දැනුම – කෙටි හැඳින්වීමක්

සරල ව කිවහොත් ‘දැනුම’(knowledge) යනු ‘දන්නා දේවල්’ බව කෙනෙකුට සිතෙන්නට ඉඩ ඇත. උදාහරණ ලෙස පෘථිවිය ගෝලාකාර බවත්, පැරිසිය යනු ප්‍රංශයේ අගනුවර බවත් ඔබේ දැනුමට අයත් ඔබ දන්නා දේවල් විය හැකියි. එමෙන්ම ඔබට යම් තරමකට ඉංග්‍රීසි කතා කිරීමට (නැත්නම් ලිවීමට) හැකි බවත්, දෙකයි දෙකයි එකතු කළ විට හතරක් වෙන බවත් ඔබ දන්නා දැනුම් විශේෂ විය හැකිය. ඒ හා සමව අවිවාහකයෝ යනු විවාහ නොවූ අය බවත්, තමන්ට වින්දනයක් ලැබීමට අන් අයට හිරිහැර කිරීම වැරදි බවත් ඔබ දන්නවා විය යුතුය. එමෙන්ම ගම්පෙරළිය යනු හොඳ නවකතාවක් බවත් ජලයේ රසායනික ව්‍යුහය H2O බවත් බොහෝ විට ඔබ දන්නා දේවල් නොහොත් දැනුම විය හැකිය.

දැනුම යනු කුමක්දැයි විස්තර කිරීමට සැරසෙන  ඕනෑම කෙනෙකුට දැනුම යන්න කෙසේ විස්තර කළ යුතුද? කෙසේ නිර්වචනය කළ යුතුද  යන මූලික ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවේ. යම් යම් අය සතුව  ඇති දැනුම් විශේෂ පිළිබඳව විමසා ඒ එක් එක් දැනුම් විශේෂ වලට ඇති පොදු ලක්ෂණ විමසීමෙන් මේ කටයුත්ත ඇරඹිය හැකි යැයි කෙනෙකුට තර්ක කළ හැකිය.  උදාහරණයක් වශයෙන් ගත්තොත් කිසියම් රසායනික සංයෝගයක අන්තර්ගත වන්නේ කුමක්ද යන්න පරීක්ෂණ පවත්වා දැන ගත් විද්‍යාඥයෙකු  හෝ විත්තිකරුවෙකු විසින් අමු දහවල් මිනිසෙකු ඝාතනය කළ බව සියැසින් දුටු මිනී මැරුම් නඩුවක ප්‍රධාන සාක්ෂිකාරයෙකු එකී කරුණු පිළිබඳ දැනුම ඇති අය යැයි සලකමින් ඒ ඇසුරෙන් දැනුම යනු කුමක්දැයි  විස්තර කළ හැකි නේදැ’යි  අපට සිතෙන්නට පුලුවන.

මෙහිදීද එක් ප්‍රශ්නයක් වන්නේ දැනුම යනු කුමක්දැයි දැනටමත් නොදන්නා අයෙකු මෙවැනි උදාහරණ භාවිතා කිරීමෙන් පමණක් ම දැනුම යනු කුමක්දැයි නිවැරදිව දැන ගන්නේ කෙස්ද යන්නයි.  දනුම නිර්වවනය කරන්නේ කෙසේද යන්න නොදැන එවැනි උදාහරණ මගින් දැනුම යනු කුමක්දැයි අවබෝධ කර ගැනීමට අපහසු වෙනවා මෙන්ම දැනුම යනු කුමක්ද යන්න පිළිබඳව  පූර්ව අවබෝධයකින් තොරව දැනුම ඇතිවන අවස්තා මොනවාදැයි හරියටම හඳුනා ගැනීමටද අපහසු විය හැකිය.

එහෙත් මේ සියලු දේ පිළිබඳ ඇති දැනුම සම්බන්ධයෙන් තිබෙන පොදු ලක්ෂණය කුමක්ද?මඳක් විමසිල්ලෙන් කල්පනා කර බලමු. අර කලින් දැක්වූ දැනුම පිළිබඳ උදාහරණ අපට භූගෝලීය, භාෂාත්මක, ගණිතමය, සදාචාරමය, රසවින්දනාත්මක සහ විද්‍යාත්මක ආදී වශයෙන් වර්ග කළ හැකියි. මේ අන්දමට දැනුම වර්ග රැසකට වෙන් කළහැකි වුවත් සියලු දැනුම් වර්ග සම්බන්ධයෙන් පොදු ලක්ෂණයක් ඇත් නම් ඒ ලක්ෂණය කුමක් විය හැකි ද යන පැණයයි ඉංග්‍රීසියෙන් epistemology යනුවෙන් හැඳින්වෙන ‘ඥානවිභාගවේදය’ නමැති විෂය ක්ෂේත්‍රයේදී මූලිකව විමසා බැලෙන්නේ. අධ්‍යන විෂයයක් වශයෙන් හැඳින්වෙන ඥානවිභාගවේදයේදී  පොදුවේ සිදු කෙරෙන්නේ දැනුම පිළිබඳ ඇති විවිධ සිද්ධාන්ත විමසීමට ලක් කිරීමයි.

දැනුම සම්බන්ධයෙන් මෙතෙක් අප සාකච්ඡාවට ලක් කළ බෙහෝ උදාහරණ අයත් වන්නේ propositional knowledge හෙවත් ‘ප්‍රස්තුත දැනුම’ යන දැනුම් විශේෂයටයි. එහි දී දැනුම යනුවෙන් හඳුන්වන්නේ ප්‍රස්තුත කාරණයක් සම්බන්ධයෙන් අති දැනුමයි. ප්‍රස්තුතයක් යනු යම්කිසි වැකියක් කියමනක් මගින් තහවුරු කිරීමට අදහස් කරන දෙයටයි. ‘පෘථිවිය ගෝලාකාරයි’, ‘අවිවාහකයෝ යනු තවමත් විවාහ නොවූ අයයි’ සහ ‘දෙකයි දෙකයි හතරයි’ ආදී වශයෙන් ප්‍රස්තුත දැනුමේ දී දැනුම තහවුරු වෙයි. එහෙත් සියලුම දැනුම් ප්‍රස්තුත දැනුම් විශේෂයට අයත් නොවේ.

උදාහරණයක් ලෙස  ability knowledge නොහොත් ‘හැකියා දැනුම’ ප්‍රස්තුත දැනුමට වඩා වෙනස් ආකාරයක දැනුම් විශේෂයකි. හැකියා දැනුමට උදාහරණයක් ලෙස ‘මා පිහිනන්න දන්නවා’ යැයි කීම මගින් හැඟවෙන දැනුම ගත හැකියි. එහි දී පිහිනීමට මට හැකියාවක් තිබෙන බව කියවෙන නමුත් පිහිනීම කෙසේ කළ යුතු ද යන්න පිළිබඳ නිශ්චිත ප්‍රස්තුත දැනුමක් මට තිබෙන බවක් ඉන් අදහස් නොවේ. ඒ නිසා මට පිහිනිය හැකි වුනත් නිවැරදියට පිහිනිය යුත්තේ කෙසේ ද යන්න ඔබට කියා දීමට තරම් දැනුමක් මට ඇති බවක් ඉන් නොපැවසෙයි. එහෙත් පිහිනීමේ හැකියා දැනුමක් මට ඇති බව දියට බැස පිහිනා පෙන්වීම මගින් මට කළ හැකියි.

හැකියා දැනුම ඉතා වැදගත් දැනුමකි. බයිසිකලයක්, මෝටර රථයක් පැදීම, පරිගණකයක් ක්‍රියාත්මක කිරීම වැනි හැකියා දැනුම් බොහෝ විට අපට අත්‍යවශ්‍යයි. එහෙත් මතක තබා ගත යුතු කාරණය නම් ප්‍රස්තුත දැනුම යනු සාපේක්ෂ වශයෙන් සංකීර්ණයයි හැදින්විය හැකි මනුෂ්‍ය වර්ගයාට පමණක් සීමා වූ වක් වන නමුත් හැකියා දැනුම අනිකුත් බොහෝ සත්වයන්ට ද තිබිය හැකි බවයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් කූඹියෙකුට කිසියම් මිදුලක් හරහා පාර හොයා ගෙන යාමට හැකියාවක් තිබිය හැකියි. එහෙත් ඒ නිසාම ඒ කුඹියාට මිදුල සම්බන්ධ ප්‍රස්තුත දැනුමක් ඇති යැයි පැවසිය හැකි ද? උදාහරණයක් වශයෙන් තමන් තරණය කරන ගෙමිදුල අහවල් පුද්ගලයාගේ ගෙමිදුල යැයි කුඹියාට දැනුමක් තිබේ ද? නැත. මේ නිසා හැකියා දැනුම වැනි දැනුම් විශේෂ වලට වඩා ප්‍රස්තුත දැනුමට ජන සමාජයේ වැදගත් තැනක් හිමි වන බව පෙනේ.  මන්ද ප්‍රස්තුත දැනුම මනුෂ්‍යයන් පමණක් සතු සාපේක්ෂ වශයෙන් සංකීර්ණයයි සැලකිය හැකි බුද්ධිමය හැකියා වන් මත රඳා පවතින දෙයක් වන නිසායි.

දැනුම උද්ගතවන සුවිශේෂ අවස්ථා පිළිබඳ කල්තියා ඇතිකරගත් දැනීමකින් තොරව දැනුම පිළිබඳ ස්වාධීන නිර්නායක ගොඩ නැගිය හැකියැයි සිතනවා වෙනුවට දැනුම පිළිබඳ නිර්නායක ගැන නොදැන ම දැනුම උද්ගතවන අවස්ථා අපට ස්වාධීනව ග්‍රහණය කළ හැකිය යනුවෙන් කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් මේ අදහස  ඇතමෙකුට පිළිගැනීමට අපහසුවීමගැන අප පුදුමයට පත් නොවිය යුතුය. මන්ද දැනුම උද්ගතවන අවස්ථා ගැන අපට කල් තියා දැනගත් දැනුමක් ඇති බව හුදු උපකල්පනයක් නොව ප්‍රදර්ශනය කොට පෙන්වීමට හැකි දෙයක් විය යුතු බවට ඔවුන් තර්ක කරණු ඇති බැවිනි.

දැනුම පිලිබඳ නිර්නායක යනු අපට නිසර්ගයෙන්ම පසක් වෙන දෙයක් නම් මේ ආරාවුල එතරම් ප්‍රශ්නයක් නොවිය යුතුය. මන්ද දැනුම උද්ගත වන අවස්ථා විමසීමකින් තොරව දැනුම පිළිබඳ නිර්නායක ඇති විය හැකිය යන මතය එවිට තහවුරු විය හැකි බැවිනි. එහෙත් මේ පිළිබඳ සිහි නුවණින් ආවර්ජනය කරන විට ඇතිවන අසීරුව නම් දැනුම පිළිබඳ එවැනි සරල නිර්නායක නොමැති බව පෙනීයාමයි.

දැනුම පිළිබඳ නිර්වචනයක් ඇතිකර ගැනීමේ ගැටලුව හඳුන්වන්නේ ‘නිර්නායකය පිළිබඳව ගැටලුව’ යනුවෙනි. මේ ගැටලුව පහත දැක්වෙන වැකි දෙක මගින් සංක්ෂිප්තව දැක්විය හැකිය.

  1. දැනුම පැන නැගෙන අවස්ථා මට හඳුනාගත හැක්කේ දැනුම යනු කුමක්දැයි නැතහොත් දැනුම යන්නට ඇති නිර්නායකය කුමක්දැයි මා කල් තියා දැන සිටියේ නම් පමණි.
  2. දැනුම යන්නට ඇති නිර්නායකය මට දැනගත හැක්කේ දැනුම ඇතිවන අවස්ථා මොනවාදැයි දැනටමත් මා දන්නේ නම් පමණි.

මේ ක්‍රමයට අනුව දැනුම අවබෝධ කිරීමට තැත් කිරීම අතිශයින් සීමිත වූ සංකල්පයක් තුළ සිර වීමක් පමණකැයි අපට සිතීම පුදුමයට කරුණක් නොවේ. දැනුම පැන නගින අවස්ථා හඳුනා ගැනීමට එක්කෝ දැනුම යනු කුමක්ද යන්න මා ස්වායත්තව දැන සිටිය යුතුය,  නො එසේ නම් දැනුම පිළිබඳව නිර්නායකයක් ගොඩ නැගීම පිණිස දැනුම ඇතිවන අවස්ථා නිසැකවම හඳුනා ගැනීමට මට හැකියාවක් ඇතැයි මා විශ්වාස කළ යුතුය.  කොයි පැත්තෙන් බැලුවත් මේ දෙයාකාරයම ඥානවිභාගවේදයේදී මතභේදයට තුඩුදෙන උභතෝකෝටිකයක් විය හැකිය.

කෙසේ වෙතත් ‘දැනුම’ (knowledge) යනු අද කාලයේ නම් එතරම් අපහසුවක් නැතිව ලබා ගත හැකි දෙයකි. පෙර නොවූ විරූ ලෙස අති මහත් දැනුම් සම්බාරයකට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ වීමට අද අපට පහසුවෙන්ම කළ හැකිය. මූලික ඩාටා පැකේජයක් මිලට ගත් විට අන්තර්ජාලයට ඇත්තේ එකම එක ක්ලික් එකක දුරක් පමණි. එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ අන්තර්ජාලයේ ඇති අනෝරාසියක් සැක කටයුතු මති මතාන්තර සහ හුදු ප්‍රචාරණ දුස්තොරතුරු අතරින් මේ කියන නියම ‘දැනුම’ තෝරා බේරා ගන්නේ කෙසේද යන්නයි. සදොස් ඒවා ද ඇතුළුව නොයෙක් ආකාරයේ තොරතුරු වලින් අධික ලෙස පිරී ඉතිරී ගිය ජාලගත ලෝකයක ‘දැනුම’ යනුවෙන් හඳුන්වන දෙය කුමක් විය හැකිද? මතු පිටින් පැන නැගෙන මේ පැනය තවත් විනිවිද බැලූ විට ඊටත් වඩා ගැඹුරු පැනයක් මතුවන බව අපට පෙනේ? එනම් අප දැනගත යුතු දෙය අප දැන ගන්නේ කෙසේද? යන්නයි. වඩාත් සරලව කිවහොත් එම පැනය ‘දැනුම යනු කුමක්ද?’ යන්නයි.

‘දැනුම’ නමැති ක්ෂේත්‍රය දර්ශනවාදී ලෙස විමර්ශනයට ලක් කරන ඥාන විභාගය (epistemology) නමැති විෂයයේ මුඛ්‍ය ප්‍රශ්නයද එකී ‘දැනුම යනු කුමක්ද? යන්නයි.  

කෙසේ වෙතත් ‘දැනුම’ යනු රත්තරන් හෝ ගල් අඟුරු මෙන් ස්වභාවිකව ජනිත වූ සම්පතක් නොවේ. දැනුම සම්පාදනය කරනු ලබන්නේ දැනුවත් අය විසිනි. මෙය වඩාත් හෙඳින් තේරුම් ගැනීමට, ඇතුළ නොපෙනෙන ලෙස හතර වටින්ම වැසූ කුඩා පෙට්ටියකට දමා හොඳින් සොලවන ලද කාසියක් ඇතැයි මොහොතකට සිතන්න. එම කාසියේ එක පැත්තක හිසක් හා අනෙක් පැත්තේ ගසක් පෙන්නුම් කර තිබේ. එසේ පෙට්ටිය හොඳින් සෙලවීමෙන් පසු කාසිය හිස පැත්ත මතුපිටට පෙන්වමින් නිශ්චල වී යැයි හිතමු. එහෙත් කිසිවෙකු විසින් පෙට්ටිය ඇර බලන තෙක් මෙම කාරණය (fact) ‘දැනුමක්’ බවට පත් නොවේ. මන්ද ඒ වනතෙක් ම එය නොදන්නා කරුණක් වශයෙන් පවතින බැවිනි. ඒ අනුව පළමු කොටම ‘දැනුම’ යනු කෙනෙක් කිසියම් කරුණක් (fact) වටහාගත් විට හෙවත් පරිග්‍රහණය කළ විට ජනිත වන දෙයකැ’යි සැලකිය හැකිය.

මෙහිදී වැදගත් දෙයක් වන්නේ කිසියම් කාරණයක් සත්‍යක් බව ‘දැන ගැනීම’ සහ කිසියම් කාරණයක් සත්‍යක් බව ‘විශ්වාස කිරීම’ අතර කැපී පෙනෙන වෙනසක් ඇති බවයි. සරල දෙයක් බව පෙනුනත් ඇත්තටම ඔබ ඒ කාරණය ‘දන්නේද’ නැතහොත් හුදෙක් ඒ කාරණය ‘විශ්වාස කරන්නේද’ යන්න අතර ඇති වෙනස අතිශයින් වැදගත් දෙයකි. එහෙත් ඇතැම් නරුමවාදීන් කියන අන්දමට මේ දෙක අතර කිසිදු වෙනසක් නැත. ඔවුන් කියන පරිදි දැනුම යනු සමාජයේ ප්‍රභූ පෙළැන්තියක් යැයි හැඳින්විය හැකි විද්‍යාඥයන් සහ විශේෂඥයන් යනුවෙන් හඳුන්වා ගන්නා අය විසින් අදහන විශ්වාස වලට දෙනු ලබන තවත් නමකි. ඒ සම්බන්ධයෙන් වඩා නරුමවාදී නොවන එළඹුමක් නම් ඔය කියන විශේෂඥයන්ගේ දැනුම අභියෝගයට ලක්කළ හැකි බව හෝ දැනුම විශේෂඥයන්ට පමණක් සීමා වූවක් නොවන බව කීමයි. බොහෝ භාෂාවල වඩාත්ම භාවිතාවන යෙදුම් අතරින් ‘දැන ගැනීමට’ යන යෙදුම ඉතා බහුලව යෙදෙන යෙදීමක් වීම ඉහත කී නරුමවාදී නොවන එළඹුම සනාථ කරන සාධකයකි.

මෙතැන් සිට කාරණය තරමක් සංකීර්ණ වෙයි. ඇත්ත වශයෙන්ම දැනගත හැකි දේවල් වශයෙන් සැලකිය හැකි වන්නේ ‘සත්‍යක්’ යැ’යි අපට විශ්වාසදායකව ඇදහිය හැකි දේවල්ය. එහෙත් ඒ දෙය ‘සත්‍යක්’ යැයි හරියටම කිව හැක්කේ කාටද? බොහෝ දර්ශනවාදීන් සිතන අන්දමට සත්‍යදේවල් යනු වාස්තවික (objective) දේවල්ය. හෙවත් වඩාත් සරලව කිව්වොත් සත්‍යක් යනු කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් විය හැකි දෙයක් නොවේ.  එහෙත් මේ සම්බන්ධයෙන් පස්වැනි සියවසේ විසූ ග්‍රීක දාර්ශනිකයෙකු වූ ප්‍රොටෙගෝරස් කල්පනා කළ ආකාරය බෙහෙවින් වෙනස්ය. ඔහු අදහස් කළ අන්දමට සත්‍යක් යනු ආත්මීය (subjective) දෙයක් මිස වාස්තවික (objective) දෙයක් නොවේ. සුළං පහරකට මුහුණ දී ගෙන සිටින දෙදෙනෙකුගෙන් එක් අයෙකුට එම සුළඟ උණුසුම් සුළඟක් ලෙසත් අනෙකාට සිසිල් සුළඟක් ලෙසත් දැනෙන්නට පුළුවන්වීම ප්‍රොටගෝරස් සිය තර්කය සාධාරණීයකරනය කිරීමට උදාහරණයක් ලෙස යොදා ගත්තේය.

එහෙත් ප්‍රොටෙගෝරස්ගේ ඒ අදහස තර්කාණුකූල අවසානයකට ගෙනයාමට හැකි වන්නේ තම හැඟීමට අනුව සත්‍යකැයි සිතෙන දෙයක් හරියැයි සැම කෙනෙකුටම කිව හැකියැයි පිළිගැනීමට සිදු වීමෙනි. ඒ අනුව කිසිම කෙනෙකු අතින් කිසිම දවසක අසත්‍යක් නොපැවසෙනු ඇත. ඒ නිසා දැනුම යනු කුමක්දැයි තවදුරටත් විමසීමට මේ කාරණයේදී ප්‍රොටගෝරස් වැරදියැයි විශ්වාස කළ ප්ලේටෝ සහ වෙනත් බෙහෝ දර්ශනවාදීන්ගේ අදහස් ද විමසා බලමු. ඔවුන් අදහස් කළේ සත්‍යක් යනු ආත්මීය දෙයක් නොව වාස්තවික දෙයක් බවත් සත්‍යදෙයක් පවතින්නේ තනි තනි පුද්ගලයන්ගේ මතය අනුව නොව ඉන් ස්වායත්තව බවත් යන්නයි.

ප්‍රොටගෝරස්ගේ න්‍යාය මොහොතකට පසෙක තබා අපට ඇත්තටම දැනුම ඇතිකරගත හැක්කේ සත්‍ය දෙවල් තුළින් පමණකැයි සිතමු. එමෙන්ම පවතින දැක්මට අනුව සත්‍ය වනාහී වාස්තවික සහ අපට බාහිර වශයෙන් ස්වායත්තව තිබෙන දෙයක් ලෙසත් සලකමු.  ඒ අනුව සත්‍ය යනු විදුලිය සපයන කෙවෙනියක් (plug) වැනි නම් එම කෙවෙනිය මගින් අපට දැනුම ලබා ගත හැකිය. එහෙත් අපට එවැනි  කෙවෙනියකින් දැනුම ලබා ගත හැකි වෙයිද? එය කිසිසේත් නොකළ හැක්කක් බව සංශයවාදීන් තර්ක කරනු ඇත. ඒ අනුව සංශයවාදීන්ගේ මූලික මතය වන්නේ අප දන්නවා යැයි අප සිතන දෑ ඇත්තටම අප නොදන්නවා විය හැකිය යන්නයි.

 මේ තර්කය නිදර්ශනය කරන එක් චින්තන අභ්‍යාසයක් මෙසේය:  ඔබ මේ මොහොතේ පාවහන් පැළඳගෙන සිටි ද?  මේ ප්‍රශ්නයට පිළිතුරු ඔබ දන්නවා යයි ඔබට සිතෙන්නට පුළුවන.  එහෙත් ඔබ එසේ දන්නා බව ඔබ දැන ගන්නේ කෙසේද?  උදාහරණයක් වශයෙන් එවිට ඔබ දකිමින් සිටින්නේ සිහිනයක් නොවන බව ඔබ දැන ගන්නේ කෙසේද?  ඒ අන්දමින් කල්පනා කරන්නට පටන් ගත්තොත් ඔබේ මොළය අනවශ්‍ය ගැට ගොඩකට මැදි කරන්නට සිදුවේ යැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් දැනුම පිළිබඳ ප්‍රශ්නයට සංශයවාදීන් හෙවත් හැම දෙයක්ම සැකමුසුව විමසන දර්ශනවාදීන් එළඹෙන්නේ ඒ ආකාරයෙනි.  මේ එළඹීමේදී ඉතාමත් සෘජුව සිතෙන කරුණු කාරණා වුවද බෙහෙවින් ගැටළු සහගත දේවල් වන්නට පුළුවන.

සංශයවාදී දර්ශනය ඇරඹුණු පැරණි ග්‍රීසියේ සංශයවාදය පිළිබඳව මූලික ගුරුකුල දෙකක් විය.  ඒ අතරින් ශ්‍රාස්ත්‍රාලීය ගුරුකුල යයි හැඳින්වූ ගුරුකුලය දැනුම යනු ළගාකරගත නොහැකි නොහොත් අසම්භාව්‍ය දෙයක්යැ’යි විශ්වාස කළේය.එහෙත්  පිර්හෝනියන් (Pyrrhonians) ගුරුකුලය යනුවෙන් හැඳින්වුණු අනෙක් ගුරුකුලය එම තර්කය පිළිබඳව කිසිදු නිශ්චිත නිගමනයට පැමිණීමෙන් වැළකී සිටියහ. අනෙකුත් සංශයවාදීන්ගෙන් පිර්හෝනියන්වරු වෙන්ස් වන්නේ දර්ශනවාදය, විද්‍යාව හා න්‍යාය වැනි දෙවල් ගැන ඔවුන් තුළ කිසිදු නිශ්චිත විශ්වාසයක් නොපැවතුණු බැවිනි.

ඒත් මේ සම්ප්‍රදායන් දෙකේම අදහස්  දැනුම සම්බන්ධයෙන් පැවති පැරණි ස්ටොයික සංකල්පය නැවත සිහි ගන්වයි. ස්ටොයිකවාදය(stoicism) යනු විනාශකාරී හැඟීම් වලින් මිදී සමාජයට වැඩදායක වනු පිණිස දිරිය සහ ස්වයං පාලනය වර්ධනය කරගැනීම උගන්වන ප්‍රායෝගික දර්ශනවාදයකි. ස්ටොයික මතවාදයට අනුව යමක් පිළිබඳ ඔබේ චිත්ත රූපය හෙවත් ඔබේ සංවේදන මගින් සංජානනය (perception) වන දැය සහ ඒ පිළිබඳ ඔබේ විනිශ්චය එනම් ඔබ ඒ සංජානනය නොවළහා පිළිගතයුතුද නැද්ද යන කාරණය අතර කැපී පෙනෙන වෙනසක් තිබේ. උදාහරණයක් ලෙස ඔබ දෙසට ගමන් කරමින් එන මිතුරකු සම්බන්ධයෙන් සංවේදන පාදක සංජානනයක් ඔබට ඇතිවිය හැකිය.  එහෙත් එම සංජානනය නිවැරදි ද?  ඇතැම් විට එම තැනැත්තා ඔබේ මිතුරා මෙන් පෙනෙන වෙන තැනැත්තෙකු නොවිය හැකිද? ඒ නිසා  ස්ටොයිකයන් විශ්වාස කළ පරිදි අපට පිළිගත හැක්කේ නිවැරදි සංජානනයන් පමණි. ඒ අනුව ඔබේ මිතුරා සැබැවින්ම ඔබේ මිතුරාදැ’යි  හරියටම දැන ගැනීමට නම් ඔහු ඇති තරම් සමීප වන තෙක් ඔබ බලා සිටිය යුතුය.

ශ්‍රාස්ත්‍රාලීය සංශයවාදීන් මෙම එළඹුම සමග එකඟ වන නමුත් සිතක ඇතිවන  ඕනෑම සංජානනයක් අවිවාදිතව නිවැරදි විය හැකිය යන අදහස ප්‍රතික්ෂේප කරයි. මන්ද මිතුරායැ’යි ඔබට සංජානනය වන තැනැත්තා ඔබ දකින්නේ ඔබ කිසියම් මුලාවකින් හෝ මනෝ භ්‍රාන්තියකින් (hallucination) හෝ පෙළෙමින් සිටින අවස්ථාවක දී විය හැකිය. එසේ නැතහොත් ඔබ ඇතැම් විට ඔබේ මිතුරාගේ රුවට සමාන නිවුන් සහෝදරයෙක් දැක්කා වෙන්නට පුළුවන.  ඒ නිසා ඔබ දන්නවා යැයි ඔබ විශ්වාස කරන දෙය පවා නිසැකවම දැන ගැනීමට ඔබට කිසිසේත් ම හැකි නොවේ.

පිර්හෝනියන්වරු (Pyrrhonians) මේ සංවාදය එයට වඩා තවත් ඔබ්බට ගෙන ගියහ.  දැනුම යනු කෙදිනකවත් අවිවාදයෙන් ඔප්පු කළ හැකි දෙයක් නොවේය යන ශ්‍රාස්ත්‍රාලීය සංශයවාදීන් ගේ තේරුම් කිරීම පවා පිර්හෝනියන්වරුන්ට අනුව කිසියම් දැනුමක් ප්‍රකාශ කිරීමකි.  ඒ නිසා  කෙදිනක හෝ මනුෂ්‍යයන්ට දැනුමක් ළඟා කරගත හැකි වේද නොවේද න ප්‍රශ්නය ගැන මැදිහත්වීමට පිර්හෝනියන්වරු ප්‍රතික්ෂේප කළෝය. ඔවුන් කල්පනා කළ පරිදි ඕනෑම දෙයක් හා විෂයක් පිළිබඳ නිශ්චිත නිගමන වලට එළඹෙනවාට වඩා විවෘත මනසක් පවත්වාගෙන යාම යහගුණයකි. ඒ අනුව සදාකාලිකව සැම දෙයක් ගැනම සැක කිරීම පවත්වා ගැනීමට සිය සගයන්ට ආධාර වීම පිණිස චිර ප්‍රසිද්ධ පිර්හෝනියානු සංශයවාදියෙකු වූ  සෙක්ස්ටස් එම්පිරිකස්  ‘මම කිසිවක් තීරණය නොකරමි’ හා ‘එය වෙන්නටත් පුළුවන නො වෙන්නටත් පුළුවන’ වැනි මතක තබාගතයුතු ආදර්ශ පාඨ පවා නිර්මාණය කළේය. 

එහෙත් මෙහිදී අප අනුගමනය කරන්නේ ශ්‍රාස්ත්‍රාලීය සංශයවාදීන් ගේ මතය නම් දැනුම පිළිබඳ අපේ සාකච්ඡාව මෙතනින් අවසන් කළ යුතුය. පිර්හෝනියානු සංශයවාදීන් පවසන අන්දමට නම් එම සාකච්ඡාව කිසිදා නිම නොකළ යුත්තකි.  වාසනාවකට මෙන් වෙනත් ප්‍රබල චින්තකයෝ දැනුම යන මාතෘකාව සම්බන්ධයෙන් දරන මතවාද මීට වඩා බෙහෙවින් වෙනස් ය.

අපට කෙදිනකවත් කිසිවක් දැනගත නොහැකියැ’යි සංශයවාදීන්ගේ මතය වූ බව ඔබට මතක ඇතැයි සිතමු. එහෙත් එයට එකඟ නොවූ අයද සිටියහ. මේ අතරින් පතළ දෙදෙනෙක් වූයේ රෙනේ ඩෙකාට් සහ ජෝන් ලොක්ය.

දාහත්වන සියවසේ ජීවත් වූ ඩෙකාට් සහ ලොක් නූතන දර්ශනවාදයේ ප්‍රධාන පුද්ගලයන් දෙදෙනෙකි. දැනුම යනු කිසිසේත්ම ලබාගත නොහැකි දෙයැකැයි සංශයවාදීන් පළ කළ මතය ප්‍රතික්ෂේප කළ මේ දෙපළ ඥානවිභාගවේදී චින්තනයට වැදගත් දායකත්වයක් ලබා දුන්නෝය. එහෙත් හැම දෙයක් ගැනම ඒ දෙපළ අතර එකඟත්වයක් තිබූ බව ඉන් අදහස් නොවේ.

ඩෙකාට්ගේ තර්ක බුද්ධිය (rationalism) අනුව බිහිවෙන ඥානය සහ ලොක්ගේ අනුභුතිවාදය(empiricism) හෙවත් අත්දැකීම මත ඇති වන ඥානය දැනුම පිළිබඳ නව තේරුම් කිරීම් දෙකක් හඳන්වාදීමට කළ උත්සාහයන් වශයෙන් සැලැකිය හැකිය.

සංශයවාදීන් මෙන් නොව ඩෙකාට් තර්කබුද්ධිවාදියෙක් වූ අතර ඔහු විශ්වාස කළ පරිදි ඇත්ත වශයෙන් ම මිනිසුන්ට මූලික සත්‍යයන් අවබෝධ කර ගැනීමේ හැකියාව නිසගයෙන් ම ඇත. 1641දී ඔහු පළ කළ  මෙඩිටේෂන් නමැති කෘතියට අනුව කෙනෙකුට තමාගේම අස්තිත්වය (existence) හෙවත් තමා යනුවෙන් කෙනෙකු ඇති බව නිශ්චිතවම දැනගත හැකි බව ඉඳුරාම සත්‍යය වූ දැනුමකි. එමෙන්ම දෙවියන් වහන්සේගේ අස්තිත්වය හෙවත් පැවැත්ම ද පැහැදිලි සත්‍යක් බව ඩෙස්කාර්ට් විශ්වාස කළේය.  දෙවියන් වහන්සේ පිළිබඳ සංකල්පය සහ පාරප්‍රාප්තිය (perfection) හෙවත් පරිපූර්ණත්වය යනු එකම දෙයක් බවත් ඔහු විස්තර කළේය. පාරප්‍රාප්තිය නමැති සංකල්පය කිසියම් අපරිපූර්ණත්වයකින් හෙවත් වෙනත් වචනයකින් කිවහොත් මිනිස් ප්‍රභවයකින් ජනිත විය නොහැක්කක් බවද ඩෙකාට් කියා සිටියේය.

ඩෙකාට්ට අනුව දෙවියන්වහන්සේගේ සහ තමන්ගේ ම ස්වයං අස්තිත්වය හෙවත් පැවැත්ම අප ස්ථිර වශයෙන් දන්නා දේවල් වේ. මේ දෙකම සමග සංඛ්‍යා, ජ්‍යාමිතිය මෙන්ම සත්‍යය වැනි වියුක්ත තර්කබුද්ධිගෝචර සංකල්පද අපට සහජයෙන්ම අවබෝධකර ගත හැකි දේවල්ය. වෙනත් අන්දමකින් කිවහොත් මිනිසුන් උපදින්නේම නිශ්චිත සත්‍ය දැනුම් කට්ටලයක් උත්පත්තියෙන්ම උරුම කරගෙනය.

පොදුවේ ගත් විට ඩෙකාට්ගේ මේ ආස්ථානය හා ලොක් එකඟ වූ නමුත් මනුෂ්‍යත්වය පිළිබඳ ඩෙකාට් තුළ පැවැති ඉහළ අගැයීම ලොක් අනුමත නොකළේය.  අප සහජයෙන්ම තර්කබුද්ධිගෝචරයැ’යි යන අදහස ප්‍රශ්න කළ ලොක් ළදරුවන් තාර්කික හැකියාවලින් සමන්විතයැ’යි කිව නෙහැකි බව ප්‍රකාශ කළේය.

ලොක් සඳහන් කරන අන්දමට අපට අදහස් ඇතිවන්නේ සංවේදන (sensation) නිසාය. අප නොයෙකුත් ආකාරයේ සංවේදන වලට ළදරුකාලයේ සිටම නිරාවරණය වෙයි. එසේ පුන පුනා නිරාවරණයවීම සිදුවන නිසා එකී සංවේදන අපට යම් යම් රටාවලට සහ තේරුම් ගැනීම් වලට අනුගත වන ලෙස සංවිධානය කරගත හැකිය. මෙසේ අපේම මනෝ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීම තුළින් මෙකී සංවේදන ඔස්සේ යමින් මුල්කාලයේදී ම අපි ප්‍රත්‍යවේක්ෂණ බලය (power of reflection) හෙවත් ගැඹුරින් හිතා බැලීමේ හැකියාව ඇති කර ගන්නෙමු. ලොක්ගේ මේ අනුභුතිකවාදී එළඹුමට අනුව මිනිස් දැනුමේ මූලික පදනම සංවේදනය (sensation) සහ ප්‍රත්‍යවේක්ෂණ (reflection) හැකියාවයි.

එහෙත් ලොක් විසින්ම පිළිගත් පරිදි අප හැම කෙනෙක්ම එකිනෙකාට සුවිශේෂ වූ සංවේදන සහ ප්‍රත්‍යවේක්ෂණ (reflection) කට්ටල වලට නිරාවරණය වී තිබේ. ඒ අනුව අප එකිනෙකා විසින් අනන්න්‍ය කරගන්නා වූ සංකල්ප වලින් තොරව හුදෙක් සංජානනය (perception)මගින් පමණක් දැනුවත් වීමක් නොවන බව ඇතමෙකුගේ මතයයි. එහෙත් සංජානනයකින් තොරව ගණිතමය සූත්‍ර වැනි සංකල්ප පැවතිය හැකි බව තවත් අයෙකුට තර්ක කළ හැකිය. කෙසේ වෙතත් අප හැම දෙනෙක්ම ආදරය හා යුක්තිය එකම ආකාරයට අවබෝධ කර ගනී යන ඩෙකාට්ගේ අදහස ලොක්ගේ තර්කයට අනුව වලංගු එකක් නොවේ.

ඩෙකාට්ගේ අදහසට පටහැණිව දැනුම සහජයෙන් එන දෙයක් නොවේයැයි අප තීරණය කළොත් යමක් “දැනගැනීම” සම්බන්ධයෙන් අපට තිබිය යුතු කොන්දේසි හිටිහැටියේම තවත් සංකීර්ණ වෙයි.

මේ කොන්දේසි මොනවගේ ඒවා වියයුතුද යන්න ශතවර්ෂ කිහිපයකට පසු 1960 ගණන් වලදී සම්භාව්‍ය විශ්ලේෂණය නමින් හැඳින්වෙන දර්ශනවාදී චින්තන සම්ප්‍රදාය විසින් යෝජනා කරන ලදී. ඒ අනුව කිසියම් තැනැත්තෙකුට ප්‍රස්තුතයක් දැනගත හැක්කේ එම ප්‍රස්තුතය කරුණුමය වීම, එම තැනැත්තාට අදාළ ප්‍රස්තුතය විශ්වාස කළ හැකිවීම සහ එම විශ්වාසය සාධාරණීයකරනය කිරීමට එම තැනැත්තාට හැකිවීමත් මත බව එම විශ්ලේෂණය මගින් ප්‍රකාශ විය.

මේ අනුව විශ්වාසය සහ දැනුම අතර වැදගත් එහෙත් රූටායන සුලු සහසම්බන්ධතාවයක් තිබේ. මෙය පැහැදිලි කිරීමට බ’ර්ට්න් රසල්ගේ ප්‍රකට දර්ශනවාදී ප්‍රහේළිකාව මෙසේ දැක්විය හැකිය.

මගියෙක් ඔහු ගමන් කිරීමට අදහස් කරන දුම්රිය අල්ලා ගැනීමට කඩිමුඩියේ දිවයයි. ඔහුට දුම්රිය අල්ලා ගත හැකි වේවිද?. දුම්රිය ස්ථානයේ ඇති ඔරලෝසුවේ වේලාව 1.17 ලෙස දැක්වෙයි.  ඒ නිසා ඔහුගේ සත්‍ය, සාධාරණීයකරණය ලද විශ්වාසයට අනුව වේලාව 1.17 යන්න නිවැරදිය. ඒ අනුව ඔහු වේලාව දන්නේය. එහෙත් ඔරලෝසුව හරියට වැඩ නොකරන බැවින් සත්‍ය වේලාව 1.33 නම් කුමක් වෙයිද? එවිටත් වේලාව 1.17ම බව මගියාට ‘දැනගත’ හැකිද?. නැත! එවිට ඔහු ක්‍රියාකරන්නේ අසත්‍ය විශ්වාසයක සිටය.

එහෙත් අසත්‍ය විශ්වාස ඔස්සේ දැනුම ලබා ගත නොහැකිය යන මේ සම්භාව්‍යය විශ්ලේෂණයේ එක්තරා අවුලක් තිබේ. එය පැහැදිළි කිරීමට මිනිසෙකු විසින් තම බිරිය මරා දමා ඇතැයි යන්න සනාථ කිරීමට සාක්ෂි සොයන රහස් පරීක්ෂකයෙකු උදාහරණයකට ගෙන බලමු.  මිනීමැරීමට භාවිතා කරන ලදැයි සැක කළ පිස්තෝලයක්, සැකකරුගේ ඇඟිළි සටහන් මෙන්ම ඇසින් දුටු සාක්ෂි ගණනාවක්ද රහස් පරීක්ෂකයා සතුව තිබේ. සැකකරු සිය බිරිඳ මරා දැමූ බව රහස් පරීක්ෂකවරයා නිවැරදිව විශ්වාස කරයි. එහෙත් සාක්ෂිකරුවන් අතරින් එක් ඇසින්දුටු සාක්ෂිකරුවෙකු බොරු කියයි. ඒ අනුව අසත්‍ය විශ්වාසයක් මත ගොඩනගන ලද තොරතුරු පදනම් කරගෙන නිගමනයකට එලඹුනු රහස්පරීක්ෂක වරයාගේ ‘දැනුම’ දැන් අවලංගුද? එඩ්මන්ඩ් ගෙටියර් නමැති දාර්ශනිකයාගේ මතයට අනුව එය එසේ නොවේ. මෙකී උදාහරණයෙන් පැහැදිලි වන පරිදි  කිසියම් දැනුමකට උදව්වෙන ඇතැම් විශ්වාස අසත්‍ය වුවද ඔබට දැනුම ලබාගතහැකිය.

ඉහත සඳහන් ගෙටියර්ගේ ගැටලුව සම්බන්ධ උදාහරණය මගින් පෙන්වාදෙන ලද පරිදි දැනුම සම්බන්ධයෙන් කලින් සඳහන් කළ සම්භාව්‍ය විශ්ලේෂණය පරිපූර්ණ එකක් නොවේ. ඉතින් එය පරිපූර්ණ කළ හැකිද? එයට පිලිතුරක් ලෙස ඇල්වින් ගොල්ඩ්මන් විසින් ‘හේතුඵලවාචී දැනුම’ (causal knowledge) පිළිබඳ න්‍යාය ඉදිරිපත් කරන ලදී. එයට අනුව විශ්වාසයක් අසත්‍යයක්ද සත්‍යයක්ද යන්නට වඩා වැදගත් වන්නේ කිසියම් කරුණක් සම්බන්ධ විශ්වාසයකට එකී කාරණය සම්බන්ධ හේතුඵලවාචී සම්බන්ධයක් පැවතීමයි. උදාහරණයක් ලෙස ඔබ ගිණි ගන්නා නිවසක් දුටු විට ගින්නක් යනු කුමක්ද සහ ගින්නක් හැසිරෙන්නේ කෙසේද යන කරුණු පිළිබඳව අත්දැකීමෙන් ඔබට ඇති දැනුම අනුව නිවස ගිනි ගැනීම ගැණ හේතුඵලවාචී සම්බන්ධතාවක් උද්ගත කරවයි. එහෙත් මෙය පවා අසත්‍යයක් විය හැකියි. සංශයවාදීන් අනුව යමින් ගිනි ගත් නිවසක් වශයෙන් ඔබ දුටු දෙය ඇත්ත වශයෙන්ම හොලෝග්‍රෑම් තාක්ෂණය යොදාගෙන දක්ෂ ලෙස මවාපාන ලද කෘතිම දර්ශනයක් නම් කුමක් වේද? යන ප්‍රශ්නය ඇසිය හැකිය.

1960 ගණන්වල සිට ඥානවිභාගවේදීහු දැනුම සහ විශ්වාසය අතර ඇති සම්බන්ධය විශ්ලේෂණය කිරීමට වෙහෙසවිය. එහෙත් එකී සම්බන්ධය ඇත්ත වශයෙන්ම විශ්ලේෂණය කළ හැකි දෙයක්ද යන්න ගැන බොහෝ අය සැක පළ කළෝය. එම සම්බන්ධය නිසි ලෙස විස්තර කළ හැකි සූත්‍රයක් නොමැති විය හැකි වුණත් එකී සම්බන්ධතාවය ගැන තවදුරටත් විපරම් කිරීම අප දන්නා දේවල් දැන ගත්තේ කෙස්ද යන්න ගැන වැඩි අවබෝධයක් ලබා ගැනීමට හේතු විය හැකිය.

දැනුම පාදක වන්නේ සාධාරණීය කළ හැකි සත්‍ය විශ්වාසය මත බවට සම්භාව්‍ය විශ්ලේශකයන් විසින් ඉදිරිපත් කරන ලද මතය සම්බන්ධයෙන් ඇති අවුල ගෙටියර් විසින් පෙන්වා දුන් පසු ඇල්වින් ගොල්ඩ්මන් විසින් හේතුඵලවාචී දැනුම පිළිබඳ න්‍යාය ඉදිරිපත් කළේය. ගොල්ඩ්මන්ගේ එකී න්‍යාය අයත්වන්නේ ඥානවිභාගවේදී න්‍යායවල පෘථුල ප්‍රවර්ගයක් වශයෙන් හැඳින්වෙන බාහිරවාදයටයි.

එම බාහිරවාදය යනු කුමක්දැයි වටහා ගැනීම පිණිස එවරස්ට් කන්ද පිළිබඳ නිදර්ශනය විමසුමට ලක් කර බලමු. එවරස්ට් කන්ද ලෝකයේ ඇති උසම කන්ද ලෙස ඔබ දන්නා බව නිසැකය. එහෙත් එම කාරණය ඔබ දන්නේ කෙසේද? ඔබට මුල්වරට ආදර චුම්බනයක් ලැබුණු මොහොත ඔබට මතක හිටින තරමටම එවරස්ට් කන්ද ලෝකයේ උසම කන්ද බවට ඔබ ඉගෙන ගත් ආකාරය ගැන හරි මතකයක් ඔබට නැතුව ඇති. එම කාරණය ඔබ අහුලා ගන්නට ඇත්තේ විවිධාකාර තොරතුරු ප්‍රභව වලින් විය හැකියි. එය සත්‍යක් බව ඔබට එවිට තේරුම් යන්නට ඇති. ඒ නිසා බාහිරවාදීන්ට අනුව නම් එවරස්ට් කන්ද ලෝකයේ ඇති උසම කන්ද බව ඔබ දන්නේය.

ඉහත කී එවරස්ට් කන්ද පිළිබඳ නිදර්ශනයේ ඇති ගැටලුව මෙයයි.  බාහිරවාදීන්ට  අනුව එය සත්‍යක් බව දැන ගැනීමට නම් ලෝකයේ උසම කන්ද එයයි යන කාරණයට අර කී අන්දමින් ඔබට සම්බන්ධතාවයක් තිබීම පමණක් ම සෑහේ. එහෙත් බොහෝ උදවියට ඒ ආකාරෙයන්ම ඔස්ට්‍රෙලියාවේ අගනුවර සිඩ්නි නගරයයි යන කාරණයටද සම්බන්ධතාවයක් තිබේ. එහෙත් ඇත්ත වශයෙන් ම ඔස්ට්‍රෙලියාවේ අගනුවර වන්නේ සිඩ්නි නුවර නොව කැන්බරා නගරයයි. ඒ අනුව බැලූවිට කිසියම් කරුණකට අසත්‍ය සම්බන්ධයක් ඇතිකර ගැනීමද පහසුවෙන්ම සිදුවිය හැකි දෙයක් බවද වැටහෙයි.

බාහිරවාදීන්ට වඩා වෙනස් එළඹුමක් මේ සම්බන්ධයෙන් අභ්‍යන්තරවාදීන් අරගනී. මෙකී අභ්‍යන්තරවාදීන් හැඳින්විය හැක්කේ ‘දැකීම යනු විශ්වාස කිරීම’ බව අදහන ගුරුකුලයක් ලෙසයි. ඔවුන්ට අනුව යමක් පිළිබඳ දැනුමක් ලබා ගැනීමට නම් ඔබට එම දැනුම සහතික කරන සාක්ෂි තිබිය යුතුය. ලෝකයේ ඇති අනෙකුත් සුවිශාල කඳු හා සසඳමින් එවරස්ට් කන්ද සම්බන්ධයෙන් කර ඇති මිනුම් පිළිබඳ දත්ත ඔබ සතුව තිබේද? නැතිනම් උසම කන්ද කුමක්දැ’යි තීරණය කිරීමේ විශ්වාසදායක සමීකරණයක් ඔබ සතුව පවතීද? එසේ නොමැති නම් එවරස්ට් කන්ද ලෝකයේ ඇති උසම කන්ද බව ඔබ හරියටම නොදනී. ඒ නිසා ඔබ කරන්නේ එම දැනුම පිළබඳ ඔබේ සරල විශ්වාසය ප්‍රකාශ කිරීමක් පමණයි.

කෙටියෙන් කිව්‍වොත් නිශ්චිත සාක්ෂි නොමැතිවත් අපට යමක් දැනගත හැකි බව බාහිරවාදීන් විශ්වාස කරන නමුත් නිශ්චිත සාක්ෂි නොමැතිව නිසැක දැනුමක් ඇති කර ගැනීම කළ නොහැක්කක් බව අභ්‍යන්තරවාදීහු විශ්වාස කරති. එහෙත් ඒ අනුව ලෝකයේ උසම කන්ද එවරස්ට් කන්ද නොවේයැයි අප විශ්වාස කළ යුතු බවක් ද අභ්‍යන්තරවාදීන් නොපවසයි. ඇත්ත වශයෙන්ම හැම අවශ්‍යතාවයක් සම්බන්ධයෙන්ම එය එසේමයැ’යි අප විශ්වාස කළ යුතුය. එහෙත් ඒ අතරම ඇත්ත වශයෙන්ම එය අපට දැනගත හැකි දෙයක්ද? යන ප්‍රශ්නය හුදු දාර්ශනික උනන්දුව නිසාම නිරන්තරයෙන්ම ඇසිය යුත්තකි. 

ඔබට කිසිදා කිසි දෙයක් දැනගත නොහැකිය යනුවෙන් අභයන්තරවාදීන් පවසන බවක් ඉන් අදහස් නොවේ. ඇත්ත වශයෙන් ඔවුන් වැඩියෙන් අවධාරණය කරන්නේ ක්‍රමානුකූල ප්‍රථම පුරුෂ සිතා බැලීම් (first person thought) හෙවත් මා නමැති කතෘකාරකයා විසින් කරනු ලබන කල්පනා කිරීම ගැනයි. අපේ පුද්ගල සංවේදන මගින්, අප සතු අපෝහනය (deduction) කිරීමේ හැකියාව හෙවත් අනවශ්‍ය කරුණු කාරණා අඩු කිරීමේ හැකියාව මගින් සහ අපේ ප්‍රත්‍යවේක්ෂණ(reflection) හැකියාව හෙවත් ගැඹුරින් කල්පනා කර බැලීමේ හැකියාව මගින් අපට බොහෝ දේවල් දැනගත හැකි බව අප විශ්වාස කරමු. ඒ අනුව අපේම හැසිරීම් ගැන ප්‍රවේසමෙන් කල්පනා කර බැලීමෙන් බොහෝ දේවල් අපට දැනගත හැකිය. උදාහරණයක් ලෙස වෙළඳ සැලකින් නිකුත් කළ රිසිට් පත තාර්කිකව පිරික්සා බැලීමෙන් ඊයේ රාත්‍රි අප අහාරයට ගත්තේ මොනවාදැ’යි දැන ගැනීමට අපට හැකිය.

දැනුම ඇති කර ගැනීම පිණිස හිතා මතා කෙරෙන ප්‍රථම පුරුෂ සිතුවිලි වල ඇති බලය ගැන බාහිරවාදීහුද විශ්වාස කරති. එහෙත් අනායාසයෙන් සිතට එන දේවල ප්‍රතිඵලයක් ලෙස දැනුම ඇතිවන බවද පිළිගැනීමට ඔවුහු කැමැත්තක් දක්වති. උදාහරණයක් ලෙස ගණිතයේ එන පයිහි අගය 3.14 බව එයට පදනම් වන ගණිතමය තේරුම් කිරීම විමසීමකින් තොරව විශ්වාස කිරීමට ඔවුහු පසුබට නොවෙති.

බාහිරවාදීන් සහ අභ්‍යන්තරවාදීන් යන දෙගොල්ලන්ම ප්‍රථම පුරුෂ සිතුවිලි වල වෙනස් මාදිලි දැනුමේ විශ්වාසදායක ප්‍රභව ලෙස පිළිගනිති.  එහෙත් මේ සමීකරණයට තවත් දෘෂ්ටිකෝණයක් එක් කළ විට සිදුවන්නේ කුමක්ද?

අපේ ලෝකය ගැන අප බොහෝ දේවල් දැනගන්නේ ද්වීතීයක ප්‍රභවයැ’යි (secondary source) සැලකිය හැකි වෙනත් අයගේ විස්තර කිරීම් මගින් ලැබෙන දැනුමෙනි. ඉපැරණි රෝම වැසියන්ගේ එදිනෙදා ජීවිතය ගැන අප දැන ගන්නේ ඒ සම්බන්ධව ලියා ඇති දෑ කියවීමෙනි. ලෝක ගෝලයේ අනෙක් තැන් වල සිදුවන දේවල් අප දැනගන්නේ ප්‍රවෘති ප්‍රචාරය බැලීමෙනි. එහෙත් මේ ද්වීතියක ප්‍රභව වලින් ලැබෙන තොරතුරු දැනුමක් ලෙස පිළිගත හැකිද? ඒ සම්බන්ධයෙන් ඥානවිභාගවේදීන්ගේ මත විවිධාකාරය.

එය තරමක් දුරට විමසීමට ජෝන් ලොක් ගැන යළි මතක් කර ගනිමු. ඔහුගේ මතය වූයේ අප දැනුම ලබා ගන්නේ ප්‍රත්‍යක්ෂඥානය හෙවත් සංජානනය(perception) මගින් බවයි. ඒ අනුව අපට කිසි දිනකවත් වෙනත් අයෙකුගෙන් ලැබෙන තොරතුරු වලට අනුව කිසියම් දෙයක් පිළිබඳව සත්‍ය දැනුමක් ඇතිකර ගත නොහැකි බව ඔහුගේ මතය විය. මේ සම්බන්ධයෙන් ලොක් දැඩි මතධාරියෙකු විය. ලොක්ගේම තර්කයට අනුව ජෝන් ලොක් නමැති දර්ශනවාදියෙක් දහහත්වන සියවසේදී ජීවත් වූ බව අපට උපකල්පනය කළ හැකි නමුත් එය සහතික ලෙසම අපට දැනගත හැකි දෙයක් නොවේ.

ඌනකාරිකයන් (reductionists) ලෙස හැඳින්වෙන තවත් වර්ගයක දාර්ශනිකයෝ මේ සම්බන්ධයෙන් සමථයකට පැමිණීම සඳහා වෙනත් යෝජනාවක් ඉදිරිපත් කළෝය. එයට අනුව අනුමානය(inference), ස්මරණය සහ ලොක්ගේ ජනප්‍රිය සාධකය වන සංජානනය (perception)වැනි නොයෙක් ආකාරයේ විචාරාත්මක හැකියාවන් අපට තිබේ. කිසියම් විස්තරයක විශ්වාසදායකත්වය සහ එය තුළ අඩංගුවන දැනුම ගැන නිගමනයකට එළඹීමට මෙකී හැකියා අපට ආධාර කරති. ඒ එළඹුමට අනුව සංජානනය බොහෝවිට ප්‍රධාන සාධකය වන නමුත් අඟහරු වෙත ගමන් නොකරම අඟහරු යනුවෙන් හැඳින්වෙන ග්‍රහයෙක් ඇත්ත වශයෙන්ම සිටින බව විශ්වාසදායකව පිළිගැනීමට සංජානනය භාවිතා නොවීම කිසිසේත් ම බාධාවක් නොවේ.

ඒ අතර ඇතැම් දර්ශනවාදීන් ලොක්ගේ අදහසට ප්‍රතිවිරුද්ධ මතයක් දරති. ඔවුන් තර්ක කරන අන්දමට කිසියම් ප්‍රපංචයක් ගැන කරන විස්තරයක් යන්නම දැනුමේ එක්තරා ස්වරූපයකි. ඒ නිසා සංජානනය වැනි අනෙකුත් සාධක වලින් තොරවම අපට දැනුම අතපත් කර ගත හැකිය. එහිදී එකම කොන්දේසිය වන්නේ එකී විස්තරය සපයන තැනැත්තා සත්‍ය ප්‍රකාශ කරන තැනැත්තෙකු විය යුතුයි.

මෙකී චින්තන සම්ප්‍රදායට අයත් මතයට අනුව විස්තරය සපයන තැනැත්තාට ඔහු ලබා දෙන දැනුම සම්බන්ධයෙන් විශ්වාසයක් ඇතිකර ගැනීමට හැකිවීම අත්‍යවශ්‍ය කොන්දේසියක් නොවේ. ඒ අනුව අසම්පූර්ණ තොරතුරු ප්‍රභවයකින් පවා අපට සත්‍ය දැනුමක් ලබා ගත හැකිය. උදාහරණයක් වශයෙන් දේවනිර්මාණවාදය අදහන ගුරුවරයෙකුට සිය සිසු දරුවන්ට විද්‍යාත්මක පරිණාම න්‍යාය කියා දීමට සිදුවිය හැකිය.

එමෙන්ම අසම්පූර්ණ තොරතුරු ප්‍රභවයක් අනෙකුත් සාධක සමග සහයෝගීව කටයුතු කිරීමට පෙළඹිය හැකිය. උදාහරණයක් ලෙස වැඩියෙන්ම විකිනෙන සංගීත තැටිය පිළිබඳ සතුටු සාමීචියක යෙදෙන කණ්ඩායමක කොටස් කරුවෙකු වීමට ඔබටත් ඔබෙ මිතුරාට හෝ මිතුරියටත් සිදුවූයේයැ’යි සිතන්න. එහිදී මයිකල් ජැක්සන්ගේ සංගීතය අඩංගු ‘ත්‍රිලර්’ නමැති ඇල්බමය මෙතෙක් වැඩියෙන්ම අලවි වී ඇති සංගීත ඇල්බමය බව අනුමාන කරන ඔබේ මිතුරා අන්තර්ජාලයට පිවිස ඒ බව තහවුරු කර ගනී. එහෙත් ලොක් එයින් සෑහීමකට පත් නොවේ. ලොක්ට අනුව අපට කිව හැක්කේ ‘ත්‍රිලර්’ යනු ලෝකයේ වැඩියෙන්ම අලවි වන සංගීත ඇල්බමය විය හැකිය යන්න පමණි.  එහෙත් ඔබේ සතුටුසාමීචියට සහභාගිවන අනෙකුත් උදවිය දැඩි ලොක්වාදීන් හෝ ඌනකරණවාදීන් (reductionists) නොවේ නම් ඔබේ මිතුරා/මිතුරිය අන්තර්ජාලයෙන් ලබාගත් තහවුරු කිරීම ප්‍රමාණවත් බව ඔවුන් විසින් අවිවාදයෙන්ම පිළිගනු ඇත.

ඇතැම් ඥානවිභාගවේදීන් කල්පනා කරන ආකාරයට ද්වීතීයික මාර්ග වලින් ලැබෙන තොරතුරු දැනුම වශයෙන් ගිනිය හැකිද හෝ අසත්‍ය විශ්වාස මත පදනම් වූ තොරතුරු අනුව අපට කිසියම් දෙයක් පිළිබඳ කවදාවත් නිසි දැනුමක් ඇතිකර ගත හැකිද යන්න ගැටළු සහගත දේවල්ය. එහෙත් එවැනි ප්‍රශ්න ඉක්මවා කල්පනා කරන තවත් චින්තන ගුරුකුලයක් හඳුන්වන්නේ සන්දර්භවාදීන් (contextualists) යන නමිනි. නමින්ම හැඳින්වෙන පරිදි මේ ගුරුකුලය අවධාරණය කරන්නේ හැම දෙයක්ම අවසානයේදී සන්දර්භය මත තීරණය විය යුතු බවයි.

ඒ අනුව දැනුම යන්නද සන්දර්භය(context) අනුව තීරණය වන්නකි. මෙය තේරුම් ගැනීමට සිය දරුවන් සමග සත්තුවත්තක් නැරඹීමට යන පියෙකු උදාහරණයකට ගනිමු. කළු සහ සුදු වයිරම් ඉරි වලින් යුත් අශ්වයකුගේ ස්වරූපයට සමාන සතෙකු පෙන්වන පියා “ළමයි! මෙහෙ බලන්න, මේ ඉන්නේ සීබ්‍රාවෙක්” යනුවෙන් කියයි. එහෙත් සීබ්‍රාවෙක් යනුවෙන් තමන් විසින් පෙන්වනු ලබන එකී සතා කලු හා සුදු වයිරම් වලින් පාට කරන ලද බූරුවෙකු නොවන්නේයැ’යි ඔහු දැන ගන්නේ කෙසේද? ඕචිත්‍ය වෛකල්පික න්‍යායය (relevant alternative theory) හෙවත් උචිත විකල්ප නියාමයට අනුව හොඳ සත්තුවත්තක සීබ්‍රාවෙකුට විකල්පයක් ලෙස පාට කරන ලද බූරුවෙකු රඳවා තබා ගැනීම උචිත දෙයක් නොවේ.  විකට ප්‍රසංගයකදී එය එසේ විය හැකි වුවත් ස්වභාවික සත්තු නැරඹීමට අවස්ථාව දීම මුල්කර ගත් සත්තු වත්තක එය සිදු නොවිය යුත්තකි. උචිත විකල්ප යනු සැම විටම සන්දර්භය අනුව තීරණය වන දේවල් මිස අත්තනෝමතිකව ආදේශ කළ හැකි ඒවා නොවේ. ඒ නිසා ස්වාභාවික සත්තු විසිය යුතු සත්තුවත්තක සීබ්‍රාවෙක් වෙනුවට කලුසුදු වයිරම් වලින් පාට කරන ලද බූරුවෙකු සිටීම සන්දර්භයට අනුචිතය.

උචිත විකල්ප නියාමය මත ගොඩ නැගුණු සන්දර්භවාදයට අනුව දැනුම යනු හැම විටම සන්දර්භය මත රඳාපවතින දෙයකි.

ඉහතකී නිර්ණායකය විවිධ අවස්ථාවලදී විවිධාකාර ලෙස ආදේශ වේ. අඩි 6.4ක් උස බාස්කට් බෝල ක්‍රීඩකයෙක් තමා පිළිබඳ මුහුණු පොතේ තබා ඇති හැඳින්වීමක ‘උස පුද්ගලයෙක්’ ලෙස සටහනක් තබනු ඇතැයි සිතමු. එහෙත් එම ක්‍රීඩකයා ගැන හැඳින්වීමක් කරන ක්‍රීඩාවිස්තර ප්‍රචාරකයෙක් ඔහු හඳුන්වන්නේ ‘ඒ තරම් උස නැති ක්‍රීඩකයෙක්’ ලෙස විය හැකිය. මෙහිදී ක්‍රීඩා විස්තර ප්‍රචාරකයා වැරදි තෙරතුරුක් ලබා දෙනවායැ’යි නිගමනය කළ නොහැක. මන්ද වෘත්තීය බාස්කට්බොල් ක්‍රීඩකයන්ගේ උස හා සන්දර්භගත කරන විට ඔහු ඒ තරම්ම උස පුද්ගලයෙක් නොවන බැවිනි.

සන්දර්භවාදය තුළ සාමාන්‍ය පුද්ගලයෙකුටද සංශයවාදියෙකුටද සහජීවනයෙන් කටයුතු කිරීමට ඇති තරම් ඉඩ තිබේ. උදාහරණයක් ලෙස  “මම පාවහන් පැළඳ නොසිටින බව දනිමි” යනුවෙන් සාමාන්‍ය පුද්ගලයෙක් පවසන විට “මම පාවහන් පැළඳ සිටින හෝ නොසිටින බවක් මා දන්නේ කෙසේද? මා පවහන් පැළඳ නැති බවක් මට දැන් දැනෙන්නේ මනෝ භ්‍රාන්තියක් නිසා විය හැකිය” යනුවෙන් සංශයවාදියෙකුට පැවසිය හැකිය. මෙහිදී සාමාන්‍ය පුද්ගලයා මෙන්ම සංශයවාදියාද නිවැරදි බවත් ඒ දෙදෙනාම දැනගැනීම පිළිබඳ සංකල්පය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් නිර්ණායක ආදේශකර ඇති බව සන්දර්භවාදියා පවසනු ඇත.

එහෙත් සන්දර්භවාදීන්ට පවා හැම කෙනකුම සතුටට පත්කළ නොහැකිය. ඇතැම් චින්තකයන් කල්පනා කරන අන්දමට දැනුම යනු සාපේක්ෂව බැලූ විට තිරසාර දෙයකි. ඉන් අදහස් වන්නේ සත්‍ය යන්න පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ අවස්තාවෙන් අවස්ථාවට වෙනස් නොවිය යුතු බවයි.

මෙතෙක් අප සාකච්ඡාවට භාජනය නොකළ දැනුම ලබා ගත හැකි තවත් ක්‍රමයක්ද වෙයි. නොදැනුවවත්වම වුවද ඔබ වැඩි වශයෙන් යෙදාගන්නේ එම ක්‍රමයයි. එය හැඳින්වෙන්නේ අනතර්ඥානය (intuition) යන නමිනි.

උදාහරණයක් වශෙන් ඔබේ මිතුරෙකු වන නිමල් “මට අලුත් තනතුරුක් ලැබෙන්නයි යන්නේ” යනුවෙන් ඔබට පැවසුව හොත් ඔබ එම තොරතුරු තවත් කෙනෙකුට වාර්තා කරන්නේ නිමල්ට අලුත් තනතුරක් ලැබෙන බව නිමල් දන්නවා” යනුවෙන් විය හැකියි. ඉන් ටික වෙලාවකට පසු “නිමල්ට අලුත් තනතුර ලැබෙන බව නිමල් හිතනවා” යනුවෙන් ද ඔබ අතින් කියැවෙන්නට පුළුවන.  මෙහිදී දන්නවා හා හිතනවා යන ක්‍රියා පද දෙකෙන් කිනම් ක්‍රියාපදයක් භාවිතා කළ යුතුද යන්න ගැන වද වීමට ඔබට අවශ්‍ය නොවේ. මන්ද අනෙක් තැනැත්තා දන්නේ කුමක්ද, අනියත කුමක් ගැනද සහ නොදන්නේ කුමක්ද යන්න අන්තර්ඥානයෙන් උපවිඥානිකවම දැනගැනීමට අපට හැකි බැවිනි.

අපේ අන්තර්ඥානය තුලින් අපට අත්පත්කර ගත හැකි එක් විශිෂ්ට හැකියාවක් වන්නේ අනුන්ගේ සිත් කියවීමේ හැකියාවයි. එහෙත් ඉන් අදහස් වන්නේ ඉන්ද්‍රජාලිකයෙකුගේ ඇස්බැන්දුමක් වැනි දෙයක් නොවේ. අපට අනෙකා සිතන දෙය වචනයක් වචනයක් පාසා කියවිය නොහැකිය. කෙසේ වෙතත් ඥානවිභාගාත්මකව බැලූ විට සිත් කියවීම යන්නෙන් අදහස් වන්නේ අනෙක් තැනැත්තා කල්පනා කරන ආකාරය අනුමාන කිරීමට හෙවත් අන්තර්ඥානයෙන් වටහා ගැනීමට අපට ඇති හැකියාවයි. අනෙකා දන්නේ මොනවාද යන්න උපවිඥානිකව අනුමාන කිරීමට අපට හැකිය.

මේ අංශයෙන් බැලූ විට අපද අනෙකුත් සතුන් වැනිය. උදාහරණයක් ලෙස තමන් විසින් කිසියම් ආහාර කොටසක් සඟවා තැබූ බව රැළේ සිටින තවත් චිමිපන්සියෙක් දන්නේද නැද්ද යන්න දැන ගැනීමට අන්තර්ඥානයෙන් අන්සිත් කියවීම චිම්පන්සියන් ද යොදා ගනිති. එසේ තම සගයන්ට දැනුමක් ඇද්ද නැද්ද යන වග චිම්පන්සියෙකුට අන්තර්ඥානයෙන් දැනගත හැකි වුවද අනෙකාට දැනුමක් නැතිකම තමන්ට අවශ්‍ය අන්දමට මෙහෙයවා ගැනීමේ හැකියාව බොහෝවිට ඇත්තේ මනුෂ්‍යයන්ට පමණි. අප එය කරන්නේ කපටිකම්, නොමග යවන විහිළු වැනි දෑ මගිනි. විනිවිද නොපෙනෙන රට කජු මල්ලක් තුළ රබර් සර්පයෙකු දමා ඒ බව නොදන්නා මිතුරෙකුට මල්ල දෙන විට අප කරන්නේ රටකජු මල්ල තුළ ඇති දේගැන මිතුරාගේ නොදැනුවත්කම උපයෝගී කරගෙන ඔහු නොමග යැවීමයි.

අන්තර්ඥානය මගින් දැනුම ඇතිකර ගැනීමේ අපේ මේ හැකියාව සිත්ගන්නා දෙයක් වන නමුත් එයටද ආවේනික වූ සීමාවන් ඇත්තේය. බොහෝවිට අපට එකවරකට කියැවිය හැක්කේ අන්සිත් දෙක තුනක් පමණක් විය හැකිය. උදාහරණයක් වශයෙන් තමා බොරුවක් කිවූ බව ජෝන් දන්නේයැ’යි ජේන් හිතන බව අපට අන්තර්ඥානයෙන් තේරුම් ගැනීමට හැකිය. එපමණක් නොව ජේන් බොරුකිවූ බව ජෝන් දන්නේයැ’යි ජේන් හිතන බව ජෝන්ද දන්නා බවද අපට එසේම අන්තර්ඥානයෙන් වටහා ගත හැකිය. එහෙත් එකවර එවැනි අන්සිත්කියැවීම් පහක් හෝ ඊට වඩා කරන්නට සිදුවුවහොත් අප එයට අසමත් බව පෙනීයයි.

අප සියල්ලෝම බෙහෝවිට කිසියම් මමංකාර අහංකාරයකින් මෙහෙයවෙන හෙවත් අහංකේන්ද්‍රීය (egocentric) සත්වයෝය. කිසියම් කෙනෙකු දන්නාදෙයක් අන්තර්ඥානය මගින් දැනගැනීමට තැත් කිරීමෙදී ඒ සාධකය සූත්‍රගත කරගැනීම අපට අපහසු දෙයකි. එය පැහැදිලි වන එක් අවස්තාවක් වන්නේ කොටස් වෙළඳ පොළේ කොටස් සඳහා තරඟ කරන ආයෝජකයන් දෙදෙනෙක් අතුරින් එක් අයෙක් විකුණන කොටස් වලට අදාළ අභ්‍යන්තර තොරතුරු දන්නා විට ඔහුට සිය තරඟකාරී ආයෝජකයා හැසිරෙන්නේ කෙස්ද යන්න පුරෝකථනය කරගැනීම අපහසු වන විටයි. එවිට අභ්‍යන්තර තොරතුරු දන්නා ආයෝජකයාට සිදුවන්නේ සිය තරඟකරුගේ දැනුමෙන් අරකී අභයන්තර දැනුම අඩුකර ගැනීමට තැත්කිරීමයි.

එවැනි සීමාකම් තිබුණද දැනුම අප සම්බන්ධ කරන ආකාරය මෙන්ම දැනුම නිසා අප සම්බන්ධවෙන ආකාරය ද අපේ අන්තර්ඥානය මගින් පෙන්වා දෙයි.  දැනුම යනු කවරක්ද යන්න ගැන ඥානවිබාගවේදින් තවමත් විමසමින් සිටිති. එහෙත් දැනුම යනු අපට අන්තර්ග්‍රහණය වූ, අපේ සම්බන්ධතාවයන් මත යැපෙන සහ ලෝකය පිළිබඳ අපේ වැටහීම ළඟාකරදෙන දෙයක් බව නිසැකය.

‘දැනුම’ යනු බෙහෙවින් ලුහුටායනසුලු සංකල්පයකි. දැනුම සංයුක්ත වන්නේ කුමකින්ද දැනුම අත්පත් කරගන්නේ කෙසේද යන්න ගැන විශේෂඥයින්ට පවා එකඟවීමට අපහසු වී තිබේ. එසේ වෙතත් අප දන්නා දේවල් අප දැනගන්නේ කෙස්ද යන්න ප්‍රශ්නකර බැලීමත්, අප දනී යයි අප සිතන දෙවල් ඇත්තටම අප දන්නේදැයි විමසා බැලීමත් අපට ලැබෙන තොරතුරු, අප විශ්වාස කරන දේවල් සහ අප සහජයෙන් මෙන් දන්නවායැයි සිතෙන දේවල් විචාරාත්මකව හොඳින් මැන බැලීමට අප උනන්දු කරවයි.

මෙම ලිපිය සැකසීමේදී  Duncan Pritchard ගේ What is this thing called Knowledge? සහ

Jennifer Nagel ගේ Knowledge A very short introduction පොත් බෙහෙවින් ප්‍රයෝජනවත් විය

19 දෙසැ 2020

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: