සංලේඛ්‍ය නිදහස (Editorial Independence) යනු රටක ජනමාධ්‍ය කොතක් දුරට ප්‍රශස්තදැයි යන්න නිගමනය වන වැදගත් සංරචකයකි. ඒ නිසා පුවත් කතෘකරණයේදී සංලේඛ්‍ය නිදහස යනු පාවාදිය නොහැකි ඉතා වැදගත් වෘත්තීය ප්‍රමිතියක් වන්නේ මන්දැයි විමසීම මේ ලිපියේ අරමුණයි.
කිසියම් වටාපිටාවක් හා කාලපරාසයක් තුළ තම චරිත හසුරුවමින් ප්‍රබන්ධයක් ගොඩනගන නවකතා කරුවෙක් කරන්නේද කතෘකරණයකි. එහෙත් ඒ කතෘකරණය පුවත් කතෘකරණයට වඩා වෙසෙසින්ම වෙනස්ය. පුවත්කතෘකරණය යථා වශයෙන්ම සිදුවූ දෙයක් පිළිබඳ කරන සිද්ධිමය වාර්තාකරණයක් මිස නවකතාවක් මෙන් කතෘවරයාගේ සිතැගි අනුව නිර්මාණය කරන ප්‍රබන්ධයක් නොවේ. නවකතා කතෘකරණයේදී මෙන් නොව පුවත් කතෘකරණයේ ගොඩනැගෙන කතන්දර වල ජීවත්වන්නෝ ඇත්ත පුද්ගලයෝය. සිදුවෙන සිද්දීන් ඇත්ත වශයෙන්ම සිදුවූ දේවල්ය. එනිසා පුවත් කතෘකරණයේදී සංලේඛය නිදහස යනු වෙන් හැඳින්වෙන්නේ නව කතා කරුවෙකුට තිබිය යුතු නිර්මාණශීලී නිදහසට වඩා හාත් පසින්ම වෙනස් නිදහසකි. කෙටියෙන් කිවහොත් පුවත් කතෘකරණයේදී —සංලේඛ්‍ය නිදහස යනු නොසඟවා ‘ඇත්ත ඇති සැටියෙන්ම පැවසීමේ නිදහස’ යනුවෙන් පැවසිය හැකියි.
පුවත්පත් කලාවේදී යොදාගන්නා ආඛ්‍යාන ආකෘති විවිධ විය හැකිය. වැදගත් අලුත් සිදුවීමක් අපට දැනුම් දෙන පුවත් වර්තාවක්, වඩා ගැඹුරින් කරුණු විමසා ඉදිරිපත් කරන වාර්තා විචිත්‍රාංගයක්, කිසියම් කරුණක් ගැන ප්‍රමාණික මතයක් ඉදිරිපත් කරන පුවත්පත් කොළමක්, පුවත් ප්‍රභවයක් වශයෙන් සැලකෙන පුද්ගලයෙකු හා කරන විස්තරාත්මක සම්මුඛ සාකච්ඡාවක්, කතු වැකියක් ආදී වශයෙන් ආකෘතිය කුමක් වුවද ඒ සියල්ලටම සංලේඛ්‍ය නිදහස එක සමානව වැදගත් වේ.
පුවත් කලාවේදී ‘ඇත්ත’ යන්නෙන් අදහස් කරන්නේ තොරතුරු එක්රැස් කිරීම සහ ඒවායේ නිරවද්‍යතාවය සැක හැර දැන ගැනීමෙන් ආරම්භවන ක්‍රියාවලියක් මත පදනම් වූ කාරණාවක් මිස කිසියම් සදාතනික වූ නිරපේක්ෂ සත්‍යක් නොවේ. විද්‍යාවේදී මෙන්ම පුවත්පත් කලාවේදීද සත්‍ය යනු තත්කාලීන කරුණුමය සාක්ෂිමත මත තහවුරු වෙන දෙයකි. නවතම විද්‍යාත්මක කරුණක් ගැන පොතක් ලියන විද්‍යාඥයෙක් ස්වාභාව විද්‍යාවක් සම්බන්ධයෙන් දැන සොයා ගත් තත්කාලීන කරුණු මත සිය නිගමනය කතෘකරණය කරයි. ඒ සමානව පුවත් කලාකරුවෙක් සමාජයීය සංසිද්ධියක් ගැන සොයා තහවුරු කරගත් තත්කාලීන කරුණු මත තම වාර්තාව කතෘකරණය කරයි. ඒ අනුව පුවත් කලාවේදීයෙක් සත්‍ය අනාවරණය කිරීමට යොදා ගන්නේ විද්‍යාඥයෙක් සත්‍ය අනාවරණය කරගන්නා විධි ක්‍රමයට සමාන විධි ක්‍රමයකි. එනම් එක්රැස් කරගත් සිද්ධිමය සාක්ෂිමත පිහිටා පවතින ඇත්ත වාර්තා කිරීමයි. ඒ අර්ථයෙන් ගත් විට පුවත් කලාවේ එන සංලේඛ්‍ය නිදහසද, අරමුණ අතින්, විද්‍යාත්මක සත්‍ය සොයන විද්‍යාඥයෙකුට තිබිය යුතු වෘත්තීය නිදහසට මුලුමනින්ම සමාන වේ.
විද්‍යාඥයන්ගේ නිගමන වලට අනිසි බලපෑම් කිරීමට තැත් කිරීම වර්තමානයේදි විරල නමුදු අතීතයේදී එය එසේ නොවීය. සූර්යයා වටා පෘථිවිය භ්‍රමණය වන බවට විද්‍යාත්මක සාක්ෂිමත පිහිටා ගැලීලියෝ ගැලීලි ප්‍රකාශකළ විට එතෙක් පැවැති මතය වූ පෘථිවිය වටා සූර්යයා ගමන්කරන්නේය යන මතය ආගමික වශයෙන් වඩා නිවැරදි බව සැලකූ 17වන සිය වසේ විසූ ආගමික බලධාරීන් තම මතය ඉල්ලා අස්කරගන්නා ලෙස ගැලීලියෝට බල කළේය. ආගමික බලකේනේද්‍ර සතුවූ ඉමහත් අධිකාරී බලයට නතුවූ ගැලීලියෝට සිය මතය ඉල්ලා අස්කරගැනීමට සිදුවිය. එහෙත් තමන් සිය මතය වෙනස් කරගන්නා බව පවසන අතර “ඒක එහෙම වුනත් ඇත්තටම පෘථිවිය ගමන් කරන්නේ අරෙහෙම” තමයි යනුවෙන් ඇසෙන නොඇසෙන තරමට ගැලීලියෝ තමන්ටම කියාගත්තේය. ඒ, ආගමික නායකයන් කෙසේ ඇදහූවත් තමන් විසින් සොයා තහවුරු කරගත් කරුණුමය සාක්ෂිවලට අනුව පෘථිවිය සූර්යයා වටා කරකැවෙන බව සහතික කළ හැකි ඇත්තක් යැයි ගැලීලියෝ වටහා ගෙන තිබූ බැවිනි. එහෙත් එය ප්‍රකාශ කිරීමට ඔහුට තිබිය යුතු සංලේඛ්‍ය නිදහස උදුරා ගැනීමට ආගමික බලධාරීහු තීරණය කර තිබුනි. ඒ අනුව සූර්යයා වටා පෘථිවිය භ්‍රමණය වන බවට පැවසෙන කිසියම්ම ලියවිල්ලක් මින් මතු පළ කිරීමට ගැලීලියෝට තහනම් කෙරුනි. විද්‍යාත්මක සත්‍ය සොයා ගැනීමේදී මෙන්ම පුවත්වාර්තාකරණයේදී සංලේඛ්‍ය නිදහසට සෘජු හෝ වක්‍රලෙස බලපැම් කරන සියල්ලන්ම කරන්නේ අර ආගමික බලධාරීන් ගැලීලියෝට බල කළ අන්දමට සමානව තමන්ගේ බල ව්‍යාපෘතියට හානිදායක වන ආකාරයක තොරතුරු හෙළිදරව් කිරීම බලපෑම් යොදා වැලැක්වීමයි.
පුවත් වාර්තාකරණයේදී සංලේඛ්‍ය නිදහසට බලපෑම් ඇතිවිය හැකි ප්‍රභව විවිධාකාරයි. මේ අතරින් මුල් තැනක් ගන්නේ ආණ්ඩු වලින් හා බලපුලුවන්කාරයන්ගෙන් එල්ලවන බල පෑමයි. ඇතැම් කරුණු ඇති සැටියෙන් වාර්තා කිරීම ආණ්ඩුවේ බලධාරීන්ට අවාසිදායක වන විට සෘජු හෝ අනියම් ආකර බලපෑම් කිරීමෙන් තමන්ට අභිමත පරිදි කතෘකරණය ඉටු කර ගැනීමට වෑයම් කල අවස්ථා බොහෝ විට වාර්තාවේ. විවෘත බලපෑම් කිරීම අසීරුවන අවස්ථාවලදී හා බියගැන්වීමට හා අනියම් බලය පෙන්වීමෙන් තමන්ට ඇති අමාරුවේ දැමීමේ හැකියාව මතක් කිරීමෙන් කතුවරුන් බිය ගන්වා පොළඹවා ගැනීමට ආණ්ඩු හා බලකණ්ඩායම් පෙළඹෙති. ආණ්ඩු පමණක් නොව සංලේඛ්‍ය නිදහසට බලපෑම් කිරීමට තැත් කරන මෙවැනි බල කණ්ඩායම් අතරට දේශපාලන කණ්ඩායම්, ආගමික ව්‍යාපාර, මතවාදී කණ්ඩායම්, ව්‍යාපාරිකයෝ, දැන්වීම්කරුවන්, ලොබි කණ්ඩායම් මෙන්ම. ජනමාධ්‍ය අයිතිකරුවන් ද ගිනිය හැකිය. මෙය වඩා බරපතල වන්නේ පවතින අධිපතිවාදය අභියෝග කිරීමෙන් තමන් සහ ආණ්ඩුව අතර ඇති ලාභදායී ව්‍යාපාරික හා/හෝ දේශපාලනික සම්බන්ධතාවය පලූදු වේයැයි යන බියෙන් මාධ්‍ය හිමියන් මාධ්‍ය සංලේඛ්‍ය නිදහසට නොහොත් මාධ්‍යකරුවන්ගේ වෘත්තිය අභිමතයට අනිසි ලෙස ඇඟිලි ගැසීම් කරන්නට පටන් ගත් විටදීය. තමන්ගේ පුද්ගලික ඕනෑ එපාකම් මත දේශපාලනය මෙහෙයවිය යුතුයැයි සිතන මාධ්‍ය හිමිකරුවන්ගෙන්ද සංලේඛ්‍ය නිදහසට අතවර සිදුවෙයි. එවැනි වාතාවරණයක් යටතේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවකට වේදිකාවක් වීමට ජනමාධ්‍යයට පහසු නොවේ. එහෙත් ජනමාධ්‍යක සමාජ වගකීම ඇති සැටියෙන්ම ඇත්ත සොයා ගැනීමට සිය ග්‍රාහකයාට උදව් කිරීම බැවින් කෙතරම් බලපෑමකට ලක් වූවත් පුවත් වාර්තාකරණයක් හෝ ඉන් කොටසක් හෝ තම ස්වාමියාගේ සිතැඟි ඉටු කිරීම පිණිස කිසියම් ප්‍රමාණයක ප්‍රබන්ධයක් බවට පත් කිරීම පුවත් කතෘවරයෙකු සතු සංලේඛ්‍ය නිදහසට කිසිසේත්ම අයත් නොවේ.
පුවත් කතෘකරණයේදී සංලේඛ්‍ය නිදහස යනු තම මතයට සරිලන ලෙස තොරතුරු විකෘති කරමින් හිතු මතේ කටයුතු කිරීමට ඇති නිදහස ද නොවේ. පුවත් කතෘකරණයේදී සංලේඛ්‍ය නිදහස මෙහෙයවනු ලබන්නේ පොදු යහපත නමැති අරමුණ පෙරදැරි කරගෙන ඇත්ත වාර්තා කිරීමේ අභිප්‍රායෙනි. මේ අනුව ජනමාධ්‍යයේ සංලේඛ්‍ය නිදහස පොදු යහපත යන අරමුණ මත නියාමනය වෙයි.
පුවත් කතෘකරණයේදී සංලේඛ්‍ය නිදහස පොදු යහපත පෙරදැරිකර ගත් එකක් බව අපට දැනෙන්නේ කතෘවරයා සිය මූලික ලැදිකම දක්වා ඇත්තේ පුරවැසියන්ටය යන්න සිය පුවත් වාර්තාකරණ තුළින් පෙන්නුම් කර තිඛෙන්නේ නම් පමනි. මෙහි තේරුම ජනමාධ්‍ය ඉදිරිපත් කරන තොරතුරු අපේ පුරවැසි අවශ්‍යතාවයන් මුල් කොට මිස හුදෙක් දේශපාලන හෝ ආර්ථික ක්‍රමය හෝ මෙහෙයවන බලපුළුවන්කාරයන්ගේ ඕනෑ එපාකම් මත පමණක් ඉදිරිපත් කරන ඒවා නොවිය යුතු බවයි. ඒ නිසා, සමස්ත සමාජය හා එහි විවිධ කොටස් සිය වාර්තාවට පාදක වන කරුණු ගැන දක්වන ආකල්ප තේරුම් ගැනීමට ජනමාධ්‍යකරු උත්සාහගෙන ඇති බව වාර්තාකරණයේදී මැනවින් පෙනී යායුතුය.
සිය දැන්වීම්කරුවන්ගෙන් හා අර්ථපතියන්ගෙන් ලැඛෙන අනුග්‍රහයට සිදුවිය හැකි පාඩු නොතකා පුරවැසි හා පාරිභෝගික අභිමතයන්ට වන හානි අවංකව හා අකලංකව වාර්තා කිරීම තුළින් සිය මූලික ලැදිකම හා වගකීම පුරවැසියන් කෙරෙහිය යන්න පුවත් කතෘකරණයේදී සංස්කාරකයා සිය භාවිතයෙන් අපට ඔප්පු කළ යුතුය. ඒ හැර තොරතුරක් වාර්තා කරන අවස්ථාවේදී එකී තොරතුර මගින් ආවරණය කෙරෙන කරුණු ගැන අදාල ජනමාධ්‍ය ආයතනයට විශේෂිත වූ සම්බන්ධයක් වෙයි නම් එයද කතුවරයා නොසඟවා පාඨකයින්ට දැනුම් දිය යුතුය.
ජනමාධ්‍යක් යනු පොදු යහපත මුල් කොට පවත්වාගත යුත්තකි යන මතය වඩාත් ඉස්මතු වූයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජන මාධ්‍යයේ කාර්යභාරය කුමක් විය යුතුද? යන කරුණ අරභයා දෙවැනි ලෝක යුද්ධ සමයේ අමෙරිකානු සමාජයේ සමාජගත වූ කතිකාව හරහායි. ඇමෙරිකානු ජනසමාජයේ ජනමාධ්‍ය හිමියන් සතු ඒකාධිකාරී බලය 1940 ගණන් වල දැඩි ලෙස විවේචනයට ලක් විය. එතෙක් අමෙරිකානු සමාජයේ මුල් බැසගෙන තිබූ මතය වූයේ මුලූ මනින්ම නිදහස් වෙළඳ පොළ මත ජනමාධ්‍ය පවත්වාගෙන යායුතු බවයි. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මහජන අයිතියක් ඇති කිරීමට තැත් කිරීම හෝ නීති රෙගුලාසි මගින් ජනමාධ්‍ය නියාමනය කිරීම නොකළ යුත්තක් බවත් එනිසා පුවත් පත් නිදහසට හානි විය හැකි බවත් පුවත්පත් නිදහස පිළිබඳ අමෙරිකානු කතිකාවේ ඛෙහෙවින් අවධාරණය කෙරිනි. අනික් අතට පුවත්පත් නිදහස අභියෝගයට ලක්කරන කිසිදු නීතියක් සම්මත කිරීම අමෙරිකානු ව්‍යවස්ථාවේ පළමුවෙනි සංශෝධනයෙන්ම වළකා තිබුනි.
එහෙත් ජනමාධ්‍ය අයිතියේ පැවැතිය යුතු බහුත්ව (pluralistic) හා බහුවිධ (diverse) ස්වාභාවය අනතුරුට ලක්කරමින් ඒ තුළ ඒකාධිකාරී කෝපරේට් බලය හිස එසවීම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බව ඒ වන විට අමෙරිකානුවන් වටහා ගනිමින් තිබුනි. ඒ සම්බන්ධයෙන් අමෙරිකානු මාධ්‍යවේදීන් හා බුද්ධිමතුන් අතර ඇති වූ සංවාදයක ප්‍රතිඵලයක් වශයෙන් චිකාගෝ විශ්ව විද්‍යාලයේ සභාපති මහාචාර්ය රොබර්ට් හචින්ස්ගේ නායකත්වයෙන් මහජන ප්‍රබුද්ධයන්ගේ කොමිසමක් පිහිටුවන ලදී. කොමිසමේ කටයුතු හා එහි නිගමනයන්ට ඇඟිලි නොගැසීමේ කොන්දේසිය යටතේ කොමිසමේ කටයුතු වලට අවශ්‍ය විය හියදම් චිකාගෝ විශ්ව විද්‍යාලය හරහා සැපයීමට ටයිම්ස් සඟරාවේ හා බ්‍රිතාන්‍ය විශ්වකෝශයේ ප්‍රකාශකයෝ එකඟ වූහ. දින දෙකේ සිට තුන දක්වා පැවැති සැසිවාර 17කදී ජනමාධ්‍ය, රාජ්‍ය, සිවිල් සමාජ අංශ වල නියුතු ප්‍රමානිකයන්ද, විද්‍යාර්ථින්ද ඇතුලු 58 දෙනෙකුගේ සාක්ෂි කැඳවූ කොමිසම, අදාල කරුණු සම්බන්ධව සකස් කළ ලේඛන 117ක්ද අධ්‍යනය කළේය. ඒ හැර තවත් සම්මුඛ සාකච්ඡා 225 කින් ද කරුණු රැස් කර කොමිසමේ කටයුතු නිම කිරීමට වසර තුනකට කිට්ටු කාලයක් ගතවිය.
මෙසේ රැස්කරගත් සාක්ෂි වලට අනුව අවසානයේදී හචින්සන් කොමිසම නිගමනය කළ පරිදි මාධ්‍ය අංශයේ ප්‍රතිසංස්ණ කළ යුත්තේ මාධ්‍ය නිදහස ආණ්ඩුවේ පාලනයට නතුවීමෙන් වලක්වා ගැනීමේ ඒකායන අරමුණින් පමණක් නොවේ. මහජන යහපත මුල්කොට කටයුතු කිරීමේ සමාජමය වගකීම මුල් කොට ජනමාධ්‍යට කටයුතු කළ යුතු බව අවධාරණය කළ හචින්ස් කොමිසම ඒ අනුව මාධ්‍ය ප්‍රතිසංස්කරණ මහජන යහපත මුල්කරගෙන කළ යුතු බව පෙන්වා දුන්නේය. කොමිසම නිගමනය කළ පරිදි එකී මහජන යහපත මුල්කොට කටයුතු කිරීම හුදෙක් නිදහස් වෙළඳපොළ මත ජනමාධ්‍ය රඳා පැවැතීම නිසාම ඉටු වෙතැයි අපේක්ෂා කළ නොහැකිය. ඒ, විශාල ග්‍රාහකයන් පිරිසක් අල්ලා ගැනීමේ වාණිජ අභිප්‍රාය පමණක් සලකා කටයුතු කරන ජනමාධ්‍ය ඇතැම්විටක අර්ථාන්විත තොරතුරු වෙනුවට භාවාතීශය තොරතුරු ලබා දීම උදෙසා තොරතුරුවල නිරවද්‍යතාවය වුවද නොසලකා හරින බැවිනි. හුදෙක් නිදහස් වෙළඳ පොළ සංකල්පය මත පමණක් ජනමාධ්‍ය පවත්වාගෙන යා යුතුය යන අදහස මාධ්‍ය ඒකාධිකාර බිහිවීමේ හැකියාව පෝෂණය කරණ බවත්, එවිට ජනමතය තමන්ට රිසි පරිදි හැඩගස්වා ගැනීමට අන් අයට නොමැති අවකාශයක් ඒකාධිකාරී මාධ්‍ය වලට ඇතිවෙන බවත් හචින්ස් කොමිසම පෙන්වා දුන්නේය. හචින්ස් කොමිසමේ විචාරශීලී අදහස් කතෘවරුන් ඇතුළු බොහෝ ජනමාධ්‍ය කරුවන්ගේ, සිවිල් ක්‍රියාධාරීන්ගේ හා විද්‍යාර්ථින්ගේ ප්‍රසාදයට ලක්විය.
එහෙත් මාධ්‍ය ඒකාධිකාරවලින් ඇතිවිය හැකි අනතුරු වැලැක්විය යුත්තේ නිතිරීති හෝ රාජ්‍ය නියාමන ක්‍රම වලින් නොවන බවත් හචින්සන් කොමිසම තරයේ කියා සිට්යේය. එවැනි රාජ්‍ය මැදිහත් වීමක් ජනමාධය්‍ය නිදහස අනතුරට පත්කරනු ඇතැයි හචින්සන් කොමිසම විශ්වාස කලේය.
එසේනම් කළ යුත්තේ කුමක්ද? හචින්සන් කොමිසමේ පිළිතුර වූයේ ජනමාධ්‍ය ආයතනවල කටයුතු කරන කතෘවරුන් සහ ජනමාධ්‍ය කාර්ය මණ්ඩලය තමන් කටයුතු කරන්නේ මහජන යහපත සඳහාය යන්න අවබෝධ කරගෙන අනෙකුත් සියළු කරුණු අභිබවා ඒ සඳහා කැපවෙන්නෙමි යන අදහස පෙරදැරිකරගත් අනුල්ලංඝනීය වෘත්තීය අභිමානය මත ක්‍රියා කළ යුතුබවයි. ඒ සඳහා ඉහළ වෘත්තීය පරිචයක් සහිත ජනමාධ්‍යකරුවන් අත්‍යවශ්‍ය බවත් ඔවුන්ගේ සංලේඛ්‍යෙ නිදහස ආරක්ෂා කිරීම ඉතා වැදගත් බවත් හචින්සන් කොමිසම කියා සිටියේය. ජනමාධ්‍යකරුවන්ගේ වෘතීය ස්වතන්ත්‍රභාවය, සංලේඛ්‍ය නිදහස, ආචාරධාර්මික ප්‍රමිති, මහජනසේවා අවධාරණය යථාභූත වාර්තාකරණයේදී (objective reporting) අත්‍යවශ්‍ය වන පරිචය ලක්ෂණ වශයෙන් කොමිසම හුවාදැක්වීය. මේ අනුව තම වාර්තාකරණයට විෂයවන අය හා අබද්ධවීම, අපක්ෂපාතිවීම, සිද්ධිමය කරුණු ගරු කොට වැදගත් දාෂ්ටිකෝණ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම ජනමාධ්‍යකරු විසින් ඉටුකල යුතු වෘතීය වගකීම් විය. මුලුමනින්ම පාහේ වෙළඳපොළ මත කටයුතු කළද නිව්යෝක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට් වැනි පුවත් පත්වළින් පිළිබිඹුවන අන්දමේ සංලේඛ්‍ය නිදහස සහ ඉහළ වෘත්තීය පරිචයක අවශ්‍යතාවය අද පවා අමෙරිකානු පුවත්පත් කලා සම්ප්‍රදායේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ හචින්ස් කොමිසමේ නිගමන වල නිරන්තර බල පෑම නිසාය.
හචින්ස් කතිකාවට පසු අමෙරිකානු ජනමාධ්‍යයේ සංලේඛ්‍ය නිදහස අර්බුදයට ගිය තවත් අවස්ථාවක් වුයේ 2003 දී ඉරාක යුද්ධයට අමෙරිකානු ජනතාව පක්ෂපාතීකර ගැනීම පිණිස සදාම් හුසේන් සතුව ජන සමූලඝාතක යුද අවි ඇතැයි යන මතය සමාජගත කිරීම පිණිස බුෂ් රජයට අමෙරිකානු ජනමාධ්‍ය අන්දවා ගත හැකිවීම නිසාය. මහජන යහපත පිළිබඳව හචින්ස් කොමිසමේ නිගමන වල ආබාශයට අනුව අමෙරිකානු ජනමාධ්‍ය විසින් කළයුතුව තිබුණේ ඉරාකය සතුව ජනසමූලඝාතක අවි තිබේය යන චෝදනාවේ නිරවද්‍යතාවය විමසා බලා විචාරශීලී වෘත්තීය වාර්තාකරණයක් කිරීමයි. එහෙත් ඒ වෙනුවට රජයේ මතවාදය ප්‍රචාරණය කිරීමට අනුග්‍රහය දැක්වීමෙන් අමෙරිකානු ජනමතය ඉරාක යුද්ධය සඳහා නම්මවා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් යුද්ධයෙන් අහිමි වූ අමෙරිකානු තරුණ ජීවිත 4486 සම්බන්ධයෙන් සමාජමය වගකීමක් අමෙරිකානු ජනමාධ්‍යටද ඇති බව එරට පිළිගත් ජනමාධ්‍ය වේදීන් සහ විද්‍යාර්ථින් කල්පනා කළහ. කොළොම්බියා විශ්ව විද්‍යාලයේ කීර්තිමත් ආචාර්යවරයෙකු වූ නැසීගිය ජේම්ස් කැරේගේ නායකත්වයෙන් හා ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මේ කතිකාව ජනමාධ්‍යයේ වෘත්තියභාවය දියුණු කිරීම සඳහා සංවිධානය වූ පොයින්ටර් ආයතනයේ (Pointer Institute)- මැදිහත් වීමෙන් සිදුවූවකි. ස්වයං විවේචනාත්මකව සිදුකෙරුනු මේ කතිකාවේදීද හුදෙක් වෙළඳපොළ මත නොව මහජන යහපතද මුල්කොට ජනමාධ්‍ය පැවැතිය යුතුය යන හචින්ස් කොමිසමේ නිගමනය යළි තහවුරු කළේය. මේ කතිකාවේ අභාෂයෙන් බිල් කොවැක් සහ ටොම් රොසැන්ටියල් විසින් ලියන ලද Elements of Journalism නමැති මාහැඟි ග්‍රන්ථය සෑම ජනමාධ්‍යවේදියෙකු විසින්ම කියවිය යුතුය.
මේ අනුව ජනමාධ්‍යයේ සංලේඛ්‍ය නිදහස අනතුරට ලක්වන විවිධ අවස්ථාවන් වල ඒ පිළිබඳව විවෘත්ත කතිකාවක් ඇතිවීම අමෙරිකානු පුවත්පත් කළා සම්ප්‍රදායේ වැදගත් ලක්ෂණයකි. ජනමාධ්‍ය කරුවාගේ අරමුණ මහජනතාවට තම ජීවිත, තමා අයත්වන ප්‍රජාව හා සමාජය සහ තමන් පාලනය කරන ආණ්ඩුව සම්බන්දයෙන් වඩාත්ම සුදුසු තීරණ වලට එළඹීම පිණිස අවශ්‍ය තොරතුරු සැපයීමයි. ඒ අනුව නිර්බාධකව මහජන යහපත මුල්කරගැනීමට ජනමාධ්‍යට ඇති හැකියාවම සංලේඛ්‍ය නිදහස බව පැවසිය හැකිය.
කෙසේ වෙතත් ජනමාධ්‍යකරුවා සිය වාර්තාකරණයට පාත්‍ර කරනු ලබන අයගේ බලපෑමෙන් ස්වාධීන වී ඇති බව සංලේඛ්‍ය නිදහස අගයන ජනමාධ්‍ය කරුවෙකුගේ වාර්තාකරණය තුළින් අපට පෙනී යායුතුය. ජනමාධ්‍යයක නිරත වන කොලම් රචකයන්, විවරණ සපයන්නන් හා ජනමාධ්‍යකරුවන් ඉදිරිපත් කරන කරුණු මහජන මතය හැඩගැන්වීමේ දැනුවත් විවාදයකට දායක වන අයුරින් ඉදිරිපත් කරන ඒවා මිස කිසියම් කණ්ඩායමකගේ පටු අවශ්‍යයතාවයන් ඉටු කරගැනීමට ඉදිරිපත් කරන ඒවා නොවිය යුතුය. ඒ අනුව වාර්තාකරණයේදී සංලේඛ්‍ය නිදහස යනවෙන් අදහස් වන්නේ හුදෙක් තමන්ගේම පටු අවශ්‍යතා මත පක්ෂග්‍රාහීවීමට ඇති නිදහස නොවේ.
යම් කිසි කරුණකදී පක්ෂපාතීවීමට සංලේඛ්‍ය නිදහස යොදාගත හැක්කේ පොදු මහජන යහපත සඳහා ඒ පක්ෂපාතිභාවය අවශ්‍ය වන බව තීරණය කරන පුවත්පතක් තමන්ගේ කියවන්නන්ට ඒ බව විවෘතව හා සහේතුකව දැනම් දෙන අවස්ථාවලදී පමණි. ඒ අනුව පොදු යහපත සලකා වෙනස් ආණ්ඩුවක් ඇති කරගත යුතු යැයි සලකා පැවැත්වෙන මැතිවරණයකදී විවෘතවම කිසියම් දේශපාලන පක්ෂයකට ආධාර කිරීමට පුවත් පතක් තීරණය කිරීම එහි සංලේඛ්‍ය නිදහස කෙලසීමක් නොවේ. සංලේඛය නිදහස කෙලෙසෙන්නේ ඒ මතයේ පිහිටා හිතා මතා අනෙක් පාර්ශවයන්ට අවාසි දායක වන ලෙස පුවත් විකෘති කිරීමක් හෝ වාරණය කිරීමක් කළහොත්ය. එහෙත් මැතිවරණයකදී තෝරාගත් දේශපාලන පක්ෂයකට අනුග්‍රහය දැක්වීමට පුවත්පතකට ඇති නිදහස පොදු මහජන දේපලක් වන විද්‍යුත් තරංග බාවිතා කිරීමේ බලපත්‍රයක් මත විකාශණය වන විද්‍යුත් මාධ්‍යකට හිමි නොවේ. මන්ද තාක්ෂණික වශයෙන් බැලුවිට ඕනෑම අයෙකුට පුවත් පතක් ආරම්භ කිරීමට හැකිවූවද සංඛ්‍යාත ප්‍රමාණයේ සීමිත කම් නිසා විද්‍යුත් මාධ්‍ය ආරාම්භ කොට පවත්වාගෙන යා හැකි වන්නේ සීමිත සංඛ්‍යාවකට පමණක් බැවිනි. ඒ නිසා මැතිවරණයකදී හෝ වෙනත් අවස්ථාවකදී පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සංලේඛ්‍ය නිදහස යන වහන්තරාවෙන් වසා ගැනීමට විද්‍යුත් මාධ්‍යයට නොහැකිය.
ජන මාධ්‍යකරු සංලේඛය නිදහස උපයෝගි කරගත් යුත්තේ තම සංනීරීක්ෂණ කාර්යය හරිහැටි ඉටු කරමින් වංචාව, දූෂණය ඇතුළුව බලය අයුතු ලෙස යෙදීම, අකටයුතුකම් සම්බන්ධයෙන් වැදගත් හා අළුත් කරුණු අනාවරණය කරමින් ඒ සම්බන්ධයෙන් සමාජය සිතන ආකාරය දැනුවත්ව වෙනස් කිරීමට දායක වීම සඳහාය. කෙසේ වෙතත් මේ නිදහස හුදෙක් තම ආයතනය ජනප්‍රිය කරලීමේ අටියෙන් කරන අතුරු ප්‍රදර්ශනයක් ලෙස පදනම් විරහිත චෝදනා සහ බොරු ලෝකාපවාදයන් සඳහා යොදා නොගත යුතුය. හුදෙක් රාජ්‍යය ආයතන වලට පමණක් නොව කටයුතු අකටයුතු පිළිබඳ තම සංනිරීක්ෂණය පෞද්ගලික අංශයටද අනෙකුත් බල කණ්ඩායම් කෙරෙහිද යොමු කිරීම ජනමාධ්‍යයේ වගකීමකි. ඒ අනුව සොයා දැනගත් කරුණු වලින් හෙළිවන අකටයුතු කම් වසං කිරීම හෝ වාර්තා නොකිරිමට තීරණය කිරීම සංලේඛ්‍ය නිදහස නොව, සංලේඛ්‍ය නිදහස අවභාවිතාවේ යෙදවීමකි. මන්ද කතෘවරයෙකුට සංලේඛ්‍ය නිදහස හිමිවන්නේ අකටයුතුකම් සොයාබලා මහජන යහපත තකා අනාවරණය කිරීමට වන බැවිනි. මේ අනුව ස්වයංවාරණය යනු සංලේඛ්‍ය නිදහස හරාකිරි කරගැනීමකි.
කතෘවරයෙකුට සංලේඛ්‍ය නිදහස සාධාරණීයකරණය කළ හැකිවන්නේ පුරවැසියන් වශයෙන් අන්නොන්‍ය ලෙස අදහස් හුවමාරු කරගැනීමේ ඉඩකඩක් තත් ජනමාධ්‍ය සිය ග්‍රාහකයන්ට නිරන්තරයෙන් ලබා දෙන්නේනම්ය. නොඑසේව හුදෙක් තමන් අකැමැති තොරතුරු හා මත සමාජගත වීමෙන් වැලැක්වීමේ අදහසින් කතෘමණ්ඩල සංලේඛ්‍ය නිදහස පිළිබඳ අයිතිය යොදා ගැනීම අයුතුය. ඒ අනුව සංලේඛ්‍ය නිදහස යොදා ගෙන ඇත්තේ අන්තවාදී මතධාරීන්ගේ ස්ථාවරයන් පමණක් ඉස්මතු කරනවා වෙනුවට ඒ මත පිළිබඳ පුළුල් නියෝජන පරාසයක විසම්මුතික අදහස්, උදහස් හා වටිනාකම්ද ජනමාධ්‍ය භාවිතය තුළින් ඉස්මතු කිරීමට බව කතෘකරණයෙන් අපට පෙනී යායුතුය.
හචින්ස් කොමිසම විසින් අනුදත් මතවාදයට අනුව සංලේඛ්‍ය නිදහස පවත්වාගෙන යාමට නම් ජනමාධ්‍යයේ පෞද්ගලික අයිතිය මෙන්ම අයිතියේ විවිධත්වයද එක හා සමානව වැදගත්ය. මෙහිදී පෞද්ගලික අයිතිය අවධාරණය වූයේ පුද්ගලික අයිතිය නිසා රජයේ මැදිහත්වීමකින් තොරව සංලේඛ්‍ය නිදහස පවත්වාගැනීමට අවශ්‍යවන ආර්ථික නිදහස ජනමාධ්‍යයකට ලඟා කර ගත හැකි බැවිනි. ඒ එසේ වුවද ජනමාධ්‍ය අයිතිකරුවන්ගෙන් සිදුවිය හැකි අනර්ථකාරී බලපෑම් පිටු දැකීම සඳහා කළයුත්තේ පිළිගත් වෘත්තිය ප්‍රමිති මත පිහිටා සංලේඛ්‍ය නිදහස රැකගනිමින් කර්තෘකරණය කිරීමෙන් බව හචින්සන් කොමිසමේ මතය විය.
පුද්ගලික අයිතියේ බහුවිධ ස්වභාවයද සංලේඛ්‍ය නිදහස හා වෘත්තීය ප්‍රමිති පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය බව හචින්ස් කතිකාව හරහා ඉස්මතු විය. ජනමාධ්‍ය අයිතිය විවිධාකාර වීම නිසා බහුත්වවාදී වාර්තාකරණ දෘෂ්ටිකෝණ හා විවිධ අදහස් අලෙවිවන වෙළඳ පොළක් ඇතිවන බවත් මේ කතිකාව හරහා ඉස්මතු වූ තවත් තර්කයකි. පුද්ගලික අයිතියේ බහුවිධ ස්වාභාවයන් යන්නෙන් මෙහිදී අදහස් වන්නේ පෞද්ගලික අයිතිය යනු පුද්ගලයන්ට අයිති යන්න පමණක් නොව විවිධ ආකෘති වල පුද්ගලික අයිති මොඩල වලින් යුක්ත වීමයි. මෙහිලා සුවිශේෂ මොඩලයක් වශයෙන් රාවය පුවත්පතේ අයිතිය සැලකිය හැකිය. අයිතිය අතින් ගත් විට රාවය පුවත්පත ලංකාවේ ඇති අනෙක් පුවත් පත් වල අයිතියට වඩා ඛෙහෙවින් වෙනස්ය. අනෙක් පුවත්පත් බොහෝමයක්ම තනි පුද්ගයෙකුට හෝ සමාගම්ගත වූ පුද්ගලයන්ට හෝ පවුල් වලට අයත්වේ. එයට වෙනස්ව, රාවය පුවත්පතේ අයිතිය සංයුක්ත වී ඇත්තේ එහි ප්‍රධාන කතෘවරයා හා සේවක මණ්ඩලය අතර වැඩි කොටස් ප්‍රමාණයක හිමිකම ඇතිවන සේය. කොටින්ම රාවයේ තීරණාත්මක අයිතිය කතෘමණ්ඩලය සතුදෙයකි. ඒ නිසා කතෘමණ්ඩලීය කරුණු සම්බන්ධයෙන් අයිතිකරුවෙකුගේ බලපෑමක් රාවය පුවත් පතේ ඇතිවිය නොහැක. මේ හා තරමක් සමාන අන්දමින් අයිතිය සැකසුණු අනෙක් මාධ්‍ය අතරට බි්‍රතාන්‍යයේ —ගාඩියන්˜ සහ ප්‍රන්සයේ —ලෙ මොන්ඩ්˜ වැනි සම්භාව්‍ය පුවත්පත් ගැනේ. ඒවායේ අයිතියද පවත්වාගෙන යන්නේ රාවයේ මෙන්ම භාරකාර මණ්ඩලයක් හරහාය. පුවත්පත් අයිතිකරුවන් හරහා ආණ්ඩුවේ අනියම් බලපෑම් වලට පුවත්පත් නතුකරගැනීමට ඇති හැකියාව මේ මොඩලයේ ඛෙහෙවින් අඩුය. රාවයේ අයිතිය පිලිබඳ මෙතක් පැවැති ස්වාභාවය ඒ ආකාරයේන්ම ආරක්ෂාකර ගැනීමට රාවයේ පාඨකයන් ප්‍රමුඛ සිවිල් සමාජය මැදිහත් වූයේ බාහිර බලපෑම් වලින් තොරව සංලේඛ්‍ය නිදහස පවත්වා ගැනීමට ජනමාධ්‍ය අයිතිය පිළිබඳ එවැනි මොඩලයකට ඇති සුවිශේෂ හැකියාව සලකමිනි.
මේ අන්දමින් බැලූ විට ප්‍රජා අයිතිය ඇති ජනමාධ්‍යවල පැවැත්මද බහුත්වවාදී ජනමාධ්‍ය ක්ෂේත්‍රයක් සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. ප්‍රජා අයිතිය ඇති ජනමාධ්‍ය අතරින් වඩාත් ප්‍රචලිත මාධ්‍ය වන්නේ ප්‍රජගුවන් විදුලි සේවාවන්ය. ප්‍රජාගුවන් විදුලි සේවාවක් යනු නිශ්චිත ප්‍රජාකණ්ඩායමක් නියෝජනය කරන ප්‍රජාසංවිධානයක් මගින් පවත්වාගෙන යන කුඩා ගුවන් විදුලි සේවාවන්ටයි. ඒවායේ අයිතිය අදාල ප්‍රජාකණ්ඩායම සතුය. ඒ ප්‍රජාකණ්ඩායම නියෝජනය කරන ප්‍රජාසංවිධානයේ වගකීම වන්නේ ප්‍රජාගුවන් විදුලි සේවාවේ සංලේඛ්‍ය නිදහස ආරක්ෂාකරගනිමින් ජනමාධ්‍ය ආචාරධර්ම හා විද්‍යුත් මාධ්‍ය නියාමන ප්‍රමිතීන්ට අනුකූල වන අතරම උපරිම ප්‍රජාසහභාගීත්වය තහවුරු කරමින් අදාල ප්‍රජාවගේ සංනිවේදන පරිමණ්ඩලය ලෙස ප්‍රජාගුවන් විදුලි සේවාව පවත්වා ගැනීමයි.
පුද්ගලික නොවන පොදු අයිතිය සහිත මාධ්‍යද බහුවිධ සහ බහුත්වවාදී මාධ්‍ය ක්‍රමයක අත්‍යවශ්‍ය ලක්ෂණයකි. මේ ගණයට අයත්වන්නේ ආණ්ඩුවේ පාලනයෙන් තොරව මහජන අරමුදල් වලින් පවත්වා ගෙන යන නිදහස් ස්වතන්ත්‍ර මහජනසේවා විද්‍යුත් මාධ්‍යයයි. බ්‍රිතාන්‍යයේ බීබීසිය හා ජපානයේ එන්එච්කේ මේ සම්බන්ධයෙන් හොඳ උදාහරණයි. උද්ගත විය හැකි අනිසි දේශපාලන බලපෑම් වලින් නිදහස් මහජන සේවා විද්‍යුත්මාධ්‍ය ආරක්ෂාකිරීම සඳහා සුදුසු ලිඛිත හෝ අලිඛිත ව්‍යස්ථාපිත සහතිකයක් අත්‍යවශ්‍යය. බිබීසී ආයතනයට රෝයල් චාටරයක් මත එය ලැබී තිබේ. එහි පාලන මන්ඩලය සංයුක්ත වී ඇති ආකාරය, ග්‍රාහක බලපත්‍ර ක්‍රමය මගින් තහවුරු කර ඇති පොදු අරමුදුල් ලැබීමේ ක්‍රමවේදය බීබීසී ආයතනය පවතින ආණ්ඩුවට නොව මහජනතාවට වගවන ආකාරයට පවත්වාගෙන යාමටත් මහජන යහපත මුල් කොට කතෘකරණය ඉටු කිරීම පිණිසත් සැකසී තිබේ. බීබීසි යනු පොදු අයිතිය මුල්කරගත් මොඩලයකි. ඒ මොඩලය තුළ දේශපාලනික හා ව්‍යාපාරික බලපෑම් වලින් මිදී සංලේඛ්‍ය නිදහස ආරක්ෂා කරගැනීමට ජනමාධ්‍ය වේදීන්ට ඇති ඉඩකඩ වැඩිය. ප්‍රමාණවත් අරමුදල් සහ සංලේඛ්‍ය නිදහස සම්බන්ධයෙන් ලැඛෙන ඒ සහතිකය නිසා ගුණාත්මක බැවින් ඉහළ වැඩසටහන් නිපදවීමටද නිදහස් මහජනසේවා විද්යුත් මාධ්‍යකට හැකිවේ. නිදහස් මහජන සේවා විද්‍යුත් මාධ්‍ය පවතින රටවල අනෙකුත් විවිධ විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් වලට අනාවරණය වන ග්‍රාහකයන් බොහෝවිට එකි වැඩසටහන් වල ගුණාත්මක භාවයට පිළිබඳ ප්‍රමිති තීරණය කරන්නේ නිදහස් මහජන සේවා විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රචාරය වන වැඩසටහන් මිණුම් දණ්ඩක් ලෙස යොදා ගැනීමෙනි. එහිදීද ගුණාත්මක බවෙන් ඉහළ වැඩසටහන් බිහිවීමේ මූලික සාධකයක් වන්නේ අනුල්ලංඝනීයලෙස සංලේඛ්‍ය නිදහස පවත්වා ගෙන යාමට නිදහස් මහජනසේවා විද්යුත් මාධ්‍යකට ඇති හැකියාවයි. වාරානුකූලව පත්වෙන ව්‍යවස්ථාපිත මහජන නියෝජිත සහාවලට අතිරේකව, මහජනතාවට සෘජුව හා වක්‍රව බලපාන කරුනු විවෘතව සංවාදයට ලක් කිරීමේ ලා නිරන්තර මහජන සාකච්ඡා මණ්ඩපයක් ලෙස කටයුතු කිරීමට අනෙකුත් මාධ්‍ය වලට වඩා නිදහස් මහජන සේවා විදයුත් මාධ්‍ය වලට හැකිවන්නේ එම සංලේඛ්‍ය නිදහස නියම මහජන සේවා විද්‍යුත් මාධ්‍යක් පිහිටුවීමේ ලා පූර්ව කොන්දේසිය වන බැවිනි. ඒ අනුව කාර්යක්ෂම නිදහස් මහජනසේවා විද්‍යුත් මාධ්‍ය ආයතනයක් යනු දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක අත්‍යවශ්‍ය අංගයකි.
ජනමාධ්‍යක සංල්ඛ්‍ය නිදහස සුරැකිය යුතුයැzයි කියන විට මතක තබාගත යුතු මූලික කරුණක් වන්නේ සංලේඛ්‍ය නිදහසට කිසියම් ආකාරයක අනිසි බලපෑමක් ඇතිවිය හැක්කේ අදාල වාර්තාව ජනමාධ්‍ය ඔස්සේ පළ කිරීමට පෙර බවයි. වරක් ජනමාධ්‍යයෙන් පළකළ පසු එම වාර්තාව ගැන කෙරෙන ගුණදොස් විවේචන මෙන්ම කිසියම් ජනමාධ්‍යක දක්නට ලැඛෙන පොදු දුර්වලකම් සද්භාවයෙන් විවේචනයට ලක් කිරීම ජනමාධ්‍ය පරිහරණය කරන්නන්ගේ අයිතියක් මිස සංලේඛ්‍ය නිදහසට ඇඟිලිගැසීමක් නොවේ. ඒ අනුව පුවත්පතක හෝ විද්‍යුත්මාධ්‍ය නාලිකාවක වාර්තාවලින් හා වැඩසටහන් වලින් පිළිබිඹුවන දුර්වල වෘත්තීය මට්ට්ම හා පක්ෂග්‍රාහී වාර්තාකරණය විවේචනයට ලක් කිරීම එම ජනමාධ්‍ය ආයතනයේ සංලේඛ්‍ය නිදහසට බාධා කිරීමක් වශයෙන් නොසැලකේ. ඒ නිසා සංලේඛ්‍ය නිදහස යනු ජනමාධයකරුවන්ට තමන්ගේ වෘත්තිය බැරිකම වසා ගැනීමට පාවිච්චිකළ හැකි වහන්තරාවක් නොවේ.
ඇත්ත වශයෙන්ම සංලේඛ්‍ය නිදහස යනු ජනමාධ්‍ය නිදහස වඩා නිශ්චිත ආකාරයකට හුවා දැක්වීමකි. ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය තුළ ජනමාධ්‍ය මගින් ඉටු කළ යුතු කාර්භාරය ගැඹුරින් සමාජගත වී නැති රටක විවිධ ආකාරයේ බලපෑම් වලින් සංලේඛ්‍ය නිදහස ආරක්ෂා කර ගැනීම අභියෝගාත්මක කටයුත්තකි. එහෙත් මාධ්‍ය සතු සංලේඛය නිදහස සහතික කිරීම සමාජමය වගකීමක් වශයෙන් සලකන සමාජයක මාධ්‍ය අයිතිකරුවන්ට වුවද තම කතුවරුන්ට අනිසි බලපෑම් කිරීම අපහසුය.
විජයානන්ද ජයවීර