට, වැඩ වර්ජනය කිරීමට, පෙත්සම් අත්සන් කිරීමට හෝ පොදු තැන්වල එක් රැස්ව ජන ඝෝෂා පැවැත්වීමට ඉඩ ලබා දීම පමණක් නො වේ. පුරවැසි සහභාගිත්වය යනු ආණ්ඩුකරණය තුළ නිතිපතා ආයතනික ව තහවුරු කළ යුතු දෙයකි. සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය එයට මඟ සලසයි.

ඉන් පසුව ද ෆිෂ්කින් ලෝකයේ විවිධ රටවල සංවිචාරණීය මත විමසුම් සංවිධානය කිරීමට දායක විය. ෆිෂ්කින් වැඩ කළ ටෙක්සාස් ප්‍රදේශය මූලික වසයෙන් ඛනිජ තෙල් නිපදවීම මත යැපෙන ජනපදයකි. එසේ වුව ද ඛනිජ තෙල් වෙනුවට පුනර්ජනනීය බලශක්ති ප්‍රභේද ප්‍රවර්ධනය කිරීමට කැමැත්ත දක්වන ටෙක්සාස් වැසියන් පිරිස 52% සිට 84% දක්වා වැඩි කර ගැනීමට සංවිචාරණීය මත විමසුම් ක්‍රමය යොදා ගැනීම මඟින් ඔහුට හැකි විය.  එම සහයෝගය නිසා 2007 වන විට ටෙක්සාස් ජනපදය ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වැඩි ම සුළං බල විදුලි ජනක ප්‍රමාණයකින් විදුලි බලය සපයා ගන්නා ජනපදය බවට පත් විය. ඒ හා සමාන සංවිචාරණීය මත විමසීම් ජපානයේ විශ්‍රාම වැටුප් ක්‍රමය සම්බන්ධයෙන් ද, බල්ගේරියාවේ රෝමා ජනවර්ගයට අඩු සැලකිලි දැක්වීම සම්බන්ධයෙන් ද, බ්‍රසීලයේ මහජන සේවකයන්ගේ වෘත්තීය හැකියාව දියුණු කිරීම සම්බන්ධයෙන් ද, චීනයේ නාගරික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ද පවත්වා ඇති බව රේබෲක් පෙන්වා දෙයි. ඉතාමත් දරුණු වාර්ගික හා ආගමික බෙදීම් ඇති තැන්වල පවා ෆිෂ්කින්ගේ සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදි විධික්‍රමය ඵලදායක ලෙස උපයෝගී කර ගෙන තිබේ. උදාහරණයක් වසයෙන් අයර්ලන්තයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාමූහික සංවිචාරණයකට ලක් කිරීමට අයර්ලන්තයේ එදිරිවාදී කතෝලික හා ප්‍රොතෙස්තන්ත්‍ර ආගම්වලට අයත් දෙමව්පියන් එකට එක් ව කටයුතු කළ හැකි විය. ඒ අනුව සාමාන්‍යයෙන් එකිනෙකා ගැන විවේචනය කිරීමට පුරුදු ව සිටි එදිරිවාදීන් එකිනෙකා හා සාකච්ඡා කිරීමට පෙලඹවීමට සංවිචාරණීය මත විමසුම් ක්‍රමය සමත් විය. 2021 ජුනිවල ෆිෂ්කින් කළ ඉදිරිපත් කිරීමකට අනුව මේ වන විට බටහිර රටවල් හැරෙන විට සෙනගාලය, ටැන්සානියාව, තායිලන්තය, උගන්ඩාව, ඝානා, බ්‍රසීලය, චිලිය, මොංගෝලියාවේ සහ මොරොක්කෝව වැනි රටවල ප්‍රජාතන්ත්‍රවාදී සංවිචාරණීය විධික්‍රමය උපයෝගී කර ගෙන තිබේ.

ඒ අතරින් අයිස්ලන්තයේ සහ මොංගෝලියාවේ සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය උපයෝගී කරගත් අකාරය මේ පරිච්ඡේදයේ දෙවැනි භාගයෙන් සවිස්තරව සාකච්ඡාවට ලක් වේ.

පොදුවේ ගත් විට සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය (deliberative democracy) යනු ගැටුම් නිරාකරණය කර ගැනීම සහ දේශපාලන තීන්දු තීරණ ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාක්ෂාත් කරගැනීමට යොදා ගන්නා විචාරශිලී කාර්ය පටිපාටිමය එළඹුමක් ලෙස සැලකිය හැකිය. වඩාත් පහසුවෙන් තේරුම් ගැනීම පිණිස එය එහි විකල්පය වන මැතිවරණ තීන්දු තීරණ ගැනීමේ දී යෙදෙන සමුදායී ආකෘතිවලට (aggregative forms) වඩා වෙනස් වන්නේ කෙසේදැයි විමසා බැලිය හැකිය. සමුදායී ආකෘතියේදී සහභාගිවන්නන්ට සිදුවන්නේ දැනටමත් නිගමනය කර ඇති ආස්ථාන (positions) අතරින් තමන්ට අඩු වැඩි වසයෙන් එකඟවිය හැකි ආස්ථානය තෝරා ගැනීමයි. එහිදී එකී ආස්ථාන වෙනස් කිරීමට, වැඩි දියුණු කිරීමට හෝ නව ආස්ථානයක් සාකච්ඡාවට ලක් කිරීමට සහභාගිවන්නන්ට අවස්ථාවක් නො ලැබේ. උදාහරණයක් ලෙස සමුදායි ආකෘතියක් වන මැතිවරණ දේශපාලන ක්‍රියායනයකට (political process) සහභාගි වන ඡන්දදායකයින්ට තමන් අතර ඇතිවන ගැඹුරු කතිකාවකින් මතුවන නව ආස්ථානයක් මනාප තේරීමක් ලෙස මැතිවරණ වේදිකාවට එකතු කිරීමට අවස්ථාවක් නො ලැබේ. මැතිවරණයකට තරඟ කරන පක්ෂ තමන්ගේ ම ප්‍රතිපත්ති සමුදායක් ඉදිරිපත් කරන අතර ඡන්දදායකයාගේ කාර්ය වන්නේ සිය මනාපයට ගැලෙපන ප්‍රතිපත්ති සහිත පක්ෂය හෝ අපේක්ෂකයා තෝරා ගැනීමයි. එකී ප්‍රතිපත්ති ඡන්දදායකයන්ගේ ක්‍රියාකාරි මැදිහත් වීමෙන් ගැඹුරු සංවිචාරණයට ලක් කොට වැඩි දියුණු කර ගැනීමේ අවකාශයක් සමුදායි ආකෘතිය තුළ සාමාන්‍යයෙන් නොපවතී. ඒ නිසා සමුදායි ආකෘතියේදී ඡන්දදායකයා යනු අකර්මණ්‍ය පුද්ගලයෙකු මිස සක්‍රිය පුරවැසියෙකු නොවේ. සක්‍රිය ප්‍රජාතන්ත්‍රවාදය ඊට වෙනස් ව සහභාගිවන්නන් අතර කෙරෙන දැනුවත් සංවිචාරණයක ප්‍රතිපලයක් ලෙස අභිමත පරිදි වඩාත් ම සුදුසු ආස්ථානය මුලු මනින්ම අලුතින් ගොඩ නැගීමට, වැඩි දියුණු කිරීමට හෝ තෝරා ගැනීමට ඉඩ සලසයි.   

හාබර්මාස්ට අනුව සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය යනු ලිබරල්වාදය (liberalism) හා සමූහාන්ඩුවාදය (republicanism)  අතර පිහිටි තවත් සුවිශේෂ දේශපාලන ආකෘතියකි. එහෙත් මෙකී ආකෘති තුනටම පුද්ගලයාගේ ස්වතන්ත්‍රබාවය, පුරවැසියන්ගෙන් සමන්විත දේශපාලනික ප්‍රජාවක් සහ රාජ්‍යය සමග සහසම්බන්ධතාවක් ඇති සිවිල් සමාජයක් තුළ පිහිටුවා තිබෙන පොදු අවකාශය (public sphere) යන ගති ලක්ෂණ තුන ම පොදුය. එහෙත් ඒ පොදු ලක්ෂණ තුන ලිබරල්වාදය, සමුහාණ්ඩුවාදය හා සංවිචාරණීය ප්‍රජාතනත්‍රවාදය තුළ අවධාරණය වන්නේ එකිනෙකට වෙනස් ආකාරයෙනි. ඒ අනුව ලිබරල්වාදී ආකෘතිය වැඩි අවධාරණයක් යොදන්නේ පුද්ගල අයිතීන් යනු රජයේ බලපෑම් වලින් ආරක්ෂා කරගත යුතු ඒවා වසයෙන් සැලකීමට යි. සමුහාණ්ඩුවාදී හෙවත් ප්‍රජාමූලවාදී (communitrarian) ආකෘතියෙන් අවධාරණය කරන්නේ නිලධාරිවාදී රාජ්‍ය යන්ත්‍රණයක් වෙනුවට සදාචාරය මුල් කරගත් රටවැසියන්ගේ ස්වයංපාලනයකින් මෙහෙයවෙන දේශපාලනික ප්‍රජාවක් ගැන යි. එහෙත් සංවිචාරණීය ආකෘතියේ අවධාරණීය ලක්ෂණය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ විමුක්තිදායක විභවය උපයෝගි කොට දේශපාලනය පොදු යහපත තකා සංවිචාරණියව දමනය කරගැනීම සඳහා සිවිල් සමාජය මුල්කරගත් පොදු අවකාශයට දී ඇති තීරණාත්මක වැදගත් කම යි. 

සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් වටහා ගත යුතු කරුණ වන්නේ සංවිචාරණයයේදී මනාපයන් (preferences) ගොඩ නැගෙනවා මෙන්ම මනාප සම්බන්ධ කලින් තිබූ තෝරා ගැනීම් හා ඒවාට දී තිබූ ප්‍රමුඛත්වය ද වෙනස් විය හැකි බව යි. නියම සංවිචාරණයකදී ඊට සහභාගිවන්නන් අතර තමන් එතෙක් දැරූ මතය වෙනස් කරමින් වෙනත් මතයක් තෝරා ගැනීමට ඇති පෙළඹීම වැඩි විය යුතුය. සංවිචාරණයේ දී සුවිශේෂයෙන් සුලුතර මතය හා සුලු ජාතීන්ගේ පර්යාලෝක ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. ඒ නිසා පොදු යහපත මුල් කර ගැනීම මගින් ආත්මාර්ථකාමී ආකල්ප වල බලපෑම හැකිතාක් දුරට සංවිචාරණයේ දී අවම කළ යුතුය. ඒ අනුව කලින් වෙනත් අදහස් දැරුවන් අතර පවා සංවිචාරණය අවසානයේ දී එළඹෙන නිගමන පිළිගැනෙන අයුරින් ඉවසිලිවන්තව හා මිත්‍රශීලීව සංවිචාරණය සිදුවිය යුතුය.

අනෙකුත් එලඹීම් වලට වෙනස් ව විවිධාකාර සංවිචාරණිය ප්‍රජාතනත්‍රවාදී ආකෘති වල අඩංගු අංග ලක්ෂණ දහයක් පමණ සලකුණු කළ හැකි බව තෝමස් හොස්ලර් (2018:14-15) සිය ‘The Media and the Public Sphere A Deliberative Model of Democracy’ නම් කෘතියෙන් පෙන්වා දෙයි. ඒවා නම් (1) හුදෙක් ඡන්දය පමණක් භාවිතා කිරීමට හෝ ලබා ගැනීමට සීමා නොවී ඊට වඩා ඉහළ වටිනා කමක් එකිනෙකා හා කෙරෙන සංවිචාරණයට පුරවැසියන් සහ ඔවුන්ගේ නියෝජිතයන් ලබා දිය යුතුය. (2) මනා ලෙස දැනුවත් වූ තීරණ ගැනීමට එකී සංවිචාරණය සෘජුව ම උපයෝගි විය යුතුය. (3) සංවිචාරණය මගින් එළඹෙන තීරණ පොදු යහපත වැඩි දියුණු කරන ඒවා විය යුතුය. (4) සමාජ තරාතිරම නොතකා සංවිචාරණයට සහභාගිවන සියල්ලෝ ම එක සමාන ස්වතන්ත්‍ර පුද්ගලයන් ලෙස එකිනෙකා විසින් පිළිගෙන මිත්‍රශීලී ව සැලකිය යුතුය (5) සංවිචාරණීය දේශපාලන ක්‍රියායනයකට කෙනෙකු සහභාගි වන්නේ ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් අනුව බව සහභාගිවන සියල්ලන් ම විසින් පිළිගත යුතුය. (6) පොදු යහපත යනු කුමක්ද යන්න සම්බන්ධයෙන් පුරවැසියන් අතර විවිධ හා ඇතැම් විට එකිනෙකට පටහැනි මත තිබිය හැකි බැවින් සංවිචාරණයට පෙර එකී මත ගැන සහභාගිවන්නන් අවසාන නිගමනයකට නොපැමිණිය යුතුය. (7) සුදුසු මනාප සම්බන්ධයෙන් අවසානයේ එළඹෙන නිගමන හුදෙක් සංවිචාරණයේ ප්‍රතිඵලයක් ලෙස සාක්ෂාත් කරගත් ඒවා විය යුතුය. (8) සංවිචාරණය හුදු පුද්ගලික සම්බන්ධතා මත කෙරෙන සාකච්ඡාවක් බවට පත් නොවී පුද්ගලික සම්බන්ධතා වලින් තොර බහුතරයක් හා කෙරෙන විවෘත හා සාකච්ඡාවක් විය යුතුය (9) හැම විටම සංවිචාරණයට පාත්‍ර විය යුත්තේ පෞද්ගලික ලැදියා පිලිබඳ ව නොව පොදු යහපත හා සහබද්ධ වූ කරුණකි. (10) එහෙත් පුරවැසියාගේ නිදහස, සමානාත්මතාව හා ස්වතන්ත්‍රභාවය හා සෘජු ලෙස සම්බන්ධ නොවූ කාරණයක් වුවද පොදු යහපත හා සම්බන්ධ නම් සංවිචාරණයට ලක් කිරීමට හැකි ය.

 කෙසේ වෙතත්  ‘සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය’ සහ ‘සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය’ යන දෙක එකක් නො වේ. ජේම්ස් ෆිෂ්කින් සිය ‘When the People Speak’ නම් කෘතියේ පෙන්වා දෙන පරිදි සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන සමානාත්මතාව සමඟ ම සංවිචාරණය ද එක සමාන ව අවධාරණය කරයි.[2] එහෙත් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය අවධාරණය කරන්නේ දේශපාලන සමානාත්මතාව සහ බහුජන සහභාගිත්වයයි. මේ සංකල්ප දෙකේ ම ඇතැම් පොදු ලක්ෂණ තිබෙන නමුත් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදීන් වැඩි සැලකිල්ලක් දක්වන්නේ තීරණ ගැනීමේ දී ප්‍රායෝගික ව ම බහු ජනතාවක් සහභාගී වීම ගැනයි. එහෙත් සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදීන් වඩා වැදගත් කොට සලකන්නේ එක්රැස් ව අදාළ විෂය පිළිබඳ ගැඹුරින් සලකා බැලීම සාර්ථක ලෙස කර ගත හැකි ප්‍රමාණයට අහඹු ලෙස (randomly) තෝරා ගත් මහජන නියැදියක්  යොදා ගෙන කෙරෙන ගැඹුරු හා දැනුවත් සංවිචාරණයකින් පසුව එලඹිය හැකි එකඟත්වය මත තීරණ ගැනීමයි.  එහෙත් මේ සංකල්ප දෙක අවශ්‍යයෙන් ම එකිනෙකට හා ප්‍රතිවිරුද්ධ වටිනාකම්වලින් යුත් ඒවා ලෙස සැලකිය යුතු නො වේ. තීරණ ගැනීමේ දී සෘජු මහජන සහභාගිත්වය බොහෝ සහභාගිත්ව එළඹුම්වලින් වැදගත් කොට සැලකූ අන්දම අප පසුගිය පරිච්ඡේදයෙන් සාකච්ඡා කළෙමු. එහෙත් සිය සමීක්ෂණ පාදක කර ගෙන ෆිෂ්කින් පෙන්වා දෙන්නේ අවශ්‍ය කරන සියලු තොරතුරු, සෘජු සහභාගිත්වය සහ සාකච්ඡා සඳහා සුදුසු රැස්වීම් ස්ථානයක් සපයන්නේ නම් වඩා දැනුවත් වීමේ හැකියාව සාමාන්‍ය ජනතාවට ඇති බවත් ඒ අනුව එතෙක් දරා සිටි මතය වෙනස් කිරීමට ඔවුන් සූදානම් බවත් ය.

ඉතා සරල අන්දමින් විස්තර කළොත් ෆිෂ්කින් විසින් හඳුන්වා දෙන ලද සංවිචාරණීය මත විමසීමේ ක්‍රමය මඟින් කෙරෙන්නේ විමර්ශනයට ලක් වන විෂය කරුණ පිළිබඳ ව හොඳින් කල්පනා කර බැලීමට තරම් ප්‍රමාණවත් කාලයක් ලැබුණොත් මහජනතාව සිය මුල් තීරණය වෙනස් කර ගන්නේ ද  යන්න විමසා බැලීමයි. එහි අරමුණ වැඩි කල්පනා කිරීමකින් තොර ව රැල්ල යන අත අනුව සාමාන්‍ය ඡන්දදායකයන් විසින් සම්ප්‍රදායානුකූල මැතිවරණ තේරීමක් කරනු ලබන ආකාරය මැන බැලීම නො ව මහජනතාවගේ ක්ෂුද්‍ර රූපයක් ලෙස සැලකිය හැකි ප්‍රමාණයෙන් කුඩා නියෝජන කණ්ඩායමක් යොදා ගෙන අදාළ කාරණය පිළිබඳ ව කෙරෙන හොඳ සංවිචාරණයකට පෙර සහ පසු ව ගන්නා තීරණ කිනම් ආකාරයකට එකිනෙකින් වෙනස් වන්නේ දැයි නිගමනය කිරීමයි.  මත විමසුමට ලක් කෙරෙන කණ්ඩායමෙන් ප්‍රමාණවත් ලෙස මහජනතාව නියෝජනය වන බව පෙනෙන්නේ නම් ප්‍රතිඵලය මඟින් ද  බොහෝ දුරට නිරූපණය වන්නේ අදාළ තොරතුරු සැපයෙන දැනුවත් සංවිචාරණයක කොටස්කරුවන් වීමට ඉඩ ලැබුණොත් පොදු මහජනතාව සවිඥානික ව තීරණ ගන්නා ආකාරයයි. 

ෆිෂ්කින් ඇත්ත වසයෙන් ම අදහස් කළේ සිය සංවිචාරණීය මත විමසුම් ක්‍රමය පැරණි ඇතන්ස් නුවර පැවැති ජූරි සභා ක්‍රමය අනුව සැකසීමටයි.[3] නූතන ජූරි සභා ක්‍රමය මෙන් ඇතන්ස්හි  ජූරි සභා ක්‍රමය හුදෙක් අධිකරණයක විනිශ්චය සඳහා විනිසුරුට උපදෙස් දෙන කටයුත්තට යොදා ගත් එකක් පමණක් නො වී ය. එය ඇතන්ස් නුවර සමාජ දේශපාලනික හා ආර්ථික කරුණු පිළිබඳ යෝජනා ඉදිරිපත් කළ හා සාකච්ඡාවට ලක් කළ එක්ලෙසියා (Ecclesia) නමින් හැඳින්වුණ පුරවැසි මහ සභාවේ විධායක කමිටුව බඳු ආයතනයක් විය. එහි එක් සුවිශේෂ කටයුත්තක් වූයේ පුරවැසි මහ සභාව  හමුවට නීති විරෝධි හෝ වගකීම් විරහිත යෝජනා ගෙන එන අය විනිශ්චයට ලක් කිරීමයි. ඒ ජූරි සභාව සමන්විත වූයේ කුසපත් ඇදීමෙ ක්‍රමයට අහඹු ලෙස තෝරා ගත් පුරවැසියන් 500 කට කිට්ටු සංඛ්‍යාවකිනි. ඒ සා  විශාල සංඛ්‍යාවකින් යුතු ජූරි සභාවකට අල්ලස් දීම හෝ බලය යොදා මෙහෙයවා ගැනීම අසීරු කටයුත්තකි. ඒ නිසා එවැනි ජූරි සභා විභාගයකට මුහුණ දීමට සිදු වන ආකාරයේ අනීතික හෝ වගකීම් විරහිත යෝජනා එක්ලෙසියා මහ සභාවට ඉදිරිපත් නො කිරීමට ද ඇතන්ස්හි පුරවැසියෝ වග බලා ගත්හ. එක්ලෙසියා මහ සභාව විසින් සලකා බැලූ යෝජනා හා තීන්දු වැඩිදුරටත් සලකා බලා අවශ්‍ය නම් ඇතැම් තීන්දු සංශෝධනය කිරීමට ද එම ජූරි සභාවට බලය ලැබුණි.

එකී ඇතීනියානු ජූරි සභා ක්‍රමය දෙයාකාරයකින් සුවිශේෂ ය: එනම් දැඩි සංවිචාරණය සහ ජූරි සාමාජිකයන් කුසපත් ඇදීමෙන් අහඹු ලෙස තෝරා ගැනීමයි. එම සාධක දෙකේ ම එක්වීම සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අභියෝගයක් වූ ජනගහනයේ ප්‍රමාණය ආමන්ත්‍රණය කිරීම පිළිබඳ ගැටලුවට විශිෂ්ට විසඳුමක් වූ බව ෆිෂ්කින් අදහස් කරයි. සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදයේ දී අවසාන නිගමනයට පැමිණීම පිණිස සහභාගි වන හැම කෙනෙකුගේ ම අදහස් එක සමාන ලෙස වැදගත් කොට සැලකිය යුතු ය.  මෙම ක්‍රියාවලිය සංවිචාරණීය ක්‍රියාවලියක් ලෙස හඳුන්වන්නේ අදාළ කරුණුවල හේතු යුක්ති බව මෙන් ම විෂය විශේෂඥයින්ගෙන් ලබා ගන්නා නව දැනුම ද එකිනෙකා කෙරෙහි ඇති සමාන ගරුත්වය පදනම් කර ගෙන තරයේ සාකච්ඡාවට ලක් කරන බැවිනි. එසේ සංවිචාරණීය වන අතර එම ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී යැයි සැලකෙන්නේ සහභාගි වන හැම කෙනෙකුගේ ම අදහස් එක සමාන සැලකිල්ලකින් සාකච්ඡාවට ලක් කරන බැවිනි.

ෆිෂ්කින් ඉදිරිපත් කළ සංවිචාරණීය මත විමසුම් ක්‍රමයේ සුවිශේෂ ලක්ෂණයක් වන්නේ දේශපාලන සමානාත්මතාව සහ ප්‍රජාතන්ත්‍රවාදී සංවිචාරණයට ගරු කරන අතර ම ප්‍රමාණයෙන් විශාල නූතන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළට මුහුණට මුහුණ ලා කෙරෙන විමර්ශනාත්මක සාකච්ඡා ක්‍රමයක් ගෙන ඒමයි. අන්තර්ජාලය පදනම් කරගත් සංනිවේදන ක්‍රම සමඟ යොදා ගත් විට සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය තුළට වඩා පුළුල් මහජන සහභාගිත්වයක් ගෙන ආ හැකි ය. ඒ බව 2010 සිට 2013 දක්වා අයිස්ලන්ත වැසියන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා දැරූ ප්‍රයත්නයේ දී උපයෝගී කරගත් විවෘත සංවිචාරණීය (deliberative) ක්‍රමවේදයෙන් පෙන්නුම් කරයි. ඒ අනුව අයිස්ලන්ත අත්දැකීම ෆිෂ්කින් නිර්ණය කළ සංවිචාරණය සහ අහඹු ලෙස තෝරා ගත් මහජන නියැදිය යන සාධක දෙකට අතිරේක ව අන්තර් ජාලගත (online) මහජන සහභාගිත්වය ද සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් සාධකයක් ලෙස  එක් කළේ ය. ඒ නිසා අයිස්ලන්ත අත්දැකීම සවිස්තර ව සලකා බැලීම වටී.

සංවිචාරණය – අයිස්ලන්තයේ ව්‍යවස්ථා සමපාදන අත්දැකීම

2008 ආර්ථික අර්බුදයේ පීඩනය හමුවේ පවතින දේශපාලන ක්‍රමයට එරෙහිව ඒකරාශී වූ අයිස්ලන්ත රටවැසියෝ 2009 දී සිය රටට නව දැක්මක් අවශ්‍ය බව කියා සිටියෝ ය. ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කාර්ය දියත් කිරීම එම උද්ඝෝෂණයේ ම ඉල්ලීමක් විය. නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ දී විනිවිදභාවය, විවෘතභාවය සහ මහජන සහභාගිත්වය යන කොන්දේසි තුන ප්‍රමුඛ කර ගත යුතු බව මහජන මතය විය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා අන්තර්ජාල සංනිවේදනය හරහා සෘජු මහජන සහභාගිත්වය ලබාගත් ලෝකයේ ප්‍රථම ‘ජන මූල’ (crowdsourced) සංවිචාරණීය ව්‍යවස්ථා කෙටුම්පත් සම්පාදන ක්‍රමය ලෙස බොහෝ දේශපාලන විද්‍යාර්ථිහු අයිස්ලන්ත අත්දැකීම අගයති.[4] ජන මූල යන්නෙන් මෙහි දී අදහස් වන්නේ ජන සමුදාය ප්‍රභවය කරගත් හෙවත් ජනතාවගෙන් එකතු කර ගත් යන තේරුමයි.  මාර්ග ගත හෙවත් ඔන්ලයින්(online) ක්‍රම යොදා ගෙන ‘ජන මූල’ ව්‍යවස්ථා සම්පාදනයක් සාර්ථක කර ගැනීමට නම්  ප්‍රමාණයෙන් කුඩා සමජාතීය ජනගහනයක්, ඉහළ අධ්‍යාපන මට්ටමක්, ඉහළ මැතිවරණ සහභාගිත්වයක් සහ ජනගහනයෙන් 96%කට අන්තර්ජාල පහසුකම් ඇති වාතාවරණයක් සහිත අයිස්ලන්තය ඒ සඳහා සුදුසු ම ස්ථානයක් වසයෙන් සැලකිය හැකි ය.

2008 ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස බැංකු කඩා වැටීම නිසා වැඩි ම හානියක් ඇති වූ රටවල් අතරින් අයිස්ලන්තය ද එක රටක් විය. නවලිබරල්වාදී ප්‍රතිපත්ති අනුව මූල්‍ය අංශය නියාමනය කිරීම හැකි තාක් දුරට ලිහිල් කිරීමේ ප්‍රතිපත්තියක් එකල අයිස්ලන්තයේ පැවති දක්ෂිණාංශික ආණ්ඩුව විසින් කලක් තිස්සේ ක්‍රියාත්මක කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය අර්බුදයත් සමඟ 2008 ඔක්තෝබර් මස අයිස්ලන්තයේ විශාලතම බැංකු තුන කඩා වැටුණේ ය. බැංකුවල මේ කඩා වැටීම 320,000 ක් පමණ වූ අයිස්ලන්තයේ ජනගහනයෙන් වැඩි කොටසකගේ බැංකු ගිණුම් අනතුරේ දමමින් ඉතිරි කිරීම් දියකර ඔවුන් ආර්ථික ව්‍යසනයකට ඇද දැම්මේ ය. පවතින පක්ෂ දේශපාලනය ගැන මහජන කලකිරීම වැඩි විය. ‘හැළි වළං විප්ලවය’ (pots and pan revolution) යන නමින් හැඳින්වූ උද්ඝෝෂණ ව්‍යාපාරයේ දී ඉවුම් පිහුම් භාජනවලට තට්ටු කරමින් ජන ඝෝෂා නගමින් දහස් ගණනින් වීදි බට ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයෙන් ම නිරූපණය වූ මහජන විරෝධය බෙහෙවින්  බරපතළ විය.  එනිසා දක්ෂිණාංශික හා මධ්‍යමික කොටස් වලින් යුක්ත සභාග රජය අවසානයේ දී  නව මහා මැතිවරණයක් කැඳවීය.  ව්‍යවස්ථා සංශෝධනයක් පොරොන්දු වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා වාමාංශික හරිත ව්‍යාපාරයට ඒ අනුව තාවකාලික සභාග ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලැබුණි.

ආර්ථික අර්බුදය නිසා අයිස්ලන්තයේ ප්‍රධාන බැංකු කඩා වැටීම එහි බිම් මට්ටමේ දේශපාලනය අවදි කර වීමට සමත් විය. එහි ප්‍රතිඵලයක්  ලෙස The Anthill හෙවත් ‘තුඹස’ නමින් සංවිධාන ගත වූ මහජන ව්‍යාපාරයක් අයිස්ලන්තයේ අනාගතය කෙබඳු විය යුතු ද යන්න සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙළක් දියත් කළේ ය. එය ආරම්භ වූයේ 2009 නොවැම්බරයේ දී ‘ප්‍රථම ජාතික සංවාද සභාව’ යන නමින් පැවැත් වූ එක් දින සම්මේලනයකිනි. ඒ සඳහා පුද්ගලයන් 1500ක් සහභාගී වූ අතර එහි විශේෂත්වය වූයේ  ඒ අතරින් 1200 දෙනෙකු ම ජාතික ජනගහන ලේඛනයෙන් අහඹු (random) ලෙස තෝරා ගත් අය වීමයි. ඉතිරි 300 දෙනා තෝරා ගන්නා ලද්දේ විවිධ ව්‍යාපාර, වෘත්තීය සහ සිවිල් සමාජ සංවිධාන නියෝජනය කිරීම සඳහායි. මේ රැස්වීමේ දී කතිකා කරගත් කරුණු අතර ප්‍රධාන වූයේ අයිස්ලන්ත ආණ්ඩුව සහ පරිපාලනය ප්‍රතිශෝධනය කිරීමේ දී උපයෝගී කර ගත යුතු ප්‍රමුඛතා සහ ප්‍රවර්ධනය කළ යුතු සමාජ වටිනාකම් මොනවාද යන්නයි.  මෙකී සාකච්ඡා සභාවේ නිගමන ජනමාධ්‍ය මඟින් සහ නොයෙක් අතිරේක කතිකා හා සංවාද ඔස්සේ පොදු අවකාශය තුළ තවදුරටත් සාකච්ඡාවට ලක් විය. ප්‍රථම ජාතික සංවාද සභාවේ සාර්ථකත්වය දුටු නව රජය ව්‍යවස්ථා සම්පාදන වැඩ පිළිවෙළ සූදානම් කිරීම පිණිස විශේෂඥයින් හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළේ ය. මේ විශේෂඥ කමිටුව The Anthill සංවිධානයත් සමඟ එක් ව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ නිශ්චිත පියවරක් ලෙස ‘දෙවැනි ජාතික  සභාව’ කැඳවී ය.[5]

2010 නොවැම්බරයේ පැවති දෙවැනි ජාතික සභාවට සහභාගි වන අය නම් කරණු ලැබුවේ ද ජාතික ජනගහන ලේඛනයෙන් අහඹු (random) ලෙස කළ තෝරා ගැනීමකිනි. එසේ අහඹු ලෙස තෝරා ගැනීමේ දී රට පුරා සෑම පළාතකින් ම නියෝජනය වන සහ  හැකි තාක් දුරට එක සමාන ස්ත්‍රී පුරුෂ සංඛ්‍යාවක් අයත් වන ලෙස සහභාගි වන්නන් තෝරා ගැනිණි. මේ සඳහා The Anthill සංවිධානය අයිස්ලන්තයේ ප්‍රමුඛ සමීක්ෂණ සමාගමක ආධාරය ඇති ව ජනගහන ලේඛනය උපයෝගී කර ගෙන වයස් කාණ්ඩ, ස්ත්‍රී පුරුෂ භාවය සහ ප්‍රාදේශීය නියෝජනය හැකි තාක් දුරට සමාන වන අන්දමින් අහඹු ලෙස තෝරා ගත් පුද්ගල ලැයිස්තුවක් සකස් කළේ ය. අනතුරු ව එසේ තෝරා ගත් පුද්ගලයන්ට  ඒ බව දැනුම් දී අදාළ කාර්ය පිළිබඳ කෙටි විස්තරයක් සමඟ ව්‍යවස්ථා සම්පාදනයට සහභාගි වීම පිළිබඳ ඔවුන්ගේ කැමැත්ත විමසා ලිපි යවන ලදි. එහෙත් ලැබුණු ධනාත්මක ප්‍රතිචාර ප්‍රමාණය 20% කට වැඩි නො වී ය. අනතුරු ව දුර කථන මඟින් ද ඒ පිළිබඳ පැහැදිලි කිරීම් කිරීමට සිදු විය. කෙසේ වෙතත් අවසානයේ දී අවශ්‍ය වූ 950 දෙනා තෝරා ගැනීමට හැකි වූයේ අහඹු ලැයිස්තුවේ සඳහන් 3000 ක් පමණ වූ පුද්ගල සංඛ්‍යාවක් විමසීමෙන් පසුවයි. එසේ තෝරා ගත් සහභාගි වන්නන් කිසියම් අන්දමකින් සහභාගි වීම ප්‍රතික්ෂේප කළ හොත් එම පුරප්පාඩු පිරවීමට සමාන නිර්ණායක අනුව සැකසූ විකල්ප ලැයිස්තුවක් ද සූදානම් කර තිබුණි.  ඒ අනුව ක්‍රමවේදය බොහෝ දුරට අහඹු තෝරා ගැනීම අනුගමනය කළ ද අදාළ සහභාගිත්ව නිර්ණායක අනුගමනය කිරීම පිණිස ඇතැම් තේරීම් එම නියැදිය මඟින් ම අභිමතය අනුව තීරණය කිරීමට සිදු විය. එහෙත් මුලු තේරීම් ක්‍රමය විනිවිද පෙනෙන සුලු සාධාරණීකරණය කළ හැකි ක්‍රමයක් වසයෙන් පවත්වා ගැනීමට සංවිධායකයෝ උත්සුක වූහ.

මේ ජාතික සාකච්ඡා සභාවට සහභාගී වූ 950 දෙනාට පැවරුණු කාර්ය වූයේ “රටේ ආණ්ඩුව සහ ව්‍යවස්ථාව සංවිධානය කර ගැනීම පිළිබඳව මහජනතාව විසින් අවධාරණය කළ යුතු මුඛ්‍ය කරුණු මොනවා ද යන්න කතිකා කොට නිගමනය කිරීමයි”.  ඒ අනුව දිනක් පුරා පැවති සාමූහික බුද්ධි කළම්බක (brainstorming) සැසියක් මඟින් ලබාගත් විවිධ අදහස් ප්‍රධාන තේමා අටක් යටතේ ලැයිස්තු ගත කෙරිණි. අනතුරු ව සාකච්ඡා සභාවට සහභාගි වූ සියල්ලෝ ම එක කණ්ඩායමකට අට දෙනෙකු වසයෙන් කණ්ඩායම්වලට බෙදී වට මේස සාකච්ඡා මඟින් එකී අදහස් තවදුරටත් සාකච්ඡාවට ලක් කර එක් එක් කණ්ඩායමේ නිගමන වෙන් වෙන් ව කෙටුම්පත් කරන ලදී. මෙම ක්‍රියාවලිය මෙහෙයවීමට පුහුණු පහසුකම් සපයන්නන් (facilitators) යොදා ගැණිනි. ‘ලොඕස්’ යන නමින් හැඳින්වුණු එම පහසුකම් සපයන්නන් අදාළ කරුණු සම්බන්ධ ව තම පුද්ගලික අදහස් පළ කිරීමෙන් වැළකිය යුතු වූ අතර ඔවුන්ගේ මූලික කාර්යය වූයේ හැම සහභාගි වන්නෙකුට ම සිය අදහස් නො පැකිළ ව ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීමයි. බොහෝ වට මේස සාකච්ඡා ආරම්භ වූයේ පහසුකම් සපයන්නා විසින් කරන ලද හැදින්වීමකට පසුවයි. සහභාගිත්ව සාකච්ඡා පැවැත්වීම පිළිබඳ විශේෂඥ පුහුණු ආයතනයක් විසින් පිළියෙළ කරන ලද සම්මන්ත්‍රණ කාලසටහන මෙම සාකච්ඡාවල දී තදින් අනුගමනය කෙරිණි.

පෙරවරුවේ පැවති සාකච්ඡාවලට සහභාගි වූවන්ගේ කාර්යය වූයේ ප්‍රධාන තේමා අටකට වර්ග කරන ලද විවිධ සාධකවලට අදාළ විය යුතු දැක්ම සහ වටිනාකම් කෙබඳු විය යුතු ද යන්න කතිකා කර ගැනීමයි. ඉන් අනතුරුව පස්වරුවේ මුල් කොටස වෙන් වූයේ එක් එක් තේමාව පිළිබඳව විශේෂ උනන්දුවක් දැක්වූ කණ්ඩායම් අතර සාකච්ඡා පැවැත්වීමටයි. මෙහි දී අරමුණ වූයේ එතෙක් එකී තේමා සම්බන්ධයෙන් ඉදිරිපත් ව තිබූ යෝජනා ඒවායේ වැදගත්කම අනුව ලැයිස්තු ගත කිරීම වුවත් සම්මන්ත්‍රණයේ මේ කොටසේ දී සාකච්ඡාව බෙහෙවින් සංවාදශීලී ස්වභාවයක් ගත්තේ ය.

එසේ එක් එක් තේමාව අනුව රැස් වූ කණ්ඩායම් සිය සාකච්ඡාවලින් පසුව උදයවරුවේ සංයුක්ත වූ ආකාරයට යළිත් රැස්ව මෙතෙක් තමන් එක්රැස් කරගත් කරුණු නැවත සිය මුල් කණ්ඩායම තුළ සමාලෝචනයකට ලක් කළේ ය. එක් එක් කරුණ නැවත ගැඹුරින් විමසනවාට වඩා මෙම සාකච්ඡා වටය සාමාන්‍ය අදහස් හුවමාරු කර ගැනීමක ස්වරූපය ගත්තේ ය. එසේ කතිකා කරගත් කරුණු අනුව එක් එක් වට මේසය මුලින් ම සිය මුඛ්‍ය නිර්දේශ පහ සකස් කොට අවසානයේ දී ඉන් වඩාත් ම වැදගත් නිර්දේශ  තුන ඡන්දයකින් සම්මත කර ගත්තේ ය.

මෙම සම්මන්ත්‍රණය අවසානයේ දී එළඹුණු නිගමනවලට අනුව නව ව්‍යවස්ථාවක තිබිය යුතු මුඛ්‍ය වටිනාකම් ලයිස්තුවක් සංවිධායකයින් විසින් පිළියෙල කරන ලදී. ඒ සඳහා අනුගමනය කළ පිළිවෙත මෙසේයි. කතිකාවට ලක් වූ එක් එක් තේමාව සම්බන්ධයෙන් නව ව්‍යවස්ථාවක තිබිය යුතු ම යැ’යි එක් එක් වට මේසය නිගමනය කරන කරුණ තනි වැකියකින් ප්‍රකාශ කළ යුතු විය. ඉන් පසු එක් එක් වට මේසය එම වට මේසය විසින් ආමන්ත්‍රණය කරන ලද තේමාව සම්බන්ධ වැදගත් ම කාරණය පිළිබඳ නිර්දේශය තනි වැකියකින් ඉදිරිපත් කළ යුතු ය.  අනතුරුව, ‘නව ව්‍යවස්ථාව සම්පාදනය කරන අයට ඔබ විසින් ඉදිරිපත් කරණු ලබන නිර්දේශ, උපදෙස් සහ ඉල්ලීම් මොනවාද?’ යන ප්‍රශ්නයට කණ්ඩායමේ වැඩි ඡන්දයෙන් තෝරා ගත් හොඳ ම පිළිතුරු තුන ලබා දිය යුතු විය. අවසාන වසයෙන් සංවිධායකයෝ පහසුකම් සපයන්නන් ද ඇතුළුව සම්මන්ත්‍රණයට සහභාගි වූ එක් එක් අයගෙන් නව ව්‍යවස්ථාව සම්බන්ධව ඒ අයගේ පුද්ගලික නිර්දේශ ද එකතු කර ගත්තේ ය. අවසානයේ දී විශේෂඥයින් හත් දෙනාගේ  කමිටුව විසින් මේ ජාතික සභාවේ නිර්දේශ පිළිබඳ විවරණයක් සමඟ නව ව්‍යවස්ථාවක් සඳහා පිළියෙළ කළ සැලසුම් දෙකක් සහිත නිගමන සියල්ල ඇතුළත් පිටු 700 කින් සමන්විත වාර්තාවක් සම්පාදනය කරන ලදී.  එම වාර්තාව අදාළ සියලු ලේඛන සමඟ ඡන්දයෙන් තෝරා ගන්නා සාමාජිකයන් විසිපස් දෙනෙකුගෙන් සමන්විත වන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට යොමු කිරීමට සූදානම් කෙරුණි.

අයිස්ලන්ත ව්‍යවස්ථා සම්පාදන වැඩපිළිවෙළේ ඊ ළඟ වැදගත් පියවර වූයේ ව්‍යවස්ථාව කෙටුම්පත් කරන සාමාජිකයන් 25 දෙනෙකුගෙන් යුතු  ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පිහිටුවීමයි. නව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ව්‍යවස්ථා සම්පාදන පනතට අනුව දේශපාලනය ගැන අත්දැකීමක් නැති ඕනෑ ම කෙනෙකුට තෝරා පත් විය හැකි මෙම මණ්ඩලය ‘ආධුනිකයන්ගේ’ මණ්ඩලයක් ලෙස හැඳින්වීමට හැකියැ’යි  අයිස්ලන්ත ව්‍යවස්ථා සම්පාදන වැඩපිළිවෙළ විස්තර කරන ආචාර්ය හෙලන් ලැන්ඩ්මොර්  සිය Open Democracy: Reinventing Popular Rule for the Twenty First Century නමැති කෘතියෙන් පෙන්වා දෙයි.[6] ඒ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටින වෘත්තීය දේශපාලනඥයින් නව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට තේරී පත්වීම ව්‍යවස්ථා සම්පාදන නීතිය මඟින් වළක්වා තිබුණි. එහි අරමුණ වූයේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට තෝරා පත් වන්නන් අතරින් බහුතරය සාමාන්‍ය රටවැසියන් වීම සහතික කිරීමයි. මෙම විවෘත භාවය නිසා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට අයත් වන විසිපස් දෙනා තෝරා ගැනීමේ මැතිවරණයට 522 නෙක් තරඟ කළහ. වෙනත් සාම්ප්‍රදායික ව්‍යවස්ථා සම්පාදන මණ්ඩල මෙන් නො ව අවසානයේ දී තෝරා පත් වූ 25 දෙනාගෙන් අයිස්ලන්ත ජනසමාජයේ බහුවිධත්වය කදිමට නිරූපණය විය.

තාක්ෂණික හේතුවක් නිසා එම මැතිවරණයේ ප්‍රතිඵල අයිස්ලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කළ ද මැතිවරණයෙන් තෝරා පත් වූ 25 දෙනා පාර්ලිමේන්තුවේ සම්මුතියෙන් යළි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට තෝරා පත් කෙරිණි. සාමාන්‍ය මැතිවරණයකින් තෝරා පත් වන වෘත්තීය දේශපාලනඥයන් හෝ පරිපාලකයන් වෙනුවට මෙවර තෝරා පත් වූ බොහෝ අය ආධුනික දේශපාලනඥයන් වසයෙන් සැලකිය හැකි ය. ජාතික සාකච්ඡා සභා දෙකෙහි ම කතිකා කොට පැමිණ තිබූ නිගමන ගැන තම ස්ථාවරය මැතිවරණයට පෙර ඡන්දදායකයින්ට පැහැදිලි කිරීමට ඔවුන්ට සිදුවී තිබුණි. තෝරා පත් වූ අපේක්ෂකයින් විසිපස් දෙනා අතර කලින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හොබවා තිබුණේ දෙදෙනෙකු පමණි. නව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ස්ත්‍රීන් දස දෙනෙකුගෙන් සහ පුරුෂයන් පහළොස් දෙනෙකුගෙන් සමන්විත විය. ව්‍යවස්ථා සම්පාදන පනතට අනුව සාමාජිකයන් අතරින් අවම වසයෙන් 40%ක්වත් ස්ත්‍රීන් විය යුතු ය යන කොන්දේසිය එමඟින් සපුරා තිබුණි. තෝරා පත් වූ විසිපස් දෙනා අතර විශ්ව විද්‍යාල මහාචාර්යවරු පස් දෙනෙක්,  ජනමාධ්‍යවේදීහු දෙදෙනෙක්, වෛද්‍යවරු තිදෙනෙක්, නීතිඥයෙක්, වෘත්තීය සමිති නායකයෙක්, ක්‍රිස්තියානි පූජකයෙක්, පොත් ප්‍රකාශකයෙක්, වීඩියෝ ක්‍රීඩා නිපදවන්නෙක්, වෙළඳ ව්‍යාපාරිකයෙක්, ජාතික කලා කෞතුකාගාරයේ වාස්තු විද්‍යාව පිළිබඳ කළමනාකරු, දේශපාලන විද්‍යාඥයෙක්, පාරිභෝගික සමාජ ක්‍රියාකාරිකයෙක්, නාට්‍ය නිෂ්පාදකයෙක් සහ ගොවියෙක් ද වූහ.

මේ තෝරා පත්වීම් විවිධත්වය අතින් විශාල පරාසයකට අයත් වුව ද ප්‍රාදේශීය හා සමාජ ආර්ථික නියෝජනය අතින් බැලූ විට තරමක් දුර්වල තේරීමක් විය. සාමාජිකයන් විසිපස් දෙනාගෙන්  විසිතුන් දෙනෙක් ම රටේ අගනුවර වූ රයික්ජවික් නගර වැසියෝ වූහ. තෝරා පත් වූ අය අතර විද්‍යාර්ථිහු ද සැලකිය යුතු පිරිසක් වූහ. තෝරා පත් වූ එක ම ගොවියා ද ගොවි සමිති ව්‍යාපාරයේ සභාපතිවරයායි. බොහෝ අයගේ ප්‍රධාන විවේචනයක් වුණේ තේරී පත් වී ඇති බහුතරයක් මධ්‍යම පංතියට අයත් අය වීමයි.

කෙසේ වෙතත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කටයුතු ඇරඹීමෙන් පසු සෘජු මහජන සහභාගිත්වය වැඩි වසයෙන් දක්නට ලැබුණේ අන්තර්ජාලය ඔස්සේ මහජන ප්‍රතිචාර ලැබෙන අවදියේ යි. ඒ වන විට පවත්වා තිබූ මූලික ජාතික සාකච්ඡා සභා දෙකේ ම නිර්දේශ මාධ්‍ය හරහා සහ විවිධ සංවාද මණ්ඩප මඟින් පොදු අවකාශය තුළ සාකච්ඡාවට භාජනය වී තිබුණ බැවින් පුළුල් ව්‍යවස්ථා සාකච්ඡාවකට සම්බන්ධ වීමට අවශ්‍ය දැනුම සැලකිය යුතු මට්ටමින් ජනගත ව තිබුණි. තමන්ට පැවරුණු  කටයුත්ත ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට සීමා කර හුදකලාව කෙටුම්පත සකස් කරනවා වෙනුවට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකයෝ බොහෝ දෙනෙක් එදිනෙදා සාකච්ඡා පිළිබඳ තම අදහස් කෙලින් ම අන්තර්ජාලය ඔස්සේ මහජනතාවට දැනුම් දෙමින් ඒ සම්බන්ධයෙන් මහජන ප්‍රතිචාර ලබා ගත්හ.

ව්‍යවස්ථා කෙටුම්පත්කරණයේ හැම අවධියක දීම සාකච්ඡාවට ලක් වී ඇති යෝජිත ව්‍යවස්ථා ඡේද අන්තර්ජාලය ඔස්සේ මහජනතාවට දැන ගැනීමට සලස්වනු ලැබී ය. ඒ අනුව ලැබුණු ෆේස්බුක්, ට්විටර්, විද්‍යුත් තැපෑල මඟින් මෙන් ම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ වෙබ් අඩවිය ඔස්සේ ලැබුණු මහජන ප්‍රතිචාර ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කතිකා වඩ වඩා පොහොසත් කළේ ය. මේ ක්‍රියාවලියේ දී අන්තර්ජාලය ඔස්සේ විවිධාකාර ප්‍රතිචාර අදහස් 3600 ක් පමණ ලැබුණි. එම අදහස්වල දිග ප්‍රමාණය එකිනෙකට වෙනස් වූ අතර ඉන් සැලකිය යුතු අදහස් ප්‍රමාණයක් කලින් දක්වා තිබූ අදහස්වලට ප්‍රතිචාර වසයෙන් ලබා දුන් ඒවා විය. අවසානයේ දී ඒ අතරින් සංයුක්ත ලෙස සලකා බැලිය යුතු අදහස් 360ක් හඳුනා ගත හැකි විය.

ඒ හා සමාන ඔන්ලයින් ක්‍රමවලින් අදහස් ලබා ගන්නා වෙනත් අවස්ථාවල දී මෙන් ම මෙහි දී ද වැඩියෙන් අදහස් පළ කර තිබුණේ උගත් නාගරික වැඩිමහල්ලන් ය. රයික්ජවික් සරසවියේ නීති විද්‍යා පීඨයේ ආචාර්යවරියක වූ හෙල්ගා ඩොටිර්ගේ මතයට අනුව මේ සඳහා අන්තර්ජාලය ඔස්සේ අදහස් ලබා ගැනීමේ දී නිරීක්ෂණය වූ අන්දමට ඒ අවස්ථාව වැඩි වසයෙන් භාවිත කර ඇත්තේ තරුණ පරපුරට අයත් අයට වඩා දැනට මත් දේශපාලන වසයෙන් සැලකිය යුතු බලපෑමක් කළ හැකි මැදි වයසේ ස්වදේශික පිරිමින් බව ය. ඇය පවසන අන්දමට සෘජු ව පාර්ලිමේන්තුවට සිය අදහස් ඉදිරිපත් කළ අය අතර ඊට වඩා විවිධත්වයක් තිබුණි.

කෙසේ වෙතත් සාම්ප්‍රදායික ක්‍රමය අනුව ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව තම අදහස් සෘජු ව ම පාර්ලිමේන්තුවට යොමු කළ පුද්ගලයන් සහ සංවිධාන 53 ට වඩා ප්‍රමාණයෙන් විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලය ඔස්සේ තම අදහස් ඉදිරිපත් කිරීම සඳහා සහභාගී වී තිබුණි.  අන්තර්ජාලය ඔස්සේ අදහස් හුවමාරු කර ගැනීම බොහෝ විට නියෝජන විවිධත්වය අතින් දුර්වල විය. එහෙත් පාක්ෂික ස්ථාවර මත පාර්ලිමේන්තු කතිකාවලට ඉදිරිපත් කරන ප්‍රතිවිරුද්ධ අදහස් අනුපූරණය කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාලය පාදක කරගත් කතිකා ඉතා වැදගත් වේ. මන්ද අන්තර්ජාලය නො වන්නට සාම්ප්‍රදායික ක්‍රම අනුව මැදිහත් වීම් කිරීමට බොහෝ අයට අවස්ථාව හෝ අවකාශය නො ලැබෙන බැවිනි. ඒ නිසා කතිකා සඳහා අන්තර්ජාලය ඔස්සේ crowdsourcing හෙවත් ජනමූලීය ව අදහස් ලබා ගැනීම සැලකිය යුත්තේ මහජන සහභාගිත්වය පිළිබඳ විකල්ප ක්‍රමවේදයකට වඩා එකිනෙකා අභිමුඛ ව කෙරෙන කතිකා හා සම්මන්ත්‍රණවලට අනුපූරකයක් ලෙස බව හෙලන් ලැන්ඩ්මොර් පෙන්වා දෙයි.

බොහෝ අවස්ථාවල දී ව්‍යවස්ථා සම්පාදනය ගැන කෙරෙන සාම්ප්‍රදායික පාර්ලිමේන්තු සාකච්ඡාවලට අනුව අවසාන කෙටුම්පත පවතින ව්‍යවස්ථාවට වඩා දියුණු එකක් වෙන්නේ දැයි කල් තබා කිව නො හැකි ය. එහෙත් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩල කතිකාවේ විවිධ අවස්ථාවල දී අන්තර්ජාලය ඔස්සේ ලැබුණු ප්‍රතිචාරය හා දායකත්වය අවසාන ව්‍යවස්ථා කෙටුම්පතේ ස්වභාවය කෙබඳු විය හැකි ද යන්න පිළිබඳ විශ්වාසදායක අවබෝධයක් මහජනතාව අතර ඇති කිරීමට සමත් වූ බව ඇතැම් විචාරකයෝ පෙන්වා දුන්හ.[7] හුදෙක් මේ හේතුව නිසා ම පමණක් වුවද අයිස්ලන්ත ව්‍යවස්ථා සම්පාදන ප්‍රයත්නය සඳහා යොදා ගත් නව ප්‍රජාතන්ත්‍රවාදී කතිකා ක්‍රම පිළිබඳ ඉහත කී අපූරු අත්හදා බැලීම් ගැන උද්දාමයට පත් විය හැක්කේ එමඟින් ලබා ගත් ප්‍රතිඵල ගුණාත්මක වසයෙන් ඉහළ නම් පමණි. මහජන මතය අනුව සකස් කළ ව්‍යවස්ථාව හොඳ ව්‍යවස්ථාවක් ලෙස සැලකිය හැකි වී ද? එය හොඳ ව්‍යවස්ථාවක් නම් එසේ හොඳ වූයේ එහි හැම සම්පාදන පියවරකට ම මැදිහත් වීමට සාමාන්‍ය ජනතාවට ඉඩ ලැබුණු නිසා ද?

මෙසේ සම්පාදනය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ වටිනාකම 2012දී පැවති ජනමත විචාරණයෙන් එයට තුනෙන් දෙකක මහජන කැමැත්ත ලැබීමෙන් තහවුරු වූ බව පෙනී යයි.  එහෙත් එසේ ජනමත විචාරණයෙන් අනුමත වුව ද අයිස්ලන්ත පාර්ලිමේන්තුව එම ව්‍යවස්ථා කෙටුම්පත පසෙක තැබීමට තීරණය කිරීමෙන් එහි දුර්වලකම ද නිරූපණය වන බව පෙනී යයි.  

ඒ පිළිබඳ දැනට ලියැවී ඇති ශාස්ත්‍රීය විචාරවලින් ව්‍යවස්ථා කෙටුම්පතක් හොඳ වන්නේ කුමන ප්‍රමිති නිසාදැ’යි නො කියවේ. එහෙත් ඇතැම් ව්‍යවස්ථා විශාරදයන්ගේ මතය අනුව නව ව්‍යවස්ථා කෙටුම්පත ආකෘතික වසයෙන් සංසක්ත(coherence) නො වීම හෙවත් නො ගැළපීම් ඇතිවීම එය සම්බන්ධ පළ වූ ප්‍රධාන විවේචනයකි. ජනමත විචාරණයෙන් සම්මත වූ ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව අයිස්ලන්ත පාර්ලිමේන්තුව විසින් උපදේශන ලබා ගත් ඇතැම් යුරෝපීය නීති විශේෂඥයන් ද ව්‍යවස්ථා කෙටුම්පතින් යෝජනා කර තිබෙන ආයතන සහ ව්‍යවස්ථා වගන්ති අතර නොගැළපීම් ඇති බව පෙන්වා දීම ද කෙටුම්පත සංසක්ත නො වීම පිළිබඳ අදහස ශක්තිමත් කළේ ය. මේ නො ගැළපීම් පිළිබඳ විශේෂඥ මතවාද අයිස්ලන්ත ජනමාධ්‍ය විසින් බෙහෙවින් උපුටා දක්වනු ලැබුවේ ය. එහෙත්  ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ කතිකා අනුපූරණය කිරීමට අන්තර්ජාලය ඔස්සේ මහජන අදහස් ලබා ගැනීම පොදු සහභාගිත්වය වැඩි කරන හොඳ නවෝත්පාදනයක් ලෙස සැබැවින් ම අගය කළ යුතු බව ලැන්ඩ්මොර් පෙන්වා දෙයි. 

ලෑන්ඩ්මෝර්ගේ මතය අනුව කෙටුම්පතේ සංසක්ත භාවය පිළිබඳ විවේචනය ඒ තරම් වැදගත් දෙයක් නොවෙන්නේ එවැනි නො ගැළපීම් වැඩි අපහසුවකින් තොර ව විසඳා ගත හැකි බැවිනි. නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක මණ්ඩලයට දී තිබුණේ සිව් මසක සීමා සහිත කාලයක් වීම ද මෙවැනි නො ගැළපීම්වලට හේතු විය හැකි බව ද ඇය පවසයි.

ආකෘතික නො ගැළපීම් පිළිබඳ කාරණයට වඩා කෙටුම්පතේ අන්තර්ගතය සම්බන්ධයෙන් ලෑන්ඩ්මෝර්ගේ නිරීක්ෂණය වූයේ මතභේදයට ඒ තරම් තුඩු නො දෙන ගුණාංග දෙකක් සම්බන්ධයෙන් යෝජිත කෙටුම්පත බෙහෙවින් හොඳ තත්වයක පැවතුණු බවයි.  එම ගුණාංග දෙක ඇය හඳුන්වන්නේ “rights-heaviness” හෙවත් ‘අයිතිවාසිකම්වලින් බර වීම’ සහ  “democraticity” හෙවත් ‘ප්‍රජාතන්ත්‍රවාදිත්වය’ යනුවෙනි. අයිතිවාසිකම්වලින් බර වීම යනුවෙන් ඇය අදහස් කළේ  බලාපොරොත්තු විය යුතු පරිදි ම පුද්ගල අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාව කෙතරම් ඉදිරිගාමී වී තිබේ ද යන්නයි. ‘බර වීම’(heaviness) යන්නෙන් අදහස් වුණේ කෙටුම්පතේ සඳහන් අයිතිවාසිකම් සංඛ්‍යාවෙන් මෙන් ම ගුණාත්මක බවින් ද කැපී පෙනීමයි. ව්‍යවස්ථාවක අයිතිවාසිකම් සඳහන් කිරීම එම අයිතිවාසිකම් භුක්ති විඳීමට ඉඩ ලැබේ ය යන්න පිළිබඳ සහතිකයක් නො වන නමුත් ඉතා විශද ව හා සුපැහැදිලි ව අයිතිවාසිකම් සඳහන් කර තිබීම ව්‍යවස්ථාවක ගුණාත්මක භාවය පිළිබඳ වැදගත් නිර්ණායකයකි. අභිමත අයිතිවාසිකම් ව්‍යවස්ථාවේ පැහැදිලි ව සඳහන් කර තිබීම ඒවා සාක්ෂාත් කර ගැනීම රජයේ වගකීම බව ව්‍යවස්ථාවෙන් ම නියම කිරීමකි. ප්‍රජාතන්ත්‍රවාදිත්වය යනුවෙන් ලැන්ඩ්මොර් අදහස් කළේ පටිපාටිමය වසයෙන් ව්‍යවස්ථාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකී ඇත් ද යන්න පමණක් නො ව ව්‍යවස්ථා සම්පාදනය ද කොතෙක් දුරට ප්‍රජාතන්ත්‍රවාදී ව සිදුවී ද යන්නයි. මෙකී නිර්ණායක දෙක ම අනුව අයිස්ලන්ත ව්‍යවස්ථා කෙටුම්පත සාර්ථක ව තිබූ බව  ලෑන්ඩ්මෝර්ගේ මතයයි.

ඒ හැර යෝජිත කෙටුම්පතේ සඳහන් වූ ඇතැම් නව අයිතිවාසිකම් එවකට තිබූ ව්‍යවස්ථාවේ හෝ ව්‍යවස්ථා විශාරදයන් විසින් පිළියෙළ කරන ලද ව්‍යවස්ථා සැලසුම්වල හෝ නො තිබූ ඒවා විය. එයට එක උදාහරණයක් නම්  නව ව්‍යවස්ථා කෙටුම්පතට අනුව අන්තර්ජාලයට පිවිසීමේ අයිතිය මහජනතාවගේ ව්‍යවස්ථාපිත අයිතියක් වසයෙන් පිළිගත යුතු වීමයි. ඒ හැර ලිංගික ප්‍රචණ්ඩත්වයෙන් වින්දිතයින් ආරක්ෂා කිරීම ද ආණ්ඩුවේ ව්‍යවස්ථාපිත කාර්ය භාරයක් බව කෙටුම්පතෙහි සඳහන් ව තිබුණි. ළමා අයිතිවාසිකම් පිළිබඳ විස්තීර්ණ පරිච්ඡේදයක් සහ අයිතියක් ලෙස නිරාගමික වීම සහ ප්‍රශ්න කිරීම ද ඇතුළු ව ආගමික නිදහස පෘථුල ලෙස අර්ථකතනය කිරීමේ හැකියාව ද කෙටුම්පතෙන් තහවුරු කර තිබුණි.

අයිස්ලන්ත ව්‍යවස්ථා කෙටුම්පත් ක්‍රියාවලිය බෙහෙවින් විනිවිද පෙනෙන සුලු සංවිචාරණීය එකක් වූ බැවින් බහුතර ජනතාව ව්‍යවස්ථා සම්පාදනය ගැන සැලකිය යුතු අවබෝධයක් ඇති කර ගෙන තිබුණි. අවසානයේ දී පාරිසරික සංරක්ෂණය සම්බන්ධයෙන් යෝජිත වගන්ති පිළිබඳ ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් මතු වූ නො රිස්සීම ඇතුළු නොයෙකුත් හේතු මත පාර්ලිමේන්තුව විසින් පැත්තකට කර තැබුවත් යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත විවෘත ප්‍රජාතන්ත්‍රවාදයක ඇති ඵලදායකත්වය මැනවින් පිළිබිඹු කළේ ය.

දහ අටවන සිය වසේ සිට ලිබරල් සමූහාණ්ඩුවාදීන් විසින් උත්කර්ෂණයට නංවන ලද නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් හඳුන්වා දුන් ඡන්දයෙන් තෝරා ගත් ප්‍රභූන් සහ ඔවුන්ගේ අන්තේවාසිකයන් මත විශ්වාසය තැබීමට වෙනස් ව විවෘත සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය නිසා සාමාන්‍ය ජනතාවට දැනුවත් ව සහ ඵලදායක ව දේශපාලනයට මැදිහත් වීමට ඇති හැකියාව අයිස්ලන්තයේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රමවේදය තුළ බෙහෙවින් දක්නට ලැබුණි.

සැලකිය යුතු ධනයක් වියදම් කරමින් කිසියම් දේශපාලන පක්ෂයක නායකත්වයේ අභිමතය පරිදි ඉල්ලන ඡන්දයක දී නොයෙක් මුසාවාද ඇද බාමින්, ව්‍යාජ පොරොන්දු හා අල්ලස් ලබා දෙමින්  නියෝජිතයෙක් වසයෙන් තෝරා පත් කරවා ගැනීමට ප්‍රයත්න දරනවාට වඩා ඒ කිසිදු අකටයුත්තක් නො කර හුදෙක් ඡන්ද දායක නාම ලේඛනයේ ලියා පදිංචි වී සිටීම නිසා ම නීති සම්පාදනයට සහභාගි වීම සඳහා අහඹු ලෙස තෝරා පත්වීමට හැම පුරවැසියෙකුට ම එක හා සමාන අවස්ථාවක් ලැබෙන, සැලකිය යුතු රට වැසියන් පිරිසක් වැදගත් යැයි සලකන පනත් කෙටුම්පතක් ප්‍රජාතන්ත්‍රවාදී සංවිචාරණීය සභා, ජනමාධ්‍ය හා අන්තර්ජාලය භාවිත කොට සාමූහික ව සාකච්ඡා කොට තීරණය කළ හැකි  විවෘත ප්‍රජාතන්ත්‍රවාදයක් කෙතරම් යහපත් ද?.

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022


[1] Reybrouck, David Van (2016). Against Elections: The Case for Democracy, London: Bodley Head, p. 111

[2]  Fishkin, J (2009) When the People Speak, New York: Oxford University Press, p. 121.

[3] Fishkin, J (2009) When the People Speak, New York: Oxford University Press, p. 11.

[4] Hudson, Alexander (2021) The Veil of Participation, Cambridge: Cambridge University Press, pp. 114-115

[5] https://participedia.net/case/130 – Retrieved on 14 June 2021

[6] Landemore, Hélène (2020) Open democracy: reinventing popular rule for the twenty-first century, Princeton: Princeton University Press, p.160

[7] Hudson, Alexander. 2018. “When Does Public Participation Make a Difference? Evidence from Iceland’s Crowdsourced Constitution.” Policy & Internet 10(2): 185–217. doi:10.1002/poi3.167.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: