ජනමාධ්‍ය සහ සමාජ විද්‍යා විෂයයේ විකල්ප ජන මාධ්‍ය සම්බන්ධයෙන් ඇති අධ්‍යනයන් ඉතා අල්පයි. ජන මාධ්‍ය අධ්‍යනකරුවන්ගේ බයිබලය ලෙස සැලකෙන ඩෙනිස් මැක්ක්වේල්ගේ ජනමාධ්‍ය න්‍යාය නමැති ග්‍රන්ථයේ වර්තමාන සංස්කරණයේ පවා විකල්ප මාධ්‍ය සම්බන්ධයෙන් ඇති සටහන පිටු දෙකකට පමණක් සීමා වූ වක්.
අනික් අතට විකල්ප මාධ්‍යය ක්ෂේත්‍රයෙ ශ්‍රාස්ත්‍රීය අධ්‍යන බොහෝ විට යොමු වී ඇති අත්තේ ප්‍රජා ගුවන් විදුලි වැනි දුලබ මාධ්‍ය ව්‍යුහ සම්බන්ධයෙන් පමණයි. විකල්ප මාධ්‍යයට දී තිබෙන පොදු නිර්වචනයක් ලෙස සැලකිය හැකි ‘‘විකල්ප මාධ්‍යය යනු පිළිගත් ධුරාවලිය, දේශපාලන පද්ධති, ආර්ථිකය සහ සංස්කෘතිය අභියෝගයට ලක් කරන හෙජමොනි විරෝධී මාධ්‍ය විශේෂයකි‘‘ යන්න පවා සීමිත තේරුම ගෙන දෙන්නක්. මන්ද ඒ මගින් විප්ලවකාරී සංවිධානයක මතවාදය ප්‍රචාරය කිරීම පිණිස පවත්වා ගෙන යන මාධ්‍යයක් වුව හැඳින්විය හැකි බැවිනුයි.
විකල්ප මාධ්‍ය ඇතැම් විට විවිධාකාර ලෙස විස්තර කරන බව ත් අපට පේනවා. ප්‍රජා ගුවන් විදුලිය වැනි දේවල් වල දී විකල්ප මාධ්‍ය නිර්වචනය කිරීම සඳහා මාධ්‍ය අන්තර්ගතය ප්‍රජා සහභාගිත්වය හරහා නිපදවීම සම්ප්‍රදායට ප්‍රතිපක්ෂ විකල්පය වශයෙන් සැලකෙනවා. තවත් අය විකල්ප මාධ්‍ය යනුවෙන් හඳුන්වන්නේ මහා පරිමාණයෙන් පළ වෙන රාජ්‍ය හෝ වෙළඳ පොළ අයිතියට යටත් ධුරාවලියට හා ආධිපත්‍යක කතිකාව ට අනුකූලව පළ වෙන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලට විකල්පයක් වශයෙන් සුලු පරිමාණයෙන් පළ වෙන, ධුරාවලි නො තකන, ආධිපත්‍යක කතිකාව අභියෝගයට ලක් කරන අදහස් පළ වෙන මාධ්‍ය විශේෂයක් වශයෙන්. තවත් ආකාරයකින් විකල්ප මාධ්‍ය විස්තර කරන අය එය හඳුන්වන්නේ රාජ්‍ය හා වාණිජ මාධ්‍ය විසින් පවත්වා ගෙන යන සංනිවේදන ආධිපත්‍යට ප්‍රතිපක්ෂ ව තුන්වැනි හඬක් ඉදිරිපත් කිරීම පිණිස සිවිල් සමාජ සංවිධාන විසින් පවත්වා ගෙන යන මාධ්‍ය වශයෙන්. මේ අන්දමින් විකල්ප මාධ්‍ය නිර්වචනය කිරීමේ ප්‍රයත්නවල ඇති අඩුපාඩු එමටයි. ඒ එක් එක් නිර්වචනය ගත්තොත් ඒවාට ආවේණික සීමා තිබෙනවා පමණක් නොවෙයි ඒවාට අනුගත නොවන එහෙත් ප්‍රධාන ධාරාවට විකල්ප වශයෙන් සැලකිය හැකි වෙනත් ජනමාධ්‍ය ස්වරූප ගණනාවක් තියෙනවා.
විකල්ප මාධ්‍ය න්‍යාය සහ සමාජ විද්‍යා න්‍යාය අතර ඇති සම්බන්ධතාව පැහැදිලි කරන අධ්‍යන යනුත් ඉතා විරලයි. සාමාන්‍යයෙන් බැලූ විට විකල්ප මාධ්‍ය එක්තරා ආකාරයක අරාජික මාධ්‍ය විශේෂයක් වශයෙන් සැලකෙන බවයි පෙනෙන්නේ. අරාජික මාධ්‍ය වශයෙන් විකල්ප මාධ්‍ය සැලකීමෙන් සිද්ධ වෙන්නේ විකල්ප මාධ්‍ය යනු හුදෙක් සුලු පරිමාණයෙන් නිපදවෙන සහ දේශපාලනික ජනතා පදනමකින් වියුක්ත හුදකලා මාධ්‍ය විශේෂයක් බවට ලුහුඬු කිරීමයි. කොහොම උනත් විකල්ප මාධ්‍යයක් යනුවෙන් ටයිපොලොජි එකක් නැත්නම් ප්‍රරූපණ වර්ගයක් හඳුන්වා දෙනවා නම් ඒ මගින් ආවරණය වන්නේ මොන වගේ මාධ්‍ය ද යන්න පැහැදිලි වෙන්න ඕනෑ.
බොහෝ මාධ්‍ය න්‍යාය පදනම් කර ගන්නේ මාධ්‍ය නිෂ්පාදනය වෙන ආකාරය, මාධ්‍ය ආයතන. මාධ්‍ය කෙරෙහි බලපවත්වන රීති, සම්ප්‍රදාය, වටිනාකම්, මාධ්‍යයේ ආර්ථික සහ මතවාදී ස්වරූප. කෙටියෙන් කිව්වොත් මෙවැනි මාධ්‍ය න්‍යායවල අධ්‍යන විෂය වෙන්නේ මාධ්‍ය ව්‍යුහ කියා කියන්න පුළුවන්.
එහෙත් මාධ්‍ය ව්‍යුහ කියල කියන්නෙත් සමාජ ක්‍රියාකාරිත්වය සහ ඒ සමාජ ක්‍රියාකාරිත්වය පිළිබිඹු කරන සමාජමය ව්‍යුහයක්. ඒ මාධ්‍ය ව්‍යුහ මගින් එකම විට මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වය සීමා කරන සහ පුළුල් කරන බලපෑම් ඇති කරනවා. ඒ අනුව සම්ප්‍රදායික ජනමාධ්‍යයෙන් කෙරෙන්නේ පිළිගත් සමාජ සම්ප්‍රදාය තුළ කළ යුතු, කිරීමට ඉඩ ඇති මෙන් ම නො කළ යුතු දේවලුත් තහවුරු කිරීමයි. එය එක්තරා ආකාරයක සමාජ නියාමනයක්. විකල්ප මාධ්‍යක් යනු එක්තරා ආකාරයකට සම්ප්‍රදායික ජනමාධ්‍යෙයන් කෙරෙන සමාජ නියාමනය අබියෝගයට ලක් කිරීමක්.
සම්ප්‍රදායික ජනමාධ්‍ය පද්ධතියක් තුළ ජනමාධ්‍ය කරුවන් යනු වෙන් සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ සම්ප්‍රදායික ව තහවුරු කළ නීති, විධිවිධාන, සංවිධාන ව්‍යුහ සහ තාක්ෂණය උපයෝගී කර ගෙන ආයතනයේ පැවැත්මට තරඟකාරීත්වයට වාසිදායකව අන්තර්ගතය නිපදවන අයයි. මේ පසුබිම තුළයි ජනමාධ්‍යයේ අරමුණ වශයෙන් සැලකෙන බහු ජනතාවට තොරතුරු දැනුම්දීම සිදුකෙරෙන්නේ. ඒ දැනුම්දීම මගින් එක්තරා ආකාරයකට බහු ජනතාව හිතන පතන අන්දම මාධ්‍ය ආයතනය අනුදත් පැවැත්මකට හෝ වෙනසකට ලක් කිරීමයි අභිමතය වෙන්නේ. එසේ දැනුම් දෙන මේ තොරතුරු තුළ ප්‍රවෘත්තිමය, විනෝදමය, කලාත්මක හා සෞන්දර්යාත්මක අගයන් තියෙන්නට පුළුවන්. ඉතින් මේ කියන අන්තර්ගතය ග්‍රාහකයන්ට යොමු කිරීමට නම් අවශ්‍ය තාක්ෂණය වගේ ම වෙළඳපොළ අල්ලා ගැනීමට අවශ්‍ය කරන සංවිධාන ව්‍යුහයත් ජනමාධ්‍යයකට තිබිය යුතුයි.
ඒ අන්දමට කල්පනා කළා ම ජනමාධ්‍ය නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසි දෙක තමයි ජනමාධ්‍ය අන්තර්ගතය බෙදාහැරීම සහ ග්‍රාහකයන් විසින් ඒ අන්තර්ගතය ලබා ගැනීම. ග්‍රාහකයන් අන්තර්ගතය ලබා ගත්තේ ප්‍රතිග්‍රහණය කළේ නැත්නම් ජනමාධ්‍ය නිෂ්පාදනයෙන් පලක් වෙන්නේ නැහැ. ඒත් ජනමාධ්‍ය ප්‍රතිග්‍රහණය කියල කියන්නෙම එක්තරා ආකාරයකට අන්තර්ගතය නැත්නම් අන්තර්ගතයෙන් ලබා දෙන තේරුම ප්‍රතිනිෂ්පාදනය කිරීමක්. මේ ප්‍රතිග්‍රහණ ක්‍රියාවලියේදි ජනමාධ්‍ය පරිභෝජනය කරන, ග්‍රහණය කරන අය තම තම නැණ පමණින්, තමන්ගේ ජීවිත අත්දැකීම්ග වටහා ගැනීම් අනුව ජනමාධ්‍ය අන්තර්ගතය ප්‍රතිග්‍රහණය කර ගන්නවා. වෙනත් අන්දමකට කිව්වොත් ජන මාධ්‍ය අන්තර්ගතයට තමන්ට අනන්‍ය තේරුමක් දෙනවා. මේ ප්‍රතිග්‍රහණය සිද්ධ වෙන්නේ ඓතිහාසික සහ සමාජමය සන්දර්භයක් තුළයි. මේ සන්දර්භය තුල බොහෝ තේරුම් ගැනීම් හෙජමොනිකයි. ඒ කියන්නේ ආධිපත්‍යක මතවාද අභිප්‍රායන්ට අවනතයි. එහි දී පවතින ධුරාවලිය, සම්ප්‍රදායට අනුකූල වන තාක් ඒ තේරුම් අභියෝගයට ලක් වෙන්නේ නැහැ. නමුත් ඇතැම් තේරුම් ගැනීම් බිහි කර ගන්නේ Negotiate නැත්නම් ප්‍රමණ්ත්‍රණය කිරීමෙන්. ඒ ප්‍රමණ්ත්‍රණය ඇතැම් විට තමන් විසින් වගා කර ගත් දැනුම භාවිතා කොට කරන ස්වයං ප්‍රමණ්ත්‍රණයක් වෙන්න පුළුවන් නැත්නම් සමාජ සංජාල වලට සම්බන්ධ වීමෙන් කරන සහෘද ප්‍රමණ්ත්‍රණයක් හරහා සිද්ධ වෙන්නත් පුළුවන්.
මේ අනුව ඇත්ත වශයෙන් ම සම්මත ජනමාධ්‍ය අන්තර්ගතය වුනත් අවශ්‍යතාවය අනුව manipulate නැත්නම් මෙහෙයවා නොතිබුනොත් මාධ්‍ය අභිමතය අනුවම ම ග්‍රාහකයා විසින් අන්තර්ගතය ප්‍රතිග්‍රහණය කෙරෙන්නේ නැහැ.
ඒ නිසා ග්‍රාහකයන්ගේ ප්‍රතිග්‍රහණ ස්වාභාවය අරමුණු කර ගෙන ජනමාධ්‍ය නිපදවීම වාණිජ වශයෙන් ලාභදායක බව ජනමාධ්‍ය නිෂ්පාදකයෝ දන්නවා. මේකට උදාහරණයකට ගන්න පුළුවන් එකම ආයතනයකින් ප්‍රකාශයට පත් වෙන සිංහල ලංකාදීප සහ ඉංග්‍රීසි සන්ඩේ ටයිම්ස් පත්තර වල ඇති ආකල්පමය හා ගුණාත්මක වෙනස. කොහොම වුනත් පොදුවේ ගත්තාම පත්තර දෙකේම කියවන්නන්ගේ ප්‍රතිග්‍රහණ හැකියාවන් වලට ආධිපත්‍යක මතවාදය සෑහෙන්න බලපානවා. ඒ නිසාම යම් යම් ප්‍රමාණයට වෙනස් කම් තිබුනත් සම්ප්‍රදායික ජනමාධය යැපෙන්නේ ආධිපත්‍යක මතවාදය මත.
ඒත් ජනමාධ්‍ය යනු හුදෙක් social system එකක් නැත්නම් හුදු සමාජ සංයෝජිතයක් පමණක් නොවෙයි. සමාජ සංයෝජිතයක් වශයෙන් ජනමාධ්‍ය පුළුල් සමාජය කරා යොමු වෙන නිසාම ඒවා වර්තමානයේ දී public sphere නැත්නම් මහජන පරිමණ්ඩලය තුළ සංනිවේදන ක්‍රියාවලියේ වැදගත් කාර්යයක් ඉටු කරනවා. ඒ නිසා සම්ප්‍රදායික ජනමාධ්‍ය විෂයයේ සමාජ න්‍යාය තුළ මහජන පරිමණ්ඩලය කියන සංකල්පය පොදුවේත් විකල්ප මාධ්‍ය සම්බන්ධයෙන් සුවිශේෂවත් යොදන්න පුළුවන්.
මහජන පරිමණ්ඩලය නමැති සංකල්පය පළමු කොට ම විස්තර කළේ 1974 දි හාබර්මස් නමැති සමාජ විද්‍යාඥයා. ඒ සංකල්පය ගැන යම් යම් විවේචන තිබුනත් ඒ මගින් අදහස් කරන්නේ කුමක් ද යන්න මුලින් ම ග්‍රහණය කර ගැනීම අපේ සාකච්ඡාවට වැදගත්.
Ideal-type නැත්නම් පරමාදර්ශයක් වශයෙන් ගත්තොත් මහජන පරිමණ්ඩලය කියන්නේ සාකච්ඡා කතිකා විවේචන මගින්, බලපෑම් සහ මැතිවරණ ආදිය මගින් රාජ්‍ය බලය මෙල්ල කිරීමට හා සීමා කිරීම පිණිස හැම පුරවැසියෙකුට ම අවතීර්ණ විය හැකි වේදිකාවක්, අවකාශයක් නැත්නම් ක්ෂේත්‍රයක්. එතකොට පුනරුදයත් සමග, අධිපතිවාදී ආණ්ඩුක්‍රම පෙරලා දැමීමේ අරගලයේ දී ධනේශ්වර ක්‍රමයට පරිවර්තනය වීමේ දී ව්‍යවස්ථා අයිතීන් හා පත්‍රිකා, සාකච්ඡා සභා සඟරා දී ජනමාධ්‍ය ද පදනම් කර ගෙන මහජන පරිමණ්ඩලය ඇති වුන බවයි මේ විග්‍රහය මගින් කියවෙන්නේ.
එහෙත් හාබර්මස් විසින් ම පෙන්වා දෙන පරිදි මේ මහජන පරිමණ්ඩලය අනුක්‍රමයෙන් යම් යම් පක්ෂග්‍රාහී බැඳියා වල පාලනයට ග්‍රහණයට නතු වී විකෘත වීමට හැකියි. මෙහි ප්‍රතිඵලය වෙන්නේ මහජන පරිමණ්ඩලය විචාරාත්මක මහජන මතය පිළිබිඹු කරණවා වෙනුවට බොහෝ කොට බැඳියා පිළිබඳ ඕනෑ එපා කම් මහජන මතයේ වේශයෙන් ඉදිරිපත් වීමයි. මෙය සිදු වන්නේ වාණිජ දැන්වීම් සඳහා විශාලතම ග්‍රාහක සංඛ්‍යාවක් ඇති කර ගැනීමට තරඟ කරන ආර්ථික හා දේශපාලන බැඳියා මුල් කරගත් වාණිජ මාධ්‍ය හා බලය පවත්වා ගැනීම මුල් කර ගෙන රාජ්‍ය අනුග්‍රහය ලබන මාධ්‍ය හරහායි. මේ වෙන කොට අර පරමාදර්ශී මහජන පරිමණ්ඩලය වෙනුවට ඇතිවෙන්නේ විකෘතියක්. ඒ අනුව ධනේශ්වර සමාජයක මහජන පරිමණ්ඩලය විකෘත වීමේ ප්‍රවණතා වැඩියි. මේ මගින් කියවෙන්නේ වෙළඳපොළ ඇතුළු බැඳියා අවශ්‍යතාවලට අනුව මහජන පරිමණ්ඩලය යටත් විජිත කරණයකට ලක් කිරීමක්. අනෙක් අතට මැතිවරණ අතර තුර වර්තමාන මහජන පරිමණ්ඩලය නිරූපණය වෙන්නේ ජනමාධ්‍ය මගින්.මහජන පරිමණ්ඩලය විකෘති වීම කිසියම් පමණකට අවම කර ගැනීම සඳහා මාධ්‍ය නියාමනය (ස්වයං නියාමනය ද ඇතුළුව), වෘත්තීය ආචාර ධර්ම, මාධ්‍යවේදී පුහුණුව, මාධ්‍ය සාක්ෂරතාව යොදා ගත හැකියි. එහෙත් එය සාර්ථක වීමට මනා ප්‍රජා අධ්‍යාපනයකින් බිහි වූ දැනුවත් හා සෝදිසි මත් සමාජයක් තිබිය යුතුයි.
කොහොම උණත් ධනේශ්වර නොවන මහජන පරිමණ්ඩලය ඇත්ත ලෝකයේ තියෙන්න පුළුවන් ද කියන කාරණය මතභේදයට තුඩු දෙන්නක්. කිසියම් සංවිධානයක් තුළ, පක්ෂයක් තුළ සංවිධානයේ හෝ පක්ෂයේ දුරවලි බලය මෙල්ල කරන එහෙම වියුක්ත මහජන පරිමණ්ඩලයක් ඇති විය හැකි ද යන්න සැක සහිතයි. මොකද ඒ සියල්ල පවතින්නේ සමස්ත ධනේශ්වර ක්‍රමය තුළ නිසායි.
මේ නිසා විකල්ප මාධ්‍යයක් යනුවෙන් හැදින්වෙන්නේ කුමක් ද යන්න සාකච්ඡා කිරීමේ දී අපට වෙනත් නිර්ණායකයක් සොයා ගන්න සිද්ධ වෙනවා.
මෙහි දී නැවතත් අපි මහජන පරිමණ්ඩලය දූෂණය වෙන්නේ විකෘත වෙන්නේ කොහොමද, ඒ විකෘතිය මාධ්‍ය හරහා නිරූපනය වෙන්නේ කොහොමද කියලා බලමු. උදාහරණයක් වශයෙන් රන්ජන් රාමනායකගේ මෑත කතන්දරය වාර්තා වූ ආකාරය බලමු. ඒක ප්‍රධාන දහරාවේ මාධ්‍ය වාර්තා කළේ රාමනායක රජයේ වගකිවයුතු නිලධාරිණියකට තර්ජනය කළ බව ඒත්තු යන විදියට. ඒ විතරක් නොවෙයි ඒක මර්වින් සිල්වා සිද්ධියටත් සමපාත කරමින් වාර්තා වුනා. ඒත් මේ සිද්ධියෙදි වාර්තා කිරීමෙන් වැලකුණු කරුණු බොහොමයක් තිබුණා. පස් කැපීමේ දේශපාලන සම්බන්ධ කම්, පස් කැපීමේ බලපත්‍ර සඳහා ප්‍රදේශයේ පාලනාධිකාරීන්ගේ නිර්දේශ අවශ්‍ය බව, ප්‍රාදේශීය ලේකම්ට මේ පිළිබඳ ලැබුණු පැමිණිලි ඉහළට යොමු කළ බව කීවත් ඒ බව ලියුම් කරුට දැනුම් දුන්නා ද නැද්ද යන කරුණු වගේ දේවල් හිතා මතා ම වාර්තාකරණයේ දී මග හැර තිබුණා. මොකද ඒවා ඇතුළු කළොත් මේ සිද්ධිය මර්වින්ගේ සිද්ධියට සමාන කිරීමේ ආඛ්‍යානයට හානිකරයි. ඒ නිසා මේ වගේ තෝරා ගත් තොරතුරු අමුණා තමන්ට අභිමත කතන්දරය ගොතා ග්‍රාහකයන් වෙත යොමු කිරීමෙන් සම්ප්‍රදායික මාධ්‍ය බලාපොරොත්තු වෙන්නේ මැනිපියුලේටඩ් නැත්නම් අභිමත මෙහෙයුම අනුව අවනත කර ගත හැකි මාධ්‍ය ප්‍රතිග්‍රහණයක් ඇති කිරීමයි.
ඒ අනුව විකෘත වූ මහජන පරිමණ්ඩලයක ඇති වෙන කතිකාව මැනිපියුලේටඩ් නැත්නම් කිසියම් අභිමතාර්ථයකට අනුව මෙහෙයවන ලද කතිකාවක්.
ඒ නිසා මෙහෙයවනු ලැබූ ප්‍රතිග්‍රහණය (Manipulative reception) එරෙහිව විචාරාත්මක ප්‍රතිග්‍රහණය (Critical Reception) ආදේශ කිරීමෙන් විකල්ප මාධ්‍යයේ කාර්ය භාරය තේරුම් ගැනීම වඩාත් උචිතයි.
මහජන පරිමණ්ඩලයක ගුණාත්මක ස්වරූපය ඉහළ මට්ටමක පවතින්නේ ඒ පරිමණ්ඩලය තුළ පවතින කතිකාව කොතෙක් දුරට විචාරශීලී ව පවත්වා ගෙන යා හැකි ද කියන කාරණය මතයි. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලට ද යම් පමණකට විචාරශීලී විය හැකියි කියා කෙනෙකුට කිව හැකියි. මේ කතාව එක්තරා දුරකට ඇත්ත, සංසන්දනාත්මක ව බැලුවහම ලංකාදීපයට වඩා සන්ඩේ ටයිම්ස් පුවත් පත විචාරශීලීයි. මොකද පුවත්පත ප්‍රතිග්‍රහණය කරන අයගේ විචාරශීලී බව සලකලා තමයි සන්ඩේ ටයිම්ස් පුවත්පත අන්තර්ගතය තීරණය කරන්නේ.
බොහෝ දුරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය අන්තර්ගතය තීරණය වන්නේ වඩා ජනප්‍රිය සහ විකිණෙන වර්ගයේ අන්තර්ගත මොනවා ද යන කාරණය මතයි. ඒ වගේ ම විචාරශීලී අවස්ථාවල දි වුව ද ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවතින ආධිපත්‍යක මතවාදයට අනුගතවයි හැසිරෙන්නේ. ඒ ආධිපත්‍යක මතවාදයේ පොත්ත කෙසේ වෙතත් අරටුව අභියෝගයට ලක් කෙරෙන තරම් විචාරශීලී වෙන්න ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පෙලඹෙන්නේ නැහැ.
විකල්ප මාධ්‍යයක තිබිය යුතු විචාරශීලී බව නිරූපනය වෙන්නේ එහි සංවිධානාත්මක ස්වරූපය සහ අන්තර්ගතය මගින්. දැන් සම්ප්‍රදායික මාධ්‍ය අන්තර්ගතය ගත්තොත් ඒවා විවිධ දෘෂ්ටි කෝන වලින් ඉදිරිපත් වීමට ඉඩ තිබුනත් ධනයේ ආධිපත්‍ය, පුරුෂාධිපත්‍ය, ලිංගිකාධිපත්‍ය, වර්ගවාදය, ජාතිකවාදය වැනි ආධිපත්‍යක මතවාද වල සීමා වන්ට ගරු කරමින් තමයි එහිදී අන්තර්ගතය නිපදවෙන්නේ. එහෙත් ඊට ප්‍රතිපක්ෂ ව විකල්ප මාධ්‍ය එකී සීමා අභියෝගයට ලක් කෙරෙන අන්තර්ගතය ඉදිරිපත් කරනවා. මෙහි අනෙක් පැත්ත තමයි ඒ අනුව සම්ප්‍රදායික මාධ්‍ය කතිකාව ග්‍රහණයට ලක් කර ගෙන ඉන්න චිරාගත මතවාදී ප්‍රකාශකයන්ට විකල්ප වූ නව පරපුරක විචාරශීලී ප්‍රකාශකයන් පිරිසක් ඇතිවීම. විචාරශීලී වීම කියල කියන්නෙම විවෘත බව, සහේතුකව වෙනස් වීමට ඇති සුදානම් බව මිස සදාකාලික මතවාදී ම ය ස්ථාවරයක් ගැනීම නොවෙයි. ඒ අතින් විකල්ප අන්තර්ගතය කියන්නේ ධුරාවලි ගත පක්ෂයක හෝ සංවිධානයක ආධිපත්‍යයේ සිරවුණු අන්තර්ගතයක් නොවේ. විකල්ප අන්තර්ගතය තුළ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලින් බැහැර කිරීමට ඉඩ ඇති විවිධ මත, ඒ මත වලට පදනම් වූ තත්‍ය කරුණු සහ, ප්‍රධාන ධාරාවේ සැලකිල්ලට ලක් නොවන විවිධ පැතිකඩ සමග නිරූපනය විය යුතුයි. අනෙක් අතට ඒ විකල්ප අන්තර්ගතය පාඨක ප්‍රතිග්‍රහණයට ප්‍රමාණවත් බුද්ධිමය අභියෝගයක් එල්ල කල යුතුයි. විකල්ප මාධ්‍යයක් විචාරශීලී වීමට නැත්නම් විචාරශීලී මාධ්‍යක් විකල්පයක් වීමට අවශ්‍ය කරුණු කිහිපයක් තියෙනවා.
- පළමුවැනි කාරනය අන්තර්ගතය සම්බන්ධයෙන් සම්ප්‍රදාය නිෂේධනය කිරීමයි. විකල්ප මාධ්‍යයක අන්තර්ගතය සාමාන්‍යෙයන් සමාජ සංවර්ධන කතිකාවේ දී සඟවන නැත්නම් නො තකා හැරීමට භාජනය කළ හැකි අදහස් පැතිකඩ කෙරෙහි පාඨක අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව පවතින ක්‍රමය ඒ ආකාරයට ම පවත්වා ගැනීමට අදහස් කරනවාට වඩා විකල්ප මාධ්‍ය උනන්දු වන්නේ වඩා යහපත් ක්‍රමය කුමක් විය හැකි ද ඒ සඳහා ඇති අභියෝග හා ශක්‍යතා මොනවා ද යන්න විචාරශීලීව ඉදිරිපත් කිරීමයි. උදාහරණයක් වශයෙන් එය තරගකාරීත්වය හා තේරීම මත පවතින ක්‍රමයට විකල්ප ව සහයෝගිතාව සහ අන්තර්ග්‍රහණය මත පවතින ක්‍රමයක් ගැන කතිකාවක් විය හැකියි. විචාරශීලී විකල්ප අන්තර්ගතයක ස්වභාවය වන්නේ කිසියම් ක්‍රමයක් වෙනස් කළ නො හැකි යන මතවාදය විඛණ්ඩනය කොට ඒ සම්බන්ධයෙන් සුදුසු විකල්ප ඇත් දැයි විචාරාත්මක ව බැලීමයි.
- දෙවැනි කාරණය ආකෘතිය මට්ටමේ ඇතිවෙන නිශේධනයයි. ඒ කියන්නේ මාධ්‍ය හිමිකාරිත්වය, සංවිධාන ධුරාවලිය, මූල්‍ය සම්පත්, බෙදා හැරීමේ ක්‍රමවේද ඇතුළු සම්ප්‍රදාය නිශේධනය කරන විකල්ප යොදා ගැනීමයි.
- තෙවැනි කාරණය විචාරශීලී මාධ්‍ය අන්තර්ගතය තර්කානුකූලයි, යථාර්ථවාදීයි. එය අප බැලු බැල්මට ම දකින ලෝකයට ඔබ්බෙන් සංජානනය කල හැකි, විශ්ලේෂණය කල හැකි, අනාවරණය කළ යුතු විනිවිද දැකිය යුතු ලෝකයක් තිබේ ය යන අදහස මත පදනම් කර ගෙන තර්කානුකූලව ගොඩ නගන අන්තර්ගතයක්. ඒ අනුව විචාරශීලී මාධ්‍යයක කාර්ය භාරය වෙන්නේ මතවාදී ම ය බලපෑම් නිසා සිදු වී ඇති විකෘති හෙළිදරව් කර විචාරාත්මක ව ප්‍රකෘතිය ප්‍රතිග්‍රහණය කර ගැනීමට පාඨකයන්ට උදව් කිරීමයි. එහි දී අර පක්ෂ, සංවිධාන වල වගේ එක් පැතිකඩක් පමණක් පක්ෂග්‍රාහී ව ඉස්මතු කිරීමේ අභිලාෂයෙන් ඉවත් ව සියලු වැදගත් පැති කඩ පාඨක අවධානයට ලක් කරන්න ඕනෑ.
- හතර වන කාරණය විචාරශීලී මාධ්‍ය අන්තර්ගතයෙන් ආමන්ත්‍රණය කෙරෙන්නේ ධුරාවලි ගත සමාජය එකඟත්වයට පැමිණ ඇති ප්‍රමාණවත් යැයි සැලකෙන ආර්ථික හා දේශපාලනික විසඳුම් ප්‍රචාරණය කිරීමට හෝ තහවුරු කිරීමට වඩා සම්පත් බෙදී යාමේ අසමානතා සහ සමාජ අරගල තුලින් මතුවන කරුණු කාරණා සම්බන්ධයෙන් විකල්ප විසඳුම් විචාරශීලී ව අධ්‍යනය කිරීමටයි. එහි දී සම්පත් බෙදී යාම නිරන්තරයෙන් ම අසමාන බවත් ඒ අනුව ඇතිවිය විෂමතා පරතරය නිසා ඇතිවන අවදානමත් විකල්පීය අන්තර්ගතයේ අවධාරණය කෙරෙනවා.
විකල්ප මාධ්‍ය කියන්නේ අවසාන වශයෙන් මහජනතාව සමග අවංකව ම සහානුභුතිය, සහානුකම්පාව දක්වන ඔවුන්ගේ අභිලාෂ වගේ ම බලාපොරොත්තු කඩ වීම්, දුක සැප. ආදරය සහ වෛරය ප්‍රකාශ කරන ඒ සම්බන්ධයෙන් විකල්ප කතිකාවක් ප්‍රතිග්‍රහණය කිරීමට ග්‍රාහකයාට හැකිවන අයුරින් විචාරශීලී ලෙස අන්තර්ගතය ඉදිරිපත් කරන මාධ්‍ය වලටයි.
විකල්ප මාධ්‍යත් සම්ප්‍රදායික මාධ්‍යයත් අතර ඇති වෙනස නම් සම්ප්‍රදායික මාධ්‍ය ග්‍රාහකයන් පාරිභෝජකයන් වශයෙන් සලකා ග්‍රාහකයන්ගේ ප්‍රතිග්‍රහණය තමන්ගේ අභිලාෂයට අනුව මෙහෙයවා ගැනීමට අන්තර්ගතය ඉදිරිපත් කිරීමත්, විකල්ප මාධ්‍ය යනු සම්ප්‍රදායික මාධ්‍යය අන්තර්ගතයට විකල්ප ව යම් කිසි කරුණක් විනිවිද දැකිය හැකි අන්දමට විවිධ පැතිකඩ විචාරයට ලක් කරමින් අන්තර්ගතය පුරවැසියෙක් ලෙස විචාරශීලී ව හා ස්වාධීන ව ප්‍රතිග්‍රහණය කර ගැනීමට ග්‍රාහකයාට ඉඩ සලසා දෙන මාධ්‍ය විශේෂයක්.
ඒ අනුව විකල්ප මාධ්‍යක අරමුණ විය යුත්තේ ආධිපත්‍යක මතවාදය හා වෙළඳ පොළ තුළ විකෘත වී ගිය මහජන පරිමණ්ඩලයකට ප්‍රතිපක්ෂව විචාරශීලී විකල්ප මහජන පරිමණ්ඩලයක් ගොඩ නැගීමට දායක වීමයි.
විජයානන්ද ජයවීර
2017