විද්‍යුත් මාධ්‍ය අ​පක්ෂපාතීත්වය පිළිබඳ විශේෂ අවශ්‍යතාව තේරුම් ගැනීම පිළිබඳ ගැටලු​ව

(විද්‍යුත් මාධ්‍ය බලපත්‍ර නිකුත්නි කිරීම නියාමනය කිරීම පිණිස සුදුසු ක්‍රමවේදයක් යෝජනා කිරීම සඳහා, මංගල සමරවීර ජනමාධ්‍ය ඇමැති වරයා විසින් පත් කළ කමිටුවක සාමාජිකයෙක් ලෙස කටයුතු කිරීමට මට අවස්ථාව ලැබුණි. එහිදී විද්‍යුත් මාධ්‍යයේ ​අපක්ෂපාතීත්වය පිළිබ විශේෂ අවශ්‍යතාව නියාමන නීතියට නිශ්චිතව ​ඇතුළත් කළ යුත්තේ ඇයිද යන්න පැහැදිලි කරමින් මා කමිටුව​ට ඉදිරිපත් කළ ලියවිල්ලයි මේ. එහෙත් මගේ ඉල්ලීම ඉටු නොවී​ම නිසා කමිටු වාර්තාවට මට මුලුමනින්ම එකඟ නොවිය හැකි බව විකල්ප වාර්තාවක් ඉදිරිපත් කරමින් මම ඇමැති වරයාට දැනුම් දුන්නෙමි.)

සුදුසු විද්‍යුත් මාධ්‍ය නියාමන යන්ත්‍රණයක් සකසා ගැනීම පිළිබඳ අපේ සාකච්ඡාව මා දුටු අන්දමට  මතවාදී ආස්ථාන දෙකකට ධ්‍රැවීකරණය වෙමින් තිබේ.  එය විවෘතව සාකච්ඡාවට ලක් කිරීමකින් තොර ව මා විසින් යෝජනා කළ නීතියෙන් නියම කරන පරිදි විවාදාත්මක අවස්ථා සම්බන්ධයෙන් විද්‍යුත් මාධ්‍ය අපක්ෂපාතී විය යුතු බව, සහ ප්‍රවෘත්ති ප්‍රකාශයේ දී බලපත්‍ර හිමියාගේ අදහස් ප්‍රචාරය නොවිය යුතුය යන කරුණු  පිළිබඳ  තේරුම් කර ගැනීම අසීරු බව පසුගිය රැස්වීමේ දී මට වැටහුනි. එනිසා නිවැරදි කිරීමේ අයිතිය පිළිබඳ ව මා විසින් මින් පෙර එවූ ලිඛිත කරුණු වලට අමතරව පහත සඳහන් කරුණු ද ඔබේ අවධානයට යොමු කරමි.

මේ අතරින් විද්‍යුත් මාධ්‍ය නියාමනයේ පෞද්ගලික වෙළඳ පළ මොඩලය (Private Market Model) ලෙස හැඳින්විය හැකි එක් මතවාදී ආස්ථානයකට අනුව නිසි ක්‍රියා මාර්ගයක් මගින් සංඛ්‍යාත බදු දුන් පසු තමන්ට අභිමත පරිදි තම විද්‍යුත් මාධ්‍ය සේවය පවත්වා ගෙන යාමට පෞද්ගලික අංශයේ විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභීන්ට ඉඩ දිය යුතු වේ. එවිට සාමාන්‍යය ව්‍යාපාරික තරඟයක දී සිදුවන්නාක් මෙන් පාරිභෝගික අවශ්‍යතා ඉටු කරන හොඳ තරගකාරී සේවාවක් ලබා දීමට හැකි වේ. එනිසා විද්‍යුත් මාධ්‍ය නියාමනයේ දී වැදගත් වන්නේ එම ව්‍යාපාරික අභිලාෂය මගින් ඉටු විය හැකි සේවය මුල් කර ගත් අවම නියාමනයකට යෑමයි. කොටින් ම මේ අනුව පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නියාමනය හුදෙක් හානිය අවම කිරීමට පමණක් සීමා විය යුතුයි. එහෙත් එකී හානිය අවම කිරීම යන්නට වාර්තාකරණයේ සාධාරණත්වය (fairness)සහ මතභේදාත්මක කරුණු සම්බන්ධයෙන් බලපත්‍රලාභියාගේ අපක්ෂපාතීත්වය (impartiality) තහවුරු කිරීම යන කරුණු අඩංගු කිරීම අවශ්‍ය නැත.

මේ මොඩලය  අනුව මාධ්‍ය තුලින් නියෝජනය විය යුතු සමාජ ප්‍රකාශනය ට වඩා වැදගත් වන්නේ බලපත්‍ර හිමියාගේ ප්‍රකාශන අයිතියයි. තම තමන්ට අභිමත මතය ප්‍රකාශ කිරීමට හැකි සැලකිය යුතු පෞද්ගලික මාධ්‍ය සංඛ්‍යාවක් ඇත්නම් ඒ සියල්ලේ ම එකතුව මගින් සමාජ ප්‍රකාශනය නිරූපනය කිරීමට හැකි වෙතැ’යි පෞද්ගලික වෙළඳ පොළ මොඩලය විශ්වාස කරන අය කල්පනා කරති. ඒ විශ්වාසයට අනුව මතභේදාත්මක කරුණු වල දී වුව ද බලපත්‍ර හිමිකරු ගේ  මතයට බර තබන අන්දමින් වැඩ සටහන් ප්‍රචාරය වීම අවැඩක් ලෙස නො සැලකෙයි.  මගේ වැඩසටහන් වල පක්ෂග්‍රාහී බවට ඔබ අකැමැති නම් ඔබට වෙනත් සේවාදායකයෙකු ගේ නාලිකාවකට මාරු විය හැකිය. පෞද්ගලික දේපළ අයිතිය කේන්ද්‍රීය කර ගත් මේ මොඩලයේ දී  ග්‍රාහකයන් සැලකෙන්නේ හුදු පාරිභෝගිකයන් පිරිසක් ලෙසයි.

එයට වෙනස්ව අනික් මතවාදයට අනුව කෙරෙන පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නියාමනය මහජන විශ්වසන මොඩලය ( Public Trustee Model) වශයෙන් හැඳින්විය හැකියි. මහජන විශ්වසන මතවාදයට අනුව ඇතැම් පොදු දේපළ ඒවායේ සුවිශේෂ ස්වභාවය නිසා පොදු යහපත මුල් කොට යොදා ගත යුතු ය.  විකාශන තරංග ද එවැනි  පොදු දේපළකි. එවැනි දේපළ ව්‍යාපාරික කටයුතු සඳහා පෞද්ගලික අංශයට පැවරීමේ දී පොදු යහපතට හානි වන පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් ඒවා යොදා ගැනීම වැළැක්වීමේ විධිවිධාන යෙදිය යුතු ය. ඒ අනුව සංඛ්‍යාත භාවිතා කිරීමේ විකාශන බලපත්‍ර පෞද්ගලික අංශයට ලබා දෙන්නේ  ඔවුන් ද මහජන යහපත (Public Interest)  පදනම් කොට විශ්වාසදායී ලෙස කටයුතු  කරනු ඇතැ’යි යන  අවබෝධය මතයි. මේ සඳහා අවශ්‍ය එකඟත්වය පිළිබඳ මූලික කොන්දේසි මහජන විශ්වසන මොඩලයේ නියාමනයට අයත් වේ.  ඒ අතරින් ප්‍රමුඛ වන්නේ ජනමාධ්‍යවේදයේ වෘත්තීය ආචාරධර්ම අනුව තොරතුරු ඉදිරිපත් කිරීම සහ මතභේදාත්මක අවස්ථාවල දී විද්‍යුත් මාධ්‍ය අපක්ෂපාතී ව කටයුතු කිරීමයි. මේ මොඩලය ට අනුව හානිය අවම කිරීම යන්නට සාධාරණත්වය (fairness) හා අපක්ෂපාතීත්වය (impartiality) පවත්වා ගැනීමද අඩංගුය.

විද්‍යුත් මාධ්‍ය හිමියාගේ ප්‍රකාශන අයිතියට වඩා මහජන විශ්වසන මොඩලයේ දී වැදගත් වන්නේ තොරතුරු ලබා ගැනීමට ග්‍රාහකයන්ට ඇති අයිතියයි. ඒ නිසා විවාදාත්මක කරුණක දී ඒක පාර්ශවික නො වී වැදගත් දෘෂ්ටිකෝණ සියල්ල දැන ගැනීමට  ග්‍රාහකයාට ඇති අයිතිය ඉටු කිරීම හැම බලපත්‍රලාභියෙකුගේ ම වගකීම වේ. ඒ අනුව මහජන විශ්වසන මොඩලය ග්‍රාහක කේන්ද්‍රීය මොඩලයකි. මෙහි දී විකාශන බලපත්‍රයක් යනු මූලික වශයෙන් එම කරුණු ඉටු වීම සහතික කිරීම පිණිස පුරවැසියන් සහ බලපත්‍රලාභීන් අතර ඇති වන ගිවිසුමකි. ස්වාධීන නියාමන යන්ත්‍රණයේ වගකීම එම ගිවිසුම ක්‍රියාත්මක කිරීමයි. එනිසා විද්‍යුත් මාධ්‍ය නියාමනය පොදු යහපත මුල් කර සම්මත කර ගත් නීතියක් මගින් කළ යුතු ය.

ඇමෙරිකානු එක්සත් ජනපදයේ විද්‍යුත් මාධ්‍ය නියාමන විධිවිධාන කලක් තිස්සේ ම මේ මොඩල දෙක අතර නිරන්තර ගැටුම පිළිබිඹු කළේ ය. එහෙත් සාධාරණත්වය පිළිබඳ මූලධර්මය ජනාධිපති ඩොනල්ඩ් රේගන් විසින් 1987 දී අත්හිටවීමෙන් පසු එක්සත් ජනපදයේ විද්‍යුත් මාධ්‍ය  නියාමනය වූයේ පෞද්ගලික වෙළඳ පොළ මොඩලයට බරව යි.

යුරෝපීය සම්ප්‍රදාය තුළ විද්‍යුත් මාධ්‍ය මහජන පරිමණ්ඩලයේ  (Public Sphere) අතිශයින් වැදගත් කොටසක් විය. එනිසා මහජන සේවා විද්‍යුත් මාධ්‍යයට මුල් තැනක් තිබුණි. පුද්ගලික විද්‍යුත් මාධ්‍ය සේවා යුරෝපයේ ඇරඹුණේ ඇමෙරිකාවට වඩා බොහෝ කලකට පසු 1980 ගණන් වල දී ය. මේ නිසා  ආරම්භයේ සිට ම යුරෝපයේ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නියාමනය මහජන විශ්වසන මොඩලයට බරක් තබා ක්‍රියාත්මක වූවක් විය. ඒ අනුව  ප්‍රවෘත්ති ප්‍රචාරයේ දී හා මතභේදාත්මක කරුණු පිළිබඳ වැඩසටහන් වල දී බලපත්‍ර හිමියාගේ අභිමතය ප්‍රකාශ කිරීම හෝ බලපත්‍ර හිමියා කැමති මතවාදයට මුල් තැන දීම වැළැක්විය යුතු අකටයුත්තක් ලෙස සැලකිනි.  ඒ සම්බන්ධයෙන් ඇති යුරෝපීය නීති අතරින් හොඳ උදාහරණයක් ලෙස සැලකිය හැක්කේ බ්‍රිතාන්‍ය නියාමන නීතියේ (Communication Act) 320 වැනි ඡේදයේ සඳහන් අපක්ෂපාතීත්වය පිළිබඳ විශේෂ අවශ්‍යතාව[1] Special Impartiality Requirement නමැති විධිවිධානයයි.

අපක්ෂපාතීත්වය පිළිබඳ මේ   අවශ්‍යතාව බ්‍රිතාන්‍ය  විද්‍යුත් මාධ්‍ය නියාමන නීතියේ  නො තිබෙන්නට 2017 මැතිවරණයේ දී ලේබර් පක්ෂයට එතරම් ආසන ගණනක් දිනා ගැනීමට ඉඩ නො ලැබෙනු ඇතයි කාඩිෆ් විශ්ව විද්‍යාලයේ සංනිවේදන මහාචාර්ය ජස්ටින් ලුවිස්[2] පෙන්වා දුන්නේ ය[3]. මාධ්‍ය හිමියන් අතර අධිරාජ්‍යයෙක් සැලකෙන රූපට් මර්ඩොක්ට අයත් පුවත්පත් ඇතුළු වැඩියෙන් විකිණෙන සියලු ප්‍රධාන පුවත්පත් එකී මැතිවරණයේ දී පක්ෂපාතීත් වය දැක්වූවේ කොන්සර්වෙටිව් පක්ෂයටයි. එහෙත් සිය පුවත්පත් යොදා ගත් අන්දමින් මර්ඩොක්ට ඔහු සතු විද්‍යුත් මාධ්‍ය ද කොන්සර්වෙටිව් පක්ෂයට වාසි වෙන ලෙස යොදා ගත නො හැකි වූයේ නියාමන නීතියට අනුව මැතිවරණවල දී විද්‍යුත් මාධ්‍යයේ අපක්ෂපාතීත්වය රැකීමට ඔහු බැඳී සිටි බැවිනි.  ඒ නිසා මැතිවරණයේ දී මහජන මතය තමන්ට අභිමත අන්දමින් මෙහෙයවීමට ඔහුට නො හැකි විය. බ්‍රිතාන්‍ය නියාමන නීතියට අනුව විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභීන් අපක්ෂපාතීත්වය උල්ලංඝනය නො කළ යුතු අවස්ථා වෙසෙසින් දක්වා ඇත.  ඒ අනුව දේශපාලනික සහ වෘත්තීය අරගල  සම්බන්ධ මතභේදාත්මක කරුණු වලදී(matters of political or industrial controversy) සහ තත් කාලීන පොදු ප්‍රතිපත්ති පිළිබඳ ව කරුණු වලදී   (matters relating to current public policy) පැත්තක් නො ගෙන අපක්ෂපාතී ව කටයුතු කිරීමට බලපත්‍රලාභියා නීතියෙන් බැඳී සිටී. ඒ අනුව එවැනි කරුණු වල දී තමන්ගේ අභිමතය අසන්නන් හෝ නරඹන්නන් වෙත පටවනවාට වඩා මතභේදාත්මක කරුණු වල දී සියලු වැදගත් දෘෂ්ටිකෝණ අසන්නන් හෝ නරඹන්නන් වෙත ඉදිරිපත් කිරීමට බලපත්‍රලාභියා නීතියෙන් බැඳී සිටී.

අපක්ෂපාතීත්වය පිළිබඳ අවශ්‍යතාවෙන් මූලික වශයෙන් ම ඉටු කරන්නේ අන් මත වාරණය කොට තම අභිමතයට අනුකූල වන ලෙස මහජන මතය මෙහෙයවීමට බලපත්‍ර හිමි කරුට ඇති හැකියාව අවම කිරීමයි.  මේ අනුව තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මුවා වී අන් මතධාරීන්ට අවස්ථාවක් නො දී සිටීමට බලපත්‍ර හිමියාට ඉඩ නො ලැබේ. මන්ද අපක්ෂපාතීත්වය රැකීම ඉටු කල හැක්කේ  මතභේදාත්මක කරුණු ඇතුළත් වැඩසටහන් වල දී බහුවිධ මතවාද වලට ඉඩ සැලසීමෙනි. බ්‍රිතාන්‍ය නියාමන නීතියේ 319 වැනි වගන්තියට අනුව ප්‍රවෘත්ති ප්‍රකාශයට ද අපක්ෂපාතීත්වය පිළිබඳ විධිවිධානය සෘජු ලෙස අදාළ වේ.(“that news included in television and radio services is presented with due impartiality and that the impartiality requirements of section 320 are complied with”) අයර්ලන්ත නියාමනය නීතියට අනුව ප්‍රවෘත්ති ප්‍රකාශයක හෝ වර්තමාන සිදුවීම් පිළිබඳ සාකච්ඡා කෙරෙන වැඩසටහන් වල බලපත්‍ර හිමිකරු ගේ මතය ප්‍රකාශ නො කළ යුතු ය.

මේ විධිවිධාන වල වැදගත්කම නො සලකන ඇතැම් අයගේ තර්කයක් වන්නේ එවැනි නීති මනෝරාජිකය, අනවශ්‍ය ය, මන්ද කෙසේ වෙතත් බලපත්‍ර හිමි කරු තමන්ගේ අභිමතයට මුල් තැන දීමට කටයුතු කරනු ඇති බවයි. ඒ සඳහා ඔවුන් තමන්ගේ මතය නියෝජනය කරන  අය වැඩ සටහන් වලට යොදා ගනු ඇත. එහෙත් මෙහි දී අමතක කරන කරුණ නම් තමන්ට අභිමත මතය අන් අය ලවා ප්‍රචාරය කළ ද අපක්ෂපාතීත්වය නීතියෙන් නියම කර තිබීම නිසා අදාළ කාරණය පිළිබඳ අනෙකුත් මත ද එම වැඩසටහනේ හෝ ඊට නුදුරු සමාන වැඩ සටහනක ප්‍රචාරය කිරීමට බලපත්‍ර හිමි කරුට බල කෙරෙන බවයි.

මහාචාර්ය ජස්ටින් ලුවිස් පෙන්වා දුන් පරිදි අපක්ෂපාතීත්වය පිළිබඳ නීතිමය විධිවිධානය නො තිබුණේ නම් මර්ඩොක් වැනි දැවැන්ත මාධ්‍ය හිමියන්ට අවශ්‍ය වූ පරිදි බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ප්‍රතිඵලය වෙනස් වන්නට ඉඩ තිබුණි. ලංකාවේ ද 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ව විද්‍යුත් මාධ්‍යවලට තම තමන්ට අභිමත පක්ෂවලට සහයෝගය දැක්වීමට ඉඩ දෙන අමනෝඥ විධිවිධානයක් යෝජනා කර තිබුණි.  විවාදාත්මක කරුණු වල දී  ද මැතිවරණයක දී විද්‍යුත් මාධ්‍යයේ අපක්ෂපාතීත්වය අනවශ්‍ය යැයි සලකන අය මතක තබා ගත යුතු කරුණක් වන්නේ යහමින් මුදල් වියදම් කිරීමට හැකි අයට (ඇතැම් විදේශීය රටවල් ලංකාවේ මැතිවරණ වලට විශාල වශයෙන් මුදල් වියදම් කරන බවට ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් පුවත් පත්වල මෑත දී පල වූ වාර්තා ද සලකමින්)  මාධ්‍ය හිමියන්ගේ පක්ෂපාතීත්වය මිල දී ගැනීමට ඉඩ තැබීම යනු එය ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය තිබිය යුතු මහජන විශ්වාසය තව දුරටත් කඩාකප්පල් කිරීමට දායක වීමක් බවයි. එනිසා නීතියෙන් නියම කර ඇති නිශ්චිත විවාදාත්මක කරුණු වල දී විද්‍යුත් මාධ්‍ය අපක්ෂපාතී ව කටයුතු කළ යුතු බවට නීතිමය විධිවිධාන අවශ්‍ය බවට මා යෝජනා කළ අදහස ප්‍රතික්ෂේප කිරීමට පෙර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබූ ඒ යෝජනාවේ මුග්ධ බව හෙළි කරමින් Colombo Telegraph වෙබ් අඩවියේ  2015 මාර්තු 30 වැනි දින පළ වූ  19A Allows Private Broadcasters to Legally Skew Elections මගේ ලිපිය කියවන මෙන් කමිටු සාමාජික සාමාජිකාවන් ගෙන් ඉල්ලමි.

සැලකිය යුතු පෞද්ගලික මාධ්‍ය සංඛ්‍යාවක් ඇත්නම් වාර්තාකරණයේ සාධාරණත්වය (fairness) රැකීම  සහ විවාදාත්මක අවස්ථාවල දී  අපක්ෂපාතී වීම යන අවශ්‍යතා නො තකා තම තමන්ට අභිමත මතය ප්‍රකාශ කිරීමට විද්‍යුත් මාධ්‍ය කරුවන්ට හැකි වුවද ඒ සියල්ලේම එකතුව මගින් සමාජ ප්‍රකාශනය නිරූපනය කිරීමට හැකිවෙතැ’යි අදහස් කරන අය පළමු වෙන් කල්පනා කළ යුත්තේ බලපත්‍රලාභීන් සියලු දෙනා ම විවාදාත්මක හා තීරණාත්මක අවස්ථා වල දී අනෙකුත් මත අනභිමත වාරණය කරමින් එක් මතයකට පමණක් ප්‍රමුඛත් වය දීමට විවෘතව හෝ රහසිගතව හෝ තීරණය කළොත් ඒ නිසා වන අගතිය වැළැක්වීමට ස්වාධීන නියාමන යන්ත්‍රණයට නො හැකි වන බවත් ඒ අනුව මහජන මතයට සිදු විය හැකි විකෘතිය අතිශයින් විනාශකාරී විය හැකි බවත් ය. තොරතුරු යනු පාරිභෝගික භාණ්ඩයක් නොවේ. තොරතුරු සැපයීම පාලනය කිරීමට ඇති හැකියාව සමාජය නතු කර ගැනීමට ඇති හැකියාව පිළිබඳ ප්‍රමුඛ සාධකයකි. මුල් පෙලේ විද්‍යුත් මාධ්‍ය තම අභිමත මතය තෝරා ගන්නේ විවිධ මතවාද එකිනෙකා අතර බෙදා ගැනීමට එකඟ වීමෙන් නොව ඒ අදහස් අතරින් තම ව්‍යාපාරික හා දේශපාලනික අවශ්‍යතාවලට ගැළපෙන මතය කුමක්දැ’යි යන තක්සේරුව මතය.  

අපක්ෂපාතීත්වය පිළිබඳ විධිවිධානය රාජ්‍ය මාධ්‍යයට ද අදාළ විය යුතු ය. රජයේ නිල මතය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන්නේ ජනාධිපති, අගමැති. කැබිනට් ප්‍රකාශක හෝ අදාළ අමාත්‍යවරයා හෝ අමාත්‍යවරයාගේ නියෝජිතයන් උපුටා දැක්වීම මගිනි. නො එසේ ව ගුවන් විදුලි හා රූපවාහිනී ආයතන වල සභාපතිවරුන් හෝ ඒවායේ සේවය කරන ජනමාධ්‍ය කරුවන් විසින් නොවේ. එනිසා අපක්ෂපාතීත්වය පිළිබඳ අවශ්‍යතාව රාජ්‍ය මාධ්‍ය වලට යොදා ගැනීමේ විශේෂ නියාමන ගැටලුවක් ඇති බවක් මට නො පෙනේ. අපක්ෂපාතීත්වය පිළිබඳ අවශ්‍යතාව නීතියෙන් නිර්ණය නො කොට ප්‍රජා මාධ්‍යයට ඉඩ දීමෙන් සිදු වන්නේ  ඒවා බලගතු පුද්ගලයන්ගේ ග්‍රහණයට ලක් වීමටත් බිම් මට්ටමේ සබුද්ධික සංවාද වලට ඇති හැකියාව විනාශ කිරීමටත්, කල කෝලාහල ඇති කිරීමටත් හේතු විය හැකි වීමයි.

විද්‍යුත් මාධ්‍ය අපක්ෂපාතී වීමේ අවශ්‍යතාව මැතිවරණ නීතියක පමණක් තිබිය යුතු දෙයක් යැයි පවසන අයට මතක් කළ යුත්තේ මැතිවරණවල දී පමණක් නොව පොදු ප්‍රතිපත්ති පිළිබඳ විවාදාත්මක කරුණු වලදී ද මහජන මතය තමන්ට අභිමත දිසාවට නැම්ම වීමට ඇති හැකියාවෙන් බලපත්‍ර හිමියන් වැලක් විය යුතු බවයි. මැතිවරණ වල දී මෙන් ම මැතිවරණ අතරතුර දී  සමාජ කතිකාව නිසි ලෙස පවත්වා ගෙන යා හැක්කේ එමගිනි. අපක්ෂපාතීත්වය පිළිබඳ කාරණාව නියාමන නීතිය මගින් ආමන්ත්‍රණය නො කර  එය මැතිවරණ නීතියක වැඩක් යැයි  කීම නියාමන නීති යෝජනා කිරීමේ දී පවතින මාධ්‍ය හිමිකාරිත්වයේ උදහසට ලක් නො විය යුතු යැයි සිතන අය නිදහසට දක්වන හේතුවකි. විද්‍යුත් මාධ්‍ය සම්බන්ධ වැදගත් නියාමන කරුණු වල දී එය ඉටු විය යුත්තේ වෙනත් නීති මගින් නොව විද්‍යුත් මාධ්‍ය නියාමන නීතිය මගිනි. බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍යයේ අපක්ෂපාතීත්වය පිළිබඳ විධිවිධාන ඇත්තේ නියාමන නීතියේ මිස අන් නීතිවල නොවේ.

එක් එක් විද්‍යුත් මාධ්‍යයට තම අභිමත මතය ප්‍රකාශ කිරීමට, ප්‍රමුඛත්වය දීමට ඉඩ දිය යුතු ය. ඒ අනුව මහජන මතයේ ස්වරූපය දැන ගැනීමට අවශ්‍ය අයගේ වගකීම නම් නාලිකා කිහිපයක් ම නැරඹීම යැ’යි කෙනෙකුට තර්ක කළ හැකිය.   එවැනි තර්ක විශ්ලේෂණයේ දී කාඩිෆ් විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍යවේදය පිළිබඳ මහාචාර්ය රිචර්ඩ් සැම්බෘක්[i] පෙන්වා දෙන පහත සඳහන් කාරණය අවධානයට ලක් කිරීම වටී.

Homophily – the eco chamber effect where people tend towards the familiar or views they agree with – is an increased risk in the digital age. With an abundance of views and information it is easier than ever to seek refuge only in the familiar. ……….Unless there are major outlets with significant reach committed to reflecting an impartial diversity of views (as opposed to partial limited views) there is likely to be polarising effect as the public limit their information sources to those with which they are pre-disposed to agree.[4]

ඔහු විස්තර කරන ඒ සමානුකූලතා (Homophily) බලපෑම නිසා ඇතිවිය හැකි අනර්ථකාරී බව තේරුම් ගැනීම අපේ සාකච්ඡාවට ඉතා වැදගත් ය. මෙහි දී සමානුකූලතාව යන්නේන් අදහස් වන්නේ තිබිය හැකි අනෙක් අදහස් නො තකා තමන් දන්නා හෝ තමන්ට එකඟ විය හැකි අදහස් වලට පමණක් ලැදිවීමට මිනිසුන් දක්වන නැඹුරුතාවයයි. මෙය eco chamber effect යනුවෙන් ද. හඳුන්වනු ලැබේ.  තොරතුරු ගහණය අතිශයින් ඉහළ යන තොරතුරු තාක්ෂණික යුගයක මෙය එක්තරා ආකාරයක අවදානමකි. මන්ද ඒ නිසා අන් මත නො තකන බුද්ධි ශෝධනයකට (Brain wash) තිබෙන ඉඩ කඩ වැඩි බැවිනි. මේ නිසා තර්ක බුද්ධිය විසින් යුක්ති යුක්ත කළ හැකි සමාජ කතිකාවක් ගොඩ නගනු වෙනුවට අපේකම,  ජන වර්ගය, කුලය, ආගම, හුදු විශ්වාසය හා මනෝභාවය ආදි කරුණු මත විවිධ කල්ලි වලට ජනසමාජය බෙදී යාමට සමානුකූලතාවය හේතුවක් වේ. ඒ නිසා ඒකපාර්ශ්වික, සීමිත මතවාද පතුරවන විද්‍යුත් මාධ්‍ය නාලිකා වෙනුවට වෙනත් කවරදාකටත් වඩා අද අපට අවශ්‍ය වන්නේ මහජන යහපත මුල් කරගත් අපක්ෂපාතී ලෙස බහුවිධ අදහස් හා මතවාද නිරූපණය කරන විද්‍යුත් මාධ්‍යයයි. එසේ නොමැතිව තම තොරතුරු ප්‍රභවය තමන්ට කැමැති මතය සැපයෙන ප්‍රභවයට සීමා කර ගැනීමට ග්‍රාහකයන් පෙලඹීමෙන් සිදු වන්නේ අනෙකුත් මතවල සබුද්ධිමත් බව තක්සේරු කිරීමට නො හැකිව ජන සමාජය අනවශ්‍ය ලෙස කොටස් වලට ධ්‍රැවීකරණය වීමයි. මෙය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගත ස්වරූපය හැඩ ගැසෙන ආකාරය සම්බන්ධයෙන් අතිශයින් තීරණාත්මක විය හැකිය. එබැවින් අපක්ෂපාතීත්වය පිළිබඳ අවශ්‍යතාව නො තකා හැරිය හැකි දෙයක් නොවේ.

අනෙක් අතට තොරතුරු සමාජය තුළ සංසරණය වන වෛරී ප්‍රකාශන (වෛරී ප්‍රකාශන යනු පක්ෂග්‍රාහීත් වය නිසා පැන නැගෙන දෙයකි) බොරු පුවත් ආදී දේවල් වලින් සිදු විය හැකි හානිය අවම කර ගත හැකි වන්නේ සමාජ ජාල හෝ අන්තර් ජාලය නියාමනය කිරීමට නීති පැනවීමට තැත් කිරීමෙන් නොව වාර්තාකරණයේ දී නිරවද්‍යතාව හා සාධාරණත්වය මුල් කර ගන්නා සහ විවාදාත්මක කරුණු සම්බන්ධයෙන් අපක්ෂපාතී ව බහුවිධ මතවාද ඉදිරිපත් කළ හැකි වෘත්තීය විද්‍යුත් ජනමාධ්‍ය සේවා සඳහා උචිත වාතාවරණයක් ඇති කිරීමෙනි. නො එසේ ව අන්තර්ජාලය පාලනය කිරීමට නීති සැදිය නො හැකි නම් සමාජ මාධ්‍ය ජාලා මෙන් අභිමත පරිදි කටයුතු කිරීමට විද්‍යුත් මාධ්‍යයට ඉඩ දිය යුතු යැ’යි සිතීම නොවේ. මන්ද සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය මගින් ඉටු කරන්නේ එකිනෙකට වෙනස් වූ කාර්යභාරයන් වන බැවිනි.  විද්‍යුත් මාධ්‍යය නියාමනයේ ප්‍රමුඛ කාර්ය වෘත්තීය ජනමාධ්‍යයක් වශයෙන් කටයුතු කිරීමට විද්‍යුත් මාධ්‍යයට අවස්ථාව සැලසීමයි.

අවසාන වශයෙන් තවත් අනුශාංගික කරුණු දෙකක් ගැන ඉතා කෙටියෙන් ඔබේ අවධානයට ලක් කරමි.

  1. විද්‍යුත් මාධ්‍ය අයිතිය සංකේන්දුණය විමේ (Media ownership concentration) සහ  එකිනෙකට වෙනස් ජනමාධ්‍යය කිහිපයක් සම්බන්ධයෙන් හිමිකාරිත්වයේ (Cross media ownership)  බල පෑම අවම කිරීමේ විධිවිධාන නියාමන නීතියේ  අඩංගු කිරීම ද ඉහත සඳහන් කරුණු වලට ඉතා වැදගත් වේ.  වෙළඳපොළ බලපෑම නිසා ඇති විය හැකි විද්‍යුත් මාධ්‍ය අයිතිය අනර්ථකාරී ලෙස සංකේන්ද්‍රණය වීම  වැළැක්විය යුතු ය යන්න කෙටුම්පතේ අභිමතාර්ථ අතරට ගැනෙන බැවින් එය ඉටු කිරීම සඳහා අවශ්‍ය මූලික විධිවිධාන පනතේ ම සඳහන් විය යුතු බව මගේ අදහසයි. එවැනි දේ කොමිසමේ අභිමතය මත නොව නීතියෙන් නියාමනය විය යුතු දේවල් ය.
  • මැතිවරණ වල දී විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරක දැන්වීම් පළ කිරීමට දේශපාලන පක්ෂ වලට ඉඩ දිය යුතු ද යන්න තදින් සලකා බැලිය යුතු ය. මා අදහස් කරන අන්දමට එසේ ඉඩ හැරීම වැඩියෙන් මුදල් යෙදවිය හැකි දේශපාලනඥයන්ට ජනමතය නම්මවා ගැනීමට ඉඩ සලසා දීමකි. අතිශයින් වියදම් සහිත මේ ක්‍රමය නිසා සුලු පක්ෂ වලට විශාල අසාධාරණයක් සිදු වන අතර මැතිවරණ වියදම් සඳහා අයුතු අන්දමින් හෝ යහමින් මුදල් සපයා ගැනීමට දේශපාලනඥයන්ට බල කෙරේ. දැනටමත් ඇතැම් විදෙස් රටවල් ලංකාවේ මැතිවරණ වලට විශාල ලෙස මුදල් වියදම් කර ඇති බව මෙයට සාධකයකි.  ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදි  දිශානතිය තීරණය විය යුත්තේ යහමින් මුදල් වියදම් කල යුතු දැන්වීම් පල කිරීම් මගින් ද නැතිනම් තරගකාරී ලෙස පොදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සංවාද කිරීම පිණිස විශ්වාසදායක වේදිකාවක් සපයා දීම මගින්ද යන්න තදින් සිතා බැලිය යුතු ය. මේ පිළිබඳ කුකුසක් ඇති අයට බ්‍රිතාන්‍ය නියාමන නීතියේ (Communication Act )  වෙළඳ දැන්වීම් නියාමනය[5] පිළිබඳ Objectives for advertisements, sponsorship and product placement නමැති 321 වැනි වගන්තිය කියවා බලන ලෙස ඉල්ලමි.  මැතිවරණයේ දි පමණක් නොව වෙනත් අවස්ථාවල දී පාරිභෝගික භාණ්ඩ මිස දේශපාලනික හා විවාදාත්මක මත ප්‍රචාරය කිරීම පිණිස වෙළඳ දැන්වීම් යොදා ගැනීම නීතියෙන් වැළැක්විය යුතු ය.

කෙටුම්පත ඉතා කෙටි එකක් විය යුතු ය යන අදහසින් ඉහත විස්තර කළ මූල ධාර්මික කරුණු නීතිය මගින් ම නිර්ණය නො කිරීම අයුතු ය. නිශ්චිත නීතිමය විදි විධාන නොමැතිව ම විසින් යෝජනා කළ අභිමතාර්ථ වලට අනුව කටයුතු කිරීමට නො හැකිය. ලෝකයේ බොහෝ වැදගත් නියාමන නීති පිටු ගණන් දිග එබැවිනි.

නිවැරදි කිරීමේ අයිතිය පිළිබඳ ම විසින් මීට පෙර ලිඛිත ව ඉදිරිපත් කළ කරුණු ද මේ ලේඛනයේ ඉදිරිපත් කළ කරුණු ද මී ළඟ කමිටු සාකච්ඡාවේ දී සැලකිල්ලට ගන්නා ලෙස කමිටු සභාපතිගෙන් සහ සියලු සාමාජික සාමාජිකාවගෙන් ඉල්ලමි.

විජයානන්ද ජයවීර

2018 ජුනි 28 දින


[1] https://www.legislation.gov.uk/ukpga/2003/21/section/320

[2] As Loughborough’s research shows, press coverage in this campaign has been overwhelmingly anti-Labour and broadcasters have by no means given Labour an easy ride. But their statutory obligation to impartiality means that they have done what news providers are supposed to do in a democracy, and given both sides roughly equal time to make their case. – Justin Lewis Professor of Communication, Cardiff University

[3] http://theconversation.com/broadcast-impartiality-rule-has-helped-labour-to-achieve-biggest-poll-shift-since-1945-78949

[4] Richard Sambrook, (2012), Delivering Trust Impartiality and Objectivity in the digital Age,  published by the Reuters Institute Study of Journalism

[5] https://www.legislation.gov.uk/ukpga/2003/21/section/321


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: