මානව හිමිකම් – නියත විවරණය

1.        

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍ර‍කාශනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුමැතිය ලැබීම මානව අයිතිවාසිකම් ඉතිහාසයේ නව මංසලකුණක් විය. මනුෂ්‍යාගේ අභිමානය අවධාරණය කරමින් සහෘදත්වය සහ නිදහස එකිනෙකට යාකරමින් ඉදිරි දක්නා නුවනින් සම්පාදනය වූ  මේ මහඟු ලේඛනය දෙවැනි ලෝක මහා යුද්ධයෙන් අනතුරුව බිහිවූ වැදගත් ජාත්‍යන්තර සම්මුති කිහිපයකම පුරෝගාමි පදනම වීය. රෙනෙ කාසන් විශ්ව ප්‍ර‍කාශනය කුළුණු හතරකින් සුසැදි සුවිසල් වාහල්කඩකට සම කළේය. පූර්විකාවට අයත් ප්‍රතාපවත් සප්ත දර්ශකයන් වාහල් කඩේ සත් පියගැට පෙළ ලෙසත් පළමුවෙනි හා දෙවැනි වගන්ති වලින් කියැවෙන අභිමානය, නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය යන පොදු මූලධර්ම හතර එම වාහල් කඩේ අත්තිවාරම් ගල් බවත් විශ්ව ප්‍රකාශනයේ සඳහන් චතුර්වාර්ගික අයිතීන් වාහල්කඩේ සතර කුළුණු වශයෙන් සැලකිය හැකි බවත් කාසන් විස්තර කළේය. චතුර් වාර්ගික අයිතීන් වශයෙන් ඔහු සඳහන් කලේ තුන්වැනි වගන්තියේ සිට එකොලොස්වැනි වගන්තිය දක්වා වගන්ති වලින් විස්තර කළ පුද්ගලයෙකු වශයෙන් මනුෂ්‍යා සතු අයිතීන්,  12 වැන්නේ සිට 17 වැන්න දක්වා වු වගන්තිවලින් කියැවෙන පුද්ගලයා හා අන්‍යන් අතර සම්බන්ධතාව පිළිබඳ අයිතීන්ද, 18 සිට21 දක්වා වු වගන්ති වලින් කියැවෙන අධ්‍යාත්මික, ලෞකික හා දේශපාලන අයිතීන්, 22 සිට 27 දක්වා වු වගන්තිවල සඳහන් වන ආර්ථික සමාජයීය හා සාංස්කෘතික අයිතීනුත්ය. කාසන්ට අනුව වාහල්කඩේ ශිඛරය ලෙස සැලකුනේ 28 සිට 30 දක්වා වගන්තිවලින් කියැවුනු පරිදි  පුද්ගලයා සමාජය හා යාකරන යුතුකම්, අයිතීන් පීළිබඳ සීමාවන් හා අයිතීන් සාක්ෂාත් කිරීමට අවශ්‍ය සමාජ දේශපාලනික තත්ව විස්තර කරන කොටසය.

මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍ර‍කාශනය කාසන් අදහස් කළ ආකාරයට කියැවීම එහි වගන්ති අතර ඇති අන්තර් සම්බන්ධතාවයත් සමස්ත ප්‍ර‍කාශනයේ විශ්ව සාධාරණත්වයත් තේරුම් ගැනීමේ කදිම විධික්‍ර‍මයකි. විශ්ව ප්‍රකාශනයේ පූර්විකාව අනතුරුව එන නිවේදනය හා පළමුවෙනි දෙවැනි වගන්ති දෙක ප්‍රකාශනයේ සමස්ත පරිශ්‍රය, අභිප්‍රාය හා සිද්ධාන්ත ඉදිරිපත් කරන හැඳින්වීමකි. එය‘පොදු ප්‍රස්තාවනාව’ ලෙස සැලකිය හැකියැයි කාසන් පැවසීය. මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ  එන එම ප්‍ර‍ස්තාවනාව මෙසේය.

පූර්විකාව

සමස්ත ලෝකය තුළ නිදහස, යුක්තිය හා සාමය සඳහා පදනම වන්නේ, මිනිස් පවුලේ හැම සාමාජිකයෙකුම සතු සහජ අභිමානය හා  අහිමි කළ නොහැකි සමාන අයිතිවාසිකම් බව ප්‍රත්‍යක්ෂ වීමත්;

මානව අයිතිවාසිකම් නොතැකීම හා අවඥාවට ලක් කිරීමේ ප්‍රතිඵල වශයෙන් මනුෂ්‍ය සංහතියේ හෘද සාක්ෂියට දරාගත නොහැකිවූ ම්ලේච්ඡ ක්‍රියාවන් ඇතිවීමත්

භාෂණයේ හා ඇදහීමේ නිදහසද බියෙන් හා අඟහිඟයෙන් තොරව ජීවත් වීමේ නිදහසද භුක්ති විඳිය හැකි ලෝකයක් බිහි කිරීම පොදු ජනතාවගේ උතුම් අපේක්ෂාව වශයෙන් ප්‍රකාශ කිරීමත්;

අදමිටු පාලනයන්ට හා ප්‍රජා පරිපීඩනයන්ට එරෙහිව අවසාන විසඳුම වශයෙන් කැරලි කෝලාහල ඇතිකිරීමට මිනිසා පෙලඹවීමෙන් වැළැක්වීම පිණිස නීතිය මගින් මානව අයිතිවාසිකම් ආරක්ෂා කරදීම අත්‍යවශ්‍ය වීමත්;

ජාතීන් අතර මිතුරු සබඳතා වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය වීමත්;

මූලික මිනිස් අයිතිවාසිකම්, මනුෂ්‍යාගේ අභිමානය සහ මනුෂ්‍යභාවයේ වටිනාකම සහ, ස්ත්‍රීන් හා පුරුෂයන් විසින් සම අයිතිවාසිකම් දැරීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මගින් යළි තහවුරු කරමින්, සමාජ ප්‍රගතිය හා පෘථුල නිදහස සඳහා යහපත් ජීවන තත්වයන් වර්ධනය කිරීමට එක්සත් ජාතීන්ට අයත් ජනතාව අධිෂ්ඨාන කර ඇති නිසාත්;

මානව අයිතිවාසිකම්  සහ මූලික නිදහස විශ්ව සාධාරණ ලෙස ගරුකිරීම හා පිළිපැදීම ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සහයෝගය ඇතිව කටයුතු කිරීමට එහි සාමාජික රටවල් ප්‍රතිඥා දී ඇති නිසාත්;

ඒ ප්‍රතිඥාව පරිපූර්ණව සාක්ෂාත් කර ගැනීම පිණිස මෙම අයිතිවාසිකම් සහ නිදහස පිළිබඳ පොදු අවබෝධය ඇති කරගැනීම අතිශයින්ම වැදගත් වන නිසාත්;

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මෙසේ ප්‍රකාශ කර සිටී;

සෑම පුද්ගලයෙකු සහ ජන සමාජයේ සෑම අංගයක් විසින්ම  මානව අයිතිවාසිකම් පිළිබඳ මෙම විශ්ව ප්‍ර‍කාශනය සියළු ජනතාවන් සහ සියළු ජාතීන් විසින් සාක්ෂාත් තරගත යුතු පොදු ප්‍රමිතීන් ලෙස සලකමින්, ඒවා නිරන්තරයෙන් සිහියේ තබාගනිමින් මෙහි සඳහන් අයිතීන්ට සහ නිදහසට ගරු කිරීම අධ්‍යාපනයෙන් හා ශික්ෂණයෙන් ප්‍රවර්ධනය කිරීමටත්, සාමාජික රටවල මෙන්ම සාමාජික රටවල අණසකට අයත්වන දේශයන්හි වෙසෙන ජනතාව සඳහා එම අයිතීන් සහ නිදහස, ජාතික මෙන්ම ජාත්‍යන්තර මටටම් වලදීද ඵලදායී ලෙස විශ්ව සාධාරණව පිළිගැනීම හා පිළිපැදීම සාක්ෂාත් කරගැනීමටත් කටයුතු කළයුතුවේ.

මනුෂ්‍යාගේ අභිමානය බෙහෙවින්  අවධාරණය කළ විශ්ව ප්‍රකාශනයේ ඉහතකී ප්‍රස්තාවනාව හා නිවේදනය දෙවැනි ලෝක මහා යුද්ධයෙන් අනතුරුව පිහිටවු බොහෝ ආණ්ඩුක්‍රම ව්‍යස්ථා ලේඛනයන් මනුෂ්‍ය අභිමානය පෙරදැරි කොට සැකසීමට සැලකිය යුතු බල පෑමක් කළේය. උදාහරණයක් වශයෙන් ගත හොත් 1949 දී හඳුන්වා දුන් ජර්මනියේ මූලික නීතියේ පළමුවෙනි වගන්තිය වූ “මිනිසාගේ අභිමානය අනුල්ලංඝනීයවේ. එයට ගරු කිරීමත් එය ආරක්ෂා කිරීමත් රජයේ සියළුම අධිකාරයන්ගේ වගකීම වේ” යන්න මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍ර‍කාශනය මගින් තහවුරු කළ මිනිසාගේ අභිමානය පිළිබඳ සංකල්පය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් ඇති කළ සෘජු බල පෑම පිළිබඳ හොඳ උදාහරණයකි.

විශ්ව ප්‍රකාශනයේ පූර්විකාව ඇරඹෙන්නේ නිදහස, යුක්තිය හා සාමය අතර ඇති අන්තර් සම්බන්ධතාව සඳහන් කරමින් ඒ තුනම සාක්ෂාත් කරගත හැක්කේ මනුෂ්‍යාගේ අභිමානයට ගරුකිරීමෙන්  හා මිනිස් අයිතිවාසිකම් පිළිපැදීමෙන් බව කියමිනි. මානව අයිතිවාසිකම්වල විශ්ව සාධාරණත්වය හා ඒවා මිනිස් පවුලේ සෑම කෙනෙකුටම අයිති බව සඳහන් කිරීම රජය හා රට වැසියා අතර ඇති සම්බන්ධය එක් එක් සෛවරී රාජ්‍යයේ හිතුමනාපය අනුව සිදුවන්නකි යන චිරාගත පිළිගැනීම අභියෝගයට ලක් කළේය.පූර්විකාවේ ගම්‍යවන තවත් අතිශයින් වැදගත් කරුණක් නම් රජයක් විසින් නීත්‍යානුකූලව ප්‍රදානයකරන ලද අයිතියක් හැරෙන්නට වෙනත් කිසිදු අයිතියකට හිමිකම් කීමට කෙනෙකුට නොහැකිය යන රාජ්‍ය කේන්ද්‍රිය මතය මෙහිදී ප්‍රතික්ෂේප වීමයි. මානව අයිතිවාසිකම් කිසිවෙකු විසින් ප්‍රදානය කරන ඒවා නොවේ ඒවා මනුෂ්‍යයෙකු වීම නිසා සහජයෙන්ම හිමිවීම ප්‍රත්‍යක්ෂයක් බව පූර්විකාව කියයි. නාසිවාදී ජර්මන් රජය තම රටේ ඇතැම් රටවැසි කොටස් වලට අඩු සැලකිලි දැක්වීමට නීති සම්පාදනය කළ අවධියේ රාජ්‍ය කේන්ද්‍රිය නීති සම්පාදනය නියාමනය කළ හැකි අන්තර් ජාතික ප්‍රමිතියක් නොවීය. මනුෂ්‍යාගේ මූලික අයිතීන් කිසියම් රජයක් විසින් ප්‍රදානය කරනු ලැබු ඒවා නොව සහජයෙන්ම ප්‍රත්‍යක්ෂ වු ඒවා බව පෙන්වා දීමෙන් විශ්ව ප්‍ර‍කාශනය රාජ්‍ය කේන්ද්‍රීය නීති සම්පාදනයේ පවා ප්‍රමිති තීරකයා වෙයි.

පූර්විකාවේ දෙවැනි වැකියෙන් විස්තර කරන්නේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් විශ්ව සාධාරණ ප්‍රමිති අවශ්‍ය වන්නේ මන්ද යන කරුණයි.මානව අයිතිවාසිකම් නොතැකීම හා අවඥාවට ලක් කිරීමේ ප්‍රතිඵල වශයෙන් මනුෂ්‍ය සංහතියේ හෘද සාක්ෂියට දරාගත නොහැකිවූ ම්ලේච්ඡ ක්‍රියාවන් ඇතිවීමත්……යනුවෙන් ඇති කොටසට පාදක වූ, කාසන් යෝජනා කළ මුල් වැකියේ “පළමුවැනි හා දෙවැනි ලෝක යුද්ධ වලදී අත්දුටු ම්ලේච්ඡ ක්‍රියා” යනුවෙන් සඳහන්ව තිබුනද විශ්ව ප්‍ර‍කාශනය අතීතයේ සිදුවූ සිද්ධින්ට හුදු ප්‍රතිචාරයක් දැක්වීමක් ලෙස නොසැලකිය යුතුයැයි අදහස් කළ තුන්වැනි කාරක සභාව ලෝක යුද්ධයන් පිළිබඳ එම සඳහන ඉවත් කිරීමට ඒකමතිකව තීරණයේ කළේය. මේ තීරණය අනුමත කරමින් “අතීත ක්‍රියාවක් සම්බන්ධයෙන් හුදු නොමනාපය පළ කිරීමේ ලියවිල්ලක තත්වයට විශ්ව ප්‍ර‍කාශනය පහත හෙලීමට එක්සත් ජාතීන් එකඟ නොවීය” යනුවෙන් පසුකලෙක කාසන් සඳහන් කළේය. කිනම් ආකාරයක ලෝකයක් ගොඩනැගීම මනුෂ්‍යයන්ගේ අභිලාෂය වේද යන්න සඳහන් කරන දෙවැනි වැකිය එය භාෂණයේ හා ඇදහීමේ නිදහසද  බියෙන් හා අඟහිඟකම් වලින් තොරවීමේ නිදහසද බුක්ති වීඳිය හැකි ලෝකයක් විය යුතු බව පවසයි.

පූර්විකාවේ තුන්වැනි වැකිය නීතියේ සර්ව සාධාරණ ආධිපත්‍යට මුල්තැන දෙමින් ප්‍රජාපීඩක පාලනයන්ට එරෙහිව කැරලි ගැසීමෙන් මිනිසුන් වැළැක්වීම කළ හැක්කේ මූලික මිනිස් අයිතිවාසිකම් ගරු කිරීමෙන් හා පිළිපැදීමෙන් පමණක් බව පවසයි. එය නිදහස පිළිබඳ අමෙරිකානු ප්‍රකාශනයේ සඳහන් “ප්‍රජාපීඩනයට එරෙහිව කැරලි ගැසීමට ජනතාවට අයිතිය ඇත්තේය” යන සඳහන සිහිගන්වයි. එහෙත් විශ්ව ප්‍ර‍කාශනය එය සෘජු ලෙස නොකියා  ඒ වෙනුවට මානව අයිතිවාසිකම් නොසැලකීම  පාලකයන්ට විපාක ගෙන එන බව කියා සිටී. හම්ප්‍රි හා කාසන්ගේ මුල් කෙටුම්පත් වල ප්‍රජා පීඩක පාලනයන්ට එරෙහිව කැරලි ගැසීම අයිතියක් වශයෙන් සඳහන් කර තිබූ නමුදු සටන්කාමී විසඳුම් වෙනුවට විශ්ව ප්‍ර‍කාශනය මගින් ප්‍රවර්ධනය කළ යුත්තේ සාමකාමී අදහස් යැයි අදහස් කළ මානව අයිතිවාසිකම් කොමිසම ප්‍රජා පරිපීඩනයට එරෙහිව කැරලි නොගැසීමට නම් මානව අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයැයි පැවසීම වඩා හොඳ බව තීරණය කළේය.

හතරවැනි හා පස්වැනි වැකි මගින් විශ්ව ප්‍ර‍කාශනය තිරසාර ලෙස එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය තුළ ස්ථාපනය කරන අතර ස්ත්‍රීන්ට සම තැන ලැබිය යුතු බව අවධාරණය කරයි. එමගින් පිළිඹිබු වන්නේ දහඅටවන සිය වසේ  “මිනිසාගේ අයිතිය” යනුවෙන් පුරුෂවාචීව ගැණුණු  අයිතීන් ඉක්මවා යන විභේදන විරහිත මානව අයිතීන් පිළිබඳ නව යුගයක ආරම්භයයි. 

පූර්විකාව අවසන් වන්නේ ලේඛනයේ ස්වභාවය මනාව පැහැදිලි කරන නිවේදනයකිනි. ඒ අනුව විශ්ව ප්‍ර‍කාශනය නෛතික ගිවිසුමක් නොවේ. ප්‍ර‍කාශනය මගින් හඳුන්වා දී ඇත්තේ  “සියළු ජනතාවන් හා ජාතීන් විසින් සාක්ෂාත් කරගත යුතු පොදු ප්‍රමීතීන්”ය.  එම ප්‍රමිති ජනතාවන් හා ජාතීන්ගේ  කල්ක්‍රියාවන් පිළිබඳ මිණුම් දඬු වශයෙන් සැලකිය යුතු අතර සෑම පුද්ගලයෙකු මෙන්ම සෑම සමාජ සංස්ථාවක්ම එම ප්‍රමිතීන් ආදේශ කිරීමට කැපවී පරිශ්‍රම දැරිය යුතුය. 

මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍ර‍කාශනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ ආකාරයේ ලියවිලි අතරෙන් පළමුවැන්න වෙයි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයේ කාර්ය පටිපාටිය අනුව අනතර්-රාජ්‍යත්‍රාන්තික කටයුතුවලදී “ප්‍ර‍කාශනය” (Declaration) යන වර්ගයට වැටෙන ලියවිලි හඳුන්වා දී ඇත්තේ ‘දීර්ඝ කාලීන බලපෑමක් ඇති  මූලධර්ම වල විශිෂ්ඨත්වය උදාර ලෙස නිරූපණය කරන විධිමත් ලේඛනයක්’ යනුවෙනි.  විශ්ව ප්‍ර‍කාශනය නෛතික බැඳීමක් අපේක්ෂා කළ ලේඛනයක් නොවූවද එහි අඩංගු බොහෝ අයිතීන් 1948 සිටම ඇතැම් රටවල නීතිපද්ධතියට එකතුකරගනු ලැබීම නිසා ප්‍ර‍කාශනයේ සඳහන් මූලික වගන්ති  සිරිත්-බැඳි අන්තර්ජාතීය නීතියේ (customary international law)කොටසක් වශයෙන් සැලකේ.

පූර්විකාවට අනතුරුව එන විශ්ව ප්‍රකාශනයේ අන්තර්ගතය ඇරඹෙන්නේ අයිතීවාසිකම් වලින් නොව පූර්විකාව හා එක්ව කියවූ විට මුළු ප්‍රකාශනයේම සමුදාර්ථය කුළු ගන්වන වගන්ති දෙකකිනි.

1 වන වගන්තිය:

 සියළු මනුෂ්‍යයෝ නිදහස්ව උපත ලබා ඇත්තෝය. අභිමානයෙන් හා අයිතිවාසිකම්වලින් එක සමාන වන්නෝය. යුතු අයුතුකම් පිළිබඳ හැඟීමෙන් හා හෘද සාක්ෂියෙන් සම්පන්න වූවෝය. මනුෂ්‍යයෝ ඔවුනොවූන්ට සැලකිය යුත්තේ සහෝදරාත්මක ජීව ගුණයෙනි.

2 වන වගන්තිය

  1. මෙම ප්‍රකාශනයේ හුවා දක්වා ඇති සියළුම අයිතීන් සහ නන්වැදෑරුම් නිදහස ජාති, වර්ණ, ලිංග භේදය, භාෂාව, ආගම, දේශපාලන හෝ අනෙකුත් මති මතාන්තර, ජාතිකත්වය හා සමාජ ප්‍රභවය, දේපළ අයිතිය, උත්පත්තිය හෝ විවිධ තරාතිරම් ආදි කවර අන්දමක හෝ විශේෂත්වයකින් තොරව සෑම පුද්ගලයෙකුටම සමානව උරුම වන්නේය.
  2. තවද යම් රටක් හෝ දේශයක් ස්වාධීනද, නැත්ද, භාරකාරත්වයක් යටතේ පවතීද හෝ සෛවරීයත්වය පිළිබඳ වෙනත් සීමාවන්ට යටත් වන්නේද යන්න නොතකා එහි දේශපාලනික, නෛතික හා ජාත්‍යන්තර තත්ත්වය පිළිබඳ විශේෂත්වයක් නොමැතිව ඒ රටට හෝ දේශයට අයත් සියලුදෙනාටම මෙම හිමිකම් සතුවන්නේය.

මානව අයිතීන් වල සීමා හා සබැ‍ඳෙන යුතුකම් පිළිබඳ සටහනක් මෙම වගන්ති වලට ඇතුළත් විය යුතුයැයි කාසන් අදහස් කළද අයීතීන් පිළිබඳ  සීමා සඳහන් වියයුත්තේ එකී අයිතීන් විස්තර කිරීමෙන් අනතුරුව බව කොමිසම තීරණය කළේය. දෙවැනි වගන්තියේ සඳහන් වන පරිදි මානව අයිතිවාසිකම් යටත් විජිත වල වෙසෙන අයටත් අන් අය හා සමව ආදේශවන බව සඳහන් වීම යටත් විජිත හිමි ඇතැම් රටවල මනාපයට හේතු නොවීය.

විශ්ව ප්‍රකාශනයේ 3 වැනි වගන්තියේ සිට 11 වැනි වගන්තිය දක්වා සඳහන්ව ඇති අයිතීන් පුද්ගල අයිතිවාසිකම් වශයෙන් සැලකේ. බොහෝ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් මෙකී අයිතීන් අඩු වැඩි වශයෙන් පිළිගෙන ඇත. ජීවිතයට, නිදහසට හා ජිවිතාරක්ෂාවට ඇති අයිතිය, වධ හිංසනය සහ වහල්භාවයෙන් මිදී සිටීම, නීතිය හමුවේ පුද්ගලයෙකු වශයෙන් සැලකුම් ලැබීම, නීතිය ඉදිරියේ සමානව සැලැකුම් ලැබීම, මූලික අයිතීන් උල්ලංඝනය වන විට ඵලදායක විසඳුම් ලැබීම, අතතනෝමතික අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබා ගැනීම් වලට බඳුන් නොවීම, අපරාධ යුක්ති විනිශ්චයේදී සර්ව සාධාරණ සැලකුම් ලැබීම, වැරදිකරුයැයි ඔප්පුවනතෙක් නිර්දෝෂියෙකු වශයෙන් සැලකුම් ලැබීම, අපරාධ නීති පෙරදාතම් නොකිරීම ආදී මේ අයතීන් පහත දැක්වෙන වගන්ති වලින් විශදව කියැවේ.

3 වැනි වගන්තිය:

සෑම පුද්ගලයෙකුටම සිය ජීවිතයට, නිදහසට හා ජීවිතාරක්ෂාවට අයිතිය ඇත්තේය.

4 වන වගන්තිය:

කිසිම පුද්ගලයෙකු වහල් හෝ දාස බන්ධනයේ තබා නොගත යුතුය. සෑම ආකාරයකම වහල්කම සහ වහල් වෙළඳාම තහනම් වන්නේය.

5 වන වගන්තිය

කිසිම පුද්ගලයෙකු වධ හිංසාවට, කෲර, අමානුෂික හෝ අවමානශීලි දඬුවමකට භාජනය නොකළ යුත්තේය.

6. වන වගන්තිය:

හැමතැනකදීම නීතිය ඉදිරියේ පුද්ගලයෙකු වශයෙන් පිළිගැනීමට ලක්වීමේ අයිතිය සෑම කෙනෙකුම සතුය.

7 වන වගන්තිය:

නීතිය ඉදිරියේ සියල්ලෝම එක සමාන වන අතර කිසිදු අඩුසැලකිල්ලකින් තොරව නීතියේ ආරක්ෂාව ලැබීමට සියළුදෙනාටම හිමිකම ඇත්තේය. මානව අයිතිවාසිකම් පීළිබඳ මෙම විශ්ව ප්‍ර‍කාශනයට පටහැනිවන ඕනෑම අසාධාරණයකින් මෙන්ම එවැනි අසාධාරණයන්ට පෙළඹවීමට එරෙහිව ආරක්ෂාවීමටත් සියළුදෙනාටම අයිතිය ඇත්තේය.

8 වන වගන්තිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ නීතියෙන් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමකදී උචිත ජාතික අධිකරණයක් මගින් ඵලදායී ප්‍රතිකර්ම යොදා ගැනීමේ හිමිකම සෑම පුද්ගලයෙකුම සතුවේ.

9 වන වගන්තිය:

කිසිම පුද්ගලයෙකු අත්තනෝමතික ලෙස අත් අඩංගුවට ගැනීමට, බලහත්කාරයෙන් රඳවා තබාගැනීමට හෝ පිටුවහල් කිරීමට භාජනය නොකළ යුතුය.

10. වන වගන්තිය

තම අයිතිවාසිකම් සහ බැඳීම් සම්බන්ධව හෝ තමන්ට එරෙහිව ඇති අපරාධ චෝදනා පිළිබඳ ව ස්වාධීන හා අපක්ෂපාත විනිශ්චයකට සාධාරණ ලෙස හා වීවෘතව පාත්‍රවීමේ අයිතිය හැම පුද්ගලයෙකුටම සර්ව සමව හිමිය.

11 වන වගන්තිය:

  1. දණ්ඩණීය වරදකට චෝදනා ලැබ සිටින සෑම පුදගලයෙකුටම තම නිදහසට කරුණු දක්වා සිටීම සඳහා උචිත සියළු අවශ්‍යතා සැලසිය හැකි ප්‍රසිද්ධ නඩු විභාගයකදී නීතියට අනුව වරදකරුවෙකු යැයි ඔප්පුවන තෙක්ම නිර්දෝෂියෙකු ලෙස සැලකුම් ලැබීමේ අයිතිය ඇත්තේය.
  2. යම් ක්‍රියාවක් කිරීම හෝ නොකිරීම තත්කාලීන ජාතික හෝ ජාත්‍යන්තර නීතියේ දණ්ඩනීය වරදක් ලෙස නොසැලකෙන්නේනම් එම ක්‍රියාව කිරීම හෝ නොකිරීම දණ්ඩනීය වරදක්සේ පෙරදාතම් කොට සලකා යමෙකු වරදකරුවෙකු නොකළ යුතුය. එමෙන්ම යම් දණ්ඩනීය වරදක් සිදු කළ කාලයවන විට ඒ සම්බන්ධයෙන් වලංගුව පැවැති දඬුවමකට වඩා වැඩි දඬුවමකට කිසිවෙකු භාජනය නොකළ යුත්තේය.

ඉහතකී වගන්ති වලින් කියැවෙන්නේ ආක්‍රමණශීලී තත්වයන්ගෙන් ආරක්ෂා වීමට හා සර්ව සාධාරණ ක්‍රියා පිළිවෙත් ඉල්ලා සිටීමට පුද්ගලයෙකු වශයෙන් මනුෂ්‍යාට ඇති අයිතියයි. මේ අයිතීන් උල්ලංඝනය කිරීම ලෝකයේ බොහෝ මානව අයිතිවාසිකම් පිළිබඳ ආරවුල් වලට හේතුවී තිබේ. මෙකී බොහෝ අයිතීන් පූර්වගාමී ලෙස ඇතැම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් වල සඳහන්ව තිබු බැවින් එම වගන්ති එකොළහම විවාදයකින් තොරවම සියල්ලන්ගේ එකඟත්වයෙන් මහා මණ්ඩලයේදී සම්මත විය. අනෙක් අතට ‍මෙම අයිතීන් එමගින් ඍජුව දැක්වෙන තේරුම හැර ඒ ඒ රටවලට අවශ්‍ය පරිදි වෙනස් අර්ථ කථනයන් දීමට අසීරු මානව හිමිකම් වශයෙන් සැලකේ

      ඉහත කී එකොළොස් වන වගන්තියේ දෙවැනි ඡෙදයේ සඳහන් පෙරදාතම් කොට දඬුවම් නියම කිරීමෙන් වැළැක්වීමේ අයිතිය මානව අයිතිවාසිකම් කොමිසමේ සාකච්ඡාවලදී තරමක මතගැටුම් වලට මුහුණ දුන්නේය. මන්ද නාසි නායකයන්ට එරෙහිව පැවැති නියුරම්බර්ග් නඩු විභාගය එතෙක් අන්තර්ජාතික නීතිය මගින් නිර්ණය කර නොතිබූ දණ්ඩනීය වරදක් පෙරදාතම් කිරීමට කළ වෑයමක් ලෙස හැඳින්වීමට ඉඩ තිබේ යැයි ඇතැමුන් සැලකු බැවිනි. එහෙත් 1946 දී නියුරම්බර්ග් නඩුවිභාග පිළිබඳ ප්‍රඥප්තිය හා නඩු තීන්දුව අනතර්ජාතික නීතියේ කොටසක් වශයෙන් එක්සත් ජාතීන් විසින් පිළිගෙන තිබූ බැවින් නියුරම්බර්ග් තීන්දුවට නොනිසි අර්ථකතනයක් දීමට නොහැකිබව අනෙකුත් අය තර්ක කළහ. නියුරම්බර්ග් නඩු විභාගයේදී චෝදකයෙකු වශයෙන් කටයුතු කළ අමෙරිකානු නීතීඥයෙකු වූ ටෙල්ෆොඩ් ටේලර් නියුරම්බර්ග් නඩු විහාගයයේ ඉතිහාසය පිළිබඳ ලියූ පොතෙහි මේ තර්කය විවරණය කරමින් “ඒ විවාදය කිසි දිනක විස‍ඳෙන විවාදයක් නොවේ” යැයි සඳහන් කළේය.

      විශ්ව ප්‍රකාශනයේ මීළඟ අයිතිවාසිකම් වර්ගයට ඇතුළත් වූයේ දොළොස් වැන්නේ සිට දාහත්වන වගන්තිය දක්වා වු කොටසෙන් විස්තර වන මනුෂ්‍යාට සමාජය තුළ හිමිවන සිවිල් හා දේශපාලන හිමිකම්ය. යමෙකුගේ පුද්ගලිකත්වය, පවුල, වාසස්ථානය හා ලිපිගණුදෙනු සම්බන්ධයෙන් අනිසි මැදිහත්වීම් වලින් තොරව විසීමට ඇති අයිතිය, පුද්ගලයෙකුගේ ගෞරවය හා කීර්තියට හානි සිදු නොවීම, රටකින් පිටවීමද ඇතුළත්ව සැරිසැරීම හා ආගමනයට ඇති අයිතිය, විදෙස් රටක අභයාරක්ෂාව පැතීමේ හා භුක්ති විඳීමේ අයිතිය, ජාතිකත්වයකට ඇති අයිතිය සහ විවාහය, පවුල හා දේපළ පිළිබඳ අයතීන්ද මේ කොටසට අයත් විය. මෙහි සඳහන් අයිතීන් වලට අතිරේකව, නිසි වරෙන්තුවකින් තොරව සෝදිසියට භාජනය නොවීම, සාමකාමී අවදි වලදී හමුදා සෙබළුන් පුද්ගලික නිවාසවල රඳවා තැබීමට කටයුතු නොයෙදීම, මහජන කටයුත්තක් සඳහා දේපළ පවරාගන්නා විට නිසි වන්දියක් ලැබීම වැනි අයිතීන් ඇතැම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල මේ ගණයේ ලා සැලකෙන අයිතීන් වශයෙන් සඳහන්වේ. 

12 වැනි වගන්තිය

සිය පෞද්ගලිකත්වය, පවුල, වාසස්ථානය හා ලිපිගණුදනු සම්බන්ධයෙන් කිසිදු අත්තනෝමතික ඇඟිලි ගැසීමකට භාජනය නොවීමටත් තම ගෞරවය හා කීර්තිය කෙලෙසන ප්‍රහාරයකට පාත්‍ර නොවී සිටීමටත් සියල්ලන්ටම අයිතිය ඇත්තේය. එබඳු ඇගිලි ගැසීම්වලට හා ප්‍රහාරයන්ට එරෙහිව නීතියේ රැකවරණය ලැබීමේ අයිතිය සැම පුද්ගලයෙකුම සතුය.

13 වැනි වගන්තිය

  • තම රටේ දේශ සීමාව ඇතුළත නිදහසේ ගමනාගමනය කිරීමටත් පදිංචිවීමටත් සෑම පුද්ගලයෙකුටම අයිතිය ඇත්තේය.
  • ස්වකීය රටද ඇතුළුව ඕනෑම රටකින් නික්මයාමටත් තම රටට ආපසු පැමිණිමටත් සෑම පුද්ගලයෙකුටම හිමිකම ඇත්තේය.

14 වැනි වගන්තිය

  • තමන් හඹා එන පරිපීඩනයෙන් මිදීම පිණිස විදෙස් රටක අභයාරක්ෂාව පැතීමටත් භුක්ති විඳිමටත් සෑම පුද්ගලයෙකුටම හිමිකම ඇත්තේය.
  • එහෙත් නිර්දේශපාලනිකයැයි  නිසැකව සැලකිය හැකි අපරාධ හෝ එක්සත් ජාතීන්ගේ අරමුණුවලට පටහැනි ක්‍රියාවන් නිසා පැණ නගින චෝදනාවන්ගෙන් ගැලවීම සඳහා මේ අයිතිය උපයෝගී නොවේ.

15 වැනි වගන්තිය

  • සෑම පුද්ගලයෙකුටම ජාතිකත්වයකට හිමිකම ඇත.
  • කිසිම පුද්ගලයෙකු සතු ජාතිකත්වය අත්තනෝමතික ලෙස අහෝසි නොකළයුතු අතර සිය ජාතිකත්වය වෙනස් කිරීමට ඔහුට ඇති අයිතිය පැහැර නොගත යුතුය.

16 වැනි වගන්තිය

  • ජාතිය, ජාතිකත්වය හෝ ආගම ආදි හේතු කොටගත් කිසිදු සීමාවකින් තොරව විවාහ වී පවුලක් ඇති කිරීමේ අයිතිය පූර්ණ වියට පත් සියළු ස්ත්‍රී පුරුෂයන්ට ඇත්තේය.
  • විවාහයකට ඇතුළත් කළ යුත්තේ එසේ ඇතුළත් වන ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ සම්පූර්ණ හා නිදහස් කැමැත්ත පිට පමණි.
  • සමාජයක ස්වභාවික හා මූලික සමූහ ඒකකය පවුල වන අතර එය සමාජයේ හා රාජ්‍යයේ රැකවරණය ලැබිය යුතුය.

17 වැනි වගන්තිය

තනිව මෙන්ම හවුලේද දේපළ හිමිකම සඳහා සෑම පුද්ගලයෙකුටම අයිතිය ඇත්තේය.

රටකින් පිටවීම හා සිය රටට ආපසු පැමිණීම, අභයාරක්ෂාව පතා විදේශ ගතවීම හා ජාතිකත්වයකට ඇති අයිතිය වැනි හිමිකම් ජාත්‍යන්තර දිශානතියක් සහිත නව ආරක අයිතීන් වශයෙන් හැඳින්විය හැකි වු අතර එම අයිතීන් කිසිසේත්ම සෝවියට් පිලේ මනාපයට හේතු නොවීය. විශේෂයෙන්ම රටකින් නික්ම යාමට හා සිය රටට ආපසු පැමිනීමේ අයිතිය සෝවියට් නියෝජිත පැව්ලොව්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. මව් රටේ නීතිය හා අවශ්‍යතා නොතකා කෙනෙකුට තම රටෙන් නික්ම ගොස් වෙනත් රටක පුරවැසිකම ලැබීමට ඉඩදීම නොකළ යුත්තකැයි පැව්ලොව් තර්ක කළේය.  සෝවියට් දේශයේ ස්ටාලින්ගේ පාලනය හෙළාදුටු ඇතැමුන් එසේ විදේශගත වී තිබුණු අතර එසේ විදේශ ගත වීමට නොහැකිවූ වැඩි කොටසක් සෝවියට් හිර කඳවුරුවල හිර කොට තිබුණි.

16 වැනි වගන්තියෙන් තහවුරු කර තිබූ විවාහවීමේ අයිතියද එවකට බොහෝ ජාතික නීති පද්ධති වල තිබු විධිවිධාන ඉක්මවා ගියේය. විවාහ වීමේදී මෙන්ම දික්කසාද විමේදීද ස්ත්‍රී පුරුෂයන්ට සම අයිතිවාසිකම් ඇති බව 16 වන වගන්තියෙන් ගම්‍ය විය. 1967 අමෙරිකානු ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් අවලංගු කරන තෙක්ම අමෙරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්ත වල කළු හා සුදු ජාතිකයන් අතර විවාහ නීති විරෝධී කර තිබුනේය.

17 වැනි වගන්තියේ සඳහන් දේපළ අයිතියද කොමිසමේ සාකච්චාවලදී බෙහෙවින් විවාදයට ලක් වූ කරුණක් විය. අමෙරිකානු එක්සත් ජනපදය පෞද්ගලික දේපළ අයිතිය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි අතර සුදුසු වන්දියකින් තොරව මහජන කටයුතු සඳහා දේපළ පවරා ගැනීම එම අයිතිය උල්ලංඝනය වීමක් බව කියා සිටියේය. එහෙත් කම්කරු පාක්ෂිකයෙකු වු බ්‍රිතාන්‍ය නියෝජිතියාගේ අදහස වූයේ එක් එක් රටවල දේපළ අයිතිය විවිධාකාරයෙන් පවතින බැවින් මුළු 17 වැනි වගන්තියම විශ්ව ප්‍රකාශණයෙන් ඉවත් කළ යුතු බවයි. ලතින් අමෙරිකානු රටවල අදහස වූයේ දේපළ අයිතිය පිළිගත යුතු බවත් එහෙත් එම අයිතිය තම ජීවිතය ශිෂ්ඨ සම්පන්න ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය තරමට ප්‍රමාණවත් පෞද්ගලික දේපළක අයිතිය වශයෙන් සීමාකළ යුතු බවත්ය. එහෙත් ජීවිතය ශිෂ්ඨ සම්පන්න ලෙස ගත කිරීමට පෞද්ගලික දේපළක අයිතිය තිබිය යුතුය යන අදහසට තමන් එකඟ නොවන බව සෝවියට් පිල කියා සිටියේය. සෝවියට් පිලේ තර්කය වූයේ තම රටවල ආර්ථිකය පෞද්ගලික දේපළ උරුමයකින් තොරව පවත්වාගෙන යන බැවින් එම කරුණ මෙහිදී සැලකිල්ලට ගත යුතු බවයි. අවසානයේ පෞද්ගලික යන විශේෂණය නොමැතිව හුදෙක් දේපළ යන වචනය පමණක් භාවිත කිරිමෙන් මතභේදය සමථයට පත් කරගැනීමට සියල්ලෝ එකඟ වූහ.

18 වැනි වගන්තියේ සිට 21 වැනි වගන්තිය දක්වා වු කොටසින් විස්තර කෙරුනේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් විසින් මහත් හරසරින් පිළිගනු ලැබු ආගම හා විශ්වාස ඇදහීමේ අයිතිය, භාෂණය හා සංනිවේදනයේ නිදහස පිළිබඳ අයිතිය, රැස්වීමේ හා සංවිධානගතවීමේ අයිතිය හා ආණ්ඩුකිරීමේදි සහභාගිවීමේ අයිතිය වැනි අයතීන්ය. ඒවා විශ්ව ප්‍රකාශනයේ සඳහන් වූයේ පහත කියැවෙන පරිදිය.

18 වන වගන්තිය

චින්තනයට, හෘදසාක්ෂියට අනුව කටයුතු කිරීමට හා ආගම ඇදහීමට ඇති නිදහස සෑම පුද්ගලයෙකුම සතු අයිතියකි. සිය ආගම හෝ විශ්වාසය වෙනස් කිරීමට කෙනෙකුට ඇති නිදහසද, තනිව හෝ අන් අය සමග සාමූහිකව, ප්‍රසිද්ධියේ හෝ පුද්ගලිකව තම ඇදහීම් හා ආගම ඉගැන්වීමේ, පිළිපැදීමේ, වන්දනා කිරීමේ හා අනුගමනය කිරීමේ නිදහසද එයට ඇතුළත්ය.

19වන වගන්තිය

ස්වමතය දැරීම හා ප්‍රකාශ කිරීමේ නිදහස සෑම පුද්ගලයෙකු සතු අයිතියකි. බාධාවකින් තොරව සිය මතය දැරීමට ඇති නිදහසත්, දේශසීමා නොතකා ඕනෑම මාධ්‍යයකින් තොරතුරු සොයාගැනීම, ලබා ගැනීම හා බෙදා හැරීමට ඇති නිදහසත් මේ අයිතියට ඇතුළත්ය.

20 වන වගන්තිය

  • සාමකාමීව එක්රැස්වීමටත් සමිති සමාගම් පැවැත්වීමටත් ඇති නිදහස සෑම කෙනෙකුගේම අයිතියකි.
  • කිසිවෙකුට කිසියම්ම සම්ති සමාගමකට බැඳීමට බල නොකළ යුතුය

21 වන වගන්තිය

  • සෘජු ලෙස හෝ නිදහස්ව තෝරාගනු ලබන නියෝජිතයන් මගින් හෝ තම රටේ ආණ්ඩු කිරීමේ කටයුතු සඳහා සහභාගිවීමට සෑම කෙනෙකුටම අයිතිය ඇත්තේය.
  • සිය රටේ මහජන සේවාවන්ට ප්‍රවේශවීමේ සර්ව සම අයිතිය සෑම කෙනෙකුටම ඇත්තේය.
  • ආණ්ඩුවේ අධිකාරී බලයට පදනම වන්නේ ජනතාවගේ කැමැත්තයි. මේ කැමැත්ත ප්‍රකාශකළ යුත්තේ සර්වජන ජන්ද බලය අනුව රහස් ජන්දයකින් හෝ ඒ සමාන ස්වාධීන ජන්ද විමසීම් පටිපාටියක් අනුගමනය කරමින් වාරානුකුලව පැවැත්වෙන අව්‍යාජ මැතිවරණ තුළිනි.

සියළුම මානව අයිතිවාසිකම් අතුරින් ඉහතකී 18 වන වගන්තියේ සිට 21 වන වගන්තිය දක්වා වු වගන්ති වලින් කියැවෙන අයිතීන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තරම් තියුණු මතභේද මෑත දේශපාලන ඉතිහාසයේ දක්නට නොලැබුණි.  මෙකී අයිතීන් සමුහය තවමත් ස්ථාවරවීමට තැත්කරන කරන නව සමුහාණ්ඩුවලට තර්ජනයකැයි සෝවියට් නියෝජිත පැව්ලොව් ප්‍ර‍කාශ කළේය. පුවත්පත් නිදහස ඇතුළු අදහස් ප්‍ර‍කාශ කිරීමේ අයිතිය හුවා දැක්වෙන 19 වන වගන්තිය හා රැස්වීමේ නිදහස තහවුරු කෙරෙන 20 වැනි වගන්තිය බොහෝ ඒකාධිපති රටවල රාජ්‍ය නායකයන් තම බල අධිකාරියට එල්ල වන තර්ජනයක් ලෙස සැලකීය. බහුපාර්ශවික මැතිවරණ පැවැත්වීම 21 වැනි වගන්තිය තුළ තවත් අවශ්‍යතාවයක් ලෙස සටහන් කළ යුතු බවට  බෙල්ජියානු නියෝජිත ෆර්නැන්ඩ් ඩි හවුස් යෝජනා කළ නමුත් කොමියුනිස්ට් පක්ෂයේ ඒකාධිකාරය පැවැති සෝවියට් දේශයේ තදබල විරෝධතාවය නිසා එම යෝජනාව ඉවත් කර ගැනීමට සිදුවිය.  ආණ්ඩුවේ අධිකාරී බලයට පදනම මහජන කැමැත්ත බව පිළිගැනුණද වාරානුකුලව  එම කැමැත්ත ලබා ගැනීම පිණිස අව්‍යාජ ලෙස මැතිවරණ පවත්වා ගැනීම අද පවා ඇතැම් දියුණුවන රටවල ජනතාවට මහත් අභියෝගයක් වී තිබේ. 

විශ්ව ප්‍රකාශනයේ සඳහන් අවසාන වර්ගයේ හිමිකම් ලෙස සැලකුණේ සමාජයීය, ආර්ථික හා සාංස්කෘතික අයිතීන්ය. සෝවියට් පිලේ රටවල් පමණක් නොව ඇතැම් සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී බටහිර රටවල්ද ලතින් ඇමෙරිකානු රටවල්ද මෙම අයිතීන් විශ්ව ප්‍ර‍කාශනයට ඇතුල් කිරීමට සෑහෙන දායකත්වයක් ලබා දුන්නේය. විශ්ව ප්‍ර‍කාශනය සම්පාදනය වන විට බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ පැවැතියේ සමාජ ප්‍රජාතන්ත්‍ර‍වාදී කුලකයට ගැනෙන වාමාංශික නැඹුරුවක් තිබූ රජයන්ය. වීන නියෝජිත පී.සී. චැන්ග් ආර්ථික හා සමාජයීය සාධාරණත්වය හුදු නූතන බටහිර අදහසක් නොව චීනය වැනි රටවලද දිගුකලක් තිස්සේ අවධාරණය කෙරුණක් බව පවසමින් මෙකී අයිතීන් මානව අයිතිවාසිකම් වශයෙන් පිළිගැනීමට පක්ෂව දැඩි ලෙස කරුණු ඉදිරිපත් කළේය. 

මේ වර්ගය යටතේ යෝජනා කළ ඇතැම් අයීතීන් ඒ වනවිටත් සමහර යුරෝපීය රටවල ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මගින් පිළිගැනීමට ලක්ව තිබුණි.  උදාහරණයක් වශයෙන් සැලකුවහොත් වැඩ කළහැකි සෑම පුද්ගලයෙකුටම සිය දිවි ගෙවීම සඳහා සුදුසු රැකියාවක් සපයා ගැනීමට අවශ්‍යය තත්තවයන් ඇතිකිරීම රජයේ වගකීමයැයි 1814දී සම්පාදනය කළ නෝර්වීජියානු ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ සඳහන් විය. මානව අයිතිවාසිකම් ප්‍ර‍කාශනයට පෙර ලතින් අමෙරිකානු රටවල් විසින් සම්පාදනය කළ  අයිතීන් පිළිබඳ බොගෝටා ප්‍රකාශනයේද,  ජාත්‍යාන්තර කම්කරු සංවිධාන (ILO) ව්‍යවස්ථාවේද ආර්ථික හා සාමාජයීක අයතීන් පිළිගැනීමට ලක්ව තිබුණි.  1779 විප්ලවයෙන් පසු බිහිවූ ප්‍රංශ ආණ්ඩු ක්‍ර‍ම ව්‍යවස්ථාවල මේ අයිතීන් කිසියම් දුරකට පිළිගනු ලැබුණද අමෙරිකානු ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව ආර්ථික අයිතීන් සම්බන්ධව අනුගමනය කළේ නිහඬ පිළිවෙතකි. එහෙත් 1944 දී සිය වාර්ෂික කථාවේදී ඇමෙරිකානු ජනාධිපති ෆ්‍රැන්කලින් රූස්වෙල්ට් එවකට තිබු අමෙරිකානු අයිතිවාසිකම් පනත් වල සඳහන් නොවූ අයිතීන් සහතික කිරීම සඳහා අයිතීන් පිළිබඳ දෙවැනි පනතක් අවශ්‍යය බව ප්‍ර‍කාශ කළේය. ඔහු කල්පනා කළ පරිදි මේ නව පනතට හොඳ අධ්‍යාපනයකට ඇති අයිතිය, පාරිශ්‍ර‍මික දීමනාවක් සහිත ප්‍රයෝජනවත් රැකියාවක යෙදීමේ අයිතිය, මූලික අයිතීන් සපුරා ගැනීමට ප්‍ර‍මාණවත්වන වේතනයක් ලැබීමේ අයිතිය,  ප්‍ර‍මාණවත් වෛද්‍ය සේවයක් ලබා ගැනීමේ අයිතිය, රැකියා විරහිතවීම, හදිසි අනතුරකට ලක්වීම, රොගාතුරවීම හා මහලු වියට පත්වීම නිසා ආර්ථික අනාරක්ෂිත භාවයට  පත්වීමෙන් අත්මිදීමේ අයිතිය, සුදුසු නිවහනක් සඳහා සෑම පවුලකටම ඇති හිමිකම  වැනි අයිතීන් අයත් විය යුතුවිය. කෙසේ වුවද  ආර්ථික අයිතිවාසිකම් පිළිබඳ පනත වශයෙන් ජනාධිපති රූස්වෙල්ට්ගේ  කථාවෙදී හැදින්වුණු මෙම අදහස ක්‍රියාත්මක නොවීය.

මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍ර‍කාශනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ අවස්ථාවේ එහි සඳහන් ආර්ථික, සාමාජයීක හා සාංස්කෘතික අයිතීන් සම්බන්ධයෙන් තමන් මුළු හදින්ම සහයෝගය දක්වන නමුදු එම අයිතීන් සාක්ෂාත් කරදීම හුදෙක් ආණ්ඩුවේ සෘජු ක්‍රියාමාර්ග මගින් කළ යුතුය යන අදහසට එකඟ නොවන බවද අමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් එලිනෝර් රූස්වෙල්ට් පැවසුවාය.

විශ්ව ප්‍ර‍කාශනයේ 3 වැනි වගන්තියේ සිට 20 වැනි වගන්තිය දක්වා සඳහන් අයිතීන් වලින් සාමාන්‍යයෙන් කියැවෙන්නේ මිනිස් අයිතිවාසිකම් විෂයේ ලා නොකළ යුතු දේවල් වන අතර ආර්ථික,සමාජයීය හා සාංස්කෘතික හිමිකම් සඳහන්වන 22 වන වගන්තියේ සිට 27 වන වගන්තිය දක්වා වගන්තිවලින් කියැවෙන්නේ කළයුතු දේවල්වේ.  මේ සම්බ්න්ධයෙන් සෝවියට් පිල හා ලිබරල්වාදී බටහිර පිල අතර ඇති මූලික වෙනස ආර්ථික, සමාජයීය හා සාංස්කෘතික හිමිකම් සාක්ෂාත් කිරීම ආණ්ඩුවේ බරපතල වගකීමක් වශයෙන් සෝවියට් පිල සැලකු අතර බටහිර පිල එය හුදෙක් ආණ්ඩුවට පමණක් පැවරෙන වගකීමක් වශයෙන් සලකනාවට වඩා පෞද්ගලික ව්‍යවසාය, වෙළඳ පොල ආර්ථික ක්‍ර‍මය හා පුද්ගල ශක්‍යතාවයන් මත රඳා පවතින දෙයක් වශයෙන් සැලකීය.

22 වැනි වගන්තිය

සමාජයේ සාමාජිකයෙකු වශයෙන් සෑම කෙනෙකුටම සමාජ ආරක්ෂාව සඳහා අයිතිය තිබේ. ඒ අනුව සිය අභිමානයේ හා  ස්වීයත්වයේ ස්වාධීන ප්‍රවර්ධනය පිණිස අත්‍යවශ්‍ය ආර්ථික, සාමාජයීය හා සාංස්කෘතික අයිතීන් සාක්ෂාත් කර ගැනීමේ නිදහස ජාතික ප්‍රයත්න හා අන්තර්ජාතික සහයොගය මත  මෙන්ම ඒ ඒ රාජ්‍යයේ සම්පත් හා සංවිධානයට අනුකූලව සියල්ලන්ටම හිමිය.

23 වැනි වගන්තිය

  • වැඩ කිරීමේ අයිතියත්, තම රැකියාව තෝරාගැනීමේ නිදහසත්, සාධාරණ හා සතුටුදායක රැකියා කොන්දේසි සඳහා ඇති අයිතියත් සහ විරැකියාවෙන් ආරක්ෂා වීමේ අයිතියත් සෑම කෙනෙකුටම හිමිවේ.
  • කිසිදු ආකාරයක අඩුසැලකිල්ලකට ලක් විමෙන් තොරව සමාන වැඩට සමාන වැටුප් ලැබීමේ අයිතිය සෑම කෙනෙකුටම හිමිවේ.
  • අවශ්‍යය නම් අනෙකුත්  සමාජ ආරක්ෂණ විධි විධාන මගින් ප්‍රදානය කරන පරිපුරකයන්ද සහිතව වැඩ කරන සෑම අයෙකුටම තමාගේ හා තම පවුලේ මානව අභිමානයට සරිලන පරිදි සාධාරණ හා සතුටුදායක වේතනයක් ලබා ගැනීමට අයිතිය ඇත්තේය.
  • තම අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීම සඳහා වෘත්තිය සමිති පිහිටු වීමටත් වෘත්තීය සමීතියකට බැඳීමටත් සෑම අයෙකුටම අයිතිය ඇත්තේය.

24 වන වගන්තිය

වැඩකළයුතු පැය ගණන පිළිබ සාධාරණ සීමාවක්ද වැටුප් සහිතව කලින් කලට ලැබෙන නිවාඩු දියන්ද සහිතව විවේකය හා නිවාඩු ගැනීම සෑම කෙනෙකුගේම අයිතියකි.

25 වන වගන්තිය

  • තමාගේ හා තම පවුලේ සෞඛ්‍යය හා සුභසාධනය සඳහා ප්‍ර‍මාණවත් වන පරිදි ආහාර, ඇඳුම්, නිවාස, වෛද්‍ය සේවාව හා අවශ්‍ය සමාජ සේවාවන්ගෙන් සමන්විත ජීවන තත්වයක් භුක්තිවීඳීමට සියල්ලන්ටම හිමිකම ඇති අතර විරැකියාව, රෝගාබාධ, වැන්දඹුවීම, මහළුවීම හා ඒ හා සමානවූ තම පාලනයෙන් තොර ආපදාවක් සිදුවූවිටකදී රැකවරණය ලැබීමටත් සියළු දෙනාටම හිමිකම ඇත්තේය.
  • මාතෘභාවය හා ළදරුභාවය විශේෂ උපකාරයට හා සාත්තුවට උරුමවූ තත්වයෝය. සුජාතක හෝ අවජාතක බව නොසලකා, සමාජ ආරක්ෂාව එක සමානව භුක්ති විඳීම සියළු ම දරුවන්ට හිමිය.

26 වන වගන්තිය

  • අධ්‍යාපනය ලබාගැනීමට සෑම පුද්ගලයෙකුටම අයිතිය ඇත්තේය. අවම වශයෙන් ප්‍රාථමික හා මූලික අධ්‍යාපනය නොමිලේ ලබා ගැනීමට හැකිවිය යුතුය. ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය විය යුතුවේ. කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව පොදුවේ සැලසිය යුතු වන අතර ඒ හා සමානව, දක්ෂතාවය පදනම් කොටගෙන උසස් අධයාපනයට ප්‍රවේශවිමේ අවස්ථාවද සියල්ලන්ටම සැලැසිය යුත්තේය.
  • මනුෂ්‍යාගේ ස්වීයත්වය පරිපූර්ණ කරගැනීමත් මානව අයිතිවාසිකම්  හා මූලික නිදහසට ගරුකිරීම ප්‍ර‍වර්ධනය කිරීමත් අරමුණු කොට අධ්‍යාපනය යොමු කරවියයුතුය. සියළු ජාතිකත්වයන්, ජාති හා ආගමික කණ්ඩායම් අතර අන්‍යෝන්‍ය අවබෝධය, රිස්සීම හා මිත්‍ර‍්‍ර‍ත්වය වර්ධනය කිරීමටත් සාමය පවත්වාගෙන යාම උදෙසා එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරීකම් තවදුරට කරගෙන යාමටත් අධ්‍යාපනයෙන් අනුබලය දිය යුත්තේය.
  • සිය දරුවන්ට දියයුතු අධ්‍යාපනයේ ස්වභාවය තීරණය කිරීමේ ප්‍ර‍මුඛ අයිතිය දෙමව්පියන් සතුය.

27 වන වගන්තිය

  •  ප්‍ර‍ජා සමූහයේ සංස්කෘතික ජීවිතයට නිදහස්ව සහභාගිවීමටත්, කලාව රසවිඳීමටත්, විද්‍යා දියුණුව හා එහි ප්‍ර‍තිඵලවල කොටස් කරුවන් වීමටත් සියළු දෙනාටම අයිතිය ඇත්තේය.
  • තමන්ගේ කර්තෘත්වයෙන් සම්පාදිතවූ විද්‍යාත්මක, සාහිත්‍යමය හෝ කලාත්මක නිර්මාණයක අධ්‍යාත්මික හා භෞතික අයිතිය සුරක්ෂිත කර ගැනීම හැම පුද්ගලයෙකුම සතු අයිතියකි.

ආර්ථික, සාමාජයික හා සංස්කෘතික අයිතීන් පිළිබඳ ප්‍රවේශය වශයෙන් සැලකෙන 22 වැනි වගන්තියේ ඒ ඒ රාජ්‍යයේ සංවිධානයට අනුකූලව තත් හිමිකම් ලබා දිය යුතුය යන සඳහන මේ අයිතීන් සම්බන්ධයෙන් සෝවියට් පිල හා සෙසූ රටවල් අතර ඇතිවු මතභේදය සමනය කිරීම සඳහා බෙහෙවින් උපකාර විය. එමගින් රාජ්‍ය කේන්ද්‍රීය, සැලැසුම් කළ ආර්ථික සංවිධානයක් මෙන්ම නිදහස් වෙළඳ පොළ මත රැඳුන ආර්ථික සංවිධානයක් හෝ මිශ්‍ර‍ ආර්ථික ක්‍ර‍මයක්ද අදහස් වීය. ඒ හා සමානව රාජ්‍ය සතු සම්පත් වලට අනුකූලව යන යෙදුමද ඇතැම් රටවලට බෙහෙවින් වැදගත් විය. මේ සීමා කිරීම ආර්ථික හා සාමාජයික අයිතීන් සාක්ෂාත් කරදීමට අවශ්‍ය තරම් සම්පත් දියුණු කර ගැනීම එවකටත් අභියෝගයක්ව පැවතුණු ඊජිප්තුව හා ඉන්දියාව වැනි රටවලට සහනයක් විය. මෙකී අයිතීන් සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය පසුබිම සපයාදීමේදී ජාතික ප්‍ර‍යත්නයන් මෙන්ම අනතර්ජාතික සහයෝගය පිළිබඳ අවශ්‍යතාවය සඳහන් කිරීම මානව අයිතීන් සුරැකීමේ දිශානතිය ජාතික මෙන්ම ජාත්‍යන්තර ස්වභාවයක්ද ගතයුතු බව යළි තහවුරු කිරීමකි.

 සතුටුදායක රැකියා කොන්දේසි, වැටුප් සහිත නිවාඩු, පැය අටේ වැඩ දිනය, වෘත්තීය සමිති පිහිටුවීම, විරැකියා රක්ෂණය, මාතෘ හා ළමාරක්ෂක විධි විධාන වැනි  23 වන හා 24 වන වගන්තිවල ගම්‍ය වන හිමිකම් ඒ වන විටත් බොහෝ ලිබරල් ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී රටවල නීතියෙන් තහවුරු කර තිබුණි. එහෙත් වැඩ කිරීමේ අයිතිය, සමාන වැඩට සමාන වැටුප් ලැබීමේ අයිතිය, යහපත් ජිවන තත්වයන් සඳහා රැකියාලාභියා මෙන්ම ඔහුගේ පවුලේ අයටද ඇති අයිතිය වැනි හිමිකම් මින් පෙර විරලව සඳහන් වු අයිතිවාසිකම් විය. එමෙන්ම 26 වන වගන්තියේ එන අධ්‍යාපනය පිළිබඳ අයිතියත්, විවාහයෙන් පරිබාහිරව ඉපැදෙන ළමයින්ටද අන් අය හා සමව සැලකිය යුතුයැයි කියැවේන 25 වන වගන්තියද මුළුමනින්ම පාහේ අළුත් අදහස් විය.

විශ්ව ප්‍ර‍කාශනයේ එන අධ්‍යාපන අයිතිය පිළිබඳ වගන්තියේ සඳහන් ඇතැම් මූලික අදහස් ජනඝාතක ප්‍ර‍තිපත්ති අනුමත කළ නාසිමාමක අධ්‍යාපනය වැනි ප්‍ර‍පංච පිටුදැකීමේ අවශ්‍යතාවය අරමුණු කොට සම්පාදනය කරනු ලැබීය. නයුරම්බර්ග් සිද්ධාන්ත හා ජනඝාතය පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය පිළියෙල කිරීම වෙනම කමිටුවකට පවරා තිබු කටයුත්තක් වු බැවින් නාසි ජනඝාතන අපරාධ ගැන බරපතල සාකච්ඡාවක් මානව අයිතිවාසිකම් පිළිබඳ කොමිසමේ රැස්වීම් වලදී උද්ගත නොවීය. ලෝකයාගේ නිදහස, සාධාරණත්වය හා සාමය සඳහා අධ්‍යාපනයේ දායකත්වය අත්‍යවශ්‍යය බව මානව අයිතිවාසිකම් කොමිසම විසින් අවිවාදයෙන් පිළිගෙන තිබූ අතර සමස්තයක් වශයෙන් එය 26 වැනි වගන්තියේ  ප්‍ර‍කාශ වී තිබුණි. එහෙත් ජීනීවා රැස්විමට නිරීක්ෂකයෙකු වශයෙන් සහභාගිවු ලෝක යුදෙව් කොන්ග්‍ර‍සයේ නියෝජිතයා එවකට කොමිසම කෙටුම්පත් කොට තිබූ අදාල වගන්තිය අධ්‍යාපනය සම්බන්ධයෙන් ශිල්පීය රාමුවකට සීමාවී තිබෙන බවත් එහි “අධ්‍යාපනය හසුරුවන අධ්‍යාත්මික ගුණය“ ගැන කිසිවක් සඳහන් නොවන බවත් පෙන්වා දෙමින් 26 වන වගන්තියේ දෙවැනි ඡෙදය මගින් පසුව පිළිගනු ලැබූ පරිදි, සියළු ජාතිකත්වයන්, ජාති හා ආගමික කණ්ඩායම් අතර අන්‍යෝන්‍ය අවබෝධය, රිස්සීම හා මිත්‍ර‍්‍ර‍ත්වය වර්ධනය කිරීමත් අධ්‍යාපනයේ එක් පරමාර්ථයක් විය යුතුය යන අදහස ඉදිරිපත් කළේය. ඊට අතිරේකව එක්සත් ජාතීන්ගේ පරමාර්ථ හා ක්‍රියාකාරීකම් පවත්වාගෙන යාමත් අධ්‍යාපනය මගින් අනුබලය දිය යුතු කටයුත්තකි යන අදහස මැක්සිකෝව විසින් තුන්වැනි කාරක සභාවේදී යෝජනා කරන ලදුව විසිහය වන වගන්තියේ දෙවැනි ඡෙදයට එක්විය. සිය දරුවන්ට දිය යුතු අධ්‍යාපනයේ ස්වභාවය තීරණය කිරීමේ ප්‍ර‍මුඛ අයිතිය දෙමව්පියන් සතුය යන අදහස තුන් වැනි ඡෙදය වශයෙන් එම වගන්තියට එක්වූයේ නාසිමාමක ප්‍ර‍තිපත්ති යටතේ දරුවන්ට ලබා දියයුතු අධ්‍යාපනය තීරණය කිරීමේ ප්‍ර‍මුඛ අයිතිය හිට්ලර්ගේ  නාසි රජයට අයත්ව තිබු බැවිනි. දරුවන්ගේ අධ්‍යාපනය තීරණය කිරීමේ ප්‍ර‍මුඛ අයිතිය දෙමව්පියන්ට පැවරෙන මෙකී ඡෙදය සමාජයක ස්වභාවික හා මූලික සමූහ ඒකකය පවුල බව පවසන 16 වන වගන්තිය හා මුළුමනින්ම සමගාමීවිය.

විශ්ව ප්‍ර‍කාශනයේ අවසාන වගන්ති තුන කාසන් හැඳින්වූයේ ඔහු සඳහන් කළ වාහල්කඩේ ත්‍රිකෝණාකාර ශිඛරය වශයෙනි. ඔහු අදහස් කළ පරිදි එම ත්‍රිකෝණය පුද්ගලයා, සිවිල් සමාජය හා රජය එකී ත්‍රිත්වයේ අයිතීන් සහ වගකීම්ද සමග එකම වහලක් යටට ගෙන එයි. විශ්ව ප්‍ර‍කාශනයේ පූර්විකාව හා සමානව අවසාන වගන්ති තුනද සමස්ත ලියවිල්ලටම එකසේ අදාළ වෙයි. පහත දැක්වෙන එම වගන්ති තුනෙන් විස්තර වන්නේ ප්‍ර‍කාශනයේ සඳහන් අයිතීන් හා නන්වැදෑරුම් නිදහස සාක්ෂාත් කරගැනිම සඳහා අවශ්‍ය වන සමාජයීය හා අන්තර්ජාතීය කොන්දේසින්ය.

28 වන වගන්තිය

සෑම පුද්ගලයෙකුටම මෙම ප්‍ර‍කාශනයේ සහන් අයිතීන් හා නන්වැදෑරුම් නිදහස පරිපූර්ණ ලෙස සාක්ෂාත් කරගැනීමට හැකි වන සමාජ හා ජාත්‍යන්තර රටාවකට අයිතිය ඇත්තේය.

  • වන වගන්තිය
  • සැමකෙනෙකුටම ප්‍ර‍ජාව වෙනුවෙන් ඉටු කළයුතු යුතුකම් ඇත්තේය. මන්ද පුද්ගලයෙකුට තම ස්වීයත්වය නිදහස්ව හා පරිපූර්ණව වර්ධනය කරගත හැක්කේ එම ප්‍ර‍ජාව තුළ පමණක් වන බැවිනි.
  • තම අයිතීන් සහ නිදහස භුක්ති විීමේදී යමෙකු අනුගත විය යුත්තේ හුදෙක් අනෙකුත් පුද්ගලයන්ගේ අයිතීන් හා නිදහස පිළිගැනීම හා ගරුකිරීම පිණිසත් ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජයකට අවශ්‍යයැයි සාධාරණව සැලකෙන පොදු සුබසිද්ධිය, සදාවාරය සහ සාමය පවත්වගෙන යාමත් අරමුණුකොට පැණවුනු නීති මගින් දක්වන ලද සීමාවන්වලට පමණි.
  • මෙම ප්‍ර‍කාශනයේ සහන් අයිතීන් සහ නන්වැදෑරුම් නිදහස කිසිදු අවස්ථාවකදී එක්සත් ජාතීන්ගේ පරමාර්ථ හා ප්‍ර‍තිපත්ති වලට පටහැණි වන අන්දමින් ක්‍රියාත්මක නොකළ යුතුය.
  • වැනි වගන්තිය

මෙම ප්‍ර‍කාශනයේ සහන් අයිතීන් සහ නන්වැදෑරුම් නිදහස විනාශ කිරීමේ අයිතියක් කිසිදු රාජ්‍යයකට හෝ කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට හෝ අත්වන අන්දමේ අර්ථ නිරූපණයක් මෙම විශ්ව ප්‍ර‍කාශනයේ කිසිදු වගන්තියක් සම්බන්ධයෙන්වත් නොකළ යුත්තේය.

සියළුදෙනාටම තම අයිතීන් සාක්ෂාත් කරගත හැකි අනතර්ජාතික රටාවකට හිමි කම ඇත්තේය යන 28 වැනි වගන්තියේ එන සඳහන මානව අයිතිවාසිකම් අනුගමනය කිරීම හා සුරැකීම ජාතික  මෙන්ම ජාත්‍යන්තර වගකීමකි යන පිළිගැනීම හා අනුගත වෙයි.  මානව අයිතිවාසිකම් කඩවීම් ජාතික මට්ටමේදී නොසැලකෙන විට අන්තර්ජාතික මට්ටමේ සැලකිල්ලට ලක්වීමේ අයිතිය ඒ අනුව සියල්ලන්ටම හිමිය. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කවුන්සිලය, ජාත්‍යන්තර අපරාධ අධිකරණය, මානව අයිතිවාසිකම් කොමසාරිස් කාර්යාලය වැනි එක්සත් ජාතීන්ගේ ආයතනවලට අතිරේකව ඇම්නස්ට් ඉන්ටර්නැෂනල්, ආර්ටිකල් නයින්ටීන්, හ්‍යුමන් රයිට්ස් වොච් වැනි ජාතයන්තර නොරාජ්‍ය සංවිධාන ඒවායේ දේශීය නියෝජිතයෝ මෙන්ම කලාපීය මානව අයිතිවාසිකම් කොමිසන් සභාද මෙකී අන්තර් ජාතික රටාවේ කොටස් කරුවන් ලෙස සැලකිය හැකිය. ඉහතකී අන්තර්ජාතික රටාව වඩාත් විධිමත් කිරීම පිණිස පසු කලෙක එනම් 1966දී  සම්මතව රටවල අපරානුමැතිය සඳහා ඉදිරිපත් කළ ආර්ථික සමාජයීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය  සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ගිවිසුම හා එහි වෛකල්පික ගිවිසුම් දෙක සැලැකිය හැකිය. මෙම සම්මුති හා ගිවිසුම් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍ර‍කාශනය හා එක්ව ගත්විට අන්තර්ජාතික පරම අයිතිවාසිකම් පනත (International Bill of Rights) යනුවෙන් හැඳින්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කළේය.

ජාතික මට්ටමේදී මෙකී රටාව යනුවෙන් මූලික වශයෙන් අදහස් වන්නේ රටක ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව මගින් නීතියේ සර්ව සාධාර‍ණ ආධිපත්‍ය., නිදහස් හා අව්‍යාජ මැතිවරණ, භාෂණයේ හා ප්‍ර‍කාශනයේ නිදහස ඇතුළු විශ්ව ප්‍ර‍කාශනයේ සඳහන් මූලික අයිතීන් හා නිදහස සහතික කිරීම හා එකී අයිතීන් ඇතිසැටියෙන්ම ක්‍රියාත්මක කිරීමයි.

            මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍ර‍කාශනය විවේචනාත්මකව කියවන්නෙකුට එහි ඇතැම් තැනක ඇති අඩු ලුහුඬුකම්, අන්‍යාර්ථ සහ අවිනිශ්චිතතා හඳුනා ගැනීම උගහට නොවේ. නන්වැදෑරුම් නිදහස, සමානාත්මතාවය හා සමාජ ආරක්ෂණය අතර ඇති අසීරු සම්බන්ධතාවයන් සමග  පොදුවේ තේරුම් ගත හැකි වහරකින් ප්‍ර‍කාශනය සැකසීමේ අවශ්‍යතාවය සලකන විට එවැනි දුර්වලතාවයන් ඇතිවීම වැළැක්විය නොහැකි බව විචාරකයෝ පෙන්වා දෙති. ඇතැම් මතභේදාත්මක කරුනු බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට ලක්විය හැකි පරිදි සමථයකට පත් කරගැනීමට සිදුවීමද මෙයට එක් හේතුවක් විය. අනෙක් අතට ප්‍ර‍කාශනය සකස්කිරීමට මුල් වු බොහෝ අය වෙනස් වන කාලයට අනුකුලව එහි වලංගුභාවය ආරක්ෂාවිය යුතුයැයි විශ්වාස කළ බැවින් ඇතැම් කරුණු සම්බන්ධයෙන් පුළුල් අර්ථකථනයන්ට ඉඩ තැබීම වඩා සුදුසුයැයි විශ්වාස කළහ. ඔහුන්ගේ අරමුණ වූයේ විවිධාකාර නීතිපද්ධති තුළට ප්‍රායෝගිකව අනුගත විය හැකි ‘පොදු අභීමතාර්ථ පිළිබඳ ප්‍ර‍මිති’ නිර්ණය කිරීමයි.

අනෙක් අතට ප්‍ර‍කාශනයේ සඳහන් වගන්ති වැරදි ආකාරයෙන් අර්ථ කථනය කිරීමේ හැකියාව අවම කිරීමටද ඔවුහු ප්‍රවේසම් වූහ. විවිධ ආධානග්‍රාහී මතවාදයන්ට අනුව මානව අයිතිවාසිකම් අවම කිරීමේ හැකියාව අභියෝගයක් බව සැලකුණද තම අයිතීන් පිළිබඳ  මහජනතාව තුළ ඇතිවන පොදු වැටහීම වැඩිවන තරමට එම අභියෝගය ජය ගැනීම අසීරු නොවන බවද විශ්ව ප්‍ර‍කාශනයේ පුරෝගාමීහු විශ්වාස කළහ.

මනුෂ්‍යාත්මභාවය කවර නෛසර්ගික අයිතිවාසිකම් නිසා තහවුරුවන්නක්ද යන්න නිරාකරණය කිරීම හේතු කොට ගෙන මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍ර‍කාශනය මනුෂ්‍ය ඉතිහාසයේ විශිෂ්ඨ මංසලකුණක් සටහන් කළ අද්විතීය ලේඛනයක් වීය. මනුෂ්‍යා සතු නන්වැදෑරුම් නිදහස සහ අයිතිවාසිකම් මානව සංහතිය නියෝජනය කරන අන්තර්ජාතික ක්‍රියාවලියක් හරහා විවාද කොට නිර්ණය කිරීම මගින් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍ර‍කාශනය මිනිසත්බව නියත ලෙස විවරණය කළේය.

.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: