සදාකාලික පුද්ගල අයිතිය වෙනුවට තාවකාලික පුද්ගල අයිතිය.

විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022

පොදුවේ ගත් විට සමාජය පිළිබඳ ඕනෑ ම දෘෂ්ටිවාදයකට සමාජීය, ආර්ථික සහ දේශපාලනික මාන අයත් වේ. දෘෂ්ටිවාදයක් මඟින් තැත් කරන්නේ සමාජය වඩා යහපත් යැයි සිතන ආකාරයට පරිවර්තනය කිරීමේ දී පැන නගින ප්‍රශ්න සමුදායකට උත්තර බැඳීම යි. මේ ප්‍රශ්න කොතරම් සංකීර්ණ විය හැකිදැ’යි කිව හොත් කිසිදු දෘෂ්ටිවාදයකට ඒවාට පරිපූර්ණ ලෙස පිළිතුරු සැපයීම අසීරු විය හැකි ය. දෘෂ්ටිවාදය යන යෙදුම තුළ ම දෘෂ්ටිවාදී ගැටුම් සහ එකඟ නො වීම් පිළිබඳ ගැටලු ද ගැබ් වේ. එහෙත් හැම සමාජයකට ම එම සමාජය සංවිධානය විය යුත්තේ කෙසේ ද යන්න ගැන පිළිතුරු සොයා ගැනීමට සිදුවේ. බොහෝ විට ඒ් සඳහා එම සමාජයේ ම ඉතිහාසය මෙන් ම අන්‍ය සමාජවලින් උකහා ගත හැකි අත්දැකීම් ද ප්‍රයෝජනවත් විය හැකි ය. ඉදින් මෙහි දී සැලකිය යුතු මූලික ගැටලු මොනවාද ? මේ ප්‍රශ්නය ප්‍රංශ ආර්ථික විද්‍යාඥ තෝමස් පිකෙටි සිය Capital and Ideology (2020) කෘතියේ සවිස්තරාත්මක ව සාකච්ඡාවට ලක් කරයි.

පිකෙටි පෙන්වා දෙන අන්දමට මෙහි දී එක් වැදගත් ප්‍රශ්නයක් වන්නේ දේශපාලන තන්ත්‍රයේ ස්වභාවය කුමක් විය යුතු ද යන්නයි. දේශපාලන තන්ත්‍රය යනුවෙන් මෙහි දී අදහස් කළේ ප්‍රජාව සහ එම ප්‍රජාව වෙසෙන වාසභූමියේ සීමා නිර්ණය කරන, සාමූහික තීරණ ගැනීම් ක්‍රමවේදය පහදන, ප්‍රජා සාමාජිකයන්ගේ දේශපාලන අයිතිවාසිකම් විස්තර කරන නීතිරීති පද්ධතියට යි. මෙකී නීතිරීති දේශපාලනයේ දී සහභාගිත්වය තහවුරු කර ගන්නේ කෙසේ ද යන්න විස්තර කරමින් පුරවැසියන්ගේ, විදේශිකයන්ගේ මෙන් ම විධායකයේ, ව්‍යවස්ථාදායකයේ, මැති ඇමතිවරුන්ගේ, රජුන්ගේ, අධිරාජ්‍යවල සහ යටත් විජිතවල අදාළ භූමිකා විස්තර කරයි.[1]

පිකෙටි හුවා දක්වන අනිත් වැදගත් කාරණය දේපොළ තන්ත්‍රය සම්බන්ධ විධි විධානයි. එමඟින් අදහස් කරන්නේ සමාජයේ විවිධ කණ්ඩායම් අතර දේපොළ නියාමනය කරන ආකාරය පිළිබඳ ප්‍රායෝගික නීති, විධිවිධාන සහ තිබිය හැකි විවිධාකාර දේපොළ හිමිකාරකම් පිළිබඳ විස්තරයකි. එවැනි නීති පුද්ගලික හා පොදු දේපළවලට ද, මූල්‍ය සම්පත්, ඉඩම් සහ ඛනිජ සම්පත් සහ වහලුන් සහ බුද්ධිමය දේපළ වැනි අනෙකුත් ද්‍රව්‍ය නො වන දේපළ සම්බන්ධයෙන් සැලකිය යුත්තේ කෙසේ ද යන්න ද විස්තර කළ යුතු ය. පූර්ව නූතන යුගයේ දී  ඉඩම් හිමියන් සහ ප්‍රවේණිදාසයන් හෝ වහලුන් අතර ඇති සම්බන්ධතා ද එවැනි නීති මඟින් තීරණය විය යුතු විය.

දේශපාලන තන්ත්‍රය පිළිබඳ ගැටලුව අනිවාර්යයෙන් ම එකී දේශපාලන තන්ත්‍රය බලපවත්වන දේශ සීමාව, ප්‍රදේශය කුමක් ද යන්න නිර්ණය කළ යුතු ය. එමෙන් ම සෑම ප්‍රජා සමූහයක් ම සම්බන්ධයෙන් එයට අයත් වන අය කවුද අයත් නො වන අය කවුරුන් ද යන්න විස්තර කළ යුතු ය. මෙහි දී  අදාළ  භූමිය තුළ කිනම් ආයතන විසින් කිනම් භූමි ප්‍රදේශයක් පාලනය කරයි ද? ඒවා සංවිධානය වන්නේ කෙසේ ද? සමස්ත ලෝක ප්‍රජාව තුළ අනෙකුත් ප්‍රජාවන් සමඟ සම්බන්ධතා පවත්වා ගත යුත්තේ කෙසේ ද වැනි ප්‍රශ්න එහි දී දේශපාලන තන්ත්‍රය සම්බන්ධයෙන් ඇති එකිනෙකට බැඳුණු ගැටලු වසයෙන් සැලකේ.

දේපොළ පිළිබඳ ප්‍රශ්නය ද එවැනි ය. කෙනෙකුට අයිතිකර ගත හැක්කේ මොනවාද කෙනෙකුට තවත් අය අයිති කර ගත හැකි ද යමෙකුට ස්වාභාවික සම්පත්, ඉඩම්, ගොඩනැගිලි, සමාගම්, දැනුම, මූල්‍ය සම්පත් ආදිය අයිති කර ගත හැකි ද දේපළ අයිති අය සහ අයිති නැති අය අතර ඇතිවෙන ගනුදෙනු නියාමනය කරන්නේ කවුරුන් ද පරම්පරාවෙන් පරම්පරාවට දේපළ අයිතිය පැවරෙන්නේ කෙසේ ද වැනි ප්‍රශ්න ඒ අතර වෙයි. අධ්‍යාපනික තන්ත්‍රය සහ මූල්‍යමය තන්ත්‍රය සමඟ දේපොළ තන්ත්‍රය ද එසේ සමාජ අසමානතාව පරිණාමය වන ආකාරය තීරණය කරයි.

බොහෝ පූර්ව නූතන සමාජවල දේශපාලන තන්ත්‍රය සහ දේපොළ තන්ත්‍රය අතර ඉතා ළඟ සම්බන්ධතාවක් තිබුණි. එකල වහලුන් ද දේපළ වසයෙන් සැලකුණි. වෙනත් අයුරකින් කිව හොත් එහි දී පුද්ගලයන් කෙරෙහි බල පවත්වන බලය දේවල් කෙරෙහි බලපවත්වන බලයෙන් නිදහස් වූවක් නො වීය.

පුළුල් ලෙස සලකා බැලූ විට අසමානතාව අඩු කිරීම සඳහා ක්‍රියාත්මක කළ  සර්ව ජන ඡන්දය, නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය වැනි පියවර බෙහෙවින් සාර්ථක වී තිබේ. කොන්සර්වෙටිව් මතවාදීන් කුමක් පැවසුව ද අනාගතයේ දී ද එවැනි පියවර සමානතාව කරා යන ගමනට අතිශයින් වැදගත් ය.

වර්තමානයේ පවතින අසමානතාවට ප්‍රබල හේතුවක් වී ඇත්තේ දේශ සීමා සහිත ජාතික ස්වෛරීභාවය යි. සමාජීය හා දේශපාලන අයිතිවාසිකම් නිර්ණය කරනු ලබන්නේ එකී ජාතික රාජ්‍ය විසිනි. මේ නිසා ජාතික අනන්‍යතාවය, සංක්‍රමණිකයන් සහ ආගම් ආදි වසයෙන් අසමානතාව දිරි ගන්වන ජාතික රාජ්‍යයට ආවේණික ගැට‍ලු නිරන්තර ව පවතී. ඒ නිසාම අසමානතාවට පිළිතුරු සැපයිය හැකි පුළුල් සභාගයක් ජාතික රාජ්‍ය මට්ටමින් ගොඩනගා ගැනීම අසීරු වී තිබේ.  එහි ප්‍රතිඵලයක් වසයෙන් ධනවතුන්ට පැවති බලය වැඩි වී තිබෙන අතර අසමානතාව තවතවත් වැඩි වෙමින් යයි.

මේ තත්වයට එක් හේතුවක් වී ඇත්තේ යට කී භේදකාරී හේතු මත අවවරප්‍රසාදිත ජනතාව වෙන් කර තබා ගැනීමට හැකි වීම සහ ඒ වෙනුවට ඔවුන් එක්සත් කළ හැකි ප්‍රබල දෘෂ්ටිවාදයක් නැති වීමයි.

මෙහි දී අප අවධාරණය කළ යුත්තේ දේශපාලන තන්ත්‍රය සහ දේපළ තන්ත්‍රය යන දෙකම බොහෝ කලක සිට එකිනෙක හා ඉතා සමීප ළෙන්ගතුකමකින් ක්‍රියා කරන බවයි. පිකෙටි පෙන්වා දෙන අන්දමට මේ කල් පවතින ව්‍යුහාත්මක සම්බන්ධතාව දිගු කාලීන ඓතිහාසික පර්යාලෝකයකින් තොර ව හරියට ම විශ්ලේෂණය කළ නො හැකි ය.

අද රුසියාවේ, චීනයේ සහ කිසියම් දුරකට නැගෙනහිර යුරෝපයේ ද පශ්චාත් කොමියුනිස්ට්වාදි සමාජ අතිධනවාදයේ (hyper capitalism)  උත්කර්ෂවත් සහායකයන් බවට පත් ව සිටී. පිකෙටි පවසන අන්දමට මෙය ස්ටැලින්වාදයේ සහ මාවෝවාදයේ පරාජයත් ඒ නිසා සමානාත්මතාවාදය පිළිබඳ එතෙක් පැවති ජාත්‍යන්තර බලාපොරොත්තු නැතිභංග වී යෑම නිසාත් ඇති වූ සෘජු ප්‍රතිඵලයකි. කොමියුනිස්ට්වාදයේ පරාජය කොතරම් දරුණු වී දැ’යි කිව හොත් එය වහල් භාවය සහ යටත් විජිතවාදය ද අබිබවා අති-ධනවාදය සහ දේපළ අයිතිය අතර නො මැකෙන බන්ධනයක් ඇති කරලීමට සමත් විය. පිකෙටි පෙන්වා දෙන අන්දමට  ඉතිහාසය තුළින් සය වැදෑරුම් දෘෂ්ටිවාදී දේශපාලන ප්‍රවණතා හඳුනා ගත හැකි ය. ඒවා නම් දේපළවාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, යටත් විජිතවාදය, කොමියුනිස්ට්වාදය, ත්‍රෛක්‍රියාකාරිත්ව (trifunctional) සමාජය සහ වහල් සමාජය යන දෘෂ්ටිවාදයි. මේ හැම දෘෂ්ටිවාදයක් ම සමාජ සාධාරණත්වය ගැන ද කතා කරයි.[2]

ත්‍රෛක්‍රියාකාරීත්ව (trifunctional) සමාජය යනුවෙන් පිකෙටි මෙහි දී හඳුන්වන්නේ ආගමික පූජක පංතිය, වංශවතුන් සහ යුධාධිපතියන් අයත් පංතිය, පොදු මහජනතාව සහ වැඩ කරන අය අයත් පංතිය යනුවෙන් එකිනෙකට වෙනස් ක්‍රියාකාරකම් ඉටු කරන ස්තර තුනකින් සමන්විත ව මධ්‍ය කාලීන යුගයේ පැවතුණ සමාජය යි.

පිකෙටි පෙන්වා දෙන අන්දමට හැම මානව සමාජයකට ම එම සමාජය තුළ ඇති අසමානතාව සාධාරණීකරණය කිරීමට අවශ්‍ය විය. එ් සඳහා හේතු සොයා දිය නො හැකි නම් සමස්ත දේශපාලන හා සමාජමය මන්දිරය කඩා වැටීමේ අනතුරට මුහුණ දිය යුතු විය. එනිසා හැම යුගයක දී ම එම යුගය තුළ පැවති හෝ පැවතිය යුතුයැ’යි මිනිසුන් විසින් විශ්වාස කළ අසමානතා සුජාත කිරීමේ අරමුණ මුඛ්‍ය කරගත් පරස්පර කතිකා සහ දෘෂ්ටිවාද වර්ධනය විය.  මෙම කතිකා තුළින් කිසියම් ආකාරයක ආර්ථික, සාමාජික හා දේශපාලනික නියාමයන් උද්ගත වූ අතර සමාජ ව්‍යුහයේ ධුරාවලි ස්වභාවය පවත්වා ගැනීමට ඒවා ඉවහල් විය. පරස්පර ආර්ථික, සාමාජික හා දේශපාලනික කතිකා අතර ඇතිවූ ගැටුම තුළින් අධිපති කතිකාව හෝ කතිකා ඉස්මතු වී ඒ අනුව අසමානතාවල පැවැත්ම වැඩිදුරටත් ශක්තිමත් කර ලීය.

 ඓතිහාසික ව ගත් කල්හි සියලු සමාජ සංවිධානය වී ඇත්තේ සමාජ සම්බන්ධතා, දේශ සීමා සහ දේපළ අයිතීන්, සංකීර්ණ ආයතනික විධි විධාන මඟින් සමාජය නියාමනය කිරීම සඳහා වර්ධනය කරගත් කිසියම් දෘෂ්ටිවාදයක් වටායි.

අසමානතාව යුක්ති සහගත කිරීම සඳහා නූතන සමාජවල යොදා ගන්නා බොහෝ ආඛ්‍යාන දේපළ අයිතිය, ව්‍යවසායකත්වය, කුසලතාවාදය (meritocracy) යන තේමාවලට අයත් ය. කුසලතාවාදය යනුවෙන් හඳුන්වන්නේ කෙනෙකු සතු ආර්ථික හා දේශපාලන බලය තීරණය විය යුත්තේ එම පුද්ගලයාට උපතින් උරුම වූ වත්කම් හෝ සමාජ පංතිය මත හෝ නොව හුදෙක් එම පුද්ගලයා සතු ප්‍රතිභාව, සමත්කම් සහ ජයග්‍රහණ මත ය යන අදහස යි.  ඉහත කී ආඛ්‍යාන වලට අනුව වෙළඳපොළ සහ දේපළ යන දෙකම අත්පත් කර ගැනීම මුළුමනින් ම කාර්යසූර මිනිසුන් විසින් කරනු ලබන නිදහස් තෝරා ගැනීම් මත සිදු වන දේවල් බවත් ව්‍යවසායක ප්‍රතිභාව නිසා පිදිය යුත්තන් බවට පත් ව ඇති පොහොසතුන් විසින් රැස් කර ගන්නා ධනය නිසා ස්වයංක්‍රීය ව සමාජයට යහපතක් සිදු වන බවත් පැවසේ. ඒ නිසා නූතන අසමානතාව පූර්ව නූතන යුගයේ පැවති අනම්‍ය, අත්තනෝමතික, සහ බොහෝ විට ආඥාදායක වූ අසමානතාවට වඩා හාත්පසින් ම වෙනස් බව ද කියනු ලැබේ.

එහෙත් සෝවියට් කොමියුනිස්ට්වාදයේ කඩා වැටීම සහ අතිධනවාදයේ නැගී සිටීම සමඟ උද්ගත වූ මේ දේපළවාදී සහ කුසලතාවාදී ආඛ්‍යානයේ ඇති වැරැද්ද නම් එය එන්න එන්න ම අවලංගු වෙමින් තිබීම බව පිකෙටි පවසයි. එය තුළ ඇති නොයෙකුත් ප්‍රතිවිරෝධතා නිසා යුරෝපයේ, එක්සත් ජනපදයේ, ඉන්දියාවේ, බ්‍රසීලයේ, චීනයේ, දකුණු අප්‍රිකාවේ, වෙනිසියුලාවේ සහ මැදපෙරදිග එකිනෙකට වෙනස් විවිධාකාර ප්‍රතිවිරෝධ ඇති ව තිබේ. එහෙත් විසිඑක් වැනි සිය වස එළඹ දශක දෙකක් ගෙවී ගොස් ඇති මේ මොහොතේ දී එකී විවිධ ප්‍රක්ෂේපණ එම රටවල සුවිශේෂ ඉතිහාසයන් ද නො තකා එකිනෙක හා අන්තර් සම්බන්ධ වී ඇති බව පැහැදිලිව පෙනෙයි. එනිසා අරකී අසමානතා ආඛ්‍යානවල දුර්වලකම් හඳුනා ගෙන සුදුසු විකල්ප ආඛ්‍යානයක් අපට ගොඩනගා ගැනීමට හැකි වන්නේ අසමානතාව පිළිබඳ පාරජාතික පර්යාලෝකයක් (transnational perspective) ගොඩනගා ගැනීමෙන් පමණක් බව ද පිකෙටි පවසයි.

එක් දහස් නවසිය අසූ ගණන්වල සිට සෝවියට් කොමියුනිස්ට් වාදයේ කඩා වැටීමෙන් උත්කර්ෂයට පත් කොන්සර්වෙටිව් විප්ලවය හා උද්ගත වූ නූතන දේපළවාදී  දෘෂ්ටියේ වර්ධනය විසි එක්වැනි සියවසේ පළමු දශක දෙකේ දී ආදායම සහ ධනය සංකේන්ද්‍රණය කිරීම විශාල වසයෙන් වැඩි කළේ ය.  ඒ් අනුව ඇති වූ සමාජ ආතතිය ද ලොව පුරා වැඩි වී ගියේ ය.  මේ සමාජ ආතතිය විසින් ම කාර්යසාධක සමානාත්මතාවක් බලාපොරොත්තුවෙන් ජාතික අනන්‍යතාව පිළිබඳ දේශපාලනය හෙවත් නව ජාතිකවාදය ප්‍රවර්ධනය කළේ ය. පවතින අසමානතා සමනය කිරීමට වෙනත් විකල්පයක් නොමැති බව පැවසූ විට ඒ වෙනුවට තම අනන්‍යතාවය හා දේශ සීමා තුළ රැකවරණය සොයා ගැනීමට මිනිසුන් උත්සුක වන බව අරුමයක් ද?

එහෙත් 1980 ගණන්වල සිට එන මේ අති අසමානතා ආඛ්‍යානය දෛවෝපගත සිදුවීමක් ම නො වේ. තරමක් දුරට එය ඉතිහාසයේ සහ කොමියුනිස්ට් ව්‍යසනයේ ප්‍රතිඵලයක් වසයෙන් සැලකිය හැකි වුව ද, තෝමස් පිකෙටි පෙන්වා දෙන පරිදි බොහෝ විට එයට හේතු වූයේ පුළුල් ලෙස දැනුම බෙදා දීමට අසමත් වීම, නොයෙකුත් ශික්ෂණ (disciplines) අතර දැඩි  සීමා ඇති කර ගැනීම නිසා අන්තර් ශික්ෂණ පර්යාලෝකයක් ( interdisciplinary perspective) බිහි කර ගැනීමට නො හැකි වීම සහ  රට වැසියන් අතර ආර්ථික මූල්‍යමය කරුණු ගැන ප්‍රමාණවත් තරම් අවබෝධයක් නොමැති වීම යි. (බොහෝ විට එවැනි කරුණු අන්‍යයන්ගේ කාර්යය ලෙස සැලකෙයි.).

පිකෙටි පවසන අන්දමට ඉතිහාසය මැනවින් අධ්‍යයනය කරන විට තේරුම් යන එක දෙයක් නම් විසි එක් වෙනි සියවසට උචිත නව ආරක සහභාගිත්ව සමාජවාදයක් ඇති කර ගැනීම සඳහා පවතින ධනේශ්වර ක්‍රමය අතික්‍රමණය කිරීම කළ හැකි දෙයක් බවයි. ඒ  සඳහා අප සමාජීය අයිතිය, සැමට ගුණාත්මක අධ්‍යාපනය, දැනුම සහ බලය බෙදා ගැනීම මත පදනම් වූ නව ආරක ජාත්‍යන්තර සමානාත්මතාවක් කරා යා යුතු ය.

 මේ අරමුණ ඉටු කර ගැනීමට නම් නව මාදිලියක සමාජීය අයිතියක් ප්‍රවර්ධනය කර ගත යුතු වන බව පිකෙටි පෙන්වා දෙයි. එම නව මාදිලියේ අයිතිය සදාකාලික පුද්ගලික අයිතිය වෙනුවට තාවකාලික පුද්ගලික අයිතිය ආරෝපණය කිරීම මත පදනම් වූවක් විය යුතුය. උදාහරණයක් ලෙස ඒ සඳහා සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලවල ඡන්දය දීම සහ තීරණ ගැනීමේ බලය නව ආරකට කළ හැකි ය. ඒ හැර විශාල වසයෙන් ධනය හා දේපොළ එක්රැස් වීම සිදු වන විට අනුක්‍රමයෙන් වැඩිවන බදු අය කිරීමක් මඟින් සියල්ලන්ට ම යහපත සැලසෙන ලෙස එම ධනය නැවත බෙදී යන වැඩ පිළිවෙළක් තිබිය යුතු ය. ඒ අනුව දේපළ සහ ධන සම්පත් අතලොස්සක් අත ඒකරාශී වීම වෙනුවට නිරන්තරයෙන් ම සංසරණය වීම සිදුවිය යුතු ය

ඒ හැර අනුක්‍රමයෙන් වැඩි වෙන ආදායම් බදු ක්‍රමයක්, සියල්ලන්ට ම සාර්වත්‍රික මූලික ආදායමක් (Universal Basic Income)සහතික කිරීමක් සහ සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් ද එම වැඩපිළිවෙළට අයත් විය යුතු ය. අවසාන වසයෙන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටලුව සහ දේශ සීමා ද අන්තර්ජාතික ව ලෝක ආර්ථිකය යළි ප්‍රතිසංවිධානය කිරීම ද සිදුවිය යුතු වේ.  එම ප්‍රතිසංවිධානය සමාජීය මූල්‍ය සහ පරිසර සාධාරණත්වය ඇති කර ගැනීම සඳහා යොදා ගන්නේ කෙසේ ද යන්න ද මෙහි දී අතිශයින් වැදගත් වෙයි.

මේ කරුණු සම්බන්ධයෙන් නිශ්චිත මොඩලයක් දැනට නැතත් එවැන්නක් ගොඩනගා ගැනීමේ සංකථනයක් දියත් කිරීම අත්‍යවශ්‍ය බව පිකටි පවසයි. වෙනත් කරුණු හැරෙන විට පිකෙටි පෙන්වා දෙන පරිදි එවැනි මොඩලයක් බිහිකරගැනීමේ දී  සුවිශේෂයෙන් සලකා බැලිය යුතු කරුණු කිහිපයක් ගැන දැන් අපේ අවධානය යොමු කරමු.

ධනවාදය අතික්‍රමණය කිරීම සහ පෞද්ගලික දේපළ

සාධාරණ අයිතිය යනු කුමක් ද? ධනවාදය ඉක්මවා යන ආකාරයේ සහභාගිත්ව සමාජවාදයක් ගොඩ නගා ගැනීමේ දී පිළිතුරු සොයා ගත යුතු වඩාත් ම සංකීර්ණ සහ කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ එයයි. දේපළ වාදය (properieteriasm) යන්නෙන් අදහස් කරන්නේ ස්වාමිත්වකාමි පුද්ගලික දේපළ අයිතිය ආරක්ෂා කිරීම පිළිබඳ දේශපාලන දෘෂ්ටිවාදය යි.  ඇත්තටම ධනවාදය යනු විසල් කර්මාන්ත, ජාත්‍යන්තර මූල්‍ය කටයුතු, සහ වඩාත් මෑතක දී නම් ඩිජිටල් ආර්ථිකය දක්වා ව්‍යාප්ත වන එම දේපළවාදයේ ම දිගුවකි.

ධනවාදයේ ස්වභාවය ප්‍රාග්ධනය හිමිකරුවන් අතර ආර්ථික බලය සංකේන්ද්‍රණය වීම අරමුණ කර ගැනීම යි. පිළිගත් සම්ප්‍රදායට අනුව දේපොළ ප්‍රාග්ධනය හිමි කරුවන්ට තම දේපොළ කිනම් කුලියක් මත කවුරුන්ට කුලියට දෙන්නේ ද යන්න තීරණය කළ හැකි ය. එ් හා සමාන ව මූල්‍ය සහ වෘත්තීය ප්‍රාග්ධනය හිමිකරුවන් බොහෝ විට සිය සමාගම් පාලනය කරන්නේ එක සමාගම් කොටසකට එක ඡන්දයක් යන කොටස් හිමි පදනම මත යි. ඒ අනුව අනෙකුත් අයිතීන්ට අතිරේක ව තමන් සේවයට යොදා ගන්නා අය සහ ඒ අයගේ වැටුප තීරණය කිරීමට ද සමාගමේ ප්‍රාග්ධන හිමිකරුවන්ට හැකියැ’යි පිළිගැනේ.

එහෙත් ප්‍රාග්ධන හිමියන්ගේ අයිතිය පිළිබඳ ඉහත කී  නියත ස්වභාවය විවිධාකාර වෙනස් වීම්වලට බඳුන් වී තිබේ. පිකෙටි පෙන්වා දෙන පරිදි දහනමවැනි සියවසේ සිට නීතිමය හා සමාජමය වසයෙන් බදු ක්‍රමයේ ඇති වූ වෙනස් වීම් එයට බෙහෙවින් බලපා තිබේ. උදාහරණයක් වසයෙන් කුලියට දෙන දේපළ සම්බන්ධයෙන් ගත හොත් කුලියට ගත අය හදිසියේ ඉවත් කිරීම හෝ හිටි අඩියේ කුලිය වැඩි කිරීම හෝ වැළැක්වීමේ දිගුකාලීන සහතිකයක් කුලී පදිංචිකරුට දීමට අද දේපළ හිමිකරුට සිදුවී තිබේ. තමන් කිසියම් කලක් එම දේපළ කුලියට ගෙන තිබුණේ නම්  පදිංචි ව සිටි කාලය අනුව වඩා පහසු මිලකට කුලීකරුවන්ට එකී දේපළ භුක්තියට හිමිකර ගත හැකි වීම ද එවැනි ඇතැම් විධිවිධාන අතර තිබේ. මෙය එක්තරා ආකාරයකට සම්පත් නැවත බෙදා දීමේ ක්‍රමයක් හා සමානය.

ඒ හා සමාන ව සමාගම්වල කොටස් හිමියන් සතු බලය සම්බන්ධයෙන් ද කම්කරු නීති හා සමාජ නීති මඟින් සීමා පනවා තිබේ. ඇතැම් රටවල සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලවල කොටස් හිමියන්ගේ නියෝජිතයන් සමඟ එකට හිඳ ගෙන තීරණ ගැනීමේ බලය සේවක නියෝජිතයන්ට ද ලැබේ. හරියටම සිදු වන්නේ නම් එය දේපළ අයිතිය නියම වසයෙන් ම නැවත බෙදීමක් වැනිය.

1940ස් සහ 1950ස් ගණන්වල සිට ම සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලවල ඡන්ද බලය සේව්‍යයන් හා සේවකයන් අතර බෙදා ගැනීමේ ක්‍රමවේදයක් ජර්මානු හා නෝර්ඩික් යුරෝපීය කලාපයේ රටවල පැවතුණු බව තෝමස් පිකෙටි පෙන්වා දෙයි. ජර්මන් සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලයේ ඡන්ද බලයෙන් හරි අඩක් හිමි වන්නේ සමාගමේ සේවකයින් විසින් පත් කරනු ලබන නියෝජිතයන්ට යි. ස්වීඩනයේ  කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ සමාගම් ඇතුළුව සියලු සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලයෙන් තුනෙන් එකක් සේවක නියෝජිතයන්ගෙන් සමන්විත විය යුතු ය. සේවකයන් සමාගම් ප්‍රාග්ධනයේ හිමිකරුවන් නොවූ ව ද මේ විධිවිධාන අදාළ වේ. සහ-කළමනාකාරිත්වය (co-management) යනුවෙන් හැඳින්වෙන මේ ක්‍රමය වෘත්තීය සමිති සහ ඒවායේ දේශපාලන අනුග්‍රාහකයන් විසින් සිදු කළ නිරන්තර අරගලයක ප්‍රතිඵලයක් වසයෙන් ඇති වූවකි. දහනවවැනි සියවසේ අග භාගයේ  සිට ඇරඹුණ උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වසයෙන් ආරම්භ වී පළමු ලෝක මහා යුද්ධ කාලයේ සිට අනුක්‍රමයෙන් හඳුන්වා දෙන ලද මේ ක්‍රමය දෙවැනි ලෝක මහා යුද්ධ කාලය වන විට තදින් තහවුරු වී තිබුණි. එම අදහස නිරූපණය වන වෙනස්කම් අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වල ද අඩංගු විය. [3]

විශේෂයෙන් 1919 සහ 1949 ජර්මානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවල දී දේපළ හිමිකාරිත්වය පිළිබඳ අයිතීන් නිර්ණය කරන විට පොදු අවශ්‍යතා සහ ප්‍රජාවගේ යහපත පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු ය යන්න එම  අයිතියට අදාළ වන සුවිශේෂ වගකීමක් ලෙස අවධාරණය විය. ඒ අනුව දේපළ අයිතිය ශුද්ධ වූ දෙයක් ලෙස සැලකීම නතර විය. මුලදී මේ සංශෝධනවලට එරෙහි ව කොටස් හිමියෝ දැඩි ලෙස සටන් කළ නමුදු මහජන ආශීර්වාදය ඇතිව පසුගිය අඩ සියවසකට වැඩි කාලයක් තිස්සේ තවමත් එම නීති ස්ථාවර ව පවතී.

පිකෙටි පෙන්වා දෙන පරිදි දැනට ලබා ගත හැකි සියලු ම සාක්ෂිවලට අනුව සහ-කළමනාකාරිත්වය (co-management) බෙහෙවින් සාර්ථක පියවරක් බව තහවුරු වී තිබේ. බොහෝ විට කොටස්කරුවන් දිගුකාලීන ව හානිදායක වූ කෙටි කාලීන මූල්‍යමය ලාභ අපේක්ෂාවලින් ආවේශ ව තීරණ ගැනීමට පෙලඹෙන නමුත් ඊට ප්‍රතිපක්ෂ ව සේවක නියෝජිතයන්ගේ මැදිහත් වීම නිසා සමාගම්වල දිගු කාලීන උපාය මාර්ග වැඩිදියුණු කිරීමට හැකිව තිබේ. ඒ නිසා අනෙකුත් සමාගම් පාලන මොඩලවලට වඩා වැඩි නිෂ්පාදන ධාරිතාවක් ඇති සහ අසමානතාව අඩු කළ හැකි සමාජ ආර්ථික මොඩලයක් ප්‍රවර්ධනය කිරීමට ජර්මනිය හා ස්වීඩනය වැනි රටවලට හැකිව තිබේ.

මේ ජර්මානු නෝර්ඩික් සහ-කළමනාකාර මොඩලය බෙහෙවින් බලාපොරොත්තු දනවන සුළු නමුත් එය තුළ පවා නොයෙක් සීමා පවතී. උදාහරණයක් වසයෙන් ගත හොත් පවතින විධිවිධානවලට අනුව අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක දී සමෝසමේ බෙදීමක් ඇති වූ විට තීරණාත්මක ඡන්දය පාවිච්චි කළ හැක්කේ කොටස් හිමියන්ගේ නියෝජිතයන්ට පමණි. මේ ක්‍රමය වැඩි දියුණු කිරීමට තවත් ප්‍රතිසංස්කරණ කිහිපයක්  වැදගත් විය හැකි බව පිකෙටි පෙන්වා දෙයි. ඒවා නම් ධනය සම්බන්ධ අසමානතාව අඩු කිරීම පිණිස අනුක්‍රමයෙන් ඉහළ යන බදු ක්‍රමයක් ද, ප්‍රාග්ධන පාරිතෝෂික අරමුදලක් (capital endowment fund) සහ වැඩදායක ලෙස දේපළ සංසරණය වීමේ ක්‍රමයක් ද හඳුන්වා දීම යි. මේ යෝජනා ඉදිරියේ දී තවදුරටත් විස්තරාත්මක ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

 ඒ හැර සමාගම් සේවකයින්ට සමාගමේ කොටස් මිලට ගැනීමේ අවස්ථා ද තිබිය යුතු බව පිකටි පවසයි. කුඩා ප්‍රමාණයේ සමාගම්වල ආයෝජකයන්ට අධ්‍යක්ෂ මණ්ඩල තීරණවලට සැලකිය යුතු බලපෑමක් කිරීමට ඉඩ දීම සාධාරණ නමුත්(ඔවුන් විසින් කරන ලද ආයෝජනයට ලැබිය යුතු ප්‍රතිලාභ තහවුරු කිරීමේ අවශ්‍යතාව ද සලකමින්) විශාල ප්‍රමාණයේ සමාගම් සම්බන්ධයෙන් එම අවශ්‍යතාව සමාගමේ දිගුකාලීන ස්ථාවර භාවය පිළිබඳ සේවකයන්ගේ අවශ්‍යතාව තරම් වැදගත් නො වේ.

ලාභ ඉපයීමේ අරමුණෙන් තොර ව පිහිටා ඇති ජනමාධ්‍ය සමාගම් සම්බන්ධයෙන් මෑතක දී ඉදිරිපත් කරන ලද එක් යෝජනාවක් වන්නේ සමාගමේ ප්‍රාග්ධනයෙන් 10% ක් ඉක්මවා යන ආයෝජනවල දී එසේ ආයෝජනය කළ මුදලින් තුනෙන් එකකට අනුරූප වන අන්දමට ඡන්ද බලයක් සහිත ව අධ්‍යක්ෂ මණ්ඩලය තුළ නියෝජනය වීමට සේවකයන්ට අවස්ථාව ලබා දීම යි. ඒ හා සමාන ව ම අධ්‍යක්ෂ මණ්ඩලය තුළ මාධ්‍යවේදීන්, පාඨකයන් සහ ජනමූලීය අර්ථපතියන් (crowd funders) වැනි කුඩා පරිමාණයේ ආයෝජකයන්ගේ නියෝජනය ද වැඩි කළ හැකි ය. මෙම ක්‍රමවේදය අනෙකුත් සමාගම්වලට ද හඳුන්වා දිය හැකි ය. උදාහරණයක් වසයෙන් කිසියම් ප්‍රමාණයකට වඩා විශාල සමාගම් සම්බන්ධයෙන් 10% වැඩි ආයෝජන හිමි ආයෝජකයන් සතු ඡන්ද බලය සීමා කළ හැකි ය. විශාල සමාගම්වල තීරණ ගැනීමේ බලය එක් පුද්ගලයෙකු මත සංකේන්ද්‍රණය වී තිබීමට කිසිදු සාධාරණ හේතුවක් නැති අතර වඩා සාමූහික ව තීරණය ගැනීම මඟින් සිය ප්‍රජාව කෙරෙහි වැඩි වගකීමක් දැරීමට එවැනි සමාගම්වලට හැකි වෙයි.

ඇත්තටම බැලුවොත් පොදු සහ පෞද්ගලික යන අංශ දෙකේ ම ඇතැම් ආයතන කොටස් හිමියන්ගේ සහභාගිත්වයකින් තොර ව මනාව ක්‍රියා කරයි. ඊට හොඳ උදාහරණයක් නම් එක්සත් ජනපදය ඇතුළු ඇතැම් රටවල පදනම් (Foundations) වසයෙන් සංවිධානය වී ඇති පුද්ගලික විශ්වවිද්‍යාල යි.  මේ වර්ගයේ පුද්ගලික විශ්වවිද්‍යාලවලට නිර්ලෝභී දායකයන් විසින් ආධාර මුදල් දෙන අතර ඒ වෙනුවට ඔවුන්ට බොහෝ විට ලැබෙන එකම වරප්‍රසාදය වන්නේ තම දරුවන් තත් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගැනීම් වැනි දේවල් පමණි. ආධාරයේ ප්‍රමාණය අනුව ඇතැම් විටක ඔවුන්ට විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයේ ආසනයක් ද හිමි විය හැකි ය.  මේ ක්‍රමයේ පවතින අඩුපාඩුකම් නැති කිරීමට මෙවැනි ආයතනය තදින් නියාමනය විය යුතු බව සැබැවි. එහෙත් මෙහි දී වැදගත් වන්නේ යට කී දායකයන් විසින් පිරිනමන මූල්‍යාධාර විශ්වවිද්‍යාලයේ සෘජු ප්‍රාග්ධනයට එකතු වන බව යි. ඒ වෙනුවෙන් දායකයන්ට ලැබෙන පාලක මණ්ඩලයේ ආසනය ඔවුන්ගේ දායකත්වයේ ප්‍රමාණය නො තකා පහසුවෙන් ම ඉවත් කළ හැකි එකකි.

පොදුවේ ගත් විට ආයෝජකයන්ගේ බලය සීමා වෙන තරමට ආයතනවල කාර්යක්ෂමතාව වැඩි විය හැකි ය. මෙයට ඇති තරම් උදාහරණ සෞඛ්‍ය, සංස්කෘතිය සහ ප්‍රවාහනය වැනි අංශවලින් සොයා ගැනීමට හැකි බව පිකෙටි පෙන්වා දෙයි.

ජර්මන්-නෝර්ඩික් ක්‍රමය මඟින් හඳුන්වා දුන් සමාගම් සහ-කළමනාකරණයේ  (co-management) හොඳ ම ප්‍රතිඵලය වූයේ විශාල කොටස් හිමියන්ගේ අනිසි බලපෑම අවම කිරීමට එමඟින් හැකිවීම යි. මේ ක්‍රමය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් දැනට ඇති වෙනත් යෝජනා ද සලකා බැලිය හැකි ය. උදාහරණයක් වසයෙන් පිකෙටි පෙන්වාදෙන පරිදි සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලය තේරීම සේවකයන් සහ කොටස් හිමියන් යන දෙකොටසගේ ම සහභාගිත්වයෙන් සිදු කළ යුතු බව බ්‍රිතාන්‍යයෙන් ආ එබඳු හොඳ යෝජනාවකි.

ව්‍යාපාරික සමාගම්වල සමාජීය අයිතිය (social ownership) සහ අධ්‍යක්ෂ මණ්ඩලවල හවුල් ඡන්ද බලය තහවුරු කිරීම අති ධනවාදය අතික්‍රමණය කිරීමේ ලා අතිශයින් වැදගත් වන මෙවලම් ය. එහෙත් ඒවා පමණක් ම ප්‍රමාණවත් නො වන බව පිකෙටි පවසයි. ඔහුට අනුව සාධාරණ සමාජයක දිගින් දිගටම පෞද්ගලික දේපළ පැවතිය හැකි බවට එකඟ වීමෙන් මූලික ව ම අදහස් වන්නේ පොදු අවශ්‍යතාවලට පටහැණි අන්දමින් ධනය සංකේන්ද්‍රණය වීම වැළැක්වීම යි. ධනය සංකේන්ද්‍රණය වීම වැළැක්වීමේ එක් ක්‍රමයක් වන්නේ ආදායම අනුව වැඩිවන බදු මඟින් ධනය විභජනය කිරීම යි. අධික ආදායම් ලබන අයගෙන් වැඩි බදු ප්‍රතිශතයක් අය කිරීම නිසා ආර්ථික වර්ධනයට හානිවෙතැ’යි යන්න සාක්ෂිවලින් තහවුරු වී නැති මනස්ගාතයකි. විසිවැනි සියවසේ එක්සත් ජනපදයේ ඉහළ ආදායම් ලබන්නන් සම්බන්ධයෙන් ආදායම් බදු ප්‍රතිශතය ආදායමින් සියයට 70% – 90% පමණ වූ විට දශක ගණනාවක් තිස්සේ ම පෙර නොවූ විරූ අන්දමේ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීමට හැකිවූ බව පිකෙටි පෙන්වා දෙයි. මේ අනුව ඇතැම් අය තර්ක කරන අන්දමට අන්ත අසමානතාව (extreme inequality) යනු සෞභාග්‍යය සහ කාර්මික සංවර්ධනය ජනනය කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් නො වන බව පෙනේ.

නෝබල් තයාගලාභී ආර්ථික විද්‍යාඥ පෝල් සැමුවේල්සන් Economics: An Introductory Analysis, නමින් 1948 දී ආර්ථික විද්‍යාව ගැන පළ කළ කෘතියේ 1947 වසර සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැති ආදායම් බදු අනුපාත වලට අනුරූපව අනුක්‍රමික බදු ක්‍රමය විස්තර කිරීම සඳහා ඇමෙරිකානු එක්සත් ජනපදයේ පැවැති පුද්ගල ආදායම් බදු ප්‍රතිශතය පැහැදිලි කරන වගුවක් අඩංගු කර තිබේ[4]. එහි පරිවර්තනයක් පහත දැක්වේ. 1947 දී ඉහළ ආදායම් සම්බන්ධයෙන් පැවති බදු ප්‍රතිශතය මෙම වගුවේ සඳහන් ප්‍රතිශතයට වඩා වැඩිය. උදාහරණයක් ලෙස ආදායම $ 200,000 ක් වන විට ගෙවිය යුතු ආදායම් බදු ප්‍රතිශතය 91% දක්වා ඉහළ ගිය බව සංරක්ෂණ වාර්තා පෙන්නුම් කරයි.[5]

1947 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ දරුවන් නැති විවාහක පුරුෂයෙකු විසින් සිය ආදායම අනුව ගෙවිය යුතු ආදායම් බදු ප්‍රමාණය – (සියලු සංඛ්‍යා ඇමෙරිකානු ඩොලර් වලිනි)
ආදායම පුද්ගල ආදායම් බද්දආදායම් බද්ද පුද්ගල ආදායමේ ප්‍රතිශතයක් ලෙසආදායම් බදු අය කිරීමෙන් පසු වියදම සඳහා ඉතිරි වන මුදල
$ 1000 හෝ ඊට අඩු$ 00%$ 1000
$ 3000$ 33011%$ 2,670
$ 5000$ 70014%$ 4,300
$ 10,000$ 2,60026%$ 7,400
$ 20,000$ 6,10030%$ 13,900
$ 50,000$ 24,00048%$ 26,000
$ 200,000$ 148,00074%$ 52,000
$ 1,000,000$ 839,00084%$ 161,000

නව ලිබරල්වාදයේ බලපෑමට ලක් වීමට පෙර ඒ හා සමාන ව බ්‍රිතාන්‍යයේ ඉහළ ආදායම් මට්ටම්වල ආදායම් සඳහා බදු අනුපාතිකය 83% ක් විය. එහෙත් මාග්‍රට් තැචර් බලයට පත් වූ වහා ම එය 60% දක්වා පහත දැමුණි. 1988 වන විට කොන්සර්වෙටිව් ආණ්ඩුව ඒ ප්‍රමාණය 40% දක්වා තවදුරටත් පහත දැමූ විට පොහොසත් කොන්සර්වෙටිව් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඒ අනුව තමන්ට ලැබෙන බදු සහනය ගණනය කිරීමට කැල්කියුලේටරයේ ඇති බින්දු ප්‍රමාණය මදි යැ’යි උදම් ඇනී ය. 

පොහොසතුන් සඳහා බදු අඩු කිරීමේ මේ ප්‍රවණතාව වැඩි වසයෙන් ම උත්කර්ෂණයට නංවන ලද්දේ නවලිබරල්වාදී ආර්ථික දෘෂ්ටියට අනුව ය. 1980 සිට ක්‍රියාත්මක වූ නවලිබරල්වාදී බදු ප්‍රතිපත්තිය වූයේ ප්‍රාග්ධනය මත  පනවා තිබූ බදු බර සැහැල්ලු කොට එම හිඟ පාඩුව වැටුප් සහ පරිභෝජන භාණ්ඩ මත පටවන බදු වැඩි කිරීමෙන් පියවා ගැනීම යි. ප්‍රාග්ධනය මත පනවා තිබූ බදු බර ඉවත් කළ විට ආයෝජන දිරිමත් කොට ආර්ථික වර්ධනය ඇති කළ හැකි බව මෙය පිටුපස තිබූ මූලික තර්කය යි. වැඩි වැඩියෙන් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේ තරඟයෙන් ජය ගැනීමට බොහෝ රටවල් මේ නවලිබරල්වාදී ක්‍රමෝපාය අනුගමනය කළ බව පිකෙටි පෙන්වා දෙයි. ඒ අනුව වසර 1980 – 2006 අතර යුරෝපා සංගමයේ රටවල සමාගම් බදු 49% සිට 25% දක්වා අඩු කරන ලද අතර ඉහළ  ආදායම් මට්ටම්වල පුද්ගල ආදායම් බදු 67% සිට 42% දක්වා අඩු කෙරිණි. ඒ අතර භාණ්ඩ මත අය කරන අගය එකතු කිරීමේ බදු (VAT) 13% සිට 20% දක්වා ඉහළ දැමිණි. එසේ 2007 වන විට යුරෝපයේ සමස්ත බදු ආදායමෙන් 33% ක් පමණ භාණ්ඩ මත පනවන ලද බදුවලින් ද 40% ක් වැටුප් ශ්‍රමයෙන් අය කරන බදුවලින් ද සමන්විත වූ අතර සමාගම්වලින් අය වූ බදු ආදායම 20% ක් දක්වා පහත වැටිණි.[6] එක්සත් ජනපදයේ සමාගම් හා ඉහළ ආදායම් ලබන පුද්ගලයන්ගෙන් අය කරන බදු ද ඊට අනුරූප ව අඩු විය. මෙහි ප්‍රතිඵලය වූයේ ප්‍රාග්ධනය මත බදු බර අඩු වීමත් වැටුප් මත පැනවූ බදු බර වැඩි වීමත් නිසා සමාජය තුළ ආදායම් විෂමතාව තව තවත් ඉහළ යෑමයි. මේ කාලය තුළ රැකියා විරහිත භාවය වැඩි වූ අතර කොන්සර්වෙටිව් ආණ්ඩු විසින් වැඩ වර්ජන අනුකම්පා විරහිතව මර්දනය කළ නිසා යුරෝපයේ වෘත්තීය සමිතිවලට පෙර තිබූ කේවල් කිරීමේ හැකියාව අඩු විය. එබැවින් පාරිභෝගික බදු හා වැටුප් බදු වැඩි කිරීමට එරෙහි ව ප්‍රබල සාමූහික හඬක් නැගීමට යුරෝපීය වැටුප් ශ්‍රමිකයන්ට නො හැකි විය.

කෙසේ වෙතත් බදු අය කිරීම මඟින් ධනය නැවත විභජනය කිරීමේ දී ඓතිහාසික අත්දැකීම් අපට පෙන්වා දෙන අන්දමට උරුමය (Inheritance) සහ ආදායම (Income) මත පමුණුවන බදු පමණක් ප්‍රමාණවත් නො වන බව පිකෙටි  පවසයි. ඔහු යෝජනා කරන අන්දමට එයට අනුපූරක ව වත්කම් මත ද ක්‍රමයෙන් වැඩි වන වාර්ෂික වත්කම් බද්දක් ද (Wealth Tax) අය කළ යුතු ය. එමඟින් ධනය සංසරණය වීම සැලකිය යුතු ලෙස වැඩි කළ හැකි ය. වත්කම් බදු යනු කිසියම් ආයතනයක් හෝ පුද්ගලයෙකු විසින් අත්පත් කර ගෙන ඇති මුදල්, බැංකු තැන්පත්, ඉඩකඩම්, සමාගම් ගත නො කරන ලද ව්‍යාපාර, මූල්‍ය වත්කම් ආදී සියලු ම ආකාරයේ නිශ්චල හා චංචල වත්කම් සඳහා පනවනු ලබන බද්දකි.

පිකෙටි පෙන්වා දෙන පරිදි එසේ වත්කම් බදු සම්බන්ධ ව වැඩි අවධානයක් යොමු කිරීමට හේතු කීපයක් තිබේ. ඒ අතරින් වැදගත් ම හේතුව ආදායම් මෙන් වත්කම් වංක ලෙස සැඟවීමට අපහසු වීම යි. වත් පොහොසත්කමින් ආඪ්‍ය ධනවතෙකුගේ ආදායම් බදු ඔහුගේ මුලු ඉපයීම්වලින් සොච්චමක් පමණි. ඔහුගේ ඇත්ත ආදායම පවුලේ අය සන්තක වස්තුව තුළ සඟවන බැවින් හුදෙක් ආදායම් බදු ගෙවීමෙන් පමණක් ඔහුගේ සමාජ වගකීම ඉටු වෙතැ’යි අපේක්ෂා කළ නො හැකි ය. ඇත්ත වසයෙන් ම තමන් සතු වත්කම් හා ධන සම්පත් හා සැසඳූ විට ධන කුවේරයන් ගෙවන්නේ ඉතා අඩු ආදායම් බද්දකි. බොහෝ ධන කුවේරයන් තමන් සතු ආදායම් සහ වත්කම් විදෙස් ගිණුම්වල සඟවා තැබීම මඟින් විවිධ බදු සහන දිනා ගනිමින් සහ වංචනික බදු ප්‍රකාශ ඉදිරිපත් කරමින් බදු ගෙවීමේ සමාජ වගකීම පැහැර හැර තිබේ. මේ නිසා බදු සාධාරණත්වය තහවුරු කරන බදු ක්‍රමයක් හඳුන්වා දී වරප්‍රසාද ලත් පෙළැන්තියක් වෙත ධනය විශාල වසයෙන් සංකේන්ද්‍රණය වීම වළක්වා සමාජ අසමානතාව අඩු කිරීමට කටයුතු කළ යුතු ය.

කෙසේ වෙතත් අතිශයින් ධනවත් බව යනු පොදු යහපත සඳහා සම්මාදම් දීමේ හැකියාව පෙන්නුම් කරන දර්ශකයකි. යම්කිසි තැනැත්තෙකු සතු ව මන්දිර, මහල් නිවාස, ගබඩා සහ කර්මාන්තශාලා වැනි වැදගත් දේපළ ඇත්නම් කිසියම් හේතුවක් නිසා ඒවායින් ආදායම් අපේක්ෂා නො කළත් ඒ සඳහා බදු අය කිරීම කළ යුතු ය. ඇත්ත වසයෙන් ම නිශ්චල දේපොළවලින් බදු අය කරන සෑම රටක් ම බදු අය කරන විට කිසිවකුට එම දේපළවලින් ආදායමක් ලැබෙන්නේ ද නැද්ද යන කාරණය වැදගත් කොට නො සලකයි. (උදාහරණ: එක්සත් ජනපදයේ දේපළ බද්ද සහ ප්‍රංශයේ නිශ්චල දේපළ බද්ද) මෙම නිශ්චල දේපළ බදු ක්‍රමය 18 වන සහ දහනව වන සියවස් තරම් ඈත ට දිව යන්නකි. එහෙත් එහි දී ආයෝජනයේ ප්‍රමාණය නො තකා ඕනෑම වත්කමක් සම්බන්ධයෙන් නියම කෙරුණේ එකම බදු අනුපාතිකයකි. එනිසා පිකෙටි යෝජනා කරන අන්දමේ වත්කම්වල වටිනාකමට අනුව අනුක්‍රමයෙන් වැඩි වන බදු අය කිරීමක දී මෙන් නො ව එහි දී ධනය නැවත බෙදීමක් සිදු වෙන්නේ ඉතා අඩුවෙනි.

අනුක්‍රමයෙන් ඉහළ යන දේපළ උරුම බද්දක් වෙනුවට (ඒවා ආදායම මත නො ව මුළුමනින් ම වත්කම්වල හිමිකම මත රඳා පවතින බදු ය.) වාර්ෂික වත්කම් බද්දක් අය කිරීමේ වාසිය එය වත්කම්වල වෙනස්වීම් අනුව සහ හිමිකරුගේ ගෙවීම් හැකියාවට අනුව වහාම උපයෝගී කර ගත හැකි වීමයි. මෙහි දී උරුම බදු අය කිරීමට මාක් සකර්බර්ග් හෝ ජෙෆ් බෙසෝස් වයස අනූවක් වී ඔවුන්ගේ දේපළ උරුමක්කාරයින්ට පවරන තෙක් බලා සිටීම අවශ්‍ය නො වේ. වත්කම්වල උරුමය පවරන තෙක් බලා සිටීමට සිදු වන දැනට පවතින උරුම බදු ක්‍රමය අලුතෙන් රැස්කරගත් ධනයෙන් බදු අය කර ගැනීම සම්බන්ධ හොඳ ක්‍රමයක් නො වේ. ඒ නිසා ඒ වෙනුවට යොදා ගත හැකි වාර්ෂික වත්කම් බද්ද වඩාත් කාර්යක්ෂම බදු ක්‍රමයකි. කොහොමටත් දැනට පවතින වත්කම් බද්ද උරුම බද්දට වඩා වැඩි ප්‍රමාණයක් අය වෙන බදු ක්‍රමයකි. කලක්  එක්සත් ජනපදයේ දී කතා බහට ලක් වූ ප්‍රකෝටිපති බද්ද ද සැලකිය යුතු මහජන අවධානයක් දිනා ගත්තේ ය. කෙසේ වෙතත් සිය වත්පොහොසත්කම්වලින් 20% සිට 30% දක්වා උරුම බදු වසයෙන් තම උරුමකරුවන් ලවා ගෙවීමට වඩා වත්කම්වල මුලු වටිනාකමින් 1% සිට 2% දක්වා වාර්ෂික බද්දක් ගෙවීමට විශාල දේපළ හිමියන් වැඩි කැමැත්තක් දැක්විය හැකි ය.

මෙහි දී ස්ථිර ලෙස පුද්ගලික වූ දේපළක් පවතින්නේ ය සහ ඇතැම් අයට පමණක් ඒවාට උල්ලංඝනය කළ නො හැකි අයිතියක් ඇත්තේය යන්න පිළිගත හැකි විශ්ලේෂණ මඟින් තවදුරටත් වලංගු කළ නො හැකි ය යන්න පිකෙටි අවධාරණය කරයි. ධනය රැස් කිරීම යනු සැම විටම සමාජ ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. වෙනත් සාධකවලට අතිරේකව එය නීතිමය, මූල්‍යමය සහ අධ්‍යාපනික ක්ෂේත්‍රවල සේවා, විවිධාකාර යටිතල පහසුකම්, ශ්‍රමය සම්බන්ධ සමාජීය බෙදීම් මෙන් ම මිනිසා විසින් සිය වස්  ගණනාවක් තිස්සේ රැස් කරගත් දැනුම මත රඳා පවතින්නකි.  එනිසා අධික ලෙස ධනය රැස් කර ඇති උදවිය ඉන් කොටසක් අවුරුදු පතා තම ප්‍රජා සමූහය වෙත පිරිනැමීම ඉතා සාධාරණය. එනිසා  සියලු පුද්ගලික ධන සම්පත්වල අයිතිය තාවකාලික බවට පත් කළ යුතු ය.

බදු ක්‍රමයෙන් ද දේපළ අයිතිය කිසියම් පමණකට සීමා වෙයි. දේපළ උරුම වීම මත පනවන වටිනාකම අනුව අනුක්‍රමණික ව ඉහළ යන දේපළ උරුම බද්ද ඇතැම් සංවර්ධනය වන රටවල 30% සිට 40% දක්වා වැඩි වී තිබේ.  දශක ගණනාවක් තිස්සේ ම ඇමරිකා එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍යයේ දේපළ උරුම බද්ද 70% සිට 80% දක්වා ප්‍රමාණයක් විය. එය සදාතනික උරුමයක් තාවකාලික අයිතියක් බවට පත් කරන බද්දක් බඳු විය. වෙනත් අන්දමකින් කියන්නේ නම් එමඟින් පරම්පරාවෙන් පරම්පරාවකට ධනය උරුම කර ගැනීමට ඉඩ දී තිබූ නමුත් වූ නමුත් එසේ උරුමය ඊළඟ පරපුරට මාරු වන හැම විට ම එම ධනයෙන් කොටසක් ප්‍රජාවට පිරිනැමිය යුතු විය. ඒ හැර උරුමය පිළිබඳ බද්ද සහ සමගාමී ව අනුක්‍රමයෙන් වැඩි වන ආදායම් බදු ක්‍රමයක් මඟින් ද පරම්පරා ගණනාවක් තිස්සේ ධනය එක් රැස්වීම නොහොත් සංකේන්ද්‍රණය වීමට තිබූ ඉඩකඩ වළක්වන ලද්දේ ය.

පුද්ගලික දේපොළ සහ ධනවාදය අතික්‍රාන්ත කිරීමටත් සහභාගිත්ව සමාජවාදය ගොඩනැඟීමටත් මේ බදු ක්‍රම දෙක ම තවත් වැඩිදියුණු කළ යුතු යැ’යි පිකෙටි යෝජනා කරයි.  කෙටියෙන් කිව්වොත් මෙතෙක් කර ඇති දේවල් ඉක්මවා යන බොහෝ වැදගත් දේවල් නීති සහ මූල්‍ය පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම මඟින් ඉටු කර ගත හැකි ය. මෙහි දී පළමුවෙන් ම සමාගම් තුළ බලය බෙදීම තවදුරටත් විස්තීර්ණ කිරීම මඟින් ප්‍රාග්ධන හිමිකාර සමාජයක් ඇති කර ගත හැකි ය. දෙවනුව ප්‍රාග්ධන හිමිකාරිත්වය තාවකාලික දෙයක් බවට පත් කිරීම පිණිස විශාල වත්කම්වලින් අනුක්‍රමික ව වැඩි වන බදු නියම කොට ඒ මඟින් ලැබෙන ආදායම ලෝක ප්‍රාග්ධන පාරිතෝෂික අරමුදලකට (global capital endowment fund) බැර කළ හැකි ය. එම අරමුදල හරහා වස්තුව සහ ධනය ගෝලීය මට්ටමෙන් නිරන්තරයෙන් සංසරණය වන දෙයක් බවට පත් කළ හැකි ය. අසමානතාව ජාතික රාජ්‍ය ක්‍රමයේ ඵලයක් බැවින් උග්‍ර අසමානතා තුරන් කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගිතාව අත්‍යවශ්‍ය බව පිකෙටි පවසන්නේ එබැවිනි.

පිකෙටි යෝජනා කරන අන්දමට අනුක්‍රම බදු ගණනය කිරීමේ දී අති විශාල දේපළ උරුමවල සහ උපරිම ආදායම් ශ්‍රේණිවල බදු ප්‍රමාණය වටිනාකමින් 60%-70% පමණ තරම් විය යුතු ය[7]. දේපළ උරුම සහ ආදායම් ප්‍රමාණ රටක ඒක පුද්ගල වත්කම මෙන් දස ගුණයකට වැඩි අවස්ථාවල දී  90% සිට 80 දක්වා බදු අය කළ යුතු ය. මේ බදු අනුපාත  1930 සිට 1980 ගණන් දක්වා ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය විසින් පවත්වා ගෙන ගිය බදු ප්‍රතිශතය හා බෙහෙවින් සමාන ය. එසේ වුව ද මේ කාල පරිච්ඡේදය තුළ ඒ රටවල වැඩි ආර්ථික වර්ධනයක් ඇති වූ බව ද පිකෙටි  මතක් කරයි.

පිකෙටි යෝජනා කරන බදු ක්‍රම අතරින් වඩාත් නවතම බදු ක්‍රමය වන්නේ වත්කමේ ප්‍රමාණය අනුව අනුක්‍රමික ව වැඩිවන වත්කම් බද්ද යි (wealth tax). එක්සත් ජනපදයේ දහනම වන සියවසේ දී ඇරඹුණු ධන බද්ධ හා ප්‍රංශයේ ඉඩම් හා නිවාස බද්ද අදාළ වත්කමේ වටිනාකමින් සියයට එකකට වඩා වැඩි නො වීය. සාමාන්‍යයෙන් එකී බදු ක්‍රමයට  මූල්‍යමය වත්කම් අයත් නොවීය. එහෙත් වර්තමානයේ ධන කුවේරයින්  තමන් සතු මූල්‍ය සම්පත්වලින් බොහොමයක් බදුවලින් ගැලවීම පිණිස අක් වෙරළ (offshore) බැංකු ගිණුම්වල තැන්පත් කර සඟවා තිබේ.  එනිසා වර්තමානයේ පවතින ධන බද්ධ ඇත්ත වසයෙන් ම අනුක්‍රමික බද්දකට වඩා ප්‍රතික්‍රමික (regressive) බද්දකි.

ඒ නිසා පිකෙටි යෝජනා කරන අන්දමට මේ සම්බන්ධ අනුක්‍රමික ආදායම් බදු අනුපාත ජාතික සාමාන්‍ය හා ඊට වඩා අඩුවෙන් ආදායම් ලබන්නන්ගෙන් 0.1% බැගින් ද ජාතික සාමාන්‍ය මෙන් දෙගුණයක් ආදායම් ලබන්නන්ගෙන් 1% බැගින් ද අනුක්‍රමයෙන් වැඩි ව ගොස් ජාතික සාමාන්‍ය මෙන් සිය ගුණයක් ආදායම ලබන්නන්ගෙන් 10% බැගින් ද  ජාතික සාමාන්‍ය මෙන් දහස් ගුණයක් ආදායම ලබන්නන්ගෙන් 60% ක් වසයෙන් ද අනුක්‍රමික ව වැඩි විය යුතු ය. මේ අනුව බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාත්මක පදනම වැඩි වීමක් ද ඉහළ ආදායම් ලබන්නන් විසින් ගෙවන ආදායම් බදු ප්‍රමාණය ධනය සාධාරණ ව නැවත බෙදී යෑම පිණිස උපයෝගී කර ගත හැකි මට්ටමට වැඩි වීමක් ද සිදුවේ.  දැනට පවතින දේපොළ බදු ක්‍රමයේ ඇති සමතල ප්‍රමාණයට(flat rate) වඩා මේ ක්‍රමය මඟින් ධනය බෙදී යෑම වැඩි කළ හැකි ය. ඒ හැර මේ ක්‍රමය මඟින් අඩු ආදායම් ලාභීන්ට ගෙවීමට සිදු වන බදු මුදල් ප්‍රමාණය බෙහෙවින් අඩු කළ හැකි ය. මෙකී බදු අනුපාත යෝජනා කර ඇත්තේ දැනුවත් සාකච්ඡාවකට පදනමක් වසයෙන් බව අවධාරණය කරන පිකෙටි නියම බදු අනුපාත තීරණය කිරීම ආදායම් විෂමතා පිළිබඳ නිවැරදි දත්ත මත සාකච්ඡා කොට තීරණය කළ යුතු බව පෙන්වා දෙයි.

පුළුල් ලෙස ගත්තොත් පිකෙටි යෝජනා කරන  ආකාරයට සාධාරණ සමාජයක බදු ක්‍රමය මූලික බදු වර්ග තුනක් මත රඳා පවතිනු ඇත. ඒවා නම් වටිනාකම අනුව අනුක්‍රමික ව වැඩි වෙන වත්කම් බද්ද, වටිනාකම අනුව අනුක්‍රමික ව වැඩි වෙන දේපළ උරුම බද්ද සහ වැඩිවන ආදායම අනුව අනුක්‍රමික ව වැඩි වෙන ආදායම් බද්ද යන බදු තුන් වර්ගයයි. උදාහරණයක් වසයෙන් ඉහත කී බදු අතරෙන් අනුක්‍රමික ආදායම් බද්ද සහ උරුම බද්ද ජාතික ආදායමෙන් සියයට 5ක් පමණ ලබා දෙනු ඇතැ’යි උපකල්පනය කළ හැකි ය.  ඒ ආදායම මුළුමනින් ම පාහේ සාර්වත්‍රික ප්‍රාග්ධන පාරිතෝෂික අරමුදලට බැර කළ හැකි ය. සමාජ ආරක්ෂණ බදු ද, කාබන් බදු ද ඇතුළත් ව සමස්ත අනුක්‍රමික ආදායම් බදු ප්‍රමාණය ජාතික ආදායමෙන්  සියයට 45ක් පමණ වනු ඇතැ’යි බලාපොරොත්තු විය හැකි අතර එම මුදල සෞඛ්‍ය, අධ්‍යාපනය,  පොදු ප්‍රවාහනය ඇතුළු අනෙකුත් පොදු වියදම් සඳහා යොදා ගත හැකි ය.

ජාතික ආදායමෙන් සියයට 5 ක් පමණ වන වත්කම් සහ උරුම බදු ආදායම වයස 25 ට වැඩි සෑම වැඩිහිටියෙකුට නිත්‍ය මූලික ආදායමක් ලෙස පාරිතෝෂිකයක් ලබා දීමට ප්‍රමාණවත් වනු ඇතැ’යි පිකෙටි කල්පනා කරයි. පිකෙටි ගණන් බලා ඇති අන්දමට මේ පාරිතෝෂිකය 25 හැවිරිදි රටවැසියෙකුට සාමාන්‍යය තත්වය යටතේ සතු කර ගත හැකි මූල ධනයෙන් සියයට හැටක් පමණ වනු ඇතැ’යි උපකල්පනය කළ හැකි ය.

උදාහරණයක් වසයෙන් ගත්තොත් 2010 අවසානයේ දී බටහිර යුරෝපයේ, ඇමරිකාවේ සහ ජපානයේ වැඩිහිටි තරුණයෙකුගේ සාමාන්‍ය පුද්ගලික වත්කම යුරෝ දෙලක්ෂයක් පමණ විය.  ඒ අනුව පුද්ගලයෙකුට ලබා දිය යුතු මූලික ආදායම් පාරිතෝෂිකය යුරෝ 120,000 බැගින් වනු ඇත. මේ අන්දමින් බැලූ විට සෑම පුද්ගලයෙකුට ම සිය වැඩිහිටි ජීවිතය ආරම්භයේ දීම නිවසක් තනා ගැනීමට හෝ තමාගේ ම වූ ජීවන වෘත්තියක් ඇරඹීමට අවශ්‍ය මූල ධනය සහතික කර ගත හැකි වේ.

අද අතළොස්සක් අතර අතිශයින් සංකේන්ද්‍රණය වී ඇති ධන සම්පත් නිසා ජනගහනයෙන් 50% ක් පමණ වන අඩු ආදායම් ලබන ජන කොටස් අතර ගැවසෙන අල්ප ධනය රටේ සම්පූර්ණ සම්පත් ප්‍රමාණයෙන් 5% වඩා නො වැඩි වේ. දැන් පවතින ක්‍රමය අනුව පොහොසත් තරුණයන් අතළොස්සකට සිය දෙමව්පියන්ගෙන් බිලියන ගණනක මුදල් ප්‍රමාණයක් උරුම වන්නේ ය. නිකරුණේ සිටින කොටසකට මේ සා විශාල උරුමයක් ලැබෙන අතර අන් අයට කිසිවක් ම නො ලැබීම බෙහෙවින් අසාධාරණ ය.

සියල්ලන්ට ම මූලික ආදායමක් සහතික කළ යුතු ය යන යෝජනාවට තරමක දිගු ඉතිහාසයක් ඇත්තේය. 1796 දී තෝමස් පෙන් සිය Agrarian Justice නැමති පොතෙන් මූලික ආදායම් ලබා දීම සඳහා උරුම බද්දක් පැනවිය යුතු යැයි කියා සිටියේ ය. මෑතක දී ඇන්තනී ඇට්කින්සන් ද  අනුක්‍රමික උරුම බද්දක් මඟින් පාරිතෝෂික ගෙවීමේ ක්‍රමයක් යෝජනා කළේ ය. පිකෙටි යෝජනා කරන ක්‍රමය වන්නේ වාර්ෂික උරුම බද්ද සහ වත්කම් බද්ද යන ආදායම් මාර්ග දෙකම යොදා ගෙන සාර්වත්‍රික ප්‍රාග්ධන පාරිතෝෂික අරමුදලක් ඇති කිරීම යි. විෂමතාව සමනය කිරීමේ එක් වැදගත් පියවරක් Universal Basic Income හෙවත් සැමට මූලික ආදායමක් සහතික කිරීම පිළිබඳ යෝජනාව අපි මීළඟ පරිච්ඡේදයෙන් වැඩි දුර සාකච්ඡාවට ලක් කරමු.

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022


[1] Piketty, T. (2020), Capital and Ideology, New York: The Belknap Press of Harvard University Press, pp. 16-17, KE

[2] Piketty, T. (2020), Capital and Ideology, New York: The Belknap Press of Harvard University Press, p. 23 KE

[3] Piketty, T. (2020), Capital and Ideology, New York: The Belknap Press of Harvard University Press, pp 695, KE

[4] Paul A. Samuelson (1948) Economics: An Introductory Analysis, McGraw-Hill Book Company: New York, p.173

[5] https://taxfoundation.org/historical-income-tax-rates-brackets/ – retrieved on 14 Jan 2022

[6] Kaufmann. S & Stutze. I (2017) Thomas Piketty’s Capital in the 21st Century, New York: Verso, pp. 13-14

[7] ආර්ථික විද්‍යාඥ පෝල් සැමුවේල්සන් ගේ  Economics‍ කෘතියේ පළ වූ පරිදි 1947 ඇමෙරිකානු එක්සත් ජනපදයේ පැවැති පුද්ගල ආදායම් බදු ප්‍රතිශතය මේ යෝජනාවට අනුරූප ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: