ගුවන් විදුලි මාධ්‍ය සඳහා නාට්‍යය පිටපතක් ලිවිය යුත්තේ කෙසේද?

මෙම සටහන මවිසින් මුලින්ම පිළියෙල කළේ රජරට සේවයේ ආරම්භක අවධියේ 1980 දී රජරට ප්‍රදේශයෙන් ගුවන් විදුලි නාට්‍ය සඳහා පිටපත් එවූ අයට ගුවන් විදුලි නාට්‍ය ශිල්පය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම පිනිසයි. පසු කලෙක මේ සටහනේ එන ඇතැම් කොටස් නැසීගිය සුගතපාල සිල්වා ශූරීන් ගුවන් විදුලි නාට්‍ය ශිල්පය පිළිබඳ ඔහු ලියූ “හඬ නළුව” නමැති පොතට ඇතුළු කළේය. පසුව මා ගුවන් විදුලි අභ්‍යාස ආයතනයේ සේවයේ නියජාතික අධ්‍යාපන ආයතනයේ ශ්‍රව්‍ය ද්‍රෘශ්‍ය මාධ්‍ය ඒකකය මගින් 1988  ඔක්: 17 – 21 දක්වා පවත්වන “ගුවන් විදුලි අධ්‍යාපන වැඩ සටහන් ඇතුළු ශ්‍රව්‍ය මාධ්‍ය සඳහා පිටපත් රචනය” පිළිබඳ වැඩමුළුවට සහභාගි වන අභ්‍යාසලාභීන් සඳහා නැවත සැකසූ එම සටහනයි මෙහි පළ වන්නේ. අදත් හොඳ ගුවන් විදුලි නාට්‍යකට- විශේෂයෙන් බීබීසී සිව්වැනි සේවයෙන් ප්‍රචාරය වන ගුවන් විදුලි නාට්‍යකට- අවස්ථාවක් ලද විට කන්දීම මගේ විනෝදාංශයකි. (දැන් අන්තර් ජාලය ඔස්සේ ඒවාට පහසුවෙන්ම කන් දිය හැකිය) මෙහි එන උපදෙස් තේරුම් ගත් විට හොඳ නිර්මාණශීලී රචකයෙකුට කදිම ගුවන් විදුලි නාට්‍යයක් ලිවීම අපහසු දෙයක් නොවේ.

ගුවන් විදුලි නාට්‍ය රචනය

සිදුවීමක් හෝ සිදුවීම් වැලකින් යුත් කථාවක් රඟදැක්වීම ඉතා පුරාණ කාලයේ සිට පැවත ආවකි. මෙයින් ඇතැම් රංගනයක් (play) දෙබස්වලින් තොරව අභිනයෙන් පමණක් රඟ දැක්විනි. අතැම් කතාවක් ඉදිරිපත් කෙරුනේ නර්තනය හා සංගීතයද උපයෝගී කරගෙනය.

පාත්‍රවර්ගයා විසින් දෙබස් මගින් කථාවක් ඉදිරිපත් කරන විට එය රංගනය (play) යන නමින් හැඳින්වේ. කිසියම් ගැටුමකට මුහුණ දුන් විට ඒ ඒ චරිත හැසිරෙන ආකාරය පෙන්නුම් කෙරෙන රංගනයකට නාට්‍යය (drama) යන නම යෙදේ. රංගනයක් (play) නාට්‍යයක් බවට පත්වන්නේ නාට්‍යෝචිත (dramatic) අවස්ථා තිබුනොත් පමණි.  නාට්‍යෝචිත අවස්ථා ඇති වන්නේ රැඟුමට අයත් වන චරිත ගැටුම් වලට මුහුණ දුන් විටයි. ගුවන් විදුලි නාට්‍යයකට වඩාත් උචිත වන්නේ ඉහත කී ගැටුම් (conflicts) සහ සන්දේහයන් (suspense) වලින් සමන්විත නාට්‍යයයි(drama).

හුදු කතාන්තරයක් යනු නාට්‍යයක් නොවන බව අප විසින් තරයේ වටහාගත යුතුය. කතාන්තරයක් මගින් නිරූපණය වන්නනේ කිසියම් සිදුවීම් මාලාවක් පෙල ගැසී තිඛෙන, දිගහැරෙන ආකාරය පමණි. නාට්‍යයකින් කෙරෙන්නේ කිසියම් සිදුවීමකට මුහුණදුන් චරිතවල ඇතුලාන්තය සහ චරිත අතර ඇතිවන ගැටුමක් ඒ ගැටුමේ තාර්කික ප්‍රතිඵලයත් අවධාරණය කිරීමයි. කතාන්තරයකට වඩා නාට්‍යයකදී නාට්‍යයේ  චරිත ජීවත්වන ආකාරය හිතන පතන ආකාරය පිළිබඳව හිත් කාවදින අන්දමට අපට දැනගන්නට ලැබේ. පාත්‍රවර්ගයාගේ විවිධාකාර චරිත ස්භාව, ජීවිතයේ ගැටුම්වලදී අදාළ අරමුණුවලට අනුව ඒ ස්වභාවයන් වෙනස්වන ආකාරය, මුහුණ දෙන අසීරු අමාරුකම් සහ ඒවායින් ගොඩඒමට දරණ උත්සාහයන් කතාන්තරයකට වඩාත් තදින් නාට්‍යයකදී ඉස්මතුවේ.

ගුවන් විදුලි නාට්‍ය රචකයාගේ සීමා

ගුවන් විදුලිය සඳහා නාටය්‍යක් රචනාකරන විට මූලික කරුණු කීපයක් පිළිබඳව අවධානය යොමු කළයුතුවේ. පළමුකොටම මාධ්‍යයේ ඇති සීමාවන් පිළිබඳ වැටහීමක් අති කර ගත යුතුය.

ගුවන් විදුලි නාට්‍යයක මාධ්‍යය කටහඬ හා ශබ්දය පමණක් ම බැවින් කටහඬ හා ශබ්දය පමණක් උපයෝගී කරගෙන අසන්නා තුල චිත්ත රූපයක් මැවීමට නාට්‍ය රචකයා සමත් විය යුතුය. වේදිකාවක හෝ ටෙලි නාට්‍යයක නම් චිත්ත රූප වෙනුවට දෘශ්‍ය රූප වලින් අවස්ථා නිරූපණය කළහැක. කෙසේ වෙතත් චිත්තරූප මගින් අවස්ථාව නිරූපණය කිරීමට ගුවන් විදුලි මාධ්‍යයට ඇති හැකියාවම ගුවන් විදුලි මාධ්‍යයේ ශඛ්‍යතාව මනා ලෙස උපයෝගී කරගැනීමට හේතුවක් වෙයි.

ගුවන් විදුලි නාට්‍යයක් සඳහා ලැඛෙන්නේ සීමිත කාලයකි. එය වි. 15, 30, 45 හෝ 60ක් වියහැකිය. මේ හැර ඇතැම් නාට්‍යයක් කොටස් වශයෙන් ප්‍රචාරය කිරීම සඳහා රචනා කළහැක. කොටස් වශයෙන් ප්‍රචාරය වන නාට්‍යයක් වුවද ගුවන් විදුලි නාට්‍යයක අවශ්‍යයෙන්ම තිබිය යුතු මූලික අංගවලින් සමන්විත වියයුතුය.

නාට්‍යයක් සඳහා කැප කළහැකි සම්පත් ප්‍රමාණය සීමිත වියයැකිය. ලබාගත හැකි ශිල්පීන් සංඛ්‍යාව නිෂ්පාදනය සඳහා අවශ්‍ය කෙරෙන පසුබිම් ශබ්දවල ඌනතාව, නාට්‍ය නිෂ්පාදනයට වෙන් කළහැකි මුදල් ප්‍රමාණය, සීමිත මැදිරි පහසුකම් මෙහිදී සැලකිල්ලට භාජනය කළයුතු කරුණු අතර වෙයි.

නාට්‍යය ගුවන් විදුලි ආයතනයේ අචාර ධර්ම වලට පටහැනි නොවිය යුතුය. සාමාන්‍යයෙන් ආගමික විශ්වාස හා සම්මත සාරධර්ම අනවශ්‍ය ලෙස හාස්‍යයට ලක්කෙරෙන, අසන්නන් කුපිත කෙරෙන අනවශ්‍ය ලෙස බියකරන කරුණු නාට්‍යයකට අඩංගු නොකළ යුතුය. ළමා නාට්‍යයකදී තෝරාගන්නා වස්තුබීජය, කටවහර, යෙදුම් ආදිය ළමා මනසට උචිත වියයුතුය.

ගුවන් විදුලි නාට්‍යයක කථාවස්තුව

පළමුවෙන්ම අප කළයුත්තේ ගුවන් විදුලි නාට්‍යයක් සඳහා සුදුසු කථාවක් තෝරාගැනීම හෝ ගොතා ගැනීමයි. කථාව ඉතාමත් සංකීර්ණවීම අසන්නාට වෙහෙස ගෙනදෙයි. එමෙන්ම දුර්වල කථාවස්තුවක්, ඇල්මක්, කුතුහලයක් ඉපදවීමට අසමත් කථාවක් වුවත් ගුවන් විදුලි නාට්‍යයකට උචිත නොවේ. දෛවෝපගත සිදුවීම් අහම්බෙන් සිදුවන දේවල් ඇතුලත් කථා වස්තු තුලින් නාට්‍යයක් ගොඩනැගිය නොහැක.

නාට්‍යයක ගැටුම විසඳාගත යුත්තේ නාට්‍යයට අඩංගුවන නාට්‍යය පුරා දිවෙන චරිත විසින්ම මිස අහම්ඛෙන් මතුවන අදිසි බලවේග හෝ අදෘශ්‍යමාන පුද්ගලයන් විසින් නොවේ.

ගුවන් විදුලි නාට්‍යයක සැකැස්ම

ගුවන් විදුලි නාට්‍ය සඳහා උචිත කතා වස්තුවක් හෝ සංසිද්ධියක් සාමාන්‍යයෙන් කොටස් හතරකට ඛෙදිය හැකිය.

–           අවස්ථා නිරූපණය

–           ගැටුම හඳුන්වාදීම

–           ගැටුම වර්ධනය වීම හා ඒ නිසා ඇතිවන ප්‍රතික්‍රියාව

–           ගැටුම විසදෙන අයුරු

මෙයට අතිරේකව ප්‍රධාන කථාවටම සම්බන්ධ උපකථා වස්තූන්ද නාට්‍යයකට ඇතලත් වියහැකිය. කෙසේ වූවත් හොඳ කතාන්තරයක මූලික ලක‍ෂණය නම් නාට්‍යය අවසානයේදී කුමක් සිදුවේද යන්න පිළිබඳව අසන්නා තුළ ඇතිවන අනවරත කුතුහලයයි. අවසානයේදී කුමක් සිදුවේද? …… අපරාධය කළේ කවුද? ……අඳ ගොවියා ඉඩම් හිමියාට කුමක් කළේද? …… ආදරවන්තයන්ට නැවත එක්වීමට හැකිවේද? .…… නියමිත වේලාවට හමුදාංකය ආධාර සඳහා පැමිණියේද? …… වැනි ප්‍රශ්ණ අසන්නාතුල නිරන්තරයෙන්ම පැවතීම අදාල කථාවස්තුව පෙළගැසී ඇති ආකාරය අනුව සිදුවන්නකි. අසන්නා වඩාත් ඇල්ම දක්වන්නේ අවසානයේදී ගැටුම විසෙඳන අයුරු දැකගැනීමය. මෙය නාට්‍ය අවසානයේදී සිදුවන්නක් බැවින් ඉන් ඔබ්බට අසන්නා රඳවා තබාගැනීම පිළිබඳව රචකයා වෙහෙස වියයුතු නැත. මේ අනුව ගුවන් විදුලි නාට්‍යයක් සඳහා තෝරා ගන්නා කථාවක් පහත සඳහන් මුඛ්‍යාංගවලින් සමන්විත වියයුතුය.

  • ඊළඟට සිදුවන්නේ කුමක්ද? යන අනවරත කුතුහලය මතුවෙන අයුරින් නිමැවුනු, අසන්නාගේ අවධානය දිනාගැනීමට හැකි ආරම්භයක්.
  • හාස්‍ය හෝ සන්දේහය (suspense) වඩවමින් දිගහැරෙන සිත්ගන්නා ගැටුමක් (conflict) කූටප්‍රාප්තියක් (climax) හා විසඳුමක් යන ති්‍රවිධ ලක‍ෂණ අනුව අනුපිළිවෙලින් සිදුවන සිදුවීම් මාලාවක්.
  • සියලූ අතුරු කතා හා චරිත සතුටුදායක ලෙස අමුණලූ අවසානයක්.

මුල් පියවර

ගුව්න විදුලි නාට්‍යයක් සඳහා සුදුසු කථාවක් ඔබේ සිත තුල පිළිසිඳුනේ නම් මුලින්ම කළයුතු වන්නේ එම කථාව මුල සිට අග දක්වා කෙටියෙන් ලිවීමයි. මෙහිදී කථාවේ සිදුවන සිදුවීම් අනුපිළිවෙලට සටහන් කිරීම වැදගත්ය. මේ අභ්‍යාසයෙන් පසු නාට්‍ය පිළිබඳව ඔබේ අදහස් වඩාත් නිරවුල් වන අතර නාට්‍යයට ඇත්ත වශයෙන්ම අඩංගු වියයුතු එක් එක් සිදුවීම් නිශ්චිත ලෙස මතුකර ගත හැකිය. බොහෝ ආධුනික නාට්‍ය රචකයෝ මෙහිදී කරන වැරැද්දක් නම් නිශ්චිත සිදුවීම කෙලින්ම හඳුන්වා දෙනු වෙනුවට අනවශ්‍ය වැල්වටාරම් කියාපෑමට උත්සුක වීමයි. නාට්‍යයක් ඇරඹීම සඳහා පසුබිම් තොරතුරු රැසක් ගෙනහැර දැක්විය යතු බව බොහෝ දෙනෙක් විශ්වාස කරති. නාට්‍යයක් ඇත්ත වශයෙන්ම පටන්ගත යුත්තේ සිදුවීමකිනි. මේ සිදුුවීම වහාම කල්නොයවා ගැටුමකට පරිවර්තනය කළයුතුය.

මෑතදී මා කියවූ ආධුනික නාට්‍යයකට මුල් වී තිබුනු ගැටුම පාසැල් ළමයින් පැහැර ගෙන යාමකි. මේ අනුව ඇත්ත වශයෙන්ම නාට්‍යමය සංසිද්ධිය වන්නේ පාසැල් ඇරී ගමන් ගන්නා ළමයින් කීප දෙනෙක් රියකින් පැමිණි පිරිසක් විසින් රවටා වාහනයකට නංවා ගැනීම සහ එම ක්‍රියාව නිසා ඇතිවන ගැටුමක් ඒ ගැටුම විසඳෙන අයුරුත්ය. එහෙත් මේ ආධුනික රචකයා නාට්‍යයේ මුල් විනාඩි 06 ක් පමණ යොදාගෙන තිබුණේ ළමයින් පාසැලේ ගතකරන හැටි පාසැල ඇරී සමුගන්නා හැටි ප්‍රමාදවන හැටි ඔවුන්ගේ ප්‍රමාදය නිසා බස්රියට ගොඩවීමට නොහැකි වූ හැටි ආදී පූර්ව සිද්ධින් ගණනාවකටය. ඇත්ත වශයෙන්ම නාට්‍යය පටන්ගත යුතුව තිබුනේ පාසැල ඇරී නිවෙස් බලා පයින්ම යන ළමයින් අතර ඇතිවන කෙටි සංවාදයකිනි. ඒ සංවාදය තුල පාසැල ඇරුනු බවත් ප්‍රමාදවීම නිසා බස්රිය අල්ලා ගතනොහැකි වූ බවත් අසන්නාට දැනුම් දෙන දෙබස් තිබීම ප්‍රමාණවත්ය. හොඳම ක්‍රමය වූයේ බස්රිය අල්ලා ගැනීමට නොහැකි වූයේ ඔවුනොවුන්ගේ වැරදි නිසා බව කියවෙන ගැටුමකින් අරඹා කල් නොයවාම මංකොල්ලකරුවන් විසින් ළමයින් රවටා වාහනයට ඇතුල්කිරීමේ අවස්ථාව ඉදිරිපත් කිරීමයි.

නාට්‍යය ආරම්භය සහ නාට්‍යයට අඩංගු වියයුතු නිශ්චිත සිදුවීම් තෝරාබේරා ගත්පසු වඩාත් වැදගත් ජවනිකාව සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගොනුකර ගතයුතු වේ. වඩාත් වැදගත් ජවනිකාව යනුවෙන් මෙහිදී හඳුන්වන්නේ නාට්‍යයේ කූඨප්‍රාප්තිය (climax) ඇතිවන අවස්ථාවයි. නාට්‍යයේ අඩංගු සියළුම සිදුවීම් හා ක්‍රියා අවසාන වශයෙන් මේ කියන කූඨප්‍රාප්තිය කරා යෙමුවිය යුතු අතර කුඨප්‍රාප්තියට එළඹීමෙන් අනතුරුව කල්පසු නොකර නාට්‍ය අවසානය කරා ගෙන යායුතුය.

ගුවන් විදුලි නාට්‍යක ජවනිකා

ගුවන් විදුලි නාට්‍යයට අඩංගු වියයුතු නිශ්චිත සිදුවීම් සහ කූඨප්‍රාප්‍රති ජවනිකාව තෝරාබේරා ගැනීමෙන් පසුව කළයුතුව ඇත්තේ නාට්‍යයට අඩංගු ක්‍රියා අදාළ ජවනිකාවලට වෙන්කර ගැනීමයි. ඔබේ කථා වස්තුව නියත වශයෙන්ම නාට්‍යෝචිත ලෙස සකස් කර ගැනීම සිදුවන්නේ මේ අවස්ථාවේදීය. ජවනිකාව යනුවෙන් ගුවන් විදුලි නාට්‍යයකදී අදහස් කෙරෙන්නේ හුදෙක් සිද්ධිය සිදුවන ස්ථානය නොව නාට්‍යයේ අඩංගු සිදුවීම් දාමයේ එකිනෙකට වෙනස් එක් එක් කොටසයි. සාමාන්‍යයෙන් ගුවන් විදුලි නාට්‍යයක ජවනිකා කොටස් තුනකට ඛෙදිය හැකිය. ඕනෑම ආකාරයක ගුවන් විදුලි නාට්‍යයක් සම්බන්ධව පහත දැක්වෙන් බෙදීම අදාලවේ.

  • ක්‍රියාව සඳහා අවශ්‍ය තත්වයන් ඇතිවීම.
  • තීරණය ගන්නා අවස්ථාව හා ඒ අනුව සිදුවන ක්‍රියාව/ක්‍රියා
  • ක්‍රියාවේ ප්‍රතිඵලය.

මෙසේ ජවනිකා හඳුනාගැනීමෙන් අනතුරුව එක් ජවනිකාවක සිට අනෙක් ජවනිකාවට සංක්‍රමණය වීම පිළිබඳව කල්පනා කළයුතුය. මේ සඳහා යොදාගත හැකි උපක්‍රම රැසකි. මේවා අතුරෙන් අසන්නාට අපූර්වත්වයක් ලබාදීම අරමුණු කරගත් එකිනෙකට පරස්පර ලෙස ජවනිකාවක් පෙළගැස්වීම ඛෙහෙවින් සාර්ථක රචනා විලාසයකි. මේ ආකාරයේ ජවනිකා සංක්‍රමණ පහත දැක්වෙන පරිද්දෙන් වර්ග කළහැකිය.

අවස්ථා මාරුකිරීම.

අ.         සීඝ්‍රගාමී ක්‍රියාවක සිට මන්දගාමී ක්‍රියාවකට.

ආ.        ඝෝෂාකාරී ජවනිකාවක සිට සාමකාමී ජවනිකාවකට.

ඇ.        දීර්ඝ ජවනිකාවක සිට කෙටි ජවනිකාවකට.

මනෝ ස්වභාව මාරු කිරීම.

අ.         මහත් ආතතියක් සහිත (tension) ජවනිකාවකින් විශ්‍රාමශීලි (relaxed) ජවනිකාවකට.

ආ.        ආක්‍රෝශ හෝ ක්‍රෝධ ජනක ජවනිකාවක සිට ප්‍රමෝදජනක ජවනිකාවකට.

ඇ.        ශෝකාන්ත ජවනිකාවක සිට සරාගී ජවනිකාවකට.

ස්ථාන මාරු කිරීම.

අ.         ගෘහ අභ්‍යන්තරයක සිට එළිමහනකට.

ආ.        ජනාකීර්ණ තැනක සිට ජනශුන්‍ය තැනකට.

ඇ.        ඉසුරුමත් පරිසරයක සිට කම්කටොලූ සහිත පරිසරයකට.

ඉහත දැක්වෙන විස්තරය අනුව සිදුවුනු කදිම ජවනිකා සංක්‍රමණයක් පිළිබඳව උදාහරණ පහත දැක්වේ.

(පළමු ජවනිකාව අවසානය)

‘ක්‍රිස්තුස් වහන්සේ කුරුසියට තබා ඇණ ගැසීම, වැලපෙන අනුගාමිකයන්ගේ කලබලකාරී ස්වභාවය, සෙබලූන්ගේ තර්ජන ගර්ජන, විරුද්ධවාදීන්ගේ ඝෝෂාකාරී හෙලාදැකීම්, ක්‍රිස්තුස් වහන්සේගේ අවසන් වචන, අහස ගුගුරා යාම, කුරුසියට තබා ඇණගැසීමේ ශබ්දය, ප්‍රකෝපකාරී සංගීතයකට පරිවර්තනය වී ක්‍රමාවදීපනය (fade-out) වෙයි.’         

(තත්පර තුනක නිහැඬියාවක්)

(ඊළඟ ජවනිකාව ආරම්භය හඬ ක්‍රමෝද්දීපනය(fade-in) වෙයි)

‘උදැසන කුරුලූ හඬ, ගලායන දොළපහරක ශබ්දය, චමත්කාරජනක පරිසරයක් ඇඟවෙන මියුරු සංගීත ඛණ්ඩයක්.’

මෙසේ එකිනෙකට හාත්පසින් වෙනස් පසුබ්ම්වලින් යුත් ජවනිකා දෙකක් එකළඟ යෙදීම ඉතාමත් සිත් අලවන උපක්‍රමයක් වනු ඇත. එක් ජවනිකාවකට පසුව එන ජවනිකාව පිළිබඳව කිසියම් ඉඟියක් මුල් ජවනිකාවේ අවසානයට යෙදීම ඇතැම් අවස්ථාවලදී ප්‍රයෝජනවත් වියහැක.

උදාහරණ

1.       නෙවිල්:-          හොඳයි එහෙනම් සිකුරාදා බලමු …. මතක ඇතිව බඩු කෑලිටික ගේන්න ඕනෑ ……

2.      සිරිසේන:-        බයවෙන්න එපා මං වරද්දන්නෙ නෑ ……

3.       නෙවිල්:-          එහෙනම් තොටුපල ළඟදී. හරියටම සිකුරාදා උදේ 8.00 ට. ඔන්න පරක්කු වෙන්න නම්     එපා…..

මේ දෙබස අවසානයත් සමග මඳ නිහැඬියාවකින් පසුව තොටුපළේ හඬ (ගඟක් ගලන හඬ, තොටුපළේ මිනිසුන්ගේ කතාබහ ආදිය) ඇසෙන්නේ නම් දැන් සිදුවන්නේ කලින් නියම කරගත් පරිදි සිකුරාදා උදැසන සිද්ධිය බව අසන්නාට වැටහේ. කලින් ජවනිකාවේ අවසාන දෙබස් කොටස අනුක්‍රමයෙන් මයික්‍රපෝනයෙන් ඉවත් වෙමින් කීමට සැලැස්වීම ජවනිකාව මාරුවීම පිළිබඳව දියහැකි හොඳ ඉඟියකි. එහෙත් එසේ ඉවත් වෙමින් කියන දෙබස සඳහා පාවිච්චි කරන වචන යෙදීමේදී අසන්නාගේ සවනින් දෙබස ගිලිහී ගියද කතාවට ඉන් අවහිරයක් නොවන වර්ගයේ යෙදුම් තෝරා ගැනීම වැදගත්ය. මේ අවස්ථාවේදී තොටුපලේ හඳුන්වාදීම සාමාන්‍යයෙන් ක්‍රමෝද්දීපනය (fade-in) මගින් කළයුතු වේ. මේ හැර ජවනිකා අතර සංගීත ඛණ්ඩයක් යෙදීම හෝ කථකයෙකු මගින් පවසන කෙටි තොරතුරක් යෙදීම මගින්ද ජවනිකා අන්තර් සම්බන්ධතාවය ගොඩනගා ගැනීම කළ හැකිය. එහෙත් හැකි හැමවිටකදීම කථකයන් භාවිතා කිරීම වැලකී සිටීම වඩාත් සුදුසුය. කථකයෙකු ලවා “ මේ අතරතුර ඇය දුම්රියෙන් එනතුරු අජිත් දුම්රිය පළේ බලාසිටී..” යනාදී වශයෙන් කියවනවාට වඩා පහත දැක්වෙන අයුරින් දෙබස් මගින් එම සංක්‍රමණය ඉදිරිපත් කිරීම උචිත වේ.

තරුණිය:- හරි ජංජාලේ ……දැන් මං එනකල් අජිත් ස්ටේසමේ බලං ඇති…

යන දෙබසට අනතුරුව තත්පර තුනක නිහැඬියාවකින් පසු දුම්රිය පොළක පසුබිමේ හඬට සංක්‍රමණයවීම උචිත වේ. නාට්‍යයේ කාලාන්තරය කෙටි කිරීම සඳහා නාට්‍යයේ එන බොහෝ නාට්‍යෝචිත නොවන අවස්ථා මගහරවා ගැනීම සඳහාත් ඇතැම්විට කථකයෙකු මගින් ජවනිකාවක් සංක්‍රමණයකළහැකිය. මෙය තරමක් පැරණි උපක්‍රමයක් උවද අත්‍යවශ්‍ය අවස්ථාවලදී ප්‍රයෝජනයට ගත හැකිය. කථකයෙකු මගින් ජවනිකාවක් සංක්‍රමණයකිරීම පිළිබඳව උදාහරණයක් පහත දැක්වේ.

කථක:- පුංචිනෝනා මියගොස් මද කලකට පසු මිතුරන් විසින්ද මනම්පේරි අතහැර දමනු ලැබීය. ඉන්පසු මනම්පේරි ඉබාගාතේ ඇවිදින්නට පටන් ගත්තේය. මගදී හමුවන කෙනෙකුගෙන් කීයක් හෝ ඉල්ලා ගැනීමෙන් කුසගින්න නිවා ගැනීම ඔහුගේ දින චර්යාව බවට පත්විය. වැරහැල්ලෙන් සැරසී මෙසේ ඉබාගාතේ යන ඔහුට දිනක් අහම්ඛෙන් මෙන් පැරණි මිතුරකු මුණ ගැසිනි.

චරිත නිරූපණය

චරිත නිරූපණය යනුවෙන් අදහස් කෙරෙන්නේ ඔබේ නාට්‍යයට අඩංගු චරිත වලට ඔවුන්ගේම වූ ජීවන ක්‍රමයන් හා පුද්ගල භාවයන් ආරෝපණය කිරීමයි. මෙහිදී චරිත නිරූපණයේ මුඛ්‍යාංග එකිනෙක ගෙන බැලීම වැදගත්ය. එහෙත් මේ අංග සියල්ලක්ම එකිනෙකට සම්බන්ධ බව අමතක නොකළ යුතුය. මූලික වශයෙන් චරිත සංගතභාවයකින් යුක්ත විය යුතුය. එනම්, වරක් හඳුන්වාදුන් පසු ඒ ඒ චරිතවල පෞරුෂත්වය හා පුද්ගල ලක‍ෂණවලට (වයස, ස්ත්‍රී පුරුෂ භාවය) අනුරූප වන අන්දමින් චරිත හැසිරවිය යුතුය. ඔබේ චරිත කිසිදු හේතුවකින් තොරව අහම්ඛෙන් වෙනස් ස්වභාවයන් ආරෝපණය කරගතහොත් අසන්නා මංමුලාවීමට ඉඩ ඇත. මෙහිදී අදහස් කළේ අවුරුදු ගණනාවක කතාන්දරයකදී ඔබේ චරිත මහලූ වියට පත්නොකළ යුතු බව කීම නොවේ. වෙනස් වීමක් සිදුවන්නේ නම් එම වෙනස් වීම රචකයා විසින්ම සැලසුම් කරන ලද යථාරූපී වෙනස්කමක් විය යුතුවේ. චරිත සාමාන්‍ය ජීවිතයේදී මෙන් හැසිරවිය යුතුය. ඔබ කුඩා දරුවකුගේ චරිතයක් නිර්මාණය කරන්නේ නම් දෙබස්, හැසිරීම කුඩා දරුවකුගේ මිස පමණට වඩා කුඩා වැඩිහිටියකුගේ දෙබස් නොවිය යුතුය.

 එමෙන්ම චරිත ස්වභාව බහුරූප මිස පැතලි වියයුතු නොවේ. මන්ද කිසිම මනුෂ්‍යයෙක් සම්පූර්ණයෙන්ම හොඳ හෝ සම්පූර්ණයෙන්ම දුෂ්ඨයෙකු නොවන බැවිනි. නරක මිනිසකු තුළ අපූරු හද කකියවන ගතිගුණ තිඛෙන්නට පුළුවන. එමෙන් ඉතාම හොඳ ළමයිද ඉදහිට හෝ දඟකාරකම් කරන බව අමතක නොකළ යුතුය. කෙසේ වෙතත් ඔබේ චරිත වල එකිනෙකට ඛෙහෙවින් පරස්පර ස්වභායන් නිරන්තරයෙන්ම දක්නට ලැබීම අසන්නා අවුල් කරවන සුලූ විය හැකිය. ඒ ඒ චරිත වල ස්වභාවයන් තීරණය වීමේදී ඔවුන්ගේ ක්‍රියා මෙන්ම භාවිතා කරන වචනද කථා විලාසයද වැදගත් වෙයි. බොහොමයක් හොඳ නාට්‍ය පිටපත් වල විවිධාකාර චරිත ස්වභාවයෙන් යුත් මිනිසුන් ජීවත් වී ඇති බව දක්නට ලැබේ. මෙයින් ඇතැමෙක් වීරයෝය. තවකෙක් එතරම් ප්‍රසන්න පුද්ගලයෙක් නොවේ. තවත් තැනැත්තෙක් නිතරම හාස්‍යයට ලක්වන කෙනෙකි.

ඇතැම් අවස්ථාවක් සිත් කාවදින ලෙස නිරූපණය කිරීම සඳහා උඩුයටිකුරු කළ චරිත යොදාගත හැකිය. මේ මගින් අදහස් කෙරෙන්නනේ සම්ප්‍රදායික චරිතවල ස්ත්‍රී පුරුෂභාවය හෝ ගති ස්වභාව වෙනස් කිරීමයි.

උදාහරණ:-

පවුල් සංවිධාන කටයුතු ගැන උනන්දුවක් දක්වන පිරිම අයෙකු ඒ සඳහා උපදෙස් ගැනීමට වෛද්‍යවරයෙක් ලගට යයි. තම ප්‍රශ්ණය වෛදවරයෙක් හා කථා කිරීමට ඔහු බලාපොරොත්තු වන නමුත් ඇත්ත වශයෙන්ම ඔහුට සිදුවන්නේ වෛද්‍යවරියක හා ප්‍රශ්ණය කථා කිරීමයි. මෙය සම්ප්‍රදායික චරිතයකට එනම්, වෛද්‍යවරයාට අපූර්වත්වයක් ආරෝපණය කිරීමකි. මන්ද, වෛද්‍යවරියක හා පවුල් සංවිධාන කටයුතු ගැන කථාකිරීමට පිරිමියෙකුට සිදුවීම අසන්නාට අපූරු අත්දැකීමක් විය හැකි බැවිනි.

සම්ප්‍රදායිකව ගමේ මුදලාලි පුරුෂයෙකි. ඔහු ගමේ මැරකම්, වංචාකම්, ආදිය කරන තද පරුෂ පුද්ගලයෙකි. පුරුෂයෙකු වෙනුවට මේ ගතිගුණවලින් යුත් මුදලාලි හාමිනේ කෙනෙක් ආදේශ කිරීමට නාට්‍යයේ ගැටුම වඩා පොහොසත් කිරීමට හේතුවිය හැකිය.

හැම හොඳ නාට්‍ය පිටපතකම අසන්නාට තමන් හා අනන්‍ය කරගත හැකි චරිතයක් තිබීම දක්නට ලැඛෙන්නකි.. “එයා මං වගේ කෙනෙක්. ඇය කරන්න යන්නේ මං ඒවගේ වෙලාවකදී කරන දේමයි. එයා හරි හිතවත්, මං කැමතියි ඒ වගේ අයට” වැනි සිතුවිලි ඒ චරිතය හා සම්බන්ධයෙන් අසන්නා තුළ ජනිත විය යුතුය.

සාමාන්‍යයෙන් විනාඩි 30 ක ගුවන් විදුලි නාට්‍යයක් සඳහා යොදා ගතයුතු චරිත සංඛ්‍යාව පහකි. එහෙත් සහභාගි වන චරිත පහටම කරන්නට කියන්නට තරම් දෙයක් නාට්‍යයේ අඩංගු විය යුතුය. පස්දෙනා අතුරින් එක් අයෙකු හෝ අකර්මන්‍ය නම් අසන්නාගේ පැත්තෙන් බලන විට ඔහු මල චරිතයකි. මේ නිසා නාට්‍යයට අඩංගු වන එක් එක් චරිතය පිළිබඳ මනා අවබෝධයක් ඔබතුළ තිබිය යුතුය. වඩාත් උචිත වන්නේ ඒ ඒ චරිතය පිළිබඳව ඔබ දන්නා තොරතුරු අනුපිළිවෙලින් සටහන් කර තබා ගැනීමයි. මෙය නාට්‍යයේ වස්තු බීජය ඔබේ සිත තුළ පිළිසිඳගත් වහාම කළයුත්තකි. ඒ ඒ චරිතයන්ගේ රූපකාය, ඇඳුම්, පැළදුම්, ගම් පලාත්, ලබා ඇති අධ්‍යාපනය, හිතන පතන ආකාරය, හා එසේ හිතන්නේත් එවැනි දෑ පතන්නේත් මන්ද යන බව මේ සටහනේ අඩංගු විය යුතුය. නාට්‍යයේ චරිත මෙසේ හඳුනා ගැනීමෙන් අනතුරුව එකී චරිතවලට උචිත කටවහර වචන හා යෙදුම් ආදිය තෝරා බේරා ගැනීම පහසු වන බව ඔබට පෙනී යනු ඇත.

ගුවන්නා විදුලි නාට්‍ය දෙබස්

ගුවන් විදුලි නාට්‍ය රචකයාට ශබ්දය මගින් පමණක් ප්‍රතිරූප (Images) නිර්මාණය කිරීමට සිදුවෙයි. ඔහුට ඒ ඒ ජවනිකා වල අඩංගු වර්ණ ගඳ සුවඳ හා චරිතවල මනෝභාවයන් මවාපෑමට සිදුවන්නේද පාත්‍රවර්ගයාගේ මුවට නැංවුනු වදන් වලින් පමණි. “බලාගෙනයි! මිනිහගේ අතේ ඇඹුල් කැත්තක් තියෙනවා….” මෙවැනි දෙබසක් චිත්‍රපටයක හෝ රූපවාහිනී වැඩසටහනක අඩංගු නොවිය යුත්තේ මිනිසාගේ අතේ ඇති දෙය ප්‍රේක‍ෂකයාට දැකගත හැකි බැවිනි. එහෙත් දෘශ්‍ය මාධ්‍යයක් නොවන ගුවන් විදුලියේදී අවස්ථා නිරූපණය සඳහා මෙවැනි  දෙබස් අත්‍යවශ්‍යය. කෙසේ වූවත් මේ තොරතුරු දෙබස් වලට ඇතුල් කිරීමේදී ඒවා ස්වභාවික ලෙස සහ නිරායාශයෙන්ම චරිත මගින් කියවිය යුතුය. මන්ද එවැනි තොරතුරු බලහත්කාරයෙන් ඇතුලත් කරන ලද බව අසන්නාට පෙනී ගියහොත් ඔබේ උත්සාහය අසාර්ථක විය හැකිය. මෙහිදී වැදගත්ම කරුණ වන්නේ  දෙබස් මුල්කොට නාට්‍ය රචනය කිරීමට වඩා නාට්‍යයේ  එන සිදුවීම් හා ක්‍රියා මුල්කොට දෙබස් රචනය කිරීමයි. ගුවන් විදුලි පිටපතේ දෙබස් සටහන් කිරීමෙදී යතුරුලියනයේ සීමාවන්ට යටත් වීමට සිදුවේ. සාමාන්‍ය කථාවකදී මෙන් අවශ්‍ය තැන්වලදී එකිනෙකාට බාධා කරමින් කෙරෙන සංවාද යතුරුලියනය කරන ලද පිටපතේ සඳහන් කිරීමට අපහසුය. එහෙත් එසේ බාධාකරමින් කථා කරන අවස්ථාවලදී ඒ පිළිබඳ උපදෙස් වරහන් තුල සටහන් කොට තැබීම මගින් මේ අපහසුතාවය මඟහරවා ගත හැකිය.

ගුවන් විදුලිය ශ්‍රව්‍ය මාධ්‍යයක් වන බැවින්  දීර්ඝ දෙබස් යෙදීම අසන්නාට වෙහෙසකර විය හැකිය. වඩා උචිත වන්නේ කට වහරින් ගත් කෙටි දෙබස් මගින් චරිත අතර සංවාදය පවත්වා ගෙන යාමයි. ඇතැම්විට ස්වයංකථන හා සිතුවිලි කෙටියෙන් යෙදිය නොහැකි අවස්ථා තිබිය හැකි වුවද එවැනි අවස්ථා හැකි තරම් දුරට සීමා කළ යුතුය. නොවැලැක්විය හැකි හේතු නිසා එක් චරිතයක මුවට දිගු දෙබස් ඛණ්ඩයක් නැංවීමට සිදු වුවද අනෙක් චරිත සම්පූර්ණයෙන්ම නිහඬ කොට තැබීම සුදුසු නොවේ. “ආං එහෙමද?…. ඒක මං දැනං හිටියෙ නෑනෙ…..ඇත්තට?” වැනි කෙටි දෙබස් අනෙක් චරිතයේ මුවට නැංවීමෙන් මුල් චරිතයේ දිගු දෙබස් අතරින් පතර කඩා දැමිය යුතුය.

ඇතැම් අවස්ථාවන් තීව්‍ර කරලීම සඳහා එක චරිතයක දෙබස් ඛණ්ඩයේ අගට යෙදෙන ක්‍රියා පදයෙන් අනෙක් චරිතයේ දෙබස ආරම්භ කළ හැකිය. එහෙත් මේ උපක්‍රමය නාට්‍ය පුරාම යොදා ගැනීම එතරම් සුදුසු නැත.

උදාහරණ:-      

1.         සිරිල්    :-          මං …… යනවා

2.         ශ්‍රියා      :-          යනවා? …… කොහේද? ……

3.         සිරිල්    :-          කොහේද කියල කියන්න මං බැඳිල නැහැ.

4.         ශ්‍රියා      :-          බැඳිල නැහැ කියන එක උත්තරයක් නෙවෙයි.

5.         සිරිල්    :-          උත්තරයක් නෙවෙයි නම් ඒකට බිංදුව දාගන්නවා.

6.         ශ්‍රියා      :-          බිංදුව දාගන්න තමයි වෙන්නේ ඔහොම යනකොට.

7.         සිරිල්    :-          ඔහොම යනකම් ඉන්න ඕනෙ නැහැ. මං දැන්ම ගියාම කතාව                         ඉවරයිනෙ….                 

දෙබස් මගින් අවස්ථාව සහ ස්ථානය නිරූපණය කිරීම

රූපවාහිනී තිර නාටකයකදී නම් අවස්ථාව නිරූපණය සම්බන්ධව උපදෙස් පිටපතේ මෙසේ සඳහන්වනු ඇත.

  • දුනුවිලගේ  හුදකලා කඳුකර වලව්වේ මැද සාලයේ දර්ශනයක්, පිටත නැගෙන කුණාටුවක්. සාලයේ ගිනි උදුන ළඟ දුනුවිල ගිනි තපිමින් සිටී. ඔහු හුදකලාවූවෙකි. වැස්සට තෙමුනු අමුත්තා සාලයේ මහදොර ඇර ගෙන ඇතුල්වෙයි.

එහෙත් මේ කරුණු සියල්ලම ගුවන් විදුලි නාට්‍යයකදී නම් දෙබස් හා ශබ්ද මගින් පමණක් එලිදරව් විය යුතුය. එය මෙසේ විය හැකිය.

1.         දුනුවිල  :-          (දොර සෙමෙන් ඇරෙන හඬ – ඇරුණු දොරින් සුළං කෝඩයේ හඬ ගෙතුලට ඇතුල් වේ.) හා, හා, මෙහාට එමු..…මෙහාට එමු …… එමු මෙහාටම ……අපේ අප්පේ මහා කෝඩයක් එන්න වගේ (දොර වසන හඬ ඒ හා සමගම කෝඩයේ හඬ ඇසෙන්නේ පිටතින් පමණි)

2.         මගියා   :-          (ඇතුල්වෙමින්) අප්පුච්චේ යාන්තම් ඇති (ළඟට එමින්) තමුන්නැහැ කිව්ව හරි. මහා කෝඩයක් තමයි එන්නේ හොඳටෝම තෙමුණා…. ඒ මදිවාට සැතැප්ම පහම පයින්මයි ආවේ (කෝට් එක ගලවා ගසයි).

3.         දුනුවිල  :-          අනේ…. ආපු එක කොච්චර දෙයක්ද?….. අපිට ඉතින් ඛෙහොමකලාතුරකින් තමයි අමුත්තෙක් එන්නේ……. ගිනි උදුන ලගින්ම ඈදිගත්ත නං මං ගින්දර ටිකක් වැඩි කරන්නම්කෝ ……(ගිනි උඳුනට දර කොටයක් දමන හඬ සහ ඇවිලෙන ගින්නේ කෙදර දැවෙන හඬ)

4.         මගියා   :-          තමුන්නැහැ තට්ට් තනියම ඉන්න කැමැති කෙනෙක් වාගේ…… කඳුකරේ මේ වලව්ව බොහෝම පරණ එකක් කියලා මං අහලා තියෙනවා………

5.         දුනුවිල  :-          ඔවු….. අපේ බණ්ඩාරවලියේ ඇත්තන්ට… ආන්තිමට ඉතිරුවුණේ මේ වලව්ව විතරයි.

6.         මගියා   :-          (අත්දෙක එකිනෙක පිරිමදී) අප්පච්චියේ …… ගිනිගොඩේ රස්ණෙට යාන්තම් හීතල ගතිය ටිකක් අඩුවුනා…… දර කොටේ බොහෝම හොඳට වේලිච්ච එකක් වගේ. (ආයාසයෙන් නැගිටිහඬ සහ පුටුවක් ඇදගෙන වාඩි වෙන හඬ)…. මේ කවිච්චිය තනිකර කලුවරෙන් හදලා තියෙන්නේ …… නැද්ද මං අහන්නේ.

7.         දුනුවිල  :-          අද කාලේ නම් ඔකට අරන් තියෙන කලූවර ලී වලින් කවිච්චි තුනක් හදන්න පුලූවන්. මේ සාලේ පුරාම තියෙන ලී බඩු අපේ මුත්තා කලූවර ලීයෙන් හදෝපුවා. අර මහ පෙට්ටගම  උස්සන්න බැරි කමටමයි ඔතනම තියෙන්න ඇරියේ.

මෙවැනි අවස්ථා නිරූපණයක් වර්ණවත් කිරීම සඳහා නාට්‍ය නිෂ්පාදකට සිය චරිත විචිත්‍ර සහ නිර්මාණාත්මක ලෙස උපයෝගී කරගත හැකිය. චරිතවල බස් වහර කථා කරන විලාශය ඔවුන්ගේ මනේාභාව (ප්‍රීතියෙන් සිටීද, කණස්සල්ලෙන් සිටීද ආදී වශයෙන්) සම්බන්ධයෙන් සැලකිලිමත්වීම නිර්මාණාත්මක  අවස්ථා නිරූපණයෙහි ලා බෙහෙවින් උපකාරී වෙයි.

පරිසරය පිළිබඳ තොරතුරු චරිත ස්වභාවයන් සහ කථාව ඉදිරිපත් කිරීම හැරෙන විට දෙබස් මගින් කළයුතු තවත් දෙයක් වන්නේ කවුරුන් කාට කතා කරන්නේද යන බව අසන්නාට මතක් කර දීමයි. ජවනිකා තුල සිටින චරිත හඳුනාගත හැකි ආකාරයට දෙබස් හැසිරවිය යුතුය. කිසියම් හේතුවක් නිසා මුනිවත රකින චරිතයක් ජවනිකාවට අයත් වේ නම් එම චරිතය ගැන සඳහනක් අනෙක් අයෙකුගේ මුවට නැංවිය යුතුය. ජවනිකාවක ආරම්භයේදීම චරිත හඳුන්වන නම් දෙබස්වලට අඩංගු කිරීමද කලයුත්තකි.

  1. රන්බණ්ඩා :-         දිසානායක මං දන්නවා …… මං කිව්වා ……උඹහෑ ඉස්සරහ ඒක මතක්     කරන්නේ නෑ කියලා…… ඒ වුනාට …… උඹහෑ එක්ක නොකියා බැරි       දෙයක් බොලං   සිද්ධ වෙලා තියෙන්නේ.

2.   දිසානායක :-         (නොඉවසිල්ලෙන්) මෙකෝ රන්බණ්ඩේ ……මොකෑ වෙලා තියෙන්නේ.          කියාපල්ලා බොලල්ලා …… මොකදෑ වුනේ.

චරිත විසින් කිසියම් තීරණාත්මක දෙයක් කරන්නට අර අදින්නේ නම් එම ක්‍රියාවට අදාල පරිසරය පිළිබඳ චිත්ත රූපයක් අසන්නා තුල ඇකිවෙන් ආකාරයේ තොරතුරු කල්තියා දෙබස් මගින් ඉදිරිපත් විය යුතුය.

උදාහරණයක්    :-         

1.           උක්කුන් :-     සිරා ……උඹ කියන විදියට කොහොම පැනල යන්නද බං …… දැන් බලහං                         හරියටම ගේට්ටුව ළඟ ජේල් ගාඩ්ලා. හතර වටේටම පොලීසියෙන් මුර ……              කොහොම හරි   තාප්පෙන් පැන්නයි කියමුකෝ… ඊට පස්සේ පොළ්ගස් භාගයක් විතර උසට කටු කම්බි වැටක්.. ඒ මදිවාට වැටයි තාප්පෙයි අතර මුරබල්ලො …… උඹ අහලා තියෙනවා නේද උන් ආයෙත් කෙලින්ම උගුරු දණ්ඩ විකාගෙනමයි පනින්නේ. කිසිම චාන්ස් එකක් නෑ බං පැනලා යන්න.

2.           සිරා    :-         උක්කුන් මල්ලී …… ඔය කියාපුවා ඔක්කෝම ඇත්ත. ඒ උනාට උඹ එක                කාරණයක් මතක නැතිකොරා ……උඹ වගේ මිනිහෙකුට මොකද්ද ඒ කාරනේ          කියලා නිකම්ම තේරෙන්න ඕනා බං ……

මේ හැර රචකයා විසින් අමතක නෙකළ යුතු වැදගත්ම දෙය වන්නේ හඬ නිශ්පත්ති ස්ථානයේ සිට මෛයික්‍රපෝනයට ඇති දුර මගින් අසන්නා තුල මැවෙන චිත්තරූපය නාට්‍ය නිෂ්පාදනයෙහි ඉතාමත් ප්‍රබල උපක්‍රමයක් වන බවයි. ගුවන් විදුලිය ශ්‍රව්‍ය මාධ්‍යයක් පමණක් වන බැවින් නාද චර්යාව හා නිෂ්පාදන උපක්‍රමවල ඒකාග්‍ර බව මගින් ත්‍රිමාණ දර්ශනයන් නිර්මාණය කිරීම කළ යුතුය.

උදාහරණ  :-

1.              නිමල්:           (මෛයික්‍රපෝනයට ඈත සිට) ආ …… හාං ……අරගොල්ලො වෙන්නැති මෙහාට ඇවිල්ලා බලන්නකෝ.

2.              පියදාස        (මුහුදු රළ ඈත පසුබිමෙන් ඇසේ. මෛයික්‍රපෝනය අසල සිට මදක් උස් හඬින්) ආ .…… අර යන්නේ කට්ටිය, දැක්කද අර වෙරළ දිගේ ඈත යාන්තමට පේන්නේ …… මං හිතන්නේ  දැන් උන් හැතැප්ම බාගෙකටත් වැඩිය ඈතිනුයි ඉන්නේ….

3.              සරලා:           (මෘඳු හඬින්) …….හැමදාමත් මං බලන් හිටියේ අපි මේ විදියට එක්වෙයි                          කියලා දැන් මං ඉස්සරටත් වඩා කොයිතරම් ඔයාට කිට්ටුද….

නාට්‍ය පිටපත

නාට්‍ය පිටපත කොලයේ එක පැත්තක පමණක් ටයිප් කළයුතු වෙයි. පේළි අතර සැලකිය යුතු පරතරයක් තිබිය යුතුය. මන්ද පුහුණු කරන විට කළයුතු වෙනස්කම්,  එක්කළ යුතු දෙබස් කොටස් ආදිය සටහන් කිරීමට ඉඩකඩ තිබිය යුතු බැවිනි. පිටපත ටයිප් කළයුත්තේ හසුරුවන විට හඬ නොගැනෙන කොල වලය. නාට්‍යයේ පිටපත් සියල්ලක්ම සමාන පැහැදිලි බවකින් යුක්ත වීම අත්‍යවශ්‍යයය. අවශ්‍ය තරම් අමතර පිටපත් තිබීම වැදගත්ය. හැම නාට්‍ය දෙබසකටම අංකයක් තිබිය යුතුය. අලූත් ජවනිකාවක් අරඹන විට  ජවනිකා අංකය යොදා ආරම්භක දෙබසේ අංකය අංක 1 යනුවෙන් සඳහන් කර අනතුරුව අනුපිළිවෙලින් අංක යෙදීම අවශ්‍යය. පසුබිම් ශබ්ද මෛයික්‍රපෝනයට තිබිය යුතු දුර ආදී උපදෙස් අදාළ දෙබස් අසල වරහන් තුළ යෙදිය යුතුවේ.

පිටපතක කොටසකින් උපුටා ගත් ආදර්ශනයක් පහත දැක්වේ.

ජවනිකා අංක 1 (කාර්යාලයක් – ශබ්ද: අරින වහන දොර – දුරකථන සීනුව – දුරකථන රිසීවරය ඔසවන තබන හඬ)

1.           කර්නල් :-        කෝ මේ මිස්ටර් වන්නිආරච්චි ……තාම නෑ ……… තාම නෑ ……මට                                පේන්නේ අපේ අමාත්‍යාංශයේ මිනිස්සු හිතන් ඉන්නේ ඒ අයට වගේ                          හැමෝටම නාස්ති කරන්න කාලය තියෙනවැයි කියල ……

2.         සිරිවර්ධන :-     මන්දන්නෙ නෑ කර්නල් …….. සාමාන්‍යයෙන් මිනිහා….වෙලාවට..

3.         කර්නල් :-         (බාධාකරමින්) ඕනෑකමක් නෑ …….. ඕනෑකමක් නෑ ……..

                                    මන් දන්නවනේ …….. ඔය මිනිස්සු …….. (දොරට ගසන හඬ)

4.         සිරිවර්ධන :-     (සැනසුම් සුසුමක්) ඇති යාන්තම් (නැගිට දොර දෙසට යන                                                          ගමන්) ඔය නම් මිනිහා වෙන්ට ඕනා. (දොර ඇරෙන හඬ)      

5.         වන්නිආරච්චි :- (ඈත සිට) හලෝ මිස්ට සිරිවර්ධන:

6.         සිරිවර්ධන :-     (දොර ළඟ සිට) ඇති යාන්තන් (දොර වසන හඬ) අපි දැන්සෑහෙන වෙලාවක් තිස්සේ බලං ඉන්නවා (මෛයික්‍රපෝනය ළඟට එමින්) කර්නල් මන් හිතන්නේ මිස්ටර් වන්නිආරච්චි මීට කලින් හම්බවෙලා නැතිව ඇති …….. එයා තමයි අපේ නියෝජිතයා විදියට ……..

7.         කර්නල් :-        (බාධාකරමින්) මොකද නැත්තේ මන් දන්නවා මෙයා කවුද කියලා …….. මට                     දැනගන්න ඕනා කොහේද මෙයා මෙච්චර වෙලා හිටියේ කියලා…….

8.         වන්නිආරච්චි :- ආ…..ඒකත් එහෙමද …….. මං මෙච්චර පරක්කු වුනේද …….. අපි ඔක්කොම                     වැටිල ඉන්න වලෙන් ගොඩ එන්න ක්‍රමයක් හොයාගන්න උත්සාහ කරපු                             හින්දයි පරක්කු වුනේ …….. බොහෝම නරක ආරංචියක් මට ගේන්න සිද්ධ                      වෙලා තියෙනවා …….. අපේ වැඩේට ගන්න තියාපු සල්ලි …….. පිල්ලි                                ගිහිල්ලා. ජයසේකර …….. මිනිහාත් අන්තර්දාන වෙලා.

9.         කර්නල්:-          මේක යකාගේ කතාවක්නේ. තමුසේ කියන්නේ මිනිහා සල්ලිත් අරන් මාරුවෙලා කියලාද?

10.       වන්නිආරච්චි:-  මං මොකුත් කියන්නෙ නෑ කර්නල් …….. හැබැයි අපි හොයාගත්තා මිනිහා කොටුවේ ඉදලා මැඩ්රාස්වලට පස්ට් ක්ලාස් ටිකට් එකක් අරන් තියෙනවා.   

11.       කර්නල්:-          මැඩ්රාස්වලට? …….. කෝච්චියේ ……..?

12.       වන්නිආරච්චි:- කෝච්චියේ තමයි …….. මේ වෙනකොටත් මිනිහා සල්ලි  මල්ලත් එක්ක                          දකුණු ඉන්දියාවේ ඇති…….

ජවනිකා අංක 2 – වාෂ්ප දුම්රිය පිටත හා ඇතුලත හඬ

(හූ කියමින් එන කෝච්චියක් ලංවී මහ හඬින් ඉවතට යයි. හරස් ක්‍රමෝද්දීපනය cross fading – දැන් දුම්රියේ ශබ්දය ඇසෙන්නේ දුම්රිය මැදිරිය තුළදීය. දුම්රිය ගමනේ රිද්මය මැදිරිය තුළට ඇසෙන හඬ පසුබිමින් පවතී).

1.         දුම්රියසේවක :- (එමින්) කෝපි! කෝපි!! …….. මැඩ්රාස්වලට ඉස්සෙල්ලා අන්තිම කෝපි එක (ලංවෙමින්) සර් උණු කෝපි …….. (මැදිරියේ නිදන කොටසේ දොර තල්ලූ වී ඇරෙන හඬ) සර් උණු කෝපි එකක් …….. (තමාටම) ම් …….. හොඳටෝම නින්ද ගිහිල්ලා වගෙයි. පත්තරෙනුත් මූණ වහගෙන. (මදක් ශබ්ද නගා) සර් …….. දැන් බහින්න ළඟයි …….. මං පත්තරේ නවල තියන්නම් (පත්තරේ ඉවත ගන්නා හඬ) සර් …….. කෝපි …….. (විශ්මයෙන්) …….. හා …….. පෝයි …….. සන්තානම් මෑණියනේ ……..

(දුම්රිය හඬ නගා අනතුරුව ඈත්වෙයි )- තත්පර 3 ක විරාමයක් .

ජවනිකා අංක 3 – (ජවනිකා අංක 1 තිබූ කාර්යාලය)

……(දුරකථනයක් නාදවෙයි. රිසීවරය ගන්නා හඬ. දුරකථන සීනුව නවතී).

1.         කර්නල් :-          හලෝ …….. ව්

2.         හඬ:-                (දුරකථනයෙන් එන හඬ වෙනස් කර කතා කරන අයෙක්) ඔය කර්නල්                             රණතුංගද?……

3.         කර්නල් :-          ඔව්…… කවුද කතා කරන්නේ

4.         හඬ       :-          (දුරකථනයෙන්) කවුරු කතා කරාම මොකද …….. ආරංචියයි

                                     වැදගත් …….. තේරුනාද …….. දන්නවද ……..

                                    මිනිහා ඉවරයි …….. සෙත්ත පෝච්චි.

5.         කර්නල් :-         (කලබලයෙන්) ක …….. කවුද ඉවර …….. ඔය කවුද ……..?

6.         හඬ       :-          (දුරකථනයෙන්) කවුද ඉවර කියලා තමුසේ දන්නවා ……..

                                    ඒකෙන් වැඩක් නැහැ …….. දැන් සල්ලි මල්ල මගේ ළඟ

                                    තේරුණාද?

7.         කර්නල් :-          (කලබලයෙන්) මො …….. මොන සල්ලි මල්ලක්ද? ……..

                                    තමුසේ කවුද?

8.         හඬ       :-          (දුරකථනයෙන්) මං කවුද කියන එක ඉක්මනට දැනගන්ඩ ලැබේවි

                                    …….. ආයිමත් වෙලාවක කතා කරමුකෝ ……..

9.         කර්නල් :-          හලෝ …….. හලෝ …….. ව් (මඳ නිහැඬියාවකට පසු රිසීවරය

                                    තබයි. සුසුමක් හෙලයි)

                                    (දුරකථනය ඔසවා ඩයල් කරන හඬ)

10.       කර්නල් :-        හලෝ …… හල්ලෝ …….. ව් …….. වෑ …….. කෙහෙල්මල (දුරකථන) රිසීවරය                   තදින් තබයි. කාර්යාලයීය සීනුවක් නාද කරයි. දොර ඇරෙන හඬ)

11.       ලේකම්වරිය:-   (දොර ළඟ සිට එමින්) ඇයී …….. සර් කතාකළාද ………?

12.       කර්නල්:-            නාලනී! වන්නිආරච්චිටයි සිරිවර්ධනටයි කෙහොම හරි මැසේජ් එකක්                            දෙන්න ඕනා.

13.       ලේකම්වරිය:-   ඔව් සර් ……ඒගොල්ලෝ මේ දැන් මුදල් අමාත්‍යාංශයට ගියා ……..

                                    මං පණිවිඩේ දෙන්නම් ……..

14.       කර්නල්:-          කොහොමහරි …….. මට මේ දැන් ඒ දෙන්නව ගෙන්නල ඕනා…

                                   ….අනික අද හවස මැඩ්රාස්වලට යන්න මට ප්ලේන් එකේ සීට් එකක් බුක්            කරන්න ඕනා …… ඒක මේ දැන්ම කරන්න ඕනා …… තේරුනාද? ……            (සංගීතය)

පිටපතක කාලය මැනීම

තමන් විසින් රචනා කරන ලද නාට්‍ය පිටපත නියමිත ප්‍රචාරක කාල සීමාව සඳහා සෑහේද යන්න ගණනය කිරීමද පිටපත් රචකයාට පැවරෙන වැදගත් කාර්යයකි. මේ සඳහා හොඳම ක්‍රමය නම් ඔරලෝසුවක් ලඟ තබාගෙන පිටපත රඟපාමින් කියවා බැලීමයි. මේ කියවා බැලීමේදී ඒ ඒ  චරිතවලට ආරූඩ වී පසුබිම් ශබ්ද සඳහා ගතවන කාලයද සිතේ තබාගෙන එය කළ යුතුය. මේ හැම කියවීමක්ම දී ඇති නියමිත කාලසීමාවට වඩා විනාඩි පහකින් පමණ අඩුවෙන් නිම කිරීමට හැකිවිය යුතුය.

ගුවන් විදුලි වැඩසටහන් අතුරෙන් ප්‍රබලතම වැඩසටහන් ආකෘතිය ගුවන් විදුලි නාට්‍යයයි කීම අතිශයෝක්තියක් නොවන බව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශ්‍රවන පර්යේෂණ අංශයේ සමීක‍්ෂණ වලට අනුව පැවසිය හැකිය. හුදු වින්දනය හැරෙන්නට සංවර්ධන ගැටළු සාකච්ඡා කිරීම, අධ්‍යාපනික කටයුතු සඳහා සහ තොරතුරු ඛෙදා හදා ගැනීම සඳහාද ගුවන් විදුලි නාට්‍ය භාවිතා කළ හැකිය. මේ හැර සම්ප්‍රදායික ග්‍රාමීය සංනිවේදන ක්‍රම වලදී උපයෝගී කරගනු ලැබූ පාරම්පරික රංගනයන් සුදුසු වෙනස්කම් සහිතව ගුවන් විදුලි මාධ්‍ය සඳහාද සාර්ථක ලෙස යොදා ගත හැකි වෙයි. මේ සම්බන්ධයෙන් මහවැලි ප්‍රජා ගුවන් විදුලි සේවය මගින් දරණ ලද ප්‍රයත්නයක ප්‍රතිථලයක් වශයෙන් පර්යේෂණාත්මක “ආයුබෝවේවා” වැඩසටහන් මාලාව බිහිවිය. මේ මගින් අරමුණු කෙරුණේ සම්ප්‍රදායික යාතුකර්මවල එන ඛෙරකරු – ගුරුන්නාන්සේ අතර ඇතිවන ගැටුම් සහගත සංවාදය මගින් සමාජමය ගැටළු සාකච්ඡා කිරීමයි.

කෙසේවෙතත්, මෙම ලේඛණය මගින් සාකච්ඡා කෙරෙණු නාට්‍යෝචිත ගුණාංගයන් පිළිබඳව නිසි අවධානයකින් තොරව ඕනෑම ආකාරයක ගුවන් විදුලි නාට්‍යයක් සාර්ථක ලෙස රචනා කිරීම උගහට බව අවසාන වශයෙන් පැවසිය යුතුය.

විජයානන්ද ජයවීර

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: