නව කොරෝනා වෛරසය – ඉකුත්වීමේ ක්‍රමෝපාය (Exit strategy) කුමක් විය හැකි ද?

මේ සමග ඇති ඡායාරූපයෙන් පෙන්නුම් කරන්නේ චීනයේ වුහාන් නගරයේ ලොක්ඩවුන් තත්වය අවසන් කොට නැවත වැඩ පටන්ගත් පසු ඩොන්ෆෙන්ග් හොන්ඩා කම්හලේ සේවකයන් දිවා ආහාරය ගන්නා ආකාරයයි (AFP පුවත් සේවය).

නව කොරෝනා හෙවත් SARS-Cov-19 වෛරසය නිසා හට ගන්නා ඇතැම් අයෙකුට මාරාන්තික විය හැකි ශ්වසන රෝගය හඳුන්වන්නේ කෝවිඩ්-19 (Covid-19) යන නමිනි. වෛරස වාහකයෙකුගේ කැස්ස සහ කිවිසුම් මගින් මුඛයෙන් නිකුත් වන බිඳිති සහ ඇතැම් විටෙක ප්‍රශ්වාසයෙන් නිකුත් වන එයරොසොල් අංශු මගින් නව කොරෝනා වෛරසය තවත් මිනිසෙකුට පහසුවෙන් ම බෝවිය හැකිය. ඇතැම් පරීක්ෂණ වලින් තහවුරු වී ඇති අන්දමට නව කොරෝනා වෛරසය පැතිරීම වැඩි වශයෙන් සිදුවන්නේ කිසියම් පෘෂ්ඨයක තැවරුපෙන වෛරසය සහිත බිඳිති තවත් කෙනෙක් විසින් ස්පර්ශ කරනු ලැබීමෙනි.

පරිපූර්ණ ජීවියෙකු වශයෙන් නො සැලකුණ ද අනෙකුත් ජීවියන් මෙන් වෛරසයක එකම අරමුණ ද තම පරපුර බෝ කිරීමයි. මූලික වෙනස ‍ අන් ජීවීන්ට මෙන් තමාගේ ම ස්වාධීන වූ ජීවිතයක් වෛරසයකට නැති බැවින් වෛරස වලට පැවැත්මක් ඇත්තේ සජීවි වාහකයෙකුගේ ශෛල ආක්‍රමණය කිරීමෙන් පමණක් වීමයි. මෙනිසා වෛරස ප්‍රෝග්‍රෑම් වී ඇත්තේ ම තම පැවැත්ම පවත්වා ගැනීමට හැකි ධාරක වාහකයන් සොයා ගැනීමටයි. ඇඳිරි නීතිය අවසන් කිරීමෙන් පසු නව කොරෝනා වෛරසය අපට ආයුබෝවන් කියා විද? නැවතත් බියකින් සැකයකින් තොරව පරණ පුරුදු ජීවිතයට අපට යා හැකි වේද වැනි ප්‍රශ්න සාකච්ඡාවට ලක් කිරීම මේ අවස්ථාවේ දී වැදගත් වනනේ නව කොරෝනා ‍වෛරසයේ ස්වභාවය හා පැතිරීම මෙයට පෙර අප අත්දැක ඇති අන් වෛරස වලට වඩා වෙනස් වන නිසා පමණක් නොව දැනටමත් අපේ සාමාන්‍ය ජීවිතය වියවුල් කර ඇති නව කොරෝනා වෛරසය ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුවද එසේ නො කරනු ඇතැ’යි සිතීම මුලාවක් විය හැකි බැවිනි.

කෝවිඩ්-19 හැරෙන විට කොරෝනා වර්ගයේ වෙනත් වෛරස නිසා වඩා මෑත දී ඇති වූ වසංගතකාරී රෝග අතර වඩාත් ප්‍රකට 2003-2004 දී ඇති වූ සාර්ස් (SARS) වසංගතය සහ 2012 දී ඇති වූ මර්ස් (MERS) වසංගතයයි. සාර්ස් රෝගය රටවල් 26ක මිනිසුන් 8000 කට වැළඳී ඉන් 800 දෙනෙකු මරු මුවට පත් වූ අතර මර්ස් වසංගතය මැද පෙර දිගට පමණක් සීමා විය. එය වැළඳුණේ 688ක් වැනි සුලු පිරිසකට පමණක් වන අතර ඉන් මරණයට පත් වුණේ 282 දෙදෙනෙක් පමණි. එහෙත් දැන් අප මුහුණ දෙන නව කොරෝනා වෛරසය ගත වූ මාස හතරක කාලයක් තුළ රටවල් 210 ක මිලියන 1.7 ක ජනගහණයකට කෝවිඩ්-19 රෝගය බෝ කොට අද වෙන විට ඉන් 103,512 මරණයට පත්කර ඇත‍. මුලූමනින් ම අලුත් අත් දැකීමක් වූ මෙම නව කොරෝනා වෛරසයේ පැතිරීමේ වේගය මින් පෙර හඳුනා ගෙන තිබූ කොරෝනා වෛරස වලට වඩා 10 ගුණයක් තරම් ප්‍රබල විය. ස්වස්ථතාව සහ නිවර්තන රෝග පිළිබඳ ලන්ඩන් ආයතනයේ අධ්‍යක්ෂ පීටර් පියොට් විස්තර කරන අන්දමට වඩාත් අවධානයට ලක් විය යුතු කරුණ වන්නේ මෙම නව කොරෝනා වෛරසයේ වාහකයන් ලෙස කටයුතු කරමින් අප අතර ගැවසෙන මිනිසුන් අතරින් 80%කටම පාහේ කිසිම රෝග ලක්ෂණයක් නොමැති වීමට හෙවත් අලක්ෂණික (asymptomatic) වීමට ඉඩ තිබීමයි. (නව කොරෝනා වෛරසය පිළිබඳ පීටර් පියොට් ගේ විශිෂ්ට විස්තරයේ සිංහල පරිවර්තනයක් www.thathu.com වෙබ් අඩවියේ කොටස් වශයෙන් පළව තිබේ.)

මෙසේ නොදැනුවත්ව ම අප අතර ගැවසෙන වෛරස වාහකයන් හරියටම හඳුනා ගැනීමට අපහසු නිසා ඉතා පහසුවෙන් පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය පැතිර යා හැකිය. රෝග ලක්ෂණ පහළ විය හැකි වෛරස වාහකයෙකුගේ වුව ද රෝග ලක්ෂණ පහළ වීමට වෛරසය ශරීර ගත වී දින 5-6 සිට දින 14 ක කාලයක් දක්වා ගත විය හැකියැ’යි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. රෝග ලක්ෂණ පහළ වන තෙක් ගත වන මේ කාලය ප්‍රාග්-ලක්ෂණික (pre-symptomatic) කාලය යනුවෙන් හඳුන්වන අතර එම කාලය තුළ නොදැනුවත්කම නිසා වාහකයා මහජනතාව සමග සමීප ව ගැවසීමෙන් වෛරසය පැතිරවිය හැකිය.
නව කොරෝනා වෛරසයේ මෙම පැතිරීම පාලනය කිරීම සඳහා ඇතැම් රටවල මෙන් ම ලංකාව ද ඇඳිරි නීතිය උපයෝගී කර ගෙන අඩු වැඩි වශයෙන් රටේ විවිධ කලාප ලොක්ඩවුන් කිරීම කර ගෙන ගියේ ය. එහි මූලික අභිප්‍රාය වූයේ සමාජයේ සාමාජිකයන් අතර සමාජ දුරස්ථභාවයක පවත්වා ගෙන ගොස් එමගින් මෙම වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිරීම හැකි තාක් දුරට වළක්වා ගැනීමයි. දැන් මෙය සෑහෙන දුරට ඉටු කර ඇති බවද මාසයක කාලයක් තුළ එනම් අප්‍රෙල් 19 වෙනදා වන තෙක් ඉවසා සිටිය හොත් වෛරසය තවදුරටත් පැතිර යාම වැළැක්විය හැකිවෙතැ’යි ඉඟි කරන ප්‍රකාශයක් සෞඛ්‍ය ඇමතිනිය පසු ගිය දා පළ කළාය. එය එසේ නම් 19 වැනිදා සිට හෝ ලොක්ඩවුන් අවසන් කරන දින සිට රට යලි ක්‍රියාත්මක කරවීමට යොදා ගන්නා උපාය මාර්ගික එළඹුම හෙවත් ඉකුත් වීමේ ක්‍රමෝපාය (Exit Strategy) ගැන මහජන අවබෝධය වඩවනන සාකච්ඡාවක් වහාම ඇරඹිය යුතුය.

එවැනි ඉකුත්වීමේ ක්‍රමෝපාය පිළිබඳ කෙරෙන සාකච්ඡාවක දී තීරණාත්මක ව වැදගත් වන එකිනෙකට වෙනස් උපකල්පන තුනක් පිළිබඳව බීබීසී විද්‍යා වාර්තාකරු වන ජේම්ස් ගැලගර් අපේ අවධානය යොමු කරයි. ඒ මෙසේයි.
– වෛරසය බෝවීම මැඩ පවත්වන එන්නතක් සොයා ගැනීමට හැකි වීම.
– අවම වශයෙන් ජනගහණයෙන් 60% කට ආසන්න ප්‍රමාණයකට වෛරසයට එරෙහිව සමූහ ප්‍රතිශක්තිය (Herd Immunity) ඇති කර ගැනීමට හැකිවීම,
– නො එසේ නම් අප රැකියා කටයුතු කරන ආකාරය, ගනුදෙනු කරන ආකාරය, ආයතන හා සමාජය තුළ ගැවසෙන ආකාරය සහ අපේ සමාජ චර්යාව මින් මතු ස්ථිර වශයෙන්ම වෙනස් කර ගැනීම.

මේ අතරින් පළමු වැන්න වන නව කොරෝනා වෛරසයේ බෝවීම මැඩ පැවැත්වීමට හැකි එන්නතක් සොයා ගැනීම වඩාත් සුදුසු ම ක්‍රමයයි. එමගින් අපට වැඩි අවුලක් නැතිව පරණ පුරුදු ජීවිතයට යළි යා හැකියැ’යි විශ්වාස කළ හැක. එවැනි එන්නතක් ගැන දැනටමත් රටවල් කිහිපයක ම පර්යේෂණ ඇරඹී ඇති නමුත් උචිත අන්දමින් නියත එන්නතක් මහජනතාවට හඳුන්වා දීමට තවත් මාස 12 සිට 18 දක්වා කාලයක් ගත විය හැකි බවයි විශේෂඥ මතය. වෛරස මගින් පැතිරෙන බොහෝමයක් රෝග මර්දනය කිරීමට හැකි එන්නත් සොයා ගෙන ඇති නමුදු වසර 40කට අධික කාලයක් තිස්සේ පර්යේෂණ කළත් එච්අයිවී (HIV) වෛරසය මර්දනය කර හැකි සාර්ථක එන්නතක් තවමත් සොයා ගැනීමට හැකි වී නැති බවද අප අමතක නොකළ යුතුය. එනමුත් එනිසා ම මෙම නව කොරෝනා වෛරසයට එන්නතක් සොයා ගැනීම උගහට වෙනු ඇතැ’යි දුර්මුඛ වීමට අවශ්‍ය නැත. වාසනාවකට නව කොරෝනා වෛරසය මෙන් කැස්ස, කිවිසුම්, ප්‍රශ්වාස බිඳිති වලින් නොව එච්අයිවී(HIV)වෛරසය බෝවෙන්නේ ලිංගික ශ්‍රාව සහ රුධිරය මගින් නිසා එන්නතක් නොමැතිව පුද්ගල ලිංගික චර්යා වෙනස් කිරීම වැනි පහසු ක්‍රම වලින් එච්අයිවී වෛරසය පැතිරීම පාලනය කර ගත හැකිය. ඒ එසේ වූවද 2017 දී එච්අයිවී(HIV) වෛරසය නිසා ඒඩ්ස් රෝගය වැළදීමෙන් ලොව පුරා මනුෂ්‍යයන් 954,492 දෙනෙක් මරණයට පත් විය. කෙසේ වෙතත් නව කොරෝනා වෛරසයට එන්නතක් සොයා ගන්නා තෙක් වෛරස පැතිරීම වළක්වන සමාජ දුරස්ථභාවය වැනි ආරක්ෂණ විධි ඇඳිරි නීතිය අවසන් වීම සමග අවසන් කර දැමිය හැකියැ’යි සිතීම නුවණට හුරු නැත.

දෙවැනි උපකල්පනය වන්නේ රටක ජනගහණයෙන් 60% කටවත් නව කොරෝනා වෛරසයට ඔරොත්තු දීමේ හැකියාව ඇති සමූහ ප්‍රතිශක්තිය ඇති කර ගැනීමයි. එක්කෝ මෙය වෛරසයට එරෙහි වන පෘථුල එන්නත් ව්‍යාපාරයකින් ඇති කර ගත යුතුය, නැත හොත් ජනගහණයෙන් වැඩි ප්‍රමාණයකට කොවිඩ්-19 රෝගය වැළඳීමට ඉඩ දීමෙන් ඇතිවන ප්‍රතිශක්තිය නිසා ඇතිවිය යුතුය. කොටින් ම නව කොරෝනා වෛරසය මුලුමනින් ම අලුත් වෛරසයක් නිසා එයට එරෙහිව ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් ගොඩ නගා ගැනීමට තවමත් මිනිසුන්ට හැකි වී නැති බැවින් කෝවිඩ්-19 වසංගතයට ගොදුරුවන අයගෙන් අසාධ්‍ය නොවන අයට වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය ඇති කර ගැනීමට හැකිවෙතැ’යි මෙහි දී අදහස් කරයි.

කෝවිඩ්-19 නිශ්චිතව මරණයෙන් ම අවසන් වන රෝගයක් නොවේ. දැනට ඇති දත්ත වලට අනුව ලොව පුරා කෝවිඩ්-19 රෝගීන් අතරින් මරණයට පත්ව ඇත්තේ 3.4% ක් පමණි. මෙය හැම වසරකම ඇතිවෙන සෘතු උණ රෝගයෙන් ලොව පුරා මිය යන ප්‍රමාණය මෙන් තුන් ගුණයක් පමණ වේ. එහෙත් ඒ ප්‍රතිශතය ඇතැම් අවදානම් කණ්ඩායම් එනම් මහලු උදවිය, හෘද රෝග, දිය වැඩියාව, වකුගඩු රෝගය වැනි ප්‍රතිශක්තියට හානිකර රෝග ඇති උදවිය සම්බන්ධයෙන් 10%-15% දක්වා තරම් ඉහළ යා හැකිය. මේ අනුව නිසි එන්නතක් බිහි වන තෙක් සමූහ ප්‍රතිශක්තිය ඇති කර ගැනීම සඳහා කොවිඩ්-19 පැතිර යාමට ඉඩ දීමට තීරණය කරන්නේ නම් විශේෂයෙන් අවදානම් කණ්ඩායම් වලට අයත් විශාල ජීවිත සංඛ්‍යාවක් වන්දියක් වශයෙන් ගෙවීමට අපට සිදු විය හැකිය. අනෙක් අතට සමූහ ප්‍රතිශක්තිය ඇති කර ගැනීමේ වැඩපිළිවෙළක දී ජනගහණයෙන් අති විශාල කෝවිඩ්-19 රෝගීන් සංඛ්‍යාවක් අසාධ්‍ය තත්වයට පත් නොකර සුව කිරීමේ වගකීම කරට ගත හැකි තරම් ප්‍රමාණවත් රෝහල්, අයිසීයූ ඇඳන්, කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර හා නිපුණ කාර්ය මණ්ඩල සහිත විශාල සෞඛ්‍ය සේවයක් අපට අවශ්‍ය වේ.

තවමත් ලංකාවේ හඳුනා ගෙන ඇතැ’යි සැලකෙන කෝවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 200කට නො වැඩි නොවේ. එහෙත් බොහෝ විට මේ අය රෝග ලක්ෂණ පහළ වීම නිසා ම හඳුනා ගත් අයයි. රෝග ලක්ෂණ පහළ නොවන නව කොරෝනා වාහකයන් හඳුනා ගැනීමට තරම් ප්‍රමාණවත් පරීක්ෂණ සංඛ්‍යාවක් අපේ පමණක් නොව දකුණු ආසියාවේ බොහෝ රටවල කෙරෙන්නේ නැත. ඒ නිසා දකුණු ආසියාතික රටවල කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව පිළිබඳ දර්ශකය ජනගහනයේ ප්‍රමාණයට සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතී. එහෙත් මෙය හුදු මායාවක් විය නොවේයැ’යිි සිත හදා ගැනීම එතරම් නුවණක්කාර ක්‍රියාවක් නොවිය හැක. සපයා ගත හැකි දත්ත වලට අනුව දැනට නව කොරෝනා වෛරසයට ගොදුරු වී ඇත්දැ’යි පරීක්ෂා කිරීමේ දී ලංකාවේ එම පරීක්ෂණයට භාජනය කෙරෙන්නේ ජනගහණයේ මිලියනයකින් 152 දෙනෙකු පමණි. ඉන්දියාව, නේපාලය , බංගලාදේශය වැනි දකුණු ආසියාතික රටවල එම ප්‍රමාණය අපටත් වඩා පහළ මට්ටමකින් පවතී. එහෙත් ලංකාවේ ජනගහණය මිලියනයකට 152කක් පරීක්ෂණයට යොමු කරන විට සිංගප්පූරුව ජනගහණ මිලියනයකට 11,110ක් දෙනෙක් ද දකුණු කොරියාව මිලියනයකට 8,996 දෙනෙකු ද පරීක්ෂණයට ලක් කරයි. වැඩිම පරීක්ෂණ සංඛ්‍යාවක් කෙරෙන්නේ නෝර්වේ රටෙහි ය. එහි ජනගහණ මිලියනයකට 20,530ක් පරීක්ෂාවට ලක් කෙරේ. මේ අතර ඉන්දියාවේ සහ රුසියාවේ කෝවිඩ්-19 රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට සෑම දින තුනකට ම වරක් දෙගුණ වෙමින් පවතින බව නිරීක්ෂණය කර ඇත. මේ නිසා ඉන්දියාව සිය දින 21 ලොක්ඩවුන් කාලය තවත් සති දෙකකින් එනම් අප්‍රේල් මස අග දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. අඩු පරීක්ෂණ සංඛ්‍යාවක් කරන රටවල හඳුනා නොගත් රෝගීන් වැඩි සංඛ්‍යාවක් සිටීමට ඉඩ ඇති බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරන්තර ඉල්ලීම වී ඇත්තේ එවැනි රටවල පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කරන ලෙසයි.

මේ සියලු තත්වයන් සැලකිල්ලට ගැනීමේ දී නිසි ලෙස සංවිධානය කළ ඉකුත්වීමේ ක්‍රමෝපායකට (Exit Strategy) ජනතාව සූදානම් නො කොට නව කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීම දැනට පවත්වා ගෙන යන සම්බාධක ලිහිල් කිරීමට කටයුතු යෙදීම පොදු යහපත සම්බන්ධයෙන් නුවණට හුරු කටයුත්තක් නොවේ. ඇතිවිය හැකි අවදානම නො තකා ඇඳිරි නීතිය ඉවත් කළ වහාම පොදි ගැහෙන ජන කොටස් අප දැක ඇත්තෙමු.

මේ නිසා සුදුසු එන්නතකින් වෛරසයේ පැතිරීම නිසැකව ම අවසන් කිරීමට හැකි වන තෙක් අප රැකියා කටයුතු කරන ආකාරය, ගනුදෙනු කරන ආකාරය, ආයතන හා සමාජය තුළ ගැවසෙන ආකාරය සහ අපේ සමාජ චර්යාව වෙනස් කර ගැනීමට අපට සිදුවිය හැකිය. මේ සම්බන්‍ධයෙන් සලකා බැලිය හැකි අත්දැකීම් උපයෝගී කර ගැනීම පිණිස තදබල අන්දමේ ලොක්ඩවුන් ක්‍රම පවත්වා ගෙන ගොස් කෝවිඩ් -19 සාර්ථකව පාලනය කළ චීනය, සිංගප්පූරුව, දකුණු කොරියාව සහ තායිවානය වැනි රටවල් යොදා ගත් ආරක්ෂාකාරී ඉකුත්වීමේ ක්‍රමෝපාය අධ්‍යනය කර බැලීම වටී.

එහි දී නව කොරෝනා වෛරසය තවදුරටත් පැතිරෙන්නේදැ’යි තහවුරු කර ගැනීම පිණිස ඕනෑම වර්ගයක උණ වැනි මූලික රෝග ලක්ෂණ ඇති අයද ඇතුළත් වන සේ කොරෝනා වයිරස් පරීක්ෂණ සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කිරීම, අවදානම් කණ්ඩායම් ජන සමූහ වලට නිරාවරණය වීම අවම කිරීමේ වැඩපිළිවෙළක් යෙදීම, මහ පාරේ දී සහ ප්‍රසිද්ධ ස්ථානවල දී මුව වැසුම් භාවිතය. පාසල්, ටියුෂන් පංති, විශ්ව විද්‍යාල වැනි තැන් නැවත ආරම්භ කිරීමේ දී දුරස්ථ අධ්‍යාපනය ද ඇතුළුව ප්‍රවේසම්කාරී ප්‍රදේශවල සිට අණු ක්‍රමයෙන් වැඩි වන ලෙස විවෘත කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීම. (චීනයේ හුබෙයි ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල තවමත් වසා දමා ඇති අතර විවෘත කර ඇති පාසල් වල සිසු දරුවන් උණෙන් පෙළෙන්නේදැ’යි නිරන්තරයෙන් සොයා බැලෙයි) වැඩපොළ වල සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම සඳහා විධිවිධාන යෙදීම, දිස්ත්‍රික්ක අතර සංචරණය සීමා කිරීම සඳහා ආයතන විමධ්‍යගත කිරීම, අගනුවර වැනි ජනාකීර්ණ ප්‍රදේශවල අවම සංචරණයක් පවත්වා ගැනීම, අවදානම් කණ්ඩායම් වෛරසයට නිරාවරණය වීම වැළැක්වීම සඳහා එවැනි සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට සැලැස්වීම, රටට ඇතුළ් වීම සහ රටින් පිටවීම සම්බන්ධ ආරක්ෂිත විධිවිධාන යෙදීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම පිණිස නාගරික සභා, ප්‍රාදේශීය සභා වැනි බිම් මට්ටමේ මහජන ආයතන සහ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ වගකීම් විධිමත් කිරීම ආදිය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු වේ.

උදාහරණයක් වශයෙන් ආයතනවල සහ වැඩපොළවල කටයුතු නැවත ආරම්භ කිරීමේ දී දෙමව්පියන් සමග ජීවත් නොවන වයස 20-30 අතර වැඩි ප්‍රතිශක්තියක් ඇති සේවකයන් පමණක් යොදා ගැනීමෙන් කටයුතු ආරම්භ කළ හැකිය. මහා බ්‍රිතාන්‍යයේ දැනට පවත්වා ගෙන යන සීමිත ලොක්ඩවුන් වැඩපිළිවෙළ අවසන් කිරීම පිණිස එවැනි යෝජනාවක් සැලකිල්ලට ලක්ව තිබේ. වයස් කාණ්ඩ වලට අතිරේක භූගෝලීය වශයෙන් අඩු රෝගී අනුපාතයක් ඇති ප්‍රාදේශීය සභා කොට්ඨාස වල කටයුතු සමාජ දුරස්ථභාවය නිසි ලෙස පවත්වා ගැනීමට යටත්ව අනුක්‍රමයෙන් යථා තත්වයට පත් කළ හැකිය.

එවැනි වැඩ පිළිවෙළකට යාමේ දී රටේ ආර්ථිකයට සිදුවිය හැකි අසීරු කම් අවම කර ගැනීම, ග්‍රාමීය ආර්ථිකය වැඩි දියුණු කිරීම, රැකියා නියුක්තිය සුරැකීම සම්බන්ධව ද විශේෂ අවධානයක් යොමු කළ යුතුය. එහෙත් ඒ සියල්ලට ම වඩා වැදගත් වන්නේ කොවිඩ්-19 රට තුළ මහා වසංගතයක් බවට පත්වීම වැළැක්වීමයි. නව කොරෝනා වෛරසය සුදුසු එන්නතකින් තොරව මේ මුල්වටයේදී ම අවසන් කළ හැකියැ’යි විශ්වාස නොකළ යුතුය. එනිසා සුදුසු එන්නතක් භාවිතා කර ගත හැකි වන තෙක් මෙතෙක් පවත්වා ගෙන ගිය සනීපාරක්ෂක විධිවිධාන සහ සමාජ දුරස්ථභාවය නොකඩවා පවත්වා ගෙන යාමට මුල් තැන දිය යුතුය.

මෙහි දී වඩාත් ම වැදගත් වන්නේ සියලු ම ජන වර්ග ද ඇතුළත් ව එවැනි ඉකුත්වීමේ ක්‍රමෝපායක් පිළිබඳව මහජන අවබෝධය සියයට සියයක් ම තහවුරු කළ හැකි සමාජ සංකථනයක් ඇති කර ගැනීමයි.

විජයානන්ද ජයවීර

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: