විචක්ෂණ ජනමාධ්‍ය සම්ප්‍රදායක් ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ප්‍රවර්ධනය කිරීම

ලංකාවේ ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කතිකාව, හුදෙක් අපට අවශ්‍ය වන්නේ ජනාධිපති ප්‍රමුඛ කරගත් පාලන ක්‍රමයක්ද අගමැති හා කැබිනට් ම්ණ්ඩලය ප්‍රමුඛ කරගත් පාලන ක්‍රමයක්ද යන සම්‍ප්‍රදායික දෘෂ්ටියෙන් ගලවා ගෙන ආණ්‍රඩුක්‍රම ව්‍යවස්ථා මගින් ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කරන ජන සමාජය කෙබඳු එකක් විය යුතුද යන වැදගත් කාරණය මුල් කරගෙන මෙහයවිය  යුතුය. ඒ අනුව ජන සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය ඵලදායක ලෙස තහවුරු කිරීමට අතය්‍යවශ්‍ය සාධකයක් වන ස්වාධීන, බහුවිධ හා විචක්ෂණ ජනමාධ්‍ය ක්ෂේත්‍රයක් බිහි කිරීමේ අවශ්‍යතාවය නොසලකා දියුණු නූතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ දැනුවත් කතිකාවක් කළ නොහැකිය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා කෙටුම්පතක් යෝජනා කිරීමට ආණ්ඩුව විසින් ජේෂ්ඨ නිතීඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ. මේ කමිටුවට යෝජනා එවන ලෙස කළ ඉල්ලීමකට අනුව මම ද ව්‍යවස්ථාවට අඩංගු විය යුතු වැදගත් කරුණු තුනක්  යෝජනා කළෙමි. එහෙත් ඒවා මින් පෙර පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල ඒ ආකාරයෙන් සඳහන් වූ ඒවා නොවේ.  ලිපියේ අදහස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට එම යෝජනා ඇතුළත් විය යුත්තේ මන්ද යන්න පැහැදිළි කිරීමයි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු තමන් වාසය කරන රාජ්‍ය නමැති භූගෝලීය ඒකකය සමන්විත විය යුත්තේ හා එහි පාලනය පවත්වාගෙන යා යුත්තේ කෙසේද යන්න පිළිබඳව රට වැසියා එකඟ වී ඇති ආකාරය සම්මුති ගත කරන කරන ලියවිල්ලකි. මහජනතාව මැතිවරණ පවත්වා තම නියෝජිතයන් තෝරා පත්කරගන්නේ එම ව්‍යවස්ථාවේ අඩංගු සම්මුති අනුව කටයුතු ඉටු කළයුතුය යන කොන්දේසිය යටතේය.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ අනුල්ලංඝනීය මූලික නීතිය වශයෙන් සැලකෙන අතර ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරගන්නා අනෙකුත් නීති විධිවිධාන හා කාර්ය පටිපාටිද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල විය යුතුය.

සම්ප්‍රදායික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටක නීති සම්පාදනය කරන ව්‍යවස්ථාදායකය, ආණ්ඩු කරන විධායකය සහ යුක්තිය පසිඳන අධිකරණය යන ආයතන තුන සකස්විය යුත්තේ කෙසේද යන්න විස්තර කරයි. සාමූහිකව රටවැසියන් සතුව ඇතැයි සැලකෙන මහජන පරාමාධිපත්‍ය නිරූපණය වන ආකාරයට ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන ආයතන ත්‍රිත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙන් විස්තර වියයුතු බව පොදු පිළිගැනීමයි. ඒ හැර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තවත් වැදගත් අංගයක් වන්නේ රටවැසියන්ට ඇති අයිතිවාසිකම් මොනවාද යන්න නිශ්චිතව දැක්වීමයි. එහෙත් නූතන ආණ්‍රඩුක්‍රම ව්‍යවස්තාවක් පිළිබඳ සාකච්‍ඡාව හුදෙක් රාජ්‍යයේ සම්ප්‍රදායික ව්‍යුහය පිළිබඳ සාකච්‍චාවක් වීමටත් වඩා වැදගත් වන්නේ එවැනි ව්‍යවස්ථාවක් මගින් සම්පාදනය කරන රාජ්‍ය ව්‍යුහයේ ප්‍රජාතාන්ත්‍රික පැවැත්ම සමාජයේ මැදිහත් වීම තුළින් ඵලදායක ලෙස  සහතික කරන්නේ කෙසේද යන්නයි.

ඒ අනුව ව්‍යුහාත්මක වශයෙන් බැලුවද නූතන රාජ්‍ය ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුනෙන් පමණක් සමන්විත වන බව කීම නිවැරදි නොවේ. අවශ්‍යයෙන්ම රටක ජනමාධ්‍යයද නූතන රාජ්‍යයේ වැදගත් අවියෝජනීය අංගයකි. රාජ්‍යයට සෘජුව සම්බන්ධවන  ආයතනයක් නොවූවද ස්වාධීන හා විචක්ෂණ ජනමාධ්‍යය ක්ෂේත්‍රයකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිහිටුවනු ලබන ව්‍යවස්ථාදායකට, විධායකයට හෝ අධිකරණයට ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මක් නොමැත. ස්වාධීන ජනමාධ්‍යයක පැවැත්මකින් තොරව රටවැසියන්ගේ අයිතිවාසිකම් සාක්ෂාත් කරගැනීම අසීරුය. ජනමාධ්‍යයේ ස්වාධීනත්වය තහවුරු නොකොට නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්විය නොහැක. අනෙක් අතට ජනමාධ්‍යටද ජනතා පරමාධිපත්‍ය නිරූපණය වන ආකාරයට පොදු යහපත තකා කටයුතු කිරීමේ අත්හැරිය නොහැකි වගකීමක් තිබේ. මහජනතාව විසින් දිනපතා තරඟකාරී ලෙස ජනමාධ්‍ය තෝරාගනු ලබන්නේ එම වගකීම ජනමාධ්‍යයේ මූලික අරමුණ විය යුතු නිසාය. ඒ කටයුත්ත නිසිලෙස ඉටුවන්නේ ජනමාධ්‍යයේ ස්වාධීනත්වය, බහුවිධත්වය හා විචක්ෂණබව ප්‍රවර්ධනය වී ඇති  ප්‍රමාණයට අනුවයි.  

එමෙන්ම ස්වාධීන හා විචක්ෂණ ජනමාධ්‍ය ක්ෂේත්‍රයකින් තොරව ආණ්ඩුව ව්‍යවස්ථානුකූලව ආණ්ඩු කටයුතු කරන්නේද යන්න මහජන සංනිරීක්ෂණයට ලක් කිරීම කළ නොහැක. ඒ නිසා නූතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක පැවැත්ම හා ඒ පිළිබඳ ජන සංනිරීක්ෂණය සහතික කිරීමේ ලා අත්‍යවශ්‍යවන ජනමාධ්‍යයේ ස්වාධීනත්වය, බහුවිධත්වය හා විචක්ෂණ භාවය තහවුරු කරන විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සෘජුවම අඩංගු වීම වැදගත්ය. ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‍රඩුක්‍රම ව්‍යවස්ථාවල ඒ සඳහා විශේෂයෙන් සම්පාදිත වගන්ති අඩංගු වේ. ඒ අනුව මා යෝජනා කරන කරුනු තුන අතර පළමු කොටම හුදෙක් ප්‍රකාශනයේ නිදහස  සහතික කිරීම පමණක් නොව එය ඉටුවන ආකාරයට ජනමාධ්‍ය ප්‍රවර්ධනය විය යුත්තේ කෙසේ ද යන්නද යෝජිත ආණ්‍රඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු විය යුතුය. ඒ සඳහා උචිත ව්‍යවස්ථා වගන්ති ඇතුළත් කොටස මෙසේ කෙටුම්පත් කළ හැකිය.

  1. කිසිදු සීමාකිරීමකින් තොරව තමන්ට අභිමත මතයක් දැරීමට හැම දෙනෙකුටම නිදහස ඇත්තේය.( Everyone shall have the right to freedom of opinion without any limitation.)
  • හැම දෙනකුටම ප්‍රකාශනයේ නිදහස ඇත්තේය. ඕනෑම මාධ්‍යක් ඔස්සේ තොරතුරු සෙවීම, ලබා ගැනීම සහ යැවීමට ඇති අයිතියද එම නිදහසට අයත්ය. (Everyone shall have the right to freedom of expression, which includes the right to seek, receive and impart information through any media.)
  • ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ අන්‍යන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ජාතික ආරක්ෂාව, මහජන සාමය, මහජන සෞඛ්‍ය සහ මහජන සදාචාරය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වන ප්‍රමාණයට නීතියෙන් පණවා ඇති විධිවිධාන වලට අනුව මිස ප්‍රකාශනය හෝ මාධ්‍ය හෝ සඳහා වූ නිදහස සම්බන්ධයෙන් කිසිදු සීමාවක් නොපැනවිය යුත්තේය.( No restrictions shall be placed on freedom of expression or of the media except as provided by law where necessary in a democratic society to protect the rights of others, national security, public order, public health or public morals.)
  • ප්‍රකාශනයේ නිදහසට (Freedom of the expression includes):
  1. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ප්‍රචාරණය, අන්තර්ජාලගත හෝ වෙනත් ඕනෑම ක්‍රමයක් මත පදනම් වූ මාධ්‍ය ආයතන පිහිටුවීම හා පවත්වාගෙන යාමේ නිදහස; (The right to found and operate media outlets, whether print, broadcast, online or any other kind.)
  • භාවිතයේදී සියලු මාධ්‍ය සහ මාධ්‍ය ආයතන වල නිදහස සහ ස්වාධීනත්වය දේශපාලන බලපෑම් වලින් තොරව පවත්වා ගැනීමේ නිදහස; (Protection in practice for the freedom and independence of all media entities from political power.)
  • ඕනෑම ජන සංනිවේදන මාර්ගයක් ඔස්සේ නිත්‍ය කටයුත්තක් හෝ වෘත්තීය කටයුත්තක් ලෙස තොරතුරු එකතු කිරීම හා මහජනතාවට තොරතුරු සැපයීම කරන ඕනෑම තැනැත්තෙකුට තොරතුරු ප්‍රභවයන්ට ප්‍රවේශ වීමට සහ, අන්‍යන්ගේ වැඩි ප්‍රමුඛතාවයක් ඇති අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස නිසි අධිකරණයක් මගින් ප්‍රභවය හෙළිකරණ ලෙස ඉල්ලා සිටින අවස්ථාවකදී හැර, රහසිගත තොරතුරු ප්‍රභවයක අනන්‍යතාවය හෙළිදරව් නොකිරීමට ඇති නිදහස; (The right of everyone who is regularly or professionally engaged in the collection and dissemination of information to the public via any means of mass communication to access sources of information and not to identify a confidential source of information, subject only to a court requiring source disclosure where necessary to protect the overriding rights of others.)
  • සියලු මාධ්‍ය ආයතනවල හිමිකරුවන් පිළිබඳව සහ එම මාධ්‍ය ආයතනවල අරමුදල් සාක්ෂාත් කරගැනීමේ මාර්ග පිළිබඳ තොරතුරු වලට ප්‍රවේශවීමට මහජනතාවට ඇති නිදහස; (The right of the public to have access to information about the owners of all media entities and the means by which those entities are financed is guaranteed.)
  • පුළුල් පරාසයක මතවාද සහ පර්යාලෝකවලට මාධ්‍ය ඔස්සේ ප්‍රවේශවීමට  මහජනතාවට හැකිවන සේ මාධ්‍ය අයිතිය සංකේන්ද්‍රණය වීම වැලැක්වීම කාර්යසාධක ලෙස ඉටුකරන නීතිද  ඇතුළත්ව මාධ්‍ය බහුවිධත්වය ප්‍රවර්ධනය කිරීම පිණිස රජය බැඳීසිටීම; (An obligation on the State to take positive measures to promote media diversity so that the public can have access to a wide range of views and perspectives through the media, including as a result of effective rules to prevent undue concentration of media ownership.)
  • කිසිදු පූර්ව වාරණයකට මාධ්‍ය ලක් නොකිරීම (The absence of any prior censorship of the media ) සහ
  • සිය අයිතිවාසිකම් සහ වෘත්තීය අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම පිණිස වෘත්තීය සමිති පිහිටුවීමට මාධ්‍ය සේවකයන්ට ඇති නිදහස ද අයත්ය; (The right of media workers to found unions and other associations so as to advance their rights and interests. )
  • පුවත්පත්, වෙනත් ඕනෑම මුද්‍රිත ප්‍රකාශනයක් හා අන්තර්ජාලගත මාධ්‍යක් පළකිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කිසිදු පූර්ව පරිපාලන අනුමැතියක්, සුදුසුකමක් හෝ බැඳුම්කරයක් අවශ්‍ය නොවේ. (The right to publish newspapers, any other printed publication and online media shall not require any prior administrative authorisation, bond or qualification.)

එම වගන්ති වලින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ ම කොටස ලෙස ජනමාධ්‍ය පවත්වාගෙන යාමට අවශ්‍ය වන විදි විධාන අඩංගු වේ. ඇමෙරිකානු ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවට 1791දී කරන ලද ප්‍රථම සංශෝධනයෙන් අමෙරිකාවේ රටවැසියන්ගේ සංනිවේදන අවශ්‍යතා ඉටුකිරීම සහතික කරනු වස් ව්‍යවස්ථාදායකය  විසින් නොකළ යුතු දේවල් මොනවාදැයි නියම කර තිබේ. ඒ අනුව කථා කිරීමේ නිදහස, පුවත් පත් නිදහස හා රැස්වීමේ නිදහස සීමා කරන කිසිදු නීතියක් ව්‍යවස්ථාදායකය විසින් නොපැනවිය යුතුයැයි ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රථම සංශෝධනයෙන් නියම විය.  එකල ජනමාධ්‍ය වශයෙන් පැවතුනේ පුවත් පත් පමණි. පොදු දේපළක් වන ගුවන් තරංග භාවිතා වන ගුවන් විදුලිය වැනි විද්‍යුත් මාධ්‍ය ඇරඹීමට තවත් වසර 120ක් පමණ ගතවිය. එහෙත් විද්‍යුත් මාධ්‍ය හදුන්වාදීමත් සමග ඒවායේ ප්‍රවර්ධනය අයිතිකරුවන්ගේ පුද්ගලික අවශ්‍යතා ඉක්මවා පොදු යහපත මුල් කරගැනීම අරමුණ කොට නියාමනය කිරීම පිණිස අමෙරිකානු ව්‍යවස්ථාදායකය ෆෙඩරල් සංනිවේදන කොමිසම පිහිටුවීය. ජනමාධ්‍ය නිදහස සීමාකෙරෙන නීති පැනවීම ප්‍රථම ව්‍යවස්ථා සංශෝධනය අනුව ව්‍යවස්ථාදායක සභාවට තහනම් ව තිබූ නමුදු ජනමාධ්‍ය ප්‍රවර්ධනය කිරීමේ වගකීම ඉටු කිරීමට සඳහා නීති සැකසීම ඉන් වළකා නොතිබිනි.  

ඇමෙරිකානු ශේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දී ඇති පරිදි ව්‍යවස්ථාවට එක් කළ ප්‍රථම සංශෝධනයේ පරමාර්ථය සත්‍ය දැනගැනීම පිණිස අත්‍යවශ්‍යවන නිදහස් අදහස් හුවමාරු පොළක් ඇති කිරීම මිස එම අදහස් හුවමාරු පොළ  රජයේ හෝ විද්‍යුත්මාධ්‍ය බලපත්‍ර හිමි පුද්ගලයන්ගේ ඒකාධිකාරයකට ලක් කිරීම නොවේ. ජන මාධ්‍ය පදනම කරගත් එම නිදහස් අදහස් හුවමාරුපොළ ආණ්ඩු කරවන අයගේ හෝ ජනමාධ්‍ය හිමියාගේ පෞද්ගලික අභිමථාර්ත අනුව නොව පොදු යහපත තකා පවත්වා ගත යුතු එකකි. පොදු යහපත මුල්කර ගෙන පොදු කටයුතු සම්බන්ධ කතිකාව පවත්වාගෙන යාම යනු හුදෙක් අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳ පුද්ගලික අයිතියක් තහවුරු කිරීම පමණක් ම නොවේ. එය ඊටත් එහා යන, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමයක මහජනතාවගේ ස්වයංපාලනය සාමූහිකව තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය වන සංනිවේදනයේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වබාවය තහවුරු කිරීමේ ලා මූලික සාධකයකි. සමාජයීය, දේශපාලනික, සෞන්දර්යාත්මක, සදාචාරාත්මක කරුණු ගැන සහ වෙනත් අදාළ එදිනෙදා සිදුවීම් කරුණු කටයුතු සහ අත්දැකීම් සම්බන්ධ කතිකාවට මැදහත්වීමට අවශ්‍ය නිරවද්‍ය තොරතුරු ලබා ගැනීම මහජනතාවගේ මූලික අයිතියකි.

නිරවද්‍ය තොරතුරු නෙමැතිව රටවැසියන්ට හා ඔවුන් විසින් පත් කරනු ලබන නියෝජිතයන්ට ආණ්ඩුකරණයට සහබාගිවිය නොහැකිය. ජනමාධ්‍යවේදය යනු තොරතුරු සැපයීම පමණක් නොව එම තොරතුරු වල නිරවද්‍යතාවය සහතික කිරීමේ ශික්ෂණයක් ලෙස සැලකෙන්නේ එකී තොරතුරු සැපයීම මූලික වශයෙන්ම සිදුවන්නේ ජනමාධ්‍ය ඔස්සේ බැවිනි.  ආණ්ඩු කරන අයගේ ව්‍යවස්ථාපිත වගකීම සාක්ෂාත් කරවාගත හැකිවන්නේ රටවැසියන් සහ ඔවුන් විසින් තෝරාපත් කරගන්නා පාලකයින් අතර සංසරණය වන තොරතුරු වල අසමමිතිය අඩුවන තරමටය. එම නිසා අදහස් ප්‍රකාශ කිරීම, ඕනෑම මාධ්‍යක් ඔස්සේ තොරතුරු සෙවීම, ලබා ගැනීම සහ යැවීමට ඇති අයිති පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක පුරවැසි අයිතිවාසිකම් යටතේ සඳහන් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. එම අයිතිය වැඩදායක ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍යවන ස්වාධීන ආයතන එනම් ජනමාධ්‍ය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍යයේ වගකීම සහ කාර්යභාරයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ඇතුලත් වීම අතිශයින් වැදගත්ය.

මේ හා සම්බන්ධ වඩා මෑත කාලීන උදාහරණයක්  1933 සිට පැවති පෘතුගාලයේ ඒකාධිපති ආණ්ඩුව කානේෂන් විප්ලවය නමින් හැදින් වුණු  මහජන නැගිටීමෙන් පෙරළා දැමීමෙන් පසු 1976දී පිහිටුවාගත් වර්තමාන ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවෙන් ගෙන හැර දැක්විය හැකිය. පෘතුගාල ව්‍යවස්ථාවේ 39 වැනි වගන්තියට අනුව ජනමාධ්‍ය නිදහස හා බහුවිධත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ස්වාධීන ආයතනයක් පිහිටවිය යුතු බව ව්‍යවස්ථාව මගින්ම නිර්දිෂ්ඨ කර තිබේ. එම ස්වාධීන ආයතනයට පැවරෙන කාර්යය අතර තොරතුරු ලබා ගැනීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම, මාධ්‍ය අයිතිය පිළිබඳ ඒකාධිකාර ඇතිවීම වැළැක්වීම, දේශපාලනික හා ව්‍යාපාරික ඇඟිලි ගැසීම් වලින් මාධ්‍ය නිදහසට තර්ජන පැමිණීම වැළැක්වීම, ජන මාධ්‍ය කටයුතු නියාමනය වන වෘත්තීය විධිවිධාන වලට ගරු කිරීම සහතික කිරීම ද වෙයි.  බහුවිධත්වය ප්‍රවර්ධනය වන ලෙස විද්‍යුත් මාධ්‍යවලට බලපත් ලබා දීම සහ පක්ෂග්‍රාහී නොවී පොදු යහපත මුල් කොට ඒවා කටයුතු කරන්නේද යන්න සංනිරීක්ෂණය කිරීම ද පැවරෙන්නේ මේ ස්වාධීන ආයතනයටයි.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම පෙන්වා ඇති පරිදි ආයතනික ස්වාධීනත්වය සුරැකෙන ලෙස සම්මත කරගත් නීතියක් මගින් එම ආයතනය පිහිටුවිය යුතුය.

එසේ ව්‍යවස්ථාපිත ස්වාධීන ආයතනයක පැවැත්ම තම වෘත්තිය නිදහස අගයන ජනමාධ්‍යවේදීන්ටද සවියකි. මන්ද එම ආයතනයේ මූලික වගකීමක් වන්නේ ජනමාධ්‍යයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වන බැවිනි. ජනමාධ්‍යයේ ස්වාධීනත්වය හා බහුවිධත්වය ප්‍රවර්ධනය කිරීමට අතිරේකව ජනමාධ්‍යකරුවන්ගේ වෘත්තීය නිදහස සහ වෘත්තීය විචක්ෂණ භාවය සාක්ෂාත් කිරීම සඳහාද එවැනි ස්වාධීන ආයතනයකට කළ හැකි කටයුතු බෙහෝය. ඒ අනුව විශේෂයෙන් මහජන මතය හැඩගැස්වීමේ ලා මහත් බලපෑමක් කළ හැකි විද්‍යුත් මාධ්‍ය ප්‍රචාරණය සම්බන්ධයෙන් එම කටයුත්ත ඉටු කිරීම අරමුණු කරගත් වගන්ති කිහිපයක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාක පහත දැක්වෙන ආකාරයට කෙටුම්පත් කළ හැකිය:

විද්‍යුත් ප්‍රචාරණ මාධ්‍ය නියාමනය (Broadcast Regulation):

  1. ආණ්ඩුවෙන් සහ විද්‍යුත් ප්‍රචාරණ මාධ්‍ය ක්ෂේත්‍රයෙන් ස්වාධීනව විද්‍යුත් ප්‍රචාරණ මාධ්‍ය බලපත්‍ර නිකුත් කිරීම, අළුත්කිරීම සහ අහෝසි කිරීමද ඇතුළත්ව පොදු යහපත තකා විද්‍යුත් ප්‍රචාරණ මාධ්‍ය නියාමනය කිරීම පිණිස ස්වාධීන විද්‍යුත් ප්‍රචාරණ මාධ්‍ය කොමිසමක් තිබිය යුතුය. (There shall be created a Broadcasting Commission which is independent from government and the broadcasting sector which shall regulate broadcasting including by issuing, renewing and revoking broadcast licences.)
  • පුරවැසියන්ගේ ඥානෝද්දීපනයට සහ ඒ අනුව (අ) ගුණාත්මක තොරතුරු මත පදනම්ව දැනුවත් තීරණ ගැනීමට, (ආ) කතිකාමය ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්වය ශක්තිමත් කිරීමට සහ (ඇ) ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණශීලීත්වය හා සංස්කෘතික ප්‍රකාශනය පෝෂණය කිරීමට පුරවැසියන් සබල ගැන්විය හැකි සඵලදායක බහුත්වවාදී ගුවන් විදුලි හා රූපවාහිනී විද්‍යුත් ප්‍රචාරණ මාධ්‍ය පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම ස්වාධීන විද්‍යුත් ප්‍රචාරණ මාධ්‍ය කොමිසම විසින් ඉටු කළ යුතුය. (The Broadcasting Commission shall foster an effective pluralistic radio and television broadcasting system which enables citizens to enlighten themselves and thereby (a) to make informed decisions based on quality information; (b) to strengthen discursive democratic participation; and (c) to enrich the creativity and cultural expressions of Sri Lankan .)
  • ගුවන් විදුලි හා රූපවාහිනී විද්‍යුත් ප්‍රචාරණ සේවා පවත්වාගෙන යාම ස්වාධීන විද්‍යුත් ප්‍රචාරණ මාධ්‍ය කොමිසම විසින් නිකුත් කරනු ලබන ප්‍රචාරණ බලපත්‍රයකට අනුව සිදුවිය යුත්තකි. අනෙකුත් කරුණු වලට අතිරේකව එම බලපත්‍රය විද්‍යුත් ප්‍රචාරණ මාධ්‍ය විවිධත්වය ප්‍රවර්ධනය කිරීමට සහ  ගුණාත්මක තොරතුරු ග්‍රාහකයන්ට බෙදා හැරීමට සේවය කරණු වස් නීතිය මගින් නියම කරන පරිදි තරඟකාරී ප්‍රසිද්ධ තේරීම් ක්‍රමයකට අනුව නිකුත් කළ යුතුය. (The provision of a radio or television broadcasting service shall be subject to having a licence issued by the Broadcasting Commission, which shall be granted through a competitive public selection process as defined by law which serves, among other things, to foster diversity in broadcasting and to promote the dissemination of quality content to viewers and listeners.)
  • ප්‍රචාරණ බලපත්‍රයේ කොන්දේසියක් ලෙස සියලු විද්‍යුත් ප්‍රචාරණ මාධ්‍ය ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු ඇතුලත් වැඩසටහන් අපක්ෂපාතී හා සාධාරණ ලෙස ඉදිරිපත් කළයුතුය. (Broadcasters shall, as a condition of their licences, be required to present the news and current affairs programming overall in a balanced and impartial manner.)

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‍රඩුක්‍රමයක පැවැත්ම මූලික වශයෙන්ම රඳා පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවේ සරුබව හා විශ්වාසදායක බව මතය. එම කතිකාව සාර්ථක වීමට මහජනතාවට ලැබෙන තොරතුරු වල නිරවද්‍යතාවය සහ ගුණාත්මක විශිෂ්ටත්වය ඉතා වැදගත්ය. ලාභය ඉපැයීම පදනම් කරගත් පෞද්ගලික වාණිජ මාධ්‍ය බෙහෙවින් කැමැත්ත දක්වන්නේ වැඩිම ග්‍රාහකයන් පිරිසක් ග්‍රහණය කරගැනීමට හැකි ජනප්‍රිය ගණයේ වැඩසටහන් ප්‍රචාරය කිරීමටය. ග්‍රාහකයන් වැඩිප්‍රමාණයක් අල්ලා ගැනීමට හැකිවන පමණට ප්‍රචාරයට ලැබෙන වෙළඳ දැන්වීම් ප්‍රමාණයද වැඩිය. මේ නිසා හුදෙක් පෞද්ගලික වාණිජ විද්‍යුත් මාධ්‍ය මගින් පමණක් ම පරිපූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක් පවත්වාගෙන යාම උගහටය. ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවට අවශ්‍ය එහෙත් බහුජනතාව අතර තත්කාලීනව ජනප්‍රිය නොවන වැදගත් දෘෂ්ටිකෝණ හා කරුනු කාරණා කොතෙකුත් පවතී. මහජන පරිමණ්ඩලය පුලුල් කරමින් ඒවාට අබිමුඛ වීමට රටවැසියන්ට අවස්ථාවක් ලබා දීමකින් තොරව සමාජයකට මුහුණ දීමට සිදුවන විවිධ අභියෝග වලට මුහුණ දීම සම්බන්ධ ඵලදායක ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවකට අවශ්‍ය ඥානය උද්දීපනය කළ නොහැකිය. හැරත්  හුදෙක් වාණිජ විද්‍යුත් මාධ්‍ය මත පමණක් රඳා සිටීම නොයෙකුත් සුවිශේෂ ප්‍රජා කොටස්, වයස් කණ්ඩායම් සහ සුවිශේෂ කරුණු වටා සංවිධානය වන ප්‍රජා හා දේශපාලන කණ්ඩායම් විසින් මතු කිරීමට උත්සාහ කරන වැදගත් විෂය කරුණු පිළිබඳ සමාජ අවබෝධයක් ඇතිවන කතිකා බිහිකිරීම උගහටය. එහි ප්‍රතිඵලය විය හැක්කේ එවැනි ජන කණ්ඩායම් සහ ඔවුන්ගේ දෘෂ්ටිකෝණ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවෙන් බැහැර වීමයි. ඒ නිසා වාණිජ විද්‍යුත් මාධ්‍ය වලට ඌණපූරණයක් මෙන්ම ගුණාත්මකව අභියෝගයක් විය හැකි විශිෂ්ටත්වය අතින් ඉහළ වැඩසටහන් ඉදිරිපත් කිරීම අරමුණ කරගත් ස්වාධීන පොදසේවා විද්‍යුත් මාධ්‍ය ආයතනයක් පිහිටුවීම සහ ඒ සඳහා ප්‍රමාණවත් අරමුදුල් සැපයීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම නිර්දිෂ්ට කිරීම අත්‍යවශ්‍යය වේ.

පෘතුගාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහි 38 වෙනි ජෙදයේ අවසාන වගන්ති තුනෙන් එවැනි මහජන සේවා විද්‍යුත්මාධ්‍යක අවශ්‍යතාවය පැහැදිලිව නිර්දිෂ්ට කර තිබේ. එම ජේදයේ පස්වැනි, හයවැනි සහ හත්වෙනි වගන්ති වලින් කියවෙන පරිදි මහජන සේවා ගුවන්විදුලි හා රූපවාහිනී ආයතනයක පැවැත්ම සහ ක්‍රියාකාරීත්වය රාජ්‍ය විසින් සුරක්ෂිත කළ යුතුය. මහජන සේවා විද්‍යුත් මාධ්‍ය ආණ්ඩුවෙන් සහ ආණ්ඩු කරවන අයගෙන් ස්වාධිනව කටයුතු කිරීමට හැකිවන ලෙස පිහිටවිය යුතු බවද පෘතුගාල ව්‍යවස්තාවේ වෙසෙසින් සඳහන් වේ.

මගේ යෝජනාවේ තුන්වැනි අංගය ලෙස එම අවශ්‍යතාවය කෙටුම්පත් කර ඇත්තේ මෙසේය.

මහජන සේවා විද්‍යුත්  මාධ්‍ය (Public Broadcasting Service):

  1. ශ්‍රී ලාංකිකයන් පරිපූර්ණව දැනුවත් කිරීම, ගුණාත්මක රස වින්දනයක් හා අධ්‍යාපනයක් සැපයීම සඳහා ස්වාධීන ගුවන් විදුලි හා රූපවාහිනී සේවා පවත්වාගෙන යාම පිණිස  සහ ශ්‍රී ලංකා මහජන සේවා විද්‍යුත් මාධ්‍ය (Public Service Broadcasting) ආයතනය නමින් ආයතනයක් පිහිටුවනු ලැබේ. (There is hereby created the Sri Lanka Public Broadcasting Service (SLPBS) which shall provide a public radio and television service to inform, entertain and educate Sri Lankans.)
  • ශ්‍රී ලංකා මහජන සේවා විද්‍යුත් මාධ්‍ය ආයතනය ආණ්ඩුවෙන්,මහජන අධිකාරී වලින්, නිලධාරීන්ගෙන්, දේශපාලන පක්ෂ සහ ක්‍රියාධරයන්ගෙන් ස්වාධීන වූ ආයතනයක් වන අතර එමආයතනයේ ස්වාධීනත්වය තහවුරු කෙරෙන අන්දමින් පත් කරනු ලබන මණ්ඩලයක් මගින් පාලනය කරනු ලබයි. (SLPBS shall be independent from the government, public authorities, officials, and political parties and actors, and shall be governed by a board which is appointed in a manner that ensures the SLPBS’ independence.)
  • ශ්‍රී ලංකා මහජන සේවා විද්‍යුත් මාධ්‍ය ආයතනය මගින් ඉදිරිපත් කරන වැඩසටහන්වල අන්තර්ගතය විශිෂ්ටත්වයෙන්, ගුණාත්මක බවින් සහ අපක්ෂපාතීත්වයෙන් ඉහළ විය යුතු අතර සමස්ත මහජනතාවටත් සහ මහජනතාවගේ අවශ්‍යතාවලට සමස්තයක් ලෙසත් ඒ මගින් සේවය සැලසිය යුතුය. (The content offered by SLPBS shall serve the public as a whole and the overall public interest, and it should be distinctive, high quality and impartial.)
    •  
  • හුදෙක් අසන්නන් ගේ ප්‍රමාණය වැඩි කරගන්නවා වෙනුවට ශ්‍රී ලංකා මහජන සේවා විද්‍යුත් මාධ්‍ය ආයතනය සියලු අසන්නන්ට, ප්‍රජා සමූහයන්ට සහ වයස් කණ්ඩායම් වලට සේවය කළ යුතුය.  ඒ අනුව හැමකෙනෙකුටම තමන්ට වැදගත් යැයි සැලකෙන විෂය ක්ෂේත්‍රවලට අදාළ වැදගත් කරුණු ශ්‍රී ලංකා මහජන සේවා විද්‍යුත් මාධ්‍ය ආයතනය විසින් සම්පාදනය කරනු ලබන වැඩසටහන් ඔස්සේ ආමණ්ත්‍රණය කරවා ගැනීමටත් ඒ හා අදාළ පර්යාලෝක සහ අදහස් විකාශනයටත් අවස්ථාව සැලසිය යුතුය. (SLPBS shall serve all audiences, communities and demographic groups across the country rather than merely seek to maximise audience share, so that everyone can have issues of importance to them addressed via SLPBS and have their perspectives and views aired.)
  • මෙහි නිර්ණය කර ඇති කාර්යභාරය ඉටු කිරීමට ප්‍රමාණවත් මහජන අරමුදල් ශ්‍රී ලංකා මහජන සේවා විද්‍යුත් මාධ්‍ය ආයතනයට ලැබිය යුතුය.  (SLPBS shall benefit from adequate public funding to enable it to carry out its mission as defined here.)

වාණිජ විද්‍යුත් මාධ්‍ය වලට අතිරේකව මහජන අරමුදලින් පවත්වාගෙන යන ස්වාධීන මහජන සේවා විද්‍යුත් මාධ්‍ය ආයතන පරිණත ප්‍රජාතනත්‍රවාදී රටවල පවතී. බොහෝ යුරෝපීය රටවලද ජපානය, ඔස්ට්‍රෙලියාව හා නවසීලන්තය වැනි රටවලද මහජන සේවා විද්‍යුත්මාධ්‍ය ආයතනය සලකන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව සාධාරණව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සාධකයක් ලෙසයි. එම ආයතනයේ සංලේඛ්‍ය නිදහස (editorial independence) සහතික කරන ආකාරයේ ස්වාධීන පාලන ව්‍යුහයක් යටතේ පවත්වාගෙන යන එම ආයතනයට ඒ සඳහා ප්‍රමාණවත් මහජන අරමුදල්ද සැපයීම රජයේ ව්‍යවස්ථාපිත වගකීමකි.  

වැඩසටහන් වල විශිෂ්ටත්වය (Distinctiveness) මහජන සේවා විද්‍යුත් මාධ්‍ය ආයතනයේ වගකීමක් ලෙස ව්‍යවස්ථාව මගින්ම නිර්දිෂ්ට කර තිබීම එම ආයතනය විසින් සැපයිය යුතු සේවයේ ගුණාත්මක බව පිළිබඳ වැදගත් ව්‍යවස්ථාමය නිර්නායකයකි. බොහෝ දියුණු ප්‍රජාතනත්‍රවාදී රටවල ස්වාධීන මහජන සේවා විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රචාරය කරන වැඩසටහන්වල ඉහළ විශිෂ්ටත්වය එම රටවල අනෙකුත් විද්‍යුත් මාධ්‍ය සේවාවලට මෙන්ම ග්‍රාහකයන්ටද හොඳ වැඩ සටහනක් නිර්ණය කෙරෙන මිණුමක් වෙයි. ඒ හැර ආයතනයෙන් බැහැර ස්වාධීන වැඩසටහන් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන වලට පහසුකම් සැපයීම සහ ඒවා විකාශනය කිරීමට සැලැස්වීමද සහභාගිත්වය සහ බහුවිධත්වය ප්‍රවර්ධනය කිරීම පිණිස මහජන සේවා විද්‍යුත් මාධ්‍යයකට කළ හැකි දෙයකි. ඒ සඳහා අවශ්‍ය අරමුදල් විකාශන බලපත්‍ර නිකුත් කිරීමෙන් ලැබෙන ආදායමෙන් සැපයීමට විදයුත් මාධ්‍ය නියාමන ආයතනයට කළ හැකිය.

ලංකාවේ ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කතිකාව, හුදෙක් අපට අවශ්‍ය වන්නේ ජනාධිපති ප්‍රමුඛ කරගත් පාලන ක්‍රමයක්ද අගමැති හා කැබිනට් ම්ණ්ඩලය ප්‍රමුඛ කරගත් පාලන ක්‍රමයක්ද යන සම්‍ප්‍රදායික දෘෂ්ටියෙන් ගලවා ගෙන ආණ්‍රඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කරන ජන සමාජය කෙබඳු එකක් විය යුතුද යන වැදගත් කාරණය මුල් කරගෙන මෙහයවිය  යුතුය. ඒ අනුව ජන සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය ඵලදායක ලෙස තහවුරු කිරීමට අතය්‍යවශ්‍ය සාධකයක් වන ස්වාධීන, බහුවිධ හා විචක්ෂණ ජනමාධ්‍ය ක්ෂේත්‍රයක් බිහි කිරීමේ අවශ්‍යතාවය නොසලකා දියුණු නූතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ දැනුවත් කතිකාවක් කළ නොහැකිය.

විජයානන්ද ජයවීර

06 පෙබරවාරි 2021

One thought on “විචක්ෂණ ජනමාධ්‍ය සම්ප්‍රදායක් ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ප්‍රවර්ධනය කිරීම

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: