වම දකුණ පැටලීම

සටන්කාමී වෘත්තීය සමිති සංවිධාන වල කඩා වැටීම සහ කීනීසියානු ශුභසාධක රාජ්‍යයේ අවනතිය හා සමග ඇති වූ දේශපාලනික ආර්ථික හා සමාජීය වෙනස්කම් තුළ වැඩි වශයෙන් අවධාරණයට ලක් වූයේ තනි තනි පාරිභෝගිකයාගේ හුදකලාව වූ පෞද්ගලිකත්වයයි. ගෘහණියන්, යෞවනයන් වැනි සමාජ සමූහයන්ට ඉලක්ක කරමින් අලෙවි කරන පාරිභෝගික භාණ්ඩ වෙනුවට තනි තනි පාරිභෝගිකයාගේ කැමැත්තට අනුකූල ලක්ෂණ වලින් යුක්ත වූ විශේෂිත පාරිභෝගික භාණ්ඩ සැපයීම කෙරෙහි නිෂ්පාදකයන්ගේ වැඩි අවධානයක් යොමු විය.  සාමාන්‍ය කිරි කෝපි කොප්පයක් වෙනුවට මගේ ම අභිමතයට අනුව සැකසුණ සුවිශේෂ රස මුසු පෙණ සහිත අරුමෝසම් කොපි කොප්පයක් බීමට මට අද හැකියි. මගේ ම සැලැස්මකට අනුව සැකසුණු ක්‍රීඩක පාවහන් යුගලයක් ඇණවුම් කිරීමට අද මට හැකියි. මා කැමති රූපවාහිනී වැඩසටහනක් බාගෙන, එහි ඇති වෙළඳ දැන්වීම් ඉවත් කොට මා කැමති වේලාවක නැරඹීමට මට අද හැකියි. මෙසේ පුද්ගලික අවශ්‍යතා අවධාරණය කරමින් නිපදවෙන  පාරිභෝගික සැපයුමක් පිළිබඳ වඩාත් කැපී පෙනෙන උදාහරණ මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩි වැඩියෙන් දක්නට ලැබේ. එන්න එන්න ම එකිනෙක හා බද්ධ වෙමින් මතුපිටට සීමා වෙන මාධ්‍ය අවකාශය මුල්කාලීන අන්තර්ජාල ලෝලීන් බලාපොරොත්තු වූ පරිදි බහුජනයාගෙන් බහුජනයාට කෙරෙන සංනිවේදනයකට වඩා මගෙන් සමහරකට සහ සමහරකුගෙන් නැවත මට  වශයෙන් සීමා වෙමින් පවතී. වෙබ් 2 මගින් අලංකාරෝක්තියට නගනු ලැබ ෆේස්බුක් සහ යූ-ටියුබ් වැනි අඩවි අවකාශයන්ගෙන් පිළිබිඹු වන පරිදි මාධ්‍ය පරිහරණය වෙනස් තලයකට යොමු වෙමින් පවතී. ඒ මගින් බොහෝ දෙනෙකුට තමන්ගේ ම නිර්මාණ (ෆොටෝ, වීඩියෝ, රචනා ආදිය) අදහස් හා මතවාද පළ කිරීමටත් ස්ව සංදර්ශන යන්ටත් ඉඩකඩ සැලසී ඇත. මේ අයට අවශ්‍ය වන්නේ අන් අය ගැන දැන ගන්නවාටත් වඩා තමන්ගේ අදහස් උදහස් හා නිර්මාණ අන් අය විසින් දැන ගැනීමයි ( උදාහරණයක් වශයෙන් ගත් විට ඇමෙරිකානු යෞවනයන්ගෙන් 93% අන්තර්ජාලය භාවිතා කරන අතර ඉන් 39%ක්ම තමන්ගේ ම වීඩියෝ, රචනා හා චිත්‍ර‍ නිර්මාණ අන්තර් ජාලයට එක් කරති. ඒ අතර මාධ්‍ය පරිහරණය තනි තනි ව කරන හුදකලා කටයුත්තක් බවට අනුක්‍රමයෙන් පත් වෙමින් තිබේ. විශාල සිනමා ශාලා වෙනුවට හෝම් තියටර් නමින් හැදින්වෙන පද්ධති යොදා ගෙදර දී සිනමා බැලීම, සාමූහික රසවින්දනය වෙනුවට තමන්ට ම පමණක් ඇසෙන හෙඩ් ෆෝනයකින් සංගීත රසය හුදකලාව විඳ ගැනීම වැනි පුද්ගල කේන්ද්‍රීය හැසිරීම් බහුල වී ඇත. මේ හා සමානව එන්න එන්න ම ශ්‍රමිකයන්ගේ සංවිධාන ශක්තිය හා දේශපාලනික සවිඥානික වීම ගරා වැටෙමින් පවතී. නිත්‍ය සේවක සංඛ්‍යාව අවම කරමින්  සමාගම් වලට අවශ්‍ය නිෂ්පාදන ශ්‍රමය සහ සේවා මෑන්-පවර් සැපයුම්කරුවන්ගෙන්, අවුට්සෝස් කිරීම් වලින් හා කෑලි ක්‍රමයට වැඩ කරන අය වෙතින් ලබා ගැනීමට පෙලඹී ඇත. ශ්‍රමිකයන්ගේ මේ හුදකලා වීම නිදහස ලබාගැනීමක් ලෙසත් එක් එක් පාරිභෝජකයා ගේ පෞද්ගලිකත්වයට සරිලන පරිදි නිෂ්පාදනය කිරීමට හැකි වීම නිර්මාණශීලී වීමක් ලෙසත් හැදින්වීමට ඇතැම් අය තැත් කරති. මෙහි දී වඩාත් කණගාටුදායක කාරණය වන්නේ වාමාංශිකයන් යැයි හඳුන්වා ගන්නා අයට පවා දේශපාලනික, සමාජීය හා ආර්ථික ගැටලු සම්බන්ධයෙන් සාමූහික ප්‍රයත්න අවශ්‍ය වන්නේ මන්ද යන්න නිසි ලෙස පහදා දීමට නො හැකි වීමයි. ඒ නිසා සියල්ල වෙළඳපොළ මගින් තීරණය කරනු ඇත යනුවෙන් කීම ඔවුන්ට පවා පහසු දෙයක් බවට පත් වී තිබේ.

මේ තත්වය පිළිබඳ නිසි විශ්ලේෂණයක් කිරීමට තැත් නො කර පාරිභෝගික කේන්ද්‍රීය වින්දනයේ හා සංජාලගත සංනිවේදන මාධ්‍යවල රස ඵල විඳ ගන්නා ගමන් ම බියෙන් මුලාවට පත් වූ මිනිසුන්ගේ දේශීය ගෝත්‍රික මතවාදවල ඊනියා අධිරාජ්‍ය විරෝධී ස්වභාවය ගැන අමු කෙප්ප කෙලීම ගෝලීය ධනවාදයට නිසි විකල්පයක් සොයනවාට වඩා බොහෝ පහසු දෙයකි. එමෙන් ම පැරදුණු වින්දිතයන් ලෙස හිතන තාක් කල් වාමාංශිකයන්ට තමන් අදහස් වල දරිද්‍රතාවකින් පෙළෙන බව ද සැඟවිය හැකිය. නැතහොත් තමන් සතු ව තිබූ අදහස් යල්පැන ගිය ඒවා බව හිතා සිත සනසා ගත හැකියි. මේ තත්වය තුළ වාමාංශිකයන්ගේ පැවැත්ම සාධාරණීය කරණය කිරීමට නම් ප්‍රබල එක්සත් සතුරෙකු අත්‍යවශ්‍ය වේ. ඒ අනුව තමන් විසින් පිළිගැනීමට සූදානම් ප්‍රමාණයට වඩා දක්ෂිණාංශය දුබල යැයි සැලකුවොත් වාමාංශිකයන්ගේ පසුබෑම සහ බියසුලු කම වඩා ලැජ්ජා සහගත ලෙස නිරාවරණය වේ. මේ නිසා දක්ෂිණාංශය පුම්බා තැබූ වාමාංශිකයෝ තම කටයුත්ත කල් තියා ම පාවා දුන්හ. ඇත්ත වශයෙන් ම සිදු වූයේ වාමාංශය පරාජයට පත් වීම නොව වාමාංශය විසින් ම තම කාර්ය භාරය අතහැර දැමීමයි. පරාජය වීම අපේ වැරැද්දක් නොවේ. ඇත්තට ම සිදු වූයේ අනෙක් පැත්තේ අය අපේ දේවල් සොරකම් කර ගැනීමයි යනුවෙන් වාමාංශිකයන් අඳෝනා නගනු ඇත.

බලය පිණිස තරඟ වදින්නෙකුට වඩා හුදෙක් සිවිල් අයිතිවාසිකම්, ස්ත්‍රී අයිතීන්, සම ලිංගික අයිතීන් සම්බන්ධයෙන් මැදිහත් වීම වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින්නන් වශයෙන් සලකා වාමාංශිකයන්ට තවදුරටත් තම සිත් සනසා ගත හැකි දෙයකි. වින්දිතයන් වෙනුවෙන් මැදිහත් වීම වමේ දේශපාලනික නිවැරදි භාවය සම්බන්ධයෙන් හරි විය හැකි නමුත් එය සංවිධාන ගත වෘත්තීය සමිති සටන් වලින් පිළිබිඹු වූ වමේ සටන්කාමී ඉතිහාසය හා සසඳන විට සැලකිය යුතු පසුබෑමක් නොවේ ද යන්න කල්පනා කළ යුතු කරුණකි. බලය අත්පත් කර ගැනීමේ සටන් පාට වූ “කල්ලන්ට බලය”, “‍්ස්ත්‍රීන්ට බලය” වැනි යෙදුම් සහ “අපේ සම ලිංගික ආකර්ෂණය නුඹලාට අමුතු විය හැකියි නමුත් දැන් ඒකට පුරුදු වෙයල්ලා” වැනි කියුම් දැන් වමේ වාග් කෝෂයෙන් ඉවත් ව ගොස් ය.

20 දෙසැ 2021

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: