විද්‍යුත් මාධ්‍ය සඳහා මහජන යහපත මුල් කොටගත් නියාමන ප්‍රතිපත්තියක් අවශ්‍ය ඇයි.

පිළිගත් ස්වාධීන යන්ත්‍රණයක් මගින් ජාත්‍යන්තර ප්‍රමිති වලට අනුව සිදු කෙරෙන්නේ නම් විද්‍යුත් මාධ්‍ය නියාමනය කිරීම යනු කිසි සේත් ම මර්දනකාරී ක්‍රියාවක් නොවේ. එහෙත් විද්‍යුත් මාධ්‍ය නියාමනය ගැන කතා කරන්නට බොහෝ අයට සිහිපත් වන්නේ ඇතැම් විද්‍යුත් මාධ්‍යයක් ග්‍රාහකයන්ගේ සාමාන්‍ය බුද්ධියට නිගරුවන අන්දමට මාධ්‍ය හිමියන්ගේ චණ්ඩි කම් පෙන්වීමට යොදා ගන්නා අවස්ථාවලදී ය. විද්‍යුත් මාධ්‍ය නියාමනයෙන් අදහස් කරන්නේ හුදෙක් මේ වාචාල කම් හා චණ්ඩි කම් පිටු දැකීම පමණක් නොවේ. අද ලෝකයේ අපේ මානව අභිමානය හා අයිතීන් භුක්ති විඳීමේ දීත්, අපේ දේශපාලනික, සමාජීය, ආර්ථික, අධ්‍යාපනික හා සංස්කෘතික අභිලාෂ ඉටු කර ගැනීමේ දීත්  පොදු මහජන සම්පතක් වන සංඛ්‍යාත භාවිතා කොට යැපෙන විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ හැකි කාර්යභාරය අතිශයින් වැදගත් ය. එනිසා ඒ පරමාර්ථය ඉටු කර ගැනීම පිණිස අපේ අදහස් ප්‍රකාශ කිරීමේ හා තොරතුරු ලබා ගැනීමේ, හුවමාරු කර ගැනීමේ අයිතිය මුඛ්‍ය කරගත් ජාතික ප්‍රතිපත්ති රාමුවක් තුල පිහිටා මහජන යහපත මුල් කරගත් විද්‍යුත් මාධ්‍ය නියාමනයක් සාකච්ඡා විය යුතුය.  මේ ලිපිය එයට ප්‍රවේශයකි.

පළමු කොට ම මුද්‍රිත මාධ්‍යය මෙන් නොව සංඛ්‍යාත උපයෝගී කර ගනිමින් බෙදා හරින විද්‍යුත් මාධ්‍යයක හිමි කරුවෙක් වීම හැම කෙනෙකුට ම කළ නොහැක්කකි. මන්ද අදාල විද්‍යුත් මාධ්‍යය විශේෂය විකාශනය කිරීම සඳහා ‍යොදා ගත හැක්කේ සීමිත සංඛ්‍යාත පරාසයක් පමණක් නිසා බැවිනි. උදාහරණයක් වශයෙන් ගත හොත් ඒෆ්. ඒම් තරංග ඔස්සේ විකාශනය කරන ගුවන් විදුලි සේවාවක්  ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් ඒ් සඳහා අනුමත කර ඇති පරිදි ගුවන් තරංග පරාසය වන මෙගා හර්ට්ස් 87.5 – 108 අතර සිය බල පත්‍රයේ සඳහන් නිශ්චිත සංඛ්‍යාතයක පිහිටා විද්‍යුත් මාධ්‍ය නාලිකාව විකාශනය කළ යුතුය. මෙසේ සංඛ්‍යාත නිශ්චිත කොට පවරන්නේ අනෙකුත් තරඟකාරී සේවා වන් සතු සංඛ්‍යාත වලට බාධා නොවන සේ ය. විකාශන සංඛ්‍යාත අතර පැවතිය යුතු පරතරය සහ ඒ ඒ වර්ගයේ සේවා සඳහා සංඛ්‍යාත වෙන් කිරීමේ දී  තිබිය යුතු විකාශන ධාරිතාවයේ සීමා හා රටේ එක් එක් කලාපය සඳහා යොදා ගත හැකි විකාශන සංඛ්‍යාත සංඛ්‍යාව හඳුන්වා දීම ද ඇතුලත් සංඛ්‍යාත සැලැස්මක් මහජනතාවගේ දැන ගැනීම සඳහා පවත්වාගෙන යාම යහපත් නියාමන අධිකාරියක එක් වගකීමකි.   ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමෙන් සංඛ්‍යාතය ඔස්සේ විකාශනය කළ හැකි නාලිකා ප්‍රමාණය වැඩි කිරීමට හෝ හයි ඩෙෆිනිෂින් රූපවාහිනී සේවා වැනි වැඩි බෑන්ඩ් විත් එකක් අවශ්‍ය නාලිකා විකාශනය දියුණු කිරීම  කළ හැකිය. එහෙත් දැනට පවතින free to air යනුවෙන් හැඳින්වෙන,  ගෙවීමකින් තොරව තමන් සතු ගුවන් විදුලි/රූපවාහිනී යන්ත්‍රය හරහා අසන්නාට හෝ නරඹන්නාට ලබා ගත හැකි මාදිලියේ විද්‍යුත් මාධ්‍ය සඳහා යොදා ගත හැකි සංඛ්‍යාත ප්‍රමාණයේ සීමිත බව තවමත් ප්‍රශ්නයක් ව පවතී. එබැවින් මුද්‍රිත මාධ්‍ය මෙන් නොව free to air විද්‍යුත් මාධ්‍ය හිමිකාරිත්වය කිසියම් නිශ්චිත සංඛ්‍යාවකට සීමා කිරීමට සමාජයට සිදුවේ. ඒ අනුව විද්‍යුත් මාධ්‍ය හිමිකාරිත්වය යනු සමාජය විසින් සීමිත කොටසකට පිරිනමනු ලබන වරප්‍රසාදයකි. ඒ නිසා එමගින් ලැබෙන ලාභයට කෙසේ වෙතත් එහි අන්තර්ගතයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් නම් විද්‍යුත් මාධ්‍ය  තම හිමි කරුට නොව ස්වාධීන නියාමන යන්ත්‍රණයක් හරහා මුළු මහත් සමාජයට ම වග විය යුතුය. මෙහි දී ද නියාමනය යනු අනික් ඕනෑම ක්ෂේත්‍රයක මෙන් ම සිදු විය හැකි වැරදි වළක්වා ගැනීම පිණිස  සැකසූ, කල් ඇතිව එකඟ වූ නියාමන ප්‍රමිති වලට අනුකූලව විද්‍යුත් මාධ්‍ය කටයුතු කරන්නේ ද යන්න සංනිරීක්ෂණය කිරීමයි. 

ආලෝක තරංග වැනි වර්ණාවලියේ ඇති අනෙකුත් තරංග මෙන් ම ගුවන් විදුලි තරංග ද අන්සතු කළ නොහැකි පොදු දේපළකි. එනිසා ලාභය උපයා ගැනීම සඳහා වුවද එය පරිහරණය කිරීම කල යුත්තේ කිසියම් යුක්ති සහගත නියාමනයකට අනුව මහජන යහපතට අගතියක් නොවන අන්දමට ය. මහජන යහපත හෙවත් පොදු යහපත උදෙසා (public interest) යන්න මෙතැන දී තේරුම් ගත යුත්තේ පොදු යහපත නො තකන මාධ්‍ය හිමි කරුගේ හුදු ආත්මාර්ථකාමී අභිමතය (self-interest) උදෙසා යන්නට විරුද්ධාර්ථයෙනි. සුදුසු විද්‍යුත් මාධ්‍ය හිමිකරුවන් තෝරා ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය වන්නේ ආණ්ඩුවේ හෝ දේශපාලනික හා ව්‍යාපාරික බලපෑම් වලින් හෝ තොර ස්වාධීන විකාශන අධිකාරියක් මගින් නිසි නිර්ණායක වලට අනුව පාරදෘශ්‍ය  ලෙස තෝරා ගත් සුදුසු ඉල්ලුම් කරුවන්ට විද්‍යුත් මාධ්‍ය විකාශන බලපත්‍ර ලබා දීමයි. බොහෝ ස්වාධීන විකාශන අධිකාරී එය කරන්නේ කල් තියා ප්‍රසිද්ධ කරනු ලැබූ සංඛ්‍යාත සැලැස්මකට අනුව එකිනෙක අනුපූරණය වන පරිදි වාණිජ විද්‍යුත් මාධ්‍ය, මහජන සේවා විද්‍යුත් මාධ්‍ය සහ ප්‍රජා විද්‍යුත් මාධ්‍ය සඳහා සුදුසු පරිදි සංඛ්‍යාත වෙන් කොට අදාළ නිර්ණායක සම්පූර්ණ කරන ඉල්ලුම් කරුවන්ට සංඛ්‍යාත වෙන් කර දීමයි.  මෙහි දී බොහෝ විට වාණිජ විද්‍යුත් මාධ්‍ය සඳහා සංඛ්‍යාත ලබාදීම  කරන්නේ විවෘත තරඟකාරී වෙන්දේසි ක්‍රමයක් මගිනි.  වාණිජ විද්‍යුත් මාධ්‍ය පවත්වාගෙන යන්නේ වෙළඳ දැන්වීම් මගින් ලැබෙන ආදායම මත බැවින් වාණිජ විද්‍යුත් මාධ්‍ය සේවා සඳහා නිකුත් කරන බල පත්‍ර සංඛ්‍යාවේ ප්‍රමාණය වෙළඳ පොළ ධාරිතාව මත තීරණය විය යුතු අතර හා යළි අළුත් කිරීමේ හැකියාවට යටත්ව බලපත්‍රය නිශ්චිත කාලයකට සීමා කළ යුතුය.

ලොව පුරා හැම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ම ගුවන් විදුලි සහ රූපවාහිනී විද්‍යුත් මාධ්‍ය නාලිකා පවත්වා ගෙන යාමට බලපත් ලබා දෙන්නේ මහජන යහපත පදනම් කරගත් කොන්දෙසි මත නීතිය මගින් නියම කරන ලද නියාමන විධි ක්‍රමයකට යටත්ව ය.  එහෙත් එවැනි නියාමයක් කළ යුත්තේ බලයේ සිටින ආණ්ඩුව හෝ ආණ්ඩුවේ ආයතනයක අභිමතය අනුව නොව ඒ සඳහා විශේෂයෙන් පිහිටුවනු ලද ස්වාධීන විකාශන අධිකාරියක් මගින් ජාත්‍යන්තර ව පිළිගත් නිර්ණායක වලට අනුවයි. එවැනි ස්වාධීන අධිකාරියක් මගින් විද්‍යුත් මාධ්‍ය නියාමනය කිරීම අවශ්‍ය වීමට හේතු කිහිපයකි.

ඓතිහාසික ව බැලූ විට විද්‍යුත් මාධ්‍ය නියාමනයට නීත්‍යනුකූල හේතුව වූයේ ඉහත කී පරිදි විකාශන සංඛ්‍යාත යනු සීමිත මහජන සම්පතක් වශයෙන් සැලැකීමයි. ඒ අනුව සංඛ්‍යාත යනු පෞද්ගලික අයිතියට සින්නකරව පැවරිය හැකි දෙයක් නොව බලපත්‍රයක් මගින් නියම කරන කොන්දේසිවලට අනුව සේවා සැපයීම පිණිස තෝරා ගත් ආයතන හා සමාගම් වලට නිශ්චිත කාලයක් සඳහා උපයෝගී කිරීමට ඉඩ ලබා දෙන මහජන දේපළකි.  එහි දී ලාභ ලැබීමේ  හෝ නො ලැබීමේ පදනම මත  වාණිජ හා වාණිජ නොවන වශයෙන් විද්‍යුත් මාධ්‍ය මූලික ව වර්ග කළ හැකිය. විද්‍යුත් මාධ්‍ය නියාමනය කිරීමේ තාක්ෂණික සාධකය එයයි. ඊට අතිරේක ව විද්‍යුත් මාධ්‍ය නියාමනය සාධාරණීකරණය කරන තවත් වැදගත් හේතු තිබේ.

මුද්‍රිත මාධ්‍ය මෙන් ග්‍රාහකයන් විසින් සුවිශේෂ ව තෝරා බේරා කරනු ලබන මිල දි ගැනීමකින් තොරව  විද්‍යුත් මාධ්‍ය කට එ සැණින් ම විශාල ජනගහණයක් සජීව ග්‍රහණයට ගෙන සිය ප්‍රචාරණ කටයුත්ත කළ හැකිය. සැණින් ජනගහණයක් පොලඹවා ගැනීමට විද්‍යුත් මාධ්‍යට ඇති මේ හැකියාව අතිශයින් විනාශකාරී ලෙස යොදා ගත් ආකාරය ගුවන් විදුලි නාලිකා යොදා ගෙන වර්ගවාදී රුවන්ඩා ජනඝාතය මෙහෙය වූ ආකාරයෙන් අප අත්දැක ඇත්තෙමු. මහජනයා අතර පැතිරීම සහ ග්‍රහණය කර ගැනීම අතින් විද්‍යුත් මාධ්‍ය, විශේෂයෙන්ම ශ්‍රව්‍ය දෘෂ්‍ය දෙයාකාරය ම එකවර යොදා ගන්නා රූපවාහිනී මාධ්‍ය අන් සියලු මාධ්‍ය අභිබවා යයි. 2012 කරන ලද සංගණනයකට අනුව ලංකාවේ නිවාස අතරින් 78.7% කට රූපවාහිනී යන්ත්‍ර තිබේ. අන් මාධ්‍යය පරිහරණයට වඩා වැඩි කාලයක් ග්‍රාහකයෝ දෛනික ව රූපවාහිනි මාධ්‍ය පරිහරණය කිරීමට වැය කරති. වැඩිහිටියන්ගේ සිට දරුවන් දක්වා සියල්ලන්ගේ ම  සිතුම් පැතුම් හැඩගැසීමේ ලා රූපවාහිනි මාධ්‍යට සැලකිය යුතු බලපෑමක් කළ හැකිය. ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය දෙකම ප්‍රබලව භාවිතා කරන රූපවාහිනිය සතු මහජන මතය නම්මවා ගැනීමට සමත් මේ පොලඹවන සුළු ස්වභාවය (pervasive power) අනෙක් මාධ්‍ය හා සසඳන විට අනුපමේය වේ. මේ නිසා අනෙකුත් මාධ්‍ය වලට වඩා විද්‍යුත් මාධ්‍යයට, විශේෂයෙන්ම රූපවාහිනී මාධ්‍යයට ඇති මේ බලපෑමේ හැකියාව අයුතු ලෙස යොදා ගැනීමේ අනතුරෙන් වැලැකීම පිණිස මුද්‍රිත මාධ්‍ය වලට ඇති නියාමන ක්‍රම වල මෙන් නොව විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් ඇති ස්වාධීන නියාමන ක්‍රම වලට අන්තර්ගතය ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සැපයීම සහ  එම මාර්ගෝපදේශ අනුව වග වීමට විද්‍යුත් මාධ්‍ය වලට බල කෙරෙන වගන්ති ද ඇතුලත් වේ.

බොහෝ විට මහජනයා රූපවාහිනියෙන් ඉදිරිපත් කරන තොරතුරු දකින්නේ තමන් ජිවත් වන සමාජයේ ප්‍රතිබිම්බයක් ය යන විශ්වාස ය ඇතුව බව සමීක්ෂණ වලින් හෙළි දරව් වී තිබේ. ඒ අනුව රූපවාහිනිය ඔවුන්ගේ වටිනාකම් සහ ආචාරධර්ම හැඩ ගැස්වීමට සැලකිය යුතු බලපෑමක් කරයි. මේ හේතුව නිසාම ඇතැම් පාර්ශවික මතවාද නියෝජනය කරන කණ්ඩායම් හුදෙක් රූපවාහිනී මාධ්‍ය මගින් ප්‍රචාරය ලබා ගැනීම පිණිස ම තම ප්‍රදර්ශනාත්මක කටයුතු සංවිධානය කර ගනිති.

මේ නිසා රූපවාහිනී වැඩසටහන් වල අන්තර්ගතය සැකසීමේ දී නො කළ යුතු දේවල්  සුවිශේෂ වශයෙන් නියාමන විධිවිධාන මගින් පෙන්වා දේ. එහෙත් මෙහි දී අන්තර්ගතය නියාමනය යන්නෙන් අදහස් කරන්නේ වාරණය හෝ විද්‍යුත් මාධ්‍යයේ සංලේඛ්‍ය නිදහසට එරෙහි වීම නොවේ. වාරණයෙන් කෙරෙන්නේ යමක් ප්‍රචාරණයට පෙර වලක්වාලීම යි.  නමුත් නියාමනයෙන් කෙරෙන්නේ යමක් විකාශනය කිරීමෙන් පසු විකාශිත අන්තර්ගතය මගින් විකාශනය සඳහා දී තිබූ උපමාන හා නිර්ණායක  උල්ලංඝණය වී ඇත් ද නැද්ද යන්න ස්වාධීන නියාමන අධිකාරියක් මගින් තීරණය කොට ඒ අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමයි.  කෙසේ වෙතත් අන්තර්ගතය ප්‍රචාරය කිරිම හෝ නො කිරීමේ තීරණය ඇත්තේ අදාළ විද්‍යුත් මාධ්‍ය මෙහෙයවන සංස්කාරකයන් අත මිස නියාමන ආයතනය අත නොවේ.  නියාමන ආයතනය විද්‍යුත් මාධ්‍යයෙ සංලේඛ්‍ය කටයුතු වලට කිසි සේත් ම මැදිහත් නොවේ.

මෙය එක් උදාහරණයකින් පැහැදිලි කළ හැකිය. මැතිවරණ අවස්ථාවක දී කිසියම් පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට සහයෝගය දැක්වීම ට පුවත් පතක් වැනි මුද්‍රිත ජනමාධ්‍යයකට තහනමක් නැත. මන්ද මුද්‍රිත පුවත් පතක් පළ කිරීම ඕනෑම අයෙකුට කල හැකි අතර ඒ සඳහා  මහජනයා සතු පොදු සිමිත පොදු සම්පතක් යොදා නො ගැනේ. එකම දෙය මහජනයාගේ විශ්වාසය අයුතු ලෙස යොදා නො ගැනීමට නම් පුවත්පතක් සිය පක්ෂපාතීත්වය  නො සඟවා පළ කළ යුතුය.  එවිට එකී පක්ෂයට හෝ අපේක්ෂකයාට ළැදිකමක් දක්වන අයට හා විරුද්ධ වන අයට එම පුවත්පත ගැනීමට හෝ නො ගැනීමට තීරණය කළ හැකිය.  එහෙත් පොදු දේපළක් වන සංඛ්‍යාත භාවිතා කරමින් හැම නිවසකට ම ඇතුළු වීමේ වරප්‍රසාදය ලබාගෙන ඇති විද්‍යුත් මාධ්‍ය වලට එසේ එක් පක්ෂයකට අපේක්ෂකයෙකුට  හෝ මතභේදයට තුඩු දෙන එක් විශේෂ මතවාදයකට පක්ෂ ව පෙනි සිටිය නොහැක. එසේ ඉඩ ලබා දුන හොත් සල්ලි කාරයන්ට හා බල පුළුවන් කාරයන්ට තමන්ට අභිමත පරිදි මහජන මතය සකස් කර ගැනීමට විද්‍යුත් මාධ්‍ය විවෘතව ම යොදා ගැනීමට හැකි වේ. එවිට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය මුළුමනින් ම විකෘත වීමට ඉඩ තිබේ. මේ නිසා මැතිවරණ සමයේ දී විද්‍යුත් මාධ්‍ය  සිය අන්තර්ගතය ඉදිරිපත් කළ යුතු ආකාරය උචිත උපමාන හඳුන්වා දීම මගින් නියාමනය කෙරේ. එහි දී දේශපාලනික දැන්වීම් ප්‍රචාරය කිරීමේ දි අය කල යුතු ගාස්තු වල සාධාරණත්වය, දේශපාලනික දැන්වීම් ප්‍රචාරය කිරීමේ විධික්‍රමයක සහ තරඟකාරී පක්ෂ හා අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති සාධාරණ ලෙස විමසුමට ලක් කිරීමට ඡන්දදායකයන්ට අවස්ථාවක් සලසා දීම වැනි කරුණු නියාමනය සම්බන්ධයෙන් අදාල වේ.  (මැතිවරණ වල දී පක්ෂග්‍රාහී ව කටයුතු කිරීමට විද්‍යුත් මාධ්‍යයට ඉඩ සැලසෙන වගන්තියක් හඳුන්වා දීමට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වී තිබුනද වාසනාවකට මෙන් එම අදහස අත්හැර දැමිණ.[1] ) එම උපමාන උල්ලංඝනය කළ අවස්ථාවලදී ඒ ගැන ලැබෙන පැමිණිලි මත හෝ තමන්ගේ ම වූ නිරීක්ෂණ මත අපක්ෂපාතී විමර්ශණයක් කොට නියාමන නීතියෙන් නියමිත ක්‍රියාමාර්ග ගැනීම ස්වාධීන නියාමන ආයතනයේ කාර්යයි.

විද්‍යුත් මාධ්‍යයේ විකාශන ස්වභාවය නිසා එමගින් ඇති කල හැකි  සමාජ බලපෑම අන් මාධ්‍ය වලට වඩා බරපතළ බව අපි සඳහන් කළෙමු මේ නිසාම  විද්‍යුත් මාධ්‍ය භාවිතයේ දී ළමා මනසට හානිදායක නොවී ම පිළිබඳ විධි විධාන ද අන්තර්ගතය නියාමනය කිරීම සම්බන්ධයෙන් වැදගත් වේ. හිංසනය හා ලිංගික හැසිරීම ප්‍රදර්ශනය කිරීම,  අශ්ලීල භාෂාව යොදා ගැනීම ආදිය සම්බන්ධයෙන් ළමා මනසට උචිත වීමේ උපමාන නියාමනය මගින් හඳුන්වා දිය යුතු වේ.  බොහෝ රටවල ළමයින් සඳහා සුදුසු නොවන හෝ නැරඹීමේ දී දෙමාපියන්ගේ මාර්ගෝපදේශ අවශ්‍ය වන හෝ වැඩසටහන් වලට පෙර ඒ පිළිබඳ අවවාදයක් නිකුත් කිරීම නියාමන අවශ්‍යතාවයක් වශයෙන් සැලකේ. අනෙක් අතට ළමා අධ්‍යාපනය වැඩි දියුණු වන අන්දමේ වැඩසටහන් නිපදවා ප්‍රචාරය කර වීමේ සමාජමය වගකීම ඉටු කර ගැනීම ද විද්‍යුත් මාධ්‍ය නියාමනයේ එක් පරමාර්ථයකි.  යුරෝපා සංගමයේ රටවල පාසල් දරුවන් අරභයා කලකට පෙර කළ සමීක්ෂණයකට අනුව වසරකට පාසල් වල ඉගෙනීමට යොදන සමස්ත පැය ප්‍රමාණයට වඩා වැඩි පැය ප්‍රමාණයක් දරුවන් රූපවාහිනිය නැරඹීමට ගත කරන බව හෙළි විය. මේ අනුව මුහුකුරා ගිය අයගේ මෙන් ම නො මේරූ අයගේ ද අධ්‍යාපනය සම්බන්ධයෙන් විද්‍යුත් මාධ්‍යයට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බව පෙනේ. ඒ නිසා ආකර්ෂණීය අධ්‍යාපනික වැඩසටහන් නිෂ්පාදනය කොට හෝ ලබාගෙන  විද්‍යුත් මාධ්‍ය  ඔස්සේ ප්‍රචාරය කිරීම දිරිගැන්වීම අපේ දරුවන්ගේ අධ්‍යාපනික අවස්ථා පුළුල් කිරීමකි.  

එ පමණක් නොව රස වින්දනය හා විනීත කම සම්බන්ධ කරුණු වල දී  වැඩිහිටියන්ගේ බුද්ධියට නිගරුවන අශ්ලීල හා වාචාල අන්තර්ගතය ප්‍රචාරය කිරීමෙන් වැළැක්වීමේ උපමාන ද මේ අතරට ගැනේ.  ඒ අනුව විශේෂයෙන් වැඩසටහන් වලට යොදා ගන්නා සහභාගී වන්නන් හා ප්‍රකාශකයන් අතින්  වර්ගය, ජාතිය, ලිංගිකත් වය, ආගම ආදී කරුණු මත අඩු සැලකිලි දැක්වීම, හිංසා කිරීම පිණිස කුපිත කරවීම වැනි අකටයුතු සඳහා විද්‍යුත් මාධ්‍ය යොදා ගැනීම වැළැක්වීමට මාර්ගෝපදේශ හඳුන්වා දීම ද අන්තර්ගතය නියාමනය කිරීමේ ලා නියාමන අධිකාරිය සතු එක් කාර්යයකි.

ප්‍රචාරය කරන ප්‍රවෘත්ති වල නිරවද්‍යතාව පිළිබඳ සැලකිලි මත් වීම සහ සාධාරණ සමබරතාවකින් යුතු ව ප්‍රවෘති සැකසීම පිළිබඳව විද්‍යුත් මාධ්‍ය වගවීම සහ ප්‍රචාරය කෙරෙන වෙළඳ දැන්වීම්වල අවංක භාවය සහතික වීම සම්බන්ධ මාර්ගෝපදේශ නිකුත් කිරීම ද නියාමනයේ  තවත් වැදගත් කාර්යයකි.

ඒ අනුව ස්ථාපිත වැඩ සටහන් ප්‍රමිති උල්ලංඝණය කිරීම පිළිබඳව ලැබෙන පැමිණිලි හෝ තමන්ගේ ම නිරීක්ෂණ මත විමර්ශණයක් කොට අදාළ විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් නියාමන නීතියෙන් නිශ්චිත ක්‍රියාමාර්ග ගැනීම ද නියාමන අධිකාරිය සතු වග කීමකි. එහෙත් නියාමන අධිකාරියේ තීරණ අභියාචනා අධිකරණයේ සමාලෝචනයට ලක් කළ හැකිය.

නියාමනයේ දී වඩාත් වැදගත් වන්නේ විවිධත්වයෙන් යුතු  විද්‍යුත් මාධ්‍යය සේවා ලබා ගැනීමට මහජනතාවට ඇති අයිතිය නියාමන ක්‍රමය මගින් තහවුරු කිරීමයි. පුලුල් පරාසයක තොරතුරු රසවින්දන අවස්ථා වගේ ම ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව සඳහා වේදිකාවක් වශයෙන් යොදා ගත හැකි වැඩසටහන්, බහුතරයක් ආවරණය නො වන නමුත් වැදගත් කම අතින් ඉහළ සුවිශේෂිත ගුණාත්මක වැඩසටහන්, ප්‍රාදේශීය හා ප්‍රජා මට්ටමේ ග්‍රාහකයන්ට වැදගත් වන වැඩසටහන්, කොටින් ම ජනසමාජයේ නිරූපිත බහුවිධත්වය, සංස්කෘතික අභිලාෂ සහ විවිධාකාර අපේක්ෂා නියෝජනය වන අන්දමට සමස්ත විද්‍යුත් මාධ්‍ය  ක්ෂේත්‍රය සැලසුම් කිරීම සහ දියුණු කිරීම විද්‍යුත් මාධ්‍ය නියාමනයේ අතිශය වැදගත් කාර්යයකි.  මේ අනුව සියල්ල එක්ව ගත් විට රටක විද්යුත් මාධ්‍ය සේවා එකිනෙක අනුපූරණය වන අන්දමට විවිධ ග්‍රාහක අභිලාෂ ඉටු වන පරිදි, ලාභ සඳහා ආයෝජනය කරන පෞද්ගලික මාධ්‍ය මෙන් ම ලාභය මුල් කර නොගත් ස්වාධීන මහජන සේවා සහ විමධ්‍යගත ප්‍රජා විද්‍යුත් මාධ්‍ය සේවාවලින් ද සමන්විත විය යුතුයි. අයිතිය පිළිබඳ එවැනි විවිධත්වයක් තිබීම නිසා එක් වර්ගයක විද්‍යුත් මාධ්‍යයක් මගින් ඉටු නොවන සංනිවේදන අවශ්‍යතාවයක් අනෙක් වර්ගයක විද්‍යුත් මාධ්‍යයක් මගින් ඉටු කළ හැකිය.

අයිතියේ විවිධත්වය පිළිබඳ මේ කාරණය මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ, තොරතුරු ලබා ගැනීමේ හා බෙදා හැරීමේ අයිතිය පරිපූර්ණ ලෙස ඉටු කර ගැනීමට අතිශයින් වැදගත් වේ. වාණිජ විද්‍යුත් මාධ්‍යයේ මූලික අභිප්‍රාය වෙළඳ දැන්වීම් සඳහා කාලය විකිණීමෙන් ලාභ උපයා ගැනීමයි.  ඒ නිසා වෙළඳ දැන්වීම් ලබා ගැනීම සඳහා නරඹන හෝ කන් දෙන  ග්‍රාහකයන්  විශාල ප්‍රමාණයක් අල්ලා ගැනීම පිණිස  වැඩි කොටසක ගේ ආකර්ෂණය ලබා ගත හැකි  වැඩ සටහන් ඉදිරිපත් කිරීමට වාණිජ මාධ්‍ය පෙලඹේ. සැලකිය යුතු ආදායමක් ඉපයිය හැකි නොවන අන්දමට වෙළඳ දැන්වීම් ලබා ගැනීමට ඇති වෙළඳපොළ ධාරිතාව සීමිත නම් වාණිජ මාධ්‍ය වැඩියෙන් නැඹුරු වන්නේ වඩා අඩුවෙන් වියදම් කරන ලාභ වර්ගයේ වැඩසටහන් ප්‍රචාරය කිරීමයි.  මේ නිසා වෙළඳ පොළෙන් අඩු මිලකට  ලබා ගත හැකි වැඩසටහන් හඬ කවා ප්‍රචාරය කිරීම, යහමින් මුදල්  වැය වන හා විශේෂිත මානව සම්පත් අවශ්‍ය වන  විමර්ෂණාත්මක ගවේෂණ විධික්‍රම මග හැර බොහෝ විට නිසි විමසුමකට ලක් නොවූ ‘වොයිස් කට්‘   මත යැපෙන ප්‍රවෘත්ති සහ විචාරශීලී බුද්ධියට වඩා ආවේග සහ මිත්‍යාව ප්‍රවර්ධනය කරන වැඩසටහන් ප්‍රචාරය වීම දැක ගත හැකිය. එහෙත් වෙළඳ දැන්වීම් ආදායම වෙනුවට මහජන අරමුදල් ලැබෙන ලාභය පරමාර්ථය කර නොගත්  මහජන සේවා විද්‍යුත් මාධ්‍යයකට වාණිජ විද්‍යුත් මාධ්‍ය මගින් ඉටු නොවන බොහෝ දේවල් කළ හැක. ඒ අතර  අනෙකුත් විද්‍යුත් මාධ්‍ය වලට ආදර්ශන වශයෙන් යොදා ගත හැකි  ගුණාත්මක භාවයෙන් ඉහළ වාර්තාංග, විචිත්‍රාංග, නාට්‍ය, සිනමා, ශ්‍රාස්ත්‍රීය  සහ සංගීත වැඩසටහන් ප්‍රචාරය කළ හැකිය. ඇතැම් විට බොහෝ විට බහුතරයක ගේ ආකර්ෂණයට වහා ලක් නො වන එහෙත් වැදගත් විෂයයන් සහ කරුණු කාරණා මහජනතාවට හඳුන්වා දීමේ දී පුරෝගාමී වීම ස්වාධීන මහජන සේවා විද්‍යුත් මාධ්‍යයක එක් වැදගත් කාර්යයකි.  විද්‍යුත් මාධ්‍ය මගින් විකාශනය කෙරෙන දේශීය සංගීතය සහ දේශජ වැඩසටහන් ප්‍රමාණය වැඩි කිරීම පිණිස අනිවාර්ය කෝටා නියම කිරීම ද නියාමනයෙන් සිදු කෙරේ. මේ හැර වැඩ සටහන් විවිධත්වය වැඩි කිරීම සඳහා ස්වාධීන නිෂ්පාදකයන්ට අත හිත දෙන වැඩ පිලිවලවල් හා  ස්වාධීන නිෂ්පාදන විකාශනය අනුක්‍රමයෙන් ඉහළ නැංවීම සඳහා ප්‍රතිශත නිගමනය කිරීම ද නියාමනයේ තවත් ඵලයක් විය හැකිය.

රටේ සියලු ම භූගෝලීය කොටස්වල සහභාගීත්වය ලබා ගත හැකි අන්දමට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීම ද විද්‍යුත් මාධ්‍ය නියාමනයේ එක් අරමුණක් විය යුතුය. වර්තමානයේ අපේ විද්‍යුත් මාධ්‍ය පවතින්නේ කොළඹ කේන්ද්‍රීය ව ය. නාමික වශයෙන් ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා පැවතුණ ද ආණ්ඩුවේ අරමුදල් වල සහ පාලනයෙන් තොර සංලේඛ්‍ය නිදහසක් ඒවාට නොමැති බැවින් ඵෙන්ද්‍රීය වශයෙන් ඒවා අදාළ ප්‍රදේශවල මහජන අභිලාෂය ඉටු කරන බවක් දක්නට නැත. මෙහි එක් ඛේදවාචකයක් වන්නේ තමන්ගේ අභිලාෂ වලට ගැළපෙන සේවාවක් නො ලැබෙන බැවින් උතුරු කරයේ සහ වතුකරයේ දෙමළ ජනතාව කොළඹ කේන්ද්‍රීය නාලිකා වලට වඩා තමන්ගේ  සංස්කෘතික අභිලාෂ තරමක් දුරට  හෝ ඉටු කරන දකුණු ඉන්දීය නාලිකා නැරඹීමට වැඩි කැමැත්තක් දැක්වීමයි. මේ අභියෝගය ජය ගැනීමට එවැනි පලාත්වල වෙසෙන වැසියන්ට ඇසීමට නැරඹීමට පමණක් නොව ප්‍රාදේශීය ආණ්ඩු කරණය සංනිරීක්ෂණය කිරීමට හා අන්තර්ගතය නිෂ්පාදනය කිරීමේ දී සහභාගී වීමට හැකි අන්දමට විමධ්‍යගත  වූ විද්‍යුත් මාධ්‍ය සේවා බිහි වීම දිරි ගැන්විය යුතුය.  අපේ අසල් වැසි රටවල මෙන් ප්‍රජා කණ්ඩායම් විසින් පිහිටුවා පවත්වාගෙන යන ප්‍රජා ගුවන් විදුලි සේවා ප්‍රවර්ධනය කිරීම මේ සම්බන්ධයෙන් හොඳ ප්‍රවේශයකි. මන්ද පාලිත මහජනතාවට තමන්ගේ ම මාධ්‍ය තුලින් තම අදහස් උදහස් විවෘතව සාකච්ඡා කිරීමට සුදුසු ස්වාධීන වේදිකාවක් සැපයීමෙන් තොරව හුදෙක් ප්‍රාදේශීය පාලකයන් අතර විමධ්‍යගත බලය රඳවා තැබීම එතරම් පලදායි කටයුත්තක් වෙතැයි සිතීම අසීරුයි.

එනිසා වැදගත් කාරණය නම්  විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සුදුසු ජාතික ප්‍රතිපත්තියක අරමුණු මොනවාද යන්න සාකච්ඡා කොට එකඟ වීමයි. මන්ද නියාමනයේ මූලික කාර්යයක් වන්නේ එම ප්‍රතිපත්තිමය අරමුණු ඉටු කර ගැනීම ක්‍රියාවට නැංවීම වන බැවිනි.

පොදු යහපත පිණිස විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම නියාමනය කිරීමේ ප්‍රතිපත්තිමය අරමුණු පහත දැක්වෙන අන්දමට සටහන් කළ හැකිය. ඒ අනුව නියාමනය යනු විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ දී පහත දැක්වෙන පරමාර්ථ ඉටු කර ගැනීමට උපයෝගී වන ක්‍රියාමාර්ගයක් විය යුතුය.

  1. සියලු රට වැසියන් භූගෝලීය වශයෙන් උපරිම ලෙස ආවරණය වීමට අවශ්‍ය කෙරෙන පරිදි හා විමධ්‍යගත සහභාගීත්වය වැඩි දියුණු කළ හැකි ලෙස විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය සැලසුම් කොට විනිවිද භාවයකින් යුතු බලපත්‍ර නිකුත් කිරීමේ හා අළුත් කිරීමේ විධික්‍රමයක් හඳුන්වා දීම.
  2. ස්වාධීන මහජන සේවා, වාණිජ හා ප්‍රජා විද්‍යුත් මාධ්‍ය ආදි වශයෙන් එකිනෙක අනුපූරණය වන අන්දමට විද්යුත් මාධ්‍ය සේවා වන්ගේ විවිධත්වය තහවුරු කිරීම.
  3. විද්යුත් මාධ්‍යය හිමිකම පිළිබඳ ඒකාධිකාරිත්වයක් ඇති වීම වැළැක්වීම සහ වෙළඳ පොළ ධාරිතාව ට අනුකූලව තබා ගත හැකි උපරිම වාණිජ මාධ්‍ය සේවා ප්‍රමාණය තීරණය කිරීම මගින් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සාධාරණ තරගකාරිත්වයක් ඇති කිරීම.
  4. මහජන අරමුදල් මගින් යැපෙන රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය  සංස්කරණ නිදහස නීතියෙන් සහතික කළ ස්වාධීන මහජන සේවා විද්‍යුත් මාධ්‍ය බවට පරිවර්තනය කිරීමේ වැඩ පිළිවෙළක් දියත් කිරීම.
  5. ඉහළ තාක්ෂණික තත්ව පවත්වාගෙන යාම සහ නව තාක්ෂණය උපයෝගී කර ගැනීම දිරි ගැන්වීම.
  6.  විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ තරගකාරීත්වය හා මූල්‍ය ශක්‍යතාව තහවුරු කරලීම.
  7. නිරවද්‍ය හා සාධාරණ ලෙස සමබර වූ අන්තර්ගතය සහිත වැඩ සටහන් ඉදිරිපත් කිරීම  පිළිබඳ ප්‍රමිති ප්‍රවර්ධනය කිරීම.
  8. වෙළඳ දැන්වීම් වළ විශ්වසනීයත්වය පිළිබඳ නිර්ණායක හඳුන්වා දීම.
  9. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රමුඛ  සියලු මානව අයිතීන් සුරැකීමට, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය ප්‍රවර්ධනය කිරීමට විද්‍යුත් මාධ්‍ය සක්‍රියව දායක වීම.
  10. මහජන අධ්‍යාපනය වඩවන ගුණාත්මක භාවයෙන් ඉහළ අන්තර්ගතයක් සහිත වැඩ සටහන් මගින් ලාංකේය සංස්කෘතික, දේශපාලනික, සමාජීය සහ ආර්ථික ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධය පෝෂණය කිරීම.
  11. සමාජයේ විවිධත්වය සහ බහුත්වවාදී ස්වභාවය නිරූපණය වන අන්තර්ගතය ප්‍රවර්ධනය කිරීම, වැඩසටහන් වල නිර්මාණශීලීත්වය සහ සුවිශේෂී දේශජ අන්තර්ගතය දිරි ගැන්වීම ද ඇතුලත්ව සංලේඛ්‍ය නිදහස සුරකිමින් අන්තර්ගතය ඉදිරිපත් කිරීම පිළිබඳ ප්‍රමිති හඳුන්වා දීම.
  12. ගුණාත්මක භාවය අතින් විදේශීය වැඩසටහන් හා තරඟ කල හැකි වැඩසටහන් නිෂ්පාදනය කිරීම හා ප්‍රචාරය කිරීම දිරි ගැන්වීම.
  13. දැන ඉගෙන ගැනීමට මහජනතාවට ඇති අයිතිය  ඉහලින් සාක්ෂාත් කර දීම පිණිස සංස්කෘතික, ඓතිහාසික, අධ්‍යාපනික හා ළමා වැනි වඩා ලාභදායක නොවන වැඩසටහන් ද ඇතුලත්ව විවිධත්වය අතින් පුලුල් පරාසයක වැඩසටහන් ප්‍රමාණයක් මහජනතාවට නැරඹීමට/කන්දීමට හැකි වන ලෙස එකිනෙක අනුපූරණය වන පරිදි  වැඩසටහන් නිෂ්පාදනය දිරිගැන්වීමේ වැඩ පිළිවෙළක් දියත් කිරීම  ප්‍රවර්ධනය කිරීම.
  14. කලා හා සංගීත රසවින්දනය හා  ක්‍රීඩා  ලොලිත්වය ප්‍රවර්ධනය කිරීමට දායක වීම.
  15. ස්වාධීන නිෂ්පාදකයන්ගේ ඉහළ ප්‍රමිතියකින් යුතු වැඩසටහන් නිෂ්පාදනයට හා ප්‍රචාරයට ලක් කිරීම දිරි ගැන්වීම..

විජයානන්ද ජයවීර

28/10/2017


[1] https://www.colombotelegraph.com/index.php/the-19a-allows-private-broadcasters-to-legally-skew-elections/

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: