1. නියෝජන ක්‍රමයේ සීමා ඉක්මවීම

විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

බලය අල්ලා ගැනීම සඳහා ඉදිරිපත් වන කණ්ඩායමකට සහයෝගය දැක්වීමේ මැතිවරණ දේශපාලනය වෙනුවට නමට නො ව ක්‍රියාවෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී වන පුද්ගල කාරකත්වයක් සහිත මහජන දේශපාලනයක අවශ්‍යතාව වෙන කවරදාකටත් වඩා අද ඉස්මතු ව තිබේ. එහෙත් එය සාක්ෂාත් කර ගත හැකි වන්නේ පවතින ව්‍යාජ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සැරසීමට වෙනත් නියෝජිත කණ්ඩායමක් තෝරා ගැනීමෙන් නො වේ. බලය අල්ලා ගැනීමේ දේශපාලනය වෙනුවට ‘යුක්තිය අත්පත් කර ගැනීමේ ක්‍රියාකාරී මහජන දේශපාලනයක්’ සඳහා සුදුසු වැඩපිළිවෙළක් ගොඩනගා ගැනීමෙනි.

කෙසේ වෙතත්  අපට මේ සාකච්ඡාවට පිවිසීමට සිදු වන්නේ ජාතික රාජ්‍ය සන්දර්භයක සිට ය. මන්ද බලය අත්පත් කර ගැනීමේ දේශපාලනය මෙන් ම ආර්ථික සංවර්ධනය පිළිබඳ සංකල්ප ද ඇති වී තිබෙන්නේ ජාතික රාජ්‍ය විශ්ලේෂණ ඒකකය (unit of analysis) ලෙස ගෙන ඇති නිසා ය.  ජාතික රාජ්‍යයේ  ‘බලය අත්පත් කර ගැනීම’ යන්න දේශපාලනය සම්බන්ධයෙන් වම සහ දකුණ යන දෙකට ම අයත් දේශපාලන දෘෂ්ටිවාදවල මුඛ්‍ය පරමාර්ථය විය. මේ දෙපාර්ශවය අතරින්,  අල්ලා ගත් බලය යොදා ගත යුත්තේ ධනය සමුච්චයනය වීම මත පදනම් වන ධනවාදී ආර්ථික වර්ධනය පුළුල් කිරීම සඳහා ය යන්න පිළිබඳ නිශ්චිත අවබෝධයක් දක්ෂිණාංශයට තිබුණි. එහෙත් රාජ්‍ය බලය අල්ලා ගත් පසු තමන් විසින් සිදු කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳ විශිෂ්ට අවබෝධයක් වාමාංශිකයන්ට නො තිබුණු බව සමාජවාදය පිළිබඳ ඔවුන් කළ ප්‍රකට අත්හදා බැලීම් අසාර්ථක වීමෙන් පැහැදිලි වේ.

ඒ නිසා රාජ්‍ය බලය අත්පත් කර ගැනීම මුඛ්‍ය කර ගැනීම වෙනුවට “යුක්තිගරුක සමාජයක් ඇති කර ගැනීම” පිණිස පෘථුල සමාජ සහභාගිත්වයක් ඇති කර ගත හැකි දේශපාලනයේ නව සුසමාදර්ශීය වෙනසක් කරා යොමු වීමේ අභියෝගයට අප මුහුණ දිය යුතු ය. එහි දී එම සුසමාදර්ශය මහජන මතය බවට පත් කිරීමේ ළා අප විසින් සලකා බැලිය යුතු මූලික දේශපාලනික ආර්ථික පිළිවෙත් කෙබඳු විය හැකි ද යන්න විමසා බැලීම ද අපේ සාකච්ඡාවේ මුඛ්‍ය කාරණයක්  විය යුතු ය. ඊට හේතුව මෙතෙක් උත්කර්ෂයට නංවන ලද නවලිබරල්වාදී ආර්ථීක ක්‍රමයේ අසාධාරණකම් සහ අසාර්ථක වීම් කලක සිට නිරන්තරයෙන් හෙළිදරව් වෙමින් තිබුණ ද එයට ඵලදායක විකල්පයක් යෝජනා කිරීමේ කටයුත්ත සාකච්ඡාවට ලක් කිරීමට එහි බොහෝ විවේචකයන් තවමත් මැලි වී ඇති බැවිනි.

ඒ අනුව මුලින් ම නව දේශපාලන සුසමාදර්ශයක් ඇති කර ගැනීමේ හැකියාව විමසා බැලීමට ප්‍රවේශයක් ලෙස ප්‍රංශ දාර්ශනිකයෙකු හා දේශපාලන විචාරකයෙකු වන ඇලන් බදියු 2017 දී ඕඩ් ලැන්සෙලින්  සමඟ එක් ව පළ කළ In Praise of Politics (දේශපාලනය පසසනු වස්) නම් කෘතියේ ඉදිරිපත් කරන දේශපාලනය වෙනත් ආකාරයකට සංකල්ප ගත කිරීම පිළිබඳ අදහස  තවදුරටත් විමසා බැලීම අපට වැදගත් විය හැකි ය. රාජ්‍ය බලය අත්පත් කර ගැනීම පිළිබඳ ප්‍රශ්නය මුල් කර ගැනීමක් ලෙස දේශපාලනය උත්කර්ෂණයට නංවනවා වෙනුවට ඇලන් බදියු යෝජනා කරන්නේ දේශපාලනය හා නෛසර්ගික සම්බන්ධයක් ඇති ‘යුක්තිය සාක්ෂාත් කර ගැනීමේ කටයුත්ත’ අප උත්කර්ෂයට නැංවිය යුතු බවයි[1]. දේශපාලනය යන්න නිර්වචනය කිරීමේ දී යුක්තිය යන්න ද නෛසර්ගික ව අන්තර්ගත වන්නේ නම් දේශපාලනය යන්න හුදෙක් බලය අත්පත් කර ගැනීම සඳහා කරන අරගලයක් වසයෙන් තැකිය නො හැකි ය. යුක්තිය යනු සමාජ සාධාරණත්වය යි. බදියුට අනුව ඇත්ත වසයෙන් ම මෙහි දී යුක්තිය සම්බන්ධයෙන් මුඛ්‍ය ප්‍රශ්නය විය යුත්තේ “සාධාරණ බලය යනු කුමක් ද?” යන්නයි. ඒ අනුව දේශපාලනය පිළිබඳ විවාදය හුදෙක් බලය උපයෝගී කර ගැනීම පිළිබඳ කතිකාවකට වඩා බලය සන්නිරීක්ෂණයට ලක් කරන උපමාන ද බලය සහ ප්‍රජාව අතර ඇති සහසම්බන්ධය(correlation) ද දේශපාලන බලයේ අභිමතාර්ථ යුක්ති යුක්ත ව සුජාතකරණය කිරීමේ මහජන සහභාගිත්ව ක්‍රියාන්විතයක් ද පිළිබඳ කතිකාවක් බවට පත් විය යුතු ය.

අප අත් දකින්නේ මුළුමනින් ම රාජ්‍යයේ බලය කේන්ද්‍ර කර ගැනීම මත මෙහෙයැවෙන දේශපාලනයකි. ඊට විකල්පයක් වන්නේ ප්‍රජා සමූහය සහ එහි සාමාජිකයන්ගේ අභිමතාර්ථ මොනවා ද ඔවුන් අතර තිබිය යුතු සමානාත්මතාව, ඔවුන්ගේ අයිතිවාසිකම් සහ නිදහස කෙබඳු විය යුතු ද වැනි කරුණු ගැන අවධානය යොමු කරන යුක්තිය කේන්ද්‍ර කරගත් දේශපාලනයකි. මේ දෙක අතර සම්බන්ධතාවක් මෙන් ම ඝට්ටනයක් ද පවතින බව බදියු පෙන්වා දෙයි.[2] යුක්තිය කේන්ද්‍ර කරගත් සහ බලය කේන්ද්‍ර කරගත් දේශපාලනයක් අතර සම්බන්ධතාවක් ඇත්තේ යුක්තිය යන්න රාජ්‍ය නමැති යථාර්ථය කෙරෙහි කිසිදු බලපෑමක් නැති වියුක්ත දෙයක් විය නො හැකි බැවිනි. ඒ නිසා යුක්තිය පිළිබඳ ප්‍රශ්නය බදියු පෙන්වා දෙන අන්දමට අවශ්‍යයෙන්ම ‘යුක්ති සහගත බලය’ පිළිබඳ ප්‍රශ්නයක් බව ද සැලකිය යුතු ය.

අනෙක් අතට බැලුවොත් ඉතිහාසය පුරාම පෙන්නුම් කර ඇති පරිදි. ඉහත කී සංකල්ප දෙක අතර ගැටුමක් ඇති වීමට හේතුව, යුක්ති සහගත නො වන හැම විට ම දේශපාලන බලය සමාජයේ අවරෝහණය පිළිබඳ කේන්ද්‍රීය සාධකය බවට පත් ව තිබීමයි. ඒ නිසා ජන සමාජය මත යෙදීමට සිදු වන රාජ්‍ය බලය සාධාරණ ව යුක්ති යුක්ත කළ හැකි සහභාගිත්ව දේශපාලනයක් සහිත සමාජ සංස්කෘතියක් බිහි කිරීම අපේ වෑයම විය යුතු ය.

ඒ අනුව අපේ මුඛ්‍ය අරමුණ විය යුත්තේ මධ්‍යගත රාජ්‍ය බලය ශක්තිමත් වීම වළක්වා ඊට විකල්ප ව යුක්තිය කේන්ද්‍ර කොට රාජ්‍ය බලය නිරන්තරයෙන් සන්නිරීක්ෂණය කිරීමට පමණක් නො ව නිවැරදි කිරීමට ද සමත් තිරසාර අන්තර්ග්‍රහනීය (inclusive) මහජන ව්‍යාපාරයක් ගොඩනගා සක්‍රියව පවත්වා ගෙන යෑමයි. එහි දී ලැබිය යුතු සක්‍රිය මහජන දායකත්වය වීදි මට්ටමේ සිට සෘජු ව සහතික කිරීමට හැකි සංවිධාන ව්‍යුහයක් ඇති කර ගත යුතු ය. ඒ අර්ථයෙන් ම රාජ්‍ය පාලනය පිළිබඳ වග වීම ඉල්ලා සිටීමේ සන්නිරීක්ෂණ ක්‍රමවේද  ද බිම් මට්ටම දක්වා විමධ්‍යගත විය යුතු ය. එය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය නමින් දැනට පවතින විකෘතියට හාත්පසින් ම වෙනස් ව ගොඩ නගන්නේ කෙසේ ද යන්න තවත් දුරටත් විමසා බලමු.

ප්‍රජාතන්ත්‍රවාදය එහි වර්තමාන විකෘත වීම්වලට වඩා හාත්පසින් ම වෙනස් අන්දමට සංකල්ප ගත කිරීමේ හැකියාවක් ද තිබේ. ග්‍රීක නිරුක්තියට අනුව ප්‍රජාතන්ත්‍රවාදයට කියන ‘ඩිමොක්‍රසි’ යන නම සැදී ඇත්තේ මහජනතාව යන තේරුම ඇති ‘ඩිමොස්’ සහ බලය යන තේරුම ඇති ‘ක්‍රැටෝස්’ යන දෙපද එක්වීමෙනි. ඒ නිසා ග්‍රීක යෙදුම අනුව නිශ්චිතව ම ප්‍රජාතන්ත්‍රවාදය යනු මහජන බලයයි. එහෙත් මහජන නියෝජනය වෙනුවට හුදෙක් මහජන බලය අවධාරණය කිරීම නිසා ඒ අන්දමින් ප්‍රජාතන්ත්‍රවාදය තේරුම් ගැනීම අනීතිකයැ’යි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ගැන පාරම්බාන අය කියනු ඇත. ඒ කාරණය දිගු කලක් තිස්සේ විවාදයට ලක් වූවකි. ඉංග්‍රීසින් විසින් හඳුන්වා දුන් පාර්ලිමේන්තුව මඟින් කෙරෙන නියෝජනය ප්‍රජාතන්ත්‍රවාදය ලෙස සැලැකීම අයුතු බව 18 වැනි සියවසේ විසූ ප්‍රකට ප්‍රංශ දාර්ශනිකයෙකු වූ ජීන් ජැක් රූසෝ පළ කළේ ය. ඔහුගේ විචාරයට අනුව කිසියම් කාලපරිච්ඡේදයකට වරක් තෝරා පත් කරන නියෝජිතයන් අතින් සිදු වන්නේ තමන් අභිමත දෙයක් කිරීමත් ඒ කාලය තුළ මහජනතාවට බොරු දෙසා බෑමත් පමණි. 

“පැරණි සමූහාණ්ඩුවල මහජනතාවට නියෝජිතයෝ නො සිටියහ. මිනිස්සු තමන් ව නියෝජනය කිරීමට ඉඩ දුන් මොහොතේ සිට තම නිදහස නැති කර ගත්තෝ ය” යනුවෙන් ද රූසෝ සිය ප්‍රකට Social Contract කෘතියේ ලීවේ ය.[3]. එනිසා ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය අප භාවිත කරන්නේ නම් ඒ මඟින් නිශ්චිතව ම අදහස් කරන්නේ කුමක් ද යන්න ද පැවසිය යුතු ය. වඩාත් පැහැදිලිව කිව හොත් ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් අප අදහස් කරන්නේ මැතිවරණය හා නියෝජනය පාදක කරගත් රාජ්‍ය බලයට යටත් වූ ක්‍රමයක් ද නැතහොත් නියෝජන ක්‍රමවල ඇති දුර්වලකම් අවම කරන සුවිශේෂ කරුණු කාරණා සම්බන්ධයෙන් මහජන කැමැත්ත ප්‍රකාශ කළ හැකි විවෘත මහජන සංවිචාරණය (deliberation) මත පදනම් වූ ක්‍රමයක් ද යන්නයි. 

ප්‍රජාතන්ත්‍රවාදය සුජාතකරණය කිරීම සඳහා බොහෝ විට යොදා ගන්නා මූලධර්මය වන්නේ කිසියම් කණ්ඩායමක් විසින් රාජ්‍ය බලය ක්‍රියාත්මක කරනු ලැබීම  අනුමත කළ හැකි වන්නේ ඒ සඳහා එම බලයට නතු වන සමාජයේ සාමාජිකයන්ගෙන් ලැබෙන සාමූහික අනුමැතියක් මත පමණක් ය යන අදහසයි. ඒ අනුව මැතිවරණ පවත්වන්නේ එකී ජනතා අනුමැතිය ලබා දීමට ය. මැතිවරණයක දී අන් අපේක්ෂකයන් අබිබවා  වැඩි කැමැත්ත දිනා ගන්නා අපේක්ෂකයන් මහජන නියෝජිතයන් වසයෙන් සැලකේ. ඔවුහු ජන සමාජයේ සාමූහික අධිකාරය සංකේතවත් කරන මන්ත්‍රණ සභාවක රැස් වී මහජනතාව වෙනුවෙන් රාජ්‍ය විචාරණය පිළිබඳ  කරුණු කාරණා පොදු යහපත මුල් කර ගනිමින් සාකච්ඡාවට ලක් කරති. එසේ මහජන නියෝජිතයන් විසින් සාකච්ඡා කොට වැඩි ඡන්දයෙන් එළඹ ගත් තීන්දු තීරණ අනුව රාජ්‍ය බලය පරිශීලනය කළ යුතු ය. මෙය පරමාදර්ශීය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ලෙස සැලකිය හැකි ය.

එහෙත් ‘නියෝජනය’ නමැති සංකල්පයේ ඉතිහාසය විමසන විට එයට ම ආවේණික ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් නොමැති බව පමණක් නො ව කිසියම් අවදියක දී ඒ අදහස් දෙක එකිනෙකට පටහැණි ව යෙදුණු බව මොනිකා බ්‍රිටෝ වේරා හා ඩේවිඩ් රන්සිමාන් පෙන්වා දෙති.[4]  ඔවුන් පෙන්වා දෙන පරිදි නියෝජනය යන යෙදුමට  දේශපාලනික තේරුමක් ලබා දිය හැකි භාවිතයක් යුරෝපයේ උද්ගත වූයේ 13 වන සිය වසේ දී පමණ ය. එකල නියෝජනය යනුවෙන් තේරුම් ගනු ලැබුවේ පාලකයා, එනම් රජු ජනතාව නියෝජනය කරන බවයි.  ඒ අනුව රජතුමා වනාහි ජනතාව වෙනුවෙන් කටයුතු ඉටු කරන සහ ජනතාව මූර්තිමත් කරන ජනතා සංකේතයයි. ‘නියෝජනය’ යන්න මෙහි දී තේරුම් කරනු ලැබුවේ පුරවැසියන් තම අදහස් ඔවුන්ගේ රජතුමාට ප්‍රකාශ කරන මාර්ගයක් ලෙස නො ව නව අය බදු සඳහා රජතුමා විසින් වැඩ වසම්  ප්‍රභූ පෙළැන්තියේ එකඟත්වය ලබා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස ය. ඒ අනුව ඒ අවධියේ දී නියෝජනය යන්න යොදා ගන්නා ලද්දේ ප්‍රභූ බලය භාවිත කිරීමේ ක්‍රමයක් ලෙස මිස ප්‍රභූ බලය පාලනය කිරීමේ ක්‍රමයක් ලෙස නො වේ. 

ඇතැම් විචාරකයන්ට අනුව වෙනත් අය වෙනුවෙන් පෙනී සිටීම නියෝජනය වසයෙන් පිළිගැනීම රෝම නීතියේ එන මූලධර්ම දෙකකින් උද්ගත වූවකි.[5] ‘ප්ලීනා පොටෙස්ටාස්’ (plena potestas) නමින් හැඳින්වෙන පළමු මූලධර්මය වන්නේ ‘ප්‍රොක්ටර්වරයෙකු’ හෙවත් නියෝජිතයෙකු ලවා තමුන් ව නියෝජනය කරවා ගැනීමට කිසියම් පුද්ගලයෙකු හෝ සාමුහිකයක් එකඟ වීම යි. ඒ අනුව ඔවුන් වෙනුවෙන් එකී ප්‍රොක්ටර්වරයා විසින් පොරොන්දු වනු ලබන දේවල් ඉටු කිරීමට ඒ පුද්ගලයා හෝ සාමූහිකය අනිවාර්යයෙන් ම බැඳී සිටි. ‘ක්වොඩ් ඔම්නෙස් ටැන්ජිට්’ ‘Quod omnes tangit’, යන ආප්තයෙන් හැඳින්වෙන දෙවැනි මූලධර්මය අනුව කිසියම් සමූහයක සියලු සාමාජිකයන්ගේ  බැඳියාවලට බලපාන ඕනෑ ම කාරණයක් ඒ සමූහය විසින් සියල්ලන් වෙනුවෙන් ම කටයුතු කිරීමට බලය පවරන ලද නියෝජිතයන් මඟින් අනුමත කළ යුතු ය[6].

එංගලන්තයේ පාර්ලිමේන්තු ක්‍රමය ඇරඹෙන මුල් අවධියේ නියෝජනය පිළිබඳ අදහස භාවිත වූයේ රජුගේ පාලන බලය අර්ථවත් ලෙස සීමා කිරීමේ සංකල්පයක් ලෙස නො වේ. ඒ වෙනුවට ඇත්ත වසයෙන් ම සිදු වූයේ රජුගේ අධිකාරි බලයේ මෙවලමක් ලෙස පාර්ලිමේන්තුව භාවිත කොට රජුට වාසිදායක වන ලෙස ආණ්ඩුවේ නව විධිවිධාන සහ මූල්‍යමය අවශ්‍යතා සඳහා පාර්ලිමේන්තුවේ මනාපය ලබාගැනීම යි. මේ අනුව නියෝජන ආයතනයක් ලෙස පාර්ලිමේන්තුවේ භූමිකාව වූයේ ආණ්ඩුවේ මධ්‍යගත තීරණ ප්‍රාදේශික මට්ටමින් ද ඉටු වන බවට වග බලා ගනිමින් ඒවාට මනාපය සහතික කිරීම මිස රාජ්‍ය බලය යෙදිය යුතු ආකාරය පිළිබඳ ව රජු හා කේවල් කිරීම නො වේ.

දාහත්වැනි සිය වස වන විටත් ‘නියෝජනය’ යන්න භාවිත වූයේ හුදෙක් කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් වෙනුවෙන් පෙනී සිටින්නෙකු යන තේරුමෙන් මිස ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වැදගත් සංකල්පයක් වසයෙන් නො වේ. සාමාන්‍යයෙන් එකල ප්‍රජාතන්ත්‍රවාදය සැලකුණේ රාජතාන්ත්‍රික, ප්‍රභූතාන්ත්‍රික සහ ප්‍රජාතාන්ත්‍රික යන අංග තුනෙන් ම සමන්විත අස්ථිර ආණ්ඩුක්‍රමයක් ලෙස ය[7]. නියෝජනය යන්නෙන් ඒ වන විට අදහස් වුණේ කතිකා කොට ඥානාන්විත තීරණ ගැණීම  සඳහා ප්‍රභූ පෙළැන්තිය විසින් යොදා ගනු ලබන ක්‍රමවේදයක් ලෙස ය.

මේ නිසා පැරණි පාර්ලිමේන්තුව යනු මහජනයා හමුවේ රජු නියෝජනය කිරීම පිණිස සැකසුණ ආයතනයක් මිස රජු හමුවේ මහජනයා නියෝජනය කිරීම පිණිස සැකසුණු ආයතනයක් නො වීය.[8] අද්‍යතන ව්‍යවහාරයකින් කිව හොත් එකල පාර්ලිමේන්තු ක්‍රමය යනු කිරීටයේ පණිවුඩය ප්‍රකාශයට පත් කිරීමට යොදා ගත් මෙවලමයි. එහෙත් ඒ අතරම පාර්ලිමේන්තු මඟින් වෙනත් කටයුතු ද ඉටු විය. විශේෂයෙන් යුද්ධයක් වැනි අවස්ථාවක ඒ සඳහා සහයෝගය ලබා දීමට බැඳී සිටින අයගෙන් සහයෝගය ඉල්ලා සිටීම රජතුමාගේ වගකීමකි යන වැඩ වසම් සංකල්පය ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව යෙදා ගැණිනි[9].  ඒ අතර ම මධ්‍ය කාලීන එංගලන්තයේ රජතුමා විසින් පිරිනමන ලද සංස්ථාපිත අනන්‍යතාවයක් සහිත කවුන්ටි, සුලු නගර සභා, කෝරල සහ නගරසභා ආදී විවිධාකාර ස්වයංපාලන ප්‍රජා ඒකක ප්‍රාදේශීය මට්ටමෙන් බිහි වීම වැඩි වෙමින් තිබුණි. ඒ නිසා ජාතික මට්ටමේ කරුණු සම්බන්ධයෙන් මනාපය ලබා දීම පිණිස ඒවාට නියෝජනය ලබා දිය යුතු ය යන අදහස ද  පාර්ලිමේන්තුවේ භූමිකාව පුළුල් කිරීමට හේතු විය.

ඒ හැර රජු සහ රාජකීය උපදේශක මණ්ඩලයේ අවධානය සඳහා දුක්ගැනවිලි යොමු කිරීම පිණිස පෙත්සම් ඉදිරිපත් කිරීමේ මාධ්‍යයක් ලෙස ද පාර්ලිමේන්තුව වැදගත් විය.  මෙම පෙත්සම් පාර්ලිමේන්තුව හරහා පැමිණිය යුතු විය. ඇතැම් රාජකීය ප්‍රතිපත්තිවල ඇති දෝෂ පෙන්වා දෙමින් නයිට්වරු සහ නාගරික පුරවැසියන් සාමූහික ව ඉදිරිපත් කළ පෙත්සම් නිසා කිසියම් දුරකට පාර්ලිමේන්තුව රාජ්‍ය විචාරණය පිළිබඳ විවේචන ඉදිරිපත් වන තැනක් බවට ද අනුක්‍රමයෙන් පත් විය. පාර්ලිමේන්තුව කිරීටය නියෝජනය කිරීමේ නෂ්ටාවශේෂ රාජාසන කතාවේ සිට මහජන පෙත්සම්  කාරක සභාව දක්වා අද ද දැක ගන්නට ලැබේ. 

කෙසේ වෙතත් නූතන පාර්ලිමේන්තු තුළ දේශපාලන පක්ෂ ක්‍රමය අනුව කටයුතු ඉටු කිරීමේ දී මහජන නියෝජිතයන්ගේ නියෝජන භූමිකාව එම පක්ෂවල දේශපාලන දෘෂ්ටිවාදය විසින් නියම කරනු ලබන ප්‍රමාණයට සීමා වෙයි. මේ නිසා ඇත්ත වසයෙන් ම සිදු වන්නේ ඡන්දදායකයන් නියෝජනය කිරීම පිණිස මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීමකට වඩා ඉදිරිපත් ව ඇති අපේක්ෂකයින් විසින් නියෝජනය කරනු ලබන සීමිත දෘෂ්ටිවාද සංඛ්‍යාවක් අතරෙන් තමන් විසින් තෝරා ගනු ලැබිය යුතු කුමන දෘෂ්ටිවාදය දැ’යි තීරණය කිරීමට ඡන්දදායකයාට සිදුවීමයි.  ඉතින් එය ඡන්දදායකයන් නියෝජනය වන ප්‍රජාතන්ත්‍රවාදයක් වන්නේ කෙසේ ද?

ඒ නිසා දේශපාලනික නියෝජනය නිරායාසයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී වේ යැ‘යි සිතීම වැරදි ය. එහෙත් හැම ප්‍රජාතන්ත්‍රවාදයක් ම වාගේ කිසියම් ආකාරයක නියෝජනයක් මත යැපෙන අතර හැම නියෝජන ක්‍රමයකට ම ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග නිරූපණය කිරීමේ විභවය පවතින බව ද සැබෑවකි. එබැවින් මැතිවරණයෙන් නියෝජිතයන් තෝරා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය වසයෙන් සැලැකීම ඉක්මවා යන දේශපාලන කතිකාවක් අපට අවශ්‍ය ය.

පැරණි ග්‍රීසියේ පැවති පෞර ආණ්ඩුක්‍රම අතරින් ඡන්දයෙන් නියෝජිතයන් තෝරා ගත්තේ ස්පාටා නුවර පැවති ආණ්ඩුක්‍රමය යටතේ පමණි. එහෙත් ඇතන්ස් නුවර වැසියෝ එය සැලකුවේ කතිපයාධිපත්‍යයේ ම හෙවත් කුඩා බල කණ්ඩායමක් විසින් ආණ්ඩු බලය අල්ලා ගැනීමේ සටකපටකමක් ලෙස ය. ඇතන්ස් නුවර පැවතුණේ ඊට වඩා හාත්පසින් ම වෙනස් ක්‍රමයකි. එහි දී සිදු වුණේ දේශපාලන නිලතල සඳහා අවශ්‍ය කරන පුද්ගලයන් කුසපත් ඇදීම මඟින් තෝරා ගැනීම යි. තනතුරුවලට පත් කිරීමට පෙර කුසපත් ඇදීමෙන් තේරුණු පුද්ගලයන්ගේ පුරවැසිභාවය සහ චර්යාව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයන් නව දෙනෙකුගෙන් යුත් අධිකරණයක් ඉදිරියේ විනිශ්චයට ලක් වේ. ඒ හැර තනතුරට පත්වීමෙන් පසුව ද ඕනෑම පුරවැසියෙකුට එසේ පත් වූ අයගේ චර්යාව ගැන අධිකරණයක දී අභියෝග කළ හැකි ය. එසේ කුසපත් ඇදීමෙන් තෝරා ගත් පුද්ගලයන් අයථා ක්‍රමවලින් මුදල් උපයා ඇත් දැ’යි සොයා බැලීම පිණිස ඔවුන්ගේ ගිණුම් වාර්ෂික ව විගණනයට ලක් කෙරේ.

ඇතන්ස් නුවර පැවති කුසපත් ඇදීමෙන් පාලන තනතුරුවලට තෝරා ගැනීමේ ක්‍රමය පුරවැසි සමානාත්මතාව යන සංකල්පය මත ඇති වූවකි.[10] අද පවා ස්වාධීන අධිකරණවල දී ‘සමානයන් විසින් විනිශ්චයට භාජනය කරනු ලැබීම’ යන සිද්ධාන්තය මත ජූරි සභිකයන් තෝරනු ලබන්නේ මෙකී කුසපත් ඇදීමේ ක්‍රමයට ය. මෙසේ කුසපත් ඇදීමේ ක්‍රමය මඟින් දේශපාලන නිලතලවලට පුද්ගලයින් තෝරා ගැනීම නිසා ධනය, ආගම, කුලය හා ජනවර්ගය, බලවත්කම, කල්ලිවාදය වැනි සාධක මත දේශපාලන බලය අත්පත් කර ගැනීම අසීරු ය.

12 හා 13 වැනි සියවස්වල ඉතාලියේ popolo නමින් හැඳින්වුණු නාගරික කොමියුන පාලන තන්ත්‍රයේ ද පාලනාධිකාරිය තෝරා ගනු ලැබුවේ ද කුසපත් ඇදීමේ ක්‍රමයෙනි. වැඩ වසම් රදල- ප්‍රවේණි දාස ක්‍රමය ගරාවැටීමත් සමඟ නිදහස් නගර ඇතිවීමත් වෙළඳ ශ්‍රේණිවල පාලනයට එම නගර නතු වීමත් සමඟ එසේ කුසපත් ඇදීමේ ක්‍රමය නගර පාලනාධිකාරිය තෝරා ගැනීමට බොහෝ සේ යොදා ගැණිනි. වැඩ වසම් ක්‍රමය පවත්වා ගනිමින් පරවේණියට අනුව තවදුරටත් රදල පෙළැන්තියට  බලය ලබා දීම වැළැක්වීම සඳහා වාණිජ ශ්‍රේණිවල මෙහෙයවීමෙන් කුසපත් ඇදීමේ ක්‍රමය යොදා ගැනිණි. ෆ්ලොරන්ස් සහ වැනීසිය වැනි නගරවල පාලනාධිකාරිය පත් කර ගැනීමට කුසපත් ඇදීම යොදා ගත් බව කුසපත් ඇදීමේ දේශපාලනික විභවය විචාරයට ලක් කරමින් The Political Potential of Sortition නම් කෘතිය ලියූ ඔලිවර් ඩොව්ලන් පැහැදිලි කරයි.[11]  

ඇමෙරිකානු එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ලියමින් තෝමස් පේන් සිය Common Sense නමැති කෘතියෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා තෝරා ගැනීම පිණිස ද කුසපත් ඇදීමේ ක්‍රමය යොදා ගත යුතු බව යෝජනා කළේ ය. ඔහු කළ යෝජනාවට අනුව එක්සත් ජනපද ෆෙඩරල් රාජ්‍යයේ සාමාජික ජනපද 13 න් හැම එකක් ම දිස්ත්‍රික්ක 30 ක් බැගින් වූ ඡන්ද කොට්ඨාසවලට වෙන් කොට ඒවා නියෝජනය කිරීමට නියෝජිතයන් පත් කළ යුතු ය. අනතුරු ව ජනාධිපති ධුරය හිමි වන්නේ කිනම් ජනපදයකට යන්න කුසපත් ඇදීම මඟින් තෝරා ගත යුතු ය. ඉන් පසු එම ජනපදයට අයත් නියෝජිතයන් පමණක් ඔවුන් අතරෙන් ජනාධිපති තනතුරට පත් කළ යුතු තැනැත්තා ඡන්දයකින් තෝරා ගත යුතු ය. මේ යෝජනාව අනුව ජනාධිපතිගේ ධුර කාලය වසරකට සීමා වෙන අතර එම වසර අවසානයේ ඊ ළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා කුසපත් ඇදීමේ දී ජනපද 13 ට ම අවස්ථාව ලැබෙන තෙක් ඊට පෙර ජනාධිපතිවරුන් පත් වූ ජනපදවලට කුසපත් ඇදීමට සහභාගි විය නො හැකි ය. මේ ක්‍රමය මඟින් අනෙක් ජනපද අබිබවා එක් ජනපදයක් බලසම්පන්න වීම වැළකෙන බවත් ෆෙඩරල් ක්‍රමය තුළ සියලු ජනපද ඒකාග්‍රවී කටයුතු කිරීමට පෙලඹෙන බවත් පේන් විශ්වාස කළේ ය.

ඇමෙරිකානු යුද හමුදාව පිහිටුවීමේ ක්‍රමය සම්බන්ධයෙන් 1780 දී තෝමස් පේන් කළ යෝජනාවට ද කුසපත් ඇදීමේ ක්‍රමය යොදා ගෙන තිබුණි. ඒ අනුව එක් හමුදා භටයෙකු තෝරා ගැනීම පිණිස එක කණ්ඩායමකට තිහක් බැගින් වූ කණ්ඩායම්වලට සියලු වැඩිහිටියන් වර්ග කළ යුතු ය. ඉන් අනතුරුව එකී තිස් දෙනා අතරින් කුසපත් ඇදීමේ ක්‍රමයට එක් තැනැත්තෙකු හමුදා භටයා ලෙස තෝරා ගත යුත්තේ ය. එහෙත් ඉතිරි 29 දෙනා සිය හමුදා භටයාගේ බරපැන දැරීමට සහ උපකරණ මිලට ගැනීමට වියදම සම සම ව දැරිය යුතු ය.

ප්‍රංශ විප්ලවයට පසු 1792දී කුසපත් ඇදීමේ ක්‍රමයක් මත දේශපාලනඥයන් තෝරා ගැනීමෙ ක්‍රමයක් ප්‍රංශ ව්‍යවස්ථා සම්පාදන සාකච්ඡාවේ දී තියඩෝර් ලෙසූර් (Theodore Lesueur) විසින් යෝජනා කරන ලදී. වඩා මෑතක  2007 දී ප්‍රංශ ජනාධිපතිවරණයට සමාජවාදී පක්ෂයෙන් ඉදිරිපත් වූ සෙගොලින් රෝයාල් මහත් උද්‍යෝගයකින් ප්‍රවර්ධනය කළ ‘සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයට’ අනුව ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා නියෝජිතයන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම පිණිස කුසපත් ඇදීම මඟින් තෝරා ගන්නා ස්වාධීන පුරවැසි කමිටු පිහිටුවීමේ පොරොන්දුවක් ඇගේ මැතිවරණ ප්‍රකාශයට අඩංගු කළා ය.

කුසපත් ඇදීමේ ක්‍රමය මඟින් බොහෝ විට වැළැක්වීමට තැත් කර තිබෙන්නේ අද අප නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නමින් හඳුන්වන ක්‍රමය නිසා ඇති වන විකෘතිය බව පැහැදිලි ය. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය නිසා ඇති වන විකෘති අවම කිරීම සඳහා එකක් නියෝජන ක්‍රමය යටතේ ද අනෙක කුසපත් ඇදීමේ ක්‍රමය යටතේ ද පත් කෙරෙන ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායක ක්‍රමයක් ජෝන් ගැස්ටිල් සහ එරික් ඔලින් රයිට් වැනි විචාරකයෝ යෝජනා කරති.[12] ඔවුන් යෝජනා කරන අන්දමට මණ්ඩල දෙකට ම එක සමාන ව නීති සම්පාදන බලය ලැබෙන අතර එසේ සම්පාදනය වන නීති කෙටුම්පත් මණ්ඩල දෙකේ ම වැඩි ඡන්දයෙන් අනුමත විය යුතු ය. මැතිවරණවලින් නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ දී මතවාදී  හා පංතිමය ළැදිකමට සහ මුදල් බලයට අවනත වීමට ඇති ඉඩ කඩ වැඩිය. එහෙත් කුසපත් ඇදීමේ ක්‍රමය යටතේ ව්‍යවස්ථාදායක සභිකයන් තෝරා ගැනීමේ දී ඒ ඉඩ කඩ සීමා වෙයි. කුසපත් ඇදීමේ ක්‍රමය  නිසා නුසුදුස්සන් තේරීම වැළැක්වීමට පැරණි ඇතන්ස් ප්‍රජාතන්ත්‍රවාදයේ දී මෙන් නුසුදුස්සන් අභියෝගයට ලක් කිරීමේ ක්‍රමයක් හඳුන්වා දිය හැකි ය. කුසපත් ක්‍රමය යටතේ තේරීමේ දී මුදල් බලය මෙන් ම පක්ෂග්‍රාහී ජනමාධ්‍ය මඟින් ද බලපෑමක් කළ නො හැකි ය.  මැතිවරණයක දී නැවත තරඟ කොට ජය ගැනීමේ අවශ්‍යතාව නිසා ඇති වන පීඩනය සහ පක්ෂ විනයකට යටත් වීමේ අවශ්‍යතාව කුසපත් ඇදීමේ ක්‍රමය යටතේ අදාළ නො වේ. එනිසා අවශ්‍ය තොරතුරු සහ දැනුම සැපයෙන්නේ නම් කුසපත් ඇදීමේ ක්‍රමය යටතේ පත් වන මන්ත්‍රණ සභාවකට සාම්ප්‍රදායික පක්ෂ විභජනය අබිබවමින් විවෘත මනසකින් යුක්ත ව අදාළ කරුණු සාකච්ඡා කළ හැකි විය යුතු ය.

ස්වාධීන මහජන සේවා ජනමාධ්‍ය වේදිකාවක් පවතින විට අදාළ ගැටලු ගැන හෘදයංගම මහජන කතිකාවකට මැදිහත් වීමට කුසපත් ඇදීමේ ක්‍රමය යටතේ පත් වන මන්ත්‍රණ සභිකයන්ට වැඩි හැකියාවක් ලැබේ. ඒ හැර දේශපාලන පක්ෂවල ධුරාවලිය විසින් පනවනු ලබන සීමා නොමැති බැවින් සමාජ මාධ්‍ය හරහා ඔවුන්ට මහජනතාව සමඟ විවෘත ව අදහස් හුවමාරු කර ගත හැකි ය.  එහෙත් කුසපත් ඇදීමේ ක්‍රමය යටතේ පත් වන සභිකයන්ගේ කාර්ය සඵලතාව අසතුටුදායක නම් ඔවුන් ආපසු කැඳවීමේ හැකියාව මහජනතාවට තිබිය යුතු ය. කෙසේ වෙතත් කුසපත් ඇදීමේ ක්‍රමය යොදා ගැනීමේ දී වැදගත් ම කාරණය වන්නේ පොදු මහජනතාව සක්‍රිය දේශපාලනයේ නිරත කර ගැනීමට හැකි ස්වාධීන මහජන සංවිධාන හා ස්වාධීන මහජන සේවා ජනමාධ්‍ය වාතාවරණයක් නිරන්තරයෙන් පවත්වා ගෙන යෑමයි.

ඒ හැර ආණ්ඩු බලය මහජනයා විසින් විවෘත ව භාවිත කිරීම පිණිස යොදා ගත් විවිධ ක්‍රම පිළිබඳ සාර්ථක උදාහරණ කිහිපයක් ම පෙර අපර දෙ දිගින් ම දැකිය හැකි ය. උදාහරණයක් ලෙස 2017 දී දකුණු කොරියාවේ ජනාධිපති විසින් ප්‍රකාශ කළ බලශක්ති සැපයුම සඳහා න්‍යෂ්ටික බලය යොදා ගැනීම වහා ම අත්හිටවීමේ ප්‍රතිපත්තිය පුරවැසියන්ගේ සංවිචාරණීය මත විමසුමක (deliberative opinion poll) ප්‍රතිඵල අනුව වෙනස් කිරීමට රජයට සිදු විය. මේ සඳහා කොරියානු ජනාධිපති මූන්ග්ගේ රජය අහඹු ලෙස (random) තෝරා ගත් පුරවැසියන් 500 දෙනෙකුට න්‍යෂ්ටික බලයට පක්ෂ හා විපක්ෂ  කණ්ඩායම්වලට කන්දීමටත් න්‍යෂ්ටික බලයේ ආරක්ෂාව හා බලශක්ති කාර්යක්ෂමතාව පිළිබඳ විශේෂඥයන්ගේ ඉදිරිපත් කිරීම් සාකච්ඡා කිරීමටත් අවස්ථාව සැලසූහ. මෙම කතිකාව පුරා මාසයක් තිස්සේ පැවතුණ අතර ඉන් දෙමසකින් තව දුරටත් ඒ ගැන කරුණු කාරණා තක්සේරු කර බැලීමට එකී පුරවැසියන්ට අවස්ථාව ලැබුණු පසු අවසාන මත විමසුමට කැඳවන ලදී. ඒ සඳහා එකී පුරවැසි කණ්ඩායමෙන්  471ක් දෙනෙක් සහභාගි වූහ. විවාදයේ මූලික කාරණය වී තිබුණේ දැනට මත් සැලකිය යුතු ආයෝජනයක් කර ඇති පරමාණු බලාගාර දෙකේ ඉතිරි කටයුතු නිම කර ප්‍රයෝජනයට ගැනීම ද නැතහොත් ජනාධිපති මූන්ග් විසින් යෝජනා කළ පරිදි න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම වහා ම නතර කළ යුතු ද යන්නයි. දැනට මත් සිදු කර ඇති ආයෝජනය සහ ආරක්ෂාකාරී න්‍යෂ්ටික බලය බලශක්ති ප්‍රභවයක් ලෙස ඛනිජ තෙල් යොදා ගැනීමට වඩා පරිසරයට හිතකර වේ යන මතය අනුව පුරවැසි කණ්ඩායමෙන් 59% ක් ජනාධිපතිවරයාගේ යෝජනාවට  පටහැණි ව  න්‍යෂ්ටික බලාගාර දෙකේ වැඩ කටයුතු වහාම අත්හිටු වීම ප්‍රතික්ෂේප කළහ. 

ගබ්සා කිරීම අපරාධයක් කොට සැලකීම අවසාන කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අයර්ලන්තය කුසපත් ඇදීමෙන් අහඹු ලෙස තෝරා ගත් පුරවැසියන් 99 දෙනෙකුගෙන් යුත් පුරවැසි කතිකා පර්ෂදයක් කැඳවීය. එහි දී සාකච්ඡා කොට සම්මත කරගත් නිර්දේශ 2018 මැයි මාසයේ අයර්ලන්තයේ පැවති  ජනමත විචාරණයකින් වලංගු කරන ලදී.[13]මේ පුරවැසි කතිකා මත විමසුම්වලට අහඹු ලෙස පත් කරගත් පුරවැසියන් අතරට තේරී  සිටියේ වෘත්තීය දේශපාලනඥයෝ නො ව සාමාන්‍ය පුරවැසියෝ ය. එහි මුලසුන දැරුවේ කාන්තාවකි.

ඉහත සඳහන් විධික්‍රම හැරෙන විට නියෝජිතයන් විරහිත ව විවෘත සහභාගිත්වය ප්‍රමුඛ කොට ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන නොයෙක් අවස්ථා ද තිබේ. එවැනි අවස්ථා වැඩවර්ජන වැනි කාර්මික අරගලවලට සහභාගි වීම සම්බන්ධයෙන් සාමූහික තීරණ ගැනීමේ දී මෙන් ම ඉන්දියාවේ දූෂණ විරෝධීන් අන්නා හසාරේගේ ජන් ලොක්පාල් ආන්දෝලන ව්‍යාපාරයේ මුල් කාලයේ දී තමන්ගේ ම වූ දූෂණ විරෝධි පනතක් සම්මත කර ගැනීමට ගත් වෑයමේ දී ද,  නිව්යෝර්ක් නුවර ටයිම් චතුරශ්‍රයේ පැවති ‘අත්පත් කර ගැනීමේ’ (Occupy Now!)වැනි උද්ඝෝෂණවල දී ද අපි දුටුවෙමු. එවැනි දැවැන්ත මහජන ව්‍යාපාර තම කටයුතු මැතිවරණ පාදක කරගත් මහජන නියෝජිතයන්ට ස්ථිරව ම පවරන්නේ නැත. එවැනි ව්‍යාපාරවල දෘෂ්ටිවාදී හා ප්‍රායෝගික කටයුතු මහජනතාව එක් රැස් වෙන විවිධ මට්ටමේ විවෘත රැස්වීම්වල දී ද එවැනි රැස්වීම්වල ගනු ලබන තීරණ අනුව පිහිටුවන කණ්ඩායම් රැස්වීම්වල දී ද මහජන විශ්වාසය දිනා ගත් කථිකයන් හා නායකයන්ගේ මෙහෙයවීමෙන් තීරණය වේ. ඒ  කථිකයන් හා නායකයන් කෙරෙහි මහජනතාව විශ්වාසය තබන්නේ ඔවුන්ගේ සදාචාරාත්මක චර්යාව පිළිබඳ ව ඇති පැහැදීම, ඔවුන්ගේ නිපුණ බව සහ අවබෝධය පිළිබඳ ඇති පිළිගැනීම මත මිස ඔවුන් කිසියම් මහජන නියෝජන විධික්‍රමයකට අනුගත වීම නිසා නො වේ. ඒ නිසා ම එකී නායකයන් අතින් තම සදාචාරාත්මක බව හා පොදු යහපත සම්බන්ධයෙන් ඇති කැපවීම නිරන්තර ව නිරූපණය විය යුතු ය.

අද අප අත් දකින ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී නො වන බව බොහෝ අය. පිළිගන්නා කරුණකි. යථා ලෝකයේ දී දේශපාලනික සහ ආර්ථික මෙහෙයවීම් කටයුතු පිළිබඳ ඇත්ත තීරකයන් වන්නේ ආණ්ඩු කිරීමේ දී මහජනතාව නියෝජනය කිරීම පිණිස යැ’යි අදහමින් තෝරා පත්කර ගන්නා අය ම දැ’යි අපට නිශ්චිත ව කිව නො හැකි ය. බොහෝ විට අපේ ඡන්දයෙන් පත් වන ඊනියා නියෝජිතයන්ට සිදු වන්නේ තමන්ට වඩා බෙහෙවින් බලගතු කොටස්වල අභිප්‍රායන්ට අවනත වීම යි. උදාහරණයක් වසයෙන් බහුජාතික සමාගම්වල විධායකයන් සහ ඔවුන්ගේ දේශීය නියෝජිතයන් මහජන ඡන්දයෙන් පත් වන අය නො වේ. එහෙත් තම කොටස්කරුවන් වෙනුවෙන් කිසිදු මහජන නියෝජන සභාවකට නැති අන්දමින් ආණ්ඩු මෙහෙයවීමේ හැකියාවක් ඔවුන්ට ඇත්තේ ය.

වර්තමාන ආර්ථිකය හා මූල්‍ය ගනුදෙනු පිළිබඳ කරුණු කාරණා සාමාන්‍ය මහජන නියෝජිතයන්ට නො තේරෙන තරම් සංකීර්ණ කර ඇති බැවින් ඒ සඳහා මහජන නියෝජිතයන් බොහෝ විට මැදිහත් වන්නේ හුදෙක් ප්‍රදර්ශනය සඳහා මිස ඇත්ත වසයෙන් ම මහජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම සඳහා නො වේ. එවැනි වැදගත් කරුණු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා ඔය කියන මහජන නියෝජිතයන්ට කිසිදු බලයක් නැත. ඒවා තීරණය කරන්නේ භූ දේශපාලනයේ බලගතු පාර්ශවකරුවන්, බහුජාතික සමාගම් සහ ඔවුන්ගේ දේශීය නියෝජිතයන්, ව්‍යවසායක පැලැන්තිය, බැංකු, මුදල් විශුද්ධිකරුවන්, ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන් සහ ඉහළ පරිපාලකයන් යනාදීන්ගේ අවශ්‍යතා අනුව ය. ඒ නිසා ආණ්ඩුකරණය සම්බන්ධ සාමාන්‍ය ජනතාවගේ ක්‍රියාකාරී සහභාගිත්වය වසර පහකට හෝ හතරකට වරක් පැවැත්වෙන මැතිවරණයකට සීමා වෙයි. ඒ අනුව ඇත්ත වසයෙන් ම නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය යනු වෙනත් තැනක සිට රාජ්‍ය බලය හොබවන අය විසින් ගනු ලබන තීන්දු තීරණවලට අනුගත වීම සඳහා සකසා ගත් ක්‍රමයකි.

ඒ නිසා බදියු පෙන්වා දෙන්නේ කලින් කලට මැතිවරණ මඟින් පත් කෙරෙන රාජ්‍ය මූලික තෝරා පත් කිරීම් මත රැඳෙනු වෙනුවට සුවිශේෂ ආර්ථික, දේශපාලනික හා සමාජීය කරුණු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම පිණිස රට වැසියන්ගේ චින්තන ක්‍රියාවලිය හා සෘජු ලෙස අනුබද්ධ වන ක්‍රියාශීලී බිම් මට්ටමේ මහජන සහභාගිත්ව ක්‍රමයක් උපයෝගී කර ගත යුතු බවයි. කුසපත් ඇදීමෙන් අහඹු ක්‍රමයට තෝරා ගත් රටවැසියන් ප්‍රමුඛ කොට සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම පිළිබඳව හයවැනි පරිච්ඡේදයේ දී සාකච්ඡා කරන විට බදියුගේ මේ අදහස මතක තබා ගැනීම වටී.  බදියු අදහස් කරන අන්දමට එවැනි ජන සහභාගිත්ව දේශපාලනයක් සංකල්ප ගත කිරීමේ දී එම ක්‍රමය රාජ්‍ය සමඟ වහාම සම්බන්ධ වන ආකාරය ගැන වද වීමට අවශ්‍ය නො වේ. මන්ද වැඩි අවධානයක්  රාජ්‍ය සඳහා යොදන විට සිදු විය හැක්කේ දේශපාලනය හුදෙක් රාජ්‍ය බලය අල්ලා ගැනීමකට සීමා වීමයි. එහි ප්‍රතිඵලය වන්නේ බලය නැති බැවින් රාජ්‍ය බලය අල්ලා ගැනීමකින් තොර ව අපට කිසිවක් කළ නො හැකි ය යන හැඟීම ඇතිවීමයි. 

එහෙත් එය එසේ වීම අවශ්‍ය නැත. දේශපාලනය යන්නට මූලික විය යුත්තේ මනුෂ්‍යයන් ලෙස ප්‍රජාව කෙබඳු දියුණුවක් අත්පත් කර ගත යුතු ද යන්න සම්බන්ධයෙන් අපට ඇති දැක්ම යි. ඒකකයක් වසයෙන් ගත් විට මේ ප්‍රජාව අන්තර්ජාතික, කලාපීය හා ජාතික වැනි විශාල ඒකකවල සිට ප්‍රාදේශීය, නාගරික, ග්‍රාමීය, අසල්වාසික සහ වැඩපොළ මට්ටම දක්වා වූ වඩා කුඩා පරිමාණයේ ප්‍රජා කණ්ඩායම් සහ සමාජ ජාලවලින් ද සංයුක්ත විය හැකි ය. එහෙත් එවැනි දේශපාලනයක් ඇති කර ගත හැක්කේ කාට ද එවැනි දේශපාලනයක ප්‍රායෝගික තීන්දු තීරණ හැම ප්‍රජා මට්ටමකට ම කාන්දු වන ලෙස අර ගන්නේ කෙසේ ද වැනි ගැටලු මතු වෙයි. එම කටයුත්ත ඉටු කළ හැක්කේ මානව සමාජයේ අනාගතය කෙබඳු විය යුතු ද වැනි කරුණු පිළිබඳ ව පැහැදිලි උපාය මාර්ගික දැක්මක් ඇති අයට බව බදියු පවසයි. මන්ද බදියු පෙන්වා දෙන පරිදි ප්‍රායෝගික යථාර්ථය අනුව දේශපාලනය යනු එක් අතකින් සමාජයේ අනාගතය පිළිබඳ පැහැදිලි දැක්මක් ඇති මහජනතාවක් සිටීම සහ සුදුසු තත්වයක දී එවැනි සමාජයක් බිහි වීම අතර තිරසාර සම්බන්ධතාවක් ගොඩනගා ගැනීම යි. 

ඒ නිසා මේ සඳහා හොඳ  ක්‍රියාකාරිකයෝ අවශ්‍ය වෙති. ක්‍රියාකාරිකයන් යනු ප්‍රජාවේ අනාගත ඉරණම ගැන දැක්මක් ඇති නව සමාජ මං පෙත් ගවේෂණය කිරීමට කැප වූ, විවිධ අයහපත් තත්ව යටතේ ජීවත් වන මනුෂ්‍යයන් සැලකිය යුතු සංඛ්‍යාවක් නිතර මුණ ගැසෙන හා ඔවුන් මුහුණ දී ඇති ජීවන තත්වය සාකච්ඡාවට ලක් කරන, ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න ගෝලීය පර්යාලෝකයකින් තේරුම් ගැනීමට උදව් කරන පුද්ගලයෝ ය. ඒ අතර ම ඔවුන් අධ්‍යාපනික කටයුතු, සාකච්ඡා, පැහැදිලි කිරීම් ආදියේ නිරන්තරයෙන් නිරත වන, අර කී විවිධ අයහපත් තත්ව යටතේ ජීවත් වන මනුෂ්‍යයන්ට උනන්දුවෙන් කන් දෙන සහ අවසානයේ දි එකී තත්ව වෙනස් කිරීමට ඔවුන් හා එක් ව විවිධ මට්ටමින් වැඩ කරන අයයි.  එකී විවිධ මට්ටම් යනු වැඩපොළක්, වීදියක්, ගමක්, නගරයක්, හෝ ඇතැම් තත්ව යටතේ රටක් හෝ කලාපයක් වුව ද විය හැකි ය. බදියු පෙන්වා දෙන අන්දමට එය රඳා පවතින්නේ උද්ගත වන අවස්ථානුගත සිද්ධි අනුව යි. සාමාන්‍යයෙන් ඒවා හැඳින්වෙන්නේ ඓතිහාසික අවස්ථා ලෙස ය. 

ඒ නිසා බදියු පෙන්වා දෙන අන්දමට දේශපාලනය සහ ඉතිහාසය අතර ඇති වන අන්තර් ඡේදනය ඉතා වැදගත් කරුණකි. ඇත්ත වසයෙන් ම දේශපාලනය ඓතිහාසික වන්නේ අසාමාන්‍ය අවස්ථාවල දී ය. සාමාන්‍යයෙන් එවැනි අසාමාන්‍ය සිදුවීම් හඳුන්වන්නේ මින් පෙර නො වූ විරූ අවස්ථා මහා පරිමාණයෙන් මහජනතාවට පිරිනැමෙන සිද්ධි ලෙසයි.[14] එවැනි එක් ඓතිහාසික සිදුවීමක් නම් පැරණි ග්‍රීසියේ ඇතන්ස් නගරයේ රදලයන්ට එරෙහිව කලක් තිස්සේ පැවති ගොවි ජන අසහනය නිසා උද්ගත වූ දැවැන්ත විරෝධය සෝලොන් සහ අනතුරුව ක්ලයිස්තීනස් වැනි ප්‍රතිසංස්කරණකරුවන්ගේ මැදිහත් වීමෙන් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය බවට පරිවර්තනය කර ගැනීමයි.[15] තවත් එවැනි ඓතිහාසික සිද්ධියකට උදාහරණයක් නම් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය බිහි වීමට තුඩු දුන් 17 හා 18 සියවස්වල එංගලන්තයේ ඇති වූ සිවිල් යුද්ධයයි.

එවැනි ඓතිහාසික සංසිද්ධියක් සම්බන්ධයෙන් වඩා මෑතක උදාහරණයක් ලෙස 2010 දී ටියුනීසියාවේ රැකියා විරහිත මොහොමඩ්‍ බුවාසිසි ගිනි තබා ගෙන සිය දිවි නසා ගැනීමත් සමඟ උද්ගත වූ ‘අරාබි වසන්තය’ යනුවෙන් හැඳින්වෙන මහජන නැගිටීම සැලකිය හැකි ය.  එහෙත් එවැනි අවස්ථා වහා ම උද්ගත වන බවක් දක්නට නැත්නම් වඩා සුලු පරිමාණයෙන් කටයුතු කර ගෙන යෑමට ප්‍රතිසංස්කරණකරුවන්ට සිදු වෙනු ඇත. මහා පරිමාණයේ සංසිද්ධියක් ඇති වෙන විට තීරණාත්මක ලෙස යොදා ගත හැකි වන්නේ යැ’යි යන දේශපාලන අවබෝධයකින් යුතු ව එවැනි කුඩා පරිමාණයේ සිදුවීම් නිශ්චිත කර ගත යුතු ය. කොටින් ම මෙහි දී අරමුණ වන්නේ දේශපාලනය යනු නායකයන් හෝ පක්ෂ තෝරා ගැනීම නො ව කිසියම් උචිත අවස්ථාවක දී  උපයෝගී කර ගත හැකි ‘තීරණාත්මක අදහස් ප්‍රමාණයක්’ ජනනය කිරීම බව ඒත්තු ගැන්වීම යි. දේශපාලනයේ නිරත වීමේ දී අවශ්‍ය වන්නේ අනාගතයේ දී කෙබඳු තත්වයකට ප්‍රජාව පත් විය  යුතු ද යන්න පිළිබඳ ව සංවිචාරණීය සාකච්ඡා (deliberative discussions) මත පදනම් වූ දැක්මකි. එම දැක්මට ග්‍රාමීය මට්ටමේ සිට කලාපීය හා ගෝලීය මට්ටම දක්වා හැකි හැම මට්ටමක දීම මහජනයා එක්රැස් කිරීමට ද යොදා ගැනීමට ද හැකියාවක් තිබිය යුතු ය.

මහා දේශපාලන සංසිද්ධියක් යනු එකී හැකියාව විශාල පරිමාණයකින් උද්ගත වන අවස්ථාවකි. සිය අදහස් නො පැකිළ ව ප්‍රකාශ කිරීමට මහජනතාව ඉදිරිපත් වන්නේත් බිම් මට්ටමේ කතිකා සහ පිවිසීම් මත පදනම් ව සිදුවීම්වල දිශානතිය තීරණය කිරීමට මහජනතාව ක්‍රියාකාරී ව මැදිහත් වන්නේත් එවැනි අවස්ථාවල දී ය. රාජ්‍ය බලය අල්ලා ගැනීම අත්‍යවශ්‍ය වේ යන්නට වඩා දේශපාලන සංසිද්ධිවල දී වැදගත් වන්නේ කුඩා පරිමාණයෙන් ආරම්භ වී ප්‍රජා ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍ය යැ’යි සාකච්ඡාවට ලක් වූ මූලික යෝජනා අධිෂ්ඨානශීලී ව ක්‍රියාත්මක කිරීමට දැනුවත් ව මැදිහත් වීමයි. ඒ සඳහා මූලික ව අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා හා නීති සම්පාදනයට විවෘත ලෙස මහජනතාවට මැදිහත් වීමට ඉඩ සලසන වැදගත් ප්‍රතිසංස්කරණ සාක්ෂාත් කර ගැනීමයි. අනෙක් මුඛ්‍ය කාරණය අණපනත් සහ යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී රාජ්‍ය බලය කාර්යක්ෂම ලෙස මහජන සන්නිරීක්ෂණයට ලක් කරන ඵලදායක සංරචක හා නියාමන විධිවිධාන පනවා ගැනීමත් ය. මහජන පරිමණ්ඩලය අන්තර්ග්‍රහනීය ව පවත්වා ගෙන යෑමට හැකි ජනමාධ්‍ය පද්ධතියක් හා වෘත්තීය ජනමාධ්‍ය සංස්කෘතියක් ඒ අවශ්‍යතාවේ ම අනිවාර්ය අංගයකි.

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022


[1] Badiou, Alain with Lancelin, Aude, (2019) In Praise of Politics, Medford: Polity Press. p.3

[2] ibid, p.4

[3] Rousseau, Jean-Jacques. 1997. The Social Contract and Other Later Political Writings. Edited by V. Gourevitch. Cambridge: Cambridge University Press, p.114

[4] Brito Vieira, M. and Runciman, D. (2008). Representation, (Cambridge: Polity Press). p. 125

[5] Edwards, J. G. (1970). ‘The Plena Potestas of English Parliamentary Representatives’, in Historical Studies of the English Parliament, ed. E. B. Fryde and E. Miller, 2 vols. Cambridge: Cambridge University Press, I, pp. 136–49.

[6] Brito Vieira, M. and Runciman, D. (2008). Representation (Cambridge: Polity Press).p.15

[7] Wood, G. S. (1992). Democracy and the American Revolution. In Democracy: The Unfinished Journey, 508BC to AD1993, ed. J. Dunn (Oxford: Oxford University Press), pp. 95–105.

[8] Brito Vieira, M. and Runciman, D. (2008). Representation (Cambridge: Polity Press).p.15

[9] Davies, R. G. and J. H. Denton (eds) (1981). The English Parliament in the Middle Ages. Manchester: Manchester University Press.

[10] Dowlen Oliver, (2008) The Political Potential of Sortition, Exeter: Imprint Academics,

[11] Dowlen, Oliver, (2008) The Political Potential of Sortition, Exeter: Imprint Academics p. 144

[12] John, Gastil & Erik, Olin Write (2019), Legislature by Lot, New York: Verso, p.11 KE

[13] https://www.irishtimes.com/news/ireland/irish-news/the-citizens-assembly-a-canny-move-on-the-road-to-repeal-1.3510373 – Retrieved on 13 July 2021

[14] Badiou, Alan with Lancelin, Aude, (2019) In Praise of Politics, Medford: Polity Press, pp.13-14

[15] Ehrenberg, V. (1968), From Solon to Socrates, London: Methuen.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: