එකිනෙක හා අනුපූරක වන ජනමාධ්‍ය පද්ධතියක් අවශ්‍ය ඇයි?

නිදහස් සාධාරණ මැතිවරණ සහ බහුතරය විසින් පත් කරනු ලබන පාලනය වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් මැතිවරණ පැවැත්වීම හා බහුතරයේ පාලනය පමණක් ම නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවක් තීරණ ගන්නේ සමස්ත පොදු ජනතාවගේ යහපතට මිස අතලොස්සක ගේ යහපතට නොවන බවත් සියල්ලන්ට සමානාත්මතාව පදනම් කොට පල ප්‍රයෝජන ලබා ගත හැකි අවස්ථා ආණ්ඩුව විසින් සපයනු ලබන බවත් සුලු ජන කොට්ටාශද ඇතැලුව ආණ්ඩුවකින් පාලනය වන සියලු ජන කොටස් වලට ප්‍රායෝගික ව දැනෙන්නේ නම් පමණි. මේ නිසා විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් රාජ්‍ය බලය යොදා ගැනීමේ දී ආණ්ඩුව හා විවිධ ජන කොටස් අතර නිරන්තරයෙන් කතිකා කොට එළඹ ගත් එකඟතාව ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට අත්‍යවශ්‍ය වේ.

බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ඒකාධිකාරී වාදය දක්වා පිරිහීමට මූලික හේතුවක් වන්නේ රජය හා පුරවැසියන් අතර තිබිය යුතු මේ නිරන්තර ගනුදෙනුව අවශ්‍ය පමණට සාර්ථකව පවත්වා ගෙන යාමට දෙපාර්ශවය ම අපොහොසත් වීමයි. රජය කරවන්නන් එයට අකැමැති වීම හෝ විවෘත කතිකාවට අවශ්‍ය කොන්දේසි සහ අන්තර්ග්‍රහනීය (inclusive) සංනිවේදන මාධ්‍ය නිසි ලෙස ප්‍රවර්ධනය කරගැනීමට ජනසමාජය අපොහොසත් වීම ඊට හේතු විය හැකියි. මෙහි දී රජයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පුරවැසියන් සහ ආණ්ඩුව අතර ඇතිවිය යුතු එකඟතාව විවෘතව හා අනෝන්‍ය බැඳීමකින් යුක්ත ව පැවැත්වීමට අවශ්‍ය කරන කොන්දේසි කවර දැයි මුලින් ම විමසීම මැනවි. එවැනි කොන්දේසි මොනාවාදැ’යි විමසීමේ කටයුත්ත වඩා සරල කර ගැනීම පිණිස මූලික ප්‍රශ්නය කොටස් හතරකට ඛෙදා පහත දැක්වෙන අයුරින් ඉදිරිපත් කළ හැකිය.

(1) ජන සමාජය තුළ කෙතරම් පුළුල් පුරවැසි පරාසයක් සිය අවශ්‍යතා හා අදහස් උදහස් ප්‍රකාශ කර සිටින්නේ ද?

(2) එකී පරාසයට තම අවශ්‍යතා රජය මගින් වැඩදායක ලෙස ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන දුප්පතුන් ද හා අගතියට ලක් විය හැකි විවිධ ජන කොටස් ද කොතෙක් දුරට ඇතුළු වන්නේ ද?

(3) කිසිදු නියම් හෝ අනියම් ආකාරයක තර්ජනයකට පාත්‍ර නොවී තම අවශ්‍යතා හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නොබියව පාවිච්චි කිරීමට පුරවැසියන්ට ඇති අයිතිය තහවුරු කිරීමට රජය කොතෙක් දුරට කටයුතු කරන්නේ ද?

(4)පුරවැසියන් සහ රජය කතිකා කොට එකග වූ කරුණු දෙකොට්ටාශය ම අනෝන්‍ය වශයෙන් වග වෙන ආකාරයට කොයි තරම් දුරකට ප්‍රායෝගික ව ක්‍රියාවට නැගෙන්නේ ද?

මෙකී ප්‍රශ්න වලට ලැඛෙන පිළිතුරේ ස්වාභාවය අනුව රජය හා පුරවැසියන් අතර පවතින සහසම්බන්ධතාව කෙතෙක් දුරට පුලූළ්ව, සමානාත්මවාදී ව, සුරක්ෂිත ව හා අනෝන්‍ය වගකීමකින් යුක්ත ව පවතින්නේ ද යන්න හා ඒ අනුව රටක් කොයි තරම් දුරකට ප්‍රජාතන්ත්‍රවාදී  ද  යන්නද නිශ්චය කරගත හැකිය.

ඉහත කී එක් එක් පැනයට පිළිතුරු සෙවීමේ දී වඩාත් වැදගත් සාධකය වන්නේ කිසිදු ජන කොට්ඨාශයක් පිටමං නො කොට සැම දෙනෙකුට ම එකිනෙකා සමග මෙන් ම රජය සමග ද සංනිවේදනය කළ හැකි එකිනෙක හා අනුපූරක වන සංනිවේදන මාධ්‍ය සමූහයක් ප්‍රවර්ධනය කොට පවත්වා ගෙන යාම පිණිස රජය සහ රජයේ නොවන යන දෙකොට්ටාශය ම ඇතුළු සමස්ත සමාජය තුළ ඇති කැපවීමයි. යහපත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක අනිවාර්ය ලක්ෂණයක් විය යුතු මේ අවශ්‍යතාවය වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සාකච්ඡාවල දක්නට නො ලැබීම ඉමහත් අඩුපාඩුවකි.

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් සහ පාලිත ජන සමූහයන් අතර තිබිය යුතු ඒ නිරන්තර කතිකාව  මූලික වශයෙන් පැවැත්වෙන්නේ ජනමාධ්‍ය නමැති වේදිකාව උපයෝගී කර ගැනීමෙනි. ජනතාව වෙනුවෙන් ආණ්ඩු කටයුතු ජන සංනිරීක්ෂණයට ලක් කරමින් අවශ්‍ය නිරවද්‍ය තොරතුරු සොයා වාර්තා කොට ඒ කතිකාව ජනමාධ්‍ය හරහා සමාජගත කිරීමේ වගකීම පැවරෙන්නේ ඒ සඳහා විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති වෘත්තිකයන් වශයෙන් සැලකෙන ජන මාධ්‍ය කරුවන්ටයි.

ඵ් කටයුත්ත නිසි ලෙස ඉටු කිරීම පිණිස ජනමාධ්‍යවේදීන්ට අන් අයට නැති මූලික වරප්‍රසාද දෙකක් ජනසමාජය විසින් පිරිනමා ඇත. ඉන් එකක් නම් තමන්ට තොරතුරු සපයන ප්‍රභූවරයන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ජනමාධ්‍යවේදීන්ට ඇති අයිතියයි. ඒ අයිතිය නොමැති නම් තත් කතිකාවට වැදගත් වෙන බල පුළුවන් කාරයන් සැඟවීමට තැත් කරන වැදගත් තොරතුරු හා අකටයුතු එළිදරව් කර දීමට ජනමාධ්‍යවේදීන්ට හැකි නොවේ. අනෙක් වැදගත් වරප්‍රසාදය නම් මහජනතාවට සෘජුව හෝ වක්‍රව වැදගත් වන කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා අදාල අයගෙන් ප්‍රශ්න කර විමසීමට ඇති අයිතියයි. දෙවැනි කී අයිතිය අවහිර කිරිම සඳහා ඇතැම් විට සිය යටත් විජිත ස්වාමීන්ගෙන් උරුම වූ රාජ්‍යරහස් රැකීම වැනි කසිකබල් අණ පනත් කිසිදු හිරිකිතයක් නැතිව යොදා ගැනීමට බොහෝ ආණ්ඩු පෙළඹෙන නමුත් ජනමාධ්‍ය කරුවන් ඉල්ලන තමන් සතු තොරතුරු නොස`ගවා සැපයීම බලධරයන්ගේ හා රජයේ සේවකයන්ගේ සමාජමය වගකීමයි.

කෙසේ වෙතත් මේ කටයුත්තේ දී සිය වාර්තාකරණය වෘත්තිය ප්‍රමිති මත පිහිටා ප්‍රශස්ත ලෙස ඉටු කිරීමට ජනමාධ්‍ය කරුවන්ට අවශ්‍ය මූලික කොන්දේසිය වන්නේ රටක මූලික ධාරාවේ ජනමාධ්‍ය නිදහස්, ස්වාධීන හා බහුවිධ ස්වරූපයකින් යුක්ත වීමයි. මේ ලිපියේ අරමුණ එකී කොන්දේසිය සපුරාලීමට ශ්‍රී ලංකාවේ මූලික ධාරාවේ ජනමාධ්‍ය පොදුවේ අසමත් ව ඇත්තේ මන්ද හා ඒ සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක් ද යන්න කෙටියෙන් විමිසා බැලීමයි.

මෙහි දී නිදහස්, ස්වාධීන හා බහුවිධ ජනමාධ්‍ය යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි පළමුවෙන් ම වටහා ගැනීම අවශ්‍ය වේ. නිදහස් ජනමාධ්‍ය යනුවෙන්  අදහස් කරන්නේ ආණ්ඩුවේ හෝ දේශපාලනික හා ආර්ථීක බලවේගවල හෝ අත්තනෝමතික පාලනයකින් තොරව සිය ප්‍රකාශන නිකූත්කිරීම හා ඒවා විකාශනය කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය සම්පත් හා යටිතල පහසුකම් පවත්වා ගෙන යාමට ජනමාධ්‍ය ආයතන වලට ඇති හැකියාවයි. ස්වාධීන මාධ්‍ය යනුවෙන් අදහස් කෙරෙන්නේ බාහිර ඇඟිලි ගැසීමකින් තොරව වෘත්තීය ප්‍රමිති මත පිහිටා තම සංලේඛ්‍ය නිදහස ආරක්ෂා කර ගනිමින් වාර්තාකරණය කිරීමට ජනමාධ්‍ය කරුවන්ට ඇති නිදහසයි. මෙහි දී සුවිශේෂ වශයෙන් රජයේ නියම් හෝ අනියම් ඇ`ගිලි ගැසීම් වලින් තොරව තම පාඨකයන්ට හා ශ්‍රාවකයන්ට පමණක් වග වෙමින් වෘත්තීය අභිමතය පරිදි වාර්තාකරණය කිරීමට ජනමාධ්‍යකරුවන්ට ඇති නිදහස වැදගත් ය. බහුවිධ ජනමාධ්‍ය යනුවෙන් හැඳින්වෙන්නේ පු`ළුල් පරාසයක විෂය අන්තර්ගතය ආවරණය කිරීම පිණිස උපයෝගී කර ගත හැකි පරිදි හැකි තරම් විවිධ වූ පරාසයක ප්‍රභවයන් ගෙන් නිකුත් වන පුවත්පත්, ස`ගරා හා විද්‍යුත් මාධ්‍යවල පැවැත්මයි. සංඛ්‍යාත්මකව බැලු විට විශාල වූවද යම් යම් දේශපාලනික, ආර්ථීක හේතු නිසා ප්‍රධාන ධාරාවේ සිය`ළු මාධ්‍ය සිය වාර්තාකරණය කරන්නේ අධිපති මතවාදයේ පිහිටා අගතිගාමී ව නම් එය බහුමාධ්‍ය වාතාවරණයක් ලෙස සැලකිය නොහැකිය. සංඛ්‍යාත්මකව බැලු විට මාධ්‍ය රැසක් තිබුණ ද අනෙකුත් වාණිජ කටයුතු වලට ආධාරකයක් වශයෙන් මාධ්‍ය පවත්වා ගෙන යන හා සංලේඛ්‍ය නිදහස නො තකා මාධ්‍ය මෙහෙයවන අතලොස්සකට මාධ්‍ය අයිතිය සීමා වීමෙන් ද බහුමාධ්‍ය වාතාවරණයකින් බලාපොරොත්තු වෙන සේවාව නො ලැබිය හැකිය.

ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් සලකා බැලූ විට බොහෝ විට වර්තමානයේ මාධ්‍ය සිය වාර්තාකරණය ඉටු කරන්නේ පාලකයන් සහ පාලිතයන් අතර ඉහත කී කතිකාව පවත්වා ගැනීමට වඩා මාධ්‍ය අයිතිකරුවන්ගේ අගතිගාමී අභිමතයට අනුකූලව බව පැහැදිලිව පෙනී යන්නකි. මෙය වඩා බරපතළ වන්නේ පවතින අධිපතිවාදය අභියෝග කිරීමෙන් තමන් සහ ආණ්ඩුව අතර ඇති ලාභදායී ව්‍යාපාරික හා/හෝ දේශපාලනික සම්බන්ධතාව පලුදු වේයැ’යි යන බියෙන් මාධ්‍ය හිමියන් මාධ්‍ය සංලේඛ්‍ය නිදහසට අනිසි ලෙස ඇඟිලි ගැසීම් කරන්නට පටන් ගත් විටදී ය. එවැනි වාතාවරණයක් යටතේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවකට වේදිකාවක් වීමට ජනමාධ්‍යයට පහසු නොවේ.

මේ බලපෑම යම් පමණකට වළක්වා ගැනීමට නම් තම සේවා තත්වයන් දියුණු කර ගැනීම සහ වෘත්තීය ප්‍රමිති පවත්වා ගැනීම යන කරනු දෙකම අරමුණු කරගත් ජනමාධ්‍යකරුවන්ගේ ස්වාධීන වෘත්තීය සමිති සංවිධාන ආයතන මට්ටමින් බිහි වීම අත්‍යවශ්‍ය වේ. ආයතන මට්ටමේ වෘත්තීය සංවිධාන මගින් වෘත්තීය ප්‍රමිති පවත්වා ගෙන යාම අයිතිකරුවන්ගේ අනභිමත ඇඟිලි ගැසීම් වලින් තොරව තම සංලේඛ්‍ය නිදහස ආරක්ෂා කරගැනීමට පුවත්පත් සංස්කාරකවරුන් ට මහත් අනුබලයකි.  එහෙත් වර්තමානයේ ඇති ජන මාධ්‍ය සංවිධාන බොහෝමයක් සංගත වී ඇත්තේ එසේ ආයතන මට්ටමෙන් සංවිධානය වූ ශාඛා සංවිධාන මත නොවන බැවින් අයිතිකරුවන්ගේ අනිසි බලපෑම් වලින් ජනමාධ්‍ය වාර්තාකරණය අගතිගාමී වීම වැළැක්වීමට එවැනි සංවිධානවලට අපහසු ය. අනෙක් අතට ආයතන මට්ටමෙන් ශක්තිමත් වෘත්තීය සමිති සංවිධානයක් තිබීම ජනමාධ්‍ය අයිතිකරුවන්ට ද වැඩදායක ය. මන්ද එමගින් රජයේ හා බල පුළුවන් කාරයන්ගේ අනිසි බලපෑම් අධෛර්යමත් කිරීමටත් ඒ අනුව වෘත්තීය වාර්තාකරණය මත වෙළඳපොළ සාර්ථකත්වය ඇති කරගැනීමටත් හැකි වන බැවිනි.

එය එසේ වුවද ජනමාධ්‍ය ලාභදායක ව්‍යාපාරයක් වශයෙන් පවත්වා ගෙන යා හැකි වන්නේ වෙළඳපොළ මත ඇතිවෙන ඉල්ලූම සහ සැපයුම මත​ය. වෙළඳ දැන්වීම් වැනි මූලික ආදායම් මාර්ග නිශ්චය වන්නේ වැඩි අලෙවිය මත බැවින් පුද්ගලික ජනමාධ්‍ය වල අන්තර්ගතය බොහෝ විට වැඩි පිරිසකට ආකර්ෂණය වන විනෝදාස්වාදය දෙන සරල විෂය කරුණු හා  බහුජන විශ්වාස මත පදනම් වීම ස්වාභාවයකි. දැනුවත් දේශපාලනික මැදිහත් වීම අවම සමාජයක බොහෝ විද්යුත් මාධ්‍ය ආයතන වලට මේ කාරණය විශේෂයෙන් පොදු ය. අනෙක් අතට තොරතුරු ලබා ගැනීමට අතිරේක ව වැඩි වශයෙන් විනෝදාස්වාදය, විවේක සුවය සහ තනිකම අඩු කර ගැනීම වැනි අවශ්‍යතා සඳහා විද්‍යුත් මාධ්‍ය පරිහරණය කිරීම අසන්නන්ගේ හා නරඹන්නන්ගේ ද අයිතියකි.  නිරන්තර පුවත් හා තොරතුරු, ගවේෂණාත්මක වාර්තාකරණය, ඉහළ මට්ටමේ සමාජයීය හා දේශපාලනික විවරණ, විවාදාත්මක හා අධ්‍යාපනික කරුණු වැනි දෑ සම්බන්ධයෙන් ද හොඳ වෙළඳ පොළක් ඇති කර ගත හැකි නමුදු හොඳ ප්‍රමිතියකින් යුතුව ඒ කටයුත්ත ඉටු කිරීම සඳහා අවශ්‍ය කරන ආයෝජන ඉහළ බැවින් පුද්ගලික මාධ්‍ය සිය වෙළඳපොළ පවත්වා ගෙන යාමට අදහස් කරන්නේ අඩු ආයෝජනයකින් වැඩිම අසන්නන් නරඹන්නන් පිරිසක් රඳවා තබා ගත හැකි වැඩසටහන් ප්‍රචාරය කිරීම මගිනි. විශේෂයෙන් විශාල වෙළඳ පොළක් නොමැති කුඩා රටවල පුද්ගලික ජන මාධ්‍ය තමන්ට ආවේණික වැඩ සටහන් වලින් බැහැරව අවදානම් සහිත ආයෝජන කරමින් අත්හදා බැලීම් කිරීමට පැකිළෙයි.

මේ නිසා ආණ්ඩුව සහ පුරවැසියා අතර ඇති විය යුතු නිරන්තර කතිකාවට අවශ්‍ය පුවත් විවරණ, සාකච්ඡා කතිකා වැනි දෑ බොහෝ විට ප්‍රචාරය වන්නේ වැඩි අසන්නන් හෝ නරඹන්නන් පිරිසක් කන් නො දෙන කාලවල දී ය. මෙය ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවකට අවශ්‍ය පුළුල් දායකත්වයක් ලබා ගැනීමට බාධාවකි. මේ අඩුව සපුරා ගැනීමට ඇතැම් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙන් ගුණාත්මක වශයෙන් ඉහළ වැඩසටහන් ඉදිරිපත් කිරීම තම වෘත්තීය සලකුණ වශයෙන් සලකන ස්වාධීන මහජන සේවා විද්‍යුත් මාධ්‍ය බිහි කළ හැකිය. එය අද පවතින රාජ්‍ය මාධ්‍ය ක්‍රමයට වඩා බෙහෙවින් වෙනස් සංකල්පයකි.

ඒ හැර ලාභ නොලබන පදනමින් අපේ අසල් වැසි නේපාලය, ඉන්දියාව සහ බන්ගලාදේශ​ය වැනි රටවල පිහිටුවා ඇති කුඩා ප්‍රජා ගුවන් විදුලි සේවාද අණුපූරක මාධ්‍ය වාතාවරණයක අත්‍යවශ්‍ය අංගයක් ලසෙ සැලකිය හැකිය. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලින් ආවරණය නොවන එහෙත් අදාළ ප්‍රජා සමූහයට වැදගත් වන කරුණු ස්වාධී​න ප්‍රජා ගුවන් විදුලි සේවාව​න් වලින් ආවරණය කර හැකිය.

දකුණු අප්‍රිකාව වැනි රටවල මාධ්‍ය බහුවිධත්වය පුළුල් කිරීම දිරි ගැන්වීමත් විශේෂයෙන් ප්‍රජා මට්ටමේ මාධ්‍ය පිහිටුවා පවත්වා ගැනීම​ට මහජන ආධාර සපයන Media Development and Diversity Agency වැනි විශේෂිත ස්වාධීන රාජ්‍ය ආයතන පිහිටුවා තිබේ. ප්‍රධාන ධාරාවේ මාධ්‍යය වලට අමතරව බහුවිධත්වය නිරූපණය වන කුඩා ප්‍රමාණයේ මාධ්‍ය වල පැවැත්ම සහතික කරණු වස් ප්‍රංශය වැනි ඇතැම් රටවල එවැනි මාධ්‍යය පවත්වාගෙන යාම පිණිස එකී මාධ්‍ය වල ස්වාධීනත්වය රකිමින් රාජ්‍ය ආධාර ලබා දීමේ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක වේ.

අන්තර්ජාලය විසින් දැන්වීම් වෙළඳ පොල අත්පත් කර ගැනීම නිසා ඇමෙරිකාවේ New York Times සහ බ්‍රිතාන්‍යයේ Guardian ඇතුළු ඇතැම් ගුණාත්මක පුවත්පත් දැන් සිය ආදායම සාක්ෂාත් කර ගන්නේ පුවත් පත මිළදී ගැනීම වාරානුකූලව සහතික කරණ පාඨක දායකත්ව සංඛ්‍යාව වැඩි කර ගැනීමෙනි. ඇත්ත වශයෙන්ම ඒ පුවත් පත් දෙකම සීමිත වෙළඳ දැන්වීම් වලින් උපයා ගන්නවාට වඩා වැඩි ආදායමක් හුදෙක් ගුණාත්මක වාර්තාකරණය හේතු කොට පාඨක දායකත්වය වැඩිකර මගින් ඇති කරගෙන තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදයේ යහපැවැත්මට එකිනෙක හා අනුපූරක වන ජනමාධ්‍ය සමූහයක් අවශ්‍ය වන්නේ හුදෙක් වෙළඳ පොළ පමණක් යැපෙන කරගත් ජනමාධ්‍ය වලින් පමණක් මේ කතිකා කටයුත්ත නිසි ලෙස ඉටු නොවන බැවිනි.

විජයානන්ද ජයවීර

2014 සැප් 11

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: