විද්‍යුත් මාධ්‍ය සහ නිවැරදි කිරීමේ අයිතිය

යම් කිසි පුද්ගලයෙකු සම්බන්ධව කරුණුමය අසත්‍යයක් ජනමාධ්‍ය වාර්තාවක පළ වූ විට එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටීමට එම පුද්ගලයාට අයිතියක් තිබේ. එම ඉල්ලීම සාධාරණ නම් වැරැද්ද නිවැරදි කිරීම ජනමාධ්‍යයේ වග කීමෙයි. පරිණත ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙකී අයිතිය හැඳින්වෙන්නේ නිරවද්‍ය කර ගැනීමේ අයිතිය(right to correction) යනුවෙනි. තමන් සම්බන්ධ කරුණුමය වශයෙන් වැරදි චෝදනාවක් ජනමාධ්‍යයේ පළ වූ විට ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීමට කෙනෙකුට ඇති අයිතිය(right to reply) ද මෙහි ම දිගුවකි.

එහෙත් එවැනි සහේතුක ඉල්ලීමක් ජනමාධ්‍යයක් විසින් කිසිදු හේතුවක් නො දක්වා නො තකා හරිනු ලැබුවොත් කුමක් කළ හැකි ද?. මුද්‍රිත මාධ්‍යයක් විසින් අසාධාරණ ලෙස එවැනි නො සලකා හැරීමක් කළ හොත් ඒ සම්බන්ධයෙන් අඩු වැඩි වශයෙන් මැදිහත් වීමට ස්වාධීන පුවත්පත් පැමිණිලි මණ්ඩලය හෝ ඇත. එහෙත් එවැනි නිවැරදි කිරීමේ ඉල්ලීමක් විද්‍යුත් මාධ්‍යයක් විසින් අසාධාරණ ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබූ විට ඒ  සඳහා මැදිහත් වීමට ස්වාධීන නියාමන ආයතනයක් අපට නැත.  විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් ද ස්වාධීන නියාමන ආයතනයක් අවශ්‍ය බව කලක සිට සාකච්ඡා වෙමින් තිබේ. එහෙත් විද්‍යුත් මාධ්‍යයක පළ වන කරුණුමය අසත්‍ය නිවැරදි කර ගැනීමට වින්දිත පුද්ගලයන්ට මේ අයිතිය ලබා දීම පිළිබඳ කුකුසක් මේ සාකච්ඡාවලට මැදිහත් වීමේ දී දැක ගන්නට ලැබේ. 

යම් කරුණක් පිළිබඳ ව විද්‍යුත් මාධ්‍යයක පළ වූ වැරදි වාර්තාවක් නිවැරදි කර ගැනීමට කෙනෙකුට ඇති අයිතිය නො වැදගත් යයි සිතන අයගේ මූලික තර්කයක් වන්නේ නිදහස් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිගන්නා සමාජයක අදහස් ප්‍රකාශ කිරීමේ දී සිදු විය හැකි හැම අනර්ථයක් ම වැළැක්වීමට විධි විධාන යෙදීම එම නිදහස සීමා කිරීමට හේතු විය හැකිය යන්නයි. මූලික ව මෙය 17 වන සියවසේ ජීවත් වූ ස්කොට් ජාතික දාර්ශනිකයෙකු වූ ජෝන් ස්ටුවර්ට් මිල්ගේ අදහස් පදනම් කර ගත් තර්කයකි.  ප්‍රකාශන නිදහස නියාමනය කළ යුත්තේ හුදෙක් ඒ නිසා වෙනත් අයට නිසැක ව ම බරපතළ හානි සිදු විය හැකි  නම් පමණි යැයි මිල් ප්‍රකාශ කළේ ය. ඒ අනුව පුද්ගලයෙකු සම්බන්ධයෙන් කරුණුමය අසත්‍යයක් පළ වීමක දී වූව ද එ නිසා පොදුවේ බරපතළ හානියක් සිදු නො වන්නේ නම් එය නිවැරදි කිරීම ගැන වගකීමකට ජනමාධ්‍ය ලක් කිරීම ප්‍රකාශනයේ නිදහසට බාධාවක් විය හැකි යැයි ඇතමුන් අදහති.

ප්‍රකාශන නිදහස අයිතියක් ලෙස තහවුරු වීම සම්බන්ධයෙන් මිල්ගේ අදහස් වල බලපෑම ඉතා වැදගත් බව අවිවාදිත ය. ප්‍රකාශන නිදහස නිසි ලෙස ආරක්ෂා වීමට නම් ගැරහීම්, නිග්‍රහ, අවලාද අපවාද කිරීමට පවා  සමාජයක ඉඩ කඩක් තිබිය යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය. මිල් ට අනුව අදහස් ප්‍රකාශ කිරීමේ දී සමාජය තුළ  ඇතිවිය හැකි  එවැනි දුෂ්චර්යා  නියාමනය කළ යුත්තේ සමාජ කතිකාව තුළ ම ඒවා විවේචනය කොට පිටු දැකීමෙන් මිස නීතියෙන් නියාමනය කිරීමෙන් නොවේ. මන්ද එවැනි නීති අයුතු ලෙස භාවිතා කිරීමෙන් තමන් අකැමැති අදහස් පළ වීම වැළැක්වීමට පාලකයන්ට ඉඩ ලැබෙන බැවිනි. වඩා සුදුසු දෙය වන්නේ සමාජ නියාමනය මගින් කතිකාවක ශිෂ්ටකම පවත්වා ගෙන යාම බව මිල් අදහස් කළේ ය.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අයිතියක් ලෙස නො සැලකූ  පූර්ව ජනමාධ්‍ය සමාජයේ  සමාජ කතිකාව (පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක් තිබුණා නම්) ආගමික හා සමාජ සාරධර්ම මගින් නියාමනය වූ බව සිතිය හැකිය. එහෙත් එවැනි පූර්ව ජනමාධ්‍ය සමාජ කතිකා වල අදහස් පළ කිරීමේ හා මැදිහත් වීමේ හැකියාව බොහෝ විට  ධුරාවලියට අනුව සිදු වූවක් මිස ප්‍රකාශනයේ අයිතියක් මත සිදු වූවක් නොවේ.  අනෙක් අතට වර්තමානයේ මෙන් නොව  පූර්ව මාධ්‍යය යුගයේ එවැනි කතිකා බහුජන මට්ටම් දක්වා පුළුල් වීමට තරම් සාක්ෂරතාවක් වත් ජනමාධ්‍ය මෙවලම් වත් සමාජය සතු ව නො තිබුණි. 

කෙසේ වෙතත් ස්ටුවර්ට් මිල් ගේ අදහස් ප්‍රජාතන්ත්‍රවාදය හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හැඩ ගැස්වීමට බෙහෙවින් දායක වූ බව පිළිගත යුතු ය. කිසිදු බලපත්‍රයකින් තොර ව පුවත් පතක් ප්‍රකාශ කිරීමට ඕනෑම කෙනෙකුට අයිතියක් තිබිය යුතු බවට ඔහු ඉදිරිපත් කළ පත්‍රිකාවේ පුවත්පත් නිදහස පිළිබඳ ඉතා වැදගත් කරුණු රැසක් අඩංගු වේ.  එහෙත් ස්ටුවර්ට් මිල් මිය ගියේ ජනමාධ්‍යයක් වශයෙන් විද්‍යුත් මාධ්‍ය සතු විය හැකි බලපෑම ගැන හාංකවිස්සියක්වත් උපකල්පනය කිරීමට නො හැකි ව තිබූ  1872 දී ය. පුමුඛතම ජනමාධ්‍ය ලෙස රූපවාහිනිය අවතීර්ණ වීමට තවත් වසර සීයක් බලා සිටීමට සිදු විය.  පුවත්පත එක ම ජනමාධ්‍යය වූ කියවන්නන් සුලු සංඛ්‍යාවක් සහිත සමාජයක විසූ ස්ටුවර්ට් මිල්ට අති මහත් සමාජයක් මෙහෙයවීමට විද්‍යුත් මාධ්‍ය බලපත්‍රධාරීන් අතලොස්සකට වරප්‍රසාදය හිමි වන සමාජ සංදර්භයක් අත්විඳීමට  අවස්ථාවක් නො ලැබුණි.  මහජන කතිකාව ස්ථාන ගත කිරීමට හා මෙහෙයවීමට අද කාලයේ විද්‍යුත් මාධ්‍ය මගින් කරන බලපෑම පෙර නොවූවිරුය. ඒ නිසා මහජන යහපත මුල් කර ගෙන විද්‍යුත් මාධ්‍ය ස්වාධීනව නියාමනය කිරීම පිළිබඳ කෙරෙන කතිකා වල දී ස්ටුවර්ට් මිල්ගේ අදහස් ගලපා ගැනීම ප්‍රවේසමෙන් කළ යුත්තකි.  

මෙහි දී අප විසින් මුලින් ම සිහි තබා ගත යුතු කරුණ වන්නේ අදහස් ප්‍රකාශ කිරීම හා  ප්‍රවෘත්ති ආදී තොරතුරු ප්‍රකාශ කිරීම යන දෙක එකක් ම නොවන බවයි. මත හා අදහස් මෙන් නොව මාධ්‍ය භාවිතා කොට ලබා ගන්නා ප්‍රවෘත්තීමය තොරතුරක් යන්නෙන් අප අදහස් කරන්නේ අඩු වැඩි වශයෙන් සාක්ෂි මත පිහිටා ජනමාධ්‍යවේදීන් විසින් සෑහෙන දුරට නිරවද්‍යතාව තහවුරු කර ගනු ලැබූ කරුණු වලටයි. එහෙත් එවැනි තොරතුරක් වැරදි බව හෙළි වූ වහාම ඒවා නිවැරදි කර ප්‍රචාරය කිරීම ජනමාධ්‍යවේදියාගේ  හා ජනමාධ්‍ය ආයතනයේ වෘත්තීය යුතු කමක් බවට පොදු පිළි ගැනීමක් තිබේ.  තමන්  ප්‍රචාරය කළ තොරතුරක වැරැද්දක් දුටු විට එය නිවැරදි කිරීම ජනමාධ්‍යවේදියෙකුගේ වෘත්තීය වගකීමක් නම් ජනමාධ්‍යය ඔස්සේ තමන් සම්බන්ධව ප්‍රචාරය වූ කරුණුමය අසත්‍යයක් නිවැරදි කිරීමට කෙනෙකු විසින් කරන සාධාරණ ඉල්ලීමක් මාධ්‍ය නිදහසට එරෙහි වන්නේ යැයි සිතීම අ යුතු ය.

කරුණුමය අසත්‍ය නිවැරදි කිරීමේ අයිතිය හුදෙක් එම අසත්‍ය නිසා පීඩනයට ලක් වන වින්දිතයා පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. නිවැරදි කිරීමේ අයිතිය නො වැදගත් කරච්චලයක්යැ’යි සලකන අය අමතක කරණ වැදගත් ම කාරණය වන්නේ එකී අයිතිය අදාළ විද්‍යුත් මාධ්‍යයට කන් දෙන හෝ නරඹන අයට නිවැරදි තොරතුර ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම පිළිබඳ ව ද වැදගත් ප්‍රශ්නයක් බවයි.  මන්ද වැරදි කරුණු මත පදනම් වූ තොරතුරු විකාශනය කිරීමට ඉඩ ඇරීම අසන්නන් හා නරඹන්නන් මුලාවේ දැමීමක් වන බැවිනි. මේ අර්ථයෙන් ගත් විට මේ  නිවැරදි කිරීමේ අයිතිය විද්‍යුත් මාධ්‍ය අන්තර්ගතයේ වෘත්තීය ගුණාත්මක බව රැකීම අතින් ද අතිශයින් වැදගත් වේ.

යුරෝපීය රටවල මෙන් නොව ඇමෙරිකානු එක්සත් ජනපදයේ  මුද්‍රිත මාධ්‍ය මේ අයිතිය එකහෙලා පිළි ගැනීමට මැලි කමක් දක්වයි.  පුවත්පත් සම්බන්ධයෙන් පිළිතුර දීමේ අයිතිය තහවුරු කිරීමට රජය මැදිහත් වීම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් විය හැකි බවට ඇමෙරිකානු  අධිකරණය විවාදාත්මක තීන්දු දී තිබේ. කෙසේ වෙතත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධයෙන් නම් විද්‍යුත් මාධ්‍යයට වඩා  ඉහළ ආරක්ෂණයක් මුද්‍රිත මාධ්‍යයට තිබිය යුතු බවට පොදු පිළිගැනීමක් ඇමෙරිකාවේ ඇත.  එනිසා මුද්‍රිත මාධ්‍ය සම්බන්ධයෙන් කිසිම නියාමනයක් කිරීමට තැත් කිරීම ඇමෙරිකානු සම්ප්‍රදාය අනුව අකැප දෙයකි.   එහෙත් විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් ඒ හා සමාන සැලකීමක් නොමැති බවත් පිළිතුරු දීමේ අයිතිය වැඩසටහන් වල සාධාරණත්වය පිළිබඳ අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සැලකූ බවත්  ඇමෙරිකානු එක්සත් ජනපදයේ චිර ප්‍රසිද්ධ රෙඩ් ලයන් නඩුකරය විමසා බැලූ විට පෙනේ..

1969 අමෙරිකාවේ ෆෙඩරල් සංනිවේදන කොමිසම එදිරිව රෙඩ් ලයන් ගුවන් විදුලි සමාගම පිළිබඳ නඩුවට නිමිත්ත වූයේ ඇමෙරිකානු ජනාධිපති අපේක්ෂකයකු පිළිබඳ ලියූ පොතක් විචාරය කළ වැඩසටහනක් රෙඩ් ලයන් නමැති ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කළ ආකාරය පිළිබඳ ඇති වූ මත භේදයකි.  එකී පොත විචාරය කිරීමේ දී පොතේ විචාර ක්ෂේත්‍රයට පරිබාහිර ව තමන් පෞද්ගලිකව අවමානයකට ලක් කළ නිසා අසාධාරණයක් සිදු ව ඇතැ’යි ද, ඒ පිළිබඳ පිළිතුරක් දීමට තමාට අවස්ථාවක් ලබා දිය යුතු යැයි ද එම පොත ලියූ මාධ්‍යවේදියා රෙඩ් ලයන් ගුවන් විදුලියෙන් ඉල්ලා සිටියේ ය. ඒ සඳහා එම වැඩසටහනේ පටි ගත කළ පිටපතක් ද තමාට ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේ ය. එහෙත්  රෙඩ් ලයන් ගුවන් විදුලි ආයතනය  එම ඉල්ලීම් සහමුලින්ම ප්‍රතික්ෂේප කළේ ය.

එවිට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය නියාමනය කරන ආයතනය ලෙස මේ සම්බන්ධයෙන් මැදිහත් වූ ඇමෙරිකානු ෆෙඩරල් සංනිවේදන කොමිසම එකී වැඩසටහනේ අන්තර්ගතය සම්බන්ධයෙන් පිළිතුරු දීමට අවශ්‍ය පිටපතක් මාධ්‍යවේදියාට ලබා දෙන ලෙස රෙඩ් ලයන් ගුවන් විදුලි ආයතනයට නියෝග කළේ ය. පටි ගත කිරීමේ තාක්ෂණික පහසුකම් විරල ඒ අවධියේ වැඩසටහනක පිටපතක් ලබාගත හැකි ව තිබුණේ ගුවන් විදුලි ආයතනයෙන් පමණි. එහෙත් කොමිසමේ එම නියෝගය රෙඩ් ලයන් ගුවන් විදුලි ආයතනය සැලකුවේ  1791 තරම් ඈත දී ඇමෙරිකානු ව්‍යවස්ථාවට කළ ප්‍රථම සංශෝධනය[i] මගින් තහවුරු කර ඇති  පරිදි අදහස් ප්‍රකාශ කිරීමට තමන්ට තිබිය යුතු නිදහස උල්ලංඝනය කිරීමක් ලෙසයි. රෙඩ් ලයන් ගුවන් විදුලි ආයතනයේ අදහස වූයේ  මාධ්‍යවේදියාගේ  ඉල්ලීම කුමක් වුවද තමන් ගේ වැඩසටහන් සම්බන්ධයෙන් ඇඟිලි ගැසීමට තැත් කිරීම ගුවන් විදුලි ආයතනයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් බවයි.

එහෙත් ඊට ප්‍රතිපක්ෂව ෆෙඩරල් සංනිවේදන කොමිසම පෙන්වා දුන්නේ එකිනෙකට විරුද්ධ මත නිදහස් සහ සාධාරණ ලෙස සාකච්ඡාවට ලක් වීම මහජන යහපත සඳහා අත්‍යවශ්‍ය බවයි. ඒ අනුව විවාදාත්මක කරුණු ප්‍රචාරය කිරීමේ  දී ප්‍රතිවිරුද්ධ මතය  ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දීම  සාධාරණ බැවින් ඒ අනුව පැමිණිලි කාර මාධ්‍යවේදියාගේ  මතය ද ප්‍රචාරය කිරීමට රෙඩ් ලයන් ගුවන් විදුලි ආයතනයට වග කීමක් ඇති බවයි.  රෙඩ් ලයන් ගුවන් විදුලිය සහ සංනිවේදන කොමිසම අතර ඇති වූ මේ ආරවුල අවසන් තීරණය සඳහා ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු විය. රෙඩ් ලයන් ගුවන් විදුලියේ  අදහස්  ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳ ව ඉදිරිපත් වූ තර්ක ප්‍රතික්ෂේප කරමින් ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය කළ හේතු දැක්වීම අපේ සාකච්ඡාවේ මුඛ්‍ය කාරණය වන පිළිතුරු දීමේ අයිතියට බෙහෙවින් අදාළ වෙයි. සංක්ෂිප්තව ගත හොත් ඒ නිගමන මෙසේ ය.

අදහස් ප‍්‍රකාශ කිරීම ව්‍යවස්ථාපිත අයිතියක් කිරීමට ඇමෙරිකානු ව්‍යවස්ථාවට කළ ප‍්‍රථම සංශෝධනයේ අරමුණ වන්නේ ම වඩා දැනුවත් ජනතාවක් බිහි කිරීම බව පළමු කොට ම ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ ය. මේ නිසා මාධ්‍ය අන්තර්ගතය සාධාරණ වීම පිළිබඳ සිද්ධාන්තය ක‍්‍රියාත්මක විය යුතු බවට ෆෙඩරල් සංනිවේදන කොමිසම විසින් නියම කරනු ලැබීම ගුවන් විදුලි සමාගමේ අදහස් පළ කිරීමේ අයිතියට පටහැණි යැයි පිළිගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නො හැකිය. අදාළ ආරවුලේ දී වඩා වැදගත් වන්නේ ශ‍්‍රාවකයන්ගේ දැන ගැනීමේ අයිතිය මිස ගුවන් විදුලි සමාගමේ අදහස් පළ කිරීමේ අයිතිය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනයයි. පිළිතුරු දීමේ අයිතිය සම්බන්ධයෙන් වඩාත් වැදගත් වන්නේ ඒ කාරණය සඳහායි.


අදහස් පළ කිරීමේ දී සිදු විය හැකි අසාධාරණය වැළැක්වීමට කටයුතු කිරීම මාධ්‍ය ආයතනයක වගකීමකි. විද්‍යුත් මාධ්‍ය භාවිතයේ දී සාධාරණත්වය පිළිබඳ සිද්ධාන්තය බැහැර කළ හොත් සිදු විය හැක්කේ සිය අයිතිකරුවන්ගේ අභිමතයට සරිලන අයට පමණක් අදහස් ප‍්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීමට අදාළ ගුවන් විදුලි ආයතනය පෙලඹීම බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ ය.


ගුවන් විදුලියක් පවත්වා ගෙන යාමට සීමිත මහජන සම්පතක් වන විද්‍යුත් තරංග භාවිතා කළ යුතු ය. ඒ සඳහා බලපත‍්‍රයක් ලැබීමේ වරප‍්‍රසාදය හැම කෙනෙකුට ම ලබාගත හැකි දෙයක් නොවේ. එබැවින් බලපත‍්‍රධාරී විද්‍යුත් මාධ්‍යයකට තමන්ට අභිමත පරිදි පුද්ගලික වාරණයක් කිරීමට අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය යොදා නො ගත නො හැකි යැ’යි ද ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ ය. තමන්ට අභිමත මතය තෝරා ගැනීම තීරණය කිරීමට ගුවන් විදුලි ආයතනයට ඉඩ දීමට වඩා වැදගත් වන්නේ එම ගුවන් විදුලිය අසන අයට අදාළ කරුණ පිළිබඳ ව සියලූ පැති දැන ගැනීමට ඇති අයිතිය බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය.

https://en.wikipedia.org/wiki/Red_Lion_Broadcasting_Co._v._FCC

බහුවිධ මූලාශ්‍රවලින් තොරතුරු ලබා ගැනීමට මහජනතාවට ඉඩ ලබා දෙන බැවින් පිළිතුරු දීමේ අයිතිය තොරතුරු ලබාගැනීමේ ඉඩ පුළුල් කිරීම අතින් මහජන යහපත සඳහා ඉතා වැදගත් වන බව මානව අයිතිවාසිකම් පිළිබඳ යුරෝපීය කොමිසම පෙන්වා දී ඇත. ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, ෆින්ලන්තය, නෝර්වේ, ස්පාඤ්ඤය හා ස්වීඩනය වැනි ප්‍රජාතන්ත්‍රවාදී රට වල පිළිතුරු දීමේ අයිතිය සෑහෙන කලක් තිස්සේ පිළිගෙන තිබේ. මේවා අතරින් ප්‍රංශයේ පිළිතුරු දීමේ අයිතිය පුවත්පත් නිදහස පිළිබඳ නීතියෙන් ම තහවුරු කර ඇත්තේ 1881 තරම් ඈත කාලයේයි. එහෙත් මේ අයිතිය ලබා දීම නිසා එතෙක් මෙතෙක් ප්‍රංශයේ අදහස්  ප්‍රකාශ කිරීමේ අයිතියට අගතියක් වී නො මැත.

කෙසේ  වෙතත් ජන මාධ්‍ය භාවිතයේ දී යමකු සම්බන්ධව පළ වන කරුණුමය අසත්‍ය නිවැරදි කර ගැනීමට ඔහුට ඇති අයිතියට ඉඩ දීම තරමක් ප්‍රවේසමෙන් කළ යුත්තකි. සාමාන්‍ය පුද්ගලයන් මෙන් නොව  මහජන නියෝජිතයන්, දේශපාලනඥයන් සහ නාමධාරී පුද්ගලයන් බාධාවකින් තොර ව මහජන සංනිරීක්ෂණයට ලක් කිරීමේ ඉඩකඩක් ජනසමාජයට තිබිය යුතු ය. එනිසා ඔවුන් සම්බන්ධයෙන් සාධාරණ විවේචන වැළැක්වීමේ උපක්‍රමයක් ලෙස  පිළිතුරු දීමේ අයිතිය අවභාවිතා කොට ජනමාධ්‍ය බිය ගැන්වීමට ඉඩ නො තැබිය යුතු ය. අනෙක් අතට එය නිදහසට කරුණක් වශයෙන් දක්වා එම අයිතිය නො සලකා හැරීම ද අයුතු වැඩකි. සුදුසු ම දේ නිවරැදි කිරීමේ අයිතිය භාවිතා කිරීමේ හැකියාව හැකි තරම් පටු ලෙස නීතිය මගින් ම නිර්ණය කර තිබීම හා  ඒ සම්බන්ධ  ආරවුල් නිරාකරණය කර දීමට ස්වාධීන නියාමන ආයතනයකට පැවරීමයි. ඒ අනුව නිවැරදි කිරීමේ අයිතිය අදාළ විය යුත්තේ  විවෘත මත ප්‍රකාශ කිරීම සම්බන්ධව නොව කිසිවකු සම්බන්ධයෙන් කරුණුමය අසත්‍යයක් ප්‍රචාරය වූ විට එය නිවැරදි කිරීම සඳහා පමණි. කොටින් ම යෝජිත නිවැරදි කිරීම හෝ පිළිතුර ඒ කරුණුමය අසත්‍ය නිවැරදි කිරීමට පමණක් සීමා විය යුතුයි. නිවැරදි කිරීමේ අයිතිය සාධාරණ ලෙස ප්‍රතික්ෂේප කිරීමට අදාළ මාධ්‍යයට හැකි වන අයුරු නියාමන නීති සැකසී තිබීම මගින් එකී අයිතිය මාධ්‍යයට එරෙහිව අවභාවිතා කිරීම වැළැක්විය හැකිය. ඒ සීමාවන්ට අනුව නිවැරදි කිරීමට අවශ්‍ය වන ප්‍රමාණයට වඩා පිළිතුර දිගු වීම,  නිවැරදි කිරීමේ මුවාවෙන් වෙනත් කරුණු ඉදිරිපත් කිරීමට තැත් කිරීම, අපරාධමය චෝදනාවකට ලක් විය හැකි හා සදාචාරයට පටහැණි තොරතුර යෝජිත පිළිතුර මගින් ඉදිරිපත් කිරීම, පිළිතුර මගින් තුන්වැනි පාර්ශවයක නීත්‍යනුකූල හිමිකම් උල්ලංඝනය වීමට ඉඩ තිබීම, අදාළ කරුණ ප්‍රචාරය වීමෙන් නිවැරදි කිරීම ඉල්ලන පුද්ගලයාගේ නීත්‍යනුකූල අයිතියක් උල්ලංඝනය වී ඇතැ’යි පෙන්වා දීමට අපොහොසත් වීම හා ප්‍රචාරය වූ තොරතුරු පාර්ලිමේන්තුව, වෙනත් රජයේ අධිකාරයක් හෝ අධිකරණයක් විසින් පැවසූ දෙයකින් ඍජුව උපුටා ගත් දෙයක් වීම වැනි  කරුණු මත පිළිතුරු දීමේ අයිතිය ප්‍රතික්ෂේප කිරීමට ජනමාධ්‍යයකට අයිතිය තිබිය යුතු ය. ඒ සම්බන්ධයෙන් ඇතිවිය හැකි  මතභේද විසඳීම විද්‍යුත් මාධ්‍ය පිළිබඳ ස්වාධීන නියාමන යාන්ත්‍රණයක කාර්ය භාරයයි. 

විජයානන්ද ජයවීර


[i] Congress shall make no law respecting an establishment of religion, or prohibiting the free exercise thereof; or abridging the freedom of speech, or of the press; or the right of the people peaceably to assemble, and to petition the government for a redress of grievances. (First Amendment of the American Constitution)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: