මීට අවුරුදු හැත්තෑපහකට පෙර ජර්මනියේ නියුරම්බර්ග් නගරයේ යුක්තියේ මාළිගය යන නමින් හඳුන්වන ලද ගොඩනැගිල්ලේ අංක 600 දරණ අධිකරණ ශාලාවේ විත්ති කූඩුව 20 වන සියවසේ ජීවත් වූ ඉතාමත්ම අශෝභන චරිතවලින් පිරී තිබුණි: ඒ කූඩුව තුළ දෙවැනි ලෝක මහා යුද්ධයේ සතුරු පාර්ශවය මෙහෙය වූ හර්මන් ගොරිං, රුඩොල්ෆ් හෙස්, ජෝකිම් වොන් රිබෙන්ට්‍රොප් සහ හිට්ලර්ගේ තවත් ඉහළ පෙළේ නාසි සගයන් 18 දෙනක් ප්‍රධාන විත්ති කරුවන් ලෙස පෙනී සිටියහ. නියුරෙම්බර්ග් මහ නඩුව යන නමින් හැඳින්වුනු නියරෙම්බර්ග් නඩු විභාගය 1945 නොවැම්බර් 20 දින ආරම්භ වන විටත් යුධ අපරාධ යනුවෙන් අපරාධ විශේෂයක් ජාත්‍යන්තර නීතියේ නොතිබිනි.
1941-45 අතරතුර යුදෙව්වන්ට විරුද්ධව ජර්මන් වෛරය කුළු ගැන්වූ හිට්ලර්ගේ රජය වෙනත් කිසිවක් නිසා නොව හුදෙක් යුදෙව් ජාතිකයන්ව ඉපදීම නිසාම නොදරුවන්ද ඇතුළු මනුෂ්‍යන් මිලියන 5.4 මරා දමා තිබුනි.විශාලතම යුදෙව් සමූල ඝාතනය ලෙස සැලකුනේ ඔපෙර්ෂන් රයින්හාර්ඩ් නමින් හැඳින්වුනු 1942-1943 අතර දින 100ක් ඇතුලත පෝලන්ත යුදෙව්වන් මිලියන 1.7ක් මරා දැමීමයි. ඒ අයගෙන් බෙහෝ දෙනෙකු බෙල්සෙක්, සොබිබෝර් සහ ටෙබින්කා මිනිමරු කඳවුරු වල නොකඩවා ක්‍රියාත්මක වුණු ගෑස් කාමර වලට දමා මරා දැමිණි. බොහෝ මළසිරුරු සමූහ අදාහනාගාර වල පුලුස්සා තිබූ අතර මේ කඳවුරු වලට කෙලින්ම දුම්රිය මගින් ප්‍රවාහණය කල යුදෙව්වන්ගේ සංඛ්‍යා ලේඛන පිළිබඳ ලියකියවිලි චෝදකයන් විසින් සොයාගෙන තිබුනි. එහෙත් පසුව සොයාගත් කරුණුවලට අනුව හිට්ලර්ගේ සියලු ජනඝාතවලින් මරා දැමුණු යුදෙව්වන් සංඛ්‍යාව කලින් ඇස්තෙම්න්තු ගත කොට තිබුනාට වඩා බෙහෙවින් වැඩි බව තහවුරු විය.
යුද්ධ කාලය තුළ චේතනාත්මකව සිවිල් වැසියන් මරාදැමීම යුධ අපරාධයක් වශයෙන් මහ නඩුවෙන් පිළිගැනීමත් සමග නියුරෙම්බර්ග් මූලධර්ම වලින් හඳුන්වාදුන් ජාත්‍යන්තර නීතියේ නව යුගයක් උදාවිය. මිලියන සංඛ්‍යාත අහිංසකයන් ඝාතනය කිරීමේ වරදට ජර්මන් රජයේ නායකයන් තනි තනිව වග කිව යුතු බව න්‍යුරම්බර්ග් අධිකරණය තීන්දු කළේය. යුධ අපරාධයට අතිරේකව සාමයට එරෙහි අපරාධ, ආක්‍රමණීක යුද්ධයක් පැවැත්වීම සහ මානව වර්ගයාට එරෙහි අපරාධ පිළබඳ චෝදනාද න්‍යුරෙම්බර්ග් නඩු වලදී විභාග විය.දින 218 ක් තිස්සේ සිය ගණනක් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විභාග විය. ඔවුන්ගෙන් එක් අයෙක් වූයේ අවුෂ්විට්ස් මරණ කඳවුරේ අණදෙන නිලධාරි රුඩොල්ෆ් හෙස් ය. ‘කැලෑවක ගස් කපා දැමීමේ නියෝගයකට අවනතවාට සමාන ආකාරයට ඔහු මිනිසුන් මරා දැමීමේ නියෝගයට අවනත වීය’ යනුවෙන් චෝදක නිතීඥ විට්නි ආර් හැරිස් නඩු විබාගය ගැන සිය මතක සටහන් වල ලිවීය.
නඩු විභාගය අවසානයේ හිට්ලර්ගේ ගුවන් හමුදා ප්‍රධානියා සහ දකුණත් සව්වා වූ හර්මන් ගොරිංට තවත් 11 දෙනෙකු සමඟ මරණ දඬුවම නියම විය. අත්අඩංගුවට ගත නොහැකිව සැඟවුණු හිට්ලර්ගේ නියෝජ්‍ය නායක මාටින් බෝර්මන්ට විරුද්ධ චෝදනා ඔහු නැතිව විභාග විය. චූදිතයන් හත් දෙනෙකුට දිගු සිර දඬුවම් නියම වූ අතර තිදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලදී.තීන්දුවෙන් දින පහළොවකට පසු මරණ දඬුවම නියමවූවන් උසාවියට යාබද බන්ධනාගාරයේ එල්ලා මරා දමන ලදී. ඊට පෙර දින රාත්‍රියේ සිය සිරකුටියේදී වස පෙති ගිල දමා ගොරිං සියදිවි නසා ගත්තේය.
නඩු විභාගයේදී සාක්ෂි කූඩුව ළඟ සේවයේ නියුතුව සිටි අමෙරිකානු තරුණයකුවූ එමිලියෝ ඩිපාල්මා මේ වසර මුලදී මැසචුසෙට්ස් හි මහලු නිවාසයකදී කොරෝනා වෛරසය වැළඳී මිය ගියේය. යුධ සමයේදී ජර්මානුවන් සමඟ සටන් වැදීමෙන් පසු, 19 හැවිරිදි ඩිපල්මාට න්‍යුරෙම්බර්ග් උසාවියේ මුරභටයෙකු ලෙස සේවය කිරීමේ වගකීම පැවරුණේය. සාක්කි කූඩුව ළඟ සේවයේ නිරත වූ ඔහු සාක්ෂිකරුවන් යුධ අපරාධවල කුරිරු ස්වභාවය අනාවරණය කරන විට හිට්ලර්ගේ නියෝජිතයන් මුහුණු වලින් මතුවන හැඟීම් දෙස විමසිල්ලෙන් බලා සිටියේය. “ඕනෑම මිනිසෙකුට මෙවැනි කුරිරු දේ වෙනත් කෙනෙකුට කළ හැකි යැයි අද දක්වාම මට විශ්වාස කළ නොහැකිය” යනුවෙන් ඩිපල්මා පසුව සිය මතක සටහන් වල ලීවේය.
ප්‍රථම අන්තර්ජතික අපරාධ යුක්ති විනිශ්චය සභාව ලෙස සැලකිය හැකි න්‍යුරම්බර්ග් මහ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සැමරීම අදටත් වැදගත් වන්නේ වර්ගවාදය පිළිබඳ අසත්‍ය විශ්වාස නිසා මිනිසුන් නොමිනිසුන් බවට පත්වී “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ” සහ “ජන ඝාතය” කිරීමට පෙළඹෙන බව එය අපට නිරන්තරයෙන් සිහිගන්වන බැවිනි. එම සිද්ධියට මුහුණ නොදුන් අපේ යොවුන් පරම්පුරට න්‍යුරෙම්බර්ග් නඩු විබාගය හැදෑරීමට පාසැල් අධයාපනය තුළ අවස්ථාවක් ලබා දීම වැදගත්ය.නියුරෙම්බර්ග් නඩු විභාගය නිසා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ මූලධර්මය තහවුරු නොවන්නට යුගෝස්ලෝවියාව හා රුවන්ඩාව පිළිබඳ අන්තර්ජාතික අපරාධ අධිකරණ හෝ ස්ථිර අන්තර්ජාතික අපරාධ අධිකරණය බිහි නොවන්නට ඉඩ නොතිබුනි. ජනඝාතය පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය අනුමත නොවන්නට ඉඩ තිබුනි. ලන්ඩනයේදී චිලියේ හිටපු ඒකාධිපති පාලක අගොස්ටෝ පිනෝචේ අත් අඩංගුවට පත්නොවන්නට ඉඩ තිබුණි. මතක තබාගත යුත්තේ රටක සෛවරීයත්වයේ නාමයෙන් තම රටතුළ වෙසෙන කිසිදු මනුෂ්‍ය කොටසක් සමූහ ඝාතනය කිරීමට හෝ අමානුෂික වද හිංසනයට ලක් කිරීමට කිසිදු රටක ආණ්ඩු කරවන අයට අයිතියක් නැති බවයි. රටවැසියන් වීමට පෙර සිටම අප සියල්ලෝම ආදරය කිරීමට කැමැති හා ආදරයට ලක්වීමට කැමැති සාමාන්‍ය මනුෂ්‍යයෝය. (ඒ අතරින් ඖෂ්ට්ස්විෂ් කඳවුරේදී මරා දැමු මිනිසුන්ගේ පාවහන් වලින් කොටසක ඡායාරූපයක් පහතින් දැක්වේ)
