2. ප්‍රජාතන්ත්‍රවාදය – පරමාදර්ශය හා විකෘතිය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

නූතන අර්ථයෙන් ගත් විට ප්‍රජාතන්ත්‍රවාදයක වැදගත් ම ගුණාංග ලෙස සැලකෙන්නේ මහජනතාවගේ දේශපාලන සමානාත්මතාව, මහජන සහභාගිත්වය සහ ආණ්ඩුකරණයේ  වග වීමයි[1].. දේශපාලන සමානාත්මතාව යනුවෙන් හැඳින්වූයේ දේශපාලනය කිරීමේ අයිතිය සමාජයේ හැම සාමාජිකයෙකුට ම එක හා සමානව හිමි වෙන බව යි. මහජන සහභාගීත්වය යන්න මැතිවරණයට  පමණක් සීමා වූවක් නොවේ.  සෘජු ව හෝ සංවිධිත ව හෝ දේශපාලන කටයුතු වලට සහභාගි වීම,  විසම්මුතිය, අදහස්  ප්‍රකාශ කිරීම, ආණ්ඩු කිරීම සංනිරීක්ෂණය කිරීම, රැස්වීම් පැවැත්වීම, උද්ඝෝෂණ හා වැඩ වර්ජනය කිරීම ආදිය ද මහජන සහභාගීත්වයේ විවිධ ස්වරූපයෝ ය.

කෙසේ වෙතත් ඉංග්‍රීසින් විසින් පාර්ලිමේන්තු ක්‍රමය හඳුන්වා දුන් දා සිට ප්‍රජාතන්ත්‍රවාදය තේරුම් කරන ලද්දේ රාජ්‍යයේ ස්වරූපය පිළිබඳ ආකෘතියක් ලෙස මිස සමාජයක සාමාජිකයන්ට සාමූහික ව ජීවත් වීම සඳහා උපයෝගී වන සහභාගිත්ව දේශපාලන යන්ත්‍රණයක් ලෙස නො වේ. එංගලන්තයේ පළමුවැනි එඩ්වඩ් (1272-1307) රජුගේ සමයේ  ඉංග්‍රීසි පාර්ලිමේන්තුව පිහිටුවන ලද්දේ මූලික වසයෙන් ම රජුට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම පිණිස බදු පැණවීමේ දී එම බදු අය කර දීම පැවරෙන රදල නායක කාරකාදීන්ගේ ද කැමැත්ත විමසිය යුතු ය යන එකඟත්වය  ක්‍රියාත්මක කිරීම සඳහා ය[2]. බදු ආදායමකින් තොර ව රජයක් පවත්වා ගෙන යා නො හැකි ය. ඒ නිසා පාර්ලිමේන්තුව රාජාණ්ඩුවේ අත්‍යවශ්‍ය ධනෝපායන මෙවලමක් විය. කලක දී සාමිවරයන් සහ සාමාන්‍යයන් වසයෙන් වෙන වෙනම  රැස්ව ව්‍යවස්ථා හා නීති අනුමත කිරීම කළ ද  පාර්ලිමේන්තුවේ මූලික භූමිකාව වූයේ රජුට අවශ්‍යය අරමුදල් සැපයීම යි.

ප්‍රජාතන්ත්‍රවාදයේ බළකොටුව ලෙස බොහෝ විට හඳුන්වන ඇමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත්කරුවන් වඩා සැලකිල්ලක්  දැක්වූයේ හොඳ සමූහාණ්ඩු ක්‍රමයක් පිහිටු විය යුත්තේ කෙසේ ද යන්න ගැන මිස ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම පිළිබඳ ව නො වන බව හෙලන් ලැන්ඩ්මොර් පෙන්වා දෙයි.[3] ප්‍රජාතන්ත්‍රවාදය කලහකාරයන්ගේ පාලනයකට සම කළ ග්‍රීක දාර්ශනික ප්ලේටෝගේ මතය සමඟ බොහෝ ඇමෙරිකානු ව්‍යවස්ථා සම්පාදකයන් එකඟ වූ බව පෙනේ. විශේෂයෙන් ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රමුඛ කෙටුම්පත්කරුවෙකු වූ ජේම්ස් මැඩිසන් ට අවශ්‍ය වූයේ රාජාණ්ඩුවාදී සුළුතරයකට මෙන් ම පීඩාකාරී බහුජන ආධිපත්‍යකට ද නතු නො වෙන නව ආරක සමූහාණ්ඩු ක්‍රමයකි. ඒ සඳහා ඔහු අනුදත් ක්‍රමයට විශේෂ ලක්ෂණ කිහිපයක් ම අයත් විය. ඉන් පළමුවැන්න වූයේ නියෝජන ක්‍රමයක් මඟින් ලිබරල් මතධාරී ඇමරිකන් ඉඩම් හිමි ප්‍රභූවරයන්ගේ අභිමතය නව ආණ්ඩුව තුළ බල ගැන්වීමයි. නියෝජන ක්‍රමය මඟින් බහුතර මහජනතාවගේ ‘අවිශිෂ්ට මතවාද’ ශුද්ධ පවිත්‍ර කර මැඩපවත්වා ගත හැකි බව මැඩිසන්ගේ අදහස විය. ඒ හැර ෆෙඩරල් ක්‍රමය, ද්වි මණ්ඩල මන්ත්‍රණ සභා, ජනාධිපති සතු වීටෝ බලය සහ අධිකරණය සතු සන්නිරීක්ෂණ බලය ද බහුතරයේ ආධිපත්‍ය ඉස්මතු වීම වැළැක්වීම පිණිස ඇමෙරිකානු ව්‍යවස්ථා සම්පාදකයින් විසින් යොදා ගනු ලැබූ අනෙකුත් වැදගත් උපාය මාර්ග වෙයි.

මැඩිසන් වඩාත් සැලකිලිමත් වූයේ ඉපැරණි විවෘත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට වෙනස් ව මහජනතාව සාමූහික ව ආණ්‍ඩුකරණයේ කොටස්කරුවන් වීම වැළැක්වීම කෙරෙහි ය[4]. ඒ අනුව ඇමෙරිකානු ආණ්ඩුක්‍රමයේ සමාරම්භකයින් ඔවුන්ගේ නව සමූහාණ්ඩුවේ සුවිශේෂ ලක්ෂණය ලෙස හුවා දැක්වූයේ එය මහජන බලය මත රඳා පවතින ආණ්ඩුවක් නො ව තෝරා පත්කර ගත් ප්‍රභුන්ගේ බලය මත ක්‍රියාත්මක වන ආණ්ඩුවක් ලෙස ය. එය ආණ්ඩුකරණය අත්පත් කර ගැනීම සඳහා මහජන කැමැත්ත ලබා ගැනීමක් මිස ආණ්ඩුකරණය සඳහා මහජන සහභාගිත්වය අපේක්ෂා කළ ආණ්ඩුක්‍රමයක් නො වී ය.

එහෙත් නියෝජනය පිළිබඳ ව මහජනයා අනුදත් මතය මැඩිසන් වැනි ආණ්ඩුක්‍රම කෙටුම්පත් කමිටු සාමාජිකයන් තුළ පැවති මතය ම නො වී ය. ඇමෙරිකානු විප්ලවය (1765-1791) පිළිබඳ ඉතිහාසඥයෙකු ලෙස සැලකෙන ගෝර්ඩන්. එස්. වුඩ් පෙන්වා දෙන අන්දමට  නියෝජිතයන් පත් කිරීම නිසා සිය දේශපාලන ක්‍රියාකාරිත්වය අහෝසි වෙන බවක් පොදු ඇමෙරිකානුවෝ කිසි සේත් ම පිළිනොගත්හ. The American Revolution: A History නම් සිය කෘතියේ වුඩ් ඒ බව මෙසේ සඳහන් කරයි:

“නිදහස ලැබීමෙන් පසු ගත වූ දශකය තුළ ඇමෙරිකානු දේශපාලන සංස්කෘතිය බෙහෙවින් පරිවර්තනය විය. පැහැදිලි ව පෙනෙන පරිදි ඇමෙරිකානුවන් පරමාධිපත්‍යය සහ නීති සම්පාදනයේ අධිකාරය යටත් විජිත රජයේ ආයතනවලින් පොදු ජනතාව වෙත මාරු කර තිබුණි. ඉංග්‍රීසින් මෙන් නො ව සිය නියෝජිතයන් තෝරා පත් කර ගැනීම නිසා තමන්ගේ දේශපාලන පැවැත්ම අහෝසි වන බව පිළිගැනීම  ඇමෙරිකානු ජනතාව 1776 සිට ම ප්‍රතික්ෂේප කර තිබුණි. “දොරින් පිට සිටින” (out of door) අය ලෙස සැලකුණු පොදු ජනතාව ආණ්ඩුවේ සියලු ම නිල ආයතනවලට බැහැරින් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූහ. 1780 ගණන්වල දී ඇමෙරිකානු ජනතාව සිය දුක්ගැනවිලි ප්‍රකාශ කිරීමට හා දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට නොයෙකුත් ආකාරයේ කොමිටි, සම්මන්ත්‍රණ සහ නිල නො වන ආයතන සංවිධානය කළහ. ඒ මඟින් ඔවුහු ඇමෙරිකානු විප්ලව සමයේ යොදා ගත් දේශපාලන භාවිතය ඒ ආකාරයෙන් ම පවත්වා ගෙන ගියහ. මිල පාලනය,  අධික ලාභ ගැනීම වැළැක්වීම සහ ටෝරිවරුන්ට (යටත්විජිතවාදීන්ට) දඬුවම් කිරීම ආදිය ඉටු කර ගැනීමේ ලා නව ඇමෙරිකානු රජය බොහෝ විට අපොහොසත් විය. එහෙත් සුපරීක්ෂාකාරී ව සිටීමෙන් සහ නොයෙක් ආකාරයේ මහජන ක්‍රියාන්විත දියත් කිරීම මඟින් කඩිනමින් හා කාර්යක්ෂම ව ඒවා ඉටු කර ගැනීමට මහජනතාවට හැකි විය. හැම තැනක දීම “නියම මහජන නියෝජනය” පිළිබඳ තර්කය තවදුරටත් පුළුල් කරමින් ආණ්ඩුවේ ආයතනවලට සෘජු ව උපදෙස් දීමට සහ ඒවා මහජන සන්නිරීක්ෂණයට නතු කිරීමට මහජනතාව කටයුතු කළහ. බ්‍රිතාන්‍යයන් හා ඔවුන්ගේ පාර්ලිමේන්තුව අතර පැවති නියෝජන සම්බන්ධතාව මෙන් නො ව එකල ඇමෙරිකානුවෝ කිසිදු දේශපාලන ආයතනයකට හෝ සියලු දේශපාලන ආයතනවල එකතුවකට හෝ තමන් සතු පූර්ණ හා අවසාන පරමාධිපත්‍ය බලය යටත් නො කළහ.”[5]

ගෝර්ඩන් එස් වුඩ්ගේ මේ නිරීක්ෂණය ඉතා වැදගත් ය. දිගු කලක් තිස්සේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති නීත්‍යනුකූල වර්ණ භේදවාදය අභියෝගයට ලක් කරමින් 1954-1968 කාලයේ දී වීදි බට ඇමෙරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය සහ ඇමෙරිකාව වියට්නාම් යුද්ධයට මැදිහත් වීමට එරෙහිව 1965 දී මහජන සහභාගිත්වය උච්ච වූ යුධ විරෝධී ව්‍යාපාරය වැනි මහජන ක්‍රියාන්විත මේ සම්ප්‍රදායේ ගති ලක්ෂණය. බෙහෙවින් සාර්ථක වූ එම ව්‍යාපාර දෙකම මහජන පරමාධිපත්‍යය නියෝජිතයන්ට පවරා දීමට සූදානම් නැති එහෙත් බලය වෙනුවට යුක්තිය අත්පත් කර ගැනීමට සංවිධානය වූ ඒවා වසයෙන් සැලකිය හැකි ය. බලය අත්පත් කර ගැනීමේ දේශපාලනය වෙනුවට යුක්තිය අත්පත් කිරීමේ දේශපාලනය ආදේශ කිරීමේ දී ඊනියා මහජන නියෝජිතයන්ගේ අත්තනෝමතික අභිමතය වෙනුවට ජන සංවිචාරණය මගින් රාජ්‍ය විචාරණය කළ හැකි අන්දමේ ව්‍යුහාත්මක වෙනස්කම් ආණ්ඩුක්‍රමයට ඇති කළ යුතු ය. 

කෙසේ වෙතත් රාජ්‍යයේ ආකෘතියක් ලෙස සැලකූ විට නොයෙක් ආකාරයේ පාර්ලිමේන්තුවලට මහජනයා විසින් තෝරා පත් කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රම ලෙස අඟවා සිටීමට හැකි ව තිබේ. එහි දී තර්කනය වන්නේ මැතිවරණයක දී මහජනයා අතරින් බහුතරය විසින් තෝරා ගනු ලබන මහජන නියෝජිතයන් නීති සම්පාදකයන් ලෙසත් රාජ්‍යයේ කළමනාකරණය හොබවන විධායකයන් ලෙසත් කටයුතු කිරීමට මහජනයා විසින් තෝරා පත් කරනු ලබන බවයි.

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මේ සුලබ සංකල්පයේ ප්‍රවර්ධකයන්ට අනුව රජය ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ එසේ මැතිවරණයකින් තෝරා පත් කර ගන්නා මහජන නියෝජිතයන් මඟින් රජයට නිරතුරුව ම මහජන මතයට කන්දීමට හැකි වන නිසා ය. අනෙක් අතට තමන් විසින් තෝරා ගනු ලැබූ මහජන නියෝජිතයන් කටයුතු කරන ආකාරය ගැන තමන්ට පැහැදීමක් නැති නම් ඊළඟ මැතිවරණයක දී ඔවුන් වෙනුවට වෙනත් අය පත්කර ගැනීමට මහජනතාවට ඉඩ ලැබෙන බව ද මේ ප්‍රවර්ධකයෝ අපට මතක් කර දෙති. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් දේශපාලන බලය අත්පත් කර ගන්නා කණ්ඩායම කවුරුන්ද කියා මැතිවරණයෙන් තීරණය කිරීම නම් අපට ඒ කියන වර්ගයේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් කිසිදු අඩුවක් නැත.

එහෙත් අප අත්විඳින ඒ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යාජ බවට එක් හේතුවක් වන්නේ ද හුදෙක් මැතිවරණයක දී අපේ ඡන්දය යදින අපේක්ෂකයන් අතරෙන් කිසියම් පිරිසක් නියත වශයෙන් ම නිශ්චිත කලකට තෝරා පත්කර ගත යුතුය කියා එකී ප්‍රජාතන්ත්‍රවාදය ම අපට බලපෑම් කිරීමයි. අනෙක් අතට මෙසේ තෝරා ගැනෙන “මහජන නියෝජිතයන්” බලය අත්පත් කර ගැනීමෙන් පසු ප්‍රමුඛත්වය දෙන්නේ අපට දුන් පොරොන්දුවලට නො ව සැබවින්ම දේශපාලනය මෙහෙයවන ධනය සමුච්චයනය කරන පෙළැන්තියේ අවශ්‍යතා පිරිමැසීම සඳහා වීමයි. එසේ අපේ සැබෑ අවශ්‍යතා නියෝජනය කිරීම පැහැදිලිව ම නො සලකා හරින විට අභිමත පරිදි ඔවුන්ගේ මහජන නියෝජන භූමිකාව අවලංගු කිරීමට පවතින දේශපාලන සුසමාදර්ශයට අනුව අපට ඉඩක් නැත.

ඒ අනුව මැතිවරණ ක්‍රමය මඟින් ව්‍යවස්ථාදායකයට හෙවත් පාර්ලිමේන්තුවකට ‘මහජන නියෝජිතයන්” තෝරා ගැනීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මකවෙතැ’යි යන ඇදහිල්ල තව දුරටත් වලංගු නො වන බව අප ඇති තරම් අත් දැක ඇත. මේ ක්‍රමයේ අසාර්ථකත්වය මූලික ව දෙයාකාරයකින් දැකිය හැකි ය:

  1. මැතිවරණ පැවැත්වෙන විකෘති ක්‍රමවේදයේ දූෂිත බව
  2. තෝරා ගැනෙන නියෝජිතයන්ගේ දුෂ්චර්යාව

මේ විකෘතියට බලපා ඇති මූලික කරුණු අතර මැතිවරණ ව්‍යාපාර සඳහා ආයෝජනය කරන මුදල් සපයා ගන්නා ආකාරය, සද්භාවී දේශපාලනයකට නොගැළපෙන අපේක්ෂකයන්ට  දේශපාලන පක්ෂවල අනුග්‍රහය ලැබීම සහ පක්ෂග්‍රාහී ජනමාධ්‍ය ආවරණය යන සාධක තුන ප්‍රධාන වේ.

මැතිවරණ ව්‍යාපාර සඳහා විශාල මුදලක් අවශ්‍ය වේ. එම අවශ්‍යතාව බොහෝ විට සපුරන්නේ සමුච්චයනය වන නොහොත් ඒකරාශි වන ධනයකට හිමිකම් ඇති ධන හිමියන් මගිනි. ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් මුදල් බලය බලපාන්නේ කෙසේ ද යන්න මැතිවරණ නීති හා ඒවා ක්‍රියාත්මක කරන ආකාරය අනුව රටින් රටට වෙනස් විය හැකි වුණත් ඡන්දයෙන් පත් වන රජය කෙරෙහි තම බලපෑම පවත්වා ගැනීම පිණිස මුල් පෙළේ ව්‍යාපාරිකයෝ, ජාවාරම්කාරයෝ සහ ධන හිමියෝ කෙසේ හෝ ප්‍රධාන පක්ෂවලට මැතිවරණ අරමුදල් සැපයීමට උත්සුක වෙති. මේ නිසා ධන හිමියන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් නැති පක්ෂ සහ අපේක්ෂක කණ්ඩායම් මැතිවරණයට පිවිසෙන්නේ ම අවාසිදායක තත්වයක් යටතේ ය. එහි ප්‍රතිඵලය කුමන ප්‍රධාන පක්ෂයක් බලය අල්ලා ගත්තත් බොහෝ දුරට ඇත්ත බලය හිමි වන්නේ ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් ආයෝජනය කළ දෙස් විදෙස් ධන හිමියන්ට වීමයි.

මෙය බොහෝ රටවල ප්‍රජාතන්ත්‍රවාදී යැයි සැලකෙන මැතිවරණ ගොදුරු කර ගනිමින් සිටින බරපතළ ව්‍යසනයකි. සාමාන්‍ය ජනතාව විසින් පවුල් බලය සහ මුදල් බලය ආදී වසයෙන් හැඳින්වීමට පුරුදු ව සිටින මේ බලපෑම එක්තරා ආකාරයකට පවුල නොහොත් කුටුම්බ ක්‍රමයේ මැදිහත් වීමක් ලෙස ද සැලකිය හැකි ය. එහෙත් එසේ  පැවසිය හැක්කේ නව පරපුරේ ආර්ථික විද්‍යාඥයෙකු වන තෝමස් පිකෙටි සිය Capital in the 21st Century නමැති ප්‍රකට කෘතියෙන් මතු කරන කුටුම්බ දෙවර්ගය පිළිබඳ දෘෂ්ටිකෝණයට අනුව ය. කවුරු කුමක් උපයන්නේ ද පමණක් නො ව කවුරුන් ට කුමක් අයත් දැ’යි විමසීමෙන් දෙවර්ගයක කුටුම්බ හඳුනා ගත හැකි බව පිකෙටි අපට පෙන්වා දෙයි. ඉන් එක් වර්ගයක් නම් ඉඩම්, ගොඩනැගිලි සහ මූල්‍ය වත්කම් වැනි සැලකිය යුතු ප්‍රාග්ධනයක් හිමි කුටුම්බයෝ ය. එමඟින් ඔවුන්ට කිසිදු වෙහෙසකින් තොර ව නිතිපතා බදු කුලිය, ලාභාංශ සහ පොලිය උපයා ගැනීමට හැකි ය. අනෙකුත් වර්ගය නම් හුදෙක් තම ශ්‍රමය අලෙවි කිරීමෙන් වැටුප් පමණක් උපයන කුටුම්බයි. යුරෝපයේ හා උතුරු ඇමෙරිකාවේ බදු වාර්තා විශ්ලේෂණය කරන පිකෙටි කලක් තිස්සේ මෙකී ආදායම් ප්‍රභවවල වර්ධනයේ වෙනස් වන ස්වභාවය අනුව බටහිර ආර්ථික සහ ඒවා අනුකරණය කරන වෙනත් ආර්ථික ඉතා අසාධාරණ සමාජ අසමානතාවක් ජනිත කරන ඒවා බවට පත් වී ඇති බව නිගමනය කරයි[6]. ඊට හේතුව වසයෙන් ඔහු පෙන්වන්නේ එම රටවල සමස්ත නිෂ්පාදන ආර්ථිකයේ වර්ධනයට වඩා ඉඩම්, ගොඩනැගිලි සහ මූල්‍ය සම්පත් ආදී වත්කම් ප්‍රාග්ධනය සඳහා ලැබෙන ප්‍රතිලාභ ශීඝ්‍රයෙන් වැඩි වීමයි. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ ධනවත් කුටුම්බ අතර ධනය වඩ වඩා ඒකරාශි වීම නොහොත් සමුච්චයනය වීම සහ ප්‍රාග්ධන හිමියන් සහ  වැටුප් ශ්‍රමිකයන් අතර ආදායම් විෂමතා පරතරය එන්න එන්න ම වැඩිවීම යි. එම ගතිකය ඉන් පසු ධන හිමියන්ගේ සමාගම්වල ලොබි කිරීම්වල හා බලපෑම්වල සිට මැතිවරණ අරමුදල් ලබා දීම දක්වා ක්‍රමවලින් රටක දේශපාලනය කෙරෙහි ආනුභාවය පතුරවමින් දැනටමත් ධනවත් වී ඇති අයගේ අවශ්‍යතා තව තවත් ප්‍රවර්ධනය කරන බව පිකෙටි පෙන්වා දෙයි. එමඟින් අත්තනෝමතික සහ ඔරොත්තු නො දෙන සමාජ අසමානතා ජනනය කරමින් ධනවාදය ස්වයං ක්‍රියාකාරී ව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ පදනම වසයෙන් සැලකෙන කුසලතාවාදී (meritocratic) වටිනාකම් විනාශ  කරන බව ද පිකෙටි සඳහන් කරයි.

මැතිවරණ සඳහා ලැබෙන පුද්ගලික මුදල් ප්‍රදානවලින් සැලකිය යුතු ප්‍රමාණයක් රැස්වීම්, පෝස්ටර්, ජනමාධ්‍ය දැන්වීම් හා සමාජ මාධ්‍ය මෙහෙවර ආදී ප්‍රචාරක කටයුතුවලටත් මැතිවරණ කටයුතු සඳහා බඳවා ගන්නා සහකරුවන් සඳහාත් වැය වේ. බොහෝ විට මේ සමාජ මාධ්‍ය මෙහෙවරවල අරමුණ තම ප්‍රතිපාක්ෂික අපේක්ෂකයන් හැකි තරම් අපකීර්තියට ලක් කිරීමයි. කෙසේ වෙතත් මේ ප්‍රචාරක ව්‍යාපාර තුළ අදාළ දේශපාලන පක්ෂයට අපේක්ෂකයාගේ ඇති පක්ෂපාතිත්වය ඉස්මතු කිරීම හැර අපේක්ෂකත්වයේ සද්භාවය පිළිබඳ ව ඡන්දදායකයාට ද සහභාගී විය හැකි ප්‍රයෝජනවත් සවිචාරී කතිකාවකට ඉඩක් නො ලැබේ.

එමෙන් ම දේශපාලන පක්ෂවලට බොහෝ මැතිවරණ සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කිරීමට සිදු ව ඇත්තේ සද්භාවී දේශපාලනයක් කළ හැකි නැණවත් පුද්ගලයන් නො ව ධන බලය, මැර බලය, කුල බලය, ආගම් හා වර්ගවාදය මැතිවරණ ජය සඳහා යොදා ගත හැකි පුද්ගලයන් ය. බොහෝ විට මේ දේශපාලන පක්ෂවල කිසිදු අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැති අතර අපේක්ෂකයන් තෝරා ගන්නේ හුදෙක් පක්ෂ නායකත්වයේ අභිමතය පරිදි ය. ඒ අතර කලාතුරකින් සද්භාවයෙන් දේශපාලනයට පිවිසෙන දැන උගත් අපේක්ෂකයන් ද සිටිය හැකි නමුත් තේරී පත් වූ විට ඔවුන්ට කටයුතු කිරීමට සිදුවන්නේ ද තම හෘදසාක්ෂියට අනුව නො ව පක්ෂයේ නායක කාරකාදීන්ගේ බලපෑම් හා සිතැඟිවලට අනුව ය. මේ යථාර්ථය සහ මැතිවරණ තරඟ ක්‍රමවලින් ඇති කර තිබෙන ප්‍රායෝගික බාධා නිසා බොහෝ විට අවංක හා දක්ෂ තරුණ තරුණියන්, ප්‍රජා ප්‍රසාදය දිනා ගත් ප්‍රජා නායකයන් සහ සමාජ ක්‍රියාකාරීන්, ඇසූපිරූතැන් ඇති ගුණ යහපත් ස්ත්‍රීන් සහ පුරුෂයන් පාර්ලිමේන්තු  මැතිවරණවලට ඉදිරි පත්වීමෙන් වළක්වා තිබේ.

කපටි දේශපාලනඥයෙකුට එරෙහි ව සාපේක්ෂ ව දක්ෂ ගුණ යහපත් අපේක්ෂකයෙකු ඉදිරිපත් වුව ද දෙදෙනා අතර ඇති වෙනස ගැන ඡන්දදායකයන්ට නිසි අවබෝධයක් ලබා ගැනීමට අපහසු වන එක් තීරණාත්මක හේතුවක් වන්නේ මැතිවරණයට ඉදිරිපත් වන අය සම්බන්ධ උසස් මට්ටමේ ස්වාධීන ජනමාධ්‍ය සන්නිරීක්ෂණයක් නොමැති වීම යි. අපක්ෂපාතී වෘත්තීය භාවිතයක් නොමැති ජනමාධ්‍ය රජයන රටක ආණ්ඩු බලය අත්පත් කර ගෙන ඇති හෝ අත්පත් කර ගැනීමට බෙහෙවින් ඉඩ ඇති පක්ෂවලට මාධ්‍ය හිමිකරුවන්ගේ සහාය සෘජු හා වක්‍ර මාර්ගවලින් පහසුවෙන් ම ලබා ගත හැකි ය. බොහෝ මාධ්‍ය හිමියෝ සිය ජනමාධ්‍ය ආයතන පවත්වා ගෙන යන්නේ ම ජයග්‍රහණය කරතියි අපේක්ෂා කරන ආණ්ඩුවෙන් තම ව්‍යාපාර කටයුතුවලට අනුග්‍රහ ලබා ගැනීම පිණිස ය. එනිසා ජනමාධ්‍ය පක්ෂග්‍රාහිත්වය මහා මැතිවරණවල දක්නට ලැබෙන පොදු දුර්ගුණයක් බවට පත් ව ඇත. අන් මාධ්‍ය මෙන් නො ව ඡන්ද දායකයාගේ මතය හැඩ ගැස්වීම සම්බන්ධයෙන් විශාල බලපෑමක් ඇති කළ හැකි රූපවාහිනී හා ගුවන් විදුලිය වැනි විද්‍යුත් ජනමාධ්‍යයේ සෘජු හෝ වක්‍ර හෝ පක්ෂග්‍රාහීත්වය මැතිවරණ ක්‍රමයක ඇතිවිය හැකි දුෂ්ටතම විකෘතිවලින් එකකි.

විද්‍යුත් ජනමාධ්‍ය විකාශන කටයුතු පවත්වා ගෙන යන්නේ පොදු දේපළක් වන විද්‍යුත් සංඛ්‍යාත යොදා ගැනීමෙනි. ඒ අනුව විද්‍යුත් සංඛ්‍යාත පොදු යහපතට පටහැණි කටයුතු සඳහා යොදා ගත නො හැකි ය. එහෙත් විද්‍යුත් ජනමාධ්‍යයේ භූමිකාව සම්බන්ධයෙන් ඇති වැරදි වැටහීම කොතරම් දැයි කිව හොත් මැතිවරණයක දී වැදගත් දෘෂ්ටිකෝණ සියල්ල දැන ගැනීමට ඡන්ද දායකයාට ඇති අයිතියට වඩා විද්‍යුත් මාධ්‍ය හිමියාගේ ප්‍රකාශන අයිතිය වැදගත් යැයි සැලකූ ඇතැම් ආණ්ඩුක්‍රම උපදේශකයෝ මැතිවරණයක දී විද්‍යුත් මාධ්‍ය හිමියන්ට තමන් අභිමත පක්ෂයකට සහය දීමට විද්‍යුත් මාධ්‍ය යොදා ගැනීමට ඉඩ සලසන විධිවිධාන 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එක් කිරීමට තැත් කළහ[7]. මුල් පෙළේ විද්‍යුත් මාධ්‍ය තම අභිමත මතය තෝරා ගන්නේ විවිධ මතවාද එකිනෙකා අතර බෙදා ගැනීමට එකඟ වීමෙන් නො ව ඒ අදහස් අතරින් තම ව්‍යාපාරික හා දේශපාලනික අවශ්‍යතාවලට ගැළපෙන මතය කුමක්දැ’ යි යන තක්සේරුව මතය. ඒ හේතුව නිසා ම බොහෝ දියුණු මැතිවරණ ක්‍රම ඇති රටවල් ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම, විවාදාත්මක කරුණු පිළිබඳ කාලීන සාකච්ඡා සහ විශේෂයෙන්ම මැතිවරණවල දී විද්‍යුත් මාධ්‍ය අපක්ෂපාතිත්වය තහවුරු කරන නියාමන නීති රීති හඳුන්වා දී තිබේ.

අපක්ෂපාතිත්වය පිළිබඳ මේ අවශ්‍යතාව බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන නීතියේ නො තිබෙන්නට 2017 මැතිවරණයේ දී ලේබර් පක්ෂයට එතරම් ආසන ගණනක් දිනා ගැනීමට ඉඩ නො ලැබෙනු ඇතයි කාඩිෆ් සරසවියේ සංනිවේදන මහාචාර්ය ජස්ටින් ලුවිස් වරක් පෙන්වා දුන්නේ ය.[8] මාධ්‍ය හිමියන් අතර අධිරාජයෙක් සේ සැලකෙන රූපට් මර්ඩොක්ට අයත් පුවත්පත් ඇතුළු වැඩියෙන් විකිණෙන සියලු ප්‍රධාන බ්‍රිතාන්‍ය පුවත්පත් එකී මැතිවරණයේ දී පක්ෂපාතිත්වය දැක්වූයේ කොන්සර්වෙටිව් පක්ෂයට යි. එහෙත් සිය පුවත්පත් යොදා ගත් අන්දමින් මර්ඩොක්ට ඔහු සතු විද්‍යුත් මාධ්‍ය ද කොන්සර්වෙටිව් පක්ෂයට වාසි වෙන ලෙස යොදා ගත නො හැකි විය. ඊට හේතු වූයේ බ්‍රිතාන්‍ය නියාමන නීතිය මඟින් පනවා ඇති විධි විධාන නිසා මැතිවරණවල දී විද්‍යුත් මාධ්‍යයේ අපක්ෂපාතිත්වය රැකීමට ඔහු බැඳී සිටි බැවිනි. ඒ අනුව ලේබර් සහ කොන්සර්වෙටිව් යන පක්ෂ දෙකට ම සමාන ව සැලැකීමට මර්ඩොක් සතු විද්‍යුත් මාධ්‍යවලට සිදු විය. ඒ නිසා මැතිවරණයේ දී මහජන මතය සම්පූර්ණයෙන්ම තමන්ට අභිමත අන්දමින් මෙහෙයවීමට ඔහුට නො හැකි විය.

විද්‍යුත් මාධ්‍ය විකාශන බලපත්‍රලාභීන් අපක්ෂපාතිත්වය උල්ලංඝනය නො කළ යුතු අවස්ථා බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන නීතියේ වෙසෙසින් දක්වා තිබේ. ඒ අනුව දේශපාලනික සහ වෘත්තීය අරගල සම්බන්ධ මතභේදාත්මක කරුණු සම්බන්ධයෙන් ද  (matters of political or industrial controversy), තත් කාලීන පොදු ප්‍රතිපත්ති පිළිබඳ ව කරුණු සම්බන්ධයෙන් ද  (matters relating to current public policy) මැතිවරණවල දී ද පැත්තක් නො ගෙන අපක්ෂපාතී ව වාර්තාකරණය ඉටු කිරීමට විද්‍යුත් මාධ්‍ය නීතියෙන් බැඳී සිටී. ඒ නිසා එවැනි කරුණුවල දී තමන්ගේ අභිමතය අසන්නන් හෝ නරඹන්නන් මත පටවනවාට වඩා මතභේදාත්මක කරුණුවල දී සියලු වැදගත් දෘෂ්ටිකෝණ අසන්නන් හෝ නරඹන්නන් වෙත ඉදිරිපත් කිරීමට විද්‍යුත් මාධ්‍යයට සිදුවේ. පුද්ගලික සමාගම්වලට අයත් විද්‍යුත් මාධ්‍යවලට අතිරේක ව පොදු අරමුදල් යොදා ඥානෝද්දීපනය (enlightenment) මුල් කොට පවත්වා ගෙන යන ස්වාධීන මහජන සේවා විද්‍යුත් මාධ්‍ය (Independent Public Service Broadcasting) ද පවතින්නේ නම් මේ අපක්ෂපාතිත්වය තවදුරටත් තහවුරු වේ.

අපක්ෂපාතිත්වය පිළිබඳ නියාමනයෙන් මූලික වසයෙන් ම ඉටු ‍කෙරෙන්නේ අන් මත වාරණය කොට තම අභිමතයට අනුකූල වන ලෙස මහජන මතය මෙහෙයවීමට විද්‍යුත් මාධ්‍ය හිමිකරු ට ඇති හැකියාව අවම කිරීමයි. මේ අනුව තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මුවා වී අන් මතධාරීන්ට අවස්ථාවක් නො දී සිටීමට විකාශන බලපත්‍ර හිමියාට ඉඩ නො ලැබේ. මන්ද අපක්ෂපාතිත්වය ආරක්ෂා කළ හැක්කේ මතභේදාත්මක කරුණු ඇතුළත් වැඩසටහන්වල දී බහුවිධ මතවාදවලට ඉඩ සැලසීමෙන් පමණක් වන බැවිනි.

‘එක් එක් විද්‍යුත් මාධ්‍යයට තම අභිමත මතය ප්‍රකාශ කිරීමට, ප්‍රමුඛත්වය දීමට ඉඩ දිය යුතු ය, ඒ අනුව මහජන මතයේ ස්වරූපය දැන ගැනීමට අවශ්‍ය අයගේ වගකීම නම් නාලිකා කිහිපයක් ම නැරඹීම යැ’යි කෙනෙකුට තර්ක කළ හැකි ය. අපක්ෂපාතී මහජන සේවා විද්‍යුත් මාධ්‍යයක් නොමැති විට සියලු පෞද්ගලික විද්‍යුත් මාධ්‍යවලට එක ම පක්ෂයකට සහයෝගය දීමේ අවස්ථාවක් එළඹුනොත් ඉහත තර්කයට කුමක් වේ ද? එවැනි තර්ක විශ්ලේෂණයේ දී කාඩිෆ් විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍යවේදය පිළිබඳ මහාචාර්ය රිචර්ඩ් සැම්බ්රූක් පෙන්වා දෙන සමානුකූලතාව (Homophily) නිසා ඇතිවිය හැකි බලපෑම පිළිබඳ කාරණය අවධානයට ලක් කිරීම වටී.[9]

මෙහි දී සමානුකූලතාව යන්නෙන් අදහස් වන්නේ තිබිය හැකි අනෙක් අදහස් නො තකා තමන් දන්නා හෝ තමන්ට එකඟ විය හැකි අදහස්වලට පමණක් එකඟ වීමට මිනිසුන් දක්වන නැඹුරුවයි. තොරතුරු ගහණය අතිශයින් ඉහළ යන තොරතුරු තාක්ෂණික යුගයක මෙය එක්තරා ආකාරයක අවදානමකි. මන්ද ඒ නිසා අන් මත නො තැකීමේ බුද්ධි ශෝධනයකට (brain-wash)ඡන්ද දායකයා ගොදුරු වීමට තිබෙන ඉඩ කඩ වැඩි බැවිනි. මෙය තවදුරටත් පැහැදිලි කරනවා නම් ඒ නිසා තර්ක බුද්ධිය විසින් යුක්ති යුක්ත කළ හැකි සමාජ කතිකාවක් ගොඩ නැගෙනු වෙනුවට අපේකම, වර්ගවාදය, කුලය, ආගම, අන්ධ විශ්වාස ආදි දේවල් මත විවිධ කල්ලිවලට ජනසමාජය අවිචාරශිලී ව බෙදී යෑමට සමානුකූලතාව හේතුවක් වන බව මහාචාර්ය සැම්බෘක් පෙන්වා දෙයි.

ඒ නිසා ඒකපාර්ශ්වික, සීමිත මතවාද පතුරවන විද්‍යුත් මාධ්‍ය නාලිකා වෙනුවට වෙනත් කවරදාකටත් වඩා අද අපට අවශ්‍ය වන්නේ මහජන යහපත මුල් කරගත් අපක්ෂපාතී ලෙස බහුවිධ අදහස් හා මතවාද සංනිවේදනය කරන සහ ඒවා මැනවින් සන්නිරීක්ෂණයට ලක් කරන විද්‍යුත් මාධ්‍යයයි. එසේ නොමැතිව තම තොරතුරු ප්‍රභවය තමන්ට කැමති මතය උත්කර්ෂණයට නංවන නාලිකාවකට සීමා කර ගැනීමට ග්‍රාහකයන් පෙලඹීමෙන් සිදු වන්නේ අන් මතවල සබුද්ධිමත් බව තක්සේරු කිරීමට නො හැකි ව ජන සමාජය අනවශ්‍ය ලෙස ආධානග්‍රාහී කොටස්වලට ධ්‍රැවීකරණය වීමයි. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය මඟින් යුක්තිය අත්පත් කර ගැනීම සඳහා සුසමාදර්ශයක් නිර්මාණය කිරීමේ දී විද්‍යුත් මාධ්‍යයේ අපක්ෂපාතිත්වය සහ ස්වාධීන මහජන සේවා විද්‍යුත් මාධ්‍යයක ජාලයක පැවැත්ම ද අතිශයින් තීරණාත්මක ය.

‘දුස්තොරතුරු (misinformation) ප්‍රචාරය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට බලවත් තර්ජනයකි’ යනුවෙන් වර්ධනය වෙමින් පවතින මතය අපට පමණක් සීමා වූවක් නො වේ.  හිතාමතා ම ජන මනස විකෘති කිරීම සඳහා හෝ ලාභය සඳහා හෝ දුස්තොරතුරු එනම් සාවද්‍ය සහ නො මඟ යවන තොරතුරු ප්‍රචාරය කිරීම, එන්න එන්න ම වැඩි වෙයි. එය ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් තර්ජනයක් බව යුරෝබැරෝමීටර (Eurobarometer) සමීක්ෂණයක දී ප්‍රතිචාර දුන් යුරෝපීයන් අතුරෙන් 85% ක් ම ප්‍රකාශ කළහ. මේ සන්දර්භය තුළ ඵලදායක ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා “බහුවිධ මාධ්‍ය තාක්ෂණ වේදිකා මඟින් විශ්වාසදායක අර්ථාන්විත සහ අපක්ෂපාතී මාධ්‍ය අවකාශයක් සැපයිය හැකි බවට සියලු පුරවැසියන්ට වග වෙන ස්වාධීන මහජන සේවා මාධ්‍ය (public service media) ක්‍රමයක් මහජන අරමුදලින් පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාව” [10]  නැවත නැවතත් තහවුරු වෙමින් පවතී.

මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයේ පිරිහීමට හේතු වන ඊ ළඟ වැදගත් කාරණය වන්නේ පාර්ලිමේන්තුවලට හෝ ව්‍යවස්ථාදායක සභාවලට මැතිවරණවලින් තෝරා පත් වන නියෝජිතයන්ගේ දුෂ්චර්යාව යි. ඒ අතරින් බහුල ව දක්නට ලැබෙන දුෂ්ක්‍රියාවක් වන්නේ අල්ලස් හා දූෂණ ය. තෝරා ගත් පුද්ගලයන්ට හා ව්‍යාපාරිකයන්ට වැඩි වාසි සැලසෙන අන්දමින් අයථා ලෙස කටයුතු කිරීම ද දූෂණ අතර ප්‍රමුඛ වේ. එවැනි වාසි අතර බදු සහන ලබා දීම, ඒකාධිකාර ඇති කිරීමට මග සලසා දීම, රාජ්‍ය දේපොළ අයුතු ලෙස අත්පත් කර ගැනීමට ආධාර කිරීම, පිළිගත හැකි සාධාරණීකරණය කිරීමකින් තොර ව නොයෙකුත් වාසිදායක වරප්‍රසාද ලබාගැනීම, අයථා ලෙස මත්පැන් අලෙවි බලපත්‍ර, විකාශන බලපත්‍ර, කැණීම් බලපත්‍ර ආදිය ලබා ගැනීම ලබා දීම හා තුන්වැනි පාර්ශවයකට වැඩි මිලට අලෙවි කිරීම, වාසි දායක කොන්දේසි යටතේ රජයේ කොන්ත්‍රාත්තු පිරි නැමීම, කොමිස් ගැනීම පිණිස තෝරා ගත් ව්‍යාපාරිකයන්ට අයුතු ලාභ ලබා ගැනීමට සැලැස්වීම ආදිය අයත් වේ. මේ අකටයුතු බොහෝමයක් ම ජනමාධ්‍ය මඟින් ඇති සැටියෙන් අනාවරණය වීම වැළැක්වීමට ද මාධ්‍ය පක්ෂග්‍රාහීත්වය යොදා ගැනේ. එවැනි පසුබිමක් යටතේ ස්වාර්ථය මුල්කරගත් දේශපාලන හා ආර්ථික දැක්මක් ඇති දේශපාලනඥයන් වෙතින් සදාචාරීය අධිකාරයක් (moral authority) බලාපොරොත්තු විය හැක්කේ කෙසේ ද?.

 පාර්ලිමේන්තු මන්ත්‍රණ සභාවල අසමත් බවට තවත් හේතුවක් වන්නේ අදාළ දේශපාලන පක්ෂයේ අනම්‍ය මතවාද නිසා එමඟින් තෝරා පත් වන නියෝජිතයන්ට නිර්මාණශීලී ව නව විසඳුම් ගැන කල්පනා කිරීමට හෝ සමාජ ප්‍රශ්නයක් පිළිබඳ ව විවෘත ව සාකච්ඡා කිරීමට අසීරු වීමයි. පක්ෂයේ දෘෂ්ටිවාදය විසින් බොහෝ විට ඔවුන්ගේ දැක්ම සීමා කරනු ලැබේ. හුදෙක් පක්ෂය විසින් තීරණය කරන ලද විසඳුම්වලට අනුකූලව මිස වෙනත් ආකාරයකට ප්‍රශ්න දෙස නො බැලීමට ඡන්දයෙන් පත් වන විට ම මේ ඊනියා මහජන නියෝජිතයන්ට සිදුවේ. සියලු ම පක්ෂවලට එක් වී විශේෂඥ මත ද සැලකිල්ලට ගෙන කිසියම් ප්‍රශ්නයක් ගැන සුදුසු ම විසඳුම සොයා ගත හැකියැ’යි කෙනෙකුට තර්ක කළ හැකි නමුත් එය එසේ සිදු නො වෙන්නේ ඒ නිසා තරඟකාරී විරුද්ධ පාර්ශවයකට කීර්තියක් අත් වීමේ බිය විසින් එවැනි සාමූහික ප්‍රයත්න ඇතිවීම නිරන්තරයෙන් වළක්වන බැවිනි.

මේ පක්ෂග්‍රාහී එළඹුම නිසා යුක්තිගරුක ප්‍රතිපත්ති සහ සමාජ වටිනාකම් ප්‍රකාශ වන සාකච්ඡා සඳහා දේශපාලනඥයින් විසින් වැය කළ යුතු මානව හා මූල්‍ය සම්පත් ඒ වෙනුවට සිය විරුද්ධවාදීන් අපකීර්තියට ලක් කළ හැකි හා පොදු ජනතාව රැවටිය හැකි කුටෝපායික ක්‍රියා මාර්ගවලට සහ ප්‍රචාරණ කටයුතුවලට යොදා ගැණේ. සැබෑ සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය (deliberative democracy) අගයන සමාජයක නම් ව්‍යවස්ථාදායකයක සාමාජිකයන්ට මෙන් ම රටවැසියන්ට ද දේශපාලන කතිකාව මඟින් මතු වූ නව කරුණු හා තර්ක විතර්ක අනුව තමන්ගේ දැක්ම හා මතවාද අවංක ව යළි සලකා බැලීමට ඉඩ ලැබේ. සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය ගැන පස් වැනි පරිච්ඡේදයෙන් වඩා ගැඹුරින් සාකච්ඡා කරන විට අපට මෙය තවදුරටත් විමසා බැලිය හැකිය. දැනුවත් සංවිචාරණීය කතිකාවකින් තොර හුදු පක්ෂ භජනයෙන් මෙහෙය වෙන ව්‍යවස්ථාදායකයක සාමාජිකයන්ට මහජන ප්‍රජාතන්ත්‍රවාදයක සුජාතභාවයක් නියෝජනය කළ නො හැක්කේ ම ය.

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් වසර 70ක් තිස්සේ අත්දුටු විකෘතිය සහ ඒ පිළිබඳ ව අපේ ඇති කලකිරීම් බොහෝ විට දේශපාලනඥයන්ගේ අකටයුතුකම්වලට ලඝු කිරීමෙන් පිළිබිඹු වන්නේ ප්‍රායෝගික ක්‍රියාවලියක් වසයෙන් කෙසේ වෙතත් ප්‍රමිතියක් වසයෙන් අප තවමත් පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් කොට සලකන බවයි. එහෙත් අප අත්දකින ආකාරයේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයකට ඒ පරමාදර්ශය අපට අත් කර දිය නො හැකි බව පෙනේ.

අප නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය යැයි හඳුන්වන දෙය ඇත්ත වසයෙන් ම දහඅටවැනි සියවසේ ඥණවිභාගය හා තාක්ෂණය විසින් නිපදවන ලද්දක් බව හෙලන් ලැන්ඩ්මොර් පෙන්වා දෙයි.[11]ඇයට අනුව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් ගොඩ නැගූ සංකල්පයකට වඩා ලිබරල් රිපබ්ලිකන්වරුන් විසින් ගොඩ නගන ලද සංකල්පයක් ලෙස සැලකිය යුතු ය. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ අරමුණ වූයේ පුරවැසියන් සවි බල ගැන්වීමට වඩා කිසියම් පෙළැන්තියක පුද්ගල අයිතීන් තහවුරු කර ගැනීම යි. ඒ අනුව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය  බලය භාවිත කිරීම සඳහා මහජන කැමැත්ත ලබා ගැනීමක් මිස මහජනයා මඟින් බලය භාවිත කිරීමට දරන ලද වෑයමක් ලෙස නො සැලැකිය යුතු බව ලැන්ඩ්මොර් පෙන්වා දෙයි. එවැනි විකෘති ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමයකින් තෝරා පත් වන ප්‍රභූන් විසින් ගනු ලබන තීන්දු මහජන කැමැත්ත ලෙස සැලකීම විහිළුවකි.

කෙසේ වෙතත් ප්‍රභූවරයන්ගේ සහ ප්‍රභූවරයන් වීමට තැත් කරන අයගේ මැතිවරණ දේශපාලනය පසෙකින් තැබුවොත් පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපේ බලාපොරොත්තු මුළුමනින් ම සුන් කර ගැනීමට තව මත් කල් වැඩි ය. මන්ද මහජන සහභාගිත්වය මුල් කරගත් විවෘත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වැදගත් ආදර්ශ අපට තව මත් සොයා ගත හැකි බැවිනි. විවෘත දේශපාලන කතිකා සඳහා එක්සත් ජනපදයේ පැවැත්වෙන ටවුන් හෝල් රැස්වීම් වැනි බිම් මට්ටමේ කටයුතුවල සිට කලකට පෙර ජාතික මට්ටමෙන් බ්‍රසීලයේ පැවති පොදු ප්‍රතිපත්ති පිළිබඳ ජාතික සමුළු වැනි විවෘත රැස්වීම් දක්වා කටයුතු ඒ සඳහා ඇතැම් උදාහරණයි. සමලිංගික විවාහ හා විසමලිංගික විවාහ එක සමාන කොට සැලැකීම පිළිබඳ පින්ලන්ත වැසියන් දියත් කළ කතිකාව හරහා 2012 දී පින්ලන්ත පාර්ලිමේන්තුව විසින් නව විවාහ නීතියක් සම්මත කරනු ලැබීම තවත් එවැනි උදාහරණයකි. එරට ව්‍යවස්ථාව අනුව රටවැසියන් 50,000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකඟ වී යෝජනා කරන පනත් කෙටුම්පතක් පින්ලන්ත පාර්ලිමේන්තුව විසින් අනිවාර්යයෙන් ම සාකච්ඡා කරුණු ලැබිය යුතු වේ[12].

එතෙක් අපරාධයක් ව පැවති සමලිංගික සම්බන්ධතා නිරපරාධයක් කිරීම පිණිස අයර්ලන්තය ද ඒ හා සමාන ක්‍රමයක් යොදා ගත්තේ ය. එ් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස කුසපත් ඇදීමෙන් හෙවත් සීට්ටු ක්‍රමයට අහඹු (random)ලෙස තෝරා ගත් රටවැසියන් තුනෙන් දෙකකින් සහ නිල පාර්ලිමේන්තු සාමාජිකයන් තුනෙන් එකකින් සමන්විත මහජන සභාවක් කැඳවනු ලැබී ය. දකුණු කොරියානු විධායකයේ බලශක්ති ප්‍රතිපත්තියට විකල්පයක් ඉදිරිපත් කිරීමට දියත් කළ බලශක්තිය පිළිබඳ ජාතික කතිකාවකට අනුව දකුණු කොරියානු රටවැසියන් 2017දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බලශක්ති ප්‍රතිපත්තිය පිළිබඳ නිර්දේශ පාර්ලිමේන්තුවෙන් සම්මත වීම ප්‍රජාතන්ත්‍රවාදය විවෘත කිරීම පිළිබඳ තවත් වැදගත් උදාහරණයකි[13]. 2017 දී මොන්ගෝලියාව සම්මත කරගත් මහජන මතය පිළිබඳ නව නීතියකට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්මත කිරීමට පෙර ඒ සඳහා අහඹු ලෙස තෝරා ගනු ලබන රටවැසියන්ගෙන් සමන්විත තාවකාලික මහජන කතිකා මණ්ඩපවල නිර්දේශ අවශ්‍ය වේ[14]. එය තරමක් දුරට සමාජ විද්‍යා පර්යේෂකයන් විසින් යොදා ගන්නා කේන්ද්‍රීය කණ්ඩායම් සාකච්ඡා (focus group discussion) ක්‍රමය හා සමාන වේ.

වසර 2019 බෙල්‍ජියමේ ජර්මන් බස කතා කරන ප්‍රජාවේ පාර්ලිමේන්තුව[15] විසින් නීති සම්පාදනය කිරීමේ දී සහාය වීම පිණිස කුසපත් ඇදීමේ ක්‍රමයට අහඹු ලෙස තෝරා ගන්නා රටවැසියන්ගෙන් සමන්විත පුරවැසි කවුන්සලයක් පිහිටුවීමේ යෝජනාවක් සම්මත කර ගන්නා ලදී. එම වසරේ ම දෙමසක් පුරා ප්‍රංශ වැසියන් මිලියන 1.5ක ආසන්න පිරිසක් සහභාගි වූ දේශගුණ විපර්යාසය පිළිබඳ මහා කතිකාවක් පැවැත‍්විණි. ඊට අනුපූරකයක් ලෙස ගෝලීය උණුසුම ඉහළ යෑමට සමාජ සාධාරණත්වය මත විසඳුම් නිර්දේශ කිරීම පිණිස අහඹු ක්‍රමයට තෝරා ගත් පුරවැසියන් 150 ස් දෙනෙකුගෙන් සැදුම් ලත් පුරවැසි සම්මේලනයක් (Citizen Convention on Climate Change) කැඳවනු ලැබීය. අයිස්ලන්තයට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සඳහා කැඳවන ලද ජාතික සමුලුවල බහුතරය තෝරා ගනු ලැබුවේ ද කුසපත් ඇදීමෙනි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ දුර්වලකම් අවම කර ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ එවැනි නවමු අත්හදා බැලීම් ගණනාවක් ලොව පුරා ක්‍රියාත්මක කර තිබේ. මේ පිළිබඳ ඉදිරීයේ දී සවිස්තර ව සාකච්ඡා කරමු.

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022


[1] Schmitter, Philippe C (2020), ‘Democracies’ in Sage Handbook on Political Science, Berg-Schlosser Dirk (eds.), London: Sage, p. 730

[2] Vieira, Mónica Brito and Runciman, David (2008) Representation, Cambridge: Polity Press, pp.15-16

[3] Landmore, Helen (2020) Open Democracy: Reinventing Popular Rule for the 21st Century, Princeton: Princeton University Press, p. 3

[4] Vieira, Mónica Brito and Runciman, David (2008) Representation, Cambridge: Polity Press, p 38

[5] Wood, Gordon S. (1900) The American Revolution: A History. New York: Modern Library; Reprint edition, p. 154 (KE)

[6] (Piketty, T. (2014) Capital in the Twenty-First Century. Cambridge, MA: Harvard University Press. p.11(KE)

[7]https://www.colombotelegraph.com/index.php/the-19a-allows-private-broadcasters-to-legally-skew-elections/ – Retrieved on 02 Feb 2021

[8] https://theconversation.com/broadcast-impartiality-rule-has-helped-labour-to-achieve-biggest-poll-shift-since-1945-78949  Retrieved on 02 Feb 2021

[9] Richard Sambrook, (2012), Delivering Trust Impartiality and Objectivity in the Digital Age, Oxford: the Reuters Institute Study of Journalism

[10] Rodríguez-Castro, Marta et al (2020) Public Service Media as a Political Issue, Journal of Information Policy Vol. 10, PA: Penn State university Press, PA, pp. 439-473,

[11] Landmore, Helen (2020) Open Democracy: Reinventing Popular Rule for the 21st Century, Princeton NJ: Princeton University Press  p. xiii-xiv

[12] https://blogs.oii.ox.ac.uk/policy /finnish-decision-to-allow-same-sex-marriage-shows-the-power-of-citizen-initiatives/  – Retrieved 04 Feb 2021

[13] https://thediplomat.com/2017/10/south-koreas-nuclear-energy-debate/  – Retrieved 04 Feb 2021

[14] https://news.stanford.edu/2017/05/02/collaboration-stanford-leads-mongolian -parliament-passing-law-public-opinion-polling/  – Retrieved 04 Feb 2021

[15] බෙල්‍ජියමේ වෙසෙන ජර්මන් බස කථා කරන ජන කොට්ඨාශය නියෝජනය කරන නියෝජිතයන් 25 දෙනෙකුගෙන් සමන්විත වෙනම පාර්ලිමේන්තුවක් බෙල්‍ජියමේ පවතී. ජර්මන් බස කථා කරන ජනයාගේ සංස්කෘතික, භාෂාමය හා පුද්ගල අභිවෘද්ධිය කරුණු (අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි) සම්බන්ධ තීන්දු තීරණ ගැනීම මේ පාර්ලිමේන්තුවේ කාර්යයකි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: